Tuesday, December 5, 2023

මහා පන්ථක මහ රහතන් වහන්සේ

 


අසු මහා ශ්රාවක වහන්සේලා - 11
(එකලොස්වන ලිපිය )

මහා පන්ථක මහ රහතන් වහන්සේ

මෙයින් කල්ප ලක්ෂයකටයකට අතීතයේ දී පළවූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ අවධියෙහි එක්තරා කෙළඹි පුත්රයෙක් තම බාල සොහොයුරා සමඟ සර්වඥයන් වහන්සේ කාෙළඹ නිතිපතා දහම් අසයි. එක් දිනයක දී බුදුරජාණන් වහන්සේ අරූප ධ්යානයේ දී දක්ෂ වූ භික්ෂුවක අග්රස්ථානයෙහි තබන දැක කුල පුත්රයා මා විසින් ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නේ නම් මැනවැයි සිතා බුදුපාමොක් මහ සඟනට සතියක් මහ දන් පවත්වා අවසානයේ දී බුදුරජාණන් වහන්සේට සිය අභිප්රාය දන්වා සිටියේය. සර්වඥයන් වහන්සේ ඔහුගේ අභිප්රාය සඵල වනු දැක් මෙයින් කල්ප ලක්ෂයකටයකට මත්තෙහි ලොව බුදුවන ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි දී ඔබට එම අග්රස්ථානයේ ලැබෙනු ඇතැ යි විවරණ දුන් සේකැ.

එකී කුල පුත්රතෙම එතැන් පටන් බොහෝ කුසල් කොට එයින් චුතව දිව්ය ලෝකයෙහි උපන්නේය. නැවත දෙවි මිනිසුන් සැප වලළඳා අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ මෙලොව පහළ වූ අවධියේ දී මුලින් සඳහන් වූ සහෝදර කුල පුත්රයා සමග රජගහ නුවර ධනවත් සිටු කුලයක පුත්රයන් උපන්නේය. ඒ පුවත් සිදු වූ අයුරු සැකෙවින් මෙසේයි. රජගහ නුවර ධනවත් සිටු ගෙදරක වාසය කළ සිටු කුමරියක් එක්තරා මෙහෙ කාරයෙකු සමග මිත්රව සිට මවුපියන් දැන ගනීවි යැයි බියෙන් ඔහු සමග රහසින් පලා ගියාය. කළත් ගෑමේ දී ඇයට දරු ගැබ්ක් හට ගැනිණ. දරුවා ලැබෙන්නට ආසන්න වූ කල්හි සිය ස්වාමියා ප්රතික්ෂේප කරද්දීත් ඇය දෙමව්පියන් කරායාමට හුදෙකලාව ම පිටත් වූවාය. ඒ බව දැනගත් ස්වාමියා ඇය සොයා ගෙන ඇය පසුපස ගියේය.

එක්තරා ස්ථානයකදී දෙදෙනා හමුවිය ඒ මොහොතේ දී ම ඇයට පුතෙකු ලැබෙන හෙයින් ගිය ගමන නවතා ආපසු ස්වාමියා සමඟ ගෙදරට පැමිණියා ය. මගදී උපන් හෙයින් පුතුට පන්ථක යයි නම් කරණ ලද්දේය. දෙවන වරට ද ඇයට දරු ගැබක් හට ගත් කල්හි මුලින් කී පරිදිම මවුපියන් හමුවීමට යද්දී තවත් පුත්රයකු අතරමගදී ලැබීය. ඒ දරුවාද මගදී උපන් හෙයින් පන්ථක යයි නම් තබා මුල් දරුවා මහා පන්ථක නමින්ද බාලයා චුල්ලපන්ථක චමින්ද නම් කෙරිණි. චුල්ලපන්තක පුත්රයාගේ චරිත අප චරිතාපදානය මීලග චුල්ලපන්තක චරිත කථාවෙහි දක්වනු ලැබේ මේ දරුවන් දෙදෙනා පසු කාලයක දී තම පුත්තණුවන් වෙත යවන ලද්දේය’

එහි සුවසේ වැඩුනාහ. මහා පන්ථක තෙමේ තම මුත්තනුවන් සමඟ නිතර විහාරයට ගොස් බණ අසා මෙසේ කලක් වූ කල්හි ඔහුට පැවිදි වීමට කැමැත්තක් පහලවිය. ඔහු ඒ බව තම මුත්තනුවන් ට දන්වා ඔහුගෙන් අවසර ලබාගෙන බුදු බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි විය. ඒ සාමණේරයන් වහන්සේ බොහෝ කොට ධර්මය ඉගෙන උපසම්පදාව ලැබ නොබෝ කලකින් සතර අරූපාවචර ධ්යානලාභීව රහත් බවට පත් වූ සේක මෙසේ ධ්යාන සුවයෙන්ද නිර්වාන සුවයෙන් ද කල් යවන්නාහු පසුකලකදී බුදු රජාණන් වහන්සේ භික්ෂූන්ට අග්රස්ථාන දෙන අවස්ථාවක ” අරූප ධ්යානලාභී භික්ෂූන් අතර එහි මහා පන්ථක තෙරුන් අග්ර වන්නේ යැ” යි අග්රස්ථානයෙහි තබා වදාළසේක

මහා කච්චායන මහරහතන් වහන්සේ

 

අසු මහා ශ්රාවක වහන්සේලා - 10
(දහවන ලිපිය )

මහා කච්චායන මහරහතන් වහන්සේ

අප බුදුරදුන්ගේ කාලයෙහි උදේනි නුවර බමුණු කුලයෙහි පින්වත් කුමාරයෙක් ඉපදුණා. මුලු සිරුරම රන්වන් පාටින් බැබලුණා.

එසේ වීමට හේතුව කලින් වැඩසිටි කාශ්යප බුදුරදුන් පිරිනිවන් පෑ පසු ධාතු තැන්පත් කොට සෑයක් සාදද්දී රන් ගඩොලක් පූජා කොට මතු ආත්මවල උපදින වාරයක් පාසාම සිරුර රන්වන් පැහැයෙන් බැබළේවායි ප්රාර්ථනා කොට තිබූ නිසයි. ඒ අන්දමට රන්වන් සිරුරක් ලැබූ හෙයින් කුමරුවාට නම තැබූයේ කඤ්චන යන නමයි.

එහෙත් ඔහුගේ ගෝත්රය කච්චායන වූයෙන් ඒ නමින් ද හැඳීන්වූවා. වැඩිවියට පත් ඔහුට රජුගේ පුරෝහිත තනතුර හිමිවුණා. බුදුරදුන් ලෝකයේ පහළ වී ඇති බව දැනගත් උදේනි රජතුමා මුලු ඇමති මණ්ඩලයේ ම කැමැත්ත පරිදි කච්චායන පුරෝහිතයාගෙන් ඉල්ලා සිටියා බුදුරදුන් තම රාජ්යයට වඩම්මාගෙන එන ලෙස. තමාට පැවිදි වීමට අවසර ලබාදෙන්නේ නම් ඉල්ලීම ඉටු කිරීමට කච්චායන බමුණා පොරොන්දු වුණා. යහළුවන් සත්දෙනෙකු සමඟ බුදුරදුන් වෙත ගිය කච්චායන පැවිද්ද ලබා සසර සිදුකළ පින්වල මහිමයෙන් රහත්භාවය ලබාගත්තා. ටික කලකට පසු පැවිදි උපසම්පදාව ලැබූ හිතවත් හිමිවරු සත්දෙනා සමඟ බුදුරදුන් හමුවෙහි උදේනි නුවර පිළිබඳ වර්ණනාත්මක විස්තරයක් ඉදිරිපත් කළා.එවිට බුදුරදුන් “ පළමුව තමා උපන් උදේනි නුවරට කච්චායන හිමියන්ම වැඩමවන්න” යැයි නියම කළා. ඒ අනුව රහත් සත්නම සමඟ කච්චායන හිමියන් උදේනි නුවරට වැඩම වන අතර තේලප්පතාලි ගමෙහි පිඬුසිඟාවැඩියා.

එහි විසූ සුරූපි දුප්පත් එක් සිටු දියණියකගේ කේශ කලාපය කහවණු ලක්ෂයක් වුවත් ගෙවා මිලදී ගැනීමට තවත් සිටු දුවණියක් සූදානම්ව සිටියත් මුලදී එම ඉල්ලීම ප්රතික්ෂේප වුණා. එහෙත් මහා කච්චායන හිමියන් ප්රධාන රහත් හිමිවරුන්ට දානය පිළිගැන්වීමට තිබූ බලවත් ආශාව නිසා ලක්ෂයකටවත් නොදුන් කේශ කලාපය කහවණු අටක් වැනි සුලු මුදලකට කලින් ඉල්ලූ කාන්තාවටම විකුණා සැදැහැයෙන් යුතුව දානය පූජා කළා. ඉතා ලස්සන වූ ඇගේ කේශ කලාපය සැදැහැයෙන් විකුණා දුන් දානයේ අනුසස් ලෙස ඇයට නැවතත් මෙලොව දී ම වඩා ලස්සන කේශ කලාපයත් ඇයට ලැබුණා. මේ තොරතුරු දැනගත් රජතුමා ඇය තම අගමෙහෙසිය බවට පත්කර ගත්තා. අප සිදු කරන කුසල ක්රියාවන්හි අනුසස් බොහෝ දුරට මෙලොවදීම ලැබෙන බවට මෙය හොඳ නිදසුනකි. කච්චායන හිමියන් කඤ්චනවත නම් උයනෙහි වැඩ වසන බව උයන්පල්ලාගෙන් දැනගත් උදේනි රජතුමා වහා එහි ගොස් බුදුරදුන් කොහිදැයි විමසුවා. එවිට මහා කච්චායන හිමියන් පැවසුවා පළමුව තමන්ට උදේනි නුවරට වැඩම වීමට උන්වහන්සේ නියම කළ බව. පැහැදීමට පත් රජතුමා ඒ රහත් පිරිසට මහත් සේ උපස්ථාන කළා. එහි දී බණ ඇසූ බොහෝ දෙනා පැහැ දී පැවිදිව මග ඵල ලබා ගත්තා.

දන් දීමෙන් අග බිසව බවට පත් දේවිය රජතුමාගේ අවසරය පරිදි කඤ්චවන නම් උයනෙහි ආරාමයක් කරවා කච්චායන හිමියන්ට පූජා කළා. කච්චාන හිමියන්ට ඉතා ලස්සන ශරීරයක් තිබුණා. දිනක් කච්චායන තෙරුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩමවීම සඳහා සිවුරු පොරවමින් සිටියා. මේ වෙලාවේ මහා ධනවත් සොරෙය්ය සිටු පුත්රයා දිය නෑම සඳහා ගමන් කරමින් සිටියා. එහි දී කච්චාන හිමියන්ගේ ශරීරය දුටු සොරෝය්ය සිටු පුත්රයා මෙහෙම සිතනවා. “ මේ වගේ ලස්සන ශරීරයක් මගේ භාර්යාවට තිබුණානම් කොපමණ හොඳද” මේ දරුණු සිතිවිල්ල නිසා සොරෙය්ය සිටු පුත්රයා පිරිමි බවින් වෙනස්ව කාන්තාවක වූ බව ධර්ම ග්රන්ථයන්හි සඳහන් වෙනවා. බුදුරදුන් ජේතනවනාරාමයෙහි වැඩසිටිය දී ම මධුපිණ්ඩික සූත්රය කාරායන සූත්රය ආදී දේශනා රාශියක්ම ඉතා කෙටියෙන් දේශනා කොට වදාළා. එවැනි අවස්ථාවල කච්චායන තෙරුන්වහන්සේ විස්තර සහිතව හා නිවැරැදිව එම ධර්මය දේශනා කොට වදාළා. එය කච්චායන හිමියන් මෙලොවදීම ලබාගත් විශේෂ දක්ෂතාවයක් නොවෙයි.පදුමුත්තර බුදුරදුන් දවස කෙටියෙන් දේශනා කළ ධර්මය විස්තර වශයෙන් දේශනා කර භික්ෂූන් අතර අග තනතුර පිරිනමනවා දැක දානාදී පින්කම් කොට තමන්ටත් එවැනි තනතුරක් ලැබේවායි කළ පැතුමට අනුව ලැබූ විශේෂ දක්ෂතාවයක්.

ඒ නිසාම අප ගෞතම බුදුරදුන් විසින් කෙටියෙන් දේශනා කරන ලද ධර්මය විස්තර වශයෙන් දක්වන භික්ෂූන් අතර අගතනතුර මහා කච්චායන හිමියන්ට දේශනා කොට වදාළ බව ශාසන ඉතිහාසය සඳහන් කරන ලද පින්වල ඵලය සසර දීර්ඝ කාලයක් සැප සම්පත් ලබාදීමටත් නිවන් අවබෝධ කරගැනීමටත් හේතුවන බව මෙයින් පැහැදිලි වෙනවා.

Thursday, November 30, 2023

දමනය කළ සිත ගෙන දෙයි සුව සෙත

 

දමනය කළ සිත ගෙන දෙයි සුව සෙත

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

දුන්නිග්ග හස්ස ලහුනෝ
යත්ථ කාම නිපාතිනෝ
චිත්තස්ස ද මථෝ සාධු
චිත්තං දන්තං සුඛාවහං

පින්වත්නි,

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් අරබයා ඉහත කී ගාථා ධර්මය දේශනා කර වදාළ සේක.

එදවස අප බුදුරදුන්ගෙන් පැවිදි බව ලබා සුදුසු කමටහන් ගෙන හැටක් පමණ භික්‍ෂූන් වහන්සේ චාරිකාවේ හැසිරෙමින් කොසොල් රට ‘මාතිගාම’ නම් ගමේ පිඬුසිඟා වැඩියහ. මේ ගමට ප්‍රධාන වූ ‘මාතිකා’ නම් මව මෙම භික්‍ෂු පිරිස දැක තම ගෙදරට වැඩමවා ප්‍රණීත දන් පිළිගන්වා ‘ස්වාමීනී’ කොහේ වඩින්නාහුදැයි විචාලාය. ‘උපාසිකාවෙනි’ අපි අපේ පැවිදි පිළිවෙත් සපුරා ගැනීමට පහසු සෙනසුනක් සොයන්නෙමු යැයි පිළිවදන් දුන්හ. එසේනම් ‘ස්වාමීනි’ ඔබ හැමදෙනා වහන්සේම මෙහිම වැඩවසන ‍ෙස්ක්වා, සියලු පහසුකම් සලසාදීමට අපට පුළුවන. භික්‍ෂූන් වහන්සේ ද ‘මාතිකා මාතාව‘ විසින් සකසා පිළියෙල කළ සෙනසුන්වල වස් විසූහ. මෙසේ කල්ගතවන විට දිනක් භික්‍ෂූන් වහන්සේ එක් තැනකට රැස් වී සාකච්ඡා කරන්නෝ ‘අප සැම දෙනාම මෙහි පැමිණියේ මහණ දම් පිරීමට ය. එබැවින් එම පරමාර්ථය ඉෂ්ට සිද්ධ කර ගැනීමෙහිලා අප්‍රමාදව මහණදම් පුරමු. බණ භාවනා කරමු. දාන වේලාවට හා උවටැන් කිරීමාදී අවශ්‍යතාවයකට පමණක් ගෙඩිගේ සඤ්ඤාව සිහියේ තබාගනිමු. තම තමන්ගේ කුටිවල විවේකීව භාවනා කරමු යයි තිරසර කතිකාවක්, අදිටනක් ඇති කරගත්හ.

දිනක් මාතිකා මාතාව ගිලන්පස ආදිය රැගෙන සේවකයන් පිරිවරාගෙන පැමිණියේ භික්‍ෂූන් නොදැක සේවකයන් ලවා ගෙඩිය ගැස්සුවා ය. භික්‍ෂූන් වහන්සේලාද කුමක් සඳහා ගෙඩිය ගැසුවේදැයි කුහුල් සිතින් තමතමන්ගේ කුටිවලින් තනි තනිව වැඩමවා එක්තැනකට රැස්වූහ. ‘මාතිකා’ උපාසිකා මාතාවද එම බුද්ධ ප්‍රත්‍රයන් වහන්සේලාට දැහැත් ගිලන්පස පිළිගන්වා ‘ස්වාමීනී’ ඔබ වහන්සේලා වෙන්ව වැඩ හිඳ කරන භාවනාව කුමක්ද? එය මටද අනුකම්පාවෙන් කියාදෙන සේක්වායි ආයාචනා කළා ය. එවිට භික්‍ෂූහු තමන්වහන්සේලා තමන්ගේ කතිකාව විස්තරකොට ආත්මය පිළිබඳ ක්‍ෂය වන අරමුණු වන සතිපට්ඨාන භාවනාව කියා දුන්හ. ‘මාතිකා’ මාතාව අප්‍රමාදව ඒ භාවනාවෙන් නොබෝ දිනකින් සිව්පිළිසිඹියාපත් මාර්ග ඵලයට පැමිණ ආර්ය ගුණයෙන් සම්පූර්ණව තම ඥානයෙන් තමන්ගේ උපස්ථානයෙන් මහණදම් පුරන භික්‍ෂූන්ගේ මාර්ගඵල ලාභයක් නොමැති බව දන එයට හේතුව බලන්නේ උන්වහන්සේලාගේ ආහාර සප්පාය නොමැති බවත් එය බණ භාවනාවට බාධාවක් බව දැන කැමති කැමති කැඳ අවුල්පත් ආදී ආහාර ඉතා හොඳින් සකස් කළා ය. මෙයින් පසු භික්‍ෂූන් වහන්සේලා ද අප්‍රමාදව මහණ දම් පුරා සිව්පිළිසිඹියාපත් රහත් බවට පත්වූහ.

උතුම් ආර්ය ගුණයෙන් සම්පූර්ණව මෙම ශ්‍රාවකයන් වහන්සේ වස් පවාරණයෙන් පසු උපාසිකාවට දන්වා දෙව්රම් වෙහෙරට ගොස් බුදුරදුන් වැඳ සියලු පුවත් දන්වා වස්කාලය තුළ සිව්පසයෙන් ඇප උපස්ථාන කළ ‘මාතිකා’ මාතාවගේ උතුම් ගුණාංග අප දෙපක්‍ෂයටම විමුක්තිය සඳහා හේතු වූ අයුරු ද ප්‍රථමයෙන් ඇයගේ ආර්ය ඤාණයත් එයින් පසු අපගේ පරමාර්ථය ඉෂ්ට වූ අයුරු ද විස්තර කළහ. එහි සිටි තවත් භික්‍ෂුවක් එම තොරතුරු අසාගෙන එහි ගොස් මාතිකා මාතාව දැන හඳුනාගෙන සිව්පසයෙන් සත්ප්‍රාය ලබා අප්‍රමාදීව භාවනා කොට නොබෝ දිනකින් උතුම් අරහත් ඵලයට පැමිණියහ. එම භික්‍ෂුවගේ චිත්ත දමනය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

ඉතා ඉක්මනින් ඇතිව නැතිව යන්නා වූ ඇස්කන් නාසාදී පසිඳුරන් කැමති තැනකට යන්නා වූ සිත යමෙක් දමනය කරන්නේ නම් ඉතා යහපත් ය. එයින් රාගාදී කෙලෙස් මුලින්ම නැති කොට විමුක්ති සුවයෙන් සැනසීමට පුළුවන. පින්වත්නි! සත්වයාගේ උතුම්ම වස්තුව සිත වූවද එය තමා විසින් පාලනය කර නොගැනීමෙන් රාගාදී කෙලෙස්වලින් කිලිටි වේ. අසංවර වේ.

ජරා, ව්‍යාධි, මරණාදි නොයෙක් දුක් වේදනාවලින් පීඩාවට පත් වේ. මකුළු දැලක් මැද සිටින මකුළුවා දැලේ බැඳෙන සතුන් පිළිබඳව ක්‍ෂණිකව ක්‍රියාත්මක වනසේ පසිඳුරන් විසින් අරමුණු කරා තබා ඇති සඤ්ඤාව නමැති දැලට වහාම සිත සසල වේ. සංසාරික ස්වභාවය අනුව සත්වයාගේ චිත්ත සන්තානය ලෝභාදී අකුසල මූලයන් පදනම් කරගෙන සිතුම් පැතුම් සකසා ගනී. ඒවාට සංඛාර නමින් හැඳින්වෙන්නේ පංචඉන්ද්‍රයන්ගේ මාර්ගයෙන් කුසල් අකුසල් රැස්වන නිසා ය. සත්වයා සුගති දුගති සංඛ්‍යාත ගමන් මාර්ග දෙකේම ගමන් කරන්නේ අභිසංඛාර බැවින් සංවර සීලය මූලිකව අප්‍රමාදීව වීර්ය වඩා ඒවා ක්‍රමයෙන් නැති කළ යුතු ය. සෝවාන් ආදී සිව් ආර්ය මාර්ගවලින් සන්තානගත සක්කාය දිට්ඨි ආදී දස සංයෝජනයන් ක්‍රමයෙන් සිඳ බිඳ දමා ලබන ආර්යඤාණය උත්කෘෂ්ඨ වේ. “ චිත්තං දන්තං සුඛාවහං” දමනය වූ සිත තමන්ට සැප ගෙනදේ. චිත්ත විවේක සැපය, උපධි විවේක සුවය, මාර්ගඵල සුවය, නිර්මාණ සැපය, තිරසරවන අතර චංචල සිතින් පංචකාම පිළිබඳ කාම තණ්හා, විභව තණ්හාවෙන් ලබන භෞතික සුඛාස්වාදය ක්‍ෂණික සඤ්ඤා සංකල්පයක් පමණක් වන අතර එයින් ලැබෙන ප්‍රතිඵලය ඉතාමත් භයානක ය.

චිත්ත දමනය කිරීමට පෙර ඉන්ද්‍රියන් දමනය කිරීමෙන් ලබන ආත්ම පාලනය මිනිසාගේ උදාර ගුණාංග ආරක්‍ෂා වීමට හේතු වේ. පුද්ගලයා සමාජ ගත වීමේ දී යහපත් තැනැත්තෙකු බවට පත්වීමත් එයින් ආශ්‍රිත සමාජයට යම් කුසලතාවයක් ප්‍රකට කිරීමත් කෙරෙන්නේ ආත්ම පාලනයෙනි. පන්සිල් ආරක්‍ෂා කිරීම සමාජයට කරන මහඟු උපකාරයක් බව අත්දැකීමෙන් අවබෝධ වන පසුතලය තමා විසින්ම සකසා ගැනීමෙහිලා ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍ය වේ. “ කායෙන සංවරෝ සාධු සාධු සබ් බත්ථ සංවරො” යනුවෙන් වදාළ බුදු වදන් නිතර නිතරම මෙනෙහි කරන්නාට ඉන්ද්‍රිය සංවරය ආරක්‍ෂාව වේ. සිත රූප ධර්මයක ආධාරයෙන් නාම ධර්මයක පෝෂණයෙන් සජීවීව පැවතිය ද අප්‍රකට වස්තුවක් බැවින් පංචේන්ද්‍රියන්ගේ චලන මාත්‍රයෙන් ගමන් කරන චිත්ත වීර්ය ඔස්සේ උත්පාද, ථිති භංග වශයෙන් නිතරම අනිත්‍ය ස්වභාවයෙන් සෙසු නාමරූප ධර්මයන්ට ප්‍රධානව පවතී.මෙය දමනය කිරීමට අවශ්‍ය නම් ප්‍රථම කොට ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියයන් පාලනය කිරීමේ මූලික පියවර වශයෙන් සීලය අවශ්‍ය වේ. “සික්ඛ තීති සීලං” යනුවෙන් දක්වා ඇති පරිදි ඉඳුරන් හික්මවා ගැනීමට ප්‍රථමයෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යථා ස්වභාවය හඳුනා ගන්නා ක්‍රමය ඉගෙන ගත යුතු ය.

‘පඨවි රූප’ ධාතුවෙන් ඝනත්වයද, ආපෝ ධාතුවෙන් ජලත්වයද, තේජෝ ධාතුවෙන් උණුසුමද, චලනත්වය වායෝ ධාතු වෙන්ද, පෝෂණය කරන ඇස රූපය අරමුණු කරගෙන විඤ්ඤාණය ඇති වේ. ඇසත්, රූපයත්, විඤ්ඤාණයත් නිසා ස්පර්ෂයත් වේදනාවත් ඒ නිසාම තණ්හාවත් ඇතිවන අයුරු සතිපට්ඨාන සූත්‍රයේ දැක්වේ. එමෙන් කන් නාසාදී ඉන්ද්‍රියන් ද අරමුණු විඤ්ඤාණය යන සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලන විට ඉන්ද්‍රියන් නිසා සිදුවන අකුසල් දුරුවේ. සීල විශුද්ධියෙන් ඉඳුරන් පාලනය කරගෙන සමථ භාවනා වඩා චිත්ත විසුද්ධිය කරා ගමන් කරන්නාට හිත තමාට පාලනය කර ගත හැකි අතර දිට්ඨි විශුද්ධියෙන් සම්මා දිට්ඨි කුසලය ඇතිවේ. ක්‍රමයෙන් සමථ භාවනාව පුරුදු කරගෙන යන විට සප්ත විශුද්ධි ලබා චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් උතුම් නිවන් සම්පත් ලබාගැනීමට වාසනා භාග්‍යය වේ.

බුදුරජාණන් වහන්සේ විසින් ‘චිත්තස්ස දමථො සාධු චිත්තං දන්තං සුඛාවහං’ සිත දමනය කිරීම හොඳයි. දමනය කළ සිත සැප ඇති කරන්නේ ය. යනුවෙන් දේශනා කළේ විදර්ශනා ඤාණයෙන් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය දැනීමත් එයින් ලැබෙන ශාන්තියත් සම්බන්ධයෙනි. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන සිව්පිළිසිඹියාපත් නුවණින් ලෝකයත් තමාත් අතර සැසඳීමෙන් මෙයින් මතු මාරයාට ශරීරය දීමක් නැති නිසා නිවන් සුවයෙන් සැනසීමට භාග්‍යවන්ත වේ. මෙතරම් ආශ්චර්ය ජනක සිතේ ශක්තිය ලබාගැනීමට සිතම උපයෝගී කරගෙන අප්‍රමාදීව සිහිබුද්ධියෙන් කටයුතු කරන තැනැත්තාට සිත දමනය කරගත හැකි ය. 

මන්තානි පුත්ත පුණ්ණ රහත් තෙරණුවෝ

අසු මහා ශ්රාවක වහන්සේලා - 09
(නමවන ලිපිය )

මන්තානි පුත්ත පුණ්ණ රහත් තෙරණුවෝ

අප බුදුරදුන්ගේ ශාසනයෙහි ශ්රාවකයන් අතර ධර්ම කථික භික්ෂූන් අතර අගතනතුර ලබා ගන්නා ලද්දේ මන්තානි පුත්ත පුණ්ණ තෙරණුවන් ය. කිඹුල්වත් නුවර මහා ධනවත් දෝණවත්ථු නම් බ්රාහ්මණ කුලයක උපත ලැබූ උන්වහන්සේගේ ගිහි නම පුණ්ණ යන්නයි. මව මන්තානි යනුවෙන් හැඳින්වූ අතර පසුව ඒ මවගේ නම ද සම්බන්ධ කොට මන්තාති පුත්ත පුණ්ණ යන නම ලැබුණි. පැවිද්ද ලබා ගත් පුණ්ණ තෙරුන් ටික කලක් කිඹුල්වත් නුවරම වැඩ සිටිමින් භාවනා කොට රහත් භාවය ලබා ගත්තා. උන් වහන්සේ සමග පැවිද්ද ලබා සිටි යහළුවන් පන්සියය ද රහත්භාවයට පත් වීමට තරම් වාසනාවන්ත වූවා. ටික කලකට පසු යහළු පන්සියයක් රහත් තෙරවරුන් බුදුරදුන් දැකීමට රජගහනුවර වේළුවනාරාමයට වැඩම වූවා. බුදුරදුන් සමග සාකච්ඡා කරමින් සිටිය දී දස කතාවස්තුවෙන් ධර්ම දේශනා කරන සහ භික්ෂූන්ට අවවාද දෙන භික්ෂු නමක් ඇත්දැයි බුදුරදුන් විමසුවා. එවිට භික්ෂූන්ගේ පිළිතුර වූයේ මත්තාති පුත්ත තෙරණුවන් එසේ ධර්ම දේශනා කරන බවයි.

බුද්ධ දේශනාවෙහි දැක්වෙන ඉතා උසස් වූ කථාවස්තු දහයකි. එහි පළමුවන කරුණ වශයෙන් දැක්වෙන අල්පේච්ඡ කථා යනුවෙන් සඳහන් වන්නේ තමාට යැපෙන තරම් සිවු පසය පිළිබඳ කැමැත්ත මිස එයට වැඩි දෙයක ආසාවක් නොමැතිකමයි. ලද දෙයින් සතුටු වීම සන්තුෂ්ටි කතා යනුවෙන් දෙවැන්න දැක්වෙනවා. කාය විවේක, චිත්ත විවේක සහ උපධි විවේක යන ත්රිවිධ විවේකයෙන් යුක්ත වීම විවේක කතා වශයෙන් හැඳින්වෙනවා. ආශ්රය කිරීමට නුසුදුසු අය සමඟ එකතු නොවීම අසංසර්ග කතා ලෙස සලකනවා. වීර්ය කතා යනුවෙන් පස්වෙන්නෙත් දැක්වෙන්නේ උට්ඨාන වීර්ය සම්බන්ධ කතායි. ශිල කතා යන්නෙන් පන්සිල්, අටසිල්, දස සිල් ආදී ශීලයන් පිළිබඳ කතා කිරීමයි. සමාධි පිළිබඳ කථාව සමාධි කථා වශයෙනුත්, ප්රඥා පිළිබඳ කථා ප්රඥා කතා යනුවෙනුත් දැක්වෙනවා. නවවැන්න වශයෙන් දැක්වෙන්නේ කෙලසුන්ගෙන් මිදීම නම් වූ නිවන පිළිබඳ කථාව විමුක්ති කථාවයි. විමුක්ති ඥාන දර්ශන කථා යන දස වැන්නෙන් පෙන්වා දී ඇත්තේ ප්රත්යවේක්ෂා ඥානය පිළිබඳ කථාවයි. පුණ්ණ තෙරණුවන් මේ උතුම් වූ දස කතාවස්තූන්ගෙන් යුක්තව ධර්ම දේශනා කිරීම බුදුරදුන් මහත් සේ අගය කොට වදාළා.

පන්සියයක් රහත් හිමිවරුන් සමග බුදුරදුන් පැවැත් වූ ඉහත සඳහන් සාකච්ඡාව අසා සිටි සැරියුත් මහරහතන් වහන්සේ සිතුවා මන්තානි පුත්ත පුණ්ණ තෙරණුවන් හමුව සාකච්ඡා කරන්නට ලැබේනම් එය ඉතා යහපත් බව. පසුව බුදුරදුන් ජේතවනාරාමයට වැඩි අවස්ථාවක දී පුණ්ණ තෙරුන් බුදුරදුන් දැකීමට ගොස් වැඳ සාකච්ඡා කොට විවේක ගැනීම සඳහා අන්ධ වනයට වැඩමුවා. මේ බව දැනගත් සැරියුත් හිමියන් එම වනයට වැඩමවා පුණ්ණ තෙරුන්ගේ සුවදුක් විචාරා අවසානයේ ප්රශ්න කළා බුදුරදුන්ගේ ශාසනයෙහි ඔබ බඹසර හැසිරෙන්නේ සීල විසුද්ධිය ලබා ගැනීම පිණිස ද කියා. නැතැයි පිළිතුරු දුන් කල්හි, බඹසර රකින්නේ චිත්ත විසුද්ධිය පිණිසදැයි විමසුවා. එයට ද නැතැයි පිළිතුරු දුන් කල්හි එසේ නම් දිට්ඨි විසුද්ධිය පිණිස දැයි ප්රශ්න කළා. එයට ද දුන් පිළිතුර වූයේ නැත යන්නයි. මේ අන්දමට කංඛා විතරණ විසුද්ධිය, මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධිය, පටිපදාඤාණ දස්සන විසුද්ධිය, ඤණ දස්සන විසුද්ධිය යන සත්ත විසුද්ධීන් එකින් එක ඉදිරිපත් කොට එය උදා කරගැනීම සඳහා බඹසර රකින්නේ දැයි විමසුවා. සෑම එකකටම පිළිතුර වූයේ නැත යන්නයි. සප්ත විශුද්ධින් සඳහා බඹසර නොවසන්නේ නම් කුමක් සඳහා බඹසර රකින්නේ දැයි සැරියුත් හිමි නැවතත් ප්රශ්න කළා. එවිට පිළිතුර වූයේ බඹසර රකින්නේ ක්ලේශ පරිනිර්වාණය සඳහා යන්නයි. එසේ නම් සප්ත විසුද්ධියෙන් වෙන් වූ ක්ලේශ පරිනිර්වාණයක් තිබේදැයි සැරියුත් හිමියන් නැවත විමසුවා. එවිට පුණ්ණ හිමියන් එය පැහැදිලි කිරීමට කදිම නිදසුනක් ගෙනහැර දැක්වූවා.

සාකේත නුවරට යාමට අවශ්යතාවක් ඇති කොසොල් රජතුමා එක් රියකින් මද දුරක් ගොස් එය හැර තවත් රියකට නගිනවා. ටික දුරක් ගොස් තවත් එකකට වශයෙන් නගිමින් බසිමින් රිය හතකින් ගොස් ගමන නිම කරනවා. අමාත්යවරයෙකු මේ රියෙන්ම පැමිණියේ දැයි ඇසුවොත් පළමු රියෙන් ටික දුරක් අවුත් දෙවන රියටත් එයින් පසු තෙවන රියටත් නැග පිළිවෙළින් රිය හතකින් පැමිණුන බව ප්රකාශ කරන්ට වෙනවා. අන්න ඒ වගේ එක් විසුද්ධියක් නිසාම නොව එක් එක් විසුද්ධීන්ට පැමිණ ක්ලේශ පරිනිර්වාණය සිදුවන බව පුණ්ණ හිමියන් පෙන්වා දුන්නා. බෙහෙවින් පැහැදුනු සැරියුත් හිමියන් මත්තාති පුත්ත පුණ්ණ හිමියන්ගේ නම විමසා ඔබ වහන්සේ වැනි කෙනෙකු සමග හැසිරෙන්ට ලැබීමත් මහත් භාග්යයක් යයි ගුණ වර්ණනා කළා. එයින් අනතුරුව පුණ්ණ හිමියන් ද සැරියුත් හිමියන්ගෙන් නම කුමක් දැයි ප්රශ්න කළා. උන්වහන්සේ ද තමන්ගේ නම ප්රකාශ කිරීමත් සමග පුදුමයට පත් වූ පුණ්ණ හිමියන් ඔබ වහන්සේ වැනි උතුම් කෙනෙකු දකින්ට ලැබීමත්, ඇසුරු කරන්ට ලැබීමත් වාසනාවක් වශයෙන් පෙන්වා දුන්නා. පස්වග මහණුන්ගෙන් ප්රථමයා වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ හිමියන් බුදුරදුන්ගෙන් වෙන්ව වනගත වීමට පෙර තම ගමට වැඩමවා පැවිදි කරන ලද්දේ බෑනනුවන් වූ මේ පුණ්ණ රහත් හිමියන් බව අප තේරුම් ගත යුතු ය. උන්වහන්සේ මේ බුදුසසුනෙහි ධර්ම කථිකයන් වහන්සේ අතර අග තනතුරු ලැබීමට තරම් භාග්ය සම්පන්න වුණා.

සද්ධර්ම කීර්ති ශ්රී ත්රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි.

තෙරුවන් සරණයි ..!
දාන පාරමිතා

Wednesday, November 29, 2023

පිණ්ඩොලභාරද්වාජ තෙරණුවෝ


අසු මහා ශ්රාවක වහන්සේලා - 8
(අටවන ලිපිය )

පිණ්ඩොලභාරද්වාජ තෙරණුවෝ

අටවැන්නේහි ‘සීහනාදිකානං’ යනු සිංහහඬ නඟන්නවුන් අතුරෙන්ය. පිණ්ඩොලභාරද්වාජො අග්ගෝ යනු හෙතෙම වනාහි රහත්බවට පත් දිනයෙහි යතුරක් රැගෙන විහාරයෙන් විහාරයට පිරිවෙණන් පිරිවෙණට ගොස්, ‘යමකුට මාර්ගයෙහි හෝ ඵලයෙහි හෝ සැකයක් ඇතිද හෙතෙම මා විමසාවා’යි සිංහ හඬ නගමින් හැසුරුනේය. බුදුන්වහන්සේගේද ඉදිරියෙහි සිට ‘ස්වාමීනි, මේ සසුනෙහි කළයුතු කිස මාගේ මුදුන් පැමිණියේය’යි සිංහනාදය නැඟුවේය. එහෙයින් සිංහනාදය ඇත්තවුන් අතුරෙන් අග්ර නම් වූයේය. උන්වහන්සේගේ ප්රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කථාවයි.

මෙතෙමේ වනාහි පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි පර්වතපාදයක සිංහයෝනියෙක උපන්නේය. ශාස්තෘන්වහන්සේ උදෑසන කාලයෙහි ලොව බලන සේක් ඔහුගේ හේතු සම්පත් දැක හංසවතියෙහි පිඬු පිණි හැසිර පසුබතෙහි සිංහයා ගොදුරු සඳහා පිටත්ව ගිය කල්හි ඔහුගේ වසන ගුහාවට පිවිස අහසෙහි පළක් බැඳ නිරෝධ සමාපත්තියට සමවැද වැඩහුන් සේක.

සිංහයා ගොදුරු ලැබ ආපසු හැරී ආයේ ගුහා දොරකඩෙහි සිටියේ ඇතුළු ගුහාවෙහි වැඩහුන් බුදුන්වහන්සේ දැක, ‘මගේ වසන තැනට අවුත් හිඳීමට සමත් අන්සතෙක් නම් නැත. ඒකාන්තයෙන් මේ පුරුෂයා ශ්රේෂ්ඨයෙකි. ඇතුළු ගුහාවෙහි පළක් බැඳ හුන්නේයි. මොහුගේ ශරීර ප්රභාවද හාත්පස පැතිරී ගියේය. මවිසින් මෙබඳුවූ අසිරියක් නොදුටුවිරූය. මේ පුරුෂයා මේ ලෝකයෙහි පිදීමට සුදුස්සන් අතුරෙන් ශ්රේෂ්ඨයා වන්නේය. මා විසින්ද මොහුට හැකි පරිද්දෙන් සත්කාර කිරීමට වටනේයයි දියෙහි හටගන්නාවුද ගොඩ භටගන්නාවූද නොයෙක් මල් එක් කොට බිමසිට හුන් පළඟෙහි තැනට මලසුනක් අතුරා සියලු රැය අබිමුවෙහි තථාගතයන්වහන්සේ නමඳිමින් සිටියේය. දෙවැනි දිනයෙහි පරණ මල් ඉවත් කොට අලුත් මලින් ආසනය ඇතිරීය. මේ ක්රමයෙන්ම දිනසතක් මල් අසුන් පනවා බලවත් ප්රීතිය හා සොම්නස උපදවා ගුහාදොරටුවෙහි රැකවල් ගත්තේය.

සත්වැනි දිනයෙහි භාග්යවතුන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැඟිට ගුහා දොරටුවෙහි වැඩ සිටි සේක. මෘගරාජවූ සිංහයාද තථාගතයන් වහන්සේ තෙවරක් පැදකුණු කොට සිවු තැන්හි වැඳ ඉවත්වී සිටියේය. ශාස්ථාන් වහන්සේ මොහුගේ උපනිශ්රය මෙපමණක් වටීයයි අහසට පැන නැඟී විහාරයටම ගියසේක. ඒ සිංහයාද බුද්ධ වියෝගයෙන් දුකට පත් වූයේය.

කළුරිය කොට හංසවතී නුවරෙහි මහධනවත් කුලයක පිළිසිඳ ගෙන වියට පැමිණියේ එක් දිනක නුවරුන් සමඟ වෙහෙරට ගොස් දම් දෙසුම අසන්නේ එක් භික්ෂුවක සිංහනාද ඇත්තවුන් අතුරෙහි අගතන්හි තබන්නාවූ ශාස්තෘන් වහන්සේ දැක කියනලද ක්රමයෙන්ම සත්දිනක් මහදන් පවත්වා ඒ තනතුර පතා ශාස්තෘන්වහන්සේ විසින් (පැතුමට) අනතුරක් නොදැක විවරන දෙන ලද්දේ දිවි ඇතිතෙක් කුසල් කොට එහි කළුරිය කළේ දෙවියන් හා මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහ නුවර බ්රාහ්මණ මහාසාර කුලයෙක්හි උපන්නේය.

නමින් භාරද්වාජ නම් වූයේය. හෙතෙම වියට පත්වූයේ ත්රිවේදයන් උගෙන මානවකයන් පන්සියයකට මන්ත්ර උගන්වමින් හැසිරෙයි. හෙතෙම තමන්ගේ ජ්යෙෂ්ඨ භාවයෙන් ආරාදනා ලද තන්හි සියල්ලන්ගේ හික්ෂාව තෙමේම පිළිගනී. මෙතෙම වනාහි මඳක් ලොල් ස්වභාවය ඇත්තේ විය. හෙතෙම ඒ මානවකයන් සමඟ කැඳ කොහිද බත් කොහිදැයි කැඳබත් කනදෑම සොයමින් හැසිරෙයි. හෙතෙම ගියගිය තන්හි පිණ්ඩය (අහර)ම ගරු කරමින් හැසිරේයයි පිණ්ඩොලභාරද්වාජ යන නමින් ප්රකටවිය. හෙතෙම එක් දිනක් ශාස්තෘන්වහනසේ රජගහ නුවරට පැමිනි කල්හි ධර්මකථාව අසා ලැබූ ශ්රද්ධා ඇත්තේ පැවිදි වී විදර්ශනාවට කටයුතු කරන්නේ රහත් බවට පැමිණියේය.

රහත් බවට පත් වේලෙහිම යතුරක් ගෙන වෙහෙරින් වෙහෙරට පිරිවෙණින් පිරිවෙණට ගොස් යමෙකුට මාර්ගයෙහි හෝ ඵලයෙහි හෝ සැකයක් ඇත්නම් හෙතෙම මා විමසාවායි සිංහනාද නඟමින් හැසුරුනේය. හෙතෙම එක් දිනක් රජගහ සිටු විසින් උණ දඬුවලින් ඔසවා අහසෙයි එල්වන ලද බඳු වදමල් පැහැය ඇති සඳුන් හරෙන් කරනලද පාත්රයක් සෘද්ධියෙන් ගෙන සාධුකාර දෙන්නාවූ මහජනයා විසින් පිරිවරන ලද්දේ විහාරයට අවුත් තථාගතයන්වහන්සේගේ අතෙහි තැබුවේය. ශාස්තෘන්වහන්සේ (කරුණ) දන්නාසේක්ම, ‘භාරද්වාජ, ඔබ විසින් කොයින් මේ පාත්රය ලබන ලද්දැ’යි ඇසූසේක. හෙතෙම ලැබූ කාරණය පැවසීය. ශාස්තෘන්වහන්සේ, ‘ඔබ මෙබඳුවූ උත්තමසාරධර්මයක් මහාජනයාට දැකුවූයෙහිය. ඔබ විසින් නොකළයුත්තක් කරන ලදැයි නොයෙක් අයුරින් නින්දා කොට, ‘මහණෙනි, ගිහියන්ට උතුරුමිනිස්දමින් සෘද්ධිප්රාතිහාර්ය්ය නොදැක්විය යුතුයි. යමෙක් දක්වන්නේ නම් ඔහුට දුකුළා ඇවැත්වේ'යයි ශික්ෂාපදයක් පැනවූසේක.

ඉක්බිති බික්සඟන මැද කථාවක් උපන්නේය: ‘සිංහනාද ඇති තෙරුන්වහන්සේ රහත් බවට පත් දිනයෙහි බික්සඟන මැද යමෙකුට මාර්ගයෙහි හෝ ඵලයෙහි හෝ සැකයක් ඇත්ද හෙතෙම මා විමසාවායි කීය. බුදුන්වහන්්සේගේ අබිමුවෙහිද තමන්ගේ රහත්බවට පැමිණීම කීහ. සෙසු සව්වෝ නිහඬවූහ. තමාගේ සිංහනාද ඇති බැවින්ම මහජනයාගේ පැහැදීම උපදවා අහසට පැනනැඟී සඳුන්හරෙන් කළ පාත්රයද ගත්හ’ යනුවෙනි. ඒභික්ෂූහු මේ ගුණ තුනම එක් කොට ශාස්තෘන්වහන්සේට පැවසූහ. බුදුවරු නම් ගැරහියයුතු දෙය ගරහති. පැසසිය යුතු දෙය පසසතියි මෙතන්හි පැසසිය යුතුවූ අංගම ගෙන, මහණෙනි, ඉන්ද්රියන් තුනක් වැඩූබැවින්, බොහෝකොට වැඩු බැවින් භාරද්වාජ භික්ෂුව ‘ජාතිය ක්ෂය විය. බඹසර වසනලදී. කළයුතු දෙය කරනලදී. මින්පසු අන්දෙයක් නැතැයි දනිමි’යි දන්නේ ප්රකාශ කළේය. කවර නම් තුන් දෙනෙකුගේද යත්? සති ඉන්ද්රියයාගේ, සමාධි ඉන්ද්රියයාගේ හා පඤ්ඤ ඉන්ද්රියයාගේයි. මහණෙනි, මේ ඉන්ද්රියයන් තිදෙනා වැඩූ බැවින්, බොහෝකොට වැඩූ බැවින් භාරද්වාජ භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වසන ලදී. කළයුතු දෙය කරනලදී. මින්පසු අන් දෙයක් නැතැ’යි දනිමියි දන්නේ ප්රකාශ කළේය’යි තෙරුන්වහන්සේ පසසා සිංහනාද ඇති භික්ෂූන්ගෙන් අග්රස්ථානයෙහි තැබූසේක.

තෙරුවන් සරණයි ..!

(උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්රමාණ පිං රැස්කර ගන්න )

දාන පාරමිතා

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...