Tuesday, October 19, 2021

විජ්ජාචරණසම්පන්න නම් වන සේක


විජ්ජාචරණසම්පන්න නම් වන සේක
මල්වතු මහාවිහාරීය කාරක සංඝ සභික
අනුරාධපුර ශ්‍රි ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශයේ
අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දර්ශනපති
වැලිවිට සෝරත හිමි

බුදුරජාණන් වහන්සේ ගේ අපරිමිත වූ ගුණ සමුදාය පිළිබඳව මඳක් හෝ නොදන්නා කෙනෙකුට උන්වහන්සේ පිළිබඳ ව මෙනෙහි කරමින් බුදුගුණ භාවනාව කළ නොහැකි ය. ප්‍රාඥයින් අතර අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ දිනක් “භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තරම් ගුණසම්පන්න කෙනෙකු මේ තුන් ලෝකයේම නොවු විරූය” යනුවෙන් ප්‍රකාශ කළ විට එසේ ප්‍රකාශ නොකළ යුතු බවත් පෙර බුදුවරයන් වහන්සේලා ද මේ ගුණයන්ගෙන් ම යුක්ත වූ බවත් වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ නමක් තුළ ඇති ගුණ සමුදාය තවත් බුදුවරයෙක් වර්ණනා කළ ද දීර්ඝ වූ කල්පය ගෙවී ගියත් බුදුගුණ කියා අවසන් නොවන බව උන්වහන්සේ ම වදාරා ඇත.

බුද්ධෝ ‘පි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චෙ අඤ්ඤමභාසමානෝ
ඛියෙථ කප්පෝ වීර දීඝමන්තරෙ
වණ්ණෝ න ඛීයෙථ තථාගතස්ස

මෙසේ අනන්ත වූ බුදුගුණ අතරින් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් භාවනානුයෝගීව සිටින පුද්ගලයාට මෙලොව හා පරලොව දියුණුව ඇතිකර ගත හැකි ය. නව අරහාදී බුදුගුණවලින් තෙවෙනි බුදුගුණය වන්නේ “විජ්ජාචරණ සම්පන්න” බුදුගුණය යි. විද්‍යාවන්ගෙන් හා චරණ ධර්මයන්ගෙන් සමන්විත වූ යන අදහස එහි ඇත. විද්‍යා යනු දැනීම යි. චරණ යනු පාදය යි. ආර්ය විද්‍යාව ලැබීමට හා නිවන් අවබෝධ කරගැනීමට උපකාරි වන සීලාදී ගුණධර්ම සමූහය වෙත යාමට පයක් වැනි හෙයින් එය චරණය යැයි කියනු ලැබේ.ඒ අනුව සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන් සීලය හා සමාධිය චරණයට අයත් වන අතර, ප්‍රඥාව විද්‍යාවට අයත් වේ.

මෙහි ත්‍රිවිද්‍යා යනු තමන්ගේ හා අන් අයගේ පෙර ඉපිද සිටි ජාති පිළිවෙල නම් ගොත් ආදී වශයෙන් දක්නා වු පුබ්බේනිවාසානුස්සතියත්, දිව්‍යලෝක, මනුෂ්‍ය ලෝක හා අපාය ආදී නොයෙක් භවයන්හි කර්මානුරූපීව ඒ ඒ සත්ත්වයා උපදින තැන් දැකීමට හැකි දිබ්බචක්ඛු හෙවත් දිවැසත්, දුක්ඛ සමුදය, නිරෝධ හා මාර්ග වශයෙන් දැක්වෙන චතුරාර්ය සත්‍යාවබෝධය තත් වු පරිද්දෙන් දැක කාමාදී ආශ්‍රවයන් ප්‍රහීණ කොට නිවන් අවබෝධ කරගන්නා අර්හත් ඤාණ මාර්ගය හෙවත් ආසවක්ඛය ඤාණයත් යන ත්‍රිවිද්‍යාවන් ලැබීමයි. මෙම ත්‍රිවිද්‍යාව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ආකාරය මජ්ක්‍ධිම නිකායේ බයභේරව සූත්‍රයේ පෙන්වා දී ඇත.

“අයං ඛො මෙ බ්‍රාහ්මණ රත්තියා පඨමෙ යාමෙ පථමා විජ්ජා අධිගතා අයං ඛො මෙ බ්‍රාහ්මණා රත්තියා මජ්ක්‍ධිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා අයං ඛො මෙ බ්‍රාහ්මණ රත්තියා සච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අධිගතා”

බ්‍රාහ්මණය මම රාත්‍රියේ පළමු යාමයේ පළමු විද්‍යාවත්, මධ්‍යම යාමයේ දී දෙවන විද්‍යාවත්, පශ්චිම හෙවත් අළුයම කාලයේ තෙවෙනි විද්‍යාවත් අධිගමනය කරන ලදී.

මෙය බුදුන්ට පමණක් නොව රහතන් වහන්සේලාට ද අවබෝධ කරගත හැකි ඤාණයකි. එහෙත් බුදුරදුන් තුළ මේ සම්බන්ධයෙන් ඇති ඤාණය අනෙකුත් රහතන් වහන්සේලාට වඩා වැඩි ය. උදාහරණයක් ලෙස බුදුරදුන්ට පෙර භවයන් දැකීමේ ඤාණය එකවර භව පන්සියයක් දක්වා හෝ දැකිය හැකි ය. එහෙත් රහතන් වහන්සේලාට පෙර භවයන් දැකිය හැකිවන්නේ එක් එක් භවයන් අනුව යමිනි.

මීට අමතරව අම්පටියා සූත්‍රයේ දී අෂ්ඨ විද්‍යා යනුවෙන් දේශනා කර ඇති අතර ඒවා සාමඤ්ඤඵල සූත්‍රයේ දී ශ්‍රමණ තත්ත්වයෙහි ප්‍රතිඵල හැටියටත් දක්වා තිබේ. නාම රූප ධර්ම (පඤ්චස්ඛන්ධය, ෂඩ් ආයතන, දොළොස් ආයතන හා අෂ්ඨාරස ධාතු) හා ඒවා අනිත්‍ය වශයෙන් දැකීමේ ඤාණය වන විදර්ශනා ඤාණය ඉන් පළමුවැන්නයි. තමන්ගේ ශරීරය තුළ තමා හා සමාන වූ රූපකායත් මෙන්ම අන් අයගේ ශරීර විශාල ප්‍රමාණයක් යම් සේ නිර්මාණය කොට කොපුවක තිබූ දෙයක් ඉන් පිටතට ගන්නාක් මෙන් සිදුකිරීමේ ශක්තිය ඇති මනෝමය ඍද්ධි ඤාණය දෙවැන්නයි. (මට්ටකුණ්ඩලී වෙත යැවූ බුද්ධ රූපයත්, චුල්ලපන්ථක තෙරුන් විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීමේ හැකියාවත් මින් අදහස් කෙරේ) යමක මහා ප්‍රාතිහාර්ය සේ ම, තම ශරීරයෙන් ගිනිදැල් පිටකිරීම, දුම්පිට කිරීම, බර දෙයක් සැහැල්ලු කොට රැගෙන යාම,වැසි සුළං ආදිය ඇතිකරලීම වැනි බොහෝ අවස්ථාවලදී පෑමට ඇති හැකියාව වූ ඉද්ධිවිධ ඤාණය තෙවැන්නයි. සාමාන්‍ය කෙනෙකුට නො ඇසෙන සියුම් ශබ්ද, ඉතා දුර සිට කියන්නා වූ දෙය ළග සිටියාක් මෙන් ඇසීමේ හැකියාව, බඹලොව පරසක්වල ආදි සියලු සතුන්ගේ ශබ්ද ඇසීමේ හැකියාව පියවි කනට නොඇසෙන ශබ්ද පවා ඇසීමේ හැකියාව ඇති දිව්‍යලෝක ඤාණය සිව්වැන්නයි. අන් අය සිතන පතන ආකාරය දැනගැනීමේ හැකියාව ඇති පරචිත්තවිජානන ඤාණය පස්වැන්නයි .පෙර විසූ ජාතීන් පිළිබඳ දැන ගැනීමේ හැකියාව ඇති පුබ්බේනිවාසානුස්සති ඤාණය සයවැන්නයි. සියලු ලෝක සත්ත්වයින් බැලීමේ හැකියාව ඇති දිබ්බචක්ඛු ඤාණය සත්වැන්නයි. සියලු කෙලෙස් නසා උතුම් අර්හත්වයට පත්වීමේ ඇති හැකියාව වන ආසවක්ඛය ඤාණය ලැබීම අටවැන්නයි. මෙසේ ත්‍රිවිද්‍යාවන්හි ඇති කොටස් තුනක් එකතුව අෂ්ඨ විද්‍යාවන් ඇති බව දේශනා කර තිබේ.




 

Sunday, October 17, 2021

සම්මා සම්බුද්ධ නම් වන සේක


සම්මා සම්බුද්ධ නම් වන සේක
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

වෙසක් පුර පසළොස්වක පොහෝ දවස සමස්ත ලෝකයට ම සුවිශේෂී දවසක්. දඹදිව රාජ්‍යයේ බුද්ධ ගයා ශුද්ධ භූමියේ දී සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වය සිදු වීම මුල් කරගෙන, හතළිස් පස් වසක් දේශනා කළ ධර්මය මුලු මහත් ලෝකයා ම ශ්‍රවණය කරලා, සමස්ත ලෝකය පුරාවට ම බුදුරජාණන් වහන්සේගේ නම ප්‍රචලිත භාවයට පත් වුණා. එවැනි උත්තරීතර තත්ත්වයට පත්වීමේ මූලික ම දේ තමයි, බුදුරජාණන් වහන්සේ ළඟ තිබෙන විද්‍යමාන ගුණ.

ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ...යන පාඨයේ බුදු ගුණ නවයක් තිබෙයි. එයින් සම්මා සම්බුද්ධෝ ගුණය යනුවෙන් සඳහන් කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් බැවිනි. දුක්ඛ සත්‍ය අවබෝධ කළ නිසා, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, දුක්ඛ දුක, දෝමනස්ස දුක , උපායාස දුක, පංචස්ඛන්ධ දුක සහිත මේ සකල දුක අවබෝධ කළ නිසා බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධ යනුවෙන් ව්‍යවහාර කරනවා. එසේ ම සිතෙහි බලපවත්වන තෘෂ්ණාව සමුදය සත්‍ය යැ’යි කියනු ලබනවා. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව, රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, ස්පර්ශ තණ්හාව, ධම්ම තණ්හාව , අතීත තණ්හාව, අනාගත තණ්හාව, වර්තමාන තණ්හාව , අධ්‍යාත්මික තණ්හාව, බාහිර තණ්හාව යන එකසිය අට වැදෑරුම් තෘෂ්ණාව මනාකොට අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධෝ යනුවෙන් ව්‍යවහාර කරනවා. දුක පිරිසිඳ අවබෝධ කරගෙන , සමුදය සත්‍ය ප්‍රහාණය වුණහම, නිවන අවබෝධ වුණා.

නිර්වාණය සිත, ගත නිවා සනසා දෙන වාසනාවක්. ඉපදීම මුළුමනින් ම නතර වෙනවා. එවිට ජාති, ජරා, මරණ, ආදී සියලු ම දුක් නතර වෙනවා. සිත නිවනට ප්‍රවිෂ්ඨ වෙනවා. නැවත උපතක් සිදු වන්නේ නැහැ. ඒ නිසා නිර්වාණය, තණ්හාව ක්ෂය වීම යි යනු වෙයි. ඉපදීමක් නැති නිසා අජාති නම් නිර්වාණය, ජරාවක් නැති නිසා අජර නම් නිර්වාණය, ලෙඩ රෝග නැති නිසා අව්‍යාධි නම් නිර්වාණය , මරණයක් නැති නිසා අමත නම් නිර්වාණය , ඇඬීම නැති නිසා අශෝක නම් නිර්වාණය , වැළපීමක් නැති නිසා අපරිදේව නම් නිර්වාණය, කායික දුකක් නැති නිසා අදුක්ඛ නම් නිර්වාණය, මානසික දුකක් නැති නිසා අදෝමනස්ස නම් නිර්වාණය, දැඩි ආයාසයක් නැති නිසා අනුපායාස නම් නිර්වාණය, අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධෝ යනුවෙන් අමතනවා. එසේ ම නිවන අවබෝධ කර ගැනීම සඳහා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මධ්‍යම ප්‍රතිපදාවෙන් ම ගමන් කොට වදාළා. උතුම් වූ , යහපත් වූ , ශ්‍රේෂ්ඨ වූ අර්ථයෙන් සම්මා වදන ප්‍රකාශ වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම , සම්මා සති, සම්මා සමාධි, ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිත කළ නිසා සම්මා සම්බුද්ධෝ යනුවෙන් ව්‍යවහාර කරනවා. බුදුරජාණන් වහන්සේ සෝවාන්, මාර්ග ඵල සකදාගාමී මාර්ග ඵල, අනාගාමී මාර්ග ඵල, අරිහත් මාර්ග ඵල, නිර්වාණය යන නව ලොවුතුරා ධර්මය අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධෝ යනුවෙන් හඳුන්වනවා. සංඛාර (හේතූන් හට ගන්නා දේ), විකාර (වෙනස්වන දේ), ලක්ෂණ ( ඒ ඒ දෙයෙහි ලක්ෂණය), පංඤප්ති(පැනවීම), නිබ්බාණ (නිර්වාණය) ආදිය ‘පංචවිධ ඤේ‍යය මණ්ඩලය’ ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ ම අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධෝ යනුවෙන් හඳුන්වනවා.

සම්මා සම්බුද්ධෝ වගන්තිය දවස පුරාම සිතුවත් වැඩි වන්නේ නැහැ. එය ‘සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ’ යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ඉතිපිසෝ පාඨයම මෙනෙහි කළත් හොඳයි, තේරුම ටිකෙන් ටික ඉගෙන ගන්න. එවිට බුදු ගුණ වලින් ලැබෙන ශක්තිය, බලය, සීමාවක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ හැමදාම නැහැ. බොහොම කලාතුරකින් පහළ වෙන්නේ. ඒ උතුමන් වහන්සේලා දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් බැබළෙනවා. අසූවක් අනු ව්‍යංජන ලක්ෂණයෙන් බැබළෙනවා. කේතුමාලාලංකාරයෙන්, සවණක් ගණ බුදුරැස් මාලාවෙන් , යාමක් ප්‍රභාවෙන් නිබඳව ම බැබළෙනවා. ගුණ සාගරයකින් සමන්වාගත යි. ඥාන සාගරයකින් සමන්වාගත යි. මහා පුණ්‍ය තේජසකින් සමන්වාගත යි. එවැනි මහා උතුමන් වහන්සේ නමක් වඳින පුදන අපට පුදුම පිනක් ලැබෙනවා. බුද්ධානුස්සති භාවනාවෙන් මෙලොව යහපත, තමන්ගේ ගුණ නුවණ, හොඳින් ලැබෙනවා. එසේම කායික මානසික ශක්තිය වැඩෙනවා. එසේ ම බුද්ධානුස්සති භාවනාව නිවන් පසක් කරන්නට පුළුවන් සුදුසු භාවනාවක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරදෙන සුදුසු භාවනාවක්. අවසානයේ විදසුන් නුවණ පහළ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ හැර සම්මා සම්බුද්ධෝ ගුණය තුන් ලෝක ධාතුවේ ම සොයා ගන්නට නැහැ. එසේනම්, වෙසක් පුර පසළොස්වක පොහෝ දවස සමස්ත ලෝකයට ම යහපත සැලසුන දවසක්. ජාති, ආගම් භේදවලින් තොරව කොයි කාටත් වෙසක් පුර පසළොස්වක දවස පටන් හැකිතාක් බුද්ධානුස්සති භාවනාව සම්පූර්ණ කර, අපායෙන් අත් මිදී සුගතියක ම සිට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කර ගැනීමට හේතු වාසනා වේවා!

- ජම්මික ප්‍රබෝධනී වැලිකල

 

ඡන්දරාග සූත්‍රය

 


 ඡන්දරාග සූත්‍රය
25
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපස්කන්ධයෙහි යම් (ඡන්ද රාගයක්) ආලයක් ඇද්ද, එය දුරු කරව්. එසේ කිරීමෙන් ඒ රූපය පහ කරන ලද්දේ, මුල් සිඳින ලද්දේ, සිඳිනලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇතියක් වන්නේය.
“වේදනාවේ යම් ආලයක් ඇද්ද එය දුරු කරව්. එසේ කිරීමෙන් ඒ වේදනාව පහකරන ලද්දේ, මුල් සිඳින ලද්දේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇතියක් වන්නේය.
“සංඥාවේ යම් ආලයක් ඇද්ද එය දුරු කරව්. එසේ කිරීමෙන් ඒ සංඥාව පහකරනලද්දේ, මුල් සිඳිනලද්දේ, සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාව කොට ඇතියක් වන්නේය.
“සංස්කාරයන්හි යම් ඇලීමක් වේද, එය දුරු කරව්. එසේ කිරීමෙන් සංස්කාරයෝ පහ කරන ලද්දාහු. මුල් සිඳින ලද්දාහු. සිඳින ලද තල්ගසක් මෙන් කරණ ලද්දාහු. නැතිකරන ලද්දාහු, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තාහු වන්නාහුය.
“විඤ්ඤාණයාගේ යම් ආලයක් ඇද්ද, එය දුරු කරව්. එසේ කිරීමෙන් විඤ්ඤාණය පහකරන ලද්දේ, මුල් සිඳින ලද්දේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇතියක් වන්නේය.”
(හතරවෙනි ඡන්දරාග සූත්‍රය නිමි.



Thursday, October 14, 2021

අරහං නම් වන සේක

 



අරහං නම් වන සේක
කොළඹ බෞද්ධාලෝක මාවත
නාරද බෞද්ධ ධර්මායතනාධිපති
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ කරුණා සාගරයකි. ප්‍රඥා සාගරයකි. ගුණ සාගරයකි. උන්වහන්සේගේ බුදුගුණ අසීමිත යි. එක් බුදුරජාණන් වහන්සේ නමක් පිළිබඳව තවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් උන්වහන්සේලාගේ ගුණ කල්පයක් පුරාවට වදාළත් කල්පය අවසන් වුවත් බුදුගුණ කියා අවසන් කළ නොහැකි බව ධර්මයේ සඳහන් වෙනවා.

මහ සාගරයට වඩා විශාල, අනන්ත අප්‍රමාණ ගුණ සමුදායකින් යුතු භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීම සඳහා අප බුදුගුණ පාඨයක් සකස් කරගෙන තිබෙනවා. ඒ බුදුගුණ පාඨයට කියනවා නව අරහාදී බුදුගුණ පාඨය කියලා. අරහාදී කියන්නේ අරහං ගුණයෙන් ආරම්භ කරන නිසා. අරහං ගුණයෙන් ආරම්භ කරලා භගවා ගුණයෙන් අවසන් වන බුදුගුණ නවයක් තිබෙනවා. ඒ බුදුගුණ නවයට කියනවා නව අරහාදී බුදුගුණ කියලා. අසීමිත වූ බුදුගුණ සමුදාය කැටිකොට වන්දනා කිරීමට එසේ ගුණ නවයකට කැටිකොට තිබෙනවා.

නව අරහාදී බුදුගුණ අතර පළමු ගුණය අරහං ගුණය යි. අරහං බුදු ගුණයෙහි තේරුම සුදුසු යි යන්නයි. කුමකට ද සුදුසු? ආමිස පූජාවට සහ ප්‍රතිපත්ති පූජාවට යි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ, මිනිසුන්ගේ, බ්‍රහ්මයන්ගේ සියලු ආමිස, ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ නිසා උන්වහන්සේ අරහං ගුණයෙන් යුක්ත යි. මේ ආකාරයට සියලු සත්ත්වයන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට බුදුරජාණන් වහන්සේ සුදුසු වූයේ ඇයි? එයට හේතුව අපගේ ශාස්තෘන් වහන්සේ

සියලු කෙලෙසුන්ගෙන් මිදුණ නිසයි. ”අර” කියා පාලියෙන් සඳහන් කරනවා ගරාදිවලට. කෙලෙස් නමැති ගරාදි (ගරාදී කියන්නේ කරත්ත රෝදයක් සවිමත් කරන්න හරහට ගසා ඇති ලීයට යි.) ගරාදිය ශක්තිමත් තරමට තමයි රෝදය කැරකෙන්නේ. අපේ සිතේ කෙලෙස් තිබෙන නිසා තමයි අප මේ සංසාරයේ ශක්තිමත්ව ගමන් කරන්නේ. මේ සංසාර ගමන නැවත්වීමට අරයන් සිඳ දමන්න ඕනේ. උන්වහන්සේ කෙලෙස් අරයන් සිඳලුවා. ඒ වගේම සියලුම කෙලෙසුන් නසා දැමුවා. පාලියෙන් අරි කියන්නේ සතුරාට යි. ඛන්ති කියන්නේ නසනවා, වනසනවා කියන අදහස යි. බුදුරජාණන් වහන්සේ කෙලෙස් නමැති සිතිවිලි සතුරා නසා දැමුවා. ඒ නිසාත් උන්වහන්සේ අරහං ගුණයෙන් යුක්ත යි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පව් නො කළ සේක. සාමාන්‍ය මිනිසුන් පවක් කරලා එය රහසක් ලෙස තිබේවි කියා සිතනවා. නමුත් එය රහසක් ලෙස පවතින්නේ නැහැ. මාරයාත්, දෙවියොත්, තමාගේ සිතත් එය දන්නවා. බුදුරජාණන් වහන්සේ එසේ නොවේ. ඇති තැනත්, නැති තැනත්, එළිපිටත්, සැඟවිලාවත් පවක් සිදු කළේ නැහැ. එනිසා උන්වහන්සේ අරහං ගුණයෙන් යුක්ත යි.

උන්වහන්සේ සියලු පාපයන්ගෙන් මිදුණ සේක. අපගේ ශාස්තෘන් වහන්සේ සියලු පාපයන්ගෙන් මිදුණා වගේම ශ්‍රාවකයාටත් පාපයෙන් වෙන් වෙන්නට උපදෙස් දුන්නා. උන්වහන්සේ සිතින්, කයින්, වචනයෙන් අකුසල් නො කළ නිසා අරහං ගුණයෙන් යුක්ත යි.

තථාගතයන් වහන්සේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක

බුදුරජාණන් වහන්සේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙන් පුදන්නට පුළුවන්. එදා සිට විශාඛා, අනේපිඬුසිටුතුමා, බිම්බිසාර රජු ආදීන් බුදුන් වහන්සේ ආමිස පූජාවෙන් ඉහළින්ම පිදුවා. ජේතවනාරාමය, පූර්වාරාමය, වේළුවනාරාමය වැනි ආරාම පූජාව දෙස බැලූවිට එය පැහැදිලි යි. ජේතවනාරාමයේ තිබූ ගන්ධකුටිය සාදා තිබෙන්නේ දිව්‍ය විමානයක ආකෘතියක් ලෙස යි. ඒ නිසයි එයට දිව්‍ය රම්‍ය විහාරය කියා හඳුන්වා තිබෙන්නේ. දිව්‍ය රම්‍ය විහාරයටයි සිංහලෙන් දෙව්රම් වෙහෙර කියා කියන්නේ. ඒවාගේ පූජාවන් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. බොහෝ දෙනා ප්‍රතිපත්ති වශයෙන් උන්වහන්සේ පිදුවා. බුදුරජාණන් වහන්සේ වඩාත් සතුටු වුණේ ප්‍රතිපත්ති පූජාවට යි. නමුත් ආමිස පූජාව එපා කියා උන්වහන්සේ වදාළේ නැහැ. එයට හේතුව ශ්‍රද්ධාව නැති අයට ශ්‍රද්ධාව උපදවා ගැනීමට ආමිස පූජාව උපකාර වෙන නිසයි. මේ සියලු පූජාවන්ට බුදුරජාණන් වහන්සේ සුදුසු නිසා උන්වහන්සේ අරහං ලෙස හඳුන්වනවා.

මේ මූලික ගුණ මුල්කරගෙනයි බුදුරජාණන් වහන්සේට අරහං කියන සුවිශේෂී ගුණය භාවිත වන්නේ. එසේ කෙලෙස් වැනසූ නිසා උන්වහන්සේ සියලු පුද පූජාවන්ට යෝග්‍ය වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ මිනිස් සමාජය නෙළුම් පොකුණක් වගේ කියලා. මඩ සහිත පොකුණෙන් හට ගන්නා පියුම් මඩෙන් උඩට ඇවිත් වතුරෙන් උඩට ඇවිත් මඩෙත් නො ගෑවී, වතුරෙත් නො ගෑවී ඉහළට ඇවිත් මල පිපෙනවා. එසේ පිපුණාම ඒ මලෙහි සුවඳ දසතම විහිදෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නමැති පුෂ්පය,විකසිත වූ විට දුර ඈත සිටින පිරිස පවා පැමිණ ශ්‍රාවකභාවය ලබා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණ සුවඳ ඇතැම් විට මිනිසුන්ට නොතේරුණත් දෙවියන්, බඹුන් නිරන්තරයෙන් උන් වහන්සේට උපස්ථාන කළා. උන්වහන්සේ එසේ වැඳුම් පිදුම් ලැබුවේ අරහං සම්බුදු ගුණය නිසා. සෑමවිටම වැඳුම්පිදුම් ලැබීමට සුදුසු නිසා.

- නයනා නිල්මිණී

Wednesday, October 13, 2021

ඵස්ස චක්කය

 


ඵස්ස චක්කය -

අනියතය නියතය
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

සතිපට්ඨාන සූත්‍රය අලළා පාඩම් රාශියක් සඳහන් කළා. විශේෂයෙන් දුක්ඛ සත්‍ය පිළිබඳ ලොකු අවබෝධයක් ඇති කරගන්නට කාටත් පුළුවන්. දුක කාටත් දැනෙනවා, තේරෙනවා, අවබෝධයට පහසු යි.

මනු ලොව උපන් අයට සමහර විට දුක නොතේරෙන්න පුළුවන්. නමුත් වයසට යාම, ලෙඩ වීම, මරණයට පත් වීම, හිතට ගතට දැනෙන දුක් රාශියක්. සතර අපායේ සත්ත්වයෝ විඳින දුක සීමාවක් නැහැ. අතපය කපා දමනවා, ලෝ දිය පොවනවා, උල තියනවා, වෑයෙන් අහිනවා, ගින්නෙන් පුළුස්සනවා, මෙලෙස දිය යුතු දෙතිස් වධයම තමා කර ගනු ලබන පවට අනුකූලව විපාක ලැබෙනවා. නිරයට පමණක් අපාය එකසිය තිස්හයක් වෙයි. ප්‍රේත ලෝක, අසුර අපාය , තිරිසන් ලෝකය ආදියෙහි සිටින සත්ත්ව සංඛ්‍යාව ගණනය කරන්න බැහැ. සම්බුද්ධ ශාසනයක පමණයි දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ. අනෙක් කාලයේ දුක් ම රැස් කරයි. සසරම දික් වෙයි. තණ්හා, තරහව වැඩි වෙයි. බුදු දහමෙන් කරන්නේ දුක අවබෝධ කර ගන්නට උපදෙස් මාලාවක් ලබා දෙන එක යි. සතිපට්ඨාන සූත්‍ර පාඩම් පෙළෙහි භාවනා ක්‍රම පිළිබඳ හොඳ වැටහීමක් ලැබුණා.

මේවා කොයි කවුරුත් හොඳින් දැන , දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීමටත් , සමුදය හෙවත් තණ්හාව දුරු කරගන්නටත් , නිර්වාණය සාක්ෂාත් කරගන්නටත් කටයුතු කළ යුතු යි. නිර්වාණය අවබෝධ කරගැනීම සඳහා නිවන් මඟ ගමන් කළ යුතු යි. ඒ නිසා සම්මා දිට්ඨි ආදී මාර්ගාංග අටක් පහදා දී තිබෙන්නේ. ඒ නිවැරැදි මඟ ගමන් ගන්නා සැමටම පහසුවෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. එයටයි, ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කරන්නේ. ත්‍රිවිධ ශික්ෂාව හොඳින් දියුණු කරන්නේ. එසේම බොජ්ඣංග ධර්ම ටික සිතේ පහළ කරගත යුතු යි. ධම්මවිචය, සති, වීර්යය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා යන බොජ්ඣංග හත හොඳින් දියුණු කළ යුතු යි. එවිට යි ලොවුතුරා තත්ත්වයට පත් වන්නේ. තණ්හාව, තරහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යාව වැඩිනම් කොයිම දවසකවත් දුක අවබෝධ කරගන්න, ලොවුතුරා තත්ත්වයට පත් වන්න බැහැ.

එහෙමනම් තවත් කොටසක් වන්නේ ඵස්ස චක්ඛය යි. එනම් ස්පර්ශ හයයි. එය ද දුකක් සේ මෙනෙහි කළ යුතු යි. ඇස නිසා මේ කියනු ලබන තණ්හාව හට ගනියි. එසේම කන, නාසිකාව, දිව, කය, සිරුර , මනස ආදී වශයෙන් ස්පර්ශය ලබන ස්ථාන හයක් වෙයි. එය ද අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. එවිට දුක අවබෝධ කළ හැකි යි. චක්ඛු සම්ඵස්සය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා චක්ඛු සම්ඵස්සය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කළ යුතු යි. සෝත සම්ඵස්සය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා සෝත සම්ඵස්සය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි , ඝාන සම්ඵස්සය (නාසිකාවට ස්පර්ශයක් ලැබීම) මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ඝාන සම්ඵස්සය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ජිව්හා සම්ඵස්සය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ජිව්හා සම්ඵස්සය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. කාය සම්ඵස්සය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා කාය සම්ඵස්සය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මනෝ සම්ඵස්සය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා මනෝ සම්ඵස්සය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කළ යුතු යි.

මෙහි දී සම්ඵස්සය යනුවෙන් සඳහන් කළේ ස්පර්ශය යි. චක්ඛු ඵස්සෝ යනුවෙන් පැවසුවොත් අපහසු බැවින් චක්ඛු සම්ඵස්සෝ යනුවෙන් හඳුන්වයි. එනම් චක්ඛු ස්පර්ශය යි. ඇසෙන් රූප පෙනෙනවා. ඇස සුදුසු විය යුතු යි, එය නිරෝගීමත් විය යුතු යි, ඇස හොඳ නම්, සිත පහළ වුණානම් ඇසෙන් රූප දැක ගත හැකි යි. එවිට ඇසෙහි රූපයක් ස්පර්ශ වීමෙන් රූපයක් දැකගන්නට පුළුවන් වන්නේ. එවිට එය හොඳයි යනුවෙන් ගත්විට තණ්හාව හට ගනියි, බුදු දහමට අනුව ඇසෙන් රූපයක් දැකීමෙන් තණ්හාව පහළ නොකර ගැනීමට උපදෙස් ලැබෙයි. කනෙන් ශබ්ද අසා, නාසිකාවෙන් සුවඳ ආඝ්‍රහණය කරනවා, දිවෙන් රසවත් ආහාර ගන්නවා, කයෙන් සැපවත් ස්පර්ශ ලබනවා. සිතට හොඳ අරමුණු ගන්නවා. ඒවා ස්පර්ශ වශයෙන් ගෙන හොඳයි යනුවෙන් ගත්විට තණ්හාව හට ගනියි. පි‍්‍රය රූපයත් , සාථ රූපයත් ඒ පිළිබඳව හට ගන්නා සිතෙන් තණ්හාව උපදිනවා. තණ්හාව දිගට පවතිනවා. ඒ නිසා දුක් හට ගන්නවා. තණ්හාව නිසා දුක් හට ගනි යි.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ ස්පර්ශ හයකින් දුක් හට ගන්නා ආකාරය , ස්පර්ශ හයෙන් තණ්හාව හට ගන්නා ආකාරය , පැහැදිලි කළා. තණ්හාව හට ගැනීම යනු දුක් රැස්කර ගැනීම යි. ලෝකයේ සත්ත්වයෝ අප්‍රමාණ දුක් විඳින්නේ මේවා තේරුම් නොගැනීම නිස යි. රාහුල කුඩා ස්වාමීන්වහන්සේට, බුදුරජාණන් වහන්සේ රූපය මම නො වෙයි, මගේ ආත්මය නො වෙයි යනුවෙන් මෙනෙහි කරන්නැ’යි වදාළා. එපමණක් නොව,වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ස්ඛන්ධ හතර ද මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්නැ’යි වදාළා. එලෙස ම ඕනෑම දෙයක් නිර්වාණය හැර , මේ පද තුනට සම්බන්ධ කරලා , නුවණින් හොඳින් බලමින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙනෙහි කළ හැකි යි. බස් රියේ , දුම්රියේ යන එනකොට , නිදහස් ව සිටිනා විටක මේවා මෙනෙහි කරන්න පුළුවන්. වැඩි දෙයක් බැරිනම්, මේ ශරීරය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් හෝ මෙනෙහි කරන්න පුළුවන්නම්, බොහොම හොඳ දෙයක්. ඒ මඟින් තම සිත විශාල දියුණුවකට පත් වෙනවා. එලෙස දියුණුවන සිතක් සකසා ගත යුතු යි. වැඩිපුරම ඇත්තේ පිරිහීමට යන සිත්. දියුණුවට යන සිතක් සකසා ගත්තොත්, මෙලොවට , පරලොවට මෙන්ම සංසාරයට ම ප්‍රයෝජනවත්.

ලොවේ මහා ධනවතුන් සිටිනවා. ඒ අය ධනවතුන් වුණේ පන්සිල් සමාදන් නොවුණත්, වැරැදි පහෙන් වැළකුණු නිස යි. ඕනෑම ජාතියක, ආගමක කෙනෙක් වැරැදි පහෙන් වැළකී සිටිනවා නම්, වටිනවා. සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කාමයන්හි වැරැදි ලෙස හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ, මවට පියාට සැලකීම ආදිය මේවා බොහොම පින්. ඒවායෙන් තමන්ට සංසාර ගමන සුවපත් ව , දුකෙන් නිදහස් ව යන්න පුළුවන්කම තියෙනවා.

පෙර සඳහන් කළ කරුණු හය ද තමනුත් ඉගෙන ගෙන, අන් අයටත් කියා දෙන්න. පොතක සටහන් කර ගන්න. මේ භාවනා ක්‍රම මඟින් තම සිතට විශාල ශක්තියක් ගොඩ නංවා ගත හැකි යි. එසේ ම කායික, මානසික සුවය හොඳින් හදාගෙන ඉදිරියට යන්න. බුද්ධ ශාසනයක් ලැබුණු නිසා තමයි, ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න පුළුවන්කම ලැබී තියෙන්නේ. නැතිනම්, මේ ගැන අසන්නවත් ලොවේ නැහැ. බුදුන් වහන්සේ පමණ යි, නිර්වාණය අවබෝධ කළේ. ලෝක සත්ත්වයාට නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා ධර්මය පහදා දුන්නා. නිවන අවබෝධයට තණ්හාව නැති විය යුතු යි. දුක අවබෝධ කරගන්න පහසු යි.

බුදු පියාණන් වහන්සේ අතීත සංසාර සාගරයේ බෝධි සම්භාර පුරාගෙන එන කාලයේ අවසාන ආත්ම භාවයේ දී මහා අභිනිෂ්ක්‍රමණයට හේතු වුණේ මුලින් ම දුටුවේ මහල්ලෙක්. එනම් කුදු ගැසුණු. කෙස් පැසුණු , ඇඟ රැලි වැටුණු පුද්ගලයෙක්. එය යි අනිත්‍ය ලක්ෂණය. ඊළඟට දැක ගන්න ලැබුණේ කෙඳිරිගාන රෝගියෙක්. එය දුක්ඛ ලක්ෂණය යි. ඊළඟට මෘත ශරීරයක්. එය අනාත්ම ලක්ෂණය යි. මෙයින් කළකිරී මහා අභිනිෂ්ක්‍රමණය කර, දුක අවබෝධ කරගන්න, තණ්හාව නැති කරගන්න, ප්‍රතිපදාවට බැස කටයුතු කළේ. මේ ගැන කවුරුත් හොඳින් කියවා, හොඳින් බලාගෙන හොඳ අත්දැකීමක් ඇති කරගෙන තම ගුණ හොඳින් දියුණු තියුණුවෙන් මේ භාවනා පාඩමත් නිවැරැදිව කරගෙන තමන්ට පහසුවෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. තම චිත්ත සන්ථානවල තිබෙන නීවරණ, පවිටු සිතිවිලි , කෙලෙස් දුරු කර ගැනීමට තම තමා වග බලා ගත යුතු යි. ඉවසීම , හොඳ සිහි නුවණක්, උත්සාහය, අවංක බව , තිබුණොත් මේ ගුණ ධර්ම දියුණුවෙන් ශාසන ප්‍රතිපත්තියත් සකස් කරගෙන ඉදිරියට යන්නට අපහසුවක් නැහැ. එවිට මේ තථාගත ධර්මය අවබෝධ කරගන්න කාටත් පුළුවන්. දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා , සමුදය සත්‍ය තණ්හාව නැති කරගැනීම සඳහා මේ භාවනාව ඉවහල් වෙයි. සැමදෙනාට ම බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ සැනසුම ලැබූ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමා මහා නිවන් සම්පත් අවබෝධ කර ගැනීම සඳහා , චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මේ භාවනා පාඩමත් හේතු වාසනා වේවා!

- ජම්මික ප්‍රබෝධනී වැලිකල

අනිත්‍ය සූත්‍රය

 


 අනිත්‍ය සූත්‍රය  

12

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සඤ්ඤාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඤ්ඤාණය අනිත්‍යයි, මහණෙනි, මෙසේ දක්නාවූ බොහෝ ඇසූපිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නො ඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනුකල්හි මිදුනේය යන ඥානය ඇතිවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුත්ත කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”

Monday, October 11, 2021

සමුදය සත්‍ය - පඤ්ඤා චක්කය:


සමුදය සත්‍ය - පඤ්ඤා චක්කය:

පරලොවෙන් සසරට
අම්බලන්ගොඩ,
කහව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනා මාලාවේ ගැඹුරු ම කොටසක් ලෙස සතිපට්ඨාන සූත්‍රය හැඳින්විය හැකි යි. සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් කරුණු සියලුම ලොවුතුරා බුදුරජාණන් වහන්සේලා දේශනා කරන කරුණු රාශියක් වෙයි.

සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් ලැබෙන ප්‍රධාන අනුසස් හතක් නිබඳව ම අසනවා, කියවන්න පුළුවන්කම තියෙනවා. භික්ෂු , භික්ෂුණී , උපාසක , උපාසිකා යන කොයි කාගෙත් , දේව, බ්‍රහ්මයන්ගේත් සිත සුව පිණිස සහ තමන්ගේ සන්ථානය පිරිසුදු බවට පත් කර ගැනීමට පළමු ආනිසංසය ලෙස සඳහන් කරන්නේ. මේ භාවනා ක්‍රමය දියුණු කරද්දී කුමන විපතක දී වුවද අඬා, දොඩා, වැළපෙන බව අඩුකර ගන්න පුළුවන්. සතිපට්ඨානයෙන් තොර, ධර්මයෙන් තොර වූවන් ශෝක , පරිදේව , දුක් හමුවේ වුව ද අඬන , වැළපෙන ස්වභාවය වැඩි යි. ඒ නිසා දුක් දොම්නස් පැමිණෙන අරමුණු හමුවේ ඉවසා දරා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. එය විශේෂ ආනිසංසයක්.

කායික මානසික දුක
එපමණක් නොව, කායික දුක, මානසික දුක බොහෝ දෙනාට ඉවසා දරන්නට අපහසු යි. කායික, මානසික දුක බොහෝ සෙයින් ඉවසා දරන්නට පුළුවන්කම ඇත්තේ සතිපට්ඨාන භාවනා ක්‍රමය දියුණු කර ගැනීමෙනි. එසේ ම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ආදී නිවන් මඟට විශේෂයෙන් බැස ගන්න පුළුවන්. එසේ ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙළින් නිවන අවබෝධ කරන්න පුළුවන්. මෙම ආනිසංස වාරය බුදුරජාණන් වහන්සේ මුලත්, අගත් හොඳින් පැහැදිලි කර තිබෙනවා. එසේනම්, සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් කරුණු විශේෂත්වය අතර සමුදය කොටස් හය බැගින් දහයක් තිබෙයි. එක කොටසකට කරුණු හයක් වෙයි.ඉන් දහයක් තිබෙන අතර ප්‍රහාණය කළ යුතු කරුණු හැටක් වෙයි. අද සඳහන් කරන්නේ පඤ්ඤා චක්කය යි.

පඤ්ඤාව යනු හැඳින ගැනීම යි. යම් දෙයක් දැන හැඳින ගැනීමට කියන්නේ පඤ්ඤා චක්කය යනුවෙනි. රූප සංඥා , ශබ්ද සංඥා , ගන්ධ සංඥා, රස සංඥා, පොට්ඨබ්භ සංඥා , ධම්ම සංඥා යනුවෙන් දැන හැඳින ගැනීමේ ක්‍රම හයක් තිබෙනවා. ඇස, කන, නාසය, දිව, සිරුර, සිතට ගෝචර වූ දෙයක් වන්නේ මෙම සංඥා හය යි. මේ සංඥා හය හොඳින් ක්‍රියාත්මක වීමෙන් ඒ අරමුණු පිළිබඳව හොඳට අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා කොයි කවුරු වුණත්, භාවනාවට නැඹුරුව මේ වැදගත් කරුණු හයත්, පෙර භාවනා පාඩම සේ ම සිතෙන් මෙනෙහි කළ යුතු යි. මුලින් ම ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගත යුතු යි.

රූප සංඥා යනු රූපය දැන හැඳින ගැනීම යි. ශබ්ද සංඥා යනු ශබ්දය දැන හැඳින ගැනීම යි. සුවඳ දැන හැඳින ගැනීම ගන්ධ සංඥාව යි. දිවට දැනෙන රස දැන හැඳින ගැනීම රස සංඥාව යි. තමන්ට දැනෙන ස්පර්ශය කුමක් දැ’ යි දුක හෝ සැප හෝ තේරුම් කර ගැනීම, දැන ගැනීම පොට්ඨබ්බ සංඥාව යි. අනෙක් සියලු ම දේ දැන හැඳින ගැනීම සිදු වන්නේ මනසින්. එය ධම්ම සංඥාව යි. එසේනම්, මෙම සංඥා හය පෙර සේ ම හොඳට දැන කියාගෙන, අවබෝධයෙන් , තේරුම හොඳින් වටහාගෙන භාවනාවට නැඟිය යුතු යි.

රූප සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා රූප සංඥාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර සිතෙන් මෙනෙහි කළ යුතු යි. ශබ්ද සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ශබ්ද සංඥාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ගන්ධ සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ගන්ධ සංඥාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රස සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා රස සංඥාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ස්පර්ශ එනම් පොට්ටබ්භ සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා පොට්ඨබ්භ සංඥාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ධම්ම සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ධම්ම සංඥාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර පෙර සේ ම මෙනෙහි කළ යුතු යි. සංඥා චක්කය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා සංඥා චක්කය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් අවසානයේ සිය දහස්වර මෙනෙහි කළ යුතු යි. එය තම සිතට විශාල ශක්තියක්.භාවනාවෙන් කෙරෙන නීවරණයන්ගේ සංසිඳීම ඉතා පහසුවෙන් යට කරගන්න පුළුවන්කම තියෙනවා. එසේම තම සිත දියුණු තියුණුවෙන් පාරමී ශක්තිය දියුණුවෙන් මාර්ග ඵල අවස්ථාවට පවා සමීප වීමට පුළුවන්කම තියෙනවා. තව ද බෝධි පාක්ෂික ධර්මයන් චිත්ත වීතියක් ගානේ , භාවනාව මෙනෙහි කරන වරක් පාසා ම සිතේ දියුණු වෙනවා. පහළ වෙනවා. සතිපට්ඨාන සතර, සම්‍යයක් ප්‍රධාන සතර, ඍද්ධිපාද සතර, ඉන්ද්‍රියන් බල පහ, බොජ්ඣංග හත සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී කරුණු තිස් හත එකක් පාසා ම මෙනෙහි කිරීමේ දී සිතෙහි පහළ වෙද්දී කුසල ශක්තිය බල සම්පන්න වන අතර, කරගෙන යන භාවනා පාඩම හොඳින් කළ හැකියි.

ත්‍රිලක්ෂණය
ඒ නිසා කොයි කවුරු වුණත් භාවනා පාඩම හොඳින් තේරුම් ගෙන , ගැඹුරු බව නො සිතා තේරෙන සේ මෙනෙහි කළ යුතු යි.එකක් මෙනෙහි කළත් ප්‍රමාණවත්. හයම නැතත් රූප සංඥාව අනිත්‍ය යි යනුවෙන් සිතුවත් ප්‍රමාණවත්.

අනිත්‍ය , දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රය බුදු කෙනෙකුගෙන් අසනවා මිස වෙන කාගෙන්වත් අසන්නට බැහැ. බුදුන් වහන්සේ දේශනා කළ නිසා තමයි, භික්ෂූන් වහන්සේලා ද ඒ අනුසාරයෙන් දේශනාව පවත්වන්නේ බුදු දහමට අනුකූලව.

ඕනෑම දෙයක අවසානය වන්නේ නැති වී යාම යි. ඉපදෙනවා, පවතිනවා, විනාශ වෙනවා . මෙය යි, අනිත්‍ය ලක්ෂණයේ උගන්වන්නේ. යමක් ඇතිවී නැතිවෙලා යනවා නම්, කොයි කාටත් දුක යි. එය යි දුක්ඛ ලක්ෂණය. මගේ යනුවෙන් කුමන දෙයක්වත් තියා ගන්න බැරි නිසා අනාත්ම වශයෙන් හඳුන්වනවා. මෙය බොහොම ගැඹුරු කාරණාවක්. යම්කිසිවෙකුට මේ වදන් තුන තේරෙනවා නම්, හොඳ නුවණක් තමන්ට ඇති බව පැහැදිලි ව තේරුම් ගත යුතු යි. එයම යි, චතුරාර්ය සත්‍ය අවබෝධ සඳහා හේතු වන්නේ.

තමන්ට වාඩිවෙලා මේ භාවනාව කරන්න අපහසුනම්, රැකියාවට යන එන විට දී, කඩපිළට යන මොහොතේ දී, වාහනයක අසුන්ගෙන යන අවස්ථාවක දී මේ කරුණු ටික එකක් පාසා ම මෙනෙහි කළ යුතු යි. වැඩි යමක් අපහසුනම්, තණ්හාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළත් ඇති. එය ද සමුදය සත්‍ය ප්‍රහාණයට, දුක අවබෝධ කර ගැනීම පිණිස හේතු වෙයි.

සිහිනුවණ
මේ කරුණු හොඳින් දැන ගැනීමෙන් ඔබ අප හැම දෙනාටම මේ ධර්මය පිළිබඳ ව හොඳින් වටහා ගත හැකි යි. සතිපට්ඨාන සූත්‍ර දේශනාව යම් පිරිසකට අයත් දෙයක් නො වන අතර, එය සැමට ම අයත් දෙයක්. සති යනු සිහි කල්පනාව යි. පට්ඨාන යනු එළැඹීම යි. සිහි නුවණින් වැඩ කටයුතු කිරීම සතිපට්ඨාන නම් වෙයි.

බුදුරජාණන් වහන්සේ සෑම ඉරියව්වක් ම සිහියෙන් පවත්වන්නැ’යි මෙම දේශනාව පවත්වා තිබෙනවා. එවිට බුදුරජාණන් වහන්සේ පවත්වා වදාළ භාවනා ක්‍රමය නියමානුකූලව ගෙන යන්නට නුවණ අවශ්‍ය වන්නේ. සිහි නුවණින් යුක්තව කරගෙන යන භාවනා කටයුතු සාර්ථකව නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරගෙන යන්න පුළුවන්කම තිබෙනවා.

රාහුල ස්වාමීන් වහන්සේ භාවනා කර්මස්ථාන හතක් දියුණු කර තිබෙනවා. මෛත්‍රිය භාවනාව, කරුණා භාවනාව, මුදිතා භාවනාව, උපේක්ෂා භාවනාව , කායගතාසති භාවනාව, ආනාපාන සති භාවනාව සහ අනිත්‍ය, දුක්ඛ , අනාත්ම යන ත්‍රිලක්ෂණ භාවනාව යි. එවැනි භාවනා හතක් දියුණුවෙන් උන්වහන්සේ රහත් බව ලැබුවා. ඒ අනුව භාවනා ක්‍රම ඉගෙන මෙනෙහි කළ යුතු යි. පුරුදු පුහුණු ගතිය වැඩිකළ යුතු යි.

සතිපට්ඨාන සූත්‍රයේ භාවනා ක්‍රම විසි එක යි. එය වැඩි බව නොසිතා ම හොඳට දැන ඉගෙන ගෙන දියුණු කළ යුතු යි. එය තමන්ගේ ම වාසනාව, තමන්ගේ ම දියුණුව පිණිස පවතින්නේ. එසේනම්, තමන්ගේ භාවනා දැනුමෙන් සිදු වන්නේ සංයෝජනයන්ගේ ප්‍රහාණය වීමක්. සිතේ බල පවත්වන සංයෝජන දහයක්. මේවා තුරන් කරගන්න, පුළුවන්කම තියෙනවා. තමන්ගේ සිත්වල පහළ වන්නා වූ තමන්ගේ ශරීරයේ තිබෙන්නා වූ සැක සාංකාව දුරු කර ගන්න. මමත්වය දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. වැරැදි මත, දෘෂ්ඨි දුරු කරගන්න පුළුවන්. එසේ ම කාමරාග, ව්‍යාපාද දෙක සංසිඳුවා ගන්න පුළුවන්. රූප රාග, අරූප රාග , මාන්නය, උද්දච්ච, අවිද්‍යා, සංයෝජන පහත්, යටකරගන්න පුළුවන්.

තමන්ට ශක්තියක්
එවිට මේ සංයෝජනයන්ගේ ප්‍රහාණය වීම භාවනාවෙන් සිදු කරගන්නේ. එසේම අනුසය හතක් ද තිබෙයි. එනම්, සැඟවී ඇති පව් හතක් තිබෙනවා. මේ පව් ගැළවී, ඉවත් වී සේදී යන්නේ භාවනා ක්‍රමයෙන් පමණ යි. ඒ නිසා කවුරුත් භාවනාවට මුල් තැන දී දවසට විනාඩි පහ දහයක් වුවත් , ඒ භාවනා ක්‍රමය දියුණු කරගත්තොත්, තමන්ට විශාල ශක්තියක් ගොඩ නංවා ගන්න පුළුවන්. සංසාරයේ කොතැනකවත් සැප යැ’යි බුදුරජාණන් වහන්සේ දේශනා කර නැහැ. මනු ලොව, දෙව් ලොව, බඹ ලොව සැවොම මිය යනවා. සතර අපායේ නම් සෑම තැනම ඇත්තේ දුක ම යි. මේ ගැන හොඳින් වටහාගෙන කොයි කවුරුත් බණ, භාවනා ක්‍රම වැඩි කරගත යුතු යි. සීල ආදී ප්‍රතිපත්ති ටික වැඩි කරගත යුතු යි. විශේෂයෙන් ඉවසීම , කරුණාව, මෛත්‍රිය , දයාව , අනුකම්පාව , අවංකකම, නිහතමානී බව , නුවණ , උත්සාහය ආදී කරුණු ටික අනිවාර්යෙන් ම කවුරුත් දියුණු කරගත යුතු යි. එවිට තමන්ට විශාල ශක්තියක් බලයක් ගොඩනංවා ගන්නට පුළුවන්. බුදු දහමෙන් ලබාගත යුතු ඒ සියලුම කරුණු ටික ලබා ගැනීම තම තමා සතු පරම යුතුකමක්. මේවා වැඩිදියුණු කරගැනීම තමන් සතු යුතුකමක්. ඒ ධර්මය කෙතරම් දියුණු කළත්, අපතේ නො යයි. මෙලොවෙන් පරලොවට, පරලොවෙන් සංසාරයට යයි. සංසාර ගමන කෙටි කරනවා, ආර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් කරනවා. ඒ තරම්ම වටිනා දහමක් තිබෙන්නේ. ඒවා පුළුවන්තරම් දියුණු තියුණුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කරගන්නට පඤ්ඤා චක්ක භාවනාවත් හේතු වාසනා වේවා!

- ජම්මික ප්‍රබෝධනී වැලිකල