Saturday, January 2, 2021

සතරවන අනර්ථ ඇසූ බමුණාගේ වස්තුවයි.

අත්තාහවෙ ජිතං මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි අනර්ථපුච්ඡක නම් බ්‍රාහ්මණයා නිමිති කරගෙන දේශනා කරනලදි.

ඒ බමුණු තෙමේ, කෙසේද සම්මාසම්බුදුන්වහන්සේ අර්ථයක්ම දන්නාසේක්ද, නැතහොත් අනර්ථයක්ම දන්නා සේක්දැයි කියා විමසා බලන්නෙමියි සිතා උන්වහන්සේ ළඟට පැමිණ මෙසේ ඇසීය. ස්වාමීනි, ඔබවහන්සේ අර්ථයක්ම දන්නෙහිද, අනර්ථයක් නොදන්නා සේක්දැයි ඇසීය. බ්‍රාහ්මණය, මම අර්ථයත් අනර්ථයත් යන දෙකම දන්නෙමි. එසේනම් මට අනර්ථය නම් කුමක්දැයි කියා දෙනු මැනවි. ඉන්පසු බුදුරජාණන්වහන්සේ මේ ගාථාව වදාළහ:

හිරු නැග එන තුරුම

නිදියාම මැලි ගතිය ද

රළු පරළු වීම ද

වැඩෙහි නිසි ලෙස නොයෙදුම

අනුන් අඹුන් සොයන

මෙබදු ගති ඇතිවිට

පිරිහීම නිතැතින්ම සිදු වේ

ඒ ඇසූ බමුණා සාධුකාර දුන්නේය. ගණාචාර්යවරයාණනි, ඉතා මැනවි. ජ්‍යෙෂ්ඨ පුරුෂයාණනි, ඔබ අර්ථය මෙන්ම අනර්ථයද දන්නෙහිය. බමුණ, මෙසේ අර්ථානර්ථ දන්නා මට සමාන කෙනෙක් නැත. ඉන්පසු ඔහුගේ අදහස් විමසා බලා, බමුණ, ඔබ කිනම් කර්මාන්තයක් කොට ජීවත් වන්නෙහිදැයි ඇසූහ. එසේ විචාරා, භවත්ගෞතමයන්වහන්ස, දූකෙළියෙනියි කීකල, කිම ඔබ එයින් දිනන්නේද, පරදින්නෙහිදැයි ඇසූහ. ජයත් ලැබෙයි පරාජයත් ලැබෙයියයි කී කල්හි, බ්‍රාහ්මණය, ඒ අයුරින් අනුන් පරදවා ලබන ජය එතරම් වැදගත් නොවෙයි. උතුම් වන්නේද නොවෙයි, යමෙක් තම සන්තානයෙහි පවත්නා කෙලෙස් පරදවා තමන් දිනන්නේද, ඔහුගේ ජයග්‍ර‍හණය ශ්‍රේෂ්ඨ නොවෙයි. ඔහුගේ ජයග්‍ර‍හණය කිසිවකු විසිනුත් පරාජය කළ නොහැකියයි අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළ සේක.

අන් අය පරදවා

ලබන දිනුමට වැඩියෙන්

කෙලෙස් නසා ලබන ජය

උතුම් වේ එබඳු පුගුලා

නිතර සන්සුන් ලෙසින් හැසිරේ

දෙවියන් බඹුන් ගදඹුන්

මරුන් හෝ කිසිවෙකුටත්

ඔහුගේ දිනුම කිසිවිට

පරාජය කළ හැකි නොවේ

එහි භවෙ යනු නිපාත මාත්‍ර‍යකි. ජිතං යනු ලිංග විපර්යාසයකි. තමන්ගේ කෙලෙස් පරදවා ලබන ජයෙන් ජයක් ලැබීම උතුම් යන අර්ථයයි. යා චායං ඉතරා පජා යනු යම් ඒ අවශේෂ මිනිස්සු සූදුවෙන්, ධනය පැහැරගැනීමෙන්, යුද්ධයෙන්, බලය මැඩපැවැත්වීමෙන් යන කරුණුවලින් පැරදවූවත්, එසේ දිනන්නාගේ ජයග්‍ර‍හණය උතුම් නොවෙයි යන අර්ථයි. ඒ දිනීම කුමක් නිසා උතුම් නොවේද? එය උතුම් දිනුමක් නොවන හෙයිනි. යම් හෙයකින් අත්තදන්තස්ස -පෙ- තථාරූපස්ස ජන්තුනෝ යන්න කියනලදි. එහෙයින් කෙලෙසුන් නැසීම සඳහා තමා දමනය කරගත් පුද්ගලයා ඒ තමා දමනය කර ගැනීමේදී කාය සුචරිතාදියෙන් නිච්චං සඤ්ඤත චාරිනො මේ ආදි කාය සංයමය ආදියෙන් යුක්ත වූ පුද්ගලයාගේ ඒ ලබා තිබෙන ජයග්‍ර‍හණය දෙවියෙකු විසින් හෝ ගන්ධර්වයෙකු, මාරයෙකු බඹෙකු විසින් හෝ නැගී සිට මම මොහු ලබා ඇති ජය පරාජයක් කරන්නෙමියි හෝ මාර්ග භාවනා මගින් ප්‍ර‍හීණ කළ කෙලෙස් නැවත උපදවන්නෙමියි කියා හෝ ගැටෙමින් වෑයම් කරමින් යම්සේ ධනාදියෙන් පැරදුණු නැහුණු එකෙක් ඒ පරාජය පරාජයක් කරන්නේද, එසේ පරාජය කිරීමට නොහැකි වේ යන අර්ථයි. දේශනා කෙළවර බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියාහුය.

1.42 Khadiravaniya Rewatha Theragatha

Na Uyane Ariyadhamma Thero



 

ආනාපානසති භාවනාව – 18 වන කොටස

 

ආනාපානසති භාවනාව – 18 වන කොටස

27. ආනාපානසති භාවනාව –  18 වන කොටස

සමථ භාවනාව පදනම් කරගෙන විදර්ශනාව වැඩීම කැමති පුද්ගලයන් විසින් පළමුව හොඳ සමාධියක් උපදවාගත යුතු වේ. හොඳ සමාධි ආලෝකයක් සහිතව සංස්කාරයන් විදර්ශනාවට නැංවීම පහසු වේ. ආනාපානසති භාවනාවෙන් ප්‍රථමධ්‍යානය පමණක් හෝ උපදවා ගන්නේ නම් එය විදර්ශනාවට පහසුවක් වේ. භාවනාව වඩාත් විධිමත්ව, පිළිවෙලකට කිරීමට කැමති අය හැකි නම් ආනාපානසති භාවනාවෙන් චතුර්ථ ධ්‍යානය දක්වා වැඩීම සිදු කොට, ඉතිරි සමථ කර්මස්ථානයන් ද පුහුණ කරගෙන විදර්ශනාව ආරම්භ කළයුතු වේ. විශේෂයෙන්ම විවේකීව භාවනාව වඩන යෝගාවචර භික්‍ෂුවකට මෙම ක්‍රමය වඩාත් යෝග්‍ය වේ.

එසේ ප්‍රයෝජනවත් වන අය වෙනුවෙන් ආනාපානසති භාවනාවෙන් දෙවෙනි, තෙවෙනි ආදි ධ්‍යාන උපදවන ආකාරය ද පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමු. එසේම වර්තමානයේ සමහර කෙනෙක් ධ්‍යාන ඉපදවීම පිළිබඳ මිථ්‍යා මතයන් දරාගෙන සිටින බව ද අසන්නට ලැබෙන බැවින් භාවනා නොකරන කෙනෙකුට වුව ද මෙම ධ්‍යාන ඉපදවීමේ ක්‍රමවේදය දැනගැනීම වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේ අංගුත්තක නිකායේ නවක නිපාතයේ ගාවී උපමා සූත්‍රයේ දේශනා කළ ආකාරයට ප්‍රථම ධ්‍යානය ශක්තිමත් කර නොගෙන දුතිය ධ්‍යානය ඉපදවීම නොකළයුතු බව පසුගිය ලිපි වලින් පැහැදිලි කරන ලදී. එබැවින් සමහර ආචාර්ය කෙනෙක් පැහැදිලි කරන ආකාරයට ‘දැන් ප්‍රථම ධ්‍යානය ය.. දැන් දුතිය ධ්‍යානය ය’ යනාදි වශයෙන් එකම භාවනා ආසනයක ධ්‍යාන පිළිවෙලට වැඩීමක් බුදුරජාණන් වහන්සේ අදහස් නොකළ බව අවධාරණය කළ යුතු වේ. එය කරන පිළිවෙලක් දේශනා කර ඇත. ඒ පිළිවෙල වන්නේ පළමුව ප්‍රථම ධ්‍යානය ශක්තිමත් කරගෙන ඉන්පසු දුතිය ධ්‍යානය ඉපදවීමයි. එය ශක්තිමත් කරගත් පසු තතිය ධ්‍යානය ඉපදවීමයි. එය ද ශක්තිමත් කරගෙන චතුර්ථ ධ්‍යානය ඉපදවීම කළ යුතු වේ.

මේ නිසා ආනාපානසති භාවනාවෙන් ප්‍රථම ධ්‍යානය උපදවන ලද යෝගාවචරයා එය ආකාර පසකට වශී භාවයට පත් කරගෙන ඕනෑම තැනක, ඕනෑම වේලාවක ඉක්මනින් ධ්‍යානයට සමවැදීමේ හැකියාව ඇති කරගත යුතු වේ. එසේ පුහුණවක් ඇති කරගත් පසු සමාධිය ශක්තිමත් කරගැනීම පිණිස දුතිය, තතිය ආදී ධ්‍යානයන් ද ඉපදවිය හැකි වේ.

දුතිය ධ්‍යානය ඉපදවීම පිළිබඳ මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.

‘විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති.’ යනුවෙනි.

‘විතර්ක, විචාර දෙදෙනාගේ සන්සිඳීමෙන් ස්වකීය සන්තානයේ මනා පැහැදීම හෙවත් ශද්ධාව ඇති කරන, සිතෙහි එකඟ බව ඇති, විතර්ක රහිත වූ, විචාර රහිත වූ, චිත්ත සමාධියෙන් උපන්, ප්‍රීතිය හා සුවය ඇති ද්විතීය ධ්‍යානයට එළඹ වාසය කරයි’ යනුවෙන් එහි අර්ථය වේ.

මේ අනුව දුතිය ධ්‍යානයට එළඹීමේ දී ප්‍රථම ධ්‍යානයේ තිබූ විතර්ක, විචාර යන ධ්‍යානාංග දෙක අතහැරිය යුතු වේ. විතර්කය යන්නෙන් අදහස් කරන ලද්දේ සිත අරමුණට නංවන ස්වභාවයයි. මෙම අරමුණට නංවන ස්වභාවය ප්‍රථම ධ්‍යානයේ ඇත. එහි දී ප්‍රථම ධ්‍යානය යනු කුශලයක් බැවින් කුශලාරම්මණයට සිත නැංවීම විතර්කය විසින් කරනු ලැබේ. එහෙත් ඒ මේ විතර්කය ඇතැම් විට සිත අකුසලයට ද නංවයි. බොහෝ වේලාවට අපගේ සිතට එළඹෙන්නේ ලෝභය, ද්වේෂය ආදී අකුසල සිතිවිලි විය හැකිය. ඒ සියල්ල අපට ගෙන දෙන්නේ ද මෙම විතර්ක චෛතසිකයම වේ. එබැවින් විතර්කය ඇති තැන සමාධිය පිරිසිදු නොවේ. එසේම විචාරය ද, අපගේ සිතට නඟන අරමුණ තුළ සිත හසුරුවන බැවින් සමාධියේ ශක්තිමත් බවට බාධා කරයි. එබැවින් විතර්ක, විචාර දෙදෙනා සංසිඳුවීමෙන් (විතක්කවිචාරානං වූපසමා) දුතිය ධ්‍යානයට සමවැදීම කළ යුතුය.

එසේම දුතිය ධ්‍යානයේ දී සිත පැහැදීම ඇති කරන ශ්‍රද්ධාව ඇති වේ (අජ්ඣත්තං සම්පසාදනං). විතර්කය සහ විචාරය යන පළිබෝධයන් නොමැති බැවින් දුතිය ධ්‍යානය පැහැදිලිය. කුඩා මහත් රළ නොමැති පැහැදිලි ජලයක් වැනි ය. එහි දී ශ්‍රද්ධාව බලවත් වී සිතේ පැහැදීම ඇති වේ.

එසේම ප්‍රථමධ්‍යානයේ දී තිබූ විතර්කය හා විචාරය සංසිඳවීමෙන් වඩාත් පිරිසිදු සමාධි ශක්තියක් ඇති වන බැවින් දුතිය ධ්‍යානයේ දී සිතේ එකඟබව වැඩි වේ (චෙතසො එකොදිභාවං). එසේම මෙම දුතිය ධ්‍යානය උපදින්නේ ප්‍රථම ධ්‍යාන සමාධිය පදනම් කරගෙන වේ (සමාධිජං). ඒ නිසා ප්‍රථම ධ්‍යානය ඉපදවීමෙන් තොරව දුතිය ධ්‍යානය ඉපදවීමක් ද සිදු නොවේ. එකවිටම චතුර්ථ ධ්‍යානය ඉපදවීම වැනි දෙයක් කිසි සේත්ම සිදු විය නොහැකි බව පැහැදිලි වනු ඇත.

මෙසේ දුතිය ධ්‍යානය ඉපදවීමට බලාපොරොත්තු වන යෝගාවචරයා පළමුව ප්‍රථම ධ්‍යානයෙන් නැඟී සිට එහි ධ්‍යානාංග පරික්‍ෂා කර බලා, අනතුරුව එහි ඇති විතර්ක, විචාර දෙදෙනාගේ ආදීනව මෙනෙහි කළයුතු වේ. මේ විතර්ක, විචාර දෙදෙනා කුසලයට පමණක් නොව අකුසලයට ද උපකාර වන බව සැලකිය යුතු වේ. එසේ ආදීනව සලකා, මේ විතර්ක, විචාර දෙකෙන්ම තොර සමාධියක් ලැබගත හැකි නම් එය වඩාත් ශාන්ත ප්‍රණීත විය යුතු බව ද මෙනෙහි කළයුතු වේ.

මේ සඳහා පැරණි ආචාර්යයන් වහන්සේලා කරන ලද ප්‍රායෝගික අභ්‍යාසයක් ඇතැම් ගුරු පරපුරක් විසින් භාවිතා කරනු ලැබේ. එනම් ධ්‍යානාංග එකිනෙකක් පිළිවෙලට මුල සිට අගටත්, අග සිට මුලටත් ආවර්ජනය කිරීමයි. එසේ කිහිප විටක් ආවර්ජනය කරන විට විතර්ක, විචාර දෙදෙනාගේ ඕළාරික බව, සමාධියට බාධාකාරී බව හොඳින් වැටහෙන්නට පටන් ගනී. එය හොඳින් වැටහෙන්නට වූ විට දුතිය ධ්‍යානයට සමවැදීම පහසු වේ.

මෙසේ විතර්ක, විචාර දෙදෙනාගේ ආදීනව සලකා බලන්නේ ප්‍රථම ධ්‍යානයෙන් නැඟී සිට උපචාර සමාධියේ දී ය. එවිට ප්‍රථම ධ්‍යානයේ දී උපදවන ලද පටිභාග නිමිත්ත තමන් ඉදිරියේ තිබෙන බව වැටහේ. එසේ ඇතිව, විතර්ක, විචාර දෙදෙනාගේ ආදීනවය, ඕළාරික බව වැටහෙන්නට වූ විට, ‘විතර්ක, විචාර දෙදෙනාගෙන් තොර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන අංගයන් සහිත දුතිය ධ්‍යානයට සමවදින්නෙමි’ යන අදහස ඇතිව කලින් තමන් උපදවාගෙන සිටි පටිභාග නිමිත්තටම සිත යොමු කළ යුතු වේ. එවිට යෝගියා ‘විතක්ක විචාරානං වූපසමා’ යැයි කියූ ආකාරයට විතර්ක, විචාර වලින් තොර ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන අංගයන්ගෙන් යුතු, පෙරට වඩා ශක්තිමත් සමාධියක් වූ, දුතිය ධ්‍යාන සමාධියට සමවදිනු ඇත.

මෙසේ දුතිය ධ්‍යානයට සමවැදුණු යෝගියා අනතුරුව ඒ දුතිය ධ්‍යානය ද මුලින් දැක්වූ ආකාරයෙන් ම පස් ආකාරයකට වශී බවට පත් කරගත යුතු වේ. එසේ වශී භාවයට පත් කරගෙන අනතුරුව තතිය ධ්‍යානයට සමවැදීම කළයුතු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Sunday, December 27, 2020

1.41 Sirivaḍḍha Theragatha

ආනාපානසති භාවනාව – 17 වන කොටස

 

ආනාපානසති භාවනාව – 17 වන කොටස

26. ආනාපානසති භාවනාව –  17 වන කොටස

ආනාපානසති භාවනාවෙන් හෝ වේවා වෙනත් භාවනාවකින් ධ්‍යානයක් උපදවාගන්නා තැනැත්තෙක් සමථ භාවනාව මුල්කරගෙන තමන්ගේ භාවනාව සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ශක්තිමත් සමාධියක් ඇති කරගැනීම වැදගත් වේ. ශක්තිමත් සමාධියක් ඇති පුද්ගලයාගේ විදර්ශනාව පහසුවෙන් කරගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනා වල මඟ පෙන්වා ඇත්තේ චතුර්ථ ධ්‍යානය දක්වා සමාධිය දියුණු කරගෙන, පූර්වේනිවස ඥානය ආදිය ද උපදවාගෙන විදර්ශනා කිරීම පිළිබඳව වේ. එසේ සමාධිය දියුණු කරගැනීම සෑම අතින්ම විදර්ශනාවට පහසුවක් බව ප්‍රායෝගිකව භාවනා කරන පුද්ගලයෙකුට වඩාත් හොඳින් වැටහෙනවා ඇත.

ප්‍රථම ධ්‍යානය උපදවාගත් පුද්ගලයෙක් දෙවන ධ්‍යානයට සමාධිය දියුණු කිරීමට පෙර ප්‍රථම ධ්‍යානයේ සිත ස්ථාවර බවට පත්කරගත යුතු වේ. ඒ සඳහා නිතර නිතර ප්‍රථම ධ්‍යානයට සමවැදීම කළයුතු වේ. ප්‍රථම ධ්‍යානයේ ප්‍රගුණ බව නොමැතිව දෙවැනි ධ්‍යානයට පැමිණීමෙන් පළමු සමාධිය ද දුර්වල වේ. මෙය බුදුරජාණන් වහන්සේ අංගුත්තක නිකායේ නවක නිපාතයේ ගාවී උපමා සූත්‍රයේ ද වදාළ සේක.

එබැවින් ප්‍රථම ධ්‍යානය ශක්තිමත් කරගැනීම පිණිස පළමුව නැවත නැවතත් එම ධ්‍යානයට සමවැදීම බහුල වශයෙන් කළයුතු වේ. එහි දී ප්‍රථම ධ්‍යානය ආකාර පසකට (5) වශී බවට පත්කරගත යුතු වේ. මෙය පංච වශීතාවය ලෙස ද හැඳින්වේ. ඒ මෙසේය. 1. ආවජ්ජන වශීතාවය 2. සමාපජ්ජන වශීතාවය 3. අධිට්ඨාන වශීතාවය 4. වුට්ඨාන වශීතාවය 5. පච්චවෙක්ඛණ වශීතාවය යනුවෙනි.

කිසියම් ධ්‍යාන සමාධියක් මේ ආකාර පසට වශී බවට පත්කරගත් විට ඒ යෝගියාට ඕනෑම අවස්ථාවක, ඕනෑම ස්ථානයක ඉතා ඉක්මනින් ධ්‍යානයට සමවැදීමේ හැකියාව ලබාගත හැකි වේ. යම් කෙනෙක් දිවැස් නුවණ ආදී අභිඥා ඉපදවීමට අදහස් කරන්නේ නම් අනිවාර්යයෙන්ම ධ්‍යාන වශී බවට පත්කරගත යුතු වේ. එහෙත් බොහෝ බෞද්ධයන්ගේ කැමැත්ත වන්නේ ඉක්මනින් විදර්ශනා කිරීමට බැවින් අභිඥා ආදිය ඉපදවීමේ කැමැත්තක් නොමැති වේ. එහෙත් විදර්ශනාව පහසුවෙන් කරගෙන යාමට නම් ශක්තිමත් සමාධිය බොහෝ උපකාරී වේ.

ඒ පංච වශීතාවය සිදු කරන ආකාරය මෙසේ දැක්විය හැකි වේ.

1. ආවජ්ජන වශීතාවය

මෙයින් අදහස් වන්නේ ඉතා ඉක්මනින් ධ්‍යානාංග ආවර්ජනය කිරීමේ හැකියාව ලබන වශීතාවයයි. ප්‍රථම ධ්‍යානයට සමවැදුණු යෝගියා එයින් නැඟී සිට, එනම් ධ්‍යානයෙන් සිත ඉවත් කරගෙන උපචාර සමාධියට පැමිණ තමන් සමවැදුණු ධ්‍යානයේ ඇති විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන අංග පස ආවර්ජනය කළයුතු වේ. එය කරන්නේ මෙසේය.

ප්‍රථම ධ්‍යානයෙන් නැඟී සිට පළමුව විතර්කය ආවර්ජනය කරයි. සිත නිමිත්ත කරා යොමු වන ස්වභාවය, අරමුණට නංවන ස්වභාවය ආවර්ජනය කරයි. එය වැටහෙන විට දෙවන අංගය වන විචාරය ආවර්ජනය කරයි. එනම් සිත අරමුණෙහි හැසිරෙන ආකාරය ආවර්ජනය කරයි. එයින් මතු ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය යන පිළිවෙලට අංග ආවර්ජනය කර බැලිය යුතු වේ. නැවත පළමු අංගයේ පටන් ආවර්ජනය කළයුතු වේ. මෙසේ බොහෝ වාර ගණනක් ධ්‍යාන අංග ආවර්ජනය කිරීමේ දී අතරක් නැතිව එක දිගටම ධ්‍යාන අංගයෙන් අංගය ආවර්ජනය කිරීමේ හැකියාව ලැබේ. ඉක්මනින් අංග ආවර්ජනය කිරීමේ හැකියාව ලැබේ. එවිට ආවර්ජන වශීතාවය ඇති වූයේ වෙයි.

මෙහි දී එකිනෙක ධ්‍යාන අංගයේ ගුණ දොස් විචාරා බැලීම සුදුසු නොවේ. එසේ බැලීමෙන් ප්‍රථම ධ්‍යානයේ දොස් දැක දෙවන ධ්‍යානයට යාමට සිත පහළ වේ. එයින් දෙවන ධ්‍යානය උපදවන්නට තැත් කරන පුද්ගලයාගේ ප්‍රථම ධ්‍යානය ද පිරිහීමට පත් වේ.

2. සමාපජ්ජන වශීතාවය

ධ්‍යානයට වහා සමවැදීමේ හැකියාව සමාපජ්ජන වශීතාවය ලෙස හැඳින්වේ. මෙය ඇති කරගැනීම සඳහා යෝගියා නිතර නිතර සමවැදීම බහුල කරගත යුතු වේ. වාර සියදහස් ගණනක් සමාධියට සමවැදී ඉන් නැගී සිට නැවත සමවැදී ඉන් නැගී සිට ලබන පුහුණව තුළින් මෙම සමවැදීමේ වශීතාවය උපදවාගත හැකි වේ.

3. අධිට්ඨාන වශීතාවය

කිසියම් අධිෂ්ඨාන කරන කාලයක් සමවැදී සිටීමේ හැකියාව ඇති කරගැනීම මෙයින් අදහස් වේ. මෙය ඇති කරගැනීම සඳහා නොයෙක් කාලයන් අධිෂ්ඨාන කර පුහුණු විය යුතු වේ.

මේ සඳහා පළමුව ධ්‍යානයට සමවැදී මිනිත්තුවක් සිටින බව අධිෂ්ඨාන කරගෙන සමවැදිය යුතු වේ. එවිට මිනිත්තුවක් ඉක්ම ගිය පසු නැඟී සිටීම සිදු වේ. බොහෝ වාර ගණනක් මෙසේ කිසියම් එක් කාලයක් අධිෂ්ඨාන කරගෙන සමවැදීම කළයුතු වේ. එවිට වඩාත් නිවැරදි කාලයේම නැඟී සිටීම සිදු වේ. මිනිත්තුවක් අධිෂ්ඨාන වශී බවට පත්කරගත් පසු නැවත මිනිත්තු දෙකක් සමවැදී සිටීමට අධිෂ්ඨාන කළයුතු වේ. එය ද බොහෝ වාර ගණනක් කළයුතු වේ. මෙසේ පැයක්, දෙකක්, තුනක් පමණ සමාධියට සමවැදී සිටීමේ හැකියාව උපදවා ගැනීමෙන් අධිෂ්ඨාන වශීතාවය ඇති කරගත්තේ වෙයි. එවිට තමන් කැමති කාලයක් තීරණය කරගෙන සමාධියට සම වැදී සිට නියම කරගත් කාලය අවසානයේ ඉන් නැඟී සිටීමේ හැකියාව ලැබේ. නියම කරගත් කාලයට අඩුවෙන් නැඟී සිටීමක් සිදු නොවේ.

4. වුට්ඨාන වශීතාවය

කිසියම් කාලයක් අධිෂ්ඨාන කර සමවැදීමෙන් අනතුරුව ඒ කාලය නොඉක්මවා සමාධියෙන් නැඟී සිටීමේ හැකියාව වුට්ඨාන වශීතාවය නම් වේ. අධිෂ්ඨාන වශීතාවය ඇති කරගත් යෝගියාට වුට්ඨාන වශීතාවය ද ඇති වූයේම වෙයි.

5. පච්චවෙක්ඛණ වශීතාවය

එකිනෙක ධ්‍යාන අංගය එහි ස්වභාවය වශයෙන් හඳුනාගැනීම ප්‍රත්‍යවේක්‍ෂා වශීභාවය නම් වේ. ආවර්ජනය වශීතාවයේ දී ධ්‍යාන අංග ආවර්ජනය කරමින් ඒ ඒ ධ්‍යානාංගය හඳුනාගන්නා බැවින් ප්‍රත්‍යවේක්‍ෂණ වශීභාවය ද සිදු වේ.

මෙම පංච වශීතාවය පිළිබඳ විශුද්ධිමාර්ග සන්නයේ සඳහන් වන්නේ ආවර්ජන වශීභාවය ඇති කරගැනීමෙන් ප්‍රත්‍යවේක්‍ෂණ වශීබව ද ඇති වන බවයි. එසේම අධිෂ්ඨාන වශීභාවය ඇති කරගැනීමෙන් වුට්ඨාන වශීභාවය ද ඇති වන බවයි.

මෙම ආවර්ජන-පච්චවෙක්ඛණ වශීතාවය අභිධර්මයට අනුව මෙසේ පැහැදිලි කළ හැකිය. එනම් ආවර්ජනයේ දී අදහස් කරන ලද්දේ ධ්‍යානාංග විමසා බැලීමේ දී භවංග සිත ඉපිද නිරුද්ධ වී උපදින මනෝද්වාරාවර්ජන සිතට අනතුරුව විතර්ක ආදී ධ්‍යානාංග අරමුණු කරගත් ජවන සිත් පිළිබඳව වේ. ප්‍රත්‍යවේක්‍ෂණ වශීතාවයේ දී අදහස් කරන්නේ එකිනෙක ධ්‍යානාංග විමසා බැලීමේ ප්‍රත්‍යවේක්‍ෂා ජවන සිත් පිළිබඳව වේ.

අධිෂ්ඨාන-වුට්ඨාන වශීතාවයන් ද එකවිට සිදු වන අතර අධිෂ්ඨානයේ දී නියම කරගත් කාලයට අඩුවෙන් නැඟී සිටීමක් සිදු නොවී තීරණය කරගත් කාලයම සමාධිය පැවැත්වීම අදහස් කෙරේ. වුට්ඨානයේ දී නියම කරගත් කාලය ඉක්ම යා නොදී සමාධියෙන් නැඟී සිටීම අදහස් වේ.

මෙසේ ප්‍රථම ධ්‍යානය ආකාර පසකට වශී කරගත් පසු කැමති තැනක, කැමති වේලාවක සමවැදීමටත්, කැමති කාලයක් සමවැදී සිටීමටත් හැකි වේ. ඉන් පසු දුතිය ධ්‍යානයට සමවැදීම සුදුසු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Na Uyane Ariyadhamma Thero


 

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...