|
|
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
රෝහණ මහ රහතන් වහන්සේ මහාසේන දෙව්පුත් දෙව් ලොවින් චුත වී මව්කුස පිළිසිඳ ගත් දා පටන් සත් අවුරුදු දස මසක් පුරාවට කජංගල ගමේ සෝනුත්තර බ්රාහ්මණතුමාගේ නිවසට පිඬුසිඟා වැඩි සේක.
ඒ සත් වසර පුරාවට “මෙතැනින් යන්න“ වචනයවත් ඒ බ්‍රාහ්මණ නිවසින් අසන්න නො ලැබුණි. නමුත් අටවෙනි අවුරුද්දේ දී දිනක් “මෙතැනින් යන්න“ කියන වචනය ඔවුන්ගෙන් ඇසුණේ ය. එදා රෝහණ තෙරුන් වහන්සේ ඒ නිවෙසින් එළියට වඩිද්දී පිටතට ගොස් නිවසට පැමිණෙමින් සිටි සෝණුත්තර බ්‍රාහ්මණයාට මුණ ගැසුණි. “ස්වාමීනි, අපගේ නිවසින් කිසිවක් ලැබුණාදැයි” උන්වහන්සේගෙන් විමසුවේ ය. “ එසේය බ්‍රාහ්මණය” කියා තෙරුන් වහන්සේ පිළිතුරු දුන් විට බ්‍රාහ්මණයා කිපී නිවසට ගොස් “අර ශ්‍රමණයන්ට කිසිවක් දුන්නාදැයි” ඇසුවේ ය. කිසිවක් නො දුන් බව දැනගෙන පසු දා පිඬුසිඟා වැඩි විට “මුසාවක්” කීවා යැයි තෙරුන්ට අපහාස කළේය. “පින්වත් බ්‍රාහ්මණය, එය මුසාවක් නොවේ. පසුගිය සත් වසර පුරාවට ඔබ නිවසින් මෙතැනින් යන්න කියන වචනයවත් ඇසුණේ නැහැ. නමුත් ඊයේ ඒ වචනය ලැබුණා. අපේ නිවසින් කිසිවක් ලැබුණාදැයි ඇසුවිට එසේය, බ්‍රාහ්මණය කියා මා පැවසුවේ ඒ නිසයි” කියා තෙරුන් වහන්සේ වදාළහ. ඒ පිළිතුªරට සෝනුත්තර බ්‍රාහ්මණයා වෙසෙසින් පැහැදුණේ ය. තමන් උදෙසා සැකසූ බතින් තෙරුන් වහන්සේට උපස්ථාන කොට එතැන් පටන් දිනපතා ම නිවසට වඩමවා දන්පැන් පිදී ය, තෙරුන් වහන්සේ ද දන් වළදා මද වශයෙන් නමුත් ධර්මය ද වදාරණ සේක.
නාගසේන කුමරු බිහි වී සත් වසරක් ගතවෙද්දී පිය බ්‍රාහ්මණතුමා දක්ෂ ඇදුරෙකු ලවා ත්‍රිවේදය හැදෑර වී ය. කෙටි කලකින් ත්‍රිවේදය පරතෙරට ගිය කුමරු එහි හරසුන් බව දැක නො සතුටු වී ය. එකල්හි රෝහණ තෙරුන් වහන්සේ වන්තනිය නම් සෙනසුණේ වැඩ වසද්දී කජංගල නම් නියම් ගම සිටි නාගසේන කුමාරයාගේ නො සතුටු සිතිවිලි තමන්ගේ සිතින් දැක වදාළ සේක. ඒ සැණෙකින් ම සිවුරු පොරවා පාත්‍රය ද රැගෙන සෙනසුනින් නික්ම කජංගල බමුණු ගමට වැඩි සේක. නිවස ඉදිරිපිට සිටි නාගසේන කුමාරයා ද මහතෙරුන් වහන්සේ දැක දුටු පමණින් සිත පැහැදී අසලට ගොස් මෙසේ විමසී ය. “ පැවිදි වූයේ කුමක් නිසාදැයි?” ඇසුවේ ය. “රාගාදී කෙලෙසුන් දුරු කර ගැනීම පිණිස යි” කියා තෙරුන් වහන්සේ පැවසූ සේක “එසේනම් සෙස්සන් මෙන් දිග් නැතිව හිසකෙස් කපා ඇත්තේ ඇයි?” කියා යළි විමසූ කුමරුට “වැවුුණු හිසකේ නිසා ඇතිවන පළිබෝධ දහසය දුරුකිරීම පිණිස” යැයි පිළිතුරු ලැබිණි. එය වටහා ගත් නාගසේන කුමරු “ අන් අයට වෙනස් ලෙසින් කඩ කැපූ, පඬු පෙව් වස්ත්‍රයක් පොරවන්නේ ඇයිදැයි? ඇසීය. “ කුමාරයාණෙනි, කඩ කපා පඬු පොවා සකස්කරගත් නිසා පැහැයත් අඩු වී, වටිනාකමත් අඩු වී යන නිසා, සොර සතුරන්ගෙන් හානියක් නැත. එමනිසා අහිමිවීමෙන් වන ශෝකයකුත් නැත. අපගේ වස්ත්‍ර වෙනස්වීමට හේතුව එයයි” කියා තෙරුන් වහන්සේ කරුණු පහදා දුන් සේක.
එම පිළිතුරුවලට සතුටු වූ නාගසේන කුමාරයා “ඔබ වහන්සේ කිසියම් ශිල්පයක් දන්නා සේක් ද?” කියා විචාළේ ය. “එසේය කුමාරයනි, ශිල්ප දනිමි. හස්තසාර ශිල්පියෙක් සේ තිබෙනා බලවත් උදාර ශිල්පත් දනිමි” යැයි රෝහණ තෙරුන් පැවසූ සේක. එවිට නාගසේන කුමරු එම ශිල්ප ඉගෙනගනු කැමැතිව “මිහිරි දෙයක් ලැබුණුවිට සඟවාගෙන තබා කන කෙනා මසුරු කෙනෙකි. අන් අයගේ යහපත පිණිස නො පිළිපත් කෙනෙකි. ත්‍යාගී කෙනෙක් නම් අනුන්ටත් දෙති. එසේම නුඹ වහන්සේ දන්නා බලවත් ශිල්ප අපටත් උගන්වන්නට පුළුවන්දැයි” ඇසී ය. “ඔබ ඉගෙන ගන්නේනම්, උගන්වමි. දැන් පිඬුසිඟා වඩිනා වේලාව හෙයින් නො හැකියි . ” කියා තෙරුන් වහන්සේ පිළිවදන් දුන් සේක. ඒ අසා නාගසේන කුමාරයා ආරාධනා කොට පාත්‍රය රැගෙන ම නිවසට වඩමවා සිය අතින්ම බෙදා මනාව වළඳවා අවසානයේ දී “ශිල්ප ඉගැන්වුව මැනවයි” ඉල්ලා සිටියේ ය. “කුමරුනි, මෙසේ ගිහි ව සිටිය දී ශිල්ප උගන්වනු නො හැකි ය. මව්පියන්ගෙන් අවසර ගෙන අප සේ ම මහණ වුවහොත් උගන්වමි” කියා රෝහණ තෙරුන් පැවසූ සේක. එවිට කුමරු මව්පියන් වෙත ගොස් “ පියාණෙනි, මව්නි, මේ ශ්‍රමණයන් වහන්සේ තමන් බලවත් ශාස්ත්‍රයක් දක්නා බව කියති. මා ඉල්ලු විට මහණ වුවහොත් මිස දෙන්නට බැරිබව පවසති. මට මහණ වී ශාස්ත්‍රය ඉගෙන ගන්නට අවසර දුන මැනවි’ යැයි කීවේ ය. ඒ අසා මව්පියන් අපගේ පුතු ශාස්ත්‍ර ඉගෙනගෙන උපැවිදි වී නැවත එනු ඇතැයි සිතා මහණවීමට අවසර දුන්හ.
රෝහණ මහතෙරුන් වහන්සේ නාගසේන කුමරු සමග වන්තනිය සේනාසනයට වැඩම කොට පසුදා හිමාලයේ රත්ගල් තලාවට වැඩ රහත් සඟ ගණ මධ්‍යයේ කුමරු පැවිදි කළ සේක. එවිට නාගසේන සාමණේරයන් වහන්සේ “දැන් මා මහණ වූ නිසා පමා නො කර ශිල්ප උගන්වන්නැයිි” ඇය ද සිටියහ. එවිට රෝහණ තෙරුන් “මොහු සාමණේර බැවින් දැන්ම විනය පිටකය ඉගැන්වීම සුදුසු නොවේ. මහා නුවණැත්තෙක් හෙයින් මුලින් ම අභිදම් උගන්වමි කියා සිතා මුලින්ම අභිධර්ම ප්‍රකරණ උගැන්වූ සේක. ඉන්පසු සියුම් නුවණ ඇති විස්මිත ධාරණ ශක්තියක් ඇති නාගසේනයන් වහන්සේ තමන් උගත් ධර්ම පරියායන් මහා රහතුන් මැද කට පාඩමින් පැවසූ සේක. සසුන බබුළුවන මහා පුණ්‍යවන්තයෙකුගේ අසිමරිත් සදහම් පෙළහරක් වූ නිසා ම මහා පොළොව කම්පා විය. දහම් වැසි වැස්ස වූ සාමණේරයන් වහන්සේට උපහාර පිණිස දෙවියෝ දිව මල් වැස්ස වූ හ.
පසු කලෙක නාගසේනයන් වහන්සේට විසි වයස් සම්පූර්ණ වූ විගස රහතන් වහන්සේ ඒකරාශි වී සාමණේරයන් වහන්සේ අධිසීල උපසම්පදා සීලයෙහි පිහිටවූහ. දිනක් උපාධ්‍යාය තෙරුන් වූ රෝහණ මහරහතන් වහන්සේත් සමඟ පිඬුසිඟා වැඩම කරන නාගසේනයන් වහන්සේට මෙබඳු සිතිවිල්ලක් ඇතිවි ය. “අනේ මාගේ උපාධ්‍යායන් වහන්සේ නො දන්නා තරම්! විනය හා සූත්‍ර තිබෙද්දී මුලින්ම අභිදම් ඉගැන්වී ය. ඒ කළේ කුමක් ද?” කියා යි. රෝහණ මහරහතන් වහන්සේ එම සිතිවිල්ල පරසිත් දක්නා නුවණින් දැක “ආයුෂ්මතුනි, ඔබ සිතූ අයුරු අයහපත් ය. එවැනි සිතිවිලි සිතීම ඔබට තරම් නො වන්නේ” යැයි අවවාද කළ සේක. ඒ ඇසු නාගසේනයන් වහන්සේ “අනේ මගේ උපාධ්‍යායන් වහන්සේ බලවත් වන සේක. ළග සිට කියූ දෙයක් සවණින් අසා දැනගත්තා සේ, මා සිතූ සිතිවිල්ල සොර බඩුත් සමඟ සොරකු අල්ලාගත් සේ දැනගත් සේක” යැයි සංවේගයට පත් වී මහතෙරුන් වහන්සේගෙන් සමාව අයැද සිටියහ.
- නයනා නිල්මිණී
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ප්‍රතිපත්ති ගරුක භික්ෂු පිරිසක් ගංගාවක් අසල වැඩ වාසය කළහ.
එහි දී එක් තෙරුන් වහන්සේ නමක් තමන් අතු ගා එකතු කළ රොඩු ගෙන ගොස් දමන ලෙස එක් සාමණේර නමකට පැවරී ය. එම සාමණේරයන් එය නො ඇසුණාක් මෙන් යද්දී දෙවැනි, තෙවැනි වරටත් කී නමුත් නො කළ නිසා අකීකරුකමට දඬුවම් කොට හික්මවන්නට සිතා ඉදල් මිටෙන් පහරක් ගැසී ය.
සාමණේරයන් වහන්සේ හඬමින්, කසළ ගොඩ ගෙන ගොස් නො දැමුවොත් තවත් විරසක වේයැයි බියෙන්, කොළ රොඩු ගොඩ ගෙන යමින් මෙසේ සිතී ය. “මම මේ පහර කෑවේ තේජස් නැති නිස යි. එනිසා මේ පින හේතුකරගෙන නිවන් දක්නා ජාති දක්වා, උපනුපන් තැන අහස් මුදුනේ දිලිසෙන හිරු සේ තේජස් ඇත්තෙක් වෙම්වා! යි පැතූහ.
ඉන්පසු පැන් පහසුවීමට නදියට වැඩම කොට ගංගාවෙන් දියරැළි දෙස බලාගෙන මෙසේ පැතු සේක.”මේ ජාතියේ පටන් නිවන් දක්නා මොහොත දක්වා කසළ බැහැර කළ මේ පිනෙන් මහ ප්‍රඥාවෙන් යුක්ත වෙම්වා! මේ ගංගාවේ දිය රැලි නැගෙන්නා සේ ගැඹුරු ප්‍රශ්න විමසමින් සියලු වාද විවාද නගන්නට ප්‍රතිබල ඇත්තෙක් වෙම්වා!” හඬ නගා ප්‍රාර්ථනා කළහ.
එවිට පැන් පහසු වීමට වැඩම කළ, කසළ බැහැර කිරීමට අණකළ තෙරුන් වහන්සේට එය ඇසී මෙසේ සිතී ය. “ මාගේ විදානයෙන් නො කැමැත්තෙන් කසළ බැහැර කළ මේ පොඩිනම මෙසේ සිතයි. උන්වහන්සේ කළ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේනම්, වත් පිළිවෙත් සරු මා කරන ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් ම සමෘද්ධිමත් වේ. භාග්‍යවතුන් වහන්සේ ද සිල්වතුන්ගේ පැතුම් ඉටු වේ යැයි වදාරා ඇත්තා හ. එසේ කල්පනා කොට සාමණේරයන්ගේ ප්‍රාර්ථනාවට අනුව ම මෙසේ පැතූ සේක. “මේ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා උපනුපන් ජීවිතවල මේ ගඟේ රළ ගැස්ම මෙන් ක්ෂය නො වන වැටහීම් නුවණ ඇතිව වාද – ප්‍රතිවාදයන්ට පිළිතුරු දීමෙහි සමර්ථ වෙම්වා! ගඟ දිය වියළවා දමන ගිම්හානයෙහි මුදුන් වූ වණ්ඩ හිරු මඬල පරිද්දෙන් මේ සාමණේරයන්ගේ වාද ප්‍රතිවාදයන් මැඬ පවත්වන්නට හැකි ගම්භීර නුවණැත්තෙක් වෙම්වායි! ප්‍රාර්ථනා කළහ. දෙදෙනා වහන්සේ ම පින් රැස් කරමින් මෙසේ පැතූ හෙයින් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වන තුරුම දෙව් මිනිස් දෙ ගතියෙහි උපත ලබමින් පැමිණියහ.
අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර දක්වා, තීර්ථකයන්ගේ මානය සිඳ දමා තව්තිසා දෙව් ලොවට වැඩම කොට; මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙව් පිරිසට ධර්මය දේශනා කරන කල්හි මේ දෙව්පුතුන් දෙදෙනා ද දුටු සේක. අනාගතයේ තිස්ස බ්‍රහ්මරාජයා මනුලොව ඉපිද මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ බවට පත්ව ශාසනය බබළවන්නා සේ, මේ දෙව්පුතුන් දෙදෙනා ද තථාගත පරිනිර්වාණයෙන් වසර පන්සියයක් ගිය තැන මනුලොව ඉපිද මිළිඳු – නාගසේන නමින් සසුන බබළවන බව වදාළ සේක. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය සැබෑ කරමින් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වූ අවදියේ පැතූ පැතුම් ඇති සාමණේර නම හෙවත් දිව්‍ය පුත්‍රයා දෙව් ලොවින් චුතව දඹදිව සාගල නුවර ගී‍්‍රක රජ කුලයේ මිළිඳු නමින් උපන්නේ ය. ප්‍රාර්ථනා පරිදි මහා නුවණැති ව උපන් හෙයින් බොහෝ ශිල්ප ශාස්ත්‍රාදිය ඉගෙනගෙන රජ කුලයෙන් ද ආඩ්‍ය වූයෙ ්ය. තේජසින්, නුවණින්, බල පරාක්‍රමයෙන් රූපා ශෝභාවෙන් මිිළිඳු රජු අභිබවා රජෙක් එකල දඹදිව් තලයෙහි නො සිටියේ ය. දිනක් රජතුමා චතුරංගනී සේනා පිරිවරා මහත් වූ රාජානුභාවයෙන් අගනුවර සිටිද්දී තමන් හා දහම් පිළිසඳරක යෙදෙන්නට සුදුසු ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් සිටිත්දැයි ඇමැතිවරුන්ගෙන් විචාළේ ය. ඇමැතිවරු තම තමන් උගත් ආගමික මත අනුව පූර්ණකස්සප, නිගණ්ඨනාථ පුත්ත ආදී ශාස්තෘවරුන්ගෙන් පැවතගෙන එන මිථ්‍යාමතධාරි තීර්ථකයන් ගැන පැවසූහ. මිළිඳු රජතුමා ඔවුන් කරා ගොස් කතාබහ කළ පමණකින් එම නිසරු මතවාදවල ඇති අරුත් සුන්බව වටහාගෙන එය පෙන්වා දී එම අන්‍යාගමික තීර්ථකයන් නිරුත්තර කළෙ ්ය.
ඉන්පසු රජතුමා ඇමතිවරු අමතා මෙසේ පැවසී ය. “තොප හැම පැවැසූ ලෙසින් තර්ක කරන්නට ගොසින්, වෙළෙදාමේ ගොස් හිස් අතින් ආ පරිද්දෙන් කිසි සාරයක් නො ලැබී ය. මේ රාත්‍රියේ කවර නම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් කරා ගොස් සවණට මිහිරි අර්ථවත් කතාවක් අසන්නෙම් ද? කවරෙක් නම් අපගේ සැක දුරු කරන්නට සමත්දැයි” රජතුªමා විමසා සිටියේ ය. ඇමැතිවරු පිළිතුරක් දී ගත නො හැකිව නිශ්ශබ්දව බලා සිටියහ.
හිමාලයේ රත්ගල් තලාවේ වැඩ වසන අස්සගුප්ත මහරහතන් වහන්සේට මිළිඳු රජතුමා කී “දඹදිව් තලය නුවණැත්තන්ගෙන් හිස් ය” යන වදන දිව්‍ය ශ්‍රවණයෙන් අසන්නට ලැබුණි. උන්වහන්සේ තමන් හා වසන රහතන් වහන්සේ රැස්කර මිළිඳු රජතුමා හා දහම් සංවාදයක යෙදිය හැකි කෙනෙක් සිටිත්දැයි විමසී ය. වාද විවාද කිරීම සමාධි සමාපත්තීන්හි සමවැදී දිට්ඨධම්ම සුඛ විහරණයේ යෙදීමට පළිබෝධයක් බැවිනුත්, අදාළ පුණ්‍ය සංස්කාර ඇත්තේ තමන්ට නො වන බැවිනුත්, ඒ සඳහා සුදුසු කවරෙක්දැයි දන්නා නිසාත්, කිසිම රහතන් වහන්සේ නමක් ඉදිරිපත් නො වූහ.
ඉන්පසු අස්සගුප්ත මහරහතන් වහන්සේ පැතුම් පරිදි මිළිඳු රජුගේ වාද ප්‍රතිවාද සිඳ බිඳ සසුන බඹුළුවන්නට සමත් මහාසේන නම් දිව්‍ය පුත්‍රයෙකු ඇතිබව පවසා එම සියලු රහතන් වහන්සේ සමග සෘද්ධි බලයෙන් තව්තිසා දෙව්ලොව පහළ වූ සේක. එවිට සක්දෙව්ඳු පහන් සිත් ඇතිව පෙරට විත් අස්සගුප්ත මහරහතන් වහන්සේට ගෞරවයෙන් වන්දනා කොට “මෙ තරම් විශාල සඟ පිරිසක් සමඟ දෙව්ලොව වැඩියේ කුමක් පිණිස ද? කියා විමසුවේ ය. අස්සගුප්ත මහරහතන් වහන්සේ කරුණු පහදා දී ශක්‍ර දෙවිදුන් ලවාම ප්‍රකාශ කරනු පිණිස මිනිස් ලොව ඉපද මිළිඳු රජතුමා හා කතාබස් කරන්නට සමත් දෙව් කෙනෙකු ඇත්දැයි ඇසූ සේක. එවිට සක්දෙව්දු “ ස්වාමිනි, මිළිඳු රජතුමා ද මෙම තව්තිසා දෙව් ලොවින් ම චුත වී මිනිස් ලොව උපන්නෙකි. ඔහු හා දහම් කතා කරන්නට සමත් දිව්‍ය පුත්‍රයා ඉන්නේ අර පෙනෙන කේතුමති නම් විමානයේ වසන මහාසේන දෙවියන් ය. මිනිස් ලොව ඉපිද මිළිඳු රජු හා කතාබස් කරන්නට ඔහුගෙන් ඉල්ලා සිටිමු” යැයි පැවසී ය.
ඉන්පසු රහතන් වහන්සේ සක් දෙවිදු ලවා මහාසේන දෙවියාගෙන් එසේ ඉල්ලා සිටි විට මුලින් මිනිස් ලොව උපදින්නට දෙව්පුතු අකැමැති විය. එවිට අස්සගුප්ත මහරහතන් වහන්සේ මහාසේන දෙවියන් අමතා මෙසේ පැවසූ සේක. “ දිව්‍ය පුත්‍රය, මිනිස් ලොව උපදින්නට අකැමැති නො වන්න. ඔබට කිරීමට බලවත් ශාසනික කටයුත්තක් යෙදී ඇත්තේ ය. අපි මුළු ලොව ම අරහත් නුවණින් විමසා බලද්දී එම ශාසන සංග්‍රහයට ඔබ සුදුසු බව දැක්කෙමු. එමනිසා මේ සා මහත් වූ රහතුන්ගේ ඇරයුම පිළිගෙන මිනිස් ලොව ඉපිද මිළිඳු රජතුමාගෙන් භික්ෂු සංඝයාට ඇතිවන පීඩාව දුරලා ශාසනචිරස්්ථිතිය පිණිස කටයුතු සලසනු මැනව“ යි ඉල්ලා සිටියේ ය.
මහාසේන දෙව්පුතු එය අසා “ මා නිසා මහත් වූ ශාසනික සංග්‍රාමයක් වන්නේ යැයි” ඔද වැඩී ගිය සිතින් යුතුව එම ඉල්ලීම පිළි ගත්තේ ය. ඉන්පසු ඒ උතුම් මහරහතන් වහන්සේ මනුලොවට වැඩම කොට, නිරෝධ සමාපත්තියට සම වැදී සිටි නිසා දෙව්ලොව ගමනට සහභාගි නො වූ රෝහණ නම් මහතෙරුන් කැඳවා මෙසේ පැවසූහ. “ආයුෂ්මතුනි, මිළිඳු රජතුමා හා සංවාදයේ යෙදෙන්නට කෙනෙක් නො මැතිව බුදු සසුන උපද‍්‍රවයක් ඇති වී තිබෙද්දී, එය සංසිඳවීමට මැදිහත් නො වී උදාසින වූයේ මක් නිසා ද? ශාසනය නගා සිටුවීමට කටයුතු කළයුතු නොවේ ද? කියා ය. එවිට රෝහණ තෙරුන් දෙව්ලොව ගමනට එක්වීමට නො හැකි වූ නිසා මා දැන් කුමක් කළයුතුදැයි සංඝයාගෙන් නිහතමානීව විමසී ය. එවිට අස්සගුප්ත තෙරණුවෝ මෙසේ වදාළ සේක. “ ආයුෂ්මතුනි, හිමාලය ආසන්නයෙහි කජාගල නම් බ්‍රාහ්මණ ගමෙහි උභයකුල පාරිශුද්ධ බමුණුතුමාට දාව බැමිණියගේ කුසේ නොබෝ දිනකින් මහාසේන දෙව්පුතු පිළිසඳ ගන්නේ ය. ඔහු මව්කුසින් බිහි වී නාගසේන කුමරු කියා ප්‍රසිද්ධ වන්නේ ය. ඔබ වහන්සේ කිසිවක් ම නො ලැබෙන නමුත් අවුරුදු දස මසක්ම ඒ නිවසට පිඬුසිඟා වැඩමකොට නාගසේන කුමරු පැවිදි කළ යුත්තේ ය.
මහාසේන නම් දෙව්පුතු දෙව් ලොවින් චුතව කණගලවාසී සෝණුත්තර නම් බමුණාට දාව බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේ ය. එවිට පුණ්‍ය තේජස නිසා ගම පුරා තිබූ අවි ආයුධ දිළිසෙන්නට පටන් ගත්තේ ය. මහත් වූ වර්ෂාවක් ද පතිත විය. එදින පටන්ම රෝහණ තෙරුන් ද එම බ්‍රාහ්මණයාගේ නිවසට පිඬුසිගා වැඩීම ආරම්භ කළ සේක.
- නයනා නිල්මිණී
සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා කම්මන්ත: පවෙන් වැළකී ගත සිත සනසගන්නඅම්බලන්ගොඩ, කහව ගල්දූව සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි භාවනා කර්මස්ථාන රාශියක් මේ වන විට සඳහන් කරන්නට යෙදුණා. පාඨක ඔබ මේවා හොඳින් තේරුම් ගෙන භාවනා වශයෙන් ගන්නා ආකාරය තමන්ට වටහා ගන්න පුළුවන්කම ලැබෙන්න ඇති. ‘සති’ යනු සිහියට නමක්. ‘පට්ඨාන’ යනු එළඹීම යි. සිහියෙන් එළැඹීම යි. සිහියෙන් කටයුතු කිරීමයි. කය අනුව , වේදනාව අනුව, සිත අනුව, ධර්මය අනුව බැලීම සතර සතිපට්ඨානයෙන් ම සඳහන් වෙනවා. සත්‍ය නිර්දේශයෙහි දුක්ඛ සත්‍ය නිර්දේශය, සමුදය සත්‍ය නිර්දේශය, නිරෝධ සත්‍ය නිර්දේශය ඉදිරිපත් කළා. දැන් මාර්ග සත්‍ය නිර්දේශය යි. එයිනුත් මාර්ගාංග රාශියක් පහදා දුන් අතර අද සඳහන් කරන්නේ සම්මා කම්මන්ත මාර්ගාංගය යි. තමන් මාර්ගාංගයෙහි ගමන් ගන්නා බව අධිෂ්ඨානයේ තබාගෙන සම්මා කම්මන්ත මෙනෙහි කළ යුතු යි. සම්මා කම්මන්ත යනු ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම යි. කයෙන් සිදුවන වැරැදි වලින් වැළැකී නිවැරැදි කර්මාන්ත කිරීම යි. තව ද මස් මාංශ වෙළෙඳාම, මස් පිණිස සත්ත්ව වෙළෙඳාම, අවි ආයුධ වෙළෙඳාම , වස විස වර්ග, මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ වහල් වෙළෙඳාම ආදිය අධාර්මික වෙළෙඳාම් බුදු දහමෙන් ප්‍රතික්ෂේපිත යි. ගව පාලනය, කෘෂි කර්මාන්තය, වෙළෙඳාම ආදිය ආර්ථික ක්‍රම තුන බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා. එසේනම්, තමන් කල්පනා කළ යුත්තේ භාවනාවේ දී මම සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන් , කාමමිථ්‍යාචාරයෙන් වළකිමි යනුවෙන් නිබඳව ම අධිෂ්ඨාන කර ගත යුතු යි. මෙනෙහි කරගත යුතු යි. ලෝක සත්ත්වයා, සත්ත්ව ඝාතනයේ යෙදී වාසය කරනවා, ‘මම සත්ත්ව ඝාතනයෙන් වැළකී සිටිමි’, ‘ලෝක සත්ත්වයා සොරකමෙහි යෙදී සිටිනවා, මම සොරකමෙන් වැළකී සිටිමි’. ‘ලෝක සත්ත්වයා කාමයන්හි වැරැදි ලෙස යෙදී වාසය කරනවා’. ‘මම කාමමිථ්‍යාචාරයෙන් වැළකී සිටිමි’ යනුවෙන් නිතර සිතිය යුතු යි. මෙනෙහි කළ යුතු යි. එවිට සිහි නුවණ හොඳින් වැඩෙන අතර , කල්පනාව ද හොඳ වෙයි. මාර්ගාංගය ද හොඳින් වැඩෙයි. එපමණක් නොව සියලුම බෝධි පාක්ෂික ධර්මයන් ද පහළ වෙයි. එවිට සම්මා කම්මන්ත යන මාර්ගාංගය ගැන සිතා, ‘මම පවින් වැළකෙමි’ යනුවෙන් පාපී ක්‍රියා තුන මෙනෙහි කළ යුතු යි. ‘මම කායික සංවර ඇත්තෙක් වන්නෙමි’ යනුවෙන් නිතර ම සිතෙන් මෙනෙහි කළ යුතු යි. එලෙස මෙනෙහි කර යද්දී තම සිත බොහොම ශක්තිමත් වන අතර, සිත තැන්පත් වන අතර ඥානය හොඳින් දියුණු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සල්ලේඛ සූත්‍රයෙන් කෙලෙස් යටපත් කරන ක්‍රමය පැහැදිලි කරමින් මේ සැලැස්ම ම පහදා දුන්නා. එහි කරුණු රාශියක් ඇති අතර, ඒ සෑම කාරණයකින් ම කෙලෙස් යටපත් කරන ක්‍රමය උන්වහන්සේ පැහැදිලි කර දුන්නා. මේ අවස්ථාවේ මෙහි සඳහන් පව් තුන දුරුකර ‘මම පවින් වැළකී වාසය කරමි, කායික සංවරයෙන් වාසය කරමි’ යනුවෙන් සිතට ගත යුතු යි. එවිට තම සිත ගත සනසාගෙන ලෝභ, ද්වේශ, මෝහ ආදී පව් යටපත් කරන්න පුළුවන්. තමන්ගේ ශීලය, සමාධිය, ප්‍රඥාව හොඳින් වැඩෙනවා. ඡන්ද ඍද්ධිපාද, චිත්ත ඍද්ධිපාද , විරිය ඍද්ධිපාද, වීමංස ඍද්ධිපාද යන සතර ඍද්ධිපාද හොඳින් වැඩෙයි. මේවා මෙනෙහි කිරීමේ කැමැත්ත ඡන්ද ඍද්ධිපාද වෙයි. තමන්ගේ චිත්ත සන්ථානය දියුණු කිරීමට අවශ්‍ය නිසාම , සිත දියුණු කරගන්නට අවශ්‍ය නිසා ම අතිශයින් කුසල් වැඩෙන උතුම් ධර්ම සම්පත්තියක් ලෙස සැලකෙනවා. එසේනම්, කායික සංවරය ඇතිකර දෙන බැවින්, මානසික සංවරයට බැසගෙන සිටින බැවින්, බලවත් සිතකින් මේ ටික කිරීම චිත්ත ඍද්ධිපාද නම් වෙයි. මේවා මෙනෙහි කරන්නට කම්මැළිව බැහැ. උත්සාහය තිබිය යුතු යි. එය විරිය ඍද්ධිපාද නම් වෙයි. මේ සෑම දෙයක් ම මෙනෙහි කරන්නේ නුවණැත්තන් පමණ යි. ඥානය , නුවණ තියෙනවා නම්, හොඳට වටහාගෙන මෙනෙහි කිරීම වීමංස ඍද්ධිපාද නම් වෙයි. මේ සෑම දෙයක් ම මෙනෙහි කිරීමට සතර ඍද්ධිපාද පහළ විය යුතු යි. එපමණක් නොව, බෝධි පාක්ෂික ධර්ම තිස් හතම මෙනෙහි කරන වරක් පාසා ම තමන්ගේ සිතේ පහළ වෙනවා. මෙවැනි වැදගත් දේ පහළ වන්නේ සිත දියුණු කරගෙන මෙම කටයුතු කරගෙන යාමෙන්. ඒ නිසා කවුරු වුණත් තම ගුණ ධර්මයන් හොඳින් දියුණු කරගත යුතු යි. සති, සමාධි, ඥාන වැඩි දියුණු කරගත යුතු යි. කම්මැළිකම, වංක බව , ඉවසීම නැති බව, තරහ , වෛර, ක්‍රෝධ, හැකිතාක් සිතෙන් බැහැර කර, තමන්ගේ සම්මා කම්මන්ත මාර්ගාංගය ම දියුණු කරගන්නට උත්සාහවත් විය යුතු යි. එවිට තමන්ට විශාල, සැනසුමක්, දියුණුවක් , යහපතක් සලසාගන්න පුළුවන්කම තියෙනවා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පහදා දුන් ක්‍රමයට මේ මාර්ගාංගය හොඳට මෙනෙහි කළොත් තමන්ගේ සිත වේගවත්ව හදා ගන්න, දියුණු කරගන්න පුළුවන්. බොහෝ වේලාවක් මෙනෙහි කළ යුතු යි. එවිට සිතේ පව් යටවී ගොස්, සිත තැන්පත් වෙයි. නුවණ දියුණු වෙයි. ඒ අවස්ථා තුනට එළැඹෙන්න පුළුවන් සම්මා කම්මන්ත මාර්ගාංගය හොඳින් මෙනෙහි කිරීමෙන්. ‘මම සම්මා කම්මන්ත මාර්ගාංගය දියුණු කරන්නෙමි’ යනුවෙන් සිය , දහස් වර මෙනෙහි කළ යුතු යි. අභ්‍යන්තර කරුණු මෙසේ මෙනෙහි කළ යුතු යි. ‘මම සත්ත්ව ඝාතනයෙන් වළකින්නෙමි, මම සොරකමෙන් වළකින්නෙමි, මම කාම මිථ්‍යාචාරයෙන් වළකින්නෙමි, යනුවෙන් සියවර, දසවර, දස දහස්වර සිතෙන් මෙනෙහි කරද්දී භාවනා හොඳින් වැඩෙයි. අවසානයේ ‘මම කායික සංවරයෙන් සංවර වන්නෙමි’ යනුවෙන් නිතර සිතන්න, තනි වචනයෙන්. එවිට තමන්ගේ මාර්ගාංගය හොඳින් පිරිසුදුව වැඩෙයි. සම්මා කම්මන්ත ගුණ ධර්ම හොඳින් වර්ධනය වෙයි. එපමණක් නොව, තමන්ගේ සියලුම ගුණ ධර්ම ටික හොඳින් දියුණු කරගන්නට, මේ කරුණ මෙනෙහි කිරීමේ ශක්තිය බලය හොඳින් පිහිටයි. මේවා පිළිබඳව හොඳ දැනීමක් කවුරුත් ඇතිකර ගත යුතු යි. බුදු දහම යනු ශීල, සමාධි, ප්‍රඥාවට නමක්. මේවා වැඩීමෙන් අප්‍රමාද ගුණ ධර්මය සිතේ පහළ වන අතර, එය හොඳට වඩා වර්ධනය කළොත්, මේ බුද්ධ ශාසනය තුළ දී ම ආර්ය සත්‍ය අවබෝධ කරගන්නත් පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා හේතු වන්නේ පින යි. මේ භාවනාව හොඳට ගෙන යන්න, ශ්‍රද්ධාව, වීර්යය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියයන් හොඳින් තිබිය යුතු යි. මේ ගුණ මෙනෙහි කරනවිට අපේ ශ්‍රද්ධාව, හොඳට පහළව දියුණු වෙයි. ශ්‍රද්ධාව නැතිනම්, මේවා දියුණු කරන්න පුළුවන්කමකුත් නැහැ. කම්මැළිකම පසෙකලා , උත්සාහය, වීර්යය දියුණුවෙන් මේ භාවනා ක්‍රම අනුගමනයෙන් වීර්යය හොඳින් වැඩෙයි. මේවා මෙනෙහි කිරීමෙන් සිහි කල්පනාව හොඳ වෙයි. විනාඩි පහක් , දහයක් හෝ මෙනෙහි කරගෙන යද්දී සිහිය හොඳින් පවතියි. එය සති නම් වෙයි. එයින් අපට ලැබෙන්නේ චිත්ත සමාධියක්. (සිතේ තැන්පත්කම) එය සමාධිය නම් වෙයි. සමාධිය වැඩෙද්දී හොඳින් නුවණ වැඩෙයි. ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නට පුළුවන් නුවණ, ප්‍රඥාව නම් වෙයි. ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියන් මෙම භාවනාවෙන් හොඳින් වැඩෙයි. මේවා හොඳින් ඉගෙන ගෙන, ගුණ ධර්මයන් ද දියුණු තියුණු කරගෙන ධර්මය අවබෝධ කරගන්න භාවනායෝගීව ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. එසේනම්, භාවනා ක්‍රම ඉගෙන කියා ගන්නට, කවුරුත් උත්සාහවත් විය යුතු යි. සංසාර සාගරයෙන් එතෙර වෙන්න දානමය පින්කම පමණක් මදි. පන්සිල්, අටසිල්, රැකිය යුතු යි. බණ අසන්නට , භාවනා කරන්නට අවශ්‍යය යි. යන එන විට දී පවා ‘මම සම්මා කම්මන්තය දියුණු කරන්නෙමි’ යනුවෙන් සිතන්න. එසේ නැතිනම් ‘මම කායික සංවරයෙන් සංවර වන්නෙමි’ යනුවෙන් නිතර සිතන්න. එසේ නැතිනම් මම කයෙන් පව් නොකරමි යනුවෙන් හෝ සිතන්න. බොහෝ වරක් සිතද්දී සම්මා කම්මන්තය හොඳින් වැඩෙයි. ගුණ ධර්ම ද, සති, සමාධි, ඥාන ද හොඳ වෙයි. මේ බුද්ධ ශාසනයෙන් උසස් ඵල නෙළා ගෙන ධ්‍යාන, අභිඥ්ඥා, විපස්සනා ඥාන ලබාගෙන සෝවාන්, සකෘදාගාමී , අනාගාමී, අර්හත් යන මාර්ග ඵල ලබන්න, නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. ලොවුතුරා ධර්මය අවබෝධ කරගන්නට නම්, සම්මා කම්මන්ත මාර්ගාංගය හොඳට වැඩිය යුතු අතර, එය දියුණු කරගත යුතු යි. මේ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇතිකරගත යුතු යි. බුද්ධ ශාසනය ඔබ, අප වෙනුවෙන් ම පහළ වුණු මහා වස්තුවක්. බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමත් ඔබට, අපට අයිති මහා කාර්ය භාරයක්. එය දියුණු කර ගැනීමත් ඔබ, අප සතු කාර්යයක්. ඒ නිසා තමන් ලබා ගන්නා මේ දැනුම තමන්ගෙන් පමණක් සෑහීමකට පත් නොවී , තමන් ආශ්‍රය නිශ්‍රය කරන අයටත් මේ කරුණු කියා දිය යුතු යි. බණ ඇසීමයි, භාවනාව යි කියන අවස්ථාවෙහි යොදවන්නට ඕනේ. එවිට විශාල දියුණුවක් සලසා ගන්න, ඉදිරියට යාමට ලොකු ශක්තියක් වඩා වර්ධනය කර ගන්න පුළුවන්කම තියෙනවා. පිරිසුදුව, ඍජුව , අවංක , භක්ත්‍යාධරයෙන් නිවන දක්වා ම හොඳ සිහි කල්පනාවෙන් ඉදිරියට යා යුතු යි. බුදුරජාණන් වහන්සේ තරම් ජීවිතයේ දුක් විඳපු කෙනෙක් ලොවේ තවත් නැහැ. උන්වහන්සේ තරම් මානසික සුවයෙන් වාසය කළ කෙනෙකුත් ලොවේ තවත් නැහැ. එතරම්ම මානසික සුවයෙන් වාසය කළා. බුදුබවට පත්ව, ලෝකයෙන් එතෙරව , ලෝකයේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව මහා වාසනාවන්ත උතුමාණන් වහන්සේ වූවා. ගොහොරු මඩෙන් මතුවී, මඩත් –වතුරත් නොතැරවී, සුපිපෙන නෙළුම් මලක් සේ බෝසතාණන් වහන්සේ මනුලොව උපන්නත්, මනු ලොවේ ඇති තණ්හා, තරහ, වෛර, ක්‍රෝධ ආදී පාපී සිතිවිලි තමා තුළින් ම විනාශ කරදමා මනුලොවෙන් එගොඩ වී බුද්ධත්වය ලබා, නිකෙලෙස්ව වාසය කළා. ඒ උත්තරීතර මාවත ඔබටත්, මටත් පෙන්වා දුන්නා. එසේනම්, බුදුරජාණන් වහන්සේගේ අවවාදයට , අනුශාසනාවට අනුකූලව කවුරුත් වැඩ කටයුතු කරමින් සම්මා කම්මන්ත මාර්ගාංගය දියුණුවෙන් , පාරමී ගුණ ද දියුණුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කරගන්නට ලැබේවා! - ජම්මික ප්‍රබෝධනී වැලිකල |
|
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
අද සිට අප ඉගෙන ගන්නේ මිලින්ද ප්‍රශ්නය නම් වූ ඉතා පැරැණි වූ ත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක්වූත් ග්‍රන්ථ රත්නයේ සඳහන් සදහම් කරුණු යි.
මිළිඳු මහරජුගේත් ,නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ දහම් සංවාදය සිදුවී ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වූ කල්හි ය. සරත් කාලයෙහි මධ්‍යාහ්නයෙහි අහස් කුස සැඩ රැස් විහිදුවමින් ප්‍රචණ්ඩ හිරු මඬල මුදුන් වූ කල්හි එහි තෙද රැසින් ගඟෙහි නැගි දිය රළ වියැළී යයි. එලෙසින් මිළිඳු නම් සකළවිධ වාද ප්‍රතිවාදයන් වියළවා දැමූ හිරු මඬලවන් පරම පූජනීය නාගසේන මහරහතන් වහන්සේ ගෞතම බුදු සසුන උද්දීප්තියට පත්කළ සේක.
බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට අනුව සුපූජනීය නාගසේන මහරහතන් වහන්සේ වයඹදිග ඈත ඉන්දියාවේ, පන්ජාබයට ආසන්න ප්‍රදේශයක වැඩසිටි බව පෙනේ. මිළිඳු රජතුමා හඳුනාගෙන ඇත්තේ බැක්ට්‍රියන් රජෙකු වන මිනැන්ඩරි නම් රජු ලෙස ය. එම ප්‍රදේශය තුළත්, ඈත බටහිර ඉන්දියාවේත් , කාබුල් ප්‍රදේශයේත්, නැගෙනහිර මථුරාවේත්, උතුරු කාශ්මිරයේත් මේ රජුගේ කාසි බහුල වශයෙන් හමු වී තිබේ. මිළිඳු රජතුමාගේ බෞද්ධාගමනයෙන් පසු ඔහු කෙ තරම් ජනපි‍්‍රය වුයේ ද යත්, එතුමාගේ අභාවයෙන් පසු ශාරීරික භෂ්මාවශේෂ තැන්පත් කරමින් තැන තැන ස්මාරක ද තනවා තිබේ. විශේෂයෙන් වර්තමාන ඇෆ්ගනිස්ථානය මිළිඳු රජුගේ විජිතය බව බොහෝ විද්වතුන්ගේ මතය යි.
මෙම මිළිඳු රජු ගී‍්‍රක ජාතිකයෙකු වන අතර, එතුමා සතු විමශංනශීලි කුසලතාව ඉතා අගනේ ය. කරුණු ඉස්මතු කිරීමෙහිලා , ප්‍රශ්න කිරීමෙහිලා , වාද නැංවීමෙහිලා මෙම රජු තුළ ඇති දක්ෂතාවය ඉතා අගනේ ය. මෙම රජුට කෙ තරම් තීක්ෂණ වීමංසනයක් පිහිටා තිබුණේ ද යත්, පෙර භවයක සාමණේර නමක් වශයෙන් සිටිය දී කරන ලද ප්‍රාර්ථනාවක් අනුව බව නිදාන කතාවෙහි විස්තර වේ. නාගසේන මහරහතන් වහන්සේගේ පහළවීම සිදුවන්නේ ද එකී ප්‍රාර්ථනාවට අනුකුලව ඇතිකරගත් පැතුමක් අනුව ය.
නාගසේන මහරහතන් වහන්සේගේ ජීවිත කතාව බොහෝ දුරට සමාන වන්නේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මුල්කාලීන ජීවිතයට යි. සද්ධර්ම රත්නාවලියේ නාගසේන මහ රහතන් වහන්සේගේ ජීවිත කතාව ඉතා රමණීය ලෙස විස්තර වේ. සැබැවින් ම රහතන් වහන්සේ ධර්මය ප්‍රචාරය කළ අයුරු අතිශයින් ම විශ්මයජනක ය .නාගසේන මහරහතන් වහන්සේගේ ප්‍රඥාවත්, ඉවසීමත් , අවබෝධයත්, ශාස්තෘ ගෞරවයත් අදහාගත නොහැකි තරම් විස්මිත ය. සැබැවින් ම නාගසේන මහරහතන් වහන්සේ විනා වෙන කවරෙකුටවත් මෙම මිළිඳු රජුගේ ප්‍රශ්නයන්ට සෑහෙන පිළිතුරු දෙන්නට බැරි බව පෙනේ.
නාගසේන මහරහතන් වහන්සේ ඉතා පහසුවෙන් සුවසේ පිළිතුරු සපයන සේක. එමෙන් ම ඒවා අංග සම්පූර්ණ පිළිතුරු ය. උපමා මගින් දහම් ගැටලු විසඳාලන අයුරු ඉතා මනරම් ය. දැවැන්ත හස්තිරාජයෙක් පොකුණකට බැස සියුම් නෙළුම් දඬු සිඳ දමන්නා සේ මිළිඳු රජුගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයන සේක. ඒවා අංග සම්පූර්ණ පිළිතුරු ය. එලෙසම උපමා මඟින් දහම් ගැටලු විසඳාලන අයුරු ඉතා මනරම් ය. දැවැන්ත හස්තිරාජයෙක් පොකුණකට බැස සියුම් නෙළුම් දඬු සිඳ දමන්නා සේ මිළිඳු රජුගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයන සේක. සැබවින්ම මිළිඳු රජු සතුටුවන්නේ අප නාගසේන මහරහතන් වහන්සේගේ ඒ ප්‍රඥා සම්පන්න පිළිතුරු නිසාම ය. මෙම මිළිඳු රාජ ප්‍රශ්නය තුළින් අපට රහතන් වහන්සේ නමකගේ ස්වභාවය තේරුම් ගැනීමට මහත් පිටුවහලක් ලැබේ. ඔබ ඉතා විවේකී මනසින්, සංසුන්ව මෙම කදිම දහම් සංවාදය කියවා බැලුවොත් එක් දෙයක් පැහැදිලි වනු ඇත. එනම් නාගසේන මහරහතන් වහන්සේගේ ඇති අසාමාන්‍ය ඉවසීම යි. මිළිඳු රජතුමා ප්‍රශ්න අසා පිළිතුරු ලද විට උපමාවකින් පහදා දෙන්න කියා ඉල්ලා සිටියි. එවිට අප රහතන් වහන්සේ ඉතා අලංකාර උපමාවක් දක්වන සේක. එයින් සෑහීමකට පත් නො වන රජතුමා තවත් උපමාවක් ඉල්ලා සිටිියි. එවිට නාගසේනයන් වහන්සේ තවත් උපමාවක් දක්වන සේක. එයින් ද සෑහීමකට පත්නොවන රජතුමා තවත් උපමාවක් ඉල්ලා සිටියි. එවිට අප රහතන් වහන්සේ තවත් උපමාවක් දක්වන සේක. රජතුමා ඇතැම් විට යළි යළිත් උපමා ඉල්ලයි. රහතන් වහන්සේ කිසිදු පැකිලීමකින් හෝ අපහසුතාවයකින් හෝ ගැටීමකින් හෝ තොරව උපමා පවසති. සාමාන්‍යයෙන් පොදු ජනයාගෙන් එකම කරුණක් උදෙසා නැවත නැවතත් උපමා ඉල්ලා සිටියොත් ඔහු කිපෙනු නිසැක ය. ඔහුට දහම් සංවාදය තිත්ත වනු ඇත. ඔහු පලා යනු ඇත. නැතහොත් ප්‍රශ්න විමසන්නා පලවා හරිනු ඇත. ඔහුට මහත් වදයක් වනු ඇත. එනමුත් සැබැවින්ම අසිරිමත් ය, අප නාගසේන මහරහතන් වහන්සේට එබඳු කිසිදු මානසික පීඩාවක් හෝ අපහසුතාවක් නැත. මිළිඳු මහරජුගේ ඇති බලසම්පන්න වූ රාජසෘද්ධිය නාගසේනයන් වහන්සේගේ අරහත් ඍද්ධිය ඉදිරියේ වශීකෘත භාවයට පත්විය.
සැබැවින්ම මිළිඳු මහ රජු ද අද්විතීය වූ, අපූර්ව වූ පුරුෂයෙකි. කො තරම් රාජඍද්ධියෙන් යුතුවුව ද එතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න විමසන ලද්දේ රාජඍද්ධියෙන් බලපෑම් කරමින් නොවේ. අවංකව ම තමන්ගේ ගැටලුව විසඳා ගැනීමේ අපේක්ෂාවෙනි. මිළිඳු රජු අසන ඇතැම් ප්‍රශ්නයන්ට රහතන් වහන්සේගෙන් ලැබෙන්නේ ඉතා කෙටි පිළිතුරු ය. නැතහොත් ඉතා කෙටි උපමාවකි. බැලුබැල්මට එය බලවත් තර්කයක් ලෙස පෙනෙන අවස්ථා තිබේ. එහෙත් සැණෙකින් එය වටහා ගන්නට මිළිඳු රජු සමත් වෙයි. එය සැබෑම සමත්කමෙකි.
ගිහි, පැවිදි ශ්‍රාවකයන් ලෙස අපට ද මෙහි එන සදහම් විවරණයන් අතිශයින් ම ප්‍රයෝජනවත් ය. කො තරම් දහම් දැනුම තිබුණත්, ඇතැම් දහම් ගැටලු විසඳා ගැනීමෙහිලා මිළිඳු රාජ ප්‍රශ්නයෙන් අපට ලැබෙන ආලෝකය ඉමහත් ය. ඤාණ පිපාසිතයන් හට මෙම මිළිඳු රාජ ප්‍රශ්නය මහත් අස්වැසිල්ලක් වනු ඇත . මෙහි ඉතා කදිම උපමා රූපකයන් වරින්වර අපට හමුවෙයි. නාගසේන මහරහතන් වහන්සේ උපමා ඇසුරු කරමින් ඉතා සූක්ෂ්ම ධර්මයන් විස්තර කොට වදාරන විට අප කළ යුත්තේ ද ඒ උපමාවන්ට සතුටුවීම නොව එහි අර්ථ වටහාගෙන තේරුම් ගැනීමට උත්සාහ කිරීම යි. අපට ප්‍රයෝජනවත් වන්නේ එය යි.
අවුල්වී ගිය ලොම් ඇති බැටළුවකුගේ ඒ ගැට ගැසී ගිය අවුල් ලිහා දැමීම ඉතා අසීරු ය. ඒ අයුරින් ම බුද්ධශාසනය පිළිබඳ නො දන්නා අඥාන මනුෂ්‍යයන් විසින් ප්‍රශ්න කොට අවුල් සදන්නට ඇති ඉඩකඩ වසා දමනු පිණිස මහා ප්‍රඥාවෙන් හෙබි මිළිඳු මහරජු මහත් ශාසන දයාවෙන් යුතුව අප නාගසේන මහරහතන් වහන්සේගෙන් සමහර ප්‍රශ්න විමසන බව අපට පෙනී යයි. එමෙන ්ම රජතුමා ද එය වරින්වර පවසයි. බුද්ධ දේශනාවෙන් කරුණු ඉස්මතු කරමින් තමන් වහන්සේගේ අදහස් ද මනා ලෙස ගළපමින් ශාසන ධර්මය මතු කරන අයුරු ආශ්චර්යමත් ය. සැබැවින්ම නාගසේන මහරහතන් වහන්සේ ගේ ප්‍රඥාව හිරු මඬලක් වැනි ය.
පෙර ජීවිතයක නාගසේන මහරහතන් වහන්සේ ත්, මිළිඳු රජතුමාත් බුදු සසුනේ පැවිදි වී එකම ආරාමයක පිළිවෙත් පිරූහ. එම භවයේ දී නාගසේනයන් වහන්සේ වැඩිහිටි තෙරුන් වහන්සේ නමක් ලෙසින් ද, මිළිඳු රජතුමා කුඩා සාමණේරයන් වහන්සේ නමක් ලෙසින ්ද වැඩ සිටියහ. දිනක් වැඩිහිටි තෙරුන් වහන්සේ ආරාමයෙහි මිදුල අතුගෑ කොළරොඩු එකතුකොට එය බැහැර කරන ලෙස සාමණේර නමට පැවස ීය. එනමුත් සාමණේරයන් වහන්සේ එය නො ඇසුනාක් මෙන් ගියවිට, එම අකීකරුකමට දඬුවමක් ලෙස තෙරුන් වහන්සේ පහරක් ගැසී ය. එවිට බියපත් වූ සාමණේරයන්, කසල බැහැර කොට, අසල ගංගාවට වැඩම කොට අත් සෝදාගත් සේක. ගං ඉවුරේ වාඩිවී මෙවැනි ප්‍රාර්ථනාවක් ද කළ සේක. “ මා හට අනාගතයේ මහා ආනුභාවයක් ඇති ප්‍රඥා සම්පන්න ජීවිතයක් ලැබේවා. සියුම් වු ගැඹුරු ප්‍රශ්න විමසන නුවණැත්තෙක් වෙම්වා!” කියා ය. එවිට පැන් පහසුවීම පිණිස වැඩම කළ ගුරු තෙරුන් වහන්සේට එය ඇසී, ඒ ආනුභාව ප්‍රඥා සම්පන්න බව පරයන මහත් වූ ආනුභාව සම්පන්න, අතිශයින් ම ප්‍රඥා සම්පන්න ජීවිතයක් මට ලැබේවා! අසන අසන ප්‍රශ්නයන් විසඳාලිය හැකි සියුම් නුවණක් මා හට ලැබේවා!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ.
සිල්වත්ව සිට පින්රැස් කරමින් කළ ප්‍රාර්ථනාවන්ට අනුවය. මිළිඳු රජතුමාගේත් , නාගසේන මහරහතන් වහන්සේගේ ත් මෙම හමුවීම සහ දහම් සංවාදය සිදුවූණේ. (මිළිඳු රජතුමාගෙත්, නාගසේන මහරහතන් වහන්සේගේත් උප්පත්ති කතාව ජූලි 31 ඇසළ අමාවක පෝදා පත්‍රයේ පළවේ)
නයනා නිල්මිණී
සතර සතිපට්ඨානය ම දීර්ඝ කාලයක් පුරාවට බුදුසරණ පත්‍රය මඟින් කියවා දැනුම වැඩි දියුණු කළා. ගිහි, පැවිදි විශාල පිරිසක් මේ භාවනා පාඩම කියවා තේරුම් ගත් බව අපට දැනගන්නට ලැබුණා. සතිපට්ඨාන සූත්‍ර දේශනාව ජාති , ආගම්, භේදවලින් තොර කමටහනක්.
සති යනු සිහිය යි. පට්ඨාන යනු එළැඹීම යි. සිහියෙන් කටයුතු කිරීම යන තේරුම යි. සතිපට්ඨාන සූත්‍ර දේශනාව මුල සිටම සඳහන් කරන්නේ සිහියෙන් වැඩකරන්න යනුවෙනි. යන එන ගමන බිමන පවා සිහියෙන් කළ යුතු යැ’යි උපදෙස් ලබා දුන්නා.
කුරුරට කම්මාස ධම්ම නියම් ගමේ දී බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු දේශනාව පැවැත්වූවා. සතිපට්ඨාන භාවනාව වඩන විට සිත හොඳින් පිරිසුදු වෙයි. ඇඬීම, වැළපීම , කායික මානසික දුක් දුරුවී යයි. නිවන් මඟට අවතීර්ණ වෙයි. නිර්වාණ ධර්මය අවබෝධ කර ගන්නා බවට ආනිසංස හතක් සූත්‍ර ධර්මයේ මුලදී ත්, අග දී ත් දේශනා කර තිබෙනවා. එයට අනුකූලව සම්මා වාචා යන මාර්ගාංගය කවුරුත් මෙනෙහි කළ යුතු යි.
සම්මා වාචා යනු නිවැරැදි උතුම් වචන යි. ශ්‍රේෂ්ඨ වචන බව වටහා ගෙන මම සම්මා වාචා ඇත්තෙක් වන්නෙමි ,නිවැරැදි වචන ඇත්තෙක් වන්නෙමි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. මුසාවාදා, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ප්‍රප්පලාපා යනුවෙන් වැරැදි වචන හතර යි. බොරුකීම, කේළාම් කීම, නපුරු වචන කීම, හිස් වචන කීම ආදියෙන් වැළකීම සම්මා වාචා නම් වෙයි. නිවැරැදි වචන යනු එය යි. බුදු දහමෙන් උගන්වන්නේ කට ම පරිස්සම් කළ යුතු බව යි. කථා නොකර සිටින තරමටම වචනය පිරිසුදු වෙයි. කථා කළොත් දෙතිස් කථාවෙන් එකක් වෙයි. ඒ නිසා දවස පුරාම හැකිතාක් නිශ්ශබ්දව සිටින්න පුළුවන්නම්, වචනය පිරිසුදු යි. සිත ද පිරිසුදු වී යයි. එවිට තමන් ‘මම බොරු කීමෙන් වළකිමි, මම කේළාම් කීමෙන් වළකිමි, මම නපුරු වචන කීමෙන් වැළකෙමි, මම හිස් වචන කීමෙන් වැළකෙමි’ යනුවෙන් නිතරම මෙනෙහි කළ යුතු යි. එවිට සිත සහ වචනය පිරිසුදු වෙයි. සම්මා වාචා මාර්ගාංගය බොහොම ශක්තිමත් වෙයි. වචනය පිරිසුදු වන තරමට ම ජන සමාජයෙන් ගරු බුහුමන් මෙන් ම, දෙවියන්ගෙන් ආශිර්වාද ද ලැබෙනවා. තමන් යන ගමන් මඟ පිරිසුදුවට, යහපත් ව යන්නට පුළුවන්.
නිවන් සැප ලැබේවා යන වචනය බොහොම ශ්‍රේෂ්ඨ යි. ඒ වචනයට ඉහළ වචනයක් තවත් ලොවේ නැහැ. නිවන් සැප ලැබේවා යන වචනයෙන් සම්මා වාචා හොඳින් සිදු වෙයි. සම්මා වාචා මාර්ගාංගය පිරිසුදුව හොඳට වැඩෙනවා, දියුණු කරන්න පුළුවන්. නිතර අධිෂ්ඨාන කළ යුත්තේ මා හොඳ වචන ඇත්තෙමි යනුවෙනි. එවිට නුවණ සහ අදහස් ද, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී මාර්ගාංග තුනම ද යෙදෙයි. එවිට තමන්ට තිබෙන්නේ හොඳට සිහි නුවණින් කටයුතු ටික ඉදිරියට ගෙන යාම යි. හොඳින් නුවණින් බලමින්, තමන්ගේ වචනය බොහොම පිරිසුදු යි යනුවෙන් අධිෂ්ඨාන කළ යුතු යි. මෙනෙහි කළ යුතු යි.
පසෙකට වී වාඩිවී කල්පනා කරමින් සිටියදී සිතිය යුත්තේ මම උදේ පටන් මේ මොහොත දක්වා ම කතා කළ වචන ගණනත්, මේවා හොඳ වචන ද? නරක වචන ද? යනුවෙන් තමන්ට තේරුම් බේරුම් කර ගන්න පුළුවන්කම තියෙනවා. නරක වචන භාවිත කර ඇත්නම් අවවාදයක් වශයෙන් මම අද මේ වචන කතා කළ ද මින් මතු මම ආයති සංවරයේ පිහිටන බවට නිවැරැදි මඟට බැසගත යුතු යි. අද මා හොඳ වචන කතා කර තිබෙනවා. ධර්ම දේශනා කර තිබෙනවා. ඒ නිසා මා බොහොම පිරිසුදු ඇත්තෙක්, එසේම මගේ වචනය බොහොම හොඳයි යනුවෙන් තමන්ටම සිතිය යුතු යි. එවිට සම්මා වාචාව , මාර්ගාංගය හොඳින් වැඩෙයි, පිරිසුදු වචන තවත් ඉහළට යයි.
ලොවුතුරා බුද්ධත්වයට පත්වන සියලුම උතුමෝ බොරුකීම කිසිම දවසක කර නැහැ. වචනය පිරිසුදුවෙන් සසරේ කල්ප ලක්ෂ ගණන් උපත ලැබුවා. අප බුද්ධෝ වචනය එකවරක් පැවසුව ද බුදුරජාණන් වහන්සේට එම වචනය එකසිය විසිඅටක් වදාරන්න පුළුවන්. බලන්න කෙතරම් ප්‍රභල ද කියලා? මේ ආනිසංස ලැබුණේ, බොරුවෙන්, කේළමෙන්, ඵරුස වචනයෙන්, හිස් වචනයෙන් වැළකීම නිස යි. ඒ නිසා උන්වහන්සේට මේ තරම් වේගවත් වචන මාලාවක් ලැබුණේ.
අප කතා කරන විට දිවේ සෙම බැඳී, රළු ස්වභාවයෙන් යුක්තව වෙහෙසක් අරගෙන යි, කතා කරන්නේ.
නමුත් බුදු කෙනෙකුට එසේ නො වෙයි. දිව බොහොම සිනිඳු යි. සෙම බැඳී නැහැ. බොහොම හොඳින්, වේගවත්ව ම, පැහැදිලිව කතා කරන්න පුළුවන්.
එසේනම් අප ද වචනය ම පිරිසුදු කරගත යුතු යි. අධිෂ්ඨාන කරගත් විට සම්මා වාචා මාර්ගාංගය භාවනාවෙන් හොඳින් වැඩෙයි. මම බොරු කීමෙන් වැළකෙමි, මම කේළාම් කීමෙන් වැළකෙමි, මම නපුරු වචන කීමෙන් වැළකෙමි, මම හිස් වචන කීමෙන් වැළකෙමි යනුවෙන් නිතර සිතන්න, මෙනෙහි කරන්නට අවශ්‍යය යි. එවිට සම්මා වාචා මාර්ගාංගය සම්පූර්ණ වෙයි. නුවණ යෙදුණ නිසා සම්මා දිට්ඨිය ද , හොඳ අදහස් නිසා සම්මා සංකල්පනාව ද , වචනය හොඳ නිසා සම්මා වාචාවත් තිබෙන බව හොඳින් ඉගෙන ගෙන තමන්ගේ ගුණ ධර්මයන් හොඳට දියුණුවෙන් ඉදිරියට යන්නට ඕනේ. එවිට තමන් යන ගමන් මඟ පැහැදිලි යි. පිරිසුදු යි, විසිතුරු යි.
බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා තරම් ශ්‍රේෂ්ඨ වචනය ඇති උදවිය ලොවේ තවත් නැහැ. ඒ නිසා උන්වහන්සේලාට, දුක්ඛ සත්‍යයය, සමුදය සත්‍යයය නිරෝධ සත්‍යයය, මාර්ග සත්‍යයය යන සත්‍ය සතර අවබෝධ වුණා. බොරු කිව්වානම් මේවා අවබෝධ කරන්න බැහැ. බොරුවෙන් වැළකුණු නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබුණා. මේ ගැන සිතා කල්පනාවෙන්, කවුරු වුණත්, නිවනට අවතීර්ණව කටයුතු කරනවා නම්, වචනය පිරිසුදු වන්නට අවශ්‍යය යි. එසේම නිවන් මඟ යන්නේ ය, කියන අදහස නිතරම තිබිය යුතු යි. එවිට වරදින්නේ නැහැ. සද්ධා, වීර්යය, සති, සමාධි, ඥාන ඉන්ද්‍රිය බල හොඳින් වැඩිය යුතු යි. සිහි නුවණින් මේ ගමන ඉදිරියට යා යුතු යි. වචනයම ආරක්ෂාවෙන්, පිරිසුදුවට , මුව ම පරිස්සම් කරගත යුතු යි. එවිට සම්මා වාචා මාර්ගාංගය හොඳින් දියුණුවෙන් ඉදිරියට යන්න පුළුවන්. වරදින්නේ නැහැ. අපායාදියට නොයා සුගතියක ම සිට නිවන් පසක් කරගන්නට පුළුවන්කම තිබෙනවා.
බුද්ධාදී උතුමන් වචනය හොඳින් පිරිසුදුවට පාවිච්චි කළා. තමාද ඒ මඟම යන බව සිතද්දී ලැබෙන්නේ ලොකු ශක්තියක්. මේ ශක්තිය සාමාන්‍ය කෙනෙකුට මෙන්ම සැමටම ලබන්න බැහැ. ඒ නිසා සිල්වත් , ගුණවත් උතුමන්ට ලැබෙන දායාදයක් වන්නේ නිවැරැදි වචන යි. ඒ නිසා ඔවුන් මරණින් මතු සුගතිගාමීව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් වෙයි. මේ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇතිකරගෙන නිවන් මඟට බැසගෙන යා යුතු යි.
සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ පමණක් නොව, තව බොහෝ අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ සම්මා සංකප්ප , සම්මා වාචා ආදී මාර්ගාංග දීර්ඝ වශයෙන් පැහැදිලි කර තිබෙනවා. එලෙස පැහැදිලි කළේ යා යුතු මාර්ගයේ කෙසේ ද යන්නේ යනුවෙන් දැන ගැනීම සඳහා යි. වචනය පිරිසුදු නම් ශීලය හොඳින් වැඩෙයි. ශීල ශික්ෂාව යනු එය යි. වචනය අපිරිසුදුනම්, ශීලය පිරිසුදු නැහැ. ඒ නිසා සම්මා වාචා යනු ශීල ශික්ෂාව යි. මුලින් සඳහන් කළ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප නම් වෙයි. ඒ ශික්ෂා දෙකම වචනය හොඳ වෙනවිට තම සිතෙහි පහළ වෙයි. එසේනම්, බුද්ධාදී උතුමෝ නිවන් මඟට බැසගෙන යහපත් වචන මාලාවක් ඇතිකරගත් නිසා ලොවුතුරා ධර්මය සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල සහ නිවන යන නව ලොවුතුරා ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණේ. කොපමණ වෙහෙසුණත් වචනය හොඳ නැතිනම්, ධර්මය අවබෝධ කරගන්න අපහසු යි. ඇතැම් විට තමන් නරක කෙනෙක් වෙන්න පුළුවන්. දැන, තේරෙන වයසට පැමිණි විට සමාව ගෙන , ආයති සංවරයේ පිහිටා එතැන් පටන් තමන්ගේ ගුණ දියුණු කළොත්, මාර්ග ඵල අවස්ථාවට පත් වන්නට අපහසුවක් නැහැ.
ජම්මික ප්‍රබෝධනී වැලිකල