Monday, December 7, 2020

දිග … කෙටි’ හුස්ම දැනගන්න ආනාපානසති භාවනාව – 5 වන කොටස

 

දිග … කෙටි’ හුස්ම දැනගන්න ආනාපානසති භාවනාව – 5 වන කොටස

14. ‘දිග … කෙටි’ හුස්ම දැනගන්න ආනාපානසති භාවනාව – 5 වන කොටස

          ආනාපානසති භාවනාවෙහි නියැලෙන ආධුනිකයා විසින් පළමුව තමන්ගේ හුස්ම රැල්ලට අවධානය යොමු කොට සිහිය වැඩි කරගත යුතු බව මුලින් පැහැදිලි කරන ලදී. ඒ සඳහා හුස්ම ගණන් කිරීමේ අභ්‍යාසය අනුගමනය කළ හැකි අතර, ගණන් කිරීමෙන් තොරව හුස්ම කෙරෙහි අවධානය පිහිටන විට ගණන් කිරීම අතහැර හුස්ම රැල්ල අනුව සිහිය නැවත නැවත පැවැත්විය යුතු වේ. එය ‘අනුබන්‍ධනය’ ලෙස හැඳින්වේ. මෙසේ ආනාපානසති භාවනාවේ දී පළමුව නැහැය අග සිහිය පිහිටුවාගෙන හුස්ම දෙස බලා මෙනෙහු කළයුතු ආකාරය ‘සො සතොව අස්සසති, සතො පස්සසති’ යැයි වදාළ සේක.

             අනතුරුව ඒ සිහිය පිහිටවිය යුතු ආකාරය තවදුරටත් විස්තර කරමින්,

 ‘දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති. රස්සංවා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති.’ යැයි වදාළ සේක.

          එනම් ‘දීර්ඝ වූ ආශ්වාසය කරන්නේ, දීර්ඝව ආශ්වාස කරන්නේ යැයි නුවණින් දැනගනියි. දීර්ඝව ප්‍රශ්වාස කරනුයේ, දීර්ඝව ප්‍රශ්වාස කරන්නේ යැයි නුවණින් දැනගනියි. හ්‍රස්වව (කෙටියෙන්) ආශ්වාස කරන්නේ, කෙටියෙන් ආශ්වාස කරන්නේ යැයි නුවණින් දැනගනියි. කෙටියෙන් ප්‍රශ්වාස කරන්නේ, කෙටියෙන් ප්‍රශ්වාස කරන්නේ යැයි නුවණින් දැනගනියි.’

          මෙහි ‘දිග, කෙටි’ යන පදයන්ගෙන් හුස්ම රැල්ල පවත්නා කාලය අදහස් වේ. ඇතැම් පුද්ගලයෙක්ගේ හුස්ම රැල්ල දීර්ඝව පවතී. සර්පයන්ගේ, ඇතුන්ගේ වැනි ඇතැම් සත්වයන් හුස්ම ගන්නා විට දික් වූ හුස්ම ගැනීම-හෙළීම කරති. ඒ ආකාරයෙන් ඇතැම් කෙනෙකුගේ හුස්ම රැල්ල පවත්නා කාලය ද දික් වේ. එසේම සුනඛයන්, සාවන් ආදීන්ගේ හුස්ම රැල්ල කෙටි ය. ඒ ආකාරයෙන් ඇතැම් පුද්ගලයෙක් කෙටි කාලයක් පවත්නා කුඩා කුඩා හුස්ම ගැනීම-හෙළීම ද කරති. මෙසේ ආනාපානසති භාවනාව කරන තැනැත්තා තමන්ගේ හුස්ම රැල්ල නාසිකා අග ගැටෙමින් පවතින කාලය සිතෙන් මැන ගැනීමක් පළමුව කළ යුතු වේ. එසේ මැනගෙන තමන්ගේ හුස්ම රැල්ල දික් වූ කාලයක් පවතී ද, කෙටි කාලයක් පවතී ද යන්න තේරුම් ගත යුතු වේ. ඇතැම් විට කෙනෙක්ගේ හුස්ම මේ දෙයාකාරයටම වෙනස් වෙමින් ද පැවතිය හැකි වේ. ඒ නිසා නාසය අග හුස්ම ගැටෙන තැන සිත තබාගෙන එහි හුස්ම ගැටෙමින් පවත්නා කාලය කෙරෙහි අවධානය තියුණු කරගත යුතු වේ.

          ඒ අනුව පළමුව සාමාන්‍යයෙන් හුස්මරැල්ල නාසය අග ගැටෙමින් පවත්නා කාලය සිතෙන් මැනීමක් කරගත යුතු අතර එය කෙරෙහි සිහිය වැඩි කරගෙන ඊට වඩා දික් වූ හෝ ඊට වඩා කෙටි වූ හෝ හුස්මක් පවතී ද යන්න විමසා බැලිය යුතු වේ. මෙහි දී මතක තබාගත යුතු කරුණක් වන්නේ සිතෙන් ‘දිග’ ‘කෙටි’ යැයි කියවීමක් අවශ්‍ය නොවන බවයි. මෙම සූත්‍ර පාළියේ සඳහන් වන්නේ ‘පජානාති’ යනුවෙන් වේ. එහි අදහස වන්නේ ‘නුවණින් දැනගන්නේය’ යන්නයි. එබැවින් නුවණින් යුතු සිහියෙන් දැනගැනීම පමණක් කළයුතු වේ. එවිට සිහිය හුස්ම කෙරෙහි වඩාත් තියුණු කරගත හැකි වේ. මෙසේ ආශ්වාස-ප්‍රශ්වාසයන් නුවණින් දැනගැනීමෙන් ඒ යෝගාවචරයාට කායානුපස්සනා සතිපට්ඨානය සමෘද්ධ වේ.

          මෙහි දී පටිසම්භිදා මග්ගපාලියේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් ආශ්වාස-ප්‍රශ්වාස දැනගන්නා භාවනා විධිය ආකාර නවයකින් (9) දැක්වේ.

1. දීර්ඝ ආශ්වාසය දීර්ඝ කාලයෙහි ආශ්වාස කරයි.
2. දීර්ඝ ප්‍රශ්වාසය දීර්ඝ කාලයෙහි ප්‍රශ්වාස කරයි.
3. දීර්ඝ ආශ්වාස-ප්‍රාශ්වාසය දීර්ඝ කාලයෙහි ආශ්වාස ද ප්‍රාශ්වාස ද කරයි.
4. එසේ කරන කල්හි කත්තුකම්‍යතා කූශලච්ඡන්දය උපදී.
5. ඡන්ද වශයෙන් තවදුරටත් සියුම් වූ දීර්ඝ ආශ්වාසය, ආශ්වාස කරයි. දීර්ඝ ප්‍රාශ්වාසය, ප්‍රාශ්වාස කරයි. දීර්ඝ ආශ්වාස-ප්‍රාශ්වාසය, ආශ්වාස-ප්‍රාශ්වාස කරයි.
6. එසේ කරන කල්හි ප්‍රමෝද්‍යය හෙවත් තරුණ ප්‍රීතිය උපදී.
7. ඒ ප්‍රමෝදය වශයෙන් තවදුරටත් සියුම් වූ දීර්ඝ ආශ්වාසය, ආශ්වාස කරයි. දීර්ඝ ප්‍රාශ්වාසය, ප්‍රාශ්වාස කරයි. දීර්ඝ ආශ්වාස-ප්‍රාශ්වාසය, ආශ්වාස-ප්‍රාශ්වාස කරයි.
8. එසේ කරන කල්හි ආශ්වාස-ප්‍රාශ්වාසයන් තවදුරටත් ඉතා සියුම් වී සිත ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙන් නවතී.
9. තත්‍ර මධ්‍යස්ථතා උපේක්‍ෂාව පිහිටයි.

යනුවෙනි. මේ ආකාරයෙන් කෙටි හුස්ම රැල්ල ද දැනගත යුතු බව දැක්වේ.

          මෙහි දී සරලව පැහැදිලි කරන්නේ නම් ආනාපානසති භාවනාවේ යෙදෙන තැනැත්තා තමන්ගේ නාසිකා අග හුස්ම රැල්ල ගැටෙන තැන සිත තබාගෙන, පළමු කී ආකාරයට හුස්ම රැල්ලේ සාමාන්‍ය දිග මෙනෙහි කරගත යුතු වේ. දිග, කෙටි වශයෙන් වචනයෙන් මෙනෙහි කිරීමකින් තොරව හුස්ම රැල්ල දිග, කෙටි වශයෙන් නුවණින් දැනගැනීම පමණක් කළයුතු වේ.

          එසේ හුස්ම රැල්ල නාසිකා අග පවතින කාලය කෙරෙහි අවධානය යොමු කරගෙන සිහිය වැඩි කිරීමේ දී සිත කෙමෙන් සමාධිමත් වීම නිසා බොහෝ වේලාවක් භාවනා කළ හැකි පරිදි භාවනාවට රුචිය වැඩි වේ. එවිට ඒ රුචියෙන් යුතුව බොහෝ වේලා එකම ඉරියව්වෙන් භාවනා කළ යුතු වේ. එවිට තවදුරටත් සිත සමාධිමත් වී භාවනා බලයෙන් කයේ දරදඬු ගති සැහැල්ලු බවට පත් වේ. එවිට හුස්ම රැලල් සියුම් වීම සිදු වේ. මෙය උදාහරණයකින් මෙසේ පැහැදිලි කරගත හැකි වේ.

          කිසියම් බරක් ඔසවාගෙන කන්දක් නැගීම වැනි අපහසු කටයුත්තක නිරත වන පුද්ගලයාගේ කය දරදඬු බවට පත් ව දැඩි වේ. ඒ දැඩි බව නිසාම හුස්ම වඩාත් ඕළාරිකව පවතී. සමහර විට නාසය ප්‍රමාණවත් නොවී මුවින් ද හුස්ම ගනී. එහෙත් ඒ බර බිමින් තබා, සිරුර සිසිල් රෙදි කඩකින් පිස දමාගෙන, රුක් සෙවනක දිගා වී ගිමන් හැරීමෙන් ඒ ඕළාරිකව අපහසුවෙන් ඉහළ පහළ ගිය හුස්ම රැල්ල වඩාත් සියුම් වේ. තමා හුස්ම ගන්නේ ද යන්න පවා නොදන්නා තරමට පත් වේ.

          මෙසේම ආනාපානසති භාවනාව සිදු කිරීමේ දී කයේ දැඩි බව අඩු වීමත් සමඟ සිත ද සැහැල්ලු බවට පත් වී හුස්ම රැල්ල සංසිඳේ. සියුම් වේ. ඒ සියුම් හුස්ම දෙස තවදුරටත් අවධානය යොමු කරන විට තවදුරටත් සිත-කය දෙකම සංසිඳීමට පත්ව සිතේ තරුණ ප්‍රීතිය හෙවත් ප්‍රමෝද්‍යය ඇති වේ. ඒ ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් තවදුරටත් හුස්ම රැල්ල කෙරෙහි අවධානය තියුණු කිරීමේ දී හුස්ම රැල්ල අතිශයින් සියුම් වී, නොවැටහෙන කල්හි සෙවිය යුතු ආකාරයකට පත් වේ. එසේ අතිශයින් සියුම් වීමෙන් හුස්ම රැල්ල කෙරෙන් සිත නතරව තත්‍රමධ්‍යස්ථතා උපේක්‍ෂාවේ සිත පිහිටයි. සිත හැකිලීම ඇති කරවන උකටලී බවෙන් ද විසිරීම ඇති කරවන වීර්යාධික බවෙන් ද තොරව මැදහත් බවට පත් වේ. මෙසේ කායානුපස්සනා සතිපට්ඨානය සමෘද්ධමත් වන බව සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දැක්වූ සේක.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Na Uyane Ariyadhamma Thero


 

Sunday, December 6, 2020

1.28 Jambugāmikaputta Theragatha

සිහිය වැඩි කර ගන්න ආනාපානසති භාවනාව – 4 වන කොටස

 

සිහිය වැඩි කර ගන්න ආනාපානසති භාවනාව – 4 වන කොටස

13. සිහිය වැඩි කර ගන්න ආනාපානසති භාවනාව – 4 වන කොටස

          ආනාපානසති භාවනාව ආරම්භ කරනු කැමති පුද්ගලයා විසින් කය ඍජුව තබාගෙන හිඳගෙන, සිහිය කමටහනට අභිමුඛ කරගෙන, සිහි ඇතිව ආශ්වාස ප්‍රශ්වාස කළයුතු බව පළමුව පැහැදිලි කරන ලදී. එහි දී භාවනාවට ආධුනිකයකු විසින් සැලකිය යුතු කරුණු පිළිබඳව මෙහි දී අවධානය යොමු කරනු ලැබේ.

          භාවනා කමටහනක් වැඩීම අරඹන පුද්ගලයෙක් විසින් පළමුව කළයුතු කටයුත්තක් වශයෙන් ඒ භාවනාකමටහන පස් ආකාරයකින් ඉගෙනගත යුතුයැයි විශුද්ධිමාර්ගයේ දැක්වේ. මෙය විශේෂයෙන්ම භාවනාව වඩන භික්‍ෂුවකට වැදගත් වේ. ගිහි පින්වතුන් නමුදු නිවැරදිව භාවනාව ඉගෙනගන්නේ නම් එය වැදගත් වේ. එහෙත් ඒ සඳහා කාලය වැය කළ නොහැකි කාර්යබහුල අය නිවැරදි ගුරු ඇසුරකින් හෝ මෙවැනි නිවැරදිව භාවනාව කියා දෙන ලිපි පෙළකින් හෝ භාවනාව වඩන ආකාරය නිවැරදිව ඉගෙන ගතයුතු වේ. ඒ පස් ආකාරය නම් භාවනාව විස්තර කෙරෙන කිසියම් ග්‍රන්ථයක් හෝ සූත්‍ර දේශනාදියක් නිවැරදිව ඉගෙන ගැනීම, එහි අර්ථය නිවැරදිව විමසා දැන ගැනීම, සැක තැන් විමසා පිරිසිදු කරගැනීම, භාවනාව වැඩීම සිදු වන ආකාරය නිවැරදිව වටහා ගැනීම, ධ්‍යාන උපදවන ආකාරය නිවැරදිව අවබෝධ කරගැනීම සහ භාවනා කමටහනේ ස්වභාව ලක්‍ෂණය දැන ගැනීමයි. ඒ අනුව ආනාපානසති භාවනාව විස්තර කෙරෙන මහාසතිපට්ඨාන සූත්‍රය, ආනාපානසති සූත්‍රය ආදියක් නිවැරදිව ඉගෙන ගතයුතු වන අතර එහි අර්ථය නිවැරදිව බුද්ධදේශනාවට අනුකූලව වටහාගත යුතු වේ. වර්තමානයේ බොහෝ විට වැරදි ක්‍රම වලට භාවනාව විස්තර වන බව දක්නට ලැබෙන්නේ මෙම අර්ථකථනයේ දුර්වලතාවය නිසාවෙනි. මේ නිසා නිවැරදි අර්ථ කීම තේරුම් ගත යුතු වේ.

          සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්ම සංගායනා තුනකින් පිළිගත් පිරිසිදු ත්‍රිපිටක ධර්මය එහි අර්ථ විවරණයත් සමඟ මිහිදු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට රැගෙන එන ලදී. ඒ අනුව ගමන් කරමින් නිර්වාණය අවබෝධ කරගත් අය ඉතා බොහෝ බව ඉතිහාසයේ සඳහන් වේ. වර්තමානයේ ද ඒ නිවන් මඟ පාලි ත්‍රිපිටකය පෙළ සහ අර්ථකථා තුළ සුරක්‍ෂිතව ඇත. ඒ අනුව හික්මෙන පුද්ගලයාට තමන්ගේ භාවනාව නිවැරදිව දියුණු කරගත හැකි බව නිවැරදිව ඒ මඟ අනුගමනය කළ ස්වාමින් වහන්සේලාගේ අත්දැකීම් ඔස්සේ දැනගත හැකි වේ. විශුද්ධිමාර්ගයෙන් සුරක්‍ෂිත වී ඇත්තේ ද මෙම නිවැරදි මාර්ගය වේ. තායිලන්තයේ, බුරුමයේ ආදී ථේරවාදී රටවල මෙම භාවනාමාර්ගය අනුගමනය කරන බොහෝ දෙනෙක් සිටිති. එබැවින් ආනාපානසති භාවනාව පිළිබඳව ද අර්ථ විවරණය කරගත යුත්තේ මෙම පෙළ අර්ථකථා අනුසාරයෙන් මිස හුදු භාවනාව පිළිබඳ අත්තනොමති පවසන පුද්ගලයන්ගේ ප්‍රකාශන ඔස්සේ නොවේ. යම් පුද්ගලයෙක් පෙළ, අර්ථකථාව, විශුද්ධිමාර්ගය වැරදි යැයි පවසන්නේ නම් එහි නිවැරදි මාර්ගය නොමැති බව තේරුම් ගත යුතු වේ. මන්ද ඒ මාර්ගයෙන් නිවැරදිව ප්‍රතිඵල අත්කරගත් බොහෝ දෙනෙක් සිටින බැවිනි.

          මෙම ලිපි පෙළෙන් අදහස් කරන්නේ ඒ නිවැරදි මාර්ගය විවර කරදීම වේ. ඒ අනුව නිවැරදිව භාවනාව ඉගෙන ගනිමින්, භාවනාවට සුදුසු තැනක් තෝරාගෙන, විවේකීව භාවනාවට වාඩි වී පළමුව පූර්වකෘත්‍ය ආදිය සිදු කර, සතර කමටහන් වැඩීම කෙටියෙන් සිදු කර, ආනාපානසති භාවනාව ආරම්භ කළහැකි වේ. ඒ අනුව තමන්ගේ හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොමු කර ‘සතෝව අස්සසති. සතෝ පස්සසති’ යැයි කියූ පරිදි සිහියෙන්ම හුස්ම ඉහළ පහළ හෙළිය යුතු වේ. එසේ හුස්ම රැල්ල මෙනෙහි කරන ආකාරය අර්ථකථාවේ මෙසේ දැක්වේ.

ගණනා අනුබන්‍ධනා ඵුසනා ඨපනා සල්ලක්‍ඛණා
විවටනා පාරිසුද්ධි තෙසඤ්ච පතිපස්සනා

         යනුවෙනි. එනම් හුස්ම රැල්ල ගණන් කිරීමෙන් සිහිය පිහිටුවීම, ඒ හුස්ම අනුගමනය කිරීමෙන් සිහිය පිහිටුවීම, නාසිකා අග හුස්ම ගැටීම අරමුණු කර සිහිය පිහිටුවීම, සිත ඒ හුස්ම අරමුණෙහි මනාකොට පිහිටවීම, අනිත්‍යාදිය සැලකීම, මාර්ගය, ඵලය සහ ප්‍රත්‍යවේක්‍ෂාව වශයෙනි.

         මෙහි දී භාවනාවට ආධුනිකයාට පළමුව පහසුවෙන් හුස්මරැල්ල හඳුනාගැනීම නොහැකි විය හැකිය. එවිට සිහිය වැඩි කරගනු පිණිස පළමුව හුස්ම රැල්ල ගණන් කිරීමාදිය දැක්වේ. ඒ අනුව ආනාපානසතිය වඩන පුද්ගලයා භාවනාවට වාඩි වී තමන්ගේ සිහිය නාසිකාවේ අග කෙළවර හුස්ම ස්පර්ෂ වන තැනට යොමු කළයුතු වේ. එවිට හුස්ම රැල්ල හොඳින් අරමුණු වන්නේ නම් ගණන් කිරීමාදියකින් තොරවම සිහිය පිහිටුවාගත හැකි වේ. එහෙත් සිහිය පිහිටුවා ගැනීම අපහසු පුද්ගලයාට ගණන් කිරීම පහසු වේ. ගණන් කිරීම කළයුතු වන්නේ මෙසේය.

         හුස්ම ඉහළට ගන්නා විට ‘එකයි’ කියා ගණන් කොට පහළ හෙළන විට ද ‘එකයි’ කියා ගණන් කළ හැකිය. දෙවන හුස්ම ඉහළ පහළ හෙළන විට ‘දෙකයි’ කියා ගණන් කළ හැකිය. මෙසේ පහට (5) වැඩි දහයට (10) අඩු ගණනක් ගණන් කළ යුතු වේ. එසේම ‘එකයි, තුනයි, පහයි’ යනාදි ලෙස කඩ කඩ කොට ගණන් නොකළ යුතු වේ. ගණන් කිරීමේ දී ද සෙමෙන් ‘වී මනින්නවුන්’ මෙන් ගණන් කළ යුතු වේ. වී මනින ගොවි මහතා එක් වී නැළියක් පුරවා ‘එකයි’ යැයි කියා දමයි. නැවත වී නැළිය පිරවීමේ දී කසල රොඩු යමක් දුටුවේ නම් ‘එකයි … එකයි’ යැයි නැවත නැවත කියමින් ඒ කසල ඉවත් කර නැළිය පුරවයි. මේ ආකාරයෙන් හුස්ම රැල්ල ගණන් කිරීමේ දී ද ඉහළට ගන්නා හුස්ම මෙනෙහි කිරීමේ දී වැටහෙන වැටහීම පිළිබඳ අවබෝධයෙන් යුතුව ‘එකයි … එකයි … එකයි’ යනාදි වශයෙන් ගණන් කළ හැකි වේ. මෙසේ ගණන් කිරීමේ දී ඉහළට ගන්නා හුස්ම සහ පහළට හෙළන හුස්ම මනාව වැටහෙන්නට පටන් ගත් විට, එසේ වී මනින්නකු මෙන් සෙමෙන් ගණන් කිරීම අතහැර ගොපල්ලකු ගවයන් ගණන් කරන්නා සේ වේගයෙන් ගණන් කළ යුතු වේ.

         ගොපල්ලා උදෑසනින් ගල්කැට කැබලි ද ගෙන ගව ගාලට ගොස් ගවයන් පිටට ගසමින් නැගිටුවා හිඳි කඩුල්ලේ කණුවට නැඟ ඒ කඩුල්ලෙන් පිටවන එකිනෙක ගවයා ‘එකයි … දෙකයි’ යනාදි ලෙස ගණන් කරමින් අතේ තබාගත් ගල්කැට කැබලි එකිනෙක බිම දමයි. මුලු තුන්යම රාත්‍රියේ එකිනෙකා හිර වී ගව ගාලේ සිටි ගවයන් වහ වහා රොත්ත පිටින් නික්මෙන විට ගොපල්ලා ද වහ වහා ‘තුන, හතර, පහ, දහය’ යනා දි ලෙස ගණන් කරයි. ඒ ආකාරයෙන් ම හුස්ම රැල්ල ප්‍රකටව වහ වහා වැටහෙන විට, නැවත නැවත හැසිරෙන බව දැන ගණන් කළ යුතුය. ගොපල්ලා වහ වහා ගවයන් ගණන් කරද්දී ගවගාලේ ඇතුලේ සහ පිටත සිටින ගවයන් ගැන බැලීමක් නොකර දොරටුවම බලයි. එසේ ඇතුළත පිටත බැලුවහොත් ගණන වරදී. එසේම හුස්ම රැල්ල ශරීරය අභ්‍යන්තරයේ හෝ පිටත හෝ පැවැත්ම බැලීමකින් තොරව නාසිකා අග පමණක් බලාගෙන ගණන් කළ යුතු වේ. එහි දී ‘එක, දෙක, තුන, හතර, පහ’ යැයි ද, ‘එක, දෙක, තුන, හතර, පහ, හය’ යැයි ද, ‘එක, දෙක, තුන, හතර, පහ, හය, හත’ යැයි ද, ‘එක, දෙක, තුන, හතර, පහ, හය, හත, අට’ යැයි ද, ‘එක, දෙක, තුන, හතර, පහ, හය, හත, අට, නවය’ යැයි ද ‘එක, දෙක, තුන, හතර, පහ, හය, හත, අට, නවය, දහය’ යැයි ද නැවත නැවත ගණන් කළ යුතු වේ. එසේ ගණන් කිරීම සමඟ ඒකාබද්ධ වූ කළ, සැඩ පහරේ ගසාගෙන යන ඔරුවක් රිටකින් නවත්වාගන්නා සේ ගණන සමඟ බැඳී සිහිය පිහිටයි.ගණන් කිරීමකින් තොරව හුස්ම රැල්ලේ සිහිය පිහිටනතාක් මෙම ගණන් කිරීම කළ යුතු වේ.

         එසේ සිහිය හුස්ම රැල්ලේ පිහිටි කළ ගණන් කිරීම අතහැර සිහියෙන් හුස්ම මෙනෙහි කිරීම ඇරඹිය යුතු වේ. ඒ අනුව නිරන්තරයෙන් හුස්ම රැල්ල අනුව සිහිය පිහිටුවාගෙන සිටිය යුතු වේ.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Na Uyane Ariyadhamma Thero


 

Saturday, December 5, 2020

1.27 Lomasakaṅgiya Theragatha

ගනිමි…’ ‘හෙළමි…’ සිහියෙන් යුතුව හුස්ම ගන්න ආනාපානසති භාවනාව – තෙවන කොටස

 

. ‘ගනිමි…’ ‘හෙළමි…’ සිහියෙන් යුතුව හුස්ම ගන්න ආනාපානසති භාවනාව – තෙවන කොටස

12. ‘ගනිමි…’ ‘හෙළමි…’ සිහියෙන් යුතුව හුස්ම ගන්න ආනාපානසති භාවනාව – තෙවන කොටස

          මහාකාරුණිකයන් බුදුරජාණන් වහන්සේ එක් කලෙක සැරියුත්, මුගලන්, මහාකච්චායන, මහාකොට්ඨිත, මහාකප්පින ආදී මහරහතන් වහන්සේලා ද සමඟ සැවැත්නුවර පූර්වාරාමයේ වස් විසූ සේක. එම කාලය තුළ මහතෙරුන් වහන්සේලා නිතර තරුණ, නවක භික්‍ෂූන් වහන්සේලාට භාවනා කමටහන් ලබා දෙමින්, අවවාද අනුශාසනා කරමින් උපකාර කළ අතර බොහෝ දෙනෙක් පෙර නොලැබූ අධිගම ද ලැබූහ. වස් තුන්මස අවසන්ව, වප්මස පුර පසලොස්වක පොහෝ දින, පවාරණ දිනය එළඹිණි. භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ භික්‍ෂූන් පිරිවරා එළිමහනේ වැඩ හුන් අතර, වස් තුන්මස භික්‍ෂූන් වහන්සේලාගේ භාවනා ප්‍රතිපදාව පිළිබඳ සතුටු සිත් ඇති බවත්, එදින වස් පවාරණය නොකර තවත් මාසයක් එහිම වැඩ සිටීමට තීරණය කළ බවත් වදාළ සේක. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට අවවාද කළේ, ‘නොපැමිණි අර්හත් ඵලයට පැමිණීම පිණිස, අධිගත නොකළ ඵලය අධිගමනය පිණිස, පසක් නොකළ නිවන පසක් කිරීම පිණිස විශේෂයෙන් වීර්ය ආරම්භ කරන ලෙස’යි.

          ඒ අනුව භික්‍ෂූන් වහන්සේලා ඉතිරි මාසය ද එහි ම වාසය කරමින් භාවනා ප්‍රතිපදාවේ යෙදුණු අතර මහ තෙරුන් වහන්සේලා තව තවත් උනන්දුවෙන් තරුණ, නවක භික්‍ෂූන් වහන්සේලාට භාවනා උපදෙස් ලබා දුන්හ. එයින් බොහෝ දෙනෙක් පෙර නොපැමිණි අධිගමයන්ට පැමිණියහ.

          ඉල් මහ පසලොස්වක දින රාත්‍රියේ භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන එළිමහනෙහි වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිස අමතා භික්‍ෂූන් වහන්සේලා පිළිබඳ උදාර ප්‍රශංසාවක් කළ සේක. ඒ පිරිසේ උතුම් අර්හත්වයට පත් වූ, අනාගාමී ඵලයට පත් වූ, සකදාගාමී ඵලයට පත් වූ, සෝතාපන්න වූ භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටින බව පැවසූහ. සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රධන් වීර්ය, සතර ඍද්ධිපාද, පඤ්ච ඉන්‍ද්‍රිය, පඤ්ච බල, සප්ත බොධ්‍යඩ්ග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම වඩන භික්‍ෂූන් සිටින බව පැවසූහ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහාර භාවනා වඩන භික්‍ෂූන් වහන්සේලා ද, අසුභ භාවනාව ද, අනිත්‍ය සංඥාව ද වඩන භික්‍ෂූන් වහන්සේලා ද සිටින බව පැවසූ සේක.

          ඒ සියල්ල පැවසූ භාග්‍යවතුන් වහන්සේ නැවත, ඒ පිරිසේ ආනාපානසතිය වඩන භික්‍ෂූන් වහන්සේලා සිටින බව ද පැවසූහ. එසේ පවසා, භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසතිය මහත්ඵල මහානිසංස වන බව පැවසූ සේක.

          ‘භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසති භාවනාවෙන් සතර සතිපට්ඨානය පරිපූරණය වේ. සතර සතිපට්ඨානය භාවිත බහුලීකෘත කිරීමෙන් සප්ත බොධ්‍යඩ්ගධර්මයන් පරිපූරණය වේ. සප්ත බොධ්‍යඩ්ග ධර්මයන් භාවිත බහුලීකෘත කිරීමෙන් විද්‍යාවිමුක්ති සංඛ්‍යාත නිර්වාණය පරිපූරණය වේ.’

          ආනාපානසති භාවනාව නම් සියල්ලටම මුදුන්පත් භාවනාවකි. බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා විසින් අත් නොහළ භාවනාවකි. නිවන දක්වාම දිවෙන භාවනා කර්මස්ථානයකි. එබැවින් සෑම සියලු දෙනාම උනන්දුවෙන් උගෙනගෙන වැඩිය යුතු වේ.

          මෙසේ ආනාපානසති භාවනාවේ ආනිසංස දැක්වූ බුදුරජාණන් වහන්සේ ආනාපානසතිය වඩන ආකාරය පිළිවෙලට විස්තර කිරීම ඇරඹූ සේක. ඒ අනුව මහා සතිපට්ඨාන සූත්‍රය ආදී ආනාපානසතිය දැක්වෙන වෙනත් සූත්‍ර වල මෙන්ම භාවනාව ආරම්භ කරන ආකාරය මෙසේ වදාළ සේක.

          “ඉධ භික්ඛවෙ, භික්ඛු, අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා, නිසීදති පල්ලඩ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සෝ සතෝව අස්සසති. සතෝ පස්සසති.”

          ‘මහණෙනි, මේ සසුනෙහි භික්‍ෂුව වනසෙනසුනකට ගියේ හෝ වේවා, රුක්මුලකට ගියේ හෝ වේවා, ශූන්‍යාගාරයකට ගියේ හෝ වේවා, පලඟක් බැඳගෙන, කය ඍජු කොට තබාගෙන, සිහිය කමටහනට අභිමුඛ කරගෙන එළවා හිඳගනී. සිහි ඇතිවම ආශ්වාස කරයි, සිහි ඇතිවම ප්‍රශ්වාස කරයි’

          මෙහි දී ‘අරඤ්ඤගතෝ වා …’ යනාදි ආකාරයෙන් භාවනාවට සුදුසු පරිසරය පිළිබඳ වදාළහ. ඒ පිළිබඳව ඉහත ලිපි වලින් පැහැදිලි කරන ලදී. මෙම භාවනාවේ දී සෙසු භාවනාවල මෙන් නොව විශේෂයෙන් භාවනා ඉරියව්වක් ‘නිසීදති පල්ලඩ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය’ යනුවෙන් වදාළ සේක. ඒ අනුව පලඟක් බැඳගෙන, උඩු කය ඍජුව තබාගැනීම වැදගත් වේ. මෙහි දී වරදවා ධර්මයට අර්ථකථන දෙන සමහරෙක් අසන්නේ ‘උජුං කායං’ කියා ඇති බැවින් මුලු කයම ඍජුව තබාගත යුතු නොවේ ද යනුයි. එහෙත් ‘නිසීදති පල්ලඩ්කං ආභුජිත්වා’ යැයි කියන බැවින් පළමුව හිඳගත යුතුයි. එවිට මුලු කයම ඍජු කරගැනීමේ ක්‍රමයක් නැති බැවින් ඒ හිස් පැනයකි. පලඟක් බැඳගෙන හිඳගැනීම අපහසු අය පහසු ආකාරයකට හිඳගත යුතු වේ. භාවනාවට හිඳගන්නා ආකාරය ද ඉහත ලිපි වලින් දීර්ඝව විස්තර කරන ලදී. කෙසේ හෝ පහසු ආකාරයකට හිඳගෙන උඩු කය ඍජුව තබාගත යුතු වේ. සෑම කෙනෙකුගේම පිටකොන්දේ කොඳු ඇට දහඅටක් (18) ඇති අතර ඒ එකිනෙකක් එකිනෙකක් උඩින් සිටින ආකාරයට කොන්ද කෙලින් තබාගත් විට බොහෝ වේලාවක් භාවනාව කරගෙන යා හැකි වේ. එසේ නොවන විට සම, මස්, නහර තෙරපී වේදනා ඇති වේ. කොන්ද කෙලින් ඇති විට ඒ තෙරපීම් ඇති නොවී වේදනා නොමැති නිසාවෙන් සිත කර්මස්ථානයේ එකඟ වේ.

          මීළඟට වැදගත් වන්නේ ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’ යන්නයි. එයින් අදහස් වන්නේ සිහිය කර්මස්ථානාභිමුඛව තබාගත යුතු බවයි. ‘පරි’ යන්නෙන් පරිග්‍රහණය ද, ‘මුඛං’ යන්නෙන් නිර්ය්‍යාණය (ප්‍රතිපක්‍ෂ ධර්මයන් කෙරෙන් නික්මීම) ද, ‘සති’ යන්නෙන් එළවීම ද අදහස් වන බව පටිසම්භිදා මාර්ගයේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දේශනා කරන බැවින් ‘පරිග්‍රහණය කරන ලද නික්මීම ඇති සිහිය’ අදහස් වේ. කෙලෙසුන් කෙරෙන් නික්මීම සිදුවන්නේ කර්මස්ථානයක සිත වැඩීමෙනි. ඒ නිසා මින් අදහස් කරන ලද්දේ කර්මස්ථානයේ සිහිය තබාගැනීමයි. මෙය දම් සෙනෙවි සැරියුත් මා හිමියන්ගේ අර්ථ දැක්වීම බැවින් වෙනත් වැරදි අර්ථයන් ගතයුතු නොවේ.

          මේ අනුව කියන ලද ආකාරයෙන් භාවනාවට හිඳගන්නා තැනැත්තා තමන්ගේ භාවනා කමටහනට එළවාගත සිහිය අත නොහැර ‘සතෝව අස්සසති. සතෝ පස්සසති’ යැයි කියූ පරිදි සිහියෙන්ම ආශ්වාස කරයි. සිහියෙන්ම ප්‍රශ්වාස කරයි. මෙහි දී ආශ්වාස යනු හුස්ම ඉහළට ගැනීමයි. ප්‍රශ්වාස යනු හුස්ම පහළට හෙළීමයි. මේ පිළිබඳ වර්තමානයේ ඇතැමෙක් විකෘති අර්ථ දැක්වීම් ද කරති. ‘අස්සසති, පස්සසති’ යන වචන කෙලෙස් දුරු කිරීම පිළිබඳ වචන බව පවසති. ඒ සියල්ල ධර්මය වරදවා අල්ලාගත් අයගේ අර්ථදැක්වීම් බව සිතට ගතයුතු වේ. ඒ කිසිවක් ත්‍රිපිටකයට අනුකූල නොවේ. භාවනා මාර්ගයට ද අනුකූල නොවේ.

          මේ අනුව සිහියෙන් යුතුව ම තමන්ගේ ආශ්වාස හා ප්‍රාශ්වාස වෙත සිත එළවා තබාගැනීම ආනාපානසතිය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ පළමු ඉගැන්වීමයි. එහි දී සිහිය එළවා තබාගැනීම පහසු වීමට නාසිකාග්‍ර කෙළවර සිත තබාගෙන එහි ගැටෙන හුස්ම රැල්ල මෙනෙහි කරන්න. පළමුව හුස්ම රැල්ල ගැටීම හොඳින් ප්‍රකට නොවිය හැකිය. එහෙත් නාසිකා අග කෙළවර සිත තබාගෙන හුස්ම ඉහළට ගන්නා විට ‘ගනිමි’ යනුවෙන් ද, පහළට හෙළන විට ‘හෙළමි’ යැයි ද සිහි කළ හැකිය. එවිට සිහිය වැඩි වී හුස්ම රැල්ල ප්‍රකටව දැනෙන්නට පටන් ගනී.

          මෙහි දී අවධානය යොමු කළයුතු විශේෂ කරුණු පිළිබඳ මීළඟ ලිපියෙන් පැහැදිලි කරනු ලැබේ.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...