Saturday, December 5, 2020

ගනිමි…’ ‘හෙළමි…’ සිහියෙන් යුතුව හුස්ම ගන්න ආනාපානසති භාවනාව – තෙවන කොටස

 

. ‘ගනිමි…’ ‘හෙළමි…’ සිහියෙන් යුතුව හුස්ම ගන්න ආනාපානසති භාවනාව – තෙවන කොටස

12. ‘ගනිමි…’ ‘හෙළමි…’ සිහියෙන් යුතුව හුස්ම ගන්න ආනාපානසති භාවනාව – තෙවන කොටස

          මහාකාරුණිකයන් බුදුරජාණන් වහන්සේ එක් කලෙක සැරියුත්, මුගලන්, මහාකච්චායන, මහාකොට්ඨිත, මහාකප්පින ආදී මහරහතන් වහන්සේලා ද සමඟ සැවැත්නුවර පූර්වාරාමයේ වස් විසූ සේක. එම කාලය තුළ මහතෙරුන් වහන්සේලා නිතර තරුණ, නවක භික්‍ෂූන් වහන්සේලාට භාවනා කමටහන් ලබා දෙමින්, අවවාද අනුශාසනා කරමින් උපකාර කළ අතර බොහෝ දෙනෙක් පෙර නොලැබූ අධිගම ද ලැබූහ. වස් තුන්මස අවසන්ව, වප්මස පුර පසලොස්වක පොහෝ දින, පවාරණ දිනය එළඹිණි. භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ භික්‍ෂූන් පිරිවරා එළිමහනේ වැඩ හුන් අතර, වස් තුන්මස භික්‍ෂූන් වහන්සේලාගේ භාවනා ප්‍රතිපදාව පිළිබඳ සතුටු සිත් ඇති බවත්, එදින වස් පවාරණය නොකර තවත් මාසයක් එහිම වැඩ සිටීමට තීරණය කළ බවත් වදාළ සේක. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට අවවාද කළේ, ‘නොපැමිණි අර්හත් ඵලයට පැමිණීම පිණිස, අධිගත නොකළ ඵලය අධිගමනය පිණිස, පසක් නොකළ නිවන පසක් කිරීම පිණිස විශේෂයෙන් වීර්ය ආරම්භ කරන ලෙස’යි.

          ඒ අනුව භික්‍ෂූන් වහන්සේලා ඉතිරි මාසය ද එහි ම වාසය කරමින් භාවනා ප්‍රතිපදාවේ යෙදුණු අතර මහ තෙරුන් වහන්සේලා තව තවත් උනන්දුවෙන් තරුණ, නවක භික්‍ෂූන් වහන්සේලාට භාවනා උපදෙස් ලබා දුන්හ. එයින් බොහෝ දෙනෙක් පෙර නොපැමිණි අධිගමයන්ට පැමිණියහ.

          ඉල් මහ පසලොස්වක දින රාත්‍රියේ භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන එළිමහනෙහි වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිස අමතා භික්‍ෂූන් වහන්සේලා පිළිබඳ උදාර ප්‍රශංසාවක් කළ සේක. ඒ පිරිසේ උතුම් අර්හත්වයට පත් වූ, අනාගාමී ඵලයට පත් වූ, සකදාගාමී ඵලයට පත් වූ, සෝතාපන්න වූ භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටින බව පැවසූහ. සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රධන් වීර්ය, සතර ඍද්ධිපාද, පඤ්ච ඉන්‍ද්‍රිය, පඤ්ච බල, සප්ත බොධ්‍යඩ්ග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම වඩන භික්‍ෂූන් සිටින බව පැවසූහ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහාර භාවනා වඩන භික්‍ෂූන් වහන්සේලා ද, අසුභ භාවනාව ද, අනිත්‍ය සංඥාව ද වඩන භික්‍ෂූන් වහන්සේලා ද සිටින බව පැවසූ සේක.

          ඒ සියල්ල පැවසූ භාග්‍යවතුන් වහන්සේ නැවත, ඒ පිරිසේ ආනාපානසතිය වඩන භික්‍ෂූන් වහන්සේලා සිටින බව ද පැවසූහ. එසේ පවසා, භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසතිය මහත්ඵල මහානිසංස වන බව පැවසූ සේක.

          ‘භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසති භාවනාවෙන් සතර සතිපට්ඨානය පරිපූරණය වේ. සතර සතිපට්ඨානය භාවිත බහුලීකෘත කිරීමෙන් සප්ත බොධ්‍යඩ්ගධර්මයන් පරිපූරණය වේ. සප්ත බොධ්‍යඩ්ග ධර්මයන් භාවිත බහුලීකෘත කිරීමෙන් විද්‍යාවිමුක්ති සංඛ්‍යාත නිර්වාණය පරිපූරණය වේ.’

          ආනාපානසති භාවනාව නම් සියල්ලටම මුදුන්පත් භාවනාවකි. බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා විසින් අත් නොහළ භාවනාවකි. නිවන දක්වාම දිවෙන භාවනා කර්මස්ථානයකි. එබැවින් සෑම සියලු දෙනාම උනන්දුවෙන් උගෙනගෙන වැඩිය යුතු වේ.

          මෙසේ ආනාපානසති භාවනාවේ ආනිසංස දැක්වූ බුදුරජාණන් වහන්සේ ආනාපානසතිය වඩන ආකාරය පිළිවෙලට විස්තර කිරීම ඇරඹූ සේක. ඒ අනුව මහා සතිපට්ඨාන සූත්‍රය ආදී ආනාපානසතිය දැක්වෙන වෙනත් සූත්‍ර වල මෙන්ම භාවනාව ආරම්භ කරන ආකාරය මෙසේ වදාළ සේක.

          “ඉධ භික්ඛවෙ, භික්ඛු, අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා, නිසීදති පල්ලඩ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සෝ සතෝව අස්සසති. සතෝ පස්සසති.”

          ‘මහණෙනි, මේ සසුනෙහි භික්‍ෂුව වනසෙනසුනකට ගියේ හෝ වේවා, රුක්මුලකට ගියේ හෝ වේවා, ශූන්‍යාගාරයකට ගියේ හෝ වේවා, පලඟක් බැඳගෙන, කය ඍජු කොට තබාගෙන, සිහිය කමටහනට අභිමුඛ කරගෙන එළවා හිඳගනී. සිහි ඇතිවම ආශ්වාස කරයි, සිහි ඇතිවම ප්‍රශ්වාස කරයි’

          මෙහි දී ‘අරඤ්ඤගතෝ වා …’ යනාදි ආකාරයෙන් භාවනාවට සුදුසු පරිසරය පිළිබඳ වදාළහ. ඒ පිළිබඳව ඉහත ලිපි වලින් පැහැදිලි කරන ලදී. මෙම භාවනාවේ දී සෙසු භාවනාවල මෙන් නොව විශේෂයෙන් භාවනා ඉරියව්වක් ‘නිසීදති පල්ලඩ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය’ යනුවෙන් වදාළ සේක. ඒ අනුව පලඟක් බැඳගෙන, උඩු කය ඍජුව තබාගැනීම වැදගත් වේ. මෙහි දී වරදවා ධර්මයට අර්ථකථන දෙන සමහරෙක් අසන්නේ ‘උජුං කායං’ කියා ඇති බැවින් මුලු කයම ඍජුව තබාගත යුතු නොවේ ද යනුයි. එහෙත් ‘නිසීදති පල්ලඩ්කං ආභුජිත්වා’ යැයි කියන බැවින් පළමුව හිඳගත යුතුයි. එවිට මුලු කයම ඍජු කරගැනීමේ ක්‍රමයක් නැති බැවින් ඒ හිස් පැනයකි. පලඟක් බැඳගෙන හිඳගැනීම අපහසු අය පහසු ආකාරයකට හිඳගත යුතු වේ. භාවනාවට හිඳගන්නා ආකාරය ද ඉහත ලිපි වලින් දීර්ඝව විස්තර කරන ලදී. කෙසේ හෝ පහසු ආකාරයකට හිඳගෙන උඩු කය ඍජුව තබාගත යුතු වේ. සෑම කෙනෙකුගේම පිටකොන්දේ කොඳු ඇට දහඅටක් (18) ඇති අතර ඒ එකිනෙකක් එකිනෙකක් උඩින් සිටින ආකාරයට කොන්ද කෙලින් තබාගත් විට බොහෝ වේලාවක් භාවනාව කරගෙන යා හැකි වේ. එසේ නොවන විට සම, මස්, නහර තෙරපී වේදනා ඇති වේ. කොන්ද කෙලින් ඇති විට ඒ තෙරපීම් ඇති නොවී වේදනා නොමැති නිසාවෙන් සිත කර්මස්ථානයේ එකඟ වේ.

          මීළඟට වැදගත් වන්නේ ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’ යන්නයි. එයින් අදහස් වන්නේ සිහිය කර්මස්ථානාභිමුඛව තබාගත යුතු බවයි. ‘පරි’ යන්නෙන් පරිග්‍රහණය ද, ‘මුඛං’ යන්නෙන් නිර්ය්‍යාණය (ප්‍රතිපක්‍ෂ ධර්මයන් කෙරෙන් නික්මීම) ද, ‘සති’ යන්නෙන් එළවීම ද අදහස් වන බව පටිසම්භිදා මාර්ගයේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දේශනා කරන බැවින් ‘පරිග්‍රහණය කරන ලද නික්මීම ඇති සිහිය’ අදහස් වේ. කෙලෙසුන් කෙරෙන් නික්මීම සිදුවන්නේ කර්මස්ථානයක සිත වැඩීමෙනි. ඒ නිසා මින් අදහස් කරන ලද්දේ කර්මස්ථානයේ සිහිය තබාගැනීමයි. මෙය දම් සෙනෙවි සැරියුත් මා හිමියන්ගේ අර්ථ දැක්වීම බැවින් වෙනත් වැරදි අර්ථයන් ගතයුතු නොවේ.

          මේ අනුව කියන ලද ආකාරයෙන් භාවනාවට හිඳගන්නා තැනැත්තා තමන්ගේ භාවනා කමටහනට එළවාගත සිහිය අත නොහැර ‘සතෝව අස්සසති. සතෝ පස්සසති’ යැයි කියූ පරිදි සිහියෙන්ම ආශ්වාස කරයි. සිහියෙන්ම ප්‍රශ්වාස කරයි. මෙහි දී ආශ්වාස යනු හුස්ම ඉහළට ගැනීමයි. ප්‍රශ්වාස යනු හුස්ම පහළට හෙළීමයි. මේ පිළිබඳ වර්තමානයේ ඇතැමෙක් විකෘති අර්ථ දැක්වීම් ද කරති. ‘අස්සසති, පස්සසති’ යන වචන කෙලෙස් දුරු කිරීම පිළිබඳ වචන බව පවසති. ඒ සියල්ල ධර්මය වරදවා අල්ලාගත් අයගේ අර්ථදැක්වීම් බව සිතට ගතයුතු වේ. ඒ කිසිවක් ත්‍රිපිටකයට අනුකූල නොවේ. භාවනා මාර්ගයට ද අනුකූල නොවේ.

          මේ අනුව සිහියෙන් යුතුව ම තමන්ගේ ආශ්වාස හා ප්‍රාශ්වාස වෙත සිත එළවා තබාගැනීම ආනාපානසතිය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ පළමු ඉගැන්වීමයි. එහි දී සිහිය එළවා තබාගැනීම පහසු වීමට නාසිකාග්‍ර කෙළවර සිත තබාගෙන එහි ගැටෙන හුස්ම රැල්ල මෙනෙහි කරන්න. පළමුව හුස්ම රැල්ල ගැටීම හොඳින් ප්‍රකට නොවිය හැකිය. එහෙත් නාසිකා අග කෙළවර සිත තබාගෙන හුස්ම ඉහළට ගන්නා විට ‘ගනිමි’ යනුවෙන් ද, පහළට හෙළන විට ‘හෙළමි’ යැයි ද සිහි කළ හැකිය. එවිට සිහිය වැඩි වී හුස්ම රැල්ල ප්‍රකටව දැනෙන්නට පටන් ගනී.

          මෙහි දී අවධානය යොමු කළයුතු විශේෂ කරුණු පිළිබඳ මීළඟ ලිපියෙන් පැහැදිලි කරනු ලැබේ.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Galigamuwe Gnanadeepa Thero


 

Na Uyane Ariyadhamma Thero

 


Thursday, December 3, 2020

ආනාපානසති භාවනාව – දෙවන කොටස

 

ජීවිතයේ අවසන් හුස්මරැල්ල දැකගන්න … ආනාපානසති භාවනාව – දෙවන කොටස

11. ජීවිතයේ අවසන් හුස්මරැල්ල දැකගන්න … ආනාපානසති භාවනාව – දෙවන කොටස

          ආශ්වාස ප්‍රාශ්වාස අරමුණු කරගෙන පවත්වන්නා වූ සිහිය ආනාපාන සතිය ලෙස ඉතාම කෙටියෙන් හැඳින්විය හැකි වේ. ආන + ආපාන + සති = ආනාපානසති යැයි පද විග්‍රහ කළ හැකි අතර ආන යන්නෙන් අදහස් වන්නේ ආශ්වාසයයි. ආපාන යනු ප්‍රාශ්වාසයයි. ඒ ආශ්වාසය හා ප්‍රාශ්වාසය පරිග්‍රහණය කරගන්නා, එය අරමුණු කරගත් සතිය ආනාපානසතියයි.

          ආනාපානසති භාවනාව මහත්ඵල මහානිසංස වන බව බුදුරජාණන් වහන්සේ විසින්ම බොහෝ සූත්‍ර දේශනාදියෙහි දක්වා ඇත. සංයුක්ත නිකායෙහි එන ආනාපානසති සූත්‍රයෙහි සඳහන් වන්නේ, ‘ආනාපානසති භික්ඛවේ භාවිතා, බහුලීකතා මහප්ඵලා හෝති මහානිසංසා’ යනුවෙනි. එනම් භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසතිය මහත්ඵල මහානිසංස වන බවයි. එසේම ‘ආනාපානසති භික්ඛවේ, භාවිතා බහුලීකතා මහතෝ අත්ථාය සංවත්තති’ යනුවෙන් සංයුත්ත නිකායේ තෘතීය ආනාපානසති සූත්‍රයේ දේශනා කරන ලද්දේ භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසතිය මහත් හිතවැඩ පිණිස පවතින බවයි. ‘ඒකධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහප්ඵලෝ හෝති මහානිසංසා, කතමෝ ඒකධම්මෝ ආනාපානසති’ යනුවෙන් ද වදාළේ භාවිත බහුලීකෘත කරන ලද එක් ධර්මයක් මහත්ඵල මහානිසංස වන බවයි. ඒ එක් ධර්මය නම් ආනාපානසතියයි. විස්තර වශයෙන් මජ්ක්‍ධිමනිකායේ ආනාපානසති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ,

‘ආනාපානසති භික්ඛවේ භාවිතා බහුලීකතා මහප්ඵලා හෝති මහානිසංසා. ආනාපානසති භික්ඛවේ භාවිතා බහුලීකතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරෙන්ති, චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්තබොජ්ක්‍ඩ්ගේ පරිපූරෙන්ති, සත්තබොජ්ඣඩ්ගා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරේති’

යනුවෙනි. එනම් භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසතිය සතර සතිපට්ඨානය පරිපූරණය කරන බවත්, භාවිත බහුලීකෘත කරන ලද සතර සතිපට්ඨානය සප්ත බොධ්‍යඩ්ගධර්මයන් පරිපූරණය කරන බවත්, භාවිත බහුලීකෘත කරන ලද සප්ත බොධ්‍යඩ්ග ධර්මයන් විද්‍යාවිමුක්ති සංඛ්‍යාත නිර්වාණය පරිපූරණය කරන බවත් වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාදියෙහි වර්ණනා කරන ලද භාවනාවක් වන්නේ ආනාපානසති භාවනාවයි.

          ආනාපානසතිය මහත්ඵල මහානිසංස වන ආකාරය බුදුගොස් ඇදුරුපාණෝ විශුද්ධිමාර්ගයේ සඳහන් කරන්නේ මෙසේය.

1. බුදුරජාණන් වහන්සේ ‘අයම්පි ඛෝ භික්ඛවේ ආනාපානසති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝ චේව පණීතෝච’යැයි දේශනා කළ බැවින් භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසතිය ශාන්ත වේ. ප්‍රණීත වේ. එය කාමවිතර්කාදී අකුසල විතර්කයන් සිඳලීම පිණිස හේතු වේ.

2. ආනාපානසතිය වැඩීමෙන් සතරසතිපට්ඨානාදි පිළිවෙළින් නිවන් මාර්ගය පරිපූරණය වන නිසා මගඵල නිවන් සාක්ෂාත් කර ගත හැකි වේ.

3. ආනාපානසතිය භාවිත බහුලීකත කරන පුද්ගලයාට මරණාසන්න මොහොතේදී චුති චිත්තක්ෂණයට චිත්තක්ෂණ දහසයකට ප්‍රථම ඇතිවන අවසන් ආශ්වාස ප්‍රශ්වාසයෙහි ද උත්පාද, ඨිති, භංග යනාදිය ප්‍රකට කරගත හැකි වේ. ඒ නිසාවෙන්ම නොමුළාව කළුරිය කළහැකි වේ.

4. ආනාපානසතිය වඩා අරිහත්වයට පත් වන භික්ෂුවට සිය ආයු අන්තරය එනම් ජීවිතය පවත්නා කාලය නිවැරදිව පිරිසිඳිය හැකි වේ.

මේ ආදී හේතු නිසාවෙන් ආනාපානසති භාවනාව මහත්ඵල මහානිසංස වේ. එසේම මහාරාහුලෝවාද සූත්‍ර අර්ථකථාවේ ආනාපානසතිය වැඩීමේ ආනිසංස මෙසේ සඳහන් වේ.

1. ආනාපානසතිය වඩන භික්ෂුවට එක් භාවනා ආසනයකදී ම ආනාපානසතිය වැඩීමෙන් සව්කෙලෙස් නසා උතුම් අරිහත්වයට පැමිණිය හැකි වේ.

2. එසේ නොහැකි වන පුද්ගලයාට මරණයට පත් වන අවස්ථාවේ අවසන් හුස්මරැල්ල ද පිරිසිඳ දැකිය හැකි නිසා එහි දී සමසීසී රහතන් වහන්සේ නමක් ලෙස අරිහත්වයට පත්වීමත් පිරිනිවන්පෑමත් එකවර සිදු විය හැකි වේ.

3. එසේ ද නොහැකි විට මරණින් මතු දෙව්ලොව ඉපිද ධර්මකථික දිව්‍ය පුත්‍රයන්ගෙන් ධර්මශ්‍රවණය කොට අරිහත්වයට පත් විය හැකි වේ.

4. එසේ ද නොහැකි වුවහොත් අබුද්ධෝත්පාද කාලයක උතුම් පසේබුද්ධත්වයෙන් නිවන් සාක්ෂාත් කරගැනීමට ද ආනාපානසතිය උපකාරී වේ.

5. එසේ ද නොහැකි වුවහොත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ නමක් අභිමුවේ බාහියදාරුචීරිය මහරහතන් වහන්සේට මෙන් ඉතා ඉක්මනින් ධර්මය අව‍බෝධ කරගෙන උතුම් අරිහත්වයට පත් වීමට ආනාපානසති භාවනාව වැඩීම උපකාරී වේ.

          මෙසේ ආනාපානසති භාවනාව මහත්ඵල මහානිසංස වන ආකාරය ධර්මයේ නොයෙක් ආකාරයෙන් විස්තර කර තිබේ. එසේම සෑම බුදුවරයෙක්ම ද මෙම ආනාපානසති භාවනාව මුල් කරගෙන භාවනාව අරඹා උතුම් බුද්ධත්වයට පත් වේ. නිවැරදි ගුරු උපදෙස් ලබාගෙන භාවනාව වඩන්නේ නම් ආනාපානසති භාවනාව බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් වඩා ධ්‍යාන, මාර්ගඵල ලබාගෙන නිවන් අවබෝධ කරගත හැකි වේ.

          ආනාපානසතිය මහත්ඵල මහානිසංස වන බව සැරියුත් මාහිමියන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේට වදාළ බව මජ්ක්‍ධිමනිකායේ, මහාරාහුලෝවාද සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

          දිනක් රාහුල ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමඟ බුදුරජාණන් වහන්සේ පිටුපසින් උන්වහන්සේගේ පාත්‍ර සිවුරු ද ගෙන පිණ්ඩපාතයේ වැඩියේය. එහි දී ඉදිරියෙන් වඩිනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දෙස බලා තමන් වහන්සේගේ සිරුර ද බලා සැසඳීමක් කළේය. තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ම පුත්‍ර රත්නය වේ. ඒ නිසා ඒ බුදුසිරුර ද තමන්වහන්සේගේ සිරුර ද නොයෙක් අතින් සමාන බව සැලකුවේ ය. රාහුල ස්වාමින් වහන්සේ රූපය කෙරෙහි ඡන්දරාගයක් ඇති කරගත් බව දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ අතරමඟ නැවතී රාහුල ස්වාමින් වහන්සේට රූපය පිළිබඳ භාවනා කමටහනක් වදාළ සේක. මේ රූපය ‘මගේ ය, මම ය, මගේ ආත්මය ය’ යැයි සැලකිය යුතු නොවේ. මෙය ‘මගේ නොවේ ය, මම නොවේ ය, මගේ ආත්මය නොවේ ය’. මෙය ඇසූ රාහුල ස්වාමින් වහන්සේ සංවේගයට පැමිණියේය. පිණ්ඩපාතය වැඩීම නවතා, බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන ගසක් මුල භාවනාවට හිඳගත්තේය. ඒ පිටුපසින් පිණ්ඩපාතයේ වැඩම කළ සැරියුත් මාහිමියෝ ගසක් මුල භාවනාව වඩන රාහුල ස්වාමින් වහන්සේ දැක උපදෙසක් දුන්නේ ය. ‘ආනාපානසතිං රාහුල භාවනං භාවෙහි. ආනාපානසති රාහුල භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා’, එනම් ‘රාහුල ! ආනාපානසතිය වඩන්න. වඩන ලද, බහුලවශයෙන් වඩන ලද ආනාපානසතිය මහත්ඵල මහානිසංස වේ’ යනුයි.

          එබැවින් ආනාපානසති භාවනාව මහත්ඵල මහානිසංස භාවනාවක් වේ. සෑම පුද්ගලයෙකුටම පහසුවෙන් ආරම්භ කළහැකි ද වේ. භාවනාව ආරම්භකරන කෙනෙකුට ඒ සඳහා ආරම්භක කමටහනක් වශයෙන් ද ආනාපානසති භාවනාව සුදුසු වේ. ආනාපානසතිය බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන්, පිළිවෙළින් වඩන අයුරු ත්‍රිපිටකය අනුසාරයෙන් ඉදිරි ලිපියෙන් විස්තර වේ. එය ගුරු තනතුරෙහි තබාගෙන, පිළිවෙලින් ආනාපානසතිය වඩා, බුදුසසුනේ බොහෝ දෙනෙක් මෙන් පහසුවෙන් නිවන් අවබෝධ කරගනිත්වා…!

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Galigamuwe Gnanadeepa Thero


 

Na Uyane Ariyadhamma Thero