Friday, July 9, 2021

බිලඞ්ගික සූත්‍රය


බිලඞ්ගික සූත්‍රය  
190
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක.
බිලඞ්ගිකභාරවාජ බමුණුතෙම ‘භාරවාජ ගෝත්‍රික බමුණෙක් ගිහිගෙන් නික්ම ශ්‍රමණ ගෞතමයන් වෙත පැවිදිවීය,’ යනු ඇසීය. හෙතෙම කිපී නොසතුටුවී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, නිශ්ශබ්දව එකත්පසෙක සිටියේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බිලඞ්ගික නම්වූ භාරවාජ ගෝත්‍රක බමුණාගේ සිත්හි කල්පනාව ස්වකීය සිතින් දැන බිලඞ්ගිකභාරවාජ බමුණාට ගාථායෙක් මෙසේ වදාළසේක:
“යම් පුද්ගලයෙක් තෙම වරද නැතිවූ, පිරිසිදුවූ, කෙලෙස් නැතිවූ, පුරුෂයෙකුට අපරාධ කෙරේද, ඒ පාපය උඩු සුළඟට දමනලද සියුම් ධූලි මෙන් ඒ අඥානයා කරාම ආපසු එයි.”
මෙසේ කීකල බිලඞ්ගිකභාරවාජ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “පින්වත් ගෞතමයාණනි ඉතා මැනවි. පින්වත් ගෞතමයාණනි ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. ඒ මම ධර්‍මයද, සංඝයාද සහිත භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. පින්වත් ගෞතමයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලබන්නෙමි. බිලඞ්ගිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබීය, උපසම්පදාවද ලැබීය. උපසපන්වී නොබෝ කල් ඇති ආයුෂ්මත් බිලඞ්ගික භාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ, යම් අර්‍ථයක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම මනාව සස්නෙහි පැවිදිවෙත්ද, නොබෝ කලකින්ම ඒ නිරුත්තරවූ බ්‍රහ්මචර්‍ය්‍යයාව කෙළවරවූ නිවන මේ ආත්මයෙහිම තෙමේම විශේෂ ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ විසීය. නැවත නැවත ඉපදීම ක්‍ෂයවිය, බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුතු දේ කරනලදී. මෙයින් අනික් ආත්මයක් නැතැ’ යි (හෙතෙම) මනාව දත්තේය.
ආයුෂ්මත් බිලඞ්ගික භාරවාජ භික්‍ෂුවද රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් විය

Thursday, July 8, 2021

දෙතිස් වධයම ඇති අපාය

 දෙතිස් වධයම ඇති අපාය



අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ

මහා ලේඛකාධිකාරී

කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


එකසිය තිස්එකක් වන අපාය අතුරෙන් අද සඳහන් කරන්නේ විසිනව වන නරකය වන අංගාරමාල නරකය යි. මේ අපායට වැටෙන්නේ සතුන් පුළුස්සා බැදගෙන ආහාරයට ගන්නන් ය. මනුස්ස ලෝකයේ වාසය කළාට සතුන් පුළුස්සා බැදඟෙන කනවා. ඒ අයත් අංගාරමාල නරකයට වැටී එලෙස ම පුළුස්සා දමයි. ඇතැම් රටවල සතුන් පණ පිටින් ම බදියි, පණ පිටින් ම තම්බයි. පණ පිටින් ම ගෑරුප්පුවෙන් ඇණ කා දමයි. කෙතරම් භයානක ද?


සමහර රටවල ජාතිකයන් පණ පිටින් සිටින රිලවුන්, වඳුරන් වැනි සතුන්ගේ හිස හාරමින් කා දමයි. එය ඒ සතාට කෙතරම් ම වේදනාවක් ද? එසේනම්, මෙවැනි පාපකාරී මිනිසුන් අංගාරමාල නරකයට වැටී ඒ පාපයන් සේ දස දහස් ගණනින් දුක් විඳි යි.


එසේනම්, සතුන් පණ පිටින් පුළුස්සා ආහාරයට ගැනීම සුදුසු දෙයක් නොවෙයි. හැකිතාක් සත්ත්ව හිංසාවෙන් වැළකිය යුතු යි. අවිහිංසාවාදීව කටයුතු කළොත් බොහොම වටියි. මස් , මාංශයන්ගෙන් වැළකීමත් ඉතා හොඳයි. ඇතැම් ළමයින් කුමන පිළී දෙයක්වත් ආහාරයට ගන්නේ නැහැ. නිකම් බත් දුන්නොත් ආහාරයට ගන්නවා. මේවා සංසාර පුරුදු. පින්වතුන්ට එකවරම මස් මාංස අනුභවයෙන් වැළකීමට නොහැකි නම්, පෝයදාට, හෝ එයින් වැළකී ටිකෙන් ටික මස් මාංස අනුභවය දුරු කරන්න. එවිට නිර්මාංශවාදී, අවිහිංසාවාදී පුද්ගලයෙක් වෙයි. එයින් තමන්ට ලැබෙන්නේ විශාල පිනක්. මේවා නිමකළ නොහැකි පින්. ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා මෙලොව සම්පත්, සුගති සම්පත් හොඳින් ලැබෙයි. කිසිම දෙයකින් අඩු පාඩුවක් නැහැ. මරණින් මතු සත්ත්ව හිංසාවෙන් වැළකුණ අය දෙව්ලොවට යති.


බලන්න, කාය සංවරය, මනෝ සංවරය ඇති කරගත් විට ලබන්න බැරි සම්පතක් ලොවේ නැහැ. මේ ගැන සිතා කල්පනාවෙන් පින වැඩිකර, පව අඩු කරගන්න. සත්ත්ව මාංශ භක්ෂණය බොහොම වටියි. අධිෂ්ඨාන කර ගන්න, මා මේ සතියේ මස් මාලු කන්නේ නැහැ. ඒ සතියේ තමන් මෛත්‍රී භාවනාව කරන්න. එවිට සත්ත්ව හිංසාවෙන් වැළකී සතුන්ට හිංසා පීඩා කරන අයට සහාය දීමෙන් වැළකී කටයුතු කරන්න.


එසේනම්, කොයි කවුරු වුණත් අපායට බිය වන්න. සති, සමාධි, ඥාන ඇති කර ගන්න. පින වැඩිකර, පව අඩුකර සතර අපායෙන් අත්මිදී සුගතියක ම වාසය කරන්න ලැබේවා’යි අදහසින් කටයුතු කිරීම අවශ්‍යය යි. එවිට කිසිවකින් අඩු පාඩුවක් කරදරයක් නැතිව සංසාර ගමනෙන් එතෙර වන්නට කාටත් පුළුවනි.


තිස්වන අපාය ජලකෙස් මැලි නරකය යි. එතැන ඇත්තේ දැඩි දඬුවම්. එහි වාසය කරන්නේ මනු ලොවදී අනුන්ට වංචා කළ අය යි. සුළු දෙයක් හෝ වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. හොර තරාදි, හොරට කිරුම් මිනුම් කටයුතු කිරීම, එසේම සුළු ගණනකට ගෙන වැඩි මිලකට විකුණනවා. මෙලෙස දරුණු පව් කළ ව්‍යාපාරිකයන් මේ අපායට වැටෙයි. එහි දී යම පල්ලන් අතින් පයින් දීර්ඝ කාලයක් දඬුවම් ලබා දෙයි. අත පය කපා දමයි. පොලු මුගුරු වලින් ගුටි බැට දෙයි.


ඒ නිසා මතක තබාගන්න, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ධාර්මික වෙළෙඳාම් කළ යුතු යි. එවැන්නෝ ඉදිරි දියුණුව සකසා ගනියි. අධාර්මික වෙළෙඳාම් කරන්නන්ගේ පිරිහීම, අලාභය සිදු වෙයි. එසේනම්, නිවැරැදිව ගණන් බලා, මිල තක්සේරු කළ යුතුයි. එලෙස සාධාරණව වාසය කරන්නෝ මරණින් මතු සුගතිගාමී වෙයි. එවැන්නන්ට සියලු සම්පත් ලබා ගන්නට පුළුවනි.


අනුන්ට කරදර පීඩා කරන, අලාභ කරන අවාසනාවන්ත ජීවිත ගත කළ අය යම පල්ලන් විසින් අතින්, පයින් ගුටි ගසයි. දඩු මුඟුරු වලින් ගසා දමා දිය යුතු දෙතිස් වධයම දෙයි. මේ නිසා පවින් වැළකී නිවන් මඟ ගමන් කළ හැකි යි. මේ සඳහා අපායට යන ක්‍රියාවන්ගෙන් වැළකී, තිදොරින් ම සංවර විය යුතු යි. ශාසනයත් රැකගෙන මව් පියන්ට ඇප උපස්ථාන කරමින් සිත කය වචනය රැකගත්තොත් වාසනාවන්ත ජීවිත පෙළක් ගත කළ හැකියි. ඉක්මන් භවයක දී ම නිවන් සම්පත් ළඟා කරගත හැකි යි.


- ජම්මික ප්‍රබෝධනී වැලිකල

දියණිවරුන්ගේ සැබෑ කතාව

 


දියණිවරුන්ගේ සැබෑ කතාව බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි සද්පුරුෂ ලෝකයෙහි සෑම ගුණබර අම්මා කෙනෙකුගේ ම පිය කෙනෙකුගේ ම සිත්වල සකස්වන දරු සෙනෙහස බොහෝම ය. එම දාරක ප්‍රේමය මතුවන තැන තමන්ට ලැබෙන්න සිටින්නේ හෝ ලැබුණේ දියණියක් ද පුතණුවෙක් ද යන අදහසට වඩා මට දරුවෙක් බිහිවුණා යන අදහස පෘතග්ජන ලෝකයේ සද්පුරුෂ මවුපියන්ගේ සිත්වලට සොම්නසක් ගෙන එන බව ඉතා ම පැහැදිලියි. එසේ වුව ද යම් අයෙක් දියණියකගේ ලැබීම සිත සතුටු නොවීමට කාරණයක් කරගත්තේ නම් එය ගුණවන්ත අම්මා කෙනෙකුගේ, සද්පුරුෂ පිය කෙනෙකුගේ හදවතේ ඇතිවන දාරක සෙනෙහසට බාධාවක් විය හැකි ය. බුදු උතුමෙක් මේ ලෝකයට පහළ වූයේ අම්මා කෙනෙක් නිසා ය. ඒ දියණියක් ලෙස මෙලොවට බිහි වූ නිසා ම ය. රටක් රාජ්‍යයක් පාලනය කරන විශාල ජන පිරිසකට නායකත්වයක් දෙන ධර්මානුකූල රජ කෙනෙකුට පවා මඟ පෙන්වන්නේ අම්මා කෙනෙක් ය. ඒ දියණියක් ලෙස මෙලොවට බිහි වූ නිසයි. මේ ලෝකයේ ආරම්භයේ පටන් ම අම්මාවරුන්ගේ කාර්යභාරය බුදු, පසේ බුදු මහ රහත් උතුමෝ, සක්විති හා මහරහත් සද්පුරුෂ උතුමෝ ලෝකයට දායාද කරමින් ලොව සද්පුරුෂ කළ ආකාරය මවුවරුන්ගේ කතාවෙන් තේරුම් ගත හැකියි. මවුවරුන්ගේ කතාවේ පිටුපස සිටින්නේ දියණිවරුන්මයි. සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයෙහි ධීතු සූත්‍ර දේශනාවෙන් දියණිවරුන්ගේ සැබෑ කතාව අපි මතු කොට දකිමු.දිනක් පසේ නදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැද නමස්කාර කොට එකත් පසව හිඳගත්තේ ය. මෙසේ ටික වෙලාවක් භාග්‍යවතුන් වහන්සේ සමඟ දැහැමි කතාවක යෙදී සිටින අතර, එක්තරා පුරුෂයෙක් පසේ නදී කොසොල් රජු වෙත එළඹුණේ ය. එසේ එළැඹ පසේ නදී කොසොල් රජතුමාට දේවයන් වහන්ස, මල්ලිකා දේවිය දුවක වැදුවා යැයි කනට කර සැල කළහ. එසේ කී මොහොතේ පසේ නදී කොසොල් රජතුමා නොසතුටු සිත් ඇත්තෙක් බවට පත්වුණි. මුහුණේ මෙතෙක් තිබූ ප්‍රසාද පෙනුම බැහැර විය. ශෝකාකූල පෙනුමෙන් යුතු වූවේ ය. මෙය දුටු භාග්‍යවතුන් වහන්සේ පසේ නදී කොසොල් රජතුමාගේ නොසතුටු සිත් දැන මේ ගාථා රත්නය දේශනා කළ සේක. “ඉත්ථි පිහි ඒකච්ඡියා සෙයයා පෝස ජනාධිප මෙධාවිනී සීලවතී සස්සුදේවා පතිබ්බතා තස්සා යො ජායතී පෝසෝ සුරො හෝති දිසම්පති තාදිසා සුභගියා පුත්තො රජ්ජම්පි අනුසාසතී ති රජතුමනි, ඇතැම් ස්ත්‍රිය ශ්‍රේෂ්ටයි. එහෙයින් ඒ දියණිය පෝෂණය කරන්න. නුවණ ඇති, සිල්වත්, තම මවුපියන්ට පමණක් නෙමෙයි, නැන්ද මාමා පවා දෙවියන් කොට සලකා වෙසෙන, ස්වාමියාට ගෞරවයෙන්, පතිව්‍රතාව රකින යම් ස්ත්‍රියක් වේ ද? ඒ ස්ත්‍රී ඉතා ම උතුම් ය. දිශාවන්ට අධිපති රජතුමනි, ඇයට යම් පුතෙක් උපදී ද, හෙතෙම දක්ෂයෙක් වේ. එබඳු යහපත් තැනැත්තියගේ පුත්‍ර තෙමේ රාජ්‍යානුශාසනය ද කෙරේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දියණියක් ලැබීම නිසා අසතුටට පත් වූ කොසොල් රජතුමාට පෙන්වාදුන් මේ දහම් කරුණු පෙළ අප විසින් ද ධර්ම විවරණයකට සකසා ගත යුතුම ය. බුදුරජාණන් වහන්සේ දවස කාන්තාවන්ට පැවතුණේ ඉතාම අඩු සැලකීමකි. බ්‍රාහ්මණ සමාජයතුළ කාන්තාවන් සලකනු ලැබූයේ දරුවන් ලබාදෙන්නටත්, මුළුතැන්ගෙයි වැඩකටයුතු කිරීමටත් යොදා ගන්නා වූ යන්ත්‍රයක් හැටියටය. ඔවුන් සඳහන් කළේ, තවුසන් විසින් හෝ ඉසිවරු විසින් ලැබිය හැකි යම් නුවණක් වේ ද? ඇඟිලි දෙකේ නුවණක් ඇති කාන්තාවන්ට එය ලැබිය නොහැකි බවයි. “යං තං ඉසීහි පත්තබ්බං ඨානං දුරභි සම්භවං නතං ද්වංගුල පඤ්ඤාය න සක්කා පප්පෝති ඉත්ථියා" යනුවෙනි. මෙවැනි අදහස් පෙළකින් බුදුරජාණන් වහන්සේ පහළ වූ ඉන්දියානු සමාජය සකස් වූ අතර බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට පෙන්වාදුන් මේ දහම් පෙළ දියණියකගේ, බිරිඳකගේ, අම්මා කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වය, පුරුෂ නායකත්වයක් ඇති සමාජයට මැනවින් පෙන්වා දුන්හ. බුදු දහම තුළ කාන්තාවන්ට ලබා දෙන්නේ විශේෂ ස්ථානයකි. මුල් අවස්ථාවේ දී භික්ෂුණී ශාසනය පිහිටුවන්නට සූදානම්වන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් එය තුන්වෙනි අවස්ථාව දක්වාම ප්‍රතික්ෂේප කරනු ලැබූයේ ශාසනික වශයෙන් අනාගතය දෙස බැලීමෙනුයි. ඒ වගේ ම අනිටු විපාක දැක ගැනීම නිසා ය. එනම් හුදකලා ජීවිත පවත්වන, නිදහස් ජීවිතවලට අවසර ඇති. මේ ශාසනයෙහි විවිධ පුද්ගලයන් ශාසනයට ඇතුඵවීමෙන් මේ ශාසනය කිළිටිවීමට ඇති අවස්ථා බොහෝයි. ඒ අතරට පාලනයකින්, සංයමයකින් තොරව කාන්තා පිරිස් ද ඇතුළුවීමෙන් නිදහස් ජීවිත හුදකලාව ගත කරන පිරිසකට වැරැදි ලෙස ද පාවිච්චි කළ හැකියි. යොදාගත හැකියි. මේ කරුණෙහි සලකා භික්ෂුණී ශාසනය ආරම්භයේ දී භාග්‍යවතුන් වහන්සේ මුල් කාලයේ දීම අකැමැති වන්නට ඇතැයි, සිතිය හැකියි. එහෙත් සංයමය, දමනය පිණිස විනය ශික්ෂණයකින් යුක්තව භික්ෂුණී ශාසනය ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට වගේ ම භික්ෂූණීන්ටත් එකහා සමානව ම ගෞරවය, ආරක්ෂාව, තනතුරු ලබා දුන් බව ඉතාම පැහැදිලි ය.සැරියුත්, මුගලන් දෙනම අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කළ සේ ම ඛේමා, උප්පලවන්නා තෙරණියන් අග්‍රශ්‍රාවිකා තනතුරුවලට පත් කළ සේක. භික්ෂූන් වහන්සේලාට සුදුසු පරිදි අග තනතුරු ලබාදුන්නා සේ ම භික්ෂුණීන් වහන්සේලාටත් සුදුසු පරිදි අග තනතුරු ලබා දුන් සේක. තථාගත බුදුරජාණන් වහන්සේ වෙතට පිරිණිවන් පෑම පිණිස අවසර ඉල්ලා පැමිණි මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේට දැක් වූ ගෞරවය භාග්‍යවතුන් වහන්සේ කාන්තා සමාජය කෙරෙහි දක්වන ලද සැලකිල්ල සිතා ගත හැකියි. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන බුදුරජාණන් වහන්සේ අභියස ගෞරව කොට සැවැත් නුවර ජේතවනාරාමයෙන් බැහැරට වඩිනා මහා ප්‍රජාපතී ගෝතමී මෙහෙණින් වහන්සේ නම් වූ තම සුළුමෑණියන් පිටු පස, වචනයෙන් හැඳින්වූ ලෙස බුද්ධ මාතාවන් පිටුපස භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් කෙනෙක් පිටුපස වැඩම කළානම්, ඒ බුද්ධ මාතාවන් වූ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ පිටුපස ය. ඉන් අදහස් කළේ එතුමියට බැහැරට වඩින්නට හැර උන්වහන්සේ ද ජේතවනාරාමයෙන් පිටවන ගේට්ටුව දක්වා ම වැඩම කොට එතුමිය වෙත කළ ගෞරවයයි. මේ අදහස් පෙළ ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් කොසොල් රජතුමාට දියණියකගේ උතුම් බව පෙන්වා දුන් අවස්ථාව වර්තමාන පරිසරයට ද, පවුල් ජීවිතවලට ද ගළපා බලමු. “ඉත්ථි පිහි ඒකච්ඡියා....... ගාථා රත්නයෙහි අදහස සිහිපත් කරන්නේ නම්, රජතුමනි, යම් දියණියක් නුවණැති නම්, සිල්වත් නම්, තම මවුපියන්ට සේ ම නැන්ද මාමාට දෙවිකොට සලකන්නේ නම්, ස්වාමියාට ගුණබර ස්වාමි දියණියක් ව පතිව්‍රතා දහම රැකගෙන කටයුතු කරන්නේ නම්, ඒ ස්ත්‍රිය ශ්‍රේෂ්ඨයි යනුවෙනුයි. ඒ වගේ ම ස්ත්‍රිය බිහිකරන දරුවෙක් දක්ෂ ලෙස හදන්න, වඩන්න එබඳු දියණියක්, අම්මා කෙනෙක් සුදුසුවන්නේ ම ය යන අදහසයි. බුදු දහම තුළ සමාධිය වඩා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ දී එනම් නිවන් අවබෝධයේ දී ස්ත්‍රී පුරුෂ භේදයක් නොදැක්වෙයි. “ඉත්ථිභාවො කිං කයිරා චිත්තම්හි සුසමාහි තො” සිත සමාධිගත වෙන්නේ නම් ස්ත්‍රී භාවය කිසිදු ආකාරයකින් පීඩාවක් නොවන බව ධර්ම කතාවේ පෙන්වා දෙයි. සිත සමාධි ගත කිරීම හෝ නොකිරීම සකස් වෙන්නේ ස්ත්‍රියක් වීම හෝ පුරුෂයෙක්වීම අනුව නොවේ. පාරමී ධර්ම සම්පූර්ණවීමෙන්, ඒ වගේ ම සම්මා දිට්ඨියෙන් පටන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මනා කොට ලෝකෝත්තර දහමට නතුකොට අනුගමනය කිරීමෙන් ය. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පුරුෂ පක්ෂය මෙන් ම ස්ත්‍රී පක්ෂයත් මේ චිත්ත සමාධිය දියුණු කොට පරමාර්ථ ධර්ම වඩා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන ලැබූ බව නිවනෙන් සැනසුණු බව දහම් කතාවෙ ඉතාම පැහැදිලි ය. - දීපා පෙරේරා

අසුරින්‍ද සූත්‍රය


අසුරින්‍ද සූත්‍රය  
189
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසනසේක.
අසුරින්‍දකභාරවාජ බමුණු තෙම ‘භාරවාජගෝත්‍රික බමුණෙක් ගිහිගෙන් නික්ම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි සසුන්හි පැවිදිවීය’ යනු ඇසීය.
හෙතෙම කිපියේ, නොසතුටු වූයේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය පරුෂ වචනවලින් නින්‍දා කරයි.
ඒසේ කී කල භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූසේක.
ඉක්බිති අසුරින්‍දකභාරවාජ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ශ්‍රමණය, දිනූයෙහිය, ශ්‍රමණය, දිනූයෙහිය” (කියායි).
“අන්‍ධබාල පෘතග්ජන තෙම පරුෂ වචන කියන්නේ ඒ තමාට ජයකැයි ඒකාන්තයෙන් හඟී. එහෙත් නුවණැත්තහුගේ යම් ඉවසීමෙක් වේ නම් ඔහුටම ජයවේ.
“යමෙක් තෙම පළමු කිපියහුට පෙරළා කිපේ නම් ඒ කරණකොට ඒ පුද්ගලයාම පාපියෙක් වේ. පළමු කිපියහුට පෙරළා නොකිපෙන පුද්ගලතෙම දුකසේ දිනිය හැකි (ක්‍රෝධ) යුද්‍ධය දිනයි.
“යමෙක් තෙම අණ්‍යයකු කිපෙනු දැක සිහියෙන් යුතුව ඉවසානම් (ඒ පුද්ගල තෙම) තමාටද අනුන්ටද යන දෙදෙනාටම යහපතක් සලසයි.
“තමාගේද අනුන්ගේද යන දෙදෙනාගේම කෙලෙස් නමැති රෝගයට පිළියම් කරන ඒ පුද්ගලයා බාලයෙකැයි ධර්‍මයෙහි අදක්‍ෂවූ අන්‍ධබාල පෘතග්ජනයෝ හඟිත්.”
බුදුන් මෙසේ කීසඳ අසුන්‍දරිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “පින්වත් ගෞතමයානන්වහන්ස, යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. මනාව අවබෝධ කෙළේය. “
ඒ මම භාග්‍යවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද පිහිටකොට යමි. පින්වත් ගෞතමයන් වහන්සෙගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙම්, උපසම්පදාවද ලබන්නෙම් (නම් යෙහෙකැ)” යි කීය,
ඉක්බිති අසුන්‍දරිකභාරවාජ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද හා උපසම්පදාව ලදී. උපසම්පන්නවී නොබෝ කල් ඇති ආයුෂ්මත් අසුරින්‍දකභාරවාජ භික්‍ෂුව වනාහි තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ, නොබෝ කලෙකින්ම, කුලපුත්‍රයෝ යමක් පිණිස ගිහි ගෙයින් නික්ම මනාව ශාසනයට පැවිදවීම් වශයෙන් පැමිනෙත්ද ඒ අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍යයාගේ කෙළවරවූ නිවන මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් අවබෝධකොට, එයට පැමිණ විසුයේය. ‘ජාතිය ක්‍ෂයවූවා, බඹසර වැස නිමවන ලදී. සියලු මාර්‍ග කෘත්‍යය කරන ලදී. මෙයින් අන් ආත්මයක් නැතැ’ යි (හෙතෙම) නිසැකව දත්තේය.
ආයුෂ්මත් අසුන්‍දරිකභාරවාජ තෙමේද රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් විය.

Tuesday, June 29, 2021

අප්පමාදසුත්තං



අප්පමාදසුත්තං  

128

සාවත්ථිනිදානං . එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘අත්ථි නු ඛො, භන්තෙ, එකො ධම්මො යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චා’’ති?

‘‘අත්ථි ඛො, මහාරාජ, එකො ධම්මො යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චා’’ති.

‘‘කතමො පන, භන්තෙ, එකො ධම්මො, යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චා’’ති?

‘‘අප්පමාදො ඛො, මහාරාජ, එකො ධම්මො, යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චාති. සෙය්‍යථාපි, මහාරාජ, යානි කානිචි ජඞ්ගලානං (ජඞ්ගමානං (සී. පී.)) පාණානං පදජාතානි, සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති - යදිදං මහන්තත්තෙන; එවමෙව ඛො, මහාරාජ, අප්පමාදො එකො ධම්මො, යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චා’’ති. ඉදමවොච...පෙ....

‘‘ආයුං අරොගියං වණ්ණං, සග්ගං උච්චාකුලීනතං;

රතියො පත්ථයන්තෙන, උළාරා අපරාපරා.

‘‘අප්පමාදං පසංසන්ති, පුඤ්ඤකිරියාසු පණ්ඩිතා;

අප්පමත්තො උභො අත්ථෙ, අධිග්ගණ්හාති පණ්ඩිතො.

‘‘දිට්ඨෙ ධම්මෙ ච යො අත්ථො, යො චත්ථො සම්පරායිකො;

අත්ථාභිසමයා ධීරො, පණ්ඩිතොති පවුච්චතී’’ති.

අප්පමාදසුත්තං  

128

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත් පසෙක හුන් පසේනදි කොසොල් රජ, “ස්වාමීනි, මෙලොව අභිවෘද්‍ධියද පරලොව අභිවෘද්‍ධියද යන දෙයාකාර අර්ත්‍ථසිද්‍ධියම ගෙන දෙන එක් දෙයක් ඇත්තේදැයි” භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළේය.

“මහරජ, මෙලොව අභිවෘද්‍ධියද පරලොව අභිවෘද්‍ධියද යන දෙවැදෑරුම් අභිවෘද්‍ධියම ඇතිකරණ එක් දෙයක් ඇත්තේය.” “ස්වාමීනි, මෙලොව අභිවෘද්‍ධියද පරලොව අභිවෘද්‍ධියද යන දෙවැදෑරුම් අභිවෘද්‍ධියම ඇතිකරණ එක් දෙය කිමෙක්ද?”

“මහරජ, අප්පමාදයයි (එළඹසිටි සිහි ඇති බව) නම්වූ එකම දේ මෙලොව අභිවෘද්‍ධියද පරලොව අභිවෘද්‍ධියද යන දෙයාකාර අභිවෘද්‍ධියම ගෙනදෙන එක දෙයයි. මහරජ, ඇවිදින තොයි සතුන්ගේත් පියවර හෙවත් පා සටහන් ඇත් පියවර ඇතුළතම යම්සේ පිහිටත්ද, ඒ ඇත් පියවර මහත් බැවින් ඒ හැම පියවරටම වඩා අග්‍රයයි කියනු ලැබේද, එමෙන්ම මේ අප්පමාද නම් එතම ධර්‍මය මෙලෝ පරලෝ යන දෙවැදෑරුම් අභිවෘද්‍ධියම හොඳාකාර දරාසිටී.

ආයුෂද, නීරෝගී බවද, ලක්‍ෂණද, සැපයෙන් අග්‍ර බවද, උසස් කුලයෙහි ඉපදීමද, කුදු මහත් උදාර සම්පත්තීන්ද පතන්නා විසින් පින් දහම් කිරීමෙහි නොපමාව පුරුදුකළ යුතුයයි (බුද්‍ධාදී) පණ්ඩිතයෝ පසසා පවසති. (පින් දහම්හි) නොපමාවූ නුවණැත්තෝ දෙලෝ වැඩම සිද්‍ධකරගනී. මෙලොව යම් අභිවෘද්‍ධියක් ඇද්ද, පරලොව යම් වැඩකුත් ඇද්ද මෙකී දෙවැඩම අත්කර ගන්නා බැවින් ධෘතිමත් (ස්ථිර) පුද්ගලයා පණ්ඩිතයායයි කියනු ලැබේ.

Friday, June 11, 2021

ජීවන ගමනේ අතරමං නොවීමට නම්



ජීවන ගමනේ අතරමං නොවීමට නම්...

බත්තරමුල්ල

සිරි සුදස්සනාරාම

සදහම් සෙනසුනෙහි

ප්‍රධාන අනුශාසක ආචාර්ය

මිරිස්සේ ධම්මික හිමි


මෙලොව පමණක් නොවෙයි. සංසාරික වශයෙන් ද අනාරක්ෂිත නොවන්නට නම්, තමන් මෙලොව රක්ෂිත විය යුතු ය. තමන්ට රැකවරණයක් සලසාගත යුතු ය. තමා තමාට පිහිටක් වී, රැකවරණයක් වී බාහිර වස්තූන් ද රැකවරණයට උපකාරී කර ගැනීම ධර්ම මාර්ගයෙන් පෙන්වා දෙන අදහසයි.


තමන් ආරක්ෂා නොකර අන් අය හෝ බාහිර වස්තු හෝ රැක ගැනීමෙන් තමන්ට යහපතක් නොවන බව සංයුක්ත නිකායේ කෝසල සංයුත්තයට අයත් අත්තරක්ඛිත සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ. උන්වහන්සේ අවධාරණය කළේ පළමුව තමා රැකගෙන අන් අය හෝ අන්වස්තු හෝ රැක ගැනීම ප්‍රඥාවන්තයන් විසින් කළයුතු මාර්ගය බව ය.


ජීවන ගමනේ සංතෘෂ්ටිය සොයාගෙන යන බොහෝ පිරිස් විසින් සංතෘෂ්ටිය සොයනු ලබන්නේ අන් අය හෝ අන්වස්තූන් හෝ එනම්, බාහිර පුද්ගලයන් හා බාහිර වස්තූන් කෙරෙහි විශ්වාසය තැබීමෙනි. බාහිර වස්තු සොයාගැනීමෙනි, ඒවා රැක ගැනීමෙනි. මට සතුටක් තියෙනවා. ආරක්ෂාවක් තියෙනවා යන අදහසිනි.


බාහිර පුද්ගලයන් මගේ කර ගැනීමෙන්, මගේ යැයි අයිතිකර ගැනීමෙන් රැකවරණයක්, ආරක්ෂාවක් ඇතිවෙනවා යන අදහසිනි. ආරම්භයේ දී ම ඔබට මෙසේ සඳහන් කරමි. තමන්වත් තමාට හිමි නැති ශරීර පුංජයක් දරාගෙන, ඒ ඒ පුද්ගලයන්ටවත් අයිති නැති ඒ ඒ පුද්ගලයන්ගේ ශරීර පුංජයන්ගෙන් පිහිටක් සතුටක් ලබන්නට ප්‍රාර්ථනා කිරීම නුවණැත්තන් විසින් කළ යුතු මඟක් නොවන බව පැහැදිලි කරගත යුතුම ය.


මේ නිසා මෙලොව පමණක් නොවෙයි. සංසාරික වශයෙන් ද අනාරක්ෂිත නොවන්නට නම්, තමන් මෙලොව රක්ෂිත විය යුතු ය. තමන්ට රැකවරණයක් සලසාගත යුතු ය. තමා තමාට පිහිටක් වී, රැකවරණයක් වී බාහිර වස්තූන් ද රැකවරණයට උපකාරී කර ගැනීම ධර්ම මාර්ගයෙන් පෙන්වා දෙන අදහසයි.


ස්වාමියා, බිරිඳ, මවුපියන්, දරුවෝ, සොහොයුරු සොහොයුරියන් ආදී වශයෙන් ඔවුනොවුන් පවසන්නේ ‘නුඹ මගේ ය. නුඹ මට සිටිනවා. නුඹ සිටිනා කල් මට බිය විය යුතු කිසිවක් නැත’. ආදී වශයෙනි. එහෙත් තමාගේ සිතෙහි දහමේ පෙන්වා දෙන ආකාරයෙන් මනා වූ රැකවරණයක් සලසා ගත්තේ නම්, බාහිර පුද්ගලයන් මොනතරම් තමා සමීපයේ සිටියත්, බාහිර වස්තූන්, මිල මුදල්, ධන ධාන්‍ය වැනි දෑ තමා සන්තකයේ මොනතරම් පැවතුණත්, මනසින් මොනතරම් අනාරක්ෂිත වී ඇත්දැයි හඬන, වැළපෙන හිස් ආකාසය දෙස බලාගෙන සුසුම් හෙළන බොහෝ පිරිස් දැකීමෙන්, ඔවුන්ට ඇහුම්කන් දීමෙන් තේරුම්ගත හැකි වන්නේ ය. මේ කතාව ඔබේ ජීවිතයේ ඔබේ ම අත්දැකීමක් ද විය හැකිය.


මේ නිසා අත්තරක්ඛිත සූත්‍ර දේශනාවේ පෙන්වා දෙන සදහම් පෙළ ඔබගේ ජීවිතයට ගළපා ගන්නටත්, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් අන් අයත් ඒ දහම් මඟට යොමු කරන්නටත් ඔබට ඉතාමත් කරුණාවෙන් ආරාධනා කරමි. මේ මාර්ගය දැනගැනීමෙන් ම ලෞකික වශයෙන් ධර්මානුකූල සංතෘෂ්ටියක් ලැබීමත්, මෙලොව වශයෙන් ම පරමාර්ථ ධර්මය අවබෝධ කර ගන්නටත් එමගින් සියලු කෙලෙසුන් නැසීමේ මාර්ගය සකසා ගැනීමටත් අවස්ථාව සැලසේ.


දිනක් පසේනදි කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ ගෞරවකොට මෙසේ සඳහන් කළේ ය. “භාග්‍යවතුන් වහන්ස, මම හුදකලාව සිටින අවස්ථාවක මගේ සිතට මෙවැනි අදහසක් පැන නැගුණා. ඒ කුමක් ද? කවුරුන් විසින් ආත්මය රක්නා ලද්දේ ද? කවුරුන් විසින් ආත්මය නොරකිනා ලද්දේ ද? යනුවෙනි”. භාග්‍යවතුන් වහන්ස, ඒහා සමඟින් ම මගේ සිතට මෙවැනි අදහස් රාශියක් ඇතිවුණා. යම් කිසි කෙනෙක් කයෙන් දුසිරිත් කෙරන්නේ ද? වචනයෙන් දුසිරිත් කරන්නේ ද? සිතින් දුසිරිත් කරන්නේ ද? ඔහු විසින් තමා නොරකිනා ලද්දේ ය. යම් ආකාරයෙන් ඔහු ඇතුන් පිරිසක් රකින්නේ වෙයි. අශ්වයන් සමූහයක් මගේ යැයි කියමින් ආරක්ෂා කරන්නේ වෙයි. ඒ වගේ ම රථ සමූහයක් තමා වෙත පවත්වා ගන්නේ වෙයි. පාබල සෙනග හෙවත් බොහෝ පිරිස තමා වෙත පවත්වාගෙන රකින්නේ වෙයි. එනමුත් ඔවුන් විසින් තමා ම නොරක්නා ලද්දේ වේ. එයට හේතුව කුමක් ද? ඉහත සඳහන් කළ ඇත්, අස්, රිය, පාබල නම් වූ සියලු වස්තූන් බාහිර දේ ම ය. ඒවා රැකීම බැහැර වස්තූන් රැකීමක් වන්නේ ය. ආරක්ෂා කිරීමක් වන්නේ ය. ඒවා රැක ගැනීම තමාගේ අධ්‍යාත්මය රැකගැනීමක් වන්නේ නැත. තමාගේ ඇතුළත රැක ගැනීමක් වන්නේ නැත. එනම් තමාගේ සිත රැක ගැනීමක් වන්නේ නැත. එසේ නම් ඔහු විසින් තමා නොරක්නා ලද්දේ යැයි මට හැඟෙනවා”.


කොසොල් රජතුමා තවදුරටත් මෙසේ සඳහන් කළේ ය. “භාග්‍යවතුන් වහන්ස යම් කිසි කෙනෙක් කයෙන් සුසිරිත් කරනවා ද? වචනයෙන් සුසිරිත් කරනවා ද? සිතින් සුසිරිත් කරනවා ද? ඔවුන් විසින් හැබෑවට ම තමා රක්නා ලද්දේ වෙයි. එනම් ආරක්ෂා කරගත්තේ වෙයි. ඔහු විසින් ම ඇත්, අස්, රිය, පාබල නොරකිනා ලද නමුත්, ඔහු සුචරිත මාර්ගය අනුගමනය කිරීම නිසා තමාගේ ආත්මය, තමාගේ ජීවිතය, තමාගේ පැවැත්ම මනාකොට රැක ගන්නා ලද්දේ වේ ම ය. එය අධ්‍යාත්මික ආරක්ෂාවක් බවට ම පත්වන්නේ ය. එය රැකීම බැහැර ආරක්ෂාවක් බවට පත්වන්නේ නැත. එනම් ඔහු විසින් තමන් ආරක්ෂා කරන ලද්දේ යැයි මට අවබෝධ වුණා. භාග්‍යවතුන් වහන්ස, මා නිවැරදි ද? දේශනා කරනු ලබන සේක්වා”.


බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට මෙසේ පිළිතුරු දේශනා කළහ. “මහරජ එය එසේම ය. යම් කිසි කෙනෙක් කයෙන් දුසිරිත් කෙරෙත් ද? වචනයෙන් දුසිරිත් කෙරෙත් ද? සිතෙන් දුසිරිත් කෙරෙත් ද? ඔහු විසින් තමා නොරක්නා ලද්දේ වෙයි. සඳහන් කළ අයුරින් ඔවුන් ඇත්, අස්, රිය, පාබල රකින්නේ ද? එසේ රකින්නේ නමුත් ඒ සියල්ල ඔහුගේ රැකීමක්, ඔවුන්ගේ ඇතුළත හෙවත් අධ්‍යාත්මය රැකීමක් නොවන්නේ ය. එනම් ඔහු නො රකිනා ලද්දේ ය. ඒ කවර හෙයින් ද? ඒ සියලු ආරක්ෂාව, රැකවරණය, බැහැර රැකීමක් වන නිසා ය. ඒ රැකීම තමාගේ අධ්‍යාත්මය හෙවත් ඇතුළත රැකීම නොවන්නේ ය. එහෙයින් ඔහු විසින් තමා නො රකිනා ලද්දේ යැයි පැවසිය යුතුමය. මහරජ, යම් කිසි කෙනෙක් කයෙන් සුසිරිත් කරනවා ද? වචනයෙන් සුසිරිත් කරනවා ද? සිතින් සුසිරිත් කරනවා ද? ඔහු විසින් තමා රක්නා ලද්දේ ම ය.


මුලින් සඳහන් කළ පරිදි ඇත්, අස්, රිය, පාබල රකින්නේ හෝ රැකගත්තේ නැති වූව ද, තමා විසින් තමා රැකගත්තේ බවට පත්වන්නේ ය. එයට හේතුව තමාගේ අභ්‍යන්තරය හෙවත් අධ්‍යාත්මය තමා විසින් රැක ගැනීම ය. එනම් සුචරිත මාර්ගයේ හැසිරීම ය. සුචරිතය රැකීම බැහැර රැකීමක් නොවේ. තමන් විසින් තමන් ම රැක ගැනීම ය.


මෙසේ දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ කොසොල් රජතුමාට උතුම් ගාථා රත්නයක් දේශනා කළ සේක.


කායෙන සංවරො සාධූ

සාධු වාචාය සංවරො

මනසා සංවරො සාධූ

සාධු සබ්බත්ථ සංවරො

සබ්බත්ථ සංවුතො ලජ්ජී

රක්ඛිතෝති පවුච්චති


කයෙන් සංවරවීම මැනවි, වචනයෙන් සංවර වීම මැනවි. සිතින් සංවරවීම මැනවි. හැම තන් හි ම සංවරය මැනවි. හැම තන්හි ම ආරක්ෂා වූයේ පාපයට, අවබෝධයෙන් ලජ්ජාවක් ඇති වූයේ, තමා රැකුණේ යැයි කියනු ලැබේ.


මේ දහම් කතාව අප සියලු දෙනාගේ ම ජීවිතවලට ගළපා ගනිමු. ගෘහස්ථ ජීවිතයක හෝ වේවා, පැවිදි ජීවිතයක හෝ වේවා තමා තමාට ලෙන්ගතු නම්, ප්‍රියවන්ත නම්, කුමක් කළ යුතු දැයි අප විසින් තේරුම් ගත යුතුම ය. පැවිදි ජීවිතයක සියලු දුක් නසා නිවන සාක්ෂාත් කර ගැනීම හෙවත් අවබෝධය පිණිස, ගෘහස්ථ ජීවිතයෙන් බැහැරව කසාවත් ඇඳ පැවිදි ජීවිතයට පත්වන්නේ නම් තමා රැක ගත යුතු ය. අධ්‍යාත්මය ආරක්ෂා කර ගතයුතු ය. එනම් කයින්, වචනයෙන්, සිතින් සිදුවන දුසිරිත්වලින් බැහැරව සුචරිත මාර්ගයට අවබෝධයෙන් ම සිත යොමු කර ගත යුතු ය. ඒ වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ත්‍රිපිටකය පුරා ම අන්තර්ගත ව පවතී. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ පිහිටීමේ පටන් සිල්වත් විය යුතුවන්නේ ය. ඒ පළමු ව තමා රැක ගැනීම ය.


දීපා පෙරේරා


 

  

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...