තිදොර සංවරයගෙනෙන යහපත
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
" සියල්ල අත්හැරීම පිළිබඳව එනම් නිස්සරණය, පටිනිස්සරණය, නිරෝධය, අනිමිත්ත පිළිබඳව දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කිසිවිටෙකවත් තණ්හා, මද, මාන දෘෂ්ඨීන්ගෙන් යුක්තව උපාධානය කර ගැනීම්වලට අවස්ථාවක් නැත."
මෙම ලිපි පෙළෙන් කතා කළ අවකුජ්ජ පඤ්ඤා නම් වූ පුද්ගලයා ධර්මය ශ්‍රවණය කරන විට ඒ දේශනා කළ පිරිසුදු ධර්මය ඔස්සේ තමා තුළ රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් කටයුතු කිරීමට තරම් හැකියාවක් ඇති පුද්ගලයෙක් නොවේ.
එයට හේතුව පෙර සඳහන් කළා සේ ශ්‍රද්ධාවේ පවතින අඩුවයි. ධර්ම මාර්ගය පිළිබඳ නිසි අරමුණක් නොතිබීමයි. එවැනි පුද්ගලයෙක් මොනතරම් චාරිත්‍රානුකූලව ධර්මය ශ්‍රවණය කළත්, පින්කම් කටයුතුවල යෙදී සිටියත්, ඔහුගේ හෝ ඇයගේ සිත පවතින්නේ තවත් චාරිත්‍රයක්, යුතුකමක් ඉටු කිරීමක් පමණක් ය යන හැඟීමයි. ඒ නිසා වැඩිය හැකිවන්නේ සක්ඛාය දිට්ඨියයි. එය තවදුරටත් සඳහන් කරන්නේ නම් කීර්තිය, ප්‍රශංසාව, මානය හෝ තවදුරටත් ලෝභාදී සිතිවිලි දියුණුවිය හැකි ය. නිදසුනක් ලෙස දැක්වූවහොත් අසවල් තැන පින්කමට අසවල් ප්‍රමාණයක් පැමිණි බවත්, අසවල් දේ තිබුණු බවත් ය. මා සිදු කරන පින්කමට ඊට වඩා වැඩි පිරිසක් හා වැඩි වස්තූන් ද එකතු කරගෙන කාටත් පෙනෙන්නට මා මේ දේ සිදු කරමියි යන අදහසක් පැවතුණොත් අවකුජ්ජ පඤ්ඤා පුද්ගලයකුගේ ස්වභාවය මතුපිටින් පෙනීමක් හැටියට දැක්විය හැකියි. මෙවැනි නිදසුන් ඕනෑ තරම් පෙන්වා දිය හැකි සේ ම ධර්ම ගෞරවයක් ඇතිකරගෙන ඔබටත් ඔබේ ම සිත තුළින් විමසා බැලිය හැකියි. එවැනි පුද්ගලයෙක් සාමාන්‍ය ජන ජීවිතය තුළ ජීවත් වන්නේ පිරිසුදු ධර්මයේ පවත්නා කිසිදු දහම් කරුණකින් තොරව ය. සාමාන්‍ය අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයෙක් කටයුතු කරන ආකාරයෙන් පුරුදු පරිදි ම පස් පව් දස අකුසල්වලින් යුක්තවමයි. හේ ක්‍රියා කරන්නේ ලෝභ, ද්වේෂ, මෝහ වැඩෙන ආකාරයෙනුයි.
මෙවැනි කරුණු සියුම් ලෙස විග්රහ කරගත හැකියි. යම් විටක පූජනීය ස්ථානයක හෝ ඇලීම්, බැඳීම්, ගැටීම් සකස්වෙන ආකාරයෙන් සිදුවීම් ඇතිවීම ධර්මයේ පවසන ධර්ම ශ්‍රවණය නියම ආකාරයෙන් සිදු වන්නේ නම්, එසේ නොවිය හැකියි. සියල්ල අත්හැරීම පිළිබඳව එනම් නිස්සරණය, පටිනිස්සරණය, නිරෝධය, අනිමිත්ත පිළිබඳව දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කිසිවිටෙකවත් තණ්හා, මද, මාන දෘෂ්ඨීන්ගෙන් යුක්තව උපාධානය කර ගැනීම්වලට අවස්ථාවක් නැත.
පෘථග්ජන ලෝකයේ ජීවත්වන වා යැයි පවසමින් ධර්ම මාර්ගයේ ඵල ලබාගැනීම අඩුකර ගැනීමට හේතු හදා ගන්නවාට වඩා, පෘථග්ජන පුද්ගලයන් ලෙස වුව, ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් වීමේ අධිෂ්ඨානය සිත්හි දරාගෙන, අනු පිළිවෙලින් ධර්ම මාර්ගය තුළ නිස්සරණය පුරුදු කිරීමක් හා අත්හැරීම නම් වූ සිතෙහි ඇතිකරගත්තා වූ අවබෝධය දියුණු කර ගැනීම ම සිදු කරගත යුතු බව සියලු දෙනා විසින්, තේරුම්ගත යුතු ම නොවේ ද? ධර්ම ශ්‍රවණයේ දී ත්, සාකච්ඡාවේදී ත් පොතපත කියවීමේ දී ත්, රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් එය නොකළ තැනැත්තා සාමාන්‍ය ජීවිතයේ දී ද කටයුතු කරන්නේ ඒ ආකාරයෙන්මයි.
දෙවැනි පුද්ගලයා පිළිබඳව අපි විමසා බලමු. එනම් උච්ඡංග පඤ්ඤා නම් පුද්ගලයායි. මේ පුද්ගලයා පළමුවැනි පුද්ගලයාට වඩා තරමක් යහපත් බව පැවසිය හැකියි. මුල, මැද, අග ඉතාම පිරිසුදුව එනම් රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් භික්ෂූන් වහන්සේ නමක් ධර්මය දේශනා කරනවා. එනම් පරමාර්ථ ධර්මය ම සියලු සංඛත සංඛාර වස්තු අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛන ධර්මයට යටත් කොට සිද්ධ කරනවා. එය ශ්‍රවණය කරන ශ්රාවකයා ඒ පිරිසුදු ධර්මය අසාගෙන සිටිමින්, රාග, ද්වේෂ, මෝහ සංසිඳවා ගන්නවා. එය අසාගෙන සිටින විට මේ පවසන ධර්මය මගේ ම හිත ගැනයි. මගේ ම ජීවිතය ගැනයි. මට ම දේශනා කළ දහම් පෙළක් සේ මට වැටහේ යැයි තේරුම් ගන්නවා. ඒ වගේ ම ඔහු හෝ ඇය විසින් ඒ ධර්මය මනා ලෙස තමාට ගළපාගෙන, තමාගේ සිත තුළ යම් වූ ද ලෝභ, ද්වේෂ, මෝහ වශයෙන් පැන නැගෙන කෙලෙස් සංසිඳුවා ගැනීමට තරම් දක්ෂ කෙනෙක් බවට පත්වෙනවා. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් කළ ‘සක්කෝ’ යන වචනයට ගැලපෙන ආකාරයෙන් ධර්ම මාර්ගය තුළ නිවන් මාර්ගය තුළ දක්ෂ කෙනෙක් බවට පත්වෙනවා.
ඔහුගේ සිතේ මෙතෙක් කල් පැවතුණ යම් වූ ද කෙලෙස් හෙවත් දැඩි වූ ලෝභ සිතිවිලි, ද්වේෂ සිතිවිලි, මෝහ සිතිවිලි ආදී වශයෙන් පැවතුනේ නම්, ඒවායෙහි නිරර්ථක බව, හිස් බව, බොල් බව නුවණින් දැක පටිච්චසමුප්පන්න ධර්මයට යටත්කොට දකිමින් ඒවා තමාගේ සිතින් බැහැර කර ගන්නවා. තමාගේ සිත සංසිඳවාගෙන සමාධිගත සිතක් බවට පත් කරගෙන ධර්මය ශ්‍රවණය කරනවා. තමාගේ සිත කුසලාරම්මණයන් කෙරෙහි එකඟ වූ සිතක් හැටියට පවත්වා ගන්නවා. ඒ උතුම් දහම ශ්‍රවණය කරමින් සිටින විට තමා තුළ ඇලීම්, බැඳීම්, ගැටීම්, මුලාව ඒ ඒ ආරම්මණයන් කෙරෙන් දකිමින් සංසිඳවා ගන්නා සේ ම බාහිර ආරම්මණයන් කෙරෙහිත් සංසිඳවා ගන්නට මේ ශ්රාවකයා හෝ ශ්‍රාවිකාව සමත් වෙනවා. නිදසුනක් ලෙස දැක්වූවොත් ‘මම මගේ යැයි පවසමින් දැඩිව සිතින් ඇලී බැඳී සිටිනා පණ ඇති හෝ පණ නැති යම් වස්තූන් පිළිබඳව මේ මොහොතෙහි නුවණින් සිහිපත් කර ගන්නවා.
එනම් පඨවි ආදී හේතුප්‍රත්‍යයන්ගෙන් හට ගත් ‘මම, මගේ යැයි පවසන ශාරීරික පුංජය නිරන්තරයෙන් විසිරී යනවා නම්, සැබෑ අයිතියක්, පාලනයක් මා කෙරෙහි පවතින්නේ නැති නම් ‘මම මගේ කියා පවසමින් සිතින් බැඳ පවත්වාගෙන සිටින මවුපියෝ, දරුවෝ, ස්වාමියා, බිරිඳ, ධන ධාන්‍යය, ගේදොර වස්තූන් පමණක් නොව තනතුරු, කීර්ති, ප්‍රශංසා, ලාභ සත්කාර මේ සියල්ලක් පවා ස්ථිර නොවන බව ය. හේතූන්ගෙන් සකස් වූ බවත්, හේතූන්ගෙන් විසිර යෑමෙන් වහා වෙනස්වන බවත්, නැතිව යන බවත් නාම රූප ධර්ම පමණක් බවත්, ධර්මය තුළින් ම හඳුනා ගන්නවා. ඒවා තම සිතින් පරමාර්ථ ධර්ම වශයෙන් හඳුනාගන්නා විට කාලයක් පුරා සිතේ ඇලී තිබුණ ඇලීම්, බැඳීම් තමා කෙරෙන් වගේ ම බාහිර ආරම්මණයන් කෙරෙනුත්, සංසිඳී යන බව තමාට වැටහෙනවා. දැනෙන්නට පටන් ගන්නවා. එය ඉතා ම හොඳ අවස්ථාවකි.
නමුත් මේ උච්ඡංග පඤ්ඤා නම් වූ පුද්ගලයාගෙන් ඊළඟට සිදුවන වරදක් තිබේ. එනම් යමෙක් ‘ඔඩොක්කුවේ තබාගෙන තිබෙන යමක් මැනවින් අල්ලා ගන්නේ නැතිව, නැගිටින විට ඔඩොක්කුවේ තබා තිබූ දේ බිමට වැටෙනවා සේ’ මේ පුද්ගලයා දහම් ශ්‍රවණය කරමින් සිටින විට තමා තුළින් හා බාහිර වශයෙන් සංසිඳුවා ගත් ලෝභ, ද්වේෂ, මෝහ කෙලෙසුන් එතැනින් ම අවසන් කොට නැවත නැගිට යන්නේත්, එදිනෙදා ජීවිතය සාමාන්‍ය වශයෙන් පවතින්නේත්, අර සංසිඳුණු ලෝභ, ද්වේෂ, මෝහ නැවතත් පිහිටුවා ගෙනයි, මතුකොටගෙනයි.
මෙහි දී සාමාන්‍ය ජන සමාජය පෙන්වා දෙන නිදසුනක් අපට ධර්මය තේරුම් කර ගැනීමට හැකියි. ඔබ පින්කම් කරන කෙනෙක් නේද? ඔබ ධර්මය ශ්‍රවණය කරන කෙනෙක් නේද? ඔබ ධර්මය තුළ හැසිරෙන කෙනෙක් නේද? එහෙත් ප්‍රශ්නයකට මුහුණ දෙන විට ඔබ සිතන ආකාරය, කතා කරන ආකාරය, හැසිරෙන ආකාරය හාත්පසින් ම වෙනස්. ධර්මය අසන විට, කියන විට, කතා කරන විට, ලෝභ, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් අසන ඔබ, කතා කරන ඔබ, අන් අයටත් පෙන්වා දුන් ඔබ දැන් ක්‍රියා කරන්නේ දැඩි ආශාවෙන්, තරහින්, වෛරයෙන්, මුලාවෙන් නොවේ ද? කියා ඔබට නොවැටහෙයි ද? කියන දේ අනුගමනය නොකරන, අනුගමනය කරන දේ නො කියන පුද්ගලයෙක් හැටියට ඔබ කටයුතු කරන බව පැහැදිලියි. තවදුරටත් සඳහන් කළොත් එකක් කියන, තව එකක් කරන, මතුපිටින් පෙනෙන දෙයට වඩා අභ්‍යන්තර චරිතයකින් යුතු දෙපැත්තක් ඇති චරිතයක් යන අදහසයි.
මේ දහම් කරුණු පිළිබඳව හෝ විග්රහයන් පිළිබඳව ඉතා ම කරුණාවෙන් සිහිපත් කරන්න. වර්තමානයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බෝධිසත්වයන් ලෙස ධර්ම මාර්ගය තුළ ජීවිත පවත්වද්දී එහෙත් ප්‍රමාණයෙන් වැඩි වීගෙන යන පිරිසක් හැටියට අප මේ විස්තර කරන පිරිස දැකිය හැකියි. එනම් ධර්මය ශ්‍රවණය කරන විට, පින්කම් කරන විට, ආගමික කටයුතුවල නිරතව සිටින විට මනා වූ වස්ත්‍ර හැඳ පැළද නිවුණු සංසිඳුණු චරිත හැටියට පෙන්වූවත් සාමාන්‍ය ජීවිතයේ හැසිරෙන විට අටලෝ දහමට මුහුණපාන විට ධර්ම මාර්ගයට කෙසේවත් මුහුනොවුණු පුද්ගලයන් ලෙස හැසිරෙන ආකාරයත් දැකගත හැකියි. ඔවුන් සිතන හා කතා කරන තද වචන යම් විටෙක පරුෂ වචන පවා ඔවුන්ගේ ක්‍රියා හොඳින් හෝ නරකින් හෝ මම මේවා අල්ලා ගනිමියි යන අදහසක් වැනි ලෙස පවසන, කරන දේ දකින විට ධර්ම ශ්‍රවණයේ ඇති කරගත් සංයමය ආශ්‍රවයන්ගේ තාවකාලික හෝ පාලනය මෙහි දී නැතිව ගොස් ඇති බව පැහැදිලියි.
- දීපා පෙරේරා