Friday, November 13, 2020

සසරක තතු – අට්‌ඨිපුඤ්‌ජ සූත්‍රය

 

සසරක තතු – අට්‌ඨිපුඤ්‌ජ සූත්‍රය

සසරක තතු – අට්‌ඨිපුඤ්‌ජ සූත්‍රය

හැල්මේ දුවන අපගේ එදිනෙදා ජීවිත දෙසට එක් මොහොතක් හෝ එබී බලා තිබේද? උපන් දා පටන් කවර මොහොතක හෝ මේ ජීවිත කතාව නිමාවන තෙක්, අතරක් නෑර හටගනිමින් නැතිව යන සිතිවිලි සමුදායක නිමග්න වී සසර මං මුලාවකට පත්ව ඇති බවක් නොහැගුන බව නම් සත්‍යකි.මෙළොව එළිය දකින මොනයම් සත්වයකු හෝ වේවා, මෙළොවට පැමිණි මොහොතේ පටන් ආත්ම දෘෂ්ට්යෙන් යුතුව හිස් වූ ලෝකයක් ග්‍රහණය කරගන්නා අයුරු එයින් මිදුණා වූ උත්තමයකුට හැර පුහුදුන් මනසකට නොවැටහෙන කාරණකි.

මනුෂ්‍යන් වශයෙන් ගත් කළ අප අපගේ ජීවිතය හා බද්ධව පවතින අචේතනික වස්තු සම්භාරයන් හා අපගේ ඇටමිදුළු දක්වා කාවැදී පවතින දෙමාපිය, දූ දරු   ඥාතී ආදී සම්බධතා මමායනය කිරීමටත් ඒවා රැක ගැනීම වෙනුවෙන් කලහැකි ඕනෑම පහත් ක්‍රියාවක් වුව ද කිරීමට පෙළෙඹෙන්නේ ද මතු දැක්වූ සාංසාරික මුලාවේ ප්‍රතිඵලයක් ලෙසිනි.

මේ ආකාරයෙන් තමාගේ ජීවිතය, ආදරය, වංශය, කුලය, ගෝත්‍රය, රැකියාව, දේපල ආදී වූ සෑම දෙයක්ම කරපින්නා ගත් මනුෂ්‍ය සත්වයා ද සදාකාලික ජීවිතයක් ලද්දේ යැයි, හඟිමින් මෙකී සසරක අනාථභාවයට ඇද වැටී සිටී.

එහෙත් යථාර්ථය නම්; තෙරක් නොපෙනෙන මේ අනවරාග්‍ර සංසාරයට ඒ අවිද්‍යාවෙන් පීඩිත වූ ජීවිත කතාව තවත් එක් භවයක් පමණි. එනම් කාලයේ වැලිතලාවෙන් වැසී ගියා වූ අනාදිමත් සසර ගමන තුළ අප සෑම කෙනෙක්ම මේ විඳින්නා වූ සෑම දුකක් ද සතුටක් ද අත්විඳ ඇති භවයන් ගණන අනන්තවත්බවයි.

එහෙත් භවයක ආරම්භය සනිටුහන් වන්නේ පූර්ව භවයේ සංසිද්ධීන් හා ඒවායේ මතකයන් මෙන්ම අත්දැකීම් ද අකාමකා දමා වන බැවින් මෙලොව උපදින සත්වයාට තමා පෙර භවයේදී තමන් මියගිය බවක් හෝ මියගිය ආකාරයක් පුහුදුන් මනසකට ප්‍රකට නොවේ. එබැවින් ලද නවජීවිතයේ දී, පෙර භවයේ මෙන් නොමැරෙන්නවුන් සේ තණ්හා පොදි බඳිමින් සංසාරයේ අගාධයටම ඇදී යයි.

මෙලෙස සසර සැරිසරන සත්වයාගේ මේ අනවරාග්‍ර ගමනෙහි ඇති භයංකාර භාවයත්, එති ඇති දූරභාවයත් මොනවට ගෙනහැර පාමින් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ “අට්‌ඨි පුඤ්‌ජ” සූත්‍රය දේශනා කල සේක, ඒ කෙසේද යත්;

“එකපුග්‌ගලස්‌ස, භික්‌ඛවෙ, කප්‌පං සන්‌ධාවතො සංසරතො සියා එවං මහා අට්‌ඨිකඞ්‌කලො අට්‌ඨිපුඤ්‌ජො අට්‌ඨිරාසි යථායං වෙපුල්‌ලො පබ්‌බතො සචෙ සංහාරකො අස්‌ස, සම්‌භතඤ්‌ච න විනස්‌සෙය්‍යා’’ති.

“මහණෙනි, මහා කල්පයක් තුළ සසර ඇවිදින්නා වූ, ඒ ඒ භවයෙහි හැසිරෙන්නා වූ සත්‍වයකුගේ ඇටගොඩ, අස්ථිපුඤ්ජය, ඇටරැස ඉදින් එක් රැස් කරණ ලද්දේ නො නැසී පවත්නේ නම්, එය මේ වෙපුල්ල පර්‍වතය සෙයින් මහත් වන්නේ ය.”

ඒ මේ වේපුල්ල පර්වතය නම් මගධ රට ගිජුකුළු පව්වට උතුරින් පිහිටි රජගහනුවර පිරිවරා සිටින කඳු පහ අතරින් මහත් වූ පර්වතයයි. සර්වඥාතා ඤාණයකින් හැර මේ කාරණය මේ විශ්වධාතුවේ අන් කවරෙකුට නම් ප්‍රකට වන්නේද ? ලෝකයට බුදුවරයන් වහන්සේලා පහල වන්නේ මෙකී කාරණා මතුකර දීමටත් සසර ගමනට නැවැත්මක් තැබීමටත් ය.

ඉදින් මතු සඳහන් සූත්‍ර දේශනාවට අනුව මොහොතක් සිත බලන විට පෙනී යන කාරණය නම් අප අපගේ ජීවිත තුල පත්ව ඇති මුලාවෙහි මහත් බවය. අනෙක් අතට අපට අපගේ කියා කවරෙකුට අයිතිවාසිකමක් කිව හැකිද යන ප්‍රශ්නය පැන නගී. සෑම භවයකම ගොඩ නගාගත් මස් ගොඩත්, ඇටකටු ගොඩකත් මේ මහ පොළොවට යටකර පස් බවට පත් වෙන්නට දී තවත් එවන් මස්ගොඩක් ඇටකටු ගොඩක් කරා ඇදී ගියා නොවේ දැයි තම තමන් විසින්ම විමසිය යුතු කාරණයකි. තවද කිසිකලෙක නොසන්සිදෙන කාමයන් පසුපස දුවන්නවුන් හටද දිවා රෑ වෙහෙසමින් වස්තු සම්භාරයන් පොදිබඳින්නාවූවන් හටද එවන් කටයුතු මඳකට නවතා, “තමා කරමින් සිටින්නේ කුමක්ද ?” යන්න ආවර්ජනය කිරීමටත් මේ සූත්‍ර දේශනාව මහෝපකාරී වේ.

ඉදින්; මේ, භයංකර වූ ද, දුක්ඛ දායකවූ ද නිරර්ථක වූ ද ගමනෙහි යථා තතු පෙන්වා වදාරන භාග්‍යවතුන් වහන්සේ, එහි නොසිදී පැවැත්මට හේතු වත්; එහි නිමාවක් දකින ආකාරයත් දේශනා කරමින්;

“යම් කලෙක පටන් පුද්ගල තෙමේ දුක ය, දුක ඉපදීමට හේතුවය, දුක් නැති කිරීමය, දුක් නැති කිරීමේ මාර්‍ගය යන ආර්‍ය්‍ය සත්‍යයන් සම්‍යක්ප්‍ර‍ඥාවෙන් දකී ද, හෙතෙමේ සත් වරක් හිම් කොට (භවයෙහි) ඔබ මොබ හැසිර සියලු සඤ්ඤෝජනයන් ක්‍ෂය කිරීමෙන් දුක් කෙළවර කරන්නේ වෙයි.” යනුවෙන් දේශනා කරන සේක.

ඒ අනුව; මේ චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ නොකිරීම, යන කාරණයම දුක්ඛස්කන්ධයාගේ නොසිඳී පැවැත්මයි. එබැවින්; අති දිර්ඝ වූ කාලයකින් හමුවුණ මේ දුර්ලභ බුද්ධ සාසනය අත් නොහැර නිවන් මඟට පිළිපන් පුද්ගලයකු වීමට නොපමාව කටයුතු සම්පාදනය කර ගැනීම උචිතය.

තව නොබෝ කලෙකින් මේ නිර්මල දහම වියැකී යනු ඇත. එවිට ඉස්මතු වන්නේ අධර්මය ය. එය තුලින් තව තවත් සත්වයා මේ සංසාරයටම ඇද දමනු ලබයි. ඉදින් කරුණු හරිහැටි නොදත් අඳබාල ජනයා කුසල් යයි හඟමින් අකුසලයම සමාදන් වී දුගති ගාමී වීම ඒකාන්තය. ඒ හේතුවෙන් මතු බුද්ධ ශාසනයකදී හෝ පිරූ පාරමිතාවකින් නිර්වාණාවබෝධයට තිබෙන මාහැඟි අවස්ථාවක් ගිලිහී යනු ඇත. තවදුරටත් මේ සංසාරයේ තවත් එක් ඇටසැකිලි ගොඩ ගසන්නෙක් බවට පත්වනු නොඅනුමානයි.

කරුණුඑසේ හෙයින් සාංසාරික වශයෙන් තම තමන් පත්ව ඇති අසරණ භාවයත්, අනාථ භාවයත් දැන එයින් මිදීමටත් නැතහොත් ඒ ගමනට නිමාවක් තැබීමටත් මේ නාථකරණ ධර්මය පිටිවහලක් කර ගනිත් වා !!!

සම්පාදක
නවමැදගම ඉන්ද්‍රසාර හිමි

පරිගණක අකුරු සැකසුම
පණ්ඩුක නෙළුවල මහතා

Galigamuwe Gnanadeepa Thero

 


Na Uyane Ariyadhamma Thero

 


Thursday, November 12, 2020

බුද්ධානුස්සති භාවනාව – 15 කොටස

 

45. බුද්ධානුස්සති භාවනාව – 15 කොටස

45. බුද්ධානුස්සති භාවනාව – 15 කොටස

බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘සුගත’ ගුණය පිළිබඳ මෙම ලිපියෙන් දැක්වේ.

සුගත ගුණ භාවනාව

අප සරණගිය ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ ‘සුගත’ නම් වන සේක. ඒ බුදුරජාණන් වහන්සේ ‘සුගත’ යැයි පවසන්නේ අර්ථ සතරකිනි.

1. ශෝභන ගමන් ඇති හෙයින් ‘සුගත’ නම් වන සේක. (සොභන ගමනත්තා)

2. සොඳුරු වූ නිර්වාණයට වැඩමකළ බැවින් ‘සුගත’ නම් වන සේක. (සුන්දරං ඨානං ගතත්තා)


3. නිසි පිළිවෙත් පිරීමෙන් නිර්වාණයට පැමිණි හෙයින් ‘සුගත’ නම් වන සේක. (සම්මා ගතත්තා)


4. මනා වචන කියන හෙයින් ‘සුගත’ නම් වන සේක. (සම්මා ගදත්තා)

ශෝභන ගමන් ඇති සේක

මෙහි ගමන යනුවෙන් අදහස් කරන්ගේ ආර්ය මාර්ගය වේ. එනම් භාග්‍යවතුන් වහන්සේ විසින් නිර්වාණයට පැමිණෙන ලද මාර්ගය යි. ඒ ආර්ය මාර්ගය නිවැරදි මාර්ගයක් බැවින් එහි බාධාවක් නැත. ගැටීමක් නැත. මුළා වීමක් නැත. එහි ගමන් ගන්නා තැනැත්තා උතුම් නිර්වාණය කරා පැමිණෙන බැවින් සියලු අනර්ථයන් දුරු කරමින් එසේ ම ලෝකෝත්තර සම්පත්තීන් උදාපත් කරගනිමින් ගමන් කරයි. එබැවින් ඒ ආර්ය මාර්ගය සොඳුරු වේ.

භාග්‍යවතුන් වහන්සේ සෙසු ශාස්තෘන් වහන්සේලා මෙන් වැරදි මාර්ගයේ ගමන් කළේ නොවෙයි. තමන් වැරදි මාර්ගයක ගමන් කරමින් වැරදි ප්‍රතිපදාවක් පූරණය කරමින් තමන් නොපැමිණි නිවණක් අන් අයට පෙන්වා දුන්නේ නොවේ. තමන් නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සෙසු අයට ද ඒ නිවැරදි මාර්ගය කියා දුන් සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ නිරවද්‍ය වූ ආර්ය මාර්ගයෙන් සියලු අනර්ථයන් දුරු කරමින් සියලු ලෝකෝත්තර සම්පත් පුරුදු කරමින් උතුම් වූ නිර්වාණයට වැඩි හෙයින් ‘සුගත’ නම් වන සේක.

සොඳුරු වූ නිර්වාණයට වැඩි සේක

නිර්වාණය සොඳුරු ස්ථානයක් වේ. එහෙයින් එය අමෘත නිර්වාණය යනුවෙන් ද හැඳින්වේ. ‘මත’ යනු මරණයට පත් වූ බවයි. ‘අමත’ යනු නොමැරෙන බවයි. නිර්වාණය මරණයෙන් තොර බැවින් ‘අමත’ යැයි හැඳින්වේ. මරණය පමණක් නොව සියලු දුක්ඛස්කන්ධයන්ගෙන් තොර ස්ථානයක් බැවින් නිර්වාණය සොඳුරු ස්ථානයක් වේ.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අසුන්දර වූ දුක්ඛ සංස්කාරයන්ගේ පැවතීමක් නොමැති වූ අත්‍යන්තයෙන් සැප ඇති හෙයින් ඒකාන්තයෙන් සුන්දර නම් වූ නිවනට පැමිණි හෙයින් ‘සුගත’ නම් වන සේක.

මනා පිළිවෙතින් නිවනට වැඩි සේක

තථාගතයන් වහන්සේ විසින් සෙසු ශාස්තෘන් මෙන් වැරදි මාර්ගයේ ගමන් කළේ නොවේ. නිවනට පැමිණීම පිණිස ඇති නිවැරදි ම මාර්ගයේ නිවැරදි ම පිළිවෙත් පුරමින් වැඩි සේක. සෙසු ශාස්තෘන් මෙන් කෙලෙස් අප්‍රහීණව තිබිය දී කෙලෙස් ප්‍රහීණ යැයි නොම වදාළ සේක. සෝතාපත්ති මාර්ගාදි ඒ ඒ මාර්ගයෙන් යම් යම් කෙලෙස් ප්‍රහීණ කරන ලද්දේ ද ඒ කෙලෙස් කරා නැවත නොපැමිණෙමින් අර්හත්වය දක්වා ම වැඩි සේක. මෙසේ ඒ ඒ ප්‍රහීණ කෙලෙසුන් යළි නොම උපදවන්නා වූ මනා පිළිවෙතින් නිවන කරා වැඩි හෙයින් ‘සුගත’ නම් වන සේක.

තව ද ඒ තථාගතයන් වහන්සේ දීපඩ්කර පාද මූලයේ නියත විවරණ ලැබීමේ පටන් බෝ මැඩ දක්වා සමතිංස පාරමී පුරමින් මනා පිළිවෙතින්, ශාස්වත-උච්ඡේද යන දෘෂ්ටීන්ට නොපැමිණෙමින්, කාමසුඛල්ලිකානුයෝගය-අත්තකිලමතානුයෝග යන මේ අන්තද්වයට නොපැමිණෙමින් නිර්වාණයට වැඩි සේක. මෙසේ මධ්‍යම ප්‍රතිපදාව නමැති මනා පිළිවෙතින් නිවන කරා වැඩි හෙයින් ද ‘සුගත’ නම් වන සේක.
මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ නිසි පිළිවෙත් පිරුමෙන් උතුම් නිර්වාණයට වැඩි හෙයින් ‘සුගත’ නම් වන සේක.

මනා වචන කියන සේක

ඒ භාග්‍යවතුන් වහන්සේ සුදුසු තැන ම සුදුසු වචනයක් ම වදාරණ සේක. මජ්ක්‍ධිමනිකායේ අභයරාජකුමාර සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සුදුසු වචනයක් ම සුදුසු ස්ථානයේ ම වදාරණ බව මෙසේ වදාළ සේක.

“තථාගතයන් වහන්සේ අර්ථයක් නැත්තා වූ, අර්ථය අන් ලෙසකින් විද්‍යමාන වූ, මෙලොව පරලොව අනර්ථයෙන් යුක්ත වූ, යම් වචනයක් දනී ද, ඒ වචනය අන් අයට අප්‍රිය අමනාප වූයේ ද (සිල්වතෙකුට දුසිල්වතෙක් යැයි චෝදනා කිරීම වැනි) ඒ වචන තථාගතයන් වහන්සේ නො කියන සේක.

එසේ ම තථාගතයන් වහන්සේ අර්ථයක් ඇත්තා වූ, අර්ථය ඒ ආකාරයෙන් ම විද්‍යමාන වූ, මෙලොව පරලොව අනර්ථයෙන් යුක්ත වූ, යම් වචනයක් දනී ද, ඒ වචනය අන් අයට අප්‍රිය අමනාප වූයේ ද (දුසිල්වතෙකුට දුසිල්වතෙක් යැයි නොමනා ලෙස චෝදනා කිරීම වැනි) ඒ වචන තථාගතයන් වහන්සේ නො කියන සේක.

එසේ ම තථාගතයන් වහන්සේ අර්ථයක් ඇත්තා වූ, අර්ථය ඒ ආකාරයෙන් ම විද්‍යමාන වූ, මෙලොව පරලොව අර්ථයෙන් යුක්ත වූ, යම් වචනයක් දනී ද, ඒ වචනය අන් අයට අප්‍රිය අමනාප වූයේ ද, (දෙව්දත් අපායගාමී වන්නේය යනාදි ලෙස කියන) ඒ වචන කීමට තථාගතයන් වහන්සේ සුදුසු කල් දනී.

එසේ ම තථාගතයන් වහන්සේ අර්ථයක් නැත්තා වූ, අර්ථය අන් ලෙසකින් විද්‍යමාන වූ, මෙලොව පරලොව අනර්ථයෙන් යුක්ත වූ, යම් වචනයක් දනී ද, ඒ වචනය අන් අයට ප්‍රිය මනාප වූයේ ද (වේදය පිළිගන්නා අයට ප්‍රාණඝාතාදියෙන් සුගතිගාමී විය හැකි යැයි කීම බඳු වූ) ඒ වචන තථාගතයන් වහන්සේ නො කියන සේක.

එසේ ම තථාගතයන් වහන්සේ අර්ථයක් ඇත්තා වූ, අර්ථය ඒ ආකාරයෙන් ම විද්‍යමාන වූ, එහෙත් මෙලොව පරලොව අනර්ථයෙන් යුක්ත වූ, යම් වචනයක් දනී ද, ඒ වචනය අන් අයට ප්‍රිය මනාප වූයේ ද (පිසුණාවාචා කීම වැනි) ඒ වචන තථාගතයන් වහන්සේ නො කියන සේක.

එසේ ම තථාගතයන් වහන්සේ අර්ථයක් ඇත්තා වූ, අර්ථය ඒ ආකාරයෙන් ම විද්‍යමාන වූ, මෙලොව පරලොව අර්ථයෙන් යුක්ත වූ, යම් වචනයක් දනී ද, ඒ වචනය අන් අයට අප්‍රිය අමනාප වූයේ ද, (සුදුසු ස්ථානයේ දාන ශීලාදි කථා කිරීම වැනි) ඒ වචන කීමට තථාගතයන් වහන්සේ සුදුසු කල් දනී.”

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ සර්වාකාරයෙන් වාග් දුශ්චරිතයන් දුරු කොට භූත වූ, තථ්‍ය වූ, මෙලොව පරලොව අර්ථ සහිත වූ දෙයක් ම මැනවින් කියන බැවින් ‘සුගත’ නම් වන සේක යැයි මෙසේ ‘සුගත’ ගුණය වැඩිය යුතු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Na Uyane Ariyadhamma Thero


 

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...