Friday, October 30, 2020

බෞද්ධයාගේ අත්පොත මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.


ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි පිළිපැදිය යුතු අන්දම

නිවන් ලැබීමට ඇත්තා වූ එක ම නොවරදින මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ය. නිවන් පසක් කරනු කැමති සත්පුරුෂයන් විසින් කල්‍යාණ මිත්‍ර‍යන් වූ බුදුවරයන් බුද්ධ ශ්‍රාවකයන් ඇසුරු කොට, පින් පව් හා පින් පව්වල විපාක හැඳින ගත යුතු ය. චතුරාර්ය සත්‍ය ධර්මය සැකෙවින් මුත් උගත යුතු ය. එසේ කර ගැනීම පළමුවන මාර්ගාඞ්ගය වූ සම්‍යග් දෘෂ්ටිය ඇති කර ගැනීමය. (චතුරාර්ය සත්‍යය මැනවින් දනු කැමැත්තෝ මෙම කතෘන් වහන්සේගේ ම චතුරාර්ය සත්‍යය පොත බලත්වා!)

ඉක්බිති දෙවන මාර්ගාංගය සම්පූර්ණ කරනු පිණිස කාමයන් හළ යුතු ය. කාමයන් හැර දැමීම නම් ගිහි ගෙයින් නික්ම පැවිදි වීම ය. එක වරට ම සියලු කාමයන් නො හැරිය හැකි පින්වතුන් විසින් පෙහෙවස් සමාදන් වීම් ආදියෙන් නෛෂ්ක්‍ර‍ම්‍යය පුරුදු කළ යුතු ය. නෛෂ්ක්‍ර‍ම්‍යයෙන් ලෝභය දුරුවේ. ද්වේෂය දුරු වනු පිණිස සකල සත්ත්වයනට මෙත් වැඩීම ද, දුඃඛිත සත්ත්වයනට කරුණා කිරීම ද පුරුදු කළ යුතු ය. එසේ කිරීමෙන් සම්‍යක් සංකල්ප මාර්ගාඞ්ගය පිරේ.

ඉක්බිති වචනයෙන් සිදු වන පව් සතර හැර වාක් කර්මය ද කයින් සිදුවන පව් තුන හැර කාය කර්මය ද පිරිසිදු කර ගත යුතු ය. දිවි පැවැත්වීමට පව්කම් නො කොට ආජීවය පිරිසිදු කර ගත යුතුය. එසේ කිරීමෙන් සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යගාජීවය යන අංග තුන පිරේ. සිද්ධාර්ථකුමාරයන් වහන්සේ ද ගිහිගෙන් නික්ම පැවිදිව එසේ කළ බව -

පබ්බජිත්වාන කායෙන - පාපකම්මං විවජ්ජයි

වචීදුච්චරිතං හිත්වා - ආජීවං පරිසොධයි

යනුවෙන් දක්වා තිබේ. පැවිදි ව කයින් කරන පව්කම් හලෙමි. වාක් දුශ්චරිතය හැර ආජීවය පිරිසිදු කළෙමි යනු එහි තේරුම ය.

කාමයන් හැර සිල් රක්නා සත්පුරුෂයා විසින් පව් නො කිරීම නිසා කොතරම් අමාරුකම් ඇති වුවත් ඒවා ඉවසමින් මහත් වූ වීර්‍ය්‍යයෙන් ශීලය රක්ෂා කළ යුතු ය. පව් හැර ජීවත්වන්නහුට සමහර විට ආහාර පානාදිය දුර්ලභ විය හැකි ය. එසේ වූ කල්හි සාගින්න ඉවසිය යුතුය. පිපාසාව ඉවසිය යුතු ය. කොතරම් නීරස ආහාරයක් වුව ද වැළඳීමට මැළි නො විය යුතු ය. භික්ෂුවක් නම් වැස්සේ තෙමෙමින් වුව ද පිඬු සිඟා ගැනීමට මැළි නො විය යුතු ය. පහසුව සඳහා පාපයක් නො කළ යුතු ය. එසේ වීර්යයෙන් ශීලය රක්ෂා කිරීම ද වත පිළිවෙත කිරීම ද භාවනාවෙහි යෙදීම ද සම්‍යග් ව්‍යායාමය පිරීම ය.

නිවන් සොයන තැනැත්තා විසින් සිල් රැකීමෙන් ම නො නැවතිය යුතුය. පෘථග්ජනයාගේ ශීලය ස්ථිර වූවක් නො වේ. පෘථග්ජනයා කාමයන් හැර පැවිදිව කොතරම් උග්‍ර‍ තපස් ඇතියකු වුව ද නැවත පස්කම් සුව විඳින්නකු විය හැකි ය. දුශ්ශීලයකු විය හැකිය. එබැවින් සිල් රකිමින් ම මතු නූපදනා පරිදි කෙලෙසුන් නැති කිරීම සඳහා කළ යුතු වැඩවල වහ වහා යෙදිය යුතු ය. මතු ඇති නොවන පරිදි කෙලෙසුන් නැසිය හැක්කේ ලෝකෝත්තර මාර්ගය ඇති කර ගැනීමෙනි. ලෝකෝත්තර මාර්ගය ඇති කර ගනු පිණිස කර්මස්ථාන දායක ආචාර්යවරයකුගේ උපදෙස් පිට භාවනාවෙහි යෙදිය යුතු ය. සතිපට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් සම්‍යක් ස්මෘති මාර්ගාඞ්ගය පිරේ.

සතිපට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් දීර්ඝ කාලයක් නානාරම්මණයන්හි වික්ෂිප්ත ව පැවැත්තා වූ සිත බොහෝ දුරට සන්සිඳීමට පැමිණේ. ඉන්පසු සමාධිය දියුණු කරමින් ප්‍ර‍ථමධ්‍යාන සමාධිය, ද්විතීයධ්‍යාන සමාධිය, තෘතීයධ්‍යාන සමාධිය, චතුර්ථධ්‍යාන සමාධිය යන සමාධීන් අතුරෙන් එක් සමාධියක් හෝ සියල්ල ම හෝ උපදවා සම්‍යක් සමාධිය සම්පූර්ණ කළ යුතු ය. සතිපට්ඨාන හා සමාධි වැඩීම ලෙහෙසියෙන් කළ හැකි නොවේ. සැප විඳීමේ ආශාව හා අධික නින්ද ද හැර මහන්සි නො බලා භාවනාවෙහි යෙදෙන්නා හට සම්‍යක් සමාධිය පිරේ.

මෙසේ ඒ ඒ මාර්ගාංග වෙන් වෙන් ව වඩා විදර්ශනා භාවනාවෙහි ක්‍ර‍මානුකූල ව යෙදෙන්නා වූ තැනැත්තාට මාර්ගාංග වැඩී සියලු ම මාර්ගාංග එක විට ම ලෝකෝත්තරත්වයෙන් පහළ වන්නා වූ අවස්ථාවක් පැමිණේ. එසේ පළමුවර පහළවීම සෝවාන් වීමය. දෙවන වර පහළවීම සකෘදාගාමී වීම ය. තුන්වන වර පහළවීම අනාගාමී වීම ය. සතර වන වර පහළවීම රහත් වීම ය. රහත්වීම නිවන් ලැබීම සඳහා පුරන ප්‍ර‍තිපත්තියේ අවසානය ය.

ආර්ය අෂ්ටාංගික මාර්ගය සංක්ෂේප කළහොත් ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍ර‍ඥාස්කන්ධය යන මේ ස්කන්ධ තුන වේ. සම්‍යග්වචනය සම්‍යක්කර්මාන්තය සම්‍යගාජීවය යන මාර්ගාංග තුන සීලස්කන්ධයට ඇතුළු වේ. සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය යන මේ තුන සමාධිස්කන්ධයට ඇතුළු වේ. සම්‍යග් දෘෂ්ටිය සම්‍යක් සංකල්පය යන දෙක ප්‍ර‍ඥාස්කන්ධයට ඇතුළු වේ.

දුර්ලභ කරුණු පසක්

භික්ඛවෙ, අප්පමාදෙන සම්පාදෙථ, දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං, දුල්ලභො මනුස්සත්ත පටිලාභො, දුල්ලභා ඛණ්සම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මසවණං

මේ බුදුන්වහන්සේ දිනපතා ම කරන අනුශාසනයකි. එහි තේරුම මෙසේ ය. මහණෙනි, අප්‍ර‍මාදයෙන් යුක්ත වව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය. මිනිසත් බව ලැබීම දුර්ලභ ය. ක්ෂණ සම්පත්තිය දුර්ලභ ය. ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍ර‍වණය දුර්ලභ ය.

ලොව්තුරා බුදුවීම ලෝකයෙහි ඇති වැඩවලින් සියල්ලට ම වඩා දුෂ්කර දෙය ය. බුදු බව ලැබිය හැක්ක් පුත්‍ර‍දාරාවන් හා ධනය ද ශරීරාවයවයන් ද ජීවිතය ද පරිත්‍යාග කරමින් ඉතාම අඩු ගණනින් සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමට සමත් කෙනකුන් විසින් ය. එබඳු පුද්ගලයන් ලෝකයෙහි සුලභ නොවන බැවින් සමහර විට කල්ප කෝටි ගණනකිනුදු ලෝකයෙහි බුදුවරයෙක් පහල නො වේ. එබැවින් බුද්ධෝත්පාදය දුර්ලභ ය.

අපායයෝ වනාහි පින් කිරීමට ඉඩ නැත්තා වූ ස්ථානයෝ ය. අපායෙහි උපන් සත්ත්වයාට පින් කිරීම පිළිබඳ නුවණක් ද ඇති නොවේ. එබැවින් අපායට ගිය සත්ත්වයා එහිදී ද පව්කම් ම කොට නැවත නැවතත් අපායෙහි ම උපදන්නේ ය. වරක් අපායට ගිය සත්ත්වයකුට නැවත මිනිසකු වන්නට ලැබෙන්නේ ඉතා දීර්ඝ කාලයකිනි. මිනිසත් බැව්හි දුර්ලභත්වය තථාගතයන් වහන්සේ විසින් උපමාවකින් වදාරා තිබෙන්නේ මෙසේ ය.

මහණෙනි, පුරුෂයෙක් එක් සිදුරක් ඇති වියදඬු කඩක් මහ මුහුදට දමන්නේ ය. සමුද්‍ර‍ගත වූ වියදඬුව නැගෙනහිරින් එන සුළඟින් බස්නාහිරට ගෙන යනු ලබයි. බස්නාහිරින් එන සුළඟින් නැගෙනහිරට ගෙන යනු ලබයි. උතුරෙන් එන සුළඟින් දකුණට ගෙන යනු ලබයි. දකුණින් එන සුළඟින් උතුරට ගෙන යනු ලබයි. සමුද්‍රයෙහි වෙසෙන කණකැස්බෑවෙක් ද වර්ෂ සියයකට වරක් මුහුදු දියෙන් අහසට හිස දිගු කරයි. මහණෙනි, කිමෙක් ද, ඒ කණකැස්බෑවා ගේ හිස අර වියදඬු සිදුරට ඇතුළු වේ ද? මෙසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් විචාළ සේක. එකල්හි භික්ෂූහු ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දීර්ඝ කාලයක් ගතවන කල්හි එය සිදුවන්නට ද ඉඩ තිබේ ය යි සැලකළෝ ය. එකල භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් මහණෙනි, කණකැස්බෑවාගේ හිස ඉක්මනින් විය සිදුරට ඇතුළු වන්නේ ය. පව්කම් කොට වරක් අපායට ගිය බාලයා හට මිනිස් ලොවට පැමිණීම එයට වඩා දුර්ලභ වන්නේ ය යි වදාළ සේක. මිනිසත් බැව්හි දුර්ලභත්වය ඒ දේශනාවෙන් දත යුතු ය.

සත්ත්වයනට පින් කිරීමට සර්වාකාරයෙන් ම අවකාශ නො ලැබෙන්නා වූ ද පින් කිරීමට දුෂ්කර වූ ද කල් අටක් ඇත්තේ ය. සසර සැරිසරන සත්ත්වයනට බොහෝ සෙයින් සිදුවන්නේ පින් කිරීමට දුෂ්කර අවස්ථාවලට හසු වී සිටීමට ය. ක්ෂණසම්පත්තියයි කියනුයේ පින් කිරීමට දුෂ්කර අවස්ථා අටෙන් අන්‍ය වූ අවස්ථාවට ය. එය ලැබෙන්නේ කලාතුරකිනි. නොකල් අට මතු දක්වනු ලැබේ.

බුදුසස්නෙහි පැවිද්ද ලැබිය හැක්කේ බුද්ධෝත්පාදය ය, මිනිස් බව ය, ක්ෂණසම්පත්තිය යන දුර්ලභ කරුණු තුන ම ලද තැනැත්තාට ය. ඒ තුන ම ලද ද පැවිද්දට සිත නැමෙන්නේ ඉතා ම ටික දෙනකුගේ ය. එබැවින් පැවිද්ද දුර්ලභ දෙයකි.

තථාගතයන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය බුද්ධෝත්පාද කාලයෙහි ම මිස අන් කලෙක අසන්නට නො ලැබෙන්නේ ය. දුර්ලභ වූ බුද්ධෝත්පාදය හා මිනිසත්බව ලැබූ සැමට ම දහම් අසන්නට නො ලැබේ. අද ලෝකයෙහි දහම් අසන්නට නො ලබන්නෝ බොහෝ ය. ලදත් නො අසන්නෝ ම බොහෝ ය. ධර්මය ආදරයෙන් අසන්නෝ ඉතා ම ටික දෙනෙකි. එබැවින් සද්ධර්මය ශ්‍ර‍වණය දුර්ලභය යි වදාළ සේක.

බුද්ධානුස්සති භාවනාව – 5 කොටස

 

බුද්ධානුස්සති භාවනාව – 5 කොටස

35. බුද්ධානුස්සති භාවනාව – 5 කොටස

විස්තර වශයෙන් බුද්ධානුස්මෘති භාවනාව වඩන තැනැත්තා එකිනෙක බුදුගුණය පිළිබඳ අවබෝධය ඇති කරගෙන ඒ එකිනෙක වෙන වෙන ම ගෙන භාවනා කළ යුතු වේ. ඒ අනුව ‘අරහං’ බුදුගුණය විස්තරාත්මකව වැඩීම සිදු කළ තැනැත්තා අනතුරුව ‘සම්මාසම්බුද්ධ’ ගුණය වැඩීම කළ යුතු වේ.

සම්මාසම්බුද්ධ ගුණය

අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ ‘සම්මාසම්බුද්ධ’ නම් වන සේක. උන්වහන්සේ ‘සම්මාසම්බුද්ධ’ යැයි හඳුන්වන හේතු කිහිපයක් භාවනා කිරීම උදෙසා හඳුනාගත හැකි වේ.

1. විශේෂයෙන් දත යුතු සියලු ධර්මයන් පරෝපදේශ රහිතව තමන් වහන්සේ ම මනාකොට දත් හෙයින් ‘සම්මාසම්බුද්ධ’ නම් වන සේක.
2. දුක්‍ඛ සත්‍යය පිරිසිඳ දත් හෙයින් ‘සම්මාසම්බුද්ධ’ නම් වන සේක.
3. සමුදය සත්‍යය ප්‍රහාණය කළ හෙයින් ‘සම්මාසම්බුද්ධ’ නම් වන සේක.
4. නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කළ හෙයින් ‘සම්මාසම්බුද්ධ’ නම් වන සේක.
5. මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩූ හෙයින් ‘සම්මාසම්බුද්ධ’ නම් වන සේක.
6. සංස්කාර, විකාර, ලක්‍ෂණ, ප්‍රඥප්ති, නිර්වාණ යන පඤ්චවිධ ඥෙය මණ්ඩලය පරෝපදේශ රහිතව තමන් වහන්සේ ම අවබෝධ කළ හෙයින් ‘සම්මාසම්බුද්ධ’ නම් වන සේක.

මෙයට අමතරව අභිධර්ම පිටකයේ පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණයේ ‘බලෙසු ච වසීභාවං’ යනුවෙන් තථාගතයන් වහන්සේට වශීභාවයට පත් දශබල ඥාණයන් ඇති හෙයන් ද උන්වහන්සේ ‘සම්මාසම්බුද්ධ’ නම් වන බව සඳහන් වේ. ඒ සියල්ල පිළිබඳ මෙහි දී කරුණු දැක්වීමක් අදහස් නොවන අතර පොත්පත් කියවීමෙන් දැනුම වැඩි කරගන්නේ නම් මැනවි.

විශේෂයෙන් දත යුතු සියලු ධර්මයන් පරෝපදේශ රහිතව තමන් වහන්සේ ම මනාකොට දත් සේක

සියලු කෙලෙසුන් නසා උතුම් අර්හත්වයට පත් වීම උදෙසා විශේෂයෙන් දත යුතු ධර්ම සමුදායක් ඇත්තේ ය. ඒවා ‘අභිඤ්ඤෙය්‍ය ධර්ම’ නම් වේ. ඒ ඒ ධර්මයේ ලක්‍ෂණ වශයෙන්, රසය හෙවත් කෘත්‍යය වශයෙන්, ප්‍රත්‍යුපස්ථාන හෙවත් වැටහෙන ආකාරය වශයෙන් සහ පදට්ඨානය හෙවත් ආසන්නත ම හේතුව වශයෙන් අවබෝධ කර ගැනීම විශිෂ්ඨ ඥාණයෙන් අවබෝධ කිරීම නම් වේ. එසේ අවබෝධ කරගත යුතු ධර්ම නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් වේ.

නිර්වාණාවබෝධය කරගන්නා සෑම පුද්ගලයෙක් ම මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිති. එහෙත් බුදුවරයන් වහන්සේලා සහ පසේ බුදුවරයන් වහන්සේලා හැර සෙස්සෝ ඒ ධර්මයන් අවබෝධ කරගන්නේ වෙනත් කෙනෙකුගෙන් අසා දැනගැනීමෙන් වේ. ඒනිසා ඔවුහු අවබෝධ කරගත් අය යන අර්ථයෙන් ‘බුද්ධ’ නම් වෙති. එහෙත් බුදුවරයන් වහන්සේලා හා පසේබුදුවරයන් වහන්සේලා වෙන කෙනෙකුගෙන් අසා දැනගැනීමකින් තොරව තමන් වහන්සේ ම මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නා බැවින් ‘සම්බුද්ධ’ නම් වේ. ඒ අතරින් ද පසේබුදුවරයන් වහන්සේලා චතුරාර්යසත්‍යය සියල්ලෙන් සියල්ල අවබෝධ කර නොගනිති. එහෙත් ලොව්තුරා බුදුවරයන් වහන්සේලා සියල්ලෙන් සියල්ල අවබෝධ කර ගන්නා බැවින් ‘සම්මාසම්බුද්ධ’ නම් වෙති. එබැවින් මේ ‘සම්මාසම්බුද්ධ’ පදයේ නිරුක්තිය ‘සම්මා සාමඤ්ච සබ්බධම්මානං බුද්ධත්තා පන සම්මාසම්බුද්ධො’ යනුවෙන් සඳහන් වේ. ‘මැනවින් ම, තමන්වහන්සේ ම සියලු දත යුතු ධර්මයන් අවබෝධ කළ බැවින් සම්මාසම්බුද්ධ නම් වේ’ යනු එහි තේරුම යි.

අප භාග්‍යවතුන් වහන්සේ පෙර බුද්ධශාසනයන්හි පැවිදිව ගුණධර්ම පුරුදු පුහුණු කිරීම් වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අන් අයගෙන් අසා දැනගෙන ද ඇත. එහෙත් බුදු වූ අවසන් ආත්මභාවයේ දී අති දීර්ඝ කාලයක් පිරූ පාරමිතා බලයෙන් කිසිදු පුද්ගලයෙකුගේ ඉගැන්වීමක්, මඟ පෙන්වීමක් නොමැතිව තමන් වහන්සේ ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් සේක.

උන්වහන්සේ ඒ සියලු දත යුතු ධර්මයන් බුද්ධත්වයට පත් වන මොහොතට පෙර විදර්ශනා ප්‍රඥාවෙන් අවබෝධ කළ සේක. එසේ ම බුද්ධත්වයට පත් වන මොහොතේ අර්හත් මාර්ග ප්‍රඥාවෙන් අවබෝධ කළ සේක. ඉන් මත්තෙහි සර්වඥතාඥානාදීන්ගෙන් ද දැනගත් සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ‘දත යුතු සියලු ධර්මයන් පරෝපදේශ රහිතව තමන් වහන්සේ ම මනාකොට දැනගත් හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක’ යැයි ‘සම්මාසම්බුද්ධ’ ගුණය වැඩිය යුතු වේ.

දුක්‍ඛ සත්‍යය පිරිසිඳ දත් සේක

විශිෂ්ඨ ඥානයෙන් දත යුතු චතුරාර්ය සත්‍ය ධර්මයන් අතරින් දුක්‍ඛාර්ය සත්‍යය අනිත්‍යාදි ලක්‍ෂණ වශයෙන් පිරිසිඳ දත යුතු වේ. එනම් කෙටියෙන් ම කියන්නේ නම් පඤ්ච උපාදානස්කන්‍ධයෝ යි. සියලු කෙලෙසුන් නසා නිර්වාණාධිගමය කිරීම පිණිස සියලු පඤ්ච උපාදානස්කන්‍ධයන් ම පිරිසිඳ දත යුතු වේ.

පඨවි, ආපො, තෙජො, වායො යන සතරමහා භූත රූප සහ සෙසු උපාදාය රූප සූවිස්ස රූපස්කන්‍ධය නම් වේ. සුඛ, දුක්‍ඛ, උපේක්‍ෂා යන වේදනාවෝ වේදනාස්කන්‍ධය යි. රූප සංඥා ආදි සංඥාවෝ සංඥාස්කන්‍ධය යි. චේතනාව ප්‍රමුඛ සියලු සෙසු සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධය යි. සිත විඥානස්කන්‍ධය යි. මේ සියලු ධර්මයන් පීළන, සංඛත, සන්තාප, විපරිණාම යන අර්ථයන්ගෙන් දුක්ඛ ස්වභාව ඇත්තෝ වෙති. මේ රූපාදි ධර්මයන් නිරන්තරයෙන් සත්ත්වයන් පෙළීමට පත් කරන බැවින් පීලනාර්ථයෙන් දුක්‍ඛාර්ය සත්‍යය කි. ඒ සියලු ධර්මයන් හේතූන්ගෙන් හටගන්නා බැවින් සහ ඒ හේතු සම්පාදනය නොකළහොත් පවත්වාගත නොහැකි බැවින් සංඛතාර්ථයෙන් දුක්‍ඛාර්ය සත්‍යය කි. නිරන්තරයෙන් මේ රූපාදිය හේතුවෙන් සත්ත්වයන් තැවීමට පත් වේ. එහෙයින් සන්තාපාර්ථයෙන් දුක්‍ඛාර්ය සත්‍යයක් වේ. ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස් වීමට භාජනය වන බැවින් විපරිණාම අර්ථයෙන් දුක්‍ඛාර්ය සත්‍යයක් වේ. මෙසේ දුක්‍ඛාර්ය සත්‍යයක් වන ඒ සියලු ධර්මයන් පිරිසිඳ දත යුතු ධර්මයන් වන අතර භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ල නුවණින් පිරිසිඳ දත් සේක. ඒ සියල්ල ඒකාන්තයෙන් දුක්‍ඛාර්ය සත්‍යයක් ම බව අවබෝධ කොට වදාළ සේක.
මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ‘දුක්‍ඛාර්ය සත්‍යය පිරිසිඳ දත් හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක’ යැයි ‘සම්මාසම්බුද්ධ’ ගුණය වැඩිය යුතු වේ.

සමුදය සත්‍යය ප්‍රහාණය කළ සේක

පඤ්ච උපාදානස්කන්‍ධය ඒකාන්ත දුකක් යැයි අවබෝධ කොට වදාළ තථාගතයන් වහන්සේ ඒ දුක්‍ඛ සත්‍යය ඇති වන හේතුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ත්‍රිවිධාකාර තෘෂ්ණාව බව අවබෝධ කළ සේක.

නැවත නැවතත් කැමති කැමති රූප දැකීම් කැමති කැමති ශබ්ද ඇසීම් ආදි කම් සැප විඳීමට ඇති කැමැත්ත කාම තණ්හාව නම් වේ. එසේ කම් සැප විඳීම උදෙසා මෙලෝ වශයෙන් සත්ත්වයා නොයෙකුත් කටයුතු කරයි. එසේම පරලෝ වශයෙන් දිව්‍ය, මනුෂ්‍යාදි සුගති ලෝකවල ඉපිද කම්සැප විඳීමට බලාපොරොත්තු වේ. ඒ කාම තෘෂ්ණාව හේතුවෙන් සත්ත්වයා මරණයට පත්ව නැවතත් උපතක් හිමි කර ගනී. මෙසේ තෘෂ්ණාව නිසාවෙන් නොසිඳෙන සංසාර ප්‍රවෘත්තිය පවතී.

භවතණ්හාව නම් ශාස්වත දෘෂ්ටිසහගත රාගය යි. එනම් ලෝකය ශාස්වත යැයි, සදාකල් පවතී යැයි විපරීත දෘෂ්ටියෙන් යුතුව ඇති කරගත් රාගය යි. විභවතණ්හාව නම් මරණින් මතු උපතක් නැත යන උච්ඡේද දෘෂ්ටිසහගත රාගය යි.

තථාගතයන් වහන්සේ මේ සියලු ආකාර තෘෂ්ණාව විසින් පඤ්චස්කන්‍ධ සංඛ්‍යාත දුක්‍ඛස්කන්‍ධය නැවත නැවත රැස් කරවන, උපදවන, මවන බැවින් ආයූහනාර්ථයෙන් දුක්‍ඛසමුදයාර්ය සත්‍යය ලෙස අවබෝධ කළ සේක. වර්තමාන ස්කන්‍ධ පඤ්චකය බිඳී මරණය සිදු වනවාත් සමඟ ම අභිනව ස්කන්‍ධ පඤ්චකයක් ලබා දෙන බැවින් නිදානාර්ථයෙන් තෘෂ්ණාව දුක්‍ඛසමුදයාර්ය සත්‍යය ලෙස අවබෝධ කළ සේක. දුකින් මිදී නිර්වාණයට යා නොහැකි වන පරිද්දෙන් ස්කන්‍ධ පඤ්චකය සංඛ්‍යාත දුක්ඛයෙහි සත්වයා තදින් බැඳ තබන බැවින් සංයෝගාර්ථයෙන් තෘෂ්ණාව දුක්‍ඛසමුදයාර්ය සත්‍යය ලෙස අවබෝධ කළ සේක. නිවන පමුණුවන්නාවූ පිළිවෙත් පිරීමට බාධා කරන ප්‍රතිපත්තිය බිඳ හෙළන බැවින් පළිබෝධාර්ථයෙන් තෘෂ්ණාව දුක්‍ඛසමුදයාර්ය සත්‍යය ලෙස අවබෝධ කළ සේක. තථාගතයන් වහන්සේ බෝමැඩ දී අර්හත් මාර්ගඥානයෙන් මේ සියලු ආකාර තෘෂ්ණාව හෙවත් දුක්‍ඛසමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කොට වදාළ සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ‘දුක්‍ඛසමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කළ හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක’ යැයි ‘සම්මාසම්බුද්ධ’ ගුණය වැඩිය යුතු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Galigamuwe Gnanadeepa Thero

 


Na Uyane Ariyadhamma Thero: Pattana


 

Thursday, October 29, 2020

බුද්ධානුස්සති භාවනාව – 4 කොටස (‘අරහං’ බුදුගුණය වැඩීම 2)

 

 බුද්ධානුස්සති භාවනාව – 4 කොටස (‘අරහං’ බුදුගුණය වැඩීම 2)

34. බුද්ධානුස්සති භාවනාව – 4 කොටස  (‘අරහං’ බුදුගුණය වැඩීම 2)

බුද්ධානුස්සති භාවනාව විස්තර වශයෙන් වැඩීමේ දී එකිනෙක බුදුගුණය පිළිබඳ විස්තර සහිතව අවබෝධයක් ලබා සිටීම වැදගත් බව පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී. ඒ අනුව පළමු බුදුගුණය වන ‘අරහං’ බුදුගුණයේ අර්ථ 05 ක් ඇති බව දක්වා, ඉන් පළමු අර්ථ තුන පැහැදිලි කරන ලදී. ඉතිරි අර්ථද්වය මෙයින් විස්තර වේ.

සියලු පූජාවන් ලැබීමට සුදුසු වූ සේක

‘අරහං’ යන වචනයේ ‘සුදුසු’ යන තේරුමක් ඇත. එබැවින් තථාගතයන් වහන්සේට ‘අරහං’ යැයි කියන්නේ උන්වහන්සේ තුළ ඇති සුදුසු කමක් හේතුවෙනි. ඒ අනෙක් සුදුසු කමක් නොව ‘දක්‍ෂිණාව පිළිගැනීමටත්, පිළිගැන්වීමටත් සුදුසු බව’යි.

අනාගතයේ ලෞකික වූ ද, ලෝකෝත්තර වූ ද උසස් ඵල බලාපොරොත්තුවෙන් සැදැහැතියන් විසින් පූජා කරන චීවරාදි ප්‍රත්‍යය දක්‍ෂිණා නම් වේ. එසේ පූජා කරන දේ ලැබීමට සුදුසු පුද්ගලයා ‘දක්‍ෂිණාර්හ’ හෙවත් දක්‍ෂිණාවට සුදුසු තැනැත්තා යැයි කියනු ලැබේ. ‘දක්ඛිණෙය්‍ය’ යනු ද ඒ තේරුම ම ඇති පදයකි. මහාසංඝරත්නය ද දක්‍ඛිණෙය්‍ය ය. එහෙත් තථාගතයන් වහන්සේ ඒ සියලු දක්‍ඛිණ්‍යෙයයන් අභිබවා සාතිශය දක්‍ෂිණාර්හ භාවයකින් යුක්ත වේ. එහෙයින් ‘අරහං’ යැයි කියනු ලැබේ.

ඒ නිසාවෙන් ම බුදුකෙනෙකුන් පහළ වූ කල්හි මහේශාක්‍ය දෙව් මිනිසුන් අන් තැන්වල පූජා නොකොට බුදුරජාණන් වහන්සේ ම පුදති. අප ශාස්තෘ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ කල්හි සහම්පතී මහාබ්‍රහ්මයා මහාමේරුව තරම් විශාල වූ රුවන්දමකින් බුදුරජාණන් වහන්සේට පූජාවක් කළේය. බිම්බිසාර රජු, කොසොල් රජු, අනේපිඬු සිටු, විශාඛා මහෝපාසිකා ආදීහු ද කහවණු කෝටි ගණන් වියදම් කරමින් තථාගතයන් වහන්සේට පුද පූජා පැවැත්වූහ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි දඹදිව ධර්මාශෝක රජු කහවණු අනූ කෝටියක් ධනය වියදම් කොට මුළු දඹදිව සුවාසූ දහසක් විහාර පිහිටවීය. එබඳු පුද පූජාවනට ද සුදුසු වන බැවින් බුදුරජාණන් වහන්සේ ‘අරහං’ නම් වන සේක.

පූජාවනට සුදුසු පුද්ගලයන් අතරේ මව්පියන් ආදි තවත් අය සිටිය හැකිය. එහෙත් තථාගතයන් වහන්සේ ඒ සියලු දෙනා අතරින් අග්‍ර දක්‍ඛිණෙය්‍ය වන හෙයින් උන්වහන්සේට පූජා කළ නොහැකි දෙයක් නැත්තේය. සමහර පුද්ගලයන් අනෙක් කෙනෙකුට නොයෙක් දේ පූජා කළ ද තමාගේ ජීවිතයෙන් පූජාවක් කිරීම සිදු නොකරනවා විය හැකිය. එහෙත් බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිත පූජාවක් නමුත් කිරීමට නුවණැත්තෝ පසුබට නොවන්නේ උන්වහන්සේගේ ‘අරහං’ ගුණ මහිමය නිසා ය.

සුමනමාලාකාරයා බිම්බිසාර රජුට දිනපතා සමන්මල් නැළි අටක් සපයා දී කහවණු අටක් උපයා ගන්නා දුප්පත් පුද්ගලයෙකි. දිනක් බිම්බිසාර රජුට සමන්මල් රැගෙන යමින් නුවරට පිවිසි මොහොතේ භාග්‍යවතුන් වහන්සේ ද මහා භික්‍ෂුසංඝයා පිරිවරාගෙන ෂඞ්වර්ණ රශ්මිමාලා විසුරුවමින් මහත් බුද්ධානුභාවයෙන්, මහත් බුද්ධ ලීලාවෙන් රජගහනුවර පිඬු පිණිස පිවිසි සේක. දෙතිසක් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන්, අසූවක් අනුව්‍යඤ්ජන ලක්‍ෂණයන්ගෙන් හොබනා බුදුරජාණන් වහන්සේගේ ශරීර සෞභාග්‍යය දුටු සුමනමාලාකාරයා ‘භාග්‍යවතුන් වහන්සේට කිසියම් පූජාවක් කළයුතු’ යැයි පැහැදුණු සිතින් යුතු ව අන් කිසිදු පූජා ද්‍රව්‍යයක් නොමැති බැවින් තමන් අත ඇති මල්නැළි අට පූජා කිරීමට සිතුවේ ය. නැවත මෙසේ ද සිත් විය. ‘මේ මල් මම නිරතුරුව රජුට සපයන මල් වේ. මේ මල් බුදුරජාණන් වහන්සේට පූජා කිරීමෙන් රජුට මල් නොලැබීම නිසා මාව සිරගත කරන්නට හෝ, ඝාතනය කරන්නට හෝ රටින් නෙරපන්නට පුළුවනි’ යනුවෙනි. එහෙත් තථාගතයන් වහන්සේ වෙනුවෙන් කිසියම් පූජාවක් කිරීමේ සිතක් උපන් බැවින් නැවත ‘රජතුමා මාව සිරගත කරන්නේ නම් සිරගත කරාවා. ඝාතනය කරවන්නේ නම් එසේ වේවා. රටින් නෙරපන්නේ නම් එසේ වේවා. මේ මල් රජුට ගෙන ගිය ද මට ලැබෙන්නේ මේ ආත්මභාවයේ ජීවත් වීමට තරම් ධනයක් පමණි. බුදුරජාණන් වහන්සේට පූජා කිරීමෙන් මේ ආත්මයේ ජීවිතය නැති වුව ද නොයෙක් කල්ප කෝටි ගණනක් හිත සුව පිණිස පවතින්නේ ය’ යැයි මෙසේ සිතීය. එසේ සිතා තථාගතයන් වහන්සේට තමන්ගේ ජීවිතයෙන් පූජාවක් කරමින් මල් නැළි අට ම බුදුරජාණන් වහන්සේට පූජා කළේය. ඒ හේතුවෙන් එදිනම සුමනමාලාකාරයා, ඇතුන් අටදෙනෙක්, අශ්වයන් අටදෙනෙක්, දැසි දැස්සන් අටදෙනා බැගින්, කහවණු අටදහස බැගින් යනාදි වශයෙන් සියලු දේ අට අට බැගින් වන සබ්බට්ඨක නම් දානය රජු වෙතින් ලැබීය. මේ විපාකයෙන් ම අනාගතේ කල්ප ලක්‍ෂයක් ඇවෑමෙන් සුමන නම් පසේබුදු කෙනෙකුන් ව නිවන් අවබෝධ කරගන්නේ ද වන්නේයැ යි බුදුරජාණන් වහන්සේ වදාළහ.

මෙසේ සුමනමාලාකාරයා තථාගතයන් වහන්සේට ස්වකීය ජීවිතයෙන් පූජාවක් කළේ උන්වහන්සේ සියලු පූජාවන් ලැබීමට සුදුසු ‘අරහං’ ගුණයෙන් සමන්වාගත වන බැවිනි.

එබැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘සියලු පූජාවන්ට සුදුසු වූ හෙයින් අරහං නම් වන සේක’ යැයි අරහං ගුණය වැඩිය යුතු වේ.

රහසින්වත් පව් නොකරන සේක

ලෝකයේ නුවණැති යැයි සිතන සමහර අඳබාල කෙනෙක් අකීර්තියට බියෙන් අන් අයට රහසින් පව්කම් කරති. තථාගතයන් වහන්සේ එසේ රහසින් හෝ පව්කම් නොකරන බැවින් ‘පාපකරණෙ රහාභාවතොපි අරහං’ යන ක්‍රමයෙන් ද ‘අරහං’ යැයි කියනු ලැබේ.

තථාගතයන් වහන්සේ බෝමැඩ දී උතුම් සම්බුද්ධත්වයට පැමිණීමේ දී ම සියලුම පව් කිරීමේ හේතුව ප්‍රහීණ කළ සේක. ඒ නිසාවෙන් ලෝකයේ රහසින් පව් කරන පුද්ගලයන් සිටිය ද බුදුරජාණන් වහන්සේ එවන් කිසිදු පවක් නොකරන සේක. තථාගතයන් වහන්සේ ඉෂ්ට-අනිෂ්ට දෙයෙහි කම්පා නොවන ස්වභාවය ඇත්තේය. එසේ අකම්පිත වන තථාගතයන් වහන්සේ රහසින් වත් කිසිදු පවක් නොකරන සේක.

මෙම ‘රහසින්වත් පව් නොකරන බව’ යන අර්ථය පිළිබඳ වර්තමානයේ සමහර කෙනෙක් රුචි නොවෙති. බුදුරජාණන් වහන්සේගේ ගුණයක් ලෙස එසේ පැවසීම යුතු නොවේ යැයි ඔවුන්ගේ අදහසයි. එහෙත් ඒ මෙම ගුණය පිළිබඳ නියමාකාර අවබෝධයක් නොමැති බැවිනි.

බුදුරජාණන් වහන්සේ බෝමැඩ දී සම්බුද්ධත්වයට පත් වීමත් සමඟ සියලු පව් කිරීමේ හේතූන් නැසූ බැවින් එය නැවතත් පැවසීම අයුක්ති සහගත නොවේ. මෙම ගුණයෙන් ප්‍රකට කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අර්හත් මාර්ගඥානයම වේ. ඒ අර්හත් මාර්ගඥානයට පත් වූ තැන් පටන් කිසිදු ආකාරයේ පවක් සිදු නොවේ. එය සැබෑ තත්වයකි. මේ ලෝකයේ අපි රහත් යැයි කියාගන්නා ඇතමෙක් රහසින් පව්කම් කරති. ඔවුන්ගේ සැබෑ රහත් බවක් නැති බැවිනි. භාග්‍යවතුන් වහන්සේ සියලු පව් කිරීමේ හේතු අර්හත් මාර්ගයෙන් සිඳ දැමූ බැවින් රහසින්වත් කිසිදු පවක් නොකරන සේක.

මෙහි ‘රහෝ’ යනු රහසිගත බව අදහස් කරන වචනයකි. රහසිගතව නොමැති බව දැක්වෙන ‘න ූ රහ’ යන්නෙන් ‘අරහ’ යන පදය නිපදවේ.

එබැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘රහසින්වත් පව් නොකරන හෙයින් අරහං නම් වන සේක’ යැයි අරහං ගුණය වැඩිය යුතු වේ.

මෙසේ ‘අරහං’ ගුණය පිළිබඳ එකිනෙක කරුණ පිළිබඳ දී ඇති විස්තරය කියවා එකක් එකක් බැගින් භාවනාවට යොදාගත යුතු වේ. පළමුව පළමු කරුණ කියවා, අර්ථය වශයෙන් තේරුම් ගෙන ඉන්පසු ‘ඒ භාග්‍යවතුන් වහන්සේ සවාසන සකලක්ලේශයන්ගෙන් දුරින් ම දුරු වූ හෙයින් අරහං නම් වන සේක’ යැයි සිතෙන් මෙනෙහි කරමින් භාවනා කළයුතු යි. එසේ බොහෝ වේලා භාවනා කිරීමෙන් මේ අර්ථය හොඳින් සිතට වැටහෙන්නට පටන්ගනී. එවිට දෙවන කරුණ ගෙන මෙනෙහි කළයුතු වේ. දෙවන කරුණ ද හොඳින් වැටහෙන විට පළමු, දෙවන කරුණු දෙකම ගෙන මෙනෙහි කළයුතු වේ.

මෙසේ කරුණු පස ම මෙනෙහි කිරීම කළයුතු වේ. බොහෝ වාරයක් භාවනාව කිරීමෙන් අරහං ගුණය පිළිබඳ කරුණු පස ම හොඳින් වැටහෙනවා ඇත. එවිට ‘අරහං’ යන්න පමණක් සිහි කරන විට කරුණු සියල්ල සමෝධානය වී වැටහේ. එයින් අරහං ගුණය හොඳින් භාවනා කළා වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

සිංහල බණ කතා: ලෝහ භාජනයේ කථාව

 

ලෝහ භාජනයේ කථාව


(මෙසේ අසන්ට ලැබේ:) ජනපදයන්ට මුදුන්මල් කඩක් වැනි වූ සුරට්ඨජනපදයෙහි උපසිංහ නම් විහාරයක් විය. ඒ විහාරයෙහි එක්තරා රහත්නමක් සංඝයාගේ ආහාර දමන ලෝහ භාජනය[8] දිනපතා පිදීය. පසුකලක තෙරනම පිරිනිවෙන්ට ලංවූයේ භික්ෂූන් රැස්කරවා රහත් බව ප්‍ර‍කාශ කරමින් සිංහනාදයක් කෙළේය. (1) රත්නත්‍රයෙහි හෝ මාර්ගප්‍ර‍තිපදාවන්හි යෝ යමෙකුට සැකයක් තිබේ නම් මා විචාරනු මැනවැයි එතුමා කීය. (2) මාර්ග ප්‍ර‍තිපදාදියෙහි අපට සැකයක් නැත. එක් සැකයක් පමණක් අපට ඇත. (3) ඔබවහන්සේ චෛත්‍යයකට බුදු පිළිමයකට හෝ සර්වඥධාතුවකට හෝ නොපුදා සංඝයාගේ ලොහොබඳුනට පූජා කරන සේක. එයට හේතුව කුමක්දැයි විචාළාහ. (4) ඒ කීම ඇසූ මනාසේ මිදුණු රහත්නම ඒ කාරණය හෙළිකරමින් මෙසේ කීය: (5) පෙර මම ශ්‍ර‍ද්ධා නැති, පවට බිය නැති අනාර්යයෙක් වී ආරාමය බැලීම පිණිස උපසිංහ නම් විහාරයට පැමිණියෙමි. (6) ඒ පර්වතයට නැගී දන් වලඳන ශාලාව වෙත ගියෙමි. (7) එහි ගොස් සඟසතු වූ ඒ ශාලාවෙහි වටකුරු වූ බබළන්නා වූ තලියක් දුටිමි. (8) පවිටු සොරකම් ඇති ඒ මට ලොහොකැටයම් සහිත එය දුටු කෙණෙහි සොරකම් කරන සිතක් උපන්නේය. (9) එය සොරකමින් ගෙනයාම අපහසු සේ පෙනුණ බැවින් මහණ වී එය ගෙන යන්නෙමි යි සිතා (10) ඒ සොරසිතින් පැවිදි වෙස් ගත්තෙමි. එසේ කොටත් එය ගෙනයන්ට අවකාශයක් නොලදිමි. (11) මම ශ්‍ර‍ද්ධාවෙන් හෝ ප්‍රේමයෙන් උපසිංහ විහාරයට නොපැමිණියෙමි. ලෝභසහගත සිතින් ලෝහ භාජනය නිසා ආවෙමි. (12) ඒ භාජනය ගෙනයනු කැමති පවිටු අදහස් ඇතිව සොරෙකු වූ මට දහම් හැදෑරීමට හෝ භාවනාවෙහි යෙදීමට සිතක් නොවීය. (13) මෙසේ සැඟවී සිටි මා දුටු කාරුණික සිතැති මාගේ උපාධ්‍යායතෙමේ මා කැඳවාගෙන සිය ලෙණට ගියේය. (14) එහි පැමිණි එතුමා අස්නක හිඳගෙන ක්‍ර‍මයෙන් අවවාද කොට මා රහත්ඵලයට පැමිණ විය. (15) මට බුදුන් කෙරෙහි හෝ ධර්මය කෙරෙහි හෝ සංඝයා කෙරෙහි හෝ භක්තියක් නොවීය. මේ ලෝහභාජනය නිසා පැවිදි වීමි. (16) මට ශීලයෙහි හෝ ධ්‍යානභාවනාවෙහි හෝ සයනයෙහි හෝ වස්ත්‍රයෙහි හෝ ආහාරයෙහි හෝ භක්තියක් නොවීය. මේ ලෝහභාජනය නිසා පැවිදි වීමි. (18) එහෙයින් මම මේ ලොහොබඳුනට පූජා පවත්වමි. එය ගෙනයනු කැමතිව ආ මම ස්ථිර පිහිටීමකට පත්වීමි. (19) ලොහො බඳුන අරමුණු කොට මට මෙහි ඇලීමක් ඇතිවිය. මේ කාරණය සිහිපත් කරමින් මම මේ ලෝහභාජනයට පිදුවෙමි. (20) මෙසේ ආර්ය වූ ඒ පණ්ඩිත තෙමේ සියලු සැක දුරුකරවා ධර්ම ප්‍රීති ඇත්තන්ට ප්‍රිය වූ ධර්මය ප්‍ර‍කාශ කොට පිරිනිවියේය

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...