Thursday, December 17, 2020
Wednesday, December 16, 2020
ආනාපානසති භාවනාව – 11 වන කොටස
ආනාපානසති භාවනාව – 11 වන කොටස
May 23, 2020 | සිත නිවන භාවනා | 0
මුල පටන් පිළිවෙලට ආනාපානසති භාවනාව වඩන යෝගාවචරයාට ආනාපානසති ප්‍රතිභාග නිමිත්ත පහළ වූ පසු තවදුරටත් ඒ ප්‍රතිභාගනිමිත්ත සහිතවම ආශ්වාස-ප්‍රාශ්වාසය මෙනෙහි කළයුතු වේ. ඒ නිමිත්ත පිළිබඳ වර්ණය වෙනස් වන ලෙස සිතීම් ආදියක් නොකොට නිමිත්ත පිළිබඳ දැඩි සේ අවධානය යොමු කිරීමක් හෝ නොමැතිව, මැදහත් සිතින් නිමිත්ත කෙරෙහි අවධානය සහිතව ආශ්වාස-ප්‍රාශ්වාසයම මෙනෙහි කළයුතු වේ. නිමිත්තක් උපදවා ගැනීමෙන් දුෂ්කර දෙයක් කරන ලද්දේ යැයි භාවනාව අතහැර නොදමා දිගටම ඕනෑකමින් යුතුව භාවනාව කරගෙන යා යුතු වේ.
මෙසේ ප්‍රතිභාග නිමිත්ත උපන් කල්හි හුස්ම රැල්ල මෙනෙහි කිරීමේ දී යෝගියා ඒ ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා ගතයුතු වේ. එය ‘ඨපනය’ ලෙස සඳහන් වේ. එය නිමිත්ත කෙරෙහි වඩාත් අවධානයෙන් බලා සිටීමක් නොවේ. සිත නිමිත්තට යොමු කරමින් ආශ්වාස-ප්‍රාශ්වාසම නැවත නැවතත් මෙනෙහි කිරීමයි. මෙය ඉතා සියුම් ව පැහැදිලි කරගතයුතු වේ. ආශ්වාසය අරමුණු කරන සිත එකකි. ප්‍රශ්වාසය අරමුණු කරන සිත අනෙකකි. නිමිත්ත අරමුණු කරන සිත අනෙකකි. එබැවින් යෝගියා විසින් කළයුත්තේ තමන්ට අරමුණු වන නිමිත්ත කෙරෙහි සිත යොමු කරගෙන මේ දක්වා කරගෙන ආ පිළිවෙලින්ම හුස්ම රැල්ල මෙනෙහි කිරීමයි.
යම් පුද්ගලයෙකුට ආනාපානසති ප්‍රතිභාග නිමිත්ත උපන්නේ නම් එයින්ම ඔහුගේ පංච නීවරණ ධර්මයන් විශ්කම්භන වශයෙන් ප්‍රහාණය වූයේ වෙයි. කෙලෙස් සංසිඳුනේ වෙයි. සිත උපචාර සමාධියෙන් සමාධිමත් වූයේ වේ. මෙහි දී තමන්ට අරමුණු වන ආලෝක නිමිත්ත අනිත්‍ය වශයෙන් මෙනෙහි නොකළ යුතු වේ. එසේ කළහොත් ධ්‍යානයට නොපැමිණේ. එබැවින් තමන්ට සප්පාය නොවන සෙනසුන්, පුද්ගලයන් ආදිය ද බැහැර කොට භාවනාවට රුචිය උපදවාගත යුතු වේ. එසේ භාවනාවට රුචිය උපදවාගෙන භාවනා කරන යෝගියාගේ සිත ඉතා ඉක්මනින් ප්‍රථම ධ්‍යානයට පත් වේ.
එහෙත් මෙම අවස්ථාවේ දී තමන් ඉතා ඉක්මනින් ධ්‍යානයක් ලබා ගන්නෙමි යැයි දැඩි වීර්ය කිරීමක් සුදුසු නොවේ. එසේ දැඩි සේ වීර්ය කිරීමේ දී ඔහුගේ සිත උද්ධච්චයට පත්වේ. එවිට සිත අර්පණාවට පත් නොවේ. එසේම දැඩි වීර්යයේ දොස් දැක භාවනාව අතහැර දමමින් වීර්යය පිරිහෙළන පුද්ගලයාට ද ධ්‍යාන ලැබිය නොහැකි වේ. එවිට සිත කුසීත බවට පත්වන බැවිනි. යම් යෝගියෙක් තමාගේ සිත ලීන භාවයෙන් හෝ උද්ධචච් භාවයෙන් මුදවාගෙන සමව පවත්වාගෙන නිමිත්ත අභිමුඛ කරගෙන සිත පිහිටුවාගෙන හුස්ම රැල්ල මෙනෙහි කරයි නම් ඔහුගේ සිත අර්පණාවට පැමිණේ.
නිමිත්ත කෙරෙහි සිත පිහිටුවාගෙන හුස්ම රැල්ල පෙර කී ආකාරයෙන් මෙනෙහි කිරීමේ දී තමන්ගේ සිත ඒ නිමිත්ත දෙසට යොමු වන බව යෝගියාට දැනේ. බැහැර අරමුණු වලින්, ශබ්ද ආදියෙන් සිත ඉවත් වී තමන්ට අරමුණු වන නිමිත්ත දෙසටම යොමු වන බවක් දැනේ. තමන්ගේ කයේ යම් සුළු වේදනාවක් නමුත් තිබුණේ නම් ඒ පිළිබඳව පවා අවධානය නොමැතිව නිමිත්ත කෙරෙහිම අවධානය තියුණු වන්නට පටන් ගනී. සමහර කෙනෙකුට පටිභාග නිමිත්ත තුළට තමන් කිමිදී ගියාක් මෙන් දැනේ. පටිභාග නිමිත්තෙන් තමන්ගේ සිත යටපත් වූ ආකාරයක් අත්දකී. ඒත් සමඟ භාවනාවේ තමන් පෙර අත් නොදුටු ආකාරයේ සැහැල්ලුවක්, සමාධිමත් බවක්, සිතේ එකඟ බවක් ඇති වේ. කෙලෙස් සංසිඳීමට පත් වේ. එවිට සිත විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන අංගයන්ගෙන් යුත් ප්‍රථමධ්‍යානයට පත්වූයේ වෙයි.
සමහර යෝගියෙකුට පහසුවෙන් සිත ධ්‍යානය දක්වා දියුණු කරගත නොහැකි වේ. ඒ සඳහා දසවිධ අර්පණා කෞෂල්‍යය සම්පාදනය කරගත යුතු බව අර්ථකථාවන්හි සඳහන් වේ. ඒ පිළිබඳ ඉදිරියේ කරුණු විස්තර කිරීමට බලාපොරොත්තු වන අතර මෙහි දී ධ්‍යානයකට පත් වූ පුද්ගලයා විසින් පිළිපැදිය යුතු ආකාරය විස්තර වේ.
සමහර කෙනෙක් සිත ප්‍රථමධ්‍යානයට පත් නොවී මුළ වීමක් සිදු විය හැකිය. එබැවින් සිතේ සමාධිමත් බවක් ඇති වූ පමණින් තමන් ධ්‍යානයක් ලැබුවේ යැයි නොසිතිය යුතු වේ. ඒ ධ්‍යානයේ ධ්‍යානාංග පරික්‍ෂා කර බැලිය යුතු වේ. ධ්‍යානාංග පරික්‍ෂා කිරීම සිත සමාධියට සමවැදී සිටින විට කළ නොහැකි වේ.
අභිධර්මයේ දැක්වෙන අන්දමට අර්පණා සමාධි සිත යනු රූපාවචර සිතකි. ධ්‍යානාංග පරික්‍ෂා කිරීමේ සිත කාමාවචර කුසල් සිතකි. ඒ නිසා ධ්‍යානයට සමවැදී සිටින විට ධ්‍යානාංග අරමුණු කළ නොහැකි වේ. එබැවින් ධ්‍යානයට සමවැදුණු පුද්ගලයා එයින් මිදී සිත උපචාර සමාධියට පත් කරගත යුතු වේ. එනම් නැවතත් තමන් ඉදිරියේ නිමිත්ත පවතින ආකාරයට නිමිත්ත කෙරෙහි සිත යොමු කරගත යුතු වේ. එය සිදු කරන අන්දම ධ්‍යානයට සමවැදුණු යෝගාවචරයාට වටහාගත හැකි වේ. එසේ නොවැටහේ නම් පළපුරුදු ගුරු ඇසුරකින් උපදෙස් ලබාගත යුතු වේ.
මෙසේ සිත ධ්‍යානයෙන් මුදවාගෙන, උපචාර සමාධියට පත් කරගෙන ධ්‍යානාංග පස ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු වේ. ඒ සඳහා එකිනෙක ධ්‍යානාංග පිළිබඳ අවබෝධයක් තිබිය යුතු වේ. සමහර පුද්ගලයන් ‘විතක්කය … විතක්කය’ යනාදි වශයෙන් වචනයෙන් මෙනෙහි කළයුතු බව කියති. එය වැරදි අදහසක් වේ. එසේ මෙනෙහි කිරීමෙන් ධ්‍යානාංග වැටහීමක් සිදු නොවේ. වචනය මෙනෙහි කිරීමක් පමණක් සිදු වේ. ඒ නිසා එකිනෙක ධ්‍යානාංගය පිළිබඳ අවබෝධය ඇතිව උපචාර සමාධියේ දී ඒ ධ්‍යානාංග පරික්‍ෂා කළ හැකි වේ.
ධ්‍යානාංග පවතින්නේ ධ්‍යාන සිතේ නිසා උපචාර සමාධියේ දී ධ්‍යානාංග පරික්‍ෂා කරන්නේ කෙසේ දැයි කෙනෙකුට සිතිය හැකි වේ. මෙහි දී කරන්නේ තමන් කලින් සමවැදුණු ධ්‍යානයේ ඇති අංග එයින් ඉවතට පැමිණ පරික්‍ෂා කිරීමකි. එය කිසියම් ගෘහයක හැඩහුරුකම පරික්‍ෂා කිරීමක් වැනි යැයි කිව හැකිය. ගෘහය ඇතුළට ගිය විට එහි හැඩහුරුකම පරික්‍ෂා කළ නොහැකි වේ. එයින් පිටතට පැමිණ බැලිය යුතු වේ. එහෙත් පිටතට පැමිණ තමන් ඇතුළු වී සිටි ගෘහය පරික්‍ෂා කළ හැකි වේ. එසේම ධ්‍යානයෙන් සිත ඉවත් කරගෙන තමන් සමවැදුණු ධ්‍යානයේ අංග පරික්‍ෂා කර බැලිය හැකි වේ. ඒ සඳහා ප්‍රතිභාග නිමිත්ත තිබිය යුතු වේ. එවිට සිත පවතින්නේ උපචාර සමාධියේ බැවින් සිතේ සාමාන්‍ය තත්වය ඉක්මවා ගිය සමාධියක් පවතී. ඒ සමාධිමත් බව උපකාර කරගෙන ධ්‍යානාංග පරික්‍ෂා කළ හැකි වේ.
ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කිරීම පිණිස එකිනෙක ධ්‍යානාංගය පිළිබඳ මීළඟට විස්තර වේ.
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Monday, December 14, 2020
ආනාපානසති භාවනාව – 10 වන කොටස
19. ආනාපානසති භාවනාව – 10 වන කොටස
May 20, 2020 | සිත නිවන භාවනා | 0
ශාන්ත වූ ප්‍රණීත වූ භාවනා කර්මස්ථානයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් සුප්‍රශස්ත ආනාපානසති භාවනාවේ ඒ ශාන්ත බව, ප්‍රණීත බව අත්දකින්නට නම් නිවැරදිව ආනාපානසති භාවනාව වැඩිය යුතු වේ. මුල පටන් පිළිවෙලින් ආනාපානසති භාවනාව කරන අන්දම මෙහි ඉහත ලිපි වලින් පැහැදිලි කරන ලදී. තමන්ගේ ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙහි පිහිටුවාගත් සිහියෙන් යුතුව මේ පිළිවෙලින් භාවනාව සිදු කරන්නේ නම් නොබෝ කළකින් භාවනාවේ යහපත් ප්‍රතිඵල අත්දැකිය හැකි වේ. ඒ අනුව උද්ග්‍රහ නිමිති, පටිභාග නිමිති ලැබීමට භාවනාවේ යෙදෙන පුද්ගලයාට හැකි වේ.
මෙම උද්ග්‍රහ නිමිති, පටිභාග නිමිති පිළිබඳ බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටක පෙළ දේශනයේ පැහැදිලි කර නොමැති බැවින් මේවා වැරදි අදහස් යැයි සමහර දෙනෙක් සිතති. කියති. භාවනාව පිළිබඳ පළපුරුද්ද අඩු පුද්ගලයාට මේවා වැරදි යැයි සිතිය හැකිය. පොතපතින් පමණක් භාවනාව ගැන කියවා අසා දැනගෙන භාවනාව පුහුණු කරවීමේ දී මෙසේ වැරදි අදහස් ඇති වේ. එහෙත් නිවැරදිව භාවනාව පුහුණු කරන පුද්ගලයාට මෙම නිමිති අනිවාර්යයෙන් අත්දැකිය හැකි වේ.
එසේම ‘ධ්‍යාන’ යන මාතෘකාව අද වර්තමානයේ බොහෝ දෙනෙක් කතාබහ කරන මාතෘකාවක් බවට ද පත්ව තිබේ. එහෙත් ඒ බොහෝ දෙනෙක් ධ්‍යාන පිළිබඳ වැරදි මුළාවක සිටින බව ද ඔවුන්ගේ කතාබහෙන් අවබෝධ වේ. එබැවින් නිවැරදිව ධ්‍යාන ලබන ආකාරය දැනගත යුතු වේ.
සිංහල බසින් ‘ධ්‍යාන’ යනුවෙන් ද ‘දැහැන්’ යනුවෙන් ද හඳුන්වන පාලි භාෂාවේ ‘ඣාන’ යනුවෙන් හඳුන්වන ඉහළ සමාධි මට්ටමක් ආනාපානසති භාවනාවෙන් ද ළඟා කරගත හැකි වේ. මෙය ‘අර්පණා සමාධිය’ ලෙස ද හැඳින්වේ.
ධ්‍යාන සමාධි ප්‍රධාන ආකාර දෙකකි. එනම්, (1) රූපාවචර ධ්‍යාන සහ (2) අරූපාවචර ධ්‍යාන වශයෙනි. ආනාපානසති භාවනාවෙන් ළඟා කරගත හැක්කේ රූපාවචර ධ්‍යාන සමාධි පමණක් වේ. මේවා ප්‍රධාන ආකාර හතරකි.
1. ප්‍රථමධ්‍යානය
2. දුතියධ්‍යානය
3. තතියධ්‍යානය
4. චතුර්ථධ්‍යානය වශයෙනි.
මෙහි දී දැනගත යුතු වැදගත් කරුණක් වන්නේ මෙම ධාන මට්ටම් වලට ළඟා වීම පිළිවෙලින් සිදු වන බවයි. එහි දී එකිනෙක ධ්‍යාන සමාධියේ ඇති ධ්‍යානාංග අවබෝධ කරගත හැකි වීමයි. ඒ අනුව ප්‍රථමධ්‍යානයේ ‘විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා’ යනුවෙන් ධ්‍යානාංග පසකි. දුතියධ්‍යානයේ මෙයින් විතර්කය හා විචාරය අඩු වේ. තතියධ්‍යානයේ දී ප්‍රීතිය ද අඩුවන අතර චතුර්ථධ්‍යානයේ දී සුඛය නැති වී උපේක්‍ෂාව ඇති වේ. ඒ අනුව මෙම එකිනෙක ධ්‍යාන මට්ටම් ළඟා කරගන්නා ආකාරය වටහාගත යුතු වේ.
ආනාපානසති භාවනාවේ නියැළෙන පුද්ගලයා පිළිවෙලින් ඉහත සඳහන් කළ ආකාරයට භාවනාව වර්ධනය කරගෙන යාමේ දී හුස්ම රැල්ල බොහෝ සියුම් භාවයට පත් වී ගිය පසු තව දුරටත් සිහිය වර්ධනය කරගෙන ඒ සියුම් වූ හුස්ම කෙරෙහි අවධානය යොමු කරගෙන මෙනෙහි කළයුතු වේ. එවිට උද්ග්‍රහ නිමිති පහළ වී අනතුරුව පටිභාග නිමිති පහළ වේ. සමහර කෙනෙකුට කෙලින්ම පටිභාග නිමිති පහළ වීමට ද හැකිය.
උද්ග්‍රහ නිමිත්ත
උද්ග්‍රහ නිමිති පහළ වන්නේ මෙසේය. හුස්ම රැල්ල ගැටෙන නාසිකා අග සිහිය තබාගෙන සිටි විට සමහර කෙනෙකුට නාසිකා අග සිහින් පුළුන් රොදක් සේ අරමුණු වේ. තවත් සමහර කෙනෙකුට වළාකුළු පෙඳක් සේ ද, නැතිනම් මීදුම් පටලයක් ලෙස ද අරමුණු වියහැකි වේ. එය එකිනෙක පුද්ගලයාගේ සංඥාවේ නානත්වය අනුව වේ. එහි නිශ්චිත බවක් නොමැති අතර එකිනෙක පුද්ගලයාගේ නිමිත්ත වැටහීමට පූර්වයේ ගත් සංඥාවන්ගේ නානත්වය අනුව වෙනස් වේ. වර්තමානයේ සමාජයේ පුද්ගලයන් අත්දකින සංඥාවන්ගේ ඇති නානත්වය අනුව ඔවුන්ට වැටහෙන නිමිත්ත ද වෙනස් විය හැකිය. එසේම සමහර පුද්ගලයෙකුට මෙසේ ඕළාරිකව නිමිත්ත නොවැටහෙන අතර ඉතා සියුම් ආලෝක ඡායාවක් ලෙස ද වැටහේ. මේ සමඟ සිතේ හා කයේ වඩාත් සැහැල්ලු බවක් ඇති වේ. බොහෝ වේලාවක් වඩාත් පහසුවෙන් භාවනා ආසනයේ සිටීමට හැකි බවක් වැටහෙනු ඇත.
මෙසේ උද්ග්‍රහ නිමිති පහළ වූ විට ඒ යෝගාවචරයා තමන්ගේ භාවනාව නොකඩවා කළ යුතු වේ. අතරමඟ භාවනාව නවතා දැමීම සුදුසු නොවේ. නොකඩවා මේ ආකාරයෙන් ම භාවනාව සිදු කිරීමේ දී ඒ උද්ග්‍රහ නිමිත්ත අතුරුදහන්ව පටිභාග නිමිත්ත පහළ වේ.
පටිභාග නිමිත්ත
පටිභාග නිමිත්ත පහළ වන ආකාරය ද එකිනෙක පුද්ගලයාට අනුව වෙනස් වේ. ඇතමෙකුට තරුවක ප්‍රභාවක් ලෙස ද, තවත් සමහරෙකුට මිණිකැටයක් ලෙස ද, නැතිනම් වඩාත් සුපැහැදිලි හිරු මඬලක්, සඳ මඬලක් ලෙස ද පටිභාග නිමිත්ත වැටහේ. මෙය ද එකිනෙක පුද්ගලයා පූර්වයේ ගත් සංඥාවන්ගේ නානත්වය අනුව වෙනස් වේ. සමහර කෙනෙකුට තමන් නිතර දකින විදුලි බල්බයක් වැනි නිමිත්තක් වුවද ඇති විය හැකි වේ. සමහර පුද්ගලයෙකුගේ පටිභාග නිමිත්ත වඩාත් ප්‍රභාෂ්වර ආලෝකයක් වන අතර සමහර පුද්ගලයකුට එතරම්ම ප්‍රභාෂ්වර ආලෝකයක් නොවේ. මෙහි දී උද්ග්‍රහ නිමිත්තේ තිබූ පැහැදිලි බව ඉක්මවා ගිය පැහැදිලි බවක් අත්දැකිය හැකි වේ. සමහර කෙනෙකුට උද්ග්‍රහ නිමිත්ත එතරම් ප්‍රකට නොවන අතර මෙම පටිභාග නිමිත්තම වඩාත් ප්‍රකටව වැටහේ.
මෙහි ලා ‘නිමිත්ත’ යන වචනයේ අර්ථය වන්නේ ‘හේතුවක්’ යනුයි. ඒ අනුව පටිභාග නිමිත්ත යන්නෙන් අදහස් වන්නේ අර්පණා සමාධියක් ඉපදවීමට සමත් හේතුවක් සම්පාදනය වූ බවයි. එය පැහැදිලි ආලෝකයක් ලෙස බොහෝ දෙනෙකුට වැටහෙන අතර එසේ වීම අනිවාර්ය නොවේ. තමන්ට අර්පණා සමාධියක් ඉපදවීමේ ශක්තියක් ඇති වූයේ ද යන්න වටහාගත යුතු වේ. එය නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි නම් සුදුසු පළපුරුදු ගුරු ඇසුරක් ලබාගත යුතු වේ.
භාවනාවෙන් යන්තම් ආලෝක මාත්‍රයක් හෝ සැහැල්ලු බවක් ඇති වූ පමණින් සමහරෙක් තමන් උතුම් සමාධියක් ලබා ඇතැයි රැවටේ. සමහරු පවසන්නේ තමන් එක පිළිවෙලින් සතරවෙනි ධ්‍යානමට්ටම දක්වාම ගිය බවයි. එහෙත් ඒ තැන් වලදී තමන් හදිසි නොවී පළපුරුදු ගුරු ඇසුරක් ලබාගත යුතු වේ. නැති නම් තමන්ගේ නිවන් මග තමන්ම අහුරා ගන්නවා ඇති.
එසේම සමහර කෙනෙක් කිසියම් ආලෝකයක් පහළ වූයේ නම් එය අනිත්‍යාදි ලෙස විදර්ශනාවට නංවන්නට උපදෙස් දෙති. ආනාපානසති භාවනාවෙන් පහළ වන ආලෝක මාත්‍රයෙන් එසේ විදර්ශනා කිරීමෙන් කිසිදා ධ්‍යාන මට්ටමට සමාධිය උසස් කරගත නොහැකි වේ. එබැවින් මෙසේ පටිභාග නිමිත්තක් පහළ වූ පසු එය ඉතා සුරක්‍ෂිතව පරිහරණය කළ යුතු වේ. ඒ සමඟ ක්‍රීඩා කිරීම නුසුදුසු වේ. අර්ථකථාවල පැහැදිලි කරන්නේ කිසියම් සක්විති රාජ දේවියක් තමන්ගේ කුසට පැමිණි සක්විති දරුගැබක් රකින්නේ යම් සේ ද එසේ පටිභාග නිමිත්ත රැකගත යුතු බවයි. සක්විති රාජ දේවිය තමන්ගේ කුසට සක්විති දරුගැබක් පැමිණි විට එතැන් පටන් සිය ස්වාමි රජු සමඟ හෝ එක්වීමක් සිදු නොවේ. ඉතාමත් සුරක්‍ෂිතව ඒ දරු ගැබ රැකගනී. එසේම ආනාපානසති පටිභාග නිමිත්ත ඇති වූ යෝගියා ඕළාරිකව ඉඳුරන් පිනවීම ආදියට නැඹුරු නොවී ආනාපානසති පටිභාග නිමිත්ත ආදරයෙන් රැකබලාගත යුතු වේ. එය ඉහළට පහළට යන සේ අදිටන් කිරීම, වර්ණය වෙනස් වීමට අදිටන් කිරීම ආදිය සුදුසු නොවේ.
මේ අවස්ථාවේ යෝගාවචරයා කළයුතු වන්නේ ඒ නිමිත්ත සහිතවම තවදුරටත් ආශ්වාස-ප්‍රාශ්වාසය මෙනෙහි කිරීමයි. මෙහි දී සිත ප්‍රථමධ්‍යානයෙන් අර්පණාගත වීමට ආසන්න වන නමුදු තවමත් අර්පණාගත වූයේ නැත. එහෙයින් භාවනාව තවමත් සමෘද්ධ වූයේ යැයි සෑහීමකට පත් නොවිය යුතුය. නොනවත්වා මනසිකාරය පවත්වන විට ඉතා ඉක්මනින් අර්පණාගත විය හැකි වේ.
මෙහි දී ප්‍රථමධ්‍යානයෙන් සිත සමාධිමත් වන ආකාරය මීළඟට පැහැදිලි කරමු.
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...