මාසෙ මාසෙ සහස්සෙන, යො යජෙථ සතං සමං;
එකඤ්ච භාවිතත්තානං, මුහුත්තමපි පූජයෙ;
සායෙව පූජනා සෙය්‍යො, යඤ්චෙ වස්සසතං හුතං.
මාසයක් මාසයක් පාසා දහසක් වියදම් කිරීමෙන් අවුරුදු සියයක් මුළුල්ලෙහි යමෙක් තෙම යාග කරන්නේ වඩන ලද සිත් ඇති එකම ආර්යයක්හු මොහොතකුදු පුදන්නේ වේද ඉදින් අවුරුදු සියයක් මුළුල්ලෙහි දෙන ලද යම් දානයක් ඇද්ද එයට වඩා ඒ පූජාව උතුමි.
මාසෙ මාසෙ යන මේ ධර්මදේශනාව බුදුරදුන් වේළුවනාරාමයෙහි වාසයකරන කාලයේ සැරියුත්තෙරණුවන්ගේ මාමා වන බ්‍රාහ්මණයෙකු උදෙසා දේශනා කරනලදි.
සැරියුත්තෙරණුවෝ ඒ බමුණා ළඟට ගොස්, බ්‍රාහ්මණය, ඔබ යම් පිනක් කරන්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය. කුමක් කරන්නෙහිද? මාසයක් පාසා දහසක් වියදම් කොට දන් දෙමි. ඒ දන් දෙන්නේ කාටද? ස්වාමීනි, නිඝණ්ටයන්ටය. ඔබ කුමක් පතා දෙන්නෙහිද? ස්වාමීනි, බඹලොව පතමිනි, මෙය බඹලොවට මඟවේද? එය කියා දුන්නේ කවුරුන්ද? ස්වාමීනි, මාගේ ආචාර්යවරයන් විසිනි.
බ්‍රාහ්මණය, බඹලොවට යන මග ඔබ නොදන්නෙහිය. ඔබේ ගුරුවරුත් නොදන්නාහුය. මෙය දන්නෝ නම් බුදුරජහුමය. මා සමග එන්න. මම ඔබට ඒ මග කියවා දෙන්නෙමියි ඔහුත් සමග බුදුන් හමුවට ගොස් ස්වාමීනි, මේ බමුණා මෙසේ කියන්නේයයි එම ප්‍රවෘත්තිය බුදුරදුන්ට දන්වා ස්වාමීනි, මොහුට බඹලොව යනමග කියාදුන මැනවියි ඉල්ලා සිටියහ. බුදුරජාණන්වහන්සේ බමුණාගෙන් එය අසා, එසේය භවත් ගෞතමයෙනියි කී කල්හි, බ්‍රාහ්මණය, මෙසේ දන් දෙන්නාවූ ඔබ වර්ෂ සීයක් දෙන දානයට වඩා එක මොහොතක් මාගේ ශ්‍රාවකයන් දෙස ප්‍රසන්න සිතින් බැලීම හෝ සැන්දක් පමණ බත්දීම මහත්ඵලදායක යයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළ සේක:
දහසක් වියදමින්
මසක් පාසා යාග කළමුත්
ඊට වඩා සිල්වතුනට
එක් වරක් බත් දීමෙන්
මොහොතක්වුවද පිදුමත්
එයම වැදගත් වේ
වසර සියයක යාගයට වැඩි
එහි සහස්සෙන යනු දහසක් පරිත්‍යාග කිරීමෙනි. යො යජෙථ සතං සමං යනු යමෙක් අවුරුදු සියයක් වසක් පාසා දහස බැගින් වියදම් කොට ලෞකික මහාජනයාට දන් දුන්නත්, එකං ච භාවිතත්තානං යනු යම් කිසිවෙක් ශීලාදි ගුණවලින් දියුණු කරගත් සිත් ඇති, අවම වශයෙන් සෝවාන් පුද්ගලයෙකුට හෝ උපරිම වශයෙන් රහත්නමකට හෝ ගෙදොරට පැමිණි විට සැන්දක් පමණ භික්ෂාව හෝ යැපෙන පමණ දනක් දළසාටකයක් පමණක් පුදන්නේ නම් පළමු තැනැත්තා වසර සීයක් කළ යාගයට වඩා මෙම පූජාවම වැදගත් උතුම් ශ්‍රේෂ්ඨ පූජාවක් වෙයි යන අර්ථයි.
දේශනා කෙළවර ඒ බමුණා සෝවාන් ඵලයෙහි පිහිටියේය. අනිත් බොහෝ දෙනාත් සෝවාන් ඵලාදියට පැමිණියාහුය
No comments:
Post a Comment