Thursday, November 19, 2020

බුද්ධානුස්සති භාවනාව – 17 කොටස

 

බුද්ධානුස්සති භාවනාව – 17 කොටස


බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘ලොකවිදු’ ගුණය පිළිබඳ තවත් කොටසක් මෙම ලිපියෙන් දැක්වේ.

ලොකවිදු ගුණ භාවනාව ඉතිරිය

රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත එළඹ විමසා සිටියේ “යම් තැනක ඉපදීමක් නැති ද, ජරාවට පත්වීමක් නැති ද, මිය යාමක් නැති ද, චුත වීමක් නැති ද, හට නොගනී ද, ඒ ලෝකයේ කෙළවර පා ගමනින් ගොස් දැකගන්නට හැකි වේ ද? පාගමනින් ඒ ලෝකයේ කෙළවරට පැමිණිය හැකි ද?” යනුවෙනි.

බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ ලෝකය පාගමනින් ගොස් කෙළවර කළ නොහැකි බවයි. එසේම ලෝකයේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම ද කළ නොහැකි බවයි. එසේ දුක් කෙළවර කිරීම පිණිස කෙළවරට පැමිණිය යුතු ලෝකය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ මේ බඹයක් පමණ වූ මේ සිරුරයි.

‘අපිචාහං ආවුසෝ ඉමස්මිඤ්ඤේව බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤාපේම ලෝකසමුදයඤ්ච ලෝකනිරෝධඤ්ච ලෝකනිරෝධගාමිනිඤ්ච පටිපදං’

ඇවැත්නි, එතකුදු වුවත් මම සංඥා සහිත, සිත් සහිත, බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝකසමුදයත්, ලෝකනිරෝධයත්, ලොකනිරෝධගාමිනි පටිපදාවත් පණවමි.

මෙසේ සත්වයන් විසින් තවමත් අවබෝධ කර නොගත් බැවින් නිවන් නොදුටු ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සර්වප්‍රකාරයෙන් ම අවබෝධ කර ගත් බැවින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක. ඒ ලෝකය පිළිබඳව තමන්ට නිසි අවබෝධයක් නොමැති නිසාවෙන් ම මිනිසුන් නොයෙක් වැරදි අදහස් ඇති කර ගනිති. එසේම තමන්ට අවබෝධ කරගත නොහැකි අසීමාන්තික ලෝකය පිළිබඳ නොයෙක් විද්‍යාත්මක පරීක්‍ෂණ සිදු කරමින් මස් ඇසට පෙනෙන දේ පමණක් ම ලෝකය යැයි වරදවා ගනිති. එහෙත් මස් ඇසට නොපෙනෙන බොහෝ දේ පවතින බව නුවණින් තේරුම් කර ගත යුතු වේ.

උදාහරණයක් ලෙස වේගයෙන් කැරකෙන විදුලිපංකාවක පෙති ඇසට නොපෙනෙන තරමට වේගවත් වූ විටක එතැන කිසිවක් නැත යැයි අදහසක් ඇති කර ගත හොත් එය මිථ්‍යාවකි. එය නුවණින් තේරුම් ගත යුතු වේ. එබැවින් ඇසට නොපෙනෙන, නුවණින් තේරුම් ගතයුතු ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොයෙක් දේශනාවන්හි දේශනා කරන ලද දේ පිළිබඳ පරීක්‍ෂණ සිදු කිරීමට උත්සහවත් වීම නිෂ්ඵල දෙයකි. එය පරීක්‍ෂණයකින් හෝ අවබෝධ කරගැනීමට තරම් තමන්ගේ නුවණ දියුණු වී නැති බව තේරුම් ගත යුතු වේ. එහෙත් ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරන ලද ලෝකය පිළිබඳ ඒ බුද්ධ දේශනය අනුව විස්තර දැනගැනීම ලෝකයේ ඇති විසිතුරු බව, එය සිතීමෙන් හෝ තර්කයෙන් තේරුම් ගැනීම අපහසු බව, නුවණින් අවබෝධ කරගත යුතු බව වටහා ගැනීමට වැදගත් වේ.

ලෝකය යන්නට ඇතුළත් දෙය කෙටියෙන් ම කිවහොත් නාම-රූප දෙක පමණකි. එය ස්කන්‍ධාදි වශයෙන් තවත් විස්තර කළ හැකි වේ. ඒ සියල්ල ඇතුළත් භූමි වශයෙන් භූමි තිස් එකක් (31) ඇති බව ඉහත දක්වන ලදී. සත්වයන් කර්මානුරූපව උපත ලබන මේ සියලුම ස්ථාන සුගති, දුගති වශයෙන් දෙයාකාරයකින් දැක්විය හැකි වේ.

සත්වයන් මරණින් මතු ස්වකීය පුණ්‍ය ශක්තිය මත සුගතිගාමීව උපත ලබන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන සේක. ‘ගති’ යනුවෙන් සත්වයන් උපත ලබන ස්ථාන හැඳින්වේ. සු යන උපසර්ගයෙන් යුතු වූ විට මනා ගති හෙවත් සත්වයන්ගේ උපත සිදු වන හොඳ ස්ථාන දැක්වේ. එසේ සුගතිගාමී උත්පත්තියක් සකස් වන ප්‍රධාන සුගති භූමි තුනක් වේ.

1. කාමසුගති භූමි සත (7) : එනම් මනුෂ්‍ය ලෝකය සහ සදිව්‍ය ලෝකයන්

2. රූපාවචර භූමි : රූපාවචර බඹලොව දහසය (16)

3. අරූපාවචර භූමි : අරූපාවචර බඹලොව සතර (4)

මනුෂ්‍ය ලෝකය

මනුෂ්‍ය ශබ්දය ග්‍රන්ථාන්තරයෙහි විවරණය කරන ආකාරය අනුව ‘මනස උසස් බැවින් මනුෂ්‍ය නම් වේ’. මනෝ උස්සන්නමස්සාති මනුස්සා. උසස් වූ මනසක් ඔහුට ඇත්තේනුයි මනුෂ්‍ය නම් වේ. ජම්බුද්වීපය, පූර්වවිදේහය, අපරගෝයානය, උත්තරකුරු දිවයින යනුවෙන් මනුෂ්‍යවාසයන් සතරක් පිළිබඳ ධර්මයේ සඳහන් වේ. එයින් ජම්බුද්වීප වැසියන් ශ්‍රේෂ්ඨ ස්මෘති ආදිය හේතුවෙන් උසස් වූ මනසක් ඇති බැවින් මනුෂ්‍ය නම් වේ. මොවුන්ට සමාන රූප ඇති බව ආදි හේතු නිසාවෙන් සෙසු මහාද්වීප වැසියන් ද මනුෂ්‍ය නම් වේ.

ජම්බුද්වීප වැසියන්ගේ ආයුෂ පිළිබඳ නිශ්චිත බවක් නැති අතර පූර්වවිදේහ වැසියන්ගේ ආයුෂ වසර 700ක් බව සඳහන් වේ. අපරගොයාන වැසියන්ගේ අවුරුදු 500ක් ආයුෂ වන අතර උත්තරකුරු වැසියන්ට අවුරුදු 1000ක් ආයුෂ වේ. ජම්බුද්වීප වැසියන්ගේ ආයුෂ අවුරුදු අසඩ්ඛෙය්‍යයේ පටන් දසඅවුරුද්ද දක්වා ද, අවුරුදු දහයේ පටන් අසඩ්ඛෙය්‍ය දක්වා ද වෙනස් වේ. මේ සඳහා ගතවන කාලය අන්තඃකල්පයක් ලෙස හැඳින්වේ. ජම්බුද්වීප වැසියන් ඇතැම් කාලයක හොඳ ප්‍රතිපත්තියේ පිහිටන අතර ඇතැම් කාලවල නොමනා ප්‍රතිපත්තියේ පිහිටති. එසේ නොමනා ප්‍රතිපත්තීන් අනුගමනය කරන කාලයේ ආයුෂ පිරිහී දස අවුරුද්ද දක්වා අඩු වේ. හොඳ ප්‍රතිපත්ති පුරණ කාලයේ ආයුෂ අසඩ්ඛෙය්‍ය දක්වා වැඩි වේ.

මිනිසුන්ගේ ආයුෂ වසර දහය දක්වා අඩු වූ කාලයේ ශස්ත්‍ර, රෝග, දුර්භික්‍ෂ යන තුන් ආකාරයෙන් එක්තරා ක්‍රමයකට සත්ව විනාශයක් සිදුවේ. එය අන්තඃකල්පයක් (අන්තරකල්පයක්) ලෙස හැඳින්වේ. එබඳු අන්තරකල්ප තුනක් වේ.

1. ශස්ත්‍රාන්තර කල්පය : සත්වයන්ගේ ද්වේෂය අධික වී නම් ආයුධ වලින් කපා කොටාගෙන සත්වයන් විනාශ වේ. මෙය ශස්ත්‍රාන්තර කල්පය නම් වේ. මෙසේ මිය යන සත්වයන් එකිනෙකා කපාකොටාගෙන මියයන බැවින්, එකිනෙකා කෙරෙහි පවතින වෛරය නිසා බොහෝ සෙයින් නිරයේ උපත ලබති.

2. රෝගාන්තර කල්පය : සත්වයන්ගේ මෝහය අධික වී නම් රෝග පීඩාදියෙන් විනාශ වේ. මෙය රෝගාන්තර කල්පය නම් වේ. මෙසේ මියයන සත්වයන් එකිනෙකා පිළිබඳව ‘මෙවැනි රෝගයක් අනෙකකුට නොවේවා’ යි මෙත් සිත් උපදවා ගන්නා බැවින් බොහෝ සෙයින් සුගතිගාමී වෙති.

3. දුර්භික්‍ෂාන්තර කල්පය : සත්වයන්ගේ ලෝභය අධික වී නම් දුර්භික්‍ෂයෙන් විනාශය වේ. මෙය දුර්භික්‍ෂාන්තර කල්පය නම් වේ. මොවුන් ආහාර පිළිබඳ ආශාව ඇතිව මියයන නිසා බොහෝ සෙයින් ප්‍රේත ලෝක වල උපදිති.

අන්තඃකල්ප විස්සක් (20) එක් අසංඛෙය්‍ය කල්පයකි. අසංඛෙය්‍ය කල්ප සතරක් (4) මහාකල්පයක් වන අතර අන්තඃකල්ප අසූවකි (80).

“ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ලෝකයන් ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක.” යැයි ලෝකවිදූ ගුණය වැඩිය යුතු වේ.

මතු සම්බන්ධයි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Ven Na Uyane Ariyadhamma Thero


 

Galigamuwe Gnanadeepa Thero


 

Wednesday, November 18, 2020

බුද්ධානුස්සති භාවනාව – 16 කොටස

 

46. බුද්ධානුස්සති භාවනාව – 16 කොටස


බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘ලොකවිදු’ ගුණය පිළිබඳ මෙම ලිපියෙන් දැක්වේ.

ලොකවිදු ගුණ භාවනාව

තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේ ‘ලෝකවිදූ’ නම් වන සේක. ‘සබ්බථාපි විදිතලෝකත්තා පන ලෝකවිදූ’ යනුවෙන් ලෝකවිදූ ගුණය නිර්වචනය කෙරේ. එහි අදහස වන්නේ ‘සර්වප්‍රකාරයෙන් දන්නා ලද ලෝක ඇති හෙයින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන බව’යි.

“ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකය, ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා සේක. එහෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක.”

ලෝකය යැයි කී විට බොහෝ විට අපගේ සිහියට නැඟෙන්නේ අප ජීවත් වන පෘථිවි ලෝකය පමණක් වේ. එහෙත් ලෝකය යන්න ඊට වඩා පුළුල් අර්ථයක් ඇති දෙයකි. ඒ පිළිබඳ සාමාන්‍ය ජනයාට ඇත්තේ ඉතා අඩු අවබෝධයකි. සෑම සත්වයෙක් ම ලෝකයට අයත් වන අතර ලෝකයේ කොටසක් වේ. එහෙත් සත්වයෝ ලෝකය ගැන හෝ තමන් ගැන නොදනිති. බුදුරජාණන් වහන්සේ ඒ ලෝකය සියල්ලෙන් සියල්ල අවබෝධ කළ සේක. සියල්ල අවබෝධ කරගත් බැවින් බුදුරජාණන් වහන්සේට ‘සර්වඥ’ යැයි කියනු ලැබේ. ලෝකවිදූ ගුණයේ දී බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දේ ලෙස දැක්විය හැක්කේ ද මේ සියලු ලෝකයට අයත් දේම වේ. එහෙත් ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේව හඳුනාගැනීමේ දී ලෝකය පිළිබඳ අපට අවබෝධ කරගත නොහැකි දේ අවබෝධ කරගත් අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ ‘ලෝකවිදූ’ යැයි ද හැඳින්වේ.

බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණයේ දී උන්වහන්සේ අවබෝධ කරගත් ලෝකය යන්නෙන් ලෝක තුනක් අදහස් වේ. එනම්, සංස්කාර ලෝකය, සත්වලෝකය සහ අවකාශ ලෝකය වශයෙනි.

1. සංස්කාර ලෝකය : සත්ව වූ ද සත්ව නොවූ ද (ඉන්‍ද්‍රියබද්ධ වූ ද අනින්‍ද්‍රියබද්ධ වූ ද) සියල්ල සංස්කාර ලෝකය නම් වේ.

2. සත්වලෝකය : ඉන්‍ද්‍රියබද්ධ වූ සියලුම ස්කන්‍ධ සමූහය හෙවත් සියලුම සත්ව සමූහය සත්වලෝකය නම් වේ.

3. අවකාශලෝකය : සත්වයන් නොවූ සියලුම ගස්වැල්, මහපොළව ආදිය අවකාශ ලෝකය නම් වේ.

මේ අනුව ලෝකය යන්නට සියලූම සත්වයන් ද, සත්ව නොවූ සියලු දේ ද අයත් වේ. මෙයට නාමරූප දෙක, පඤ්චස්කන්‍ධය, සප්ත විඥානස්ථිති, අෂටලෝකධර්ම, නව සත්තාවාස, දොළොස් ආයතන, අටළොස් ධාතු යනාදි සෑම ආකාරයකින් ම දක්වනු ලබන සියල්ල අයත් වේ. මෙයට අයත් දේ මෙසේ දැක්විය හැකි වේ.

මේ එක් ලෝකධාතුවක හෙවත් එක් සක්වළක ඇතුළත් භූමි තිස් එකක් (31) සඳහන් වේ. එනම් සතර අපාය (4) ය, මනුෂ්‍යලෝකය (1) ය, දිව්‍යලෝක සය (6) ය, රූපාවචර බ්‍රහ්මලෝක දහසය (16) ය, අරූපාවචර බ්‍රහ්මලෝක සතර (4) ය යන මේ තිස්එක් තලය යි. මේ තිස්එක් තලය එක් ඉරකින් හා සඳකින් ආලෝකමත් වන බව ධර්මයේ සඳහන් වේ. එසේ එක් ඉරකින් හා සඳකින් ආලෝකමත් වන ප්‍රදේශය ලෝකධාතුවක් හෙවත් සක්වළක් ලෙස හැඳින්වේ. එබඳු සක්වළ දහසක් සහශ්‍රී ලෝකධාතුව නම් වේ. එහි හිරු දහසක්, සඳු දහසක්, මහමෙර දහසක් යනාදි ලෙස සියල්ල දහස් ගුණය බැගින් වේ. මෙය සහශ්‍රී චූළනිකා ලොකධාතුව ලෙස ද හැඳින්වේ. සහශ්‍රී චූළනිකා ලෝකධාතු දහසක් ද්විසහශ්‍රී මජ්ක්‍ධිමිකා ලෝකධාතුව ලෙස හැඳින්වේ. ඒ අනුව මෙහි සක්වළ දශලක්‍ෂයකි. එබඳු ද්විසහශ්‍රී මජ්ක්‍ධිමිකා ලෝකධාතු දහසක් තිසහශ්‍රී ලෝකධාතුව නම් වේ. මෙය මහාසහශ්‍රී ලෝකධාතුව නමින් ද හැඳින්වේ. මෙයට කෝටිලක්‍ෂයක් සක්වළ අයත් වේ.

අංගුත්තරනිකාය අට්ඨකථාව දක්වන අන්දමට ශ්‍රාවකයන්ට විෂය වන්නේ සහශ්‍රී ලෝකධාතුවයි. ද්විසහශ්‍රී මජ්ක්‍ධිමිකා ලෝකධාතුව තථාගතයන් වහන්සේලාගේ ජාතික්‍ෂේත්‍රය යි. එනම් බෝසතාණන් වහන්සේගේ ප්‍රතිසන්‍ධිය, උපත, අභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වය, ධර්මචක්‍ර පැවැත්වීම, ආයුසංස්කාර වොස්සජනය, පිරිනිවන් පෑම යන අවස්ථාවන්හි මෙපමණ ප්‍රදේශයක් කම්පා වේ. තිසහශ්‍රී ලෝකධාතුව තථාගතයන් වහන්සේලාගේ ආඥාක්‍ෂේත්‍රය යි. එපමණක් ප්‍රදේශය බුදුරජාණන් වහන්සේගේ අණ පවතී. ඒ නිසා ආටානාටිය සූත්‍රය, ඉසිගිලි සූත්‍රය, ධජග්ග සූත්‍රය, බොජ්ඣඩ්ග පිරිත, ඛන්‍ධපිරිත, මෝරපිරිත, මෙත්තපිරිත, රතනසූත්‍රය යන පිරිත් වල බලය මෙම තිසහශ්‍රී ලෝකධාතුව දක්වා පවතින බව සඳහන් වේ. ඉන් ඔබ්බෙහි සියලු සක්වළ තථාගතයන් වහන්සේලාගේ විෂයක්‍ෂේත්‍රයයි. එහි සීමාවක් නැත. තථාගතයන් වහන්සේලාට සියලු සක්වළට තමන්වහන්සේගේ ආලෝකය පැතිරවිය හැකි වේ. සියලු සක්වළ වැසි සත්වයන්ට ඇසෙන සේ ධර්මය දේශනා කළහැකි වේ. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ කළ බැවින් ලොකවිදූ නම් වන සේක.

ලෝකය කෙළවරක් නොපෙනෙන සීමා රහිත වූවකි. වරක් රෝහිතස්ස නම් දිව්‍යපුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ කියා සිටියේ පෙර ආත්මභාවයක රොහිතස්ස නමින් මහත් ඍද්ධි ඇති තවුසෙක්ව හිඳ තමන් ලෝකයේ කෙළවර සොයා ගිය බවයි. ඔහුගේ ඍද්ධි බලපරාක්‍රමය අනුව පෙරදිග මුහුදේ එක් පාදයක් තබා අනෙක් පාදය අපරදිග මුහුදේ තබා ගමන් කළ හැකි විය. එසේ එකිනෙක ලෝකයෙන් ලෝකයට පා තබමින් ගොස් ලොව කෙළවරට පැමිණිමේ අදහසින් වසර සියයක් වූ ආයුෂය පුරාවට කෑමබීමාදි අත්‍යවශ්‍ය කටයුතු කරන වේලාව හැර අඛණ්ඩව ගියේ ය. එහෙත් ලෝකයේ කෙළවරට නොපැමිණි බවත්, අතර මඟ දී කලුරිය කළ බවත් ඒ දිව්‍යපුත්‍රයා බුදුරජාණන් වහන්සේට පවසා සිටියේ ය.
මෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ ලෝකය පාගමනින් ගොස් කෙළවර කළ නොහැකි බවයි. එසේම ලෝකයේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම ද කළ නොහැකි බවයි.

ගමනේන න පත්තබ්බෝ
ලෝකස්සන්තෝ කුදාචනං
නච අප්පත්‍වා ලෝකන්තං
දුක්‍ඛා අත්‍ථි පමෝචනං

තස්මා හවේ ලෝකවිදූ සුමේධෝ
ලෝකන්තගූ වුසිතබ්‍රහ්මචරියෝ
ලෝකස්ස අන්තං සමිතාවි ඤත්‍වා
නාසිංසති ලෝකමිමං පරඤ්චාති

“පාගමනින් කිසි කලෙකත් ලොව කෙළවරකට පැමිණිය නොහැක්කේය. ලොව කෙළවරට නොපැමිණ දුකින් මිදීමකුත් නැත.

එහෙයින් ලොව දන්නා, මහ නුවණැති ලොව කෙළවරට ගිය වැස නිමවූ බඹසර ඇති පව් සංසිඳ වූ පුද්ගල තෙමේ ලොව කෙළවර දැන මෙලොව ද පරලොව ද නොපතයි”

යනුවෙන් ඒ ගාථාවලින් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

මතු සම්බන්ධයි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Galigamuwe Gnanadeepa Thero

 


Na Uyane Ariyadhamma Thero

 


Sunday, November 15, 2020

සෝභිත බුද්ධවංශ වර්ණනාව

 

සෝභිත බුද්ධවංශ වර්ණනාව – සවැනි විවරණය

සෝභිත බුද්ධවංශ වර්ණනාව – සවැනි විවරණය

රේවත සර්වඥයන් වහන්සේ පිරිනිවී ඒ බුද්ධ ශාසනයද අතුරුදන් වූ කල්හි ‘සෝභිත’ නම් බෝධිසත්ත්වයන් වහන්සේ සාරාසංඛ්‍යකල්ප ලක්ෂයක් පාරමී පුරා තුසිත දෙව්ලොව ඉපිද එහි යම් තාක් ආයුෂ වේද ඒ තාක් දිව්‍ය සම්පත් විඳ දේවතාරාධනයෙන් දෙව්‍ලොවින් නික්මී සුධම්ම නගරයෙහි සුධම්ම රජුගේ අගබිසව වූ සුධම්මා නම් දේවියගේ කුසෙහි පිළිසිඳගෙන දසමසක් ඇවෑමෙන් සුධම්ම උයනේදී වළාගැබින් මිදී බැබළෙන පූර්ණ චන්ද්‍රයා මෙන් මවුකුසින් නික්මුණු සේක. උන්වහන්සේ වසර දසදහසක් ගිහිගෙයි වාසය කරනුයේ සැත්තෑදහසක් නාටක ස්ත්‍රීන් හට අග්‍ර වූ මඛිලා දේවිය නම් අගමෙහෙසිය කුසින් ‘සීහකුමරු’ උපන්දා සතර පෙරනිමිති දැකීමෙන් සංවේග ප්‍රාප්තව සිටි බෝධිසත්ත්වයන් වහන්සේ රජ මාළිගයෙහිම පැවිදිව එහිම ආනාපානසති සමාධිය භාවිත කරමින් දැහැන් සතරම උපදවා සත්දිනක් ප්‍රධන් වීර්යය වඩමින් එහිම කල් ගෙවීය.

ඉන්පසු මඛිලා දේවිය පිදූ පරම මධුර වූ මී පැණි මිශ්‍ර කිරිපිඬු දානය වළඳා “මේ අලංකාරව සරසන ලද ප්‍රාසාදය මහජනයා බලා සිටියදීම අහසින් අවුත් බෝ රුක මැදි කොට (බෝධි ගෘහයක් මෙන්) පොළොවට බසීවා, මේ ප්‍රාසාදයෙහි සිටින්නා වූ ස්ත්‍රීහු බෝධි මූලයේ සිටි මා විසින් කිසිවක් නොකී කල්හිම ප්‍රාසාදයෙන් බැස නික්මෙත්වා” යැයි අභිනික්මන් සඳහා සිතක් ඉපදීය.

මෙසේ සිතත්ම ඒ සුධම්ම රාජභවන නීල අංජන තැවරුවාක් මෙන් වූ නිලඹරට පැන නැංගේය. සුවඳ කුසුම දාමයන්ගේ ඒකරාශීත්වයෙන් සමලංකෘත වූ ඒ ප්‍රාසාදය මුළු ගගන තලයම අලංකාර කරමින් රන්රසධාරා විහිදුවමින් බැබළෙන දිවාකරයා (හිරු) මෙන් ද, සරත් සමයේ බැබළෙන රජස් සමූහයක් මෙන්ද  සමලංකෘත වූවා පමණක්ම නොව ඉතා දක්ෂ ලෙස ජනවාදිත පඤ්චතූර්ය්‍ය වාදනයක් වැයෙන කලක් මෙන් මධුර වූ රජනීය වූ කමණීය වූ එල්බෙන කිංකිණි දැලකින්ද යුක්ත විය. දුර සිට ඇසෙන්නා වූ මියුරු ස්වරය සත්ත්වයන්ගේ දෙසවනට යොමු කරවමින් ගෙමිදුල්, මංසන්ධි ආදියෙහි කථා බස් දොඩමින් සිටියවුන්ගේ දෙනුවන විදහා දක්වමින් මිනිසුන්ට බොහෝ උසිනුත් නොවී බොහෝ පහතිනුත් නොවී නුදුරු අහසෙහි නානා විධ  රත්නයන්ගෙන් බැබළෙමින් බෝධි සත්ත්වයන්ගේ පුණ්‍යානුභාවය හඬ ගා කියන්නාක් මෙන් අහසින් ගමන් කළේය.

පඤ්චතූර්ය්‍ය වාදනයෙන් නැ‍ඟෙන මියුරු හඬ රැව් පිළිරැව් දුන්නේය. නාටක ස්ත්‍රීන් හා සිව්රඟ සෙනඟ අලංකාර වස්ත්‍රාභරණයෙන්ද සුවඳැති කුසුමදාමයෙන්ද ශෝභා සම්පන්න වූ උතුම් සේනාවක් පිරිවරා ඊෂ්වරත්වය විදහා දක්වමින් පොළොවෙහි පමණක් නොව අහසින්ද ප්‍රාසාදය පිරිවරාගෙන ගියේය.

ඉන්පසු අසූරියනක් උසට ඍජුව මනා සේ වැඩුණු වටකුරු කඳක් ඇති මල්, දළු, කැකුළු ආදියෙන් ශෝභමාන වූ නා බෝධිය මැදි කොට බැසගත් ප්‍රාසාදය පොළොවෙහි පිහිටියේය. නාටක ස්ත්‍රීහු කිසිවක් නොකියන ලදුයේ ම ප්‍රාසාදයෙන් බැස පිටව ගියාහ. අනේක ගුණයන්ගෙන් ශෝභනය වුණා වූ සෝභිත මහා පුරිස තෙමේ මහා ජනයා පිරිවරන ලදුයේම තුන්යම් රැයෙහි ත්‍රිවිද්‍යා ඉපිද වූහ. පිරිවර ජනයා වනාහි ධර්මතාවයක් වශයෙන් පැමිණි තැන්වලටම ගියහ. නමුත් ප්‍රාසාදය එතැනම සිටියේය. සෝභිත බෝධිසත්ත්ව තෙමේ සව්කෙළෙස් නසා ලොව්තුරා සම්බුදු බවට පත් වූ සේක. උදාන ගාථා කියා සත්සතියක් බෝධි සමීපයෙහි කල් ගෙවා ධර්මය දේශනා කිරීමට කළ බ්‍රහ්මාරාධනය පිළිගත් භාග්‍යවතුන් වහන්සේ “කවරෙක් හ‍ට පළමුව ධර්මය දේශනා කරන්නේ”දැයි ලොව බලනුයේ “අසම” , “සුනෙත්ත” යන වේමාතික කණිෂ්ඨ සහෝදර (සුළු මවගේ පුත්) කුමාරවරු දෙදෙනාට ධර්මාවබෝධය පිණිස උපනිඃශ්‍රය සම්පත්තිය ඇති බව දැන “මේ කුමාරවරු දෙදෙනා ගම්භීර වූ ධර්මය නිපුණව අවබෝධ කිරීමට සමර්ථය, එබැවින් මොවුන්‍ට පළමුව ධර්මය දේශනා කරන්නෙමියි” අහසින් වැඩම කොට සුධම්ම උයනට බැස උයන්පල්ලා ලවා ඒ කුමාරවරු දෙදෙනා කැඳවවා පිරිවර සහිත මහජනයා මධ්‍යයේ දම්සක්පැවතුම් සූත්‍රය දේශනා කළ සේක. එහිදී ධර්මය අවබෝධ කරගත්තවුන්ගේ සංඛ්‍යාවක් පිරිසිඳ කිව නොහැක.‍

පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ සුදර්ශන නගර ද්වාරයෙහි චිත්‍ර පාඨලී (පළොල්) රුක මුල යමාමහ පෙළහර පා තව්තිසා දෙව්ලොවට වැඩමකොට නවරන් මැණික්මය භවනේ පරසතු වෘක්ෂමූලයේ පඬුපුල් අසුනේ වැඩහිඳිමින් අභිධර්මය දේශනා කළ සේක. දේශනා අවසානයෙහි කෝටිඅනූදහසක්දෙනා මඟඵල නිවන් අවබෝධ කළහ. මේ දෙවන අභිසමය විය.

ඉන්පසු සුදර්ශන නගරයෙහි ජයසේන නම් රජකුමරු යොදුනක් පමණ මහාවිහාරයක් කරවා එහි හෝපලු (අශෝක) සල්, සපු, නා, අඹ, දොඹ, මී අඹ, මූනමල්, කොස්, කුඹුක්, කනේරු ආදී වටිනා රුක් රෝපනය කර වටිනා උයනක් ඉදිකර බුදුන් ප්‍රධාන මහාසංඝරත්නයට පූජා කළේය. එවිට භාග්‍යවතුන් වහන්සේ දානයෙහි ගුණ වර්ණනා කරමින් දානානුමෝදනා ධර්මදේශනාවක් සිදු කළ සේක. එකල්හි කෙල දහසක් සත්ත්වනිකායන්ට ධර්මාවබෝධය වූහ.

නැවත උග්ගත නම් රජ තෙමේ සුනන්දවතී නගරයෙහි සුරින්ද නම් විහාරයක් කරවා බුදු පාමොක් මහ සඟනට පූජා කළේය. එම දානයෙහි ඒහිභික්ඛු භාවයෙන් පැවිදි වූ රහතන් වහන්සේලා සියක් කෝටියක සන්නිපාතයක් විය. ඒ රහතුන් මැද සෝභිත බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂය දේශනා කළහ. මේ පළමු ශ්‍රාවක සන්නිපාතය විය. නැවත ද මේඛලා නගරයෙහි ධම්මගණාරාමය නම් උතුම් ආරාමයක් කරවා බුදුන් ප්‍රධාන මහා සංඝරත්නයට පූජා කරමින් සියලු පිරිකර සහිත මහා දානයක් දුන්හ. එකල්හී ඒහි භික්ඛු භාවයෙන් පැවිදි වූ අනූකෝටියක් අරහන්ත සන්නිපාතයේදී ප්‍රාතිමෝක්ෂය දේශනා කළ සේක. මේ දෙවන ශ්‍රාවක සන්නිපාතය විය. යම් කලෙක වනාහි භාග්‍යවතුන් වහන්සේ ශක්‍රභවනේ වස් වාසය කර වස් පවාරණය කිරීම සඳහා දේවගණයා පිරිවරා දෙව් ලොවින් බට සේක්ද එකල්හී සිවුවනක් පිරිස සහිත අසූකෝටියක් රහතුන්ගෙන් යුත් සන්නිපාතයේදී වස් පවාරණය කළ සේක. මේ තෙවන ශ්‍රාවක සන්නිපාතය විය.

එකල්හී අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ රම්මවතී නගරයෙහි සුජාත නම් උසස් බ්‍රාහ්මණයෙකුව හිඳිනුයේ සෝභිත බුදුරදුන්ගෙන් බණ අසා තෙරුවන් සරණ ගොස් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහා දානයක් පූජා කළේය. එවිට වනාහී “මේ මහා පුරුෂ තෙමේ අනාගතයෙහි ගෞතම නමින් ලොව්තුරා බුදුවන්නේය” යැයි විවරණ ලබා දුන් සේක.

සුධම්ම නගරයෙහි සුධම්ම නම් පිය රජු නිසා සුධම්මා නම් මවු දේවියගේ කුස ඉපිද වසර නවදහසක් ගිහිගෙයි වාසය කර මඛිලා දේවිය නම් තම බිසව සීහ කුමරු නම් තම පුතු වැදූ දා හැත්තෑ දහසක් නාටක ස්ත්‍රීන් හා සිවුරඟ සේනාව පිරිවරාගෙන ප්‍රාසාදයෙන්ම අභිනික්මන් කර නා බෝධි මූලයේදී සව් කෙළෙස් නසා ලොව්තුරා සම්බුදු බවට පත් වුනා වූ සෝභිත බුදුරජාණන් වහන්සේට “අසම, සුනෙත්ත නම් අගසව් දෙනමක්ද, අනෝම නම් අග්‍ර උපස්ථායක තෙරුන් වහන්සේ නමක් මෙන්ම නකුලා, සුජාතා යැයි අග්‍රශ්‍රාවිකාවන් දෙනමක්ද විය. ජයසේන රජු උපස්ථායකයා විය. පනස් අටරියනක් උස බුදු සිරුරු ඇතිව අනන්ත සත්ත්ව ප්‍රජාවක් නිවන්පුර පමුණුවමින් සෝතාරාමයෙහි වැඩ වාසය කළ භාග්‍යවතුන් වහන්සේ අවුරුදු අනූදහසක් ආයු වළඳා පිරිනිවන් පෑ සේක.

“සබ්බේ සත්තා සුඛී අත්තානං පරිහරන්තු”

(බුද්ධවංශ අට්ඨකථාව ඇසුරෙන්)

සම්පාදක – පූජ්‍ය පුවක්පිටියේ සුමංගලරතන හිමි

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...