Sunday, March 14, 2021

සත්පුරුෂ සේවනයෙහි සප්ත අනුසස්

 සත්පුරුෂ සේවනයෙහි සප්ත අනුසස්




අත්තනගල්ල රාජමහා විහාරවාසී

රාජකීය පණ්ඩිත

මිහිඳුපුර සුජීව හිමි


බෞද්ධ සමාජයේ කැපී පෙනෙන යහපත් ගුණ ධර්මයන්ගෙන් අනූන වූ පුද්ගලයන් සත්පුරුෂයන් වශයෙන් හඳුනා ගැනීමට අපි පුරුදු වී සිටිමු.


එහෙත් බුදුරජාණන් වහන්සේ පෙර සඳහන් කළ පුද්ගලයන් පමණක් නොව චතුරාර්ය සත්‍ය පිළිබඳ ගැඹුරු දැක්මක් ඇති ආර්ය පුද්ගලයන් ද වෙසෙසින් සත්පුරුෂයන් වශයෙන් දක්වා වදාළ බව පෙනේ (තථූපමං සප්පුරිසං වදාමි, යො අරියසච්චානි අවෙච්ච පස්සති, සු.නි.රතනසුත්ත) ඒ අනුව සත් යන්නෙන් යහපත්, නිවැරැදි , හොඳ යන අර්ථ ජනිත වන අතර එබඳු ගුණයන්ගෙන් සමන්විත පුද්ගලයන් සත්පුරුෂයන් වශයෙන් හඳුනා ගත හැකි වේ. (සත් +පුරුෂ) බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයන් හැඳින්වීම සඳහා පණ්ඩිත, සබ්භි. මේධාවී, පඤ්ඤාවන්ත, අය්‍ය, භද්ද, හා පුරිසුත්තම වැනි වදන් යොදා ගත්හ. ඒ සියල්ලෙන් ම හැඟෙන්නේ සාමාන්‍යයෙන් යහපත් පුද්ගලයා යන අර්ථය යි.


සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුත්තයේ නානාතිත්ථිය වර්ගයට අයත් සිව සූත්‍රය මඟින් සත්පුරුෂ, සේවනයෙහි වැදගත්කම මැනවින් ප්‍රකාශ වේ. මෙහිදී සත්පුරුෂ යන්නට භාවිත කර තිබෙනුයේ “සබ්භි’ යන පදය යි. රාත්‍රියෙහි පෙරයම ඉක්ම යන විට ජේතවනය බබළවමින් බුදුන් වහන්සේ වෙත පැමිණි සිව නමැති දෙවියෙකු අරභයා මෙම සූත්‍රය දේශනා කොට තිබේ. සිව දේවපුත්‍රයා පළමු ව සඳහන් කළ සත්පුරුෂ සේවනෙහි වැදගත් බව කියැවෙන ප්‍රකාශයන් බුදුන් වහන්සේ විසින් අනුමත කළ අයුරු පෙනේ. මෙම සූත්‍රයට අනුව සත්පුරුෂ ප්‍රතිලාභ ලැබීමට නම්, සත්පුරුෂයන් සමඟ එක්ව කටයුතු කළ යුතු ය (සපබ්භිරෙව සමාසෙථ) ඔවුන් හා මිතුරු විය යුතු ය ( සබ්භි කුබ්බේථ සන්ථවං) එමෙන්ම සත්පුුරුෂ දහම දැනගත යුතු වේ. (සතං සද්ධම්මමඤ්ඤාය) මෙහි ප්‍රතිඵල වශයෙන් ලැබෙන කරුණු සතකි. සත්පුරුෂයන්ගේ ඇසුර නිරතුරු ලබමින් දිවි ගෙවන්නාගේ මෙලොව සේ ම පරලොවත් අභිවර්ධනය වේ ( සෙය්‍යො හොති න පාපියො) සංයුත්ත නිකායේ අසප්පුරිස සුත්‍රයට අනුව සත්පුරුෂයා යනු නිවැරැදි දැකීම, නිවැරැදි සංකල්ප, නිවැරැදි වදන්, නිවැරැදි කායික ක්‍රියා, නිවැරැදි දිවිපැවැත්ම, නිවැරැදි උත්සාහය, නිවැරැදි සිහිය, නිවැරැදි සමාධිය යන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් දෙලොවම සාර්ථකත්වයට පත් කරගත්තෙකි. එහෙයින් මෙවැනි පුද්ගලයෙකු ආශ්‍රය කරන්නාගේ ද දෙලොව ම අභිවෘද්ධි ජනක වන බව පැහැදිලි ය. ආර්ය මාර්ගය සත්පුරුෂයන්ගේ ගමන් මග බවත්, ඔවුන් එය තමන් ද වඩමින් අනුන් ද ඊට පිවිසුවන බවත් අංගුත්තර නිකායේ සප්පුරිස වග්ගයේ සඳහන් වේ. මෙබඳු පුද්ගලයන් සප්පුරිසතර (මහා සත්පුරුෂයන්) ලෙසින් හැඳින්වේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ මහා සත්පුරුෂයෙකු වශයෙන් දැක්විය හැකි ය.


සිව සුත්‍රයෙහි සඳහන් පරිදි ප්‍රඥාව ලැබීම සත්පුරුෂාශ්‍රයෙහි තවත් එක් ප්‍රතිඵලයකි. (පඤ්ඤා ලබ්භති නාඤ්ඤතා) සත්පුරුෂයන් යනු යහපත – අයහපත, යුක්තිය – අයුක්තිය , හරි – වැරැද්ද පිළිබඳ නිවැරැදි අවබෝධයකින් යුතු අය යි. එබැවින් ඔවුන් ඇසුරු කරන්නාට විමසා නිවැරැදි තීරණ ගැනීමට අවස්ථාව සැලසේ. ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ පළමු ගාථාවෙහි සඳහන් ආකාරයට සත්පුරුෂයා පරාර්ථ සිද්ධිය පිණිස අනුන්ගේ වරද දැක නිධානයක් පෙන්වන්නෙකු සේ ඊට සුදුසු පරිදි අවවාද ලබා දෙයි. තව ද අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් පරිදි ප්‍රඥාව වර්ධනය වීමේ එක් කරුණක් වශයෙන් සත්පුරුෂයන් ආශ්‍රය කිරීම දක්වා තිබේ.


ජීවිතයේ විඳින්නට සිදු වන නොයෙක් දුක් කම්කටොළුවල දී නොසැලී සිටීමට සත්පුරුෂාශ්‍රය වැදගත් වේ. (සොකමජ්ඣෙ න සොචති) ධම්ම පදයේ සඳහන් කෙරෙන පරිදි නුවණැති වූ සත්පුරුෂයන් නින්දා ප්‍රශංසා, සැප – දුක්, ලාභ – අලාභ යන අට ලෝ දහමෙහි කම්පා නොවී දැඩි සුළගින් නොසෙල් වන පර්වතයක් මෙන් ස්ථිර ව සිටින බව පෙනේ. (එවං නින්දාපසංසාසු න සමිජ්ඣන්ති පණ්ඩිතා) මිනිස් ජීවිතයේ විවිධ දෑ අරමුණු කර ගෙන ශෝකය හට ගනී. එහෙත් නුවණැති සත්පුරුෂයා ඒවායෙහි ඇති ආදීනවයන් නිසි ලෙස දැනගනිමින් එකී ශෝකයන් තුරන් කිරීමට කටයුතු සිදු කරයි.


සත්පුරුෂයන් ආශ්‍රය කිරීමෙන් ලැබෙන සිවුවන ආනිශංසය නම් නෑ හිත මිතුරන් අතර කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත් වීම යි. (ඤාතිමජ්ඣෙ විරොචති) සංයුත්ත නිකායේ අපුත්තක සූත්‍රයට අනුව “සත්පුරුෂයා මහත් වූ භෝග සම්පත් ලැබ තමන් සුවපත් කරයි. මව්පියන් සුවපත් කරවයි. මිතුරන් හා සහචරයන් සුඛිත කරවයි” මෙසේ අදහස් වන පරිදි සත්පුරුෂයා තමන් රැස්කරගන්නා ධනය නිසියාකාර ව කළමනාකරණය කර ගනී. තමන්ගේ කටයුතු සඳහා පමණක් නොව ඥාති – හිතමිත්‍රාදීන්ගේ සුබසෙත උදෙසා ද අභිවෘද්ධිය උදෙසා ද ඒවා නිසි ලෙස යොදවයි. එහෙයින් ඔහු සිය ඥාතීන් අතර කීර්තිය, ප්‍රශංසාව ලබන්නෙකු බවට පත් වේ.


සුගතියට ගමන් කරයි

සත්පුරුෂයන් නිරන්තරයෙන් ඇසුරු කිරීමෙන් හොඳ – නරක නිවැරැදි බුද්ධිමත්කමක් ලබා ගන්නා පුද්ගලයා මෙලොව දියුණුවට සේ ම පරලොව දියුණුවට ද කටයුතු සිදු කරයි. යහපත් කුසල් හා පුණ්‍ය ධර්මයන්හි නොපැකිලීව යෙදෙයි. එබැවින් ඔහුට සුගතිගාමී වීමට ද අවකාශ උදාවේ. (ගච්ඡන්ති සුග්ගතිං) දානාදී කුසල් දහම්වල නිරතුරු ව ම යොමු වේ. අංගුත්තර නිකායේ සඳහන් කරුණු අනුව දානය හා මව්පිය උපස්ථානය වැනි පින්කම් පණ්ඩිතයන් විසින්, සත්පුරුෂයන් විසින් අගය කළ දෑ බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති. මේ අනුව සත්පුරුෂයා නොයෙක් පින්දහම්හි නියුතු වී ස්වර්ග සැප සම්පත්තිය උදාකර ගනී.


සත්පුරුෂාශ්‍රය නිසි පරිදි ලබන්නාට අනුනට හිරිහැරයක් නොවි සුව සේ යහපත් දිවිපෙවෙතක් ගත කළ හැකි ය. (සත්තා තිට්ඨන්ති සාතතං) අංගුත්තර නිකායේ සප්පුරිස සූත්‍රයෙහි සඳහන් පරිදි සත්පුරුෂයා පර පණ නැසීම, අදත්තාදානය, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම, සුරාමේරය භාවිතය යන කරුණුවලින් වැළකී සිටින්නෙකි. මෙකී කරුණුවලින් සම්පූර්ණ වු පුද්ගලයා සත්පුරුෂයෙකු වන අතර අනුනට ද කරුණු පහදා දී ඉන් වළකාලන්නා සත්පුරුෂතරයෙකු ( මහා සත්පුරුෂයෙකු) වන බව බුදුන් වහන්සේ පෙන්වා දෙති. එසේම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රවේශ වීමෙන් මැදහත් ප්‍රතිපදාව අනුව සිය මිනිස් දිවිය සැපවත් කර ගැනීමට ද සත්පුරුෂාශ්‍රය බෙහෙවින් මග විවර කර දේ.


යහපත් මිනිසුන් සමඟ දිවි ගෙවන පුද්ගලයන්ගේ ජීවිතය සැපවත් හා නිවැරැදි එකකි. ඔහුට හරි වැරැද්ද දෙක නිසියාකාරව බෙදා වෙන් කරගත හැකි ය. සත්පුරුෂයන්ගේ අවවාද ඒ සඳහා බෙහෙවින් උපකාරි වේ. එමෙන්ම යමක් පිළිබඳ වටහා ගැනීමට සමත් උසස් වූ ප්‍රඥාව ද නිසර්ගයෙන් ම ඔහු තුළ ඇති වේ. එපමණක් නොව සමාජයේ සියල්ලන්ගේ ම පැසසුමට හා ගරු බුහුමනට සුදුස්සෙකු ද වෙයි. ජීවිතයේ මුහුණ දීමට සිදු වන සියලු අභියෝගයන්ට නොපැකිලී, නොබිය ව මුහුණ දීමට එම පුද්ගලයා සමත් වේ. පන්සිල් ආදී යහපත් ගුණධර්ම ආරක්ෂා කිරීමෙන් මෙලොව සේ ම පරලොව ද සැපවත් කර ගනී. මෙපමණක් නොව, සත්පුරුෂයන් ඇසුරු කරන්නා සසර ගමන නවතා දමා අවසානයේ සියලු දුකින් මිදෙයි. (සබ්බදුක්ඛා පමුඤ්චති) තව ද සංයුත්ත නිකායේ අංග හා ඵල සූත්‍රවලින් පෙන්වා දෙන්නේ සත්පුරුෂාශ්‍රය සෝවාන් ඵලය ලබා ගැනීම සඳහා පරිපූර්ණ කළ යුතු අංග සතරින් එකක් බව යි.අංගුත්තර නිකායේ යමක වර්ගයේ අතුළත් අවිජ්ජා සුත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මේ බව මැනැවින් අවබෝධ කර දෙති. “මහණෙනි, මෙසේ සත්පුරුෂ සේවනය පරිපූර්ණ කළ තැනැත්තා සද්ධර්ම ශ්‍රවණය පුරයි. සද්ධර්මශ්‍රවණය පරිපූර්ණ වූයේ ශ්‍රද්ධාව පුරයි. ශ්‍රද්ධාව පරිපූර්ණ වූයේ යෝනිසෝමනසිකාරය පුරයි. යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ සතිසම්පජඤ්ඤය පුරයි. සතිසම්පජඤ්ඤය පරිපූර්ණ වුයේ ඉන්ද්‍රිය සංවරය පුරයි. ඉන්ද්‍රිය සංවරය පරිපූර්ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් කරයි. ත්‍රිවිධ සුචරිතයන් පරිපූර්ණ වුයේ සතර සතිපට්ඨානය පුරයි. සතර සතිපට්ඨානය පූර්ණ වුයේ සප්ත බෝධි අංග පුරයි. සප්ත බෝධි අංග පරිපූර්ණ වූයේ විද්‍යාවිමුක්තිය වේ. “එම නිසා සත්පුරුෂ ඇසුර නිරන්තරයනේ ළං කර ගැනීමෙන් මෙලොව පරලොව දියුණුව උදා කර ගත හැකි ය. එසේ ම මෙය නිවන සඳහා ද බෙහෙවින් ඉවහල් වන කරුණකි.


අපගේ ජීවන ගමනේ දී නිරතුරුව ම සත්පුරුෂයන්ගේ ඇසුර ලබා ගැනීම බෙහෙවින් වැදගත් වේ. එබැවින් තමන්ට වඩා සීල, සමාධි හා ප්‍රඥා යන ගුණයන්ගෙන් උසස්, දැමුණු පුද්ගලයන් ආශ්‍රය පිණිස තෝරාගත යුතු වේ. නැතහොත්, උතුම් ගුණයන්ගෙන් තමන් හා සමාන පුද්ගලයෙකු සොයා ගත යුතු ය. (සෙය්‍යං සදිසමත්තනෝ) එසේත් නොමැති නම්, බාලයන්ගේ ඇසුරට නොවැටී තනි ව වාසය කිරීම උතුම් දෙයකැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (ඒක චරියං දළ්හං කයිරා නත්ථි බාලේ සහායතා)

උදාන පාලිය – පඨම බෝධි සූත්‍රය

 ඛුද්දක නිකායෙහි උදාන පාලිය :


අසිරිමත් ය අප සම්බුදුරජාණන්

මහමෙව්නා භාවනා අසපු සංචිතයේ

නිර්මාතෘ සහ අනුශාසක

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

අද සිට අප සිත පහදවා ගන්නේ, ඛුද්දක නිකායෙහි උදාන පාලියට අයත් උතුම් සම්බුද්ධ දේශනාවන් පිළිබඳව යි. උදාන පාලිය ඉතාම රසවත් ය. මිහිරි ය. ප්‍රණීත ය. සදහම් රසයෙන් හද ගැබ සුවපත් කරවන සුළු ය. උදානයන්හී ඇති උතුම් දහම් කරුණු එකිනෙක ගෙන විවේක සිතින් විමසා බලන කල්හි අප සිත තුළ ඇතිවන්නේ වචනයෙන් කිව නොහැකි තරම් අසීමිත සැනසුමකි.


අපගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම දමිත, සමිත වූ ධම්ම විලාසිත චරිතාපදානය වනාහී, ලොව ඇති අතිශයින්ම සුන්දර අසිරිමත් චරණ ධර්මය යි. උන්වහන්සේ තුළ පී‍්‍රති සොම්නස්භාවයක් හටගත් කල්හි, එය උද්දීප්ත වන්නේ සොඳුරු දහම් පදයකිනි. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ තුළ උපේක්ෂාවෙන් යුතු ධර්ම සංවේගයන් හටගත් කල්හි, එය මතු වන්නේත් දහම් පැදියකිනි. ධර්මයෙන් හටගත් , ධර්මයෙන් ම නිර්මිත , ධර්ම ප්‍රතිමූර්තියක් වන් බුදුරජාණන් වහන්සේ තුළ ඇතිවූ ප්‍රසාද සංවේගයන් ආයාසයෙන් මතු වී ආ කල්හී, ඒවා අපට දායාදවන්නේ විස්මිත දහම් කරුණු ලෙස ය. එම අසිරිමත් දහම් පර්යායන් නවාංග ශාස්තෘ ශාසනයට ඇතුළත්ව තිබෙන්නේ උදාන යන නාමයෙනි.


දීඝ නිකාය අටුවාවේත්, උදාන අටුවාවේත්, උදාන නිර්වචනය කර ඇත්තේ මෙලෙසින් ය. “තෙලක් මිම්මට ගත නොහැකිව වැගිරී යන්නේ ද, එය ගලායාමකි. යම් ජලයකින් පොකුණක් පිරීමෙන් පසුව උතුරා යන්නේ ද, එය ඕඝයකි. එසේ යම් පී‍්‍රතියක් හදවතට අසීමිතව දරාගත නොහැක්කේ ද, එය උදානය යි.” මේ අනුව උදාන යනු පිරිසුදු නික්ලේසී හදවතකින් උතුරා යන්නා වූ නිරාමිස පී‍්‍රති වාක්‍යය යි. උදාන පාලියෙහි වර්ග අටක් ඇත්තේ ය.


එනම්, බෝධි වර්ගය, මුචලින්ද වර්ගය, නන්ද වර්ගය, මේඝිය වර්ගය, සෝණ වර්ගය, ඡච්චන්ධ වර්ගය, චුල්ල වර්ගය හා පාටලීගාමීය වර්ගය වශයෙනි. එක් එක් වර්ගයකට සූත්‍ර දහය බැගින් ඇතුළත්ව අසූවක් උදානයන්ගෙන් , උදාන පාලිය සමලංකෘතය. උදාන පාලිය විස්තර විභංග කරමින් පරමත්ත දීපනී නම් වූ උදාන අට්ඨ කතාව රචනාකර ඇත්තේ අර්ථකතාචාර්ය බුද්ධඝෝෂ මා හිමියන් විසිනි. උන්වහන්සේ උදාන අටුවාවන් අරඹමින්, තෙරුවන් නමස්කාර කොට අනතුරුව මෙසේ සඳහන් කර තිබේ. මහර්ෂි වූ ලොවට හිතැති බුදුරදුන් විසින් සුද්ධ වූ ජීවිතකථා පිළිබඳ යම් උදාන දේශනා කර තිබේ නම්, ඒ සියල්ල ධර්ම සංග්‍රාහික රහතන් වහන්සේලා විසින් එක් තැනකට එකතු කිරීම් පිණිස සංග්‍රහ කරන ලද ධර්මය උදාන නම් වේ. එය බුදුරජාණන් වහන්සේ ගේ ධර්ම සංවේගය හා පී‍්‍රතිය ප්‍රකට කිරීම සඳහා, සොම්නස් සහගත සිතින් දේශනා කරන ලද ගාථාවන්ගෙන් යුක්ත වේ.” කියා ය.


උදාන පාලිය – පඨම බෝධි සූත්‍රය


මෙය උදාන පාලියේ සඳහන් මුල්ම සූත්‍රය යි. ඒ දිනවල උතුම් වූ සම්බුද්ධත්වයට පත්වී, තථාගතයන් වහන්සේ වැඩසිටියේ උරුවෙල් ජනපදයේ නේරංජනා ගංතෙර ශ්‍රී මහා බෝධි සෙවනේ යි. භාග්‍යවතුන් වහන්සේ එක දිගට සත් දිනක් ම එක පළගින්ම විමුක්ති සැපය විඳිමින් වැඩ සිටි සේක. ඉන්පසුව එම සත් දින ඇවෑමෙන් සමාධියෙන් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කොට වදාළ සේක. එනම්, මේ අයුරින් මේ හේතුව තිබෙන විටයි මේ ඵලය ඇතිවන්නේ. මේ හේතුව උපදින විටයි මේ ඵලය උපන්නේ “කියායි. (ඉති ඉමස්මිං සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති)


“අවිද්‍යාව හේතු කරගෙන, සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කොට ගෙන, විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය හේතුකොටගෙන නාමරූප ඇතිවෙනවා. නාමරූප හේතු කොට ගෙන, ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතුකොට ගෙන ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය හේතු කොට ගෙන, විඳීම ඇතිවෙනවා. විඳීම හේතු කොටගෙන, තණ්හාව ඇතිවෙනවා. තණ්හාව හේතු කොටගෙන, බැඳීම ඇතිවෙනවා. බැඳීම හේතු කොටගෙන, විපාක පිණිස කර්ම සකස් වීම නම් වූ භවය ඇතිවෙනවා. විපාක පිණිස කර්ම සකස්වීම හේතු කොටගෙන ඉපදීම ඇතිවෙනවා. ඉපදීම හේතු කොටගෙන, ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝක කිරීම, වැළක්වීම, කායික දුක් මානසික දුක්, සුසුම් හෙළීම් හටගන්නවා. මේ ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ” යනුවෙනි.

බුදුසරණ අන්තර්ජාල කලාපය - බෞද්ධ දර්ශනය (budusarana.lk)

2019 ජුනි 02 වනදා ඉරිදා



කිව යුතුදේ කිවයුතුහොඳම ක්‍රමය

 කිව යුතුදේ කිවයුතුහොඳම ක්‍රමය

කොළඹ විශ්වවිද්‍යාලයේ

බෞද්ධ අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

රාජකීය පණ්ඩිත ආචාර්ය

උඩුහාවර ආනන්ද හිමි



දිනක් භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලෙහෙණුන්ගේ අභය භූමියක් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි එහි පැමිණි මගධ මහා ඇමැති වස්සකාර බ්‍රාහ්මණයා බුදුරදුන් හා සතුටු සාමීචියෙහි යෙදී අනතුරුව, “ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! යම් කිසිවෙක් තමා දුටු දේ දක්නා ලදැ’යි කියයි ද (දිට්ඨ), එහි දෝෂයක් නැත.


තමා ඇසූ දේ (සුත) අසන ලදැ’යි කියයි ද එහි දෝෂයක් නැත. තමා විඳීන ලද (ගන්ධ රස ස්පර්ශ වශයෙන් ) දේ විඳීන ලැදැ’යි (මුත) කියයිද එහි දෝෂයක් නැත. තමා දැනගත් දේ (විඤ්ඤාත) දක්නා ලැදැ’යි කියත්ද එහි ද දෝෂයක් නැත. භාග්‍යවතුන් වහන්ස, මම මෙබඳු වාද ඇත්තෙමි, මෙබඳු දෘෂ්ටි ඇත්තෙමි.” යනුවෙන් ප්‍රකාශ කළහ.


වස්සකාර මගධ මහා ඇමතිවරයාගේ ප්‍රකාශය සාවධානව අසා සිටි භාග්‍යවතුන් වහන්සේ, “බ්‍රාහ්මණය, මම දක්නා සියල්ල කිවයුතු යැයි ද නොකියමි. නොකිවයුතු යැයි ද නොකියමි. අසන ලද සියල්ල -------- විඳීන ලද සියල්ල (ගන්ධ රස ස්පර්ශ) ----- දැනගත් සියල්ල කිවයුතු යැයි ද නොකියමි. නොකිවයුතු යැයි ද නොකියමි. එහෙත් බ්‍රාහ්මණය, යම් දෙයක් කියන විට අකුසල ධර්ම වැඩේ නම්, කුසල ධර්ම පිරිහේ නම්, මෙබඳු දුටු දෙය, ඇසූ දෙය, විඳීන ලද දෙය, දැනගත් දෙය නොකිවයුතු යැයි කියමි. එහෙත් යම් දෙයක් කියන විට කුසල ධර්ම වැඩේ නම්, අකුසල ධර්ම පිරිහේ නම් ඒ දුටු දෙය ඇසූ දෙය, විඳීනලද දෙය, දැනගත් දෙය කිවයුතු යැයි කියමි.” යනුවෙන් කරුණු පැහැදිලි කළහ. බුදුරදුන්ගේ මෙම පිළිතුරෙන් සතුට ට පත් වස්සකාර බ්‍රාහ්මණ මහා ඇමැතිවරයා තථාගතයන් වහන්සේට නමස්කාර කොට උන්වහන්සේගෙන් සමුගෙන ගියේ ය.


අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ වස්සකාර සූත්‍රයේ එන ඉහත සංවාදය වර්තමාන ලෝකයට බෙහෙවින්ම වැදගත් වේ. තොරතුරු තාක්ෂණය ඉතා දියුණු මෙම අවදියේ ලොව කවර තැනක වුව සිදුවන ඕනෑම සංසිද්ධියක් ඉතා සැණෙකින් පුද්ගලයා වෙත ළඟා වේ. එසේම තොරතුරු දැනගැනීමේ උනන්දුව ද සැම අයෙක් වෙත ම එකසේ පවතී. එමගින් පුද්ගලයා දැනුවත් වන අතරම අනෙක් අතින් ඔහු අසහනයටත්, කෝපයටත් පත්වනු දැකි ය. හැකිය. එබැවින් මිනිසා වෙත ළඟාවෙන තොරතුරු සියල්ල ඔහුගේ යහපත පිණිසම හේතු නොවේ. ඇතැම් තොරතුරු පුද්ගලයාට පමණක් නොව සමාජයේ යහපැවැත්මට ද අහිතකර වේ. පුද්ගලයා ලෝකය අත්දකින්නේ ෂඩ් ඉන්ද්‍රියන්ගෙනි. තොරතුරු යනු එසේ පුද්ගලයා විසින් තම ඉඳුරන් ආශ්‍රයෙන් ඒකරාශීකරගත් දත්ත ය. එම දත්ත ඔහු තුළ තැන්පත්කරගනිමින් අන්‍යයන් වෙත බෙදාහැරීම ද සිදුකරනු ලැබේ. එසේ ඒකරාශීකරගත් දත්ත හා තොරතුරු අන්‍යයන් වෙත ලබාදීම සඳහා විවිධ මාධ්‍ය භාවිත කෙරේ. අතීතයේ මෙන් වාචික සන්නිවේදනය පමණක් නොව වර්තමානයේ ඒ සඳහා බහුවිධ මාධ්‍ය භාවිත වේ. ඒ සියල්ලේම ඒකායන අරමුණ වන්නේ පුද්ගලයා වෙත කඩිනමින් විවිධ තොරතුරු සැපයීම ය. මේ උනන්දුව නිසා බහුවිධ මාධ්‍ය නියෝජනය කරන පුද්ගලයන් හා සංවිධාන අතර නිසර්ගයෙන්ම තරගකාරිත්වයක් ඇති වී තිබේ. තොරතුරු ඉදිරිපත් කිරීමේ දී තමන් ප්‍රමුඛයා බවට පත්වීමටත්, වැඩි ශ්‍රාවක පිරිසක් ග්‍රහණය කරගැනීමත් ඔවුන්ගේ එකම අභිලාසය බවට පත්ව තිබේ. මෙම පසුබිම යටතේ මාධ්‍ය සදාචාරය ගැන පුළුල් කතිකාවක් නිර්මාණය වී ඇත.


ඉහතින් දැක් වූ වස්සකාර මගධ මහා ඇමතිවරයාගේ ආකල්පය වූයේ තමා දකින ලද, අසන ලද, අත්දකින ලද, අවබෝධකරගත් සියල්ල අන්‍යයන් වෙත ප්‍රකාශ කළ යුතු බවයි. වර්තමානයේ පිළිගත් මතය ද එයයි. එහෙත් බුදුරදුන්ගේ අනුශාසනය එයට වෙනස් එකකි. ෂඩ් ඉන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා අත්දැකීම් අන්‍යයන්ට ප්‍රකාශ කිරීමේ දී සදාචාරාත්මක පාලනයක් අවශ්‍යයය යන්න යථෝක්ත බුද්ධානුශාසනයෙන් පැහැදිලි වේ. වස්සකාර මහා ඇමැතිවරයාගේ අදහස වන සියල්ල ප්‍රකාශ කළ යුතුය යන්න බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් ම අනුමත නොකළහ. ඒ වෙනුවට උන්වහන්සේ යෝජනා කළේ ප්‍රකාශ කළ යුතු තොරතුරු මෙන්ම ප්‍රකාශ නොකළ යුතු තොරතුරු ද තිබෙන බවයි. එබැවින් බුදුරජාණන් වහන්සේ මෙහිදී තවදුරටත් පෙන්වා වදාළේ සියල්ල ප්‍රකාශ කළ යුතුය යන්න මෙන්ම සියල්ල ප්‍රකාශ නොකළයුතුය යන අදහසෙහි තමන්වහන්සේ පිහිටා නොසිටින බවයි. එපමණක් නොව තොරතුරු ප්‍රකාශනය සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි සදාචාරාත්මක නිර්ණායකයක් ද බුදුරජාණන් වහන්සේ වස්සකාර මහා ඇමතිවරයාට නිර්දේශ කළහ.


ඒ අනුව කිසියම් ප්‍රකාශනයක් හෝ පුවතක් මගින් අකුසල ධර්ම වැඩේනම්, කුසල ධර්ම පිරිහේනම් එය ප්‍රකාශ නොකළ යුතුය. බෞද්ධ සදාචාර දර්ශනයේ එන කුසල හා අකුසල යන වචන මගින් අතිශය පුළුල් එමෙන්ම ගැඹුරු සදාචාරාත්මක ඉගැන්වීම් සමූහයක් ඉදිරිපත්කොට තිබේ. ඒ හෙයින් එම වචන විවරණය කිරීමේ දී අප වඩාත් සැලකිලිමත් විය යුතු වේ. බුද්ධ වචනය අනුව ලෝභ දෝස මෝහ යන ත්‍රිවිධ මනෝ භාවයන් අකුසල මූල වේ. ඒවා මූලික කරගෙන සිදුවන සියලුම ක්‍රියා ද සාකල්‍යයෙන්ම අයහපත් ඒවා වේ. එම ක්‍රියාවල ප්‍රතිඵලය ද පුද්ගලයාට මෙන්ම සමාජයට ද හානිකර ය. මේ අනුව යම්කිසි කෙනෙකු දුටු දෙයක්, ඇසූ දෙයක්, අත්විඳීන ලද දෙයක් හෝ අවබෝධකරගත් දෙයක් ප්‍රකාශයට පත්කළ විට එම ප්‍රකාශය හේතුවෙන් අසන්නා හා කියවන්නා තුළ ලෝභ දෝස මෝහ මූලික කරගත් අකුසල සිතිවිලි හා ඒ හා පදනම්කරගත් අකුසල ක්‍රියා වර්ධනය වේ නම්, එය ප්‍රකාශයට පත් නොකළ යුතු එකක් ලෙස සැලකේ. එසේම එම ප්‍රකාශය හේතුවෙන් සමාජය තුළ යම් කැලඹීමක්, සාමය කඩවීමක්, අන්තර් පුද්ගල ගැටුමක් සිදුවන්නේ නම් ඒ අනුවද එය ප්‍රකාශයට පත් නොකළ යුතු එකක් ලෙස පිළිගත යුතු වේ. එහෙත් යම් පුවතක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් පුද්ගලයා තුළ හෝ සමාජය තුළ අකුසල සහගත හැගීම් ඇතිවීමට හෝ අකුසල සහගත චර්යා කෙරෙහි යොමුවීමට යම් පෙළඹවීමක්, බලපෑමක් සිදු නොවේ නම් එවැනි දෑ ප්‍රකාශයට පත් කළ යුතු වේ. මේ අනුව පුද්ගලයාට හා සමාජයට යහපත ගෙන දෙන තොරතුරු, අත්දැකීම් දැනුම දත්ත පමණක් ප්‍රකාශයට පත්කළ යුතුය යන්න බෞද්ධ පිළිගැනීම වේ.


මෙහි දක්වන ලද සූත්‍ර දේශනාව මෙකලට බෙහෙවින් අදාළ වේ. ඇතැම් විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍යවල වගකීමෙන් තොරව විවිධ ව්‍යාජ පුවත් ඇතැම් විට වාර්තා කෙරේ. එම පුවත් කියවන විචාර බුද්ධියෙන් තොර පුද්ගලයන් අතර ඒ හේතුවෙන් විවිධ අර්බුද නිර්මාණය වේ. විවිධ පටු අරමුණු පෙරදැරිව ප්‍රචාරය කෙරෙන ඇතැම් පුවත් නිසා රටක පුරවැසියන් වන විවිධ ජාතීන් හා ඔවුන් අදහන ආගම් අතර කොතෙකුත් ගැටුම් හා ප්‍රචණ්ඩකාරී හැසිරීම් වාර්තා වේ. මාධ්‍ය සදාචාරය බිඳ දමමින් තම මනෝමූලික අවශ්‍යතා පෙරදැරිව තොරතුරු වාර්තා කරන බහුවිධ මාධ්‍ය නියෝජනය කරන මාධ්‍ය වේදීන්ට බුදුරදුන්ගේ මෙම සදාචාරාත්මක ප්‍රකාශන විධික්‍රමය මාහැඟි


උපදේශයකි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර පවතින සදාචාර සම්පන්න නොවන හැසිරීම් රටාව පාලනය කිරීමට ද මෙම සාදාචාරාත්මක ඉගැන්වීම් අදාළකරගත හැකිවීම භාග්‍යයකි. එබැවින් පුද්ගලයාට මෙන්ම සමාජයටත් හිතකර දෑ පමණක් ප්‍රකාශයට පත්කිරීමෙහිලා අවශ්‍ය ආත්ම දමනය කවර තැනැත්තෙකුට වුව අවශ්‍ය වේ.

බුදුසරණ: බෞද්ධ දර්ශනය | තෙවළා බුදු වදන් අතරින් 32: කිව යුතුදේ කිවයුතුහොඳම ක්‍රමය (budusarana.lk)

 2019 ජුනි 02 වනදා ඉරිදා

Pali 3

 




Friday, March 12, 2021

10-3 බොහෝ කුමාරවරුන්ගේ කථාපුවත

 

10-3 බොහෝ කුමාරවරුන්ගේ කථාපුවත 

සුඛකාමානි භූතානි, යො දණ්ඩෙන විහිංසති;

අත්තනො සුඛමෙසානො, පෙච්ච සො න ලභතෙ සුඛං.

යම් පුද්ගලයෙක් තමාහට සුව කැමතිවූයේ සුව කැමති සත්වයන් දණ්ඩනයෙන් පෙළාද, හෙතෙම පරලොව සුව නොලබන්නේය.

සුඛකාමානි භූතානි, යො දණ්ඩෙන න හිංසති;

අත්තනො සුඛමෙසානො, පෙච්ච සො ලභතෙ සුඛං.

යමෙක් තමහට සුව කැමතිවූයේ සුව කැමති සත්වයන් දඬුවමින් නොපෙළාද ඒ පුද්ගලතෙම පරලොව සුව ලබන්නේය.

“සුඛකාමාති භූතානී” - යන මේ දම් දෙසුම ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී දරුවන් පිරිසක් නිමිති කරගෙන දෙසූහ. එක් දිනක් බුදුරජාණන් වහන්සේ සැවත් නුවර පිඬු පිණිස පිවිසියේ අතරමග දී දරුවන් බොහෝ දෙනෙක් ගැරැඩියෙකුට දණ්ඩකින් පහර දෙනු දැක. දරුවනි ! කුමක් කරන්නේදැයි විමසූහ. අපි දණ්ඩෙන් සර්පයෙකු මරන්නෙමුයි පැවසූහ. කුමක් හෙයින් මරන්නේදැයි විමසා දෂ්ටකරයි යන බියෙන් මරන්නෙමුයි පැවසූවිට.

නුඹලා තමන්ට සැපයක් කරගන්නේ යයි සිතමින් මේ සතා මැරීමෙන් ඉපදෙන හැමතැනකදීම සුවය නො ලබන්නෝය. තම සුවය සිතන්නවුන් විසින් අන් අය නැසීම සුදුසු නොවේයි පවසා පිළිවෙළ කථාව සසඳා දහම් දෙසමින් මේ ගාථාව පැවසූහ.

සුව කැමති සත්නට

එපා දුක් ගෙන දෙන්නට

දුක් දෙන දනන් හට

නිරය දුක් සිදුවේ ගෙවන්නට

අවිමුගුරු අරගෙන

මිනිසුන් සතුන් නොමරන

මෙත්සිතින් වැජඹෙන

දනෝවෙති දෙව්සුවය වළඳන

“සැප කැමැතිව යමෙක් (දණ්ඩකින්) දඬුවම් කිරීමෙන් අන් සතුන් පෙළන්නේද එබඳු ඇය සැප කැමතිවුවද පරලොවදී සැප නොලබති සැප කැමැත්තේ දඬුවම් දීමෙන් අන් සතුන් නොපෙළත් ද? ඔවුහු පරලොව දී සැප ලබති.

එහි යො දණ්ඩෙන - යනු යම් පුද්ගලයෙක් දණ්ඩකින් හෝ ගල් කැට කැබලි ආදියෙන් හෝ පෙළන්නේද?

පෙච්ච සො නලභතෙ සුඛං - යනු ඒ පුද්ගලයා පරලොවදී මිනිස් සුවයක් හෝ දිව්‍ය සුවයක් හෝ පරමාර්ථ වශයෙන් නිවන් සුවයක් හෝ නො ලබයි. පෙච්ච සො ලභතෙ - යනු යම් පුද්ගලයෙක් පරලොවදී කියන ලද ලෙසට තුන් ආකාර වූ සුවයක් ලබයි යන අර්ථ දෙයි. දේශනය අවසානයේ දී පන්සියයක් වූ ඒ දරුවෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ.

Na Uyane Ariyadhamma Thero


 

ශ්‍රද්‍ධා සූත්‍රය


එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -

‘‘සද්ධා දුතියා පුරිසස්ස හොති,

නො චෙ අස්සද්ධියං අවතිට්ඨති;

යසො ච කිත්තී ච තත්වස්ස හොති,

සග්ගඤ්ච සො ගච්ඡති සරීරං විහායා’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -

‘‘කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං,

සංයොජනං සබ්බමතික්කමෙය්‍ය;

තං නාමරූපස්මිමසජ්ජමානං,

අකිඤ්චනං නානුපතන්ති සඞ්ගා’’ති.

‘‘පමාදමනුයුඤ්ජන්ති , බාලා දුම්මෙධිනො ජනා;

අප්පමාදඤ්ච මෙධාවී, ධනං සෙට්ඨංව රක්ඛති.

‘‘මා පමාදමනුයුඤ්ජෙථ, මා කාමරති සන්ථවං;

අප්පමත්තො හි ඣායන්තො, පප්පොති පරමං සුඛ’’න්ත්න්ත්ති.


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි වනාහි බොහෝ සතුල්ලපකායික දෙවියෝ රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප.්‍රභායෙන් සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ.

එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වශන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

“ලෞකික ලෝකෝත්තර සැප කරා යන පුරුෂයාට ශ්‍රද්‍ධාව ඔහු සමග යන දෙවැන්නා වෙයි ඔහු අශ්‍රද්‍ධායෙහි බැස නොසිටී නම් ඒ හේතුයෙන් ඔහුට පිරිවරද, කීර්තියද වෙයි. මේ ශරීරය හැර ඔහු ස්වර්‍ගයටද යෙයි.”

එකල අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කීය.

“ක්‍රෝධය නසන්නේ නම්, මානය දුරු කරන්නේ නම්, සියලු සංයෝජන ඉක්මවා ලන්නේ නම්, නාම රූප දෙක්හි නොඇලෙන, හිරිහැර නැති, ඒ පුද්ගලයා කරා සංයෝගයෝ (බැමි) නොපැමිණෙත්.”

(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.) “අනුවණ මෝඩ ජනයෝ ප්‍රමාදයෙහි යෙදෙත්. නුවණැත්තේ අප්‍රමාදය ශ්‍රේෂ්ඨ ධනයක් මෙන් රකී.

“ප්‍රමාදයෙහි නොයෙදෙවු: කාමරතිය හා එක්වීමෙහි නොයෙදෙවු. ධ්‍යාන වඩන, නොපමා තැනැත්තාම පරම සැපයට පැමිණේ.





පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...