Monday, January 18, 2021
Sunday, January 17, 2021
බුද්ධානුස්සති භාවනාව – 24 කොටස ‘විසිතුරු ලෙස පුරුෂයන් දමනය කළ බුදුරජාණෝ’
බුද්ධානුස්සති භාවනාව – 24 කොටස ‘විසිතුරු ලෙස පුරුෂයන් දමනය කළ බුදුරජාණෝ’
Jan 15, 2021 | සිත නිවන භාවනා | 0
බුද්ධානුස්සති භාවනාව – 24 කොටස ‘විසිතුරු ලෙස පුරුෂයන් දමනය කළ බුදුරජාණෝ’
අප සරණගිය බුදුරජාණන් වහන්සේ අනුත්තරපුරිසදම්මසාරථි නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට වඩා ශීලයෙන් ද සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද විමුක්තියෙන් ද විමුක්තිඥානදර්ශන ගුණයෙන් ද උත්තරීතර වූ අන් කිසිවෙකුත් නොමැති බැවින් ‘අනුත්තර’ නම් වන බව පසුගිය ලිපියෙන් දක්වන ලදී. මෙම ලිපියෙන් බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්මසාරථි ගුණය විස්තර වේ.
ඒ භාග්‍යවතුන් වහන්සේ දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින් ‘පුරිසදම්මසාරථි’ නම් වන සේක. පුරිසදම්ම යන්නෙන් නොදැමුණු, දමනය කිරීමට සුදුසු වූ තිරිසන්ගත පුරුෂයෝ ද මනුෂ්‍ය පුරුෂයෝ ද අමනුෂ්‍ය පුරුෂයෝ ද අදහස් වේ. භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දෙනා දමනය කළ බැවින් පුරිසදම්මසාරථි නම් වන සේක.
භාග්‍යවතුන් වහන්සේ විසින් අපලාල නාගරාජයා, අරවාළ නාගරාජයා, නාලාගිරි හස්තිරාජයා ආදි තිරිසන්ගත සත්වයන් දමනය කරන ලදී. එසේ ම අංගුලිමාල ය, සච්චක ය, අම්බට්ඨමානවක ය, පොක්ඛරසාති ආදි බ්රාහ්මණවරු ය, උපාලි ගෘහපති ආදි ගෘහපතිවරු යනාදි මනුෂ්‍ය පුරුෂයෝ ද දමනය කර සරණ සිල්හි පිහිටුවන ලදී. එසේ ම ආළවක, සුචිලෝම, ඛරලෝමාදි යක්ෂයන් ද ශක්‍ර දේවේන්ද්‍රයා ය, බක බ්‍රහ්මයා ය ආදිකොට ඇති අමනුෂ්‍ය පුරුෂයන් ද විසිතුරු වූ විනයන උපායයන්ගෙන් දමනය කළ සේක. මෙසේ තිරිසන්ගත වූ ද මනුෂ්‍ය වූ ද අමනුෂ්‍ය වූ ද පුරුෂයන් දමනය කරන ලද බැවින් පුරිසදම්මසාරථි නම් වේ. දමනය කළ යුතු මාගමුන් ඇත ද උතුම් බව වශයෙන් පුරුෂයන් ම කියන ලදී.
දමනය කළ යුතු පුද්ගලයෝ නම් ලෝකයේ කායබල, ධනබල, ඥානබල ආදි කිසියම් බලයක් නිසාවෙන් මත් වී ගරු කළයුත්තන්ට ගරු නො කරමින් යටත් විය යුත්තන්ට යටත් නො වෙමින් අනුන්ට කරදර කරමින් ගුණවතුන්ට අවමන් කරමින් හැසිරෙන අයයි. මෙසේ කාය බලාදිය නිසාවෙන් නොදැමුණු පුද්ගලයන් කාය බල ආදියෙන් ම දමනය කිරීම ලෝකයේ සාමාන්‍යයෙන් සිදු වේ. රජවරු තම රටේ වෙසෙන සොර සතුරන් දමනය කරන්නේ මේ අයුරිනි. එහෙත් එසේ දමනය කිරීමෙන් දමනය වන තැනැත්තාට සැම විට ම යහපතක් සිදු නොවේ. ඇතැම් විට මරණයට පත් වීමට ද සිදු වේ. එසේ නැතහොත් තමන්ට යළි බලය ලැබුණු විට පෙර තත්වයට ම පත් වේ. එබැවින් කාය බල ආදිය උපයෝගී කරගෙන මැඩපවත්වමින් යම් කෙනෙක් දමනය කරයි නම් එය සැබෑ දමනය කිරීමක් නො වේ.
තථාගතයන් වහන්සේ පුරුෂයන් දමනය කරන්නේ එසේ කිසිවෙකුට අයහපතක් සිදු වන ආකාරයෙන් නොවේ. තථාගතයන් වහන්සේලා නොයෙක් විසිතුරු විනයන උපායයන්ගෙන් දැමිය යුතු පුරුෂයන් දමනය කරති. දඬු මුගුරු ගැනීමක් නොමැතිව, තමන් වහන්සේගේ කරුණා ගුණ මහිමයෙන් ම දමනය කළ යුතු පුද්ගලයන් දමනය කරන සේක.
අංගුත්තර චතුෂ්ක නිපාතයේ කේශී සූත්‍රයේ දැක්වෙන අන්දමට දිනක් කේශි නමැති අශ්වයන් දමනය කරන්නා බුදුරජාණන් වහන්සේ වෙත එළඹ සිටි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් අශ්වයන් දමනය කරන ආකාරය විමසා සිටියහ. එහි දී ඔහු කියා සිටියේ “ස්වාමීනි, මම මෙළෙකින් ද රළුයෙන් ද ඒ දෙකෙන් ම ද අශ්වයන් දමනය කරමි” යනුවෙනි. එසේ මෙළෙකින් හෝ රළුයෙන් හෝ ඒ දෙකෙන් ම දමනය කළ නොහැකි අශ්වයන්ට කුමක් කරන්නේ දැ යි අසා සිටි විට ඔහු පැවසුවේ එම අශ්වයන් තමන්ගේ ඇදුරු පරපුරට අවමානයක් වන බැවින් මරා දමන බවයි.
අනතුරුව කේශී විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරිසදම්මසාරථි වන බැවින් පුරුෂයන් දමනය කරන ආකාරය කෙසේ ද යන්නයි. එහි දී භාග්‍යවතුන් වහන්සේ ද “කේශී, මම ද දමනය කළ යුතු පුරුෂයන් මෙළෙකින් ද රළුයෙන් ද ඒ දෙකෙන් ම ද හික්මවමි” යැයි වදාළ සේක.
මෙහි දී බුදුරජාණන් වහන්සේ වදාළ මෙළෙකින් හික්මවීම නම් කාය, වාක්, මනෝ සුචරිතයන්ගේ විපාක දක්වමින් එයින් සුගතියේ උපත ලබන බව දේශනා කර කාය වාක් මනෝ සුචරිතයට අනුශාසනා කිරීමයි. රළුයෙන් හික්මවීම නම් කාය වාක් මනෝ දුශ්චරිතයේ ආදීනව දේශනා කොට එයින් දුගතියේ උපත ලබන බව කියා දී ත්‍රිවිධ දුශ්චරිතයෙන් වැළකීමට අනුශාසනා කිරීමයි. මේ දෙයාකාරයෙන් ම අනුශාසනා කිරීම ද භාග්‍යවතුන් වහන්සේ විසින් කරනු ලැබේ.
මෙහි දී කේශී විසින් අසන ලද්දේ යම් හෙයකින් මේ තුන් ආකාරයෙන් ම හික්මවිය නොහැකි පුද්ගලයෙක් සිටී නම් ඒ අයට කුමක් කරන්නේ ද කියා ය. එහි දී බුදුරජාණන් වහන්සේ “කේශී, ඒ තුන් ආකාරයෙන් ම හික්මවිය නොහැකි නම්, මම ද ඔහු මරමි” යැයි පිළිතුරු දුන්හ. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ කවර හෝ අනුශාසනයකින් හික්මවාලිය නොහැකි පුද්ගලයා අවවාද නොකළ යුත්තෙක් යැයි සලකා බැහැර කරන බවයි. එය මෙම ආර්ය විනයෙහි මරණයට පත් කිරීම හා සමාන බව ද වදාළ සේක. මෙසේ තථාගතයන් වහන්සේ නොයෙක් විසිතුරු විනයන උපායයන්ගෙන් දැමිය යුතු සත්ත්වයන් දමනය කළ සේක.
මෙපමණක් නොව භාග්‍යවතුන්වහන්සේ පිරිසිදු ශීලයක පිහිටි පුද්ගලයන්ට ප්‍රථමධ්‍යානාදිය අධිගමනය කිරීමට මඟපෙන්වීමෙන්, ප්රථමධ්යානලාභීන්ට ද්විතීයධ්යානාදියට මඟපෙන්වීමෙන් යනාදි ලෙස මතු මත්තෙහි විශේෂ අධිගමය පිණිස අනුශාසනා කිරීමෙන් ද පුරුෂයන් දමනය කරන සේක. එසේ ම සෝතාපන්නාදි මාර්ගඵලයනට පත් වූ අයට මතු මත්තෙහි මාර්ග ඵල ප්‍රතිලාභය පිණිස පිළිවෙත් කියා දීමෙන් දමනය වූ පුද්ගලයන් ද දමනය කරන සේක.
මෙසේ තථාගතයන් වහන්සේ සර්වාකාරයෙන් ම දමනය කළ යුතු පුද්ගලයන් මෙන් ම දමනය වූ පුද්ගලයන්ට ද මතු මත්තෙහි විශේෂාධිගමය පිණිස අනුශාසනයෙන් ඒ දමනය වූ අය ද දමනය කරන හෙයින් පුරිසදම්මසාරථි නම් වන සේක.
එසේ ම මෙම අනුත්තරපුරිසදම්මසාරථි යන්න එකම වාක්‍යයක් ලෙස ගෙන ද අර්ථය දක්වනු ලැබේ. එනම් යම් සේ පුද්ගලයෙක් එක ම පළඟකින් හිඳ අෂ්ට සමාපත්තීන් ම හෝ අෂ්ටාභිභායතනයන් ම උපදවන්නේ ද එසේ භාග්‍යවතුන් වහන්සේ පුරුෂයන් දමනය කරන සේක. මේ බව බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිමනිකායේ උපරිපණ්ණාසකයේ සළායතන විභඩ්ග සූත්‍රයේ විස්තර වශයෙන් දේශනා කළ සේක. ඇතුන්, අශ්වයන් දමනය කරන පුද්ගලයන් ඒ ඇත්, අශ්වයන් ධාවනය කරන්නේ එක ම දිශාවකට වේ. එහෙත් ශාස්තෘන් වහන්සේ දමනය කරන පුද්ගලයා එක ම ඉරියව්වෙන් අෂ්ට දිශාවන්ට ම ද පෙර නොගිය නිරෝධ සමාපත්තිය, නිර්වාණය දෙසට ද මෙහෙයවන සේක. එහෙයින් තථාගතයන් වහන්සේ අනුත්තරපුරිසදම්මසාරථි නම් වන සේක.
මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ දමනය කළ යුතු පුරුෂයන් නොයෙක් විසිතුරු විනයන උපායයන්ගෙන් දමනය කළ බැවින් ‘අනුත්තරපුරිසදම්මසාරථි’ නම් වන සේක.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Saturday, January 16, 2021
බුද්ධානුස්සති භාවනාව – 23 කොටස “උත්තරීතර බැවින් අනුත්තර වූ බුදුරජාණන් වහන්සේ”
බුද්ධානුස්සති භාවනාව – 23 කොටස “උත්තරීතර බැවින් අනුත්තර වූ බුදුරජාණන් වහන්සේ”
Jan 15, 2021 | සිත නිවන භාවනා | 0
බුද්ධානුස්සති භාවනාව වැඩීම සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය නව අරහාදි ගුණ වශයෙන් ගෙන මෙනෙහි කිරීම වඩාත් පහසු වේ. ඒ සඳහා නව අරහාදි බුදුගුණ එක එකක් පිළිබඳ අවබෝධය ලබා ගත යුතු වේ. මෙම ලිපියෙන් විස්තර කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තරපුරිසදම්මසාරථී ගුණය පිළිබඳව වේ.
අප සරණගිය බුදුරජාණන් වහන්සේ අනුත්තරපුරිසදම්මසාරථි නම් වන සේක. මෙය ‘අනුත්තරො’ සහ ‘පුරිසදම්මසාරථි’ යනුවෙන් දෙපරිදි වේ.
1. ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට වඩා ශීලයෙන් ද සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද විමුක්තියෙන් ද විමුක්තිඥානදර්ශන ගුණයෙන් ද උත්තරීතර වූ අන් කිසිවෙකුත් නොමැති බැවින් ‘අනුත්තර’ නම් වන සේක.
2. ඒ භාග්‍යවතුන් වහන්සේ දමනය කළ යුතු පුරුෂයන් දමනය කරන බැවින් ‘පුරිසදම්මසාරථි’ නම් වන සේක.
අනුත්තරො
බුදුරජාණන් වහන්සේගේ අනුත්තරපුරිසදම්මසාරථි ගුණයෙහි ‘අනුත්තර’ යන්නෙන් අදහස් වන්නේ උත්තරීතර බවයි. එනම් තමන් වහන්සේට වඩා අන් උත්තරීතර අයෙක් නොමැති බවයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට වඩා ගුණ මහන්තත්වයෙන් විශිෂ්ට වූ කිවෙකුත් නොමැති බැවින් ‘අනුත්තර’ නම් වන සේක. ‘නත්ථි එතස්ස උත්තරොති=අනුත්තරො’ යනු එහි පාළි විග්‍රහය යි.
භාග්‍යවතුන් වහන්සේ ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥානදර්ශනයන්ගෙන් සියලු ලෝකය අභිභවනය කරන සේක. බුදුරජාණන් වහන්සේගේ ශීල ගුණයට සමාන ශීල ගුණයක් ඇති අන් කිසිවෙකුත් ලොව නැත්තේ වෙයි. එහෙයින් බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකය තමන් වහන්සේගේ ශීල ගුණයෙන් මැඩ පවත්වා වාසය කරන සේක. එසේ ම බුදුරජාණන් වහන්සේගේ සමාධියට සම කළ හැකි සමාධියක් ඇති අයෙක් තුන් ලෝක ධාතුව තුළම නැත. උන්වහන්සේගේ ප්‍රඥාවට සම කළ හැකි කිසිවෙකුත් නැත. උන්වහන්සේගේ විමුක්ති, විමුක්ති ඥානදර්ශනයන්ට ද සම කළ හැකි අන් කිසිවෙක් නැත. මෙසේ බුදුරජාණන් වහන්සේ ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්තිඥානදර්ශනයෙන් ද අන් සියලු දෙනාට උත්තරීතර බැවින් දෙවියන් සහිත ලෝකය අභිබවනය කරන සේක. එහෙයින් උන්වහන්සේ ‘අනුත්තර’ නම් වන සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ ශීල ගුණයෙන් ‘අසම’ වන සේක. ‘අසමසම’ වන සේක. ‘අප්පටිම’ වන සේක. ‘අප්පටිභාග’ වන සේක. ‘අප්පටිපුග්ගල’ වන සේක.
ශීල ගුණයෙන් තමන් වහන්සේ හා සම වූ අන් කිසිවෙකුත් නොමැති බැවින් ‘අසම’ නම් වන සේක. එසේ ම ශීල ගුණයෙන් අසම වූ අතීතානාගත බුදුවරයන් වහන්සේලා සමඟ පමණක් ම සම වන බැවින් ‘අසමසම’ නම් වන සේක. ශීල ගුණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේට උපමා කළ හැකි අන් අයෙක් නොමැති බැවින් ‘අප්පටිම’ නම් වේ. ශීල ගුණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේට සමාන උපමා කළ හැකි අයෙක් නොමැති බැවින් ‘අප්පටිභාග’ නම් වේ. මම බුදු වෙමි යි තමන්වහන්සේට ප්රතිපක්ෂව සිටිය හැකි ශීලගුණයෙන් යුත් පුද්ගලයෙක් නොමැති බැවින් ‘අප්පටිපුග්ගල’ නම් වේ.
එසේ ම සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඥානදර්ශන ගුණයන්ගෙන් ද ඒ භාග්‍යවතුන් වහන්සේ අසම, අසමසම, අප්පටිම, අප්පටිභාග, අප්පටිපුග්ගල වන සේක.
සංයුත්තනිකායේ ගාරව සූත්‍රයේ ද අංගුත්තරනිකායේ චතුක්ක නිපාතයේ පඨම උරුවේල සූත්‍රයේ ද ආදි සූත්‍රවල සඳහන් වන අන්දමට බුද්ධත්වයෙන් අනතුරුව නේරඤ්ජරා නදී තෙර අජපල් නුගරුක්මුල වැඩ හිඳිනා බුදුරජාණන් වහන්සේට සිතිවිල්ලක් පහළ විය. ‘න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ … අත්තනා සීලසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා’ යනාදි වශයෙන් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජාවෙහි තමන් වහන්සේට වඩා ශීලසම්පන්න පුද්ගලයෙක් නොදකින බවට සිතිවිල්ලක් පහළ විය. ඒ බුදුරජාණන් වහන්සේ සමස්ථ ලෝකය අතැඹුලක් සේ මැනවින් ම සර්වඥතාඥානයෙන් දක්නා හෙයින් ඒ සර්වඥතාඥානයෙන් හාත්පස ලෝකය බලන බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේට වඩා ශීල ගුණයෙන් උසස් අන් කිසිවෙකුත් මේ තුන් ලෝකයෙහි කවර තැනක හෝ නොදකින සේක. එහෙයින් බුදුරජාණන් වහන්සේ ශීලයෙන් උත්තරීතර හෙයින් ‘අනුත්තර’ නම් වන සේක.
එසේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද විමුක්තියෙන් ද විමුක්තිඥානදර්ශනයෙන් ද දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජාවෙහි තමන් වහන්සේට වඩා උත්තරීතර අන් කිසිවෙකුත් නොදක්නා බවයි. එබැවින් ද බුදුරජාණන් වහන්සේ ‘අනුත්තර’ නම් වන සේක.
තව ද අග්ගප්පසාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ “යාවතා භික්ඛවෙ සත්තා අපදා වා ද්විපදා වා” යනාදි ලෙස ‘යම්තාක් ලෝකයේ අපා, දෙපා, සිව්පා, බහුපා, රූපී, අරූපී, සඤ්ඤී, අසඤ්ඤී, නෙවසඤ්ඤිනාසඤ්ඤී සත්ත්වයන් සිටිත් ද ඒ සියල්ල අතරින් තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම අග්‍ර, උත්තම, ශ්‍රේෂ්ඨ බව’ වදාළ සේක. ඒ අග්‍ර වූ, උත්තම වූ, ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්නා තැනැත්තා අග්‍ර වූ ස්ථානයක සිත පහදවා ගන්නා බැවින් අග්‍ර වූ විපාක ලබන බව ද වදාළ සේක. එසේ අන් සියලු සත්වයන්ට වඩා අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ බැවින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ‘අනුත්තර’ නම් වන සේක.
තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව දම්සක් පැවතුම් සූත්‍ර දේශනය පිණිස බෝ මැඩ සිට බරණැස ඉසිපතනාරාමය දක්වා පා ගමනින් වඩින අතරමඟ දී උපක නම් ආජීවකයෙක් මුණ ගැසුණි. ඒ උපක ආජීවකයා බුදුරජාණන් වහන්සේ දැක පැහැදී භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියේ තමන් වහන්සේගේ ආචාර්යවරයා කවුරුන් ද යන්නයි. එහි දී බුදුරජාණන් වහන්සේ වදාළේ,
“න මෙ ආචරියො අත්ථි – සදිසො මෙ න විජ්ජති
සදෙවකස්මිං ලොකස්මිං – නත්ථි මෙ පටිපුග්ගලො”
‘මට ලෝකෝත්තර ධර්මයෙහි ඇදුරුවරයෙක් නැත. මා හා සමාන වූවෙක් විද්‍යමාන නොවේ. දෙවියන් සහිත ලෝකයෙහි මා හට සමාන පුද්ගලයෙක් නැත.’ යනුවෙනි. මෙසේ ද බුදුරජාණන් වහන්සේට සමාන අන් කිසිවෙකුත් ලොව විද්‍යමාන නොවන හෙයින් ‘අනුත්තර’ නම් වන සේක.
දීඝනිකායේ පාසාදික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ චුන්ද සාමණේරයන් වහන්සේට වදාළේ “දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ සෙස්සන් මැඩලනුයේ සෙස්සන් විසින් නොමැඩලන ලද්දේය, සියල්ල දක්නා ලද්දේය. අන් අය ස්වකීය වසඟයෙහි පවත්වන්නේය. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ.” යනුවෙනි. එනම් තථාගතයන් වහන්සේ ස්වකීය ශීලාදි ගුණයෙන් අන් අය අභිබවනය කරමින් වාසය කරන සේක. අන් කිසිවෙකුටත් ශීලාදි ගුණයෙන් තථාගතයන් වහන්සේව අභිබවනය කළ නොහැක්කේ ය. එහෙයින් තථාගතයන් වහන්සේ ‘අනුත්තර’ නම් වන සේක.
මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට වඩා ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඥානදර්ශනයන්ගෙන් ද උත්තරීතර වූ අන් කිසිවෙකුත් නොමැති බැවින් ‘අනුත්තර’ නම් වන සේක.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...