කෙලෙස් කහට දුරුකර ගුණ නුවණ දියුණු කරමු
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
" යම් පුද්ගලයෙක් ගවයෙක් ගෙන ගොස් , ඒ ගවයා මරා මස් පිණිස කොක්කක එල්ලා තැබුවොත්, එය වෙළෙන්ඳා විකුණන්නේ ‘ගවයා’ නාමයෙන් නොව ‘මස්’ යනුවෙනි. එලෙස ම මනුස්සයා යනුවෙන් කෙනෙක් සිටිනවා. එය පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතුවලට වෙන්කළ විට මනුස්සයෙක්, සතෙකු කියන්න බැහැ. එය පඨවි,ආපෝ, තේජෝ, වායෝ යනුවෙන් ධාතු සතරට වෙන් කරනවා. "
සතර සතිපට්ඨාන භාවනාවෙහි කායගතාසති භාවනාවට කොටස් තිස් දෙකක් ඇතුළත් කර තිබෙන බව ඔබ දන්නවා. එය ධාතු මනසිකාරයේ දී කොටස් හතළිස් දෙකකට අන්තර් ගත කරනවා.
පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු සතර ධාතු මනසිකාරය යනුවෙන් හඳුන්වයි. කේශාදී කොටස් විස්ස පඨවි ධාතු වශයෙන් ද , පිත ,සෙම, සැරව ආදී කොටස් දොළහ ආපෝ ධාතු නමින් ද දැවෙන බව, දිරන බව, තැවෙන බව, පැසවන බව නම් වූ සතර තේජෝ ධාතු නමින් ද හඳුන්ව යි. මේ බව පෙර ලිපිවලින් සටහන් වුණා.
අද අප වායෝ ධාතුව ගැන සඳහන් කරමු. වායෝ ධාතුව යනු සිරුරේ ඇති පුරවා දැමීමේ ස්වභාවය යි. එය ද කොටස් හයකට බෙදෙයි. උද්ධංගම වාතය (ඉහළට එන වායුව), අධෝගම වාතය(පහළට යන වායුව), කුච්චිසිය වාතය(බඩවැලෙන් පිටත ඇතිවන වාතය), පොට්ටසය වාතය (බඩවැල ඇතුළත හැසිරෙන වාතය) , අංගමංගානුසාරී වාතය ( මුලු සර්වාංගයේ ම හැසිරෙන වායුව) , අශ්වාස ප්‍රශ්වාස වාතය (හුස්ම ඇතුළුවීම සහ පිටවීම ) වායෝ ධාතුව වශයෙන් හඳුන්ව යි. මේ හයෙන් සිරුර ක්‍රියාත්මක කරවයි.
වමනය කිරීම, මළ මූත්‍ර කිරීම, එලෙස ම බඩවැලෙන් පිට, බඩවැල ඇතුළත සර්වාංගයේ ම රුධිරය එහා මෙහා ගෙන යාම, අතපය හැකිලීම, ආදී සියල්ල ම සිදු කරන්නේ මේ වායුව මගිනි. වායෝ ධාතුව යනු සත්ත්වයාගේ පැවැත්මට අත්‍යඅවශ්‍ය දෙයක්. අශ්වාස, ප්‍රශ්වාස දෙක නැවතුණොත් කෙනෙක් මිය යයි. එවිට සියලු ම ක්‍රියාකාරිත්වයන් නතර වෙයි. ඒ නිසා ජීවියාගේ පැවැත්මට වායෝ ධාතුව ප්‍රධාන වෙයි.
පඨවි, ආපෝ, තේජෝ ධාතුවල සඳහන් කළා සේ ම, වායෝ ධාතුව ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් එකක් පාසා ම මෙනෙහි කරන්න. එහි සත්ත්ව , පුද්ගල ආත්ම සේ සිහිකළ යුතු කිසිවක් නැති බව වටහා ගන්න. පෙර සඳහන් කළ කොටස් විසි දෙක සේ, එනම්, උද්ධංගම වාතය නොහොත් ඉහළට යන වාතය සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ, නිසත්ත්ව වූ , නිජීවී වූ, ශූන්‍ය වූ , අචේතනික වූ, අව්‍යාකෘත වූ, පඨවි ආපෝ තේජෝ ධාතු මාත්‍රයකි. එමනිසා උද්දංගම ධාතුව වායු ධාතුවක් වේ. එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නිබඳව ම මෙනෙහි කරන්න. අනෙක් කොටස් ද එලෙස ම මෙනෙහි කරන්න.
එහි ගත යුතු කිසිවක් නැහැ. හිස් බවම යි වැටහෙන්නේ. ආනාපානසති භාවනාව වඩන්නෙත් මේ වායෝ ධාතුව ම යි. හුස්ම ඇතුල්වීම, පිටවීම දෙස හොඳින් බලන්න. එය ආනාපාන සති සමථය යි. අශ්වාස ප්‍රශ්වාස දෙස හොඳින් බලාගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම ආනාපාන සති විපස්සනාව යි.
වායෝ ධාතුව පිළිබඳ ව තම සිතෙහි සැලැස්මක් ඇති කර ගන්න. සිරුරේ ඇති පුරවා දැමීමේ ස්වභාවය වායෝ ධාතුව යි. එය උද්ධංගම ආදී වායු වශයෙන් සිරුරෙහි වෙන වෙනම ඇති කොටස් වශයෙන් සලකන්න. එයට චේතනාවක් නැහැ. අචේතනික වූ , හිස් වූ දෙයක් , සත්ත්වයෙක් නොවේ... ආදී කරුණු ද සම්පූර්ණ කර මෙනෙහි කරන්න. මේ කරුණු හය කායගතාසති භාවනාවට බොහොම වැදගත්.
ධාතු මනසිකාරයේ දී විශේෂයෙන් පැහැදිලි කරන්නේ උපචාර සමා, දර්පනා සමාධිවලට පත්ව විදසුන් නුවණ දියුණු කර, මාර්ගඵල අවස්ථාවට පිවිසීමට පවා ප්‍රයෝජනවත් වෙයි. නිර්වාණය හැර පඨවි , ආපෝ, තේජෝ, වායෝ ධාතු සතර සෑම වස්තුවකම තිබෙයි.
විදුලි බලය ගැන සඳහන් කිරීමේ දී එහි ද පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු සතර තිබෙයි. ජලය සහ සුළඟ ආදී සෑම දෙයකම ද මේ ධාතු කොටස් සතර ම තිබෙයි. මේ ගැන දැනීමකින් සිහි කල්පනාවෙන් යුතුව ම මේ භාවනා ක්‍රම දියුණු කළ යුතු යි. උපමාවක් ගැන සඳහන් කළොත් යම් පුද්ගලයෙක් ගවයෙක් ගෙන ගොස් , ඒ ගවයා මරා මස් පිණිස කොක්කක එල්ලා තැබුවොත්, එය වෙළෙන්ඳා විකුණන්නේ ‘ගවයා’ නාමයෙන් නොව ‘මස්’ යනුවෙනි. එලෙස ම මනුස්සයා යනුවෙන් කෙනෙක් සිටිනවා. එය පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු වලට වෙන්කළ විට මනුස්සයෙක්, සතෙකු කියන්න බැහැ. එය පඨවි,ආපෝ, තේජෝ, වායෝ යනුවෙන් ධාතු සතරට වෙන් කරනවා.
මෙලෙස භාවනා ක්‍රම ගැන දැන කියාගෙන ශීල, සමාධි, ප්‍රඥා, වඩන්නට පුළුවනි. ඒ නිසා කවුරුත් බුදු දහමට අනුව ම කටයුතු කළ යුතු යි. තණ්හාව, තරහව, දුරු කරන්නට වෙහෙස විය යුතු යි. එනම්, ඇලීම සහ ගැටීම යි. මෙය දුරු කරගන්නා හොඳම ක්‍රමය කායගතාසති භාවනාවේ ධාතු මනසිකාර භාවනාව යි.
මේ ගැන වැටහීමකින් සිහි නුවණ ම දියුණු කරගෙන ධාතූන් පිළිබඳ ව තත්ත්වාකාරය වටහා ගැනීම වටිනවා. එවිට ලොකු දැනුමක් තමන්ට ලැබෙයි. මේ දැනුම පොත පතින් ලබා ගන්නට බැහැ. තමා නුවණින් ම මෙනෙහි කර ලබාගත යුතු යි. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ භාවනා ක්‍රම හොඳින් වටහා ගෙන, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. මේ කරුණු සෑම බුදු වරයෙක්ම දේශනා කර වදාළා. බුදු සසුනක පමණයි, මේ භාවනා ක්‍රම තිබෙන්නේ.
සතර මහා ධාතූන් වෙනස් වීමෙන් සත්ත්වයා රෝගී වෙයි. මේවා කුපිත වීමෙන් සත්ත්වයා මරණයට පත් වෙයි. මේ ගැන හොඳින් වටහා ගෙන ශීලාදී ප්‍රතිපත්ති ධර්මයන් හොඳින් දියුණු තියුණු කරන්න.
බුදු දහමේ වැදගත්කම උපමාවකුත් සමඟ බුදුන් වහන්සේ පහදා වදාළා. උදාහරණයක් ලෙස, ‘කේශා’ වදන උපමාවකින් සඳහන් කර ඇත්තේ ‘තුඹසක් මත හටගත් ඊතණ’ යනුවෙනි. ‘අපි වනාහි තුඹසක් මත පිහිටා සිටියෙමු’යි ඊතණ නොදනී. මා කෙරෙහි ඊතණ පිහිටා සිටින බව තුඹස නොදනී. මෙසේ ම මා කෙරෙහි හිස කෙස් පිහිටා සිටින ලද හිස් කබල නො දනී. අපි වනාහි හිස් කබලක් මත පිහිටා සිටියෙමු’යි හිස කේ නොදනී.’ මෙලෙස සෑම දෙයකට ම බුදු දහමේ උපමාවක් දී ඇත්තේ කෙනෙකුට වටහා ගැනීමේ පහසුවට යි. අවසානයේ දී කේශා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. මෙලෙස බුදුරජාණන් වහන්සේ මේ දහම පිළිබඳ හොඳ වැටහීමක් දේශනා කර වදාළා.
එසේනම්, පින්වත් සැමට සති, සමාධි , ඤාණ දියුණු කරගෙන තම සිතට බලපවත්නා වූ පාපයන්, ක්ලේෂ, කහට දුරු කර , තම ගුණ නුවණ දියුණු කර, බුදු සසුන ද සුරකිමින් පාරමී ගුණත් දියුණු කරගැනීමට මහඟු භාග්‍ය ලැබේවා!
- ජම්මික ප්‍රබෝධනී වැලිකල