Wednesday, December 2, 2020

Abaya Theragatha

ආනාපානසති භාවනාව – පළමු කොටස

 

. ඔබ තවමත් පමා නැත. අදම අරඹන්න … ආනාපානසති භාවනාව – පළමු කොටස

10. ඔබ තවමත් පමා නැත. අදම අරඹන්න … ආනාපානසති භාවනාව – පළමු කොටස

          තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිවන් මාර්ගයේ ගමන් කරන සැදැහැවත් පින්වතුන් තමතමන්ගේ සිතේ පිරිසිදු බව, එකඟ බව, සැහැල්ලු බව උදාපත් කරගෙන නිවන ළඟා කරගැනීම සඳහා ශීලයක පිහිටා සමථ විදර්ශනා භාවනා කළයුතු වේ. ඒ සඳහා පිවිසුමක් ලබා දීම පිණිස කෙටි උපදෙස් මාලාවක් වශයෙන් මෙම ලිපි පෙළ සම්පාදනය කෙරේ. ඒ අනුව තම තමන් කෙටියෙන් නමුදු සෑම දිනකම භාවනාවකට සිත පුරුදු කරගත යුතු වේ. බුදු කෙනෙකුන් ලොවට පහළ වන්නේ මේ වටිනා අවස්ථාව අපට උදාපත් කරදීම පිණිස බව නිතර සිහි තබාගත යුතු වේ. එසේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ නොවී, අපට සද්ධර්ම ශ්‍රවණය නොලැබුණේ නම් නිවන් මාර්ගයක් කියා දීමට කෙනෙකු ඇත්තේ නොවේ. කුශලාකුශල ධර්මයන්, හොඳ නරක දේ ලොවට පැහැදිලි කර දෙන ලද්දේ ඒ බුදුරජාණන් වහන්සේ විසිනි. උන්වහන්සේගේ අවවාදය වූයේ ‘ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ’ යන්නයි. එනම් ‘සිහියෙන් තොරව ප්‍රමාද භාවයට පත් නොවී භාවනා වැඩිය යුත’ු බවයි. ‘මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ’ යනුවෙන් ද වදාළේ ‘භාවනා නොකර, සිහියෙන් තොර වී, ප්‍රමාද බවට පත් වී පසුව විපිළිසර නොවන’ ලෙසයි. එබැවින් උදාපත් වූ දුර්ලභ බුදු සසුනේ උතුම් ඵලය ළඟා කරගැනීම පිණිස නොපමාව භාවනාව ඇරඹිය යුතු වේ. යම් පින්වතෙක් තවමත් භාවනාව ආරම්භ නොකළේ නම් පමා නොවී අද අදම අරඹන ලෙසයි අපගේ මෛත්‍රී සහගත ඇරයුම වන්නේ.

          ඒ අනුව භාවනාව ආරම්භ කිරීම පිණිස තමාගේ ශීලය පිරිසිදු කරගෙන තෙරුවන් වන්දනා කිරීම් ආදිය සිදු කොට පූර්ව කෘත්‍යයක් සිදු කළයුතු ආකාරය පැහැදිලි කරදෙන ලදී. අනතුරුව බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අශුභය, මරණසතිය යන සතර කමටහන් කෙටියෙන් පුරුදු කර සිත භාවනාවට සුදුසු කර්මණ්‍ය බවට පත්කර ගත යුතු වේ. ඒ අනුව සිතේ ශ්‍රද්ධාව, වීර්යය, සතිය ආදී ධර්මතාවයන් වැඩි දියුණු වී නිවන් උදෙසා තමන්ව නොනවත්වා මෙහෙය විය හැකි සිතක් ඇති කරගත හැකි වේ. ඉන්පසු තමාට සුදුසු කර්මස්ථානයක් තෝරාගෙන දීර්ඝව භාවනාව පුහුණු කළයුතු වේ.

සුදුසු කර්මස්ථානය තෝරා ගැනීම

          සමථ කර්මස්ථාන සතලිසක් (40) ඇති බව ඉහත දක්වන ලද අතර ඒ ඒ චරිතවත් පුද්ගලයාට සුදුසු වන කර්මස්ථාන පිළිබඳව විශුද්ධි මාර්ගයේ සඳහන් වන ආකාරය ද ඉහත පැහැදිලි කරන ලදී. එසේම මේඝිය ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ තවදුරටත් රාගය ප්‍රහාණය කිරීමට අසුභයත්, ව්‍යාපාදය හෙවත් තරහව ප්‍රහාණය කිරීමට මෛත්‍රියත්, විතර්ක සංසිඳවීම පිණිස ආනාපානසතියත්, තමා කෙරෙහි ඇති අස්මිමානය දුරු කිරීමට අනිත්‍ය සංඥාවත් වැඩිය යුතු බව දේශනා කළ සේක. එසේම රාහුල ස්වාමින් වහන්සේට සතර බ්‍රහ්මවිහාර, අශුභ, කායගතාසති, ආනාපානසති යනුවෙන් භාවනා කර්මස්ථාන සතක් දේශනා කළ සේක. එබැවින් චරිතානුකූල කර්මස්ථානයක් ඇතත් ඒ පිළිබඳ හොඳ අවබෝධයක් සහිත ගුරු උතුමන් වහන්සේ කෙනෙකුගේ අවවාදය ලබාගත නොහැකි නම් ඕනෑම කර්මස්ථානයකින් භාවනාව ඇරඹීම සුදුසු වේ. ඕනෑම කෙනෙකුට ඕනෑම භාවනාවකින් කිසියම් සිතේ දියුණුවක් ලබාගත හැකි නොවේ.

සිතේ දියුණුව හා උදලු මිට

          සමහර කෙනෙක් ටික කලක් කිසියම් භාවනා කර්මස්ථානයක් වැඩීම සිදු කර තමාගේ සිතේ වැඩීමක් සිදු නොවන්නේ යැයි මැසිවිලි නඟන අවස්ථා අපට හමු වේ. ඔබත් එසේ කිසියම් කමටහනක් අත්හදා බලා සිතේ වැඩීමක් නැතැයි සිතන්නේ නම් එයට දිය හැකි හොඳම පිළිතුර වන්නේ සිතේ වැඩීම පහසුවෙන් දැකගැනීම අපහසු බවයි. එය උදැල්ලකට මිටක් සවි කිරීම වැනිය. උදැල්ලකින් වැඩ කරන කෙනෙක් එයට අලුතෙන් මිටක් සවි කළ පසු අතට රළු ස්වභාවයක් දැනේ. එක් දිනක් වැඩ කළ ද මිට සිනිඳු වූ බවක් නොදැනේ. දින දෙකක් වැඩ කළ ද නොදැනේ. සමහර විට මාසයක් පමණ වැඩ කල ද එය තේරුම් ගැනීම අපහසු වේ. එහෙත් අවුරුද්දක් පමණ වැඩ කළ කෙනෙකුට උදලු මිට හොඳින් සිනිඳු වී ඇති බව තේරුම් යනවා ඇති. භාවනාවෙන් ලැබෙන සිතේ වැඩීම ද මෙසේම දිනකින්, දෙකකින් හෝ සමහර විට මාසයකින් තේරුම් ගත නොහැකි වේ. එය කාලයක් කිරීමෙන් අත් දකින දෙයකි. ඒ නිසා තමන්ට සුදුසු යැයි අදහස් කරන කමටහනක් ගෙන දීර්ඝ කාලයක් වැඩීම සිදු කරන ලෙස මතක් කරසිටිමු.

ආනාපානසති භාවනාව

          පූර්ව කෘත්‍යයක් සිදු කර සතර කමටහන් පුහුණු කළ තැනැත්තා මීළඟට තමාට සුදුසු කමටහනක් ගෙන දීර්ඝව භාවනා කළයුතු වේ. එහි දී සෑම දෙනෙකුටම පොදුවේ ගැලපෙන, පහසුවෙන් තේරුම් ගත හැකි භාවනා කමටහනක් වශයෙන් ආනාපානසති භාවනාව දැක්විය හැකි වේ. ආනාපානසති භාවනාව සෑම චරිතයකටම සුදුසු කමටහනක් වේ. මත්තෙහි කරන භාවනාවන්ට ද උපකාරී වේ. සියලු බුදුවරයන් වහන්සේලා බුද්ධත්වයට පත් වන්නේ ද මෙම ආනාපානසති භාවනාව මූලික කරගෙන භාවනාව ඇරඹීමෙන් ය. එහෙයින් මෙය ‘බෝධිසත්ව භාවනාව’ යනුවෙන් ද හැඳින්වේ. එසේම බොහෝ පසේබුදු, අගසව්, මහසව් ආදී උතුමන් වහන්සේලා ද මෙම ආනාපාන සති භාවනාවෙන් විශේෂ අධිගම ලබාගෙන සුවසේ වාසය කළහ. මෙම ආනාපාන සතිය වැඩීමේ ආනිසංසය මෙසේ සඳහන් වේ.

ආනාපානසති යස්ස පරිපුණ්ණා සුභාවිතා
අනුපුබ්බං පරිචිතා යථා බුද්ධේන දේසිතා
සෝ ඉමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමා (පටිසම්භිදාමග්ගපාලි)

යම් පුද්ගලයෙක් ආනාපානසතිය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ පරිද්දෙන් පිරිපුන්ව, මනාව වඩන ලද්දේ නම්, පිළිවෙළින් ප්‍රගුණ කරන ලද්දේ නම්, ඒ තැනැත්තා වලාගැබින් මිදුණු පුන්සඳමඬලක් සේ මෙලොව දීප්තිමත් කරන්නේ යැයි මෙම ගාථාවෙන් පැවසේ.
මේ නිසා පළමුව ආනාපානසති භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිද්දෙන් වඩනා ආකාරය දැනගත යුතු වේ. ඒ සඳහා භාවනාව නිවැරදිව කියා දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් සොයාගත යුතු වේ. මෙකල බොහෝ දෙනා භාවනාව වැරදි ක්‍රම වලට කියා දෙන බව අසන්නට ලැබේ. නිවැරදිව භාවනාව වඩන ආකාරය බුද්ධ දේශනයේ සඳහන් වේ. ඒ බුද්ධ දේශනයේ ඇතැම් පද සම්බන්ධයෙන් සමහර කෙනෙක් වැරදි අර්ථකථනයන් ලබා දේ. එයින් ම පැහැදිලි වන්නේ ඔවුන් භාවනාව වඩා නොමැති බවයි. එසේ වැරදි බව ඔප්පු වන්නේ ඒ අර්ථකථනයන් ත්‍රිපිටකයේ පෙළ, අර්ථකථා වලට නොගැලපෙන බැවිනි.

ආනාපානසතිය පිළිබඳ මූලාශ්‍ර

එසේ නම් ආනාපානසති භාවනාව නිවැරදිව කියා දෙන ත්‍රිපිටක මූලාශ්‍ර පිළිබඳව දැනුවත් වීම සුදුසු වේ. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව සූත්‍ර දේශනා ගණනාවක දේශනා කර ඇත. ඒ අතර මජ්ක්‍ධිමනිකායේ ආනාපානසති සූත්‍රය, මහාසතිපට්ඨාන සූත්‍රය, මහාරාහුලෝවාද සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ආදිය ද සංයුත්ත නිකායේ ආනාපානසති සංයුත්තය ද, බොජ්ඣඩ්ග සංයුත්තයේ එන ආනාපානසති සූත්‍ර සය (6) ද විශේෂයෙන් දැක්විය හැකි වේ. එසේම ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දේශිත පටිසම්භිදාමග්ගපාළිය ආනාපානසති භාවනාව පිළිබඳ දීර්ඝ විස්තරයක් දක්වයි. මේ සියලු මූලාශ්‍ර එක් කරමින්, බුදුරජාණන් වහන්සේගේ ඒ ඒ සූත්‍ර දේශනය පිළිබඳ මහාකාශ්‍යප, ආනන්ද ආදී මහරහතන් වහන්සේලා විසින් දරාගෙන පැමිණි අර්ථකථනයන් අනුව යමින් අනුරාධපුර යුගයේ දී බුද්ධඝෝෂ මහතෙරුන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද ‘විශුද්ධිමාර්ගය’ නැමති මහාවිහාරීය භාවනා ග්‍රන්ථය අතිශයින් ප්‍රශස්ථතර වේ. එහි එන භාවනා මාර්ගය පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගත යුතු නැති බව එය අනුගමනය කරන ලද ලක්දිව සහ බුරුමය, තායිලන්තය ආදී රටවල ස්වාමින් වහන්සේලාගේ අත්දැකීම් වලින් දැනගත හැකි වේ.

ඒ අනුව වර්තමානයේ ආනාපානසති භාවනාව පිළිබඳ නිවැරදිව කියා දෙන ගුරු උතුමන් වහන්සේ නමක් සොයාගත නොහැකි නම්, පාළි භාෂාව හොඳින් වැටහෙන කෙනෙක් නම්, වැරදි උපදෙස් අනුගමනය නොකර පාළි භාෂාවෙන් ඇති විශුද්ධිමාර්ගය අනුගමනය කරන ලෙස අපගේ මෙත් සිත් සහගත යෝජනාව වේ. ඒ සඳහා දඹදෙණි යුගයේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජු විසින් ලියන ලද විශුද්ධිමාර්ග සන්නය ද උපකාර කරගත හැකි වේ. ඒ පිළිබඳ බෙන්තර සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ 1949 වසරේ පමණ සංස්කරණය කළ ග්‍රන්ථයක් ඇති අතර සොයාගත හැකි නම් වඩාත් සුදුසු වේ. එසේ හැකියාවක් නොමැති, නිවැරදිව භාවනා මාර්ගයේ ගමන් කිරීමට කැමති සත්පුරුෂ පින්වතුන් උදෙසා අපගේ ශක්ති පමණින් මෙම ලිපි පෙළ සම්පාදනය වේ. එය ගුරු තනතුරේ තබාගෙන නොපමාව භාවනාව වඩා සෑම සියලු දෙනාම උතුම් නිවනින් සැනසෙත්වා.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Galigamuwe Gnanadeepa Thero


 

Na Uyane Ariyadhamma Thero


 

Tuesday, December 1, 2020

අනභිභවනීය බුදුසිරිය – වඞ්ගීස ස්වාමීන්වහන්සේගේ බුදුගුණ වර්ණනාව

 

අනභිභවනීය බුදුසිරිය – වඞ්ගීස ස්වාමීන්වහන්සේගේ බුදුගුණ වර්ණනාව

අනභිභවනීය බුදුසිරිය – වඞ්ගීස ස්වාමීන්වහන්සේගේ බුදුගුණ වර්ණනාව

ලෝකයේ රූපයෙන් අග්‍ර වූයේ බුදුරජාණන්වහන්සේය. මිහිරි කටහඬකින් යුක්තවූයේද බුදුරජාණන්වහන්සේය.  ශ්‍රී සෞභාග්‍යයෙන් කෙළවරට පැමිණියේ බුදුරජාණන්වහන්සේය. ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනයන්ගෙන් කෙළවරට පැමිණියේ බුදුරජාණන්වහන්සේය. ලෝකයේ ඇතැමෙක් බුදුරජාණන්වහන්සේගේ බුදු සිරිය වර්ණනා කළහ. ඇතැමෙක් ගුණ කඳ වර්ණනා කළහ. ඇතැමෙක් නුගුණද මවා පෑහ. මේ සියල්ල හමුවේ අකම්පිත සිත් ඇතිව වාසය කළ බුදුරජාණන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනුබ්‍යඤ්ජන, බ්‍යාමප්‍රභා කේතුමාලාලංකාරාදීන්ගෙන් සමන්වාගතවූ ශ්‍රී ශෝභාව වංගීස මහරහතන්වහන්සේ විසින් දූටු අයුරු සංයුක්ත නිකායේ ගග්ගරා සූත්‍රයේ  සඳහන් වෙයි.

භාග්‍යවතුන්වහන්සේ එක් සමයක චම්පානුවර සමීපයෙහි ගග්ගරා නම් පොකුණු තීරයේ වැඩ සිටි සේක. පන්සියයක භික්ෂු පිරිසක්ද, සත්සියයක උපාසක පිරිසක්ද, දෙවිවරු දහස් ගණනක්ද භාග්‍යවතුන්වහන්සේ පිරිවරා සිටියහ. තථාගතයන්වහන්සේ පුණ්‍යශෝභාවෙන් ආලෝකමත් වූ ස්වර්ණ වර්ණයෙන්ද, පිරිවරින්ද ඒ පිරිස අභිබවා බබළන සේක.

භාග්‍යවතුන්වහන්සේ හට යෙදෙන පරියාය නමක් වන ‘භගවා’ යන්නට එම නම ලැබී ඇති එක් හේතුවක් නම් උන්වහන්සේගේ රූපකාය සම්පත්තියයි. භාග්‍යවතුන්වහන්සේගේ ශරීරය පෙර සසරෙහි පුරන ලද පාරමිතාවල විපාක වශයෙන් දෙතිසක් මහාපුරුෂ ලක්ෂණවලින් සමන්විත වීය. ස්වර්ණ වර්ණයෙන් බබළන්නා වූ රන්වන් ශරීරයක් ලැබීමට පෙර ජීවිතවලදී කළ කුසලකර්මයන් හේතු වීය. එනම් මිනිස් ආත්මභාවයන්හි ඉපදුනු අවස්ථාවලදී  නොකිපෙන ගති ඇත්තේ වීය. වෛර නොබැන්දේය. සිත් තැවුලට පත් නොවීය. අඩුම තරමින් ද්වේෂයද, වෛරයකට පත්වූ බවක්වත් පළනොකළේය. බොහෝ දේවල් කියමින් තමාට බැණ වදින විටදී පවා ක්‍රෝධය ඇති නොකර ගත්තේය. මෘදු වූ පොරෝනාද, කපු පිළී, සියුම් පටවස්ත්‍ර, සියුම් පළස් ආදී මෘදු වූ දෑ දන් දුන් සේක. මේ කර්මවල විපාක ලෙස රන්වන් සිරුරු දරන භාග්‍යවතුන්වහන්සේ පිළිබඳව සූත්‍ර පිටකයේ නොයෙක් තැන්වල සඳහන් වේ.

එමෙන්ම යසස, එනම් පරිවාර සම්පත්තිය ලැබීමට භාග්‍යවන්ත වූ බැවින් භගවා යන නම යෙදේ. සිද්ධාර්ථ කුමාර අවදියේ පටන් මහා පිරිවර සහිතව රජසිරි වින්දේය. බුද්ධ රාජ්‍යයට පත්ව ගණන පථය ඉක්මවූ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක්  පිරිසෙන් පරිවාර වීය. පරිනිර්වාණයෙන් අනතුරුවද සිටි ශ්‍රාවක පිරිසද ප්‍රමාණ කළ නොහැක. ගග්ගරා පොකුණු තීරයේදී භාග්‍යවතුන්වහන්සේ එතැන සිටි සියලු දෙව්මිනිසුන් පිරිවරාගෙන, යසසින් සියලු දෙනා අභිබවාගෙන වැඩ සිටියහ.

එම ස්ථානයේ වැඩ සිටි වඞ්ගීස ස්වාමීන්වහන්සේට මෙබඳු සිතිවිල්ලක් ඇති වීය. “භාග්‍යවතුන්වහන්සේ චම්පානුවර සමීපයෙහි ගග්ගරා නම් පොකුණු තීරයෙහි භික්ෂූන් වහන්සේලා පන්සියයක්ද, උපාසකයන් සත්සියයක්ද, දහස්ගණනින් දෙවිවරු පිරිවරාගෙන රන්වන් ශරීර වර්ණයෙන්ද පිරිවරින්ද අතිශයින් බබළමින් වැඩ හිඳී. මම මේ අවස්ථාවට ගැළපෙන පරිදි ගාථාවකින් භාග්‍යවතුන්වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන්නේ නම් මැනවි” යැයි සිත් වීය.

ඉන්පසු වඞ්ගීස ස්වාමීන්වහන්සේ සඟල සිවුර ඒකාංශ කොට භාග්‍යවතුන්වහන්සේ වෙත ඉතා ගෞරවයෙන් ඇඳිලි බැඳ මෙසේ වදාළහ.

භාග්‍යවතුන්වහන්ස, මට වැටහේය. සුගතයන් වහන්ස, මට වැටහේය” යනුවෙනි.

මට වැටහේය” යන වචනය යමක් ප්‍රකාශ කිරීමට ඇති බව යටහත් පහත් ලෙස භාග්‍යවතුන්වහන්සේට සිහිපත් කරන ආකාරයකි. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ “වඞ්ගීස, නුඹට වැටහේවා!” යැයි වදාළ සේක. ඒ වඞ්ගීස ස්වාමීන්වහන්සේ හට එම ගාථාව ප්‍රකාශ කිරීමට අවසරය දුන් ආකාරයයි. ඉන්පසු වඞ්ගීස ස්වාමීන්වහන්සේ මෙසේ වදාළ සේක.

චන්දෝ යථා විගතවලාහකේ නභේ
විරෝචති වීතමලෝ ච භාණුමා
ඒවම්පි අඞ්ගීරස ත්වං මහාමුනී
අතිරෝචේසි යස්සා සබ්බලෝකන්ති

හිරු සඳු දෙකට ප්‍රතිපක්ෂව එහි බැබළීම වළකන්නා වූ ධර්ම සතරක් ඇත. එනම් වළාකුළු, මීදුම, දුම සහ දූවිලි, රාහු අසුරේන්ද්‍රයා යන කරුණු සතරයි.

පහවී ගිය වළාකුළු ඇති අහසේ චන්ද්‍රයාද, නිර්මල වූ සූර්යයාද යම් සේ බබළත්ද මහාමුනීන්ද්‍රයාණන් වූ බුදුරජාණන්වහන්ස, ඔබවහන්සේද එසේ යසසින් සියලු ලෝකය අභිබවා බබළන සේක” යනු එම ගාථාවේ අර්ථයයි.

සම්පාදක
ධම්මික හිමි

Galigamuwe Gnanadeepa Thero

 


පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...