Tuesday, November 24, 2020
Monday, November 23, 2020
මහ බෝසත් අතුල නා රජ – සතර වෙනි විවරණය
මහ බෝසත් අතුල නා රජ – සතර වෙනි විවරණය
Jul 29, 2018 | සදහම් සඟරාව, සූත්‍ර වර්ණනා | 0
මහ බෝසත් අතුල නා රජ – සතර වෙනි විවරණය
දස දහසක් සක්වල එක විටම අන්ධකාර කරමින් පිරිනිවුණ මංගල සර්වඥයන් වහන්සේට පසු සුමන නම් දස බලධාරී වහන්සේ ඛේම නගරයේ සුදත්ත පිය රජු නිසා සිරිමා නම් වූ මව් දේවියගේ කුස පිලිසිඳ ගත් පසු රජ සම්පත් විඳ, ඒ සියල්ල හැර දමා මහාභිනික්මන් කොට සියලු මාර සේනාවන් පරදා නා බෝධී මූලයේදි ලොව්තුරා සම්බුදු බවට පත්වූ සේක.
එම සුමන බුදුරජාණන් වහන්සේ සරණ, භාවිතත්ත යැයි අගසව් දෙනමක් වූ අතර, උදේන යැයි උපස්ථායක තෙරුන්වහන්සේ නමක් වූහ. සෝණා, උපසෝණා යැයි අග්‍රශ්‍රාවිකාවන් දෙනමක් ද වූහ.
අනූරියන් උසැති ශ්‍රී බුද්ධකායෙන් සවනක් ඝණ බුදුරැස් විහිදුවමින් ශෝභමානව වැඩ ඉන්නා වූ බුදුරජාණන් වහන්සේට පලමු වර කෝටි ලක්ෂයක් ද , දෙවන වර කඤචන (රන්) පව්වෙහි කෝටි අනුදහසක් ද, තෙවන වර කෝටි අසූ දහසක් දු වශයෙන් ශ්‍රාවක සන්නිපාත තුනක් වූහ.
එකල් හි අප මහා බෝසතානෝ අතුල නම් මහා සෘධි ඇති, මහත් ආනුභාවන්හි නගා රාජයෙකුව උපන්හ. එම බෝසත් අතුල නා රජ තෙමේ සර්වඥයන් වහන්සේ නමක් ලොව පහළ වූවා යැයි අසා සිය ඥාති පිරිස පිරිවරාගෙන නාග භවනෙන් නික්මී බුදුන් වෙත පැමිණ කෝටි ලක්ෂයක්වූ මහා භික්ෂු පිරිසක් පිරිවරා සිටි භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දිව්‍යමය තූර්ය වාදනයෙන් උපහාර කොට මහත් වූ දානයක් දී පසුව සිවුරු පිළි දෙක බැගින් පුජා කොට තෙරුවන් සරණ ගියහ.
භාග්‍යවතුන් වහන්සේ අනාගත ඥාණයෙන් ලොව බලන කල්හි මෙම නා රජු අනාගතයෙහි බුදුවන බව දැක “මේ මහා නා රජ තෙමේ අනාගතයෙහි ලොව්තුරා බුදුන් වන්නේය” යැයි විවරණ ලබා දුන් සේක.
සුමන බුදු රජාණන් වහන්සේ අවුරුදු සැටදහසක් ආයු වලඳා බොහෝ සත්ව ප්‍රජාවක් නිවන් පුර පමුණුවා, තමන් වහන්සේගේ සියලු බුදු කිස නිමවා පිරිනිවන් පෑ සේක.
“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”
(ජාතකට්ඨකථාව ඇසුරෙන්)
සම්පාදක :
පූජ්‍ය පුවක්පිටියේ සුමංගලරතන හිමි.
පරිගණක අකුරු සැකසුම
සනත් ඉන්දික
Sunday, November 22, 2020
බුද්ධානුස්සති භාවනාව – 18 කොටස
48. බුද්ධානුස්සති භාවනාව – 18 කොටස
Nov 21, 2020 | සිත නිවන භාවනා | 0
බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘ලොකවිදු’ ගුණය පිළිබඳ තවත් කොටසක් මෙම ලිපියෙන් දැක්වේ.
ලොකවිදු ගුණ භාවනාව ඉතිරිය
භාග්‍යවතුන් වහන්සේ ලෝකය, ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක. එසේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරන ලද ලෝකය තිස්එක් භූමි තලයකින් සමන්විත වන අතර එහි මිනිස්ලොව පිළිබඳ ඉහත විස්තර කරන ලදී.
සදිව්‍ය ලෝක
දන්දීම් ආදි පුණ්‍යසම්පත්තිය මහත් වන විට කාම සුගති භූමි අතරින් දිව්‍යලෝක සයෙහි උත්පත්තිය සිදු වේ. එකී දිව්‍යලෝක සය (6) නම්,
1. චාතුම්මහාරාජිකය 2. තාවතිංසය 3. යාමය 4. තුසිතය
5. නිම්මාණරතිය 6. පරනිම්මිතවසවර්තිය යනුවෙනි.
චාතුම්මහාරාජික දිව්‍යලෝකය
මනුෂ්‍ය ලෝකයට යොදුන් හතලිස් දෙදහසක් (42,000) ඉහළින් පිහිටා ඇති බව සඳහන් වේ. සතරවරම් දෙවිවරුන්ට භක්ති ඇති බැවින් චාතුම්මහාරාජික යන නම් ලැබෙන බව සඳහන් වේ.
සතරවරම් දෙවිවරු ලෙස සඳහන් වන්නේ ධතරට්ඨ, විරූළ්හක, විරූපක්ඛ, කුවේර යන සතරදෙනා වෙති. මහාසමය සූත්‍රයේ ‘පුරිමං දිසං ධතරට්ඨෝ, දක්ඛිණේන විරූළ්හකෝ’ යනාදි ලෙස සඳහන් වන්නේ මොවුන් පිළිබඳව වේ. ගණ්ඩබ්බ, කුම්භණ්ඩ, නාග, යක්ෂ යන සතරකොට්ඨාසයන්ට අධිපති දෙවිවරු මේ නම් වලින් දැක්වේ. ඒ අනුව මේ සත්වකොට්ඨාසයන් චාතුම්මහාරාජිකයේ සිටින බව පැහැදිලි වේ.
මිනිස් ලොව වසර පණසක් (50) චාතුම්මහාරාජික දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 500ක් චාතුම්මහාරාජිකයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර අනූ ලක්ෂයක් (9,000,000) චාතුම්මහාරාජිකයේ ආයුෂ වේ. එහෙත් අල්පෙශාක්‍ය වූ හෝ මහේශාක්‍ය වූ හෝ බූමාටු දෙවියන්ගේ හා විමාන ප්‍රේතාදීන්ගේ ආයුෂ මෙතෙකැයි නිශ්චිත නැත.
තාවතිංස දිව්‍යලෝකය
‘තෙත්තිංස ජනා තත්ථ උපපන්නාති තාවතිංසා’ යනුවෙන් දැක්වෙන බැවින් මඝමානවක තුමා සමඟ තෙතිස් දෙනෙක් එහි උපන් බැවින් තාවතිංස නම්වේ. මෙහි අධිපති වන්නේ ශක්‍ර දෙවේන්ද්රයායි. මහමෙර මුදුනේ ඇති බව සඳහන් වේ. චාතුම්මහාරාජික දිව්‍යලෝකයේ පටන් යොදුන් හතලිස් දෙදහසක් (42,000) ඉහළින් පවතී. මෙම දෙවිවරු ද පර්වතස්ථ සහ ආකාශස්ථ වශයෙන් සිටී.
මිනිස් ලොව වසර 100ක් තව්තිසා වැසි දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 1000ක් තාවතිංසයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර තුන්කෝටි සැට ලක්ෂයක් (36,000,000) චාතුම්මහාරාජිකයේ ආයුෂ වේ.
යාම දිව්‍යලෝකය
‘දිබ්බං සුඛං යාතා පයාතා සම්පත්තාති යාමා’ ලෙස සඳහන් වන පරිදි දිව්‍යමය වූ සැපයට ගියාහු ද පැමිණියාහු ද, සම්ප්‍රාප්ත වූවාහු ද එහෙයින් ඒ දෙවියෝ යාම නම් වෙති. මෙය තාවතිංසයට යොදුන් 42,000ක් ඉහළින් පිහිටා ඇත.
මිනිස් ලොව වසර 200ක් යාම දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 2000ක් යාමයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර දහහතරකෝටි සතලිස් ලක්ෂයක් (144,000,000) යාමයේ ආයුෂ වේ.
තුසිත දිව්‍යලෝකය
තුසිත යන පදය විභඩ්ග අටුවාවේ දක්වන්නේ ‘තුට්ඨා පහට්ඨා තුසිතා’ යනුවෙනි. එනම් තුටු පහටු සිත් ඇත්තාහු තුසිත නම් වෙති. තමන්ගේ ශ්‍රී සම්පත්තිය හේතුකොටගෙන ප්‍රීතියට පැමිණි දෙවියන්ගේ වාසස්ථානය යන අර්ථයෙන් ද තුසිත නම්වේ. මෙය යාම දිව්‍යලෝකයේ පටන් යොදුන් 42,000ක් ඉහළින් පිහිටා ඇත.
මිනිස් ලොව වසර 400ක් තුසිත දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 4000ක් තුසිතයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර පණස්හත්කෝටි සැටලක්ෂයක් (576,000,000) තුසිතයේ ආයුෂ වේ.
නිම්මාණරතිය
‘පකතිපටියත්තාරම්මණතෝ අතිරේකේන රමිතුකාමකාලේ යථාරුචිතේ භෝගේ නිම්මිනිත්වා රමන්තීති නිම්මාණරතී’ යනුවෙන් දැක්වෙන බැවින් ප්‍රකෘතියෙන් පිළියෙළ වූ අරමුණට වඩා වැඩිතරම් අරමුණකින් සිත්අලවනු කැමති කල්හි සිතට රිසි පරිදි වූ භෝගසම්පත්තීන් නිර්මිත කොට සිත්අලවත් ද එහෙයින් ඒ දෙවියෝ නිම්මාණරතී නම් වෙති. එනම් තමන් විසින් නිර්මාණය කරගන්නා ලද ශ්‍රී සම්පත්තියෙහි ඇලෙන බැවින් නිම්මාණරතී නම් වේ. මෙය තුසිතයෙන් යොදුන් 42,000ක් ඉහළින් පිහිටා තිබේ.
මිනිස් ලොව වසර 800ක් නිම්මාණරතී දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 8000ක් නිම්මාණරතියේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර දෙසිය තිස්කෝටි සතලිස් ලක්ෂයක් (2,304,000,000) නිම්මාණරතියේ ආයුෂ වේ.
පරනිම්මිතවසවර්තිය
චිත්තාචාරං ඤත්වා පරේහි නිම්මිතේසු භෝගේසු වසං වත්තෙන්තීති පරනිම්මිතවසවත්තී’ යැයි විභඩ්ග අටුවාවේ කියූ ආකාරයට සිතේ පැවැත්ම දැන අන්අය විසින් නිර්මිත කළා වූ භෝගසම්පත්තීන් තමාගේ වසඟයේ පවත්වන බැවින් ඒ දෙවියෝ පරනිම්මිතවසවර්ති නම් වෙති. මෙය නිම්මාණරතියට යොදුන් 42,000ක් ඉහළින් පිහිටා ඇත.
මිනිස් ලොව වසර 1600ක් පරනිම්මිතවසවර්ති දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 16,000ක් පරනිම්මිතවශවර්තියේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර නවසිය විසිඑක්කෝටි සැට ලක්ෂයක් (9,216,000,000) පරනිම්මිතවසවර්තියේ ආයුෂ වේ.
ඡ එතේ කාමාවචරා – සබ්බකාමසමිද්ධිනෝ
සබ්බේසං එකසඩ්ඛාතෝ – ආයු භවති කිත්තකෝ
ද්වාදසකෝටි සතං තේසං – අට්ඨවීසඤ්ච කෝටියෝ
පඤ්ඤාස සතසහස්සානි – වස්සග්ගේන පකාසිතා
මෙකී සයක් වූ කාමාවචරයෝ සියලු පඤ්චකාමයෙන් සමෘද්ධ වූවාහු වෙත්. සියලු කාමාවචරයන්හි එක් රැස් කොට පිඬුකළ ආයු ප්‍රමාණය කොතෙක් වෙයි ද යත්,
ඒ සයක් කාමාවචර දෙවියන්ගේ ආයුෂ මිනිසුන්ගේ අවුරුදු ගණනින් එක්දහස් දෙසිය විසිඅටකෝටි පණස්ලක්ෂයක් (12,285,000,000) යැයි ප්‍රකාශ කරන ලදී.
“ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ලෝකයන් ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක.” යැයි ලෝකවිදූ ගුණය වැඩිය යුතු වේ.
මතු සම්බන්ධයි.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...