Sunday, August 8, 2021

රාධ මහරහතන් වහන්සේ


රාධ මහරහතන් වහන්සේ
තණමල්විල රාහුල හිමි

සම්බුදු සසුනෙහි චිර පැවැත්මත්, ධර්ම විනයෙහි ආරක්ෂාව පිණිසත් ඒ ඒ කුසලතාවන්ට අනුගතව මහරහතන් වහන්සේලා උදෙසා අග තනතුරු පිරිනමන ලදී. ඒ අතර දම් දෙසුම් වටහා ගන්නා භික්ෂූන් අතර අගතනතුර ප්‍රදානය කරන ලද්දේ රාධ මහරහතන් වහන්සේට ය.

උන්වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි සිටු කුමරෙකු ලෙස ඉපදුණහ. දිනක් ගෙපිළිවෙලින් පිඬුසිඟා වඩින විපස්සී බුදුරජාණන් වහන්සේ දැක අපමණ පැහැදුණු සිතින් යුතුව, විපස්සී බුදුරජාණන් වහන්සේට මිහිරි අඹ ඵලයක් පූජා කළේ ය. විපස්සි බුදුරජාණන්වහන්සේ කෙරෙහි හටගත් ශ්‍රද්ධාවත්, පූජා කළ අඹ ඵලයෙහි ආනිසංසත් හේතුවෙන් සිටු කුමරු මරණින් මතු සුගතියෙහි ඉපදුණේ ය. දෙව් මිනිස් භව කෙළවර ගෞතම බුදුරජාණන් වහන්සේ දවස රජගහ නුවර ධනවත් බ්‍රාහ්මණ පවුලක ඉපිද රාධ කුමරු නමින් ප්‍රකට විය.

කල්යත් ම තරුණ වියට පත් රාධ කුමරු සුදුසු කල විවාහ දිවියට පත්ව දරුවන් කිහිපදෙනෙකුගේ පියෙකු බවට පත් විය. ජීවිතයේ සැදෑ සමයට පත් වූ රාධ බමුණු තෙමේ කිසිවෙකුගේ හව්හරණක් නොමැති ව හුදකලා ජීවිතයක් ගත කළේ ය. ස්වකීය බැමිණියගේ වියෝවත්, දරුවන්ගේ නොසැලකිලි බවත් හේතුවෙන් රාධ බමුණා අධික ලෙස චිත්ත පීඩාවටපත් විය. සිතට සහනයත්, ලෞකික ජීවිතයේ යථාර්ථයත් අවබෝධ කරගනු පිණිස තමා පැවිදි කරන ලෙස ජේතවන වෙහෙර වැසි භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියේ ය. වරක්, දෙවරක්, තෙවරක් රාධ බමුණාගේ ඉල්ලීම එකී භික්ෂූන් වහන්සේලා ප්‍රතික්ෂේප කළහ. එයින් බලවත් සිත් තැවුලට පත් වූ රාධයන් ආහාරපාන ගැනීම නිසි ලෙස සිදු නොකළේ ය. රාධ බමුණාගේ සිතත් ගතත් ක්‍රම ක්‍රමයෙන් දුර්වල වන්නට විය.

දිනක් භාග්‍යවතුන් වහන්සේ ඔහු දැක කරුණු විමසා රාධ බමුණා කුමන හෝ භික්ෂුවකට සුළු හෝ උපකාරයක් කර ඇති ද යනුවෙන් විමසූහ. එවිට මහත් වූ ප්‍රඥාවෙන් අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ ඉදිරිපත් වී මා දිනක් පිඬු පිණිස වඩින විට මා හට බත් සරළුවක් පූජා කළ බව පැවසූහ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කළ ගුණයට ප්‍රශංසා කළ බුදුරජාණන් වහන්සේ රාධ බමුණාගේ පෙර භවයන්හි කරන ලද කුසල කර්මයන් දැක පැවිදි කරන ලෙස සැරියුත් මහරහතන් වහන්සේට අනුදැන වදාළහ.

අගසව් සැරියුත් මහරහතන් වහන්සේ විසින් පැවිදි කරන ලද රාධ හිමියන් නොබෝ කලකින් සව් කෙළසුන් නසා මහරහත් භාවයට පත් වූ හ. අරහත්වයටපත් උන්වහන්සේ බුදුන් වහන්සේ සමීපයෙහි ම හිඳිමින් මනා ලෙස ධර්මය ශ්‍රවණය කළහ. ඒ අනුව හැසිරුණහ. පසුව බුදුරජාණන් වහන්සේ විසින් අග තනතුරු ප්‍රදානයේ දී දම් දෙසුම් වටහා ගන්නා භික්ෂූන් අතර අගතනතුර රාධ මහරහතන් වහන්සේට පිරිනමන ලදී. ඒ උන්වහන්සේ පෙර භවයන්හි ශ්‍රද්ධා සිත් ඇති ව කරනු ලැබූ පින් බල මහිමයෙනි. රාධ මහරහතන් වහන්සේ අන් අයට ද සමථ විදර්ශනා වඩා විමුක්ති සුවයට පත්වීම සඳහා ථේර ගාථාවන්හි සඳහන් මෙම ගාථා ධර්මය දේශනා කළහ.

යථාගාරං දුච්ඡන්නං - වුට්ඨි සමතිවිජ්ඣති
ඒවං අභාවිතං චිත්තං - රාගෝ සමතිවිජ්ඣති

මනාලෙස සෙවිලි නොකරන ලද ගෙය වැස්සෙන් තෙමෙන්නාක් මෙන් සමථ විදර්ශනා නොවැඩූ සිත රාගයෙන් දැවේ.

යථාගාරං සුච්ඡන්නං - වුට්ඨි න සමතිවිජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං - රාගෝ න සමතිවිජ්ඣති

මනාලෙස සෙවිලි කරන ලද ගෙය වැස්සෙන් නොතෙමෙන්නාක් මෙන්, සමථ විදර්ශනා වැඩූ සිත රාගයෙන් නොදැවේ.

 

ධම්මානුපස්සනාව - ස්ඛන්ධ විදර්ශනාව:

 



ධම්මානුපස්සනාව - ස්ඛන්ධ විදර්ශනාව:


ඇතිවී නැතිවන දේ නුවණින් දකින්න

අම්බලන්ගොඩ,

කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී

කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


" සති, සමාධි, ඥාන දියුණුවෙන් දස පාරමිතාවන් සම්පූර්ණ කර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ආදී මාර්ග ඵල අවස්ථා දක්වා දිවෙන දහමක්. එසේම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග අටෙහි අනිත්‍ය යි කියා සිතද්දී ද ගමන් කරයි."


සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මුල සිට කර්මස්ථාන විසි එකෙහි ම සියලු තතු සඳහන් වුණා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව භාවනාවට ගන්නා ක්‍රමය සඳහන් වුණා. ධම්මානුපස්සනාවෙහි ද නීවරණ පිළිබඳ සියලු විස්තර සහ එය භාවනාවට ගන්නා ක්‍රමය ද සඳහන් වුණා.


ස්කන්ධ විදර්ශනාවේ රූප උපාදානස්ඛන්ධ, වේදනා උපාදානස්ඛන්ධ, සංඥා උපාදානස්ඛන්ධ, ආදී කොටස් ද මේවා භාවනාවට ගන්නා ක්‍රමය ද සඳහන් කළා. අද සඳහන් කරන්නේ ස්කන්ධ විදර්ශනාවේ අවසාන කොටස වන සංඛාර උපාදානස්ඛන්ධය පිළිබඳව යි.


පංචස්ඛන්ධයට අයත් සංඛාර යනුවෙන් චෛතසික පනස් දෙක ඇතුළත් වෙනවා. වේදනා සංඛාර දෙකට චෛතසික දෙකක් අයින් වූ විට පනහක් ඉතිරි වෙයි. සංඛාර උපාදානස්ඛන්ධය යනු මේ චෛතසික පනහ වෙයි. එය මනාකොට වටහාගෙන එකක් පාසාම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. කුසල්, අකුසල් චෛතසික දෙකම එකක් පාසා ම මෙනෙහි කිරීම ස්කන්ධ විදර්ශනාව යි. එනම් සංඛාර ස්කන්ධ විදර්ශනාව යි.


බාහිර සංඛාරය යනුවෙන් සඳහන් කිරීමේ දී නිර්වාණය හැර සියල්ල එනම්, මනු ලොව, දෙව් ලොව, සතර අපාය, අනන්ත ලෝක ධාතු පවා වැටෙන්නේ සංඛාර වලට යි. එවිට සංඛාර පිළිබඳ දැනීමක් අනිවාර්යෙන් ඇති කරගන්නට ම අවශ්‍ය යි. එවිට තමන්ට සියලුම චෛතසික නම් වූ සංඛාර අනිත්‍යය, දුක්ඛ, අනාත්ම, ලක්ෂණත්‍රයට යොමු කරවා ගන්න පුළුවන්. තම චිත්ත සන්තානයෙහි චෛතසිකයන් ගැන මනා අවබෝධයකින් නිවැරැදිව විපස්සනාව කරගත හැකි යි. විපස්සනාව කායික මානසික සුවය සඳහා ද, ධර්මාවබෝධය සඳහා ද හේතු වෙයි. චෛතසික පනහ පාඩම් කරගෙන ඉදිරියට පැහැදිලි ලෙස මෙනෙහි කළ හැකි යි.


සංඛාර උපාදානස්ඛන්ධ කොටසට බුදු දහමට අනුව අනිත්‍ය, දුක්ඛ , අනාත්ම වටහා ගන්නේ කෙසේද? එහි ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතු යි. කුසල් අකුසල් දෙක සම්මිශ්‍රණය වී හටගන්නා ආකාරය ගැන හොඳ දැනීමකින් චෛතසිකයෝ පිළිබඳ ව අවබෝධය හොඳින් ඇතිකර ගත යුතු යි. එවිට භාවනා පාඩම ඉදිරියට ගෙන යා හැකි යි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳ මනාව අවබෝධ කරගත්තේ තමන් වහන්සේගේ බුදු නුවණින්. දෙව්ලොව දී දේශනා කළ සප්තප්පකරණී අභිධර්ම දේශනාව තුළ අන්තර්ගත කරුණු අප්‍රමාණ යි. මාසයක් තුළ උන්වහන්සේ දේශනා කළ ධර්මය ලෙහෙසි පහසු නැහැ.


බුදුන් වහන්සේ පහදා දුන් සංස්ඛාර පිළිබඳ ව අනිත්‍ය , දුක්ඛ, අනාත්ම ධර්මතාව හොඳට වටහාගෙන දියුණු කරගත්තොත්, නොපැකිල ව නිවන් මඟ ඉදිරියට යා හැකි යි. මේවා හොඳට වටහාගෙන ලොව්තුරු ධර්මය යනු කුමක්දැ’යි කටයුතු කළොත් ඉතාමත් ම වැදගත්. ශීල, සමාධි, ප්‍රඥා සංවරය හේතු භූත වන විශේෂ කරුණු ලෙස බුදුන් වහන්සේ අපට මේවා පහදා දුන්නේ. එය මනා කොට පහදාගෙන ඉදිරියට පිවිසෙන්න පුළුවන්නම්, වැදගත් වෙයි.


චෛතසික පනස්දෙක අතුරෙන් මුලටම ගන්නේ චිත්ත සාධාරණ චෛතසිකයන් ය. ඵස්ස චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. වේදනා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, සංඥා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, චේතනා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි , ඒකග්‍රතා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ජීවිතේන්ද්‍රිය චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මෙලෙස චෛතසික පිළිබඳ ව එකක් පාසාම මෙනෙහි කළ යුතු යි. ඵස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාරය යනුවෙන් හතක් තිබෙනවා. මේ සර්ව චිත්ත චෛතසික සාධාරණ හත එකක් පාසාම අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.


තව ද මිශ්‍ර ප්‍රකීර්ණ චෛතසික යනුවෙන් විතර්ක, විචාර, අධිමෝක්ෂ, විරිය , ඡන්ද, පීති ආදිය හයක් තිබෙනවා. විතක්ක චෛතසිකය අනිත්‍යයයි, දුක්ඛ යි, අනාත්ම යි. විචාර චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, අධිමෝක්ෂ චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, විරිය චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, ඡන්ද චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, පීති චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මේ චෛතසික දහතුන අන්‍ය සමාන චෛතසික නම් වෙයි.


එසේනම්, චෛතසික දහතුන පිළිබඳ හොඳ වැටහීමක් ඇතිකරගෙන එකක් පාසා ම මෙනෙහි කරද්දී අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහාගන්න පහසු යි. එහි එකක් මෙනෙහි කළත් වටිනවා. ස්පර්ශ චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. එයම මෙනෙහි කරද්දී ද වටිනවා. එසේම සියල්ල අදාළ කරගෙන සංඛාර අනිත්‍ය යි, දුක්ඛයි, අනාත්ම යි. සියලු සංස්කාර අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළත් වටිනවා. මේ සෑම දෙයකින් ම ප්‍රකාශිත වන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ කළ දේශනාව යි.


බුදු දහමෙහි සැප, ආත්ම වශයෙන් ගන්නේ නැහැ. නිර්වාණය හැර කන බොන දේ, අඳින පළදින දේ, සිටින ස්ථාන, යාන වාහන ආදිය ලෝක ධාතුවේ ඇති සෑම දෙයක් ම අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් ගනි යි. එසේ නුවණ හුරු කර ගැනීමෙන් නො ඇලී , නො ගැටී වාසය කරන්න පුඵවන්.


මෙහි සඳහන් අන්‍ය සමාන චෛතසික දහතුන ම පාඩම් කරගෙන එකක් පාසාම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. එය කොළයක සටහන් කළොත් පැහැදිලි වෙයි. නැතිනම්, අභිධර්ම මාර්ගය, අභිධර්ම චන්ද්‍රිකාව ආදිය පොත් සොයා ගෙන සිත් අසූ නවය , රූප විසි අට දැන ගත හැකි යි. පංචස්කන්ධය පිළිබඳ හොඳ වැටහීමක් ඇති කරගත යුතු යි.


සති, සමාධි, ඥාන දියුණුවෙන් දස පාරමිතාවන් සම්පූර්ණ කර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ආදී මාර්ග ඵල අවස්ථා දක්වා දිවෙන දහමක්. එසේම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග අටෙහි අනිත්‍ය යි කියා සිතද්දී ද ගමන් කරයි. එසේනම් අනිත්‍ය , දුක්ඛ , අනාත්ම විනාඩි පහක් මෙනෙහි කළොත් ආර්ය මාර්ගයෙහි ම ගමන් කරයි.


පංචස්ඛන්ධ විදර්ශනාවෙහි රූපස්ඛන්ධ විදර්ශනාව , රූප විසි අට පිළිබඳව ලිපිය හොඳින් දැන කියාගෙන පාඩම් කරගෙන මෙනෙහි කළ යුතු යි. වේදනා උපාදානස්ඛන්ධය, සංඥා උපාදානස්ඛන්ධය, පසුගිය සතියේ සඳහන් වුණ අතර සංඛාර උපාදානස්ඛන්ධයේ සංඛාර දහතුනක් ගැන අද ඉදිරිපත් කළා. සර්ව චිත්ත සාධාරණ චෛතසික හතයි, අන්‍ය සමාන ප්‍රකීර්ණක චෛතසික හයයි එකතු කළ විට දහතුන යි. මේ අන්‍ය සමාන ප්‍රකීර්ණක චෛතසික එකක් පාසාම අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්නට කවුරුත් හුරු පුරුදු විය යුතු යි.


චිත්ත සමාධිය ධ්‍යාන අවස්ථාව දක්වා යා හැකි යි. ප්‍රඥාව ලබන්නට පුළුවන්. එය මොහොතින් මොහොත දියුණු කළ යුතු දෙයක්. ධර්මය පරිශීලනය කිරීමෙන් නුවණ දියුණු වෙනවා. ධර්මයට අනුව වැඩ කටයුතු නොකිරීමෙන් නුවණ පිරිහී යයි. ගුණ ධර්ම වියැකී යයි. පවට ගිජු වෙයි. සත්ත්ව ඝාතන, මවට පියාට නො සැලකීම ආදී පාපයන්ට යොමු වෙයි. කොයි කවුරු වුණත් ගුණයට දහමට ලැදිව ශීල, සමාධි, ප්‍රඥා දියුණුවෙන් , දුරාචාරයෙන් වැළකී නිති පන්සිල්, පෝයට අටසිල් ආදිය රැකිය යුතු යි. එවිට භාවනා ක්‍රම හොඳින් දියුණු වෙයි.


මෙම භාවනා ලිපියෙන් දැනුම ගෙන එය බොහෝ දෙනා අතරට පත් කළ යුතු යි. මේ කරුණු සටහන් කරගෙන අන් අයටත් කියා දෙන්න. සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනාවට පමණක් සීමා නොවී මෙවැනි ගැඹුරු භාවනා ක්‍රම පිළිබඳ දැනුමක් ඇති කරගත යුතු යි. එකක් පාසාම දැනීමක් ලබාගෙන අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වටහාගෙන මෙනෙහි කළ යුතු යි. සෑම දෙයකම ආදීනව දකින්න. අනුසස් බලන්න. සියලු දේ විනාශ වන ආකාරය, ඇතිවී නැතිවන ආකාරය දකින්න. එවිට අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගන්න පුළුවන්. එසේනම්, පින්වත් ඔබත් ගුණ ධර්ම දියුණු කරගෙන, පාරමී පුරාගෙන ඉක්මනින් ම නිවන් පසක් කර ගනිත්වා!


- ජම්මික ප්‍රබෝධනී වැලිකල


පොක්ඛරණී සූත්‍රය

 


පොක්ඛරණී සූත්‍රය  

75

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්සේ වනාහි දිගින් පනස් යොදුන්වූ, පුළුලින් පනස් යොදුන්වූ, ගැඹුරින් පනස් යොදුන්වූ, කපුටන්ට පානය කරනු හැකිවනසේ කට ළඟට පිරුණාවූ, පොකුණක් වේද, එයින් පුරුෂයෙක් කුසතණ පතක අගින් දිය බිඳක් ගන්නේය. මහණෙනි, ඒ කිමෙකැයි සිතන්නහුද කුසතණපත් අගින් ගන්නා ලද යම් දිය බිඳක් වේද, පොකුණෙහි ඉතිරිවූ යම් දියක් වේද, මේ දෙකින් කවරක් වනාහි අධිකතර වේද?” “ස්වාමීනි, යම් මේ පොකුණු දියක් වේද, එයම අධිකතරවේ. කුසතණ අගින් ගන්නා ලද දිය ඉතා ස්වල්පවේ. කුසතණ අගින් ගත් දිය, පොකුණු දිය හා සසඳන කල්හි, සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”

“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකට ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය, ක්ෂයවූ, කෙළවරවූ, දුක්ගොඩ හා සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.

“මහණෙනි, එසේම ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”

(දෙවෙනි පොක්ඛරණී සූත්‍රය නිමි.)


Tuesday, August 3, 2021

ධම්මානුපස්සනාව - ස්ඛන්ධ විදර්ශනාව


 ධම්මානුපස්සනාව - ස්ඛන්ධ විදර්ශනාව:


ගතට සිතට සුව සලසන භාවනාව

අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ

මහා ලේඛකාධිකාරී

කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


බුදුරදුන් ධරමාන කාලයේ තිස්ස නමින් ස්වාමීන් වහන්සේ නමක් වසර දොළහක් ම එකම නිවසින් දවල් දානය වැළඳුවා. එක්තරා දවසක ඒ නිවසේ ගෙහිමියාට මැණික් ගලක් ඔප මට්ටම් කර දෙන්නැ’යි කොසොල් රජතුමා එවා තිබුණා.


එය මේසය මත තබා නිවස තුළට පිවිසි ගෙහිමියා නැවත පැමිණෙද්දී මැණික් ගල මේසය මත තිබුණේ නැහැ. එය නිවසේ ඇතිකරන ගිජු ලිහිණියා විසින් ගිල දැමූ අතර දනට වැඩම කළ ස්වාමීන් වහන්සේ මැණික් ගල ගත් බවට ගෙහිමියා සැක සිතුවා. ඒ නිසා උන්වහන්සේට අසීමිත ව තරවටුකර තාඩන පීඩන සිදු කරමින් මැණික් ගල ගැන විමසා, හිසට වෙළුමක් දමා තද කර දැමුවා. ඒ නිසා ඇස් , කන් , නාසා ආදියෙන් රුධිරය ගලා ගියා. වැගිරෙන රුධිරය ගිල දමන්න පැමිණි ගිජු ලිහිණියා ගැන ද කුපිත වූ ගෙහිමියාගේ පා පහරින් සතා මිය ගියා. එය දැනගත් ස්වාමීන් වහන්සේ ගිජුලිහිණියාගේ කුස පලා බලන්නැ’යි පැවසුවා. ඒ අනුව මැණික් ගල ලැබුණා.


මෙහි දී ස්වාමීන් වහන්සේ කායික වශයෙන් ලැබුණා වූ දුක් වේදනාව දිගින් දිගටම මෙනෙහි කර උන්වහන්සේගේ මරණය සහ රහත්වීම එකවර සිදු වී මහරහතන් වහන්සේ නමක් ලෙස අවසන් ගමන ගියා. කායික වශයෙන් ලැබුණා වූ දුක් වේදනාව දිගින් දිගට ම මෙනෙහි කර, වේදනානුපස්සනා සතිපට්ඨානය හොඳට වැඩී බෝධි පාක්ෂික ධර්මයන් ද දියුණු වී පින මතුවී රහත් බවට පත් ව ඒ මොහොතේ ම පිරිනිවන් පෑවා.


අද සඳහන් කරන්නේ වේදනා උපාදානස්ඛන්ධය භාවනාවට වඩන ක්‍රමය යි. ශරීරයට දැනෙන වේදනාව වේදනා ස්ඛන්ධය යනුවෙන් හඳුන්වන අතර වේදනා චෛතසිකය වේදනා ස්කන්ධය නම් වෙයි. වේදනාව ප්‍රධාන වශයෙන් සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව යනුවෙන් කොටස් තුනකට බෙදෙයි. නැවත එය සාමිස සුඛ වේදනාව , නිරාමිස දුක්ඛ වේදනාව , සාමිස උපේක්ෂා වේදනාව යනුවෙන් තවත් කොටස් තුනකට ද නිරාමිස සුඛ වේදනාව, නිරාමිස දුක්ඛ වේදනාව , නිරාමිස උපේක්ෂා වේදනාව යනුවෙන් තවත් වේදනා තුනක් වශයෙන් ද සියල්ල නවයකට බෙදෙයි. නව ආකාර වේදනා පිළිබඳ මනා දැනීමක් ඇතිකරගෙන හොඳට නුවණින් බලමින් වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි වශයෙන් මෙනෙහි කරන්න.( උදාහරණ - සුඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. දුක්ඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි...)


වේදනා උපාදානස්ඛන්ධය පිළිබඳ හොඳ දැනීමක් ඇතිකර ගත යුතු යි. වේදනාව ‘ගොඩක්’ ලෙස දැනුන ද එය රූපයක් නො වෙයි. වේදනාව මාත්‍රයක් පමණ යි. වේදනාව හොඳ හැටි දැන කියාගෙන මෙනෙහි කර, සිත දියුණු තියුණු කරගත යුතු යි. මේ මඟින් විශාල ශක්තියක් ගොඩ නංවා ගන්නට පුළුවන්. කායික වුව ද මානසික වුව ද සුවයක් ලබන්න වේදනාව යටපත් කළ යුතු යි. ඇතැමෙකුට වේදනාව උසුලා ගන්නට නො හැකිව කෑ කෝ ගසා විලාප නඟනවා.


වේදනානුපස්සනා භාවනාවෙන්, වේදනා ස්කන්ධය මෙනෙහි කර ගැනීමෙන් කුමන වේදනාවක් වුවද තමන්ට ඉවසා දරා ගන්න පුළුවන්. තම ජීවිතයට අත්‍යවශ්‍ය කරන ගුණ ධර්ම ඉදිරියට ගෙන ඒම සඳහා වේදනානුපස්සනාවට විශේෂ තැනක් තිබෙනවා. ඒ ගැන හොඳ අවබෝධයක් ඇතිකරගෙන කටයුතු කළ යුතු යි. වේදනාස්කන්ධය , වේදනා උපාදානස්ඛන්ධය වේදනාව දැඩිව අල්වා ගැනීම මෙහි ප්‍රකාශ කෙරෙනවා. එවිට නාම රූප කොටස් දෙකක් තිබෙනවා. රූප විසිඅට ගැන පසුගිය ලිපියෙන් සඳහන් කළා. එය ද එකක් පාසා ම මෙනෙහි කළා සේ ම, වේදනානුපස්සනාව ද මෙනෙහි කර වේදනාව සම තත්ත්වයට ගත යුතු යි. මේ පිළිබඳ හසල දැනීමක් ඇතිකරගෙන කොයි කවුරු වුණත් වේදනා උපාදානස්ඛන්ධය පිළිබඳ මනා දැනීමකින් වේදනාව මෙනෙහි කළ යුතු යි.


ගෞතම බෝසතාණන් වහන්සේ ද වේදනාව පුදුමාකර ලෙස ඉවසීමෙන් දියුණු කරගත් උත්තමයෙක්. වේදනා උපාදානස්ඛන්ධය මනා කොට තේරුම් බේරුම් කර ගැනීම ඉදිරියට යන්න පහසුවක්. තම සිරුරේ ඇති එක ගොඩක් වන්නේ වේදනාඋපාදානස්ඛන්ධය යි. වේදනාව දැඩි සේ ගැනීම නිසා තමන්ට දුකක් මිස සැපයක් නැහැ.


මහ රහතන් වහන්සේට වේදනා ස්කන්ධය මිස වේදනා උපාදානස්කන්ධ කොටස නැහැ. එසේනම්, ඒ තත්ත්වයට පත්වීම සඳහා බුදු දහම නොයෙක් කරුණු ගෙනහැර දක්වමින් කටයුතු කෙරෙන්නේ. තම ගුණ ධර්ම දියුණුවෙන්, සති, සමාධි, ඥාන දියුණු තියුණු කරගත යුතු යි.


තෙවැන්න සංඥා උපාදානස්ඛන්ධය යි. එහි වැඩි විස්තරයක් නැහැ. එය වැඩි දෙයක් හඳුනා ගැනීම යි. මනුස්සයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, ගේ දොර ආදිය හඳුනාගන්නේ සංඥා උපාදානස්ඛන්ධයෙන්. එය සංඥා චෛතසිකය නම් වෙයි. එය සංඥා උපාදානස්ඛන්ධය ලෙස ඉදිරිපත් කර තිබෙනවා. එසේනම්, සංඥාව යනු කුමක්දැ’යි හොඳ දැනීමක් කොයි කා ළඟත් තිබෙනවා. සංඥාව පිළිබඳ ව වටහා ගෙන, සංඥා චෛතසිකයක් බව වටහාගෙන, සංඥාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කර ගත යුතු යි. සංඥාව ඇසට පෙනෙන, කනට ඇසෙන දෙයක් නො වන අතර එය නාම ධර්මයක්. එසේනම්, නාමයක් වන සංඥාවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනාවට ගන්නා ක්‍රමය පැහැදිලි කළා. සංඥාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නුවණින් බලන්න. එවිට තමන්ට විශාල ශක්තියක්, දියුණුවක් ඇති කරගන්න පුළුවන්.


භාවනා ක්‍රම දියුණු කර ගැනීමේ දී ඡන්ද ඍද්ධි පාද, චිත්ත ඍද්ධි පාද, විරිය ඍද්ධි පාද , වීමංස ඍද්ධි පාද යන සතර ඍද්ධිපාදයෝ අත්‍යවශ්‍ය කරනවා. භාවනාව දියුණු කර ගැනීමට ඇති කැමැත්ත ඡන්ද ඍද්ධි පාදය යි. ඒ සඳහා අවශ්‍ය බලවත් සිත චිත්ත ඍද්ධි පාදය යි. භාවනාවට ගන්නා වූ නුවණ නොහොත් විමසීම වීමංස ඍද්ධි පාදය යි. ඒ සඳහා ගන්නා උත්සාහය විරිය ඍද්ධිපාදය යි. මේවා බණ භාවනා ක්‍රම වලට අත්‍යවශ්‍ය කරනවා. ඕනෑම දෙයක් සාර්ථකව ඉදිරියට ගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. මේ ගැන ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වනවා. වේදනාව, සංඥාව මෙනෙහි කර, විදර්ශනා ඥාන පහළ කරගෙන සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල සහ නිවන ආදිය නව ලොවුතුරා ධර්මය අවබෝධ කර ගැනීමේ ක්‍රමය පහදා දුන්නේ. මේ ගැන දැන පහදාගෙන ඉදිරියට පිවිස හසල දැනුමකින් සම්මා සම්බුද්ධ ශාසනයේ ලබා ගත යුතු ගුණ ධර්ම සොයා ඉදිරියට යා යුතු යි. සිහි නුවණ හොඳට දියුණුවෙන්, ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි , ඥාන , ඉන්ද්‍රිය හොඳට දියුණු තියුණු කරගෙන භාවනා ක්‍රම ටිකත් සාර්ථකව ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ ඉන්ද්‍රිය පහ නිවැරැදිව නැතිනම්, ඉදිරියට පිවිසෙන්න අපහසු යි. ඒ නිසා කොයි කවුරු වුණත්, බුදු දහම වැළඳගෙන බණ භාවනා ක්‍රම පිළිබඳ හසල දැනුමකින් ඉදිරියට පහසුවෙන් ගමන් කළ හැකි යි. බුදු දහමට අනුකූලව කටයුතු කිරීමෙන් සැමට යහපතක් මිස අයහපතක් නැහැ. ඒ නිසා මෙහි සඳහන් වූ වේදනානුපස්සනාව නම් වූ වේදනාස්ඛන්ධයත් එනම් වේදනා චෛතසිකය, සංඥා ස්ඛන්ධයත් එනම් සංඥා චෛතසිකයත් හොඳින් අවබෝධයෙන් අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කර භාවනා දැනීම ශක්තිමත් ව ඉදිරියට ගෙන යා යුතු යි. එවිට භාවනා ක්‍රමය තමන්ට පහසුවෙන් ගෙන යා හැකි යි. වේදනාව වේදනාව වශයෙන් හඳුනාගෙන, වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නිබඳව ම මෙනෙහි කර, සංඥාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නිබඳව ම මෙනෙහි කරන්න. එවිට තම නුවණ හොඳින් වැඩී තම පුණ්‍ය වාසනාව ද දියුණුවෙන් පාරමිතාවන් ද සම්පූර්ණ කර ගන්න පුළුවන්. මේ කරුණු හොඳින් දියුණුවෙන් භාවනාව පිළිබඳ දැනීමක් ඇතිකරගෙන කටයුතු කරගත යුතු යි. එවිට අප යන ගමන් මඟ වරදින්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය යන නිවන් මග පැහැදිලිව යන්නට පුළුවනි. එසේනම්, මේ පිළිබඳ හොඳ දැනීමක් ලබා, සියලු කටයුතු සඵල කරගෙන බණ භාවනා කටයුතු ද සාර්ථක කරගෙන , ගුණ ධර්ම ද දියුණුවෙන් පාරමිතා ද ඉක්මනින් ම සම්පූර්ණ කරගෙන නිවන් පසක් කරගන්නට ලැබේවා!


- ජම්මික ප්‍රබෝධනී වැලිකල

ඇසට පෙනෙන රූපය නුවණින් දකින්න

 


ඇසට පෙනෙන රූපය නුවණින් දකින්න
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි
යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

නීවරණ විදර්ශනාව පිළිබඳ ව පසුගිය ලිපි මඟින් සඳහන් කළා. සිත විනාශ කරන, අපායට ඇද දමන, කායික මානසික දුක් ඇතිකරන, මහා ව්‍යසනයට පත් කරන තණ්හාව, තරහව , කම්මැළිකම, සිතේ විසිරීම සහ සැකය ආදී කරුණු පහ පිළිබඳ ව පසුගිය ලිපි මඟින් සඳහන් කළා. ඉන්පසුව යි ස්කන්ධ විදර්ශනාව මෙනෙහි කරන්නේ. විදර්ශනාව යනු ඇසින් බලන්නා සේ නුවණින් බැලීම යි. ඇත්ත ඇති සැටියෙන් දැකීම යි.

ඇත්ත ඇති සැටියෙන් බලනවා යනු ශරීරය සැකසී ඇති ආකාරය නුවණින් බැලීම යි. පඨවි , ආපෝ, තේජෝ, වායෝ ධාතු සතරකින් මේ ශරීරය සැකසී තිබෙනවා. කේසාන්තයේ සිට පාදාන්තය දක්වා ම සෑම කොටසක ම සතර ධාතූන් අන්තර්ගත යි. කෙළ, සොටු, මළ, මූත්‍ර දෙස බැලුවත් සතර ධාතුව ම අන්තර්ගත යි. මිනිසාට පමණක් නොවෙයි, සතුන්ටත් පංචස්ඛන්ධය තිබෙනවා. ඒවාටත් තිබෙන්නේ ඉහත සඳහන් කළ ධාතු කොටස්ම යි. ගස් කොළන් දෙස බැලුවත් ධාතූන්ගෙන් සමන්විත යි. පංචස්ඛන්ධය යනු කුමක්දැ’යි පසුගිය ලිපියෙන් සඳහන් කළා. පංචඋපාදානස්ඛන්ධය යනු රූප උපාදානස්ඛන්ධය, වේදනා උපාදානස්ඛන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්ඛන්ධය, විඤා්ඤාණඋපාදානස්ඛන්ධය යි. මේ නාමයන් පහ මෙසේ වුවත් අර්ථ වශයෙන් ගත් කල බොහොම සංකීර්ණ වෙයි. අද පංචස්ඛන්ධ විදර්ශනාවේ පළමු කොටස වන රූප උපාදානස්ඛන්ධය ගැන සඳහන් කරමු.

ඇසට පෙනෙන රූපය පිළිබඳ සිහි නුවණින් බැලිය යුතු යි. ඇතිවීම, නැතිවීම රූපස්ඛන්ධ විදර්ශනාව යි. ශරීරය මෙලෙස පැවතුණාට එහි රූප විසි අටක් තිබෙයි. ඒ එකක් පාසා ම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. ඒ රූප විසි අටම පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු කොටස් වලින් සමන්විත යි. මේ රූප විසි අට පිළිබඳව ඇති කරගන්නා මනා දැනීම ඉදිරියට පිවිසෙන්න බොහොම වැදගත්.

ගැඹුරින් සීතීමට අපහසු නම්, රූපස්ඛන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් පමණක් සිතන්න. තමාගේ නැණ පමණින් ධර්මය වටහා ගන්න. ඇතැමෙක් භාවනාව ගැඹුරටම මෙනෙහි කරනවා. අනේ! මට බැහැනේ යනුවෙන් නො සිතා තම නැණ පමණින් භාවනාව ඉදිරියට ම මෙනෙහි කළ යුතු යි. රූප විසි අටේ තිබෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වටහා ගැනීම රූපස්ඛන්ධ විදර්ශනාව යි. භූත රූප සතරක් වශයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනුවෙන් වෙයි. මේවා භූත යනුවෙන් සඳහන් කරන්නේ වෙනස් වන, විකාර බවට පත්වන නිස යි. මෙහි රූප විසි අට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ගනි යි. පඨවි රූපය මම නො වෙ යි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙ යි. එමනිසා පඨවි රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස් වර මෙනෙහි කළ යුතු යි. එසේම ආපෝ රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, ආපෝ රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. තේජෝ රූපය මම නොවෙ යි, මගේ නොවෙ යි, මගේ ආත්මය නොවෙයි , එමනිසා තේජෝ රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. වායෝ රූපය මම නො වෙයි, මගේ නො වෙ යි, මගේ ආත්මය නො වෙයි, එමනිසා වායෝ රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. චක්ෂු ප්‍රසාද රූපය මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි, එමනිසා චක්ෂු ප්‍රසාද රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. සෝත ප්‍රසාද රූපය මම නො වෙයි, ම ගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා සෝත ප්‍රසාද රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ඝාන ප්‍රසාද රූපය මම නො වෙ යි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි, එමනිසා ඝාන ප්‍රසාද රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ජිව්හා ප්‍රසාද රූපය මම නො වෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ජිව්හා ප්‍රසාද රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. කායද් ප්‍රසාද රූපය මම නො වෙයි. මගේ නො වෙ යි, මගේ ආත්මය නො වෙ යි. එමනිසා කායද්ප්‍රසාද රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. රූප රූපය මම නො වෙ යි, මගේ නො වෙ යි, මගේ ආත්මය නො වෙ යි, එමනිසා රූප රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ශබ්ද රූපය මම නො වෙයි, මගේ නොවෙ යි, මගේ ආත්මය නො වෙ යි, එමනිසා ශබ්ද රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ගන්ධ රූපය මම නො වෙ යි, මගේ නො වෙ යි, මගේ ආත්මය නො වෙ යි, එමනිසා ගන්ධ රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. රස රූපය මම නොවෙ යි, මගේ නොවෙ යි, මගේ ආත්මය නොවෙ යි, එමනිසා රස රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. භාව රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා භව රූපය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. හදය වත්ථු රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙ යි, එමනිසා හදය වත්ථු රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ජීවිතේන්ද්‍රිය රූපය මම නො වෙයි, මගේ නො වෙ යි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ජීවිතේන්ද්‍රිය රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ආහාර රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙ යි, එමනිසා ආහාර රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ආකාශ ධාතු රූපය (පරිච්ඡේද රූපය) මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ආකාශ ධාතු රූපය (පරිච්ඡේද රූපය) අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. කාය විඤ්ඤප්ති රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා කාය විඤ්ඤප්ති රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. වචී විඤ්ඤප්ති රූපය මම නො වෙ යි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා වචී විඤ්ඤප්ති රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ලහුතා රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙ යි, එමනිසා ලහුතා රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. මුදුතා රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා මුදුතා රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. කම්මඤ්ඤතා රූපය මම නො වෙයි, මගේ නො වෙ යි, මගේ ආත්මය නො වෙ යි. එමනිසා කම්මඤ්ඤතා රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. උපචය රූපය මම නො වෙයි, මගේ නො වෙයි මගේ ආත්මය නො වෙයි, එමනිසා උපචය රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. සන්තති රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා සන්ථති රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ජගතා රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ජගතා රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. අනිච්ඡතා රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා අනිච්ඡතා රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. අටවිසි රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එම නිසා අටවිසි රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. යනුවෙන් රූප විදර්ශනාව හැකිතාක් මෙනෙහි කරන්න.

රූප විසි අට කටපාඩම් කරගන්න පුළුවන් අය, එය කටපාඩම් කරගෙන එකක් බොහෝ වාරයක් මෙනෙහි කරන්න. උදාහරණයක් වශයෙන් පඨවි ධාතු රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා පඨවි ධාතු රූපය අනිත්‍යය යිි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සියවර, දහස් වර මෙනෙහි කරන්න . ඊළඟට එකක් පාසා ම හොඳට සිතට ගෙන මෙනෙහි කරද්දී නුවණ හොඳින් වැඩෙයි. විදර්ශනා ඥාන උපදවා ගන්න පුළුවන්. එය සම්මසන විදර්ශනා ඥාන නම් වෙයි. එසේ ම ඇතිවීම, නැතිවීම දැකීම උදයබ්භය ඥාන නම් වෙයි. මෙලෙස විදර්ශනා ඥාන ලබාගෙන කවුරුත් රූපස්ඛන්ධ විදර්ශනා ලෙස තම සිරුර අනිත්‍යය , දුක්ඛ , අනාත්ම , වශයෙන් වටහා ගෙන තම රූපය තුළ තිබෙන රූප විසි අටක් බව වටහා ගෙන රූප විසි අට ඉගෙන ගෙන එකක් පාසා ම මෙනෙහි කළ යුතු යි. අවසානයේ රූපස්කන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. එසේ නැතිනම්, මේ ශරීරය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස් වර හොඳින් මෙනෙහි කරන්න. එවිට තම ශරීරයේ තිබෙන තත්ත්වය හොඳට වටහා ගන්න පුළුවන්. බණ භාවනා ක්‍රමය දියුණු තියුණු කරගෙන ඉදිරියට ගියොත් තමන්ට හසල දැනුමක් ලැබිය හැකි යි. ගැඹුරින් මෙනෙහි කළ නො හැකි නම්, මේ ශරීරය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් දවසට සිය වර දහස්වර රැකියාවට යද්දී, බස් රියේ යද්දී නිදැල්ලේ හැසිරෙන සිතට මෙවැනි අදහස් ලැබුණහ ම බණ භාවනා ඉබේ ම පුරුදු වෙයි. ඒ සඳහා අමුතුවෙන් මහන්සි ගත යුතු නැහැ.

ජම්මික ප්‍රබෝධනී වැලිකල

 

සංයෝජන සූත්‍රය

 


සංයෝජන සූත්‍රය

53

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයන්හි රසවිඳගැනීම අනුව බලමින් වාසය කරන්නාගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.

“මහණෙනි, යම්සේ තෙල්ද වැටියද නිසා තෙල් පහන දැල්වෙන්නේද, එහි පුරුෂයෙක් කලින් කල තෙල් වත්කරන්නේද, වැටි දමන්නේද, මහණෙනි, එසේ වනාහි ඒ තෙල් පහන ඒ (තෙල් ආදිය) නිසා, ඒ හේතුවෙන් බොහෝ දීර්ඝ කාලයක් දැල්වෙන්නේද, මහණෙනි, එසේම වනාහි සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයන්හි රසවිඳ ගැනීම අනුව බලමින් වාසය කරන්නාගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.

“මහණෙනි, සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ නැති වන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි.

“මහණෙනි, යම්සේ තෙල්ද වැටියද නිසා තෙල් පහන දැල්වෙන්නේද, එහි පුරුෂයෙක් කලින්කල තෙල් වත්නොකරන්නේද, වැටි නොදමන්නේද, මහණෙනි, මෙසේ වනාහි ඒ තෙල් පහන පූර්වවූ, (තේලාදී) හේතූන් නැතිවීයාමෙන් සහ අන්‍යවූ ආහාර නොලැබීමෙන් නිරාහාර වූයේ නිවී යන්නේය. මහණෙනි, එසේම වනාහි සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ නැති වන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.


Friday, July 30, 2021

තමන් ගැන සෙවීම


තමන් ගැන සෙවීම
අතුරුගිරිය සදහම් පදනමේ
අනුශාසක
ගලිගමුවේ ඤාණදීප හිමි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස ආරම්භ වෙන්නේ ඇසළ පුන් පොහෝ දවසක යි.

පස් වග භික්ෂූන් වහන්සේලාට ධම්මචක්ක දේශනාව අවසන් වෙද්දී කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ධර්මය අවබෝධ කිරීමත් සමඟම බුදුන් වහන්සේ ඒහි භික්ඛු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා දුන්නා. බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝයා ආරම්භ වුණේ එලෙස යි.

තුනුරුවන් සම්පූර්ණ වෙන්නේ ඇසළ පුන් පොහෝ දවසක යි. පස්වග භික්ෂූන් වහන්සේ ධර්මය අවබෝධ කිරීමත් සමඟ යස කුල පුත්‍රයා ඇතුළු යහළුවන් පනස් හතර දෙනෙක් පැමිණ මේ පිරිසට එකතු වෙනවා. බුදුන් වහන්සේ ඉසිපතන මිගදායේ මූලගන්ධ කුටි විහාරයේ ප්‍රථම වස් කාලය ගත කරනවා.

බුදුරජාණන් වහන්සේ ශික්ෂා පද පනවන්නේ බුද්ධත්වයට පත්ව, අවුරුදු විස්සකට පසුව යි. එතෙක් ශාසනය තුළ ශික්ෂා පද පැනවීමක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මුල් කාලයේ සමහර භික්ෂූන් වහන්සේ වස් කාලයේ එනම්, ඉන්දියාවේ මහා ධාරානිපාත වර්ෂාව එකදිගට ඇද හැලෙන මාස දෙක තුනක කාලයක්. ශ්‍රමණයන් වහන්සේලාත්, අන්‍ය තීර්ථකයන් අතරත් එනම්, සංජය බෙල්ලට්ඨි පුත්ත, පකුධකච්ඡායන, මක්ඛලී ගෝසාල ආදී නොයෙක් ෂඩ් ශාස්තෘවරු වටා සිටි පිරිස තම තමන්ගේ දර්ශන, මතවාද, පවසමින් මිනිසුන් අතර ඔවුන්ගේ ආගම් ප්‍රචාරය කර, වැසි මාස තුන එකතැනකට වී තම ආගමික මධ්‍යස්ථානවල ගත කරන පුරුද්දක් තිබෙනවා. නමුත් බුදුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ධර්ම ප්‍රචාරය කිරීම වස් කාලය තුළ සිද්ධ කළා. මේ කාලයට සම්පූර්ණයෙන් පාරවල් මඩවෙලා, පොළෝ තලයෙන් අලුත් තණකොළ වැඩී ඒ තුළින් සතුන් මතු වෙනවා. භික්ෂූන් වහන්සේ චාරිකාවේ වඩිනවිට ඇතැම් විට සතුන් මෙන් ම අලුත් තණකොළ පෑගෙනවා. ඇතැම් විට භික්ෂූන් වහන්සේ මඩ මත ඇද වැටෙමින් විවිධ අනතුරුවලට මුහුණ දුන්නා. ඒත් සමඟ ම අන්‍ය තීර්ථකයෝ එනම්, නිගණ්ඨනාථ පුත්තගේ දර්ශනයත් සමඟ ඔහු පැවසුවේ ගස් කොළන් වලට පවා පණ තිබෙන බව යි. ඔවුන් ගස් කොළන් හැඳින්වූවේ ඒක බීජී ප්‍රාණීන් ලෙස යි. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කරමින්, මේ ශ්‍රමණයෝ කිසිම කරුණාවක් නැතිව, වැස්ස කාලයට පොළොවෙන් මතුවන සතුන් පාගා සිරුරේ මඩ තවරාගෙන සිවුරේ මඩ ගාගෙන, පොළොවෙන් හට ගන්නා බීජ පාගාගෙන වඩිනවා යැ’යි බුද්ධ ශ්‍රාවක භික්ෂු පිරිසට නොයෙක් අපවාද නැඟුවා. මෙවැනි කාරණා සියල්ලක් නිසා බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙලෙස දේශනා කර වදාළා. ‘මහණෙනි, අනෙකුත් කාලයේ ධර්ම ප්‍රචාර කටයුතු සිද්ධ කර, වස් කාලයේ දී, එක තැනක , එක් ආරාමයක සිට, තම අධ්‍යාත්මික ගුණ ධර්ම පුරුදු කරගෙන ,සතර සතිපට්ඨාන වඩාගෙන, බණ භාවනා කරගෙන වස් කාලයේ, වස් සමාදන් ව කටයුතු කරන්න. මේ හේතුව මත බුදුන් වහන්සේ වස් කාලයේ ශික්ෂා පද දේශනා කර වදාළා.

බුදුන් වහන්සේ ප්‍රථම රහතන් වහන්සේ හැට නම ධර්ම ප්‍රචාරය පිණිස පිටත් කළා ‘චරථ භික්ඛවේ, චාරිකං - බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං’ යනුවෙන් බුදුන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාට හිත සුව පිණිස මේ ධර්මය ව්‍යාප්ත කරගෙන ගම් නියම් ගම් පුරා වඩින්නැ’යි හැට නමක් භික්ෂූන් වහන්සේ ධර්ම ප්‍රචාරයට පිටත් කර, බුදුන් වහන්සේ මිගදායේ සිට උරුවෙල් දනව්වට පිටත් වෙනවා. එහි යන අතර මඟ දී ‘කප්පාසික වනය’ යනුවෙන් හඳුන්වන වනාන්තරයක දී ‘තිංසවග්ගිය’ කුමාරවරු හමු වුණා.

මොවුන් කොසොල් රජතුමාගේ ඥාති සම්බන්ධයක් ඇති ඥාති කුමාරවරු තිස් දෙනෙක්. මේ අයගෙන් තරුණ වයසේ සිටි විසි නව දෙනෙකුට කුමාරිකාවන් සිටියා. එක් අයෙකුට පමණක් කුමාරිකාවක් නො සිටි බැවින් ඔහු මුදල් ගෙවා දින දෙක තුනකට තාවකාලික පෙම්වතියක් සොයාගෙන තිංසවග්ගිය කුමාරවරු තිස් දෙනාම කුමාරිකාවන් සමඟ දින දෙක තුනක් ම වනාන්තරයට පිවිස විනෝද වී, කෙලෙස් තුළ ජීවත් වුණා. මේ අය වනාන්තරයෙන් පිටතට එද්දී බොහොම සුන්දර පොකුණක් හමු වුණා. කුමාරවරුන් සමඟ කුමරියන් මෙහි දී දිය නාන්න සූදානම් වුණා. නමුත් කුලියට ගත් කුමාරිය නාන්න දියට බැස්සේ නැහැ. රාජකුමාරවරුන් සහ අනෙක් කුමරියන් විසි නවදෙනා තම ආභරණ ගලවා දමා දියට බැස පීන පීනා ස්නානය කළා. මේ මොහොතේ කුලියට ගත් කුමාරිය බිසෝ වරුන්ගේ ආභරණ සොරා ගෙන පැන ගියා. මෙහිදී කෝප වූ කුමාරවරු තිස්දෙනා තම කුමාරියන්ට නිවෙස් වලට යන්නැ’යි පවසා පැන ගිය කුමාරිය සොයා ඇවිද ගියා. මේ අතරේ බුදුන් වහන්සේ උරුවෙල් දනව්වට කප්පාසික වනය පසුකරමින් වැඩම කළා.

බුදුරජාණන් වහන්සේ දුර සිටම මේ කුමාරවරු තිස් දෙනාටම ධර්මය අවබෝධ කරන්න සමත් මහා පින්ඇති කුමාරවරු තිස් දෙනෙක් බව දුටුවා. ඒ නිසා කුමාරවරු පැමිණෙන මඟ ගසක් පාමුල බුදුන් වහන්සේ වැඩ සිටියා. කුමාරවරු තිස් දෙනා කැළය පීරාගෙන එද්දී බුදුන් වහන්සේ බව නො දැන , අන්න ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් වැඩ සිටිනවා යැ’යි පවසමින්, මේ උත්තමයාගෙන් කාන්තාවක් දුටුවාදැ’යි විමසුවා. ඒ මොහොතේ ඔවුන්ගේ පින මතු වන සේ බුදුන් වහන්සේ මෙලෙස වදාළා. ‘කාන්තාවක් ගැන සොයන්නේ නැති ව තමන් ගැන සොයා ගත්තොත් හොඳ නැද්දැ’යි වදාළා. ඒ මොහොතේ සසර පුරුද්දකට සේ, තමන් ගැන විමසා, යෝනිසෝමනසිකාරයේ යෙදී, තමන්ගේ ජීවිතය ගැන සසරේ හොඳට නුවණ පුරුදු කළ රාජ කුමාරවරු එකිනෙකා මුහුණින් මුහුණ බැලුවා. තමන් ගැන සොයන්න? ‘ස්වාමීනී, තමන් ගැන සොයන්නේ කෙසේ ද? කුමක්ද? මෙහි අර්ථය යනුවෙන් විමසුවා. බුදුන් වහන්සේගේ උපදෙසින් කුමාරවරු තිස් දෙනා ම එකත් පසව වාඩි වුණා. ඒ මොහොතේ බුදුන් වහන්සේ බොහොම ගාම්භීර ධර්මයක් දේශනා කර වදාළා.‘ඇස තුළින් බලන්න ‘මම’ ඉන්නවා ද? නුවණින් විමසා බලද්දී දකින්නට ලැබෙන්නේ ලෙඩවෙන, ජරාවට පත්වන, තුවාල හැදෙන, කුණු වී මැරී යන ඇසක්. මම, මගේ , මගේ ආත්මය යැ’යි මට අවශ්‍ය ලෙස පවත්වන්න පුළුවන්කමක් නැහැ. ‘කන’ තුළින් බලන්න ‘මම’ ඉන්නවා ද? විමසා යද්දී දකින්න ලැබෙන්නේ, ලෙඩවන, ජරාවට පත්වන, තුවාල හැදෙන , කුණු වී යන මැරී යන කනක්. හේතු නිසා හටගෙන හේතු වෙනස් වෙන විට වෙනස් ව යන ස්වභාවයක් තිබෙන්නේ. ඒ තුළත් ‘මම’ නැහැ. මම, මගේ යනුවෙන් පැවසුවාට මට අවශ්‍ය ලෙස පවත්වන්න බැහැ. නාසය , දිව, ශරීරය, මනස ආදී ආයතන හය තුළින් ම ‘මම’ ඉන්නවා ද? යනුවෙන් හොඳට තමන් තුළින් ම විමසා බලන්නැ’යි වදාළා. එවිට ඔබලාට දකින්න ලැබේවි, මේ තුළින් දකින්න ලැබෙන්නේ සතර මහා ධාතූන්ගෙන් හටගත්, දෙතිස් කුණුප කොටස් ගොඩක් බව යි. පස්වෙලා, ජරාවට පත්වන, තුවාල හැදෙන කුණු වෙන ශරීරයක්. මෙලෙස ගාම්භීර ධර්මය බුදුන් වහන්සේ දේශනා කර අවසන් වෙද්දී වැඳ නමස්කාර කර, බණ අසා සිටි රාජකුමාරවරු තිස් දෙනා ම මාර්ග ඵල ලැබුවා. කීප දෙනෙක් ම සෝවාන් මඟ ඵල, සකෘදාගාමී මඟ ඵල ලැබුවා. තවත් පිරිසක් අනාගාමී ඵලයට පත් වුණා. නමුත් මේ අතර කවුරුවත් රහත් වුණේ නැහැ.

- ජම්මික ප්‍රබෝධනී වැලිකල