Monday, March 1, 2021

මෛත්‍රී භාවනාව – 06 කොටස – පළමුව මෙත් වැඩිය යුත්තෝ

 

මෛත්‍රී භාවනාව – 06 කොටස – පළමුව මෙත් වැඩිය යුත්තෝ…

Feb 21, 2021 | සිත නිවන භාවනා | 0 



මෛත්‍රී භාවනාව –  06 කොටස – පළමුව මෙත් වැඩිය යුත්තෝ…

මෛත්‍රී භාවනාව වඩනු කැමති පුද්ගලයන් පළමුව ද්වේෂයේ ආදීනව මෙනෙහි කර මෙත් වැඩීමේ ආනිසංස මෙනෙහි කොට තම චිත්ත සන්තානය තුළ ඉවසීමේ ගුණය වැඩි දියුණු කරගනිමින් මෛත්‍රී විහරණය ඇති කර ගැනීම පිණිස මෛත්‍රී භාවනාව ආරම්භ කළ යුතු වේ.


මෙත්ත සූත්‍රාදියේ දී බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාවට උපදෙස් දෙන ලද්දේ වුව ද ප්‍රායෝගිකව මෛත්‍රී විහරණය ඇති කරගැනීමේ දී ඒ සූත්‍ර දේශනාවන්ගේ අර්ථ විග්‍රහය මැනවින් සිදු කර ගත යුතු වේ. ප්‍රායෝගිකව මෛත්‍රී භාවනාව වඩන ආකාරය පිළිබඳ විශිෂ්ඨතම අර්ථ විග්‍රහය හමු වන්නේ විශුද්ධි මාර්ගයේ බ්‍රහ්මවිහාර නිර්දේශයේ ය. එහි දී පළමුව මෛත්‍රී භාවනාව වැඩීම පිළිබඳ දීර්ඝ විවරණයක් සැපයෙන අතර එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කොට අත්දැක ඇති ප්‍රත්‍යක්‍ෂ භාවනා මාර්ගයක් වේ. වර්තමානයේ භාවනාව පිළිබඳ නොයෙක් විවරණයන් හමු වුව ද ඒ බොහෝ භාවනා විවරණයන් බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනයට නො ගැළපෙනවා මෙන් ම ප්‍රායෝගිකව චිත්ත සමාධිය ඇති කරන භාවනා නොවේ. එබැවින් පෞරාණික මහාවිහාරීය භාවනා මාර්ගය තුළ විවරණය වන මෛත්‍රී භාවනාව මෙහි දී විස්තර කරනු ලැබේ.


විශුද්ධි මාර්ගයේ දැක්වෙන අන්දමට මෛත්‍රී භාවනාව ආරම්භ කරන යෝගාවචරයා විසින් පළමු කොට ම පුද්ගල දෝෂයෝ දැන ගත යුතුය. පුද්ගල දෝෂ යනු භාවනාවට හානිකර පුද්ගලයන් ය. ඇතැම් කෙනෙකුට පළමුව මෛත්‍රී කිරීම සුදුසු නොවේ. එවන් අයෙකුට මෛත්‍රී කිරීමෙන් භාවනාව ආරම්භ කරන තැනැත්තාට භාවනාව සමෘද්ධමත් කර ගැනීමට නො හැකි වේ. ඒ අනුව කවුරුන් කෙරෙහි පළමුව මෛත්‍රිය නො වැඩිය යුතුය දැයි පළමුව ම දැන ගත යුතුය.


මෙත් වැඩීමේ දී අප්‍රිය පුද්ගලයා ය, අතිශය ප්‍රිය සහායකයාය, මධ්‍යස්ථ පුද්ගලයාය, වෛරී පුද්ගලයාය යන සතර පුද්ගලයන් කෙරෙහි පළමුව නොම වැඩිය යුතුය. එසේ ම ස්ත්‍රී ලිංගාදි ලිංග විසදෘෂ පුද්ගලයන්ට ද පළමුව නො වැඩිය යුතුය. එනම් පුරුෂයෙක් විසින් පළමුව මෙත් වැඩීම ස්ත්‍රියක් කෙරෙහි නො කළ යුතුය. ස්ත්‍රියක් විසින් පළමුව පුරුෂයෙකුට මෙත් වැඩීම නො කළ යුතුය.


අප්‍රිය පුද්ගලයෙකුට පළමුව මෙත් වැඩීමේ දී ඒ අප්‍රිය තැනැත්තා ප්‍රිය ස්ථානයේ තබන්නට දරන උත්සාහයෙන් යෝගියා වෙහෙසට පත් වේ. එනම් අප්‍රිය බව ප්‍රිය බවට ඍජුවම ප්‍රතිපක්‍ෂ බැවින් අප්‍රියයා ප්‍රිත තැන තබන්නට උත්සාහ කිරීමේ දී වෙහෙසට පත් වේ. වැඩුණු මෛත්‍රී භාවනාවක් ඇති තැනැත්තාට එය අපහසුවක් නොවේ.

අතිශය ප්‍රිය සහායකයා කෙරෙහි ගේහසිත ප්‍රේමය ඇති වන බැවින් පළමුව මෙත් වැඩීම නො කළ යුතු වේ. වැඩුණු මෛත්‍රී භාවනාවක් නොමැති විට පළමුව මෙත් වැඩීමේ දී අතිශය ප්‍රිය සහායකයා මධ්‍යස්ථ බවට පත් කර ගත යුතු වේ. ඒ අතිශය ප්‍රිය සහායකයාට ඉතා කුඩා දුකක් ඇති වුව ද තමන්ට එය බලවත්ව දැනෙයි. එබැවින් අතිශය ප්‍රිය සහායකයාට ද පළමුව මෙත් වැඩීම නො කළ යුතු වේ.


උපේක්‍ෂාව ඇති කර ගත යුතු මධ්‍යස්ථ පුද්ගලයා සම්භාවනීය බවට ද ප්‍රිය කටයුතු බවට ද නො පැමිණේ. පළමුව මෙත් වැඩීමේ දී ඒ මධ්‍යස්ථ තැනැත්තා ගෞරවනීය තැනක ප්‍රිය තැනක තැබීමට දරන උත්සාහයේ දී යෝගියා වෙහෙසට පත් වේ. එබැවින් මධ්‍යස්ථ තැනැත්තාට ද පළමුව මෙත් වැඩීම නො කළ යුතු වේ.

වෛරී තැනැත්තා සිහි කිරීමෙන් ද සිතට ක්‍රෝධය උපදී. එබැවින් වැඩුණු මෛත්‍රී විහරණයක් නොමැති තැනැත්තාට වෛරී පුද්ගලයා කෙරෙහි පළමුව මෙත් වැඩීම කළ නොහැකි වේ. මෛත්‍රිය පුරුදු පුහුණු කරගෙන සෑම දෙනා කෙරෙහි ම සම සේ මෙත් වැඩීමට හැකි තත්ත්වයට පත් වූ යෝගියාට වෛරී පුද්ගලයාට ද මෙත් වැඩිය හැකි වේ. මේ නිසා වෛරී පුද්ගලයාට ද පළමුව මෙත් වැඩීම සිදු නො කළ යුතු වේ.


එසේ ම ලිංග විශභාග තැනැත්තාට ද විශේෂයෙන් අරමුණු කොට මෛත්‍රී වැඩීම නො කළ යුතු වේ. එනම් අසවල් කාන්තාව සුවපත් වේවා, අසවල් පුරුෂයා සුවපත් වේවා යනාදි වශයෙන් පුරුෂයෙක් ස්ත්‍රියකට මෙත් වැඩීම ද ස්ත්‍රියක් පුරුෂයෙකුට මෙත් වැඩීම ද නො කළ යුතු වේ. එසේ ලිංග විශභාග පුද්ගලයාට මෙත් වැඩීමේ දී රාගය උපදී. එබැවින් වැඩුණු භාවනාවක් නොමැති තැනැත්තා පළමුව ඒ ලිංග විශභාග තැනැත්තා විශේෂයෙන් අරමුණු කොට මෙත් වැඩීම නො කළ යුතු වේ.


මියගිය තැනැත්තන්ට මෙත් වැඩීමේ දී ධ්‍යානයක් හෙවත් අර්පණා සමාධියක් හෝ උපචාර සමාධියක් හෝ ඉපදවිය නො හැකි වේ. මෛත්‍රිය පැතිරවීමට අයෝග්‍ය ස්ථානයක් ලෙස මළවුන් කෙරෙහි ද මෛත්‍රී භාවනාව සිද්ධ නොවන බව සඳහන් වේ.


එක්තරා තරුණ භික්‍ෂුවක් තමන්ගේ ආචාර්යයන් වහන්සේ අරමුණු කරමින් මෙත් වැඩීම ආරම්භ කළේය. එහෙත් මෛත්‍රිය නො පවතින්නේය. උන්වහන්සේ මහාස්ථවිරයන් වහන්සේ සමීපයට ගොස් තමන්ට මෛත්‍රි ධ්‍යානය ප්‍රගුණ නොවන බව පැවසීය. සමවැදීමට නො හැකි වන බව පැවසීය. එහි දී මහාස්ථවිරයන් වහන්සේ අවවාද දුන්නේ තමන් මෙත් වඩන තැනැත්තා ජීවත් වේ ද නැද්ද යන්න සොයා බලන ලෙසයි. ඒ පිළිබඳ සොයා බැලීමෙන් තමන්ගේ ආචාර්යයන් වහන්සේ මරණයට පත් වී ඇති බව සොයා ගන්නා ලද බව විශුද්ධි මාර්ගයේ සඳහන් වේ. එබැවින් මෛත්‍රී භාවනාව මිය ගිය පුද්ගලයන් විෂයෙහි ද වැඩීම නො කළ යුතු වේ.


මෛත්‍රී භාවනාව වැඩීම ආරම්භ කරන තැනැත්තා සියල්ලට ම පළමුවෙන් තමන්ට මෛත්‍රිය වැඩීමට පුරුදු විය යුතුය. ‘මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වෙම්වා, සුවපත් වෙම්වා’ යනාදි වශයෙන් පළමුව තමන්ට මෙත් වැඩීම කළ යුතු වේ.

මෙහි දී බොහෝ දෙනෙකුට ඇති වන ගැටලුවක් වන්නේ බුදුරජාණන් වහන්සේ කිසිදු සූත්‍ර දේශනාවක තමන්ට මෛත්‍රී වැඩීමක් පිළිබඳව දේශනා කර නොමැති වීමත් සෑම තැන්හි ම අන් අයට මෙත් වැඩීම ගැන පමණක් ම දේශනා කර තිබීමත් නිසා තමන්ට මෙත් වැඩීම කළ යුතු ද යන්නයි. මෙත්ත සූත්‍රයේ ද හමු වන්නේ ‘සුඛිනො වා ඛෙමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’ යනුවෙනි. කිසිදු ආකාරයකට තමන්ට මෙත් වැඩීමක් ‘අහං සුඛිතො හොමි’ යනාදි වශයෙන් හමු නොවේ. ඒ පිළිබඳව මීළඟ ලිපියෙන් විවරණය කරමු.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි


Sunday, February 28, 2021

9-7 හත්වන මහදන වෙළඳාගේ වස්තුවයි.

9-7 හත්වන මහදන වෙළඳාගේ වස්තුවයි.

වාණිජොව භයං මග්ගං, අප්පසත්ථො මහද්ධනො;

විසං ජීවිතුකාමොව, පාපානි පරිවජ්ජයෙ.

බොහෝ ධනය ඇති, කැටිව යන බොහෝ වෙළඳුන් නැති වෙළෙඳෙකු භය සහිත මඟ මෙන්ද ජීවත්වනු කැමති එකක්හු විස මෙන්ද අකුශල කර්මයන් දුරින් දුරුකරන්නේය.

වාණිජොව යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේදී මහත්ධන වෙළඳා අරභයා දේශනා කරනලදි.

පන්සීයක් සොරු වෙළෙන්දාගේ ගෙදර බිඳීමට අවකාශයක් බලමන් සිටියත් එබඳු අවකාශ වේලාවක් නොලැබූහ. පසු කලක වෙළෙන්දා ගැල් පන්සීයක බඩු පුරවා භික්‍ෂූන්වහන්සේලාට, ස්වාමීනි මම වෙළඳාමට අසවල් තැනට යමි. ඔබවහන්සේලාත් යනු කැමති නම් පිටත්වෙනු මැනවි. අතරමගදී භික්‍ෂාවෙන් අපහසුවක් නැතැයි කීවේය. ඒ ඇසූ භික්‍ෂූන් පන්සීයක් ඔහු සමග යෑමට පිටත්වූහ. අර සොරුත් ඔහු වෙළඳාම සඳහා පිටත්වූබව අසා එහි ගොස් කැලෑවටවී සිටියහ. වෙළෙන්දාත් ගොස් කැලෑමුවදොර එක් ගමක නවාතැන් ගෙන දෙතුන්දිනක් ගොනුන් හා ගැල්ආදිය සකස්කර ගත්තේය. ඔහු ඒ භික්‍ෂූන්ට නිබඳව භික්‍ෂා දුන්නේය. සොරු එහි කල් ගතවී යන හෙයින් යව, ඔහු ගමෙන් පිටත් වෙන දවස දැනගෙන එවයි එහි යැවූහ. හෙතෙම ඒ ගමට ගොස් එක් එක් සහායකයෙකු අමතා, වෙළෙන්දා පිටත්ව යන්නේ කවදාදැයි ඇසීය. හෙතෙම දෙතුන්දිනකින්යයි කියා, කුමක් සඳහා එසේ අසන්නේදැයි ඇසීය. ඉන්පසු ඔහු, අපි පන්සීයක් සොරු මේ කරුණ නිසා කැලෑවේ සිටින්නෙමුයයි කීවේය. අනිකා එසේ නම් යව, ඉක්මනින් පිටත් වන්නෙමුයයි ඔහු යවා කිම සොරුන් වළක්වන්නෙම්ද, නැතහොත් වෙළෙන්දාදැයි සිතා සොරුන්ගෙන් මට වැඩක් නැත. වෙළෙන්දා නිසා පන්සීයක් භික්‍ෂූහු ජිවත් වෙති. වෙළෙන්දාට සංඥාවක් දෙන්නෙමියි හෙතෙම එහි ගොස් පිටත්වන්නේ කවදාදැයි අසා තුන්වෙනි දිනයේයයි කීකල්හි, මගේ වචනය අසව, කැලෑවෙහි තොප එනතුරු පන්සීයක් සොරු බලාගෙන සිටිති. දැන්මම නොයවයි කීය.

ඔබ එය දැනගත්තේ කෙසේද? ඔවුන් අතර මගේ යහළුවෙක් ඇත. ඔහුගේ කථාවෙන් මම එය දැන ගතිමි. එසේනම් මෙහෙන් යාමෙන් වැඩක් නැතැයිද, නැවතී ගෙදරම යන්නෙමියි කීවේය. ඔවුන් කල් යවන හෙයින් නැවත ඒ සොරුන් විසින් යවන ලද පුරුෂයා එහි ගොස් ඒ යහළුවාගෙන් අසා එපුවත දැන නැවත ගෙදරම යනබව දැන ගොස් සොරුනට දන්වා සිටියේය.

ඒ ඇසූ සොරු එතැනින්ම නික්මී ගොස් වෙනත් මාර්ගයක සිටියාහුය. එහිද කල්යවන හෙයින් නැවතත් සහායකයා සොයා ගියහ. හෙතෙම ඔවුන් එහි සිටිබව දැන වෙළෙන්දාට නැවත දන්වා සිටියේය. වෙළෙන්දා මෙතැනත් මට අඩුවක් නැත. එනිසා මෙතැනිනුත් නොයමියි, මෙතැන් පටන් මෙහිම වසමියි සිතා භික්‍ෂූන් ළඟට ගොස්, ස්වාමීනි, සොරු මා කොල්ලකන අටියෙන් මාර්ගයෙහි රැක සිට, නැවත මා නවතින බව දැන මේ මාර්ගයෙහිත් රැක සිටිති. මම එහෙ මෙහෙ නොයා ටික කලක් මෙහිම වසමි. ඔබ වහන්සේලාත් මෙහිම වසනු කැමැත්තාහු නම් එසේ කරනු මැනවි. රුචියක් නොවන අය වඩිනු මැනවැයි දන්වා සිටියේය.

භික්‍ෂූහු මෙසේ ඇති කල අප නොනවතින්නෙමුයයි වෙළෙන්දාට දන්වා දෙවෙනි දවසේම සැවතට ගොස් බුදුන් වැඳ සිටියාහුය. බුදුරජාණන්වහන්සේ කිම මහණෙනි මහාධන වෙළඳා සමග නොගියාහුදැයි ඇසූහ. ස්වාමීනි, එසේය, මහධන වෙළඳා කොල්ලකෑම පිණිස පාරවල් දෙකකම සොරු රැක සිටිත්. එහෙයින් ඔහු එහිම නැවතුණේය. ඒ නිසා අපි ආවෙමුයයි කීහ. මහණෙනි, මහත්ධන වෙළඳා සොරුන් ඇතිනිසා මාර්ගය අත්හැරියේය. ජීවත්වනු කැමති මිනිසා හලාහල විෂය හැරදමයි. භික්ෂූන් විසන්ද ත්‍රිවිධ භවයන් සොරුන් රැකගෙන සිටින මගක් මෙන් සලකා පාපය හැර දැමීම කළ යුතුයය වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද ප්‍ර‍කාශ කළහ:

සොරු ඇති මග ඉවත ලන

රැකවරණය නැති වෙළඳෙකු මෙන්

දිවිය නිසා විෂ හරිනු සේ

සියලු පව්කම් හැරදමනු යෙහෙකි

එහ භයං යනු බියවියයුතු, සොරුන් රැකසිටින නිසා පැමිණිය හැකි බියක් යන අර්ථයි. මෙයම මෙසේත් කියා ඇත. මහධන වෙළඳා රැකවරණයක් නැති නිසා භය සහිත මග හැරදැමුවාක් මෙන්, දිවි රැකගැනීමේ අදහසින් හලාහල විෂය හැර දමන්නාක්මෙන් නුවණැති භික්‍ෂුව ස්වල්පමාත්‍ර‍වූ පාපයත් හැරදැමිය යුත්තේය.

දේශනා කෙළවර ඒ භික්‍ෂූහු ප්‍ර‍තිසම්භිදා සහිතව රහත්බවට පැමිණියාහුය. සපැමිණි මහාජනයාටද එම දේශනාව ප්‍රයෝජනවත්විය.

අරහන්ත සූත්‍රය

‘‘යො හොති භික්ඛු අරහං කතාවී,
ඛීණාසවො අන්තිමදෙහධාරී;
අහං වදාමීතිපි සො වදෙය්‍ය,
මමං වදන්තීතිපි සො වදෙය්‍යා’’ති.
‘‘යො හොති භික්ඛු අරහං කතාවී,
ඛීණාසවො අන්තිමදෙහධාරී;
අහං වදාමීතිපි සො වදෙය්‍ය,
මමං වදන්තීතිපි සො වදෙය්‍ය;
ලොකෙ සමඤ්ඤං කුසලො විදිත්වා,
වොහාරමත්තෙන සො (ස (?)) වොහරෙය්‍යා’’ති.
‘‘යො හොති භික්ඛු අරහං කතාවී,
ඛීණාසවො අන්තිමදෙහධාරී;
මානං නු ඛො සො උපගම්ම භික්ඛු,
අහං වදාමීතිපි සො වදෙය්‍ය;
මමං වදන්තීතිපි සො වදෙය්‍යා’’ති.
‘‘පහීනමානස්ස න සන්ති ගන්ථා,
විධූපිතා මානගන්ථස්ස සබ්බෙ;
ස වීතිවත්තො මඤ්ඤතං (මානනං (සී.), මඤ්ඤීතං (?)) සුමෙධො,
අහං වදාමීතිපි සො වදෙය්‍ය.
‘‘මමං වදන්තීතිපි සො වදෙය්‍ය;
ලොකෙ සමඤ්ඤං කුසලො විදිත්වා;
වොහාරමත්තෙන සො වොහරෙය්‍යා’’ති.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සිවිත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැ්මිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“සිවු මගින් කළ යුතු දෙ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන යම් රහත් භික්‍ෂුවෙක් වේනම්, ඔහු ‘මම කිසමි’ කියාත් කියන්නේද? ‘(ඔවුහු) මට කියති’ කියාත් කියන්නේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “කළ යුතු දේ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන්නාවූ, යම් රහත් භික්‍ෂුවෙක් වේ නම්, ඔහු ‘මම කියමි’ කියාත් කියන්නේය. ‘මට කියත්ය’ කියාත් කියන්නේය. නුවණැති ඔහු ලෝක ව්‍යවහාරයද දැන ව්‍යවහාර මාත්‍රයෙන් (’මම කියමි’, ‘මට කියති’ යනාදිය) ව්‍යවහාර කරන්නේය.”
“කළයුතු දේ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන, යම් රහත් භික්‍ෂුවෙක් වේ නම්, ඔහු මානය නිසා හෝ ‘මම කියමි’ කියාත් ‘මට කියති’ යි කියාත් කියන්නේද?”
“ඔහුගේ මානය ප්‍රහීණය. මාන (ගැට) ඔහුට නැත. ඔහු විසිත් සියලු මාන ගැට හාත්පසින් නසනලදී. මනා නුවණැති ඔහු තණ්හා ඉක්මවූයෙක. (එසේවූ) ඔහු ‘මම කියමි’ කියාද, ‘මට කියති’ කියාද කියන්නේය. නුවණැති ඔහු ලෝක ව්‍යවහාරයද දැන හුදෙක් ව්‍යවහාර වශයෙන් (’මම’, ‘මට’ යන ආදිය) කියන්නේය.

මෛත්‍රී භාවනාව – 05 කොටස – ‘මුහුණ පැහැපත් කරගන්න. මෙත් වඩන්න’

 මෛත්‍රී භාවනාව – 05 කොටස – ‘මුහුණ පැහැපත් කරගන්න. මෙත් වඩන්න’

Feb 21, 2021 | සිත නිවන භාවනා | 0 


මෛත්‍රී භාවනාව –  05 කොටස – ‘මුහුණ පැහැපත් කරගන්න. මෙත් වඩන්න’




මෙත් වඩන තැනැත්තාට මෙලොව දී ම දශ ආනිසංසයක් ද පරලොව දී එක් ආනිසංසයක් ද වශයෙන් එකොළොස් ආනිසංසයක් අත් වන බව බුදුරජාණන් වහන්සේ ‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යැයි වදාළ සේක. ඒ අනුව මෙලොව දී ම ලැබෙන ආනිසංස 7 ක් පැහැදිලි කරන ලදී.


8. තුවටං චිත්තං සමාධියති (වහා සිත සමාධියට යයි)

මෛත්‍රී විහරණයෙන් යුත් භික්‍ෂුවගේ සිත වහා සමාධියට පත් වේ. පුද්ගලයකුගේ සිත නිරන්තරයෙන් කිළිටි කරවන ධර්මයන් වන්නේ රාගය, ද්වේෂය, මෝහය ආදිය යි. මේ ධර්මයන්ගෙන් මැඩගත් සිත් ඇති තැනැත්තාට සමාධියක් ඉපදවීම පහසු නො වේ. නිරන්තරයෙන් මෛත්‍රී විහරණයෙන් සිටිනා පුද්ගලයා තමන්ගේ සිතට අරමුණු වන සෑම අරමුණක දී ම මෙත් සිත පැවැත්වීමට උත්සාහ දරයි. ඒ අනුව නිතර මෙත් සිත පෙරදැරිව කටයුතු කරන බැවින් සිත ඉක්මනින් සමාධිමත් කර ගත හැකි වේ.


වෙනත් කර්මස්ථානයකින් සමාධියක් නො උපදවන ලද තැනැත්තාට මෛත්‍රී භාවනාවෙන් ඉතා ඉක්මනින් සමාධියක් ඉපදවිය හැකි වේ. පිළිවෙළින් මෛත්‍රිය පුරුදු කිරීමෙන් ඉතා ඉක්මනින් මෛත්‍රී ධ්‍යානය ද උපදවාගෙන සුවයෙන් වාසය කළ හැකි වේ.


9. මුඛවණ්ණො විප්පසීදති (මුව පැහැය විශේෂයෙන් පැහැදෙයි)

මෛත්‍රී භාවනාව වඩන තැනැත්තාගේ මුහුණ බෙහෙවින් පැහැපත් වේ. නිතර මෛත්‍රී විහරණයෙන් කටයුතු කරන තැනැත්තාගේ නිරන්තරයෙන් කුශල සිත් ඇති වන බැවින් ශරීරයේ රුධියට පිරිසිදු වේ. ඒ පිරිසිදු රුධිරය සියලු සිරුර පුරා ම ගමන් කිරීමෙන් සිරුර පැහැපත් වේ. විශේෂයෙන් ම මුහුණ ප්‍රසන්න බවට පත් වේ.


10. අසම්මූළ්හො කාලං කරොති (සිහි නොමුළාව කළුරිය කරයි)

නිරන්තරයෙන් මෛත්‍රී භාවනාව පුරුදු පුහුණ කරගෙන භාවිතා කරන තැනැත්තා සෑම මොහොතක ම කුශලය අරමුණු කරගත් සිහියෙන් අප්‍රමාදීව කටයුතු කරයි. එසේ නිරන්තරයෙන් කුශලය අරමුණු කරගෙන සිහියෙන් වසන තැනැත්තා මරණාසන්න මොහොතේ දී ද මුළා භාවයට පත් නො වේ. තමන් ගේ ආචීර්ණ කර්මය වශයෙන් මෙත් සිත ම එළඹ සිටී. මෛත්‍රී ධ්‍යාන ලබා සිටි තැනැත්තාට මරණාසන්න මොහොතේ ඒ මෛත්‍රී දැහැන් සිත එළඹ සිටින බැවින් නො මුළා බවට පත් වේ. නොමුළාව නින්දට පිවිසියාක් මෙන් මරණයට පත් වේ.


11. උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලෝකූපගො හෝති (මතුයෙහි මගඵලයකට පත් නො වූයේ බඹලොව උපදියි)

මෛත්‍රී සමාපත්ති ලාභී භික්‍ෂුවට ඒ මෛත්‍රී ධ්‍යානය පදනම් කරගෙන විදසුන් වඩා සෝවාන් ආදි මගඵල පිළිවෙළින් අර්හත්වය ද සාක්‍ෂාත් කර ගත හැකි වන්නේය. එසේ නො හැකි වන භික්‍ෂුවට මරණාසන්න මොහොතේ නොමුළාව තමන්ගේ මෛත්‍රී ධ්‍යානය අරමුණු වීමෙන් මරණින් මතු බ්‍රහ්ම ලෝකයේ උපත ලැබීමට හේතු වේ.

අංගුත්තර නිකාය සත්තක නිපාතයේ මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ තමන් වහන්සේ බෝධිසත්ත්ව අවධියේ එක්තරා ආත්මභාවයක දී සත් වසක් මෛත්‍රිය වඩා සංවට්ට-විවට්ට කල්ප සතක් නැවතත් මෙලොවට නො පැමිණි බවයි. ලෝකය විනාශවන සංවට්ටකල්පයේ දී ආභස්සර බඹලොව උපත ලබා විසූහ. ලෝකය යළි නිර්මාණය වන විවට්ට කල්පයේ දී ශූන්‍ය බ්‍රහ්ම විමානයක උපත ලැබූහ.


එපමණක් ද නොව සත්වසක් මෙත් වැඩීමේ ආනිසංස වශයෙන් මහා බ්‍රහ්මයා වශයෙන් ද උපත ලැබූහ. තිස් හය වරක් ශක්‍රයාව උපත ලැබූහ. නොයෙක් සියවර සක්විති රජ විය. මෙසේ ඒ සත්වසක් මෛත්‍රිය වැඩීමේ ආනිසංස වශයෙන් නොයෙක් සැප විපාක ලද බව වදාළ සේක.


මෙසේ මෙත් වඩා ධ්‍යාන උපදවන ලද භික්‍ෂුව නො සිස් ධ්‍යාන ඇතිව කළුරිය කර මරණින් මතු බඹලොව උපත ලබයි.


මෛත්‍රී භාවනාව ආරම්භ කිරීමට කැමති යෝගියා මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ මෙත් වැඩීමේ ආනිසංස සිහිපත් කර ගත යුතු වේ. ආනිසංස සිහිපත් කරගෙන ආරම්භ කිරීමෙන් මෛත්‍රී සිත බලවත්ව පහළ කර ගත හැකි වේ.


එසේ ම මෛත්‍රී භාවනාව ආරම්භ කරනු කැමති යෝගියා මෙත් වැඩීමේ අනුසස් මෙන් ම ද්වේෂයේ ආදීනව ද සිහිපත් කර ගත යුතු වේ. ද්වේෂය නිසාවෙන් ලෝකයේ බොහෝ අනර්ථකාරී දේ සිදු වේ. ඉතා සුලුවෙන් පුද්ගලයන් දෙදෙනකු අතර ඇති වන ගැටීමක පටන් රට රටවල් යුද්ධ කිරීම්, ලෝක යුද්ධ දක්වා ම පැතිර පවත්නේ මෙම ද්වේෂයයි. ඒ තුළින් බොහෝ මිනිස් ඝාතන සිදුවේ. බොහෝ සත්ත්ව ඝාතන සිදු වේ. තවත් බොහෝ දෙනෙක් නොයෙක් දුක් පීඩාවලට පත් වේ. මේ සියල්ල ද්වේෂය නිසා ඇති වන අනර්ථයන් බව සිහිපත් කර ගත යුතු වේ.


ද්වේෂය විෂ කටුවක් මෙනි. විෂ කටුවක් ඇණුනු තැනැත්තා එයින් පීඩාවට පත් වේ. වේදනාවට පත් වේ. එසේ ම ඒ විෂ සකල ශරීරය පුරා පැතිර යයි. ඒ තුළින් බොහෝ කාලයක් දුකට පත් වේ. එසේ ම ද්වේෂය සිතේ ඇති වූ තැනැත්තා පීඩාවට පත් වේ. සිත නො සන්සුන් වීමෙන් වෙහෙසට පත් වේ. එසේ ම චිත්ත සන්තානය පුරාවට ද්වේෂය පැතිරීමෙන් බොහෝ කාලයක් අනර්ථකාරී දුක් වේදනාවන්ට පැමිණේ.


මෛත්‍රී භාවනාව මඟින් ද්වේෂය ප්‍රහාණය කළ යුතු වේ. එබැවින් ද්වේෂයේ ආදීනව මෙනෙහි කළ යුතු වේ. එසේ ම මෛත්‍රී භාවනාවෙන් අධිවාසනා ක්‍ෂාන්තිය හෙවත් ඉවසීමට පැමිණිය යුතු වේ. එබැවින් ද්වේෂයේ ආදීනවයන් සිහි කරගෙන අනතුරුව බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ඉවසීමේ ආනිසංසය ද සිහිපත් කර ගත යුතු වේ. ‘ඛන්තී පරමං තපෝ තිතික්ඛා, නිබ්බාණං පරමං වදන්ති බුද්ධා’ යැයි වදාළේ ඉවසීම හෙවත් ක්‍ෂාන්තිය උතුම් ම තපස බවයි. එසේ ම නිර්වාණය උතුම් ම බවයි. මේ බව සිහිපත් කරගෙන මෛත්‍රී භාවනාව ආරම්භ කළ යුතු වේ.

මෙසේ ආරම්භ කරන මෛත්‍රී භාවනාව පිළිවෙළින් වඩන ආකාරය මතු ලිපිවලින් අනාවරණය කිරීමට අදහස් කරමු.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Na Uyane Ariyadhamma Thero

 


Pali 2

 අපි පළමු පාඩමේ දී ස්වර හා ව්‍යඤ්ජන මොනවාදැයි ඉගෙන ගතිමු. ඇත්තෙන් ම ව්‍යඤ්ජන අක්ෂරයක් තනිව උච්චාරණය කළ නොහැකි ය. අපි ස්වරයක් එක්කොට එය උච්චාරණය කරන්නෙමු.

“ක්” යනු ව්‍යඤ්ජනයකි. එයට “අ” යන ස්වරය එක් කොට “ක” යන අක්‍ෂරය සාදාගනී. එසේ “ක්” යන ව්‍යඤ්ජනාක්‍ෂරයට ස්වර එක්කොට සාදාගන්නේ මෙසේ ය.


අ ක් + අ = ක          ආ ක් + ආ = කා

ඉ ක් + ඉ = කි         ඊ ක් + ඊ = කී

උ ක් + උ = කු         ඌ ක් + ඌ = කු

එ ක් + එ = කෙ      ඔ ක් + ඔ = කො


“ම්” යන ව්‍යඤ්ජනාක්‍ෂරයට ස්වර එක් වන්නේ මේ ආකාරයටයි.

අ ම් + අ = ම         ආ ම් + ආ = මා

ඉ ම් + ඉ = මි        ඊ ම් + ඊ = මී

උ ම් + උ = මු       ඌ ම් + ඌ = මූ

එ ම් + එ = මෙ   ඔ ම් + ඔ = මො


“ස්” යන ව්‍යඤ්ජනයට ස්වර අක්‍ෂර එක්වන ආකාරයත් අපි විමසා බලමු.


අ ස් + අ = ස         ආ ස් + ආ = සා

ඉ ස් + ඉ = සි        ඊ ස් + ඊ = සී

උ ස් + උ = සු        ඌ ස් + ඌ = සු

එ ස් + එ = සෙ     ඔ ස් + ඔ = සො


වචන කිහිපයක ස්වර ව්‍යඤ්ජන වෙන්කරන අයුරු අපි විමසා බලමු.


1. මාතා = ම් + ආ + ත්+ ආ

2. වානරො = ව් + ආ + න්+ අ+ ර්+ ඔ

3. දෙවො = ද් + එ + ව්+ ඔ

4. රුක්ඛො = ර් + උ + ක්+ ඛ්+ ඔ

5. බුද්ධො = බ් + උ + ද්+ ධ්+ ඔ


ස්වර ව්‍යඤ්ජන වෙන් වෙන්ව ඇති පද කිහිපයක් එක්කර බලමු.


1. ප්+ඉ+ත්+ආ = පිතා

2. ග්+ආ+ම්+ඔ = ගාමො

3. ව්+ඉ+හ්+ආ+ර්+ඔ = විහාරො

4. ව්+ඉ+ස්+ආ+ඛ්+ආ = විසාඛා

5. අ+න්+ආ+ථ්+අ+ප්+ඉ+ණ්+ඩ්+ඉ+ක්+අ= අනාථපිණ්ඩික


මේ ආකාරයට ඔබ ඕනෑම පදයක ස්වර ව්‍යඤ්ජන වෙන් කිරීමට පුරුදු වන්න. අප ඉදිරියේ දී බැඳී අකුරු පිළිබඳ ඉගෙන ගනිමු. ඒ සඳහා මෙම ස්වර ව්‍යඤ්ජන වෙන්කිරීමට පුරුදු වී සිටීම ඉතාම වැදගත් වේ.

මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 07.45 ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (The Buddhist TV) විකාශනය වේ.



Saturday, February 27, 2021

මෛත්‍රී භාවනාව – 04 කොටස – අමනුෂ්‍යයන්ට පවා ප්‍රිය උපදවන මෛත්‍රි භාවනාව

 මෛත්‍රී භාවනාව – 04 කොටස – අමනුෂ්‍යයන්ට පවා ප්‍රිය උපදවන මෛත්‍රි භාවනාව

Feb 21, 2021 | සිත නිවන භාවනා | 0 



මෛත්‍රී භාවනාව –  04 කොටස – අමනුෂ්‍යයන්ට පවා ප්‍රිය උපදවන මෛත්‍රි භාවනාව

මෙත් වඩන තැනැත්තාට මෙලොව දී ම දශ ආනිසංසයක් ද පරලොව දී එක් ආනිසංසයක් ද වශයෙන් එකොළොස් ආනිසංසයක් අත් වන බව බුදුරජාණන් වහන්සේ ‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යැයි වදාළ සේක. ඒ අනුව ආනිසංස 4 ක් පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී.


5. අමනුස්සානං පියෝ හෝති (අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි)

නිරන්තරයෙන් මෙත් වඩන තැනැත්තා අමනුෂ්‍යයන්ට ද ප්‍රිය වේ. අමනුෂ්‍යයන්ට ප්‍රිය වන බව ඇසීම ඇතැම් කෙනෙක් බියට පත් කරන කාරණයක් විය හැකි. සමාජයේ ඇති වැරදි මතයක් වන්නේ මෙත් වඩන තැනැත්තා පසුපස අමනුෂ්‍යයන් එන බවත් එයින් ඔහුට කරදර ඇති විය හැකි බවත් ය. එහෙත් මෙත් වඩන තැනැත්තා අමනුෂ්‍යයන්ට ප්‍රිය වන බැවින් අමනුෂ්‍යයන්ගෙන් ඔහුට කරදර සිදු නො වේ. අමනුෂ්‍යයන් විසින් මේ තැනැත්තාට නිරන්තරයෙන් සුඛ විහරණය සලසා දෙනු ලැබේ. ඒ බව පැහැදිලි කර ගැනීමට අර්ථකථාවල එන විශාඛ ස්ථවිරයන් වහන්සේගේ කථාව වැදගත් වේ.

පැලලුප් නුවර විසූ විශාඛ නම් කෙළෙඹි පුත්‍රයෙක් ලක්දිව කසාවතින් බැබළෙන බවත් සද්ධර්මය ජීවමාන බවත් ඍතු සත්ප්‍රාය බව, සේනාසන සත්ප්‍රාය බව, පුද්ගල සත්ප්‍රාය බව, ධර්මශ්‍රවණ සත්ප්‍රාය බව යනාදිය ඇති බවත් ඒ ඒ තැන කමටහනක් ගෙන භාවනා කිරීමෙන් විශේෂ අධිගමයන්ට පත් විය හැකි බවත් අසීය.


එසේ අසා තමන්ගේ සියලු භෝගස්කන්ධය පුත්‍ර දාරාදීන්ට පවරා දී හැඳ සිටි වස්ත්‍ර කෙළවර එක් කහවණුවක් ගැට ගසාගෙන නිවසින් නික්ම නැව් තොටට පැමිණ නැවක් පැමිණෙන තෙක් එක් මසක් බලාපොරොත්තු වීය. හෙතෙමේ දක්‍ෂ බැවින් නැවක් බලාපොරොත්තුවෙන් සිටි කාලය තුළ තමන් සතු කහවණුවෙන් භාණ්ඩ මිලට ගෙන විකිණීමෙන් දැහැමි වෙළඳාමෙන් කහවණු දහසක් උපයා ගත්තේය. අනතුරුව නැව් නැඟී අනුපිළිවෙළින් මහාවිහාරයට සපැමිණ පැවිද්ද ඉල්ලා සිටියේය.


පැවිදි කිරීම සඳහා සීමාවට කැඳවාගෙන වේලේ තම ඔඩොක්කුවේ තිබූ කහවණු පොදිය බිම දැමුවේය. තෙරුන් වහන්සේලා විසින් මේ කිමෙක් දැ යි ඇසූ කල ‘ස්වාමීනි කහවණු දහසකි’ යැයි පිළිතුරු දුන්නේය. ‘උපාසකය පැවිදි වූ කාලයේ පටන් කහවණු පිළිබඳ විචාරණයක් කළ නොහැකිය. එහෙයින් දැන් ම පිළිවෙළක් කරන්නැ’යි තෙරුන් වහන්සේලා විසින් දැන්වූ කල ‘විශාඛගේ පැවිදි වීම බලන්නට පැමිණි අය හිස් අතින් නොයාවා’යි කහවණු සීමා මළුවේ විසුරුවා පැවිදි වූයේය. පැවිදිව උපසම්පදා විය.


උපසම්පදාවෙන් පස් වසක් යන තෙක් ඇදුරුවරයන් සමීපයේ හැසිර භික්‍ෂු-භික්‍ෂුණී උභය ප්‍රාතිමෝක්‍ෂ ප්‍රගුණ කොට සුදුසු කමටහනක් ගෙන එක් එක් විහාරයක සාරමාසය බැගින් වසමින් හැසිරෙමින් භාවනාව ප්‍රගුණ කළහ.

සිතුල්පව් විහාරයට යාමට පිටත් වූ විශාඛ ස්ථවිරයන් වහන්සේ දෙමංසන්ධියකට පැමිණ කවර මාර්ගයකින් යන්නේ දැ යි සැක සිතී මඳක් නැවතී බලා සිටියහ. එවිට පර්වතයක අධිගෘහිත දේවතාවෙක් ‘මෙය යි මාර්ගය’ යැයි අත දිගු කොට පෙන්වීය. ඒ විශාඛ තෙරුන් වහන්සේ සිතුල්පව්වට ගොස් සාර මාසයක් එහි වාසය කොට පසු දින අලුයම පිටත් වන්නේ යැයි සිතූහ. සක්මන කෙළවර වෘක්‍ෂයේ අධිගෘහිත දේවතාවා උන්වහන්සේගේ කුටියේ පඩිපෙළ මුල හිඳ හඬන්නට වූයේය.


තෙරුන් වහන්සේ ‘මේ කවරෙක් දැ’ යි ඇසූහ. තමන් ඒ වෘක්‍ෂයට අධිගෘහිත දේවතාවා බව පැවසූ කල්හි ‘කුමකට හඬන්නේ දැ’යි ඇසූහ. ඒ දේවතාවා කියා සිටියේ තෙරුන් වහන්සේගේ ගමන නිසාවෙන් හඬන බවයි. එවිට තෙරුන් වහන්සේ අසා සිටියේ තමන් වහන්සේ එහි වාසය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් ඇත් ද යන්නයි.


එවිට දේවතාවා පවසා සිටියේ ‘ස්වාමීනි, නුඹ වහන්සේ මෙහි වසන කල අමනුෂ්‍යයෝ එකිනෙකා මෛත්‍රිය ලබත්. නුඹ වහන්සේ ආපසු වැඩම කළ පසු ඔවුහු නැවත කළහ කරත්. නොමනා දේ ද කරත්’ යනුවෙනි. තෙරුන් වහන්සේ මෛත්‍රී විහරණයෙන් යුතු බැවින් එහි වාසය කිරීමෙන් දෙවියන්ට පහසුවක් වන බව ඒ දේවතාවා පවසා සිටියේය.


‘ඉදින් මා මෙහි විසීමෙන් නුඹලාට පහසුවක් වේ නම් එය සොඳුරු’ යැයි තෙරුන් වහන්සේ තවත් සාර මාසයක් එහි විසූහ. නැවතත් සාරමාසයකට ඇවෑමෙන් පිටත් වීමට සූදානම් වන විට දේවතාවා පෙර පරිදි ම හැඬීය. නැවතත් ගමන වැළැක්වූ තෙරුන් වහන්සේ මේ ක්‍රමයෙන් ඒ සිතුල්පව් විහාරයේ ම වාසය කර එහි ම පිරිනිවී ගියහ.


මෙසේ මෛත්‍රී විහරණයෙන් යුක්ත භික්‍ෂුව අමනුෂ්‍යයන්ට ප්‍රිය වේ. එයින් උන්වහන්සේට අමනුෂ්‍යයන්ගෙන් කරදර පීඩාවක් ඇති නොවන අතර පහසුවෙන් මහණදම් පුරා ගැනීමට අවකාශ සැලසේ. බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රය උගන්වා වදාළේ ද මේ ආකාරයෙන් දෙවියන්ගෙන් වන පීඩාවන් වළක්වා ගැනීමට වේ. එහි දී ද භික්‍ෂූන් වහන්සේලා මෙත් වැඩීමෙන් දෙවියන්ට ප්‍රිය වී තමන් වහන්සේලාගේ පහසු විහරණය සලසා ගත්හ. එබැවින් මෙත් වඩන තැනැත්තා අමනුෂ්‍යයන්ට ද ප්‍රිය වේ.


6. දේවතා රක්‍ඛන්ති (දෙවියෝ රකිත්)

අමනුෂ්‍යයන්ට ප්‍රිය වන බැවින් ම දෙවියන්ට ද ප්‍රිය වන මෙත්වඩන භික්‍ෂුව මව් පියන් සිය දරුවෙකු රක්නා පරිද්දෙන් දෙවියන් විසින් රකිනු ලැබේ. කරණීයමෙත්ත සූත්‍ර නිදාන කථාවෙන් මේ බව හොඳින් ම හෙළි වේ.


7. නාස්ස අගිගි වා විසං වා සත්‍ථං වා කමති (ගිනි හෝ විෂ හෝ සැත් ඔහුට නොම වදියි)

මෛත්‍රී විහරණයෙන් ගත කරන තැනැත්තාට ගින්නෙන් අනතුරක් නො සිදුවේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වෙසෙන සමයේ පුණ්ණ සිටු දියණිය වූ උත්තරා නම් උපාසිකාව තම සැමියාට කහවණු පසළොස් දහසකට සිරිමා නම් ගණිකාවක් පාවා දී අඩමසක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීම් ආදි පින් කළාය. අවසන් දින දැළි කුණු වැකුණු උත්තරාව දැක සිටු පුත්‍රයා සිනහසෙනු දුටු සිරිමා ගණිකාව ඇය කෙරෙහි වෛර බැඳ මුළුතැන් ගෙයි උණු තෙල් කටාරමකින් කකියන උණු තෙල් හැන්දක් ගෙන උත්තරාවගේ හිසේ වත් කළාය. උණු තෙල් හැන්දක් ගෙන ඇය ඉදිරියට එනු දුටු උත්තරාව ‘මැය මට මිතුරියක් සේ බොහෝ උපකාර කළාය. මැය නිසාවෙන් මම අඩමසක් දානාදි පින්කම් කළෙමි. ධර්මශ්‍රවණය ලැබුවෙමි. ඉදින් මැය කෙරෙහි මාගේ කෝපයක් ඇත්නම් මේ කකියන ගිතෙල් මා දවාවා. නැත්තේ නම් නොම දවාවා’යි ඇය කෙරෙහි මෙත් සිත පැතිරවීය. එයින් ඇය මත්තෙහි වත් කළ ඒ උණු තෙල් සීසිල් දිය මෙන් විය. එබැවින් මෙත් සිත පතුරුවන තැනැත්තාට ගින්නෙන් හානියක් නොම සිදුවේ.


එසේ ම මෙත් විහරණයෙන් සිටින අයට වසවිෂ නිසාවෙන් හානි නො සිදුවේ. සංයුක්තභාණක චූළසිව ස්ථවිරයන් වහන්සේට මෛත්‍රී විහරණය නිසා වසවිෂවලින් සිදුවීමට තිබූ හානියක් වැළකුණු බව සඳහන් වේ.


එසේ ම මෛත්‍රී භාවනාව පුරුදු කර ඇති තැනැත්තාට සැතකින් කරදරයක් නො සිදුවේ. උදේනි රජු සාමාවතී ප්‍රමුඛ බිසවුන් පන්සියයක් දෙනා එක පෙළට සිටුවා එක් හීයකින් විද මරනු කැමතිව සූදානම් විය. සාමාවතිය සෙසු සියලු දෙනාට කියා සිටියේ මෛත්‍රී කරන ලෙසයි. මෛත්‍රී බලය නිසාවෙන් රජුට දුනු දිය ඇද හීය විදීමට නොහැකිව සිටියේය. එබැවින් මෙත් වඩන අයට සැත්වලින් හානි නොම සිදුවේ.

මෙසේ බොහෝ ආනිසංස ඇති බව සලකා මෛත්‍රී භාවනාව වැඩිය යුතු වේ.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...