Saturday, January 15, 2022

මිලින්ද ප්‍රශ්නය,

මහමෙව්නා භාවනා අසපු සංචිතයේ 

නාගසේන තෙරුන් වහන්සේ අමතා රෝහණ තෙරුන් වහන්සේ මෙසේ වදාළහ. “ආයුෂ්මතුනි, සාගල නම් නුවර මිළිඳු නම් යෝනක රජතුමා තර්කවාදී ව, සියුම් ප්‍රශ්න අසමින් භික්ෂූන් වහන්සේ පීඩාවට පත් කරයි. ඔබ වහන්සේ ගොස් ඒ රජතුමාගේ වාද ප්‍රතිවාදයන් සිඳ දමා එතුමා බුදු සසුනෙහි අචල පැහැදීමට පත්කරවනු මැනව” යි පැවසූ සේක.

”ස්වාමිනි, එතෙක්“මා කවර උතුමෙකු ඇසුරේ වසන්නෙම් ද?, කියා නාගසේනයන් වහන්සේ විමසූහ.

එවිට රෝහණ තෙරුන් “ආයුෂ්මතුනි, අස්සගුත්ත මහරහතන් වහන්සේ වන්තනිය නම් සේනාසනයේ වැඩ වසන සේක. උන්වහන්සේ වෙත ගොස් මුලින් ම මාගේ වන්දනාව කොට, ඔබ වහන්සේ ද වන්දනා කළ මැනව. වැඩියේ ඇයිදැයි විමසුවොත් මේ වස් තුන් මාසය ඔබ වහන්සේ අසල වාසය කරන්නට එවූ බව පවසනු යි” කී හ. ඉන්පසු නාගසේනයන් වහන්සේ රෝහණ තෙරුන්ට වන්දනා කොට, පා සිවුරු ගෙන, වන්තනිය සේනාසනයට ගොස් අස්සගුත්ත මහරහතන් වහන්සේ මුණගැසී කී ලෙසින් ම කටයුතු කළ සේක. 

නාගසේනයන් වහන්සේ පාත්‍ර සිවුරු තැන්පත් කොට එදින රාත්‍රී සැතපී, පසුදින උදෑසන ම අවදි වී ආවාසය, මිදුල අතුගා දැහැටි සහ පැන් ගෙනවිත් තැබූහ. අස්සගුත්්්ත තෙරුන්, නාගසේන තෙරුන්ගේ හික්මීම පරීක්ෂා කර බලනු පිණිස අතු ගෑ තැන් යළිත් අතුª ගා ගෙනැවිත් තැබූ දැහැටි, පැන් ඉවත දමා වෙනත් දැහැටි හා පැන් පරිභෝග කළසේක. නාගසේනයන් වහන්සේ සිත කම්පා කර නො ගෙන සතියක් පුරාවට ම එලෙසින් ම වත් කළත්, මහතෙරුන් වහන්සේ යළි යළිත් ඉවසීම විමසනු පිණිස එලෙසින් ම කළ සේක. ඉන්පසු සෑහීමට පත් වූ තෙරුන් වස් තුන් මාසයේ තමන් වහන්සේ ළඟ වස් විසීමට නාගසේන තෙරුන්ට අවසර දුන් සේක.

ඉන්පසු අස්සගුත්ත මහතෙරුන් වහන්සේ නාගසේන තෙරුන් වහන්සේට මෙසේ වදාළ සේක.”ආයුෂ්මතුනි, පැළලුප් නුවර අශෝකාරාමයෙහි ධර්මරක්ඛිත මහ තෙරුන් වහන්සේ වාසය කරන සේක. ශාසන ප්‍රතිපත්තියට මුල්වන්නේ පර්යාප්තිය යි. (නවාංග ශාස්තෘ ශාසනය හෙවත් සම්බුද්ධ දේශනායි) පර්යාප්තිය නැතිනම්, ප්‍රතිපත්තිය නැත. ප්‍රතිපත්ති නැති කලකට ප්‍රතිවේධය (මාර්ගඵල අවබෝධය) නැත. ප්‍රතිවේධය නැති කලට අද්ධ්‍යාශය සම්පන්නයන් ( උදාර අදහස් ඇති) නැති හෙයින් ශාසනයක් නො පවතී. ඔබවහන්සේ බුද්ධි සම්පන්න ව පර්යාප්තිය පවත්වා නො ගතහොත් අනාගතයේ පවත්වා ගන්නේ කවුරු ද? ඔබ ගොසින් තෙවලා බුදුවදන් (ත්‍රිපිටකය) හදාරන්න’ යැයි කී හ. නාගසේනයන් වහන්සේ එය අසා, “පැළලුප් නුවරට මෙතැන් සිට කො පමණ දුරක් ඇද්දැ”යි විමසූහ. “යොදුන් තුන්සීයයක් දුර ය” කියා තෙරුන් වහන්සේ පැවසූ විට “එපමණ දුරක් යා හැකි ද? දානමාන ලබා ගන්නේ කෙසේ ද?” කියා යළිත් විමසී ය. ඒ ගැන නො සිතන්න. අතරමග දී පිරිසුදු ඇල් හාල් බත් දානයට ලැබෙනු ඇත. එක දිගට නො යන්න. සැතපී විවේක ගනිමින් යන ගමනක් නිසා වෙහෙසක් ඇති නොවේ” කියා මහ තෙරුන් වහන්සේ පිළිතුරු දුන් සේක. ඒ අසා නාගසේනයන් වහන්සේ මහතෙරුන් වහන්සේට වැඳ සමුගෙන පාත්‍රා සිවුරු රැගෙන පැළලුප් නුවරට වැඩම කරන්නට නික්මුණ සේක.

එකල පැළලුප් නුවර සිටි එක් සිටුවරයෙක් ගැල් පන්සියයකින් භාණ්ඩ රැගෙනවිත් වෙළෙදාම් කොට යළි පැළලුප් නුවරට යමින් සිටිය දී නාගසේන තෙරුන් දැක වන්දනා කොට කො තැනක වැඩම කරන්නේ දැයි විමසා සිටියේ ය. “පැළලුප් නුවරට වඩිමි” යි කී විට දුටු පමණින් පැහැදී “ස්වාමින් වහන්ස, මමත් එහි යන්නෙමි. මා හා සුවසේ වැඩිය හැක” කියා සිටුතුමා පැවසී ය. ඉන්පසු සියතින් ම ගෞරවයෙන් දන් පැන් පුදා වැළඳු පසු ඔබ වහන්සේ් කි නම් වන සේක්දැයි? ඇසී ය. “නාගසේන’’ නම් වෙමි, “ස්වාමීනි, දන්නා බණ දහමක් ඇද්දැයි විමසී ය. සිටුතුමනි, තවම අසා, පිරිවහා ගුරු මුවින් ඉගෙන ගන්නට නො ලැබුණ හෙයින්, විනය හා සූත්‍ර නො දනිමි. සාමණේර අවධියේ දී ම අසා දැනගත් හෙයින් අබිදම් (ගැඹුරු දහම ) දනිිමි”කියා නාගසේනයන් වහන්සේ පිළිතුරු දුන් සේක. සිටාණෝ එය අසා “මමත් ගැඹුරු දහම් දනිමි. ඔබවහන්සේ දන්නා දහම් මටත් වදාරණ සේක්වායි” ඉල්ලා සිටියේ ය. ඉක්බිති නාගසේනයන් වහන්සේ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ගැඹුරු දහම් වදාළ කල්හි සිටුතුමා දහම් ඇස පහළ කරගෙන සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්විය. පැළලුප් නුවර ආසන්නයට පැමිණිය පසු දෙ මංසන්ධියේ දී “නාගසේනයන් වහන්ස, මේ අශෝකාරාමයට මග යි. පෙර දන්නා හඳුනන බවක් නැතිමුත්, නුඹ වහන්සේ වඩිනා ගමනේ දී මා හට දුන් ලොව්තුරු සැපයට සුදුසු සංග්‍රහයක් මා වෙත නො මැත. එනමුත් මේ වටිනා පලස ඔබ වහන්සේට පූජා කරමි” කියා සොළොස් රියන් දිග, අටරියන් පළල අගනා පළසක් පූජා කළේ ය. ඉන්පසු මහත් ශ්‍රද්ධාවෙන් වන්දනා කොට සිටුතුමා පිටව ගියේ ය. :නාගසේනයන් වහන්සේ අශෝකාරාමයට ගොස් ධම්මරක්ඛිත මහතෙරුන් වහන්සේ මුණ ගැසී වන්දනාමාන කොට පැමිණි කාරණාව කියා ධර්මය හැදෑරීම ආරම්භ කළ සේක.

සූත්‍ර , විනය තෙ මසකින් ඉගෙනගත්, විස්මිත ධාරණ ශක්තියෙන් යුක්ත නාගසේනයන් වහන්සේ තවත් තුන් මාසයකින් එහි අර්ථ අස්වා ගත් සේක. ධර්ම, විනය මෙලෙසින් ඉගෙනීම නිම වූ කල්හි සුළු මඟ පෙන්වීමකින් ‘ප්‍රතිපත්ති , ප්‍රතිවේධ පූරණය කරති’ යි සිතු ධම්මරක්ඛිත තෙරණුවෝ උත්සාහවත් කිරීම පිණිස මෙසේ වදාළ සේක. “ආයුෂ්මතුනි, ගොපල්ලන් ගව රැළක් බලා ගත්තත්, දී කිරිවලින් ප්‍රයෝජන ගන්නේ අන් කෙනෙකු ය. එමෙන් ම ඔබ වහන්සේත් තෙවලා බුදු වදන් , රන් බඳුනක දැමූ සිංහ තෙල් පරිද්දෙන් මතකයේ දරාගත් නමුත්, ඔබ ප්‍රයෝජන ගෙන නැත්තේ” ය කීහ.. එම වදන්වල අරුත් වටහාගත් නාගසේනයන් වහන්සේ අප්‍රමාදීව විදසුන් වඩා එක් දිනක් ඇතුළත සියලු කෙලෙසුන් නසා පටිසම්භිදාලාභී මහ රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක.

කෙලෙස් සතුරන් පරදවා අරහත්වයට පත් වූ සැණින් දෙවිවරු පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ. මිහිකත කම්පා විය. ආකාසයෙන් මල් වැසි වැස්සේ ය. හිමාලයේ වැඩ සිටි මහරහතන් වහන්සේ නාගසේන තෙරුන් දකින්නට තමන් කැමැති බව අරහත් සෘද්ධියෙන් දැන් වූ හ. එවිට නාගසේන මහරහතන් වහන්සේ පැළලුප් නුවර අශෝකාරාමයෙන් අතුරුදන් වී හිමාලයේ අරහත් සඟ ගණ මැද පහළ වූ හ.

සත්‍ය නිර්දේශය මාර්ග සත්‍ය - සම්මා ආජීව

 

සත්‍ය නිර්දේශය මාර්ග සත්‍ය - සම්මා ආජීව

නිකිණි පුර අටවක පෝදා (අගෝස්තු 07 ) පත්‍රයේ ලිපිය හා සම්බන්ධයි.

බුදුරජාණන් වහන්සේ කළ සෑම දේශනාවක් ම පැහැදිලි කර දුන්නේ , කායික සංවරය, වාචසික සංවරය, මානසික සංවරය පිණිස යි. අප ඉහත සඳහන් කළේ කායික සංවරයෙන් සංවර වීම පිණිස යි. එවි ට මානසික සංවරයත් ඉබේම සැකසෙයි. කතාව අඩුකළ විට වාචසික සංවරයත් බොහොම හොඳ වෙයි. එසේනම්, බුදු දහමෙහි සංවර ක්‍රම තුන යි, කාය සංවරය, වචී සංවරය, මනෝ සංවරය යනුවෙන්. මෙලෙස සංවර වූවෝ බුදු, පසේ බුදු, මහ රහත් තත්ත්වයට පත් වුණා. අප ද සංවර වෙමින් ඉදිරියට යනවා. අවසාන මොහොත දක්වා ම. ඒනිසා, බුද්ධ ශාසනය සැමදාම ලොවේ නැහැ. බොහොම කලාතුරකින් අසන්න, දකින්න තියෙනවා. ඒ බුද්ධ ශාසනය තුළ ගුණ ධර්ම හොඳින් දියුණු තියුණු කරගත්තොත්, එහි විපාක ඇත්තේ තමන්ටම යි.

ඒ නිසා තමන් මේවා හොඳින් වටහාගෙන සිල්වන්තකම, ගුණවන්තකම හොඳින් වඩා වර්ධනය කළ යුතු යි. ඒවාගෙන් අපේ සිතෙහි සතිය නොහොත් සිහි කල්පනාව පහළ වෙයි. එය සති සම්බොජ්ඣංගය නම් වෙයි. මේවා මෙනෙහි කරද්දී හොඳට නුවණ දියුණු තියුණු වෙයි. එය ධම්ම විඡය සම්බොජ්ඣංගය නම් වෙයි. බණ, භාවනා කටයුතු හොඳින් දියුණු කරගෙන යද්දී උත්සාහය හොඳින් මතුවී දියුණු වෙනවා. එය විරිය සම්බොජ්ඣංගය නම් වෙයි. ඒ සිතට ලැබෙන විශාල ප්‍රීතිය පීති සම්බොජ්ඣංගය නම් වෙයි. සිතේ, කයේ දරදඬු ගති සංසිඳී අපට පස්සද්ධියක්, සංසිඳීමක් ලැබෙනවා, කෙලෙසුන්ගේ සංසිඳිමක් ලැබෙනවා. එය පස්සද්ධි සම්බොජ්ඣංගය නම් වෙයි. එයින් ලැබෙන චිත්ත සමාධිය, සිතේ තැන්පත්කමක්, ධ්‍යාන අවස්ථාවක් ලැබෙනවා. එය සමාධි සම්බොජ්ඣංගය නම් වෙයි. 

ඉන් අනතුරුව අපට ලැබෙන්නේ මධ්‍යස්ථ භාවය යි. කුමන දෙයකවත් ඇලීමක් ගැටීමක් නැතිව , මධ්‍යස්ථව ඉන්න පුළුවන් තත්ත්වයක් ලැබෙනවා. එය උපේක්ඛා සම්බොජ්ඣංගය නම් වෙයි. මේ සප්ත බොජ්ඣංග ධර්ම හත දියුණු කරගැනීම සඳහා බුදු කෙනෙක් ලොවේ පහළව උන්වහන්සේ ධර්මය ලොවට දේශනා කරනවා. ඒ අසන අය ත් මාර්ගාංග හොඳින් දියුණු කර ගනි යි. මඟ ඵල නිවන් සුවයට පින් මදි අය මාර්ගාංග හොඳින් දියුණුවෙන් තමන් ඉදිරියට ගමන් කරනවා. මේ පිළිබඳ කවුරුත් හොඳ දැනීමකින් මේ ගමන ඉදිරියටම යන්න ඕනේ. මේ සඳහා අවශ්‍ය වන්නේ සිහි කල්පනාව යි. සිහි කල්පනාවෙන් යුක්තව ඉදිරියට ම යා යුතු යි. ශාසනයත් ආරක්ෂා කරගෙන තමන්ට නිවන් මග යන්නට පුළුවන්කම තියෙනවා. මේ සඳහා උට්ඨාන වීර්යය අවශ්‍යය යි. මෙයින් ඉදිරියටම යාමෙන් සම්මා ආජීවය බොහොම පිරිසුදු වෙයි. 

පෙර සඳහන් කළා සේ ම හොඳින් අධිෂ්ඨාන තබමින් සිතෙන් මෙනෙහි කරමින්, සිතෙන් අධිෂ්ඨාන කරමින් ඉදිරියට යද්දී තම කායික සංවරය බොහොම යහපත් වන අතර, මානසික සංවරය දියුණු වෙයි. මෙනෙහි කරද්දී වාචසික සංවරය ද ලැබෙයි. එසේනම්, කායික, වාචසික, මානසික සංවරය , සීල, සමාධි , ප්‍රඥා ගුණ ධර්ම දියුණු කරගන්නට මහෝපකාරී වෙනවා. එසේම ලොවුතුරා බුදු දහමේ කියැවෙන සියලුම ගුණ ටික දියුණුවෙන් ඉදිරියට යන්නට පුළුවන්. මේවායේ හැල හැප්පිලි ගති නැහැ. එසේම ඇලීම, ගැටීම නැහැ. සුහදශීලීව මේ ගුණ ධර්මයන් වඩා වර්ධනයෙන් සම්මා ආජීවය ඉතා පැහැදිලිව ම අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කර ගැනීමට මේ භාවනා ක්‍රමයත් හේතු වාසනා වේවා

Tuesday, January 11, 2022

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා ආජීව: යහපත් දිවි පෙවෙත පැහැපත් කරයි දිවිමග

 

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා ආජීව: 

යහපත් දිවි පෙවෙත පැහැපත් කරයි දිවිමග

සම්මා ආජීව යනු නිවැරැදි දිවි පෙවෙත යි. සම්මා වදනට අර්ථ බොහෝ ඇත. එනම්, නිවැරැදි, යහපත්, උතුම් , ශ්‍රේෂ්ඨ, අති ශ්‍රේෂ්ඨ ආදී වශයෙන් තේරුම් රාශියක් වෙයි. කවර අර්ථයක් තිබුණත් පිරිසුදු දිවි පෙවෙත වෙයි. මෙහිදී පිරිසුදු වචනය ද සම්මා වශයෙන් වෙයි. පෙර සම්මා කම්මන්ත මෙනෙහි කළා සේ සම්මා ආජීවය ද මෙනෙහි කළ යුතු යි. 

බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ, ජීවිතය බොහොම වාසනාවන්ත යි. මිථ්‍යා ආජීවයෙන් තොරව සම්මා ආජීවයෙන් ජීවත් වන්නේ. සිව්පස පරිහරණයත් මිථ්‍යාවෙන් තොර වෙයි. සම්මා ආජීවයෙන් යුක්තව මේ උතුමෝ වාසය කරති. එලෙස සිතා ‘මම ද බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ මෙන් මිථ්‍යා ආජීවයෙන් තොරව උතුම් ජීවිකාවෙන් කාලය ගත කරම්’ එවිට රැකියාව හොඳින් කළ යුතු යි. වංචාව, කපටිකම, සොරකමෙන් වැළකිය යුතු යි. නිවැරැදි දිවි පෙවෙතක් අවංක භක්ත්‍යාධරයෙන් ගත කළ යුතු යි. එය සීලයේ උතුම් අවස්ථාවක්. සීලය යනු කය වචනය දෙකෙහි සංවර කමයි. සම්මා ආජීව යනු කයේ සංවර බව යි. සීලයට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව පද තුනක් ඇතුළත් වුණා. 

සීලය මාර්ගාංගය දියුණු කර ගන්නට, කරුණු රැසක් අවශ්‍ය වෙනවා. ඉවසීම, කරුණාව, මෛත්‍රිය , දයාව, අනුකම්පාව ආදී අවශ්‍ය කරන ගුණයන් දියුණු කළ යුතු යි. විශේෂයෙන් කය සහ වචනය සංවර වෙද්දී , සීලය හොඳින් රැක ගත හැකි යි. බුදු , පසේ බුදු, මහ රහත් උතුමෝ අවශ්‍ය දේ පමණක් පමණට කථා කළා. අනෙක් සෑම විටම වාසය කළේ නිශ්ශබ්දතාවයෙන්. එය සඳහන් කරන්නේ ආර්ය තුෂ්ණිම්භාවය යනුවෙන්. තමා ද ආර්ය තුෂ්ණිම්භාවයෙන් වාසය කරන්න වග බලා ගත යුතු යි. එසේනම්, සම්මා ආජීව යනු කුමක් දැ’යි දැන් කාටත් වැටහෙයි. 

අධිෂ්ඨාන කරමින් සිය, දහස්වර මෙනෙහි කළ යුතු යි. ‘මම මිථ්‍යා ආජීවයෙන් තොරව , දැහැමිව ජීවත් වන්නෙමි, මම දැහැමිව ජීවත් වන්නෙමි’ යනුවෙන් සිය , දහස්වර සිතෙන් මෙනෙහි කරද්දී ලෝභ, ද්වේශ, මෝහ ප්‍රහාණය වී අලෝභ, අදෝශ, අමෝහ ආදී පහන් සිතිවිලිවලින් යුක්ත වෙයි. මේ අවස්ථාවට එළැඹීම ලෙහෙසි පහසු කාරණයක් නො වෙයි. බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරන විට, ඒ පුද්ගලයන්ගේ සිත බලා දේශනා කර වදාළා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනාව කරන්නේ රැස්ව සිටි අයගේ සිත බලලයි. උන්වහන්සේට සිත පෙනෙන බැවින් මේ අයට අද දේශනා කළ යුත්තේ කුමන දේශනාවක් ද යනුවෙන්. එවිට මේ දේශනාව උන්වහන්සේ තේරුම් ගන්නා අතර, මේ දේශනාව පැවැත්වූ විට මාර්ග ඵල අවස්ථාවට පත් වෙයි. එයට සංසාරයේ සිටම දියුණු තියුණු කරන ලද හොඳ පිනක් තිබිය යුතු යි. මේ පින විශේෂයෙන් වර්ණනා කළ යුතු යි. මේවා කොටස් තුනකි. එනම්, දාන, සීල, භාවනා ය. මේ පුණ්‍ය ක්‍රියාවෝ දියුණු කර ගැනීමෙන් පව් ඉවත්වී පින මතුවී පාරමිතාවෝ හොඳින් ඉස්මතු වෙයි. සැරියුත්, මුගලන්, ආනන්ද, කාශ්‍යප , රාහුල වැනි මහා රහතන් වහන්සේලා බුද්ධ අනුශාසනාවට ම අනුව තමන් වහන්සේලාගේ ජීවිතය සකස් කළා. 

සම්මා ආජීවයෙන් තොර අය ශාසන විරෝධි වැඩ කරයි. සම්මා ආජීවයට වැටෙන්නේ දැහැමිව යමක් කරගෙන, දැහැමිව ජීවත් වීම යි. අධාර්මික දේ කරමින් ජීවත් වුණොත්, එය මෙලොවට පමණක් වන අතර සසරේ දුක් විඳින්නට සිදු වෙයි. සුගතියක වාසය කරන්නට නම්, දිවි පෙවෙත යහපත් විය යුතු යි. යහපත් ආශ්‍රය, ලබා ගන්නා අදහස් ආදිය සහ ජීවනෝපාය යහපත් විය යුතු යි. එවිටයි සිත, ගත සංසිඳුවාගෙන සංවර කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. 

සම්මා ආජීව මාර්ගාංගය තමන් සිටගෙන සිටිය දී, ඇවිදින විට, වාඩිවී සිටියදී, නින්දට යන තුරා සිතින් අධිෂ්ඨාන කරන්නට, මෙනෙහි කරන්නට පුළුවන්. ‘මම නිවැරැදි දිවි පෙවෙතක් ඇත්තෙක් වන්නෙමි’ යනුවෙන් හැකිතාක් සිතෙන් මෙනෙහි කළ යුතු යි. එලෙස මෙනෙහි කරනවිට දී සම්මා ආජීවය ඉතා පැහැදිලිව තමන්ට දැක ගන්න පුළුවන්. සම්මා ආජීවය ඉතා හොඳින් ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේවා අමුතුවෙන් සිත සිතා ගමන් කරන්න අවශ්‍ය නැහැ. තමන්ගේ සිත හොඳ නම් , කය සංවර නම්, වචනය සංවර නම්, ඒකාන්තයෙන් තමන්ට හොඳ මඟක යන්නට පුළුවන්. බුද්ධාදී උතුමන් ගැන වචන අසන්නට ලැබීමත් වාසනාවක්. අපේ දිවි පෙවෙත ගෙන යන්න තුනුරුවන්ගේ ගුණ, බුද්ධාදී උතුමන්ගේ ගුණ නිතර සිතන විට, ලොකු ශක්තියක් ලැබේවි. 

මේ සීලය හොඳින් ආරක්ෂා කළොත්, සසර වසන තුරු සැප විපාක ලැබෙනවා. භෝග සම්පත්, විශාරද කෙනෙක් වීම, යස , ඉසුරු , සැප සම්පත් ලබනවා, සිහි නුවණින් මරණයට පත් වෙනවා, මරණින් මතු දෙව්ලොව උපත ලබනවා. මේ ප්‍රධාන වරප්‍රසාද පහ සීල සංවරයෙන් සංවර වූවන්නට පමණ යි ලැබෙන්නේ. ඒ අනුව සලකාගෙන ශීලයෙන් සංවර වීමට අධිෂ්ඨාන ප්‍රාර්ථනාවන් තබා ගන්නට ඕනේ. එයින් තමන්ට සැනසුමක් මිස , අයහපතක් වෙන්නට බැහැ. දුකක්, පීඩාවක් නොවී සැනසුමක් ම සකස් වෙනවා.

මිලින්ද ප්‍රශ්නය

 මහමෙව්නා භාවනා අසපු සංචිතයේ

ඒ සත් වසර පුරාවට “මෙතැනින් යන්න“ වචනයවත් ඒ බ්‍රාහ්මණ නිවසින් අසන්න නො ලැබුණි. නමුත් අටවෙනි අවුරුද්දේ දී දිනක් “මෙතැනින් යන්න“ කියන වචනය ඔවුන්ගෙන් ඇසුණේ ය. එදා රෝහණ තෙරුන් වහන්සේ ඒ නිවෙසින් එළියට වඩිද්දී පිටතට ගොස් නිවසට පැමිණෙමින් සිටි සෝණුත්තර බ්‍රාහ්මණයාට මුණ ගැසුණි. “ස්වාමීනි, අපගේ නිවසින් කිසිවක් ලැබුණාදැයි” උන්වහන්සේගෙන් විමසුවේ ය. “ එසේය බ්‍රාහ්මණය” කියා තෙරුන් වහන්සේ පිළිතුරු දුන් විට බ්‍රාහ්මණයා කිපී නිවසට ගොස් “අර ශ්‍රමණයන්ට කිසිවක් දුන්නාදැයි” ඇසුවේ ය. කිසිවක් නො දුන් බව දැනගෙන පසු දා පිඬුසිඟා වැඩි විට “මුසාවක්” කීවා යැයි තෙරුන්ට අපහාස කළේය. “පින්වත් බ්‍රාහ්මණය, එය මුසාවක් නොවේ. පසුගිය සත් වසර පුරාවට ඔබ නිවසින් මෙතැනින් යන්න කියන වචනයවත් ඇසුණේ නැහැ. නමුත් ඊයේ ඒ වචනය ලැබුණා. අපේ නිවසින් කිසිවක් ලැබුණාදැයි ඇසුවිට එසේය, බ්‍රාහ්මණය කියා මා පැවසුවේ ඒ නිසයි” කියා තෙරුන් වහන්සේ වදාළහ. ඒ පිළිතුªරට සෝනුත්තර බ්‍රාහ්මණයා වෙසෙසින් පැහැදුණේ ය. තමන් උදෙසා සැකසූ බතින් තෙරුන් වහන්සේට උපස්ථාන කොට එතැන් පටන් දිනපතා ම නිවසට වඩමවා දන්පැන් පිදී ය, තෙරුන් වහන්සේ ද දන් වළදා මද වශයෙන් නමුත් ධර්මය ද වදාරණ සේක.

නාගසේන කුමරු බිහි වී සත් වසරක් ගතවෙද්දී පිය බ්‍රාහ්මණතුමා දක්ෂ ඇදුරෙකු ලවා ත්‍රිවේදය හැදෑර වී ය. කෙටි කලකින් ත්‍රිවේදය පරතෙරට ගිය කුමරු එහි හරසුන් බව දැක නො සතුටු වී ය. එකල්හි රෝහණ තෙරුන් වහන්සේ වන්තනිය නම් සෙනසුණේ වැඩ වසද්දී කජංගල නම් නියම් ගම සිටි නාගසේන කුමාරයාගේ නො සතුටු සිතිවිලි තමන්ගේ සිතින් දැක වදාළ සේක. ඒ සැණෙකින් ම සිවුරු පොරවා පාත්‍රය ද රැගෙන සෙනසුනින් නික්ම කජංගල බමුණු ගමට වැඩි සේක. නිවස ඉදිරිපිට සිටි නාගසේන කුමාරයා ද මහතෙරුන් වහන්සේ දැක දුටු පමණින් සිත පැහැදී අසලට ගොස් මෙසේ විමසී ය. “ පැවිදි වූයේ කුමක් නිසාදැයි?” ඇසුවේ ය. “රාගාදී කෙලෙසුන් දුරු කර ගැනීම පිණිස යි” කියා තෙරුන් වහන්සේ පැවසූ සේක “එසේනම් සෙස්සන් මෙන් දිග් නැතිව හිසකෙස් කපා ඇත්තේ ඇයි?” කියා යළි විමසූ කුමරුට “වැවුුණු හිසකේ නිසා ඇතිවන පළිබෝධ දහසය දුරුකිරීම පිණිස” යැයි පිළිතුරු ලැබිණි. එය වටහා ගත් නාගසේන කුමරු “ අන් අයට වෙනස් ලෙසින් කඩ කැපූ, පඬු පෙව් වස්ත්‍රයක් පොරවන්නේ ඇයිදැයි? ඇසීය. “ කුමාරයාණෙනි, කඩ කපා පඬු පොවා සකස්කරගත් නිසා පැහැයත් අඩු වී, වටිනාකමත් අඩු වී යන නිසා, සොර සතුරන්ගෙන් හානියක් නැත. එමනිසා අහිමිවීමෙන් වන ශෝකයකුත් නැත. අපගේ වස්ත්‍ර වෙනස්වීමට හේතුව එයයි” කියා තෙරුන් වහන්සේ කරුණු පහදා දුන් සේක.

එම පිළිතුරුවලට සතුටු වූ නාගසේන කුමාරයා “ඔබ වහන්සේ කිසියම් ශිල්පයක් දන්නා සේක් ද?” කියා විචාළේ ය. “එසේය කුමාරයනි, ශිල්ප දනිමි. හස්තසාර ශිල්පියෙක් සේ තිබෙනා බලවත් උදාර ශිල්පත් දනිමි” යැයි රෝහණ තෙරුන් පැවසූ සේක. එවිට නාගසේන කුමරු එම ශිල්ප ඉගෙනගනු කැමැතිව “මිහිරි දෙයක් ලැබුණුවිට සඟවාගෙන තබා කන කෙනා මසුරු කෙනෙකි. අන් අයගේ යහපත පිණිස නො පිළිපත් කෙනෙකි. ත්‍යාගී කෙනෙක් නම් අනුන්ටත් දෙති. එසේම නුඹ වහන්සේ දන්නා බලවත් ශිල්ප අපටත් උගන්වන්නට පුළුවන්දැයි” ඇසී ය. “ඔබ ඉගෙන ගන්නේනම්, උගන්වමි. දැන් පිඬුසිඟා වඩිනා වේලාව හෙයින් නො හැකියි . ” කියා තෙරුන් වහන්සේ පිළිවදන් දුන් සේක. ඒ අසා නාගසේන කුමාරයා ආරාධනා කොට පාත්‍රය රැගෙන ම නිවසට වඩමවා සිය අතින්ම බෙදා මනාව වළඳවා අවසානයේ දී “ශිල්ප ඉගැන්වුව මැනවයි” ඉල්ලා සිටියේ ය. “කුමරුනි, මෙසේ ගිහි ව සිටිය දී ශිල්ප උගන්වනු නො හැකි ය. මව්පියන්ගෙන් අවසර ගෙන අප සේ ම මහණ වුවහොත් උගන්වමි” කියා රෝහණ තෙරුන් පැවසූ සේක. එවිට කුමරු මව්පියන් වෙත ගොස් “ පියාණෙනි, මව්නි, මේ ශ්‍රමණයන් වහන්සේ තමන් බලවත් ශාස්ත්‍රයක් දක්නා බව කියති. මා ඉල්ලු විට මහණ වුවහොත් මිස දෙන්නට බැරිබව පවසති. මට මහණ වී ශාස්ත්‍රය ඉගෙන ගන්නට අවසර දුන මැනවි’ යැයි කීවේ ය. ඒ අසා මව්පියන් අපගේ පුතු ශාස්ත්‍ර ඉගෙනගෙන උපැවිදි වී නැවත එනු ඇතැයි සිතා මහණවීමට අවසර දුන්හ.

රෝහණ මහතෙරුන් වහන්සේ නාගසේන කුමරු සමග වන්තනිය සේනාසනයට වැඩම කොට පසුදා හිමාලයේ රත්ගල් තලාවට වැඩ රහත් සඟ ගණ මධ්‍යයේ කුමරු පැවිදි කළ සේක. එවිට නාගසේන සාමණේරයන් වහන්සේ “දැන් මා මහණ වූ නිසා පමා නො කර ශිල්ප උගන්වන්නැයිි” ඇය ද සිටියහ. එවිට රෝහණ තෙරුන් “මොහු සාමණේර බැවින් දැන්ම විනය පිටකය ඉගැන්වීම සුදුසු නොවේ. මහා නුවණැත්තෙක් හෙයින් මුලින් ම අභිදම් උගන්වමි කියා සිතා මුලින්ම අභිධර්ම ප්‍රකරණ උගැන්වූ සේක. ඉන්පසු සියුම් නුවණ ඇති විස්මිත ධාරණ ශක්තියක් ඇති නාගසේනයන් වහන්සේ තමන් උගත් ධර්ම පරියායන් මහා රහතුන් මැද කට පාඩමින් පැවසූ සේක. සසුන බබුළුවන මහා පුණ්‍යවන්තයෙකුගේ අසිමරිත් සදහම් පෙළහරක් වූ නිසා ම මහා පොළොව කම්පා විය. දහම් වැසි වැස්ස වූ සාමණේරයන් වහන්සේට උපහාර පිණිස දෙවියෝ දිව මල් වැස්ස වූ හ. 

පසු කලෙක නාගසේනයන් වහන්සේට විසි වයස් සම්පූර්ණ වූ විගස රහතන් වහන්සේ ඒකරාශි වී සාමණේරයන් වහන්සේ අධිසීල උපසම්පදා සීලයෙහි පිහිටවූහ. දිනක් උපාධ්‍යාය තෙරුන් වූ රෝහණ මහරහතන් වහන්සේත් සමඟ පිඬුසිඟා වැඩම කරන නාගසේනයන් වහන්සේට මෙබඳු සිතිවිල්ලක් ඇතිවි ය. “අනේ මාගේ උපාධ්‍යායන් වහන්සේ නො දන්නා තරම්! විනය හා සූත්‍ර තිබෙද්දී මුලින්ම අභිදම් ඉගැන්වී ය. ඒ කළේ කුමක් ද?” කියා යි. රෝහණ මහරහතන් වහන්සේ එම සිතිවිල්ල පරසිත් දක්නා නුවණින් දැක “ආයුෂ්මතුනි, ඔබ සිතූ අයුරු අයහපත් ය. එවැනි සිතිවිලි සිතීම ඔබට තරම් නො වන්නේ” යැයි අවවාද කළ සේක. ඒ ඇසු නාගසේනයන් වහන්සේ “අනේ මගේ උපාධ්‍යායන් වහන්සේ බලවත් වන සේක. ළග සිට කියූ දෙයක් සවණින් අසා දැනගත්තා සේ, මා සිතූ සිතිවිල්ල සොර බඩුත් සමඟ සොරකු අල්ලාගත් සේ දැනගත් සේක” යැයි සංවේගයට පත් වී මහතෙරුන් වහන්සේගෙන් සමාව අයැද සිටියහ.

Saturday, January 8, 2022

මිලින්ද ප්‍රශ්නය

 

උපනුපන් ජාතිත් ප්‍රාර්ථනා ඉටු වුණි

අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ප්‍රතිපත්ති ගරුක භික්ෂු පිරිසක් ගංගාවක් අසල වැඩ වාසය කළහ. 

එහි දී එක් තෙරුන් වහන්සේ නමක් තමන් අතු ගා එකතු කළ රොඩු ගෙන ගොස් දමන ලෙස එක් සාමණේර නමකට පැවරී ය. එම සාමණේරයන් එය නො ඇසුණාක් මෙන් යද්දී දෙවැනි, තෙවැනි වරටත් කී නමුත් නො කළ නිසා අකීකරුකමට දඬුවම් කොට හික්මවන්නට සිතා ඉදල් මිටෙන් පහරක් ගැසී ය.

සාමණේරයන් වහන්සේ හඬමින්, කසළ ගොඩ ගෙන ගොස් නො දැමුවොත් තවත් විරසක වේයැයි බියෙන්, කොළ රොඩු ගොඩ ගෙන යමින් මෙසේ සිතී ය. “මම මේ පහර කෑවේ තේජස් නැති නිස යි. එනිසා මේ පින හේතුකරගෙන නිවන් දක්නා ජාති දක්වා, උපනුපන් තැන අහස් මුදුනේ දිලිසෙන හිරු සේ තේජස් ඇත්තෙක් වෙම්වා! යි පැතූහ.

ඉන්පසු පැන් පහසුවීමට නදියට වැඩම කොට ගංගාවෙන් දියරැළි දෙස බලාගෙන මෙසේ පැතු සේක.”මේ ජාතියේ පටන් නිවන් දක්නා මොහොත දක්වා කසළ බැහැර කළ මේ පිනෙන් මහ ප්‍රඥාවෙන් යුක්ත වෙම්වා! මේ ගංගාවේ දිය රැලි නැගෙන්නා සේ ගැඹුරු ප්‍රශ්න විමසමින් සියලු වාද විවාද නගන්නට ප්‍රතිබල ඇත්තෙක් වෙම්වා!” හඬ නගා ප්‍රාර්ථනා කළහ.

එවිට පැන් පහසු වීමට වැඩම කළ, කසළ බැහැර කිරීමට අණකළ තෙරුන් වහන්සේට එය ඇසී මෙසේ සිතී ය. “ මාගේ විදානයෙන් නො කැමැත්තෙන් කසළ බැහැර කළ මේ පොඩිනම මෙසේ සිතයි. උන්වහන්සේ කළ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේනම්, වත් පිළිවෙත් සරු මා කරන ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් ම සමෘද්ධිමත් වේ. භාග්‍යවතුන් වහන්සේ ද සිල්වතුන්ගේ පැතුම් ඉටු වේ යැයි වදාරා ඇත්තා හ. එසේ කල්පනා කොට සාමණේරයන්ගේ ප්‍රාර්ථනාවට අනුව ම මෙසේ පැතූ සේක. “මේ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා උපනුපන් ජීවිතවල මේ ගඟේ රළ ගැස්ම මෙන් ක්ෂය නො වන වැටහීම් නුවණ ඇතිව වාද – ප්‍රතිවාදයන්ට පිළිතුරු දීමෙහි සමර්ථ වෙම්වා! ගඟ දිය වියළවා දමන ගිම්හානයෙහි මුදුන් වූ වණ්ඩ හිරු මඬල පරිද්දෙන් මේ සාමණේරයන්ගේ වාද ප්‍රතිවාදයන් මැඬ පවත්වන්නට හැකි ගම්භීර නුවණැත්තෙක් වෙම්වායි! ප්‍රාර්ථනා කළහ. දෙදෙනා වහන්සේ ම පින් රැස් කරමින් මෙසේ පැතූ හෙයින් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වන තුරුම දෙව් මිනිස් දෙ ගතියෙහි උපත ලබමින් පැමිණියහ.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර දක්වා, තීර්ථකයන්ගේ මානය සිඳ දමා තව්තිසා දෙව් ලොවට වැඩම කොට; මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙව් පිරිසට ධර්මය දේශනා කරන කල්හි මේ දෙව්පුතුන් දෙදෙනා ද දුටු සේක. අනාගතයේ තිස්ස බ්‍රහ්මරාජයා මනුලොව ඉපිද මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ බවට පත්ව ශාසනය බබළවන්නා සේ, මේ දෙව්පුතුන් දෙදෙනා ද තථාගත පරිනිර්වාණයෙන් වසර පන්සියයක් ගිය තැන මනුලොව ඉපිද මිළිඳු – නාගසේන නමින් සසුන බබළවන බව වදාළ සේක. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය සැබෑ කරමින් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වූ අවදියේ පැතූ පැතුම් ඇති සාමණේර නම හෙවත් දිව්‍ය පුත්‍රයා දෙව් ලොවින් චුතව දඹදිව සාගල නුවර ගී‍්‍රක රජ කුලයේ මිළිඳු නමින් උපන්නේ ය. ප්‍රාර්ථනා පරිදි මහා නුවණැති ව උපන් හෙයින් බොහෝ ශිල්ප ශාස්ත්‍රාදිය ඉගෙනගෙන රජ කුලයෙන් ද ආඩ්‍ය වූයෙ ්ය. තේජසින්, නුවණින්, බල පරාක්‍රමයෙන් රූපා ශෝභාවෙන් මිිළිඳු රජු අභිබවා රජෙක් එකල දඹදිව් තලයෙහි නො සිටියේ ය. දිනක් රජතුමා චතුරංගනී සේනා පිරිවරා මහත් වූ රාජානුභාවයෙන් අගනුවර සිටිද්දී තමන් හා දහම් පිළිසඳරක යෙදෙන්නට සුදුසු ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් සිටිත්දැයි ඇමැතිවරුන්ගෙන් විචාළේ ය. ඇමැතිවරු තම තමන් උගත් ආගමික මත අනුව පූර්ණකස්සප, නිගණ්ඨනාථ පුත්ත ආදී ශාස්තෘවරුන්ගෙන් පැවතගෙන එන මිථ්‍යාමතධාරි තීර්ථකයන් ගැන පැවසූහ. මිළිඳු රජතුමා ඔවුන් කරා ගොස් කතාබහ කළ පමණකින් එම නිසරු මතවාදවල ඇති අරුත් සුන්බව වටහාගෙන එය පෙන්වා දී එම අන්‍යාගමික තීර්ථකයන් නිරුත්තර කළෙ ්ය.

ඉන්පසු රජතුමා ඇමතිවරු අමතා මෙසේ පැවසී ය. “තොප හැම පැවැසූ ලෙසින් තර්ක කරන්නට ගොසින්, වෙළෙදාමේ ගොස් හිස් අතින් ආ පරිද්දෙන් කිසි සාරයක් නො ලැබී ය. මේ රාත්‍රියේ කවර නම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් කරා ගොස් සවණට මිහිරි අර්ථවත් කතාවක් අසන්නෙම් ද? කවරෙක් නම් අපගේ සැක දුරු කරන්නට සමත්දැයි” රජතුªමා විමසා සිටියේ ය. ඇමැතිවරු පිළිතුරක් දී ගත නො හැකිව නිශ්ශබ්දව බලා සිටියහ. 

හිමාලයේ රත්ගල් තලාවේ වැඩ වසන අස්සගුප්ත මහරහතන් වහන්සේට මිළිඳු රජතුමා කී “දඹදිව් තලය නුවණැත්තන්ගෙන් හිස් ය” යන වදන දිව්‍ය ශ්‍රවණයෙන් අසන්නට ලැබුණි. උන්වහන්සේ තමන් හා වසන රහතන් වහන්සේ රැස්කර මිළිඳු රජතුමා හා දහම් සංවාදයක යෙදිය හැකි කෙනෙක් සිටිත්දැයි විමසී ය. වාද විවාද කිරීම සමාධි සමාපත්තීන්හි සමවැදී දිට්ඨධම්ම සුඛ විහරණයේ යෙදීමට පළිබෝධයක් බැවිනුත්, අදාළ පුණ්‍ය සංස්කාර ඇත්තේ තමන්ට නො වන බැවිනුත්, ඒ සඳහා සුදුසු කවරෙක්දැයි දන්නා නිසාත්, කිසිම රහතන් වහන්සේ නමක් ඉදිරිපත් නො වූහ.

ඉන්පසු අස්සගුප්ත මහරහතන් වහන්සේ පැතුම් පරිදි මිළිඳු රජුගේ වාද ප්‍රතිවාද සිඳ බිඳ සසුන බඹුළුවන්නට සමත් මහාසේන නම් දිව්‍ය පුත්‍රයෙකු ඇතිබව පවසා එම සියලු රහතන් වහන්සේ සමග සෘද්ධි බලයෙන් තව්තිසා දෙව්ලොව පහළ වූ සේක. එවිට සක්දෙව්ඳු පහන් සිත් ඇතිව පෙරට විත් අස්සගුප්ත මහරහතන් වහන්සේට ගෞරවයෙන් වන්දනා කොට “මෙ තරම් විශාල සඟ පිරිසක් සමඟ දෙව්ලොව වැඩියේ කුමක් පිණිස ද? කියා විමසුවේ ය. අස්සගුප්ත මහරහතන් වහන්සේ කරුණු පහදා දී ශක්‍ර දෙවිදුන් ලවාම ප්‍රකාශ කරනු පිණිස මිනිස් ලොව ඉපද මිළිඳු රජතුමා හා කතාබස් කරන්නට සමත් දෙව් කෙනෙකු ඇත්දැයි ඇසූ සේක. එවිට සක්දෙව්දු “ ස්වාමිනි, මිළිඳු රජතුමා ද මෙම තව්තිසා දෙව් ලොවින් ම චුත වී මිනිස් ලොව උපන්නෙකි. ඔහු හා දහම් කතා කරන්නට සමත් දිව්‍ය පුත්‍රයා ඉන්නේ අර පෙනෙන කේතුමති නම් විමානයේ වසන මහාසේන දෙවියන් ය. මිනිස් ලොව ඉපිද මිළිඳු රජු හා කතාබස් කරන්නට ඔහුගෙන් ඉල්ලා සිටිමු” යැයි පැවසී ය.

ඉන්පසු රහතන් වහන්සේ සක් දෙවිදු ලවා මහාසේන දෙවියාගෙන් එසේ ඉල්ලා සිටි විට මුලින් මිනිස් ලොව උපදින්නට දෙව්පුතු අකැමැති විය. එවිට අස්සගුප්ත මහරහතන් වහන්සේ මහාසේන දෙවියන් අමතා මෙසේ පැවසූ සේක. “ දිව්‍ය පුත්‍රය, මිනිස් ලොව උපදින්නට අකැමැති නො වන්න. ඔබට කිරීමට බලවත් ශාසනික කටයුත්තක් යෙදී ඇත්තේ ය. අපි මුළු ලොව ම අරහත් නුවණින් විමසා බලද්දී එම ශාසන සංග්‍රහයට ඔබ සුදුසු බව දැක්කෙමු. එමනිසා මේ සා මහත් වූ රහතුන්ගේ ඇරයුම පිළිගෙන මිනිස් ලොව ඉපිද මිළිඳු රජතුමාගෙන් භික්ෂු සංඝයාට ඇතිවන පීඩාව දුරලා ශාසනචිරස්්ථිතිය පිණිස කටයුතු සලසනු මැනව“ යි ඉල්ලා සිටියේ ය.

මහාසේන දෙව්පුතු එය අසා “ මා නිසා මහත් වූ ශාසනික සංග්‍රාමයක් වන්නේ යැයි” ඔද වැඩී ගිය සිතින් යුතුව එම ඉල්ලීම පිළි ගත්තේ ය. ඉන්පසු ඒ උතුම් මහරහතන් වහන්සේ මනුලොවට වැඩම කොට, නිරෝධ සමාපත්තියට සම වැදී සිටි නිසා දෙව්ලොව ගමනට සහභාගි නො වූ රෝහණ නම් මහතෙරුන් කැඳවා මෙසේ පැවසූහ. “ආයුෂ්මතුනි, මිළිඳු රජතුමා හා සංවාදයේ යෙදෙන්නට කෙනෙක් නො මැතිව බුදු සසුන උපද‍්‍රවයක් ඇති වී තිබෙද්දී, එය සංසිඳවීමට මැදිහත් නො වී උදාසින වූයේ මක් නිසා ද? ශාසනය නගා සිටුවීමට කටයුතු කළයුතු නොවේ ද? කියා ය. එවිට රෝහණ තෙරුන් දෙව්ලොව ගමනට එක්වීමට නො හැකි වූ නිසා මා දැන් කුමක් කළයුතුදැයි සංඝයාගෙන් නිහතමානීව විමසී ය. එවිට අස්සගුප්ත තෙරණුවෝ මෙසේ වදාළ සේක. “ ආයුෂ්මතුනි, හිමාලය ආසන්නයෙහි කජාගල නම් බ්‍රාහ්මණ ගමෙහි උභයකුල පාරිශුද්ධ බමුණුතුමාට දාව බැමිණියගේ කුසේ නොබෝ දිනකින් මහාසේන දෙව්පුතු පිළිසඳ ගන්නේ ය. ඔහු මව්කුසින් බිහි වී නාගසේන කුමරු කියා ප්‍රසිද්ධ වන්නේ ය. ඔබ වහන්සේ කිසිවක් ම නො ලැබෙන නමුත් අවුරුදු දස මසක්ම ඒ නිවසට පිඬුසිඟා වැඩමකොට නාගසේන කුමරු පැවිදි කළ යුත්තේ ය.

මහාසේන නම් දෙව්පුතු දෙව් ලොවින් චුතව කණගලවාසී සෝණුත්තර නම් බමුණාට දාව බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේ ය. එවිට පුණ්‍ය තේජස නිසා ගම පුරා තිබූ අවි ආයුධ දිළිසෙන්නට පටන් ගත්තේ ය. මහත් වූ වර්ෂාවක් ද පතිත විය. එදින පටන්ම රෝහණ තෙරුන් ද එම බ්‍රාහ්මණයාගේ නිවසට පිඬුසිගා වැඩීම ආරම්භ කළ සේක.

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා කම්මන්ත: පවෙන් වැළකී ගත සිත සනසගන්න

 

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා කම්මන්ත: 

පවෙන් වැළකී ගත සිත සනසගන්න

සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි භාවනා කර්මස්ථාන රාශියක් මේ වන විට සඳහන් කරන්නට යෙදුණා. පාඨක ඔබ මේවා හොඳින් තේරුම් ගෙන භාවනා වශයෙන් ගන්නා ආකාරය තමන්ට වටහා ගන්න පුළුවන්කම ලැබෙන්න ඇති. ‘සති’ යනු සිහියට නමක්. ‘පට්ඨාන’ යනු එළඹීම යි. සිහියෙන් එළැඹීම යි. සිහියෙන් කටයුතු කිරීමයි. කය අනුව , වේදනාව අනුව, සිත අනුව, ධර්මය අනුව බැලීම සතර සතිපට්ඨානයෙන් ම සඳහන් වෙනවා. සත්‍ය නිර්දේශයෙහි දුක්ඛ සත්‍ය නිර්දේශය, සමුදය සත්‍ය නිර්දේශය, නිරෝධ සත්‍ය නිර්දේශය ඉදිරිපත් කළා. දැන් මාර්ග සත්‍ය නිර්දේශය යි. එයිනුත් මාර්ගාංග රාශියක් පහදා දුන් අතර අද සඳහන් කරන්නේ සම්මා කම්මන්ත මාර්ගාංගය යි. 

තමන් මාර්ගාංගයෙහි ගමන් ගන්නා බව අධිෂ්ඨානයේ තබාගෙන සම්මා කම්මන්ත මෙනෙහි කළ යුතු යි. සම්මා කම්මන්ත යනු ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම යි. කයෙන් සිදුවන වැරැදි වලින් වැළැකී නිවැරැදි කර්මාන්ත කිරීම යි. තව ද මස් මාංශ වෙළෙඳාම, මස් පිණිස සත්ත්ව වෙළෙඳාම, අවි ආයුධ වෙළෙඳාම , වස විස වර්ග, මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ වහල් වෙළෙඳාම ආදිය අධාර්මික වෙළෙඳාම් බුදු දහමෙන් ප්‍රතික්ෂේපිත යි. ගව පාලනය, කෘෂි කර්මාන්තය, වෙළෙඳාම ආදිය ආර්ථික ක්‍රම තුන බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා. 

එසේනම්, තමන් කල්පනා කළ යුත්තේ භාවනාවේ දී මම සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන් , කාමමිථ්‍යාචාරයෙන් වළකිමි යනුවෙන් නිබඳව ම අධිෂ්ඨාන කර ගත යුතු යි. මෙනෙහි කරගත යුතු යි. ලෝක සත්ත්වයා, සත්ත්ව ඝාතනයේ යෙදී වාසය කරනවා, ‘මම සත්ත්ව ඝාතනයෙන් වැළකී සිටිමි’, ‘ලෝක සත්ත්වයා සොරකමෙහි යෙදී සිටිනවා, මම සොරකමෙන් වැළකී සිටිමි’. ‘ලෝක සත්ත්වයා කාමයන්හි වැරැදි ලෙස යෙදී වාසය කරනවා’. ‘මම කාමමිථ්‍යාචාරයෙන් වැළකී සිටිමි’ යනුවෙන් නිතර සිතිය යුතු යි. මෙනෙහි කළ යුතු යි. එවිට සිහි නුවණ හොඳින් වැඩෙන අතර , කල්පනාව ද හොඳ වෙයි. මාර්ගාංගය ද හොඳින් වැඩෙයි. එපමණක් නොව සියලුම බෝධි පාක්ෂික ධර්මයන් ද පහළ වෙයි. එවිට සම්මා කම්මන්ත යන මාර්ගාංගය ගැන සිතා, ‘මම පවින් වැළකෙමි’ යනුවෙන් පාපී ක්‍රියා තුන මෙනෙහි කළ යුතු යි. ‘මම කායික සංවර ඇත්තෙක් වන්නෙමි’ යනුවෙන් නිතර ම සිතෙන් මෙනෙහි කළ යුතු යි. එලෙස මෙනෙහි කර යද්දී තම සිත බොහොම ශක්තිමත් වන අතර, සිත තැන්පත් වන අතර ඥානය හොඳින් දියුණු කරගන්න පුළුවන්. 

බුදුරජාණන් වහන්සේ සල්ලේඛ සූත්‍රයෙන් කෙලෙස් යටපත් කරන ක්‍රමය පැහැදිලි කරමින් මේ සැලැස්ම ම පහදා දුන්නා. එහි කරුණු රාශියක් ඇති අතර, ඒ සෑම කාරණයකින් ම කෙලෙස් යටපත් කරන ක්‍රමය උන්වහන්සේ පැහැදිලි කර දුන්නා. මේ අවස්ථාවේ මෙහි සඳහන් පව් තුන දුරුකර ‘මම පවින් වැළකී වාසය කරමි, කායික සංවරයෙන් වාසය කරමි’ යනුවෙන් සිතට ගත යුතු යි. එවිට තම සිත ගත සනසාගෙන ලෝභ, ද්වේශ, මෝහ ආදී පව් යටපත් කරන්න පුළුවන්. තමන්ගේ ශීලය, සමාධිය, ප්‍රඥාව හොඳින් වැඩෙනවා. ඡන්ද ඍද්ධිපාද, චිත්ත ඍද්ධිපාද , විරිය ඍද්ධිපාද, වීමංස ඍද්ධිපාද යන සතර ඍද්ධිපාද හොඳින් වැඩෙයි. 

මේවා මෙනෙහි කිරීමේ කැමැත්ත ඡන්ද ඍද්ධිපාද වෙයි. තමන්ගේ චිත්ත සන්ථානය දියුණු කිරීමට අවශ්‍ය නිසාම , සිත දියුණු කරගන්නට අවශ්‍ය නිසා ම අතිශයින් කුසල් වැඩෙන උතුම් ධර්ම සම්පත්තියක් ලෙස සැලකෙනවා. එසේනම්, කායික සංවරය ඇතිකර දෙන බැවින්, මානසික සංවරයට බැසගෙන සිටින බැවින්, බලවත් සිතකින් මේ ටික කිරීම චිත්ත ඍද්ධිපාද නම් වෙයි. මේවා මෙනෙහි කරන්නට කම්මැළිව බැහැ. උත්සාහය තිබිය යුතු යි. එය විරිය ඍද්ධිපාද නම් වෙයි. මේ සෑම දෙයක් ම මෙනෙහි කරන්නේ නුවණැත්තන් පමණ යි. ඥානය , නුවණ තියෙනවා නම්, හොඳට වටහාගෙන මෙනෙහි කිරීම වීමංස ඍද්ධිපාද නම් වෙයි. මේ සෑම දෙයක් ම මෙනෙහි කිරීමට සතර ඍද්ධිපාද පහළ විය යුතු යි. එපමණක් නොව, බෝධි පාක්ෂික ධර්ම තිස් හතම මෙනෙහි කරන වරක් පාසා ම තමන්ගේ සිතේ පහළ වෙනවා. මෙවැනි වැදගත් දේ පහළ වන්නේ සිත දියුණු කරගෙන මෙම කටයුතු කරගෙන යාමෙන්. ඒ නිසා කවුරු වුණත් තම ගුණ ධර්මයන් හොඳින් දියුණු කරගත යුතු යි. සති, සමාධි, ඥාන වැඩි දියුණු කරගත යුතු යි. කම්මැළිකම, වංක බව , ඉවසීම නැති බව, තරහ , වෛර, ක්‍රෝධ, හැකිතාක් සිතෙන් බැහැර කර, තමන්ගේ සම්මා කම්මන්ත මාර්ගාංගය ම දියුණු කරගන්නට උත්සාහවත් විය යුතු යි. එවිට තමන්ට විශාල, සැනසුමක්, දියුණුවක් , යහපතක් සලසාගන්න පුළුවන්කම තියෙනවා. 

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පහදා දුන් ක්‍රමයට මේ මාර්ගාංගය හොඳට මෙනෙහි කළොත් තමන්ගේ සිත වේගවත්ව හදා ගන්න, දියුණු කරගන්න පුළුවන්. බොහෝ වේලාවක් මෙනෙහි කළ යුතු යි. එවිට සිතේ පව් යටවී ගොස්, සිත තැන්පත් වෙයි. නුවණ දියුණු වෙයි. ඒ අවස්ථා තුනට එළැඹෙන්න පුළුවන් සම්මා කම්මන්ත මාර්ගාංගය හොඳින් මෙනෙහි කිරීමෙන්. ‘මම සම්මා කම්මන්ත මාර්ගාංගය දියුණු කරන්නෙමි’ යනුවෙන් සිය , දහස් වර මෙනෙහි කළ යුතු යි. අභ්‍යන්තර කරුණු මෙසේ මෙනෙහි කළ යුතු යි. ‘මම සත්ත්ව ඝාතනයෙන් වළකින්නෙමි, මම සොරකමෙන් වළකින්නෙමි, මම කාම මිථ්‍යාචාරයෙන් වළකින්නෙමි, යනුවෙන් සියවර, දසවර, දස දහස්වර සිතෙන් මෙනෙහි කරද්දී භාවනා හොඳින් වැඩෙයි. අවසානයේ ‘මම කායික සංවරයෙන් සංවර වන්නෙමි’ යනුවෙන් නිතර සිතන්න, තනි වචනයෙන්. එවිට තමන්ගේ මාර්ගාංගය හොඳින් පිරිසුදුව වැඩෙයි. සම්මා කම්මන්ත ගුණ ධර්ම හොඳින් වර්ධනය වෙයි. එපමණක් නොව, තමන්ගේ සියලුම ගුණ ධර්ම ටික හොඳින් දියුණු කරගන්නට, මේ කරුණ මෙනෙහි කිරීමේ ශක්තිය බලය හොඳින් පිහිටයි. මේවා පිළිබඳව හොඳ දැනීමක් කවුරුත් ඇතිකර ගත යුතු යි. 

බුදු දහම යනු ශීල, සමාධි, ප්‍රඥාවට නමක්. මේවා වැඩීමෙන් අප්‍රමාද ගුණ ධර්මය සිතේ පහළ වන අතර, එය හොඳට වඩා වර්ධනය කළොත්, මේ බුද්ධ ශාසනය තුළ දී ම ආර්ය සත්‍ය අවබෝධ කරගන්නත් පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා හේතු වන්නේ පින යි. මේ භාවනාව හොඳට ගෙන යන්න, ශ්‍රද්ධාව, වීර්යය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියයන් හොඳින් තිබිය යුතු යි. මේ ගුණ මෙනෙහි කරනවිට අපේ ශ්‍රද්ධාව, හොඳට පහළව දියුණු වෙයි. ශ්‍රද්ධාව නැතිනම්, මේවා දියුණු කරන්න පුළුවන්කමකුත් නැහැ. කම්මැළිකම පසෙකලා , උත්සාහය, වීර්යය දියුණුවෙන් මේ භාවනා ක්‍රම අනුගමනයෙන් වීර්යය හොඳින් වැඩෙයි. මේවා මෙනෙහි කිරීමෙන් සිහි කල්පනාව හොඳ වෙයි. විනාඩි පහක් , දහයක් හෝ මෙනෙහි කරගෙන යද්දී සිහිය හොඳින් පවතියි. එය සති නම් වෙයි. එයින් අපට ලැබෙන්නේ චිත්ත සමාධියක්. (සිතේ තැන්පත්කම) එය සමාධිය නම් වෙයි. 

සමාධිය වැඩෙද්දී හොඳින් නුවණ වැඩෙයි. ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නට පුළුවන් නුවණ, ප්‍රඥාව නම් වෙයි. ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියන් මෙම භාවනාවෙන් හොඳින් වැඩෙයි. මේවා හොඳින් ඉගෙන ගෙන, ගුණ ධර්මයන් ද දියුණු තියුණු කරගෙන ධර්මය අවබෝධ කරගන්න භාවනායෝගීව ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. එසේනම්, භාවනා ක්‍රම ඉගෙන කියා ගන්නට, කවුරුත් උත්සාහවත් විය යුතු යි. 

සංසාර සාගරයෙන් එතෙර වෙන්න දානමය පින්කම පමණක් මදි. පන්සිල්, අටසිල්, රැකිය යුතු යි. බණ අසන්නට , භාවනා කරන්නට අවශ්‍යය යි. යන එන විට දී පවා ‘මම සම්මා කම්මන්තය දියුණු කරන්නෙමි’ යනුවෙන් සිතන්න. එසේ නැතිනම් ‘මම කායික සංවරයෙන් සංවර වන්නෙමි’ යනුවෙන් නිතර සිතන්න. එසේ නැතිනම් මම කයෙන් පව් නොකරමි යනුවෙන් හෝ සිතන්න. බොහෝ වරක් සිතද්දී සම්මා කම්මන්තය හොඳින් වැඩෙයි. ගුණ ධර්ම ද, සති, සමාධි, ඥාන ද හොඳ වෙයි. 

මේ බුද්ධ ශාසනයෙන් උසස් ඵල නෙළා ගෙන ධ්‍යාන, අභිඥ්ඥා, විපස්සනා ඥාන ලබාගෙන සෝවාන්, සකෘදාගාමී , අනාගාමී, අර්හත් යන මාර්ග ඵල ලබන්න, නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්.

ලොවුතුරා ධර්මය අවබෝධ කරගන්නට නම්, සම්මා කම්මන්ත මාර්ගාංගය හොඳට වැඩිය යුතු අතර, එය දියුණු කරගත යුතු යි. මේ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇතිකරගත යුතු යි. බුද්ධ ශාසනය ඔබ, අප වෙනුවෙන් ම පහළ වුණු මහා වස්තුවක්. බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමත් ඔබට, අපට අයිති මහා කාර්ය භාරයක්. එය දියුණු කර ගැනීමත් ඔබ, අප සතු කාර්යයක්. ඒ නිසා තමන් ලබා ගන්නා මේ දැනුම තමන්ගෙන් පමණක් සෑහීමකට පත් නොවී , තමන් ආශ්‍රය නිශ්‍රය කරන අයටත් මේ කරුණු කියා දිය යුතු යි. බණ ඇසීමයි, භාවනාව යි කියන අවස්ථාවෙහි යොදවන්නට ඕනේ. එවිට විශාල දියුණුවක් සලසා ගන්න, ඉදිරියට යාමට ලොකු ශක්තියක් වඩා වර්ධනය කර ගන්න පුළුවන්කම තියෙනවා. පිරිසුදුව, ඍජුව , අවංක , භක්ත්‍යාධරයෙන් නිවන දක්වා ම හොඳ සිහි කල්පනාවෙන් ඉදිරියට යා යුතු යි. 

බුදුරජාණන් වහන්සේ තරම් ජීවිතයේ දුක් විඳපු කෙනෙක් ලොවේ තවත් නැහැ. උන්වහන්සේ තරම් මානසික සුවයෙන් වාසය කළ කෙනෙකුත් ලොවේ තවත් නැහැ. එතරම්ම මානසික සුවයෙන් වාසය කළා. බුදුබවට පත්ව, ලෝකයෙන් එතෙරව , ලෝකයේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව මහා වාසනාවන්ත උතුමාණන් වහන්සේ වූවා. ගොහොරු මඩෙන් මතුවී, මඩත් –වතුරත් නොතැරවී, සුපිපෙන නෙළුම් මලක් සේ බෝසතාණන් වහන්සේ මනුලොව උපන්නත්, මනු ලොවේ ඇති තණ්හා, තරහ, වෛර, ක්‍රෝධ ආදී පාපී සිතිවිලි තමා තුළින් ම විනාශ කරදමා මනුලොවෙන් එගොඩ වී බුද්ධත්වය ලබා, නිකෙලෙස්ව වාසය කළා. ඒ උත්තරීතර මාවත ඔබටත්, මටත් පෙන්වා දුන්නා. එසේනම්, බුදුරජාණන් වහන්සේගේ අවවාදයට , අනුශාසනාවට අනුකූලව කවුරුත් වැඩ කටයුතු කරමින් සම්මා කම්මන්ත මාර්ගාංගය දියුණුවෙන් , පාරමී ගුණ ද දියුණුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කරගන්නට ලැබේවා! 

දම්සක් පැවැතුම් සුත්‍ර

 



ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළමු දම් දෙසුම ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව යි. මෙම සූත්‍රය බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් උදෙසා දේශනා කළ සේක. ඇසළ පෝදා දෙසූ මෙම දහම සනාතන දහමයි. ඇසළ උදානය එයයි. දම්සක් දෙසුම පමණක් නොව බෝසතුන් මව්කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරුන්ගේ උපත, බෝසතුන්ගේ අභිනික්මන ඇසළ පෝදා සිදුව ඇත. උපසම්පන්න භික්ෂූන් වහන්සේ පෙරවස් සමාදන් වන්නේ ද ඇසළ පෝදා ය. 

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙහි අන්තර්ගත ධර්ම කරුණු තුළ බුදුදහමේ මූලික හරය ගැබ්ව ඇත්තේ ය. දම්සක් පැවැතුම් සුත්‍ර දෙසුම ආරම්භ වන්නේ මෙසේ ය. 



ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ, තත්‍ර ඛෝ භගවා පඤ්චවග්ගියේ භික්ඛූ ආමන්තේසි ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා

ඒ අනුව භික්ෂූන් අමතන බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ අන්තගාමි ප්‍රතිපත්ති දෙකක් තුළින් තමන් බැහැර විය යුතු බවයි. සේවනය නොකළ යුතු බවයි. එම අන්ත දෙක කුමක්ද? 

කාමසුඛල්ලිකානු යෝගෝ 

ශරීරයට අධික ලෙස සැපදීම.

අත්ථකිලමථානු යෝගෝ 

ශරීරයට අධික ලෙස දුක්දීම 

ජීවිත යථාර්ථය දක්නට කැමැති පුද්ගලයා මේ අන්තගාමී ප්‍රතිපත්තිවලින් ඈත්ව, මැඳුම්

පිළිවෙතේ ගමන් කළ යුතු ය. මැඳුම් පිළිවෙතේ ගමන් කළ යුත්තේ ඉහත කී අන්තගාමි පිළිවෙතින් බැහැර වීමෙනි. එහි දී ගමන් කළයුතු පිරිසුදු මාර්ගය බුදු දහම පෙන්වා දේ. එය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම්,

සම්මා දිට්ඨි - මිථ්‍යාවෙන් තොර යහපත් දැකීම 

සම්මා සංකප්ප - 

යහපත් සංකල්පනා ඇතිකර ගැනීම 

සම්මා වාචා - යහපත් වචන කතා කිරීම 

සම්මා කම්මන්ත - යහපත් ක්‍රියාවල යෙදීම. 

සම්මා ආජීව - යහපත් දිවි පැවැත්ම 

සම්මා වායාම - යහපත් උත්සාහය 

සම්මා සති - යහපත් සිහිය 

සම්මා සමාධි - යහපත් සමාධිය

සම්මා දිට්ඨි හෙවත් යහපත් දැකීම මෙහි පළමු අංගයයි. පුද්ගල ජීවිතයක තිබිය යුතු වැදගත් ම අංගය මෙයයි. එනම් පුද්ගල ජීවිත හෝ ලෝකය දෙස හෝ නිවැරැදි, දැක්මක් ඇතිකර ගැනීමයි. එය කළයුත්තේ මසැසින් නොව මනසින් ය. ප්‍රඥාවෙන් යුක්තව ය. එවිට අප මුහුණ දෙන සෑම ගැටලුවක් ම විසඳා ගත හැකි ය. ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් ලද හැකි ය.එම නිවැරැදි අවබෝධය නිසා පුද්ගලයා මිථ්‍යාවෙන් මිදෙන්නේ ය. වැරැදි දැකීමෙන්, සම්‍යග්දෘෂ්ටියකට යොමු වන්නේ ය. 

සමාජගත වැරැදි අවබෝධය, විවිධ පුද්ගලයන්ගේ විෂමාචාර ක්‍රියා, වැරැදි ඇදැහිලි ක්‍රම, වැරැදි ක්‍රියා, වැරැදි සිතිවිලි යනාදි ය. යහපත් දැකීම තුළින් දුරුවන්නේ ය. ලෝ දනා මුහුණ දෙන සංසාරගත ගැටලු නිරාකරණයට ඇති හොඳම මඟ මැඳුම් පිළිවෙතයි. යහපත් දැක්මක් තුළින් ඇතිකර ගන්නා යහපත් සංකල්පනා නිසා ලොව තව තවත් ලස්සන කරයි. තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගත් මෙම පිළිවෙතේ ගමන් කරන්නා හරි මඟට යොමුව, නියත වශයෙන් ම නිවන පසක් කර ගන්නේ ය. මිථ්‍යාවෙන් මිදෙන්නේ ය. වැරැදි මඟට නොයන්නේ ය. අරි අට මගෙහි සෑම අංගයක් තුළින් ම පෙන්වා දෙන්නේ, මිථ්‍යාවෙන් මිදුණු උත්තරීතර දහමක් ය. 

නිවන පසක් වන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධය තුළිනි. චතුරාර්ය සත්‍යය යනු? 

දුක්ඛ සත්‍යය - දුක 

සමුදය සත්‍යය - දුක හට ගැනීම 

නිරෝධ සත්‍යය - දුක නැති කිරීම 

මාර්ග සත්‍යය - දුක නැති කිරීමේ මාර්ගය

ලෝකය දුක මත පිහිටා ඇත. 

(දුක්ඛේහි ලෝකෝ පතිට්ඨිතෝ) ලොව සැප මත පිහිටා නැත. එබැවින් දුක නැති කිරීම අපගේ මූලික පරමාර්ථයයි. චතුරාර්ය සත්‍යය තුළ උගන්වන මූලික දහම එයයි. ඒ අනුව ඉහත දැක් වූ අයුරු අප ලෝක යථාර්ථය තුළ දුක් සමුදායකට මුහුණ දෙයි. ප්‍රධාන වශයෙන් සූත්‍රයේ දුක් අටක් සඳහන් වේ. එනම්, 

ජාතිපි දුක්ඛා - ඉපදීම දුකකි

ජරාපි දුක්ඛා - මහලුවීම දුකකි 

ව්‍යාධිපි දුක්ඛෝ - ලෙඩවීම දුකකි 

මරණම්පි දුක්ඛං - මරණය දුකකි 

අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ - අපි‍්‍රය අය සමඟ එක්වීම දුකකි.

පියේහි විප්පයෝගෝ දුක්ඛෝ - පි‍්‍රය අයගෙන් වෙන්වීම දුකකි.

යම්පිච්ඡං න ලබති දුක්ඛං - කැමැති දේ නොලැබීම දුකකි. 

පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා - යටත් පිරිසෙන් පංචස්ඛන්ධය ම දුකකි

මෙකී දුක නැතිකර ගැනීම සඳහා පිළියම් යෙදිය යුතු ය. ඒ අනුව දුක නැති කිරීමේ මාර්ගය ලෙස බුදුදහම පෙන්වා දෙනු ලබන්නේ ආර්ය මාර්ගයේ ගමන් කිරිමයි. මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන විට ක්‍රම ක්‍රමයෙන් ප්‍රඥා, සීල, සමාධි (ත්‍රිසික්ෂා) වැඩෙන්නේ ය. අවසන යථාභූත ඤාණ දර්ශනය (යථාභූත ඤාණ දස්සනං) හෙවත් ඇත්ත ඇති සැටියෙන් දකින පරම සත්‍යය පහළ වේ. ආර්ය සත්‍යය අවබෝධ වේ. ජීවිතයේ පරම සත්‍යය දකින නුවණ නමැති ඇස පහළ වේ. ඇත්ත ඇති සැටියෙන් දකින ප්‍රඥාව පහළ වේ. කෙලෙස් නසන විද්‍යාව (විජ්ජා උදපාදි) පහළ වේ. මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥා ලෝකය පහළ වේ. ආලෝකෝ උදපාදි යනු එයයි. 

පුද්ගලයා දුකට පත්වන්නේ නිමක් නැති තෘෂ්ණාව නිසා ය. තෘෂ්ණාව ආකාර තුනකින් පුද්ගල සන්තානයේ පෙනී සිටින්නේ ය. එනම්, 

කාම තණ්හා - වස්තු කාම ආශාව (සම්මුතිවාදී දැක්ම) 

භව තණ්හා - සසරට ඇති ආශාව (ශාස්වතවාදී දැක්ම) 

විභව තණ්හා - සසර නැති කිරීම පිණිස ඇතිවන ආශාව (උච්ඡේදවාදී දැක්ම) 

තෘෂ්ණාව යනු වස්තුකාම සම්පත් කෙරෙහි තිබෙන අසීමිත ආශාවයි. තෘෂ්ණාව නැති කිරීම තුළින් නිවන පසක්කර ගත හැකියි. පුද්ගලයා දුකට පත්වන්නේ නිමක් නැති ආශාවන් නිසාම ය. දැඩිව අල්ලා ගැනීම නිසා දුක් ගලා එන්නේ ය. අත්හරින විට දුක ද පහව යන්නේ ය. මෙකී න්‍යාය දර්ශනය බුදු දහම මැනවින් පෙන්වා දෙන්නේ ය. 

එලෙසම පුද්ගලයා දුකට පත්වන්නේ ආශාව නිසානම්, ඔහු ඒ තුළින් බලාපොරොත්තු වන්නේ සැප විඳීමයි. එබැවින් සෑම සත්ත්වයෙක් ම සැප කැමැත්තෝ වෙති. තමා සැප සොයන්නේ, අන් අය ඝාතනය කර හෝ එම සැප ලබා ගන්නට වෙර දරයි. බුදුදහම එය අනුමත නොකරයි. එනම් අනුන්ට හිංසා පීඩා කොට සැප ලබාගත නොහැකි ය. එසේනම්, සැප ලැබිය හැක්කේ යහපත් දැක්මක් ඇතිව යහපත් ක්‍රියාවල නිරත වීමෙනි. පුද්ගලයෙක් දුක් අටක් විඳින්නා සේ ම, ඔහු ලබන සැප හතරක් ගැන ද වදාරති. එනම්, 

අත්ථි සුඛ - තමාට ඇතැයි කියා ලබන සැප 

භෝග සුඛ - වස්තුව දෙස බලා ලබන සැප 

අණන සුඛ - ණය නොවී ජීවත්වීමේ සැප 

අනවජ්ජ සුඛ - වැරැදි නොකර ජීවත්වීමේ සැප 

මෙම සැප සතර ලෞකික සැප හතරකි. තාවකාලික වූ සැප හතරකි. කෙනෙක් පස ඉඳුරන් පිනවීමෙන් මේ සැප සියල්ල ම භුක්ති විඳිති. නමුත් බුදු දහමේ උගන්වන පරම සුවය නිවනයි. ‘නිබ්බානං පරමං සුඛං’ යනු එයයි. එබැවින් අප සැවොම උතුම් නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා උත්සාහ කළ යුතු ය. ඒ අනුව නිවැරැදි දැක්මක් තුළින් සැදෙන යහපත් සමාජය මැඳුම් පිළිවෙත තුළින් නිර්මාණය වන අතර සසර දුක නැති කිරීමෙන් ලබන නිර්වාණය ද ඒ තුළින් ම පසක් වන්නේ ය. සැමට තෙරුවන් සරණයි.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...