Thursday, October 29, 2020
Wednesday, October 28, 2020
සිංහල බණ කතා: පරදාර සේවනයෙන් දුරුවීමේ කථාව
19. පරදාර සේවනයෙන් දුරුවීමේ
කථාව
(මෙසේ අසන්ට ලැබේ) සමෘඬ ජනයාගෙන් හා නිත්‍ය ශස්‍ය නිෂ්පාදනයෙන් යුත් මනා භික්ෂූන් බහුල වූ සුරට්ඨජනපදයෙහි ............ විහාරයක් වේ. එහි මහානිධි නමැති පර්වතය සමීපයෙහි ධුතංගධර වූ යෝගාවචර වූ පිණ්ඩපාතික වූ එක් භික්ෂුනමක් වසයි. හෙතෙම පෙරවරු කාලයෙහි පිණ්ඩපාතය ලබාගෙන වුත් එක් තැනක තැබීය. එක්තරා සොරෙක් සොරකම් සඳහා මුළු රැය ඇවිද බඩසයින් පෙළුනේ ඒ විහාරයට ගොස් පිණ්ඩපාතය දැක ඉදින් මේ භික්ෂුනම මට නොදී ආහාර අනුභව කරන්නේ නම් මම රාත්‍රියෙහි අවුත් මොහුගේ පාත්‍ර සිවුරු ගෙන යන්නෙමියි සිතාගෙන උන්නේය. භික්ෂුනම අත්පා සෝදාගෙන චෛත්‍යය වැඳ හිඳගෙන අනුභව කරනු කැමැත්තේ ඔහුගේ ඒම දැක අනුභව කරවයි කියා ඔහුට ආහාර දුණි. බඩසයින් පෙළුණු හෙතෙම අනුභව කොට සතුටට පත්වී මෙසේ කීය: ස්වාමීනි, බලවත් සොරෙක් වූ මම ඔබට අපරාධයක් කරන්ට සිතුවෙමි. එයට සමාවුව මැනවැයි කීය. පින්වත, මම සමාව දෙමි. ඉදින් මා කියන දේ කරන්නෙහි නම් පන්සිල් රක්ෂා කරවයි තෙරනම කීය. ස්වාමීනි, පන්සිල් නම් මොනවාද?අසවල් අසවල් දේ යයි කී විට ස්වාමීනි, ඒවා රකින්ට නොහැක්කෙමියි කීය. එසේ නම් සිකපද සතරක්, තුනක්, දෙකක් රැක්ක මැනවැයි කීවිටත් නොහැක්කෙමියි කීය. එසේ නම් එකක් රකුවයි කී විට සොරා එකක් රැකීමට කැමති විය. හෙතෙම පරදාර සේවනයෙන් වෙන්වීමේ ශික්ෂාපදය සමාදන් වී ගියේය. හෙතෙම එදා එක් ගමක ඇවිදින්නේ එක් ධනවතෙකුගේ ගෙයක ඉතා වටිනා ගොනුන් දෙදෙනකුන් දැක මධ්‍යම රාත්‍රි කාලයෙහි ඒ ගෙට ඇතුල් විය. ගෘහණිය සොරා දැක පිළිබඳ සිතැත්තී විය. ඕ තරුණය කුමක් සඳහා ආවෙහිද?යි ඇසීය, ගොනුන් ගෙනයාම සඳහා යයි සොරා කීය. ඉදින් මා කියන දේ කරන්නෙහි නම් තා කැමති හැම දෙයක්ම දෙන්නෙමියි ගෘහණිය කීය. කුමක් කළයුතුදැයි සොරා ඇසීය.
(1) කාමසැපයෙන් පෙළඹුණු පුද්ගලයෝ යුද්ධයට වැදීමද දියට පිවිසීමද සොරුන් අතරට යාමද මහවනයකට ඇතුල්වීම ද පර්වත දුර්ගයකට යාම ද ගණන් නොගනිත්. එබැවින් කාමසැපයෙන් මා සතුටු කරවයි ස්ත්‍රිය කීය. ඉදින් මාගේ කීම නොකරන්නෙහි නම් තාගේ ඒම සාර්ථක නොවන්නේ යයි ද කීය. සොරා ඇගේ කීම අසන්ටත් නොකැමති වී සොඳුර, මම ශීලයක් රකිමියි කීය. ගේ හිමියා මේ දෙදෙනාගේ කථාව අසා නැගිට ආරක්ෂකයන් කැඳවා සොරා අල්වන්ට සලස්වා ස්ත්‍රිය බන්දවා සොරාට මෙසේ කීය: මිත්‍රය, තෝ අද පටන් මාගේ සහෝදරයෙක් වෙහි. මේ ගෙට හිමියෙක්ව තා කැමති කැමති දෙයක් ගනුව. මේ සොර ස්ත්‍රිය ගෙයින් නෙරපන්නෙමියි කියා ඇය නෙරපා දැමීය, සොරා තමාගේ ශීලයේ අනුසස් ගැන මෙසේ කල්පනා කෙළේය: (2) මම ගොනුන් ගෙනයනු කැමතිව මේ ගෙට ඇතුල් වීමි. පරදාර සේවනය දුරුකොට මේ සැපයට පත්වීමි. (3) මා විසින් ගොන්නුත් ධාර්මික සොහොයුරෙකුත් ලද්දාහුය, මිය යායුතු තැන්හි ප්‍රිය වූ ජීවිතයක් ලදිමි. (4) එක සිකපදයක් රැකීමෙන් මෙලොවදීම මෙතෙක් විපාක ලදිමි. හැම සිකපද රකින්නන්ට කෙතරම් මහත් ඵලයක් ලැබෙන්නේද? (5) බඩසයින් පෙළුණු මා බුද්ධ ශ්‍රාවකයකු කරා එළඹ එක් සිල් පදයක් සමාදන් වී මෙවැනි සම්පත්තියක් ලද්දීය. (6) ලේ තැවරුණු අත් ඇති රෞද්‍ර වූ පවිටු ක්‍රියා ඇති සොරෙකු විසින් රක්නා ලද ශීලය මෙසේ පිහිටක් ලබාදුණි. (7) යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව සිල් රකිත් නම් ශීලයෙහි පිහිටි ඔවුහු හැම භයින් මිදෙත්. (8) මෙසේ ශීල ගුණය දත් මම සිත දැඩිකොට ගෙන සිල් පිරීමටම උත්සාහ කරන්නෙමි. (9) ඉක්බිති සතුටු සිතැතිව වහා විහාරයට ගොස් ඒ භික්ෂුනම කරා එළඹ ස්වාමීනි, මට පන්සිල් දෙනු මැනවි. මවිසින් එය ජීවිතාන්තය දක්වා රැක්ක යුතුයයි කීය. (10) මම කාමයෙහි වරදවා නොහැසිරීම නමැති ශීලය රැක මරණභයින් මිදුණෙමි. (11) දැන් දුගතියෙහි ඇති මහත් භය ගැන අසනු කැමැත්තෙමි. මහාවීරයන් වහන්ස, කැපකරු වූ මා දුගතියෙන් මුදවනු මැනවි. (13) බඩසයින් පෙළුණු මට ඔබ විසින් පෙර ආහාර දෙන ලදි. සසර දුකින් පෙළුනු මට සිල් දෙනු මැනවි. (14) ඔහුගේ කීම අසා වැඩූ ඉන්ද්රියයන් ඇති ඒ තෙරනම ඔහුට අනුකම්පාවෙන් මෙසේ කීය: (15) සත්පුරුෂය, මම ඔබට සරණද සිල්ද දෙමි. ඒවා රැක දුගති භයෙන් මිදෙනු මැනවි. (16) සිල්වත් මිනිසා මිනිසුන් ද නොමිනිසුන් ද තිරිසනුන් ද යන සියලු දෙන විසින් විශ්වාස කටයුත්තෙක් වෙයි. (17) එය ඔබට දිව්‍ය සම්පත් ද මනුෂ්‍ය සම්පත් ද, ආර්ය සම්පත් ද ලැබීමට හේතුවක් වන්නේය. (18) ඒ සොරා එහිම හිඳ ඇඳිලි බැඳගෙන සරණ ද සිල් ද ගත්තේය. (19) සිල් රැකීමෙන් පිරිසිදු වූ ඒ සොරතෙමේ පව්මල දුරුකොට ධර්මප්‍රීතිය ප්‍රියකොට උපාසකයෙක් විය.
බුද්ධානුස්සති භාවනාව – 3 කොටස (‘අරහං’ බුදුගුණය වැඩීම 1)
බුද්ධානුස්සති භාවනාව – 3 කොටස (‘අරහං’ බුදුගුණය වැඩීම 1)
Jul 24, 2020 | සිත නිවන භාවනා | 0
33. බුද්ධානුස්සති භාවනාව – 3 කොටස (‘අරහං’ බුදුගුණය වැඩීම 1)
බුද්ධානුස්සති භාවනාව වැඩීමට බලාපොරොත්තු වන පුද්ගලයා ඉහත පැහැදිලි කරන ලද ආකාරයට පළමුව තමාගේ කය පිරිසිදු කරගෙන, එසේම ශීලය ද පිරිසිදු කරගෙන භාවනාවට සූදානම් විය යුතු වේ. නිවසේ බුද්ධ මන්දිරයක් තිබේ නම්, එවැනි තැනක් බුද්ධානුස්සතිය වැඩීමට වඩාත් යෝග්‍ය වේ. එසේ නොමැති නම් සුදුසු විවේකී පරිසරයක් තෝරාගත යුතු වේ.
පළමුව බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් ආදිය පූජා කිරීම කළ හැකි නම් එසේ සිදු කොට භාවනාව සඳහා සූදානම් විය යුතුය. එහි දී පළමුවෙන් කළයුත්තේ ඉහත දක්වන ලද ආකාරයට බුදුගුණ නවය කෙටියෙන් මෙනෙහි කිරීම යි. බුදුගුණ නවය කිහිපවරක් කෙටියෙන් මෙනෙහි කරන විට තමන්ගේ සිත සන්සිඳීමට පත් වේ. එසේ සන්සිඳුණු පසු විස්තර වශයෙන් බුද්ධානුස්සති භාවනාව ආරම්භ කළහැකි වේ.
විස්තර වශයෙන් බුද්ධානුස්සති භාවනාව වැඩීමේ දී ලොව්තුරු බුදුරජාණන් වහන්සේ පිළිබඳව ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් ද අරහං නම් වන සේක (සො භගවා ඉතිපි අරහං), මේ කාරණයෙන් ද සම්මාසම්බුද්ධ නම් වන සේක (ඉතිපි සම්මාසම්බුද්ධො)’ යනාදි වශයෙන් මෙනෙහි කළයුතු වේ. එසේ මෙනෙහි කිරීමට නම් බුදුරජාණන් වහන්සේ අරහං ආදි ගුණයන්ගෙන් සමන්වාගත යැයි පවසන හේතු පිළිබඳ අවබෝධයක් භාවනා කරන පුද්ගලයාට තිබිය යුතු වේ. ඒ සඳහා කෙටියෙන් නමුත් නව අරහාදි බුදුගුණ පිළිබඳ දැනුම වැඩි කරගත යුතු වේ. ඒ එකිනෙකක් විස්තර වශයෙන් වැඩීම පිණිස මෙසේ කෙටි විස්තරයක් සැපයේ.
අරහං ගුණ භාවනාව
අප සරණගිය ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ ‘අරහං’ නම් ගුණයෙන් සමන්වාගත වන සේක. උන්වහන්සේ ‘අරහං’ යැයි පැවසීමට හේතු කරුණු 05 ක් ධර්මයේ විස්තර වේ.
1. මාර්ගඥානයෙන් සවාසන සකලක්ලේශයන්ගෙන් දුරින්ම දුරු වූ හෙයින් ‘අරහං’ නම් වන සේක. (ආරකත්තා අරහං)
2. කෙලෙස් සතුරන් මාර්ගඥානයෙන් නැසූ හෙයින් ‘අරහං’ නම් වන සේක. (අරීනං හතත්තා අරහං)
3. සංසාරචක්‍රයේ අර (හෙවත් ගරාදි) නැසූ හෙයින් ‘අරහං’ නම් වන සේක. (අරානං හතත්තා අරහං)
4. සියලු ප්‍රත්‍යයන් (පූජාවන්) ලැබීමට සුදුසු වූ හෙයින් ‘අරහං’ නම් වන සේක. (පච්චයාදීනං අරහත්තාපි අරහං)
5. රහසින්වත් පව් නොකරන හෙයින් ‘අරහං’ නම් වන සේක. (පාපකරණෙ රහාභාවතොපි අරහං)
වාසනා සහිතව සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වාසනා ගුණයන් ද සමඟ සියලු කෙලෙසුන් කෙරෙන් දුරින්ම දුරු වූ හෙයින් ‘අරහං’ යැයි කියනු ලැබේ. බෝමැඩ දී සම්මාසම්බුද්ධත්වයට පත් වීමත් සමඟ අර්හත් මාර්ගඥානයෙන් රාගාදි සියලු කෙලෙසුන් දුරු කළ සේක.
මෙහි දුරු කිරීම යැයි අදහස් වන්නේ ප්‍රහීණ කළ බවයි. අර්හත් මාර්ගඥානය ලැබීමත් සමඟ සන්තානයේ ක්ලේශ ධර්මයන් කිසිවක් ඉතිරි නො වෙයි. සියල්ල ප්‍රහීණ වෙයි. ලෝකසත්ත්වයන් රාගය, ද්වේශය, මෝහය, මානය, ඊර්ෂ්‍යාව, මසුරුබව, උද්ධච්චය ආදි එක්දහස් පන්සියයක් කෙලෙසුන්ගෙන් නිරන්තරයෙන් පීඩා විඳින අතර තථාගතයන් වහන්සේ බෝමැඩ දී ම ඒ සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහීණ කොට නික්ලේශී වන සේක. එසේ නික්ලේශී වන බැවින් උන්වහන්සේ ‘අරහං’ නම් වන සේක.
භාග්‍යවතුන් වහන්සේගේ කෙලෙස් දුරු කිරීම සෙසු රහතන් වහන්සේලාගේ කෙලෙස් දුරු කිරීමෙන් වෙනස් වේ. සෙසු රහතන් වහන්සේලා කෙලෙස් දුරු කළ ද උන්වහන්සේලාගේ වාසනා ගුණයන් දුරු කිරීමට සමත් නොවෙති. වාසනා ගුණයන් ලෙස හැඳින්වෙන්නේ යම්කිසි කෙලෙස් දුරු කළ අයෙක්ගේ වුව ද කෙලෙස් දුරු නොකළ අයෙකුගේ ක්‍රියාවනට සමාන ක්‍රියා ඇති කිරීමට සමත්කම් විශේෂයකි. එනම් සමහර රහතන් වහන්සේ නමක් වුව ද බාහිර ක්‍රියාකාරකම් වලින් සාමාන්‍ය පුද්ගලයෙක් මෙන් පෙනී සිටී.
පිලින්දිවච්ඡ මහරහතන් වහන්සේ පෙර ආත්මභාව පන්සියයක් බ්‍රාහ්මණ කුලයක ඉපිද ‘වසලි, වසලි’ යැයි අන් අයට වසලිවාදයෙන් කථා කර තිබිණි. ඒ පුරුද්ද අර්හත්වයට පත් වූ ආත්මභාවයේ ද නොනැසී තිබී ගිහියන්ට ද පැවිද්දන්ට ද වසලිවාදයෙන් ම කථා කළහ. සෙසු භික්ෂූන් වහන්සේලා මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට දැන්වූ පසු බුදුරජාණන් වහන්සේ වදාළේ පිලින්දිවච්ඡ මහරහතන් වහන්සේ කිසිවෙකුට ඵරුසවචන කීමක් වශයෙන් වසලිවාදයෙන් කථා නොකරන බවත්, පෙර ආත්මභාව පන්සියයක් පුරුදු කරන ලද දෙය අත නොහැර පවතින බවත් වේ. මෙසේ අර්හත්වයට පත් වූයේ නමුදු සෙසු කෙලෙස් සහිත පුද්ගලයන්ගේ ක්‍රියාවන්ට සමාන ක්‍රියා ඇතිකරන බව ‘වාසනාගුණ’ ලෙස හැඳින්වේ.
සෙසු රහතන් වහන්සේලා අර්හත් මාර්ගඥානයට පැමිණීමේ දී මෙම වාසනාගුණ නැසීමක් සිදු නොවන නමුදු බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වීමේ දී සියලු වාසනාගුණයන් ද සමඟින් කෙලෙස් ප්‍රහීණ කළ සේක. දුරු වීම යන අරුත් ඇති ‘ආරක’ යන පාලි පදයෙන් ‘අරහං’ යන්න සෑදේ.
එබැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘සවාසන සකලක්ලේශයන්ගෙන් දුරින් ම දුරු වූ හෙයින් අරහං නම් වන සේක’ යැයි අරහං ගුණය වැඩිය යුතු වේ.
සියලු කෙලෙස් සතුරන් නැසූ සේක.
කෙලෙස් ධර්මයෝ නම් සතුරෝ ය. රාගාදි කෙලෙස් විසින් පුද්ගලයාගේ අභිවෘද්ධිය නසන බැවින්, නිර්වාණ ගමනට බාධා පමුණුවන බැවින් ඒවා සතුරෝ ය. ඒ කෙලෙස් නමැති සතුරන් බුදුරජාණන් වහන්සේ අර්හත් මාර්ගාඥානයෙන් නසන ලදී. අර්ථ වශයෙන් මෙය ද ඉහත දක්වන ලද ආකාරයෙන්ම වේ. එහෙත් පදය සැකසෙන ආකාරය වෙනස් වේ.
‘අරි’ යනු සතුරාට නමකි. ‘හත’ යනු නැසීමයි. සතුරා නැසීම යන අර්ථයෙන් ‘අරිහත’ යන්න ‘අරහං’ යැයි සිද්ධය.
එබැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘සියලු කෙලෙස් සතුරන් නැසූ හෙයින් අරහං නම් වන සේක’ යැයි අරහං ගුණය වැඩිය යුතු වේ.
සංසාර චක්‍රයේ අර සිඳලූ සේක.
සංසාරය යනු රථ රෝදයක් වැනි ය.එහි නාභිය වන්නේ අවිද්‍යාව හා භව තෘෂ්ණාව යි. නිම්වලල්ල වන්නේ ජරාමරණ වේ. නාභිය හා නිම්වලල්ල සම්බන්ධ කරන අර හෙවත් ගරාදි වන්නේ පුඤ්ඤාදි අභිසංස්කාරයෝ ය. ආශ්‍රව නමැති ඇක්සලයෙන් විද, කාම, රූප, අරූප භවත්‍රය නමැති රථයට මේ සංසාර චක්‍රය සම්බන්ධ කර ඇත.
පුද්ගලයා අවිද්‍යාව හා භවතෘෂ්ණාව හේතුවෙන් පුඤ්ඤාභිසංස්කාර හෙවත් කුසල ධර්මයන් ද, අපුඤ්ඤාභිසංස්කාර හෙවත් අකුසල ධර්මයන් ද ආනෙඤ්ජාභිසංස්කාර හෙවත් ධ්‍යාන කුසලයන් ද රැස්කරයි. ඔහු ඒ අභිසංස්කාරයන්ගෙන් ජරාමරණ හි බැඳී අනාදිමත් කාලයක් තිස්සේ කාමභව, රූපභව, අරූපභව වල ඉපදෙමින්, මැරෙමින් පැමිණියේ ය. තථාගතයන් වහන්සේ බෝමැඩ දී වීර්ය නමැති පාදයෙන් ශීල නමැති පොළොවේ පිහිටා ශද්ධා නමැති අතින් කර්මක්ෂයකරඥාන නමැති පොරොව ගෙන ඒ සංසාර චක්‍රයේ අර හෙවත් පුඤ්ඤාභිසංස්කාරාදිය සිඳලූ සේක. අර සිඳලූ අර්ථයෙන් ‘අරහත’ යන්න ‘අරහං’ යැයි සිද්ධ ය.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Tuesday, October 27, 2020
බුද්ධානුස්සති භාවනාව – 2 කොටස
බුද්ධානුස්සති භාවනාව – 2 කොටස
Jul 2, 2020 | සිත නිවන භාවනා | 0
අප සරණ ගිය ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය සිහිපත් කිරීම බුද්ධානුස්සති භාවනාව වේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය මෙපමණකැයි කියා නිම කළ නොහැකි තරම් වේ. ඒ නිසා භාවනාවට උපකාර වනු පිණිස ‘ඉතිපි සො භගවා අරහං’ යනාදි පාඨයේ එන පිළිවෙලට නව අරහාදි බුදුගුණ සිහිපත් කරගැනීම පහසු වේ.
බුද්ධානුස්සති භාවනාව විස්තරාත්මකව සිදු කිරීමට කැමති පුද්ගලයා විසින් ඒ එකිනෙක ගුණය පිළිබඳ අවබෝධය ඇති කරගෙන එය භාවනාවක් වශයෙන් භාවිත කළයුතු වේ. එකිනෙක බුදුගුණය පිළිබඳ නිරවුල් අවබෝධයක් ඇතිකර ගැනීමෙන් බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගත හැකි වේ. එසේ බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳ අවබෝධය වැඩිවන විට භාවනාව වඩාත් ශක්තිමත් භාවයට පත් වේ.
බුද්ධානුස්සතිය වැඩීමට බලාපොරොත්තු වන පුද්ගලයා ඉහත පැහැදිලි කරන ලද ආකාරයට තමාගේ කය පිරිසිදු කරගෙන, එසේම ශීලය ද පිරිසිදු කරගෙන භාවනාවට සූදානම් විය යුතු වේ. එහි දී නිවසේ බුද්ධ මන්දිරයක් තිබේ නම්, එවැනි තැනක් බුද්ධානුස්සතිය වැඩීමට වඩාත් යෝග්‍ය වේ. එසේ නොමැති නම් සුදුසු විවේකී පරිසරයක් තෝරාගත යුතු වේ.
පහසු ඉරියව්වකින් භාවනාවට වාඩි වී භාවනා පූර්වකෘත්යය සිදු කර මඳ වේලාවක් තමාගේ කය මෙනෙහි කරමින් භාවනාවට සූදානම් විය යුතුය. ඉන්පසු තමා දැක පුරුදු වඩාත් ප්‍රියජනක වූ බුද්ධරූපයක් සිතේ මවාගැනීම කළයුතු වේ. අනතුරුව ඒ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන බුදුගුණ මෙනෙහි කළයුතු වේ.
පළමුවම කළයුත්තේ කෙටියෙන් බුදුගුණ මෙනෙහි කිරීමයි. ඒ සඳහා පහත බුදුගුණ පාඨ කටපාඩම් කරගෙන, සිතේ මවාගත් බුද්ධරූපය අරමුණු කරගෙන මෙනෙහි කරන්න. එකිනෙක බුදුගුණය අවසානයේ ඒ ගුණයෙන් සමන්වාගත බුදුරජාණන් වහන්සේට තමාගේ ජීවිතය මල් ආසනයක් මත පූජා කෙරෙන සුවඳ මලක් මෙන් පූජා කරන බව සිතා ජීවිතපූජාව කරන්න.
බුදුගුණ පාඨ කෙටියෙන්
(1) ඒ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වාසනා සහිතව සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. සියලු කෙලෙස් සතුරන් නැසූ සේක. සංසාර චක්‍රයේ කෙලෙස් අර සිඳලූ සේක. රහසින් වත් පව් නොකළ සේක. සියලු පූජාවන්ට සුදුසු වන සේක. එසේ හෙයින් අරහං නම් වන සේක.
ඒ අරහං ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !
(2) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ සර්ව ධර්මයන් සර්වාකාරයෙන් පරෝපදෙශ රහිතව තමන්වහන්සේම නුවණින් මනාකොට දැන වදාළ සේක. එසේ හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක.
ඒ සම්මාසම්බුද්ධ ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !
(3) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යා, පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්වාගත වූ සේක. එසේ හෙයින් විජ්ජාචරණ සම්පන්න නම්වන සේක.
ඒ විජ්ජාචරණ සම්පන්න ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !
(4) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ සෝභන ගමන් ඇති සේක. සොඳුරු රූප සම්පත්ති ඇති සේක. සොඳුරු වචන ඇති සේක. සොඳුරු වූ නිර්වාණයට නිසි පිළිවෙත් වැඩුමෙන් වැඩිය සේක. එසේ හෙයින් සුගත නම්වන සේක.
ඒ සුගත ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !
(5) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ සංස්කාර ලෝකය, සත්ව ලෝකය, අවකාශ ලෝකය යන සියලු ලෝකයන් සර්වාකාරයෙන් දැන වදාළ සේක. එසේ හෙයින් ලෝකවිදූ නම්වන සේක.
ඒ ලොකවිදූ ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !
(6) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ ශීලාදි ගුණයන්ගෙන් අග්‍රගන්‍ය වන සේක. සෙස්සන් විසින් දමනය කළ නොහැකි වූ පුද්ගලයන් දමනය කළ සේක. එසේ හෙයින් අනුත්තර පුරිසදම්ම සාරථී නම් වන සේක.
ඒ අනුත්තර පුරිසදම්ම සාරථී ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !
(7) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන් හට ලොවී ලොව්තුරා අර්ථයෙන් අනුශාසනා කළ සේක. එසේ හෙයන් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.
ඒ සත්ථා දේවමනුස්සානං ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !
(8) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තත්වාකාරයෙන් අවබෝධ කොට වදාළ සේක. අන් අයට ද අවබෝධ කරවූ සේක. එසේ හෙයන් බුද්ධ නම් වන සේක.
ඒ බුද්ධ ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !
(9) ඒ මාගේ බුදුරජාණන් වහන්සේ සියලු භාග්‍ය ධර්මයන්ගෙන් සමන්වාගත වූ සේක. සියලු කෙලෙස් සහ පාප ධර්මයන් මාර්ගඥානයෙන් සිඳ විඳ දැමූ සේක. දත යුතු සියලු ධර්මයන් දැන බෙදා සෝභන ධර්මයන් භජනය කළ සේක. එසේ හෙයන් භගවා නම් වන සේක.
ඒ භගවා ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ! පූජා වේවා ! පූජා වේවා !
මෙසේ කෙටියෙන් මුල සිට අගටත්, අග සිට මුලටත් බුදුගුණ සිහි කරමින් භාවනා කරන්න. එවිට වඩාත් සැහැල්ලු බවක් සිතට දැනේවි. බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියේ වැඩ සිටින්නාක් මෙන් දැනේවි. තමන් මෙනෙහි කරගත් බුදුරුව බොහෝ වේලා මතකයේ තබාගෙන පහසුවෙන් මෙනෙහි කළහැකි වනු ඇත. ඉන්පසු ඒ අරමුණෙහි සිත තබාගෙන විස්තර වශයෙන් බුද්ධානුස්සති භාවනාව වැඩිය යුතු වේ. ඒ පිළිබඳව ඉදිරි ලිපි වලින් පැහැදිලි කිරීමට අපේක්ෂා කරමි.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...