Wednesday, January 13, 2021

1. ඔඝ සූත්‍රය

සංයුත්තනිකායො

සගාථාවග්ගො

1. දෙවතාසංයුත්තං

1. නළවග්ගො

1. ඔඝතරණසුත්තං


එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං එතදවොච - ‘‘‘කථං නු ත්වං, මාරිස, ඔඝමතරී’ති? ‘අප්පතිට්ඨං ඛ්වාහං, ආවුසො, අනායූහං ඔඝමතරි’න්ති. ‘යථා කථං පන ත්වං, මාරිස, අප්පතිට්ඨං අනායූහං ඔඝමතරී’ති? ‘යදාඛ්වාහං, ආවුසො, සන්තිට්ඨාමි තදාස්සු සංසීදාමි ; යදාඛ්වාහං, ආවුසො, ආයූහාමි තදාස්සු නිබ්බුය්හාමි (නිවුය්හාමි (ස්‍යා. කං. ක.)). එවං ඛ්වාහං, ආවුසො, අප්පතිට්ඨං අනායූහං ඔඝමතරි’’’න්ති.
‘‘චිරස්සං වත පස්සාමි, බ්‍රාහ්මණං පරිනිබ්බුතං;
අප්පතිට්ඨං අනායූහං, තිණ්ණං ලොකෙ විසත්තික’’න්ති. -
ඉදමවොච සා දෙවතා. සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො සා දෙවතා - ‘‘සමනුඤ්ඤො මෙ සත්ථා’’ති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.

සංයුත්තනිකායො
සගාථ වර්ගය
1. දෙවතා සංයූත්තය
1. නළ වර්‍ගය 
1. ඔඝ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්‍ණය ඇත්තේ සියලු ජේතවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට “නිදුකානන් වහන්ස, කෙසේනම් ඔබ (සංසාර සාගරය) මහාජලය පිහිනා ගොඩ වූවෝදැ” යි කීය.
“ඇවැත්නි මම පිහිටාද නොසිට පැදීමද නොකොට පිහිනා එතර වූයෙමි.”
“නිදුකානනි ඔබ කෙසේනම් පිහිටාද නොසිට පැදීම්ද නොකොට මහා ජලය තරණය කළෝද ?”
“ඇවැත්නි යම්විටක මම පිහිටා සිටින්නෙම්ද එකල ගිලා බසින්නෙමි. ඇවැත්නි යම් කලෙක මම පදින්නෙම්ද එකල පාවී යන්නෙමි” යි ඇවැත්නි මෙසේ වනාහි මම පිහිටා නොසිට නොපැද (සංසාර සාගරය) මහාජලය එතෙර කළෙමි.”
“පිහිටා සිටීමත් නොකොට පැදීමත් නොකොට ලෝකයෙහි තන්හාව එතර කළාවූ එහෙයින්ම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවියාවූ බ්‍රාහ්මණයෙකු (පව් නැසූ කෙනෙකු) බොහෝ කලෙකින් පසු දැක්කෙමි” යි
මෙසේ ඒ දෙවිතෙම කීය. ශාස්තෘන් වහන්සේ එය අනුමත කළසේක. එකල වනාහි ඒ දෙවිතෙම ශාස්තෘාන් වහන්සේ මගේ වචනය අනුමත කළසේකැයි සතුටුව භාග්‍යවතුන්වහන්සේ වැඳ පැදකුනුකොට එහිම අතුරුදහන්විය.

සසර ඕඝය තරණය කිරීම – ඕඝතරණසූත්‍රය
Sep 13, 2019 | සදහම් සඟරාව, සූත්‍ර වර්ණනා |

සසර ඕඝය තරණය කිරීම – ඕඝතරණසූත්‍රය
සූත්‍ර සත්දහස් සත්සිය සැටදෙකකින් සමන්විත සංයුක්තනිකායේ පළමු සූත්‍රය ඕඝතරණසූත්‍රයයි. දේවතා සංයුක්තයට අයත් මෙම සූත්‍රය භාග්‍යවතුන්වහන්සේ දේශනා කරන ලද්දේ සැවැත්නුවර අනාථපිණ්ඩික සිටුතුමා විසින් කරවූ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයකදීය. නාම වශයෙන්, ගෝත්‍ර වශයෙන් අප්‍රසිද්ධ එක්තරා රූපාවචර දෙවිකෙනෙක් ජේතවනාරාමය හාත්පස බබුළුවාගෙන භාග්‍යවතුන්වහන්සේගේ සමීපයට පැමිණියේය. මෙම දෙවියා භාග්‍යවතුන්වහන්සේගේ සමීපයට පැමිණියේ රාත්‍රියේ මධ්‍යමයාමය ඉක්මවූ පසුවයි. සාමාන්‍යයෙන් භාග්‍යවතුන්වහන්සේ වෙත හෝ බුද්ධශ්‍රාවකයක් වෙත උපස්ථානයට පැමිණෙන දෙවියන් පැමිණෙන්නේ මධ්‍යම යාමයෙහිදීය. එසේ පැමිණෙන දෙවිවරු තමාගේ සාමාන්‍ය වර්ණය හැරදමා වඩාත් අලංකාර විශිෂ්ට වර්ණයක් මවාගෙන පැමිණෙත්. මේ ආකාරයට පැමිණෙන දෙවියන් ඇතැම් විට ඕලාරික කයක් මවා ගනී. කාමාවචර දෙවියන්ගේ ශරීර ඕලාරික බැවින් සෑම විටකදීම එසේ කිරීමට අවශ්‍ය නොවේ. නමුත් රූපාවචර දෙවියන්ගේ ශරීරය අතිසූක්ෂම බැවින් ඕලාරික කයක් මවාගෙනය. එ‌හෙත් භාග්‍යවතුන්වහන්සේ වෙත පැමිණි මෙම දෙවියා රූපාවචර දෙවියෙක් වූ බැවින් ඕලාරික කයක් මවාගෙන පැමිණියේය. දෙවිවරුන් මේ ආකාරයට තථාගතයන්වහන්සේගේ සමීපයට පැමිණෙනුයේ සතරමාර්ග-සතරඵල නිවන් අවබෝධ කර ගැනීම සඳහාය.

එම රාත්‍රියේ තථාගතයන්වහන්සේගේ සමීපයට පැමිණි රූපාවචර දෙවියා ප්‍රශ්නයක් විමසුවේය.

“නිදුකාණන්වහන්ස, නුඹවහන්සේ කෙසේ ඕඝය තරණය කළ සේක් ද?“

ඕඝ යනු කුමක්ද?

මෙහි අර්ථ දෙකකි. ඕඝ යනු ගලාබසින්නාවූ මහත් සැඩ පහරකි. එබඳු සැඩපහරක් නිසා සත්ත්වයන් එම සැඩපහරෙහි ගිලෙත්. සත්ත්වයන් සංසාරයේ ගිල්වත් බස්වත් යන අර්ථයෙන් ඕඝ යන නම ලැබේ. ඕඝයන්ට හසු වූ සසර සැරිසරන සත්ත්වයන් එම ඕඝයෙන් පහළට ඇද දමත්. සතර අපාය ආදී දුගතිවල ඉපදීමට කරුණු සකස් කරත්. එමෙන්ම නිවන් අවබෝධ කිරීමෙන් සත්ත්වයාගේ දුක් කෙළවර කිරීමට ඉඩ නොදී නැවත නැවත සසරෙහි සුගති-දුගතිවල සැරිසැරීමට කටයුතු සකස් කරයි.

දෙවැන්න නම් රාශි අර්ථයෙනි. අවීචියේ පටන් භවාග්‍රය දක්වා ඕඝයන් මහත්ව පැතිර පවතී. ඒ චතුරාර්යසත්‍යය අවබෝධ නොකළ සත්ත්වයන් තුළය.

සතරක් වූ ඕඝයෝ

කාම ඕඝ – පඤ්චකාමයන් කෙරෙහි ඇති ඡන්දරාගයයි.
භව ඕඝ – රූපභව සහ අරූපභවවල ඉපදීම සඳහා වන ඡන්දරාගයද, රූප-අරූප ධ්‍යාන කෙරෙහි වන ඇලීම නම් වූ ධ්‍යාන නිකාන්තියයි.
දිට්ඨි ඕඝ – දෙසැටක් වූ මිථ්‍යාදෘෂ්ටි
අවිජ්ජා ඕඝ – චතුරාර්යය සත්‍යය නොදැනීමයි.
දෙවියා විසින් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඉහත සතරඕඝයන් තරණය කළ ආකාරය දක්වමින් භාග්‍යවතුන්වහන්සේ පිළිතුරු දුන් සේක.

‘අප්පතිට්ඨං ඛ්වාහං, ආවුසො, අනායූහං ඔඝමතරි’න්ති.

“ඇවැත්නි, මම නොපිහිටමින්ද, වෑයම් නොකරමින් ද ඕඝය තරණය කළෙමි.”

නොපිහිටමින් යනු කෙළෙස් වශයෙන් නොපිහිටමින්, නොගිලෙමින් යන්නයි. වෑයම් නොකරමින් යනු කාමාවචර වශයෙන්ද, රූපාවචර වශයෙන්ද, අරූපාවචර වශයෙන්ද භවගාමී කුසල අකුසල රැස් නොකරමින් මධ්‍යම ප්‍රතිපදාව නොඉක්මවමින්, නොගිලෙමින්ය. භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුරෙහි අදහස එසේ වුවත් උන්වහන්සේ එම දෙවියාට ඒ ආකාරයෙන් පිළිතුර දුන්නේ එහි අර්ථය එකවරම වටහා ගැනීමට නොහැකි වන ආකාරයටයි. අර්ථය සඟවා තබාය. එනිසා දෙවියාගේ සිතට මෙබඳු ප්‍රශ්නයක් ඇති වීය.

“ඕඝය තරණය කරන බාහිර තවුසන් පිහිටිය යුතු ස්ථානයේ පිහිටමින්ද, තරණය කළ යුතු ස්ථානයේ වෑයම් කරමින්ද ඕඝය තරණය කරත්. භාග්‍යවතුන්වහන්සේ විසින් අවීචියේ පටන් භවාග්‍රය දක්වා ඇති මහත් වූ ක්ලේශ ඕඝයන් නොපිහිටමින්ද, වෑයම් නොකරමින්ද තරණය කළෙමි යැයි දේශනා කරයි“. මෙම පිළිතුරෙහි අර්ථය කුමක්දැයි විමතියට පත් විය.

මෙහිදී නැ‍ඟෙන ප්‍රශ්නය නම් තථාගතයන් වහන්සේ සර්වඥතා ඥානය ප්‍රතිවේධ කළේ සත්ත්වයන්ට අවබෝධ නොවන ආකාරයෙන් දහම් දෙසීමට ද යන්නයි. භාග්‍යවතුන්වහන්සේගේ ධර්ම දේශනාවේ ආකාර දෙකකි. භාග්‍යවතුන්වහන්සේ නිග්‍රහ මුඛයෙන්ද, අනුග්‍රහ මුඛයෙන්ද ධර්මය දේශනා කරන සේක. කරුණු නොදැන කරුණු දනිමි යැයි සිතාගෙන සිටින පණ්ඩිතමානී පුද්ගලයන්ට නිග්‍රහ මුඛයෙන් දහම් දේශනා කරන සේක. ඍජු අදහස් ඇති ශික්ෂාකාමී පුද්ගලයන්ට අනුග්‍රහ මුඛයෙන් දහම් දෙසන සේක. මෙම දෙවියා මානයෙන් වැඩී ගිය පණ්ඩිතමානී කෙනෙකි. “මම ඕඝයන් දනිමි. තථාගතයන් වහන්සේ ඕඝයන් තරණය කළ බවද දනිමි. ඕඝය තරණය කළ යුත්තේ කෙසේද යන කාරණය පමණක් නොදනිමි. මා විසින් දන්නා දෙය බොහෝය. නොදන්නා දෙය ස්වල්පය. යම් කරුණක් මම නොදන්නේද භාග්‍යවතුන් වහන්සේ සමඟ කතාකරන මාත්‍රයෙන්ම අවබෝධ කරගැනීමට හැකි වන්නේය” යැයි ඔහුගේ අදහස වීය. “කිළිටි වූ රෙදිකඩක් සායම් පෙවීමට නොහැකි සේ මානය හැරදමන්නේ නැතිව ධර්මය අවබෝධ කරගැනීමට නොහැකිය. පළමුව මෙම දෙවියාගේ මානයට නිග්‍රහ කරමි. ඉන්පසු දෙවියා නීච සිතින් නැවත ප්‍රශ්නය ඇසූ විට පිළිතුර ප්‍රකාශ කරන්නෙමි” යැයි තථාගතයන් වහන්සේගේ අදහස විය. එම නිසා බුදුරජාණන් වහන්සේ දෙවියා හට අර්ථය වටහා ගැනීමට නොහැකි වන සේ අර්ථය සඟවමින් පළමු ප්‍රශ්නයට පිළිතුරු දුන්හ. එවිට දෙවියාගේ මානය නැති විය.

ඉන්පසු කාරණය පැහැදිලි කර ගැනීමට දෙවියා භාග්‍යවතුන්වහන්සේගෙන් දෙවන ප්‍රශ්නය ඇසීය.

“නිදුකාණන් වහන්ස, නුඹ වහන්සේ කෙසේ නම් නොපිහිටමින්ද වෑයම් නොකරමින්ද ඕඝය තරණය කළ සේක්ද?“

“ඇවැත්නි, යම් කලෙක මම පිහිටා සිටිම්ද එකල්හි ගිලෙමි. ඇවැත්නි, යම් විටෙක මම වෑයම් කළෙම් ද එකල්හි ඉල්ප යමි. ඇවැත්නි, මෙසේ මම නොපිහිටමින්ද වෑයම් නොකරමින්ද ඕඝය තරණය කළෙමි.”

මේ ආකාරයට සිටීමෙහිද වෑයම් කිරීමෙහිද ආදීනව දැක නොපිහිටමින් වෑයම් නොකරමින් ඕඝය තරණය කළෙමි යැයි වදාළ සේක. දෙවියා මෙම පිළිතුර ඇසූ විගස ම ධර්මය අවබෝධ කරගත්තේය. දහසක් නයින් ප්‍රතිමණ්ඩිත ව උතුම් වූ සෝවාන් ඵලයෙහි පිහිටියේය. මෙම දෙවියා උග්ගටිතඤ්ඤු බැවින් මෙසේ ධර්මය අසන මොහොතේ අපහසුවකින් තොරව ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කරගත් නමුත් විපටිතඤ්ඤු සහ ඤෙය්‍ය වූ පුද්ගලයන් හට මෙම ගැඹුරු වූ ධර්මපරියාය වටහා ගැනීම්ට දුෂ්කරය. එමනිසා අටුවාවෙහි ක්‍රම සතකින් භාග්‍යවතුන් වහන්සේගේ අදහස විග්‍රහ කොට දක්වා ඇත

කෙළෙස් සහ අභිසංස්කාර වශයෙන්
යම් කලෙක කෙළෙස් වශයෙන් පිහිටා සිටිමින් කෙළෙස්වල වසඟයට යෑම නිසා වෑයම් නොකිරීමෙන් කෙළෙස් ඕඝයෙහි ගිලෙයි. අභිසංස්කාර නම් සසරෙහි නැවත නැවත ඉපදීමට අවශ්‍යවන භවගාමී කුසල අකුසල රැස්කිරීමයි. යම් කලෙක ඕඝය තරණය කිරීම සඳහා භවගාමී කුසල අකුසල රැස්කිරීම නිසා සසරදුකින් එතෙරවීමට ආර්ය අෂ්ටාංගිකමාර්ගය මනාව ප්‍රතිපත්ති පූරණය කළ හැකි ක්ෂණය ඉක්මවීමට ඉඩදීමෙන් සංසාර ඕඝයෙහි පාවී යයි.

තණ්හා-දෘෂ්ටි සහ අවශේෂ ක්ලේශ වශයෙන්
තණ්හාව සහ දෘෂ්ටිය සත්ත්වයා සසරෙහි ගමන් කරවන ප්‍රධාන ධර්ම දෙකකි. තණ්හාව බහුලව ඇති තණ්හා චරිත සහ දෘෂ්ටිය බහුලව ඇති දෘෂ්ටි චරිත, එම තණ්හාවේ සහ දෘෂ්ටියෙහි පිහිටා සිටීමෙන් ඕඝය තරණය කිරීමට වෑයම් නොකිරීමෙන් ඕඝයෙහි ගිලීම සිදු වේ.

අවශේෂ කෙළෙස් වන ද්වේෂය, මෝහය, මානය, විචිකිච්ඡාව, ථිනය, උද්ධච්ඡය, අහිරිකය, අනොත්තප්පය සහ සසර ගමනට හේතුවන කුසල අකුසල රැස්කිරීම් වශයෙන් සංසාර ඕඝයෙහි පාවී යයි.

තණ්හාව සහ දිට්ඨි වශයෙන්
තණ්හාව නිසා පඤ්චකාම ආශ්වාද කිරීමෙන් ඕඝයන්හි ගිලෙයි. දෘෂ්ටිය නිසා සසරදුකින් නිදහස් වන විමුක්තිමාර්ගය නොවන තැනක විමුක්ති මාර්ගය මෙය යැයි දැඩිව අල්ලා ගනී. සසරින් එතෙරවීමට දරන වෑයම වැරදි එකක් නිසා ඕඝයෙහි පාවී යාම සිදු වේ.

ශාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය
ශාස්වත දෘෂ්ටිය නම් අතිදීර්ඝ කාලයක් ආයුෂ ඇති රූපලෝක, අරූපලෝක යන ස්ථානවල නිත්‍ය වූ ස්ථිර වූ භවයක් ඇත යනුවෙන් ඇති කරගන්නා භව දෘෂ්ටියයි. මේ නිසා සසර දුකින් එතෙරව නිවන් දැකීම පිණිස ධර්මය දේශනා කරන විට එම ධර්මයෙහි සිත නොපිහිටයි. ශාස්වත දෘෂ්ටිය නිසා ඕඝයන්හි ගිලීම සිදු වේ.

උච්ඡේද දෘෂ්ටිය නම් මරණින් පසු සත්ත්වයෙක් නැතය, ආත්මය විනාශ වන්නේය යනුවෙන් බැසගන්නා විභව දෘෂ්ටියයි. මරණින් මතු භවයක් නැත යන්න අභිනන්දනය කරන බැවින් භවයෙන් මිදීම පිණිස සම්‍යක් ප්‍රතිපදාවේ නොයෙදීම නිසා එම අවස්ථාව ඉක්මවයි. එනිසා ඕඝයන්හි පාවී යෑම සිදුවේ.

ලීන සහ උද්ධච්ඡ වශයෙන්
ලීනභාවය නම් කුසීතභාවයයි. එනිසා නිවන් දැකීමට කටයුතු නොකරයි. එවිට ඕඝයන්හි ගිලී යෑම සිදු වේ. උද්ධච්ඡ බව නම් සිතෙහි පවතින සැලෙන බවයි. සැලෙනබව නිසා සම්මා සමාධිය භාවිත කිරීමට නොහැකි වීමෙන් ඕඝයන්හි පාවීයාම සිදුවේ.

කාමසුඛල්ලිකානුයෝගය සහ අත්තකිලමථානුයෝගය වශයෙන්
කාමසුඛල්ලිකානුයෝගයට බැසගත් තැනැත්තාගේ තණ්හාව නිසා සිත කෙළෙසුනු බැවින් සිතේ සමාධිය නැත. අත්තකිලමථානුයෝගයට බැසගත් තැනැත්තා හටද කය කෙළෙසුනු බැවින් සමාධියක් නැත. මෙම පුද්ගලයන්ගේ සිත සහ කය කෙළෙසීම කරන්නේ තණ්හාව සහ දිට්ඨිය දැඩිවීම නිසාය. එම නිසා තණ්හාව නිසා ඕඝයන්හි ගිලීයාමත් දෘෂ්ටිය නිසා ඕඝයන්හි පාවී යෑමත් සිදුවේ.

අකුසල රැස්කිරීම සහ භවගාමී ලෞකික කුසල රැස්කිරීම් වශයෙන්
අකුසල රැස්කිරීම නිසා ඒවායේ විපාක ලෙස සත්ත්වයන් දුගතිගාමී වේ. එය ඕඝයන්හි ගිලීම නම් වේ. භවගාමී ලෞකිකකුසල කිරීම නිසා දිව්‍යලෝක, මනුෂ්‍යලෝක ආදී උසස් තැන්වල උපත ලබාදෙයි. එවිට සංසාර ඕඝයෙහි පාවීම සිදු වේ.

සෝවාන් ඵලයට පැමිණ සිටි දෙවියා බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමාගේ සතුට හා ප්‍රසාදය පළකරමින් ගාථාවක් ප්‍රකාශ කළේය.

“චිරස්සං වත පස්සාමි – බ්‍රාහ්මණං පරිනිබ්බුතං

අප්පතිට්ඨං අනායූහං – තිණ්ණං ලෝකේ විසත්තිකං“

”නොපිහිටමින්ද වෑයම් නොකරමින්ද ලෝකයෙහි තෘෂ්ණාව තරණය කළ කෙළෙස් නැසූ බ්‍රාහ්මණයෙකු බොහෝ කලෙකින් දකිමි” යනු එහි අදහසයි.

දීර්ඝායුෂ්ක වූ මෙම දෙවියා කාශ්‍යප බුදුරජාණන් වහන්සේව දැක ඇත. කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණයේ පටන් මේ වනතුරු වෙනත් බුදු කෙනෙක් දැක නැත. එනිසා කෙළෙස් නැසූ බ්‍රාහ්මණයෙකු කලෙකින් දකිමි යැයි ප්‍රකාශ කළේය. ඒ ගාථාව තථාගතයන් වහන්සේ විසින් අනුදක්නා ලද සේක. එය තේරුම්ගත් දෙවියා භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණා කොට අතුරුදහන් විය.

කෙලෙස් වලට අමතරව භවගාමී කුසල්ද සසර ගමනට හේතුවන බැවින් කුසල් සිදු කිරීම ද නතර කළයුතු යයි මෙම දහම් පරියාය වරදවා නොගත යුතුයි. භවගාමී කුසලයන් නිසා නැවත භවයක් ලැබෙන අතර ඉන් නැවත නැවතත් සත්වයා දුකට පත්වේ. එමනිසා සිදු කරන කුසල ධර්මයන් සසර ගමන නතර කිරීමට උපකාරී වන ආකාරයට කිරීමට උත්සාහවත් විය යුතුය. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කොට සියලූ ඕඝයන් තරණය කොට නිර්වාණය සාක්ෂාත් කරගත හැක.

දේවතා සංයුක්තය ඇසුරිණි.

සම්පාදක පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි

Na Uyane Ariyadhamma Thero


 

1.48 Sañjaya Theragatha

Sunday, January 10, 2021

බුද්ධානුස්සති භාවනාව – 22 කොටස

 බුද්ධානුස්සති භාවනාව – 22 කොටස

Dec 17, 2020 | සිත නිවන භාවනා | 0

 



52. බුද්ධානුස්සති භාවනාව – 22 කොටස

බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘ලොකවිදු’ ගුණය පිළිබඳ තවත් කොටසක් මෙම ලිපියෙන් දැක්වේ.


ලොකවිදු ගුණය ඉතිරිය

අවකාශ ලෝකය, සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය යන ත්‍රිවිධ ලෝකයන් ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරෝධය වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද නිරවශේෂයෙන් අවබෝධ කළ බැවින් තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක. ඒ මේ ලෝකය තිස් එක් භූමි තලයකින් සමන්විත වන අතර එහි මිනිස් ලොව, සදිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සහ අපාය භූමි අතරින් අට මහා නරකයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ දේශනය පරිදි විස්තර කරන ලදී. ඒ අට මහා නිරයයන්ට අමතරව කුඩා ඔසුපත් නරක යනුවෙන් තවත් දුගති භූමි කොටසක් ඇත. ඒ පිළිබඳව මෙම ලිපියෙන් දැක්වේ.


කුඩා නරක/ඔසුපත් නරක

එක් එක් මහා නිරයට පිටින් සතර පැත්තේ එක් එක් දිශාවේ ඒ මහා නිරයට පිරිවර වශයෙන් කුඩා නරක සතර (4) බැගින් ඇත්තේය. ඒවා උස්සද නරක හෙවත් ඔසුපත් නරක නම් වේ. ඒ අනුව එක් මහා නිරයකට සතර පැත්තේ සතර බැගින් ඔසුපත් නරක දහසයක් (16) ඇත. අටමහා නිරයට ම ඔසුපත් නරක 128ක් ඇත. ගූථනරකය, කුක්කුලනරකය, සිම්බලිවනය, අසිපත්තවනය, වේතරණී නදිය, ලෝහකුම්භි නරකය ආදි නම් වලින් හැඳින්වෙන්නේ මෙම නරකයන් වේ.


දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ දීර්ඝ කාලයක් ගතවූ පසු යම් කලෙක ඒ අවීචි මහානිරයේ පෙරදිග දිශාවේ දොර විවරවේ. නිරයේ පැසෙන සත්වයා ඒ දැක ඒ දොරටුවෙන් පිටතට නික්මිමට දිව යයි. එසේ දිව යනවිට ඔහුගේ සිවිය ද, සම ද, මස ද, නහාරු ද, ඇට ද, ඇටමිදුලු ද පිළිස්සේ. එයින් මහත් දුකකට පත් වේ. එහෙත් තමන්ගේ කර්මවිපාකය අවසන් නොවූ බැවින් මරණයට පත් නොවේ.

එසේ දිවගොස් පෙරදිග දොරටුවෙන් ඉවතට යන ඒ නිරිසත්වයා ගූථනරකය නම් කුඩා නිරයට වැටේ. එහි හිදිකටු තුඩු බඳු තුඩ සහිත ප්‍රාණීන් ඇති අතර ඔවුහු සිවිය, සම්, මස්, නරහ, ඇට සිඳ පිවිස ඇටමිදුලු කා දමයි. එයින් මහත් දුකකට පත්වේ. එහෙත් අකුසල විපාකය අවසන් වනතෙක් මරණයට පත් නොවේ.


ඒ ගූථනිරයේ සිටින සත්වයා එයින් ඊට අනතුරුව ඇති කුක්කුල නිරයේ වැටේ. එහි දී ද නොයෙක් දුක්විඳී. ඒ කුක්කුල නිරයට අනතුරුව සිම්බලීවනය නම් නිරය ඇති අතර එහි සියක් යොදුන් උස ඇති, සොළොස් අඟුල් කටු ඇති, ගිනිගෙන දැවෙන මහත් හිඹුල්ගස් වෙති. ඔහු ඒ හිඹුල්ගස්හි නංවනු ලැබෙයි. එයින් ද මහත් දුකකට පත්වේ. ඒ සිම්බලීවනයට අනතුරුව අසිපත්වනය වේ. ඔහු එහි පිවිසෙයි. ඒ අසිපත් වනයේ ඇති අසිපත් වාතයෙන් සැලී නිරිසත්වයාගේ අත් ද, පා ද, කන්, නාසාදිය ද සිඳියි. එයින් ද මහත් දුකකට පත්වේ. ඒ අසිපත්වනයට අනතුරුව වේතරණී නම් තඹ ලෝදිය නදියක් වෙයි. ඔහු එහි වැටී ඉහළට ද පහළට ද ගසාගෙන යයි. එයින් ද මහත් දුකකට පත්වේ. එහෙත් කර්මවිපාකය අවසන් නොවන්නේ නම් මරණයට පත් නොවේ.


අනතුරුව නිරිපල්ලෝ බිලීකොකු වලින් ඒ සත්වයන් උඩට ගෙන ‘කුමක් කැමති වේ දැ’යි විමසා පිපාසා බව දැන්වූ කල්හි රත් වූ යකඩ අඩු වලින් මුව විවර කොට ලොහොදිය පොවති. මෙසේ දුක් විඳි නමුදු කර්මවිපාකය ගෙවී යන තාක් මරණයට පත් නොවේ. අවසන් නොවන දුක් සමුදායක් පමණක් ම පවතී.


තව ද මහාපදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නිතර විවරව පවතින්නා වූ යටින් ද පිහිටීමක් නැත්තා වූ ඇස් අඳුරු කරවන ගණ අඳුරක් ඇත්තා වූ ලෝකාන්තරික නිරය නම් නිරයක් ඇති බව දේශනා කරන සේක. ඒ පිළිබඳ අර්ථකථාවේ සඳහන් වන්නේ සක්වල තුනක් අතරෙහි එක් ලෝකාන්තරික නිරයක් ඇති බවයි. එය කරත්ත රොද තුනක් එකිනෙක හපා තැබූ විට මැද ඇති වන අවකාශය වැනි වේ. එය ප්‍රමාණයෙන් යොදුන් අටදහසක් වේ. මව්පියන්ට ධාර්මික ශ්‍රමණබ්‍රාහ්මණයන්ට අපරාධ කිරීම්, දිනපතා ප්‍රාණඝාතාදිය කිරීම් ආදි ඉතා දරුණු වූ අකුසල කර්ම කළවුන් මෙහි උපදින බව සඳහන් වේ. ඔවුන්ගේ සිරුර ගවු තුනක් පමණ වේ. වවුලන්ගේ මෙන් දිගු නිය ඇති අතර ඔවුහු වවුලන් මෙන් නිය වලින් සක්වල ගලේ එල්ලී සිටිති. යම් හෙයකින් තල්ලු වී අනෙක් සත්වයෙක් ළඟට ගිය විට ඔහුට ආහාරයක් ලැබුණේ යැයි අල්ලාගැනීමට තැත් කරන අතර එයින් පෙරළී ලෝකය දරන්නා වූ දියෙහි වැටේ. සුළඟ හමන විට ද එල්ලී සිටිය නොහැකිව ඇදගෙන දියෙහි වැටේ. දියෙහි වැටෙනවාත් සමඟ ම ඒ දිය අතිශය ශීතල වූ බැවින් ලුණු දියෙහි පිටිපිඩක් දියවී යන්නා සේ දියවී යයි.


මෙසේ ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනය අතිශය විසිතුරු ය. සාමාන්‍ය පුද්ගලයන්ට දැකිය නොහැකි වූ සමස්ථ ලෝකය පිළිබඳ ඒ භාග්‍යවතුන් වහන්සේ නිරවශේෂයෙන් අවබෝධ කරගෙන වදාළ සේක. එහෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක.

ලෝකයට අයත් සතර අපාය භූමි අතරින් නරකය පිළිබඳව පමණක් මෙහි විස්තර කරන ලදී. තිරිසන් අපාය අප කා හටත් ප්‍රකටව පවතී.

ප්‍රේත අපාය පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් දේශනා කර ඇත. ප්‍රේතයන් ජාති වශයෙන් දොළොස්වැදෑරුම් බව සඳහන් වේ. එනම්, වන්තාසක, කුණපඛාදක, ගූථඛාදක, අග්ගිජාලමුඛ, සුචිමුඛ, තණ්හට්ටිත, සුනිජ්ඣාමක, සත්‍ථඩ්ග, පර්වතඩ්ග, අජගරඩ්ග, වේමානික, මහිද්ධික යනුවෙනි. එසේ ම අර්ථකථාවන්හි පරදත්තූපජීවී, ඛුප්පිපාසික, නිජ්ඣාමතණ්හික, කාලකඤ්ජික යනුවෙන් ප්‍රේතයන් ප්‍රධාන කොටස් හතරක් බව සඳහන් වේ.


අසුර අපායෙහි සිටින සත්ත්වයන් ලෙස හැඳින්වෙන්නේ ප්‍රේත අසුරයන් වේ. අසුර ශබ්දය සත්ත්වකොට්ඨාශ කිහිපයකට ව්‍යවහාර වන අතර ප්‍රධාන වශයෙන් දේව අසුර, ප්‍රේත අසුර යැයි දෙකොටසකි. එයින් ප්‍රේත අසුරයන් විනිපාතික, කාලකඤ්ජික යැයි දෙකොටසකි. එසේ ම ඇතැම් පොතක දේව අසුර, විනිපාතික අසුර, වේමානික අසුර, ලෝකන්තරික අසුර, ප්‍රේත අසුර යනුවෙන් අසුරයන් ප්‍රධාන කොටස් පසක් ලෙස ද සඳහන් වේ.

මේ තිස්එක් තලයේ සහ ඉන් එපිට වාසය කරන සියලුම සත්වයන් සත්වලෝකය ලෙස හැඳින්වේ. එම සත්වලෝකය සප්ත විඥානස්ථිතියක් ලෙස, නව සත්තාවාසයක් ලෙස, ලෝක නවයක් ලෙස, පඤ්චස්කන්‍ධයක් ලෙස, දොළොස් ආයතනයක් ලෙස, ධාතු දහ අටක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.


මෙසේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ලෝකයන් ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක.” යැයි ලෝකවිදූ ගුණය වැඩිය යුතු වේ.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Na Uyane Ariyadhamma Thero



 

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...