Wednesday, March 24, 2021

තුනුරුවනට පහන් සිතින් භව ගමනින් නිවන් පුරට

 

තුනුරුවනට පහන් සිතින් භව ගමනින් නිවන් පුරට

ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්

( බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බුද්ධශාසන අමාත්‍යාංශය)

කේ.කේ. සුගතපාල


අපගේ ශාස්තෘ භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී සංගාරව නම් වූ එක්තරා බ්‍රාහ්මණයෙක් පැමිණ බුදුරජාණන් වහන්සේට වැඳ එකත් පසෙක හිඳ මෙසේ කී ය.


භවත් ගෞතමයන් වහන්ස, අපි බමුණෝ වෙමු. අපි (දෙවියන් වෙත) යාග කරන්නෝ වෙමු. අනුගාමිකයන් පැමිණි විට යාග කරවන්නේ ද වෙමු. මේ අනුව අපි ද, අනුගාමික බොහෝ දෙනා ද , ඒ පුද පූජාවන් කිරීම් හේතුකොට ගෙන පුණ්‍ය ප්‍රතිපත්තීන්ට පිළිපන්නෝ වෙමු. (එහෙයින් බොහෝ දෙනා ඒ පින් බලෙන් සුගති ආත්ම ලබති.) භවත් ගෞතමයන් වහන්ස, එහෙත් ඔබගේ ශාසනයේ යමෙක් ගිහිගෙයි නික්ම පැවිද්ද ලබා තමා ම දමනය කෙරේ. එක් කෙනෙක් වශයෙන් කෙලෙස් නිවීම් කෙරේ. මෙසේ තමාගේ පැවිද්දෙන් එක් කෙනෙක් ම පමණක් පුණ්‍ය ප්‍රතිපදාවන්හි යෙදී සුගති ප්‍රතිඵල ලබයි යනුවෙනි.


බමුණ, එසේ නම් මේ කාරණයෙහිලා ඔබගෙන් ම විමසීමක් කරමි. ඔබට හැඟෙන පරිදි එයට මම පිළිතුරු අපේක්ෂා කරමි. බමුණ, දැනගතයුතු සියල්ල දන්නා (සබ්බඤ්ඤුතා ඥානය) සියලු කෙලෙස් නැසූ (ආසවක්ඛය ඥානය) නිර්වාණ මග අනුමානයෙන් නොව ප්‍රත්‍යයෙන් දැන (නිබ්බාන මග්ගඥාන) නිවනට සැපත් (අරහත්ඵල ඥාන) භාග්‍යවත් තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකයේ ඉපිද මෙසේ කියයි. ඔබලා මෙහි එන්න. මේ දුකින් මිදෙන මාර්ගයයි. මේ එයට ප්‍රතිපදාවයි. මේ මාර්ග බ්‍රහ්මචරියාවේ හැසිර ඔබ ද චතුරාර්ය සත්‍ය අවබෝධ කොට සියලු දුකෙන් මිදෙන්න යයි අනුශාසනා වශයෙන් දෙසයි. අන්‍ය බොහෝ දෙනා සිය ගණනින් ද, දහස් ගණනින් ද, ලක්ෂ ගණනින් ද මෙය අසා ප්‍රතිපත්තියෙහි යෙදී ප්‍රතිඵල ලබති. බ්‍රාහ්මණය, මේ කරුණ ගැන ඔබට කුමක් හැඟේ ද? මේ සාසනයේ ඇති මේ පැවිද්දෙන් ප්‍රතිඵල ලබන්නේ එක් අයෙක් වේ ද? බොහෝ වේ ද?


ස්වාමීනි, මේ පැවිද්දෙන් ද බොහෝ දෙනාට පුණ්‍ය ආනිශංස ලැබේයයි බමුණා කී ය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මේ සමීපයේ සිට බමුණාගෙන් මෙසේ ඇසීය. බ්‍රාහ්මණය, මේ ප්‍රතිපදා දෙක අතුරෙන් කවර ප්‍රතිපදාවක් අඩු කටයුතු ඇත්තේ ද, අඩු පීඩා ඇත්තේ ද, වැඩිමහත්ඵල ආනිසංස ඇත්තේ යයි ඔබට හැඟෙන්නේ ද?


සංගාරව බමුණා ප්‍රශ්නයට පිළිතුරු මගහරිමින් දෙනම වහන්සේලා වර්ණනා කරන්නට විය. “භවත් ගෞතමයන් වහන්සේ ද, භවත් ආනන්දයන් වහන්සේ ද උත්තමයෝ ය. මවිසින් පිදීමට හා ප්‍රශංසාවට නිසි ය’යි වශයෙනි. මෙහි දී ආනන්ද ස්ථවිරයන් වහන්සේ දෙවන තෙවන වරද පළමු සේ ම ඇසූ නමුත් තෙවර ම ප්‍රශංසා පමණක් ම කළේය .


මෙහිදී බුදුරජාණන් වහන්සේ ආනන්දයන්ගේ කරුණු සහිත ප්‍රශ්නය බමුණා නො විසඳන බවත් දෙදෙනාම වෙහෙසට පත්වත බවත් දැන කථාව වෙනතකට යොමු කරවන අදහසින් බමුණ අද රජ ගෙදර කිනම් අතුරු කථාවක් වී දැයි ඇසී ය. (මේ බමුණා රජගහනුවර භාණ්ඩ අලුත්වැඩියා කරන ආයතනයක අයකැමියෙකි. රජ පිරිස් ද නිතර ඇසුරට ලැබේ. එහෙයින් මෙසේ ඇසූ සේක්හ.) බමුණා පිළිතුරු දෙන්නේ ස්වාමීනි, මෙවන් කතාවක් වුණි. ‘පෙරදා භික්ෂුහු සෘද්ධි ප්‍රාතිහාර්ය පෑහ. එහෙත් අද භික්ෂුහු බොහෝ වෙති. එහෙත් ස්වල්ප දෙනෙක් ම පමණක් සෘද්ධි ප්‍රාතිහාර්ය දක්වති යනුවෙනි.


මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ බ්‍රාහ්මණය ප්‍රාතිහාර්යය තුනෙකි. (ප්‍රාතිහාර්යය යනු පුදුම එළවන සුළු, අද්භූත, ආශ්චර්ය ක්‍රියාකාරකම් ය.)


සෘද්ධි ප්‍රාතිහාර්යය

මේ ලෝකයෙහි ඇතැමෙක් නන් වැදෑරුම් සෘද්ධි ප්‍රභේද දක්වති. වරෙක එක් අයෙක්ව සිට බොහෝ දෙනෙකු සේ ද, වරෙක බොහෝ දෙනෙකු සේ පෙනී නැවැත එක් අයෙක්ව ද පෙනේ. වරෙක නොපෙනී යයි. බිත්ති, ප්‍රාකාර, පර්වත තුළින් නො ගැටී අහසින් මෙන් යයි. පොළොවෙහි කිමිදෙයි. දියෙහි ගොඩමෙන් ඇවිද යයි. පක්ෂියෙකු සේ අහසෙහි හැසිරේ. මෙසේ සෘද්ධි ප්‍රාතිහාර්ය ඇත්තා බඹලොව තෙක් සියල්ල තම සිරුරින් වසඟයට ගනී.


ආදේශනා ප්‍රාතිහාර්යය

බමුණ, මේ ලෝකයේ ඇතැමෙක්, කෙනෙකුගේ දක්නට ලැබෙන ලකුණු (නිමිති) අනුව ඔබේ සිත මෙසේ වෙයි. ඔබේ සිත මේ ආකාරයෙන් ද වෙයි. ඔබගේ සිත මෙසේ මෙසේ ද වේ යයි ප්‍රකාශ කරයි. මෙසේ බොහෝ කොට කියන හෙයින් (එයින් කීපයක් හෝ) එය එසේම වෙමි. අන් පරිද්දෙකින් නොවේ. තවත් සමහරු මෙසේ නිමිතිවලින් නො කියයි. මිනිසුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දේවතාවන්ගේ හෝ ශබ්ද අසා ඔබේ සිත මෙසේ මෙසේයි පළමු දැක්වූවාසේ කියයි. එයද බොහෝ කොට කියන හෙයින් එසේම වෙයි. බ්‍රාහ්මණය, ලෝකයේ ඇතැමෙක් ඉහත කී දෙ ආකාරයෙන් ම ප්‍රකාශ නොකොට කල්පනා කරන්නවුන්ගේ (විතර්ක) සලකා බලන්නවුන්ගේ (විචාර) මැත දොඩවන ශබ්ද අසා ඔබගේ සිත මෙසේ මෙසේත් යයි පළමු කී දෙ ආකාරයෙන් ම සිතේ ස්වභාවය කියයි. මෙය ද බොහෝ කොට කියන හෙයින් (තරමක් හෝ) එසේම වෙයි. අන් පරිදි නොවේ. ඇතැමෙක් ඉහත කී තුන් ආකාරයෙන්ම නොව විතක්ක විචාර රහිත සමාදියට සමවැදී (රූපාවචර තෘතීය ධ්‍යානය වැනි ලෞකික සමාධියකට පත්ව පරචිත්ත විජානන වැනි ඤාණයකට පත්ව) තම සිතින් අනුන්ගේ සිත පිරිසිඳ ඔබගේ දැන් සිත මෙසේ ය. අනතුරුව ඇතිවන සිත මෙසේ යයි කියත්. මෙයද එය එසේම වන්නේ ය. බ්‍රාහ්මණය මේ ආදේශනා ප්‍රාතිහාර්ය යි. (අප ශාස්තෘ බුදුරජාණන් වහන්සේ ලොව පහළවන විට බ්‍රාහ්මණ දහම හෙවත් චතුර්වේදය ප්‍රබලව තිබූ අතර එහි අතුරු අංගයෝ ලෙසින් නක්ෂත්‍ර, යන්ත්‍ර, මන්ත්‍ර, ආයුර්වේදාදි කොටස් තුළින් හා රූපාවචර, අරූපාවචර ධ්‍යාන තුළින් හා රූපාවචර, අරූපාවචර ධ්‍යාන තුළින් හා රූපාවචර, අරූපාවචර ධ්‍යාන තුළින් ඉහත සඳහන් ආදේශනා ප්‍රාතිහාර්යයෝ කරමින් තිබී ඇත. (මේ සියලු ධ්‍යාන ලෞකික වෙති. දිනක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් ගඟෙන් එගොඩවීමට තොටියා එනතුරු ගංතෙර සිටියදී පසුව පැමිණි බමුණෙක් සෘද්ධියෙන් ගඟ තරණය කිරීම ආදී උදාහරණ රාශියක් ත්‍රිපිටකයෙන් ලබාගත හැක.)


අනුශාසනා ප්‍රාතිහාර්යය

බ්‍රාහ්මණය, මේ ලෝකයේ ඇතැමෙක් මෙසේ මෙසේ මෙනෙහි නො කරන්න. මෙය දුරු කරන්න. මෙයට පැමිණ වාසය කරන්න වශයෙනි. මේ අනුශාසනා ප්‍රාතිහාර්ය යි. බ්‍රාහ්මණය, මේ ප්‍රාතිහාර්යය තුනෙන් වඩා යහපත් වඩා උතුම් කුමක් යයි ඔබට වැටහේ ද? බමුණා එයට පිළිතුරු දෙමින් සෘද්ධි හා ආදේශනා යන යම් ප්‍රාතිහාර්යයක් වේ ද එය ඔහුටම (කරන්නාට පමණක්) වේ. ඔහුම වින්දනය කරයි. භවත් ගෞතමයන් වහන්ස, මේ දෙපරිදි වූ ප්‍රාතිහාර්යයෝ මායාවක් සේ මට වැටහේ. මට පෙනේ. ස්වාමීනි, එහෙත් අනුශාසනා ප්‍රාතිහාර්යය ම ඉතා යහපත් ය. ඉතා ප්‍රණීත යයි ද මට වැටහේ. ගෞතමයන් වහන්ස, ඔබගේ සුභාෂිතය ආශ්චර්ය ය, අද්භූත ය. ඔබ වහන්සේ විසින් ඉතා මනාකොට වදාරණ ලද්දේ ය. ඔබ වහන්සේ මේ ත්‍රිවිධ ප්‍රාතිහාර්යයෙන් ම සමන්විතයයි අපි ධාරණය කරන්නෙමු. ඔබ වහන්සේ බඹලොව තෙක් සියල්ල තමා වසඟයෙහි පවත්වමින් නානවිධ සෘද්ධි දක්වන සේක. විතක්ක, විචාර රහිත සමාධියට සමවැදී සිය සිතින් අනුන්ගේ සිත් පිරිසිඳ දන්නා සේක. මෙසේ සිතන්න, මෙසේ නො සිතන්න. මෙය දුරු කරන්න. මෙයට පැමිණ වාසය කරන්න යයි අනුශාසනා කරන සේක්යයි බමුණා කී ය.


මෙවිට බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණය, ඒකාන්තයෙන් මගේ ගුණ සිහිකොට මගේ ගුණ වෙතට යොමු කරන ලද වචන ඔබ ප්‍රකාශ කළේ ය. එහෙයින් මම තවදුරටත් ඔබට මෙසේ ද දේශනා කරමි. මේ ත්‍රිවිධ ප්‍රාතිහාර්යයන්ගෙන් ම මම පොහොසත් වන්නෙමි කියා යි.


ස්වාමීනි, ඔබ වහන්සේ හැර මේ තුන් ප්‍රාතිහාර්යන්ගෙන් ම මම පොහොසත් වන්නෙමි කියා යි.


ස්වාමීනි, ඔබ වහන්සේ හැර මේ තුන් ප්‍රාතිහාර්යයෙන් යුක්ත වූ තවත් එක භික්ෂුවක් හෝ වේ ද? බ්‍රාහ්මණය, එකෙක් සියයක්, දෙසීයක්, පන්සියයක් නොව බොහෝ භික්ෂූහු වෙති. ස්වාමීනි දැන් ඒ භික්ෂුහු කොහි වාසය කරත් ද? බ්‍රාහ්මණය, ඒ භික්ෂු සංඝයා මේ අතරෙහි ම යයි වදාළ සේක.


භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, ඉතා මැනැවි අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු සේ දරන සේක්වායි කී ය.


බුදු දහම මුල, මැද, අග හෙවත් සත්ත්වයා කොහි සිට කෙසේ මෙහි ආයේද? (මුල) උපන් සත්ත්වයා කෙසේ මෙලොව යහපත අයහපත සලසා ගන්නේ ද? (මැද) මරණයෙන් පසු සත්ත්වයාට කුමක් වන්නේ ද? කවරක් කරගත හැකි වන්නේ ද? (අග) යනාදි වශයෙන් අර්ථ සහතික කොට පුද්ගලයා (සාත්ථං) ඒ ඒ පදයන්ට ඒ ඒ අක්ෂර නිවැරැදිව යොදා (සඛ්‍යඤ්ජ්ජි) කිසිම පදයක් සංඛ්‍යාවක් අක්ෂරයක් නො අඩු හෝ නො වැඩි කොට සියල්ල සම්පූර්ණව (කෙවලපරිපුණ්ණං) මෙත් කරුණා සිත්ම පෙරදැරිව ලෝකාමිෂ අපේක්ෂාවන්ගෙන් තොරව, ලාභ සත්කාර නො තකා (පරිසුද්ධං) සතර බ්‍රහ්ම විහරණයෙන් ම යුතුව (බ්‍රහ්මචරියං) දේශනා කරන ලද්දක් බව කීයෙන් කී දෙනෙක් දනී ද? අන්‍ය බොහෝ දහම්හි මැද ඇත. මුල, අග නැත, තවකෙකු දෙවියන්ගේ කැමැත්තෙන් එති. දෙවියන්ගේ කැමැත්තෙන් යති. (ඊශ්වර - බ්‍රහ්ම නිර්මාණවාද) අන්‍ය දහමක ඉබේ සිද්ධවන බව තවත් දහමක සියල්ල කර්මයෙන් සිදුවන බව (පුබෙබකතකර්මවාදි) ආදී කොට ගත් ශාස්තෘ දහම් වෙත්. බුදුගෙහි දැල්වෙන පහන උප්පාද ඨිති, භංග උගන්වයි. අනිච්ච, දුක්ඛ, අනාත්ම උගන්වයි. ජීවිතං අනියතං මරණං නියතං කියාදේ. අනෙක් තැන්හි කියන්නේ කුමක් ද? පිළිතුරක් සොයා යමු.


කරුණු කාරණා මෙසේ හෙයින් යමෙක් තුනුරුවන් කෙරෙහි අටතැන් සැක දුරු කරයි ද, ඔහුට සසර විඳින්නට වන දුකෙන් වැඩි කොටසක් නිවී යයි. සැක ඉතිරිව තිබේනම් මහ පින්කම් කළත් ලොකු පිනක් අත් නොවේ. ශ්‍රද්ධාවෙන් කෙරෙන සුළු පින්කමකින් වුව ද මහත්ඵල මහානිසංස ලැබේ.

ඛුද්දක නිකායෙහි උදාන පාලිය

 

ඛුද්දක නිකායෙහි උදාන පාලිය:


අසිරිමත් බුදුරජාණන් වහන්සේ

මහමෙව්නා භාවනා අසපු සංචිතයේ

නිර්මාතෘ සහ අනුශාසක

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


මෙම ලිපියේ මුල් කොටස පසුගිය 02 වැනිදා අමාවක පෝදා බුදුසරණ පුවත්පතේ පළවිය.


සම්මා සම්බුදු පදවිය ලැබ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ සෙවනේ සත් දිනක් එක දිගට එක පළඟින් ම විමුක්ති සුවයෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් නැඟී සිට පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම වශයෙන් මෙනෙහි කොට දේශනා කිරීමෙන් පසු යථාර්ථය නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන, එම අවස්ථාවේ මේ උදාන ගාථාව වදාළ සේක.


දා හවේ පාතුභවන්ති ධම්මා

ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස

අථස්ස කංඛා වපයන්ති සබ්බා

යතො පජානාති සහේතු ධම්මන්ති


“ ඒ අරහත් උතුමන්ට සියලු කෙලෙස් තවන වීරිය තිබෙනවා. උන්වහන්සේ ධ්‍යාන වඩනවා. ඉතින් ඒ අරහත් උත්තමයාට යම් වෙලාවක බෝධිපාක්ශික ධර්ම තමන් තුළ ඇතිවෙනවානම්, ඒ මොහොතේ තමන් තුළ තිබුණු හැම සැකයක් ම දුරුවී යනවා. ඒ තුළින්මයි මේ හේතුඵල ධර්මයේ යථාර්ථය අවබෝධ කරගන්නේ.”


දුතිය බෝධි සූත්‍රය හෙවත් සම්බුද්ධත්වය පිළිබඳ වදාළ දෙවන උදාන ගැන සඳහන් වන්නේ මෙලෙස යි. එදා රාත්‍රියේ මධ්‍යම යාමයේ දී භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය ප්‍රතිලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කොට වදාළ සේක. එනම් “ මේ අයුරින් මේ හේතුව නැතිවෙන විටම මේ ඵලය නැතිවෙනවා. මේ හේතුව නිරුද්ධ වෙන විට ම මේ ඵලය නිරුද්ධ වෙනවා “ යනුවෙනි.


’ඉමස්මිං අසති ඉදං න හෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති’ අවිද්‍යාව නිරුද්ධවීමෙන්, සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන්, විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන්, නාමරූප නිරුද්ධ වෙනවා. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වීමෙන්, ස්පර්ශ නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන්, තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන්, බැඳීම නිරුද්ධ වෙනවා. බැඳීම නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස්වීම නම් වූ භවය නිරුද්ධ වෙනවා. විපාක පිණිස කර්ම සකස්වීම නිරුද්ධ වීමෙන්, ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන්, ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝක කිරීම, වැළපීම, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම නිරුද්ධ වෙනවා. මේ අයුරිනුයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වන්නේ” යනුවෙනි.එවිට භාග්‍යවතුන් වහන්සේ, මේ යථාර්ථය නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන ,ඒ වෙලාවේ නිරාමිස සතුටින් මේ උදාන ගාථාව වදාළ සේක.


යදා හවේ පාතුභවන්ති ධම්මා – ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස

අථස්ස කංඛා වපයන්ති සබ්බා – යතො ඛයං පච්චයානං අවේදිතී


ඔහුට සියලු කෙලෙස් තවන වීරිය තිබෙනවා. ඔහු ධ්‍යාන වඩනවා. ඉතින් ඒ අරහත් බ්‍රාහ්මණයාට යම් වෙලාවක බෝධි පාක්ෂික ධර්ම තමන් තුළ ඇතිවෙනවා නම්, ඒ මොහොතේ තමන් තුළ තිබූ හැම සැකයක් ම දුරුවෙලා යනවා. ඒ තුළින්ම යි මේ හේතුඵල ධර්මයේ යථාර්ථය අවබෝධ කරගන්නේ”


අනතුරුව සඳහන් වන තතිය බෝධි සූත්‍රයේ දැක්වෙන්නේ සම්බුද්ධත්වය ගැන වදාළ තෙවන උදානය යි. එදා රාත්‍රී පශ්චිම යාමයේ භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම – ප්‍රතිලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කොට වදාළා. එනම් “ මේ අයුරින් මේ හේතුව ඇතිවන විට, මේ ඵලය ඇතිවෙනවා. මේ හේතුව උපදින විට මේ ඵලය උපදිනවා. මේ හේතුව නැති වෙන විට මේ ඵලය නැතිවෙනවා. මේ හේතුව නිරුද්ධ වෙන විට මේ ඵලය නිරුද්ධ වෙනවා” කියායි. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ යථාර්ථය නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ අවස්ථාවේ දී ශාන්තව, සතුටින් යුතුව මේ උදාන ගාථාව වදාළ සේක.


යදා හවෙ පාතුභවන්ති ධම්මා

ආතාපිනෝ ඣායතො බ්‍රාහ්මණස්ස

විධූපයං තිට්ඨාති මාරසේනං

සූරියොව ඕභාසයමන්තළික්ඛන්ති


“ සියලු කෙලෙස් තවන වීරිය තිබෙනවා. ධ්‍යාන වඩනවා. ඉතින් ඒ අරහත් බ්‍රාහ්මණයාට යම් වෙලාවක බෝධි පාක්ෂික ධර්ම තමන් තුළ ඇතිවෙනවා නම්, ඒ මොහොතේ අහස් කුස බබළන හිරු මඬලක් සෙයින් මාර සේනාව කම්පා කර වැඩ සිටිනවා. අපටද ඒ උතුම් සම්බුද්ධත්වය පිළිබඳව වඩ වඩාත් චිත්ත ප්‍රසාදය ඇති කරගන්නට මෙම උතුම් දේශනා උපකාර වේවා.!

පස් පවින් වැළකේවා නිති සිල් සුවඳ දේවා


පස් පවින් වැළකේවා නිති සිල් සුවඳ දේවා

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ

උපාධ්‍යාය

අමුණුපුර පියරතන නා හිමි


නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස


යො පාණමති පාතෙති - මුසාවාදංච භාසති

ලොකෙ අදින්නං ආදියති - පරදාරංච ගච්ඡති

සුරා මෙරය පානංච - යො නරො අනුයුංජති

ඉධෙව මෙසො ලොකස්මිං - මූලං බණති අත්තනො


සුපින්වත්නි,


සකල සතවෙත පතළ මහා කරුණා ගුණ ඇති අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩවසන සමයෙක පන්සියයක් උපාසක පිරිස අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.


අනේපිඬු සිටුතුමා විසින් සිව්පනස් කෙළක් ධනය වියදම් කොට සාදවා පූජා කළ මෙම ජේතවනාරාමය නන් දෙසින් පැමිණෙන භික්ෂු, භික්ෂුණී උපාසක, උපාසිකා වන්ගෙන් ද, රාත්‍රී භාගයේ පැමිණෙන දෙවි දේවතාවන්ගෙන් ද පිරී පවතින අතර තෙරුවන් ගුණ බලමහිමයෙන් හා සිරියාවෙන් බබළන්නේ ය. ශ්‍රද්ධාවෙන් ධර්මය අසන, දන්පැන් දෙන, ප්‍රඥාවේ ධර්මය සාකච්ඡා කරන සිල්වත් ගුණවත් උතුමන් යළි ආපසු යන්නේ දෙව්මිනිස් නිවන් සම්පත් ලබාගැනීමේ පරම පවිත්‍ර අධිෂ්ඨානයෙනි.


මෙම ජනයා අතර පන්සියයක් පමණ දෙනෙක් තම තමන් ආරක්ෂා කරන සිල්පද පිළිබඳ වාද විවාද ඇති කළහ. මෙම වාද විවාදවල තීරණයක් ලබා ගැනීමට ඔවුහු බුදුරදුන් වෙත පැමිණ සැළකර සිටියහ.


සත්ත්වයාගේ ස්වභාවය, තම තමන්ගේ මානසික ගැටීමෙන් පෙරට එන අරමුණට සාපේක්ෂව ගන්නා තීරණය සත්‍යබව තීරණය කිරීමයි. මෙම උපාසකයන් අතර ඇතමෙක් ප්‍රාණඝාත අකුසලෙන් මිදීම පමණක් හොඳයයි සිතූහ. ඇතැමෙක් අදින්නාදානය පමණක් සීලය යැයි නිගමනය කළහ. මෙසේ පන්සිල් පිළිබඳව ද වාද ප්‍රතිවාද කරමින් සිට බුදුරදුන්ගේ අදහස් විමසූ විට අප බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාවෙන් පස්පව්වලින් සිදුවන මහා විපාක හා පන්සිල්වලින් ලැබෙන ආනිශංසත් විස්තර කර වදාළ සේක. මනුලොව සත්ත්ව පරපුර බිහි වූ දා පටන් කෙනෙකුගේ ජීවිතයක් විනාශකොට තවත් ජීවිතයක් රැකීමේ ප්‍රවණතාවය නොකඩවා පවතින්නේ ය. මෙම ස්වභාවය පාලනය වීමට මිනිසා විසින්ම ආගම්, දර්ශන, නීතිරීති, නියෝග සකස් කරගෙන පැවැත්මේ ප්‍රමාණයකට පාලනය කරගෙන එන්නේ ය.


පින්වත්නි, පස් පව්වලින් ප්‍රථමයෙන් දක්වා ඇති ප්‍රාණඝාතය මහා පාප කර්මයක් බව බුදුදහමේ දැක්වේ. ආගමක්, දර්ශනයක්, චින්තාවක් ඇතිවන්නට නම් ජීව පරපුරක් විශේෂයෙන් මානව පරපුරක් ප්‍රථමයෙන් සිටිය යුතු වන්නේ ය.


“පාණාතිපාතො භික්ඛවෙ ආසෙවිතො භාවිතො බහුලීකතො නිරය සංවත්තනිකොහොති තිරච්ඡානයොති සංවත්තනිකො හොති. පෙත්තිවිසය සංවත්තනිකො හොති යො සබ්බලහුසො පාණතිපාතාස්ස විපාකො මනුස්සභූතස්ස අප්පායුක සංවත්ත නිකොහොති” ආදී නයින් දේශනා කළ පරිදි ප්‍රාණඝාත අකුසලය නරක, තිරිසන්, ප්‍රේත ලෝකවල ඉපදීමට හේතුවකි. මනුලොව උපන්නත් අල්ප ආයුෂ ඇතිව මරණයට පත්වන්නේ ය.


ප්‍රාණඝාතය හෙවත් ජීවයක් විනාශ කිරීමට සිතීම් මාත්‍රය පවා මනෝද්වාරයෙන් වන්නා වූ මහා පාපයකි. හොරකම, කාම මිථ්‍යාචාරය, බොරුකීම මත්ද්‍රව්‍ය පානය යන අකුසල් ද මෙලොවදී විවිධ කරදර හිරිහැර නින්දා අපහාස, සන්තාප බාධක ඇතිවීමට හේතුවන අතර මරණින් මතු සතර අපායේ ඉපදෙන්නට හේතු වන්නේ ය. ප්‍රාණඝාත අකුසලයෙන් වන දිට්ඨධම්මවේදනීය ප්‍රතිවිපාක අපමණ ය. සත්වයෙකුගේ ජීවිතය දැන දැන විනාශකිරීම නිසා විනාශ කරන්නාගේ ජීවන ඉන්ද්‍රිය ද ඉතා ඉක්මනින් අක්‍රියවන්නේ ය. ඉතා ස්වල්ප දෙයකින් බිය, ත්‍රාසය, සන්තාපය, ශෝකය ඇති වී තැවෙන්නේ ය. ගොවිතැන් කර්මාන්තයෙහි නොපවත්නා ගවයෙකු පිදුරු දමා පුළුස්සා කෑ මිනිසෙකු ඒ මහා පාප කර්මයෙන් අවීචි මහා නරකයෙහි ඉපිද වසර කෝටි ගණන් පැසී එයින් මිදී සියක් ආත්ම භාවයන්හි ගින්නෙන් දැවි දැවී දුක්වේදනා විඳි අයුරු දහම් කතාවක දැක්වෙන්නේ ය.


එවංච සත්තා ජානෙය්‍යුං

දුක්ඛාය ජාති සම්භවො

න පාණෙ පාණිනං හඤ්ඤෙ

පාණ ඝාතාහි සෝචති


අදින්නාදානය හෙවත් හොරකම ශිෂ්ට සමාජයට කරන මහා විපත්තියකි. විශේෂයෙන් දුප්පත්කම නිසා හෝ, පුරුද්ද නිසා හෝ අනුන්ගේ දෙයක් අනුදැනීමක්, සංඥාවක් නැතිව ගැනීම, සෙලවීම, අනුබලදීම පුද්ගලිකව තමාට කරගන්නේ අපරාධයකි. සමාජ ප්‍රගතියට බාධාවකි.


වර්තමාන ලෝකයේ මානව සමාජය මෙතරම් සංකීර්ණ වන්නේ හොරකම, කාමමිථ්‍යාචාරය, බොරුව, සුරාපානය වැනි අකුසල කර්ම නිසා ය. පස්පව් නොකිරීම්, පන්සිල් ආරක්ෂා කිරීම ලෝකයේ ප්‍රධාන සමාජ ධර්මතාවයක් ලෙස සම්මත කරගන්නේ නම්, මෙතරම් අපරාධ සිදුවන්නේ නැත. ජගත් සමාජය තුළ පහත සඳහන් සාධාරණ සම්මුතීන් ඇතිකර ගන්නේ නම් අපරාධ දූෂණ අඩු වී ජනතාවට මෙයට වඩා සහනයක් ඇති වන්නේ ය. බෞද්ධ පංචශීල ප්‍රතිපත්තිය ලෝක සම්මතයක් කිරීම, ලෝක ජන සමාජයේ ඇති නැති පරතරය අඩු කිරීම, න්‍යෂ්ටික අවි ආයුධ භාවිතය සීමා කිරීම, බෞද්ධ දර්ශනය විශ්ව ශක්තියක් කිරීම, ජගත් සංවිධානවලට මේ පිළිබඳව දැනීමක් දීම වශයෙනි.


බුද්ධාගමේ පදනම පන්සිල් වන අතර එම ප්‍රතිපත්තිය ඉතා සුහදතාවයෙන්, මනෝ විද්‍යානුකූලව මේ උතුම් ධර්මය නොදත් එහෙත් කැමැත්තෙන් සිටින කෝටි සංඛ්‍යාත ජනතාවට අවබෝධයක් දීමට ජගත් නායකයන් ප්‍රමුඛව ක්‍රියා කළයුතු කාලය පැමිණ ඇත.


පස් පව් දුරුවේවා, පන්සිල් සුරැකේවා , මෙත් සිත් වැඩේවා, සැමට සගමොක් සුව ලැබේවා, ඔබ සැමට තෙරුවන් සරණයි

 

කුසලයට අලස නොවන්න


පොසොන් පුර අටවක 2019.06.10

කුසලයට අලස නොවන්න
 

අර්ථවත් බෞද්ධයා නම් කර්මය හා කර්ම ඵලය විශ්වාස කරන්නෙකි. ඒ විශ්වාසය අනුව තම ජීවිතය යහපත් ව පවත්වා ගන්නෙකි.

කර්ම නියමය අනුව අප විසින් සිදුකරනු ලබන කුසල් හා අකුසල් ක්‍රියාවන් හි ඵල මේ ජීවිතයට පමණක් සීමා වන්නේ නැත. සංසාරගතව ම ක්‍රියාත්මක වන්නේ ය. කුසල ක්‍රියා යහපත් ය. යහපත් ඵල ගෙන දෙන්නේ ය. ප්‍රසන්න පුනර්ජන්ම ලබාදේ. සතුට ගෙන දේ. අප අත නොහැර, පසු පස ම එන සෙවණැල්ල මෙනි. අලෝභ, අදෝස, අමෝහ සිතිවිලි කුසලයට මූලික වන්නේ ය.

අකුසල ක්‍රියා අයහපත් ය. අයහපත් ඵල ම ගෙන දේ. දුක්බර උපතකට හේතු ය. ජීවිතය වේදනාකාරී ය. දුකම දෙන්නේ ය. ගොනු පසු පස එන රිය සක මෙන් ය. ලෝභ, ද්වේශ , මෝහ සිතිවිලි අකුසල ක්‍රියාවන්ට මුල් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ දිනක් සුභ නම් මානවක අමතා දේශනා කොට වදාළේ සත්ත්වයා කර්මය අනුව උපත ලබන බව ය. කර්මය දායාද කොට, කර්මය පිළිසරණ කොට ඇති බව ය. සත්ත්වයා උස් පහත් වශයෙන් බෙදෙන්නේ කර්මය නිසා බව ය.

කර්මය හා එහි ඵල එසේ වුව ද බෞද්ධයන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයන් ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බව ඇතැම් පුද්ගල හැසිරීම් හා ඇතැම් සමාජ සංසිද්ධීන්වලින් ගම්‍ය වේ. පුද්ගලයකු විසින් කරන ක්‍රියාව තමන්ට පමණක් නොව බොහෝ විට සමස්ත සමාජ පද්ධතියට ම බලපාන අවස්ථා ඇත. එය සමාජ පැවැත්මට සුදුසු නැත.

කර්මය හා කර්මඵලය විශ්වාස කළ ද එය විශ්වාසයට පමණක් සීමා කොට ක්‍රියාවට නොනඟන්නේ නම්, ඒ ගැන සැලකිල්ලක් නොදක්වනවා නම් අප විසින් ම සිදු කරගනු ලබන්නේ අනර්ථයකි.

වැරැදි කරන බොහෝ අය තම වරද සාධාරණීකරණය කරන්නේ තමන්ට නිසිමඟ පෙන්වීමට කෙනෙක් සිටියා නම් මෙවැනි වරදක් නොවනු ඇති බවට ය. එහි එක්තරා සත්‍යයක් ඇත. කල්‍යාණ මිත්‍ර ඇසුර පුද්ගලයා යහපත් තැනක ඔසවා තබයි. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ ඇසුරට සුදුසු යහපත් අය නොවන්නේ නම් අසත්පුරුෂ ඇසුරට වඩා තනිවම ජීවත්වීම යහපත් බව ය. කවරෙකුට ඇඟිල්ල දිගු කළ ද තමන් කරන කුසලා කුසල කර්මයන් හි ඵල විඳින්නට වන්නේ නම් තමන්ට ම ය. එහෙයින් අවබෝධයෙන් ජීවත්වීම අත්‍යවශ්‍ය ය. මිනිසා යනු සිතා බලා කටයුතු කරන්නට හැකි උසස් මනසකින් යුත් සත්ත්වයෙකි. දැක බලා ජීවිතය හැඩගස්වා ගන්නට අපට ජීවත්වන පරිසරය තුළ ම ඕනෑ තරම් අවකාශ තිබේ.

බුදු දහමේ දේව දූතයන් තිදෙනෙක් ගැන විස්තර කෙරේ. ජීවත්ව සිටින කාලයේ මව්පියන්ට ගරු නොකර, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට, වැඩිහිටියන්ට ගරු නොකර මරණින් පසු අවීචියට ගිය පුරුෂයෙකු යමපල්ලන් විසින් දඬුවම් නියම කරනු පිණිස යමරජු වෙත ගෙන ගිය අවස්ථාවේ යමරජු එම පුද්ගලයාගෙන් විමසුවේ මිනිස් වර්ගයා අතර පළමු දේවදූතයා පෙනී සිටිනු නොදුටුවේ ද යන්න ය. ඒ පුරුෂයා කීවේ නොදුටු බව ය. අසූ අනුවියැති, එසේත් නැතිනම් සියක් වයස් ඉක්ම වූ. දුබල වූ සැරයටියට වාරු වූ, වෙව්ලන දෑතින්, ශක්තිය පහව ගිය , රැළි ගැසුණු අත්පා ඇති තැනැත්තෙක් නොදුටුවේ ම දැයි යම රජු නැවත ඒ පුරුෂයාගෙන් විමසුවේ ය. එවිට පුරුෂයා දැක ඇතැයි පිළිතුරු දුන්නේ ය. බුද්ධිමත් මනසක් ඇති නුඹට ඒ දැක දැකත් ජීවිතය තේරුම්ගත නොහැකි වූයේ ද? තමනුත් කවදා හෝ මහලු වියට යන බව නොතේරුණේ දැයි යමරජු නැවත විමසී ය. ජීවිතයට පාඩමක් ඉගෙන ගත හැකි පළමු දේවදූතයා නම් ඒ මහලු පුද්ගලයා ය.

ජීවිතයේ හමුවන දෙවන දේව දූතයා නම් ගිලන්ව වැතිරී සිටින වේදනාවෙන් පෙළි පෙළී, තමන්ගේ ම කැත කුණු මත වැතිර දුක් විඳින පුද්ගලයා ය.

තෙවන දේව දූතයා නම් මිය ගිය පුද්ගලයා ය. මෘත කලේබරය ඉදිමී, දුර්වර්ණ වී කුණුවී තිබෙන මළ සිරුර ය.

දේවදූතයන් ලෙසින් එන මෙම සංඥා බුද්ධිමත් පුද්ගලයාට ජීවිත යථාර්ථය පිළිබඳව ලබා දෙන ඉඟි ප්‍රබල ය. ජීවිතය යහපත් ව ගෙවන්නට, අකුසලයෙන් මිදී කුසලයෙහි යෙදෙන්නට එය ම ප්‍රමාණවත් ය. මෙම ඉඟි දේවදූතයන් වන්නේ දෙව්ලොවට මඟ පෙන්වන නිසා ය. මේ යථාර්ථය දැන දැක අයහපතින් මිදී යහපත ම වැඩීම තමන්ට සේ ම අනුන්ට ද හිත පිණිස ම වන්නේ ය.


 

Pail 4




 


Saturday, March 20, 2021

10-7 මහමුගලන් තෙරුන්ගේ කථා පුවත.

 

10-7 මහමුගලන් තෙරුන්ගේ කථා පුවත. 

යො දණ්ඩෙන අදණ්ඩෙසු, අප්පදුට්ඨෙසු දුස්සති;

දසන්නමඤ්ඤතරං ඨානං, ඛිප්පමෙව නිගච්ඡති.

යමෙක් දඬුවම් නොකළ යුතු, ද්වේෂ නොකරණ පුද්ගලයන් විෂයෙහි අපරාධ කෙරේද, හෙතෙම දශවිධ දුක්ඛ කාරණයන් අතුරෙන් එක්තරා දුක්ඛකාරණයකට වහාම පැමිණෙන්නේය.

වෙදනං ඵරුසං ජානිං, සරීරස්ස ච භෙදනං (සරීරස්ස පභෙදනං (ස්‍යා.));

ගරුකං වාපි ආබාධං, චිත්තක්ඛෙපඤ්ච (චිත්තක්ඛෙපං ව (සී. ස්‍යා. පී.)) පාපුණෙ.

දැඩිවූ (කායික) වේදනාවකට හෝ ධනහානියකට හෝ ශරීර භෙදයකට හෝ නැවත බලවත් රෝගයකට හෝ උන්මාදයට හෝ පැමිණෙන්නේය.

රාජතො වා උපසග්ගං (උපස්සග්ගං (සී. පී.)), අබ්භක්ඛානඤ්ච (අබ්භක්ඛානං ව (සී. පී.)) දාරුණං;

පරික්ඛයඤ්ච (පරික්ඛයං ව (සී. ස්‍යා. පී.)) ඤාතීනං, භොගානඤ්ච (භොගානං ව (සී. ස්‍යා. පී.)) පභඞ්ගුරං (පභඞ්ගුනං (ක.)).

රජුන් කෙරෙහි වන්නාවූ උවදුරකට හෝ දරුණුවූ (අභ්‍යඛ්‍යානයකට) චෝදනාවකට හෝ නෑයන්ගේ විනාශයට හෝ භෝගයන්ගේ විනාශයට හෝ පැමිණෙන්නේය.

අථ වාස්ස අගාරානි, අග්ගි ඩහති (ඩය්හති (ක.)) පාවකො;

කායස්ස භෙදා දුප්පඤ්ඤො, නිරයං සොපපජ්ජති (සො උපපජ්ජති (සී. ස්‍යා.)).

ඔහුගේ ගෙවල් පාවක (ශුද්ධකරන්නා) නම්වූ ගින්න දවයි. ඒ අඥාන පුද්ගලතෙම මරණින් මතු නරකට පැමිණෙන්නේය.

“යෝ දණ්ඩෙන” යන මෙම ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටියදී මහමුගලන් තෙරුන් නිසා දේශනා කළහ.

එක් සමයෙක තීර්ථකයින් එක්රැස් වී රහස් සාකච්ඡාවක් කළහ. යහළුවනි ! කුමන කරුණක් නිසා භවත් ගෞතමයන්ට මහත් ලාභසත්කාර ලැබේදැයි දනිම්ද? අපි නොදනිමු. තෙපි දනිව් ද? එසේය. මම දනිමි. මුගලන් නම් වූ එක් අයෙක් නිසා ලැබේ. ඔහු දෙව්ලොව ගොස් දෙවියන් ගෙන් ඔවුන් කළ කුශල කර්ම විමසා දැනගෙන අවුත් මිනිසුන්ට කියාදෙයි. මේ තැනැත්තා මෙබඳු කුශල කර්මයක් කොට මෙබඳු සම්පත් ලබා තිබේ යනුවෙන් විස්තර කර දෙයි.

මිනිස්සු ඔහුගේ මේ කථා අසා මහත් ලාභසත්කාර පවරා දෙති. මේ නිසා ඔහු මරන්නේනම් අපට එම ලාභසත්කාර ලබාගත හැකිය. ඔවුහු එක් උපායක් ඇතැයි සියල්ලෝ ඒකච්ඡන්දයෙන් අනුමත කොට කිසියම් දෙයක් කොට ඔහු මරවුයයි. තම අනුගාමිකයන් එකඟ කරවාගෙන කහවණු දහසක් ගෙන - මිනිසුන් මරණ සොරුන් කැඳවා මහමුගලන් තෙරුන් කළුගල් කඩ වසතියි කියා ඔහු ඝාතනය කරන්නැයි ඔවුන්ට කහවණු දුන්හ. සොරු ධන ආශාවෙන් පිළිගෙන තෙරුන් වහන්සේ මරන්නෙමුයි උන්වහන්සේ වසන ස්ථානය වටකොට සිටියහ. තෙරුන් වහන්සේ ඔවුන් වටකොට ඇතිබව දැන යතුරු සිදුරෙන් නික්මී ගියහ. ඔවුන් මුගලන් තෙරුන් නොදැක නැවත දිනයක පැමිණ වට කළහ. තෙරුන් වහන්සේ මෙය දැන කැණිමඩල හිඳගෙන අහසට පැන නැග්ගේය. මේ අයුරින් පළමු මාසයේ ද තෙරුන් ගන්නට නොහැකි වූහ. අන්තිම මාසය එළඹීවිට තෙරුන්වහන්සේ තමන් විසින් කරන ලද කර්මය ඉදිරියට අදින බව දැන නොගියේය. සොරුන් ගොස් තෙරුන් ගෙන සහල් ඇට තරමට ඇට කමින් සිරුර බිදුහ.

ඊට පසු මැරුනේ යයි යන හැඟීම ඇතිව එක් වන ලැහැබක දමා ගියහ. තෙරුන් බුදුන් දැක පිරිනිවන් පාමියි ආත්ම භාවය ධ්‍යාන වෙළුමෙන් වෙළා ස්ථීර කොට අහසින් බුදුන් වෙත ගොස් බුඳුන් වැඳ ස්වාමීනි. පිරිණිවන් පාමියි පැවසූහ. මොග්ගල්ලාන ඔබ පිරිනිවන් පාන්නේද? ස්වාමීනි එසේය. කොතැනට ගොස් පිරිනිවන් පාන්නේද? කළුගල් පෙදෙසට ගොස් පිරිනිවන් පාමී. එසේ නම් මුගලන් මට ධර්මය කියව ! මෙබඳු ශ්‍රාවකයෙකුගේ දර්ශනය මින්මතු හැකිවේදැයි පවසා එනිසා ධර්මය දේශනා කරන්නැයි පැවසූවිට ස්වාමීනි මම එසේ කරමියි කියා බුදුන් වැඳ අහසට පැනනැගී පිරිනිවන් පාන දින සැරියුත් තෙරුන් සේ නොයෙක් ඍධි ප්‍රාතිහාර්යයන් දක්වා ධර්මය කියා බුදුන් වැඳ කාළසිලා පර්වතයට ගොස් පිරිනිවන් පෑහ. සොරුන් විසින් - තෙරුන් මරන ලදැයි යන කථාව මුළු දඹදිව පැතිරුනේය. අජාසත් රජ සොරුන් සෙවීම සඳහා චරපුරුෂයන් යෙදවීය. එම සොරුන් සොර සුරා සැළකින් රා බින අතර එකෙක් එකෙකුගේ සුරාබදුනට ගසා බිමහෙළීය ඔහු අනෙකාට තර්ජනය කර එම්බා - වනචරය නුඹ කුමක් නිසා මගේ ඔඩම බිම හෙලුවේද කීම දෘෂ්ට චෞරය නුඹ පළමුවෙන්ම මහමුගලන් තෙරුන්ට තැලුවා නේද?

ඇයි මම පළමුව තැලුව බව නුඹ නොදන්නේද? මෙලෙස මමත් තැලුව මමත් තැලුව යයි කියන්නන්ගේ වදන් අසා ඒ චරපුරුෂයෝ ඒ සියළු සොරු අලාගෙන රජුට දැන්වීය. රජු සොරුන් කැදවා තෙපි විසින් තෙරුන් ඝාතනය කරන ලද්දේදැයි විමසීය. දේවයන් වහන්ස එසේය. තොප ඒ සඳහා යොදවන ලද්දේ කවරෙකු විසින්ද දේවයන් වහන්ස නිඝණ්ඨයින් විසින් යයි පැවසූහ. රජ පන්සියයක් නිඝණ්ඨයින් හා පන්සියයක් සොරුන් ද ගෙන රජගෙයි මළුවේ නැබ පමණට යටකොට පිදුරුවලින් වසා ගිනි ඇවිල විය. ඊටපසු ඔවුන් දැවුන බව දැන යකඩ නගුලෙන් කඩින් කඩ සාවවා සියල්ලන් කැබලි කැබලිවලට පත් කළේය. භික්ෂූහු දම්සභා මණ්ඩපයේදී මහමුගලන් තෙරුන්ට නුසුදුසු වූ මරණයක් සිදුවීයයි කථාවක් ඉපිද වූහ.

තථාගතයන් වහන්සේ පැමිණ මා පැමිණීමට පෙර මහණෙනි. ඔබ කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි විමසා මේ මුගලන් මහතෙරුන් ගැනයයි පැවසුවිට මහණෙනි මුගලන් තෙරණුවෝ මේ ආත්මභාවයට නුසුදුසු වුවක් පෙර භවයකදී ඔහු විසින් කරන ලද කර්මයකට අනුරූපවම (යෝග්‍යවු) මරණයකට පත්වුයේ යැයි පැවසූහ. ස්වාමීනි උන්වහන්සේ විසින් කරන ලද පූර්ව කර්මය කුමක්ද? යනුවෙන් විමසුහ. එවිට විස්තර වශයෙන් පැවසුහ.

අතීතයේ බරණැසවාසී එක් කුල පුත්‍රයෙක් තමන් විසින්ම සහල් කෙටීම, ඉවීම් ආදිය කරමින් දෙමාපියන් පෝෂණය කළේය. මේ අතර දෙමාපියෝ දරුවා ! ඔබ තනියම ගෙයි වැඩද, කැලෑවේ වැඩද, කරමින් වෙහෙසට පත්වේ. ඔබට එක් දැරියක කැඳවාගෙන එමුයි කියා කීහ. මෑණියනි. පියාණනි මට එබඳු බිරිඳකගෙන් වැඩක් නැත, ඔබ දෙපළ ජීවත්ව සිටින තාක් සියතින්ම උවැටන් කරමි. මෙසේ ඔහු ප්‍රතික්ෂේප කරද්දීම නැවත නැවත ඇවිටිලි කර කුමාරිකාවක් කැඳවාගෙන ආවාහුය.

ඇය දින කීපයක් ඔවුන්ට උවැටන් කර පසුව ඔවුන් දැකීමටද අකමැති වන්නී ඔබේ දෙමාපියන් සමඟ එකතැන වාසය කිරීමට නොහැකි යයි කෑගසා ඔහු (සැමියා) තමන්ගේ කථා ගණන් නොගන්නාවිට ඔහු බැහැරක ගිය අවස්ථාවේදී නියඳ කෙදි කැබලි හා කැඳපෙන ගෙන තැන් තැන්වල දමා - ඔහු ආපසු පැමිණිවිට මේ මොනවාදැයි විමසූ අවස්ථාවේදී ඇය මේ මහළු අන්ධයෝ මේ ගෙය හැමතැන කිළිටි කරමින් සිටිති. මොවුන් හා එකට විසීම කළ නොහැකිය. මෙසේ ඇය නැවත නැවත කියන්නේ පුරණ ලද පාරමිතා ඇත්තෙක් වුවද මා පියන් කෙරේ සිත බිඳුනි. ඔහු හොඳයි කළ යුතුදේ දනිමියි. ඔවුන්ට කෑම දී මෑණියනි, පියාණෙනි, අසුවල් තැන් ඤාතීහු ඔබලාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටිති. එහි යමුයි ඔවුන් කරත්තයකට නංවාගෙන යන්නේ කැලෑව මැදට පැමිණිවිට පියාණනි රැහැන ගන්න ගොන්නු පා සලකුණු අනුව යති. මෙතැන සොරු සිටිති මම බසිමියි. පියා අතට රැහැන් දී ගලෙන් බැස යන්නේ හඩ පරිවර්තනය කර සොරුන් පැමිණ විලාශයක් දැක්වීය.

දෙමාපියෝ ශබ්ධය අසා සොරුන් පැන්නේ යයි යන සංඥාවෙන් දරුව අපි මහළු අයයි. ඔබ රැකෙන්නැයි කීවාහුය. ඔහු දෙමාපියන් එසේ කියද්දීත් සොරුන්ගේ ඝෝෂාව කරමින් තලා පෙළා කැලෑවට දමා ආපසු ගියේය.

බුදුහු මේ ඔහුගේ පූර්ව කර්මය කියා දී මහණෙනි මුගලන් මෙබඳු කර්මයක් කොට නොයෙක් වර්ෂ ලක්ෂ ගණනාවක් නිරයේ පැසී විපාක කෙළවර ආතමභාව වශයෙන් මෙසේම තැලීම්වලට ලක්ව කුඩු කුඩු වූයේ මරණයට පත් විය. මෙසේ මුගලන් විසින් තමා කළ කර්මයට අනුරූපවූම මරණයක් ලබන ලද්දේයයි පන්සියයක් සොරුන් හා නිවටුන්ද මගේ පුතුන්ට අපරාධකර ලදහ. නිරපරාධ අයට අපරාධ කරන අයට කරුණු දසයකින් ව්‍යවසනය සිදුවේයයි පවසා අනුපිළිවෙළ සසඳා දහම් දෙසන්නේ මෙය දෙසුහ.

දඬුවමට නුසුදුසු ඇයට දඬුවම් දීමත්

නිවරද කෙනෙකුහට - වරදක් දැන කිරීමත්,

කළ අයට ජීවිතේ - දසවරද පැමිණේමැයි

සිරුරේ බිඳීමද - වේදනා ඇතිවීම ද

රෝදුක් වැඩීම ද - අවසාන උමතුවීමද,

රජුන්ගෙන් වන බිය - නෑයින් නැතිව යාමත්

සිය ධනය වැනසී - ලබයි නෙක් රුදු චෝදනාවන්,

නිවෙස ගිනි ගනු ඇත - තැන්පත් ධනය වැනසී

හිත මිතුරු නැති වී අපායට යයි හුදකලාවම

මෙහි අදණ්ඩෙසු යනු - කායික දඬුවම් කිසිවෙකුටත් නොදෙන රහතුන් කෙරෙහි අදහස දෙයි. අප්ප දුට්ඨෙසු - යනු තමන්ටත් අන් අයටත් අපරාධ නොකරන නොසිතන, අඤ්ඤතරං ඨානං - දුක් සහිත කරුණු දහයෙන් එක් කරුණකට වෙද නං යනු සීස රෝග ආදී දරුණු වේදනාවන්ට ගොදුරුවේ. ජාතිං යනු ධන හානිවේ. හෙදනං යනු අත්පා සිඳීම් ආදියයි. ගරුකං යනු පක්ෂපාත - ඇස් අන්ධවීම - කොරබව - කුෂ්ඨ රෝග ආදී ගරුකාබාධයන්ට ලක්වේ. චිත්තකෙඛපං - යනු උමතුබවයි. උපසග්ගං යනු කීර්තිය නැති කිරීම සේනාපති තනතුරු ආදිය භාවිතා කර ලීම රජුගෙන් උවදුරු ඇතිවීම - අබ්හක්ඛානං නොදුටු නො ඇසූ නොසිතූ දේ මේ සන්ධි සිඳීම ආදිය කළේයයි. රාජ අපරාධ තා විසින් කරන ලද්දේයයි මෙබඳු වූ දරුණු චෝදනාවන්ට ලක්වේ.

පරික්ඛයංච ඤාතීනං - යනු තමාට අත්‍යවශ්‍ය ඤාතීන්ගේ පිරිහීම සිදුවේ. පභඬ්ගුරං යනු - විනාශභාවයට නරක් වූ බවට ගෙයි තබන ධාන්‍ය කුණු වීමට හේතුවේ. රන් අඟරු බවට ද මුතු - කපු ඇට බවට හෝ කහවණු - හිස් කැබලි බවට දෙපා සිවුපා සතුන් අතට - ගොළු කොරබවට පත්වීමද සිදුවේ. අග්ගි ඩහති යනු එක් වසරකදී දෙතුන් වරක් අනෙක් ඒවා නොදැවෙද්දී තමන්ගේ ගෙය අකුණු සැරවලින් ගිණි ගෙය ගිනි වායුවෙන් හෝ ගිනි ගනී. නිරයං යනු මෙලොවදීම මේ කරුණු දහයෙන් එකකට හෝ පත්ව එක් ආකාරයෙන් හෝ දැක්වීමට නිරයං - සො උපපජ්ජතී යනුවෙන් දැක්වුනි. දේශනාවගේ කෙළවර බොහෝ දෙනා සෝවාන් ආදී ඵලයන්ට පත්වූහ.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...