Friday, July 30, 2021

තමන් ගැන සෙවීම


තමන් ගැන සෙවීම
අතුරුගිරිය සදහම් පදනමේ
අනුශාසක
ගලිගමුවේ ඤාණදීප හිමි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස ආරම්භ වෙන්නේ ඇසළ පුන් පොහෝ දවසක යි.

පස් වග භික්ෂූන් වහන්සේලාට ධම්මචක්ක දේශනාව අවසන් වෙද්දී කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ධර්මය අවබෝධ කිරීමත් සමඟම බුදුන් වහන්සේ ඒහි භික්ඛු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා දුන්නා. බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝයා ආරම්භ වුණේ එලෙස යි.

තුනුරුවන් සම්පූර්ණ වෙන්නේ ඇසළ පුන් පොහෝ දවසක යි. පස්වග භික්ෂූන් වහන්සේ ධර්මය අවබෝධ කිරීමත් සමඟ යස කුල පුත්‍රයා ඇතුළු යහළුවන් පනස් හතර දෙනෙක් පැමිණ මේ පිරිසට එකතු වෙනවා. බුදුන් වහන්සේ ඉසිපතන මිගදායේ මූලගන්ධ කුටි විහාරයේ ප්‍රථම වස් කාලය ගත කරනවා.

බුදුරජාණන් වහන්සේ ශික්ෂා පද පනවන්නේ බුද්ධත්වයට පත්ව, අවුරුදු විස්සකට පසුව යි. එතෙක් ශාසනය තුළ ශික්ෂා පද පැනවීමක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මුල් කාලයේ සමහර භික්ෂූන් වහන්සේ වස් කාලයේ එනම්, ඉන්දියාවේ මහා ධාරානිපාත වර්ෂාව එකදිගට ඇද හැලෙන මාස දෙක තුනක කාලයක්. ශ්‍රමණයන් වහන්සේලාත්, අන්‍ය තීර්ථකයන් අතරත් එනම්, සංජය බෙල්ලට්ඨි පුත්ත, පකුධකච්ඡායන, මක්ඛලී ගෝසාල ආදී නොයෙක් ෂඩ් ශාස්තෘවරු වටා සිටි පිරිස තම තමන්ගේ දර්ශන, මතවාද, පවසමින් මිනිසුන් අතර ඔවුන්ගේ ආගම් ප්‍රචාරය කර, වැසි මාස තුන එකතැනකට වී තම ආගමික මධ්‍යස්ථානවල ගත කරන පුරුද්දක් තිබෙනවා. නමුත් බුදුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ධර්ම ප්‍රචාරය කිරීම වස් කාලය තුළ සිද්ධ කළා. මේ කාලයට සම්පූර්ණයෙන් පාරවල් මඩවෙලා, පොළෝ තලයෙන් අලුත් තණකොළ වැඩී ඒ තුළින් සතුන් මතු වෙනවා. භික්ෂූන් වහන්සේ චාරිකාවේ වඩිනවිට ඇතැම් විට සතුන් මෙන් ම අලුත් තණකොළ පෑගෙනවා. ඇතැම් විට භික්ෂූන් වහන්සේ මඩ මත ඇද වැටෙමින් විවිධ අනතුරුවලට මුහුණ දුන්නා. ඒත් සමඟ ම අන්‍ය තීර්ථකයෝ එනම්, නිගණ්ඨනාථ පුත්තගේ දර්ශනයත් සමඟ ඔහු පැවසුවේ ගස් කොළන් වලට පවා පණ තිබෙන බව යි. ඔවුන් ගස් කොළන් හැඳින්වූවේ ඒක බීජී ප්‍රාණීන් ලෙස යි. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කරමින්, මේ ශ්‍රමණයෝ කිසිම කරුණාවක් නැතිව, වැස්ස කාලයට පොළොවෙන් මතුවන සතුන් පාගා සිරුරේ මඩ තවරාගෙන සිවුරේ මඩ ගාගෙන, පොළොවෙන් හට ගන්නා බීජ පාගාගෙන වඩිනවා යැ’යි බුද්ධ ශ්‍රාවක භික්ෂු පිරිසට නොයෙක් අපවාද නැඟුවා. මෙවැනි කාරණා සියල්ලක් නිසා බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙලෙස දේශනා කර වදාළා. ‘මහණෙනි, අනෙකුත් කාලයේ ධර්ම ප්‍රචාර කටයුතු සිද්ධ කර, වස් කාලයේ දී, එක තැනක , එක් ආරාමයක සිට, තම අධ්‍යාත්මික ගුණ ධර්ම පුරුදු කරගෙන ,සතර සතිපට්ඨාන වඩාගෙන, බණ භාවනා කරගෙන වස් කාලයේ, වස් සමාදන් ව කටයුතු කරන්න. මේ හේතුව මත බුදුන් වහන්සේ වස් කාලයේ ශික්ෂා පද දේශනා කර වදාළා.

බුදුන් වහන්සේ ප්‍රථම රහතන් වහන්සේ හැට නම ධර්ම ප්‍රචාරය පිණිස පිටත් කළා ‘චරථ භික්ඛවේ, චාරිකං - බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං’ යනුවෙන් බුදුන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාට හිත සුව පිණිස මේ ධර්මය ව්‍යාප්ත කරගෙන ගම් නියම් ගම් පුරා වඩින්නැ’යි හැට නමක් භික්ෂූන් වහන්සේ ධර්ම ප්‍රචාරයට පිටත් කර, බුදුන් වහන්සේ මිගදායේ සිට උරුවෙල් දනව්වට පිටත් වෙනවා. එහි යන අතර මඟ දී ‘කප්පාසික වනය’ යනුවෙන් හඳුන්වන වනාන්තරයක දී ‘තිංසවග්ගිය’ කුමාරවරු හමු වුණා.

මොවුන් කොසොල් රජතුමාගේ ඥාති සම්බන්ධයක් ඇති ඥාති කුමාරවරු තිස් දෙනෙක්. මේ අයගෙන් තරුණ වයසේ සිටි විසි නව දෙනෙකුට කුමාරිකාවන් සිටියා. එක් අයෙකුට පමණක් කුමාරිකාවක් නො සිටි බැවින් ඔහු මුදල් ගෙවා දින දෙක තුනකට තාවකාලික පෙම්වතියක් සොයාගෙන තිංසවග්ගිය කුමාරවරු තිස් දෙනාම කුමාරිකාවන් සමඟ දින දෙක තුනක් ම වනාන්තරයට පිවිස විනෝද වී, කෙලෙස් තුළ ජීවත් වුණා. මේ අය වනාන්තරයෙන් පිටතට එද්දී බොහොම සුන්දර පොකුණක් හමු වුණා. කුමාරවරුන් සමඟ කුමරියන් මෙහි දී දිය නාන්න සූදානම් වුණා. නමුත් කුලියට ගත් කුමාරිය නාන්න දියට බැස්සේ නැහැ. රාජකුමාරවරුන් සහ අනෙක් කුමරියන් විසි නවදෙනා තම ආභරණ ගලවා දමා දියට බැස පීන පීනා ස්නානය කළා. මේ මොහොතේ කුලියට ගත් කුමාරිය බිසෝ වරුන්ගේ ආභරණ සොරා ගෙන පැන ගියා. මෙහිදී කෝප වූ කුමාරවරු තිස්දෙනා තම කුමාරියන්ට නිවෙස් වලට යන්නැ’යි පවසා පැන ගිය කුමාරිය සොයා ඇවිද ගියා. මේ අතරේ බුදුන් වහන්සේ උරුවෙල් දනව්වට කප්පාසික වනය පසුකරමින් වැඩම කළා.

බුදුරජාණන් වහන්සේ දුර සිටම මේ කුමාරවරු තිස් දෙනාටම ධර්මය අවබෝධ කරන්න සමත් මහා පින්ඇති කුමාරවරු තිස් දෙනෙක් බව දුටුවා. ඒ නිසා කුමාරවරු පැමිණෙන මඟ ගසක් පාමුල බුදුන් වහන්සේ වැඩ සිටියා. කුමාරවරු තිස් දෙනා කැළය පීරාගෙන එද්දී බුදුන් වහන්සේ බව නො දැන , අන්න ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් වැඩ සිටිනවා යැ’යි පවසමින්, මේ උත්තමයාගෙන් කාන්තාවක් දුටුවාදැ’යි විමසුවා. ඒ මොහොතේ ඔවුන්ගේ පින මතු වන සේ බුදුන් වහන්සේ මෙලෙස වදාළා. ‘කාන්තාවක් ගැන සොයන්නේ නැති ව තමන් ගැන සොයා ගත්තොත් හොඳ නැද්දැ’යි වදාළා. ඒ මොහොතේ සසර පුරුද්දකට සේ, තමන් ගැන විමසා, යෝනිසෝමනසිකාරයේ යෙදී, තමන්ගේ ජීවිතය ගැන සසරේ හොඳට නුවණ පුරුදු කළ රාජ කුමාරවරු එකිනෙකා මුහුණින් මුහුණ බැලුවා. තමන් ගැන සොයන්න? ‘ස්වාමීනී, තමන් ගැන සොයන්නේ කෙසේ ද? කුමක්ද? මෙහි අර්ථය යනුවෙන් විමසුවා. බුදුන් වහන්සේගේ උපදෙසින් කුමාරවරු තිස් දෙනා ම එකත් පසව වාඩි වුණා. ඒ මොහොතේ බුදුන් වහන්සේ බොහොම ගාම්භීර ධර්මයක් දේශනා කර වදාළා.‘ඇස තුළින් බලන්න ‘මම’ ඉන්නවා ද? නුවණින් විමසා බලද්දී දකින්නට ලැබෙන්නේ ලෙඩවෙන, ජරාවට පත්වන, තුවාල හැදෙන, කුණු වී මැරී යන ඇසක්. මම, මගේ , මගේ ආත්මය යැ’යි මට අවශ්‍ය ලෙස පවත්වන්න පුළුවන්කමක් නැහැ. ‘කන’ තුළින් බලන්න ‘මම’ ඉන්නවා ද? විමසා යද්දී දකින්න ලැබෙන්නේ, ලෙඩවන, ජරාවට පත්වන, තුවාල හැදෙන , කුණු වී යන මැරී යන කනක්. හේතු නිසා හටගෙන හේතු වෙනස් වෙන විට වෙනස් ව යන ස්වභාවයක් තිබෙන්නේ. ඒ තුළත් ‘මම’ නැහැ. මම, මගේ යනුවෙන් පැවසුවාට මට අවශ්‍ය ලෙස පවත්වන්න බැහැ. නාසය , දිව, ශරීරය, මනස ආදී ආයතන හය තුළින් ම ‘මම’ ඉන්නවා ද? යනුවෙන් හොඳට තමන් තුළින් ම විමසා බලන්නැ’යි වදාළා. එවිට ඔබලාට දකින්න ලැබේවි, මේ තුළින් දකින්න ලැබෙන්නේ සතර මහා ධාතූන්ගෙන් හටගත්, දෙතිස් කුණුප කොටස් ගොඩක් බව යි. පස්වෙලා, ජරාවට පත්වන, තුවාල හැදෙන කුණු වෙන ශරීරයක්. මෙලෙස ගාම්භීර ධර්මය බුදුන් වහන්සේ දේශනා කර අවසන් වෙද්දී වැඳ නමස්කාර කර, බණ අසා සිටි රාජකුමාරවරු තිස් දෙනා ම මාර්ග ඵල ලැබුවා. කීප දෙනෙක් ම සෝවාන් මඟ ඵල, සකෘදාගාමී මඟ ඵල ලැබුවා. තවත් පිරිසක් අනාගාමී ඵලයට පත් වුණා. නමුත් මේ අතර කවුරුවත් රහත් වුණේ නැහැ.

- ජම්මික ප්‍රබෝධනී වැලිකල

 

ස්කන්ධ විදර්ශනාව: වියපත් දසුනක උරුමය

 


ස්කන්ධ විදර්ශනාව:

වියපත් දසුනක උරුමය
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය,
ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

සතිපට්ඨාන භාවනා ක්‍රමයෙහි භාවනා ක්‍රම පිළිබඳ ව මුල සිට ම සඳහන් කළා. සතිපට්ඨාන භාවනාවෙන් සිත පිරිසුදු කර ගැනීම ප්‍රධාන ආනිසංසය වෙයි. ඇඬීම, වැළපීම දුක් සංසිඳුවා ගන්නට පුළුවන්. එසේම කායික දුක, මානසික දුක සංසිඳුවා ගැනීමට, නිර්වාණ මාර්ගයට බැස ගැනීමට, නිර්වාණය අවබෝධයට, සතර සතිපට්ඨාන භාවනාව ඉවහල් වෙයි.

සිහි නුවණින් කටයුතු කිරීම සතිපට්ඨාන භාවනාව වෙයි. ඇවිදීම, සිට ගැනීම , වාඩි ව සිටීම සහ සැතපීම ආදී සතර ඉරියව්වෙහි ම සිහි නුවණින් වාසය කිරීම සතිපට්ඨානය වෙයි. එසේනම්, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාවේ නීවරණ පහ පිළිබඳව , ඒවා හට ගන්නා ආකාරය, නැතිවන ආකාරය පිළිබඳව ද පෙර ලිපි මඟින් සඳහන් වුණා.

අද සඳහන් කරන්නේ ධම්මානුපස්සනාවේ ස්කන්ධ විදර්ශනාව පිළිබඳව යි. ස්කන්ධ යනු ‘ගොඩ’ යන අදහස යි. අපේ ශරීරයේ ගොඩවල් පහක් තිබෙනවා. එය පංච උපාදානස්ඛන්ධය නම් වෙයි. මෙම නාමයට ඇතුළත් වන්නේ අල්ලා ගැනීමේ කොටස් පහකි. රූප උපාදානස්ඛන්ධය, වේදනා උපාදානස්ඛන්ධය, සංඥා උපාදානස්ඛන්ධය, සංඛාර උපාදානස්ඛන්ධය, විඤ්ඤාණ උපාදානස්ඛන්ධය යනුවෙන් කොටස් පහකට බෙදා දක්වයි. ඒ පංච උපාදානස්ඛන්ධය සිහි නුවණින් යුතුව මෙනෙහි කළ යුතු යි. පංච උපාදානස්ඛන්ධය ගැන දැනීම වැඩිකර ගත යුතු යි.

මෙම කියමන අනුන් ගැන නො වෙයි, තම ‘ශරීර කූඩුව’ ගැනම යි. ස්කන්ධ ගැන මනා වැටහීමක් තිබිය යුතු යි. ශරීර කූඩුවට තවත් නමක් වන්නේ ‘ස්කන්ධ’ නාමය යි. භාවනා කරන යෝගියා නැවත ද රූපස්ඛන්ධ ආදී පංචවිධ උපාදානස්ඛන්ධයන් කෙරෙහි ධම්මානුපස්සීව නොහොත් ධර්මයට අනුව බලමින් වාසය කරනවා. ඒ පංචඋපාදානස්ඛන්ධයන් කෙරෙහි ස්කන්ධානුකූලව තමන්ගේ සිත යොමුකරගෙන බැලිය යුතු යි. රූපය පිළිබඳ ව, රූපය හට ගැනීම, රූපය නැතිවීම ආදී ක්‍රම බැලිය යුතු යි. එසේම ඉතිරි කොටස් හතරේ ද අධ්‍යාත්මිකව හෝ බාහිර ව පංචස්ඛන්ධයන් පිළිබඳ ව හොඳට නුවණින් බලමින් වාසය කළ යුතු යි. අනුන් පිළිබඳ ව පංචස්ඛන්ධයන් කෙරෙහි හෝ ඒ ස්කන්ධ ධර්මයන් අනුව බලමින් වාසය කළ යුතු යි.

තමන් පිළිබඳවත් අනුන් පිළිබඳවත් පංච උපාදානස්ඛන්ධයන් කෙරෙහි සිත පිහිටුවා ගැනීමෙන් වාසය කිරීම ස්කන්ධ භාවනාව යි. ඇතිවීම, නැතිවීම අනුව බලමින් වාසය කිරීම ස්කන්ධ විදර්ශනා භාවනාව නම් වෙයි. එය සාමාන්‍ය දෙයක් ලෙස නො සලකා ගැඹුරු කොටසක් බව තේරුම් ගත යුතු යි. තමන්ගේ ශරීරය ගැන වුව ද මෙලෙස සඳහන් කරන්නේ බොහොම ගැඹුරු කොටසක් ගැන යි. භාවනාවට යොමු වූ යෝගීන් පංචස්ඛන්ධය පිළිබඳ ව සිහියෙන් වාසය කළ යුතු යි. ඒ සිහිය මතු මත්තෙහි තිබෙන්නේ නුවණ යි. එසේනම්, සිහිය සහ නුවණ එකට යෙදුණු විට ස්කන්ධ පිළිබඳ ව මනා වැටහීමක් ඇති කරගන්න පුළුවන් වෙයි.

තණ්හාවෙන්, දෘෂ්ඨීන්ගෙන් තොරව වාසය කළ යුතු යි. පංචස්ඛන්ධය පිළිබඳ ව මම, මාගේ යන හැඟීම ඉවත් කර ගැනීමට නුවණ පහළ කරගෙන මෙනෙහි කළ යුතු යි. මගේ ශරීරය යනුවෙන් අප නිබඳව ම භාවිත කළ ද, ඒ දෙස සිහි නුවණින් බුදු දහමට අනුකූලව බැලූ විට ‘මම, මගේ’ යනුවෙන් කිසිවක් ඉතිරි වන්නේ නැත. කෙනෙක් මිය ගිය විට ශරීරයේ මුකුත් ම ඉතිරියක් නැහැ. හුස්ම ටික ගිය සැනින් දවසින් දෙකෙන් පළාතෙ ම ඉන්නට බැරි තරමට දුර්ගන්ධය හමනවා. එලෙස කුණුවන ශරීරයක්, අපට ලැබී තිබෙන්නේ. ඒ ශරීරයේ කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ ආදී වශයෙන් කොටස් තිස් දෙකක් තිබෙන බව ඔබ දන්නවා. මේවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනුවෙන් සතර මහා ධාතූන්ගෙන් සමන්විත යි. කෙස් ගසක් ගත් විට සතර මහා ධාතූන්ගෙන් සමන්විත යි. එසේනම්, සෑම දෙයක ම සතර මහා ධාතූන්ගෙන් යුක්ත යි. සිරුරේ ඇස, ඇටකටු ගත්ත ද එලෙස ම යි.

එසේනම්, පංච උපාදානස්ඛන්ධය පිළිබඳ ව හොඳ වැටහීමකින් කටයුතු කරද්දී තමන්ට හොඳ දැනීමක් ඇති කර ගත යුතු යි. මුලින්ම ස්කන්ධ යනු ගොඩක් බව වටහා ගත යුතු යි. ශරීරයට තවත් නමක් වන්නේ ස්කන්ධ යි. ගොඩවල් පහක් නිසා පංචඋපාදානස්ඛන්ධය යනුවෙන් ව්‍යවහාර වෙයි.

ශරීරය හෙවත් පංචඋපාදානස්ඛන්ධය අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් හොඳින් සැලකිය යුතු යි. මුලින් ම කොටස් වලට නොගොස් මාතෘකාවට පමණක් අවස්ථාව සලසා මෙනෙහි කළ යුතු යි. මේ ශරීරය හෙවත් පංචඋපදානස්ඛන්ධය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි යනුවෙන් හොඳින් ම සිතන්න. මේ ශරීරය හෙවත් පංචඋපාදානස්ඛන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය, දහස්වර මෙනෙහි කළ යුතු යි.

වියපත් මුතුන් මිත්තන් දෙස බැලුවොත්, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ හොඳින් වටහා ගත හැකි යි. දිරාපත්වන නිවහනක්, කැඩී බිඳී ගිය නගර ආදියෙහි ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වටහා ගන්න පහසු යි. හොඳට තිබුණු දේ නොබෝ දිනකින් වෙනස් ව යයි. උපන්නොත් ජීවත් ව මරණයට පත් වෙයි. මේ ගැන හොඳ වැටහීමකින් නුවණ දියුණු කරමින් කටයුතු කළොත්, පංච උපාදානස්ඛන්ධය පිළිබඳ ව මනා වැටහීමකින් කටයුතු කරන්න පුළුවන්.

බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා, පමණක් පංච උපාදානස්ඛන්ධය නිවැරැදිව අවබෝධ කළා. ආර්යන් වහන්සේලාට ඇත්තේ පංචස්ඛන්ධය පමණ යි. ඒ උතුමන්ට උපාදාන කොටස නැහැ. ඒ හැර සැමට ම ඇත්තේ පංචඋපාදානස්ඛන්ධය යි. එනම්, ඇලීමක් ඇති බව යි. ඒ නිසා මේ කොටසින් සඳහන් කරන්නට යෙදුණු භාවනා වගන්තිය නමස්කාරය, ඉතිපිසෝ, ස්වාක්ඛාත, සුපටිපන්න ගාථා සජ්ඣායනා කර, වාඩි වී, උකුල මත දෑත තබාගෙන, දෑස වසාගෙන හෝ අඩක් විවර කරගෙන, කිසිවක් නොසිතා, තමන්ගේ ශරීරයේ ඉහළ සිට පහළට ද, පහළ සිට ඉහළට ද හොඳින් බලන්න. තමන්ගේ ද අනුන්ගේ ද, ශරීර දෙස එලෙස නුවණින් බැලිය යුතු යි. මුතුන් මිත්තන් දෙස බලා, ඔවුන්ගේ කෙස් පැසී, දත් වැටී, ඇඟ රැළි වැටී, කුදු ව හැරමිටයක් රැගෙන යන වයෝවෘද්ධ දසුන දැක තමා ද මෙවැනි තත්ත්වයට පත් වන බව සිතන්න. මේ කාරණය වටහා ගන්න පුළුවන් නම්, අනිත්‍ය , දුක්ඛ, අනාත්ම තේරුම් බේරුම් කරගන්න පහසුවක් වෙයි. මුතුන් මිත්තෝ ද මා ද මරණය කරා යන බව සිතන්න. එසේනම්, ස්ථිර වශයෙන් කාටවත් කලක් ඉන්නට බැරි බව හොඳින් දැනගෙන ශරීරය හෙවත් පංචඋපාදානස්ඛන්ධය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා පංචඋපාදානස්ඛන්ධය හෙවත් මේ ශරීරය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් හැම ඉරියව්වක දී ම සිය දහස්වර මෙනෙහි කළ යුතු යි. බස් රියේ දී, කඩයට යද්දී, රැකියාවට යන විට දී, නින්දට යන තුරා මේ කරුණු පහ එක්තැන් කර මෙනෙහි කළ හැකි යි. මේ ශරීරය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා මේ ශරීරය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිතුවත් ප්‍රමාණවත්. වැඩි විස්තර මතකයේ තබා ගන්න අපහසු නම්, මේ ශරීරය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සිතීම ද ප්‍රමාණවත් වෙයි. අනිත්‍යය යි යනුවෙන් නිකරුණේ සිතුවත් පුදුමාකාර පිනක් අත්වන බව ලොවුතුරු තථාගත ධර්මයේ සඳහන් වෙනවා.

සතිපට්ඨාන සූත්‍රය නිවන් මාර්ගය යි. සිහි නුවණින් භාවනා කරන නිසා එයට විශුද්ධි මාර්ගය, නිවන් මාර්ගය යනුවෙන් සඳහන් කරනවා. මේවා හොඳට තමන් දියුණු තියුණු කරගෙන ශීල, සමාධි, ප්‍රඥා ගුණයන් ද දියුණුවෙන් ලොවුතුරු දහම කුමක්දැ’යි තමන්ට ම වටහා ගත හැකි යි. ස්කන්ධ විදර්ශනාව හොඳින් වටහා ගත හැකි යි. ස්කන්ධ පහ ඇතුළාන්තය මෙනෙහි කිරීමට පෙර ම පංචඋපාදානස්ඛන්ධය හෙවත් මේ ශරීරය යනුවෙන් හොඳින් වටහා තේරුම් බේරුම් කරගත යුතු යි. හොඳින් නුවණ යොදවා මේ ශරීරයේ තත්ත්වය වටහා ගත යුතු යි. උපන් පුද්ගලයා ජීවත් ව මරණයට පත් වෙනවා, උපන් පුද්ගලයා ජීවත් වෙනවා, ලෙඩ වෙනවා, දුක් විඳිනවා, රෝහල් ගත වෙනවා, සිහි නැති වෙනවා, මරණයට පත් වෙනවා යනුවෙන් ද කල්පනා කළ යුතු යි. අසවල් පුද්ගලයාට පමණක් නො වෙයි, මට ද එලෙස ම බව නිබඳව ම සිතිය යුතු යි. එවිට භාවනා ක්‍රමය සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි යි.

- ජම්මික ප්‍රබෝධනී වැලිකල


අත්තූපනායික ධර්මය හඳුනා ගනිමු


අත්තූපනායික ධර්මය හඳුනා ගනිමු
ඌරුගමුවේ අස්සජී හිමි

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේලා පිරිසක් ද සමග කොසොල් ජනපදයේ චාරිකා කරන අතර, එහි වේළුද්වාර නම් බමුණුගමට ද වැඩම කළහ.

වේළුද්වාර ග්‍රාමවාසී බ්‍රාහ්මණ ගෘහපතිවරු “ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා අපේ ගමට වැඩම කර ඇතැ’යි, යන පුවත ඇසූ හ. එසේම ඒ බුදුරජාණන් වහන්සේ අරහත්, සම්මා සම්බුද්ධ යනාදී ගුණ නවයකින් සමන්විතය හ, යන කීර්තිරාවය ද ප්‍රදේශය පුරා ක්‍රමයෙන් පැතිර ගියේ ය. තව ද උන්වහන්සේ මේ ලෝකයෙහි දතයුතු සියල්ල දැන සිටින බවත්, ඒ සියල්ල මුල, මැද, අග මනාකොට දේශනා කරන බවත්, එබඳු ආර්ය උතුමන් වහන්සේලා දැකීමෙන් යහපතක් වන බවත්, වටහාගත් ඔවුහු බුදුරජාණන් වහන්සේ කරා පැමිණ එකත්පස්ව සිටිය හ. පසුව උන්වහන්සේට මෙසේ සැළ කළහ.

“ස්වාමීනි, අපි අඹු දරුවන් පෝෂණය කරමින් විවිධ බැඳීම් සහිත ව වාසය කරමු. සිනිඳු සඳුන් ගල්වාගෙන සිටිමු. මල් ගඳ විලවුන් දරමු. රන් රිදී පැළඳගෙන වාසය කරමු. මෙසේ කාමභෝගී ජීවිත ගත කරන අපි මරණින් පසු සුගතියට පැමිණීමේ ප්‍රාර්ථනා ඇත්තෝ වෙමු. එබඳු අපට ඔබ වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා.”

මෙයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ ‘ගෘහපතියනි, තමා කෙරෙහි විමසා බලා වටහාගත යුතු අත්තූපනායික ධර්මය මම නුඹලාට දේශනා කරමි. එය මනා ලෙස අසා මෙනෙහි කරන්නැ’යි, වදාළහ. මෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රය හැඳින්වෙන්නේ ‘වේළුද්වාර සූත්‍රය’ නමිනි.

තමාගේ සදාචාරය අන්‍යයා වෙත ප්‍රදානය කිරීම අරමුණුකරගෙන මෙම වේළුද්වාර සූත්‍රයෙහි ත්‍රිකෝටික පාරිශුද්ධ කාය වාග් සමාචාරයක් උගන්වා තිබේ. එනම්, පළමුකොට තමන් ගැන සිතා, නොහොත් තමා උපමාවට ගෙන ඒ අනුව ම අනුන් ගැන සිතා අනුගමනය කළ යුතු ධර්ම ක්‍රමයකි. මෙය අත්තූපනායික ධර්මය ලෙස හැඳින්වේ. උදාහරණ ලෙස ප්‍රාණඝාතය පිළිබඳ ත්‍රිකෝටික පාරිශුද්ධිය ඇති කර ගත යුතු අයුරු විමසා බලමු. ප්‍රාණඝාතය තමාට අපි‍්‍රය නිසා ද, ඒ අයුරින් එය අන්‍යයන්ට ද අපි‍්‍රය නිසා එයින් වැළකීම, අන්‍යයන් ද එයින් වැළැක්වීම සහ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ගුණ වර්ණනා කිරීම තුළින් එය සම්පූර්ණ කරගත හැකි ය. මෙම අංශ තුනෙන් පිරිසුදු වීම ප්‍රාණඝාතයෙන් වැළකීම අර්ථවත්වීම සඳහා අවශ්‍ය ය. වරදින් මිදීම සඳහා මෙම ක්‍රමය ඉතා වැදගත් බව වටහා ගැන්ම අපහසු නොවෙයි.

ප්‍රාණඝාතයෙන් වැළකීම සම්බන්ධයෙන් වූ මෙම අත්තූපනායික ධර්මය බුදුරදුන් වෙනත් අවස්ථාවල ද දේශනා කර ඇත. ධම්මපදයේ එය සඳහන් වනුයේ මෙසේ ය.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයෙ

සියල්ලෝ දඬුවමට බිය වෙති. සියල්ලන්ට ම ජීවිතය පි‍්‍රය ය. මෙසේ අනුන් තමා මෙන් සලකා අනුන්ට හිංසා පීඩා නො කළ යුතු ය. අනුන් ඝාතනය නො කළ යුතු ය. මෙම ධර්ම කරුණු වඩාත් විග්‍රහයට ලක්කොට ප්‍රාණඝාත, අදත්තාදාන යනාදී අනෙක් කරුණුවලට ද එය සම්බන්ධ කර ඉදිරිපත් කිරීමක් මෙම වේළුද්වාර සූත්‍රයෙහි දැකිය හැකි ය.

දෙවැනි කරුණ අදත්තාදානයයි. එනම් නුදුන් දේ ගැනීම යි. තමාට අයත් සුළු දෙයක් හෝ අන්‍යයෙකු සොරකම් කරනවාට හෝ බලෙන් ගන්නවාට තමා කැමැති නැත. යමෙක් එසේ කළහොත් තමාට දුකක් වේදනාවක් ඇති වෙයි. එසේ ම සෙසු අයත් එසේ තම තමන් සතු දෑ පැහැර ගන්නවාට කැමැති නැත. තමා අපි‍්‍රය අමනාප දෙය අනුන්ටත් අපි‍්‍රය අමනාප වේ. එබැවින් අප සොරකම තමාට අපි‍්‍රය නිසා ද, ඒ අයුරින් ම එය අන්‍යන්ට ද අපි‍්‍රය නිසා එයින් වැළකිය යුතු ය. අන්‍යයන් ද එයින් වැළැක්විය යුතු ය. සොරකමෙන් වැළකීමේ ගුණ වර්ණනා කළ යුතු ය. ස්වකීය ස්වාමියා, බිරිඳ පරපුරුෂයන්, පර ස්ත්‍රීන් ඇසුරු කිරීම කෙරෙහි කිසිවෙකු කැමැති නො වේ. සෙස්සන් ද එසේම ය. එසේ කිරීම ලෝක සභ්‍යත්වයට හා බෞද්ධ ඉගැන්වීම්වලට සපුරා ම පටහැනි ය. එලෙස කල්පනා කොට වැරැදි කාම සේවනයෙන් වැළකීම, අන්‍යයන් ද එයින් වළකාලීම, එමගින් සිදුවන භයානක ප්‍රතිඵල අන්‍යයන්ට වටහාදීම අත්තූපනායික ධර්මයට අයත් ය. බොරුවෙන් තමන් රැවටීමට, තමන් මෙන් ම අන්‍යයෝ ද කිසිසේත් රුචි නො කරති. එබැවින් අප බොරු කීමෙන් වැළකීම, අන්‍යයන් ද එයින් වළක්වාලීම, එහි අනුසස් පැවසීම තුළින් වාග් සංවරය පිරිසුදු කරගත යුතු ය. එසේම කේළාම් කීම, නපුරු වචන කතා කිරීම, නිශ්ඵල වචන (ඕපාදූප) කතා කිරීම යන තුන් ආකාර වූ වාග් සමාචාරය ගැන ද පෙර සේ ම ත්‍රිකෝටික පාරිශුද්ධිය ඇති කරගත යුතු ය.

කවුරුන් හෝ කේළාම් කියා හිතවතුන් ගුරුවරුන් හෝ වැඩිහිටියන් අප කෙරෙහි බිඳවීමට අපි කිසිසේත් ම රුචි නො කරමු. අප හදවත් රිදවන රළු පරුෂ වචන කවුරු කීවත් අපි ඒවා ඇසීමට අපි‍්‍රය කරමු. මව්පිය සහෝදර සහෝදරියන් සමග නිවසේ සතුටින් කල් ගෙවන අවස්ථාවක අසල්වැසියෙක් රළු පරුෂ වචන කතා කළහොත් එම ශබ්දය අපට කෙතරම් අමිහිරි ද? අප ද එලෙස ක්‍රියා කළහොත් අන් අය ද අප සේ ම, කෙතරම් අපහසුතාවට පත් වෙත් ද? එබැවින් අප කිසිදාක එසේ හැසිරීම නුසුදුසු බව අමුතුවෙන් කිවයුතු නොවේ. මනා හැදියාවෙන් යුත් අය කිසි දිනෙක නපුරු රළු පරුෂ වචන කතා නොකරති. එසේ කතා කරන අය ද එයින් වළක්වා ගැනීමට උත්සාහ දරති. සුභාෂිත වචන භාවිත කිරීමේ අනුසස් පවසති. ඇතැම්හු කෙළවරක් නැති ව මෙලොවටත්, පරලොවටත්, තමාටත්, අනුන්ටත් ඵලක් නොමැති නිශ්ඵල වචන (ඕපාදූප) කතා කරති. එහෙත් ශිෂ්ට සම්පන්න වූවෝ කිසිදාක එසේ නො කරති. එලෙස ක්‍රියා කරන්නන් එයින් වළක්වාලීමට උත්සාහ දරති. එහි ආදීනව වටහා දීමට තරම් කාරුණික වෙති.

මෙම අත්තූපනායික ධර්ම පර්යාය අත්තාධිපති, ලෝකාධිපති හා ධම්මාධිපති යන අධිපති ධර්ම අනුව ද මැනවින් උගන්වා තිබේ. මෙහි අධිපති යන්නෙන් දක්වනුයේ පාපයෙන්, පහත් ක්‍රියාවලින් වැළකීම සඳහා උපකාරී කරගන්නා කල්පනා ක්‍රම තුනකි. අත්තාධිපති ක්‍රමයේ දී තමා මුල්කරගෙන සිත සදාචාරයෙහි පිහිටුවීම සිදුවෙයි. භික්ෂූන් වහන්සේ නමක් නම් ‘මා පැවිදි වූයේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය ආදිය නිසා හෝ, මතු භවයක සැප පතා හෝ නොව ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව ආදියෙන් මිදීම පතාම යැයි’ සිත පාපයෙන් වැළකී කුසල් දහම් හි එකඟ කරගෙන බ්‍රහ්ම චරියාවෙහි නිරතවීම සිදුකළ යුතු ය. එය අත්තාධිපති නම් වෙයි.

භික්ෂූන් වහන්සේ නමක් චීවර, පිණ්ඩපාත යනාදී ප්‍රත්‍යයන් හෝ වෙනත් සැපතක් නොපතා විමුක්තිය ම අරමුණු කරගෙන පැවිදි ව, වනගත ව බඹසර පුරන අතර ‘මා කාම සිතිවිලි, ද්වේෂ සිතිවිලි හෝ හිංසාකාරී සිතිවිලිවලින් යුක්ත වුවහොත් දිවැස්, දිවකන් ආදිය ඇති ශ්‍රමණ, බ්‍රාහ්මණ උතුමන්ට එය දැනෙන්නට ඉඩ ඇත. එසේ ම, දෙවිදේවතාවන්ට වුව ද මාගේ සිතිවිලි දැනගත හැකි ය. එසේ වුවහොත් ඔවුන් මා හෙළා දකිනු ඇතැ’ යි, යනුවෙන් සිතා ආත්ම දමනය ඇති කරගෙන ක්‍රියා කරත් නම්, එය ‘ලෝකාධිපති’ නම් වෙයි.

තව ද භික්ෂූන් වහන්සේ නමකට මෙසේ සිතීමට ඉඩ ඇත. ‘බුදුරදුන් වදාළ ධර්මය ස්වාක්ඛාත ගුණයෙන් යුත් ඉගැන්වීමකි. මා හා සමාන ව සිල් රකින සබ්‍රහ්මචාරීහු බොහෝ දෙනෙක් එහි හැසිරෙති. එබැවින් මා ද වීර්යය වඩා ගත සිත හික්මවා ගෙන අකුසලින් දුරු ව කුසලයෙහි යෙදී විමුක්තිය ලද යුතු යැ’ යි, සිතා ශාසනික බ්‍රහ්ම චරියාවෙහි තරව හැසිරෙන්නේ නම්, එය ‘ධම්මාධිපති’ නම් වෙයි.

මෙම අත්තූපනායික ධර්ම පර්යාය ඉතා කුඩා ළමයෙකුට වුව ද යම්කිසි වැරැදි ක්‍රියාවක බැරෑරුම්කම අවබෝධ කරදීමට ඉතා පහසු ධර්ම මාර්ගයකි. සමාජයේ ජීවත්වන ඕනෑම පුද්ගලයෙකුට තර්ක බුද්ධියෙන් තොරව මනසට වැඩි වෙහෙසක් නොදී ඕනෑම ක්‍රියාවක හොඳ නරක තෝරා බේරා ගැනීමට මෙම අත්තූපනායික ධර්ම පර්යාය මහෝපකාරී වෙයි. මෙම ධර්ම කරුණු මනාව වටහාගෙන ආත්මාර්ථ පරාර්ථ සාධනයත්, දෙලොව දියුණුවත් සලසා ගැනීමට සිතට ගත යුතු ය.


 

ප්‍රතිපදා සූත්‍රය

 


ප්‍රතිපදා සූත්‍රය  

3

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

‘මහණෙනි, වැරදි පිළිවෙත හා හරි පිළිවෙත දේශනා කරන්නෙමි. එය අසව්, හොඳින් මෙනෙහි කරව්, කියන්නෙමි’යි (වදාළ සේක.) “එසේය ස්වාමීනි,” කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, වැරදි පිළිවෙත නම් කවරේද? මහණෙනි, අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාරයන් නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාතිය (ඉපදීම) ද, ජාතිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක් ගොඩ ඇතිවේ. මහණෙනි, මෙය වැරදි පිළිවෙත යයි කියනු ලැබේ.

“මහණෙනි, හරි පිළිවෙත කවරීද? අවිද්‍යාවම මුළුමනින් නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙත්. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැති වෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැති වෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැති වෙයි. භවය නැතිවීමෙන් ජාතිය නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවේ. මහණෙනි, මෙය හරි පිළිවෙත යයි කියනු ලැබේ.


Thursday, July 29, 2021

නා උයනේ ශ්‍රී අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ ස්වයං කථිත චරිත කථාව -03

 නා උයනේ ශ්‍රී අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ ස්වයං කථිත චරිත කථාව -03:



ඔය උතුරන තරමට වතුර පිරිලා පින්කමට වැස්ස නතර වුණා

ස්වාමීන් වහන්සේ ගේ ඒකායන අධිෂ්ඨානය වූ පැවිදි බව කෙසේද? සිදුවුණේ,


“ඔය අතර පණ්ඩිත ස්වාමීන් වහන්සේ නියම කළා මාර්තු 27 මහණ පින්කම යෙදෙනවා කියලා. මම පියතුමාට දැනුම් දුන්නා. අපේ පියතුමා අවශ්‍ය සියලු දේ සූදානම් කරගෙන තවත් හතරදෙනෙකුත් සමඟ පැවිදි පින්කමට පෙර දින ආවා. බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේත් වැඩියා. නාගොල්ල ආරණ්‍යයේ වැඩසිටිය කනංකේ මුදිත ස්වාමීන් වහන්සේත් වැඩියා. උන්වහන්සේ මට සිවුරු පිරිකර සකස්කර දෙන්න උපකාර කළා. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා හත්අටනමක් ගල්දූවේ වැඩ හිටියා. මාර්තු 27 උදේ ධම්මාවාස ස්වාමීන් වහන්සේ මගේ හිසකෙස් බා දුන්නා. වනරතන ස්වාමීන් වහන්සේ සිවුරු පඬු පොවලා සකස් කරලා දුන්නා. ඉතින් හැමෝම පිහිට වුණා. මහණ පින්කම උදේ 8.30 ට පමණ ආරම්භ වුණා. අපි තුන් දෙනෙක් හිටියා මහණ වෙන්න. වයසක දෙදෙනෙකුයි, මමයි. මම වයසෙන් අඩුයි. වයස දහඅටවත් පිරිල නෑ. එතැන වැඩ සිටියා ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා කිහිප නමක්. මහෝපාධ්‍යයන් වහන්සේ (පූජනීය මාතර ඤාණාරාම මාහිමි) පණ්ඩිත ස්වාමීන් වහන්සේ (පූජනීය කඩවැද්දුවේ ජිනවංස මාහිමි) ගැටමාන්නේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ (පූජනීය ගැටමාන්නේ විමලවංස මාහිමි) පහතමුල්ලේ පියදස්සී පණ්ඩිත ස්වාමීන් වහන්සේ, වලස්මුල්ලේ ඤාණාවාස ස්වාමීන් වහන්සේ හා ආරණ්‍යයෙහි වැඩසිටිය අනෙකුත් ස්වාමීන් වහන්සේලා පැවිදි පින්කමට සහභාගී වුණා. මගේ සිවුරු පටිය බැන්දේ මහෝපාධ්‍යයන් වහන්සේ යි. වැඩි දායක පිරිසක් හිටියේ නෑ. ගල්දූවේ මූලික දායක මාතාව වූ සමලින් වික්‍රමරත්න සේනානායක මෑණියෝ කියලා තියෙනවා. මේ පොඩි හාමුදුරුවන්ට ඉගැන්වීමේ කටයුතු සඳහා සියලු දේ බාර ගන්නවා කියලා. දින කිහිපයකින් නා උයනේ අරියධම්ම යන නම ලැබුණා. ඔය විදිහට මා බලාපොරොත්තු වූ සසුන් පැවිද්ද සිද්ධ වුණා. දිනය 1957 මාර්තු 27 යි.


ඇදුරු පෙළපත

පූජනීය අරියධම්ම ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යාය ස්වාමීන් වහන්සේ වූයේ අතිපූජනීය මාතර සිරි ඤාණාරාම මාහිමිපාණන් වහන්සේ ය. ආචාර්ය වූවෝ අතිපූජනීය කඩවැද්දුවේ සිරි ජිනවංස මාහිමිපාණන් වහන්සේ ය. මේ දෙනම වහන්සේ ශ්‍රේෂ්ඨ ඇදුරු පරපුරක යතිවරු වූහ.


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවා වදාළ අඹගහවත්තේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන රාමඤ්ඤ දේශයෙන් ගරු උපසම්පදාව ලැබූ සඟ පිරිසට නිශ්‍රයාචාර්ය වූයේ ද, ප්‍රථම උපාධ්‍යායන් වහන්සේ වූයේ ද අතිගරු වරාපිටියේ සිරි සුමිත්ත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. ඒ මාහිමියන් වහන්සේ අපේ අතිගරු මාතර ඤාණාරාම ස්වාමීන් වහන්සේ ගේ ප්‍රාචාර්යයන් වහන්සේ වූහ. එම වරාපිටියේ මාහිමිපාණන් වහන්සේගේ කිංකර ශිෂ්‍ය රත්නය වූ ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි ප්‍රථම සඤ්ඤාලේඛකාචරිය වූ ද සුපුජ්‍ය මාතලේ අග්ගධම්මාලංකාර මාහිමිපාණන් වහන්සේගේ විශිෂ්ට ශිෂ්‍යරත්නය වූවෝ අප ප්‍රධානාචාර්යයන් වහන්සේ ය. ගරු කටයුතු ඤාණාරාම මහෝපාධ්‍යායයන් වහන්සේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන විනේතෘන් වහන්සේ වූහ. අනුරාධපුර හඳගල ආරණ්‍යාධිවාසීව වැඩ විසූ ධූතගුණධාරී අතිපූජ්‍ය පුලියංකුලමේ දීපංකර මාහිමියන් වහන්සේ ගේ හා අතිගරු අඹගහවත්තේ ඉන්ද්‍රාසභවරඤාණසාමි මහානායක මාහිමියන් වහන්සේගේ සුවච ශිෂ්‍ය වූවෝ අතිගරු වඳුරැස්සේ රතනජෝති මාහිමිපාණෝ ය. තත් ශිෂ්‍ය පූජ්‍යපාද කඩවැද්දුවේ සුගුණතිස්ස මාහිමිපාණන් වහන්සේගේ තත් ශිෂ්‍ය ගරුතර කැකණදුරේ ශ්‍රී ආර්යවිලාසාසහ මාහිමිපාණන් වහන්සේගේ දීප්තිමත් ශිෂ්‍ය රත්නය වූවෝ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක හා ප්‍රධාන අනුශාසක අතිගරු කඩවැද්දුවේ සිරි ජිනවංස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප කථානායක මාහිමිපාණන් වහන්සේගේ පූජ්‍යතර ආචාර්යයන් වහන්සේ වූහ.


අඹගහවත්තේ මාහිමිපාණන් වහන්සේගේ පුනර්ජන්මය කඩවැද්දුවේ මාහිමිපාණන් වහන්සේ යැයි සිතෙන තරමට කඩවැද්දුවේ ජිනවංස පඬිහිමිපාණන් ගේ සසුන් සේනාධිනායකත්වය ආශ්චර්යවත් ය.


හෙරණ බණ දහම් පුහුණුව

ස්වාමීන් වහන්සේ ගේ සාමණේර අවධිය ටිකක් විස්තර කළොත්...


“මා පැවිදි වී ගල්දූවේ ඉන්න ලැබුණේ දින තුනයි. නාථගණේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ (ගැටමාන්නේ විමලවංස ස්වාමීන් වහන්සේ) අපත් සමඟ ඒ දින කිහිපය ගල්දූවේ වැඩ සිටියා. මාර්තු 29 සවස ගැටමාන්නේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මට කියනවා. මේ පොඩි නමට මං ඉන්න තැනට එන්න බැරිද? මම උගන්නන්නම් කියලා. මම කිව්වා. උපාධ්‍යායන් වහන්සේ අවසර දෙනවා නම් මම එන්නම් කියලා. පස්සේ කඩවැද්දුවේ ස්වාමීන් වහන්සේ සමඟ කතා කරලා අවසර ගත්තා.


පසුවදා පාන්දර 4.00 ට පමණ මගට දානෙ හදාගෙන ගැටමාන්නෙ පණ්ඩිත ස්වාමීන් වහන්සේ වේරහැර සාසනයෝගී ස්වාමීන් වහන්සේ පැවිදි වූ නවක ස්වාමීන් වහන්සේ, අතුරුගිරියේ සුධම්මානන්ද ස්වාමීන් වහන්සේ, මමත් ඇතුළුව අපි පස් නමක් කැපකරුවෙකුත් සමග පිටත් වුණා. බසයෙන් කොළඹට පැමිණ කොටුව බෞද්ධ මන්දිරයෙන් දානය වළදා එයින් නාථගණ ආරණ්‍ය බලා පිටත් වුණා. නාථගණේට යනකොට සවස 5.00 විතර වුණා.


ගැටමාන්නේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මාව අවුරුද්දක් නවත්වාගෙන හොඳට ඉගැන්නුවා. මම ඒ කාලයේ භාවනාත් කරනවා. හොඳ සතියෙන් තමයි ඒ කටයුතු කළේ. සතිය හොඳින් පුරුදු කළ නිසා පාඩම් කිරීම බොහොම පහසු වුණා. ඒ කාලෙ මම මුළු පිරිත් පොතම පාඩම් කළා. සතිපට්ඨාන සූත්‍රය පාඩම් කළා. ධම්මපදය, බාලාවතාරය, සූත්‍ර සංග්‍රහය වගේ බොහෝ දේ පාඩම් කළා. හොඳට පාඩම් මතක හිටිනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අපට විශුද්ධි මාර්ගය ඉගැන්නුවා. පාලි භාෂාවත් ඉගැන්නුවා. මමයි, සුධම්මානන්ද ස්වාමීන් වහන්සේයි පමණයි ඉගෙන ගන්න සිටියෙ. සුළු පිරිසක් නො හිටියෙ. 1957 උපසම්පදා වුණු කිහිපනමක් ආරණ්‍යයට වැඩියා. ඒ ඇත්තන්ටත් අධ්‍යාපනය දෙන්න ලොකු ස්වාමීන් වහන්සේට සිදුවුණා. ඉතින් මට කාලෙ ටිකයි. ඒ ටික කාලයේ මම හොඳට අධ්‍යයන කටයුතු කරගත්තා.


ඇන්නර කුටිය කියලා ආරණ්‍යයේ ම ඈත කුටියක් තිබුණා. මම මාස 6 ක් ඒ කුටියේ විවේකීව වැඩ සිටියා. භාවනා කළා. ලොකු අත්දැකීම් එතන දී ලැබුණා. භාවනා කිරීමේ දී මට සුළු අසනීපයක් දැනුණා. පස්සේ නාථගණේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා පියාට දැනුම් දෙන්න කියලා.


පියතුමා පැමිණ මාත් සමඟ නාඋයනට ගියා. කසායක් දීලා බෙහෙතක් හදලා දුන්නා. ඒකෙන්ම සුව වුණා. ලොකු ස්වාමීන් වහන්සේ මට දැනුම් දුන්නා. ‘ආපසු එන්න’ කියලා. මම වැඩියා. ගියදාට පසුවදා එනම් 1958 මැයි 02 වෙනිදා අලව්වේ අශෝකාරණ්‍යයට වැඩියා. එහෙ නේවාසිකව වැඩ ඉන්න. එහෙ මම අවුරුදු දෙකක් ම ගැටමාන්නේ ස්වාමීන් වහන්සේගෙන් හොඳට ඉගෙන ගත්තා. කවුරුත් හිටියේ නෑ. මම විතරයි ශිෂ්‍යයෙකුට හිටියේ. ඒ කාලයේ මජ්ක්‍ධිම නිකායම කටපාඩම් කළා. බාලාවතාරය සම්පූර්ණ කළා. රූපසිද්ධිය පාඩම් කරමින් ඉගෙන ගත්තා. ලියන්න, කියන්න, දේශනා කරන්න වැඩි වැඩියෙන් පුහුණු වුණා. ඔය අතර ආරණ්‍යයෙන් බැහැර ධර්ම දේශනාවලටත් වැඩියා. පිරිස නැති නිසා. ඒ වගේම සිවුරු කපන්න, සිවුරු මහන්න පුරුදු වුණා. මම උපසම්පදාවෙන්න සුදුසු පාඩම් ඉගෙන ගත්තා. කංඛාවිතරණී මාතිකට්ඨකතාව සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා.


සිඛවළඳ, සිඛවළඳ විනිස සම්පූර්ණ කළා. ප්‍රාතිමෝක්ෂ සිකපද සතියකින් පාඩම් කරලා පාඩම් දුන්නා. මහකුඹුක්වැව උත්තරවංස ස්වාමීන් වහන්සේ ළඟ අභිධර්මාර්ථ සංග්‍රහය ටික කලක් ඉගෙන ගත්තා. ඔය අයුරින් සාමණේර කාලය අර්ථවත්ව ගත කළා.


උපසම්පදා ලාභය

ස්වාමීන් වහන්සේ උපසම්පදා වූ ආකාරය ගැන විස්තරයක් ලැබුණොත් හොඳයි


“ඔය අතර 1958 නොවැම්බර් 25 තිබුණා හදිසියේ යොදාගත්ත උපසම්පදා පින්කමක් නිමලව ඇටුල්ල ජාතස්සරයේ. ඒ සඳහා ගැටමාන්නේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ලිපියක් යැව්වා. මගේ නමත් යෝජනා කරලා. නමුත් ලිපිය ප්‍රමාදයක් හෝ වෙලා මගේ නම ඇතුළත් වී තිබුණෙ නැහැ. ඒ උපසම්පදා පින්කමට ගැටමාන්නේ ස්වාමීන් වහන්සේ වැඩියේත් නැහැ. ස්වාමීන් වහන්සේගේ අදහස ඉටු නොවූ නිසා, ඉන්පසු කඩවැද්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ සමඟ කතා කරල අපි ඉන්න තැන උපසම්පදා පින්කමක් සංවිධානය කළා. රංවල ගම මැද්දෙන් යනවා කුඩා ඔය, එහි උදකුක්ඛේප විසිතුරු සීමා මාලකයක් දායක පිරිස සකස් කළා. උපසම්පදා පින්කම දවස්වල තද වර්ෂාව තිබුණා. නාථගණේ ලොකු ස්වාමීන් වහන්සේයි මමයි අපි දිනපතා වන්දනා කරන බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා පහන් දල්වල වැඳල කිව්වා. මේ මහ පින්කමක් තියෙනවා. වර්ෂාව වහාම නවත්වන්න කියල. වැස්ස සම්පූර්ණයෙන් නැවතුනා. ඔය උතුරන තරමට වතුර පිරිලා පාරවල් මඩවෙලා තිබුණේ.


1959 ජූලි මස 15 වෙනි බදාදා දින උපසම්පදාව සිදුවුණා. උපාධ්‍යායන් වහන්සේ වුණේ මඩවල ධම්මතිලක නිමලව ලොකු ස්වාමීන් වහන්සේ යි. මාතර ඤාණාරාම මහෝපාධ්‍යයන් වහන්සේ, කඩවැද්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ, ගැටමාන්නේ ස්වාමීන් වහන්සේ, මූනගම සිරිසුමන ස්වාමීන් වහන්සේ, දේවගොඩ මංගලසිරි ස්වාමීන් වහන්සේ යන පස්නම වරින් වර කර්ම වාක්‍ය දේශනා කළා. ගණ පූරක වශයෙන් ස්වාමීන් වහන්සේලා සත් විසි නමක් වැඩහිටියා. මමත් සමඟ තව සතර නමක් උපසම්පදා වුණා. බුලත්සිංහල විමලධම්ම හිමි, කෝදාගොඩ ජිනානන්ද හිමි, අහංගම විනීත හිමි, දැරණියගල මේඝිය හිමි යන සතර නමයි. එදා සවස 3.50 ට මම උපසම්පදා වුණා. මේ විදිහට බොහොම හොඳින් මගේ උපසම්පදාව සිදුවුණා.” 


- රම්මුතුගල බුද්ධවංස හිමි

Monday, July 26, 2021

සසරෙන් එතෙරට

 


සසරෙන් එතෙරට

පොල්පිටිමූකලානේ

පඤ්ඤාසිරි හිමි


මෙම ලිපියේ තවත් කොටසක් ඉකුත් 02 දා පත්‍රයේ පළවිය


තණ්හාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. කාම තණ්හා - පංචකාමයට ඇති කැමැත්ත, භව තණ්හා - භවයේ නැවත ඉපදීමට තිබෙන ආසාව, විභව තණ්හා - නැවත උප්පත්තියක් නැහැ කියන අදහස ඇතිකරගෙන මෙලොව සැප විඳිමින් සිටීමට තියෙන කැමැත්ත. උච්ඡේද දෘෂ්ඨියත් ඒ සමඟ එන තණ්හාව. භව තණ්හාව නිසාත් කෙනෙක් සංසාරයෙන් නිදහස් වෙලා යන්න කැමැති නැහැ. මීට වඩා බලවත් ව උපදින්න කැමැතියි.


මේ ත්‍රිවිධ තණ්හාව හටගන්නවා විඳීම මුල්කරගෙන. විඳීම නිසා ඇලීම නැතිනම් තණ්හාව හටගන්නවා. තණ්හාව මුල් කරගෙන බැඳීමක් ඇතිවෙනවා. උපාදාන වෙනවා. ඒ උපාදානය මුල් කරගෙන භවය සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ පටිච්ච සමුප්පාදයේ දී භවය සහ ජාතිය යනුවෙන් වචන දෙකක් පිළිබඳව අපට අසන්නට ලැබෙනවා.


භවය කියනනේ නැවත ඉපදීම. ජාතිය කියන්නෙත් නැවත ඉපදීම. එහෙම වෙන්න බැහැ. මේක කරුණු දෙකක්. භවය යන වචනය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. භවය යනු විපාක විඳීම පිණිස කර්ම සකස් වීම. කාම ලෝකයක උප්පත්තිය ලබන්නට කර්ම සකස් වීමම තමයි කාම භවය කියන්නේ. රූප ලෝකයක විපාක විඳීම පිණිස කර්ම සකස්වීමට කියනවා. රූප භවය කියලා. අරූප ලෝකයක විපාක විඳීම පිණිස කර්ම සකස් වීමට කියනවා අරූප භවය කියලා. උපාදාන වුණාම විපාක විඳීම පිණිස කර්ම සකස් වෙනවා. භවයට අනුව තමයි ජාතිය සිදුවන්නේ. ඒ කියන්නේ කාම ලෝකයක ඉපදීමට කර්ම සකස් වෙලා තියෙනකොට උපදින්නේ කාම ලෝකයක. කාම සුගති සහ කාම දුගති කියා දෙකක් තිබෙනවා. කාම සුගති අයිති වෙන්නේ මනුෂ්‍ය ලෝකය සහ දිව්‍ය ලෝක හය. කාම දුගති යනු නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය අසුරකාය. අපි මේ ඉපදිලා තියෙන්නේ කාම සුගතියක. මිශ්‍රඵල දෙන මනුස්ස ලෝකයේ තමන් විසින් සිදුකරන ලද කර්ම රූපවලට අනුව තමයි සැප හෝ දුක ලැබෙන්නේ. භවය මුල් කරගෙන තමයි ජාතිය සිදු වන්නේ. නැතිනම් ඉපදීම. ඉපදුණොත් වයසට යනවා මරණයට පත් වෙනවා.


සෝක කරන්න වෙනවා. වැළපෙන්න සිදුවෙනවා. කායික දුක් ඇති වෙනවා.මානසික දුක් ඇති වෙනවා. සුසුම් හෙළීම්වලට පත්වෙන්න සිදුවෙනවා. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේකට තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ.


මේ වගේම තමයි පින්වතුනි, පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය අනික් පැත්තට යනකොට අවිද්‍යාව සහමුලින්ම නැතිවෙලා ගියාම සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා.


නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන නිරුද්ධ වෙනවා. ආයතනය හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා. බැඳීයාම නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනවා. විපාක පිණිස කර්ම සකසවීම නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා ජරා, මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදී සියල්ල නිරුද්ධ වෙලා යනවා. මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ විග්‍රහය තුළ කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පටිච්ච සමුප්පාදය ක්‍රියාවලිය පිළිබඳවයි. මෙය ඉතා ගැඹුරු දහමක්. වරක් ආනන්ද හාමුදුරුවෝ දේශනා කළා ‘පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න හරි පහසුයි කියලා’. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘ආනන්දය, එහෙම කියන්න එපා පටිච්ච සමුප්පාදය ඉතා ගැඹුරුයි.’ කියා. යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාදය


දකිනවා නම්, එයා ධර්මය දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබටත් පටිච්ච සමුප්පාදය ධර්මය හොඳින් අවබෝධ කර ගෙන මේ සංසාරයෙන් නිදහස් වීමේ වාසනාව උදාවේවා.


නීවරණ විදර්ශනාවේ විචිකිච්ඡා නීවරණය:

 


නීවරණ විදර්ශනාවේ විචිකිච්ඡා නීවරණය:


යහපත් වාසනාවන්ත ජීවිතයකට...

අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ

මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


විචිකිච්ඡාව යනු සැකයට නමකි. නි පූර්ව ව මේ පදය සෑදී ඇත. සැකය, සාංකාව යනුවෙන් හඳුන්වයි. බුදුදහමෙන් සැකය ගැන අපේක්ෂා කරන්නේ බුද්ධාදී උතුමන් පිළිබඳව ඇතිවන සැකය යි.


බුද්ධ, ධර්ම, සංඝ ආදී ත්‍රිවිධ රත්නය කෙරෙහි සැක කිරීම , ශික්ෂාවන් කෙරෙහි සැක කිරීම , අතීත ආත්මයන්හි උපත ලැබුවා ද – නැද්ද යනුවෙන් සැක කිරීම, අනාගත ආත්මයන්හි උපත ලබනවාද – නැද්ද යනුවෙන් සැක කිරීම යි, අතීත - අනාගත සංසාරය පිළිබඳ සැක කිරීම , පටිච්චසමුප්පාදය කෙරෙහි සැක කිරීම යනුවෙන් විචිකිච්ඡාව ඇතිවන ක්‍රම අටකි.


එසේනම්, විචිකිච්ඡාව පිළිබඳව හොඳ අවබෝධයකින් සැකය තරණය කිරීමට, සැකය දුරු කිරීමට කටයුතු කළ යුතුයි. යහපත - අයහපත ,හොඳ - නරක තේරුම් ගත යුතු යි. , ධර්මය - අධර්මය පිළිබඳ නුවණින් විමසා බැලිය යුතු යි. එවිට විචිකිච්ඡාව නැතිවී යයි.


ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ගැන නොයෙක් සැක සාංකා සිතන විට එය විචිකිච්ඡාව යි. බුදු කෙනෙක් පහළ වුණා ද? මේ මේ ගුණ තියෙනවා ද? බුද්ධ පූජාවෙන් මෙතරම් අනුසස් ලැබෙනවා ද? යනුවෙන් සැක සිතීම, ධර්ම රත්නයේ ගුණ මෙලෙස ද? ධර්ම රත්නයට පූජා කිරීමෙන්, බණ ඇසීමෙන් මෙතරම් අනුසස් ලැබෙනවා ද? සංඝ රත්නයට වැඳුම් පිදුම් කිරීමෙන්, දාන මාන පූජාවෙන් , ගුණ සිහි කිරීමෙන් පින් සිදු වෙනවා ද? තුනුරුවන් පහළ වුණා ද? යනුවෙන් විවිධාකාර සැක ඇති කර ගන්නවා.


ශීල , සමාධි , ප්‍රඥා ගැන සැක සිතනවා. ශීල - සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යනුවෙන් අංග තුන යි. සමාධිය- සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනුවෙන් අංග තුන යි. ප්‍රඥාව- සම්මා දිට්ඨි , සම්මා සංකප්ප යනුවෙන් කරුණු දෙක යි. එවිට ශීල, සමාධි, ප්‍රඥා යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන සේ ඕනෑම කෙනෙක් පින් දහම් කළොත්, එය උතුම් පුණ්‍ය කර්මයක්. එසේම දාන, ශීල, භාවනා ආදී පින්කම් ද කළ යුතු යි. එය උතුම් පින්කමක්. පින්කමක් සාර්ථක නොවුණොත් ශීල, සමාධි, ප්‍රඥා වැඩෙන සේ පින්කම සිද්ධ වෙලා නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් උදාර පින්කම් කළත් අනුසස් අඩු වෙන්නේ සිත සර්ව සම්පූර්ණව යෙදී නැති නිස යි. ශීල, සමාධි, ප්‍රඥා ගුණ යෙදී නැහැ. ඒ ගැන සිතා කල්පනාවෙන් සෑම පුණ්‍ය කර්මයක් කෙරෙහිම ශීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩෙන සේ කටයුතු කළ යුතු යි.


අතීත ආත්ම භාවය පිළිබඳ සැක කරනවා. මම උපත ලැබුවා ද? මෙවැනි නම් තිබුණා ද? සසරක් තිබුණා ද? මෙවැනි විවිධ මතිමතාන්තර අදහස් ඇතිකරගෙන සැක සාංකා පහළ කර ගැනීමෙන් සැකය දියුණු වී යනවා. අනාගතයේ මා උපත ලබයි ද? අනාගතයේ මා කුමන ලෝකවල යයි ද? උපත ලබන්නේ නැහැ නේ ද? යනුවෙන් විවිධාකාර සැක කිරීම් විචිකිච්ඡාව නමින් හඳුන්ව යි.


එයම නැවත කල්පනා කරනවා අතීත අනාගත වශයෙන්. එය හඳුන්වන්නේ පූර්වාන්ත – අපරාන්ත යනුවෙනි. මෙලෙස අතීත සංසාරය ගැන , අනාගත සංසාරය ගැන සැක සංකා උපදවාගෙන කටයුතු කිරීමෙන් නීවරණය දියුණු තියුණු වෙයි. පටිච්චසමුප්පාදය ගැන සැක කරනවා. එය සැමටම තේරුම් ගැනීම අපහසු යි. සංසාර චක්‍රය, උපතේ සිට මරණය දක්වා ම , නැවත උපත ලබා මරණය දක්වාමත් , සංසාර සැලැස්ම ඇත්තේ පටිච්චසමුප්පාදය තුළ යි. අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාම රූප, සලායතන, ඵස්ස, වේදනා ,තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ , ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යනුවෙන් පටිච්චසමුප්පාදයට අංග දොළහක් තිබෙයි. ඒවා ප්‍රධාන වශයෙන් ඇතුළත්ව ඉතිරි ඒවා ද සම්පූර්ණ වෙයි. පටිච්චසමුප්පාදයට ම අන්තර්ගත කරුණු පිළිබඳව සැක සංකා ඇති කර ගැනීමෙන් විචිකිච්ඡාව උපදිනවා. එනම් භවය දක්වාම කරුණු දොළහක් ද භවයෙන් එහාට ඇති ජාති, ජරා, මරණ , ශෝක, පරිදේව , දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදිය සංසාර ගමනේ දී තමන්ගේ ජීවිතයට ලැබෙන දේ ගැනත් සැක සිතනවා. එසේනම්, පටිච්චසමුප්පාදය ගැන සැක සංකාවන් දුරු කර ගැනීම සඳහා විචිකිච්ඡාව මෙනෙහි කළ යුතු යි. විචිකිච්ඡාවක්..., විචිකිච්ඡාවක්... , විචිකිච්ඡාවක් යනුවෙන් මෙනෙහි කර විචිකිච්ඡාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.


විචිකිච්ඡාව ප්‍රහාණය කිරීම සඳහා යහපත -අයහපත ,හොඳ– නරක ගැන සිතිය යුතු යි. , ධර්මය - අධර්මය පිළිබඳව නුවණින් බැලිය යුතු යි. එවිට යහපත දියුණු කර අයහපත ඉවත දමයි. ධර්මය දියුණු කර අධර්මය ඉවත දමයි, එවිට විචිකිච්ඡාව ප්‍රහාණය කරගන්නට පුළුවන්. විචිකිච්ඡාව ප්‍රහාණය කිරීම සඳහා තවත් කරුණු හයක් තිබෙයි. එනම්, බහුශ්‍රැතබව (දැන උගත්කම), ප්‍රශ්න කිරීම නොහොත් සාකච්ඡා කිරීම, විනය පිළිබඳව දක්ෂ බව, ශ්‍රද්ධාව බහුල බව, කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම, යහපත් කථා ඇති බව ආදියෙන් විචිකිච්ඡාව ප්‍රහාණය කළ හැකි යි.


ජීවිතය සැපවත්ව, වාසනාවන්ත කර ගැනීමට අවශ්‍ය කරන්නේ විචිකිච්ඡාව ප්‍රහාණය කිරීම යි. තම ජීවිතය සැපවත් කර නිවන් මඟට බැස ගන්නට, අවශ්‍යම දෙයක් ලෙස බුදුරජාණන් වහන්සේ විචිකිච්ඡාව ප්‍රහාණය කිරීම සඳහා උපදෙස් ලබා දුන්නා.


පසුගිය ලිපි පෙළෙහි පංච නීවරණ පිළිබඳව සඳහන් වුණා. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ , උද්දච්ච කුක්කුච්ච , විචිකිච්ඡා ආදී පංච නීවරණ පිළිබඳ බොහොම හොඳින් සිතා, කල්පනා කර ඒවා සිතෙන් බැහැර කළ යුතු යි. එය මෙනෙහි කළ යුතු ආකාරය මෙසේ වෙයි. කාමච්ඡන්දය හෙවත් තණ්හාව මම නොවෙ යි. මගේ නොවෙ යි, මගේ ආත්මය නොවෙ යි. එමනිසා තණ්හාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ව්‍යාපාද නීවරණය හෙවත් තරහව මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි, එමනිසා ව්‍යාපාදය හෙවත් තරහව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ථීනමිද්ධ නීවරණය හෙවත් කම්මැළිකම මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි, එමනිසා ථීනමිද්ධ නීවරණය හෙවත් කම්මැළිකම අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. උද්දච්ච කුක්කුච්ච නීවරණය හෙවත් සිතේ විසිරීම-විපිළිසර බව මම නොවෙ යි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි, උද්දච්ච කුක්කුච්ච නීවරණය හෙවත් සිතේ විසිරීම අනිත්‍යය යි, දුක්ඛ යිි, අනාත්ම යි. විචිකිච්ඡා නීවරණය හෙවත් සැකය මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි, එමනිසා විචිකිච්ඡාව හෙවත් සැකය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. මේ පංච නීවරණයෝ අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. පංච නීවරණයෝ තම ජීවිතයට බලපාන ආකාරය සිහි කල්පනාවෙන්, හොඳ නුවණින් පිරික්සා කර බලමින්, කටයුතු කළ යුතු යි. ඒ අවස්ථාවේ දී තම සිතට දැනෙන යහපත හෝ අයහපත හෝ මනාකොට තේරුම් කරගන්නට පුළුවන්කම තිබිය යුතු යි.


බුදුරජාණන් වහන්සේ ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කරගන්නට යනුවෙන් උපදෙස් මාලාවක් ලබා දුන්නා. තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන් වහන්සේ පමණක් දේශනා කළ ධර්මයක් නොවෙයි. අතීත සියලු බුදුරජාණන් වහන්සේලා ද, අනාගත සියලු බුදුරජාණන් වහන්සේලා ද දේශනා කළා වූ ද, කරන්නා වූ ද උතුම් ධර්මයක් අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළා. මේ දහමේ මුල, මැද, අග යහපත්. එකම තැනකවත් අකුරකවත් දෝෂයක් නැහැ. ඒ නිසා නීවරණ පිළිබඳ මනා වැටහීමකින් තමන්ගේ සිතේ පහළවන නීවරණ පහක් බව තේරුම් ගත යුතු යි.


සෝවාන්, සකෘදාගාමී, අර්හත් වෙද්දී නීවරණයන් ක්‍රමයෙන් නැතිවී යයි. කාමච්ඡන්ද නීවරණය ,ව්‍යාපාද නීවරණය අනාගාමී වෙද්දී නැති වී යයි. ථීනමිද්ධ නීවරණය සෝවාන් වෙද්දී නැතිව යයි. උද්දච්ච කුක්කුච්ච නීවරණය අර්හත්වයෙන් නැතිවී යයි. විචිකිච්ඡා නීවරණය සෝවාන් වෙද්දී නැති වී යයි. මාර්ග ඵල අවස්ථාවේ දී නීවරණයන් සම්පූර්ණයෙන් සිතෙන් බැහැරව යයි. පෘතග්ජන අපට බණ භාවනා කටයුතු වලදී පමණක් එය මඳක් යටපත් වෙයි. එලෙස මාර්ග ඵල අවස්ථාවට ඇතුළු වීමට කටයුතු කළ යුතු යි. මේ කරුණු කාරණාවෝ හොඳින් තේරුම් බේරුම් කරගෙන සම්මා සම්බුද්ධ ශාසනයේ දී පමණක් අසන්නට ලැබෙන උත්තරීතර දෙයක් ලෙස බණ , භාවනා කටයුතුවල යෙදී වාසය කිරීම යි. එය අපේ ජීවිත සැපවත් කර ගැනීම සඳහාම පහළ වූ ධර්මයක් සේ සලකාගෙන බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට ගෞරවය පුද කර නීවරණ විදර්ශනා භාවනාව ටිකෙන් ටික දියුණුවෙන් සිතේ බල පවත්වන තෘෂ්ණාදී පාපයන් ඉවත් කර, තම ජීවිතය සැපවත් කරගෙන පරලොව සුගතියක සිට ඉක්මන් භවයක දී ම නිවන් පසක් කරගන්නට හේතු වාසනා වේවා!


- ජම්මික ප්‍රබෝධනී වැලිකල


 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 08 වනදා සඳුදා පූර්ව භාග 11.35 ට ලබයි.09 වනදා අඟහරුවාදා පූර්ව භාග 09.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වනදා සඳුදා ය.


 



Sunday, July 25, 2021

ධම්මානුපස්සනාවේ උද්ධච්ච කුක්කුච්ච නීවරණය

 


ධම්මානුපස්සනාවේ උද්ධච්ච කුක්කුච්ච නීවරණය

නීවරණ තිබෙන තුරු සසර සැනසීමක් නොවේ
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි
යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

එක්තරා මිනිසෙක් වනාන්තරයට පිවිස ගවයෙක් මද්දට අසුකරගෙන කණුවක ගැට ගැසුවා. මේ සතා තණකොළ දුන්නට කන්නේ නැහැ. වතුර දුන්නාට බොන්නේ නැහැ. කණුව වටේම කරකැවෙනවා. මේ සතා උත්සාහ කරන්නේ කැළයට දුවන්නම යි. වාසය කරන්නේ වික්ෂිප්ත මනසකින්. කණුව වටේට ම කැරකෙන මේ සතාගේ ගෙල යම් දවසක කණුවටම තද වෙනවා.

මේ මොහොතේ ගව හිමියා පැමිණ ගවයා අතපත ගා හීලෑ කර ගන්නවා. දැන් මේ සතා කනවා, බොනවා. අවශ්‍ය පරිදි ගවයා හීලෑ කරගන්න ගව හිමියාට පුළුවන් වුණා. මේ උපමාවෙන් සඳහන් කරන්නේ අපේ සිතත් වනාන්තරයෙන් අල්ලා ගත් කුළු හරකෙක් වැනි බව යි. කෙසේවත් සිත එක අරමුණක තබාගන්න පුළුවන්කමක් නැහැ. නිබඳව ම සිත අරමුණු ඔස්සේ එහෙ මෙහෙ දුව පැන ඇවිදිනවා. බහුල වූ අරමුණු ඔස්සේ දුව පැන ඇවිදින සිත නිසා සිතේ තැන්පත් කමක් ලබන්න බැහැ. සිතේ තැන්පත් කමක් ගන්නට නම්, දීර්ඝ වේලාවක් එක අරමුණක් මෙනෙහි කළ යුතු යි. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, යන අරමුණ දිගටම විනාඩි දහයක් හෝ පැයක් හමාරක් හෝ මෙනෙහි කරද්දී සිතේ යම් සන්සුන් බවක් ඇතිවෙයි. සද්ධර්මය ශ්‍රවණය, භාවනාව ආදියෙහි සිත පිහිටුවීම නිසා සිතේ තැන්පත් බව ඇති වෙයි. මේ නිසා සිතේ දුවන පනින ස්වභාවය අඩුකර ගන්න පුළුවන්.

එසේනම්, උද්ධච්ච යනු සිතේ ඇතිවෙන නොසන්සුන්කම යි. සිත තැන්පත් නැතිකමට උද්ධච්ච කුක්කුච්ච යනුවෙන් පැහැදිලි කරයි. කුක්කුච්චය යනු කළ වැරැදි හෝ නොකළ යහපත් දේ ගැන සිතා පසුතැවීම යි. එසේනම්, උද්ධච්චය යනු සිතේ තැන්පත් නැතිකම වන අතර කුක්කුච්චය යනු පසුතැවිල්ල යි. නීවරණයේ ස්වභාවය නිබඳව ම මනස එක අරමුණක තබා ගැනීමට අපහසු බව යි. ඇස, කන, නාසය, දිව, සිරුර , සිත යන ආයතන හය කෙරෙහි සිත පිහිටුවමින් එය බාහිර අරමුණු හයක් කරා දිව යයි. එනම්, රූප , ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම වෙයි. මේ ආයතන දොළහ නිසා සිතේ විසිරීම සිදු වෙයි. තද නින්දට වැටුණු විට පමණක් සිත භවංගයට වැටෙයි. අනෙක් සෑම විටම සිත නොසන්සුන් ව පවති යි.

එසේ නම්, උද්ධච්ච කුක්කුච්ච නීවරණය තම සිතෙන් ප්‍රහාණය කළ යුතු යි. එය තම සිතට වධ දෙන නීවරණයක් ලෙස පෙන්නුම් කරයි. සිතේ විසිරීම, කුකුස ප්‍රහාණය කිරීමට කරුණු හයක් තිබෙයි. 1.බහුශ්‍රැත භාවය 2.සාකච්ඡා කිරීම 3.විනය පිළිබඳ දක්ෂ බව 4. වැඩිහිටියන් ආශ්‍රය කිරීම 5. කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම 6. සුදුසු කතා ඇතිකර ගැනීම යි. මේ කරුණු සිතට ගත්විට සිතේ තිබෙන දුවන පනින ගතිය සහ පසුතැවිල්ල ආදිය යම් ප්‍රමාණයකට සන්සිඳුවා ගන්න පුළුවන්. සිතේ විසිරීම තිබුණොත් සිත යම් තත්ත්වයකට ගෙන එන්නට අපහසු යි. සිතේ තැන්පත් බව ධ්‍යාන තත්ත්වයට සමත් වෙයි. එනම්, ප්‍රථම ධ්‍යානය, දුතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය , චතුර්ථ ධ්‍යානය, පංචම ධ්‍යානය දක්වා සිත ගෙන එන්නට පුළුවන්.

උද්ධච්ච - කුක්කුච්ච කරුණු දෙක සිතේ හට ගත්විට එය මෙනෙහි කළ යුතු යි. සිත දුවනවා, සිත දුවනවා, සිත වික්ෂිප්ත යි, සිත වික්ෂිප්ත යි. සිත අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. සිතේ විපිළිසර ගතියක්, පසුතැවිල්ලක්, එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් භාවනාවට ගත යුතු යි. එවිට එම නීවරණය ප්‍රහාණය වී කුසලාරම්මන මතුව, නුවණ හොඳින් දියුණු වී අනිත්‍යතා ලක්ෂණයන් වටහා ගන්නට පුළුවන්.

නිර්වාණයේ දොරටු වසා තිබෙන අතර දෙව්ලොවට , බඹලොවට පිවිසෙන මාවත ද වැසී ඇත. එසේනම්, සිතේ විසිරීම සහ කුකුස භයානකම නීවරණයක්. සිතේ විසිරීමෙන් අවසන් ගමන ගියොත් යහපත් තැනක උපත ලබන්නට බැහැ. උද්ධච්චයෙන්, මෝහයෙන් මරණයට පත්වන අය උපත ලබන්නේ තිරිසන් ලොව යි. පසුතැවිල්ල නිසා කුසල ආරම්මණයකට සිත පිහිටුවන්න බැහැ. මේ නිසා සුගතියකට සිත පිහිටුවන්න බැරිව උපත ලබන්නේ දුර්ගතියක යි.

මේ ගැන හොඳ දැනීමක් ඇතිකරගෙන හොඳින් සද්ධර්මය ශ්‍රවණය , භාවනාව ,ධර්ම සාකච්ඡා ආදිය කළ යුතු යි. සිත සහ සිතිවිලි ගැන හොඳින් දැනගත යුතු යි. එවිට තමන්ගේ සිතේ වික්ෂිප්ත බව සංසිඳුවා ගන්න පුළුවන්. පංච නීවරණයන් කුසල් සිත්වල හටගන්නේ නැහැ. උද්ධච්චය හටගන්නේ මෝහ සිතෙහි ය. සිත් සියල්ල අසූ නවය යි. චෛතසික පනස් දෙක යි. එයින් උද්ධච්චය හටගන්නා සිත , එහි යෙදෙන චෛතසික පිළිබඳ හොඳ දැනීමක් ඇති කරගැනීමෙන්, ධර්මය පිළිබඳ මනා වැටහීමෙන්, උද්ධච්ච කුක්කුච්ච නීවරණය ප්‍රහාණය කර ගන්නට සමත් වෙයි.

උද්ධච්ච කුක්කුච්ච සිත අයහපත් අරමුණක් බව දැන කියාගෙන තම චිත්ත සන්ථානය හැකිතාක් දියුණු තියුණු කර ගැනීම සඳහා උත්සාහ ගත යුතු යි. පොත පත කියවීම ආදී කටයුතුවල නියැළුන විට නීවරණයන් යටපත් කර, අනීවරණ තත්ත්වයට සිත ගෙන එන්නට පුළුවනි. බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේ පමණක් සිතේ විසිරීම, පසුතැවිල්ල සංසිඳුවාගෙන තමන් වහන්සේලාගේ සිත ඉහළම තත්ත්වයට ගෙන ආවා. එය කිසිවෙකුට වෙනස් කළ නොහැකි යි. වෙනස් වන්නේ පෘතග්ජන වූ අපගේ සිත පමණ යි. ආර්ය උතුමන් වහන්සේලා ස්ථිර භාවයට පත් වුණා. එවැනි උතුමන්ගේ තත්ත්වය වෙනස් කරන්නට පුළුවන් කමක් නැහැ. නියමාකාරව වටහාගෙන කටයුතු කිරීමෙන් තම චිත්ත සන්ථාන දියුණු කරගන්න පුළුවන්කම ලැබී තිබෙනවා.

නීවරණ තිබෙන තුරා සැනසුමක් සොයා ගන්න අපහසු යි. නීවරණයන්ගෙන් සිත ගත දෙකම පහත හෙළයි. කය මන්දෝත්සාහී ගතිය ඇති කරයි. සිත අයහපත් තත්ත්වයට පත් කරයි. මේ ගැන දැනීමකින් ශීල, සමාධි, ප්‍රඥා හොඳින් දියුණු කර ගන්න. සම්මා දිට්ඨි නම් නිවැරැදි ප්‍රඥාව , සම්මා සංකප්ප ආදී නිවැරැදි අදහස්, සම්මා වාචා නිවැරැදි වචන, සම්මා කම්මන්ත නිවැරැදි වැඩ කටයුතු, සම්මා ආජීව නිවැරැදි දිවි පෙවෙත, සම්මා වායාම නිවැරැදි උත්සාහය, සම්මා සති නිවැරැදි සිහිය සම්මා සමාධි නිවැරැදි චිත්ත සමාධිය ආදී කරුණු අට පිළිබඳ මනා දැනීමක් ඇති කරගත් විට සුගතිගාමී විය හැකි යි. සිත පුළුවන්තරම් දියුණු කරගෙන ආර්ය තත්ත්වයට සිත ගෙන යා හැකි යි. මේ ගැන කවුරුත් හොඳ දැනීමකින් , සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳ ව වැටහීමක් ඇති කරගත්තොත්, නීවරණ සංසිඳුවාගෙන අනීවරණ ලෙස සිත ගෙන එන්නට සමත් වෙයි.

සම්බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වන්නේ උතුම් ගුණ දියුණුව යි. ඒ දියුණුව සකස් කරගැනීම ඇත්තේ අනුන් තුළ නොව, තමා තුළම යි. එයට ඡන්ද ඍද්ධි පාදය , චිත්ත ඍද්ධි පාදය, විරිය ඍද්ධි පාදය, වීමංස ඍද්ධි පාදය ආදී සතර ඍද්ධිපාදයන් තිබිය යුතු යි. එවිට සිත ඉදිරියට ගෙන යාම පහසු යි. ඍද්ධි පාද සිතේ පහළ වුණොත් ඒ පින්බර ගමන නවතා දමන්නට කිසිවකුට බැහැ. නිවන් මඟ ගමන් කරන්නන්ට අතුරු බලවේග, මාර්ග බලවේග බොහොම යි. නමුත්, මේවා හොඳින් වටහාගෙන ශීල, සමාධි, ප්‍රඥා ආදී ගුණාංගයන් හොඳින් වර්ධනය කරගෙන නිවන් මඟ උදෙසා ඉදිරියට යාම කාගෙත් පරම යුතුකම විය යුතු යි.

මනුස්ස ජීවිතය සහ බුද්ධ ශාසනය අපට ලැබුණු නිසා එය මනාකොට වටහාගෙන වැඩි වැඩියෙන් පින් දහම් කරගත්විට, අපට මරණින් මතු සුගතිගාමී විය හැකි යි. අපායෙන් නිදහස් විය හැකි යි. මේ ගැන දැනකියාගෙන නීවරණ පිළිබඳ මනා වැටහීමක් කවුරුත් ඇතිකරගෙන සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳ ව හොඳ අවබෝධයකින් කටයුතු කිරීමට අධිෂ්ඨාන තබා ගෙන නිවන් මඟ පසක් කරගත යුතු යි.

ජම්මික ප්‍රබෝධනී වැලිකල



අවිද්‍යාව හඳුනා ගන්න

 


අවිද්‍යාව හඳුනා ගන්න

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි


ස්පර්ශය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හම ගහපු ගව දෙනක් වගේ කියල. හම ගහපු ගව දෙන වතුරට බැස්සොත් වතුරෙ ඉන්න සත්තු ඇවිල්ලා හානි කරනවා. ගොඩබිමේ හිටියොත් ගොඩබිමේ ඉන්න සත්තු ඇවිල්ලා හානි කරනවා. ගඟක් යටට ගියොත් ගගේ ඉන්න සත්තු ඇවිත් හානි කරනවා. කිසිම තැනක බේරිලා ඉන්න බැහැ.


මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.


සත්ත්වයෙක් සංසාරයේ දිගින් දිගට යාමට හේතුවන මූලික කරුණ වන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාව කියල කියන්නේ කුමක්ද?චතුරාර්ය සත්‍ය නොදැනීමයි. කෙනෙකුට හිතන්න පුළුවන් චතුරාර්ය සත්‍ය නොදැනීම කියන එකෙන් සත්ත්වයෙකුගේ හටගැනීම සිදුවන්නේ කොහොමද? කියලා. චතුරාර්ය සත්‍ය නොදැනීම කියන එක දෙයක ්කියලා සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන්.


එතකොට ඒ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන දෙය මුල්වෙලා සත්ත්වයෙක් සංසාරයේ නැවත නැවත යනවා කියන හැඟීමක් කෙනෙකුට එන්න පුළුවන්. ඒ නිසයි මම මුලින්ම පැහැදිලි කළේ සත්ත්වයා දැනටමත් ඉන්නවා. ඒ සත්ත්වයා දිගින් දිගටම යන්නේ අවිද්‍යාව කරණ කොටගෙනයි. අවිද්‍යාව කියල කියන්නේ කුමක්ද?චතුරාර්ය සත්‍ය නොදැනීමයි. දැනට ඉන්න සත්ත්වයාගේ සිතේ තියෙනවා අවිද්‍යාව කියන කාරණාව. එතකොට අවිද්‍යාව කියන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය දන්නේ නැහැ. දුක ඇතිවීමට හේතුව නම් වූ ආර්ය සත්‍ය දන්නේ නැහැ. දුක නැතිවීම ගැන දන්නේ නැහැ. දුක නැතිවීමේ මාර්ගය ගැන දන්නේ නැහැ. මේ නොදන්නාකමයි අවිද්‍යාව. එහෙමනම් මේ අවිද්‍යාව තියෙන්නේ කාළඟ ද? මේ සංසාරයේ ඉන්න සත්ත්වයන් තුළයි.


අන්න ඒ අවිද්‍යාව මුල් කරගෙන සංස්කාර ඇතිවෙනවා. මොනවගේ සංස්කාරද? අවිද්‍යාත්මක සංස්කාර තමයි හට ගන්නේ. රහතන් වහන්සේ නමකගේ සිතේ තියෙන සංස්කාරයන් ඒවා විද්‍යාත්මකයි. සාමාන්‍ය සත්ත්වයෙක් තුළ තියෙන්නේ අවිද්‍යාත්මක සංස්කාර. සංස්කාර කියන්නේ කුමක්දැයි අපි දැනගත්තාම පහසුයි. සංස්කාර ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර, කාය සංස්කාර කයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා ආශ්වාස ප්‍රශ්වාස වලට තමයි කාය සංස්කාර කියලා කියන්නේ.


වචී සංස්කාර කියල කියන්නේ වචනයත් සමඟ සම්බන්ධ වෙලා තියෙන සංස්කාර. ඒවා තමයි විතක්ක, විචාර, අපි යම්කිසි වචනයක් කියන්න හදනකොට විතක්ක නැතිනම් මනසින් කල්පනා කරල තමයි ඒක ඉදිරිපත් කරන්නේ. විතක්ක කරනවා ඒක විචාරය කරනවා.විතක්ක විචාර කියන්නේ එක දිගට පොඩි ළමයි කියවනව වගේ වචන වැලක් කියවීම නෙමෙයි. ඒක විතක්ක කරල විචාර කරල තමයි අපි ප්‍රකාශ කරන්නේ.


ඒක තමයි වචී සංස්කාර. ඊළඟට චිත්ත සංස්කාර කියල කියන්නේ මේ විඳීම හඳුනා ගැනීමයි. වේදනාව හඳුනා ගැනීම වේදනා සංඥා කියල කියනවා. සංස්කාරය කියල කියන්නේ සංස්කාර වන දේට තමයි. සංස්කාරය කියලා කියන්නේ හේතූන් නිසා හටගන්නා දෙයක් සබ්බේ සංඛාරා අනිච්චාති. මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. පටිච්ච සමුප්පාදයේ දී සංස්කාර කියල කියන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර ඊළඟට වෙනත් සූත්‍රවල දී විග්‍රහ වෙන ආකාරයට පංච උපාදානස්කන්දයේදීත් සංස්කාර කියන කොටස අහුවෙනවා. ඒකෙදී සංස්කාර කියල කියන්නේ චේතනාවලට. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ඨබ්බ සංචේතනා, ධම්ම සංචේතනා මේ චේතනාවලට තමයි එතැන දී සංස්කාර කියල කියන්නේ. මෙතැනදී සංස්කාර කියල කියන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර, මෙන්න මේ සංස්කාර මුල්වෙලා විඤ්ඤාණය හටගන්නවා.


විඤ්ඤාණය කියල කියන්නේ දැනගැනීම විජානා තිතීකෝ විඤ්ඤාණං. මේ විඤ්ඤාණය මායා කාරයෙක් හැටියටත් පෙන්වා දෙනවා. විඤ්ඤාණයෙන් තමයි අපට විජ්ජාව පෙන්වනවා වගේ එක එක දේවල් පෙන්වන්නේ. විඤ්ඤාණ හයක් තියෙනවා. ඇසේ විඤ්ඤාණය කනේ විඤ්ඤාණය, නාසයේ විඤ්ඤාණය, දිවේ විඤ්ඤාණය, කයේ විඤ්ඤාණය, මනසේ විඤ්ඤාණය, වර්තමාන කාලයේ බොහෝ අය පටලවාගන්න තැනක් තමයි මේ. විද්‍යාත්මකව බලා, විඤ්ඤාණය තියෙන්නේ මොලයේ ද?


විඤ්ඤාණය තියෙන්නේ හදවතේද? විඤ්ඤාණය තියෙන්නේ කොහේද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඒ අයට තියෙනවා. මේ වගේ ප්‍රශ්න අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයන්ට තමයි එන්නේ. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට ඒ වගේ ප්‍රශ්න එන්නේ නැහැ. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට තමයි කල්පනා කරන්නේ.


බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණ හයක් ඇති බව දේශනා කර තියෙනවා .ඇස– රූපය මුල්වෙලා ඇසේ විඤ්ඤාණය, කන – ශබ්දය මුල්වෙලා කනෙහි විඤ්ඤාණය නාසය – ගඳ සුවඳ මුල්වෙලා නාසයේ විඤ්ඤාණය, දිව – රසය මුල් වෙලා දිවේ විඤ්ඤාණය , කය – පහස මුල්වෙලා, කයේ විඤ්ඤාණය , මනස – අරමුණු මුල්වෙලා මනසේ විඤ්ඤාණය හටගන්නවා. ඒ විඤ්ඤාණය හේතු කරගෙන නාම –රූප ඇතිවෙනවා.


අපේ ජන සමාජයේ ඇතැම් අය විග්‍රහ කරන්නේ නාම රූප විදිහට ගත්තේ රූප, වේදනා. සඤ්ඤා. සංස්කාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධය. එය දෙකට බෙදනවා. ඒ කොහොමද? රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ හටගන්නා එකක්. නාම කියන්නේ වේදනා, සඤ්ඤා,සංස්කාර විඤ්ඤාණ කියලයි ලංකා ජන සමාජය තුළ ඇතැම් අය විග්‍රහ කරන්නේ,


බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව විභංග සූත්‍රයේ දි මොකක් ද, නාම රූප කියල විස්තර කරනවා. ඕනෑම කෙනෙකුට එය බලන්න පුළුවන්. ඊළඟට මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ සම්මා දිට්ඨි සූත්‍රයේ දී උන්වහන්සේ පෙන්වා දෙනවා, නාම රූප කියන්නේ කුමක්ද කියලා. උන්වහන්සේ දේශනා කරන්නේ නාම කියල කියන්නේ වේදනා, සඤ්ඤා, චේතනා පස්ස මනසිකාර, රූප කියන්නේ පඨවි. ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්. ඒ සතර මහා ධාතුන්ගෙන් හටගන්නා දේවල්. එහෙනම් ඒක තමයි නාම – රූප කියලා කියන්නේ. බුදුරදුන්ගේ බුද්ධ වචනය හරියටම පැහැදිලි කරල තියෙනවා,නාම යනු වේදනා ,සඤ්ඤා,චේතනා ඵස්ස, මනසිකාරය,රූප යනු පඨවි, ආපෝ, තේජෝ.වායෝ යන සතර මහා ධාතුන් සහ සතර මහා ධාතුන්ගෙන් හටගන්නා දේවල්. නාම රූප මුල්වෙලා ආයතන හයක් හටගන්නවා. ඒ තමයි ඇස, කන, නාසය ,දිව, කය. මනස. මේ ආයතන හය ඇතිවුණාම අපට සම්බන්ධ වෙනවා, ස්පර්ශය. ඇස තියෙනකොට, රූප තියෙනකොට, ඇසේ විඤ්ඤාණය තියෙන කොට මේ තුන එකට එකතු වෙනවා. ‘තින්නං සංඝති ඵස්සෝ’ කියනවා. එතකොට අපිට ඇසත් රූපත්, ඇසේ, විඤ්ඤාණයත් එකට එකතු වුණාම ඇස ස්පර්ශ වෙනවා. කන ශබ්ද විඤ්ඤාණය එකතු වුණාම කනේ ස්පර්ශය ඇතිවෙනවා. නාසය, ගඳ සුවඳ විඤ්ඤාණය එකතු වුණාම නාසයේ ස්පර්ශය, දිව රසයයි විඤ්ඤාණයයි එකතු වුණාම දිවේ ස්පර්ශය .කයයි පහසයි විඤ්ඤාණයයි එකතුවුණාම කයේ ස්පර්ශය ඇතිවෙනවා. මනස අරමුණයි විඤ්ඤාණයයි එකතු වුණාම මනසේ ස්පර්ශය. අප සාමාන්‍ය ජන ජීවිතයේ දී හිතාගෙන ඉන්නේ කය තමයි ස්පර්ශ වෙන්නේ කියල. නමුත් කය විතරක් නොවේ, ඇසත් ස්පර්ශ වෙනවා. කනත් ස්පර්ශ වෙනවා. නාසයත් ස්පර්ශ වෙනවා. දිවත් ස්පර්ශ වෙනවා. මනසත් ස්පර්ශ වෙනවා.


මේ ආයතන හය ම ස්පර්ශ වෙනවා. ආයතන තියෙන කොට ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හම ගහපු ගව දෙනක් වගේ කියල. හම ගහපු ගව දෙන වතුරට බැස්සොත් වතුරෙ ඉන්න සත්තු ඇවිල්ලා හානි කරනවා. ගොඩබිමේ හිටියොත් ගොඩබිමේ ඉන්න සත්තු ඇවිල්ලා හානි කරනවා. ගඟක් යටට ගියොත් ගෙඟ් ඉන්න සත්තු ඇවිත් හානි කරනවා. කිසිම තැනක බේරිලා ඉන්න බැහැ. ඇස, කන, නාස, දිව , මනස තියෙනවා නම්, ස්පර්ශය සිද්ධ වෙනවා. සම ගැසූ ගව දෙන වගේ හැමතිස්සේ ම අපට පීඩා විඳගෙන තමයි ඉන්න සිද්ධවෙලා තියෙන්නේ. ස්පර්ශය තියෙනවා නම්, විඳීම ඇතිවෙනවා. ඇස, රූප, ඇසේ විඤ්ඤාණය තියෙනවා නම් ඒ තුනේ එකතුවෙන් ඇතිවෙනවා ස්පර්ශය. එය සැප වේදනාවක් වෙනවිට අපට ඇතිවෙනවා සැප විඳීමක්. ඒ සැප විඳීමක් නැතිනම් අපට හටගන්නේ දුක් විඳීමක්. සමහර වෙලාවට අපට හටගන්නේ උපේක්ෂා විඳීමක්. සැප විඳීමක් මුල් වෙනකොට අපි ඒකට ඇලෙනවා. විඳීම හටගන්නවා. ඒ විඳීම මුල්කරගෙන තණ්හාව හටගන්නවා. තණ්හාව කියන්නේ ඇලී යන ස්වභාවය.

Saturday, July 24, 2021

විභඩ්ග සූත්‍රය


විභඩ්ග සූත්‍රය

2

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬුසිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි කියා භික්ෂූන් ඇමතූහ. ස්වාමීනි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි පටිච්චසමුප්පාදය දේශනා කරන්නෙමි. බෙදා දක්වන්නෙමි. එය මනාකොට අසව්. මෙනෙහි කරව්. කියන්නෙමියි’. “එසේය ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනාකළ සේක.

“මහණෙනි, පටිච්චසමුප්පාදය නම් කවරේද? මහණෙනි, අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාර නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තෘෂ්ණාවද, තෘෂ්ණාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාතිය (උප්පත්තිය) ද, ජාතිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයද ඇති වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවීම වෙයි.

“මහණෙනි, ජරාව සහ මරණය නම් කවරේද? ඒ ඒ සත්ව නිකායයෙහිවූ ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක්, දිරායාමක්, දත් වැටීමක්, කෙස් සුදුවීමක්, ඇඟ රැලිවැටීමක්, ආයුෂයාගේ ගෙවීයාමක්, ඉන්ද්‍රියයන්ගේ මේරීමක් වේද, මෙය ජරාවයයි කියනු ලැබේ මහණෙනි, මරණය නම් කවරක්ද? ඒ ඒ සත්වනිකායෙන් ඒ ඒ සත්වයන්ගේ යම් චුතවීමක්, පහවීයාමක්, බිඳීමක්, අතුරුදන් වීමක්, මෘත්‍යුසංඛ්‍යාත මරණයක්, කාලක්‍රියාවක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, මෘත ශරීර අත්හැරදැමීමක් වේද, මෙය මරණයයි කියනු ලැබේ.

“මහණෙනි; මෙසේ ඒ දිරීමද, මේ මැරීමද ජරා මරණයයි කියනු ලැබේ. මහණෙනි; ජාතිය (ඉපදීම) නම් කවරේද? ඒ ඒ සත්ව නිකායෙහි ඒ ඒ සත්වයන්ගේ යම් ඇතිවීමක්, හට ගැනීමක්, බැස ගැනීමක්, ඉපදීමක්, සත්වයන්ගේ ඇතිවීමක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ ලැබීමක් වේද මහණෙනි, මෙය ජාතියයි කියනු ලැබේ.

“මහණෙනි, භවය නම් කවරේද? මහණෙනි, කාමභවය, රූපභවය සහ අරූප භවයයි මේ භවයෝ තිදෙනෙකි. මහණෙනි, මෙය භවයයි කියනු ලැබේ.

“මහණෙනි; උපාදානය නම් කවරෙක්ද? මහණෙනි, කාමූපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතූපාදානය සහ අත්තවාදූපාදානයයි මේ උපාදානයෝ සිව්දෙනෙකි. මහණෙනි, මෙය උපාදානයයි කියනු ලැබේ.

“මහණෙනි, තණ්හාව නම් කවරේද? මහණෙනි, රූප තණ්හාව, සද්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව ඵොට්ඨබ්බ (ස්පර්ශ) තණ්හාව සහ ධර්ම තණ්හාවයයි මේ තණ්හා සමූහයන් සය දෙනෙකි. මහණෙනි; මෙය තණ්හාව යයි කියනු ලැබේ.

“මහණෙනි; වේදනාව නම් කවරේද? මහණෙනි; චක්ඛුස්පර්ශයෙන් ඇතිවන වේදනාව, ශ්‍රොතස්පර්ශයෙන් ඇතිවන වේදනාව, ඝ්‍රාණස්පර්ශයෙන් ඇතිවන වේදනාව ජීව්හාස්පර්ශයෙන් ඇතිවන වේදනාව, කායස්පර්ශයෙන් ඇතිවන වේදනාව සහ මනස්පර්ශයෙන් ඇතිවන වේදනාව යයි මේ වේදනා සමූහයන් සයදෙනෙකි. මහණෙනි; මෙය වේදනාවයයි කියනු ලැබේ.

“මහණෙනි; ස්පර්ශය නම් කවරේද? මහණෙනි; චක්ඛුස්පර්ශය, ශ්‍රොතස්පර්ශය, ඝ්‍රාණස්පර්ශය, ජිව්හාස්පර්ශය, කායස්පර්ශය සහ මනස්පර්ශයයි මේ ස්පර්ශ සමූහයෝ සදෙනෙකි. මහණෙනි, මෙය ස්පර්ශයයි කියනු ලැබේ.

“මහණෙනි; සළායතන නම් කවරේද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය සහ මනායතනයයි. මහණෙනි; මෙය සළායතනයයි කියනු ලැබේ.

“මහණෙනි; නාමය සහ රූපය නම් කවරක්ද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය සහ මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ. සතර මහා භූතයින් සහ සතර මහාභූත සමූහය නිසා පවත්නා රූපය යන මෙය රූපයයි කියනු ලැබේ. මහණෙනි; මෙසේ ඒ නාමයද මේ රූපයද නාම රූපයයි කියනු ලැබේ.

“මහණෙනි; විඤ්ඤාණය නම් කවරක්ද? මහණෙනි; චක්ඛු විඤ්ඤාණය, සොතවිඤ්ඤාණය, ඝානවිඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය සහ මනො විඤ්ඤාණයයි මේ විඤ්ඤාණ සමූහයෝ සදෙනෙකි. මහණෙනි, මෙය විඤ්ඤාණ යයි කියනු ලැබේ.

“මහණෙනි, සංඛාර නම් කවරීද? මහණෙනි, කාය සංඛාරය, වචීසංඛාරය සහ චිත්තසංඛාර යයි මේ සංඛාර තිදෙනෙකි. මහණෙනි; මොවුහු සංඛාරයෝ යයි කියනු ලැබෙත්.

“මහණෙනි; අවිජ්ජාව නම් කවරීද? මහණෙනි, යම් දුක නොදැනීමක්, දුකට හේතුව නොදැනීමක්, දුක නැති කිරීම නොදැනීමක්, දුක් නැති කිරීමේ මාර්ගය නොදැනීමක් වේද, මහණෙනි; මෙය අවිජ්ජාව යයි කියනු ලැබේ.

“මහණෙනි; මෙසේ වනාහි අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාරයන් නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාම රූපද, නාම රූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදනය නිසා භවයද, භවය නිසා ජාතිය (ඉපදීම) ද, ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇති වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවේ.

“අවිද්‍යාව මුළුමනින් නැතිවීමෙන් සංස්කාරයන්ගේ නැතිවීම වෙයි. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැති වෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැති වෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැති වෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති වෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැති වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැති වීම වේ.


Friday, July 23, 2021

Na Uyane Ariyadhamma Thero




පැවිද්දට යොමු වූ පුංචි සිත...

රම්මුතුගල බුද්ධවංස හිමි


පාසලේ තුන්වෙනි පන්තියෙන් සමත් වුණු මාව පස්වෙනි පන්තියට උසස් කළා දක්ෂතා නිසා. මම අටේ පන්තියට සමත් වුණහම මගේ ගුරුවරු මට කිව්වා මේ දරුවාට තවත් හොඳින් ඉගෙනගන්න අපි උසස් විද්‍යාලයකට ඇතුළු කරන්නම් කියලා.


මම හිතින් කිව්වා මට නම් එපා කියලා. ඒ මොකද? පැවිදිවීමේ අපේක්ෂාව තදින්ම හිතේ බලපෑ නිසා. පාසලේ ළමයිනුත් මට කියනවා අපට හොඳ ගුරුවරයෙක් වන්න කියලා. මම කිව්වා. මම ගුරුවරයෙක් වෙන්නේ නෑ. මම මහණ වෙනවම යි කියලා. ඔහොමයි මගේ අධ්‍යාපනය සිදුවුණේ.”


පැවිද්දට සිත යොමුවීම

ස්වාමීන් වහන්සේගේ කුඩා කාලයේ දී සිත තුළ තිබුණු පැවිදිවීමේ අදහස මුලින් සිහිපත් කළා. ඒ පිළිබඳ තව කරුණු ටිකක්.


“මට මතකයි මට අකුරු කියවන්නත් කලින් කුඩා කාලේ වුණ සිද්ධියක්. අපේ ගමේ ඥාති වන ස්වාමීන් වහන්සේලා සය නමක් සිටියා සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයට අයිති. එයින් එක ස්වාමීන් වහන්සේ නමක් ගමට වැඩම කරලා දවසක් අපේ ගෙදර නැවතිලා සිටියා. අම්මා බොහොම හොඳින් උපස්ථාන කළා. පසුදා හීල දානය වළඳලා පිටත්වීමට පෙර ඒ ස්වාමීන් වහන්සේ කිව්වා අපේ පන්සලට මෙච්චර කුඹුරු,තේ, රබර් වතු තියෙනවා. අපට මේ පවුලෙන් ම දරුවෙක් ඕනෙ මහණ කරගන්න කියලා. ඒ වේලාවේ අපේ අම්මා එක වචනයෙන් ම කිව්වා. “අපේ හාමුදුරුවනේ මගෙ දරුවන්ට අපායට යන්න දෙන්න බෑ කියලා. ඉතින් මට බයක් ඇති වුණා මහණ වුණොත් අපායට යනවනේ කියලා. නමුත් පැවිදිවීමේ අභිලාෂය කුඩා අවධියේ පටන් හිත ඇතුළේ දළුදාමින් තිබුණා.


ඒ අතරෙදි මට, වයස නවයේ දී කිරි අම්මා සමඟ නිලගම පන්සලේ සිල් සමාදන් වෙන්න පුරුදු වුණා. කිරි අම්මාත්, මගේ පියාත්. සතර පෝයටම සිල් ගන්නවා. මමත් පසළොස්වක පොහොයට සිල් සමාදන් වී අටසිල් පිරුවා.මට බණ කියන්න තරමටම හරි ආසයි. මම සත්වෙනි පන්තියේ සිටින විටදී මගේ මෑණියෝ අභාවප්‍රාප්ත වුණා. එම නිසා මගේ පැවිදි වීමේ අදහස තවත් ශක්තිමත් වුණා.


මසේ කලක් යනවිට අපට ආරණ්‍යයක් බිහිවුණා. නාඋයන ආරණ්‍යය. 1954 දී පූජනීය විගොඩ බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේ එහි වැඩම කොට ආරණ්‍යයේ වැඩ සිටියා. අපි ආරණ්‍යයේ සිල් සමාදන් වෙන්න පුරුදු වුණා. එහිදී අපට ලැබෙනවා පූජනීය කඩවැද්දුවේ ස්වාමින් වහන්සේ ලියන කුඩා භාවනා පොත්, ඒවායින් අපි භාවනා ක්‍රම පුහුණු වුණා. ගෙදර භාවනා කරන්නත් පටන් ගත්තා. අපේ පියතුමා සෑම දවසකම රාත්‍රී ආහාරයෙන් පස්සේ දෙපැයක් පමණ වාඩි වී භාවනා කරනවා. මමත් ඒ අතර කරණීය මෙත්ත සූත්‍රය පාඩම් කරගෙන මෛත්‍රි භාවනාව පුරුදු කළා. මම තනි කාමරයක නිදා ගන්නේ. මෛත්‍රී භාවනාව පැය භාගයක් පමණ කර රාත්‍රියේ නිදාගත්තා. එයින් මට ලොකු ආනිසංසයක් දකින්නට ලැබුණා. සැපෙන් නින්ද යනවා. සිහින පෙනෙන්නෙ නෑ. සැපෙන් අවදි වෙනවා. දවස පුරාම බොහොම පී‍්‍රතිමත්ව ගත කරනවා. ධර්ම කාරණා පාඩම් කරනවා. මම හිතින් ප්‍රාර්ථනා කරනවා අනේ මට කුඩා වයසෙදිත් මේ භාවනාවේ ප්‍රතිඵල මෙහෙම තියෙනවා නම් මේකට වෙන් වෙලා ආරණ්‍ය ගතවෙලා භාවනා කරන්න ලැබුණොත් කොච්චර වාසනාවක් ද? ඒ නිසා මම පැවිදි වෙන්න ඕනෙ කියලා දෙවියන්ට පින් දීලා කියනවා. මට උතුම් ලෙස මහණදම් පුරන්න තැනක් ලැබේවා! කියලා. මම පාන්දර 5.00 ට සැමදාම අවදි වෙනවා. මේ විදිහට මාස හය හතක් පුහුණු වෙන අවස්ථාවේ තමයි පැවිදි වීමට අවස්ථාව ලැබුණේ.


එසේම මට වයස 14 පමණ කාලයේ දිනක් අතිපූජනීය මාතර ඤාණරාම මාහිමිපාණන් වහන්සේ තවත් දෙනමක් සමඟ දම් දෙසුමක් සඳහා නාඋයන ආරණ්‍යයේ සිට බඹරගස්වැව ගම්මානය බලා වඩිද්දි අපේ ගමේ බෝ මැඩ ටික වෙලාවක් වැඩ සිටියා. බෝමළුවේ ආසන පනවා වඩා හිඳුවා ගිලන්පස පිළිගන්වා වන්දනා කොට පසෙකට වුණු පිරිසත් සමඟ සිටි මම ප්‍රසාදයෙන් ගරුතර ස්වාමින් වහන්සේලා දෙස බලා සිටියා. මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ උඩුකය ඍජුව තබාගෙන බඹයක පමණ දුර පෙනෙන සේ තබාගත් නෙත් ඇතිව වැඩ සිටියා .ගැඹුරු දැනුමක් කොහොමවත් නැති මට මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ මැදුම් පිළිවෙතෙහි පිහිටි උතුමන් වහන්සේ යැයි වැටහී ගියා. කවදා හරි මමත් මැදුම් පිළිවෙත පුරන පැවිද්දෙක් වෙම්වා’ යි ප්‍රාර්ථනාවක් එදා ඇති කර ගත්තා.


එසේම පූජනීය කඩවැද්දුවේ ජිනවංස පණ්ඩිත ස්වාමීන් වහන්සේ වරක් නාඋයන ආරණ්‍යයට සත් නමක් සමඟ වැඩම කළා. අපිත් එදා ආරණ්‍යයට ගොස් ස්වාමීන් වහන්සේලා වන්දනා කරගත්තා. එදා පූජනීය කඩවැද්දුවේ ස්වාමින් වහන්සේ පහාරා ද සූත්‍රයෙන් පැයක් පමණ දහම් දෙසුවා. අපිත් ඒ ප්‍රණීත දම් දෙසුම ශ්‍රවණය කළා. ඔය විදිහෙ සිද්ධි තුළින් තව තවත් පැවිද්දට සිත නැමුණා”.


ස්වාමින් වහන්සේ පැවිදිවීම සඳහා ගෙදරින් නික්මීම සිදුවුණේ කොහොමද?


පියතුමාගේ අවසරය

“නාඋයන ආරණ්‍ය සේනාසනයේ පැවිදි කිරීමට අවුරුදු දහය, එකොළහ, දොළහ වයසේ කුඩා ළමයි තුන් දෙනෙක් හිස කෙස් බා ගුරු ඇඳුම් ඇඳගෙන දස සිල් සමාන්දන් වී සිට අපේ ගම හරහා තවත් ආරණ්‍යයකට යනවා දැකලා මම හිතුවා මේ කුඩා ඇත්තොත් දැන් මහණවෙන්න සූදානම්. මම තව පමා වෙන්න අවශ්‍ය නෑනෙ කියලා. ඊට පහුවදාම මගේ පියාණන්ට දවල් කෑම ගත්තායින් පසු වැඳලා මම කිව්වා ‘මාව ආරණ්‍යයකට ගිහින් බාර දෙන්න’ කියලා. පියාණන් ඇහුවා. මොකටද? මම කිව්වා. ‘මට මහණ වෙන්න ඕනෙ” කලින් මේ ගැන කාටවත් කිව්වේ නෑ. ඊට පස්සේ පියාණන් ටිකක් වෙලා නිහඬව ඉඳලා ‘හා හොඳයි’ කිව්වා. මම කිව්වා ‘දැන්ම ම යන්න ඕනෙ’ ඇයි දැම්මම යන්නේ පියාණන් ඇසුවා මම කිව්වා’ මගේ සහෝදරයෝ එපා කියයි. ඒ නිසා දැන්ම ම ගියොත් හොඳයි’ ආ ඒක මම බලාගන්නම් අපි හෙට උදේ යමු’ කියලා පියාණන් පැවසුවා. කවුරුත් මට ආදරේ නිසා උදේ වනතුරු කිසිවෙකුට කිව්වේ නැහැ. ගමනට බාධා වෙයි කියලා.


පසුදා උදේ ආහාරගෙන ගමේ වැඩිහිටියන්ට වන්දනා කළා. හැමෝම ආශිර්වාද කළා. බාධා වුණේ නෑ. ඉන්පසු ආරණ්‍යයට පැමිණියා. බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ ගල්ලෙනේ. පියතුමා මගේ අත ගෙන බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේගේ අතෙහි තබා ‘මේ දරුවා මහණ කරගන්න’ කියලා බාර කළා .ස්වාමින් වහන්සේ කෙටි වේලාවක් අනුශාසනා කරලා මාව බාරගත්තා. ඒ 1956 බුද්ධ ජයන්ති වර්ෂයේ ඔක්තෝබර් 27 වැනිදා යි. පසුවදා මගේ පියතුමා සමඟ අපේ ගමේ විශාල පිරිසක් දානෙ හදාගෙන ආරණ්‍යයට ආවා. දන් දී ඒ කටයුතු අවසන් කරලා දවල් දොළහෙන් පස්සේ ගල්ලෙන ඉදිරිපිට විශාල මිදුලේ කෙළවරට මාව කැටුව ගිය පියතුමා කියනවා පුතා මේ හදිසි තීරණයකින්ද ආවේ. එහෙම නම් තීරණය වෙනස් වෙනවා. මහණවෙලා සිවුරු අරින එක අපට මහා මදිකමක් එහෙම නම් ගෙදර යමු” මම ඉතින් වැඳගෙන කිව්වා. ‘මම මේ ආපසු යන ගමනක් නොවෙයි ආවේ. පියතුමා සාධුකාර දීලා මට ආශීර්වාද කළා. එදාම හිසකෙස් බා ගුරු ඇඳුම් ඇඳගෙන දසසිල් ගත්තා.”


නාඋයන ආරණ්‍ය සේනාසනය

මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ලැබුණු සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කොට දෙවන පෑතිස් නරේන්ද්‍රයන් යොදුනෙන් යොදුන දාගැබ් බැඳවී ය. එයින් එක් චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් නාඋයනේ වැඩ වෙසෙති.එසේ නම් නාඋයන ආරණ්‍ය ඉතිහාසය ක්‍රි.පූ. තෙවන ශත වර්ෂය දක්වා දිව යයි. නටබුන් වූ දාගැබෙහි ධාතුන් වහන්සේ සමඟ රන් කරඬුව ලැබී එය නැවත නිධන් කොට මෑත භාගයෙහි චෛත්‍යය නැවත ගොඩනංවා ඇත. අතීතයෙහි මහ රහතුන් වහන්සේලාගේ ගුණ සුවඳ නාමල් සුවඳත් සමඟ මුසුවී මුළු බටහිර අනු දිශාවම (වයඹ පළාතම) සුගන්ධවත් වන්නට ඇත. කටාරම් කෙටූ ගල්ලෙන වලින් යුක්ත විශාල නා වනය වත්මන ශතාධික සඟ පිරිසකගෙන් යුත් පින් බිමෙකි. මල් සුවඳට ඇදී එන බඹර කැළ සේ සිල් සුවඳට දහස් ගණන් සැදැහැත්තෝ ඇදී එති. ගෝතම බුදු සසුන සුරකින පින් බිමෙකි නාඋයන. බොහෝ සැදැහැතියෝ දන් සිල් බවුන් පුරන පින් බිමෙකි නාඋයන.


1954 දී විගොඩ බෝධිරක්ඛිත මාහිමියන් වහන්සේගේ පැමිණීමෙන් නාඋයන අරණෙහි වත්මන් දියුණුවට මග පෑදිණි. ඒ ස්වාමීන් වහන්සේ 1952 වර්ෂයේ දී කල්‍යාණි යෝගාශ්‍රමය දෙවන ප්‍රව්‍රජ්‍යා මංගල්‍යයේදී පැවිදි බව ලැබී ය. එය සිදුවුයේ වැල්ලවත්ත ධර්මෝදය පිරිවෙන් භූමියේ දී අතිගරු රාජකීය පණ්ඩිත මුල්ලේගම සීලාලංකාරාභිධාන අධිකරණ නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. බෝධිරක්ඛිත සමනුද්දේසයන් වහන්සේ උපසපන් භූමියට පත්වූයේ වර්ෂ 1954 දී නිමලව තපෝවන ඇටුල්ල ජාතස්සර උදකුක්ඛේප සීමා මාලකයේ දී අතිගරු අලුබෝමුල්ලේ ශ්‍රී අරියවංස මහා ස්වාමීන්ද්‍රයාණන් ගේ උපාධ්‍යායත්වයෙනි. ඒ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමීය දෙවන උපසම්පදා පින්කමයි. බෝධිරක්ඛිත ස්වාමින් වහන්සේ වසර 44 ක් පමණ නාඋයන අරණෙහි වැඩ සිටියහ.


පණ්ඩුපලාස අවධිය

ස්වාමීන් වහන්සේ දසසිල් උපාසක ලෙස ගතකළ කාලය ගැන යමක් සිහිපත් කළොත්...


“ගෙදරින් නික්මුණ දවසට පසුදාම මට දසසිල් ඉගැන්නුවා. ඒ බෝධිරක්ඛිත ස්වාමින් වහන්සේට අසනීපෙකට උපන් ගමට වැඩම කොට ආයුර්වේද ප්‍රතිකාර ගන්න තිබුණා. එම නිසා ගම්පහ විගොඩ උන්වහන්සේගේ අයියගේ ඉඩමක කුටි සෙනසුන් තුනක් හදලා ස්වාමින් වහන්සේ එහි අප ව කැටුව ගියා. මමයි අනෙක් දසසිල් ළමයි තුන්දෙනයි ප්‍රධාන දායකතුමයි පාන්දර 4 ට නාඋයනින් පිටත් වී බසයෙන් දවල් දානයට විගොඩට පැමිණියා. උන්වහන්සේ උපන් නිවසට වැඩම කරලා එහි දී දානෙ වළඳලා කුටි සෙනසුන් වලට ගොස් මූලික අධ්‍යාපනය ලැබුවා මාස 04 ක්. අපට ස්වාමින් වහන්සේ බොහෝම අර්ථවත් කාලසටහනක් දීලා ඒවා අඛණ්ඩව පුරන හැටි පුහුණු කළා. පාන්දර 3.50 ට අවදි වෙනවා. 4.00 සිට 5.00 දක්වා භාවනාව කරනවා. ඊළඟට බුද්ධ වන්දනාව හා වත පිරිත නැවත විනාඩි 15 ක භාවනාව. උදේ වරුවේ වත් පිළිවෙත් සක්මන් භාවනාව, උදේ 9.00 ට පැන් පහසු වීම, 10.00 ට පිණ්ඩපාතය ගමනේ දී දායක පිරිසට ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරන බණ අපි පැමිණ ආපසු කියන්න ඕනෙ. ඒ විදිහට පුහුණු වුණා. සතියක් පුරා සවස බුද්ධ වන්දනාවෙන් පසු විනාඩි පහළොව, පහළොව බද්ධ පර්යංකයෙන් භාවනා කරනවා. ඊළග සතියේ දී එය විනාඩි විස්ස දක්වා දීර්ඝ කරනවා. මෙසේ පැයක් බද්ධ පර්යංකයෙන් භාවනා කරන්න පුරුදු කළා. කිසිදු වේදනාවක් නැතිව.


ඒ අතර අපට පාලි භාෂාව ඉගැන්නුවා. භාවනා ක්‍රම පුහුණු කළා. වත් පිළිවෙත් නිවැරැදිව කරන්න පුහුණු කළා. ධර්ම දේශනා කරන්න පුහුණු කළා. ඒ හැම දෙයින්ම අපි සමර්ථ බවට පත් වුණා. මට මෛත්‍රි උපාසක යන නමත් ලැබුණා. ඒ ස්වාමීන් වහන්සේ මගේ සටහන් පොත් මට සහිකයක් සටහන් කරලා දුන්නා. පසුව ස්වාමීන් වහන්සේ දායකයන් සමඟ ශ්‍රීපාද වන්දනාවට වැඩම කළා. අපව ප්‍රධාන දායකතුමා සමඟ ගල්දූව මූලස්ථානයට පිටත් කළා. ඒ වන විට මහෝපාධ්‍යාය මාතර පණ්ඩිත ස්වාමින් වහන්සේ හා කඩවැද්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ යන දෙනම ම වැඩසිටියා ගල්දූවේ.

පටිච්ච සමුප්පාද සූත්‍රය


පටිච්ච සමුප්පාද සූත්‍රය 

1

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. “මහණෙනි, පටිච්ච සමුප්පාදය දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව් කියන්නෙමියි” “එසේය ස්වාමීනියි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

“මහණෙනි, පටිච්චසමුප්පාදය නම් කවරේද? මහණෙනි, අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාර නිසා විඤ්ඤාණයෝද, විඤ්ඤාණය නිසා නාමරූපද නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, (තදින් අල්ලා ගැනීම) උපාදානය නිසා භවයද, භවය නිසා උප්පත්තියද, උප්පත්තිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවීම වෙයි. මහණෙනි, මෙය පටිච්චසමුප්පාදයයි.

අවිද්‍යාව මුළුමනින් නැතිවීමෙන්ම සංස්කාරයන්ගේ නැතිවීමද, සංස්කාරයන්ගේ නැතිවීමෙන් විඤ්ඤාණයේ නැතිවීමද, විඤ්ඤාණයාගේ නැතිවීමෙන් නාමරූපයන්ගේ නැතිවීමද, නාමරූපයන්ගේ නැතිවීමෙන් සළායතනයන්ගේ නැතිවීමද, සළායතනයන්ගේ නැතිවීමෙන් ස්පර්ශය නැතිවීමද, ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවීමද, වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවීමද, තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවීමද, උපාදානය නැතිවීමෙන් භවය නැතිවීමද, භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවීමද ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවීමද වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවීම වෙයි. මෙය භාග්‍යවතුන්වහන්සේ වදාළසේක. සතුටු සිතැති ඒ භික්ෂූහු බුදුන්ගේ දේශනාවට සතුටුවූහ.



Wednesday, July 21, 2021

චලන සිතුවම හා භව සිතුවම

 


චලන සිතුවම හා භව සිතුවම

කැලණිය විශ්වවිද්‍යාලයේ

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය

මකුරුප්පේ ධම්මානන්ද හිමි


බුදුරජාණන් වහන්සේ විසින් දුතිය ගද්දූල සූත්‍රය නමින් දේශනා කළ සූත්‍රයක් සංයුත්ත නිකායේ හමුවේ. එහි ගද්දුල යන වචනයේ තේරුම දම්වැල යන්නයි. එම සූත්‍රයේ සඳහන් පරිදි බුදුන් වහන්සේ මහණෙනි, නුඹලා චරණ සිතුවමක් දැක ඇද්දැයි භික්ෂූන්ගෙන් අසති. මහණෙනි, ඒ චරණ නම් චිත්‍රයත් සිතින්ම සිතන ලද්දකි. මහණෙනි, ඒ චරණ විත්‍රයටත් වඩා මේ සිත විසිතුරු ය.


මෙහි සඳහන් චරණ චිත්‍රය යන්නට සමාන වර්තමාන ව්‍යවහාරයේ යෙදෙන වචනය චලන චිත්‍රය හෙවත් චලන සිතුවම යන්නයි. චලන සිතුවම් යනු සෙලවෙන, ගමන් කරන හෝ එහෙ මෙහේ ගෙන යා හැකි සිතුවම් ය. වර්තමාන භාවිතය හා සසඳමින් සිතනවිට අප දකින නාට්‍ය, රූකඩ චිත්‍රපට ආදිය චලන සිතුවම් නමින් ගත හැකි ය. බුදුරජාණන් වහන්සේ පවසන පරිදි මෙම චරණ සිතුවම්වලටත් වඩා අපගේ සිත විසිතුරු ය. කුමක් නිසාද යත්, එම සිතුවම් ද කෙනෙකුගේ සිතින්ම සිතා කරන ලද්දක් වන බැවිනි. එම නිසා ක්ෂණයක් පාසා, මෙහොතක් පාසා සිත පිළිබඳව නිතරම සිහි නුවණින් සලකා බැලිය යුතු බව, ආපසු හැරී බැලිය යුතු බව බුදුන් වහන්සේ අවවාදයක් හැටියට භික්ෂූන්ට පෙන්වා දෙති. එසේ සලකා බැලිය යුත්තේ දීර්ඝ කාලයක් මෙම සිත රාගයෙන් ද්වේෂයෙන් හා මෝහයෙන් කිලිටි වී දූෂිත වී ඇති නිසා ය. සිත කිලිටිවීමෙන් සත්වයෝ කිලිටි වෙති. සිත පිරිසුදු වීමෙන් සත්වයෝ පිරිසුදු වෙති. ඉහත දක්වා ඇත්තේ එම ගද්දුල සූත්‍රයේ අන්තර්ගත වැදගත්ම කරුණකි.


මෙම සූත්‍රයෙන් කියැවෙන්නේ මෙම චිත්‍රය ඇන්ද කෙනොගේ සිතේ විසිතුරු බව කියා ඔබට සිතෙන්නට හැකි ය. එහෙත් එය වැදගත් වන්නේ ඒ නිසාම නොවේ. මෙහි ගැඹුරු අරුත නම් මෙම සිතුවම දකින තැනැත්තා එම චරණ චිත්‍රය විචිත්‍ර ලෙස සැලකීමට පෙළඹීම ය. ඔහු තම සිතේ දීර්ඝ කාලයක් වැඩුණු රාග, ද්වේෂ, මෝහ ආධාර කරගෙන එය ආස්වාද කිරීමට පෙළඹීම ය. සාමාන්‍යයෙන් චිත්‍රපටි, නාට්‍ය ආදිය පෙන්වනු ලබන්නේ රාත්‍රියේ හෝ අඳුරු රංග ශාලාවක් ඇතුළේ ය. දවල් කාලයේ දී පෙන්වන්නේ නම්, කඩතුරා යොදා අඳුර ඇති කරවයි.


මෙසේ අඳුර ඇති කිරීමේ අරමුණ කුමක් ද? ප්‍රේක්ෂකයා තුළ පවතින අවිද්‍යා අන්ධකාරය මතු කිරීම හා තීව්‍ර කිරීම යි. සිනමාව අන්ධකාරය හා රංගශාලාව ඇතුළත තිබෙන අන්ධකාරයේ සත්‍යය නම්, අප මෝහනය කිරීම නැතහොත් මුළාවට පත් කිරීමයි. සිනමා ශාලාවක චිත්‍රපටියක් හෝ නාට්‍යයක් නරඹන පුද්ගලයා මඳ වේලාවකින් තමා මේ නරඹන්නේ චිත්‍රපටියක් හෝ නාට්‍යයක් බව අමතක වන තරමට මෝහනයට පත්වන බව ඔබ දන්නා කරුණකි. මේ නිසා නාට්‍යාදිය රාත්‍රියේ දී පෙන්වන්නේත් , අඳුර සකසන්නේත් අවිද්‍යා ආශ්‍රව මතු කිරීමට ය.


අවිද්‍යා අන්ධකාරයෙහි සිට ආශ්‍රව සහිතව බලන කල එහි ඇති අඩුපාඩු අපට නොපෙනී යන තත්ත්වයක් ඇතිවේ. මෙකී ආශ්‍රව කාමාසව, භවාසව, දිට්ඨි ආසව හා අවිජ්ජාසව යනුවෙන් ධර්මයෙහි විස්තර වේ. මේ නිසා චරණ චිත්‍රයක් වැනි යමක් දුටුවිට මෙකී සිත තුළ සංස්කරණය කළ ආශ්‍රව මගින් අඩුපාඩු නො තකා විනෝදවීමේ, ආස්වාදය කිරීමේ හා රස විඳීමේ ගතියක් අප තුළ ඇතිවේ.


චරණ චිත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට ඇත්තේ ඉතා වැදගත් කරුණකි. ඉහත කී පරිදි චිත්‍රපටයක් නැරඹීම වැනි ක්‍රියාවලියක් සිදුවන්නේ අඳුර ඇසුරෙන් ය. සැබැවින්ම එය අවිද්‍යා අන්ධකාරය යි. හදිසියේ කඩතුරා ඉවත්වීමෙන් හෝ දොරක් විවෘත වීමෙන් හෝ අඳුර නැති වුවහොත් සිදුවන්නේ කුමක් ද? චිත්‍රපටයේ පාට හෙවත් වර්ණ (රාග) වෙනස් වේ. වර්ණ නැතහොත් රාග වෙනස් වුවහොත් අප මේ නරඹන්නේ කුමක් ද? සත්‍යයක් නොවේ, වැඩක් නැති මායාකාරී දෙයකි යන විඥානය අප තුළ ඇතිවේ. එවිට රාගය විරාගයක් බවට පත් වේ. තමා විඳීමින් සිටින ආස්වාදය පිළිබඳ කළකිරීමක් (නිබ්බිදා) ඇතිවේ. එතෙක් පැවති මෝහනය නැතිවීමට පටන් ගනී. චිත්‍රපටයක සැබෑව එනම් එය මායාවක් බව තේරුම් ගියේ පිටතින් පැමිණි ආලෝකයක් නිසා ය. යම් හෙයකින් යමෙකුගේ සිත ඇතුළතින් මෙම ආලෝකධාරාව පහළ වුවහොත් කුමක් සිදුවේද? ඔහු එය මායාවක් බව තේරුම් ගනීවි. ප්‍රඥා ආලෝකයෙන් ලෝකය විනිවිද දකීවි. අඳුර මායාව රැවටිල්ල හා මුළාව නිසා සෝ සුසුම්, කඳුඵ ගංගාවන් සමඟ කරනු ලබන ගනුදෙනුවෙන් මිදේවි. අවිද්‍යා අන්ධකාරය මැඳ සංස්කාර මුල්කොට ගෙන විඤ්ඤාණයක් පහළ කොට ගනිමින් නාම රූප සන්තතියක් පරිහරණය කරමින් සිටින බව අපට තේරුම් යාවි. තමා පරිහරණය කරනු ලබන පංචස්කන්ධය මායාවක ප්‍රතිඵලයක් බවත් එයින් සාංසාරිකව අත්විඳීන දුක්ඛමය තත්ත්වය අවිද්‍යාව හෙවත් නො දැනීමේ ඵලයක් බවත් වටහා ගනීවි.


අඳුරේ මායාව, දෘශ්‍ය කලාවේ යථාර්ථය තේරුම් ගැනීමට අපූරු නිදසුනක් බෞද්ධ සාහිත්‍යයේ හමුවේ. එනම් උපතිස්ස කෝලිත යන පරිබ‍්‍රාජකයන් දෙදෙනාගේ ජීවිත කතාව යි. ගිහි කල කල්‍යාණ මිත්‍රයන් දෙදෙනෙකු වූ ඔවුහු ගිරග්ග සමජ්ජ නමින් හැඳීන්වෙන කඳු මුදුනක රාත්‍රියෙහි ප්‍රදර්ශනය කරනු ලබන නාට්‍ය සංදර්ශන විශේෂයක් බැලීමට පුරුදු වී සිටියහ. දිනක් මේ දෙදෙනාට ම තමන් නරඹන ගිරග්ග සමජ්ජය තුළ සැබෑවක් නැති බව වැටහුණි. එය හුදු මායාවක් බව තේරුම් ගියේ ය. ඉන් මුහුණේ සිනහව නැතිවිය. නිර්වේදය (නිබ්බිදාය) හෙවත් කළකිරීම පිණිස සිත නැමුණි. සාංසාරික ත්‍රාසය හා හාසය මනාව වැටහුණි. එනිසා ම, උපන් අධ්‍යාත්මික ආලෝකය ඔස්සේ ගිය ඔවුහු රහත් බවට පත්වී සැරියුත් මුගලන් මහරහතුන් වහන්සේලා ලෙස ප්‍රකට වූහ. සැබැවින් ම කලාවේ ත්‍රාසය ඔවුහු විනිවිද දුටුවාහු ය. එය ධර්මය තුළ හාසයකි. නිදසුනක් ලෙස චිත්‍රපට ආදියෙහිදී මහමැඳුරු ආදිය ගිනි ගන්නා අයුරු, මහා පර්වත පෙරලෙන අයුරු ඔබ දැක ඇත. ඉහත කී පරිදි මෝහනයට පත්ව එය නරඹන්නා ඉන් විස්මයට භීතියට හා ත්‍රාසයට පත්වේ. සැබැවින්ම මෙම මහමැඳුරු, පර්වත සාදා ඇත්තේ කඩදාසිවලිනි.


එය සැබැවින් දන්නා තැනැත්තාට එය හාස්‍යයට කරුණකි. යෝගාවචර භික්ෂුව ද ධර්මයන්ගේ යථා තත්වය දකින්නේ එලෙසිනි. කලාවෙන් යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කළ ද එම සිද්ධියම සියුම් ප්‍රඥාවෙන් විනිවිද දකින්නාට පෙනෙනුයේ එම යථාර්ථයේ මිත්‍යාව යි. යථාර්ථයක් ලෙසින් අප රංගනයෙහි යෙදෙන මෙම භව නාටකය ද චරණ චිත්‍රයක් මෙන් දුටු මුගලන් වැනි මහරහතන් වහන්සේලා එය ඔප්පු කිරීමට විවිධ නිදසුන් ගෙනහැර දැක්වූ අයුරු විමානවත්ථු හා පේතවත්ථු කථාවලින් පැහැදිලි වේ. කර්ම චක්‍රය මගින් කරකවනු ලබන භවගාමී සත්ත්වයන් රූකඩ මෙන් දෙව් බඹ මිනිස් තිරිසන් භවයන් හි ඉපිද කම්පල භුක්ති විඳීන අයුරු දැක බුදුරජාණන් වහන්සේ පවා වරෙක හසිතුප්පාද සිතක් පහළ කළ බව ධර්මයෙහි සඳහන් වේ.


කෙළවරක් නොදැන යන ගමන සංසාරයයි කෙළවරක් දකින මග උතුම් නිර්වාණයයි


කෙළවරක් නොදැන යන ගමන සංසාරයයි
කෙළවරක් දකින මග උතුම් නිර්වාණයයි
බළන්ගොඩ
ශ්‍රී ධර්මානන්ද විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නා හිමි

බුදුරජාණන් වහන්සේ යනු මේ ලෝකයේ පහළ වූ අසාමාන්‍ය පුෂ්පයකි. සුවඳවූත් මලක් වුවද, එහි සුවඳ හැම පැත්තකටම දැනෙන්නේ නැත. හමන්නේ නැත. නමුත් බුදුරදුහු නමැති අසාමාන්‍ය පුෂ්පය හැම පැතිකඩක් ම සුවඳවත් කළහ.

මෙයින් අදහස් වන්නේ, මිනිස් ජීවිතය තුළ පවතින වැරැදි අඩුපාඩු පෙන්වා දෙමින්, මිනිස් ජීවිත නිවැරැදි කර, අඳුරෙන් ආලෝකය කරා ගමන් කිරීමට අවශ්‍ය මඟ පෙන්වා දීමයි. මේ නිසා ම බොහෝ දෙනාගේ හදවත් ගුණ දහමින් සුවඳවත් කළ අසාමාන්‍ය පුෂ්පයක් ලෙස බොහෝ පඬිවරු බුදුරදුන් හඳුන්වා දුන්හ.

බුදුදහම තුළින් මූලිකව ම පෙන්වා දී ඇත්තේ කරුණු දෙකකි. එනම් සංසාරය හා නිර්වාණය යි. මිය යමින් ඉපදෙමින් ගමන් කරන, කෙළවරක් දැකීම දුෂ්කර මේ ගමන සංසාරය යි. කෙළවරක් දැකීමට අපහසු මේ සසර ගමන නතරකිරීම නිර්වාණය යි. ඒ දුෂ්කර සංසාරයෙහි අප ගමන් කරන්නේ ඇයි? යන්නට හේතු ව බුදුරදුන් පෙන්වා දුන්හ.

මිනිසා යනු ඉන්ද්‍රියන් හයක ක්‍රියාකාරීත්වයකි. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යි. මේ ඉන්ද්‍රියයන් හයට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධර්ම එකතු වීමෙන් සසර ගමන ක්‍රියාත්මක වනු ඇත. මේ ඉන්ද්‍රියයන් හය ඒ අදාළ අරමුණු සමඟ ඇලීමක් මෙන් ම ගැටීමක් ද ඇති කර ගනු ඇත. ඉන්ද්‍රියයන්ට හසුවන අරමුණු දෙස බලන විට ඒවා ශුභ අශුභ වශයෙන් බෙදා දැක්විය හැකි ය. මේ අනුව පුද්ගලයා කැමති, රුචි අරමුණු ද නොමැති, අරුචි අරමුණ ද තිබෙනු ඇත. සමහර රූප නැවැත නැවත දකින්නට කැමැති අතර, සමහර රූප දකින්නට අකැමැති ය. මේ අනුව ඉන්ද්‍රියයන්ට ගෝචරවන දේ කොටස් දෙකකට බෙදා ප්‍රතිචාර දැක්වීමට පුද්ගලයා හැඩ ගැසෙන බව පැහැදිලි ය. මේ අනුව ලෝකය දෙස ශුභ මෙන් ම අශුභ වශයෙන් ද, බලන්නේ එකම පුද්ගලයා ය. රුචි අරුචි, කැමැති අකැමැති අරමුණු පිළිබඳ මේ ගැටුම, සටන නිරතුරුව මිනිසා තුළ ක්‍රියාත්මක වන්නකි. මේ සංසාරය තුළ සිටිනතාක් කල් මේ ජීවිත සටන පවතිනු ඇත. මේ ගැටුම පවතින්නේ මිනිස් සන්තානය තුළ යි. නමුත් මේ ගැටුම සිදුවන ආකාරය ගැන පුද්ගලයාට හරි අවබෝධයක් නොමැත. තම සිතට එබී බැලීමේ පුරුද්දක් ඔහුට නැත.

යථාවබෝධයක් නැති තැනැත්තා මේ සටනට, ගැටලුවට හේතු ව බාහිර සාධකයක් බව පෙන්නුම් කරයි. නමුත් සත්‍ය දැක්ම නම් අභ්‍යන්තර මානසික සටන පවතිනතුරු බාහිර සටන පවතිනු ඇත යන්නයි. සමාජය තුළ සිදුවන සියලු ගැටීම්වලට මූලික ම සාධකය අපේ සිත තුළ ඇතිවන මේ සටනයි.

දෙලොවක් අතර වන මේ ගැටුම මෙහෙයවනු ලබන්නේ කවරෙක් ද? පිළිතුර අවිද්‍යාව නැත්නම් මෝඩකමයි. මේ සදාතන සටන නතරවීම සඳහා විද්‍යාව පහළ විය යුතු ය. මිනිසාගේ සැනසිල්ල, සතුට, සොම්නස නැතිකරන්නේ මේ සංසාරගත සටන යි. මේ සටන නවතාලීම බාහිර පුද්ගලයෙකුට කළ හැක්කක් නොවේ. මේ සැනසීම උදාකර ගැනීම හෝ සැනසීම නැතිකර ගැනීම එම පුද්ගලයා ම සතු ය. මේ අනුව කුසල්, අකුසල්, හොඳ නරක, යන සියල්ලෙහි වගකීම එම පුද්ගලයා සතු වනු ඇත. හොඳ නරක පෙන්නුම් කිරීම සඳහා බුදුරදුහු නිතර භාවිතා කළ වචන දෙකක් කුසල් හා අකුසල් යන්න. ‘කුසල්’ යන්නේ දක්ෂ නිපුණතා, ප්‍රවීණ, හොඳ, හරි, පුණ්‍ය යන අර්ථ ගෙනහැර දක්වන්නට පුළුවන. ආචාර විද්‍යාත්මක බලනවිට මිනිසා කරන කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම, කුසල් අකුසල්, හොඳ නරක වශයෙන් බෙදා දැක්විය හැකි ය. කුසල් හෙවත් හොඳ යන්න පිළිබඳ වැදගත් පැහැදිලි කිරීමක් අම්බලට්ඨික රාහුලෝවාදය සූත්‍රය තුළින් පෙන්නුම් කර ඇත.

“රාහුල, කණ්ණාඩියෙහි ඇති ප්‍රයෝජනය කුමක් ද? ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, ප්‍රත්‍යවේක්ෂය යි.(එනම් කණ්ණාඩියෙන් බලා අඩුපාඩු හඳුනා ගැනීම යි.) රාහුල මේ ආකාරයට ම ඔබ සෑම ක්‍රියාවක් ම කරන විට, සෑම වචනයක් ම පිට කරන විට, සෑම සිතිවිල්ලක් ම සිතන විට නැවත නැවතත් එය ප්‍රත්‍යවේක්ෂණය කරන්න. එනම් යමක් කරන විට එය තමන්ගේ මෙන්ම අනුන්ගේ විපතට, දුකට හේතු වන වැරැදි ක්‍රියාවක් දැයි බලන්න. මේ අයුරින් ම ඔබ වචන පිටකරන විටත්, සිතන විටත්, අනුන්ට අයහපතක්, දුකක්, වේදනාවක් ගෙන දෙනවාදැයි බලන්න. එසේ බැලීමේ දී එය තමන්ටත්, අනුන්ටත් යන දෙපැත්තට ම හානිකර දෙයක් නම් එය නො කළ යුතු ය. දෙපැත්තේ ම සුවය, යහපත පිණිස පවතින්නක් නම් එය කිරීමෙහි වරදක් නැත. හොඳ නරක තීරණය කිරීමේ දී ප්‍රත්‍යෙචේක්ෂණය ඉතා වැදගත් බව මෙයින් පෙන්නුම් කරයි. කුසලයෙහි මූලික ලක්ෂණය අහිංසකත්වය යි. හොඳ වචනය යනු අරගලයකට හේතු නොවන සුවදායක වචන, සත්‍ය වචන භාවිතය යි. හොඳ සිත යනු ලෝභ, ද්වේෂ, මෝහ යන්නෙන් තොර වූ සිත යි. හොඳ ක්‍රියාව යනු දුසිරිතෙන් තොර සියල්ලන්ගේම යහපතට හේතුවන ක්‍රියාව යි. හොඳ දේ තුළින් සසර ගමන කෙටිවනු ඇත. මේ සඳහා ඉන්ද්‍රියයන් වැරැදි මගට යන්නට නොදී පාලනය කරගත යුතු ය.

අද සමාජය තුළ වැඩි වශයෙන් දක්නට ඇත්තේ ඉන්ද්‍රියයන් පිනවන අවස්ථාවන් ය. ඒ තුළින් ගැටුම් ද ඇතිවිය හැකිය. වැරැදි ඉන්ද්‍රිය පරිහරණය තුළින් අත්විඳින දුර්විපාකයන් හා විනාශකාරී අනාගතය ගැන අපගේ තරුණ පිරිස විශේෂ අවධානය යොමු කළ යුතු ව ඇත. කෝටි එකසිය හැටක් හිමිව සිටි මහාධන සිටුවරයා එම සිටු දේවිය ගැන සිතා බලන්න. නැටුම්, ගැයුම් මත්පැන්වලට ඇබ්බැහිවීමෙන් උතුම් රහත්ඵලයට පැමිණීමට හෝ මහාධන සිටු තනතුරට පත්වීමට තිබූ අවස්ථා නැති කරගත් අයුරු සිතා බලන්න. පාලනයකින් තොරව ආශාවන් පසු පස ගමන් කිරීම තුළින් සියලු සේසත අහිමි වී සිඟමන් යදින තැනට පත් වූ ආකාරය අපට වැදගත් පාඩමක් පෙන්නුම් කරයි. වැඩියෙන් බර ගෙන යන්නට සසර ගමන දිග ය. සසර ගමන කෙටිකර ගැනීමට තණ්හා ආශා පොදි බර අඩු කරගන්න. අතට ගත් දේ දමා යන බවත්, අරන් යන්නේ සිතට ගත් දේ පමණක් බවත් නිතර සිතන්න.



 

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...