Sunday, May 23, 2021

මුදිතා භාවනාව 1 – ‘අනෙකාගේ සැපයට සතුටු වීමේ භාවනාව

 මුදිතා භාවනාව 1 – ‘අනෙකාගේ සැපයට සතුටු වීමේ භාවනාව’

Apr 24, 2021 | සිත නිවන භාවනා | 0 



මුදිතා භාවනාව 1 –  ‘අනෙකාගේ සැපයට සතුටු වීමේ භාවනාව’

කරුණා භාවනාවට අනතුරුව සමථ භාවනාවකින් සිතේ සමාධියක් ඇති කරගෙන අනතුරුව විදසුන් වඩනු කැමති යෝගාවචරයන් වෙනුවෙන් මුදිතා භාවනාව විස්තර කරනු ලැබේ.


මුදිතාව යනු අන් අයගේ සැපයෙහි සතුටු වීම යි. අන් පුද්ගලයකුගේ සැපයක් දැක, ඔහුගේ සතුට දැක ‘අනේ හොඳයි’ යැයි ඒ පිළිබඳ තමන් සිතේ ද සතුටක් ඇති කරගෙන සතුටු වන ස්වභාවය මුදිතාව ලෙස හැඳින්වේ. මෙය ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ බව යි.


ලෝකයේ බොහෝ දෙනෙක් අන් අයගේ සැපයේ දී ඊර්ෂ්‍යාව උපදවාගෙන අකුශල රැස් කර ගනිති. ඒ අනුව සමහර කෙනෙක් ඒ අය අභිබවා යාමට උත්සාහ දරමින් තව තවත් අකුශල රැස් කර ගනිති. ඇතැම් විට සැපවත් පුද්ගලයාට අනතුරක් කර ඔහු දුකට පත්වනු දැක සතුටු වන අය ද සිටිති. එවන් ලෝකයක අන් තැනැත්තාගේ සැපයේ දී තමන්ට ද ඒ පිළිබඳව සන්තුෂ්ටියක් උපදවා ගත හැකි නම් එය උසස් ගුණයක් වේ. එය භාවනාවක් බවට පත් කර ගැනීම මුදිතා භාවනාවෙන් සිදු වේ.


සමථ භාවනාව සමෘද්ධමත් වන්නේ අරමුණේ සිත මැනවින් පිහිටා පැවතිය හැකි වුවහොත් පමණි. මෛත්‍රී භාවනාවේ දී අතිශය ප්‍රිය සහායක පුද්ගලයාට පළමුව මෛත්‍රිය වැඩීම නො කළ යුතු බව කියන ලදී. අතිශය ප්‍රිය සහායක පුද්ගලයාට මෙත් වැඩීමේ දී ඇල්මක් හටගෙන රාගයක් ඇති විය හැකි බැවිනි. එසේ ම මධ්‍යස්ථ, වෛරී පුද්ගලයන් ද පළමුව තෝරා නො ගත යුතු වේ. එසේ ම කරුණා භාවනාවේ දී ප්‍රිය පුද්ගලයා තෝරා නොගෙන දුකට පත් පුද්ගලයෙක් තෝරා ගත යුතු බව සඳහන් කරන ලදී. ප්‍රිය පුද්ගලයා ප්‍රිය භාවයෙන් ම සිටින නමුදු ඒ පුද්ගලයාගේ දුකක දී සිත කම්පා වන කරුණා බවක් ඇති නොවන බැවිනි. ඒ නිසා කරුණාවේ දී සිත මැනවින් කරුණාවන්ත බවක පිහිටුවා ගැනීමට දුකට පත් වූ පුද්ගලයෙක් අරමුණු කර ගත යුතු වේ.

මෙම මුදිතා භාවනාවේ දී ද කරුණා භාවනාවේ කී පරිද්දෙන් ම පළමුව ප්‍රිය, මධ්‍යස්ථ, අවෛරී පුද්ගලයන්ට මුදිතාව වැඩීම සිදු නො කළ යුතු වේ. ප්‍රිය පුද්ගලයා පිළිබඳව ඇත්තේ ප්‍රියවන්ත බවක් ම වේ. ඔහුගේ සැපයේ දී තමන් සතුටට පත් වන නමුදු භාවනාව ආරම්භ කිරීමට අරමුණෙහි මැනවින් පිහිටා සිටීමට එය ප්‍රමාණවත් නො වේ. මුදිතාව හෙවත් අන් අයගේ සැපයේ දී සතුටු වීම හොඳින් ප්‍රකට වන්නේ සොම්නස් පිළිසඳර යෙදීම සිදු වන්නා වූ, නිතර සතුටු මුහුණෙන් යුතුව කථා කරන්නා වූ, අනෙකාට පළමුව තමන් කථා කරන ස්වභාවය ඇත්තා වූ, සතුටු වන කථා ඇත්තා වූ පුද්ගලයන් පිළිබඳව වේ. සාමාන්‍ය ප්‍රිය පුද්ගලයා තුළ ඇත්තේ ප්‍රියවත් බවක් පමණි. ඔහු වෙත ඇති ප්‍රිය ස්වභාව මාත්‍රය පමණක් මුදිතාව ඇති වීමට ප්‍රමාණවත් නො වේ. එහෙයින් පළමුව ප්‍රිය පුද්ගලයාට මුදිතාව වැඩීම නො කළ යුතු වේ.


එසේ ම මධ්‍යස්ථ පුද්ගලයා සිහි කිරීමේ දී සිතේ ඇති වන්නේ උදාසීන බවකි. ඒ උදාසීන හැඟීම ද මුදිතාවක් ඇති කර ගැනීමට ප්‍රමාණවත් නොවේ. අන් තැනැත්තාගේ සැපයේ දී සතුටු වීම යනු උසස් ගුණයකි. එය සාමාන්‍යයෙන් ඊර්ෂ්‍යා ආදියෙන් මැඩී පවත්නා පෘථග්ජන සිතේ ඇති කර ගැනීම පහසු කටයුත්තක් නො වේ. එහෙයින් මධ්‍යස්ථ පුද්ගලයා ද පළමුව මුදිතාව වැඩීමට තෝරා නො ගත යුතු වේ.


වෛරී පුද්ගලයා සිහි කිරීමේ දී සිතේ ඇති වන්නේ ගැටීමකි. ක්‍රෝධයකි. එය ද මුදිතාව ඇති වීමට ප්‍රතිවිරුද්ධ වේ. වෛරී සතුරු පුද්ගලයෙකුට යහපතක් වනු දැකීමට සිත පළමුව ම කැමති නො වේ. එහෙයින් වෛරී පුද්ගලයාට ද පළමුව මුදිතාව වැඩීම නො කළ යුතු වේ.


මෛත්‍රී භාවනාවේ කී ආකාරයෙන් ම ලිංගවිසභාග පුද්ගලයන් සහ කලුරිය කළ පුද්ගලයන් මෙම භාවනාවට ද ක්‍ෂේත්‍රය නො වේ ම ය. ඔවුන්ට මුදිතාවක් වැඩීමට උත්සාහ කළ ද එය සමෘද්ධ නො වේ මය.

මුදිතාව උපදින්නේ පරම සම්පත්තීන් පිළිබඳ සන්තුෂ්ට වූ තුටු පහටු වූ ප්‍රිය පුද්ගලයා කෙරෙහි ම වේ. යමෙකුගේ අතිශය ප්‍රිය සහායක තැනැත්තා පිළිබඳව ඔහුට ඇත්තේ සොම්නස් හැඟීමකි. ඔහු සමඟ නිරන්තරයෙන් සතුටු වීම රුචි වේ. තම තමන් එකිනෙකා පිළිබඳව ඇත්තේ සිත පිනා යන හැඟීමකි. එවන් තත්වයක් මුදිතාව ඇති වීමට සුදුසු භූමිය යි. මුදිතාවට ආසන්න කාරණය වේ. එහෙයින් අතිශය ප්‍රිය පුද්ගලයා මුදිතාව වැඩීමට ආසන්න කාරණය වශයෙන් උපාකරී වන බව සඳහන් වේ.


ඒ අනුව මුදිතා භාවනාව ආරම්භ කරන තැනැත්තා විසින් පළමුව තෝරා ගත යුතු වන්නේ අතිශය ප්‍රිය සහායකයෙකු වේ. අතිශය ප්‍රියවත් වූ මිත්‍රයා හමු වීමේ දී පළමුව සිනා සී සතුටු සාමීචියෙන් කථා කරයි. බොහෝ විට අතිශය ප්‍රිය මිත්‍රයා හමු වන විට පළමුව කථා කිරීමට තමන්ට සිත පහළ වේ. ඒ ඔහු සමඟ ඇති සතුටු වීමේ ආකාරය යි. එබඳු පුද්ගලයා පිළිබඳව පරම සන්තුෂ්ටිය ඇති වන හෙයින් පළමුව මුදිතාව වැඩීමට තෝරා ගත යුත්තේ ඒ අතිශය ප්‍රිය සහායකයා වේ. අර්ථකථාවන්හි මෙම අතිශය ප්‍රිය සහායකයා ‘සොණ්ඩ සහායකයා’ යැයි හඳුන්වා ඇත. එනම් රා සොඬෙකු බඳු වූ සහායකයා ය. සුරා සොඬෙක් සුරා මතින් මත් වූ විට සතුටු වීමට කාරණාවක් නොමැති අවස්ථාවක නමුත් සතුටු වේ. ඇතැම් විට දුක් විය යුතු අවස්ථාවේ ද සුරා මතින් සතුටු වෙයි. අතිශයින් ප්‍රිය මිත්‍රයා ද මේ සුරා සොඬෙක් බඳු ව නිතරම සතුට ම දනවන තැනැත්තෙක් වේ. ඔහු හමු වීමෙන් දුකට පත් වූ අවස්ථාවේ නමුත් දුක තුනී කරගෙන සතුටු විය හැකි වේ. එබඳු මිත්‍රයෙක් තෝරාගෙන පළමුවෙන් ම මුදිතාව වැඩිය යුතු බව අර්ථකථාවෙහි සඳහන් වේ.


සුවපත් වූ සැප අනුභවයට සැරසුණා වූ සතුටු වන්නා වූ ‘සොණ්ඩ සහායකයෙක්’ නමු වූ අතිශය ප්‍රිය පුද්ගලයෙකුගේ සැපයක් ඇසින් දැක හෝ ඒ පිළිබඳව කනින් අසා හෝ ‘ඒකාන්තයෙන් ම මේ තැනැත්තා සතුටු වන කෙනෙකි. අහෝ සාධු. (අනේ හොඳයි)’ යැයි මුදිතාව ඉපදවිය යුතු වේ. ‘මේ තැනැත්තා තව තවත් සැපයට පත් වේ නම් හොඳ ය. සතුටට පත් වේ නම් හොඳ ය’ යැයි සිතේ මුදිතාව ඇති කර ගත යුතු වේ. ‘මේ තැනැත්තාගේ සැපය දිනෙන් දින වැඩි වර්ධනය වේ නම් හොඳයි’ යනාදි ලෙස සිතිවිලි පැවැත්විය යුතු වේ. එසේ අතිශය ප්‍රිය සහායක තැනැත්තෙක් තෝරාගෙන පළමුව මුදිතාව පැවැත්වීමෙන් තමන්ගේ සිත සතුටට පත් වේ. ප්‍රීති ප්‍රමෝදය ඇතිවේ. එයින් කය සැහැල්ලු භාවයට පත් වී සුඛය ඇති වී සිතේ සමාධියක් ඇති වේ. එයින් මුදිතා භාවනාව සමෘද්ධමත් කර ගත හැකි වේ.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

ඉස්සර සූත්‍රය


 ඉස්සර සූත්‍රය

77

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:

“ලොව අධිපති බව කිමෙක්ද? බඩු අතුරෙන් කිමෙක් උතුම්ද? ලොව ශාස්ත්‍රයට මලකව කිමෙක්ද? ලොව විනාශකාරී කවරේද?

“ගෙන යන කවරකු (මිනිස්සු) වළක්වත්ද? ගෙන යන කවරෙක් වනාහි ප්‍රිය වේද? නුවනැත්තෝ නැවත නැවත එන කවරකු පිළිගනිත්ද?

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “අණ පැවැත්වීම ලොව අධිපති බවයි. භාණ්ඩ අතුරෙන් ස්ත්‍රී උතුමි. ක්‍රෝධය ලොව ශාස්ත්‍රයට මලකඩයි. සොරු ලොව විනාශකාරීහුයි.

“බඩු ආදිය යමක් ගෙනයන සොරා (මිනිස්සු) වළක්වත්. තමාගෙන් යමක් ගෙන යන මහණ තෙම ප්‍රියවේ. නුවණැත්තෝ නැවත නැවත එන මහණහු සතුටින් පිළිගනිති.

Friday, May 21, 2021

Na Uyane Ariyadhamma Thero


 

කරුණා භාවනාව – 02 කොටස – දුකට පත් අයට කරුණාව ඇති කරගන්න

 කරුණා භාවනාව – 02 කොටස – දුකට පත් අයට කරුණාව ඇති කරගන්න

Apr 24, 2021 | සිත නිවන භාවනා | 0 





කරුණා භාවනාව – 02 කොටස – දුකට පත් අයට කරුණාව ඇති කරගන්න

පළමුව සිතේ උපචාර, අර්පණා සමාධියක් ඇති කරගෙන ඒ පදනම් කරගෙන විදර්ශනාව වැඩීමට අදහස් කරන තැනැත්තෙකුට ඒ සඳහා කරුණා භාවනාව වැඩීමට තෝරා ගත හැකිය. එසේ කරුණා භාවනාව ආරම්භ කිරීමට අදහස් කරන යෝගියා පළමුව කරුණාව දැක්විය යුතු නිමිත්තක් තෝරා ගත යුතු වේ. ඒ අනුව රෝහල්, අනාථකඳවුරු ආදියක දුකට පත් පුද්ගලයන් දැක බලා ඒ පුද්ගලයන්ගේ දුක පිළිබඳ හොඳින් නුවණින් විමසා ඒ නිමිත්ත සිතට ගෙන කරුණා භාවනාව ආරම්භ කළ හැකි වේ. එබඳු පුද්ගලයෙක් කලින් දැක ඇත්නම් ඒ පිළිබඳ සිහියට නඟා ගෙන කරුණා භාවනාව ආරම්භ කළ හැකි වේ. එසේ පුද්ගලයෙක් දැක මතකයේ නැතිනම් රෝහල් ආදියකට ගොස් දුක් විඳින පුද්ගලයන් ගැන විමසා බැලීම ද සුදුසු වේ. එසේ කළ නොහැකි විටක දී සුවපත් වූ නමුදු පව් කරන පුද්ගලයෙක් වධක උපමාවෙන් සලකා බලා කරුණාව පැවැත්විය හැකි වේ.


සොරෙක් භාණ්ඩ සහිතව අල්වා ගනු ලැබූ කල්හි මොහුට වධ දෙව යැයි රජු විසින් අණ කරනු ලැබූ රාජ පුරුෂයෝ ඒ සොරා බැඳගෙන සන්ධි ස්ථානවල දී පහර සියය බැගින් දෙමින් මරණ ස්ථානයට රැගෙන යති. මිනිස්සු ඒ සොරාට අතරමග දී කෑ යුතු පිය යුතු දේ ද මල්, සුවඳ විලවුන් ආදිය ද දෙති. හෙතෙමේ ඒවා කමින් පරිභෝග කරමින් යයි. එහෙත් කිසිවෙක් ‘මේ තෙමේ සුවපත් වූවෙකි. මහත් භෝග ඇත්තෙකි’ යි නොසිතයි. ‘ඒකාන්තයෙන් ම පව්කාරයෙකි. දැන් දැන් මරණයට ලං වන්නේය’ යැයි සිතා මිනිස්සු ඔහුට කරුණාව දක්වති. එසේ ම මෙලොව පව් කරන තැනැත්තෙක් කාම සම්පත් පරිභෝග කළේ නමුදු ඒකාන්තයෙන් ම දුකට පත් වෙයි. එබඳු අයෙක් දෙස බලා මේ වධක උපමාවෙන් සලකා බැලිය යුතු වේ. ‘මේ පව්කාරයා දැන් සැප අනුභව කළේ නමුදු තුන් දොරින් එක් දොරකින් නමුදු කළ පිනක් නැති බැවින් මරණින් මතු අපායේ නොයෙක් දුක් දොම්නස් අනුභව කරන්නේය’ යැයි සලකා ඒ පව් කරන පුද්ගලයාට කරුණාව ඉපදවිය යුතු වේ.


මෙසේ පළමුව කිසියම් දුකට පත් පුද්ගලයෙක් දැක ඒ පුද්ගලයාට හෝ එසේ දුකට පත් පුද්ගලයෙක් දක්නට නො ලැබේ නම් සුවපත් වූ නමුදු පව්කම් කරන පුද්ගලයෙක් වධක උපමාවෙන් සලකා ඔහුට හෝ ‘මොහු මේ දුකින් අත මිදේවා, නිදුක් වේවා’ යැයි කරුණා සිත පැවැත්විය යුතු වේ. එහි දී අදාළ පුද්ගලයා අරමුණු කරගෙන සිතේ එකඟ බවක්, ඔහු දුකින් අත මිදීම පිළිබඳ කරුණා සිතකින් සමාධිමත් බවක් ඇති වේ. සිතට සුවයක් දැනේ. අනතුරුව ඒ සමාධිය ම නිමිති කරගෙන තමන්ට ප්‍රිය වූ වෙනත් පුද්ගලයෙක් තෝරාගෙන ‘නිදුක් වේවා’ යැයි කරුණා සිත පැවැත්විය යුතු වේ. එහි දී ද නැවතත් සිත සමාධිමත් වේ. අනතුරුව මෛත්‍රී භාවනාවේ කී ආකාරයෙන් මැදහත් පුද්ගලයා කෙරෙහි ද නැවත වෛරී පුද්ගලයා කෙරෙහි ද යැයි අනුපිළිවෙළින් කරුණා සිත පැවැත්විය යුතු වේ.


වෛරී පුද්ගලයා කෙරෙහි කරුණා සිත පැවැත්වීමේ දී සිතේ ගැටීමක් උපදී නම්, අරුචියක් පහළ වේ නම්, ඒ ගැටීම මෛත්‍රියේ කී ක්‍රමයෙන් ම සංසිඳුවිය යුතු වේ. ප්‍රිය පුද්ගලයා කෙරෙහි, මධ්‍යස්ථ පුද්ගලයා කෙරෙහි කරුණා සිත පැවැත්වීමේ දී සිතට දැනෙන සමාධිය ම දැනෙන අයුරින් වෛරී පුද්ගලයා කෙරෙහි ද කරුණා සිත පැවැත්විය හැකි විය යුතු. එසේ නො හැකි වුවහොත් යළි යළිත් පූර්ව පුද්ගලයන්ට කරුණා සිත පවත්මින් සිත මෘදු බවට පත් කරගෙන වෛරී පුද්ගලයා අරමුණු කළ යුතු වේ. එයින් යම් අවස්ථාවක වෛරී පුද්ගලයා අරමුණු කරගෙන ද පහසුවෙන් කරුණාව පැවැත්විය හැකි වේ. සිත සමාධිමත් වේ. මෙසේ ප්‍රිය, මධ්‍යස්ථ, වෛරී යන සියලුදෙනාට සම සේ කරුණා සිත පැවැත්විය හැකි වීමෙන් මෛත්‍රී භාවනාවේ කී ක්‍රමයෙන් ම සීමා සම්භින්දනය වේ. එසේ සීමා සම්භින්දනය වූ නිමිත්ත ඇසුරු කරගෙන, එය වඩා ප්‍රථම ධ්‍යානය උපදවාගෙන, නැවත ද්විතීය, තෘතීය ධ්‍යානයන් ඉපදවිය හැකි වේ.


මෙසේ යම් කිසි පිනැති තැනැත්තෙක් නම්, ඤාති ව්‍යසන, රෝග ව්‍යසනාදියෙන් යුක්ත පුද්ගලයෙක් දැක හෝ එවැන්නකු පිළිබඳ අසා දැනගෙන හෝ එවැන්නෙකු නොමැති කල්හි ‘මේ තෙමේ සංසාර දුකින් අත නොමිදුණේ’ යැයි සලකා හෝ තමන් කෙරෙහි ද ප්‍රිය, මධ්‍යස්ථ, වෛරී පුද්ගලයන් කෙරෙහි ද යන සතර දෙනා කෙරෙහි කරුණාව පවත්වා මෛත්‍රියේ කී ක්‍රමයෙන් ම සීමා සම්භින්දනය කොට ඒ නිමිත්ත ඇසුරු කරමින්, වඩමින්, බහුලීකෘත කරමින් ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යාන උපදවන්නේය.


අනතුරුව මෛත්‍රී භාවනාවේ කී ක්‍රමයෙන් ම කරුණාව ද පැතිරවිය යුතු වේ. ඒ අනුව පටිසම්භිදාමග්ගපාළියෙහි කී ක්‍රමයට පස් ආකාරයකට අවධියක් නැතිව (අනොධිසො) හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව ද, සප්තාකාරයකට අවධියක් සහිතව (ඔධිසො) ද, දශ ආකාරයකින් දිශා වශයෙන් ද කරුණාව පැතිරවිය යුතු වේ.

ඒ අනුව ‘සබ්බේ සත්තා (සියලු සත්ත්වයෝ), සබ්බේ පාණා (සියලු ප්‍රාණීන්), සබ්බේ භූතා (සියලු භූතයන්), සබ්බේ පුග්ගලා (සියලු පුද්ගලයන්), සබ්බේ අත්තභාවපරියාපන්නා (සියලු ආත්මභාව පර්යාපන්නයන්)’ යන පස් ආකාරයට අරමුණු කිරීමෙන් අවධිරහිතව හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව කරුණා ධ්‍යාන ඉපදවිය හැකි වේ.


අනතුරුව සප්තාකාරයකට විශේෂ පිරිසිඳීමක් සහිතව කරුණා සිත පැතිරවිය හැකි වේ. එනම් ‘සියලු ස්ත්‍රීන් (සබ්බා ඉත්ථියො), සියලු පුරුෂයන් (සබ්බේ පුරිසා), සියලු ආර්යයන් (සබ්බේ අරියා), සියලු අනාර්යයන් (සබ්බේ අනරියා), සියලු දෙවියන් (සබ්බේ දේවා), සියලු මනුෂ්‍යයන් (සබ්බේ මනුස්සා), සියලු විනිපාතිකයන් (සබ්බේ විනිපාතිකා)’ යන සත්ත්ව කොට්ඨාස සත (7) අරමුණු කරමින් කරුණාව වැඩිය හැකි වේ.

නැවත දිශා වශයෙන් ද දශ දිශාවට ම කරුණා සිත පැතිරවිය හැකි වේ. එහි දී එකිනෙක දිශාවේ සියලු සත්ත්වයන්, සියලු ප්‍රාණීන්, සියලු භූතයන්, සියලු පුද්ගලයන් සහ සියලු ආත්මභාව පර්යාපන්නයන් අරමුණු කරමින් ‘නිදුක් වෙත්වා’ යැයි කරුණා සිත පැතිරවිය හැකි වේ. එසේ ම එකිනෙක දිශාවේ ‘සියලු ස්ත්‍රීන්, සියලු පුරුෂයන්, සියලු ආර්යයන්, සියලු අනාර්යයන්, සියලු දෙවියන්, සියලු මනුෂ්‍යයන්, සියලු විනිපාතිකයන්’ යන සත්ත්ව කොට්ඨාස සත (7) අරමුණු කරමින් කරුණා සිත පැතිරවිය හැකි වේ.


එසේ නොයෙක් ආකාරයෙන් කරුණා සිත පතුරවමින් සමාධිය ශක්තිමත් කරගෙන ඒ කරුණා ධ්‍යානය පදනම් කරගෙන විදසුන් වඩා නිවන් සාක්‍ෂාත් කර ගත හැකි වේ.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

වුටඨි සූත්‍රය


 වුටඨි සූත්‍රය  
74
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“නැගෙන්නවුන්හට කිමෙක් නම් ශ්‍රේෂ්ඨද? පහතට බසින්නවුන්හට කිමෙක් නම් ශ්‍රේෂ්ඨද? පයින් යන්නවුන්හට කිමෙක් නම් ශ්‍රේෂ්ඨද? කියන්නන්හට කිමෙක්නම් ශ්‍රේෂ්ඨද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “නැගෙන්නවුන් අතුරෙන් ප්‍රඥාව ශ්‍රේෂ්ඨය. වැටෙන්නවුන් අතුරෙන් අවිද්‍යාව ප්‍රධානය. පයින් යන්නවුන් අතුරෙන් සඞඝයා ශ්‍රේෂ්ඨය. කියන්නවුන් අතුරෙන් බුදුරජ ශ්‍රේෂ්ඨය.”

Monday, May 17, 2021

චිතත සූත්‍රය


 චිතත සූත්‍රය

73

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. ඉක්බිති ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

“මෙහි (මෙලොව) පුරුෂයාගේ ශ්‍රෙෂඨ ධනය නම් කිමෙක්ද? කුමක් නම් මනාව පුරුදු කරන ලද්දේ සුව ගෙන දේද? රස අතුරෙන් ඉතා මිහිරි රසය නම් කිමෙක්ද? කෙසේ නම් ජීවත් වන්නහුගේ ජීවිතය ශ්‍රෙෂඨයයි කියත්ද? “

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “මෙහි ශ්‍රද්ධාව (මෙලොව) පුරුෂයාගේ ශ්‍රෙෂඨ ධනයයි. හොඳින් පුරුදු කළ ධර්‍මය සැප ගෙන දෙයි. රස අතුරෙක් ඒකාන්තයෙන් ඉතා මිහිරි රසය නම් සත්‍ය රසයයි. ප්‍රඥායෙන් ජීවත්වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි කියත්

කරුණා භාවනාව – 01 කොටස – දුකට පත් අයට කරුණාව ඇති කරගන්න

 කරුණා භාවනාව – 01 කොටස – දුකට පත් අයට කරුණාව ඇති කරගන්න

Apr 18, 2021 | සිත නිවන භාවනා | 0 



කරුණා භාවනාව – 01 කොටස –  දුකට පත් අයට කරුණාව ඇති කරගන්න

දුර්ලභව ලබා ගත් බුද්ධ ශාසනයේ නිවන් දැකීමට රිසි සත්පුරුෂයන් විසින් නිරන්තරයෙන් ශීල, සමාධි, ප්‍රඥා ගුණ සම්පූර්ණය කරමින් නිවන් මගෙහි අප්‍රමාදීව ගමන් කළ යුතු වේ. ඒ සඳහා පළමුව සිව් පිරිසිදු ශීලය සම්පූර්ණ කළ යුතු වේ. පරිපූර්ණ වූ ශීලස්කන්ධයකින් සමන්විත නැණවත් පුද්ගලයා සමථ විදර්ශනා භාවනා වැඩීමෙන් පිළිවෙළින් සමාධි, ප්‍රඥා ස්කන්ධයන් පරිපූර්ණය කරගෙන මගපල නිවන් අවබෝධ කර ගන්නා බව බුදුරජාණන් වහන්සේගේ දේශනය යි.


චිත්ත සමාධියක් උපදවා ගත හැකි භාවනා කර්මස්ථාන සම සතළිසක් ත්‍රිපිටකය පුරාවට දේශිත අතර ඒ අතරින් තමන්ට රුචි කමටහනක් තෝරාගෙන භාවනාව ආරම්භ කළ යුතු වේ. බොහෝ දෙනෙකුට ගැළපෙන කමටහනක් වන ආනාපානසති භාවනාව ද එසේ ම බුද්ධානුස්සති භාවනාව ද මෛත්‍රී භාවනාව ද විස්තර කරන ලදී. මෛත්‍රී භාවනාව සමඟ සමීපව වැඩිය හැකි අනෙක් බ්‍රහ්මවිහාර භාවනාවක් වන කරුණා භාවනාව මෙතැන් පටන් විස්තර කරනු ලැබේ. සතර බ්‍රහ්මවිහාර භාවනා අතරින් පළමුවැන්න මෛත්‍රිය වන අතර දෙවැන්න වන්නේ කරුණාව යි.


අන් අයගේ දුකේ දී සිත කම්පාවන ස්වභාවය කරුණාව ලෙස හැඳින්වේ. ‘පරදුfක්‍ඛ සති සාධූනං මනං කම්පෙතීති කරුණා’ යැයි සඳහන් වන්නේ එබැවිනි. ඒ අනුව දුකට පත් අන් සත්ත්වයන් ඒ දුකින් අතමිදෙනු දැකීමේ කැමැත්ත කරුණාව යි. බෝසතාණන් වහන්සේලා සමස්ත ලෝක සත්ත්වයා දුකට පත් වී ඇති බව නුවණින් දැක ඒ සත්ත්වයන් දුකින් අත මිදවීම පිණිස පාරමී ධර්මයන් සම්පූර්ණය කරති. බුදුරජාණන් වහන්සේ මෙම ලෝක සත්ත්වයා සසර දුකින් මිදීමේ කරුණා සිතින් සෑම දිනක ම ලොව බලා වදාරණ සේක. බුදුරජාණන් වහන්සේගේ කරුණාව සෙසු සියලු සත්ත්වයන් අභිබවා ඇති බැවින් එය මහාකරුණාව ලෙස හැඳින්වේ.


කරුණා බ්‍රහ්මවිහාර භාවනාවේ දී සිදු කරනු ලබන්නේ අන් සත්ත්වයන් දුකින් අතමුදවනු කැමැති අධ්‍යාශය භාවනාවක් වශයෙන් පුරුදු කිරීමයි. එහි දී ද මෛත්‍රී භාවනාවේ දී මෙන් ම ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යානයන් උපදවා ගත හැකි වේ.


කරුණා බ්‍රහ්මවිහාර භාවනාව වඩනු කැමති යෝගාවචරයා පළමු කොට ම අකාරුණික බවෙහි හෙවත් විහිංසාවෙහි ආදීනව මෙනෙහි කොට කරුණාව වැඩීමේ ආනිසංස ද මෙනෙහි කළ යුතු වේ. සත්ත්වයන් වෙහෙසට පත් කිරීම වනාහි මෙලොව පරලොව දෙලොව ම අකුශල විපාක ගෙන දෙයි. යමෙක් සත්ත්වයන්ගේ දිවි තොර කිරීමෙන් හෝ අඟ පසඟ සිඳීමෙන් හෝ ධන හානි කිරීම්, අලාභ කිරීම්, අනර්ථය කිරීම්, අයස ඇති කිරීම් ආදියට උත්සාහ කිරීමෙන් හෝ අනෙක් අය වෙහෙසට පත් කරයි ද ඔහුගේ ඒ ප්‍රමාද විහරණය මෙලොව දී ම අලාභය පිණිස පවතී. ලද දෙය පිරිහීම පිණිස පවතියි. ඒ හේතුවෙන් ඔහුගේ අකීර්ති රාවය පැන නගී. පිරිසක් වෙත එළඹීමේ දී බිය, මකු බව ඇති වේ. සිහි මුළා වී කලුරිය කරයි. මරණින් මතු දුගතියේ උපදියි. මිනිසත් භවයක උපන්නේ නමුදු පහත් ජාතිවල, හීන කුලවල උපදියි. දුර්වර්ණ වෙයි. දැකීමට අප්‍රිය උපදවන්නෙක් වෙයි. බොහෝ ආබාධ ඇති බොහෝ ලෙඩ රොග ඇත්තෙක් වෙයි. දිළිඳු, අල්ප ආහාරාදිය ඇති අයෙක් වෙයි. අල්පායුෂ්ක ඇත්තේ වෙයි. මෙසේ සත්ත්වයන් කෙරෙහි අකාරුණික භාවය හෙවත් වෙහෙසට පත් කරන සුළු බව නොයෙක් ආකාරයෙන් අනර්ථකර විපාක ගෙන දෙන්නේ වෙයි.

එසේ ම සත්ත්වයන් කෙරෙහි කරුණාව ඇති කර ගැනීම නොයෙක් ආනිසංස ගෙන දෙන්නේ වෙයි. මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන සුවසේ නින්ද යාම, සුවසේ අවදි වීම ආදි එකොළොස් ආනිසංසය ම කරුණා භාවනාව වැඩීමෙන් ද ලැබිය හැකිය. මෙසේ කරුණා භාවනාව ආරම්භ කිරීමට අදහස් කරන යෝගාවචරයා පළමුව අකාරුණික භාවයෙහි ආදීනව ද කරුණා භාවනාවේ ආනිසංසය ද මෙනෙහි කර අනතුරුව කරුණා භාවනාව ආරම්භ කළ යුතු වේ.


කරුණා භාවනාව වැඩීම ද මෛත්‍රී භාවනාවට අතිශයින් සමාන වේ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව පිළිබඳ දේශනා කරන ආකාරයෙන් ම ‘කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි ලෙස කරුණා සමාපත්තිය උපදවා වාසය කිරීම පිළිබඳ දේශනා කරන සේක.

එබැවින් කරුණා භාවනාව ආරම්භ කරන යෝගියා විසින් ද මෛත්‍රී භාවනාවේ දී මෙන් ම පළමුව ප්‍රිය පුද්ගලාදීන්ට කරුණාව වැඩීම නො කළ යුතු වේ. පළමුව ප්‍රිය පුද්ගලයාට කරුණාව වැඩීමේ දී ප්‍රිය පුද්ගලයාගේ ප්‍රිය භාවය පහ වීම සිදු නොවන බැවින් පළමුව ප්‍රිය පුද්ගලයාට කරුණාව වැඩීම සුදුසු නොවේ. මෛත්‍රියේ දී විස්තර කළ ආකායෙන් ම අප්‍රිය පුද්ගලාදීන් ට ද පළමුව කරුණාව වැඩීම නො කළ යුතු ය. එසේ ම විරුද්ධ ලිංගික පුද්ගලයා ද කලුරිය කළ පුද්ගලයා ද කරුණා භාවනාවට තෝරා නො ගත යුතු වේ. එයට හේතුව ද මෛත්‍රී භාවනාවේ දී විස්තර කරන ලදී.


අභිධර්ම පිටකයේ අප්පමඤ්ඤා විභංගයේ බුදුරජාණන් වහන්සේ කරුණා භාවනාව වඩන ආකාරය ‘කථඤ්ච භික්‍ඛු කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි ලෙස වදාළ සේක. එහි දී වදාළ ආකාරයට කිසියම් දුගී දුප්පත්, කායදුශ්චරිතාදියෙන් යුත් පුද්ගලයෙක් දැක කරුණා සිතක් උපදින්නේ යම් ආකාරයකට ද එසේ සියලු සත්ත්වයන් කෙරෙහි කරුණා සිත ඉපදවිය යුතු වේ. එබැවින් පළමු කොට කරුණාව පැතිරවීම පිණිස කිසියම් කරුණා කටයුතු ස්වරූප ඇති අතිශයින් ම දුකට පත්, දිළිඳු වූ, කපන දල අත් පා ඇති, සිඟන කබලක් පෙරටු කොට අනාථශාලාවෙක සිටින, අතින් පයින් වෑහෙන පණු කැලන් ඇති, බැගෑපත් හඬින් හඬන්නා වූ අසරණ පුද්ගලයෙකු දැක ‘මේ සත්ත්ව තෙමේ දුකට පත් වූයේ යැයි ද මොහු මේ දුකින් අත මිදුණේ නම් හොඳ යැ’යි ද කරුණා සිතක් ඉපදවිය යුතු වේ.


කරුණා භාවනාව ආරම්භ කිරීමට අදහස් කරන තැනැත්තා රෝහල්, අනාථකඳවුරු ආදියක දුකට පත් පුද්ගලයන් දැක බලා ඒ පුද්ගලයන්ගේ දුක පිළිබඳ හොඳින් නුවණින් විමසා ඒ නිමිත්ත සිතට ගෙන කරුණා භාවනාව ආරම්භ කළ හැකි වේ. එබඳු පුද්ගලයෙක් කලින් දැක ඇත් නම් ඒ පිළිබඳ සිහියට නඟා ගෙන කරුණා භාවනාව ආරම්භ කළ හැකි වේ. එසේ පුද්ගලයෙක් දැක මතකයේ නැති නම් රෝහල් ආදියකට ගොස් දුක් විඳින පුද්ගලයන් ගැන විමසා බැලීම ද සුදුසු වේ. එසේ කළ නොහැකි විටක සුවපත් වූ නමුදු පව් කරන පුද්ගලයෙක් වධක උපමාවෙන් සලකා බලා කරුණාව පැවැත්විය හැකි වේ.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...