බුදුරජාණන් වහන්සේ හඳුනාගත යුත්තේ බාහිර ප්‍රතිරූපයෙන් නොව ගුණ වශයෙනි. නිවන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා කුමන භාවනාවක් සිදු කළේ නමුදු පළමුව ශ්‍රද්ධාව දියුණු වීම අත්‍යවශ්‍ය වේ. තථාගතයන් වහන්සේගේ ගුණ නිසි පරිදි හඳුනාගෙන කෙටි වේලාවක් හෝ බුදුගුණ වඩන්නේ නම් ශ්‍රද්ධාදි ගුණ දියුණු කරගැනීමට එය උපකාරයක් වේ. කෙටියෙන් බුදුගුණ භාවනාව සිදු කර අනතුරුව විස්තර වශයෙන් බුද්ධානුස්මෘති භාවනාව පුරුදු පුහුණු කිරීම පිණිස නව අරහාදි බුදුගුණයන් පිළිබඳ කෙටි විස්තරයක් මෙසේ ඉදිරිපත් කරනු ලැබේ.

විජ්ජාචරණ සම්පන්න ගුණය – ඉතිරිය

පසළොස් චරණ ධර්මයන් අතරින් ශීල සම්පන්න භාවය හා ඉන්ද්‍රිය සංවරය පසුගිය ලිපිවලින් පැහැදිලි කර දෙන ලදී.

3. භෝජනයෙහි මාත්‍රඥතාවය

නුවණින් කරුණු සලකා පමණ දැන ආහාර වැළඳීම භෝජනයේ මාත්‍රඥතාවය නම් වේ. ආහාර වැළඳීම නුවණින් සලකා නොකළහොත් බොහෝ කෙලෙස් වැඩීමක් විය හැකිය. බොහෝ දෙනෙක් ආහාරය නිසාවෙන් රාගාදි කෙලෙස් වඩා ගනිති. ඒ නිසාවෙන් ආහාර වැළඳීම නුවණින් සලකා රාග, ද්වේෂ, මෝහ ඇති නොවන ආකාරයෙන් ද, තමාගේත් අන් අයගේත් සංයෝජනයන් ඇතිවීම වැළකෙන අයුරින් ද කළ යුතු වේ. එහි දී සිහිපත් කර ගත යුතු යැයි දේශනා කරන ලද කරුණු මෙසේ දැක්විය හැකි වේ.

‘මේ ආහාරය වළඳන්නේ ගම් දරුවන් මෙන් විනෝදය පිණිස නොවේ, මල්ලවපොර කරුවන් මෙන් කායබලය වඩනු පිණිස පුරුෂ මදය වඩනු පිණිස නොවේ, ශරීරයේ අඟ පසඟ තර කරගැනීම පිණිස නොවේ, නළු නිළියන් මෙන් සිරුර පැහැපත් කරගැනීම පිණිස නොවේ, අන්තඃපුර ස්ත්‍රීන් මෙන් ශරීරයේ අඩු තැන් පුරවා ගැනීම පිණිස නොවේ, සතර මහා භූතයන්ගෙන් නිර්මිත මේ කය පවත්වා ගැනීම පිණිසයි, දිවිය යැපීම පිණිසයි, සාගිනි වේදනාව දුරු කරගැනීම පිණිසයි, බුදු සසුනේ පිළිවෙත් පුරනු පිණිසයි, ශරීරයත් ජීවිතයත් චිරාත් කාලයක් පවත්වාගැනීම පිණිසයි, මෙසේ ආහාර වැළඳීමෙන් සා ගිනි වේදනාව නමැති පුරාණ වේදනාවන් සන්සිඳෙන්නේය, පමණ ඉක්මවා ආහාර වැළඳීමෙන් හෝ අපථ්‍ය ආහාර වැළඳීමෙන් මතු ඇති විය හැකි වේදනා ඇති නොවන්නේය, ජීවිතය චිරාත් කාලයක් පවත්වා ගත හැකි වන්නේය, අයුතු සේ ආහාර සපයා ගැනීමක් ද නොවන්නේය’ යනුවෙන් පිඬක් පිඬක් පාසා නුවණින් සලකා ආහාර වැළඳිය යුතු වේ.

මෙසේ නුවණින් සලකා ආහාර වැළඳීමේ දී මේ ආහාරය විනෝදය පිණිස නොවළඳන බව මෙනෙහි කිරීමෙන් මෝහය නමැති අකුශලය ඇති වීමට තුඩුදෙන කරුණු ප්‍රහීණ වේ. පුරුෂ මද, බල මදාදිය වැඩීම පිණිස නො වළඳන බව මෙනෙහි කිරීමෙන් ද්වේෂය නමැති අකුශලය ඇති වීමට තුඩුදෙන කරුණු ප්‍රහීණ වේ. ඇඟ තර කර ගැනීම පිණිස, ඇඟ පැහැපත් කර ගැනීම පිණිස ආහාර නො වළඳන බව මෙනෙහි කිරීමෙන් රාගය ඇති වීමට තුඩුදෙන කරුණු ප්‍රහීණ වේ. එසේ ම විනෝදය පිණිස හෝ මදය වැඩීම පිණිස ආහාර නො වළඳන බව මෙනෙහි කිරීමෙන් තමන්ගේ චිත්ත සන්තානයේ සංයෝජන ධර්ම ඇති වීම වැළකීමට හේතුවක් වේ. ඇඟ තර කරගැනීම, ඇඟ පැහැපත් කර ගැනීම පිණිස නො වළඳන බව මෙනෙහි කිරීමෙන් අන් අයගේ සංයෝජන ධර්ම ඇති වීම වැළකීමට හේතුවක් වේ. එසේ ම මේ සතරාකාරයට ම නුවණින් කරන මෙනෙහි කිරීමෙන් නුනුවණින් ආහාර වැළඳීමේ කාම සුඛල්ලිකානුයෝගයේ ප්‍රහාණය සිදු වේ. එබැවින් මධ්‍යම ප්‍රතිපදාව සේවනය කරන ලද්දේ වෙයි.

එසේ ම නුවණින් සලකා ආහාර අනුභවය කරන තැනැත්තා ආහාර වෙනුවෙන් නො කළයුතු අකැප දේ නො කරන්නේය. කැප සරුප් ක්‍රමයට ලබාගත් ආහාරය නමුදු තෘෂ්ණාවෙන් පමණ ඉක්මවා වැළඳීම නො කරන්නේය. භෝජනයේ මාත්‍රඥතාවයෙන් යුතුව ආහාර වැළඳිය යුතු ආකාරය මෙසේ දැක්වේ.

‘චත්තාරො පඤ්ච ආලොපෙ අභුත්වා උදකං පිවෙ
අලං ඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනො’

එනම් තමාගේ කුස පිරීමට අහර පිඬු සතර පහක් නො වළඳා ඒ ඇති වන ඉඩ පැන් වැළඳීමෙන් පුරවාගෙන ශාසන බ්‍රහ්මචර්යාව පුරන නිවනට යොමු වූ භික්‍ෂුවට පහසු විහරණය වන්නේය.

එසේ නුවණින් සලකා පමණ දැන ආහාර වැළඳීමෙන් උපන් සාගිනි වේදනාව දුරුවනවා මෙන් ම අභිනවයෙන් පමණ ඉක්මවා ආහාර ගැනීමෙන් හෝ අපථ්‍ය ආහාර ගැනීමෙන් වන වේදනාවකින් ද තොරව ත්‍රි ශික්‍ෂාව පුරාගත හැකි වේ. එබැවින් භෝජනයේ මාත්‍රඥතාවය චරණ ධර්මයක් වේ.

සවාසන සකලක්ලේෂයන් සහ මුලින් ම සිඳලූ තථාගතයන් වහන්සේට ආහාර පිළිබඳව පමණක් නොව කිසිදු දෙයක් පිළිබඳ තෘෂ්ණා මාත්‍රයක් හෝ නැත්තේය. එසේ ම සෑම මොහොතක් පාසා නුවණින් යුතුව ම කටයුතු කරන සේක. එහෙයින් ඒ තථාගතයන් වහන්සේ මේ භෝජනයේ මාත්‍රඥතාවය නමැති චරණ ධර්මයෙන් යුතු වන සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ භෝජනයේ මාත්‍රඥතාවය නමැති චරණ ධර්මයෙන් සමන්වාගත බැවින් ‘විජ්ජාචරණ සම්පන්න නම් වන සේක’ යැයි ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය වැඩිය යුතු වේ.

4. ජාගරියානුයෝගය

ජාගරියානුයෝගය යනු නිදිවැරීම යි. නොනිදා මහණදම් පිරීමේ යෙදී සිටීම යි. තිරිසන් සත්වයෝ ද නොයෙක් විට නොනිදා සිටිති. මෙහි අදහස් කරන්නේ එබඳු නොනිදා සිටීමක් නොව නොනිදා සිටිමින් කාමච්ඡන්දාදි නීවරණයන්ගෙන් සිත පිරිසිදු කිරීම යි. එනම් සමථ විදර්ශනා භාවනාවන්හි නියැළීම යි.

ජාගරියානුයෝගය පුරන තැනැත්තා දිවා කාලයේ සක්මන් කිරීමෙන් ද හිඳගෙන කරන භාවනාවෙන් ද නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රී ප්‍රථම යාමයේ ද එසේ ම සක්මනෙන් හා හිඳීමෙන් සිත නීවරණ ධර්මයන්ගෙන් පිරිසිදු කරයි. රාත්‍රී මධ්‍යම යාමයේ දකුණු ඇලයෙන් එක් පයක් මත අනෙක් පය මඳක් ඇද ව තබාගෙන සිහියෙන් යුතුව අවදි වන වේලාව පිළිබඳ සංඥාව ඇතිව සිංහශෙය්‍යාවෙන් ශයනය කරයි. නැවත පශ්චිම යාමයේ අවදිව සක්මනෙන් හා හිඳීමෙන් සිත නීවරණ ධර්මයන්ගෙන් පිරිසිදු කරයි.

තථාගතයන් වහන්සේ බෝ මැඩ දී සවාසන සකලක්ලේශයන් දුරු කොට අර්හත්වය සාක්‍ෂාත් කළ බැවින් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කිරීමක් අවශ්‍ය නොවේ. එහෙත් උන්වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් පසු සෙසු අයට ද වඩා නිදිවැරීමෙහි නියැළී ලෝකසත්වයා සසරින් එතෙරෙ කරවීම පිණිස ලෝකාර්ථ චර්යාවේ යෙදෙන සේක. රාත්‍රී ප්‍රථම යාමයේ මිනිසුන්ට හා භික්‍ෂූන් වහන්සේලාට දහම් දෙසා, ප්‍රශ්න විසඳන තථාගතයන් වහන්සේ මධ්‍යමයාමයේ දෙවියන්ට දහම් දෙසයි. රාත්‍රී පශ්චිම යාමය කොටස් තුනකට බෙදාගෙන එහි පළමු කොටසේ ද සක්මන් කරමින් කල්ගෙවා දෙවන කොටසෙහි සිහි නුවණින් යුතුව සිංහශෙය්‍යාවෙන් ශයනය කරන සේක. නැවත තුන්වන කොටසේ අවදිව පූර්ව බුද්ධශාසනයන්හි ගුණදහම් පුරා පින්කර ඇති පුද්ගලයන් දකිනු පිණිස ලොව බලා වදාරණ සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ සෙසු ශ්‍රාවකයන්ට වඩා උසස් ලෙසින් ජාගරියානුයෝගය නමැති චරණධර්මයෙන් යුක්ත වන සේක. එහෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘විජ්ජාචරණ සම්පන්න නම් වන සේක’ යැයි ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය වැඩිය යුතු වේ.

මතු සම්බන්ධයි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි