Sunday, January 10, 2021

බුද්ධානුස්සති භාවනාව – 22 කොටස

 බුද්ධානුස්සති භාවනාව – 22 කොටස

Dec 17, 2020 | සිත නිවන භාවනා | 0

 



52. බුද්ධානුස්සති භාවනාව – 22 කොටස

බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘ලොකවිදු’ ගුණය පිළිබඳ තවත් කොටසක් මෙම ලිපියෙන් දැක්වේ.


ලොකවිදු ගුණය ඉතිරිය

අවකාශ ලෝකය, සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය යන ත්‍රිවිධ ලෝකයන් ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරෝධය වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද නිරවශේෂයෙන් අවබෝධ කළ බැවින් තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක. ඒ මේ ලෝකය තිස් එක් භූමි තලයකින් සමන්විත වන අතර එහි මිනිස් ලොව, සදිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සහ අපාය භූමි අතරින් අට මහා නරකයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ දේශනය පරිදි විස්තර කරන ලදී. ඒ අට මහා නිරයයන්ට අමතරව කුඩා ඔසුපත් නරක යනුවෙන් තවත් දුගති භූමි කොටසක් ඇත. ඒ පිළිබඳව මෙම ලිපියෙන් දැක්වේ.


කුඩා නරක/ඔසුපත් නරක

එක් එක් මහා නිරයට පිටින් සතර පැත්තේ එක් එක් දිශාවේ ඒ මහා නිරයට පිරිවර වශයෙන් කුඩා නරක සතර (4) බැගින් ඇත්තේය. ඒවා උස්සද නරක හෙවත් ඔසුපත් නරක නම් වේ. ඒ අනුව එක් මහා නිරයකට සතර පැත්තේ සතර බැගින් ඔසුපත් නරක දහසයක් (16) ඇත. අටමහා නිරයට ම ඔසුපත් නරක 128ක් ඇත. ගූථනරකය, කුක්කුලනරකය, සිම්බලිවනය, අසිපත්තවනය, වේතරණී නදිය, ලෝහකුම්භි නරකය ආදි නම් වලින් හැඳින්වෙන්නේ මෙම නරකයන් වේ.


දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ දීර්ඝ කාලයක් ගතවූ පසු යම් කලෙක ඒ අවීචි මහානිරයේ පෙරදිග දිශාවේ දොර විවරවේ. නිරයේ පැසෙන සත්වයා ඒ දැක ඒ දොරටුවෙන් පිටතට නික්මිමට දිව යයි. එසේ දිව යනවිට ඔහුගේ සිවිය ද, සම ද, මස ද, නහාරු ද, ඇට ද, ඇටමිදුලු ද පිළිස්සේ. එයින් මහත් දුකකට පත් වේ. එහෙත් තමන්ගේ කර්මවිපාකය අවසන් නොවූ බැවින් මරණයට පත් නොවේ.

එසේ දිවගොස් පෙරදිග දොරටුවෙන් ඉවතට යන ඒ නිරිසත්වයා ගූථනරකය නම් කුඩා නිරයට වැටේ. එහි හිදිකටු තුඩු බඳු තුඩ සහිත ප්‍රාණීන් ඇති අතර ඔවුහු සිවිය, සම්, මස්, නරහ, ඇට සිඳ පිවිස ඇටමිදුලු කා දමයි. එයින් මහත් දුකකට පත්වේ. එහෙත් අකුසල විපාකය අවසන් වනතෙක් මරණයට පත් නොවේ.


ඒ ගූථනිරයේ සිටින සත්වයා එයින් ඊට අනතුරුව ඇති කුක්කුල නිරයේ වැටේ. එහි දී ද නොයෙක් දුක්විඳී. ඒ කුක්කුල නිරයට අනතුරුව සිම්බලීවනය නම් නිරය ඇති අතර එහි සියක් යොදුන් උස ඇති, සොළොස් අඟුල් කටු ඇති, ගිනිගෙන දැවෙන මහත් හිඹුල්ගස් වෙති. ඔහු ඒ හිඹුල්ගස්හි නංවනු ලැබෙයි. එයින් ද මහත් දුකකට පත්වේ. ඒ සිම්බලීවනයට අනතුරුව අසිපත්වනය වේ. ඔහු එහි පිවිසෙයි. ඒ අසිපත් වනයේ ඇති අසිපත් වාතයෙන් සැලී නිරිසත්වයාගේ අත් ද, පා ද, කන්, නාසාදිය ද සිඳියි. එයින් ද මහත් දුකකට පත්වේ. ඒ අසිපත්වනයට අනතුරුව වේතරණී නම් තඹ ලෝදිය නදියක් වෙයි. ඔහු එහි වැටී ඉහළට ද පහළට ද ගසාගෙන යයි. එයින් ද මහත් දුකකට පත්වේ. එහෙත් කර්මවිපාකය අවසන් නොවන්නේ නම් මරණයට පත් නොවේ.


අනතුරුව නිරිපල්ලෝ බිලීකොකු වලින් ඒ සත්වයන් උඩට ගෙන ‘කුමක් කැමති වේ දැ’යි විමසා පිපාසා බව දැන්වූ කල්හි රත් වූ යකඩ අඩු වලින් මුව විවර කොට ලොහොදිය පොවති. මෙසේ දුක් විඳි නමුදු කර්මවිපාකය ගෙවී යන තාක් මරණයට පත් නොවේ. අවසන් නොවන දුක් සමුදායක් පමණක් ම පවතී.


තව ද මහාපදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නිතර විවරව පවතින්නා වූ යටින් ද පිහිටීමක් නැත්තා වූ ඇස් අඳුරු කරවන ගණ අඳුරක් ඇත්තා වූ ලෝකාන්තරික නිරය නම් නිරයක් ඇති බව දේශනා කරන සේක. ඒ පිළිබඳ අර්ථකථාවේ සඳහන් වන්නේ සක්වල තුනක් අතරෙහි එක් ලෝකාන්තරික නිරයක් ඇති බවයි. එය කරත්ත රොද තුනක් එකිනෙක හපා තැබූ විට මැද ඇති වන අවකාශය වැනි වේ. එය ප්‍රමාණයෙන් යොදුන් අටදහසක් වේ. මව්පියන්ට ධාර්මික ශ්‍රමණබ්‍රාහ්මණයන්ට අපරාධ කිරීම්, දිනපතා ප්‍රාණඝාතාදිය කිරීම් ආදි ඉතා දරුණු වූ අකුසල කර්ම කළවුන් මෙහි උපදින බව සඳහන් වේ. ඔවුන්ගේ සිරුර ගවු තුනක් පමණ වේ. වවුලන්ගේ මෙන් දිගු නිය ඇති අතර ඔවුහු වවුලන් මෙන් නිය වලින් සක්වල ගලේ එල්ලී සිටිති. යම් හෙයකින් තල්ලු වී අනෙක් සත්වයෙක් ළඟට ගිය විට ඔහුට ආහාරයක් ලැබුණේ යැයි අල්ලාගැනීමට තැත් කරන අතර එයින් පෙරළී ලෝකය දරන්නා වූ දියෙහි වැටේ. සුළඟ හමන විට ද එල්ලී සිටිය නොහැකිව ඇදගෙන දියෙහි වැටේ. දියෙහි වැටෙනවාත් සමඟ ම ඒ දිය අතිශය ශීතල වූ බැවින් ලුණු දියෙහි පිටිපිඩක් දියවී යන්නා සේ දියවී යයි.


මෙසේ ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනය අතිශය විසිතුරු ය. සාමාන්‍ය පුද්ගලයන්ට දැකිය නොහැකි වූ සමස්ථ ලෝකය පිළිබඳ ඒ භාග්‍යවතුන් වහන්සේ නිරවශේෂයෙන් අවබෝධ කරගෙන වදාළ සේක. එහෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක.

ලෝකයට අයත් සතර අපාය භූමි අතරින් නරකය පිළිබඳව පමණක් මෙහි විස්තර කරන ලදී. තිරිසන් අපාය අප කා හටත් ප්‍රකටව පවතී.

ප්‍රේත අපාය පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් දේශනා කර ඇත. ප්‍රේතයන් ජාති වශයෙන් දොළොස්වැදෑරුම් බව සඳහන් වේ. එනම්, වන්තාසක, කුණපඛාදක, ගූථඛාදක, අග්ගිජාලමුඛ, සුචිමුඛ, තණ්හට්ටිත, සුනිජ්ඣාමක, සත්‍ථඩ්ග, පර්වතඩ්ග, අජගරඩ්ග, වේමානික, මහිද්ධික යනුවෙනි. එසේ ම අර්ථකථාවන්හි පරදත්තූපජීවී, ඛුප්පිපාසික, නිජ්ඣාමතණ්හික, කාලකඤ්ජික යනුවෙන් ප්‍රේතයන් ප්‍රධාන කොටස් හතරක් බව සඳහන් වේ.


අසුර අපායෙහි සිටින සත්ත්වයන් ලෙස හැඳින්වෙන්නේ ප්‍රේත අසුරයන් වේ. අසුර ශබ්දය සත්ත්වකොට්ඨාශ කිහිපයකට ව්‍යවහාර වන අතර ප්‍රධාන වශයෙන් දේව අසුර, ප්‍රේත අසුර යැයි දෙකොටසකි. එයින් ප්‍රේත අසුරයන් විනිපාතික, කාලකඤ්ජික යැයි දෙකොටසකි. එසේ ම ඇතැම් පොතක දේව අසුර, විනිපාතික අසුර, වේමානික අසුර, ලෝකන්තරික අසුර, ප්‍රේත අසුර යනුවෙන් අසුරයන් ප්‍රධාන කොටස් පසක් ලෙස ද සඳහන් වේ.

මේ තිස්එක් තලයේ සහ ඉන් එපිට වාසය කරන සියලුම සත්වයන් සත්වලෝකය ලෙස හැඳින්වේ. එම සත්වලෝකය සප්ත විඥානස්ථිතියක් ලෙස, නව සත්තාවාසයක් ලෙස, ලෝක නවයක් ලෙස, පඤ්චස්කන්‍ධයක් ලෙස, දොළොස් ආයතනයක් ලෙස, ධාතු දහ අටක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.


මෙසේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ලෝකයන් ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක.” යැයි ලෝකවිදූ ගුණය වැඩිය යුතු වේ.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Na Uyane Ariyadhamma Thero



 

Saturday, January 9, 2021

1.47 Ujjaya Theragatha

බුද්ධානුස්සති භාවනාව – 21 කොටස

 

බුද්ධානුස්සති භාවනාව – 21 කොටස

51. බුද්ධානුස්සති භාවනාව – 21 කොටස

බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘ලොකවිදු’ ගුණය පිළිබඳ තවත් කොටසක් මෙම ලිපියෙන් දැක්වේ.
ලොකවිදු ගුණය ඉතිරිය
අට මහා නරකයන් අතරින් සඤ්ජීවය හා කාලසූත්‍රය ඉහත ලිපියෙන් විස්තර කරන ලදී.
3. සඩ්ඝාතය
මෙම නරකයෙහි උපදින සත්වයෝ ගිනිගෙන දැවෙන නව යොදුන් යකඩ පොළොවෙහි කටිය දක්වා එරී නිශ්චලව සිටිති. අනතුරුව පෙරදිගින් අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවමින් යකඩ පර්වත පෙරළෙමින් විත් ඒ නිරිසතුන් අඹරමින් බටහිර දෙසට ගමන්කරයි. බටහිරින් ද එසේම පර්වතයක් පෙරළෙමින් විත් නිරිසත්වයන් අඹරමින් පෙරදිගට ගමන් කරයි. ඒ පර්වත දෙක එකිනෙකට හමු වී ඒ ඒ තැන සිටින සත්වයන් උක් යන්ත්‍රයකින් උක්දඬු අඹරන්නාක් මෙන් අඹරවයි. මෙය කාළසූත්‍රයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ.
ඇත්, අස්, ගව ආදී සත්වයන්ට වද දෙමින් වැඩ ගත්තෝ ද සතුන් මැරුවෝ ද මෙහි උපත ලබා නොයෙක් වර්ෂ සියදහස්ගණන් දුක් විඳිති. යාම දෙවියන්ගේ මුළු ආයු කාලය සඩ්ඝාතයට එක් රෑ දවාලකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර දෙදහසක් සඩ්ඝාතයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 103,680,000,000,000ක් සඩ්ඝාතයේ ආයුෂ වේ.
4. රෞරවය
නව වණමුඛයන්ගෙන් සත්වයන්ගේ සිරුරු තුළට පිවිස ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇති නරකය රෞරවය නම් වේ. මෙය ධූමරෞරවය යැයි ද හැඳින්වේ. ඇතුළත පිටත දෙකම දවනු ලැබීමෙන් හඬන නිරිසතුන්ගේ හඬ නිරතුරුව ඇසෙන බැවින් එය රෞරවය නම්වේ. මෙය සඩ්ඝාතයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ.
තුසිත දෙව්යන්ගේ මුළු ආයු ප්‍රමාණය රෞරවයට එක් රෑ දවාලකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර සාරදහසක් රෞරවයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 829,440,000,000,000ක් රෞරවයේ ආයුෂ වේ.
5. මහාරෞරවය
මෙහි කල්පයක් තිස්සේ දැල්වෙන ගිනිදැල් වලින් යුතු වේ. උපදින සතුන්ගේ නව වණමුඛයන්ගෙන් ඒ ගිනිදැල් පිවිස සිරුර දවන අතර ඒ වේදනාවෙන් හඬන නිරිසතුන්ගේ හඬ නිරතුරුව ඇසෙන බැවින් රෞරවය නම්වේ. මෙය ජාල රෞරවය ලෙස ද හැඳින්වෙන අතර සංයුත්තනිකාය අර්ථකථාවේ ජාලරෞරවය යනු අවීචියටම නමක්යැයි ද දැක්වේ. රෞරවයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ.
ආර්යයන් වහන්සේලාට, ධර්මයට ගරිහා කරමින් හැසිරෙන අනුවණයන් මෙහි උපදින බව සංයුත්තනිකායේ සඳහන් වේ. එසේ ම තුණුරුවන්ට හා මාපියන්ට අයත් දේ පැහැරගත් අයද මෙහි උපදින බව පැවසේ. නිම්මාණරතී දෙව්යන්ගේ මුළු ආයු ප්‍රමාණය මහාරෞරවයට එක් රෑ දවාලකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර අටදහසක් මහාරෞරවයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 6,635,520,000,000,000ක් මහාරෞරවයේ ආයුෂ වේ.
6. තාපනය
මෙහි උපදින සත්වයන් තල් කඳක් පමණ වූ ගිනිගෙන දැවෙන යහුල්වල හිඳුවනු ලැබ යටින් දැවෙන පොළොවෙන් නැගෙන ගිනි දැල් වලින් ද ගිනිගත් යහුලෙන් නැගෙන ගිනිදැල් වලින් ද දැවෙමින් සිටී. මහාරෞරවයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ.
සංකිච්ච ජාතකයේ සඳහන් වන අන්දමට අධර්මයෙහි පිහිටා රට වනසන අය ද, ජනපද තවන්නන් (වෙහෙසවන්නන්) ද තාපන නිරයේ පැසේ. එසේ ම සතුන් පණපිටින් දවා මැරුවෝ ද, අනුන්ගේ ගෙවල් ගිනි තැබුවෝ ද මෙහි උපදින බව සඳහන් වේ. පරනිම්මිතවසවර්තියේ මුළු ආයු ප්‍රමාණය තාපනයට එක් රෑ දවාලකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර සොළොස්දහසක් තාපනයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 53,084,160,000,000,000ක් තාපනයේ ආයුෂ වේ.
7. ප්‍රතාපනය /මහාතාපනය
මෙහි උපදින සත්වයන් ගිනිගෙන දැල්වෙන ආවුධවලින් පහර දී ගිනිගෙන දැල්වෙන යකඩ පර්වතයක නංවනු ලැබෙති. පර්වත මස්තකයෙහි දැවෙමින් සිටින ඔවුන්ගේ කර්මය හේතුවෙන් වාතය හමාවිත් වැදී එහි සිටිය නොහැකිව, හිස පහළට සිටින සේ ඇද වැටෙති. එවිට පොළොවෙන් ගිනිගෙන දැවෙන යවුල් පැන නැගී ඒ යවුල්හි වැදී සිරුර විනිවිද ගොස් දැවෙමින් පැසෙති. මෙසේ බොහෝ සෙයින් පැසෙන බැවින් මහාතාපනය නම් වේ. තාපනයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ.
බුදුන් නැත, දහම් නැත, සඩ්ඝරත්නය නැත, මරණින් මතු උපතක් නැත යනාදි මිථ්‍යා දෘෂ්ටි ගෙන අකුසලකර්ම කළවුන් මෙහි උපදින බව පැවසේ. අන්තඃකල්පයකින් අඩක් මහාතාපනයේ ආයුෂ වේ.

8. අවීචිය
ගිනිගෙන දැවෙමින් පැසෙන සත්වයන්ගේ දුකෙහි අතරක්, හිඩැසක් නැති අපාය අවීචිය නම් වේ. මෙහි එක් බිත්තියෙන් නැගෙන ගිනිදැල් අනෙක්පස බිත්තියේ හැපී බිත්තිය විනිවිද ඉදිරියට යොදුන් සතක් දක්වා ගමන් කරයි. පොළොවෙන් නැගෙන ගිනිදැල් උඩ පියන්පත දක්වා නගී. පියන්පතින් නික්මෙන ගිනිදැල් පොළොවේ හැපේ. මෙසේ ගිනිදැල් වලින් අතරක් නැති අතර එහි උපදින සත්වයෝ නිතරම සදිසාවෙන් නැගෙන ගිනිදැල් වලින් වෙළී දැවෙමින් සිටී. එහි යොදුන් සියයක් ඇතුළත නිරතුරුව සත්වයන්ගෙන් පිරී පවතී. සිව් ඉරියව්වලින් ම පැසෙන සත්වයන්ගේ ද අතරක් නැත. මහා ප්‍රතාපනයෙන් යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ.
පඤ්චානන්තර්ය කර්ම කළවුන් ද, බෝසතුන් නැසුවවුන් ද, ගුණවතුන් නැසුවවුන් ද, චෛත්‍ය බින්දවුන් ද, පිළිම බින්දවුන් ද, බෝරුක් සින්දවුන් ද, ත්‍රිවිධරත්නයට අයත් වස්තූන් පැහැරගත් අය ද, මිත්‍රද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළවුන් ද, මිසදිටු ගත්තවුන් ද මෙහි උපදින බව සඳහන් වේ. එක් අන්තඃකල්පයක් ආයුෂ වේ.
මෙම අපායයන් හි ආයු පරිච්ඡේදයන් මෙසේ දක්වන ලද නමුදු අදාළ සත්වයාගේ කර්ම ශක්තිය ගෙවී ගියේ නම් හෝ වෙනත් පුණ්‍ය බලයක් එල්බගෙන සිටියේ නම් අතරෙහි ද චුත වන බව සඳහන් වේ. එබැවින් විභඩ්ග අර්ථකථාවේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ විභඩ්ගපාළියෙහි සතර අපායගත සත්වයන්ගේ ආයු පරිච්ඡේදයක් දේශනා නොකළ බවයි.

“ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ලෝකයන් ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක.” යැයි ලෝකවිදූ ගුණය වැඩිය යුතු වේ.

මතු සම්බන්ධයි.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Na Uyane Ariyadhamma Thero


 

Thursday, January 7, 2021

Na Uyane Ariyadhamma Thero

 


බුද්ධානුස්සති භාවනාව – 20 කොටස

 

50. බුද්ධානුස්සති භාවනාව – 20 කොටස

50. බුද්ධානුස්සති භාවනාව – 20 කොටස

බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘ලොකවිදු’ ගුණය පිළිබඳ තවත් කොටසක් මෙම ලිපියෙන් දැක්වේ.

ලොකවිදු ගුණය ඉතිරිය
පංච සුද්ධාවාස
කාමරාග, පටිඝ නැති අනාගාමී සහ අර්හත් ආර්යයන් වහන්සේලා ‘සුද්ධ’ ලෙස හැඳින්වේ. ඔවුන්ගේ ආවාස භූමිය සුද්ධාවාස ලෙස හැඳින්වේ. ඒ අනුව මෙහි උපදින්නේ අනාගාමී ආර්යයන් වහන්සේලා වන අතර එහි දී අර්හත්වයට පත් රහතන් වහන්සේලා ද වාසය කරති. වේහප්ඵලය සහ අසංඥ සත්වයන්ට ඉහළින් මෙම බඹලොව පස පිහිටා ඇත.

1. අවිහය (12)
තමාගේ සම්පත්තිය කෙරෙන් නොපිරිහෙන අර්ථයෙන් මෙම බ්‍රහ්මයන් අවිහ නම් වෙති. ඔවුන්ගේ වාස භූමිය ද අවිහය නම්වේ. සද්ධින්‍ද්‍රිය අධික ආර්යයන් වහන්සේලා මෙහි උපත ලබති. මහාකල්ප 1000 ක් ආයුෂ වේ.

2. අතප්පය (13)
කිසිදු සත්වයෙක් නො තවන අර්ථයෙන් මේ බ්‍රහ්මයෝ අතප්ප නම් වෙති. ඔවුන්ගේ වාස භූමිය ද අතප්පය නම් වේ. සතින්‍ද්‍රිය අධික වී නම් මෙහි උපත ලබති. ආයුෂ මහාකල්ප 2000ක් වේ.

3. සුදස්සය (14)
සොඳුරු වූ, දැකුම්කළු වූ, විශිෂ්ට රූ ඇත්තා වූ, ප්‍රසාදජනක වූ අර්ථයෙන් මෙම බ්‍රහ්මයන් සුදස්ස නම් වෙති. ඔවුන්ගේ භූමිය සුදස්සය නම් වේ. විරියින්‍ද්‍රිය අධික පුද්ගලයන් මෙහි උපදී. මෙහි මහාකල්ප 4000 ක් ආයුෂ වේ.

4. සුදස්සිය (15)
මැනවින් දක්නා හෙයින් හෝ සොඳුරු දර්ශනයක් ඇති නිසාවෙන් මෙම බ්‍රහ්මයන් සුදස්සී නම් වෙති. ඔවුන්ගේ භූමිය ද සුදස්සිය නම් වේ. සමාධින්‍ද්‍රිය අධිකනම් මෙහි උපත ලබයි. මහාකල්ප 8000 ක් ආයුෂ වේ.

5. අකනිට්ඨය (16)
සියලුම ගුණධර්මයන්ගෙන් ද, භව සම්පත්තියෙන් ද ජේෂ්ඨ බැවින්, මේ බඹ ලොවෙහි කනිෂ්ඨයන් නැති අර්ථයෙන් අකනිට්ඨ නම් වේ. ඒ අකනිට්ඨ බ්‍රහ්මයන්ගේ භූමිය ද මේ නමින් හැඳින්වේ. ප්‍රඥා ඉන්‍ද්‍රිය අධික වී නම් මෙහි උපත ලබයි. මහා කල්ප 16000 ක් ආයුෂ වේ.
බුදුවරයෝ දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පහළ නොවී නම් සුද්ධාවාස බඹතල සිස් වේ. අකනිටා බඹතලයේ උපරිම ආයුෂ මහාකල්ප 16000 ක් බැවින් මිනිස් ලොව කල්ප 16000 කින් බුදුවරයෙක් පහළ නොවූයේ නම් සුද්ධාවාස සියල්ල සිස් වේ.

අරූපාවචර බ්‍රහ්මලෝක
අරූපාවචර ධ්‍යාන සමාපත්තීන් සතරක් ඇති අතර ඒ එකිනෙකක් වඩා උපත ලබන භූමි සතරක් පිළිබඳව සඳහන් වේ. මේවායෙහි රූපස්කන්‍ධ පහළ නොවන අතර නාමස්කන්‍ධ පමණක් පහළ වේ. සමහර කෙනෙක් මෙම බ්‍රහ්මලෝකයන්හි සියුම් රූපයක් ඇති බව පවසති. එය ඔවුන්ගේ මුලාවකි. රූපයක් නොමැතිව නාමස්කන්‍ධ සතර පමණක් පහළ වන බැවින් මෙම අරූප භූමි ‘චතුවෝකාර භව’ ලෙස ද හැඳින්වේ.

1. ආකාසානඤ්චායතනය
ආකාසානඤ්චායතන සමාපත්තිය උපදවා නොපිරිහුණු ධ්‍යානයෙන් යුත් පුද්ගලයා ඒ ආකාසානඤ්චායතන විපාක චිත්තයෙන් මෙහි ප්‍රතිසන්‍ධි ගනී. අනන්ත වූ ආකාශප්‍රඥප්තිය අරමුණු කොට ‘අනන්තො ආකාසො’ යනුවෙන් භාවනා වඩා ආකාසානඤ්චායතනය උපදවයි. මහාකල්ප 20,000 ක් ආයුෂ වේ.

2. විඤ්ඤාණඤ්චායතනය
ආකාසානඤ්චායතන චිත්තයේ අනන්ත බව අරමුණු කොට ‘අනන්තං විඤ්ඤාණං’ යැයි භාවනා වඩා විඤ්ඤාණඤ්චායතනය උපදවන අතර ඒ විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නොපිරිහුණු පුද්ගලයා ඒ විපාක සිතෙන් මෙහි උපදී. මහාකල්ප 40,000 ක් ආයුෂ වේ.

3. ආකිඤ්චඤ්ඤායතනය
කිසිවක් නොමැති බව හෙවත් නාස්තිප්‍රඥප්තිය අරමුණු කර ‘නත්‍ථි කිඤ්චි’ යැයි වැඩීමෙන් ආකිඤ්චඤ්ඤායතනය උපදවන අතර ඉන් නොපිරිහී කලුරිය කර මෙහි උපත ලබයි. මහාකල්ප 60,000 ක් ආයුෂ වේ.

4. නේවසඤ්ඤානාසඤ්ඤායතනය
ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන චිත්තයේ ශාන්ත ස්වභාවය අරමුණු කර ‘සන්තමේතං පණිතමේතං’ කියා වැඩීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවැදිය හැකි අතර ඉන් නොපිරිහී කලුරිය කර නේවසඤ්ඤානාසඤ්ඤායතනයේ උපත ලබයි. මෙහි මහාකල්ප 84,000 ක් ආයුෂ වේ.
මෙසේ නොයෙක් ආකාරයෙන් කුසලධර්මයන් රැස්කොට සත්වයන්ගේ උත්පත්තිය සිදු වන සුගති ලෝක පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ ඒ කවරාකාරයේ සුගතියක උපත ලැබුවේ වුව ද නැවතත් දුගතිගාමී විය හැකි බවයි.

දුගති ලෝක
නොමනා ගති හෙවත් සත්වයන් මරණින් මතු උපත ලබන නොමනා ස්ථාන දුගති ලෙස හැඳින්වේ. අපාය ලෙස ද හැඳින්වේ. සත්වයන් මරණින් මතු ස්වකීය කිසියම් අකුසල කර්මයක විපාක වශයෙන් උපත ලබන, දුක්ඛිත ජීවිත ගතකරන සත්වයන් වාසයකරන භූමි මින් දැක්වේ.
නිරයගත, තිරිසන්ගත, ප්‍රේත විෂයික, අසුරනිකායික සත්වයන් මෙසේ අපාය සත්වයන් ලෙස හැඳින්වේ. අකුශල කර්මයක විපාක වශයෙන් ‘අහේතුක අකුශලවිපාක සන්තීරණ’ චිත්තයෙන් අපාය උත්පත්තිය සිදු වේ.
මේ අනුව අපායෝත්පත්ති සතරකි (4)

1. නිරය 2. තිරිසන් අපාය
3. ප්‍රේත අපාය 4. අසුර අපාය යනුවෙනි.

නිරය/නරකය
නිරය හෙවත් නරකය කොටස් අටක් (8) ලෙස දක්වා ඇති අතර එය අටමහා නරකය ලෙස හැඳින්වේ. එනම්, සඤ්ජීවය, කාළසූත්‍රය, සඩ්ඝාතය, රෞරවය, මහාරෞරවය, තාපය, ප්‍රතාපය, අවීචි යනුවෙනි.

1. සඤ්ජීවය
යමපලුන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කඩ කඩකොට කපද්දීත් ඒ සත්වයන් නැවත නැවත ජීවත් වන බැවින් මෙය සඤ්ජීවය නම් වේ. මෙය මිනිස් ලොවට යොදුන් 15000ක් යටින් පිහිටා ඇති බව පැවසේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝලහල කළ අය ද, දුබලයන් පෙලූ රජවරු හා නිළධාරීහු ද, දිළින්දන් පෙලූ පොහොසතුන් හා මැරයෝ ද මෙහි උපදිති.
චාතුම්මහාරාජික දෙවියන්ගේ සමස්ථ ආයු ප්‍රමාණය (වසර 9,000,000) සඤ්ජීවයට එක් දිවා රාත්‍රියකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර පන්සියයක් සඤ්ජීව නරකයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 1,620,000,000,000ක් සඤ්ජීවයේ ආයුෂ වේ.

2. කාළසූත්‍රය
මෙම නරකයේ උපන් සත්වයන් යමපලුන් විසින් නොයෙක් ආවුධයෙන් පහර දෙමින් ලුහුබැඳ ගිනිගෙන දැවෙන පොළොවේ පෙරළා, ගිනිගෙන දැවෙන දැලි නූලක් (කාළසූත්‍රයක්) ගෙන නූල් ගසා ගිනිගෙන දැවෙන පොරවකින් අටමුලු, සොළොස් මුලු කරමින් සසින බැවින් කාළසූත්‍රය නම් වේ. මෙය සඤ්ජීව නරකයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ. මව්පියන්ට, මිතුරන්ට හා ගුණවත් මහණ බමුණන්ට අපරාධ කළවුන් මෙහි උපදිති.
තාවතිංසයේ මුළු ආයු ප්‍රමාණය කාළසූත්‍ර නරකයට එක් දිවා රාත්‍රියකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර දහසක් කාළසූත්‍ර නරකයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 12,960,000,000,000ක් කාළසූත්‍රයේ ආයුෂ වේ.
“ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ලෝකයන් ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක.” යැයි ලෝකවිදූ ගුණය වැඩිය යුතු වේ.

මතු සම්බන්ධයි.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...