මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නාගසේන තෙරුන් වහන්සේ අමතා රෝහණ තෙරුන් වහන්සේ මෙසේ වදාළහ. “ආයුෂ්මතුනි, සාගල නම් නුවර මිළිඳු නම් යෝනක රජතුමා තර්කවාදී ව, සියුම් ප්‍රශ්න අසමින් භික්ෂූන් වහන්සේ පීඩාවට පත් කරයි. ඔබ වහන්සේ ගොස් ඒ රජතුමාගේ වාද ප්රතිවාදයන් සිඳ දමා එතුමා බුදු සසුනෙහි අචල පැහැදීමට පත්කරවනු මැනව” යි පැවසූ සේක.
”ස්වාමිනි, එතෙක්“මා කවර උතුමෙකු ඇසුරේ වසන්නෙම් ද?, කියා නාගසේනයන් වහන්සේ විමසූහ.
එවිට රෝහණ තෙරුන් “ආයුෂ්මතුනි, අස්සගුත්ත මහරහතන් වහන්සේ වන්තනිය නම් සේනාසනයේ වැඩ වසන සේක. උන්වහන්සේ වෙත ගොස් මුලින් ම මාගේ වන්දනාව කොට, ඔබ වහන්සේ ද වන්දනා කළ මැනව. වැඩියේ ඇයිදැයි විමසුවොත් මේ වස් තුන් මාසය ඔබ වහන්සේ අසල වාසය කරන්නට එවූ බව පවසනු යි” කී හ. ඉන්පසු නාගසේනයන් වහන්සේ රෝහණ තෙරුන්ට වන්දනා කොට, පා සිවුරු ගෙන, වන්තනිය සේනාසනයට ගොස් අස්සගුත්ත මහරහතන් වහන්සේ මුණගැසී කී ලෙසින් ම කටයුතු කළ සේක.
නාගසේනයන් වහන්සේ පාත්‍ර සිවුරු තැන්පත් කොට එදින රාත්‍රී සැතපී, පසුදින උදෑසන ම අවදි වී ආවාසය, මිදුල අතුගා දැහැටි සහ පැන් ගෙනවිත් තැබූහ. අස්සගුත්්්ත තෙරුන්, නාගසේන තෙරුන්ගේ හික්මීම පරීක්ෂා කර බලනු පිණිස අතු ගෑ තැන් යළිත් අතුª ගා ගෙනැවිත් තැබූ දැහැටි, පැන් ඉවත දමා වෙනත් දැහැටි හා පැන් පරිභෝග කළසේක. නාගසේනයන් වහන්සේ සිත කම්පා කර නො ගෙන සතියක් පුරාවට ම එලෙසින් ම වත් කළත්, මහතෙරුන් වහන්සේ යළි යළිත් ඉවසීම විමසනු පිණිස එලෙසින් ම කළ සේක. ඉන්පසු සෑහීමට පත් වූ තෙරුන් වස් තුන් මාසයේ තමන් වහන්සේ ළඟ වස් විසීමට නාගසේන තෙරුන්ට අවසර දුන් සේක.
ඉන්පසු අස්සගුත්ත මහතෙරුන් වහන්සේ නාගසේන තෙරුන් වහන්සේට මෙසේ වදාළ සේක.”ආයුෂ්මතුනි, පැළලුප් නුවර අශෝකාරාමයෙහි ධර්මරක්ඛිත මහ තෙරුන් වහන්සේ වාසය කරන සේක. ශාසන ප්‍රතිපත්තියට මුල්වන්නේ පර්යාප්තිය යි. (නවාංග ශාස්තෘ ශාසනය හෙවත් සම්බුද්ධ දේශනායි) පර්යාප්තිය නැතිනම්, ප්‍රතිපත්තිය නැත. ප්‍රතිපත්ති නැති කලකට ප්‍රතිවේධය (මාර්ගඵල අවබෝධය) නැත. ප්‍රතිවේධය නැති කලට අද්ධ්යාශය සම්පන්නයන් ( උදාර අදහස් ඇති) නැති හෙයින් ශාසනයක් නො පවතී. ඔබවහන්සේ බුද්ධි සම්පන්න ව පර්යාප්තිය පවත්වා නො ගතහොත් අනාගතයේ පවත්වා ගන්නේ කවුරු ද? ඔබ ගොසින් තෙවලා බුදුවදන් (ත්‍රිපිටකය) හදාරන්න’ යැයි කී හ. නාගසේනයන් වහන්සේ එය අසා, “පැළලුප් නුවරට මෙතැන් සිට කො පමණ දුරක් ඇද්දැ”යි විමසූහ. “යොදුන් තුන්සීයයක් දුර ය” කියා තෙරුන් වහන්සේ පැවසූ විට “එපමණ දුරක් යා හැකි ද? දානමාන ලබා ගන්නේ කෙසේ ද?” කියා යළිත් විමසී ය. ඒ ගැන නො සිතන්න. අතරමග දී පිරිසුදු ඇල් හාල් බත් දානයට ලැබෙනු ඇත. එක දිගට නො යන්න. සැතපී විවේක ගනිමින් යන ගමනක් නිසා වෙහෙසක් ඇති නොවේ” කියා මහ තෙරුන් වහන්සේ පිළිතුරු දුන් සේක. ඒ අසා නාගසේනයන් වහන්සේ මහතෙරුන් වහන්සේට වැඳ සමුගෙන පාත්‍රා සිවුරු රැගෙන පැළලුප් නුවරට වැඩම කරන්නට නික්මුණ සේක.
එකල පැළලුප් නුවර සිටි එක් සිටුවරයෙක් ගැල් පන්සියයකින් භාණ්ඩ රැගෙනවිත් වෙළෙදාම් කොට යළි පැළලුප් නුවරට යමින් සිටිය දී නාගසේන තෙරුන් දැක වන්දනා කොට කො තැනක වැඩම කරන්නේ දැයි විමසා සිටියේ ය. “පැළලුප් නුවරට වඩිමි” යි කී විට දුටු පමණින් පැහැදී “ස්වාමින් වහන්ස, මමත් එහි යන්නෙමි. මා හා සුවසේ වැඩිය හැක” කියා සිටුතුමා පැවසී ය. ඉන්පසු සියතින් ම ගෞරවයෙන් දන් පැන් පුදා වැළඳු පසු ඔබ වහන්සේ් කි නම් වන සේක්දැයි? ඇසී ය. “නාගසේන’’ නම් වෙමි, “ස්වාමීනි, දන්නා බණ දහමක් ඇද්දැයි විමසී ය. සිටුතුමනි, තවම අසා, පිරිවහා ගුරු මුවින් ඉගෙන ගන්නට නො ලැබුණ හෙයින්, විනය හා සූත්‍ර නො දනිමි. සාමණේර අවධියේ දී ම අසා දැනගත් හෙයින් අබිදම් (ගැඹුරු දහම ) දනිිමි”කියා නාගසේනයන් වහන්සේ පිළිතුරු දුන් සේක. සිටාණෝ එය අසා “මමත් ගැඹුරු දහම් දනිමි. ඔබවහන්සේ දන්නා දහම් මටත් වදාරණ සේක්වායි” ඉල්ලා සිටියේ ය. ඉක්බිති නාගසේනයන් වහන්සේ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ගැඹුරු දහම් වදාළ කල්හි සිටුතුමා දහම් ඇස පහළ කරගෙන සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්විය. පැළලුප් නුවර ආසන්නයට පැමිණිය පසු දෙ මංසන්ධියේ දී “නාගසේනයන් වහන්ස, මේ අශෝකාරාමයට මග යි. පෙර දන්නා හඳුනන බවක් නැතිමුත්, නුඹ වහන්සේ වඩිනා ගමනේ දී මා හට දුන් ලොව්තුරු සැපයට සුදුසු සංග්‍රහයක් මා වෙත නො මැත. එනමුත් මේ වටිනා පලස ඔබ වහන්සේට පූජා කරමි” කියා සොළොස් රියන් දිග, අටරියන් පළල අගනා පළසක් පූජා කළේ ය. ඉන්පසු මහත් ශ්‍රද්ධාවෙන් වන්දනා කොට සිටුතුමා පිටව ගියේ ය. :නාගසේනයන් වහන්සේ අශෝකාරාමයට ගොස් ධම්මරක්ඛිත මහතෙරුන් වහන්සේ මුණ ගැසී වන්දනාමාන කොට පැමිණි කාරණාව කියා ධර්මය හැදෑරීම ආරම්භ කළ සේක.
සූත්‍ර , විනය තෙ මසකින් ඉගෙනගත්, විස්මිත ධාරණ ශක්තියෙන් යුක්ත නාගසේනයන් වහන්සේ තවත් තුන් මාසයකින් එහි අර්ථ අස්වා ගත් සේක. ධර්ම, විනය මෙලෙසින් ඉගෙනීම නිම වූ කල්හි සුළු මඟ පෙන්වීමකින් ‘ප්‍රතිපත්ති , ප්‍රතිවේධ පූරණය කරති’ යි සිතු ධම්මරක්ඛිත තෙරණුවෝ උත්සාහවත් කිරීම පිණිස මෙසේ වදාළ සේක. “ආයුෂ්මතුනි, ගොපල්ලන් ගව රැළක් බලා ගත්තත්, දී කිරිවලින් ප්‍රයෝජන ගන්නේ අන් කෙනෙකු ය. එමෙන් ම ඔබ වහන්සේත් තෙවලා බුදු වදන් , රන් බඳුනක දැමූ සිංහ තෙල් පරිද්දෙන් මතකයේ දරාගත් නමුත්, ඔබ ප්‍රයෝජන ගෙන නැත්තේ” ය කීහ.. එම වදන්වල අරුත් වටහාගත් නාගසේනයන් වහන්සේ අප්‍රමාදීව විදසුන් වඩා එක් දිනක් ඇතුළත සියලු කෙලෙසුන් නසා පටිසම්භිදාලාභී මහ රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක.
කෙලෙස් සතුරන් පරදවා අරහත්වයට පත් වූ සැණින් දෙවිවරු පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ. මිහිකත කම්පා විය. ආකාසයෙන් මල් වැසි වැස්සේ ය. හිමාලයේ වැඩ සිටි මහරහතන් වහන්සේ නාගසේන තෙරුන් දකින්නට තමන් කැමැති බව අරහත් සෘද්ධියෙන් දැන් වූ හ. එවිට නාගසේන මහරහතන් වහන්සේ පැළලුප් නුවර අශෝකාරාමයෙන් අතුරුදන් වී හිමාලයේ අරහත් සඟ ගණ මැද පහළ වූ හ.