Wednesday, January 6, 2021

බුද්ධානුස්සති භාවනාව – 19 කොටස

 

බුද්ධානුස්සති භාවනාව – 19 කොටස

49. බුද්ධානුස්සති භාවනාව – 19 කොටස

 
බුද්ධානුස්සති භාවනාව – 19 කොටස
Dec 17, 2020 | සිත නිවන භාවනා | 0 
49. බුද්ධානුස්සති භාවනාව – 19 කොටස
බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘ලොකවිදු’ ගුණය පිළිබඳ තවත් කොටසක් මෙම ලිපියෙන් දැක්වේ.
ලොකවිදු ගුණ භාවනාව ඉතිරිය
භාග්‍යවතුන් වහන්සේ ලෝකය, ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක. එසේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරන ලද ලෝකය තිස්එක් භූමි තලයකින් සමන්විත වන අතර එහි මිනිස්ලොව සහ දිව්‍යලෝක සය පිළිබඳ ඉහත විස්තර කරන ලදී.
රූපාවචර බ්‍රහ්මලෝක
යම් පුද්ගලයෙක් ප්‍රථමධ්‍යානාදිය උපදවා එකී ධ්‍යානයෙන් නොපිරිහී කලුරිය කළේ වී නම් මරණින් මතු රූපාවචර බ්‍රහ්මලෝකයක උපදී. එසේ උපත සිදුවන බඹලොව දහසයක් (16) පිළිබඳව සඳහන් වේ. මේවා එකිනෙක ධ්‍යාන භේදය අනුව මෙසේ දැක්විය හැකි වේ.
ප්‍රථමධ්‍යාන භූමි
ප්‍රථමධ්‍යානය වඩා නොපිරිහුණු ධ්‍යානයෙන් යුතුව කලුරිය කොට උපත ලබන රූපාවචර බ්‍රහ්මලෝක තුනක් වෙති. මේවා සමතලයක පිහිටා තිබේ. එනම් පරනිම්මිතවසවර්ති දිව්‍යලෝකයෙන් මත්තෙහි යොදුන් පණස්පන්ලක්‍ෂ අටදහසක් (5,508,000) ඉහළින් පිහිටා තිබේ. එකිනෙක බ්‍රහ්මයන්ගේ ආයුෂ පමණක් වෙනස් වේ. මේ බඹතල තුනේ ම උපදනා බ්‍රහ්මයෝ එක ම රූපාවචර ප්‍රථමධ්‍යාන විපාක සිතෙන් ප්‍රතිසන්‍ධි ගනී.
1. බ්‍රහ්මපාරිසජ්ජය
මහාබ්‍රහ්මයන්ගේ පිරිස වූ මෙහෙකරුවන් වූ බ්‍රහ්මයෝ බ්‍රහ්මපාරිසද්‍ය නම් වෙති. විභඩ්ගප්‍රකරණයෙහි සඳහන් වන ආකාරයට ප්‍රථමධ්‍යානය මඳ වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසාවන්ගෙන් යුතුව වඩා මෙම බ්‍රහ්මපාරිසද්‍යයේ උපත ලබති. මෙහි ආයුෂ අසංඛ්‍ය කල්පයකින් 1/3 කි.
2. බ්‍රහ්මපුරෝහිතය
මහාබ්‍රහ්මයන්ගේ පුරෝහිත භාවයෙහි සිටියා වූ බ්‍රහ්මයෝ බ්‍රහ්මපුරෝහිත නම් වෙති. ප්‍රථමධ්‍යානය මධ්‍යම වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසාවන්ගෙන් යුතුව වඩා මෙම බ්‍රහ්මපුරෝහිතයේ උපත ලබති. අසංඛ්‍ය කල්පයකින් 1/2 ක් ආයුෂ වේ.
3. මහාබ්‍රහ්මය
වර්ණවත් බැවින් ද, දීර්ඝායුෂ්ක වන බැවින් ද මහත් වූ බ්‍රහ්මයෝ මහාබ්‍රහ්ම නම් වෙති. ප්‍රථමධ්‍යානය ප්‍රණීතව වඩා මෙහි උපත ලබති. මොවුන් සහස්සබ්‍රහ්ම, ද්විසහස්සබ්‍රහ්ම ආදි වශයෙන් වෙති. සක්වළ දහසකට අධිපති වූවෝ සහස්සබ්‍රහ්ම නම්වෙති. සක්වළ දෙදහසකට අධිපති ද්විසහස්සබ්‍රහ්ම නම් වෙති. අසංඛ්‍ය කල්පයක් ආයුෂ වේ.
ද්විතීයධ්‍යාන භූමි
ද්විතීයධ්‍යානය උපදවා නොපිරිහී කලුරිය කර උපතලබන බඹතල තුනක් සඳහන් වෙති. ඒ අනුව (චතුෂ්ක ක්‍රමයට) රූපාවචර ද්විතීයධ්‍යාන විපාක සිතින් මෙම බඹතල තුනේ ම ප්‍රතිසන්‍ධි ගනී. ධ්‍යාන පඤ්චක ක්‍රමයට නම් ද්විතීය හා තෘතීය ධ්‍යාන විපාක සිත් දෙකින් ම ප්‍රතිසන්‍ධි ගන්නේ මෙම ද්විතීය ධ්‍යාන බඹතලයන්හි වේ. මේවා ප්‍රථමධ්‍යාන භූමියෙන් යොදුන් පණස්පන්ලක්‍ෂ අටදහසක් (5,508,000) මත්තෙහි සමානතලයක පිහිටා තිබේ. එකිනෙක බ්‍රහ්මයන්ගේ ආයුෂ පමණක් වෙනස් වේ.
1. පරිත්තාභ (4)
අල්ප වූ ආලෝකයක් ඇති බ්‍රහ්මයන් පරිත්තාභ නම් වෙති. ද්විතීයධ්‍යානය මඳ වශයෙන් උපදවා නොපිරිහී කලුරිය කර මෙම බඹතලයේ උපත ලබති. මහාකල්ප දෙකක් ආයුෂ වේ.
2. අප්පමාණාභ (5)
අප්‍රමාණ වූ ආලෝකයක් ඇති බ්‍රහ්මයන් අප්පමාණාභ නම් වෙති. ද්විතීයධ්‍යානය මධ්‍යමවශයෙන් උපදවා මෙහි උපත ලබති. මහාකල්ප 4 ක් ආයුෂ වේ.
3. ආභස්සර (6)
දඬුවැටපහනෙන් ගිනිදැල් විහිදෙන්නාක් වැනි වූ ආලෝකයක් ශරීරයෙන් විහිදෙන්නා වූ බ්‍රහ්මයෝ ආභස්සර නම් වෙති. ද්විතීයධ්‍යානය ප්‍රණීත වශයෙන් උපදවා මෙහි උපත ලබති. මහාකල්ප 8 ක් ආයුෂ වේ.
තෘතීයධ්‍යාන භූමි
රූපාවචර තෘතීයධ්‍යානය උපදවා නොපිරිහී කලුරිය කර උපතලබන බඹලොව තුනක් සඳහන් වේ. ඒ අනුව රූපාවචර තෘතීයධ්‍යාන (පඤ්චක ක්‍රමයට නම් චතුර්ත්‍ථ ධ්‍යානය) විපාක චිත්තයෙන් මෙම බඹතල තුනේ ම ප්‍රතිසන්‍ධි ගනී. ද්විතීයධ්‍යාන බඹතලයෙන් යොදුන් පණස්පන්ලක්‍ෂ අටදහසක් (5,508,000) මත්තෙහි එක ම තලයක මෙම බඹලොව තුන ම පිහිටා ඇත.
1. පරිත්තසුභ (7)
එකඝන වූ නිශ්චල ආලෝකය සුභ නම්වේ. අල්ප වූ එකඝන වූ නිශ්චල ආලෝකයක් ඇති බ්‍රහ්මයන් පරිත්තසුභයේ වාසය කරති. රූපාවචර තෘතීයධ්‍යානය මඳ වශයෙන් වඩා මෙහි උපත ලබයි. මහාකල්ප 16 ක් ආයුෂ වේ.
2. අප්පමාණසුභ (8)
අප්‍රමාණ වූ ඒකඝන නිශ්චල ආලෝකයක් ඇති බ්‍රහ්මයන් අප්පමාණසුභ නම් වෙති. ඔවුන්ගේ වාසභූමිය අප්පමාණසුභය නම් වේ. තෘතීය ධ්‍යානය මධ්‍යම වශයෙන් වඩා මෙහි උපත ලබයි. මහාකල්ප 32 ක් ආයුෂ වේ.
3. සුභකිණ්හ (9)
සුභ නම් වූ ඒකඝන නිශ්චල ආලෝකයෙන් ගැවසීගත්තා වූ බ්‍රහ්මයන් සුභකිණ්හක නම් වේ. ඔවුහු සිය ශරීරප්‍රභාවෙන් එකඝනව, රන් මඤ්ජුසාවක තබන ලද ඉතා පැහැපත්ව දිලිසෙන රන් පිඬක් සේ සශ්‍රීක යැයි සඳහන් වේ. එබැවින් සුභකිණ්හක නම් වෙති. රූපාවචර තෘතීයධ්‍යානය ප්‍රණීත වශයෙන් වඩා මෙහි උපත ලබයි. මහාකල්ප 64 ක් ආයුෂ වේ.
චතුර්ථධ්‍යාන භූමි
රූපාවචර චතුර්ථධ්‍යානය (පඤ්චක ක්‍රමයට පඤ්චමධ්‍යානය) උපදවා නොපිරිහී කලුරිය කර උපත ලබන බඹතල තුනක් පිළිබඳ සඳහන් වේ. මේ අතරින් වේහප්ඵලය සහ අසංඥසත්තය තෘතීයධ්‍යාන භූමිය මත්තෙහි යොදුන් පණස්පන්ලක්‍ෂ අටදහසක් (5,508,000) ඉහළින් එක ම තලයක පිහිටා තිබේ. ඉන් මත්තෙහි යොදුන් පණස්පන්ලක්‍ෂ අටදහස බැගින් ඉහළට සුද්ධාවාස බඹලොව පස එකිනෙකට උඩින් පිහිටා තිබේ.
1. වේහප්ඵල (10)
ධ්‍යානානුභාවයෙන් හටගත් මහත් වූ විපාකයෝ මොවුන්ට ඇති බැවින් වේහප්ඵල නම් වෙති. මහාකල්ප 500 ක් ආයුෂ වේ.
2. අසංඥසත්වය (11)
සංඥා විරහිත වූ සත්වයන්ගේ උත්පත්තිය සිදුවන බඹතලය අසංඥ සත්වය නම් වේ. ඇතැම් කෙනෙක් තීර්ථායතනයන්හි පැවිදිව වායෝ කසිණ භාවනාවෙන් චතුර්ථධ්‍යානය උපදවා එයින් නැගී සිට, ‘සිත නිසාවෙන් ම රාග ද්වේෂ මෝහයන් ඇති වේ’ යැයි සිතේ දොස් දැක ‘අචිත්තක බව ම හෙවත් සිතක් නැති බව ම සුදුසු යැ’යි ඒ සිත නැති බව මේ ආත්මභාවයේ ම නිර්වාණය වන්නේ යැයි සිතා සංඥා විරාග භාවනා කරති. ඒ සංඥා විරාග භාවනාවෙන් පඤ්චමධ්‍යානය සමාපත්තිය වඩා මේ අසංඥසත්වයේ උපත ලබති.
ඔවුන්ට උත්පත්තික්‍ෂණයෙහි රූපස්කන්‍ධය පමණක් ම පහළ වේ. එය ද කිසියම් ඉරියව්වකින් පහළ වූයේ නම් මහාකල්ප 500 ක් ඒ ඉරියව්වෙන් ම අචිත්තකව හිඳ චුත වේ. එවිට කාමාවචර සංඥාව ඉපිද මේ කාමභූමියෙහි (මිනිස් ලොව) උපදී. රූපස්කන්‍ධය පමණක් පහළ වන බැවින් මෙම අසංඥ තලය ‘එක වෝකාර භවය’ ලෙස ද හැඳින්වේ.
“ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ලෝකයන් ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක.” යැයි ලෝකවිදූ ගුණය වැඩිය යුතු වේ.
මතු සම්බන්ධයි.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි


Na Uyane Ariyadhamma Thero


 

1.46 Samiddhi Theragatha

හත්වන සැරියුත් හිමියන්ගේ යහළු බමුණාගේ වස්තුවයි.

 


හත්වන සැරියුත් හිමියන්ගේ යහළු බමුණාගේ වස්තුවයි. 

යං කිඤ්චි යිට්ඨං ව හුතං ව (යිට්ඨඤ්ච හුතඤ්ච (ක.)) ලොකෙ, සංවච්ඡරං යජෙථ පුඤ්ඤපෙක්ඛො;

සබ්බම්පි තං න චතුභාගමෙති, අභිවාදනා උජ්ජුගතෙසු සෙය්‍යො.

මේ ලෝකයෙහි පින් කිරීමෙහි අපෙක්ෂා ඇති පුද්ගල තෙම, යම්කිසි (කුඩා) දාන වස්තුවක් හෝ (අමුතු) මහ දනක් හෝ අවුරුද්දක් මුළුල්ලෙහි දුන්නේ නමුදු ඒ සියලු දානයම ආර්යයන් වැඳීමේ (කුශල චේතනාවෙන්) සතරින් කොටසටත් නොපැමිණෙයි.

යං කිංචි යිට්ඨං ච යනාදි මේ ධර්ම දේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසයකරන කාලයේ සැරියුත්තෙරණුවන්ගේ යහළු බ්‍රාහ්මණයෙකු නිමිතිකරගෙන දේශනා කරනලදි.

ඔහු ළඟටත් සැරියුත්තෙරුන්වහන්සේ වැඩමවා බ්‍රාහ්මණය, කිසියම් පිනක් කරන්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය. කුමක් කරන්නෙහිද? මංගල සම්මත දිනයන්හි දන්දෙමි. එකල්හි ඒ යාගය මහත් ධනවියදමින් කරමි. මින් ඉදිරියට තෙරණුවෝ පෙර පරිදිම විමසා ඔහු බුදුන් ළඟට පමුණුවා, ඒ පුවත දන්වා, ස්වාමීනි, මොහුට බ්‍ර‍හ්මලෝකයට යන මාර්ගය කියනු මැනවැයි කීහ.

බ්‍රාහ්මණය, ඔබ අවුරුදු ගණන් යිට්ඨයෝගදාන දුන්නත් මගේ ශ්‍රාවකයෙකුට වැඳීමෙන් ලබන පිනෙන් හතරෙන් එකක් පමණවත් වටින්නේ නැතැයි කියා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:

යමෙක් පින් පතමින්

යාගය කළත් වසරක්

බුදුසව්වෙකුට වැඳුමෙන්

ලබන පින හා නොසම වේ

එක් බුදුසව්වෙකුට වඳිනා

පිනෙන් හතරෙන් එකකට

පමණවත් සමනොවේමය

එහි යං කිංචි යනු ඉතිරි නොකර ගැනීමට යොදන වචනයකි. යිට්ඨං යනු බොහෝ සෙයින් මංගල සම්මත දිනයන්හි දෙන දානයයි. හුතං යනු කර්මයත් ඵලයත් ගැන පිළිගෙන සකස්කොට අමුත්තන්ට දන්දීමයි. සංවච්ඡරං යජෙථ යනු අවුරුද්දක් පුරා නිරන්තරයෙන් ඉහත සඳහන් අයුරින් මුළු සක්වළම සිටින ලෞකික මහජනයාට දුන්නත්, පුඤ්ඤපෙක්ඛො යනු පින් බලාපොරොත්තුවෙන් උජ්ජුගතෙසු යනු අවම වශයෙන් සෝවාන් හෝ උපරිම වශයෙන් රහතන්වහන්සේලාටයි. මෙහි කියනලද්දේ - එබඳු අය කෙරෙහි ප්‍ර‍සාද සිතින් සිරුර නමා වඳින පුද්ගලයාගේ කුසල්චේතනාවෙන් යම් ඵලයක් ලබන්නේ නම් එයින් හතරෙන් එකක් පමණවත් ඒ සියලු යාග දානය නොවටී යන අර්ථයයි. එනිසා ආර්යයන් වෙත වන්දනමානන පූජා කිරීම අතිශයින් ශ්‍රේෂ්ඨය.

දේශනාවගේ කෙළවර ඒ බමුණා සෝවාන් ඵලයෙහි පිහිටියේය. තවත් බොහෝ දෙනාද සෝවාන් ඵලාදියට පැමිණියාහුය

Tuesday, January 5, 2021

Na Uyane Ariyadhamma Thero


 

ආනාපානසති භාවනාව – 20 වන කොටස

 

ආනාපානසති භාවනාව – 20 වන කොටස

29. ආනාපානසති භාවනාව –  20 වන කොටස

ආශ්වාස-ප්‍රාශ්වාස අරමුණේ දියුණු කරගන්නා සිහිය ඇතිව, ආනාපානසති භාවනාවෙන් උද්ග්‍රහ නිමිති, පටිභාග නමිති පහළ වූ පසු, පිළිවෙළින් ප්‍රථමධ්‍යානය, දුතියධ්‍යානය සහ තතියධ්‍යානය දක්වා සමාධිය දියුණු කරගන්නා ආකාරය පැහැදිලි කරන ලදී. අනතුරුව චතුර්ථධ්‍යානය උපදවාගත යුතු වේ. ආනාපානසති භාවනාවෙන් ලබාගත හැකි උපරිම සමාධිය වන්නේ මෙම චතුර්ථධ්‍යානයයි. එහෙයින් විදර්ශනා භාවනාව ආරම්භ කිරීමට පෙරාතුව ශක්තිමත් සමාධියක් ඇති කරගැනීම පිණිස චතුර්ථධ්‍යානය දක්වා සමාධිය දියුණු කිරීම වැදගත් වේ.

‘සුඛස්ස ච පහානා දුක්‍ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්‍ථඩ්ගමා අදුක්‍ඛමසුඛං උපේක්‍ඛාසතිපාරිසුද්ධිං චතුත්‍ථං ඣානං උපසම්පජ්ජ විහරති’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ චතුර්ථධ්‍යානය පිළිබඳව දේශනා කළ සේක.

ආනාපානසති භාවනාවෙන් හෝ වෙනත් සමථ භාවනාවකින් උපදවන චතුර්ථධ්‍යානයෙහි දී විතර්ක, විචාර, ප්‍රීති, සුඛ යන ධ්‍යානාංග සියල්ල ප්‍රහීණ වන අතර උපේක්‍ෂා සහ ඒකාග්‍රතා යන ධ්‍යානාංග දෙකකින් පමණක් යුක්ත වේ. එහි විතර්කාදිය නොමැති බැවින් සමාධි ශක්තිය ප්‍රබල වේ. විදර්ශනා භාවනාවේ දී නාම රූප ධර්මයන් සියුම් ව පරික්‍ෂා කළයුතු බැවින් මෙවැනි සමාධි ශක්තියක් ඒ සඳහා වඩාත් උපකාරී වේ.

බෝසතාණන් වහන්සේ ද බෝ මැඩ දී පළමුව ආනාපානසති භාවනාවෙන් චතුර්ථධ්‍යානය දක්වා සමාධිය දියුණු කළ හ. එහෙයින් විශුද්ධිමාර්ගයේ ද භාවනා ක්‍රමය පැහැදිලි කිරීමේ දී ඒ සියලු සමාධි ශක්තීන් ඇති කරගන්නා ආකාරය විවරණය කර ඇත. සෑම කෙනෙකුටම මේ දක්වා සමාධිය දියුණු කිරීමට නොහැකි විය හැකිය. එහෙත් හැකියාව ඇති අයගේ ප්‍රයෝජනය පිණිස ත්‍රිපිටකයේ දැක්වෙන ආකාරයට භාවනා ක්‍රමය විවරණය කිරීම අපගේ අරමුණ වේ.

තතිය ධ්‍යානයෙන් චතුර්ථධ්‍යානයට යාමේ දී යෝගාවචරයා සැප, දුක යන දෙකම අතහරී. තතියධ්‍යානයේ දී අත්දකින සුවය ඉතා ඉහළ සුවයක් බව ඉහත පැහැදිලි කරන ලදී. එහෙත් එය ප්‍රීතියට ආසන්න වේ. සුඛය ඕළාරිකව වැටහේ. එහෙත් සුඛ, දුක්ඛ දෙකෙන්ම තොර උපේක්‍ෂාවෙන් යුත් සමාධිය වඩාත් ප්‍රබල, ප්‍රණීත වේ. මෙසේ චතුර්ථධ්‍යාන සමාධිය කායික සැපයත්, කායික දුකත් යන දෙකෙන් ම තොර සමාධියක් බව ‘සුඛස්ස ච පහානා දුක්‍ඛස්ස ච පහානා’ යැයි කියන ලදී.

සිතට දැනෙන සැපය සෝමනස්සය ලෙස ද, සිතට දැනෙන දුක දෝමනස්සය ලෙස ද හැඳින්වේ. ‘පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්‍ථඩ්ගමා’ යනුවෙන් දේශනා කරන ලද්දේ මෙම චෙතසික සෝමනස්සය හා දෝමනස්සය යන දෙකම දුරු වීමයි. ඒ දුරු වීම ද චතුර්ථධ්‍යාන සමාධිය ඉපදවීමේ මොහොතට පෙර දුරු වන බව ‘පුබ්බේව’ යන්නෙන් අදහස් වේ. කායික සැපය හා දුක ද, චෙතසික දොම්නස ද ප්‍රථම, දුතිය, තතිය ධ්‍යාන උපචාරයන්හි දී ප්‍රහීණ වේ. චෙතසික සුවය හෙවත් සොම්නස චතුර්ථධ්‍යාන උපචාරයේ දී ප්‍රහීණ වේ.

චූළවේදල්ල සූත්‍රයේ ධම්මදින්නා රහත් තෙරණිය විශාඛ උපාසකතුමාට දේශනා කරනුයේ ‘සුඛාය ඛෝ ආවුසෝ විසාඛ වේදනාය රාගානුසයෝ අනුසේති, දුක්‍ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසෙති’ යනුවෙන් සුව දුක් දෙක රාගයට හා ද්වේෂයට ප්‍රත්‍යය වන බවයි.

කායික සුඛය සෝමනස්සයට ප්‍රත්‍යය වේ. සෝමනස්සය රාගයට ප්‍රත්‍යය වේ. එසේම කායික දුක දෝමනස්සයට ප්‍රත්‍යය වේ. දෝමනස්සය ද්වේෂයට ප්‍රත්‍යය වේ. මෙම චතුර්ථධ්‍යානයේ සුව, දුක්, සොම්නස්, දොම්නස් කිසිවක් නොමැති බැවින් ප්‍රත්‍ය සහිත රාග ද්වේෂ ඉතා දුරින් ම දුරු වූයේ වෙයි.

සුඛයත්, දුක්‍ඛයත් දෙකම නොමැති මැදහත් වේදනාව හෙවත් උපෙක්‍ෂා වේදනාව චතුර්ථධ්‍යානයේ දී ඇති බව ‘අදුක්‍ඛමසුඛං’ යන්නෙන් කියවේ. මෙහි දී කියවෙන්නේ වේදනා උපේක්‍ෂාවයි. සෑම සිතකම අනිවාර්යයෙන් ම වේදනාවක් ඇති අතර එය ආකාර තුනකට විය හැකිය. සුඛ වේදනාව, දුක්‍ඛ වේදනාව සහ උපේක්‍ෂා වේදනාව වශයෙනි. මෙම චතුර්ථධ්‍යානයේ ඇති වේදනාව උපේක්‍ෂා වේදනාවයි. එය සැප-දුක් දෙකටම වඩා ශාන්ත වූ ස්වභාවයක් ඇත්තේය. එසේම ඉතා සියුම් බැවින් ග්‍රහණය කරගැනීමට, මේ මේ ආකාර යැයි කීමට පවා අපහසු වේ. අනුමාන වශයෙන් දැනගත යුතු වේ. එනම් සැපක් හෝ දුකක් නැති නම්, එතැන උපේක්‍ෂා වේදනාවක් ඇතැයි අනුමාන කළයුතු වේ.

ගල් මතු පිට ගමන් ගන්නා මුවන්ගේ පියවර සටහන් දැකිය නොහැකි වේ. එහෙත් වනයේ මුවන් ගමන්ගත් පියවර ඔස්සේ සොයාගෙන යන පුද්ගලයෙක්, ඒ මුවන් ගල් තලාවකට පිවිස තැනත්, ඉන් පිටවූ තැනත් සොයාගතහොත්, ගල මතුපිට ද ඔවුන් ගමන් කළ බව අනුමාන කළහැකි වේ. එසේම සුඛ වේදනාව ද දුක්‍ඛ වේදනාව ද අත්විඳ ඇති පුද්ගලයා ඒ දෙකෙන්ම තොර සමාධියක් ලබාගතහොත්, උපේක්‍ෂා වේදනාව ඇති බව අනුමාන වශයෙන් දැනගනී.

ප්‍රථම, දුතිය, තතිය යන සියලු ධ්‍යානයන් හි ඇති තත්‍රමධ්‍යස්ථතාවය නැමති උපේක්‍ෂාවක් ඇත. එය උපේක්‍ෂා වේදනාව නොව ධ්‍යාන සිතේ ඇති සෙසු චෛතසික ධර්ම මැදහත් බවට පත් කරවන, සුවිශුද්ධ කරවන චෛතසිකයක් වේ. එය මෙම චතුර්ථධ්‍යානයේ ද ඇත. එම තත්‍රමධ්‍යස්ථතා උපේක්‍ෂාව, චතුර්ථධ්‍යානයේ දී තමන්ට සභාග උපේක්‍ෂා වේදනාව සමඟ එකතු වීමෙන් ධ්‍යාන සිතේ සතිය හෙවත් සිහිය සුවිශුද්ධ කරවයි. ඒ සතියේ සුවිශුද්ධ බව ඇති කරන ලද්දේ උපේක්‍ෂාව විසින් බැවින් ‘උපෙක්‍ඛාසතිපාරිසුද්ධිං’ යැයි කියන ලදී.

වර්තමානයේ ධ්‍යාන පිළිබඳ නොයෙක් වැරදි මතිමතාන්තර ඇති බැවින් ඒ පිළිබඳ ත්‍රිපිටකාගත අර්ථනිරූපණය මෙසේ දක්වන ලදී. ධර්ම දැනුම අඩු පුද්ගලයෙකුට මෙය එකවරම කියවා තේරුම් ගැනීම අපහසු විය හැකිය. එහෙත් ධ්‍යාන ඉපදවීම පිළිබඳ වර්තමානයේ ඇති ඇතැම් ලාමක අදහස් මිථ්‍යාවන් බව තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් වන බැවින් මෙසේ දැක්වීමු.

චතුර්ථධ්‍යානයට සමවැදීම

තතියධ්‍යානයට සමවැදුණු යෝගාවචරයා ඉන් චතුර්ථධ්‍යානයට සමවදින්නේ කෙසේ ද යන්න දැන් විමසා බලමු.

තතියධ්‍යානය ඉහත දැක්වූ පස් ආකාරයකට වශී භාවයට පත්කරගත් යෝගාවචරයා චතුර්ථධ්‍යානයට ඉපදවීමට සුදුසුකම් ලබයි. එබැවින් තතියධ්‍යානයට සම වැදී ඉන් නැඟීසිට, උපචාර සමාධියට පැමිණි යෝගාවචරයා පළමුව එහි ධ්‍යානාංග විමසා බැලිය යුතු වේ. තතියධ්‍යානයේ ඇති සුඛ වේදනාව, ඒකාග්‍රතාවය දැන් හොඳින් ප්‍රකට වනවා ඇත. එවිට මෙම තතියධ්‍යානයේ ඇති සුඛ වේදනාවේ ආදීනව සලකා බැලිය යුතු වේ. ඒ සුඛ වේදනාව ප්‍රීතියට ආසන්න වේදනාවකි. එය ඕළාරික බැවින් යෝගාවචරයාගේ සමාධිය දුර්වල කිරීමට සමත් වේදනාවකි.

එසේ ආදීනව සලකා අනතුරුව, සුඛ වේදනාවෙන් ද තොර, උපේක්‍ෂා වේදනාව සහිත සමාධියක් උපදවන්නේ නම් සුදුසු යැයි සිතාගෙන ‘සුඛ වේදනාවෙන් තොර උපේක්‍ෂා-ඒකාග්‍රතා සහිත චතුර්ථධ්‍යානයට සමවදිමි’ යැයි පටිභාග නිමිත්තට සිත යොමු කළ යුතු වේ. එවිට යෝගියා තතියධ්‍යානයෙන් මිදී ‘උපේක්‍ෂා-ඒකාග්‍රතා සහිත චතුර්ථධ්‍යානයට’ සම වදිනු ඇත.

ඒ චතුර්ථධ්‍යානය පෙර සියලු සමාධීන්ට වඩා බොහෝ සෙයින් ශාන්ත, ප්‍රණීත සමාධියක් වේ. එහි සුව වේදනාවක් හෝ නැති බැවින් ඇතැම් විට තමන්ගේ කය පවා නොදැනී යන තරමේ ධ්‍යාන සුවයක් අත්දැකිය හැකි වේ.

මෙසේ චතුර්ථධ්‍යානයට සමවැදී, පළමුව පැයක්, දෙකක් හෝ තුනක් ඒ ධ්‍යාන සමාධියෙහි ම සිටිය යුතු වේ. එවිට එය ශක්තිමත්ව වැටහෙනු ඇත. චතුර්ථධ්‍යානය උපදවන ලද යෝගියාට පැය තුනක් පමණ එක් භාවනා ආසනයක සිටීම එතරම් අපහසු දෙයක් නොවන ඇත. අනතුරුව ඉහත ප්‍රථමධ්‍යානයේ කියූ ආකාරයට ම ආවර්ජනා දි පස් ආකාරයට වශී භාවයට පත් කරගත යුතු වේ.

මෙම භාවනා ලිපි පෙළෙන් ආනාපානසති භාවනාව පිළිබඳ කරන පැහැදිලි කිරීම මෙයින් අවසන් වේ. එය මහාසතිපට්ඨානසූත්‍රයේ දැක්වෙන කායානුපස්සනාව පමණක් වේ. විදර්ශනා භාවනාවට පෙර දියුණු සමාධියක් ප්‍රයෝජනවත් බැවින් සෙසු සමථ භාවනා ක්‍රම ද විස්තර කිරීමට බලාපොරොත්තු වේ. එහෙයින් මජ්ක්‍ධිමනිකාය ආනාපානසති සූත්‍රාදියෙහි එන ආනාපානසති භාවනාව වේදනානුපස්සනා ආදී වශයෙන් වැඩීම මෙහි විස්තර නොවේ.

නිර්වාණාභිලාශී සත්පුරුෂයන් මෙතෙකින් පමණක් නොනැවතී කළ්‍යාණමිත්‍රයන් වහන්සේලා වෙත එළඹ තවදුරටත් භාවනා උපදෙස් ලබාගන්නේ නම් මැනවි. එසේ නිවැරදි උපදෙස් මත, නිවැරදි සමාධියක් උපදවාගෙන, විදසුන් වඩා ඉතාම ඉක්මනින් නිවනින් සැනසෙන්නට සියලු දෙනාටම හැකි වේවා යි ප්‍රාර්ථනා කරමු.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

1.45 Ramaṇīyavihāri Theragatha

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...