Saturday, July 17, 2021

ධම්මානුපස්සනාව

 ධම්මානුපස්සනාව

නීවරණ විදර්ශනාව

තරහව නැති කරගන්න එහි ඇති දොස් දකින්න

ඇතැම් අය අත පය කපා දමා ගන්නවා, ජීවිත හානි කර ගන්නවා, අනුන්ගේ ජීවිත ද නැති කර දමනවා. සත්ත්ව ඝාතන ආදිය සිදු කරන්නේ ද තරහවේ දොස් නිස යි. ඒ නිසා ශරීරය දුර්වර්ණ වීම, හෘදය වස්තුවට අපිරිසුදු රුධිරය ගමන් කිරීම, තමා රෝගී පුද්ගලයකු වශයෙන් බොහෝ කලක් ජීවත් වීම, ඇතැම් විට අකාලයේ මරණයට පවා පත් වීම ආදී බොහෝ දොස් ඇති වන්නේ තරහව නිස යි.

ව්‍යාපාදය තම සිතෙහි දිගින් දිගටම ඇති වුණොත්, එය තමා රෝගී කෙනෙක් ව, අකාලයේ මරණයට පත් ව, මරණින් මතු යක්ෂයෙක් - යක්ෂණියක් හෝ විසකුරු සතෙක් ආදී දරුණු ජීවිත ලබයි. ඒ නිසා කවුරුත් මෛත්‍රී භාවනාව පෙරමුණට ගෙන තරහව දුරු කර ගැනීමට උත්සාහයෙන් වැඩකටයුතු කළ යුතු යි. තරහව නිසා ලෝකයේ කරන්න බැරි පාපයක් නැහැ.

අජාසත්ත රජතුමාට, දේවදත්ත හාමුදුරුවෝ පැවසුවේ, ඔබතුමා නාමිකව මහ රජතුමා බව යි. නමුත් රට වැසියාගේ ගෞරවය තිබෙන්නේ බිම්බිසාර රජතුමා වෙත යි. ඒ නිසා ඔබ පියාණන් ඝාතනය කර, මහ රජ්ජුරුවෝ වන්න, මා බුදුන් නසා බුදුවනවා යනුවෙන් අබුද්ධි චේතනාවෙන්, පටිඝ, තරහ, චේතනාවෙන් ප්‍රකාශයක් කළා. එය පිළිගත් අජාසත්ත රජතුමා තම පියාණන් සිරගෙයි දමා, දුක් පමුණුවා අවසානයේ මරණයට පත් කර ආනන්තරීය පාප කර්මය සිදු කර ගත්තා. අජාසත්ත රජතුමාට සෝවාන් වෙන්න පින තිබුණත් නිවන් මඟ ඇහිරී ගියේ තම පින්බර පියාණන් ඝාතනය කිරීම නිස යි.

ලොවේ කරන්න තියෙන පහත්ම පව් පහෙන් එකක් වන්නේ පීතෘ ඝාතනය යි. පංචානන්තරීය පව් කරන්නේ තරහ චේතනාව නිසයි. දේවදත්ත හාමුදුරුවෝ තරහව නිසා බුදුන් වහන්සේ විනාශ කරන්න වෙහෙස ගත්තත්, එය ව්‍යර්ථ වුණා. දේවදත්ත හාමුදුරුවෝ දරුණු ආනන්තරීය පව් කිහිපයක් කරගෙන ම නිරයට පත් වුණා. මෙය සිද්ධ වුණේ පටිඝ චේතනාව නිස යි. මේ දෝෂයන් හොඳින් දැනගෙන, පටිඝ චේතනාවෙන් තමා අත්මිදී, තරහවෙන් අත්මිදී ‘මම මෛත්‍රියෙන් වාසය කරන්නෙමි’ යනුවෙන් අධිෂ්ඨාන කරමින් මෛත්‍රී භාවනාව දියුණු කළ යුතු යි. සිතට එන තරහව , වෛරය මෙනෙහි කරමින් අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යනුවෙන් ලක්ෂණත්‍රයට යොමු කළ යුතු යි. එවිට ව්‍යාපාද නීවරණය පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගන්න පුළුවනි. ව්‍යාපාදය තණ්හාව වගේම බරපතළ පාපයක්. එයට ගැටීම යනුවෙන් ද , තණ්හාව ඇලීම යනුවෙන් ද හඳුන්වනවා.

ධම්මානුපස්සනාවෙහි පළමුවැන්න නීවරණ කොටස යි. ‘නී’ පූර්ව වෙලා, ‘වාණ’ ප්‍රත්‍යයෙන් හැඳුණු ‘නිබ්බාණ’ වදනක් තිබෙයි. නිර්වාණයට සතුරුකම් කරන්නේ , ද්‍රෝහිකම් කරන්නේ, ‘නීවරණ’ ධර්ම පහයි. එයින් කාමච්ඡන්ද නීවරණය පිළිබඳව පසුගිය ලිපියෙන් සඳහන් කළා. කාමච්ඡන්ද නීවරණය ලක්ෂණ වශයෙන් ඉදිරිපත් කළා.

අද සඳහන් කරන්නේ ව්‍යාපාද නීවරණය සම්බන්ධව යි. ව්‍යාපාදය යනු තරහව, වෛරය, ඊර්ෂ්‍යාව, පලිගැනීම, පටිඝය, දෝමනස්සය , ශෝකය, පරිදේව ආදිය තථාගත ධර්මයේ සඳහන් කරන ව්‍යාපාදයට තවත් අර්ථයන් වෙයි. පටිඝ සිත් දෙකකින් ව්‍යාපාදය හට ගනි යි. එසේනම්, පටිඝය හෙවත් තරහව දිගින් දිගටම පත්ව, වෛරයක් බවට පත් වෙයි. තමන් මේ පිළිබඳව හොඳ දැනීමකින් කටයුතු කළ යුතු යි. ව්‍යාපාද නීවරණය යටපත් කරන්න හොඳම දේ මෛතී‍්‍ර භාවනාව, පන්සිල් අටසිල් රැකීම, කාය වාග් සංවරය ආදිය යි.

ව්‍යාපාද නීවරණය පිළිබඳ මෙනෙහි කළ යුතු ආකාර පහක් වෙයි. එනම්, 1. සිතෙහි ව්‍යාපාදය ඇතිවිට මගේ සිතේ ව්‍යාපාදය ඇති බව දැන ගැනීම, 2. සිතෙහි ව්‍යාපාදය නැති කල්හි මාගේ සිතේ ව්‍යාපාදය නැති බව දැන ගැනීම , 3. සිතෙහි නූපන් ව්‍යාපාදය උපදින්නේ මෙසේය යනුවෙන් දැන ගැනීම 4. සිතෙහි උපන් ව්‍යාපාදය නැතිවන්නේ මෙසේය යනුවෙන් දැන ගැනීම 5. සිතෙහි නැති වූ ව්‍යාපාදය නැවත ඇති නොවන්නේ ය යනුවෙන් ව්‍යාපාද නීවරණය දැන ගන්නා ක්‍රම පහ කි.

කෝපය හා කෝපය ඇති වීිමට හේතු වූ අරමුණු ද පටිඝ නිමිති පිළිබඳ නුවණින් තොරව මෙනෙහි කිරීමෙන් ව්‍යාපාදය ඇති වෙයි. එය නූපන් ව්‍යාපාදය උපද වීමට ද , උපන් ව්‍යාපාදය වැඩි වීමට ද හේතු වෙයි. ව්‍යාපාදය යනු ද, පටිඝය යනු ද සිත්හි ඇතිවන විරුද්ධව හැපීම ව්‍යාපාදයේ ලක්ෂණ යි. ව්‍යාපාදය ප්‍රහාණය කිරීමටත් බුදු දහමෙහි හේතු හයක් උගන්වනු ලබයි. 1. මෛත්‍රී භාවනා කිරීම 2. මෛතී‍්‍ර වැඩීමට සුදුසු අරමුණු ගැනීම 3. කර්මය ස්වකීය බව සිතීම 4. බහුලව නුවණින් මෙනෙහි කිරීම 5. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම 6. ව්‍යාපාදයේ දොස් පැවසෙන කථා කීම ආදී කරුණු හයෙන් ව්‍යාපාදය යටපත් කරන්න, ප්‍රහාණය කරන්න සමත් වෙයි.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මෛත්‍රී පාරමිතාව වෙනම ම සම්පූර්ණ කළා. එය තරහව නැති කර ගැනීම පිණිස යි. දිගු සසරක ගමන් ගන්නා අයට තරහ, ක්‍රෝධ , වෛර , ඊර්ෂ්‍යා ගෙන යන්නට බැහැ. ඒ නිසා මෛති‍්‍රය රැගෙන ව්‍යාපාදය යටපත් කළ යුතු යි. එසේනම්, තම සිතෙහි පහළවන ව්‍යාපාදය, තරහව බව දැන ගැනීම උතුම් කාරණයක්. මට දැන් තරහවක් පැමිණියා යනුවෙන් දැන ගත යුතු යි. තරහවක්, තරහවක්. එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් දැන ගැනීම ව්‍යාපාද විදර්ශනාව නම් වෙයි. එය වැදගත් ම භාවනා අරමුණක් මෙන්ම තම සිතේ පහළවන තරහව නැති කර ගැනීමට දුන් උපදෙස් මාලාවක්.

බුද්ධ ශාසනයට අනුව කටයුතු කරන අයටත්, බුද්ධ ශාසනයෙන් පරිබාහිරව සිටින අයටත් ප්‍රයෝජනවත් දේ මෛත්‍රී භාවනාව යි. කෙනෙක් දුටු විට යටහත් පැවතුම් ඇතිව , නිහතමානීව , සුවච කීකරුව, සුහද ලීලාවෙන්, ආදරයෙන් , සෙනෙහසින්, ගෞරවයෙන් කතා බහ කළ යුතු යි. එය මාන්නය, උඩඟු බව ඇති කර ගැනීමට නොව, තම ගුණ දියුණු කර ගැනීමට යි. බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රය, මවුපිය, ගුරුවරු කෙරෙහි මෙන්ම ලෝකවාසී සත්ත්වයන් කෙරෙහි ද හද පත්ලෙන් මෛත්‍රියෙන් කටයුතු කළ යුතු යි.

තම සිතට තරහවක් පැමිණියොත්, තරහවක්, තරහවක්... එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් ද තරහව නැති වුණා. තරහව නැති වූ සිත ද අනිත්‍ය ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. එවිට කුසල් - අකුසල් දෙකම මෙනෙහි වෙයි. එය නුවණින් කල්පනාවෙන් සිදු කළ විට, නීවරණ විදර්ශනා භාවනාව හොඳින් කළ හැකි යි. වාඩිවෙලා, දෑස වසාගෙන , තම සිතට ගලාඑන පටිඝ චේතනාව දෙස බලමින් මෙනෙහි කර අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් වටහා ගත යුතු යි. අතීතයේ උපන් තරහව ඉවත් ව ගිය නිසා අතීත ලක්ෂණයෙන් සමන්විත යි. ඒ නිසා අතීත තණ්හාවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව පෙර ලිපි වලදී ද සඳහන් කළා. එසේම මෙම ලිපියෙහි ද අතීත තරහව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි , වර්තමාන තරහව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි , අනාගත තරහව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. වර්තමාන අරමුණ හොඳින් මෙනෙහි කිරීමෙන් සති, සමාධි, ඥාන හොඳින් වැඩෙයි. විශේෂයෙන් ධම්ම විචය සම්බොජ්ඣංගය හොඳින් වැඩෙන අතර එය සිතෙහි පහළ වීමෙන් තම නුවණ හොඳින් දියුණු කරගෙන යෝනිසෝමනසිකාරය ඉදිරියට දියුණු කර ගත හැකි යි . යෝනිසෝමනසිකාරය යනු නුවණින් මෙනෙහි කිරීම යි. එය සැමටම අපහසු දෙයක් වුවත්, ව්‍යාපාද නීවරණය හොඳට වටහාගෙන තරහව, වෛරය බව හොඳට දැන කියාගෙන එහි දොස් දැකිය යුතු යි.

ව්‍යාපාදය තේරුම් ගෙන පන්සිල් රකින්න පුරුදු වන්න. මෛතී‍්‍ර භාවනාව වැඩි කරගන්න. එවිට ඉවසීම ඇති වෙයි. ඉවසීම හොඳටම ලැබීමෙන් සිතෙහි පව් යටපත් කර, මෛත්‍රී පාරමිතාව, ක්ෂාන්ති පාරමිතාව , ප්‍රඥා පාරමිතාව ඇතුළු දස පාරමිතාවෝ ම සපුරා ගත හැකි යි. එලෙස කල්පනාවෙන් සැවොම සිල් ගුණ දියුණුවෙන් කලාතුරකින් ලැබුණු සම්බුදු සසුනෙහි ඵල ප්‍රයෝජන ගැනීමට පංචනීවරණ විදර්ශනාවේ දෙවැන්න වන ව්‍යාපාද නීවරණ භාවනාව බොහොම හොඳින්, සිහි කල්පනාවෙන් ඉදිරියට මෙනෙහි කරන්න.

කේසකාරී විමාන වර්ණනාව

 


කේසකාරී විමාන වර්ණනාව

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ

ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්

කේ. කේ . සුගතපාල


පින්වත, භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගධ දනව්වෙහි දක්ෂිණගිරියෙහි ඒකනාලා නම් බමුණුගම වැඩ සිටි සේක. එක් උදෑසනක ලොව බලා වදාරන්නේ කසීභාරද්වාජ බමුණාට රහත්විමේ වාසනාව දැක බමුණාගේ සී සෑමේ මංගල්‍ය තිබූ කුඹුරු යාය වෙත වැඩම කළ සේක.


ඒ වන විට 2500ක් පමණ වන සේවක පිරිස ආහාරයට සූදානම් ව සිටිය හ. බුදුරජාණන් වහන්සේ දුටු බමුණා, තමාගේ වැඩ පාළු කිරීමට මෙන් ම, මෙවන් බැබළෙන කයක් ඇති මොහුට සිඟා කෑමට තරම් හේතු විය හැක්කේ කුමක් නිසා ද යන සිතිවිල්ලෙන්, ‘ මහණ, මම වනාහී සී සෑම ද , වැපිරීම ද කොට වළඳමි. මහණ තෙපි ද එසේ කොට වළඳව ‘යි කී විට භාග්‍යවතුන් වහන්සේ ‘බමුණ මම ද එසේ කොට වළඳන්නෙක් වෙමි’යි වදාළ සේක. ‘ඔබත් එසේ නම් කෝ ඔබගේ වියදණ්ඩ (ගොනුන් බඳින හරස් පොල්ල) , නඟුල ( ලී කොටස) හී වැල ( බිම හාරන යකඩ කොටස) කෙවිට හෝ ගොනුන් දක්නට නැතැ’යි කී ය. ( අද ද සමාජය මිනිසුන් මනිනු ලබන්නේ පෙනුමෙන් ය, බාහිරෙන් ය ) පසුව බමුණා මෙසේ ද කී ය. ‘ගොවියෙක් යැයි කියන ඔබගේ සී සෑම හා වැපිරීම අපි කෙසේ දැනගන්නෙමු දැ’යි ඇසී ය.


එයට පිළිතුරු දෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ‘බමුණ, මාගේ, සී සෑම හා වැපිරීමේ දී බිජුවට වන්නේ ශ්‍රද්ධාව ය. තපස වැස්ස ය. ප්‍රඥාව මගේ වියදණ්ඩ හා නඟුල ය. ලජ්ජාව හා භය නඟුලෙහි හිස ය. සිත යොත ය. (ගොනුන් බඳින ලණුව ය) සිහිය ( සතිය ) මගේ හී වැල හා කෙවිට ය. ‘ යනා දී වශයෙන් මුළු ත්‍රිපිටකය ම ස්පර්ශවන ධර්ම ගංගාවක් සංයුක්ත නිකායේ එන ‘කසී සූත්‍රය’ තුළින් දේශනා කර ඇත්තේ ය. මෙයින් එක් ධර්ම කරුණක් පිළිබඳ ව පමණක් ඉදිරියට ගෙන ලියැවෙන ‘කේසකාරී විමාන වස්තු කථා වර්ණනාව’මෙසේ කෙටියෙන් සටහන් තබමි.


ඒ , ‘ශ්‍රද්ධාව’ නම් බිජුවට ගැන ය. සී සෑම හා වැපිරීම පිළිබඳ බමුණා ඇසූ ප්‍රශ්න මාලාවට බිජුවට ඇතුළත් නොවූවකි. එසේ වූ විට නො ඇසූ කරුණක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් ම කරුණු කීවේ ඇයි? එයට හේතු වනුයේ “බීජ” සී සෑමේ හා වැපිරීමේ මූල හේතුව නිසා ය. බීජ ඇති තරමට ය, වැපිරීම් කළ හැක්කේ, නැතහොත් නිශ්ඵල වෙහෙසක් පමණි. එහෙයින් ම මේ වැපිරීම අස්වැන්නට අදාළව ගත් විට බිජුවටින් ම පටන් ගත්තේ ය. එසේ ම අපි පිනක්, කුසලයක් කරන විට ද එහි ආනිසංස ( අස්වැන්න) අඩු වැඩි වන්නේ ශ්‍රද්ධාව බලවත්ව තිබූ ප්‍රමාණයට ය. තව ද කෙත කෙතරම් ලෙස සකස් වුවත් , විශාල වුවත් බීජ සරු නැත්තේ ද , බීජ අල්ප වේ ද , අස්වැන්න මද ය. අල්ප ය. එමෙන් ම පින්කම කෙතරම් අනර්ඝ වුවත්, විශාල වුවත්, දැරූ වියදම්, ගිය දුර කෙතරම් අධික වුවත් ශ්‍රද්ධාව මද වන්නේ ද ආනිසංස ස්වල්ප ම ය. ශ්‍රද්ධාව වනුයේ ම තුනුරුවන්ගේ ගුණ අවබෝධයෙන් දැන ඇති කරගන්නා අකාරවතී (පැහැදිමට ය) ශ්‍රද්ධාව ය. අට තැන සැක නො කොට සද්ධර්මයේ හැසිරීම ය. තව ද මෙම වැපිරීමට වැස්ස නැත්තේ ද කෙත හා බීජ කෙතරම් සරු වුවත් වැපිරීම සාර්ථක නොවේ. ගොයම මැරී යන්නේ ය. එමෙන් ම ශ්‍රද්ධාව (බිජුවට අර්ථවත් කළ හැක්කේ ම සඵල වන්නේ ම කය හා වචනයේ සංවරයෙන් ම ය. එහෙයින් මෙහිලා ශීලය (තපස) වර්ෂාව ලෙසින් බුදුරජාණන් වහන්සේ බමුණාට වදාළ සේක. අවසානයේ බමුණු දහම දැඩි සේ ඇදැහූ භාරද්වාජ බමුණා තෙරුවන් සරණ ගිය උපාසකයකු වූයේ ය. මෙසේ අපි දු බොහෝ පින්කම් කරන ඇත්තෝ ය. ඒ පින්කම් ද කෙතරම් විශාල වුවත්, වියදම් අධික වුවත්, එහි ඇත්තේ මහන්තත්වය පෙන්වීමක් ද , ප්‍රසිද්ධියක් ද, තරගකාරිත්වයක් ද , එවිට ආනිසංස ද අල්ප වන්නේ ම ය. ශ්‍රද්ධාව මහත් වේද සරු බීජ ලෙසින් ආනිසංස බොහෝ ය. (ස.නි. 1- බ්‍රාහ්මණ සංයුත්තය උපාසක වග්ගය කසී සූත්‍රය. පිටුව 306)

රාමණෙය්‍යක සූත්‍රය


රාමණෙය්‍යක සූත්‍රය

261

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිටියේය.

එකත්පසෙක හුන් ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, භූමිය පිළිබඳ රමණීය භාවය නම් කිමෙක්දැ” යි ඇසීය.

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “ආරාම චෛත්‍යයෝද, වන චෛත්‍යයෝද, හොඳාකාර කරනලද පොකුණුද, මනුෂ්‍යරමණීයත්වයෙන් සොළොස් කලාවෙන් කලාවකුත් අගනාහු නොවෙති.

“ගමෙහි වේවා, ඉදින් වනයෙහි හෝ වේවා, පහත් භූමියෙහි හෝ වේවා, ඉදින් ගොඩබිම හෝ වේවා, යම් තැනෙක්හි රහත්හු වෙසෙත්ද, භූමියෙහි රමණීයභාවය එයයි කියත්.”




Friday, July 16, 2021

ධම්මානුපස්සනාව

 


ධම්මානුපස්සනාව:


දෑසින් දකින දේ නුවණැසින් දකින්න

අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී

කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


යමෙක් දාන මාන පින්කම් පවා සූදානම් කරගෙන ඒවා නවත්වන්නේ ද, නොකර ඉන්නේ ද තණ්හාව නිස යි. සතෙකුටවත් ආහාර ටිකක් නොදීමට තරම්, සිත පහළ වන්නේ තණ්හාව නිස යි. සත්ත්වයාගේ උපත, ජීවත් වන, මිය යන ගමන නොනැවතී ඉදිරියට ගලා යන්නේ තණ්හාව නිස යි. එසේනම් සසර දුකට වැටෙන්නේ, රහත් නොවන්නේ තණ්හාව වැඩිකම නිස යි. ඒ නිසා තණ්හාව අඩුකර ගන්නා ක්‍රමය තථාගත බුදු පියාණන්වහන්සේ අපට බොහොම කරුණාවෙන් පහදා දුන්නා.


මේ සඳහා කවුරුත් සතර සතිපට්ඨාන භාවනාව පිළිබඳව හොඳ දැනීමක් ඇති කරගැනීමට මහන්සි ගන්න. සතිපට්ඨාන භාවනාව දියුණු කරද්දී සිත හොඳට පිරිසුදු වෙයි. ඇඬීම වැළපීම වැළකී යයි. යම් කෙනෙක් මිය ගිය විට, සිදුවන විපතක දී අඬන වැළපෙන ස්වභාවය වැළකී යයි. කායික මානසික දුක් කරදර අඩුවී නිවන් මඟට බැස ගනියි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගෙන නිවන් සම්පත් අවබෝධ කර ගැනීමට භාග්‍ය ලැබෙයි. සෝවාන් , සකෘදාගාමී , අනාගාමී, අර්හත් මාර්ග ඥාන ලබනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් වෙනවා. එසේනම්, චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ඉතාමත් ම වැදගත් පාඩම වන්නේ සතිපට්ඨාන භාවනාව යි. සතිපට්ඨාන භාවනාවේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව යනුවෙන් කොටස් තුනක් පසුගිය ලිපි මඟින් සඳහන් කළෙමු. බුදුසරණ පුවත්පතේ පළවූ ලිපි බොහෝ දෙනෙක් කියවා තිබෙනවා. ඒ මඟින් වැටහීමක් ඇතිකර ගෙන තිබෙනවා. අධ්‍යයනයක් ලබාගෙන තිබෙනවා. අද සඳහන් කරන්නේ පාඩමේ ගැඹුරු ම කොටස වන ධම්මානුපස්සනා සතිපට්ඨානය යි.


ධම්මානුපස්සනාව යනු විපස්සනා කොටස යි. ඇසෙන් බලන්නා සේ සිතෙන්(නුවණින්) බලන්නට පුළුවන්කම තිබෙනවා. ධම්මානුපස්සනාවේ ප්‍රධාන කොටස් පහකි. එය නීවරණ කාණ්ඩය, ස්කන්ධ කාණ්ඩය, ආයතන කාණ්ඩය, බොක්‍ධ්ජංග කාණ්ඩය, සත්‍ය කාණ්ඩය යනුවෙන් කොටස් පහකට බෙදා දක්වනවා.


ඉන් පළමු පාඩම නීවරණ විදර්ශනාව යි. අපේ සිත සම්පූර්ණයෙන් විනාශ කරන, සංසාර ගමන දුකට පත්වන දෙයක් වන්නේ නීවරණ යි. නීවරණ කොටස් පහකට බෙදා දක්වේ. එය පංචනීවරණ යනුවෙන් හඳුන්වන අතර, මේවා තම සිතෙන් බැහැර කළ යුතු කෙලෙසුන් වෙනවා. එනම්, කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය ථීනමිද්ධ නීවරණය, උද්දච්ඡ කුක්කුච්ඡ නීවරණය, විචිකිච්ඡා නීවරණය, වශයෙනි. සුගතිය ද නිවන ද වසා දමන අපාය මඟ විවර වෙන නීවරණ ගැන කවුරුත් හොඳ වැටහීමක් ඇතිකර ගෙන, පවට ගිජු නොවී සිත දියුණු කිරීමේ ප්‍රතිපත්ති මඟට බැසගත යුතු යි. එවිට ශීලා දී ගුණ සම්පත් හොඳට දියුණු තියුණු කරගෙන තමන්ට විශාල ශක්තියක් බලයක් ගොඩ නංවා ගන්නට පුළුවන්.


බුදුරජාණන් වහන්සේ නීවරණ පිළිබඳ බොහෝ සූත්‍ර දේශනාවල පැහැදිලි කර තිබෙනවා. නීවරණ හටගන්නා ආකාරය, පවතින ආකාරය, නැතිවන ආකාරය පිළිබඳව වැටහීමකින් අප කටයුතු කළ යුතු යි. නීවරණ හට ගන්නේ කයේ නොවෙයි, සිතෙ යි. සිත තුළ හට ගනු ලබන බරපතළ ම අකුසල ධර්ම පහක් වන්නේ නීවරණ පංචකය යි. එසේනම්, තම සිත තුළ හටගන්්නා පංච නීවරණ ස්වර්ග, මෝක්ෂ දෙකටම බාධා කරනවා. මරණින් මතු දෙව්ලොවට, බඹ ලොව යන්නට , සුගතිගාමී වෙන්නට ඉඩ දෙන්නේ ම නැහැ. නිවනට යන්නට කෙසේවත් ඉඩ දෙන්නේ නැහැ. තමන්ගේ සිතේ පහළවන නීවරණයක් බව හොඳින් දැන ගැනීම බුදු දහමෙන් උගන්වනවා.


පළමුවැන්න කාමච්ඡන්ද නීවරණය යි. එනම් පංචකාම වස්තූන් පිළිබඳව ඇතිවන කැමැත්ත යි. කාමච්ඡන්දය පිළිබඳව, නීවරණ පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගත යුතු යි. විවේකීව වාඩිවෙලා තම සිතට එන කාමච්ඡන්දය ගැන හොඳින් බැලිය යුතු යි. මගේ සිතේ කාමච්ඡන්දය පහළ වුණා. එය නැතිවී ගියා, එය අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්ම යි, අතීතයට ගිය කාමච්ඡන්දය නැවත හට ගන්නේ නැහැ. නැවත හටගන්නේ අලුත් සිත්. ඒ නිසා සිතට පහළවන, කාම්ච්ඡන්ද නීවරණය හොඳින් අවබෝධ කරගෙන මෙනෙහි කරන්න. අතීත වූ කාමච්ඡන්ද නීවරණයත් අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. වර්තමාන කාමච්ඡන්ද නීවරණයත් අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, අනාගත කාමච්ඡන්ද නිවරණයත් අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න පුරුදු වන්න. තම සිතට තණ්හාවක් ආවොත්, ‘තණ්හාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කරන්න.


තමන්ගේ සිතේ කාමච්ඡන්දයක් ඇතිවුණහම මගේ සිතේ කාමච්ඡන්දය තිබෙනවා යැ’යි දැනගත්තොත්, එය හොඳ නුවණක්. තමන්ගේ සිතේ කාමච්ඡන්දය නැත්නම්, ‘තම සිතේ කාමච්ඡන්දය නැති බව දැනගැනීමත් හොඳ දැනීමක්’ . නූපන් කාමච්ඡන්දය උපන්නේ ය යනුවෙන් දැනගන්නවා නම්, සිතේ උපන් කාමච්ඡන්දය නැතිවුණ බව දැනගැනීම ද සිතේ නැතිවූ කාමච්ඡන්දය නැවත උපදින්නේ නැති බව දැනගන්නවා නම්, එය ලොකු දැනීමක්. මෙලෙස මේ නීවරණ ගැන වැටහීමක් ඇතිකරගෙන, ක්‍රම පහත් සිතාගෙන කාමච්ඡන්ද නීවරණය හෙවත් තණ්හාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යිි යනුවෙන් සියවර දහස්වර මෙනෙහි කළ යුතු යි.


කාමච්ඡන්ද ඇතිවීමට හේතුව රූපා දී අරමුණු සුබ වශයෙන් ගැනීම යි. එය මෝහය යි. මෝහය නම් මෝඩකම යි. අනුවණින් හටගන්නවා යනු එය යි. අයෝනිසෝ මනසිකාරය යනුත් එයම යි. ඒ නිසා මේවා පිළිබඳව වැටහීමක් ඇතිකරගෙන නිත්‍ය සුබ, ආත්ම වශයෙන් නොගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ම සලකා බැලිය යුතු යි. එය බොහොම වැදගත් පාඩමක්. ඇත්තෙන්ම පෙර සඳහන් කළා සේ ම, කාමච්ඡන්දය ඇතිවීමට හේතුව පංචකාම වස්තූන් පිළිබඳව තෘෂ්ණාව යි. කාමච්ඡන්දය ප්‍රහාණයට අසුභ නිමිති ඉගෙනීම, අසුභ භාවනාවේ යෙදීම, ඉඳුරන් සංවර කර ගැනීම, ආහාරයේ පමණ දැනීම, කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම, යෝග්‍ය කථාව ආදී කරුණු හයෙන් කාමච්ඡන්ද නීවරණය නැතිකර ගන්න පුළුවන්.


තණ්හාවෙම කොටසක් වන්නේ කාමච්ඡන්ද නීවරණය යි. ඒ නිසා තම සිතේ කාමච්ඡන්ද නීවරණයක් හටගත්විට එය නුවණින් බැලිය යුතුයි. එය හටගත්තේ කෙසේ ද? එහි තත්ත්වය කෙලෙස ද? ආදීනව කෙසේද? යනුවෙන් බලා නුවණින් හොඳට බලාගෙන කාමච්ඡන්ද නීවරණය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් සියවර දහස්වර මෙනෙහි කළ යුතු යි. ‘මේ මොහොතේ මගේ සිතේ කාමච්ඡන්දයක් නැහැ.’ ඒ නැති සිතත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මෙලෙස අපේ භාවනා අරමුණ හොඳට මෙනෙහි කරන්නට මේ පිළිබඳව හසළ දැනුමක් ඇති කරගන්න.


සිතට තණ්හාවක් හෝ කාමච්ඡන්දයක් ආවොත්, එයම මෙනෙහි කර කාමච්ඡන්දය ඇතිවුණා, කාමච්ඡන්දය නැති වුණා. එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. අතීතයට ගියා කාමච්ඡන්දය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, අනාගතයේ පහළවන කාමච්ඡන්දය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න පුරුදු වන්න. එයට ස්ථානයක් අවශ්‍ය නැහැ. ඕනෑම ඉරියව්වකදී පුළුවන්. වාහනයක ගමන් ගනිද්දී, ඇවිද ගෙන යද්දී, කඩයට යද්දී තමන්ගේ සිතට පැමිණෙන අරමුණු ඒ ක්ෂණයෙහිම මෙනෙහි කරන්න මහන්සි ගන්න. එය විශාල පිනක්.


බුදු දහමේ වැදගත්ම දෙය චතුරාර්ය සත්‍යය අවබෝධය යි. චතුරාර්ය සත්‍යයේ, සමුදය සත්‍ය යනු කාමච්ඡන්ද නීවරණය ප්‍රහාණය කිරීමෙන් ලබන අවබෝධය යි. එවිට දුක අවබෝධ වෙනවා. තණ්හාව අවබෝධ කරගන්නේ නැතිව දුක අවබෝධ කරගන්න බැහැ. තණ්හාව නිසා දුක් රැස් වෙනවා. ඒ නිසා දුක දිගින් දිගට යෑමට ඉඩ නොදී එය නතර කර ගැනීම සඳහා තණ්හාව නැති කළ යුතු යි. ඒ සඳහා තණ්හාවෙහි ආදීනව දැනගෙන එය මෙනෙහි කිරීමෙන් තණ්හාව යටපත් කළ හැකි යි.


මහ රහතන් වහන්සේ යනු සම්පූර්ණයෙන් තණ්හාව නැති කළ උතුමාණන් වහන්සේ යි. උන් වහන්සේට අබමල් රේණුවක තරම්වත් තණ්හාවක් හට ගන්නේ නැහැ. අනාගාමී උතුමන්ට භව තෘෂ්ණාව ටිකක් තිබෙනවා. සකෘදාගාමී , සෝවාන් , උතුමන්ට ඊට වඩා ටිකක් තිබෙනවා. පෘතග්ජනයාට බහුලව ම තිබෙනවා.


ඉදිරි පාඩම්වලදීත් තවත් නීවරණ පිළිබඳව ඉදිරිපත් කළ විට, තමන්ට හසළ දැනුමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැනට මෙම කොටස් හොඳින් කියවා දැනීමක් ඇතිකර ගෙන කටයුතු කරගන්න.


- ජම්මික ප්‍රබෝධනී වැලිකල


සප්ත ආර්ය ධනය



සප්ත ආර්ය ධනය

ඌරුගමුවේ අස්සජි හිමි


" සද්ධාව, සීලය, ලජ්ජාව, භය, ශ්‍රැතිය, පරිත්‍යාගය, ප්‍රඥාව යන මේවා සප්ත ආර්ය ධනය නම් වේ."


ධනය යන වචනය ඇසූ සැණින් ම අප මතකයට නැගෙනුයේ මිල මුදල් හා ඒවා භාවිතයෙන් ලබාගන්නා නිවාස, ඉඩකඩම්, යාන වාහන ආදී දේ පිළිබඳවයි. ලෞකික හෙවත් මෙලොව ජීවිතයට පමණක් අයත් වන මේ සියල්ල තාවකාලික ය.


ඇතැම් ඒවා ඉතා සුළු මොහොතකින් පවා විනාශ වී යා හැකි ය. ගින්නෙන්, ජලයෙන් සොරසතුරන් අතට පත්වීමෙන්, රජයට අයත්වීමෙන් සහ වියදම් වීමෙන් යනාදී වශයෙන් මේවා විනාශවීමට ඇති අවස්ථා බොහෝ ය.


සුනාමි වැනි ව්‍යසනයන් හි දී මොහොතින් විනාශයට පත් වූයේ වටිනා මිනිස් ජීවිත සේ ම මිනිසුන් ජීවිත කාලය පුරාවට ම දුක් මහන්සි වී උපයාගත් ලෞකික ජීවිතයට අයත් දේවල් ය. තව ද අගනා පොලී අනුපාතයන් ලබා දෙන බව පවසමින් ජනතාවගේ මුදල් අධික වශයෙන් ලබාගත් අය පිළිබඳ ඉකුත් සමයේ අසන්නට ලැබුණි. අවසානයේ සිදුවූයේ එම මුදල් ඒ ඒ පුද්ගලයන් සමඟම අතුරුදහන්වීම යි. එම හේතුවෙන් තමා සන්තක ධනය අහිමි වූ ඇතැම්හු බලවත් චිත්ත පීඩනයට පත් ව ජීවිත හානිකර ගැනීමට පවා පෙළඹුණ හ.


මෙම ලෞකික ධනය ඉහත කී සෑම ව්‍යසනයකින් ම මැනවින් ආරක්ෂා කරගෙන සිටිය ද, අවසානයේ පුද්ගලයා ජීවිතයෙන් සමුගන්නා මොහොතේ දී සිදුවන්නේ කුමක් ද? ඒ සියල්ල හැර දමා හිස් අතින් පරලොව යාම යි. එනයින් බැලූ කල ද ලෞකික ධනයෙහි තාවකාලික ස්වභාවය වටහා ගැන්ම අපහසු නොවෙයි. මෙහි දී බුදුදහමේ ඉගැන්වෙන සප්ත ආර්ය ධනය පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. ඒ පිළිබඳ ඉගැන්වෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සංඛිත්ත ධන සූත්‍රයෙහි ය. ලෞකික ධනය හා සප්ත ආර්ය ධනයන් අතර පවත්නා වෙනස හඳුනාගෙන සිටීම ජීවිතයට ඉතා වැදගත් ය. පළමුව සප්ත ආර්ය ධනය යනු කුමක්දැයි, වටහා ගෙන සිටිමු.


සද්ධා ධනං සීල ධනං

හිරිඔත්තප්පියං ධනං

සුත ධනං ච චාගෝ ච

පඤ්ඤා මෙ සත්තමං ධනං

යස්ස ඒතේ ධනා අත්ථි

ඉත්ථියා පුරිසස්ස ච

අදලිද්දෝති තං ආහූ

අමෝඝං තස්ස ජීවිතං


මේ අනුව සද්ධාව, සීලය, ලජ්ජාව, භය, ශ්‍රැතිය, පරිත්‍යාගය, ප්‍රඥාව යන මේවා සප්ත ආර්ය ධනය නම් වේ. මෙම ධන සම්පත්තීන් කිසියම් ස්ත්‍රියක් තුළ හෝ පුරුෂයෙක් තුළ පිහිටා තිබෙත් ද, ඔවුහු දිළින්දෝ නො වෙති. ඔවුන් ගේ ජීවිත හිස් ජීවිත නොවෙති.


මෙහි දී මිල මුදල් යනාදී ලෞකික ධනය අනවශ්‍ය යැයි කිසි විටෙක තේරුම් නොගත යුතු ය. එහෙත් ලෞකික ධනයෙහි පවත්නා තාවකාලික ස්වභාවය වටහා නො ගෙන ඒවාම රැස් කරමින් මෙම ආර්ය හෙවත් උසස් ධන සම්පත්තීන් සත පිළිබඳව අනවබෝධයෙන් ක්‍රියා කිරීම මෙලොව පරලොව ජීවිතයට කිසිසේත් ම හිතකර නොවේ. ලෞකික ධනයත්, ආර්ය ධනයත් යන දෙක සමබරව රැස්කර ගැනීම ජීවිතයට වඩාත් ම උචිත ක්‍රියා පිළිවෙත යි. අප කොතෙක් ආශාවෙන් රැස් කළ ද, ලෞකික ධනය තාවකාලික දෙයක් බවත්, සප්ත ආර්ය ධනය තාවකාලික නොවන නිවන දක්වාම අඛණ්ඩව ගමන් කරන ස්ථිර ධනයක් බවත් අප තේරුම් ගත යුතු ය. 



සුසුම් නොහෙළා සැනසීමෙන් දිවි ගෙවන්නට

 


සුසුම් නොහෙළා සැනසීමෙන් දිවි ගෙවන්නට ...

සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ

ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජමහා විහාරය,

මැණික්හින්න හීපිටිය පුරාණ බෝධිමළු විහාරය,

මහනුවර ශ්‍රී නාථදේවාලය විහාරය,

ගැටඹේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය යන විහාරයන්හි අධිපති

උපාධ්‍යාය ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර නායක

ගොමගොඩ විමලකීර්ති ශ්‍රී ගුණරතන රතනසාර නා හිමි


නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.


“අචරිත්වා බ්‍රහ්ම චරියං

අලද්ධා යොබ්බනේ ධනං

ජිණ්ණකොඤ්චාව ඣායන්ති

ඛීණ මච්චේව පල්ලලේ

අචරිත්වා බ්‍රහ්ම චරියං අලද්ධා

යොබ්බනේ ධනං සෙන්ති චාපාතිඛිණා ව

පුරාණානි අනුත්ථුනං”


කාරුණික පින්වත්නි,


බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කළ ධර්මයෙහි සාරය ලෙස ධම්මපදය හඳුන්වා දෙන්න පුළුවන්. මාතෘකාව වශයෙන් දැක්වූ ගාථාවන්හි දැක්වෙන ආකාරයට බ්‍රහ්ම + චරියං අචරිත්වා - ඒ කියන්නේ උතුම් හැසිරීමේ නොහැසිරවීමයි. බ්‍රහ්මචරිය - මෙය දේශනාවේදී කොටස් දෙකකට බෙදා දේශනා කර තිබෙනවා. සාසන බ්‍රහ්මචරිය මග්ග බ්‍රහ්මචරිය වශයෙන් සාසන බ්‍රහ්මචරිය යනු :- ගිහි ජීවිතයෙන් නික්මි මහණ දම් පිරීමෙන්, සිල් රැකීමෙන්, ගත කරන ජීවිතය හඳුන්වා දෙන්නට පුළුවන්. මග්ග බ්‍රහ්මචරිය :- ලොව්තුරා මග - පල පත්ව බ්‍රහ්මචාරීව ජීවත්වීම ලෙස දේශනා කොට ඇත.


යොබ්බනෙ ධනං අලද්ධා :- තරුණ වයසේදී ධනය හරි හම්බ නොකර කයේ හා සිතේ ශක්තිය ඇති කාලසීමාවේ දී උපන් ධනය රැකීමෙන් තොරව හා නූපන් ධනය වෙනුවෙන් ගොවිතැන් කටයුතු හා වෙළදාම් ආදිය නොකොට කල්ගත වීමේදී පසු තැවීමට හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට වැසි සමයෙහි මසුන් අල්ලා නොගෙන පසුව සිඳී ගිය පොකුණ දෙස බලා පසු තැවිලි වන මහලු කොස්වා ලිහිණියන් මෙන් පසු තැවෙමින්, සුසුම්ලමින් ජීවත් වීමට සිදු වන්නාක් වගෙයි යනුවෙන්.


චාපා අතිඛිණා ඉව - දුන්නෙන් විදි ඊතලය මෙන් ය. විදි සැටියේ ඊතලයේ වේගය ඉතා බලවත්වෙයි. වේගය අඩු වී වැටෙන තැන ( කැළයේ ) වේයන් වැදීමෙන් විනාශ වෙනවා හැර වෙන ඵලයක් ඇති වන්නේ නැත.


පුරාණානි අනුත්‍ථුනං :- තරුණ කාලයේ කයේ සිතේ වේගය බලවත්වේ. දුන්නෙන් යැවූ ඊතලය වගේ. ඊතලයේ සැර බාලවී කැලයේ වැටුණ තැන දිර දිර ා තිබෙන්නා වගේ මහලු වූ පසු ජරාවෙන් දිරා මිරිකි මිරිකි පෙර දවස්වල කෑම් - බීම් - නැටුම් - ගැයුම් සිදු කළ ආකාරය සිත සිතා සුසුම්ලමින් ශෝකයට පත්වෙනවා.


මේ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ - බරණැස් නුවර අසූ කෝටියක් ධනය ඇති සිටුවරයකුගේ පුතෙක් අරභයා. බොහෝම ධනය තිබෙන නිසා මව්පියෝ මේ පුතාට ඉගැන්නුවේ නැහැ. පුතා සෙල්ලමින්ම කාලය ගත කළා. ඒ වගේම මේ බරණැස් නුවර අසූකෝටියක් ධනය ඇති තවත් සිටු පවුලක දූ කුමාරියක් හිටියා. ඒ මව්පියොත් ධනය තිබෙන නිසා මේ දූ කුමරියට ඉගැන්නුවේ නෑ. ඇයත් සෙල්ලමින් ම කාලය ගතකළා. පසු කාලයේ දී වැඩි වියට පැමිණි මේ දෙදෙනාම විවාහ ජීවිතයට ඇතුළත් වුණා. මව්පියෝ මිය පරළොව ගියාට පසුව මේ තරුණ යුවල යහළු මිත්‍රයින් සමඟ කා බී ජීවත් වුණා. සියලුම ධනය වියදම් වුණා. අන්තිමේ දී ගේදොර ඉඩකඩම් විකුණ විනෝද වුණා. මහලු වියේදී මේ දෙදෙනාට යහළුවනුත් නැතිව හිඟා කන්නයි සිද්ධ වුණේ. දවසක් මේ දෙපළ ජේතවනාරාමයටත් හිඟමනේ ගියා. පොඩි හාමුදුරුවරු මේ දෙදෙනාට රසකැවිලි දුන්නා. මේ අවස්ථාව බුදුරජාණන් වහන්සේ දැක්කා. තරුණ කාලයේ බඹසර හැසිරෙන්නෙත් නැතුව, ධනය සපයා ගත්තෙත් නැතිව තිබුණ සම්පත් විනාශ කරගෙන මේ දෙදෙනා සිඟා කන හැටි බලන්න යනුවෙන් දේශනා කරමින් මේ ගාථා ධර්මය දේශනා කළා.


දළිද්ද සූත්‍රය



දළිද්ද සූත්‍රය  

260

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි ඒ භික්‍ෂූන්ට කථාකළසේක. “ස්වාමීනී” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: “මහණෙනි, පෙරවූ දෙයක් කියමි. මේ රජගයනුවරම හිඟන්නාවූ නිවටවූ දිළිඳුවූ එක්තරා පුරුෂයෙක් විය.

“හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව පිහිටවීය, සීලය සමාදන්වීය. ධර්‍මය ඉගෙනීමෙහි යෙදුනේය, ත්‍යාගය සමාදන්වීය, ප්‍රඥාව සමාදන් වීය.

“හෙතෙම තථාගතයන් වහන්සේ විසින් දේශනාකරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ධර්‍මය ඉගෙණගැනීමෙහි යෙදී, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව

සමාදන්ව, මැරී ශරීරය බිඳී ගියපසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයට උප්පත්තිවශයෙන් පැමිණියේය. හෙතෙම ශරීර ශෝභාවෙන්ද යසසින්ද අන් දෙවියන් පරදවයි.

“මහණෙනි, එහි තව්තිසා වැසි දෙවියෝ (ඒ දෙවියා) ලාමක වශයෙන් සිතත්:, (ඒ බව) ප්‍රකාශ කෙරෙත්., ඒ ඒ තැන පතුරවත්: ‘පින්වත්නි, (මේදේ) ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයි: පින්වතුනි, ඒකාන්තයෙන් පුදුමයි, මේ දිව්‍යපුත්‍ර තෙම වනාහි පෙර මිනිස්බවෙහි සිටිකල දිළින්දෙක් විය. (හිඟන්නෙක්) විය, නිවටෙක් විය. හෙතෙම මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසාවැසි දෙවියන්ගේ සමාගමයට, ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි. (කියායි.)

“මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම තව්තිසා වැසි දෙවියන් (මෙසේ) ඇමතීය. පින්වතුනි, තෙපි මේ දෙව්පුතු ලාමකකොට නොසිතව්, පින්වතුනි, මේ දෙව්පුත්තෙම පෙර මිනිස් භවයෙහි සිටිකල තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව සමාදන්විය, සීලය සමාදන්විය, ධර්‍මය ඉගෙනගැනීමෙහි යෙදුනි, ත්‍යාගය සමාදන්විය, ප්‍රඥාව සමාදන්විය, හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ශ්‍රුතය සමාදන්ව, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව සමාදන්ව, මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට සුගති නම්වූ ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි.” (කියායි.)

“මහණෙනි, එකල සක් දෙවිඳු තෙම තව්තිසා වැසි දෙවියන් සතුටු කරනුයේ, ඒ වේලාවෙහි මේ ගාථාවන් කීය:

“යමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්‍ධාව ස්ථිරවේද, නිශ්චලව හොඳින් පිහිටියේ වේද, යමකුගේ යහපත්වූ ශීලයන් ආර්‍ය්‍යයන් විසින් ප්‍රිය කරන ලද්දේ ඔවුන් විසින් ප්‍රශංසා කරන ලද්දේද,

“යමකුට සංඝයා කෙරෙහි පැහැදීම ඇත්තේද, යමකුගේ දර්‍ශනයත් ඎජුවූයේවේද, ඔහු දිළිඳු නොවූවෙකැයි උතුමෝ කියති. ඔහුගේ ජීවිතය හිස් නොවේ.

“එහෙයින් ප්‍රාඥතෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහිකරන්නේ, ශ්‍රද්‍ධාවද, ශීලයද, පැහැදීමද, ධර්‍මය දැකීමද, එහි යෙදීමෙන් පිරිසිදු කරන්නේය.”




පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...