Thursday, August 26, 2021
කළ හොඳ දේ සතුට ගෙන දේ
ධම්මානුපස්සනාව - බොජ්ඣංග
නඛ සිඛ සූත්‍රය
නඛ සිඛ සූත්‍රය
224
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ නියපිට පස් ස්වල්පයක් තබාගෙන භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, ඒ කුමැයි සිතන්නහුද? මා විසින් යම් මේ නියපිට තබනලද පස් ස්වල්පයද, මේ මහපොළොවද යන දෙකින් කුමක් වනාහි වඩා ලොකු වෙයිද?” “ස්වාමීනි, යම් මේ මහපොළොවක්වේද, එයම වඩා ලොකුවෙයි. භාග්‍යවතුන්වහන්සේ විසින් නියපිටට ගන්නාලද මේ පස් ස්වල්පය ඉතා සුළුය. භාග්‍යවතුන්වහන්සේ විසින් නියපිටට ගන්නාලද පස් ස්වල්පය මහපොළොව හා සසඳා බලන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි (මිනිසත් බැවින් චුතව) මිනිසුන් කෙරෙහි නැවත උපදින යම් සත්වයෝ වෙත්ද, ඔවුහු ස්වල්ප වෙත්. එහෙත් මිනිස් ලොවින් අන්‍යවූ සතර අපායයෙහි නැවත උපදින යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම ඉතා අධික වෙති. මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි (කෙසේද?) ‘අප්‍රමාදව වාසය කරමු’ කියායි. මහණෙනිත තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(දෙවෙනි නඛ සිඛ සූත්‍රය නිමි.)
Wednesday, August 25, 2021
තිදොර සංවරයගෙනෙන යහපත
තිදොර සංවරයගෙනෙන යහපත
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
" සියල්ල අත්හැරීම පිළිබඳව එනම් නිස්සරණය, පටිනිස්සරණය, නිරෝධය, අනිමිත්ත පිළිබඳව දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කිසිවිටෙකවත් තණ්හා, මද, මාන දෘෂ්ඨීන්ගෙන් යුක්තව උපාධානය කර ගැනීම්වලට අවස්ථාවක් නැත."
මෙම ලිපි පෙළෙන් කතා කළ අවකුජ්ජ පඤ්ඤා නම් වූ පුද්ගලයා ධර්මය ශ්‍රවණය කරන විට ඒ දේශනා කළ පිරිසුදු ධර්මය ඔස්සේ තමා තුළ රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් කටයුතු කිරීමට තරම් හැකියාවක් ඇති පුද්ගලයෙක් නොවේ.
එයට හේතුව පෙර සඳහන් කළා සේ ශ්‍රද්ධාවේ පවතින අඩුවයි. ධර්ම මාර්ගය පිළිබඳ නිසි අරමුණක් නොතිබීමයි. එවැනි පුද්ගලයෙක් මොනතරම් චාරිත්‍රානුකූලව ධර්මය ශ්‍රවණය කළත්, පින්කම් කටයුතුවල යෙදී සිටියත්, ඔහුගේ හෝ ඇයගේ සිත පවතින්නේ තවත් චාරිත්‍රයක්, යුතුකමක් ඉටු කිරීමක් පමණක් ය යන හැඟීමයි. ඒ නිසා වැඩිය හැකිවන්නේ සක්ඛාය දිට්ඨියයි. එය තවදුරටත් සඳහන් කරන්නේ නම් කීර්තිය, ප්‍රශංසාව, මානය හෝ තවදුරටත් ලෝභාදී සිතිවිලි දියුණුවිය හැකි ය. නිදසුනක් ලෙස දැක්වූවහොත් අසවල් තැන පින්කමට අසවල් ප්‍රමාණයක් පැමිණි බවත්, අසවල් දේ තිබුණු බවත් ය. මා සිදු කරන පින්කමට ඊට වඩා වැඩි පිරිසක් හා වැඩි වස්තූන් ද එකතු කරගෙන කාටත් පෙනෙන්නට මා මේ දේ සිදු කරමියි යන අදහසක් පැවතුණොත් අවකුජ්ජ පඤ්ඤා පුද්ගලයකුගේ ස්වභාවය මතුපිටින් පෙනීමක් හැටියට දැක්විය හැකියි. මෙවැනි නිදසුන් ඕනෑ තරම් පෙන්වා දිය හැකි සේ ම ධර්ම ගෞරවයක් ඇතිකරගෙන ඔබටත් ඔබේ ම සිත තුළින් විමසා බැලිය හැකියි. එවැනි පුද්ගලයෙක් සාමාන්‍ය ජන ජීවිතය තුළ ජීවත් වන්නේ පිරිසුදු ධර්මයේ පවත්නා කිසිදු දහම් කරුණකින් තොරව ය. සාමාන්‍ය අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයෙක් කටයුතු කරන ආකාරයෙන් පුරුදු පරිදි ම පස් පව් දස අකුසල්වලින් යුක්තවමයි. හේ ක්‍රියා කරන්නේ ලෝභ, ද්වේෂ, මෝහ වැඩෙන ආකාරයෙනුයි.
මෙවැනි කරුණු සියුම් ලෙස විග්‍රහ කරගත හැකියි. යම් විටක පූජනීය ස්ථානයක හෝ ඇලීම්, බැඳීම්, ගැටීම් සකස්වෙන ආකාරයෙන් සිදුවීම් ඇතිවීම ධර්මයේ පවසන ධර්ම ශ්‍රවණය නියම ආකාරයෙන් සිදු වන්නේ නම්, එසේ නොවිය හැකියි. සියල්ල අත්හැරීම පිළිබඳව එනම් නිස්සරණය, පටිනිස්සරණය, නිරෝධය, අනිමිත්ත පිළිබඳව දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කිසිවිටෙකවත් තණ්හා, මද, මාන දෘෂ්ඨීන්ගෙන් යුක්තව උපාධානය කර ගැනීම්වලට අවස්ථාවක් නැත.
පෘථග්ජන ලෝකයේ ජීවත්වන වා යැයි පවසමින් ධර්ම මාර්ගයේ ඵල ලබාගැනීම අඩුකර ගැනීමට හේතු හදා ගන්නවාට වඩා, පෘථග්ජන පුද්ගලයන් ලෙස වුව, ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් වීමේ අධිෂ්ඨානය සිත්හි දරාගෙන, අනු පිළිවෙලින් ධර්ම මාර්ගය තුළ නිස්සරණය පුරුදු කිරීමක් හා අත්හැරීම නම් වූ සිතෙහි ඇතිකරගත්තා වූ අවබෝධය දියුණු කර ගැනීම ම සිදු කරගත යුතු බව සියලු දෙනා විසින්, තේරුම්ගත යුතු ම නොවේ ද? ධර්ම ශ්‍රවණයේ දී ත්, සාකච්ඡාවේදී ත් පොතපත කියවීමේ දී ත්, රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් එය නොකළ තැනැත්තා සාමාන්‍ය ජීවිතයේ දී ද කටයුතු කරන්නේ ඒ ආකාරයෙන්මයි.
දෙවැනි පුද්ගලයා පිළිබඳව අපි විමසා බලමු. එනම් උච්ඡංග පඤ්ඤා නම් පුද්ගලයායි. මේ පුද්ගලයා පළමුවැනි පුද්ගලයාට වඩා තරමක් යහපත් බව පැවසිය හැකියි. මුල, මැද, අග ඉතාම පිරිසුදුව එනම් රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් භික්ෂූන් වහන්සේ නමක් ධර්මය දේශනා කරනවා. එනම් පරමාර්ථ ධර්මය ම සියලු සංඛත සංඛාර වස්තු අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛන ධර්මයට යටත් කොට සිද්ධ කරනවා. එය ශ්‍රවණය කරන ශ්‍රාවකයා ඒ පිරිසුදු ධර්මය අසාගෙන සිටිමින්, රාග, ද්වේෂ, මෝහ සංසිඳවා ගන්නවා. එය අසාගෙන සිටින විට මේ පවසන ධර්මය මගේ ම හිත ගැනයි. මගේ ම ජීවිතය ගැනයි. මට ම දේශනා කළ දහම් පෙළක් සේ මට වැටහේ යැයි තේරුම් ගන්නවා. ඒ වගේ ම ඔහු හෝ ඇය විසින් ඒ ධර්මය මනා ලෙස තමාට ගළපාගෙන, තමාගේ සිත තුළ යම් වූ ද ලෝභ, ද්වේෂ, මෝහ වශයෙන් පැන නැගෙන කෙලෙස් සංසිඳුවා ගැනීමට තරම් දක්ෂ කෙනෙක් බවට පත්වෙනවා. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් කළ ‘සක්කෝ’ යන වචනයට ගැලපෙන ආකාරයෙන් ධර්ම මාර්ගය තුළ නිවන් මාර්ගය තුළ දක්ෂ කෙනෙක් බවට පත්වෙනවා.
ඔහුගේ සිතේ මෙතෙක් කල් පැවතුණ යම් වූ ද කෙලෙස් හෙවත් දැඩි වූ ලෝභ සිතිවිලි, ද්වේෂ සිතිවිලි, මෝහ සිතිවිලි ආදී වශයෙන් පැවතුනේ නම්, ඒවායෙහි නිරර්ථක බව, හිස් බව, බොල් බව නුවණින් දැක පටිච්චසමුප්පන්න ධර්මයට යටත්කොට දකිමින් ඒවා තමාගේ සිතින් බැහැර කර ගන්නවා. තමාගේ සිත සංසිඳවාගෙන සමාධිගත සිතක් බවට පත් කරගෙන ධර්මය ශ්‍රවණය කරනවා. තමාගේ සිත කුසලාරම්මණයන් කෙරෙහි එකඟ වූ සිතක් හැටියට පවත්වා ගන්නවා. ඒ උතුම් දහම ශ්‍රවණය කරමින් සිටින විට තමා තුළ ඇලීම්, බැඳීම්, ගැටීම්, මුලාව ඒ ඒ ආරම්මණයන් කෙරෙන් දකිමින් සංසිඳවා ගන්නා සේ ම බාහිර ආරම්මණයන් කෙරෙහිත් සංසිඳවා ගන්නට මේ ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව සමත් වෙනවා. නිදසුනක් ලෙස දැක්වූවොත් ‘මම මගේ යැයි පවසමින් දැඩිව සිතින් ඇලී බැඳී සිටිනා පණ ඇති හෝ පණ නැති යම් වස්තූන් පිළිබඳව මේ මොහොතෙහි නුවණින් සිහිපත් කර ගන්නවා.
එනම් පඨවි ආදී හේතුප්‍රත්‍යයන්ගෙන් හට ගත් ‘මම, මගේ යැයි පවසන ශාරීරික පුංජය නිරන්තරයෙන් විසිරී යනවා නම්, සැබෑ අයිතියක්, පාලනයක් මා කෙරෙහි පවතින්නේ නැති නම් ‘මම මගේ කියා පවසමින් සිතින් බැඳ පවත්වාගෙන සිටින මවුපියෝ, දරුවෝ, ස්වාමියා, බිරිඳ, ධන ධාන්‍යය, ගේදොර වස්තූන් පමණක් නොව තනතුරු, කීර්ති, ප්‍රශංසා, ලාභ සත්කාර මේ සියල්ලක් පවා ස්ථිර නොවන බව ය. හේතූන්ගෙන් සකස් වූ බවත්, හේතූන්ගෙන් විසිර යෑමෙන් වහා වෙනස්වන බවත්, නැතිව යන බවත් නාම රූප ධර්ම පමණක් බවත්, ධර්මය තුළින් ම හඳුනා ගන්නවා. ඒවා තම සිතින් පරමාර්ථ ධර්ම වශයෙන් හඳුනාගන්නා විට කාලයක් පුරා සිතේ ඇලී තිබුණ ඇලීම්, බැඳීම් තමා කෙරෙන් වගේ ම බාහිර ආරම්මණයන් කෙරෙනුත්, සංසිඳී යන බව තමාට වැටහෙනවා. දැනෙන්නට පටන් ගන්නවා. එය ඉතා ම හොඳ අවස්ථාවකි.
නමුත් මේ උච්ඡංග පඤ්ඤා නම් වූ පුද්ගලයාගෙන් ඊළඟට සිදුවන වරදක් තිබේ. එනම් යමෙක් ‘ඔඩොක්කුවේ තබාගෙන තිබෙන යමක් මැනවින් අල්ලා ගන්නේ නැතිව, නැගිටින විට ඔඩොක්කුවේ තබා තිබූ දේ බිමට වැටෙනවා සේ’ මේ පුද්ගලයා දහම් ශ්‍රවණය කරමින් සිටින විට තමා තුළින් හා බාහිර වශයෙන් සංසිඳුවා ගත් ලෝභ, ද්වේෂ, මෝහ කෙලෙසුන් එතැනින් ම අවසන් කොට නැවත නැගිට යන්නේත්, එදිනෙදා ජීවිතය සාමාන්‍ය වශයෙන් පවතින්නේත්, අර සංසිඳුණු ලෝභ, ද්වේෂ, මෝහ නැවතත් පිහිටුවා ගෙනයි, මතුකොටගෙනයි.
මෙහි දී සාමාන්‍ය ජන සමාජය පෙන්වා දෙන නිදසුනක් අපට ධර්මය තේරුම් කර ගැනීමට හැකියි. ඔබ පින්කම් කරන කෙනෙක් නේද? ඔබ ධර්මය ශ්‍රවණය කරන කෙනෙක් නේද? ඔබ ධර්මය තුළ හැසිරෙන කෙනෙක් නේද? එහෙත් ප්‍රශ්නයකට මුහුණ දෙන විට ඔබ සිතන ආකාරය, කතා කරන ආකාරය, හැසිරෙන ආකාරය හාත්පසින් ම වෙනස්. ධර්මය අසන විට, කියන විට, කතා කරන විට, ලෝභ, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් අසන ඔබ, කතා කරන ඔබ, අන් අයටත් පෙන්වා දුන් ඔබ දැන් ක්‍රියා කරන්නේ දැඩි ආශාවෙන්, තරහින්, වෛරයෙන්, මුලාවෙන් නොවේ ද? කියා ඔබට නොවැටහෙයි ද? කියන දේ අනුගමනය නොකරන, අනුගමනය කරන දේ නො කියන පුද්ගලයෙක් හැටියට ඔබ කටයුතු කරන බව පැහැදිලියි. තවදුරටත් සඳහන් කළොත් එකක් කියන, තව එකක් කරන, මතුපිටින් පෙනෙන දෙයට වඩා අභ්‍යන්තර චරිතයකින් යුතු දෙපැත්තක් ඇති චරිතයක් යන අදහසයි.
මේ දහම් කරුණු පිළිබඳව හෝ විග්‍රහයන් පිළිබඳව ඉතා ම කරුණාවෙන් සිහිපත් කරන්න. වර්තමානයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බෝධිසත්වයන් ලෙස ධර්ම මාර්ගය තුළ ජීවිත පවත්වද්දී එහෙත් ප්‍රමාණයෙන් වැඩි වීගෙන යන පිරිසක් හැටියට අප මේ විස්තර කරන පිරිස දැකිය හැකියි. එනම් ධර්මය ශ්‍රවණය කරන විට, පින්කම් කරන විට, ආගමික කටයුතුවල නිරතව සිටින විට මනා වූ වස්ත්‍ර හැඳ පැළද නිවුණු සංසිඳුණු චරිත හැටියට පෙන්වූවත් සාමාන්‍ය ජීවිතයේ හැසිරෙන විට අටලෝ දහමට මුහුණපාන විට ධර්ම මාර්ගයට කෙසේවත් මුහුනොවුණු පුද්ගලයන් ලෙස හැසිරෙන ආකාරයත් දැකගත හැකියි. ඔවුන් සිතන හා කතා කරන තද වචන යම් විටෙක පරුෂ වචන පවා ඔවුන්ගේ ක්‍රියා හොඳින් හෝ නරකින් හෝ මම මේවා අල්ලා ගනිමියි යන අදහසක් වැනි ලෙස පවසන, කරන දේ දකින විට ධර්ම ශ්‍රවණයේ ඇති කරගත් සංයමය ආශ්‍රවයන්ගේ තාවකාලික හෝ පාලනය මෙහි දී නැතිව ගොස් ඇති බව පැහැදිලියි.
- දීපා පෙරේරා
ධම්මානුපස්සනාව - බොජ්ඣංග
කූට සූත්‍රය
කූට සූත්‍රය
223
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ වනාහි කූටාගාරයක (කුළුගෙයක) යම්කිසි ගොනැසි (පරාල) වෙත්ද, ඒ සියල්ල මුදුනට ගමන් කළාහු, මුදුන හා එක්වූවාහු වෙත්ද, මුදුන බිඳීයාමෙන් ඒ සියල්ල විනාශයට යෙත්ද, මහණෙනි, එසේම වනාහි යම්කිසි අකුශල මූලයෝ වෙත්ද, ඒ සියල්ලම අවිද්‍යාවට ගමන් කරන්නාහු, අවිද්‍යාවට එක්වන්නාහු, අවිද්‍යාවට සම්බන්ධ වන්නාහු වෙත්. අවිද්‍යාව නැසීම හේතුකොටගෙන ඒ සියල්ලද විනාශයට යෙත්. මහණෙනි, එහෙයින් මෙහිදී තොප විසින් මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අප්‍රමාදව වාසය කරමු’ කියායි. මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(පළමුවෙනි කූට සූත්‍රය නිමි.)
චිත්තය
චිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ අනේක ප්‍රකාරාර්ථයන් පිළිබඳ වූ දැනීම ය, “චේත, මන, විඤ්ඤාණ, හදය, මානස,” යන මේවා ද චිත්තය ම දක්වන පාළි වචනයෝ ය. ඇසය, කනය, නාසයය, දිවය, කයය, හෘදයය යන මේ ස්ථානයන්හි සිත පහළ වේ. එය ක්‍රියාවක් වුවද ව්‍යවහාර පහසුව පිණිස දැනීම කරන කර්තෘ ශක්තිය ඇති ද්‍රව්‍යයක් සේ ද කරණ ශක්තිය ඇති ද්‍රව්‍යයක් සේ ද ව්‍යවාහර කරනු ලැබේ. දැකීමය, පෙනීමය, ඇසීමය යනාදි වශයෙන් ඒ ඒ ආකාරයෙන් උපදනා සිත් හැඳින්වීමට පාවිච්චි කරන වචන ව්‍යවහාර භාෂාවේ බොහෝ ගණනකි. ඇසෙහි රූපයක් ගැටුණු කල්හි එය පිළිබඳ දැනුමක් හෙවත් සිතක් පහළ වේ. එය ප්‍රකාශ කිරීමේ දී දැනීමය යන වචනය ව්‍යවහාර නො කොට පෙනීමය දැකීමය යන වචන ව්‍යවහාර කරති. ඇසට හමුවීමෙන් යමක් දත් කල්හි පෙනුණේය කියා හෝ දුටුයේය කියා හෝ කියති. වචනය අනෙකක් වුවද එයින් හඟවන්නේ දැනීම මය, හෙවත් සිත ම ය. කනෙහි ශබ්දයක් ගැටුණු කල්හි, ඒ හඬ දැන ගන්නා සිතක් උපදී. එයට හඬ දැනුම ය යි නො කියා ඇසීමය යි කියනු ලැබේ. ඇසීම යන වචනයෙන් දැක්වෙන්නේ හඬ දන්නා වූ සිතය. නාසයට දුඟඳක් පිවිසි කල්හි සමහර විට ගඳක් දැනේය යි කියති. සමහර විට දැනීමය යන වචනය නො ගෙන ගඳයයි ම කියති. එබඳු අවස්ථාවලදී ගඳය යන වචනයෙන් හඟවන්නේ ද ගඳ දැන ගන්නා සිත ම ය. රසයක් මුඛයට පැමිණි කල්හි ද සමහර විට රසක් දැනේයයි කියති. සමහර විට එසේ නො කියා තිත්තය ඇඹුල්ය යනාදීන් රසයේ නම ම කියති. එබඳු අවස්ථාවල දී රසයේ නමින් පවසන්නේ ද ඒ රසය දන්නා සිත ම ය. ශරීරයෙහි යම් කිසිවක් සැපුණු කල්හි සමහර විට සැපෙන බව දැනේය යි කියති. සමහර විට එසේ නො කියා සැපීමෙන් වන ඵලය හඟවන රිදීමය, ශීතලය, උෂ්ණය යන වචන කියති. එබඳු අවස්ථාවල දී ඒ වචනවලින් කියැවෙන්නේ ද ස්ප්‍රෂ්ටව්‍යය දන්නා සිතය. පඤ්චප්‍රසාද සම්බන්ධයක් නැතිව සිතක් ඇති වූ කල්හි සමහර විට සිතුණේය යි කියති. සමහර විට දැනුණේය, කල්පනා වුණේය, ඕනෑ වුනේය, වැටහුණේ ය, තේරුණේය, හැඟුණේය යනාදි වචන කියති. ඒ සියල්ලෙන් ම කියැවෙන්නේ සිත ම ය. කරුණු මෙසේ හෙයින් දැකීමය, පෙනීමය, ඇසීමය, ගඳය, සුවඳය, තිත්තය, කසටය, ශීතය, උෂ්ණය, කල්පනාවය, ඕනෑකමය යනාදි වචනවලින් දැක්වෙන්නා වූ අර්ථය චිත්තපරමාර්ථය යි දත යුතුය. මේ වචනයන් අතුරෙන් ඇතැමකින් අධිකාර්ථ ද කියැවේ. නිවැරදිව ම සිතා ගැනීමට අධිකාර්ථ හළ යුතුය.
රථයේ ගමන ක්‍රියාව රථයෙන් ම එන වේගයකි. මිනිසකුගේ ගමන ක්‍රියාව ශරීරයෙන් නැඟෙන වේගයකි. අතක එසවීම් ක්‍රියාව අතින් නැගෙන වේගයකි. එමෙන් සිතය යි කියන ආරම්මණ විජානන ක්‍රියාව ආරම්මණ ග්‍රහණ ක්‍රියාව චිත්ත පරම්පරාවේ අගින් නැග එන වේගයකි. පෝර ලැබෙන ලැබෙන සැටියට වැලක අගින් දලු ලියලන්නාක් මෙන් අරමුණු ලැබෙන ලැබෙන සැටියට ඒ ඒ අරමුණු ගැනීම් වශයෙන් චිත්ත පරම්පරාවේ අගින් අළුත් අළුත් සිත් පහළ වේ. සිත් පහළ වනුයේ චක්ෂුරාදි වස්තූන්හි ය. එහෙත් සිත ඒවායින් නැඟ එන්නක් සැටියට නො ගත යුතු ය. සිත චක්‍ෂුරාදි වස්තූන්ගෙන් නැඟ එන්නක් නම් වස්තු කීපයක එකවර රූප ශබ්දාදි අරමුණු ගැටුණු කල්හි ඒ ඒ වස්තුවල එකවර ම ඒ ඒ අරමුණු පිළිබඳ සිත් පහළ විය යුතු ය. එක් සන්තානයක එකවර සිත් දෙකක් පහළ නොවන බැවින් ශරීරයේ කොතැනක සිත පහළ වුව ද පහළ වන සෑම සිතක් ම චිත්ත පරම්පරාවේ අගින්ම පහළ වන බව දත යුතුය. සිත: චිත්ත පරම්පරාවේ අගින්ම නැඟ නැඟ එන වේගයක් සැටියට නො ගෙන ශරීරයෙන් හෙවත් නිඃශ්‍රය වස්තූන්ගෙන් නැගෙන වේගයක් සැටියට ගතහොත් අරූප භූමියක් ඇති බව ඔප්පු කළ නො හැකි වන්නේ ය. පුනරුත්පත්තියක් ඇති බව ද ඔප්පු කළ හැකි නො වන්නේ ය. සිත: චිත්ත සන්තතියේ අගින් ම නැඟෙන දෙයක් සැටියට දක්නා තැනැත්තා හට පුනරුත්පත්තියක් ඇති බව ද පහසුවෙන් ම පෙනෙන්නේ ය.
ඇතැමෙක් සිත් ඇතිවීමේ ප්‍රධාන හේතුව අරමුණයයි කියති. අරමුණු සෑම තැන ම ඇත. කොතෙක් අරමුණු ඇතත් පැවත එන සිත් පරම්පරාවක් නැති නම් සිතක් නූපදී. ආරම්මණාදි හේතූන්ට සිත ඉපද විය හැකි වන්නේ පැවත එන සිත් පරම්පරාවක් ඇති කල්හි පමණෙකි. එබැවින් සිත් ඇති වීමේ ප්‍රධාන හේතුව ආරම්මණය නොව පැවත එන සිත් පරම්පරාව බව දත යුතුය. අරමුණක් නැති ව සිතට ඇති විය නොහෙන බැවන් අරමුණ ද සිත් ඇති වීමේ බලවත් හේතුවක් බව කිය යුතුය.
සිතේ ආයුෂය
අහසේ හටගන්නා විදුලිය සැණෙකින් කිසිවක් ඉතිරි නො වී නැති වන්නාක් මෙන් ද, බෙරයකින් නිකුත් වන හඬ සැණෙකින් කිසිවක් ඉතිරි නොවී නැති වන්නාක් මෙන් ද, කර අවසන් වනු සමඟ ම සිදුවී අවසන් වනු සමඟ ම එයින් කිසිවක් ඉතුරු නොවී ක්‍රියා අභාවප්‍රාප්ත වන බව ඉහත කියන ලදී. සිත ද ක්‍රියාවක් බැවින් ක්‍රියාවන්ට අයත් වූ ඒ ස්වභාවය නො ඉක්මවා ඉපද මොහොතකුදු නො පැවතී වහා අභාවප්‍රාප්ත වේ පරමාර්ථ ධර්මයන්ගේ ඒ අභාවප්‍රාප්තියට නිරෝධය යි ද භංගය යි ද කියනු ලැබේ. එක් සිතකට උපදනා කාලයය, පවත්නා කාලයය, බිඳෙන කාලයය යි කාල තුනක් ඇත්තේ ය. ඒ තුන් කාලය ප්‍රමාණයෙන් සමය. එකකවත් දිගින් අඩු වැඩි කමක් නැත. උපදින්නට යම් පමණ කාලයක් වේ නම් එපමණ ම කාලයක් පැවතී එපමණ ම කාලයකින් බිඳී යාම චිත්ත චෛතසික පරමාර්ථයන්ගේ ස්වභාවය ය. රූප පරමාර්ථයන්ගේ ජීවන කාලය සිත මෙන් සතළොස් ගුණයකි. සිතේ ඉපදීමට උත්පාදය යි ද, පැවැත්වීමට ස්ථිතිය යි ද, අභාවප්‍රාප්තියට භංගය යි ද කියනු ලැබේ. උත්පාදස්ථිති භංග යන මේ තුන් කාලයට චිත්තක්ෂණය යි කියනු ලැබේ. චිත්තක්ෂණය ඉතා ලුහුඬු කාලයකි. එක් සන්තානයක එක් සිත් පරම්පරාවක එකවර සිත් දෙකක් නූපදනේ ය. දෙවන සිතක් උපදින්නේ උපන් සිත සම්පූර්ණයෙන් අභාවප්‍රාප්ත වූ පසුය. සාමාන්‍ය ලෝකයා විසින් ඉතා කෙටි සැටියට සලකන්නේ අසුරක් ගැසීමට ගත වන කාලය හා ඇසිපිය හෙළීමට ගත වන කාලය යි. “සො පන ඛණො අච්ඡරාසංඝාත ඛණස්ස අක්ඛිනිම්මීලනඛණස්ස ච අනෙකකොටි සතසහස්ස භාගො දට්ඨබ්බො” යනුවෙන් සිතක ජීවන කාලය, අසුරු ගසන කාලයෙන් ඇසිපිය හෙළන කාලයෙන් කෝටි ලක්ෂ ගණනකින් කොටසක් තරමට කුඩා බව දක්වා තිබේ.
උපන් සිත කෙතරම් ඉක්මනින් කොතෙක් වේගයෙන් නිරුද්ධ වෙතත් තැන සිස් නොවන ලෙස නිරුද්ධ වන සිත හා බැඳී උපදින සේ අලුත් අලුත් සිත්: එළඹ සිටින අනේකප්‍රකාර ආරම්මණයන් ගනිමින් උපදනේ ය. නිරෝධසමාපත්ති අවස්ථාව හා අසංඥභූමියේ ඉපද සිටින අවස්ථාවන් හැර චිත්ත පරම්පරාවේ සිත් නූපදනා අවස්ථාවක් නැත. විශේෂාරම්මණයක් නො ලද කල්හි ප්‍රතිසන්ධියට අරමුණු වූ කර්මාදීන් ගෙන් එකක් අරමුණු කරමින් වැල නො කැඩී සිත් උපදනේ ය. භවාංග සිතය යි කියන කර්මාදිය ගෙන උපදනා ප්‍රකෘති සිත් ඇති බව අපට නො දැනේ. එය ගැන විස්තරයක් කිරීමට මෙය අවස්ථාව නොවේ. සිතේ ජීවන කාලය ඉතා ලුහුඬු බැවින් හා අතරක් ඇති නො වන සැටියට නිරුද්ධ වන සිත සමඟ බැඳී උපදනාක් මෙන් අලුත් අලුත් සිත් ඉපදිය යුතු බැවින් ද සිත් උපදනා තැන සිදු වන්නේ ඉතා වේගවත් වැඩ පිළිවෙලකි. එබඳු වේගවත් වැඩ පිළිවෙළක් කෙරෙන අන් කිසි යන්ත්‍රයක් නැත. චිත්තායුෂය ඉතා ලුහුඬු බැවින් එක් සන්තානයක එකකට එකක් පෙර පසු වී අසුරුසැණක් තුළදී ඉපද නිරුද්ධ වන සිත් කෝටි ලක්ෂ ගණනක් වන බව දක්වා තිබේ. නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුට අසුරුසැණක් තුළදී ඉපද නිරුද්ධ වන සිත්වල ප්‍රමාණය උපමාවකින් දක්වන්නාහු “වාහසතං ඛො මහාරාජ, වීහීනං අඩ්ඪචූළඤ්ච වාහා වීහිසත්තම්මණානි ද්වේ ච තුම්බා එකච්ඡරක්ඛණෙ පවත්තචිත්තස්ස එත්තකා වීහි ලක්ඛං ඨපීයමානෙ පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍යුං” යනු වදාළ සේක. එක්සිය පණස් යාළ සතමුණු දෙලාසෙක වී ඇට එක් අසුරු සැණෙක උපදනා සිත්වලට එක එක ඇටය බැගින් තැබුව හොත් වී සියල්ල ම අවසන් වේය යනු එහි අදහසයි. යාළ නම් වී කරත්තයකි. මෙය එක් අසුරුසැණක උපදනා සිත්වල නියම ප්‍රමාණය දැක්වීමක් නොව බහුභාවය දැක්වීමකි. නිශ්චිත වශයෙන් ම එහි ගණනක් නො දැක්විය හැකිය. එක් අසුරු සැණෙකදී එක් පුද්ගලයකුට මෙපමණ මහත් රාශියක් සිත් උපදීය යන්න මෙය කියවන්නවුන්ට නො පිළිගැණෙන කරුණකි. එය පිළි ගත හැකි වන්නේ චිත්ත තත්ත්වය ගැන වැඩිදුර උගෙනීමක් ලැබූ පසුවයි. ඒ තැනට පැමිණීමට උත්සාහ කෙරෙත්වා.
සිතේ විසිතුරු බව
ලෝකය ඉතා විචිත්‍ර ය. එහි විසිතුරු බව නම් එකිනෙකාට වෙනස් වූ අප්‍රමාණ සත්ත්ව සමූහයක් හා එකිනෙකාට වෙනස් වූ වෘක්ෂලතාදි අප්‍රමාණ වස්තු රාශියක් ඇති බව ය. සිත ද අරමුණේ සැටියට වෙනස් වූවකි. පොල් ගසක් අරමුණු කරන සිතට පුවක් ගසක් අරමුණු කරන සිත වෙනස් ය. කොස් ගසක් අරමුණු කරන සිත ඒ දෙකට ම වෙනස් ය. ගලක් අරමුණු කරන සිත ඒ තුනට ම වෙනස් ය. මෙසේ අරමුණෙන් අරමුණට ඇති වන සේ සිත් එකිනෙකට වෙනස් වන බැවින් ද ලොව ඇති හැම දෙයක් ම අරමුණු කරන සිත් ඇති වන බැවින් ද ලොව ඇති වස්තු ගණනට, පුද්ගල ගණනට එකිනෙකට වෙනස් සිත් ඇති වේ. එ බැවින් ලෝකය විචිත්‍ර වන තරමට චිත්තය විචිත්‍ර යයි කිය යුතුය. ලෝක විචිත්‍රත්වයේ ප්‍රමාණයෙන් චිත්ත විචිත්‍රත්වය දැක්වීම මුහුදු ජලය ළිඳක ජලයට සම කිරීමක් වැනි ය. සත්‍ය වශයෙන් කියත හොත් ලෝක විචිත්‍රත්වයට වඩා ලක්ෂ ගුණයෙන් කෝටි ගුණයෙන් ප්‍රකෝටි ගුණයෙන් සිත ම විචිත්‍රය. ලෝකයෙහි ඇති එක් දෙයක් ගැන ඇති වන්නා වූ සිත් ද එකිනෙකට වෙනස් වන බැවිනි. එක ම වස්තුවක් ගැන දශ දෙනකුට ඇති වන සිත් දශය දශාකාර ය. සිය දෙනකුට ඇති වන සිත් සියය සියක් ආකාර ය. ලක්ෂයකට ඇති වන සිත් ලක්ෂය ලක්ෂාකාර ය. එක ම අරමුණක් ගැන එක ම සන්තානයක ඇති වන සිත ද දහස් වරක් ඇති වන්නේ දහස් ආකාරයකිනි. කරුණු මෙසේ හෙයින් සිත සේ විචිත්‍ර වූ අනෙකක් ලොව නැත යයි කිය යුතුය. සත්ත්වයන් ගේ විසිතුරු බව ඇති වී තිබෙන්නේ ද සිතේ විසිතුරු බව නිසා ම ය.
සිතේ බලය
සිත ඇසට නො පෙනෙන කයින් ස්පර්ශ කළ නො හෙන පරම සූක්ෂම ධර්මයක් වුව ද එහි මහා බලයක් ඇත්තේ ය. ලොව ඇති අන් සියල්ල ම සිතට යටත් ය. එහෙත් දුබල සිත ලොව ඇති සියල්ලට ම යටත් ය. අරමුණු නිසා එය නොයෙක් අතට පෙරලෙන්නේ ය. සත්ත්ව ලෝකය පවත්නේ සිත නිසා ය. සත්‍ය දර්ශනයක් නැත්තවුන්ට නම් සිත පමණ උතුම් වටිනා තවත් දෙයක් නැත. ඔහු එහි පරමාත්මය කොට ගෙන හැසිරෙති. සත්‍ය දර්ශනය ඇතියවුන්ට පෙනෙන සැටියට නම් සිත පමණ තවත් නපුරක් ද නැත. සැම දුක ම ඇත්තේ සිත ඇති නිසා ය. සිත නැතහොත් කවර දුකෙක් ද? එය ම නිවන ය. මිනිසා හොඳ මිනිසකු කරන්නේ ද නරක මිනිසකු කරන්නේ ද සිත ය. ඔහු දෙව්ලොවට බඹලොවට යවන්නේ ද නරකයට ප්‍රේත බවට තිරිසන් බවට යවන්නේ ද සිත ම ය. සත්ත්වයාට සියලු සැප සම්පත් ගෙන දෙන්නේ ද සිත ම ය. සියලු දුක් සියලු විපත් පමුණුවන්නේ ද සිත ම ය.
සිතේ දුරවබෝධත්වය
අසංඥ භවයේ සත්ත්වයන්ට හැර අන් සැම දෙනාට ම සිත ඇත්තේ ය. ඔවුන් සැම දෙය ම දැන ගන්නේ ද සිතිනි. සිතක් ඇති බව ද ඔහු සැම දෙන ම දනිති. එහෙත් සිතේ සැටි නම් ඔහු නො දනිති. ඇසින් ලෝකය බැලිය හැකිය. එහෙත් ඇසට ඒ ඇස නො පෙනෙන්නේ ය. පිහියෙන් අනෙකක් කැපිය හැකි ය. ඒ පිහියෙන් එය ම නම් නො කැපිය හැකිය. එමෙන් සිතින් අනෙකක් දත හැකිය. අනෙකක් දැන ගන්නා වූ දක්නා වූ සිත තමාගේ සැටි නො දන්නේ ය. තමා නො දක්නේ ය. අනෙකක් දැන ගත්තා වූ සිත දැක ගන්නට නම් තවත් සිතක් ඇති විය යුතුය. තවත් සිතක් ඇති වන කල්හි තිබුණු සිත නැත. එබැවින් සිතේ සැටි දැන ගැනීම අතිශයින් දුෂ්කර ය. සිතේ සැටි සොයා ගැනීමට බොහෝ වෙහෙස විය යුතුය.
මතු සම්බන්ධයි!
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...