Friday, December 31, 2021

මහාකාලයාට වූ විපත



අත්තනා’ව කතං පාපං අත්තජං අත්තසම්භවං

අභිමත්‍ථති දුම්මෙධං වජිරං’වස්මමයං මණිං.

තමා කෙරෙන් ම ජනිත වූ, තමා කෙරෙන් ම උපන්නා වූ, තමා විසින් ම කරණ ලද්දා වූ අකුශල කර්‍මය තෙම (අකුශලකාරී වූ ඒ) අනුවණයා මඩනේ ය. (සිවු අවාහි ගලා දුක් දෙන්නේ ය.) (පාෂාණමය වූ පාෂාණයෙන් ම උපන්) විදුර තමහට උත්පත්තිස්ථාන වූ පාෂාණය (කා, සිදුරු විසිදුරු කොට, කඩ කොට) අපරිභෝගාර්‍හ කරන්නාක් මෙනි.

මහාකාල උපාසක තෙමේ නුවණැත්තේ සැදැහැ ඇත්තේ ය. ඔහු මාසයකට අට දිනක් පෙහෙවස් සමාදන් ව වෙහෙර ම නැවතී බණ අසයි. එ දවස එක් රැයෙක සොරු ගෙයක් බිඳ එහි වූ බඩු මුට්ටු පැහැර ගෙණ ගියහ. ලොහො බඳුන් එකට හැපීමෙන් හට ගත් හඩින් නැගී සිටි ගෙවැස්සන් විසින් ලුහු බඳිනා ලද සොරු, පැහැර ගත් බඩු ඒ ඒ තැන දමා පලා ගියහ. ගෙවැස්සෝ ද ඔවුන් නො හැර පසුපස දිවූහ. එහෙත් ඔවුහු හොරු අල්ලා ගැණීමෙහි අසමත් වූහ. හොරුන්ගෙන් එකෙක් වෙහෙර මගින් ගොස්, රෑ බණ අසා අවසන් කොට අලුයම එ තැනින් නැගිට ගොස් විල් ඉවුරක හිඳ මූණකට සේදු මහාකාල උපාසකයාගේ ඉදිරියෙහි සොරා ගත් බඩු මිටියක් හලා පැන ගියේ ය. සොරුන් පසුපස ආ මිනිස්සු ඒ බඩු මිටිය දැක, මහාකාල උපාසකයා අල්ලා “තෝ ඊයේ රෑ අපගේ ගේ බිඳ බඩු පැහැර ගෙන අවුත්, දැන් මෙහි උපාසකයකු සේ හැසිරෙති” යි උපාසකයාට තදින් පහර දුන්හ. උපාසක තෙමේ එතැන ම මළේ ය. උදෑසන පැන් ගෙණෙන්නට පොකුණට ගිය සාමණේරයෝ මහාකාලයාගේ මලකඳ දැක කම්පිත ව, “අයියෝ! වෙහෙර බණ අසා නිදා හුන් උපාසකයා මැරී වැටී සිටි, මේ මරණය අයුතු මරණයෙකැ” යි බුදුරජානන් වහන්සේට දැන් වූහ. එවිට උන්වහන්සේ “මේ අවස්ථාවේ හැටියට මේ මරණය අයුතු ය. පෙර කළ කම් ගැණ සිතත්, ඔහු ලැබූ මේ මරණය ඒ කර්‍මයෙක විපාක බැවින් අයුතු ය යි නො කියැකි ය” යි වදාළ විට භික්‍ෂූන් වහන්සේලා “ඒ කළ කම් වදාරණු මැනවැ” යි ඇයැද සිටියහ. 

බුදුරජානන් වහන්සේ; මහණෙනි! යටගිය දවස බරණැස් රජුට අයත් පිටිසර ගමක් අසල මහත් වනයෙක් විය. ඒ වනය ඇසුරු කොට සොරු ගම් පහරන්නට වූහ. එවිට බරණැස් රජ තෙමේ වනයට වදනා තැන වනදොරකඩ රාජභටයකු නැවැත් වූයේ ය. ඔහු කුලියට රෑ දාවල මිනිසුන් එ තෙර මෙ තෙර කරයි. මේ අතර එක් මිනිසෙක් හැඩ රුව ඇති තම බිරියත් කුඩා රියෙක නංවා ගෙණ, ඒ තැනට පැමිණියේ ය. එහි රැකවල සිටි රාජභට තෙමේ ඇය දැක ඇය කෙරෙහි ආලය කෙළේ ය. බිරියත් රියෙක නංවා ගෙණ එහි පැමිණි මිනිසා ඔහුට කතා කොට “රාළහාමි! අප මේ වනයෙන් එ තෙර කරවනු මැනවැ” යි කී කල්හි “දැන් ඔය තමුසේ කියන එක මේ රෑ මට කරන්නට නො හැකි ය. හෙට පාන් වු සැටියේ ම තමුසේලා කරදරයක් නො වන ලෙස එ තෙරට පමුණු වන්නෙමි” යි කී ය. එයින් සතුටට නො පත් මගියා “ඇයි, රාළහාමි! එසේ කියහි. යම්තම් රෑ වූ සැටියේ? මිනිසුන් එ තෙර කරන්නට තව කල් තිබෙනවා නො වේ ද? තව රෑ බෝ වී, නැත, කරුණා කරන්න රාළහාමි! අපට, අප ඉක්මනට යා යුතු ය. අපි කරත්තයකුත් ගෙණ ආවමෝ, ඉක්මනට යා යුතු ම නිසා ය. යමු රාළහාමි!” යි කීයේ ය. 

එවිට පොලිස් භට තෙමේ “ඇයි, ඔය තරම් හදිසියෙක්? දැන් මේ රෑ යන්නහු කුමක් කරන්නට? අපගේ ගෙයින් දෙදෙනාට ම කෑම ටිකක් ගත හැකි ය. රෑ එහි නවතින්නටත් පිළිවන, අපට අපහසුවෙක් නැතැ” යි කී ය. එහෙත් මගියා ඒ කිසිවකටත් කන් නො දුන්නේ ය. යන්නටම උත්සාහ කෙළේ ය, පොලිස් භටයා ඒ අතර ම සිය මෙහෙකරුවන් ලවා මගියා ආ කරත්තය ගොනුන් මුදා පසෙක තබ්බවා, මගියා නවතින්නට නො හැකි බව කියද්දී ම ඔහුට දොරකොටුවෙහි ඉන්නට සලසා දී රෑ කෑම ද පිළියෙල කරවී ය. 

පොලිහටයා අත මැණකෙක් තුබුනේ ය. ඔහු එය මගියාගේ රියෙහි නො පෙණෙන තැනෙක සඟවා තබා රෑ පහන් වූ කල්හි, රෑ සොරු ආ සැටියෙක් හැඟවී ය. මෙහෙකරුවෝ කලබල වූහ. ඔවුහු ගෙයි තුබූ මැණික සොයා බැලූහ. මැණික තුබූ තැන නො වී ය. එයින් වඩාත් කලබල වූ මෙහෙකරුවෝ මැණික සොයන්නෝ “රාළහාමි! මැණික නැත, අන් හැම එකක් තිබේ. නැත්තේ මැණික පමණැ” යි කීහ. පොලිස් භටයා වහා ගම්දොර රැකවල් තබා ගම තුළ සිට එන්නන්ගේ අතමිට ඉණ ඉහ පරීක්‍ෂා කරවු” යි නියම කළේ ය. මගියා ඉතා අලුයම නැගිට රියෙහි ගොනුන් බැඳගෙණ එ තැනින් නික්මිනි, ඒ වේලෙහි රැකවලෙහි සිටි මිනිස්සු ඔහු නවතා පළමු කොට අතමිට ඉණ ඉහ සොයා බලා නැවත රිය ද පරීක්‍ෂා කොට බැලුහ. මෑණික රියෙහි සඟවා තුබුනේය. ඔවුහු මැණික දැක “තෝ මැණික සොරා ගෙණ යෙහි” යි පහර දී අල්ලා මුලාදෑනියාට භාර කළහ. මුලාදෑනියා ද “ඊයේ රෑ මූට නවාතැන් හා බත් බුලත් දුන්නාට මූ කළ උපකාරය නරක ද, ඔය ජඩයා තළා පෙළා මරා දමවු” යි නියම කෙළේ ය, යි එය මෙසේ ප්‍රකාශ කළ සේක. 

මහා කාලයා කළ පූර්‍වකර්‍මය මෙසේ වදාළා වූ බුදුරජානන් වහන්සේ “මහණෙනි! ඔහු ද මැරී ගොස් අවීචියෙහි උපන, එහි පැසී ඉතිරි වූ පාපයෙන් ජාති සියයකදී ම පහර කා මරණයට පත් වීය. මෙ පරිද්දෙන් මේ ලෝකයෙහි හැම සත්ත්‍වයෙක් ම තමන් කළ පාපකර්‍මය නිසා සිවු අපායයෙහි ඉපිද විනාශයට පැමිණේ ය” යි මේ ධර්‍මදේශනාව කළ සේක. 

අත්තනා හි කතං පාපං අත්තජං අත්තසම්භවං, 

අභිමතන්ති දුම්මෙධං වජිරං වස්මමයං මණින්ති. 

තමා විසින් ම කළ තමා කෙරෙන් ම උපන් තමා කෙරෙන් ම හට ගත් පාපකර්‍මය තෙමේ පාෂාණමය වූ මැණික (කා දමන) විදුර මෙන් අඥානයා තදින් මැඩලයි. මිරිකාලයි

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...