Sunday, December 27, 2020
ආනාපානසති භාවනාව – 17 වන කොටස
ආනාපානසති භාවනාව – 17 වන කොටස
Jun 10, 2020 | සිත නිවන භාවනා | 0
ආනාපානසති භාවනාවෙන් හෝ වේවා වෙනත් භාවනාවකින් ධ්‍යානයක් උපදවාගන්නා තැනැත්තෙක් සමථ භාවනාව මුල්කරගෙන තමන්ගේ භාවනාව සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ශක්තිමත් සමාධියක් ඇති කරගැනීම වැදගත් වේ. ශක්තිමත් සමාධියක් ඇති පුද්ගලයාගේ විදර්ශනාව පහසුවෙන් කරගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනා වල මඟ පෙන්වා ඇත්තේ චතුර්ථ ධ්‍යානය දක්වා සමාධිය දියුණු කරගෙන, පූර්වේනිවස ඥානය ආදිය ද උපදවාගෙන විදර්ශනා කිරීම පිළිබඳව වේ. එසේ සමාධිය දියුණු කරගැනීම සෑම අතින්ම විදර්ශනාවට පහසුවක් බව ප්‍රායෝගිකව භාවනා කරන පුද්ගලයෙකුට වඩාත් හොඳින් වැටහෙනවා ඇත.
ප්‍රථම ධ්‍යානය උපදවාගත් පුද්ගලයෙක් දෙවන ධ්‍යානයට සමාධිය දියුණු කිරීමට පෙර ප්‍රථම ධ්‍යානයේ සිත ස්ථාවර බවට පත්කරගත යුතු වේ. ඒ සඳහා නිතර නිතර ප්‍රථම ධ්‍යානයට සමවැදීම කළයුතු වේ. ප්‍රථම ධ්‍යානයේ ප්‍රගුණ බව නොමැතිව දෙවැනි ධ්‍යානයට පැමිණීමෙන් පළමු සමාධිය ද දුර්වල වේ. මෙය බුදුරජාණන් වහන්සේ අංගුත්තක නිකායේ නවක නිපාතයේ ගාවී උපමා සූත්‍රයේ ද වදාළ සේක.
එබැවින් ප්‍රථම ධ්‍යානය ශක්තිමත් කරගැනීම පිණිස පළමුව නැවත නැවතත් එම ධ්‍යානයට සමවැදීම බහුල වශයෙන් කළයුතු වේ. එහි දී ප්‍රථම ධ්‍යානය ආකාර පසකට (5) වශී බවට පත්කරගත යුතු වේ. මෙය පංච වශීතාවය ලෙස ද හැඳින්වේ. ඒ මෙසේය. 1. ආවජ්ජන වශීතාවය 2. සමාපජ්ජන වශීතාවය 3. අධිට්ඨාන වශීතාවය 4. වුට්ඨාන වශීතාවය 5. පච්චවෙක්ඛණ වශීතාවය යනුවෙනි.
කිසියම් ධ්‍යාන සමාධියක් මේ ආකාර පසට වශී බවට පත්කරගත් විට ඒ යෝගියාට ඕනෑම අවස්ථාවක, ඕනෑම ස්ථානයක ඉතා ඉක්මනින් ධ්‍යානයට සමවැදීමේ හැකියාව ලබාගත හැකි වේ. යම් කෙනෙක් දිවැස් නුවණ ආදී අභිඥා ඉපදවීමට අදහස් කරන්නේ නම් අනිවාර්යයෙන්ම ධ්‍යාන වශී බවට පත්කරගත යුතු වේ. එහෙත් බොහෝ බෞද්ධයන්ගේ කැමැත්ත වන්නේ ඉක්මනින් විදර්ශනා කිරීමට බැවින් අභිඥා ආදිය ඉපදවීමේ කැමැත්තක් නොමැති වේ. එහෙත් විදර්ශනාව පහසුවෙන් කරගෙන යාමට නම් ශක්තිමත් සමාධිය බොහෝ උපකාරී වේ.
ඒ පංච වශීතාවය සිදු කරන ආකාරය මෙසේ දැක්විය හැකි වේ.
1. ආවජ්ජන වශීතාවය
මෙයින් අදහස් වන්නේ ඉතා ඉක්මනින් ධ්‍යානාංග ආවර්ජනය කිරීමේ හැකියාව ලබන වශීතාවයයි. ප්‍රථම ධ්‍යානයට සමවැදුණු යෝගියා එයින් නැඟී සිට, එනම් ධ්‍යානයෙන් සිත ඉවත් කරගෙන උපචාර සමාධියට පැමිණ තමන් සමවැදුණු ධ්‍යානයේ ඇති විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන අංග පස ආවර්ජනය කළයුතු වේ. එය කරන්නේ මෙසේය.
ප්‍රථම ධ්‍යානයෙන් නැඟී සිට පළමුව විතර්කය ආවර්ජනය කරයි. සිත නිමිත්ත කරා යොමු වන ස්වභාවය, අරමුණට නංවන ස්වභාවය ආවර්ජනය කරයි. එය වැටහෙන විට දෙවන අංගය වන විචාරය ආවර්ජනය කරයි. එනම් සිත අරමුණෙහි හැසිරෙන ආකාරය ආවර්ජනය කරයි. එයින් මතු ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය යන පිළිවෙලට අංග ආවර්ජනය කර බැලිය යුතු වේ. නැවත පළමු අංගයේ පටන් ආවර්ජනය කළයුතු වේ. මෙසේ බොහෝ වාර ගණනක් ධ්‍යාන අංග ආවර්ජනය කිරීමේ දී අතරක් නැතිව එක දිගටම ධ්‍යාන අංගයෙන් අංගය ආවර්ජනය කිරීමේ හැකියාව ලැබේ. ඉක්මනින් අංග ආවර්ජනය කිරීමේ හැකියාව ලැබේ. එවිට ආවර්ජන වශීතාවය ඇති වූයේ වෙයි.
මෙහි දී එකිනෙක ධ්‍යාන අංගයේ ගුණ දොස් විචාරා බැලීම සුදුසු නොවේ. එසේ බැලීමෙන් ප්‍රථම ධ්‍යානයේ දොස් දැක දෙවන ධ්‍යානයට යාමට සිත පහළ වේ. එයින් දෙවන ධ්‍යානය උපදවන්නට තැත් කරන පුද්ගලයාගේ ප්‍රථම ධ්‍යානය ද පිරිහීමට පත් වේ.
2. සමාපජ්ජන වශීතාවය
ධ්‍යානයට වහා සමවැදීමේ හැකියාව සමාපජ්ජන වශීතාවය ලෙස හැඳින්වේ. මෙය ඇති කරගැනීම සඳහා යෝගියා නිතර නිතර සමවැදීම බහුල කරගත යුතු වේ. වාර සියදහස් ගණනක් සමාධියට සමවැදී ඉන් නැගී සිට නැවත සමවැදී ඉන් නැගී සිට ලබන පුහුණව තුළින් මෙම සමවැදීමේ වශීතාවය උපදවාගත හැකි වේ.
3. අධිට්ඨාන වශීතාවය
කිසියම් අධිෂ්ඨාන කරන කාලයක් සමවැදී සිටීමේ හැකියාව ඇති කරගැනීම මෙයින් අදහස් වේ. මෙය ඇති කරගැනීම සඳහා නොයෙක් කාලයන් අධිෂ්ඨාන කර පුහුණු විය යුතු වේ.
මේ සඳහා පළමුව ධ්‍යානයට සමවැදී මිනිත්තුවක් සිටින බව අධිෂ්ඨාන කරගෙන සමවැදිය යුතු වේ. එවිට මිනිත්තුවක් ඉක්ම ගිය පසු නැඟී සිටීම සිදු වේ. බොහෝ වාර ගණනක් මෙසේ කිසියම් එක් කාලයක් අධිෂ්ඨාන කරගෙන සමවැදීම කළයුතු වේ. එවිට වඩාත් නිවැරදි කාලයේම නැඟී සිටීම සිදු වේ. මිනිත්තුවක් අධිෂ්ඨාන වශී බවට පත්කරගත් පසු නැවත මිනිත්තු දෙකක් සමවැදී සිටීමට අධිෂ්ඨාන කළයුතු වේ. එය ද බොහෝ වාර ගණනක් කළයුතු වේ. මෙසේ පැයක්, දෙකක්, තුනක් පමණ සමාධියට සමවැදී සිටීමේ හැකියාව උපදවා ගැනීමෙන් අධිෂ්ඨාන වශීතාවය ඇති කරගත්තේ වෙයි. එවිට තමන් කැමති කාලයක් තීරණය කරගෙන සමාධියට සම වැදී සිට නියම කරගත් කාලය අවසානයේ ඉන් නැඟී සිටීමේ හැකියාව ලැබේ. නියම කරගත් කාලයට අඩුවෙන් නැඟී සිටීමක් සිදු නොවේ.
4. වුට්ඨාන වශීතාවය
කිසියම් කාලයක් අධිෂ්ඨාන කර සමවැදීමෙන් අනතුරුව ඒ කාලය නොඉක්මවා සමාධියෙන් නැඟී සිටීමේ හැකියාව වුට්ඨාන වශීතාවය නම් වේ. අධිෂ්ඨාන වශීතාවය ඇති කරගත් යෝගියාට වුට්ඨාන වශීතාවය ද ඇති වූයේම වෙයි.
5. පච්චවෙක්ඛණ වශීතාවය
එකිනෙක ධ්‍යාන අංගය එහි ස්වභාවය වශයෙන් හඳුනාගැනීම ප්‍රත්‍යවේක්‍ෂා වශීභාවය නම් වේ. ආවර්ජනය වශීතාවයේ දී ධ්‍යාන අංග ආවර්ජනය කරමින් ඒ ඒ ධ්‍යානාංගය හඳුනාගන්නා බැවින් ප්‍රත්‍යවේක්‍ෂණ වශීභාවය ද සිදු වේ.
මෙම පංච වශීතාවය පිළිබඳ විශුද්ධිමාර්ග සන්නයේ සඳහන් වන්නේ ආවර්ජන වශීභාවය ඇති කරගැනීමෙන් ප්‍රත්‍යවේක්‍ෂණ වශීබව ද ඇති වන බවයි. එසේම අධිෂ්ඨාන වශීභාවය ඇති කරගැනීමෙන් වුට්ඨාන වශීභාවය ද ඇති වන බවයි.
මෙම ආවර්ජන-පච්චවෙක්ඛණ වශීතාවය අභිධර්මයට අනුව මෙසේ පැහැදිලි කළ හැකිය. එනම් ආවර්ජනයේ දී අදහස් කරන ලද්දේ ධ්‍යානාංග විමසා බැලීමේ දී භවංග සිත ඉපිද නිරුද්ධ වී උපදින මනෝද්වාරාවර්ජන සිතට අනතුරුව විතර්ක ආදී ධ්‍යානාංග අරමුණු කරගත් ජවන සිත් පිළිබඳව වේ. ප්‍රත්‍යවේක්‍ෂණ වශීතාවයේ දී අදහස් කරන්නේ එකිනෙක ධ්‍යානාංග විමසා බැලීමේ ප්‍රත්‍යවේක්‍ෂා ජවන සිත් පිළිබඳව වේ.
අධිෂ්ඨාන-වුට්ඨාන වශීතාවයන් ද එකවිට සිදු වන අතර අධිෂ්ඨානයේ දී නියම කරගත් කාලයට අඩුවෙන් නැඟී සිටීමක් සිදු නොවී තීරණය කරගත් කාලයම සමාධිය පැවැත්වීම අදහස් කෙරේ. වුට්ඨානයේ දී නියම කරගත් කාලය ඉක්ම යා නොදී සමාධියෙන් නැඟී සිටීම අදහස් වේ.
මෙසේ ප්‍රථම ධ්‍යානය ආකාර පසකට වශී කරගත් පසු කැමති තැනක, කැමති වේලාවක සමවැදීමටත්, කැමති කාලයක් සමවැදී සිටීමටත් හැකි වේ. ඉන් පසු දුතිය ධ්‍යානයට සමවැදීම සුදුසු වේ.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Saturday, December 26, 2020
ආනාපානසති භාවනාව – 16 වන කොටස
25. ආනාපානසති භාවනාව – 16 වන කොටස
Jun 7, 2020 | සිත නිවන භාවනා | 0
ආනාපානසති භාවනාව වඩන ආකාරය ඉතා දීර්ඝ වශයෙන් මෙම ලිපි පෙළේ විස්තර කරන ලදී. මෙය කියවන ඇතැම් කෙනෙකුට මෙම භාවනාව අතිශය ගැඹුරු යැයි වැටහෙනවා ඇති. එය සැබෑවකි. එහෙත් නිවැරදි උපදෙස් අනුව වඩන්නේ නම් ඉක්මනින් සමාධිය දියුණු කරගත නොහැක්කේ ද නොවේ.
මෙම ලිපි පෙළින් විස්තර කරන ලද්දේ සමථ භාවනාවක් ලෙස ආනාපානසති භාවනාව වඩන ආකාරයයි. එහි දී තම චිත්තසන්තානය තුළ සමාධිය වැඩීමට අවශ්‍ය පසුබිම සකස් කරගත්තේ නම් උපචාර සමාධියක් ඉක්මනින් උපදවාගෙන එය ධ්‍යාන සිතක් දක්වා දියුණු කරගැනීම අපහසු නොවේ. සමාධි භාවනාවකින් සිත සමාධිමත් කරගෙන ඉන්පසු විදර්ශනා වඩන්නේ නම් නාමරූප පිළිබඳ අවබෝධය ලබාගැනීම ද ඉතා පහසු වේ. විදර්ශනාව පහසු වේ. එය සමථ පූර්වාඩ්ගම විදර්ශනාව ලෙස ඉහත අපගේ 2 වන ලිපියෙන් දක්වන ලදී.
සමථ භාවනාව පදනම් කරගෙන විදර්ශනාව වැඩීම පිණිස ආනාපානසති භාවනාව වැනි භාවනාවකින් උපචාර සමාධියක් පමණක් උපදවාගැනීම ද ප්‍රමාණවත් වේ. ඒ නිසාම භාවනාවෙන් වඩාත් හොඳ සමාධියක් උපදවාගැනීමට නොහැකි වූ අය අධෛර්යමත් වියයුතු නොවේ. ඒ අයට හුස්ම රැල්ල අරමුණු කරගෙන යම් තරමකට හෝ සිත සමාධිමත් කරගත හැකි වූයේ නම්, සිතේ කයේ සන්සිඳීමක් ඇති වූයේ නම් එතැන් පටන් විදර්ශනාවට පදනම සකස් කරගත හැකි වේ. එහෙත් යම් කෙනෙකුට ආනාපානසති භාවනාවෙන් සතරවෙනි ධ්‍යානය දක්වාම දියුණු කරගත හැකි නම් එසේ කිරීම වඩාත් සුදුසු වේ. ඒ නිසා මෙම ලිපි පෙළේ මෙතැන් සිට ප්‍රථමධ්‍යානයේ පටන් ඉදිරියට ධ්‍යාන උපදවාගන්නා ආකාරය විස්තර කිරීමට බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම නිවැරදිව ධ්‍යාන උපදවන ආකාරය පිළිබඳ වර්තමානයේ බොහෝ දෙනා තුළ අවබෝධයක් නොමැති බව දක්නට ලැබෙන බැවින් සහ ඒ පිළිබඳ විස්තර කෙරෙන පොත්පත් පවා දුර්ලභ බැවින් මෙම ලිපි පෙළින් එය විස්තර කරමු. එය ආධුනික යෝගියෙකුට අවබෝධ කරගැනීම අපහසු නම් පළපුරුදු ගුරු ඇසුරක් ලබාගන්නා ලෙස ද මෙත් සිතින් සිහිපත් කරමු.
ප්‍රථමධ්‍යානයට පැමිණි යෝගාවචරයා එතැන් පටන් දෙවැනි ධ්‍යානයට යාමට හදිස්සි නොවිය යුතු වේ. එසේ හදිස්සි වී දෙවෙනි ධ්‍යානයට පත් වුවහොත් තමාගේ පළමු ධ්‍යානය ශක්තිමත් නොවීම මත ඉක්මනින් සිතේ සමාධිය පිරිහී යා හැකි වේ. මෙය පැරණි ඇදුරුවරු පැහැදිලි කරන්නේ වයසක එළදෙනක් බරක් පිටේ තබාගෙන අමාරුවෙන් කන්දක් නඟින්නාක් මෙන් සිතේ භාවනාව දියුණු කරගත යුතු බවයි.
වයසක එළදෙන තමාගේ පිටේ බරක් පටවාගෙන කන්දක් නඟින විට එක් පයක් තබා අනෙක එසවීම වඩාත් කල්පනාකාරීව කළයුතු වේ. පළමු තැබූ පය නිසි පරිදි තබා නොගෙන දෙවෙනි පය ඔසවන්නේ නම් එවිට පළමු පය පෙරළී යාහැකි වේ. තමන් සිටි තැනින් ද පහළට වැටිය හැකි වේ. මේ ආකාරයෙන් භාවනාව දියුණු කරන යෝගියා ද තමන් ලැබූ සමාධිය ශක්තිමත් කරගෙන අනතුරුව මතු සමාධියකට සිත දියුණු කළයුතු වේ. එසේ නොවුවහොත් තමන් ලැබූ සමාධියෙන් ද පිරිහීමට පත්වේ. ඒ නිසා පළමු ධ්‍යානය ශක්තිමක් කර නොගෙන දෙවන ධ්‍යානයට යාම නොකළ යුතු වේ.
තමන්ගේ සිත ධ්‍යානයකින් සමාධිමත් කරගත් යෝගියා පළමුවෙන්ම ඒ ධ්‍යාන සමාධිය උපදවාගැනීමට උපකාර වූ සෙනසුන්, ආහාර, පුද්ගලයන් ආදිය පිළිබඳව සලකා බැලිය යුතු වේ. තමන්ගේ සිත හොඳින්ම සමාධිමත් වූයේ කවර සේනාසනයක, කවර තැනක භාවනා කිරීමේ දී ද යන්න සිතා බැලිය යුතු වේ. එසේ සිත සමාධියට පත් වූ දිනයේ ඇසුරු කළ පුද්ගලයන් කෙබඳු දැයි සිතා බැලිය යුතු වේ. එදින අනුභව කළ ආහාර මොනවා දැයි සිතා බැලිය යුතු වේ.
සෑම තැනක්ම සෑම පුද්ගලයෙකුගේම සිත සමාධිමත් වීමට එකලෙසින්ම උපකාර නොවේ. එසේම සෑම පුද්ගලයෙක්ම, සෑම ආහාරයක්ම එක ලෙසින් භාවනාවට උපකාරී නොවේ. තමන්ගේ සිත සමාධියට පත් වීමට උපකාර වූ සෙනසුන් ආදිය සලකා බැලීම පසු අවස්ථාවල සිත ඉක්මනින් සමාධිමත් කරගැනීමට උපකාර වේ.
රජුගේ අරක්කැමියා ආහාර පිළියෙල කිරීමේ දී නිතරම රජු ඉතා කැමැත්තෙන් අනුභව කරන ආහාර මොනවාද යන්න අවධානයෙන් සිටී. එසේ අවධානයෙන් සිට, රජු වඩාත් කැමති ආහාර සලකාගෙන ඒවා වැඩි වැඩියෙන් පිළියෙල කර දී සිත් දිනාගෙන ලාභ ලබාගනී.
මෙසේ භාවනා කරන පුද්ගලයා ද තමන්ට ධ්‍යානයක් උපදවාගැනීමට උපකාර වූ සෙනසුන්, ආහාර ආදිය ගැන සැලකිලිමත් විය යුතු වේ. හොඳින්ම සිත සමාධිමත් වූ දිනයේ අනුභව කළ ආහාර ආදිය මෙනෙහි කර එබඳු ආහාර පාන අනුභව කිරීම මඟින් නැවත නැවත ධ්‍යානය සමවැදීම වැඩි කරගත හැකි වේ. සිත හොඳින් සමාධිමත් වූ දිනයේ ඇසුරු කළ, කථාබස් කළ පුද්ගලයන් ගැන මෙනෙහි කර බලා එබඳු අය වැඩියෙන් ඇසුරු කිරීමෙන් නැවත නැවත සමාධියට සමවැදීමට හැකි වේ. මෙසේ දක්‍ෂ අරක්කැමියෙක් රජු කැමති ආහාර නිතර සම්පාදනය කර රජුගේ සිත් දිනාගන්නා සේ භාවනා කරන පුද්ගලයා ද සමාධියට උපකාරී වූ සෙනසුන්, ආහාර ආදිය නිතර සේවනය කර සමාධිය දියුණු කරගත යුතු වේ.
මෙසේ සමාධියට හිතකර දේ නිතර ඇසුරු කරගෙන ප්‍රථම ධ්‍යානයට නිතර නිතර සමවැදීම කළයුතු වේ. දෙවෙනි ධ්‍යානයට සමවැදීමට පෙර පළමු ධ්‍යානය හොඳින් ශක්තිමත් කරගත යුතු වේ. මේ ශක්තිමත් කරගැනීම සඳහා ප්‍රථම ධ්‍යානය වශී භාවයට පත් කරගත යුතු බව අර්ථකථාවල සඳහන් වේ. එවිට ඕනෑම තැනක, ඕනෑම ඉරියව්වක සිට ඉතා ඉක්මනින් ප්‍රථමධ්‍යානයට සමවැදීමේ හැකියාව ලැබේ. එසේ හැකියාව ලැබුණු පසු දෙවෙනි ධ්‍යානයට සමවැදීම කළයුතු වේ.
මෙම ධ්‍යාන වශී බවට පත් කිරීම ආකාර පසකට කළයුතු වේ. එය පංච වශීතාවය ලෙස හැඳින්වේ. එම පංච වශීතාවය පිළිබඳ මීළඟ ලිපියෙන් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වේ.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Friday, December 25, 2020
ආනාපානසති භාවනාව – 15 වන කොටස
ආනාපානසති භාවනාව – 15 වන කොටස
Jun 4, 2020 | සිත නිවන භාවනා | 0
ආනාපානසති භාවනාවෙන් සමාධිය දියුණු කරගැනීම යනු භාවනා කරන යෝගියකු විසින් අත්පත් කරගන්නා වටිනා ලාභයක් වේ. සියලු බුදුවරයන් වහන්සේලා මෙම ආනාපානසති භාවනාවෙන් චතුර්ථ ධ්‍යානය දක්වා සිත දියුණු කර තමන් වහන්සේලාගේ විදර්ශනා වැඩීම අරඹන බව ඉහත පැහැදිලි කරන ලදී. එසේම බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් ආනාපානසති භාවනාවේ ආනිසංස නොයෙක් ආකාරයෙන් දේශනා කර ඇත. ඒ නිසාම බොහෝ යෝගාවචරයන් මෙම ආනාපානසති භාවනාව මුල් කරගෙන භාවනාව ආරම්භ කිරීමට කැමැත්ත දක්වති. එහෙත් ඒ සියලු දෙනාට ආනාපානසති භාවනාව මුල් කරගත් භාවනා මාර්ගය පිළිබඳ නිවැරදි වැටහීම ඇත්දැයි විමසිය යුතු වේ.
භාවනා කරන බොහෝ දෙනෙක් මැසිවිලි නඟන්නේ තමන්ගේ සිත විසිරෙන බව පවසමිනි. තම සිත එක් අරමුණකට ගැනීම අපහසු බව පවසමින් භාවනා කමටහන සමඟ හෝ භාවනා උපදෙස් ලබාදෙන ගුරු උතුමන් සමඟ ගැටීම් ඇති කරගන්නා අය ද නැතුවා නොවේ. එහෙත් භාවනා කිරීමේ දී තම සිත හසුරුවාගත හැකි ආකාරය පිළිබඳ මනා අවබෝධයක් නොමැතිකම නිසා මෙවැනි මැසිවිලි නඟන බව පැහැදිලිය.
ධ්‍යාන මට්ටමක් දක්වා සිත දියුණු කිරීමේ දී පුරුදු පුහුණු කරගත යුතු අර්පණා කුසලතාවයන් දහයක් පිළිබඳ ඉහත පැහැදිලි කරන ලදී. එහි දී අවධානය කළ කරුණක් වන්නේ යෝගියා තමාගේ සිත අවශ්‍ය අවස්ථාවේ දිරි දෙමින්, උනන්දු කරමින් භාවනාවේ යෙදිය යුතු බවත්, අවශ්‍ය අවස්ථාවේ සිතට නිග්‍රහ කරමින් කටයුතු කළයුතු බවත්, අවශ්‍ය අවස්ථාවේ සිත සම්පහංසනයට පත් කරමින් භාවනාව පුරුදු කළයුතු බවත් වේ. සිත සමාධිමත් වන්නට පටන් ගත් විට මැදහත්ව කමටහන මෙනෙහි කළයුතු වේ.
සමහර මී මැස්සෙක් මල් පිපි බව දැනගෙන ඉතා දක්‍ෂ බව නිසා වේගයෙන් පියඹා යයි. එහෙත් පිපි මල් ගොමුව අසල දී තමාගේ වේගය පාලනය කර ගත නොහැකිව මල්ගොමුව පසු කරගෙන දුර යයි. අනතුරුව ආපසු හැරී නැවත මල කරා පැමිණෙන විට රොන් සුළඟින් වියළී ගියේ වෙයි. නිසි පරිදි රොන් ලබාගත නොහැකි වේ. තවත් මී මැස්සෙක් කම්මැලිකම නිසාම ඉතා සෙමෙන් මල්ගොමුව කරා පියඹා යයි. ඌ සෙමෙන් සෙමෙන් පැමිණෙන විට ද පිපි මල්වල රොන් සුළඟින් වියළී ගියේ වෙයි. එහෙත් දක්‍ෂ මී මැස්සෙක් වැඩිත් නොවූ, අඩුත් නොවූ සම මට්ටමේ වේගයකින් පියඹා ගොස් පිපි මල් සුළඟින් වියළිමට පෙර නැවුම් රොන් ලබාගෙන නියම රොන් රස අනුභව කරයි. භාවනා කරන තැනැත්තා ද මෙම දක්‍ෂ මී මැස්සා මෙන් වැඩිත් නොවූ, අඩුත් නොවූ වීර්යයකින් යුතුව භාවනාව කළයුතු වේ.
පෙර අතීතයේ සැත්කම් සඳහා පුහුණු වන ශල්‍ය වෛද්‍ය වරුන්ගේ පරීක්‍ෂණයක් පිළිබඳ සඳහන් වේ. වතුරට දැමූ මහනෙල් පෙත්තක් වතුරේ තිබියදී සැත්කම් පිහියකින් එහි සිවිය ඉවත් කිරීමේ සියුම් පරීක්‍ෂණයක් වේ. දක්‍ෂ බව වැඩි පුද්ගලයා හදිසිය නිසා එක්කෝ මහනෙල් පෙත්ත දෙකට කපා දමයි. නැත්නම් වතුරේ ගිල්වයි. දක්‍ෂ නොවූ පුද්ගලයා මහනෙල් පෙත්ත කැපී යා දෝ නැතහොත් වතුරේ ගිලී යාවි දෝ කියා භයින් මහනෙල් පෙත්ත සැත්කම් පිහියෙන් ඇල්ලීමක් හෝ නොකරයි. එහෙත් දක්‍ෂ පුද්ගලයා සම වූ ප්‍රයෝගයෙන් යුතුව, සිහියෙන් යුතුව දියේ ඇති මහනෙල් පෙත්ත සැත්කමට බඳුන් කරයි. එපරිද්දෙන්ම දක්‍ෂ භාවනා කරන තැනැත්තා ද තමාගේ වීර්යය සම බවට පත් කරගත යුතු වේ.
මේ පිළිබඳ අටුවාවන්හි දැක්වෙන තවත් උපමාවක් නම්, භාවනා යෝගියා මකුළුදැල් නූලක් සොයන පුද්ගලයා බඳු වියයුතු බවයි. බඹ සතරක් දිග මකුළුදැල් නූලක් රැගෙන එන පුද්ගලයකුට රජුගෙන් වටිනා තෑග්ගක් ලැබෙන බව අසා සතුටට පත්වන පුද්ගලයෙක් වේගයෙන් මකුළුදැලක් අදින්නට වෙයි. ඔහුට සතරබඹයක් දිග නූලක් සපයා ගැනීම කිසිසේත් කළ නොහැකි වේ. තැනින් තැනින් කැඩුණු නූලක් ලබාගනී. අදක්‍ෂ පුද්ගලයෙක් මකුළුහුය කැඬේවි යැයි බියෙන් අතින් අල්ලන්නට හෝ බිය වෙයි. එහෙත් දක්‍ෂ පුද්ගලයා කෙළවරක පටන් සමාන ප්‍රයෝගයකින් මකුළුහුය දණ්ඩක වෙළාගෙන ගෙණහැර ත්‍යාගය ද ලබාගනී. එපරිද්දෙන් භාවනා කරන දක්‍ෂ පුද්ගලයා ද දැඩි වීර්යයක් හෝ නොකොට, කුසීත බවට ද ඉඩ නොදී මැදහත් ආකාරයකින් සිත පවත්වාගනී.
ඉක්මන් කාර නැවියෙක් රුවල් නැවක් පදවන්නේ සුළං වේගය බලවත් වූ විට රුවල පුරා සුළඟ නංවමින් නැව යා යුතු දිශාවට නොව වෙනත් දිශාවන්ට නැව පමුණුවයි. එසේම අදක්‍ෂ නියමුවෙක් සුළඟ මද අවස්ථාවේ රුවල නංවමින් යා යුතු තැනට නොගොස් එතැනම සිටී. දක්‍ෂ නැවියා මඳ සුළං ඇති අවස්ථාවේ රුවල නංවමින්, සුළඟ බලවත් වූ විට අඩක් පුරවමින් අවශ්‍ය තැනටම නැව පදවයි. එපරිද්දෙන් භාවනා කරන දක්‍ෂ පුද්ගලයා ද දැඩි සේ වීර්ය කිරීමක් හෝ නොකොට, සිත කුසීත බවට හෝ වැටීමට නොදී මැදහත්ව පවත්වාගෙන නිසිපරිදි භාවනාව සමෘද්ධ කරගනී.
භාවනා කරන පුද්ගලයාගේ සිත මැදහත් මට්ටමට වීර්යය පවත්වාගත යුතු ආකාරය පිළිබඳ මේ සියලු උපමා වලින් කියවේ. සමහර පුද්ගලයෙක් භාවනා කරනුයේ වහ වහා ධ්‍යාන සමාධියක් උපදවා ගැනීමට සිතමින් දැඩි සේ වීර්ය කරයි. ඔහුගේ සිත දැඩි වීර්යය නිසා උඩඟු බවට පත්වී විසිරේ. කමටහනේ සිත රඳවාගත නොහැකි වේ. බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයේ වැඩ සිටි සෝණ කෝළිවීස ස්වාමින් වහන්සේ වැනිය. උන්වහන්සේ ගිහි කළ සුවිශාල ධනයක් තිබූ, සුඛුමාළ වූ, සැප පහසුව නිසාම කුඩා කළ පටන්ම යටි පතුල් වල ලෝම පවා හටගෙන තිබූ අයෙකි. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදී පැවිදි වන උන්වහන්සේ ඉතා දැඩි වීර්යයකින් භාවනා කළ ද අධිගමයකට පත් වීමට නොහැකි විය. අපහසුවෙන් සක්මන් කිරීමේ දී පා පැළී ලේ වැගිරෙන්නට විය. සක්මන ගව ඝාතක ස්ථානයක් සේ විය. අවසානයේ තමන්ගේ භාවනාව සමෘද්ධ නොවේ යැයි සිතා උකටලී වූයේ ය. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කර වීර්යය සම කරගැනීමට උපදෙස් දුන්නේ වීණාවේ තත් උපමාවට ගනිමිනි. වීණාවේ තත් ඉතා දැඩි සේ හිර වී ඇති විට ද නිසි පරිදි හඬ නොනැඟේ. ඉතා ලිහිල්ව තිබූ විට ද නිසි පරිදි හඬ නොනැඟේ. මැදහත් මට්ටමෙන් පැවති විට මැනවින් හඬ නැඟේ. එසේ වීර්යය සම බවට පත් කරගත යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඒ අනුව භාවනා කර සව් කෙලෙස් නසා සිව් පිළිසිඹියා ඤාණ සහිතව අරිහත්වය ද සාක්‍ෂාත් කරගත්තේය.
එබැවින් ආනාපානසති භාවනාවෙන් ධ්‍යාන මට්ටමක් දක්වා සිත දියුණු කරගැනීමට කැමති පුද්ගලයන් විසින් මේ දස වැදෑරුම් අර්පණා කුසලතාවයන් සම්පාදනය කරගත යුතු වේ. නිසි මඟපෙන්වීමක් යටතේ භාවනාව පුහුණු කරන විට ඉක්මනින් උද්ග්‍රහ-පටිභාග නිමිති පහළ වන අතර සිතේ වීර්යය මැදහත් බවට පත් කරගෙන මැදහත්ව භාවනාව කිරීමෙන් ඉක්මනින්ම ධ්‍යාන උපදවාගැනීමට ද හැකි වේ. අනතුරුව සංස්කාර ධර්මයන් ත්‍රිලක්‍ෂණ විදර්ශනාවට නංවා ඉක්මනින් නිවන් සාක්‍ෂාත් කරගත හැකි වේ.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Wednesday, December 23, 2020
Tuesday, December 22, 2020
ආනාපානසති භාවනාව – 14 වන කොටස
ආනාපානසති භාවනාව – 14 වන කොටස
Jun 1, 2020 | සිත නිවන භාවනා | 0
සමාධි භාවනා වඩන යෝගාවචරයා නිරන්තරයෙන් සතිමත් විය යුතුය. සතිමත් වීම යනු නිරතුරුවම තමන් කරන-කියන, සිතන-පතන සෑම දෙයක් ම සිහියෙන් යුතුව කිරීමයි. එවිට තමන් කුසලයක නිරත වන්නේ ද, අකුසලයක නිරත වන්නේ ද යන්න මැනවින් තෝරාබේරා ගත හැකි වේ. එවිට සිත කුසීත බවට පත්වීම හෝ නොවිසිරීමට පත් වීමෙන් තොරව රැකගත හැකි වේ.
අර්පණා සමාධි ඉපදවීම පිණිස සම්පාදනය කරගතයුතු කුසලතාවයන් දෙකක් පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී. තවත් කුසලතාවයන් කිහිපයක් මෙසේ දැක්විය හැකි වේ.
3. නිමිත්ත කුසලතාවය : නිමිත්ත කුසලතාවය ඇතිකරගැනීම නම් සිත එකඟ වීමට හේතුවක් වූ නිමිත්ත ඉපදවීමට ද, උපදවන ලද පුද්ගලයාට එය වැඩීමට ද, වඩන ලද පුද්ගලයාට එය රැකගැනීමට ද අවශ්‍ය වන කුසලතාවය ඇතිකර ගැනීමයි. ආනාපානසති භාවනාවෙන් සිත එකඟ වන ආකාරය, නිමිත්ත ඇතිකරගන්නා ආකාරය, ඒ සඳහා භාවනාව කළයුතු පිළිවෙල නිවැරදිව දැනගත යුතු වේ. එසේම සිත එකඟ වූ විට එම එකඟතාවය රැකගැනීමට ද දැනගතයුතු වේ. එසේ නොවුවහොත් තමන් සමාධියෙන් පිරිහීමට පත් වේ. පිරිහුණු සමාධියක් යළි ඇති කරගැනීම අපහසු විය හැකිය.
4. සිතට දිරි දියයුතු අවස්ථාවේ සිතට දිරි දීම
5. සිතට නිග්‍රහ කළයුතු අවස්ථාවේ සිතට නිග්‍රහ කිරීම
ඇතැම් විට සිතට දිරි දියයුතු අතර ඇතැම් විට සිතට නිග්‍රහ කළයුතු වේ. භාවනා කරන යෝගියාගේ සිත ඇතැම් විට හැකිළීමට පත් වේ. සිත නිදිමත බවට පෙරළේ. මෙවන් අවස්ථා වල සිතට දිරිදීම කළයුතු වේ. සමහර අවස්ථා වල සිත විසිරීමට පත්වේ. දැඩි වීර්යය ඇති අවස්ථාවල මෙසේ සිත විසිරීමට පත් වේ. එවිට සිතට නිග්‍රහ කරමින් වීර්ය සම බවට පත් කළයුතු වේ.
සිත හැකිළීමට පත් වූ අවස්ථා වල ධම්මවිචය, විරිය, ප්‍රීති සම්බොජ්ඣඩ්ග වැඩිය යුතු වේ. සිත අධික වීර්යය හේතුවෙන් විසිරීමට පත්වූ අවස්ථා වල පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා සම්බොජ්ඣඩ්ග වැඩිය යුතු වේ. ඒ ඒ බොජ්ඣඩ්ග ධර්මයන් වැඩීම සඳහා කළයුතු, නොකළයුතු දේ ත්‍රිපිටකානුසාරයෙන් දැනගත යුතු වේ.
6. සිත සම්පහංසනය කළයුතු අවස්ථාවේ සිත සම්පහංසනය කිරීම : ඇතැම් අවස්ථා වල සිතේ ආශ්වාද භාවය නොමැති වීම නිසා යෝගියාට භාවනාව එපාවීමක් සිදු වේ. භාවනාව අතහැර දැමීමට සිතේ. එවිට ද තමන්ගේ භාවනාව නිසි පරිදි සමෘද්ධමත් නොවේ. එවිට සිත සම්පහංසනයට පත් කළයුතු වේ. එසේ භාවනා අභිරුචිය පහව ගිය අවස්ථාවල අෂ්ඨ සංවේගවස්තු සිහි කරමින් සිත සංවේගයට පත්කිරීමෙන් සම්පහංසනයට පත්කළ හැකි වේ. එසේම බුද්ධ, ධම්ම, සඩ්ඝ ගුණ සිහිකරමින් සිතේ ප්‍රසාදය ඇති කරගැනීමෙන් ද සම්පහංසනය ඇතිකරගත හැකි වේ.
සිහි කළයුතු සංවේගවස්තු අට (8) නම්, ජාතිය හෙවත් ඉපදීමේ දුක, ජරාවට පත් වීමේ දුක, ව්‍යාධි හෙවත් ලෙඩ වීමේ දුක, මරණයට පත්වීමේ දුක, අපාය දුක, අතීතයේ ඉකුත් වූ සංසාර දුක, අනාගතයේ පැමිණීමට ඇති සංසාර දුක, වර්තමානයේ ආහාර සෙවීම මුල් කොට ඇති දුක යන මේ කරුණු අට වේ. මේවා සිහි කරන පුද්ගලයාට සිතේ කුසීත බවක් වූයේ නම් එය දුරු වී යයි. සිත උඩඟු වී විසිරීමට පත් වූයේ නම් එය ද දුරු වේ. සිත ආශ්වාදයට පත් වී භාවනාව කෙරෙහි ඇලීම ඇති වේ. එය අතහැරිය යුතු දෙයක් නොව නැවත නැවත වැඩිය යුතු දෙයක් ලෙස අවබෝධ වේ.
7. සිත මධ්‍යස්ථ කළයුතු අවස්ථාවේ සිත මධ්‍යස්ථ කිරීම : ඇතැම් අවස්ථා වල භාවනාව වර්ධනය වීම පිණිස සිත මධ්‍යස්ථ බවට පත් කළයුතු වේ. ඉහත සඳහන් කළ ආකාරයට සිත සම්පහංසනය කරමින් භාවනාව කරගෙන යාමේ දී සිත හැකිළීමෙන් තොරව, උඩඟු වීමෙන් තොරව, ආශ්වාද රහිත බවින් තොරව ආශ්වාස-ප්‍රාශ්වාස අරමුණේ සමව පවතිමින් සමාධි වීථියට බැසගනී. එසේ සිත සමාධිමත් වීමට පටන්ගත් විට නැවත නැවතත් සිත සම්පහංසනය කිරීමක් අවශ්‍ය නොවේ. සිතේ මධ්‍යස්ථ බව ඇති කළයුතු වේ. ඒ මධ්‍යස්ථ බවම යෝගියාගේ සිත උපචාර සමාධි, අර්පණා සමාධි දක්වා රැගෙන යයි.
වාහනයක් පදවන පුද්ගලයෙක් ගමන ඇරඹීමේ දී පළමුව වේගය වැඩි කරයි. වේගයෙන් යා යුතු තැන් වලදී වේගයෙන් ගමන් කරයි. සමහර අවස්ථා වල වේගය පාලනය කරගත නොහැකි තරම් වැඩි යැයි සිතෙන විට එය අඩු කරගනී. එසේ වේගය අඩුවැඩි කරගෙන ගමන් කරන විට සමහර අවස්ථාවල දී වේගය උස්පහත් නොකොට සම මට්ටමකට පවත්වාගෙන යා හැකි වේ. එසේම භාවනාව කරන පුද්ගලයා ද සිත දිරිමත් කළයුතු අවස්ථාවේ දිරිමත් කරමින් භාවනා කළයුතු වේ. සිතට නිග්‍රහ කළයුතු අවස්ථාවේ නිග්‍රහ කරමින් භාවනා කළයුතු වේ. සතුටු කළයුතු විට සිත සතුටට පත් කළයුතු වේ. සිත සමාධි වීථියට බැසගත් පසු මැදහත් භාවයෙන් තබා ගතයුතු වේ.
8. සමාහිත නොවූ සිත් ඇති පුද්ගලයන් දුරු කිරීම : සමාධි භාවනා කරන පුද්ගලයා විසින් අසමාහිත පුද්ගලයන් දුරු කළයුතු වේ. එනම් ධ්‍යාන ඉපදවීමේ ප්‍රතිපත්තියට නොපැමිණි, නොයෙක් කටයුතු වල නියැලුණු, වික්‍ෂිප්ත සිත් ඇති පුද්ගලයන් දුරින් දුරු කළයුතු වේ. එබඳු පුද්ගලයන් නිතර කියන්නේ සමථ භාවනා කිරීම නිසරු දෙයක් ලෙසය. ධ්‍යාන ඉපදවීම නොකළයුතු බව කියති. තමන්ගේ භාවනාවේ උග්ගහ නිමිති, පටිභාග නිමිති පිළිබඳ ප්‍රකාශ කළහොත් එයට නිග්‍රහ කරති. සමහර පුද්ගලයෙක් නොදැනුවත්කම හේතුවෙන්ම භාවනාවේ උපදින ආලෝක සංඥා ආදිය මානසික විකෘතිතාවයන් ලෙස කියනවා ඇත. එබැවින් භාවනා නොකරන, භාවනාව පිළිබඳ අවබෝධය අඩු පුද්ගලයන් දුරින්ම දුරු කළයුතු වේ.
9. සමාහිත සිත් ඇති පුද්ගලයන් ඇසුරු කිරීම : එසේම ධ්‍යාන ඉපදවීමේ ප්‍රතිපත්තියට පැමිණි, ධ්‍යාන ලාභී පුද්ගලයන් කරා කලින් කලට එළඹ ඇසුරු කළයුතු වේ. ඔවුන්ගෙන් භාවනාව පිළිබඳ උපදෙස් ලබාගත යුතු වේ. එහෙත් තමන් මූල කර්මස්ථාන ලබාගන්නා ගුරු උතුමන්ගේ අනුදැනුම ඇතිව එබඳු අය ඇසුරු කළයුතු වේ. එසේ නොවුවහොත් එකිනෙකට පටහැනි භාවනා උපදෙස් ලැබිය හැකි වේ.
10. සමාධියෙහි අධිමුක්තිය : සමාධියම ගුරුකොට ගනිමින්, සමාධිය දෙසටම නැමී, නිරන්තරයෙන් සමාධිය උපදවාගැනීම පිණිස සිත යොමු කරගෙන කටයුතු කිරීමයි. සමාධිය දියුණු කරගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයා විසින් තම සිතේ සමාධිය පිළිබඳ ඇති කැමැත්ත, නැඹුරු බව වැඩි කරගත යුතු වේ. සෑම ඉරියව්වකදී ම සමාධිය වැඩි කරගන්නේ කෙසේද යන්න පිළිබඳවම සිතිය යුතු වේ. ඒ සඳහා සත්ප්‍රාය වන දේ ඇසුරු කළයුතු වේ.
මෙසේ සමථ භාවනා කරන පුද්ගලයා විසින් ඉක්මනින් ධ්‍යාන සමාධියක් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, මේ කියන ලද දසවැදෑරුම් අර්පණා කුසලතාවයන් තමන් තුළ වර්ධනය කරගත යුතු වේ.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Friday, December 18, 2020
ආනාපානසති භාවනාව – 13 වන කොටස
ආනාපානසති භාවනාව – 13 වන කොටස
May 29, 2020 | සිත නිවන භාවනා | 0
ආනාපානසති භාවනාවෙන් සිත සමාධිමත් කරගැනීමේ දී උද්ග්‍රහ නිමිත්ත, පටිභාග නිමිත්ත පහළ වූ යෝගාවචරයා ප්‍රථමධ්‍යානය ලබන ආකාරය මීට ඉහත පැහැදිලි කරන ලදී. එහෙත් භාවනා කරන බොහෝ දෙනෙක් මැසිවිලි නඟන්නේ තමන්ට ආලෝක මාත්‍රයක් හෝ උපදවාගත නොහැකි වූ බව පවසමිනි. සමහර කෙනෙක් ආනාපානසති භාවනාවෙන් ආලෝකයක් උපදවාගත් නමුත් සිත ධ්‍යානයක් දක්වා වර්ධනය කරගැනීමට නොහැකිව පසුවෙති. තවත් සමහර කෙනෙක් ආනාපානසති භාවනාවෙන් ධ්‍යානයක් උපදවාගැනීමේ හැකියාව තිබී එය අනවශ්‍ය දෙයක් යැයි සිතමින් වෙනත් භාවනා උපදෙස් අනුගමනය කරති. මේ සෑම දෙනෙක් තුළම දකින්නට ලැබෙන පොදු දුර්වලතාවය වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද බෞද්ධ භාවනාව පිළිබඳ දැනුම අඩු වීමයි. වෙනත් ලෙසකට කිවහොත් ත්‍රිපිටක දැනුම අඩු වීමයි.
බුදුරජාණන් වහන්සේ එක් එක් සූත්‍ර දේශනාවන්හි දී භාවනා ක්‍රමය දෙශනා කරන්නේ නොයෙක් ආකාරයෙන්, ඒ ඒ අවස්ථාවේ ධර්මය අසන්නාට අවබෝධ වන ආකාරයට වේ. එබැවින් නිවන දක්වා භාවනා ක්‍රමය හඳුනාගැනීමට ත්‍රිපිටකය මැනවින් හදාරා ලබාගන්නා අවබෝධය වැදගත් වේ. බොහෝ සූත්‍ර දේශනාවන්හි බුදුරජාණන් වහන්සේ ධ්‍යාන උපදවා ඉන්පසු කරන විදර්ශනා භාවනාව පිළිබඳ දේශනා කරන බැවින් ආනාපානසති භාවනාවෙන් ධ්‍යාන ඉපදවීම විදර්ශනා භාවනාවට පහසුවක් වේ. එහෙත් ආනාපානසති භාවනාවෙන් ධ්‍යානයක් උපදවා ගැනීම ඉතාම අපහසු දෙයක් බව බොහෝ දෙනාගේ පිළිගැනීම වේ.
ධ්‍යානයක් උපදවාගැනීම පහසු දෙයක් ද නොවේ. එහෙත් නිසි පරිදි පිළිපදින පුද්ගලයෙකුට අපහසු දෙයක් ද නොවේ. සිතේ සමාධිය උපදවාගැනීමට උපකාරී වන පිළිවෙත් දහයක් (10) දසවිධ අර්පණා කුශලතාවයන් ලෙස අර්ථකථාවන්හි පැහැදිලි කර තිබේ. මේවා තමන්ගේ සන්තානය තුළ දියුණු කරගැනීමෙන් ඉක්මනින් සිතේ සමාධිය වර්ධනය කරගත හැකි වේ. ඒ දහය නම්,
1. වස්තු විසදකිරියතාවය
2. ඉන්‍ද්‍රියසමත්ත පටිපාදනතාවය
3. නිමිත්ත කුසලතාවය
4. සිතට දිරි දියයුතු අවස්ථාවේ සිතට දිරි දීම
5. සිතට නිග්‍රහ කළයුතු අවස්ථාවේ සිතට නිග්‍රහ කිරීම
6. සිත සම්පහංසනය කළයුතු අවස්ථාවේ සිත සම්පහංසනය කිරීම
7. සිත මධ්‍යස්ථ කළයුතු අවස්ථාවේ සිත මධ්‍යස්ථ කිරීම
8. අසමාහිත සිත් ඇති පුද්ගලයන් දුරු කිරීම
9. සමාහිත සිත් ඇති පුද්ගලයන් ඇසුරු කිරීම
10. සමාධියෙහි අධිමුක්තිය
1. වස්තු විසදකිරියතාවය : එනම් ඇතුළත-පිටත පිරිසිදුබවයි. තමන්ගේ සිරුර කිළිටි වී ඇත්නම් හොඳින් නා, පිරිසිදු වී, හිසකෙස්, නියපොතු ආදිය මැනවින් පිරිසිදු කිරීමාදිය ඇතුළත පිරිසිදුකමයි. තමන් හැඳ පෙරවගෙන සිටින සිවුරු, ඇඳුම් පැළඳුම් ආදිය ද, වාසය කරන සෙනසුන්, ගෙවල් දොරවල් පිරිසිදු කිරීම බාහිර පිරිසිදුකම වේ.
සමාධිය උපදවාගැනීම පිණිස මෙම පිරිසිදුබව ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස කිලිටි වූ රෙදි කැබැල්ලකින් සකස් කළ පහන් වැටියක්, අපිරිසිදු පහන් තැටියක තබා, අපිරිසිදු තෙල් දමා දැල්වුව ද මනා ආලෝකයක් නොලැබේ. එහෙත් පිරිසිදු රෙදි කැබැල්ලකින් සකස් කරගත් පහන් වැටියක්, පිරිසිදු පහන් තැටියක තබා, පිරිසිදු තෙල් දමා දැල්වුවහොත් පැහැදිලි ආලෝකයක් ලබාගත හැකි වේ.
එසේම තමන්ගේ ඇතුළත-පිටත අපිරිසිදුව පවතින විට භාවනා කළ ද එමඟින් හොඳ සමාධියක් උපදවාගත නොහැකි වේ. සිත උපචාර-අර්පණා සමාධි වලට පත් නොවේ. තමන්ගේ සිරුර ද, බාහිර පරිසරය ද පිරිසිදු කරගැනීමෙන් ඇතිවන ප්‍රසන්න බව සිතේ සමාධියට බොහෝ උපකාරී වේ. සමහර පැරණි ස්වාමින් වහන්සේලා පවසන්නේ භාවනාවට හිඳ ගැනීමට පෙර තමන්ගේ යටිපතුල් දෙක පවා මැනවින් පිරිසිදු දැයි බලන ලෙසයි. එය අපිරිසිදු නම් භාවනාවේ දී සිත එකඟ වීම ප්‍රමාද බව පවසති. එබැවින් ධ්‍යානයක් උපදවාගත නොහැකි වූ අය ඒ සඳහා තමන්ගේ භාවනාව දියුණු කරගන්නේ නම් ඇතුළතත්, පිටතත් පිරිසිදු කරගත යුතු වේ.
2. ඉන්‍ද්‍රියසමත්ත පටිපාදනතාවය : ඉන්‍ද්‍රියයන් සම බවට පත්කරගැනීමයි. ඉන්‍ද්‍රියයන් ලෙස හැඳින්වෙන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන මේවායි. මෙම ඉන්‍ද්‍රිය ධර්මයන් සමභාවයට පත්වීම සිත සමාධිමත් වීමට බොහෝ සෙයින් උපකාරී වේ. සන්තානය තුළ වැඩෙන මෙම එකිනෙක ඉන්‍ද්‍රිය ධර්මයන් විසින් කරන කටයුත්තක් ඇත. ඉන්‍ද්‍රිය ධර්මයන් සම භාවයට පත් නොවීමෙන් ඒ එකිනෙක කටයුත්ත සිදු නොවේ.
ශ්‍රද්ධාව සෙසු ඉන්‍ද්‍රියයන් අභිබවා යයි නම් එවිට විරිය ඉන්‍ද්‍රිය විසින් සිතට දිරිදීම සිදු නොවේ. සති ඉන්‍ද්‍රිය විසින් කළයුතු අරමුණට එළඹ සිටීම සිදු නොවේ. සමාධි ඉන්‍ද්‍රිය විසින් සිත නොවිසිරී පවත්වාගැනීම සිදු නොවේ. ප්‍රඥා ඉන්‍ද්‍රිය විසින් තත් වූ පරිද්දෙන් විෂය ස්වභාවය දැකීම සිදු නොවේ. ඒ සියලු කටයුතු බලවත් වූ ශ්‍රද්ධාව විසින් මැඩ පැවැත්වේ. එබැවින් ඉන්‍ද්‍රිය ධර්මයන් සම බවට පත් කරගත යුතු වේ.
විශේෂයෙන් ම ශ්‍රද්ධාව සහ ප්‍රඥාවත්, සමාධිය සහ වීර්යයත් සම බවට පත් කරගත යුතු වේ. ප්‍රඥාව ඉක්මවා ගිය ශ්‍රද්ධාවක් ඇති තැනැත්තා පැහැදීමට නුසුදුසු තැන් වල පහදී. ශ්‍රද්ධාවෙත් තොර ප්‍රඥාවක් ඇති තැනැත්තා කෛරාටික බවට පත්වේ. බෙහෙතින් උපන් රෝගයක් මෙන් පිළියම් කළ නොහැකි පුද්ගලයෙක් වෙයි. එබැවින් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සමව පවත්වාගත යුතු වේ. තමන්ගේ ශ්‍රද්ධාව අඩු බවක් යෝගියාට හැඟේ නම් එය වැඩි කරගැනීම පිණිස කටයුතු කළයුතු වේ. එසේම වීර්යය බලවත් වී සමාධිය දුර්වල වුවහොත් සිත උද්ධච්චයට පත් වේ. වීර්යය දුර්වලව සමාධිය බලවත් වන විට සිත කුසීත බවට පත් වේ. එබැවින් වීර්යය හා සමාධිය ද සම බවට පත් කරගත යුතු වේ.
කෙසේ නමුත් සමාධි භාවනාවක් කරන පුද්ගලයාට බලවත් ශ්‍රද්ධාවක් අවශ්‍ය වේමය. බලවත් ශ්‍රද්ධාවක් ඇති විට කමටහන පිළිබඳ සැක නොකර ශ්‍රද්ධාවෙන් බැසගෙන කිරීමෙන් ඉක්මනින්ම ධ්‍යාන ලබයි. එසේම සමාධි භාවනා කරන පුද්ගලයාට බලවත් ඒකාග්‍රතාවයක් ද අවශ්‍ය වේ.
සතිය සැම තැන්හිම වැදගත් වේ. සිත හැකිළී ගිය විට ද සිත විසිරෙන විට ද දියුණු කරගත් සිහිය වැදගත් වේ. සිහියෙන් ම අනෙක් ඉන්‍ද්‍රිය ධර්මයන් සම බවට පත් කිරීම ද සිදු වේ. සෑම ව්‍යඤ්ජනයක්ම රස කිරීම පිණිස ලුණු අවශ්‍ය වන්නා සේ සෑම ඉන්‍ද්‍රිය ධර්මයක් ම මැනවින් පවත්වාගැනීමට සතිය අවශ්‍යම වේ.
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...