Friday, July 16, 2021

සුසුම් නොහෙළා සැනසීමෙන් දිවි ගෙවන්නට

 


සුසුම් නොහෙළා සැනසීමෙන් දිවි ගෙවන්නට ...

සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ

ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජමහා විහාරය,

මැණික්හින්න හීපිටිය පුරාණ බෝධිමළු විහාරය,

මහනුවර ශ්‍රී නාථදේවාලය විහාරය,

ගැටඹේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය යන විහාරයන්හි අධිපති

උපාධ්‍යාය ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර නායක

ගොමගොඩ විමලකීර්ති ශ්‍රී ගුණරතන රතනසාර නා හිමි


නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.


“අචරිත්වා බ්‍රහ්ම චරියං

අලද්ධා යොබ්බනේ ධනං

ජිණ්ණකොඤ්චාව ඣායන්ති

ඛීණ මච්චේව පල්ලලේ

අචරිත්වා බ්‍රහ්ම චරියං අලද්ධා

යොබ්බනේ ධනං සෙන්ති චාපාතිඛිණා ව

පුරාණානි අනුත්ථුනං”


කාරුණික පින්වත්නි,


බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කළ ධර්මයෙහි සාරය ලෙස ධම්මපදය හඳුන්වා දෙන්න පුළුවන්. මාතෘකාව වශයෙන් දැක්වූ ගාථාවන්හි දැක්වෙන ආකාරයට බ්‍රහ්ම + චරියං අචරිත්වා - ඒ කියන්නේ උතුම් හැසිරීමේ නොහැසිරවීමයි. බ්‍රහ්මචරිය - මෙය දේශනාවේදී කොටස් දෙකකට බෙදා දේශනා කර තිබෙනවා. සාසන බ්‍රහ්මචරිය මග්ග බ්‍රහ්මචරිය වශයෙන් සාසන බ්‍රහ්මචරිය යනු :- ගිහි ජීවිතයෙන් නික්මි මහණ දම් පිරීමෙන්, සිල් රැකීමෙන්, ගත කරන ජීවිතය හඳුන්වා දෙන්නට පුළුවන්. මග්ග බ්‍රහ්මචරිය :- ලොව්තුරා මග - පල පත්ව බ්‍රහ්මචාරීව ජීවත්වීම ලෙස දේශනා කොට ඇත.


යොබ්බනෙ ධනං අලද්ධා :- තරුණ වයසේදී ධනය හරි හම්බ නොකර කයේ හා සිතේ ශක්තිය ඇති කාලසීමාවේ දී උපන් ධනය රැකීමෙන් තොරව හා නූපන් ධනය වෙනුවෙන් ගොවිතැන් කටයුතු හා වෙළදාම් ආදිය නොකොට කල්ගත වීමේදී පසු තැවීමට හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට වැසි සමයෙහි මසුන් අල්ලා නොගෙන පසුව සිඳී ගිය පොකුණ දෙස බලා පසු තැවිලි වන මහලු කොස්වා ලිහිණියන් මෙන් පසු තැවෙමින්, සුසුම්ලමින් ජීවත් වීමට සිදු වන්නාක් වගෙයි යනුවෙන්.


චාපා අතිඛිණා ඉව - දුන්නෙන් විදි ඊතලය මෙන් ය. විදි සැටියේ ඊතලයේ වේගය ඉතා බලවත්වෙයි. වේගය අඩු වී වැටෙන තැන ( කැළයේ ) වේයන් වැදීමෙන් විනාශ වෙනවා හැර වෙන ඵලයක් ඇති වන්නේ නැත.


පුරාණානි අනුත්‍ථුනං :- තරුණ කාලයේ කයේ සිතේ වේගය බලවත්වේ. දුන්නෙන් යැවූ ඊතලය වගේ. ඊතලයේ සැර බාලවී කැලයේ වැටුණ තැන දිර දිර ා තිබෙන්නා වගේ මහලු වූ පසු ජරාවෙන් දිරා මිරිකි මිරිකි පෙර දවස්වල කෑම් - බීම් - නැටුම් - ගැයුම් සිදු කළ ආකාරය සිත සිතා සුසුම්ලමින් ශෝකයට පත්වෙනවා.


මේ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ - බරණැස් නුවර අසූ කෝටියක් ධනය ඇති සිටුවරයකුගේ පුතෙක් අරභයා. බොහෝම ධනය තිබෙන නිසා මව්පියෝ මේ පුතාට ඉගැන්නුවේ නැහැ. පුතා සෙල්ලමින්ම කාලය ගත කළා. ඒ වගේම මේ බරණැස් නුවර අසූකෝටියක් ධනය ඇති තවත් සිටු පවුලක දූ කුමාරියක් හිටියා. ඒ මව්පියොත් ධනය තිබෙන නිසා මේ දූ කුමරියට ඉගැන්නුවේ නෑ. ඇයත් සෙල්ලමින් ම කාලය ගතකළා. පසු කාලයේ දී වැඩි වියට පැමිණි මේ දෙදෙනාම විවාහ ජීවිතයට ඇතුළත් වුණා. මව්පියෝ මිය පරළොව ගියාට පසුව මේ තරුණ යුවල යහළු මිත්‍රයින් සමඟ කා බී ජීවත් වුණා. සියලුම ධනය වියදම් වුණා. අන්තිමේ දී ගේදොර ඉඩකඩම් විකුණ විනෝද වුණා. මහලු වියේදී මේ දෙදෙනාට යහළුවනුත් නැතිව හිඟා කන්නයි සිද්ධ වුණේ. දවසක් මේ දෙපළ ජේතවනාරාමයටත් හිඟමනේ ගියා. පොඩි හාමුදුරුවරු මේ දෙදෙනාට රසකැවිලි දුන්නා. මේ අවස්ථාව බුදුරජාණන් වහන්සේ දැක්කා. තරුණ කාලයේ බඹසර හැසිරෙන්නෙත් නැතුව, ධනය සපයා ගත්තෙත් නැතිව තිබුණ සම්පත් විනාශ කරගෙන මේ දෙදෙනා සිඟා කන හැටි බලන්න යනුවෙන් දේශනා කරමින් මේ ගාථා ධර්මය දේශනා කළා.


දළිද්ද සූත්‍රය



දළිද්ද සූත්‍රය  

260

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි ඒ භික්‍ෂූන්ට කථාකළසේක. “ස්වාමීනී” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: “මහණෙනි, පෙරවූ දෙයක් කියමි. මේ රජගයනුවරම හිඟන්නාවූ නිවටවූ දිළිඳුවූ එක්තරා පුරුෂයෙක් විය.

“හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව පිහිටවීය, සීලය සමාදන්වීය. ධර්‍මය ඉගෙනීමෙහි යෙදුනේය, ත්‍යාගය සමාදන්වීය, ප්‍රඥාව සමාදන් වීය.

“හෙතෙම තථාගතයන් වහන්සේ විසින් දේශනාකරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ධර්‍මය ඉගෙණගැනීමෙහි යෙදී, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව

සමාදන්ව, මැරී ශරීරය බිඳී ගියපසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයට උප්පත්තිවශයෙන් පැමිණියේය. හෙතෙම ශරීර ශෝභාවෙන්ද යසසින්ද අන් දෙවියන් පරදවයි.

“මහණෙනි, එහි තව්තිසා වැසි දෙවියෝ (ඒ දෙවියා) ලාමක වශයෙන් සිතත්:, (ඒ බව) ප්‍රකාශ කෙරෙත්., ඒ ඒ තැන පතුරවත්: ‘පින්වත්නි, (මේදේ) ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයි: පින්වතුනි, ඒකාන්තයෙන් පුදුමයි, මේ දිව්‍යපුත්‍ර තෙම වනාහි පෙර මිනිස්බවෙහි සිටිකල දිළින්දෙක් විය. (හිඟන්නෙක්) විය, නිවටෙක් විය. හෙතෙම මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසාවැසි දෙවියන්ගේ සමාගමයට, ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි. (කියායි.)

“මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම තව්තිසා වැසි දෙවියන් (මෙසේ) ඇමතීය. පින්වතුනි, තෙපි මේ දෙව්පුතු ලාමකකොට නොසිතව්, පින්වතුනි, මේ දෙව්පුත්තෙම පෙර මිනිස් භවයෙහි සිටිකල තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව සමාදන්විය, සීලය සමාදන්විය, ධර්‍මය ඉගෙනගැනීමෙහි යෙදුනි, ත්‍යාගය සමාදන්විය, ප්‍රඥාව සමාදන්විය, හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ශ්‍රුතය සමාදන්ව, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව සමාදන්ව, මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට සුගති නම්වූ ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි.” (කියායි.)

“මහණෙනි, එකල සක් දෙවිඳු තෙම තව්තිසා වැසි දෙවියන් සතුටු කරනුයේ, ඒ වේලාවෙහි මේ ගාථාවන් කීය:

“යමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්‍ධාව ස්ථිරවේද, නිශ්චලව හොඳින් පිහිටියේ වේද, යමකුගේ යහපත්වූ ශීලයන් ආර්‍ය්‍යයන් විසින් ප්‍රිය කරන ලද්දේ ඔවුන් විසින් ප්‍රශංසා කරන ලද්දේද,

“යමකුට සංඝයා කෙරෙහි පැහැදීම ඇත්තේද, යමකුගේ දර්‍ශනයත් ඎජුවූයේවේද, ඔහු දිළිඳු නොවූවෙකැයි උතුමෝ කියති. ඔහුගේ ජීවිතය හිස් නොවේ.

“එහෙයින් ප්‍රාඥතෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහිකරන්නේ, ශ්‍රද්‍ධාවද, ශීලයද, පැහැදීමද, ධර්‍මය දැකීමද, එහි යෙදීමෙන් පිරිසිදු කරන්නේය.”




Thursday, July 15, 2021

අතුරුදන් වූ පැන් කළ දහස

 අතුරුදන් වූ පැන් කළ දහස




රාජකීය පණ්ඩිත,

ශාස්ත්‍රපති

මහරැඹෑවැවේ පාලිත හිමි


අද ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ අංගුත්තර නිකාය අටුවාව වන මනෝරථපූරණියෙහි සඳහන් ලක්දිව කතා ප්‍රවෘත්තියකි. මනෝරථපූරණීය ද බුද්ධඝෝස හිමියන් ගේ ම තවත් කෘතියකි. මෙහි ලක්දිව එකල ප්‍රචලිතව තිබූ කතා ප්‍රවෘත්ති රැසක් ඇතුළත්ව ඇත.


රුහුණු දනව්වෙහි ගාමෙණ්ඩවාල නම් මහා විහාරයට අයත් ගොදුරු ගමක වැදි කුලයක මීලක්ඛ නමින් උපන් ඔහු වැඩිවියට පැමිණ විවාහපත් වූයේ රකින ලද අඹුදරුවන් ඇත්තේ සතුන් මරමින් ජීවිකාව ගෙන යයි. ඔහු විසින් සතුන් ඇල්ලීම සඳහා සියයක් පමණ වූ හබක් ද, සියයක් පමණ වූ උගුල් ද. සියයක් පමණ වූ උල් ද අටවන ලද්දේ වෙයි. මෙසේ දෛනිකව සතුන් මරමින් පව් රැස් කරගන්නා ඔහු දිනක් ගින්දර හා ලුණු රැගෙන වනයට පිවිසියේ ය.


එහි දී උගුලෙහි අසුවී සිටි එක් සතෙක් පුළුස්සා කා පිපාසිත වූයේ වතුර සොයමින් ඇවිදින්නේ ගාමේණ්ඩවාල විහාරයේ පැන් දැක එහි පිවිසියේ ය. එහි පුරවන ලද පැන් කළ දහසක් විය. ඔහු ඉන් කළයක් ගෙන පැන් බීමට පටන් ගත්තේ ය. ඔහුගේ උගුරට පැන් වැටෙත් ම අතුරුදන් විය. ඔහුගේ කුසට නො වැටුණේ ය. මෙසේ පැන් භාජන කිහිපයක් ම බීමට උත්සහ කළ ද ඒ සියල්ලෙහි ම පැන් අතුරුදන් විය.


එවිට ඔහු “මෙතරම් භික්ෂුන් වසන තැනක කෙසේනම් පැන් නැති වන්නේදැයි” භික්ෂූන්ට දොස් කියන්නට විය. මෙය දුටු චූලපිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ ඔහුගේ සමීපයට පැමිණ මළුවෙහි වූ දහසක් පැන් භාජන දැක මොහු නම් ජීවමාන පේ‍්‍රත අත්බවක් ලත් අයෙක්නේදෝයි දැන “ඉදින් උවසුව, පිපාසිත නම් පැන් බොවයි” කියා පැන් කළයක් ගෙන පියන ඇර ඔහුගේ අතෙහි පැන් වත් කළේ ය. එකෙනෙහි ම එම පැන් සියල්ල රත් වූ තලියක ලත් දියක් මෙන් නැසුණේ ය.


ඉන් පසු තෙරුන් වහන්සේ ඔහුට “ඔබ විසින් කෙතෙක් නම් දරුණු වූ පාප කර්ම කරන ලද්දේ ද දැන්ම පේ‍්‍රතයෙක් වූයේ නම් කරන ලද කර්මයන්ගේ විපාකය කෙබඳු වන්නේ දැයි” ඔහුට ඇසෙන සේ පැවසූහ. තෙරුන් වහන්සේගේ මේ කතාව අසා බලවත් සංවේගයට පත් ඔහු ගෙදර ගොස් හබක ආදි සතුන් මැරීමට යොදාගත් සියල්ල විනාශ කොට කූඩුවල දමා සිටි සතුන් ද මුදා හැර අඹුදරුවන්ට ද දන්වා ගෙදරින් පිටත්ව තෙරුන් වහන්සේ වෙත පැමිණ පැවිද්ද ඉල්ලී ය.


ඊට පසු තෙරුන් වහන්සේ පැවිදි බවෙහි ඇති දුෂ්කර බව ඔහුට පෙන්වා දුන්හ. එවිට ඔහු පවසන්නේ “ස්වාමීනි මෙබඳු ප්‍රත්‍යක්ෂ කාරණයක් දැන කෙසේ නම් පැවිදි නො වන්නේදැයි” පැවසී ය. තෙරුන් වහන්සේ ඔහුට තචපංචක කමටහන දී පැවිදි කළහ. එතැන් පටන් උන්වහන්සේ වත් කිරීමෙහි ඇලුනේ ය. ධර්මය හදාරන්නට විය. දිනක් දේව දූත සූත්‍රයෙහි සඳහන් නිරය පිළිබඳ විස්තර අසා අතිශය සංවේගයට පැමිණියේ ඒ පිළිබඳ තිස්ස තෙරුන්ගෙන් විමසී ය. එහි දුක් ස්වභාවය දැකීමට සලස්වන ලෙස ඉල්ලී ය. තෙරුන් වහන්සේ පවසනුයේ එහි දුක් ස්වභාවය නම් කීමට උපමා නැත්තේය. එහෙත් එහි ස්වභාවය පෙන්වීමට උපමාවක් කරන්නෙමියි හෙරණ නමක් ගෙන්වා තෙත දර ගොඩක් ගැස්වී ය. ඊට පසු උන්වහන්සේ ඍද්ධියෙන් කණමැදිරියෙකු හා සමාන ගිනි පුපුරක් ගෙන එහි හෙළීය. ඒ ඇසිල්ලෙහි ම ඒ තෙත දර ගොඩ දැවී අළු වී ගියේ ය.


ඒ දැක මීලක්ඛ තිස්ස භික්ෂූන් වහන්සේ “ස්වාමීනි මේ සසුනෙහි කෙතෙක් ධූර වන්නේ දැයි’ විමසී ය. එවිට තෙරුන් වහන්සේ විදර්ශනා ධූරය හා ග්‍රන්ථ ධූරය යනුවෙන් ධූර දෙකක් ඇති බව පැවසූහ. එවිට එම භික්ෂූන් වහන්සේ “ස්වාමීනි ග්‍රන්ථ ධූරය වනාහි ප්‍රබලයන්ට භාරය. මාගේ ශ්‍රද්ධාව දුක නිසා ඇති වූවකි. එබැවින් මා විදර්ශනා ධූරය පුරන්නෙමියි” තිස්ස තෙරුන් වහන්සේගෙන් කමටහන් ගෙන වත් ද සපුරමින් දිනක් සිතුල්පව්ව විහාරයෙහි ද, දිනක් ගාමෙණ්ඩාවෙල වෙහෙරෙහිද තවත් දිනක් කතරගම මහ වෙහෙරෙහිද, වශයෙන් වැඩ වාසය කරන්නට වූහ.


දිනක් භාවනා කරමින් කටයුතු කරන අතරතුර ථීනමිද්ධය ඇතිවේ යන බියෙන් පිදුරු දරණුවක් තෙමා හිසේ තබා දෙපා දියෙහි ඔබා සිටින කල්හි ප්‍රාචීන පර්වත ප්‍රදේශයෙන් ඇසුණු අරුණවතී සූත්‍රයෙහි සඳහන් ගාථාවක් අසා


“මෙය මා වැනි වීර්යවත් භික්ෂූන් උදෙසා ම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ” යැයි සිතා පී‍්‍රතිය හා ධ්‍යාන උපදවා අනාගාමී ඵලයෙහි පිහිටියේ තවත් වෑයම් කොට පටිසම්භිදාවන් සහිත උතුම් අරහත් ඵලයට පත්වූ සේක. පසුව උන්වහන්සේ විසින් මෙසේ ප්‍රකාශ කළ සේක.


“මම තෙත පිදුරු පිඩක් හිසෙන් ගෙන සක්මන් කළෙමි. තෙවැනි තැනට ( ත්‍රිවිධ්‍යාවන්ගේ පරතෙරට) පැමිණියෙමි. මෙහිලා මට සැකයක් නැත.”


භාවිතය


පව්කමින් බාලයා අතිශය සතුටට පත්වෙයි. එහෙත් එහි විපාක විඳින කළ දැඩි සේ දුකට පත් වේ. ඔහු කළ පව්කමේ දරුණු බව ඔහුට වැටහෙන්නේ එවිට ය. එවිට කර කියාගත දෙයක් නො මැතිව අතිශය අසරණ තත්ත්වයට පත් වේ. යමෙක් නිවැරැදි මග පෙන්වීම ලැබෙන තෙක් වැරැදි මාර්ගයේ ගමන් කරයි. සත්පුරුෂයන්ගේ ඇසුරෙන් යහමගට පැමිණෙන ඒ අය නිර්වාණ ප්‍රතිලාභ කරගත් අයුරු අප ධර්ම සාහිත්‍ය තුළ සඳහන් වී ඇත. එමෙන් ම බුදුදහම යමෙක් සදාකාලික වැරැදිකරුවෙකු ලෙස නො පිළිගනියි.


යමෙක් තමා විසින් තම වරද දැක හෝ සත්පුරුෂයෙක් විසින් එය පෙන්වා දුන් පසුව හෝ එම වරදින් මිදී යහ මාර්ගයේ ගමන් කරන්නේ නම්, ඔහු එතැන් පටන් නිවැරැදිකරුවෙකු බවට පත්විය හැකි බව මෙම කතාවෙන් අපට පෙන්වා දෙයි.

චිත්තානුපස්සනාව

 


චිත්තානුපස්සනාව:


දැනෙන අරමුණු

අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ

මහා ලේඛකාධිකාරී

කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


සිත ගැන බැලීමට, සිත ගැන අවබෝධයක් ඇති කර ගැනීමට මේ පාඩම ඉතාමත් ම වැදගත්. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් සේ සිතාගෙන රැවටීමකින් යුතුව වාසය කළා. උන් වහන්සේට රහත් ගෝලයෝ තිස්දාහක් සිටිනවා. දිනපතා ම ඉගෙන ගන්නා අයත් අපමණ යි.


ගුරු ස්වාමීන් වහන්සේට ධ්‍යාන තිබුණා, අභිඥ්ඥා තිබුණා. ඕනෑම දෙයක් මවන්න පුළුවන්. ඕනෑම කෙනෙකුගේ සිත බලන්න පුළුවන්, ඒ නිසා සැකයක් සිතන්න දෙයක් නැහැ. රහත් බව ම සිතාගෙන ගුරු ස්වාමීන් වහන්සේ වාසය කළා. රහත් මඟ ඵල ලැබූ එක්තරා ගෝල ස්වාමීන් වහන්සේ නමක්, තම ගුරුවරයා කෙසේදැ’යි විමසා බැලුවා. තම ගුරුවරයා රැවටී ඇති බව දැනගත් ශිෂ්‍ය රහත් භික්ෂූන් වහන්සේ, ගුරු ස්වාමීන් වහන්සේට වන්දනා මාන කර, සුහද සාකච්ඡාවකින් පසුව මෙසේ පැවසුවා. ‘ස්වාමීනී, ඔබ වහන්සේ බොහොම දැන උගත් උත්තමයෙක්. ධ්‍යාන , අභිඥ්ඥා මාර්ග ඵල ලාභී උත්තමයෙක් නිසා ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්ය දැක ගන්න මට අවශ්‍යය යි. ඔබ වහන්සේට සද්දන්ත කුලයට අයත් හස්ති රාජයෙක් මවා පාන්න පුළුවන්දැ’යි විමසුවා. එහිදී ගුරු ස්වාමීන් වහන්සේ හස්ති රාජයා මවා දැක්වූවා. එවිට ගෝල ස්වාමීන් වහන්සේ, දැන් ස්වාමීනි, ඒ හස්ති රාජයා හොඬවැල ඔසවා ගෙන, කෑගසාගෙන ඔබ වහන්සේ් ඉදිරියට එන බව මවා පාන්නැ’යි පැවසුවා. එයත් මවා පෙන්නුවා. දැන් ඒ හස්ති රාජයා කෑගසාගෙන , විලාප දී , හොඬවැල ඔසවා ඉදිරියට පැන එද්දී රහත් බව සිතා සිටි ගුරු ස්වාමීන් වහන්සේ ඉවතට පැන්නා. ඒ මොහොතේම ගෝල රහතන් වහන්සේ අහසට පැන නැඟී එලෙසම වැඩ සිටියා. එහිදී ගුරු ස්වාමීන් වහන්සේ තමන් රහත් නොවන බව වටහා ගත්තා. තම සිතට යටවී රැවටීමෙන්, මුළාවෙන් වසර ගණනාවක් සිටි බව තේරුම් ගත්තා. තම සිතෙහි ලෝභ, ද්වේශ, මෝහ ඇති බව දැන එදාම භාවනාව ඇරැඹුවා. මේ නිසා සිත දියුණු තියුණු කරගන්නට පුළුවන්කම ලැබුණා. ලෝභ, ද්වේශ, මෝහ යටපත්කරගෙන නීවරණයන් සංසිඳුවාගෙන දස සංයෝජනයන් ප්‍රහීණ කර ආශ්‍රව සියල්ලක්ම නැති කර රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.


මෙවැනි චරිත කථා දෙස බැලීමේ දී කවුරුත් නොයෙක් අරමුණු වලට රැවටෙන්නට පුළුවන්. ඇතැම් අය තමන් රහත්, අනාගාමී, සකෘදාගාමී, සෝවාන්, ධ්‍යාන අභිඥ්ඥා ආදිය ඇති බව සිතමින් රැවටීමෙන් කටයුතු කරනවා. එයින් මුළාවට පත් වෙන්නේ තමාම යි. මේ නිසා නිසි ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා ලබාගෙන කටයුතු කළ යුතු යි. තෛ‍්‍රකාලික සිතිවිලි හොඳින් මෙනෙහි කර සිත අනුව බලමින් වාසය කිරීම චිත්තානුපස්සනාව යි. වර්තමාන අරමුණු මෙනෙහි කිරීම විශේෂයෙන් චිත්තානුපස්සනාවට ගැනෙනවා. එසේම සැප වේදනා සිත , දුක් වේදනා සිත, උපේක්ෂා වේදනා සිත ආදිය ද බලාගත හැකි යි. එසේම සියලුම අරමුණු තම සිතට දැක ගන්නට පුළුවන්නම්, චිත්තානුපස්සනා භාවනාව සාර්ථක වෙයි. වාඩි වෙලා පැමිණෙන අරමුණු දෙස හොඳින් බලන්න, එය ලෝභ සිතක් ද, අලෝභ සිතක් ද යනුවෙන් බලන්නත් පුළුවන්. මදුරුවෙක් තම සිරුරෙහි වැසුවොත් තරහ සිතක් ඇති වෙනවා. එවිට පටිඝ සිතක් බව මෙනෙහි කළ යුතු යි. එය නැති වූ විගස මගේ තරහ සිත නැති වූ බවත් දැනගත යුතු යි. එසේනම්, චිත්තානුපස්සනා භාවනාවට අනුව කවුරුත් කටයුතු කළ යුතු යි.


චිත්තානුපස්සනා සතිපට්ඨානයේ ක්‍රම දාසයක් අතුරෙන් කිහිපයක් පසුගිය ලිපි මඟින් සඳහන් කළෙමු. අද සඳහන් කරන්නේ චිත්තානුපස්සනා සතිපට්ඨානයේ අවසාන කොටස යි. සමාහිත චිත්තය, අසමාහිත චිත්තය, විමුක්ත චිත්තය, අවිමුක්ත චිත්තය යනුවෙන් තවත් සතරක් තිබෙනවා. සමාහිත චිත්තය කොයි කාටත් පැහැදිලි යි. යම්කිසි භාවනාවක් මෙනෙහි කරගෙන යාමේ දී සිතට ලැබෙන සමාධි සිත් වශයෙන් උපචාර සමාධි, අර්පනා සමාධි තිබෙනවා. ප්‍රථම ධ්‍යාන සමාධිය, දුතීය ධ්‍යාන සමාධිය , තෘතීය ධ්‍යාන සමාධිය, චතුර්ථ ධ්‍යාන සමාධිය වශයෙන් ධ්‍යාන සතරකින් සමාධිය පරිපූර්ණ වෙයි.


අරමුණක් මෙනෙහි කිරීමේ දී සාමාන්‍යයෙන් හෝ යම් සමාධියක් ලැබෙනවා නම්, එය උපචාර සමාධිය යි. එය ඉක්මවා යාමෙන් සිත අර්පනා තත්ත්වයට , ධ්‍යාන තත්ත්වයට පත් වෙනවා. කාමච්ඡන්ද නීවරණය මේ අවස්ථාවේ දී යටපත් වෙනවා. කාමච්ඡන්ද නීවරණය හෙවත් තණ්හාව පංචකාම වස්තූන් පිළිබඳව තිබෙන තෘෂ්ණාව සිතෙන් ඉවත්ව නොගියොත් චිත්ත සමාධියක් ලබන්නට බැහැ. එම නිසා මේ අවස්ථාවේ දී චිත්ත සමාධිය තමන්ගේ සිතට ඇතිකරවන බැවින්, තමන්ට අර්පනා උපචාර සමාධි උපදවා ගන්නට භාවනා අරමුණ කෙරෙහි බලවත් උද්‍යෝගයකින් කටයුතු කරන්නට වෙනවා.


ව්‍යාපාද නීවරණය යනු තරහව යි. දෝමනස්සය, පටිඝ චේතනාව ආදිය තරහව නොහොත් ද්වේශය මුලිකවී හට ගන්නවා. ඒ තිබුණත් චිත්ත සමාධියට දිගට ගෙනයන්නට පුළුවන් කමක් නැහැ. සිත බිඳ වැටෙනවා. ඒ නිසා තරහව අයින් කළ යුතු යි. ථීනමිද්ධය කම්මැළිකම යි. උද්දච්ඡය සිතේ විසිරුණු බව යි. විචිකිච්ඡාව සැක සාංකාව යන කරුණු පහ සිතෙන් බැහැරවූ විට අපේ චිත්ත සමාධිය උපදවා ගන්නට පුළුවනි. හොඳින් වාඩි වී කය ඍජුව තබාගෙන , ආනාපාන සති භාවනාව හෝ කුමන හෝ භාවනාවකට සිත යොමුකර දිගටම අරමුණු කෙරෙහි බලා සිටීමෙන්, මෙනෙහි කිරීමෙන් සමාධි අවස්ථාව තහවුරු කරගන්න පුළුවන්.


අසමාහිත යනු චිත්ත සමාධියක් නොමැති බව යි. උපචාර, අර්පනා සමාධි, ධ්‍යාන සමාධි ආදිය සමාපත්ති මුකුත්ම නැහැ. එය උද්දච්ඡ සිතට සමීපව යයි. ඒ නිසා චිත්ත සමාධියෙන් තොරනම්, එය අසමාහිත යි. අසමාහිත නම් සිතේ තැන්පත් කමක් නැහැ. එය දැනගත යුතු යි. ‘මගේ සිත දැන් සමාධියි, මගේ සිතේ සමාධියක් නැහැ’ යනුවෙන් දැනගත යුතු යි.


විමුක්ති චිත්තය යනු කෙලෙසුන්ගෙන් සිත මිදීිම යි. තමන්ගේ චිත්ත සන්ථානය කෙලෙසුන්ගෙන් සිත මිදීමේ අවස්ථාව යි. තදංග , විශ්කම්භන ආදී වශයෙන් කෙලෙස් යටවන ක්‍රම තිබෙනවා. ලෝභ , ද්වේශ, මෝහ, මද, මාන්න, ඊර්ෂ්‍යා ආදී පව් ක්‍රමයෙන් නැතිකර ගත යුතු යි. මෙසේ තමන්ගේ චිත්ත සන්ථානය ආලෝකවත් කරගන්න නීවරණයන්ගෙන් තොර විය යුතු යි. නීවරණයන් තිබෙන සිත පැහැදිලි නැහැ. අසමාහිත වශයෙන් තැන්පත්කමක් ගන්නම බැහැ. එසේනම්, කෙලෙසුන් නැති කර ගැනීමේ අවස්ථාව විමුක්ති චිත්තය යි.


සම්පූර්ණයෙන් කෙලෙස් නිදහස් කර ගැනීම , සංයෝජනයන්ගෙන් සම්පූර්ණයෙන් නිදහස් වූ සිත අර්හත් සිත නම් වෙයි. ඒ මහා රහතන් වහන්සේට ලැබෙන සිත බොහොම වටිනවා. සමහර රහතන් වහන්සේලා සෑම විටම අනේ! සැපයි, යනුවෙන් මෙනෙහි කරයි. ඒ තරම් වාසනාවන්ත සිතක්. ගසක් මුල වාඩි වුණත් අනේ! සැපයි යනුවෙන් මෙනෙහි කරනවා. මෙලෙස ‘සැප’ යනුවෙන් මෙනෙහි කරන්නේ නිවන යි. නිර්වාණය ගැන සිතා තමන් පුළුවන් තරම් සිත දැඩිකර ගෙන අවබෝධ කරගත් නිර්වාණය කෙරෙහි සිත පිහිටුවා ගෙන වාසය කිරීම යි. තමන්ගේ සිත කෙලෙසුන්ගෙන් මිදුණා නම්, ඒ අවස්ථාවට මගේ සිතෙහි කෙලෙස් නැහැ යනුවෙන් මෙනෙහි කරන්න දැනගත යුතු යි. අවිමුක්ත යනු කෙලෙසුන්ගෙන් මිදී නැති බව යි. ලෝභ , දෝස, මෝහ ආදීන්ගෙන් සමන්වාගත යි. තදංග විශ්කම්භන ආදී විමුක්ත වලින් තොර බව යි. එසේනම්, සිත අපිරිසුදු භාවය මෙතනින් ප්‍රකාශ කරනවා.


මේ අවස්ථා දාසයදී ම සෝළස ආකාර චිත්තානුපස්සනාව ලෙස මේ තථාගත ධර්මය පෙන්නුම් කරනවා. සිතට පහළවන ඕනෑම අරමුණක් දැන ගැනීම චිත්තානුපස්සනාව යි. තණ්හාව, තරහව වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, මාන්නය , මිසදිටුකම, දරදඬු ගතිය, නිදිමත ගතිය ආදී කුමන අරමුණක් සිතට දැනුණත් ඒ ටික මෙනෙහි කළ යුතු යි. ද ැනගත යුතුයි. චිත්තානුපස්සනාව යනු එය යි. එය තවත් ටිකක් ඉදිරියට ගෙන යද්දී මාගේ සිත තණ්හාවෙන් පිරිලා, එය අනිත්‍යය යි, දුක්ඛ යි,අනාත්ම යි යනුවෙන් ඉදිරියට මෙනෙහි කරන්න පුළුවන් නම්, එය චිත්තානුපස්සනා විපස්සනාව යි. ඕනෑම අරමුණක් සිතට දැනුණොත් එය මෙනෙහි කර , විදර්ශනාවට ත්‍රිලක්ෂණයට නැංවිය යුතු යි. එය චිත්තානුපස්සනා විපස්සනාව යි.


ලෝභ , ද්වේශ පමණක් නොවෙයි, අලෝභ, අදෝශ, අමෝහ, ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ආදිය දැනුණත් මේ මොහොතේ මගේ සිත ශ්‍රද්ධාවෙන් සමන්විත යි. වීර්යයෙන් සමන්විත යි. මෙලෙස සිතන්න පුරුදු වෙන්න. එයත් චිත්තානුපස්සනාව යි. ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් සමන්විත ද, අලෝභ, අදෝශ, අමෝහයන්ගෙන් සමන්විත ද අරමුණු සියල්ල මේ ක්‍රම දාසයට ඇතුළත් ව තිබෙනවා. මේ පිළිබඳව පින්වතුන්, හොඳ දැනීමක් ඇතිකරගෙන චිත්තානුපස්සනාව හොඳින් ඉදිරියට මෙනෙහි කර ලෝකෝත්තර සැනසුම ලබන්න හේතු වාසනා වේවා!


- ජම්මික ප්‍රබෝධනී වැලිකල


නවකම්මික සූත්‍රය

 


නවකම්මික සූත්‍රය  

203

මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට එක්තරා වනලැහැබෙක වසනසේක.

එකල වනාහි නවකම්මිකභාරවාජ බමුණුතෙම ඒ වනලැහැබෙහි කර්‍මාන්ත කරවයි. එක්තරා සල් රුකක් මුල පළක් බැඳ ශරීරය ඎජුව පිහිටුවා සිහිය ඉදිරියට එළවා හුන් භාග්‍යවතුන් වහන්සේ නවකම්මිකභාරවාජ බමුණුතෙම දිටීය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය: ‘මම මේ වනලැහැබෙහි කර්‍මාන්ත කරවමින් සතුටුවෙමි. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කුමක් කරවමින් සතුටුවනසේක්ද?

ඉක්බිති නවකම්මිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ) කීය:

“මහණ, සල් වෙනෙහි නුඹගේ කිනම් කර්‍මාන්ත කරවනු ලැබෙද්ද? ගෞතමයන් වහන්සේ යම්හෙයකින් මේ වෙනෙහි තනිව සතුට විඳින සේක්ද?”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “මට මේ වෙනෙහි කටයුත්තෙක් නැත. මාගේ (ක්ලේශ) වනය උදුරා දැමූ මුල් ඇත්තේය. එහෙයින්ම පහවගිය කෙලෙස් කටු ඇත්තේය. ඒ මම කෙලෙස් රහිතව කලකිරීම් පහව ගිය (රාගාදී) හුල් ඇත්තෙක්ව, විශේෂයෙන් පහකොට කනිව ප්‍රීතිය විඳිමි.”

මෙසේ වදාළ කළ නවකම්මිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. ‘යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්‍ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත්

ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශකරන ලද්දේය. පින්වත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත් උපාසකයෙකැයි සලකන සේක්වා.”


Tuesday, July 13, 2021

නිමක් නැති අරමුණු දෙස නුවණින් බලන්න

 

නිමක් නැති අරමුණු දෙස නුවණින් බලන්න

" පසේ බුදුරජාණන් වහන්සේ නමක් දන් පිණිස කුඹුරක් හරහා වැඩම කරද්දී එක් තැනැත්තෙක් මඩ ගෙන පාත්‍රයට දැමුවා. මෙය දුටු තවත් තැනැත්තෙක් මඩ ටික ඉවත් කර, පාත්‍රය සෝදා පිරිසුදු කර දුන්නා. ‘ස්වාමීනී , මේ දෙකෙන් කවුරු කළ දේ ද හොඳ යනුවෙන් මේ තැනැත්තා පසේ බුදුරදුන්ගෙන් විමසුවා. එක් අයෙක් පාපයක් සිදු කර ගත්තා.තවත් අයෙක් පිනක් සිදු කර ගත් බව වදාළා."

මහග්ඝත සිත ගැන රූපාවචර අරූපාවචර සිත් විසි හත පිළිබඳව පසුගිය සතියේ හැඳින්වූවා. අමහග්ඝත සිත් යනුවෙන්ද තිබෙනවා. මහග්ඝත නොවී තිබෙන්නේ අමහග්ඝත සිත යි. එනම්, කාමාවචර සිත් පනස් හතර යි.. එසේනම් තම සිතට පහළ වන සියලුම කාමාවචර සිත් දැනගෙන මෙනෙහි කළ යුතු යි. අකුසල විපාක සිත් හත, කුසල අහේතුක විපාක සිත් අට, අහේතුක ක්‍රියා සිත් තුන , අකුසල් සිත් දොළහ , කාමාවචර කුසල් සිත් අට, විපාක සිත් අට, ක්‍රියා සිත් අට එකතු කළ විට පනස් හතරයි. මේවා අමහග්ඝත නම් වෙයි.

සිත් පනස් හතර බැලීම චිත්තානුපස්සනාව යි. මෙය ටිකක් ගැඹුරු කොටසක් වුවත් සිත් ටික පාඩම් කරගෙන කටයුතු කළොත් ඉදිරියට යන්න පුළුවන්. අභිධර්ම මාර්ගය, අභිධර්ම චන්ද්‍රිකාව, අභිධර්මයේ මූලික කරුණු පොත පතින් ද චෛතසික පිළිබඳ හොඳ දැනීමක් ලැබෙනවා. තමන්ගේ සිත ගැන, තම සිතිවිලි ගැන, ශරීරය ගැන හොඳ දැනීමක් ඇති කරගන්න පුළුවන්.

එසේනම්, කාමාවචර වූ අපේ සිතේ පහළ වන සිත් ගැන හොඳින් මෙනෙහි කරන්න. සනුත්තර චිත්තය නමින් හඳුන්වන්නේ රූපාවචර සිත් පහළොව යි. භාවනා කිරීමේ දී ලැබෙන ධ්‍යාන සිත් සනුත්තර නම් වෙයි. අනුත්තර වන්නේ අරූපාවචර සිත් ය. අනුත්තර සිත විශේෂයෙන්ම ලෝකෝත්තර සංඛ්‍යාවට යයි. එතැනදී අප විශේෂයෙන් සැලකිය යුත්තේ සනුත්තර චිත්තය රූපාවචර අරූපාවචර වශයෙන් ද අනුත්තර චිත්තය ලෝකෝත්තර වශයෙනි. එවිට සෑම දෙයක්ම සිතෙන් බැලීම සිදු කරනවා. නමුත්, විදර්ශනාවේ දී අනුත්තර චිත්තය විදර්ශනාවට ගන්නේ නැහැ. එය ස්ථිර යි. එබැවින් සවුත්තර චිත්තය රූපාවචර බවත්, අනුත්තර චිත්තය අරූපාවචර බවත් වටහාගෙන ධ්‍යාන සිත් හොඳින් මෙනෙහි කළ යුතු යි. රූපාවචර ධ්‍යාන සිත්, අරූපාවචර ධ්‍යාන සිත් හොඳින් දැන කියාගෙන ඒවා හොඳට දියුණු තියුණු කිරීම ඒවා මෙනෙහි කිරීම චිත්තානුපස්සනාව යි.

චිත්තානුපස්සනාව මෙලෙස දාසය ආකාරයකට පැහැදිලි කළා. යම් ක්ෂණයකින් යම් සිතක් උපදිනවා නම්, ඒ සිත පිළිබඳව සිහියෙන් යුතුව සිතීම චිත්තානුපස්සනාව යි. තමාගේ සිත ද , අනුන්ගේ සිත සිතීම ද, තමාගේත් අනුන්ගේත් එබඳු සිත් පිළිබඳව සිතීම චිත්තානුපස්සනාව යි. එසේනම්, සිත පිළිබඳව මනාකොට පිරික්සා බැලිය යුතු යි. චිත්තානුපස්සනාව වඩන භික්ෂූන් වහන්සේට රහත් බව දක්වාම කෙලෙස් අඩුකරගෙන ඉදිරියට යන්නට පුළුවන් දොරටු විවෘත යි. එසේනම්, චිත්තානුපස්සනාවෙහි සඳහන් කරන අවස්ථාවන් සහ තමන්ගේ සිතේ ඇති සමාහිත සිත (තැන්පත් සිත), අර්පනා උපචාර සමාධියෙන් යුක්ත සිතක් නම් එයද දැනගත යුතු යි. ‘අසමාහිතං චිත්තං’ යනු සිතේ තැන්පත්කම නොමැති බව යි. සිත නීවරණයන් පිරුණු බව යි. විමුක්තංවා නම්, කෙලෙසුන්ගෙන් මිදුණා වූ සිත යි. අවිමුක්තංවා යනු කෙලෙසුන්ගෙන් නොමිඳුණු සිත යි. එනම් කෙලෙස් සහිත සිත යි. එසේනම් මේවා දැන වටහාගෙන මෙනෙහි කරන්න. මෙලෙස ක්‍රම දාසයක් චිත්තානුපස්සනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.

ච්ත්තානුපස්සනාවේ ක්‍රම හොඳින් දැන කියාගෙන දැනුම වැඩි කර ගැනීමෙන් තමන්ට සිත පිළිබඳව හොඳ වැටහීමක් ඇති කර ගත හැ කි යි. චිත්තානුපස්සනාව ඉදිරියට ගෙන යන්න සිත වැඩකරන ආකාරය හොඳින් බැලිය යුතු යි. සිතේ ස්වභාවය වෙනස් වීම යි. නිබඳව ම වෙනස් වෙයි. බුදුන් වහන්සේ් ධරමාන කාලයේ දී එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හත් වරක් මහණ වුණා. සිත වික්ෂිප්ත වෙද්දී නැවත සිවුරු හරිනවා. මෙසේ හත් වන වතාවේ දී වික්ෂිප්ත වන එද්දීම ඒ සිත හදාගෙන බණ භාවනා වැඩි කළා. මේ නිසා රහත් බව ලබන්නට පුළුවන්කම ලැබුණා.

එසේනම්, සිත අඳුරු කරන, සිත විනාශයට පත් කරන දේ නීවරණ නම් වෙයි. කාමච්ඡන්ද නීවරණය නිසා සිත අඳුරු කරයි. තණ්හාව අධික බව, රාගය අධික බව නිසා චිත්තානුපස්සනාව වැඩීම අපහසු යි. ව්‍යාපාදය, තරහව, වෛරය, ක්‍රෝධය , ඊර්ෂ්‍යාව ආදී නීවරණ නිසාද සිත අඳුරු කරයි. ථීනමිද්ධය, කම්මැළිකම , උදාසීන බව නිසා ද ඉදිරියට යන්න අපහසු යි. උද්දච්ඡ සිතේ විසිරීම එක අරමුණකින් සිත තබාගන්නට බැරි බව යි. විවිධ අරමුණු නිසා සිත විසිරී යනවා. විචිකිච්ඡා ආදී නොයෙක් සැක සාංකා හට ගන්නවා. පංච නීවරණ නිසා චිත්තානුපස්සනාව මෙනෙහි කරන්න අපහසු යි.

චිත්තානුපස්සනාව ඉදිරියට ගෙන යාමට වෙහෙස මහන්සි නොබලා සිත අනුව බලමින් ඉදිරියට යා යුතු යි. කෙලෙස් කහට හට ගන්නා සිත් තිබෙයි. ලෝභය , ද්වේෂය, මෝහය , මාන්නය, උඩඟුකම , අධික මාන්නය, කුහකකම, ආදී පාපී සිතිවිලි එකක් පාසාම පහළවෙද්දී හොඳින් බලමින් වාසය කරන්න. කුසල සිතිවිලි වන ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ඥාන ආදිය ද නුවණින් බලමින් අනුපස්සනා කරමින් වාසය කළ යුතු යි. සිත අනුවම බලන්න. හොඳ - නරක දෙකම හට ගනියි. මේ ගැන තම තමාම තීරණය කළ යුතු යි.

පසේ බුදුරජාණන් වහන්සේ නමක් දන් පිණිස කුඹුරක් හරහා වැඩම කරද්දී එක් තැනැත්තෙක් මඩ ගෙන පාත්‍රයට දැමුවා. මෙය දුටු තවත් තැනැත්තෙක් මඩ ටික ඉවත් කර, පාත්‍රය සෝදා පිරිසුදු කර දුන්නා. ‘ස්වාමීනී , මේ දෙකෙන් කවුරු කළ දේ ද හොඳ යනුවෙන් මේ තැනැත්තා පසේ බුදුරදුන්ගෙන් විමසුවා. එක් අයෙක් පාපයක් සිදු කර ගත්තා.තවත් අයෙක් පිනක් සිදු කර ගත් බව වදාළා. එසේනම්, සිත අනුව බලද්දී සිතේ වගකිව යුත්තා තමා ම යි. එයට තවත් කෙනෙක් වග කියන්න බැහැ. ඒ නිසා අපහසුම දේ සිත දමනය කිරීම යි. සිත දමනය කිරීමේ ක්‍රමය බුදුන් වහන්සේ අපට දේශනා කර වදාළා. මෙසේ නීවරණයන් සංසිඳුවාගෙන අරමුණු ටික හොඳින් මෙනෙහි කරද්දී යහපත් තැනකට එන්නට පුළුවනි. එක අරමුණක් දිගටම මෙනෙහි කළ යුතු යි. එලෙස සිත දැකීමෙන් සිත තැන්පත් කරගත හැකි යි.

කවුරුත් තම තමන්ගේ චිත්ත සන්තානය දියුණුවට බලවත් උත්සාහයක යෙදිය යුතු යි. සිත අනුව බැලීම චිත්තානුපස්සනාව යි. නමුත් සිතට එන අරමුණු බැලුවොත් සීමාවක් නැහැ. පංචද්වාරයෙන් අරමුණු ගනියි. ඇස, කන, නාසය, දිව, සිරුර, සිත ආදී සයද් වාරයෙන් අරමුණු ගනියි. මේවායේ අරමුණු වන්නේ රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යනුවෙන් දොළහක් තිබෙයි. මේ ආයතන සහ අරමුණු හොඳින් දකින්නට පුළුවන් නම්, අගෙයි. .

බුද්ධ කාලයේ ඇතැම් භික්ෂූන් වහන්සේ ඇස පමණක් සංවර කර ගත්තා . ඇතැමෙක් කන පමණක් සංවර කර ගත්තා. සමහරු සංවර කරගත්තේ සිත පමණ යි. බුදුන් වහන්සේ දේශනා කර වදාළේ, සෑම ඉන්ද්‍රියක්ම සංවර කරගත යුතු බව යි. චිත්තානුපස්සනාවේ දී කුමන ඉන්ද්‍රියන්ගෙන් මතු වුණත් , කොහෙන් පැමිණි අරමුණු දැ’යි විමසා බලා, තත්ත්වය කෙසේදැ’යි මෙනෙහි කරමින් බැලිය යුතු යි.

එසේනම්, සිත් අසූනවයක් තිබෙනවා. කාමාවචර සිත් පනස් හතර යි. රූපාවචර සිත් පහළොව යි. අරූපාවචර සිත් දොළහ යි, ලෝකෝත්තර සිත් අටයි. චෛතසික පනස් දෙකයි. රූප විසි අට යි. නිර්වාණය යි. මේ සතර පරමාර්ථය හොඳින් දැන කියාගෙන සෑම දෙයක් පිළිබඳව ම අවධානයෙන් සිටීම චිත්තානුපස්සනාව යි. නිර්වාණය අරමුණු වන්නේ සිතට යි. ඒ සඳහා සිතේ කෙලෙස් සංසිඳී, කලබලකාරී ගතිය අඩුවී, සිහි කල්පනාව හොඳින් දියුණු වීමෙන් චිත්තානුපස්සනාව හොඳින් මෙනෙහි කළ හැකි යි.

කුල දුවක් අහසින් ගියාය

 



කුල දුවක් අහසින් ගියාය

රාජකීය පණ්ඩිත,

ශාස්ත්‍රපති

මහරැඹෑවැවේ පාලිත හිමි


අද ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ ගිරිහඬු මහ සෑ වන්දනාවට කැමැතිව උබ්බේග පී‍්‍රතියෙන් පිනාගොස් අහසින් ගිය එක් කුලදුවක් පිළිබඳ කතා ප්‍රවෘත්තිය යි.


බුද්ධඝෝෂ හිමියන් මෙම කතාව උදාහරණ ලෙස යොදා ගන්නේ විතක්ක, විචාර, පීති,සුඛ, ඒකග්ගතා යන ධ්‍යානාංගයන් ගැන කරුණු විස්තර කරන අවස්ථාවේ පීති යන්නෙහි ප්‍රභේදයක් වන “උබ්බේග‘ පී‍්‍රතිය හැඳින්වීමට උදාහරණයක් වශයෙනි. පී‍්‍රතිය පස් ආකාර වෙයි. එබැවින් පළමුව මේ පස් ආකාර පී‍්‍රතිය හෙවත් පස්වනක් පී‍්‍රතිය පිළිබඳ දැන ගැනීම මෙහි දී ධර්මාවබෝධය සඳහා පහසු වෙයි.


පස්වනක් පී‍්‍රතිය

පී‍්‍රති සුඛය යනු, කාය චිත්ත පිනවීම යි. එහි ලක්ෂණය අරමුණ පි‍්‍රය වශයෙන් දක්නා බව යි. රසය චිත්ත – කාය පිනවන බව යි. නැතහොත් පැතිරෙන බව යි. එය ඛුද්දක පී‍්‍රතිය, ක්ෂණික පී‍්‍රතිය ඔක්කන්තික පී‍්‍රතිය. උබ්බේග පී‍්‍රතිය හා ඵරණ පී‍්‍රතිය වශයෙන් පස් ආකාර වෙයි.


1) ඛුද්ධක පී‍්‍රතිය


ශරීරය ලොමුදහ ගැන්වීම් මාත්‍රයක් කිරීමට සමත් කුඩා පී‍්‍රතිය,


02.) ක්ෂණික පී‍්‍රතිය


ක්ෂණිකව ඇතිවන පී‍්‍රතිය විදුලි කෙටීමක් හා සමාන ය. මෙය ඛුද්දක පී‍්‍රතියය වඩා බලවත් ය,


03.) ඔක්කන්තික පී‍්‍රතිය මුහුදු වෙරළ පැතිරෙන මුහුදු රළ සෙයින් ශරීරය පිනවමින් පැතිර පවත්නා පී‍්‍රතිය. මෙය ක්ෂණික පී‍්‍රතියට වඩා බලවත් ය,


04.) උබ්බේග පී‍්‍රතිය ඔක්කන්තික පී‍්‍රතියට වඩා බලවත් මෙය කය උඩට ගෙන ගොස් අහසෙහි නගා පියන පමණට සමර්ථ වෙයි,


05.) ඵරණ පී‍්‍රතිය


මෙයින් පිනා ගිය කල්හි මහා ජල ප්‍රවාහයකින් පිරුණු පර්වත කුක්ෂියක් මෙන් හාත්පසම ස්පර්ශ කරන ලද්දේ වෙයි,


පෙර ලක්දිව ගිරිහඬු මහවෙහෙරට සමීප වත්තකාල නම් ගම්වැසි කොරණක නම් මහා විහාරයක් විය. එහි එක් නිවසක ගර්භිණී සැදැහැති කුල දුවක් විය.ඇගේ මව්පියෝ එක් දවසක් ගිරිහඬු මහවෙහෙරට බණ අසනු කැමතිව දුවණිය ගර්භිණි බැවින් අවේලාවෙහි ඇවිදීම නුසුදුසු හෙයින් දෙමාපියෝ ඇයට කියන්නේ, “දුවණියනි, අප ගොස් බණ අසා එන්නෙමු” කියා බණ ඇසීම සඳහා පිටත්ව ගියහ. ඒ දියණිය ද බණ ඇසීමට යෑමට කැමැත්ත මෙන් ම හැකියාව ද තිබුණ ද, දෙමව්පියන්ගේ වචනය ඉක්මවන්නට නො හැකිව යහපතැයි පිළිගෙන නිවසේ සිටියාය.


දෙමාපියන් පිටව ගොස් ටික වේලාවකට පසුව ගෙමිදුලට බට ඇය සඳ පහනින් ගිරිහඬු මහ වෙහෙර ආකාශ චෛත්‍ය මළුවෙහි බබළමින් දැල්වෙන පහන් පූජාව දිටීය. ඇයට භික්ෂු සංඝයා වහන්සේගේ ගණ සජ්ඣායන ශබ්දයද ඇසුණි. එවිට ඇය විහාරයට ගොස් මෙබඳු සෑ මළුවක ඇවිදින්නට මෙබඳු ධර්ම කතා අසන්නට ලැබුවෝ ඒකාන්තයෙන් මහා පිනැත්තෝ ය යනුවෙන් සිතීය. මෙසේ සිතිවිලි පහළ වූ ඇයට මුතු රැසක් බඳු චෛත්‍ය බලත් ම උබ්බේග පී‍්‍රතිය උපන්නා ය. එයින් ඕ තොමෝ අහසට නැගී දෙමාපියන්ට පෙරාතුව ම ආකාශ චෛත්‍යාංගණයේ බැස බණ අසමින් සිටියා ය.


මව්පියෝ අවුත් අදහාගත නො හැකිව ‘දරුව ,ඔබ කවර මගෙකින් මෙහි පැමිණියේ දැයි’ විමසී ය. එවිට ඇය ‘මම අහසින්් ආවෙමි. මගෙකින් නො ආවෙමියි’ පිළිතුරු දුන්නී ය. පුදුමයට පත් මව්පියන් ‘දරුව අහසින් යන්නෝ නම් මහාරහතන් වහන්සේ ය. ඔබ කෙසේ පැමිණියා ද?” විමසී ය. එවිට ඇය පවසන්නී ‘සඳ පහනින් චෛත්‍ය දෙස බලාහුන් මට බලවත් වූ බුද්ධාලම්බන පී‍්‍රතියක් උපන්නේ ය. එයින් මම මා අන් සිටි තැන් නොදත්තෙමි. ගත් අරමුණින් ම අහසින් අවුත් මළුවෙහි පිහිටියෙමි’යි යනුවෙන් ඇය පිළිතුරු දුන්නී ය.


භාවිතය


යමක් කරන විට අපගේ සිත සැදැහැවත් බවින් පිරිපුන් නම්, එයින් යමක් බලාපොරොත්තු වුවත් නැතත් මේ අත් බවෙහි ම එයින් යහපත් ප්‍රතිඵලයක් ලැබෙන බව නම් අනිවාර්ය වෙයි. විශේෂයෙන් බුද්ධාදි තුණුරුවන් කෙරෙහි අපගේ අචල ශ්‍රද්ධාවක්, පැහැදීමක් පවතීනම් එය අපගේ උභයාර්ථ සුභසිද්ධිය සඳහාම හේතු වනු නො අනුමාන ය. කෙනෙක් ධර්මය ඇසීමට එළඹෙන්නේ, ධර්මය අසන්නේ ශ්‍රද්ධාව නිසා ය. කෙටියෙන් කියතොත් නිර්වාණගාමී මාර්ග ප්‍රතිපදාව ම රැඳී ඇත්තේ ශ්‍රද්ධාව මත පදනම්ව ය. එබැවින් නිර්වාණගාමී මාර්ගයේ පළමු පියවර ශ්‍රද්ධාව හෙවත් පැහැදීම ලෙස ගතහොත් එය නිවැරැදි ය.


පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...