Wednesday, December 2, 2020
Tuesday, December 1, 2020
අනභිභවනීය බුදුසිරිය – වඞ්ගීස ස්වාමීන්වහන්සේගේ බුදුගුණ වර්ණනාව
අනභිභවනීය බුදුසිරිය – වඞ්ගීස ස්වාමීන්වහන්සේගේ බුදුගුණ වර්ණනාව
Jul 9, 2017 | සදහම් සඟරාව, සූත්‍ර වර්ණනා | 0
ලෝකයේ රූපයෙන් අග්‍ර වූයේ බුදුරජාණන්වහන්සේය. මිහිරි කටහඬකින් යුක්තවූයේද බුදුරජාණන්වහන්සේය. ශ්‍රී සෞභාග්‍යයෙන් කෙළවරට පැමිණියේ බුදුරජාණන්වහන්සේය. ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනයන්ගෙන් කෙළවරට පැමිණියේ බුදුරජාණන්වහන්සේය. ලෝකයේ ඇතැමෙක් බුදුරජාණන්වහන්සේගේ බුදු සිරිය වර්ණනා කළහ. ඇතැමෙක් ගුණ කඳ වර්ණනා කළහ. ඇතැමෙක් නුගුණද මවා පෑහ. මේ සියල්ල හමුවේ අකම්පිත සිත් ඇතිව වාසය කළ බුදුරජාණන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනුබ්‍යඤ්ජන, බ්‍යාමප්‍රභා කේතුමාලාලංකාරාදීන්ගෙන් සමන්වාගතවූ ශ්‍රී ශෝභාව වංගීස මහරහතන්වහන්සේ විසින් දූටු අයුරු සංයුක්ත නිකායේ ගග්ගරා සූත්‍රයේ සඳහන් වෙයි.
භාග්‍යවතුන්වහන්සේ එක් සමයක චම්පානුවර සමීපයෙහි ගග්ගරා නම් පොකුණු තීරයේ වැඩ සිටි සේක. පන්සියයක භික්ෂු පිරිසක්ද, සත්සියයක උපාසක පිරිසක්ද, දෙවිවරු දහස් ගණනක්ද භාග්‍යවතුන්වහන්සේ පිරිවරා සිටියහ. තථාගතයන්වහන්සේ පුණ්‍යශෝභාවෙන් ආලෝකමත් වූ ස්වර්ණ වර්ණයෙන්ද, පිරිවරින්ද ඒ පිරිස අභිබවා බබළන සේක.
භාග්‍යවතුන්වහන්සේ හට යෙදෙන පරියාය නමක් වන ‘භගවා’ යන්නට එම නම ලැබී ඇති එක් හේතුවක් නම් උන්වහන්සේගේ රූපකාය සම්පත්තියයි. භාග්‍යවතුන්වහන්සේගේ ශරීරය පෙර සසරෙහි පුරන ලද පාරමිතාවල විපාක වශයෙන් දෙතිසක් මහාපුරුෂ ලක්ෂණවලින් සමන්විත වීය. ස්වර්ණ වර්ණයෙන් බබළන්නා වූ රන්වන් ශරීරයක් ලැබීමට පෙර ජීවිතවලදී කළ කුසලකර්මයන් හේතු වීය. එනම් මිනිස් ආත්මභාවයන්හි ඉපදුනු අවස්ථාවලදී නොකිපෙන ගති ඇත්තේ වීය. වෛර නොබැන්දේය. සිත් තැවුලට පත් නොවීය. අඩුම තරමින් ද්වේෂයද, වෛරයකට පත්වූ බවක්වත් පළනොකළේය. බොහෝ දේවල් කියමින් තමාට බැණ වදින විටදී පවා ක්‍රෝධය ඇති නොකර ගත්තේය. මෘදු වූ පොරෝනාද, කපු පිළී, සියුම් පටවස්ත්‍ර, සියුම් පළස් ආදී මෘදු වූ දෑ දන් දුන් සේක. මේ කර්මවල විපාක ලෙස රන්වන් සිරුරු දරන භාග්‍යවතුන්වහන්සේ පිළිබඳව සූත්‍ර පිටකයේ නොයෙක් තැන්වල සඳහන් වේ.
එමෙන්ම යසස, එනම් පරිවාර සම්පත්තිය ලැබීමට භාග්‍යවන්ත වූ බැවින් භගවා යන නම යෙදේ. සිද්ධාර්ථ කුමාර අවදියේ පටන් මහා පිරිවර සහිතව රජසිරි වින්දේය. බුද්ධ රාජ්‍යයට පත්ව ගණන පථය ඉක්මවූ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසෙන් පරිවාර වීය. පරිනිර්වාණයෙන් අනතුරුවද සිටි ශ්‍රාවක පිරිසද ප්‍රමාණ කළ නොහැක. ගග්ගරා පොකුණු තීරයේදී භාග්‍යවතුන්වහන්සේ එතැන සිටි සියලු දෙව්මිනිසුන් පිරිවරාගෙන, යසසින් සියලු දෙනා අභිබවාගෙන වැඩ සිටියහ.
එම ස්ථානයේ වැඩ සිටි වඞ්ගීස ස්වාමීන්වහන්සේට මෙබඳු සිතිවිල්ලක් ඇති වීය. “භාග්‍යවතුන්වහන්සේ චම්පානුවර සමීපයෙහි ගග්ගරා නම් පොකුණු තීරයෙහි භික්ෂූන් වහන්සේලා පන්සියයක්ද, උපාසකයන් සත්සියයක්ද, දහස්ගණනින් දෙවිවරු පිරිවරාගෙන රන්වන් ශරීර වර්ණයෙන්ද පිරිවරින්ද අතිශයින් බබළමින් වැඩ හිඳී. මම මේ අවස්ථාවට ගැළපෙන පරිදි ගාථාවකින් භාග්‍යවතුන්වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන්නේ නම් මැනවි” යැයි සිත් වීය.
ඉන්පසු වඞ්ගීස ස්වාමීන්වහන්සේ සඟල සිවුර ඒකාංශ කොට භාග්‍යවතුන්වහන්සේ වෙත ඉතා ගෞරවයෙන් ඇඳිලි බැඳ මෙසේ වදාළහ.
“භාග්‍යවතුන්වහන්ස, මට වැටහේය. සුගතයන් වහන්ස, මට වැටහේය” යනුවෙනි.
“මට වැටහේය” යන වචනය යමක් ප්‍රකාශ කිරීමට ඇති බව යටහත් පහත් ලෙස භාග්‍යවතුන්වහන්සේට සිහිපත් කරන ආකාරයකි. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ “වඞ්ගීස, නුඹට වැටහේවා!” යැයි වදාළ සේක. ඒ වඞ්ගීස ස්වාමීන්වහන්සේ හට එම ගාථාව ප්‍රකාශ කිරීමට අවසරය දුන් ආකාරයයි. ඉන්පසු වඞ්ගීස ස්වාමීන්වහන්සේ මෙසේ වදාළ සේක.
චන්දෝ යථා විගතවලාහකේ නභේ
විරෝචති වීතමලෝ ච භාණුමා
ඒවම්පි අඞ්ගීරස ත්වං මහාමුනී
අතිරෝචේසි යස්සා සබ්බලෝකන්ති
හිරු සඳු දෙකට ප්‍රතිපක්ෂව එහි බැබළීම වළකන්නා වූ ධර්ම සතරක් ඇත. එනම් වළාකුළු, මීදුම, දුම සහ දූවිලි, රාහු අසුරේන්ද්‍රයා යන කරුණු සතරයි.
“පහවී ගිය වළාකුළු ඇති අහසේ චන්ද්‍රයාද, නිර්මල වූ සූර්යයාද යම් සේ බබළත්ද මහාමුනීන්ද්‍රයාණන් වූ බුදුරජාණන්වහන්ස, ඔබවහන්සේද එසේ යසසින් සියලු ලෝකය අභිබවා බබළන සේක” යනු එම ගාථාවේ අර්ථයයි.
සම්පාදක
ධම්මික හිමි
Monday, November 30, 2020
අනුත්තර වූ බැබලීම-පජ්ජෝත සූත්‍රය
අනුත්තර වූ බැබලීම-පජ්ජෝත සූත්‍රය
Jan 16, 2018 | දේවතා සංයුක්තය, සදහම් සඟරාව, සූත්‍ර වර්ණනා | 0
ලෝකය ස්වභාවික ප්‍රභවයන් වූ හිරුසඳු මෙන්ම මිනිසා විසින් නිපදවන ලද කෘතිම ප්‍රභවයන්ගෙන්ද ආලෝකමත් වෙයි. ඒ සෑම එළියක්නිම වන බැබලීමකටම පැතිරිය හැකි සීමාවක් ඇත. ඉන් ඔබ්බෙහි වූ ප්‍රදේශය බබුළුවන්නට එම ආලෝකයන්ට නොහැක. බුදුරජාණන් වහන්සේගේ බැබලීම, ආලෝකය අනුත්තරීය වූවකි. අනුත්තරීය යන්නෙහි අදහස නම් ඊට වඩා උසස් දෙයක් නැති බවයි. තථාගතයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයක එහි පැමිණි දෙවි කෙනෙක් මේ පිළිබඳව ප්‍රශ්නයක් ඇසුවේය.
“යමෙකින් ලොව බබලයි නම් එබඳු එළි ලොව කෙතෙක්ද? අප ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේගෙන් දැනගන්නට පැමිණ කෙසේ දැන ගන්නෙමුද?”
ඊට පිළිතුරු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“චත්තාරෝ ලොකේ පජ්ජෝතෝ – පඤ්චමෙත්ථ න විජ්ජති
දිවා තපති ආදිච්චෝ – රත්තිං ආභාති චන්දිමා
අථ අග්ගි දිවාරත්තිං – තත්ථ තත්ථ පකාසති
සම්බුද්ධෝ තපතං සෙට්ඨෝ – ඒසා ආභා අනුත්තරා”
“ලෝකයෙහි ආලෝකයන් සතරකි. මෙහි පස්වෙනි ආලෝකයක් නැත. හිරු දහවල් කාලයෙහි බබලයි. සඳු රාත්‍රියෙහි බබළයි. තවද ගින්න දිවා රාත්‍රී දෙකෙහි ඒ ඒ තැන බබලයි. සම්බුදුරජාණන් වහන්සේ බබලන්නවුන් අතර ශ්‍රේෂ්ඨය. මේ සම්බුදුරජාණන් වහන්සේලාගේ ආලෝකයට වඩා උසස් ආලෝකයක් නැත.” යනු එම පිළිතුරෙහි අර්ථයයි.
හිරු දිවා කලද, සඳු රාත්‍රී කලද බබලයි. ගින්නක් දැල්වුවහොත් එහි බැබලීම සිදු වන්නේ ඊට අදාළ ප්‍රදේශයේ පමණි. තථාගතයන් වහන්සේගේ ආලෝකය ප්‍රමාණ කළ නොහැක. අනුත්තරීය වූ ඒ ආලෝකය කිහිප ආකාරයකින් තේරුම් ගත යුතුය.
ඤාණාලෝකය
බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ඥානයාගේ ආනුභාවයෙන් උපන් ආලෝකය ඤාණාලෝකයයි. පළමු බුද්ධ දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේගේ මාර්ග ඥානයෙන් උපන් ආලෝකය “චක්ඛුං උදපාදි ඤාණං උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි” යැයි දේශිතය. එසේම බෝධි මණ්ඩලයෙහි වැඩ හිඳිමින් ත්‍රිවිද්‍යා උපදවා ගැනීමද ඤාණාලෝකයයි.
ප්‍රීති ආලෝකය
සියලු කෙළෙසුන් නසා බුද්ධත්වය ලබාගෙන බෝධි මණ්ඩලයෙහිදී හට ගත් ප්‍රීති ආලෝකයයි. විශේෂ වශයෙන් බුද්ධත්වය ලබා සතර වැනි සතියෙහිදී රතනාඝරයෙහි වැඩහිඳිමින් අභිධර්මයෙහි සත්වැනි ප්‍රකරණය සම්මර්ෂණය කිරීමේදී හටගත් ප්‍රීතිය කරණකොට ශරීරය බැබලෙන්නට විය. එය ප්‍රීති ආලෝකයයි.
ප්‍රසාද ආලෝකය
රතනාඝරයෙහිදීම ඇතිවුණු ප්‍රසාදය හේතුවෙන් පැතිරුණු ආලෝකය ප්‍රසාද ආලෝකයයි. එසේම දම්සක් පැවතුම් සූත්‍රය අවසානයේදී කොණ්ඩඤ්ඤ තාපසතුමා ධර්මාවබෝධය ලැබීය. තථාගතයන් වහන්සේ එහිදී “අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ” කොණ්ඩඤ්ඤ තෙම ධර්මාවබෝධය කළහ යැයි ප්‍රසාදය පළ කළහ. එහිදී උපන් ප්‍රසාදයද ප්‍රසාද ආලෝකයයි.
ධර්මකථා ආලෝකය
ශාස්තෲන්වහන්සේ විසින් සෑම තැනකදීම සත්ත්වයන්ට ධර්මය දේශනා කරන විට එම සත්ත්වයන්ගේ සන්තානයෙහි මෝහාන්ධකාරය දුරු කරලයි. එම නිසා එයට ධර්මකථා ආලෝකය යැයි කියනු ලැබේ. බුද්ධශ්‍රාවකයන් ධර්ම දේශනා කරනුයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මාවබෝධය නිසාය. එම නිසා බුද්ධශ්‍රාවකයන්ගේ ධර්ම කථාවලින් හටගත් ධර්මාලෝකයද බුද්ධානුභාවයකි.
අනුත්තරීය වූ බුද්ධානුභාවය සරණක් කොට ගෙන සියලු සත්ත්වයෝ සසර දුකින් එතෙරව නිවන් සැප ලබත්වා!!!
සම්පාදක – පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...