Monday, February 15, 2021

Na Uyane Ariyadhamma Thero


 

පළමුවන චූලඒකසාටක බමුණාගේ වස්තුවයි.

අභිත්ථරෙථ කල්‍යාණෙ, පාපා චිත්තං නිවාරයෙ;

දන්ධඤ්හි කරොතො පුඤ්ඤං, පාපස්මිං රමතී මනො.

සුචරිත ධර්මයන්හි යුහුසුලු වන්නේය. අකුසලයෙන් සිත වළකන්නේය. (දානාදී කුශල කර්මය) සෙමෙන් කරන්නහුගේ සිත අකුශලයෙහි ඇලෙයි.

අභිත්ථරෙථ කල්‍යාණෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි චූලඒකසාටක නම් බමුණා නිසා දේශනා කරනලදි.

විපස්සිබුදුරදුන්ගේ කාලයෙහි මහාඒකසාටක නම් බමුණෙක් සිටියේය. මේ කතාවෙහි කියවෙන්නේ එකල සැවැත්නුවර සිටි චූලඒකසාටක ලෙසය. ඔහුට පොරවන එක් සළුවක් පමණක් තිබුණේය. බැමිණියටත් එයමය. දෙදෙනාම එකම සළුව පෙරවූහ. බැහැර යන කල බමුණා හෝ බැමිණිය එය පොරවා ගනියි. දිනක් විහාරයෙහි බණ ඇසීමට පැමිණෙන ලෙස ඝෝෂා කළවිට බමුණා, පින්වතිය, බණ ඇසීමට කාලය ඝෝෂා කරනලදි. කිම ඔබ දවල් බණ ඇසීමට යන්නෙහිද? නැතහොත් රාත්‍රියටද? පාරුපණයක් නැති නිසා අප දෙදෙනාටම යා නොහැකිය. බැමිණිය සැමියාණනි, මම දවල් යන්නෙමිය, සළුව පෙරවාගෙන ගියාය.

බමුණා දවල් කාලය ගෙදර ගතකොට රාත්‍රියෙහි ගොස් බුදුන් ඉදිරියෙන්ම හිඳගෙන ධර්මය ඇසුවේය. බණ අසා ඔහුගේ සිරුර පස්වණක්ප්‍රීතියෙන් පිනා ගියේය. ඔහු බුදුන්ට පුදනු කැමතිව, ඉතින් මේ සාටකය දුන්නොත් මට හෝ බැමිණියට හෝ පාරුපණයක් නැති වන්නේයයි සිතීය. ඔහුගේ සිත තුළ මසුරු කල්පනා දහස් ගණනින් ඉපදිණි. නැවත එක් ශ්‍ර‍ද්ධා සිතක් පහළවිය. එය යටපත් කරගෙන නැවත මසුරුසිත් පහළවිය. මෙසේ ඔහුග් සිතේ පහළ වන මසුරුසිත ඔහුගේ සිත බැඳගන්නාක් මෙන් ශ්‍ර‍ද්ධා සිත සිඳීගෙනම යයි. මෙය බුදුන්ට දෙන්නෙමි, නොදෙන්නෙමියයි සිතසිතා සිටින විට රාත්‍රි ප්‍ර‍ථම යාමය ගතවී ගියේය. මැදුම්යම පැමිණියේය. ඒ යාමයේදීත් දීගත නොහැකිවිය. පශ්චිම යාමය පැමිණි කළ හේ මෙසේ සිතීය. මගේ සැදැහැසිත සමග මසුරුසිත යුද්ධකරන අතර යාම දෙකක් ඉක්ම ගියේය. මේ මගේ මසුරුසිත වැඩී ගියොත් සතර අපායෙන් හිස ඔසවාගන්ට නොලැබෙයි. දැන් ඉතින් දන් දෙන්නෙමයි මසුරුසිත් දහස් ගණන මැඩපවත්වාගෙන ශ්‍ර‍ද්ධාසිත පෙරටු කරගෙන සළුව රැගෙන බුදුන්ගේ පාමුල තබා මම දිනුවා, මම දිනුවායය තෙවරක් කීවේය.

බණ අසමින් සිටි පසේනදි කොසොල්රජ, ඔහුගේ ඒ හඬ අසා, යම්, ගොස් ඔහු දනුවේ කුමක්දැයි අසා බලව්යයි කීකල්හි, එහි ගිය රාජපුරුෂයන් විසින් විචාරන ලදුව ඒ පුවත කීවේය. ඒ ඇසූ රජු බමුණා කර තිබෙන්නේ දුෂ්කර ක්‍රියාවකියි ඔහුට සංග්‍ර‍හ කළයුතුයයි එක් සළු යුගළයක් දෙවීය. බමුණා එයද බුදුන්ට පිදීය. ඉන්පසු රජ දෙකක් හතරක් අටක් දහසයක් වශයෙන් දෙගුණ කරමින් සළු දෙවීය. හෙතෙම ඒ සියල්ලම බුදුන්ටම පිදීය. බ්‍රාහ්මණ තෙම, තමන් නොගෙන දෙන දෙන සළු පූජාකරන්නේමයයි කියවෙන වචනයෙන් මිදීම පිණිස ඒවායින් එක් සළු යුගළයක් තමන්ට එකක් බැමිණියට එකක් වශයෙන් රැගෙන ඉතිරි සළුයුගළ තිහම බුදුන්ටම පිදීය. රජ ඔහුට සියවරක් දුන්නත් තවත් දෙනු කැමති විය. පෙර මහාඑකසාටකව සිටි කල සිව්සැටක් සාටක යුගළවලින් දෙකක් ගත්තේය. මෙකල දෙතිසක් ලැබුණු කල දෙකක් ගත්තේය.

රජු පුරුෂයන්ට අණ කොට, සගයෙනි, බමුණා විසින් කර ඇත්තේ දුෂ්කර ක්‍රියාවකි. මේ කරුණ රජගෙදරදී මට මතක් කරවයි කීවේය. ඔවුහු එසේ කළහ. රජු ලක්‍ෂයක් වටිනා කම්බිලි දෙකක් දෙවීය. බමුණා, මෙතරම් වටිනා මේ කම්බිලි මගේ සිරුරෙහි ගෑවීමටවත් නුසුදුසුය. මේවා බුදුසසුනටම සුදුසුයයි එක් කම්බිලියක් බුදුන්ගේ ගඳකිළියේ බුදුන්ගේ සයනයට උඩින් වියනක් ලෙසින් බැඳ, අනික තමන්ගේ ගෙදර භික්‍ෂූන් දන් වැළඳීමට වැඩසිටින තැන උඩුවියනක් ලෙසින් බැන්දේය.

කොසොල් රජු සවස් වේලාවේ බුදුන් සමීපයට ගොස් කම්බිලිය හඳුනාගෙන ස්වාමීනි, මෙය කවුරුන් විසින් පුදන ලදදැයි අසා ඒකසාටක බමුණා විසිනැයි වදාළ කල්හි, බමුණා මා පැහැදෙන තැන්වලම ප්‍ර‍සාදය ඇතිකර ගන්නෙකියි කියා, ඇතුන්, අසුන්, හතරදෙනා බැගින්ද, කහවනු හාරදහසක්, ස්ත්‍රීන් හතරදෙනෙක්, දාසියන් හතරදෙනෙක්, පුරුෂයන් හතරදෙනෙක්, ගම්වර හතරක් වශයෙන් මෙසේ සියල්ලෙන්ම හතර බැගින් ගෙන ඔහුට සබ්බචතුෂ්ක (සියල්ලෙන් හතරක්) යක් දෙවීය.

ධර්ම සභාවට රැස්වූ භික්ෂූහු, අහෝ චූලෙ-ඒකසාටක බමුණාගේ ක්‍රියාව ඉතා පුදුමයි. ඔහු එවේලාවේම සබ්බචතුෂ්කයක් ලැබුවේය. දැන් කළ යහපත් ක්‍රියාවෙන් අදම විපාක ලැබුණේය කියා කථාකරමින් සිටියහ. ශාස්තෘන්වහන්සේ එහි පැමිණ කරමින් සිටි කථාව ගැන අසා මෙබඳු කථාවකියි කීකල්හි මහණෙනි, යම්හෙයකින් මේ ඒකසාටකතෙම ප්‍ර‍ථම යාමයෙහි මට ඒ සාටකය දීමට පුළුවන්වූයේනම් සියල්ල සොළස බැගින් ලබන්නේය. යම් හෙයකින් මධ්‍යම යාමයේ දීමට හැකිවූයේ නම් සියල්ල අට බැගින් ලබන්නේය. උදෑසනම දීගත හැකිවූ හෙයින් සියල්ල හතර බැගින් ලැබීය. යහපත් වැඩ කරන්නහු විසින් උපන් සිත නොනසාගෙන එකෙණෙහිම කළයුතුය. පසුවෙවී කළ කුසලයෙහි විපාකද පසුවෙවී අඩුවෙවී ලැබෙයි. ඒ නිසා සිත පහළවූ හැටියේම යහපත් වැඩ කළයුතු යයි අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:

වහා පින් කළ යුතු

පවින් සිත වෙන්කළ යුතු

පමාවන අයගේ සිත

පව්කම්වලම නියැලේ

එහි අභිත්ථරෙථ යනු වහවහා ශීඝ්‍ර‍ශීඝ්‍රයෙන් කළයුතුය යන අර්ථයි. ගිහියකු විසින් සලාකබත් දානාදි යම්කිසි පිනක් කරන්නෙමි යන කුසල් සිතක් ඇතිවූ හැටියේ අනික් අයට ඉඩ ලැබීමට පෙරාතුව මම පළමුව මම පළමුව වහවහා කළයුතුයයි කියාද, උපාධ්‍යායාදි වතාවත් කරන පැවිද්දකු විසින් නම් අනිත් අය ඒ වතාවත් කිරීමට පළමුව මම පළමුව මම පළමුව කරන්නෙමියි වහාම කළයුතුය. පාපා චිත්තං යනු කායදුශ්චරිතාදි පව්කම්වලින් අකුසලසිත් ඉපදීම්වලින් සියලු උත්සාහ දරා සිත මුදවා ගත යුතුය. දන්ධංහි කරොතො යනු යමෙක් දන් දෙම්ද නොදෙම්ද මට එයින් ප්‍රයෝජනයක් ලැබෙයිද නොලැබෙයිද යනාදි වශයෙන් මඩපාරක යන්නාක් මෙන් අස්ථිර සිතින් පින් කෙරෙයිද ඔහුට ඒකසාටක බමුණාට මෙන් මසුරුසිත් දහස් ගණනින් පහළ වී පවට අවකාශය ලැබෙයි. ඉන්පසු පාපස්මිං රමති මනො ඔහුගේ සිත කුසල්දහම් කරන වේලාවේදීත් සිත කුසලයෙහි මෙන්ම, ඉන්පසු එයින් මිදී පාපයෙහි ඇලීමේත් යෙදෙයි. ගාථා කෙළවර බොහෝ භික්‍ෂූහු සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.

Friday, February 12, 2021

1.66 Meghiya Theragatha

සත්ති සූත්‍රය


සාවත්ථිනිදානං . එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘සත්තියා විය ඔමට්ඨො, ඩය්හමානොව (ඩය්හමානෙව (සබ්බත්ථ)) මත්ථකෙ;
කාමරාගප්පහානාය, සතො භික්ඛු පරිබ්බජෙ’’ති.
‘‘සත්තියා විය ඔමට්ඨො, ඩය්හමානොව මත්ථකෙ;
සක්කායදිට්ඨිප්පහානාය, සතො භික්ඛු පරිබ්බජෙ’’ති.


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීයේය:
“හුලකින් අනින ලද්දකු මෙන්ද, හිස ගිනි ඇවිල ගත්තකු මෙන්ද, මහණ තෙමේ කාමරාගය නසනු පිණිස සිහි ඇතිව වසන්නේය.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “හුලකින් අනින ලද්දකු සේත්, හිස ගිනි ඇවිලගත්තකු සේත් මහණ තෙමේ සක්කායදෘෂ්ටිය නසනු පිණිස සිහි ඇතිව (අප්‍රමාදව) වසන්නේය

Na Uyane Ariyadhamma Thero


 

8-14 දහහතරවෙනි බහුපුත්තික තෙරණියගේ වස්තුවයි.

8-14 දහහතරවෙනි බහුපුත්තික තෙරණියගේ වස්තුවයි. 

යො ච වස්සසතං ජීවෙ, අපස්සං ධම්මමුත්තමං;

එකාහං ජීවිතං සෙය්‍යො, පස්සතො ධම්මමුත්තමං.

උතුම්වූ (නවලොකොත්තර) ධර්මය (නුවණැසින්) නොදක්නාවූ යම් පුද්ගලයෙකු අවුරුදු සියයක් ජීවත්වනවාට වඩා උතුම් (නවලොකොත්තර) ධර්මය නුවණැසින් දක්නා පුද්ගලයාගේ එක් දවසක් ජීවත්වීම උතුම්ය.

යො ච වස්සසතං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ බහුපුත්තික ස්ථවිරීන් උදෙසා දේශනා කරනලදි.

සැවැත්නුවර එක් පවුලක පුත්‍ර‍යන් සත්දෙනෙක්ද දූවරුන් සත්දෙනෙක්ද සිටියාහුය. ඒ දාහතරදෙනාම වැඩිවයසට පත්ව ගෙදරම නැවතී සිට සුවසේ තමන් කැමති පරිදි ජීවත්වූහ. කලකට පසු ඔවුන්ගේ පියා මිය ගියේය. මහා උපාසිකාව සැමියා මියගිය පසුත් ධනසම්පත් අත්නොහැර තමන් අතම රඳවාගෙන සිටියාය. ඉන්පසු දරුවෝ මව අමතා, මෑණියනි, අපේ පියා මියගිය පසු ඔබට මේ ධනයෙන් වැඩක් නැත. එය අප අතර බෙදා දුනහොත් ඔබ පෝෂණය කරන්ට අපට බැරිද? ඈ ඔවුන්ගේ කතාව අසාත් නිහඬවම සිටියාය. නැවතනැවතත් දරුවන් මේ ඉල්ලීම කරන නිසා ඈ මොවුන් මා රැකබලා ගන්නවා ඇතියි සිතා, සියලු ධනසම්පත් දෙකොටසකට බෙදා ගෑණු පිරිමි දෙපක්ෂයට දුන්නාය. ඉන්පසු කීප දිනකින් ඈ වැඩිමහල් පුතාගේ ගෙට ගියාය.

පුතාගේ බිරිඳ දෙටුපුතායයි කියා දෙකොටසක් දුන්නාක් මෙන් මේ ගෙදරටම එන්නීයයි කීවාය. අනිත් පුතුන්ගේ භාර්යාවෝත් ඒ ලෙසින්ම කීවාහුය. දෙටු දියණිය ආදිකොට ඇති දුවරුන්ගේ ගෙවල්වලිනුදු ලැබුණේ ඒ කථාවමය. ඈ මෙසේ අවමානයට ලක්වී මොවුන් ළඟ සිටීමෙන් ඇති ප්‍රයෝජනයක් නැත. භික්‍ෂුණීන්ගේ නිවාසයට ගොස් පැවිදි වන්නෙමියි සිතා එහි ගොස් පැවිද්ද ඉල්ලා සිටියාය. භික්‍ෂුණීහු ඈ පැවිදි කළාහුය. ඈ උපසම්පදාවද ලබා බහුපුත්තික තෙරණිය නමින් හඳුනා ගන්නාලදි.

ඈ මහලුවී පැවිදිවූ නිසා, අප්‍ර‍මාදීව විසීම යෙහෙකියි සිතා භික්‍ෂුණීන් ළඟට ගොස් වත්පිළිවෙත් කරමින් මුළු රෑ මහණදම් පුරන්නෙමියි යට ප්‍රාසාදයෙහි එක් කණුවක් අතින් අල්ලාගෙන ඒ වටා කරකැවෙමින් සිටියාය. සක්මන් කරද්දීත් අඳුරු තැනකදී මගේ හිස ගසක හෝ වෙන තැනක හෝ ඇනෙන්නට හැකියයි සිතා ඒ ගසම අතින් අල්ලාගෙන ඒ වටා කරකැවෙමින් කැරකෙන ගමන්ම භාවනාකරමින් මහණදම් පුරයි. බුදුන් දෙසූ ධර්මයම කරන්නෙමියි ධර්මය ගැන මෙනෙහිකරමින් ධර්මය සිහිකරමින් මහණදම් පුරයි.

ශාස්තෘන්වහන්සේ ගන්ධකුටියෙහි හිඳින ගමන්ම ආලෝකයක් විහිදුවා සම්මුඛයෙහි සිටින්නාක් මෙන් වී, ඈ සමග කතා කරමින් බහුපුත්‍රිකාවෙනි, මා දෙසූ දහම සිහි නොකරන්නාගේ ධර්මය නොදකින්නාගේ වර්ෂ සියයක් ජීවත්වීමට වඩා, මා දෙසූ දහම දකින්නාගේ මොහොතක් ජීවත්වීම ශ්‍රේෂ්ඨයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් සේ ගාථාව ප්‍ර‍කාශ කළහ:

උතුම් සදහම නොදකින

අය සියක් වස් සිටියත්

දහම නිසි ලෙස දකිමින්

සිටින එක දවස වැදගති

එහි ධම්මමුත්තමං යනු නවවිධ ලොව්තුරා දහමය. උතුම් ධර්මය නම් එයයි. යමෙක් එය නොදකින්නේ නම් ඒ පුද්ගලයාගේ වර්ෂ සීයක් ජීවත්වීමට වඩා ධර්මය දකින්නාගේ අවබෝධකරගන්නාගේ එක් දවසක් එක මොහොතක් ජීවත්වීම ශ්‍රේෂ්ඨ වේ. ගාථා කෙළවර බහුපුත්තික තෙරණිය පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියාය.

සහස්ස වර්ග වර්ණනාව අවසානයි.

අටවෙනි වර්ගයයි.


Thursday, February 11, 2021

දහතුන්වන කිසාගෝතමී තෙරණියන්ගේ වස්තුවයි.

දහතුන්වන කිසාගෝතමී තෙරණියන්ගේ වස්තුවයි. 

යො ච වස්සසතං ජීවෙ, අපස්සං අමතං පදං;

එකාහං ජීවිතං සෙය්‍යො, පස්සතො අමතං පදං.

නිර්වාණය නොදන්නාවූ යම් පුද්ගලයෙකු අවුරුදු සියයක් ජීවත්වීමට වඩා අමෘත මහා නිර්වාණය නුවණැසින් දක්නා පුද්ගලයාගේ එක දවසකුදු ජීවත්වීම උතුම්ය.

යො ච වස්සසතං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වසන කාලයෙහි කිසාගෝතමිය අරභයා දේශනා කරනලදි. සැවැත්නුවර එක්තරා සිටුවරයෙකුගේ ගෙදර සතළිස් කෝටියක් පමණ ධනයක් අඟුරු බවට පත්වී තිබුණේය. ඒ දුටු සිටුතෙමේ උපන් ශෝකයෙන් ආහාරත් නොගෙන ඇඳේ වැතිර සිටියේය. ඔහුගේ එක් යහළුවෙක් ඒ ගෙට අවුත්, යහළුව කුමක් නිසා ශෝක කරන්නෙහිදැයි අසා යහළුව, ශෝක නොකරව. මම එක් උපායක් දනිමි. එය කරවයි කීය. යහළුව මා කුමක් කළයුතුද? නුඹ තමන්ගේ වෙළෙඳපොළෙහි කළාල අතුරුවා ඒ අඟුරුරාශිය එහි විසුරුවා තබා අඟුරු විකුණන්නකු ලෙස හිඳගෙන සිටුව. එනයන මිනිස්සු මෙසේ කියනු ඇති. අනිත් වෙළෙන්දෝ වස්ත්‍ර‍, තෙල්, මීපැණි ආදිය විකුණත්. ඔබ ඉඳගෙන අඟුරු විකුණන්නෙහිය. මා ඉතින් මට ඇති දේ විකුණනවා මිස වෙන කුමක් කරන්ටදැයි ඔවුන්ට කියන්න.

යමෙක් අවුත්, අනිත් වෙළෙන්දෝ රෙදි, තෙල්, මීපැණි ආදිය විකුණති. ඔබ රත්රන් විකුණන්නෙහියයි කීවොත් ඔහුට මෙසේ කියව. මෙතන රත්රන් තියෙන්නේ කොහිද? මේ මේවායයි කීකල එය මට රැගෙන දෙන්නැයි කී අයගේ අතින්ම ඉල්වා ගෙන ඔබ අත සඟවා තබාගන්න. එසේ දුන් කල ඔබේ ඇති ඒවා රත්රන්ම වන්නේය. ඒවා අරගෙන ඔබට දුන්නේ කුමරියක් නම්, ඈ ඔබේ ගෙදරට ගෙන්වාගෙන ඔබේ පුතෙකුට ඈ පාවා දී සතළිස් කෙළක් ධනය ඈට පවරාදෙන්න. ඈ අතින් දෙන පමණක් ඔබ පරිහරණය කරන්න.

හෙතෙම මෙය හොඳ උපායක්යයි සිතා තම කඩපිලෙහි අඟුරු ගොඩ ගසා විකුණන්නට මෙන් සිටියේය. යමෙක් එහි අවුත්, සෙස්සෝ වස්ත්‍ර‍, තෙල්, මීපැණි ආදිය විකුණති. ඔබ ඉඳගෙන අඟුරු විකුණනවා නොවේදැයි කීකල, මට අයිති දේ විකුණනවා මිස මා වෙන කුමක් කරන්ටදැයි පිළිතුරු දුන්නේය.

ඉන්පසු දිනෙක වැනසී ගිය පවුලක කෙට්ටු සිරුරක් ඇති නිසා කිසාගෝතමී නමින් හැඳින්වුණු කුමරියක් එහි පැමිණ වෙළෙඳ දොරටුවට ගොස් ඒ වෙළඳ සිටුවරයා දැක, පියාණනි, අනිත් අය රෙදි, තෙල්, මීපැණි ආදිය විකුණන අතර ඔබ ඉඳගෙන රත්රන් විකුණන්නෙහිදැයි ඇසුවාය. මෑණියනි, මෙතැන රත්රන් මොනවාද? ඔබ ඔය තියාගෙන ඇත්තේ රත්රන්ය. මෑණියනි, ඔබේ අතින්ම මට ඒවා අරගෙන දෙන්නැයි හේ ඉල්ලීය. ඈ අත්පුරවා රැගෙන ඔහුගේ දැත්මත තැබුවාය. ඒ දුන් සියල්ලම රත්රන්මවිය.

ඉන්පසු ඒ සිටුවරයා, දුව ඔබේ ගෙය කොහිදැයි විචාරා, අසවල් තැනයයි කී පසු ඇගේ අස්වාමික බවද දැනගෙන ධනය පවරාදී ඈ තමන්ගේ පුතාට ගෙනවුත් දී සතළිස්කෝටියක ධනය දෑවැද්දකොට දුන්නේය. ඒ අඟුරු සියල්ල රත්රන්ම විය. පසු කලෙක ඈ ගැබ්බර වූවාය. දසමස් ඇවෑමෙන් පුතකු වැදුවාය. ඒ දරුවා පයින් ඇවිදගන්නා කාලයේ මිය ගියේය. ඈ මැරුණු කෙනෙක් මීට පෙර දැක නැති නිසා, ඔහු දැවීමට ගෙනයන විට එය වළක්වා මගේ පුතාට බෙහෙත් සොයන්නෙමියි මළසිරුර ඇකයේ හොවාගෙන, මගේ පුතාට බෙහෙතක් දන්නෙහිදැයි විචාරමින් ගෙවල් පිළිවෙළින් ඇවිදගෙන ගියාය.

මිනිස්සු ඒ දැක දුව ඔබට පිස්සුද? මළ පුතාට බෙහෙත් සොයා ඇවිදින්නෙහිදැයි කියති. ඈ නොවරදවාම මගේ පුතාට බෙහෙත් ලබාගන්නෙමි යන සිතින් ඇවිදගෙන ගියාය. ඉන්පසු එක් නුවණැති පුරුෂයෙක් මේ මගේ දුවණිය පළමුවෙන්ම පුතකු වැදුවා විය හැකියි. මැරුණු කෙනෙකු දැක නැත. මා මේ තැනැත්තියට උපකාර කළ යුතුයයි සිාත දුව මම බෙහෙත් දෙන්ට නොදනිමි. එහෙත් බෙහෙත් දන්නා කෙනෙක් නම් දනිමියයි කීවේය. ඒ බෙහෙත් දන්නේ කවුරුන්ද? දරුව, ඒ බුදුරජාණන්වහන්සේයි. එහි ගොස් උන්වහන්සේගෙන් අසා බලවයි කීවේය. ඈ පියාණෙනි, මම එහි යන්නම්. ගොස් උන්වහන්සේගෙන් අසන්නෙමියි කියා බුදුන් වෙත එළඹ වැඳ එක් පැත්තකටවී ස්වාමීනි, ඔබවහන්සේ මගේ පුතුට බෙහෙත් දන්නෙහිදැයි ඇසුවාය. එසේය මම දනිමි. ඒ සඳහා අවශ්‍ය මොනවාද? අහුරක් පමණ අබඇට වුවමනාය. ස්වාමීනි, එය ලබාගතයුතු තැනක් ඇද්ද? එසේය, පුතෙක් හෝ දුවක් හෝ වෙනත් කිසිවෙක් නොමළ ගෙයකින් ඒවා ලබාගතයුතුය.

ඈ ස්වාමීනි, මැනවැයි කියා බුදුන් වැඳ මළපුතා ඇකයේ හොවාගෙන ඇතුළුගමට ගොස් පළමු ගෙදර දොර සිට ඔබලාගේ ගෙදර අබ ඇද්ද මගේ පුතාට එය බෙහෙතකියි ඇසූ විට, ඇතැයි කී කල එසේනම් මට ඒ අබ දෙන්නැය ඉල්ලුවාය. ඔවුන් අබ ගෙනවුත් දෙන කල, මේ ගෙදර පුතෙක් හෝ දුවක් හෝ මීට පෙර මැරී ඇද්ද නැද්දැයි ඇසූවිට, දුව කුමක් කියන්නෙහිද? මෙහි ජීවත්වන අය කීපදෙනෙකි. මැරුණු අය බොහෝ වෙතියි කීකල්හි, එසේනම් මේවා ආපසු ගන්න. මගේ පුතාගේ බෙහෙතට අවශ්‍යවන්නේ දූපුතුන් නොමළ ගෙයක ඇති අබවලින්යයි ප්‍ර‍තික්ෂේප කළාය.

මේ ආකාරයෙන් ඈ මුල පටන් ගෙවල්වලින් විචාරමින් ඇවිද්දාය. එබදු එක ගෙයකින් හෝ අබ ලබාගත නොහැකිවූ ඈ සවස්වූ විට, අනේ මා කළ වැඩක හැටි. මගේ පුතා පමණයි මැරුණේ යන අදහසින් ගමේ ඇවිදි නමුත් මේ ගමේ ජීවත්වන අයට වඩා මළ අය වැඩියයි සිතුවාය. මෙසේ සිතන ඈ තුළ පුත්‍ර‍ස්නේහය මෘදුවී තුනීවී ගියේය. ඈ මළපුතා කැලයේ දමා බුදුන් හමුවට ගොස් වැඳ එක් පැත්තක හිඳගත්තේය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ, ඔබ අහුරක් පමණ අබ ලැබුවාදැය ඇසූහ. ස්වාමීනි, නැත. මුළු ගමේම ජීවත්වන අයට වඩා මැරුණු අය වැඩිය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඔබ මගේ පුතා පමණයි මිය ගියේ කියා සැලකුවෙහිය. මෙය සත්ත්වයන්ට හිමි ඒකාන්ත ස්වභාවයකි. මාරයා, බලාපොරොත්තු අදහස් මුදුන්පත් නොවුණු අයම මහාදියකඳක් මුහුදට ඇදගෙන යන්නාක් මෙන් අපාය නමැති මුහුදට හෙළන්නේයයි වදාරා දහම් දෙසමින් මේ ගාථාව ප්‍ර‍කාශ කළහ:

පුතුන් සතුන් නිසා හෝ

මත් වී ඇළුණු සිත් ඇති

මිනිසා නිදිගත් ගමක්

වතුරෙන් ගසා යන සේ

සියල්ලම සමගින්

මරුවා ගසා ගෙන යය

ගාථා කෙළවර කිසාගෝතමිය සෝවාන්ඵලයෙහි පිහිටියාය. අනිත් බොහෝ දෙනාත් සෝවාන් ඵලාදියට පැමිණියාහුය. ඉන්පසු ඈ බුදුන්ගෙන් පැවිද්ද ඉල්ලා සිටියාය. බුදුහු ඈ භික්‍ෂුණීන් සමීපයට යවා පැවිදිකරවූහ. ඈ උපසම්පදාවද ලබා කිසාගෝතමී ස්ථවිරී නමින් ප්‍ර‍කට වූවාය. එක් දිනක ඈ උපොසථාගාරයෙහි තමන්ට වාරය පැමිණි විට එහි ගොස් පහන් දල්වා හුන් කල පහන් දැල් බිඳෙමින් උපදිමින් යනු දැක, මේ පහන්සිළු මෙන් මේ සත්ත්වයෝත් ඉපදෙමින් මැරෙන්නාහුය. නිවනට පැමිණි අය පමණක් මෙසේ නොවෙතියි අරමුණු ගත්තේය. ශාස්තෘන්වහන්සේ ගඳකිළියෙහි වැඩසිටිමින්ම ආලෝකයක් එවා ඇගේ ඉදිරියෙහි පෙනී සිට කියන්නාක් මෙන් එසේය, ගෝතමිය, මේ සත්ත්වයෝ පහන්සිළු මෙන් ඉපදෙමින් මැරෙති. නිවනට පැමිණි අය පමණක් එසේ නොවෙති. එසේම නිවන් නොදකින අයගේ වසර සියයක් ජීවත්වීමට වඩා නිවන දැක්ක අයගේ ක්ෂණමාත්‍ර‍ ජීවිතය උතුම්යයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:

නිවන් නොදකින අය වසර සීයක් සිටියත්

නිවන් දැක එක දිනයක් ජීවත්වීම වැදගති.

එහි, අමතං යනු මරණයෙන් තොර කොටසයි. අමාමහ නිවන යන අර්ථයයි. සෙස්ස පෙරසේමය. දේශනාවසානයේ කිසාගෝතමිය ඒ හිටිහැටියෙන්ම පිළිසිඹියාත් සමග රහත්බවෙහි පිහිටියාය.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...