Thursday, December 30, 2021

දහම පහනකි

 

දහම පහනකි 

" ධර්මයම පහුරක් කොට ගත යුතු ය. ධර්මයම ප්‍රදීපයක් කොට ගත යුතු ය. සත්වයා නිරන්තරයෙන් ගෙන යා නොහැකි දේ උදෙසාම වෙහෙසෙති. සටන් කරති. තමනට තමන්ගෙ ශරීරයවත් හිමි නොවුණ කල්හි කුමන සැපතක් ද? සියල්ල මිත්‍යාවකි. මායාවකි."

ධර්මය යනුවෙන් හැඳින්වෙන්නේ සතර මඟ, සතර ඵල හා නිවන යන නවලෝකෝත්තර ධර්මය හා බුදුරජාණන් වහන්සේ විසින් අවුරුදු 45 ක් තිස්සේ ලෝක සත්වයාට දේශනා කළ සූත්‍ර, විනය හා අභිධර්මය යන ත්‍රිපිටකය ඇතුළු වු දස වැදෑරුම් ධර්මය යි. 

එම උතුම් ශ්‍රී සද්ධර්මය පර්යාප්ත , ප්‍රතිවේදය යනුවෙන් ද කොටස් වේ. එයින් පර්යාප්ති නම් සූත්‍ර, විනය හා අභිධර්මය යි. ප්‍රතිපත්ති , ප්‍රතිවේධ යනුවෙන් ද කොටස් වේ. ප්‍රතිපත්ති යනු සතර අපායෙන් මිදීම පිණිසත්, දිව්‍ය මානුෂික සැප සම්පත් ලැබීම පිණිසත් පිරිය යුතු ශාසනික ප්‍රතිපත්ති යි. ප්‍රතිවේධ වන්නේ සතර මඟ. සතර ඵල හා නිවන යන නවලෝකෝත්තර ධර්මය යි. 

දානයන් ගත් කල්හි ආමිස දානය, අභය දානය, ධර්ම දානය වශයෙන් කොටස් කිරීමට පුළුවන. ඒ අතරින් ධර්ම දානය ම වැදගත් වන බව බුද්ධ දේශනය යි. කෙනෙකුට අන් දාන ලේසියෙන්, පහසුවෙන් හා අවශ්‍යතාවට අනුව සිදු කළ හැකි වුව ද, ධර්ම දානය එසේ කළ නොහැක්කකි. 

බුදුරජාණන් වහන්සේ ධම්ම පදයෙහි තණ්හා වග්ගය තුළින් “සබ්බ දානං ධම්ම දානං ජිනාති” යනුවෙන් දේශනා කළේ අන් සියලු දානයන් අභිබවා ධර්ම දානය ජය ගන්නා බවයි. එසේ නම් එවැනි උතුම් දානයක් සිදු කිරීම හැම කෙනෙකුටම කළ නොහැක්කකි. බොහෝ දෙනෙක් එය සිදු කළ ද එය සිදු කරන්නේ ලාභ අපේක්ෂාවෙන් හෝ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන් හෝ අනෙකා පරදා අත්තුක්කංසන පරවම්බන ආකල්පයෙන් ය. එසේත් නොමැතිනම් තරගකාරි ස්වභාවයකිනි. නමුදු ධර්ම දානය සිදු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය නිරාමිස පී‍්‍රතියක්ම විය යුතු ය. එය ආවාට ගියාට සිදු කළ නොහැක්කකි. 

ධර්ම දානය වාචික හෝ ලිඛිත යන මාධ්‍යයෙන් සිදු කළ හැකි ය. වාචික වශයෙන් ගත් කල්හි බොහෝ දුරට ධර්ම දේශනා ක්‍රම ඔස්සේ ධර්මය බෙදා දීමට පුළුවන. එවිට ශ්‍රාවක පිරිසක් ද බිහි වනු ඇත. කාලීන වශයෙන් අද ඇතැම් තැනෙක “ධර්මය” ධර්ම දානයක් වශයෙන් සිදු කරන්නේ ද යන්න ප්‍රශ්නයකි. කීයෙන් කී දෙනෙක් එම ධර්මය ග්‍රහණය කර ගන්නේ ද යන්න පිළිබඳ සිතීමෙන් සෑහීමකට පත් වීමට නොහැක. එයට හේතුව එය ධර්ම දානයක් වශයෙන් සිදු නොවීම නොවේ ද? වරක් උදායි හිමියන් විසින් පිරිසකට දම් දෙසන අවස්ථාවක දී ආනන්ද හිමි ඒ බව බුදු හිමිට දැන්වූහ. එවිට බුදුහිමි අන්‍යයන් ට ධර්මදානය සිදු කිරම පහසු කටයුත්තක් නොවන බවත්, ඒ සඳහා කරුණු පහක් පිළිපැදිය යුතු බවත් දේශනා කළහ. එම කරුණු පහනම්, 

1. අනුපිළිවෙළින් කතාවක් කරන්නෙමි’යි මෙරමාහට දම් දෙසිය යුතු ය. 

2. ඒ ඒ අර්ථයට සෑහෙන කරුණු දක්වා කරන කථාවක් කරන්නෙමියි මෙරමා හට දම් දෙසිය යුතු ය.

3. අනුකම්පා නිසා කරන කථාවක් කරන්නෙමි’යි මෙරමාහට දම් දෙසිය යුතු ය 

4. ආමිසයක් බලාපොරොත්තු නොවන කථාවක් කරමි’යි මෙරමාහට දම් දෙසිය යුතු ය. 

5. අත්තුක්කංසන පරවම්භනාදියෙන් තමාගේ හා මෙරමාගේ ගුණ නොනසන කථාවක් කරමි’යි මෙරමාහට දම් දෙසිය යුතු ය. 

ධර්ම බෙදා දෙන ඇතැම් අය තුළ මෙම ක්‍රමවේදයන් පවතී ද යන්න සැක සහිත ය. ගුවන් විදුලිය, රූපවාහිනිය තුළින් උදේ සවස ධර්ම දේශනා සිදු කළ ද ඇතැම්විට සැබෑ ධර්ම දානයක් සිදු නොවේ. 

අනෙක් ධර්ම දානය ලබා දෙන ක්‍රමවේදය වන්නේ ලිඛිත මාධ්‍යය යි. ලේඛකයන් බිහිවන විට පාඨකයන්ද බිහි වේ. ධර්මය අධ්‍යයනය කර ඒවා පාඨකයාට වැටහෙන අයුරින් ලිහිල් බසින් පුවත්පත්, සඟරා. පුස්තක මාර්ගයෙන් ධර්ම දානය සිදු කළ හැකි ය. ධර්ම දේශනා ක්‍රමවේදයටත් වඩා අසීරු කටයුත්තකි. ලිපි ලිවීම ඒවා ටයිපින් කිරීම, දෙතුන් වතාවක් වැරැදි හැදීම, තැපැල් කිරීම, ෆැක්ස් ,ඊමේල් ආදි ක්‍රම වලින් යැවීම ආදි විශාල කැපකිරීමක් ඒ සඳහා කළ යුතු ය. එයද අද සමාජය තුළ බොහෝ ගිහි පැවිදි දෙපක්ෂය තුළින්ම සිදු කරනු ඇත. 

ධර්ම දානය සියලු දානයන් අභිබවා ජය ගන්නවා යන්න සත්‍යයකි. එය සත්භාවයෙන්, පරිත්‍යාගයෙන් සිදු කරන්නා එම ජයග්‍රහණය භුක්ති විඳිනු ඇත. එය බාහිර ධන සම්පත් ,වත් පොහොසත්කම් අනුව තුලනය කළ නොහැක්කකි. 

ද්වේෂය තිබීම තුළින් ධර්ම දානය කළ නොහැක. යමෙක් තව කෙනෙක් ධර්මදානය සිදු කරනවා දැක ඔහු පැරද විය යුතුය’යි සිතා දැඩි තරහෙන් වරක් දෙකක් ධර්මදානය කළ ද එය ප්‍රතිපත්තියක් වශයෙන් සිදු නොවනු ඇත. එයට හේතුව ඔහුගේ අරමුණ අනෙකා පැරදවීම හෝ මමත් ධර්ම දානය කළා හෝ කරනවා කියා ඇති කර ගන්නා වෛර චේතනාව යි. 

මෝහය නොහොත් මෝඩකම දැඩිව තිබුණහොත් එවැන්නන්ට ද ධර්ම දානය කළ නොහැකි ය. ඔවුන් නිතරම සිතන්නේ ඕවා කිරීමෙන් ඇති ඵලය කුමක් ද ආදි වශයෙන් ඒකට යොදන කාලයත් පංච ඉන්ද්‍රියන්ගේ සුඛ විහරණය සඳහාම යොදති. 

ධර්ම දානය සිදු කිරීමේ දී කාලය කැප කිරීම අවශ්‍ය වේ. කාලය ඕනෑම කෙනෙකුට වටිනාම දෙයකි. බුදු හිමි ද දවස කොටස් හතකට බෙදාගෙන කාලය අපතේ නොයන අයුරකින් ලෝක සත්වයා සුවපත් කිරීමට වෙහෙසුණේ කාලයේ වටිනාකම හඳුනාගෙන ය. 

අපට නිදාගැනීමට හෝ විවේක ගැනීමට හෝ නිකරුණේ කාලය කා දැමීමට හෝ තිබෙන කාලයෙන් කොටසක් අන්‍යයාගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීමට හැකිනම් එය මොන තරම් වටින්නේ ද? සැබෑ ලෙස ධර්ම දානය සිදු කරන්නන් තුළින් ඒ දේ සිදුවනු ඇත. මිනිසුන්ට කාලය මදි කියා කියන්නේ තමන්ගේ ශරීරය පෝෂණය කිරීමට හෝ ශරීරය වටා ගොඩනැගුණු භෞතික සම්පත් රැස් කිරීමට ය. එවැනි සමාජයක යමෙක් තමන්ට නින්දට හෝ තියෙන කාලයෙන් පැය දෙක තුනක් දෛනිකව ලෝක සත්වයාගේ යහපත උදෙසා කැප කරන්නේනම් ඔවුනට ධර්ම දානයෙන් ජය ගැනීමට පුළුවන්කමක් ඇත. විවිධ දානාදි දීමෙන් බොහෝ දුරට නැති ගුණ වර්ණනාත්මකව දේශකයන් තුළින් ශ්‍රවණය කොට කෙනෙක් මාන්‍යයක් ඇති කර ගනිති. නැතිනම් තම නම කොහේ හෝ පුවරුවක් මත ලියා ගනිති. නැත්නම් අන් මිනිසුන් අතර උස් අසුනක වාඩි වි අත්තුක්කංසන පරවම්භනය සිදු කර ගනිති. ආමිස දානයන් ද සැබෑ ලෙස කරන්නේනම් එයින් පින්සිදු වනු ඇත. අද යන රටාවයි මේ මතක් කළේ. ඒ සියලුම දානයන් වලට වඩා ධර්ම දානයම උතුම් වන්නේ ඇයි ද යන්න මෙම ගාථාව තුළින් පැහැදිලි වනු ඇත. 

ධම්මං විනා නත්ථී පිතාච මාතා 
තමෙව තාණං සරණං පතිට්ඨා 
තස්මාහි භො කිච්ච මඤ්ඤප්පහාය 
සුනාථ ධාරෙථ චරාථ ධම්මේ 

(ධර්මය හැර සත්වයනට මවෙක් පියෙක් නැත. ඒ ධර්මයම සත්වයන්ට ආරක්ෂාව ය, පිහිට ය, එබැවින් අන් සියලු වැඩ නවත්වා ඒ දහම අසන්න, ධාරණය කර ගන්න, එම ධර්මයෙහි හැසිරෙන්න)

ඒ අනුව ධර්මයම පහුරක් කොට ගත යුතු ය. ධර්මයම ප්‍රදීපයක් කොට ගත යුතු ය. සත්වයා නිරන්තරයෙන් ගෙන යා නොහැකි දේ උදෙසාම වෙහෙසෙති. සටන් කරති. තමනට තමන්ගෙ ශරීරයවත් හිමි නොවුණ කල්හි කුමන සැපතක් ද? සියල්ල මිත්‍යාවකි. මායාවකි. ඉන්ද්‍රියන් පෝෂණය කිරීමටම වෙහෙසෙති. භෞතික සම්පත් සමඟම ගැටෙති. ඒවා ඔස්සේ නිරන්තරයෙන් රාග, ද්වේෂ, මෝහ, ව්‍යාධි, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදි එකොළොස් ගින්නටම හසු වී දැවි දැවි පිච්චි පිච්චි කල් ගෙවති.

එවැනි පරිසරයක් තුළ කෙනෙකු තම සුඛ විහරණයෙන් කොටසක් නොකඩවා අන්‍යයා වෙනුවෙන් කැප කිරීමට හැකිනම් එවැනි ඇත්තෝ තරමක් දුරට හෝ සැනසීම ලබන්මෝ වෙති. ඒ සඳහා ධර්ම දානය සිදු කිරීම ඉතා වැදගත් සත්ක්‍රියාවකි. එතුළින් ලැබෙන නිරාමිස පී‍්‍රතිය වෙන කිසිවකින් ලැබිය නොහැක. එතුළින් ලැබෙන විශ්ව ශක්තිය , ආරක්ෂාව, විශ්වාසය වෙන කිසිවකින් ලැබිය නෙැහැක. ඒ අනුව සියලු දානයන් පරදවා ධර්ම දානයම ජය ගන්නා බව සිතට ගෙන සැබෑ ලෙස ධර්ම දානය සිදු කිරීමට සියල්ලෝ ම වෙහෙසෙත්වා.

විතක්ක චක්කය:

 

විතක්ක චක්කය:

විතර්ක පිළිබඳව කියන කතාව

සමුදය සත්‍ය පිළිබඳ කතා කරන විට තණ්හාව ගැන විශේෂයෙන් කිව යුතු යි. සමුදය යන්නෙහි තේරුම දුක් රැස් කරන්නේ ය යනු යි. එලෙස දුක් රැස් කරන ක්‍රම හැටක් සමුදය සත්‍යයේ දී විස්තර කරනවා. චක්‍ර දහයක් තියෙනවා. මෙවර සඳහන් කරන්නේ විතක්ක චක්කය යි. එනම්, විතර්ක පිළිබඳව කියන කතාව යි. 

බුදුරජාණන් වහන්සේගේ මුලු මහත් ධර්මය ම අවබෝධ කරගන්නට අනිවාර්යෙන් තණ්හාව නැති කළ යුතු යි. තණ්හාව තියාගෙන කුමන දෙයකවත් දියුණුවක් ලැබිය නො හැකි යි. අධ්‍යාත්මිකව බාහිරව දියුණුවක් ලබන්න බැහැ. ලෝකයේ නැවත, නැවත සත්ත්වයා උපදින්නේ කුමක් නිසාදැ’යි කවුරු හෝ විමසුවොත් තනි පිළිතුරක් දෙන්න තණ්හාව නිසා යනුවෙන්. සත්ත්වයා නැවත නැවත, උපත ලබන්නේ තණ්හාව නිස යි. උපත ලබා ප්‍රතිසන්ධි සිතට අනතුරුව ලෝභ ජනනයක් ප්‍රථමයෙන් හට ගන්නවා. ඒ භවයට ඇති ආසාව නිස යි. ලෝභය හෙවත් තණ්හාවෙන් පටන් ගෙන සිත විවිධ අරමුණු ඔස්සේ ගමන් කරයි. ඇස , කන, නාසය, දිව, සිරුර, සිත ආදිය ප්‍රධාන ආයතන හය ඔස්සේ වැඩ කරනවා. එයට බාහිර වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය , ධම්ම ආදී වශයෙන් ආයතන හයක් තිබෙනවා. ගොදුරු වන ඒවා. ඒ සියල්ලෙන් ම සිදු වන්නේ නුවණ පාවිච්චි නොකර තණ්හාව, තරහව ආදී පව් හටගන්නා බව යි. නුවණින් ආයතන ක්‍රියාත්මක කළොත්, කුසල් උපදවා ගන්න පුළුවන්කම තියෙනවා, පව් හටගන්නවා, තණ්හාව යට වෙනවා. 

බුදුරජාණන් වහන්සේ විතර්ක චක්කයෙන් පහදා දුන්නේ තමන්ගේ චිත්ත සන්ථානයට හට ගනු ලබන , පහළ වනු ලබන විතර්ක සම්බන්ධයෙනි. තමන්ගේ චිත්ත සන්ථානයේ පහළ වන විතර්ක සම්බන්ධයෙන් විතක්ක චක්කය පැහැදිලි කර තිබෙන්නේ. විතර්කය ලෝකයේ රූපය කෙරෙහි පැවැති විතර්කය වශයෙන් සලකනවා. රූපය ගැන පහළ වන විතර්කය යි. එවිට මේ රූප විතක්කය ප්‍රිය වූ ස්වභාවය ඇත්තේ ය යනුවෙනි. මධුර වූ ස්වභාවය ඇත්තේ ය. මෙහි ම තෘෂ්ණාව උපන්නේය. මේ තෘෂ්ණාව මෙහි බැසගෙන සිටින්නේ ය යනුවෙන් දැනගත යුතු යි. 

එවිට විතර්කය පිළිබඳව කල්පනා කරන විට, අරමුණු ගැනීම කියන දෙය යි. එවිට රූපය පිළිබඳ අරමුණු ගන්නා බවයි. රූපයක් දුටු විට කවර හෝ අරමුණක් සිතෙහි පහළ වෙයි. එය හොඳ යි, මිහිරි යි, ප්‍රිය මනාප යි යනුවෙන් ගත්විට තණ්හාව හට ගනියි. ඒ තණ්හාව දිගින් දිගට ම දිගින් දිගට ම ගෙන යනවා. ශබ්දය පිළිබඳව , ගන්ධය පිළිබඳව, රස පිළිබඳ , ස්පර්ශය පිළිබඳ ව ධම්මාරම්මණ පිළිබඳව ද කිව යුතු වන්නේ මේ කරුණු ටිකම යි. එලෙස ගන්නා අරමුණු තෘෂ්ණා සහගත ව ගැනීමයි මෙයින් ප්‍රකාශ කරන්නේ. එවිට මේ විතර්ක හයෙනුත් තෘෂ්ණාව උපත ලබන බවයි, මෙයින් පවසන්නේ. 

රූප විතර්ක, ශබ්ධ විතර්ක, ගන්ධ විතර්ක, රස විතර්ක, ස්පර්ශ විතර්ක , ධම්ම විතර්ක හයෙන් තණ්හාව හට ගනියි. ඒ නිසා එයට සමුදය සත්‍ය යනුවෙන් පැහැදිලි කරනවා. ඒ නිසා අප සමුදය සත්‍ය විශේෂයෙන් දැනගත යුතු වෙනවා. මෙනෙහි කරන විට රූප විතර්කය, මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා රූප විතක්කය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. එමනිසා රූප විතර්කය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ශබ්ද විතර්කය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ශබ්ද විතර්කය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ගන්ධ විතර්කය මම නො වෙයිි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ගන්ධ විතර්කය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රස විතර්කය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා රස විතර්කය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ස්පර්ශ විතර්කය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ස්පර්ශ විතර්කය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්මයි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ධම්ම විතර්කය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ධම්ම විතර්කය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කළ යුතු යි. 

මේ හය කෙසේ හෝ හොඳ අවබෝධයෙන් අනිත්‍ය , අනාත්ම වශයෙන් මෙනෙහි කරද්දී තණ්හාව යටවී , අලෝභ චේතනාව හට ගනි යි. එයයි බලාපොරොත්තු වන්නට අවශ්‍ය වන්නේ. තණ්හාව නැති කළ යුතු යි. අලෝභ චේතනාව උත්පාදනය කළ යුතු යි. දුක්ඛ සත්‍ය අවබෝධ කරගැනීමට මහන්සි ගත යුතු යි. එහෙම නැතිනම් තණ්හාවෙම ගිලීගෙන සිටියොත්, දියුණුවක් ලබන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා බුදු දහමේ උගන්වන ක්‍රම බොහොම සාර්ථක යි. සෑම දෙයකින්ම උගන්වන්නේ නිවන දෙසට ම යන ක්‍රම යි. සෑම දෙයක්ම නුවණින් කල්පනා කර, නුවණින් මෙනෙහි කර, කටයුතු කරන්න කියන, දේශනය යි, ලබා දෙන්නේ. 

Tuesday, December 28, 2021

බෝධිරාජ කුමාරයන්ට දූ පුතුන් නො ලැබීමේ හේතුව

 

බෝධිරාජ කුමාරයන්ට දූ පුතුන් නො ලැබීමේ හේතුව 

අත්තානං චෙ පියං ජඤ්ඤා රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං

තිණ්ණමඤ්ඤතරං යාමං පටිජග්ගෙය්‍ය පණ්ඩිතො.

ඉදින් තමා තමහට ප්‍රිය යැයි දන්නේ වී නම්, එය සුරක්‍ෂිත කොට රක්නේ ය. (යමෙක් තමා රකිමි යී වැසූ දොරකවුළු ඇති ගෙයකට වැද රකවළ ඇති වැ වසන්නේ ද, අකුසල් කෙරේ නම්, හේ තමා රක්නේ නම් නො වේ. යමෙක් එළිමහනැ සිටින්නේ නුමුදු අකුසලින් දුරු වැ දානාදි සුචරිතයෙහි යෙදේ නම්, හේ තමා රක්නා නම් වේ. එහෙයින් නුවණැත්තේ තුන් වයසෙන් එක්තරා වයසෙක අකුසලින් දුරු කොට තමා රක්නේ ය.

බෝධිරාජ කුමාරයා කර වූ ප්‍රාසාදය කෝකනදනමින් පතළේ ය. එය එදා මිහි පිට තිබූ අන් හැම ප්‍රාසාදයන් අබිබවා සිටියේ ය. බලන්නවුන්ට එය පෙණෙනුයේ අහස ඉගිල්ලෙන්නක් සේ ය. එදා වඩු කර්‍මාන්තයෙහි අතිශයදක්‍ෂ වූ වඩුවා ලවා එය කර වි ය. බෝධි රාජ කුමාර තෙමේ වඩුවා ගෙන්වා, “තමුසේ මෙයට කලින් මෙ බඳු පහයක් කර තිබේ ද, නැත, තා කළ පළමු පහය මේ දැ?” යි ඇසී ය. “දේවයන් වහන්ස! එසේ ය, මා කළ පළමු පහය මේ ය” යි ඔහු කී ය. එවිට කුමාර තෙමේ “මින් පසු මොහු අනෙකකු උදෙසා මෙබඳු පහයක් කළේ නම්, මාගේ මේ පහයෙහි වටිනා කම පහත වැටෙන්නේ ය. එහෙයින් අද හෙට ම මොහු මරා දැමිය යුතු ය. නැත, අත් පා හෝ කපා දැමිය යුතු ය. ඇස් හෝ උදුරා දැමිය යුතු ය. එවිට මොහුට අන් පහයක් කරන්නට නො පිළිවනැ” යි සිතා තම යහළු වූ සඤ්ජිකා පුත්‍රයාහට ඒ බව කී ය. ඔහු එයින් තැති ගෙණ “මේ රටේ ඉන්නා දක්‍ෂ වඩුවා මෙ තෙමේ ය. කුමාරයා මොහු මරවනු ඒකාන්ත බව පෙණේ, මොහු මැරිම රටට බලවත් පාඩුවෙකි. මා දැන දැන මොහු මරන්නට ඉඩ තැබීම නො සුදුසු ය. මොහු මරණයෙන් ගැළවිය යුතු ය” යි සිතා වඩුවා වෙත ගියේ ය. ගොස් “පහයේ වැඩ අවසානදැ” යි ඇසී ය. “අවසානය” යි වඩුවා කී ය. එවිට සඤ්ජික තෙමේ “තමුසේ මරවන්නට කුමාරයාගේ අදහසක් තිබේ. එයින් ගැලවී ගන්නා සැටියක් සිතා ගන්නැ” යි දැන් වී ය. වඩු නෙමේ “මෙය මට දැන්වීමෙන් මහත්මයා කළේ ලොකු උපකාරයෙක්, වේවා, මේ ගැණ කරණ සැටි මම දනිමි” යි නිහඩ විය. 

එක් දවසක් කුමාර තෙමේ වඩුවා වෙත ගොස් “පහයෙහි වැඩ අවසාන දැ” යි ඇසී ය. එවිට “දේවයන් වහන්ස! වැඩ අවසන් නැත. කළ හරියට වඩා කරන්නට ඉතිරි හරිය බොහෝ ය” යි කී ය. “ඉතිරි වැඩ මානවාද?” යි ඇසූ විට “දේවයන් වහන්ස, සොයා බලා කියන්නම්, තව ලී කොටස් කිහිපයක් වුවමනා ය. ඒවා ගෙන්වා දෙන්න” යි වඩුවා දන්වා සිටියේ ය. “වුවමනා ලී කොටන් මොනවා දැ?” යි කුමරු ඇසූවිට “වඩා වටිනා හර ඇති ලී දැන් වුවමනා නැත. දැනට වුවමනා කරන්නේ අරටු නැති සැහැල්ලු ලී” යි කී විට ඔහු ඒවා ගෙන්වා දුන්නේ ය. ඉක්බිති වඩුවා “දේවයන් වහන්ස! මින් පසු ඔබ වහන්සේ මෙහි නො ආ යුතු ය. කරනට ඉතිරිව ඇත්තේ ඉතා සියුම් කැටයම් ය. ඒවා කතා කර කර කළ හැකි නො වේ. කා වත් බලා සිටිය දී ඒ කරණු අපහසු ය, හිත එක් තැන් කොට ගෙණ ඒ කළ යුතු ය. එන්නට ඉඩ දිය යුත්තේ කෑම ටික ගෙණ එන අපේ පවුලට පමණ ය. එහෙයින් වැඩ අවසන් කොට මා දන්වන තුරු වැඩපලට යාපත් නො වනු මැනවැ” යි කී ය. කුමරු ද එය පිළිගත්තේය. 

ඉක්බිති වඩු තෙමේ මඩුවෙහි ම කාමරයකට වැද ලී ශුද්ධ කොට කපා කොටා අඹු දරුවන් ද ඇතුළත හිඳුවා ගෙණ යා හැකි තරමේ අහස්යානයක් සාදා නිම කොට කෑම ගෙණ ආ අඹුට “ගෙයි ඇති විකිණිය හැකි සියලු බඩු මුට්ටු විකුණා දමා, රන් රිදී මුතු මැණික් තිබෙන හරියකුත් ගෙණ එව” යි කීයේ ය. රජකුමරුද වඩුවා ගෙයින් එලියට නො බනා බැවින් ගෙය වට කොට රැකවල් තැබුයේ ය. වඩුවා යන්ත්‍රයේ සියලු වැඩ අවසන් කොට දූ පුතුන් සමග අඹු ගෙන්වා ගෙණ උදය කා බී අඹුදරුවන් අහස් යානයට නංවා ජනෙල් කවුළුවකින් එලියට බැස අහසට නැග ගියේ ය. 

“දෙවයන් වහන්ස, අන්න, අන්න, වඩුරාළ පැන යා” යි බොහෝ දෙන කෑ කෝ ගසමින් උඩ බලා සිටිය දී ම වඩු තම් අහසින් ගොස් හිමාලය වනයෙහි බැස, නුවරක් ඉදි කොට එහි රජ විය. හේ කාෂ්ටවාහන නම් වූයේ ය. බෝධිරාජ කුමාර තෙමේ ගෙ වැදීමේ මඞ්ගල්‍යය සඳහා ය බුදුරජුන් ආරාධනා කොට, පහය සිවුදෑ ගඳින් පිරිබඩ කොට, පළමු එලිපත සිට රෙදි පාවාඩ ඇතිර වූයේ ය. කුමරුට පුත්තු නැත. එහෙයින් ඔහු “මට පුතෙක් හෝ දුවක් ලැබේ නම්, බුදුරජානන් වහන්සේ මේ පාවාඩා උඩින් වඩිනා සේකැ” යි සිතමින් හුන්නේය. කුමරු බුදුරජානන් වහන්සේ ගෙට වැඩි කල්හි දණ බිම ඔබා වැඳපාත්‍රය ගෙණ “ස්වමින් වහන්සේ ගෙට වඩිනා සේක්වා” යි ආරාධනා කෙළේ ය. එහෙත් උන්වහන්සේ ගෙට නො වැඩි සේක. නැවතත් ආරාධනා කළේ ය. එ වේලෙහි උන්වහන්සේ අනඳ තෙරුන් දෙස බැලූහ. අනඳ තෙරණුවෝ බුදුරජුන් තමන් දෙස බැලූ බැල්මෙන් පාවාඩ උඩින් නො වඩිනා බව දැන “පාවාඩ හකුළා දමන්න, බුදුරජානන් වහන්සේ පාවාඩ උඩින් නොවඩිනා සේක, උන්වහන්සේ පශ්චිම ජනතාව ගැණ බලන සේක. එහෙයින් පාවඩ හකුළා දමන්නැ” යි කීහ. 

රජකුමරු ද පාවාඩ හකුළුවා බුදුරජුන් ගෙට වැඩම කරවා වඩා හිඳුවා කැඳ අවුලුපතින් සතප්පා පසෙකට වී හිඳ වඳිමින් “මම බුදුරජානන් වහන්සේගේ දායකයෙක් වෙමි. තෙ වරක් ම සරණ ගිය උපාසකයෙක්මි. එක් වරක් සරණ ගියෙම් මව්කුසේ දී ය. දෙවන වර සරණ ගියෙම් ගැටවරකාලයේ ය. තෙවන වර සරණ ගියෙම් නුවණැති කාලයේ ය. එසේ වූ මා විසින් ඇතිර වූ පාවාඩ උඩින් බුදුරජානන් වහන්සේ නො වැඩි සේක. කුමක් නිසා බුදුරජානන් වහන්සේ එසේ කළ සේක් දැ” යි ඇසී ය. එකල්හි උන්වහන්සේ “කුමාරය! ඔබ කුමක් සිතා පාවාඩ ඇතිර වූ වහු දැ?” යි ඇසූහ. “ස්වාමීනි! මම පාවාඩ ඇතිර වූ යෙම් මට පුතෙක් හෝ දුවක් ලැබේ නම් බුදුරජානන් වහන්සේ පාවාඩ උඩින් වඩිනු ඇතැයි සිතා යි” කී විට “කුමාරය! මම ඒ නිසා ම පාවාඩ නො පා ගන්නට අදහස් කළෙමි” යි උන්වහන්සේ වදාළ සේක. “ස්වාමීනි! කිම, මම පුතකු හෝ දුවක නො ලබම් ද? මට ඒ පිණිස වාසනාවක් නො වේ දැ යි?” ඇසී ය. “ඔව්, ඔබට ඒ පිණිස වාසනාවක් නැත, පුතෙක් හෝ දුවක් නො ලැබේ යි වදාළ විට “කුමක් නිසා එසේ නො ලැබේ දැ?” යි ඇසී ය. ඔබ එක් ජාතියක දී අඹුව හා එක් ව මහා අපරාධයක් කළහු ය. ඒ අපරාධය නිසා” යි වදාළ කල්හි “ස්වාමීනි! එය වදාරණු මැනවැ” යි ආරාධනා කළේ ය. 

ඉක්බිති බුදුරජානන් වහන්සේ “කුමාරය! පෙර එක් ජාතියක සිය ගණනක් මිනිස්සු ලොකු නැවකින් මුදු ගියහ. නැව මූද මැද දී බිඳී ගියාය. එකල්හි ඔබ දෙ මහල්ලෝ පුවරුකඩක එල්ලී ගොඩබිමකට පැමිණියහු ය. නැවෙහි සිටි අන් හැම දෙන දියෙහි ගැලී නටහ. දෙ මහල්ලන් ගොඩ බට බිම, කුරුල්ලන්ගේ වාසභූමියක් වූ ය. එහි කුරුල්ලෝ අතුරු සිදුරු හා නැති ව හුන්හ. ඒ වේලෙහි ඔබ දෙපොල බඩසයින් පළුවෝ කන්නට දෙයක් නො ලැබ කුරුලු බිත්තර ගෙණවුත් ගිනි අඟුරුවල ලා තබා කෑහ. කුරුලු පැටවුන් අල්ලා තම්බා කෑහ. ලොකු කුඩා කුරුල්ලන් තම්බා කෑහ. එක් අවස්ථාවකවත් ඔබ දෙ පොලට සංවේගයක් භයෙක් නො උපනැ” යි පෙර කළ ඒ අපරාධය ප්‍රකාශ කොට, “කුමාරය! ඔබ එදා බිරිද හා සමග සිහි නුවණින් ක්‍රියා කළහු නම්, තුන් වයසින් එක් වයසක දී ඔබට පුතකු හෝ දුවක ලැබෙන්නට ඉඩ තුබුනේ ය. ඔබ දෙපොල අතුරෙන් එකෙක් වත් එසේ වී නම් ඔහු නිසා වත් පුතකු හෝ දුවක ලැබීමට හැකියාවක් නො වන්නේ නො වේ. කුමාරය! තමාට තමා ප්‍රියයෙක් වේ නම්, තමාට තමා හිත වැඩ පතා නම් ඔවුන් විසින් තුන් වයසේ දී ම තෙමේ රැකිය යුතු ය. එසේ නො හැකි වී නම්, තුන් වයසින් එක් වයසක දී නමුත් තෙමේ රැකිය යුතු ය” යි මේ ධර්‍මදේශනාව කළ සේක. 

අත්තානඤ්චෙ පියං ජඤ්ඤා රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං, 

තිණ්ණමඤ්ඤතරං යාමං පටිජග්ගෙය්‍ය පණ්ඩිතොති. 

ඉදින් තමා (තමාට) ප්‍රිය යි දන්නේ නම්, ඒ තමා සුරක්‍ෂිත කොට රකින්න්නේ ය. නුවණැති පුරුෂ තෙමේ තුන්වයසින් එක් වයසකදී තමන් රකින්නේ ය. 

අත්තානං චෙ පියං ජඤ්ඤා = ඉදින් තමා ප්‍රිය යි දන්නේ නම්. 

අත්තා යි පංචස්කන්‍ධයට නමෙකි. හේ ස්ථිරපදාර්‍ත්‍ථයෙක් නො වේ. නො නැසෙනසුලු පදාර්‍ත්‍ථයෙක් නො වේ. ලැබිය හැකි පදාර්‍ත්‍ථයක් නො වේ. එහෙයින් “රූපං අනත්තා, වේදනා අනත්තා, සඤ්ඤා අනතතා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා” යි වදාළ සේක. 

අත්තා යනු ස්ථිර නම්, නො නැසෙන සුලු නම්, ලැබිය හැකි නම්, “රූපං ව හිදං භික්ඛවෙ! අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධාය සංවත්තෙය්‍ය”යනු කා වදාරණ සේක. “මහණෙනි! මේ රූපය ආත්ම වී නම්, තමා යි ගත යුතු පදාර්‍ත්‍ථයක් ඇත්තේ වී නම්, මේ රූපය ආබාධ පිණිස නො පවත්නේ ය” යනු අරුත් ය. සෙසු ස්කන්‍ධයන් ගැණ කිය යුත්තේ ද මෙසේ ය. 

රූපාදීකස්න්‍ධයන් කෙරෙහි “උපන් ස්කන්‍ධයෝ, සිටීමට පැවැත්මට නො පැමිණෙත්වා, සිටීමට පැමිණියෝ නො දිරත්වා, දිරීමට පැමිණියෝ නො බිඳෙත් වා, හට ගැණීමෙන් නැසී යෑමෙන් නො පෙළෙත්වා” යනාදීන් දෙව් බඹ මිනිස් ඈ කිසිවකුගේ වශීහාවයෙක් නැත්තේ ය. රූපාදි ස්කන්‍ධයෝ, දෙව් බඹ මිනිස් ඈ කිසිවකුගේ ඊශ්වරත්වය. පිළිගන්නෝ නො වෙති. අධිපතිභාවයට යටත් වූවෝ නො වෙති. ස්කන්‍ධයන් කෙරෙහි කරන්නා ය, විඳින්නා ය, අධිෂ්ඨායකයා ය යනාදී වූ මොවුන්ගේ පැවැත්මෙක් නැත්තේ ය. එහෙයින් රූපාදීස්කන්‍ධයන් කෙරෙහි වූ ආත්ම ව්‍යවහාරය ඇති සැටි ගෙණ ඇණවුනෙක් නො වේ. පංචස්කන්‍ධයෙහි භවයෙන් භවයට අතර නො තබා යන සුවදුක් අනුභව කිරීමෙහි අධිපති කම් කරණ ආත්මයෙක් තමා යි ගැණෙන්නෙක් ඇතැ යි ගෙණ පැණවූනෙක් නො වේ. සාමාන්‍ය ලෝකව්‍යවහාරය අනුව ගොස් ලෝකයාගේ අවබෝධයට පහසු වනු පිණිස පැණවුනෙක් වේ. එහෙයින් පංචස්කන්‍ධයෙහි භවයක් පාසා දිගින් දිගට අත්වැල් බැඳ යන ආත්මයක්, තමා යන්නෙක් ස්ථිර පදාර්‍ත්‍ථයක් ඇතැ යි නො ගත්තෝ ය. 

මෙහි චක්‍ෂුරාදි ඉන්‍ද්‍රිය ධර්‍මයන් හා රූපාදි ආලම්බනයන්ගේ ගැටීම් හැපීම් හේතුවෙන් උපදනා චිත්තරාශියක් හා, ඒ හා එකට ඉපිද නස්නා දෙපණස් චෛතසික ධර්‍ම කෙනෙක් ද කම්මප්පච්වය - ආරම්මණප්පච්චය - සහජාතප්පච්චය යනාදී වූ ප්‍රත්‍යධර්‍මයන්ගේ ආනුභාවයෙන් බලයෙන් ඉපිද නස්නෝ වෙති. ක්‍ෂණයක් පාසා ඉපද නැසී යන සුලු චිත්ත චෛතසික ධර්‍ම හැර, අන් කිසි ස්ථිර ආත්මයෙක් තමා යන්නෙක් මෙහි නැත. ඇත්තේ හේතුඵල පරම්පරා සම්බන්‍ධයෙකි. මේ තැන ඉතා සියුම් ය. තේරුම් ගැණීම පහසු නො වේ. එහෙයින් ලෝකය නානා තරාතිරමේ ආත්මවාද ඉපද වූයේ ය. දිගින් දිගට පවත්නා ආත්මයක් ඇතැ යි ගත්තේ ය. 

අතීත ජාතියෙහි කරණ ලද කුශලාකුශලාදි කර්‍මයන්ගේ බලයෙන් පහළ වූ ස්කන්‍ධායතන ධාතූහු එහිදී ම නිරුද්ධ වී යන්නාහ. ඒ අතීත කර්‍මයන්ගේ හේතුවෙන් ම මේ අත්බවේ දී අන්‍ය වූ ම ස්කන්‍ධායතන ධාතුහු පහළ වෙත්. අතීත භවයෙන් මේ භවයට ආවා වූ එක ම ධර්‍මයෙක් නැත්තේ ය. මේ අත්බවේ දී කර්‍මයන්ගේ හේතුවෙන් උපන් ස්කන්‍ධාදීහු මෙහි ම නිරුද්ධ වෙති. පුනර්‍භවයෙහි අන්‍ය වූ ම ස්කන්‍ධාදීහු හට ගන්නාහු ය. මේ වර්‍තමාන භවයෙන් පුනර්‍භවයට එක් ධර්‍මයකුත් නො යන්නේ ය. 

ගුරුවරයා සිය මුවින් කරණ හැදෑරීම අතැවැසියාගේ මුව තුළට නො ද වදියි. එහෙත් ඒ හේතුවෙන් අතවැසියාගේ මුවෙහි හැදෑරීම නො පවත්නේ ද නො වේ. දූතයා විසින් පානය කරණ ලද මැතුරූ දිය රෝගියාගේ කුස තුළට නො ද පිවිසෙයි. එහෙත් ඒ හේතුවෙන් රෝගීහුගේ රෝගය නො සන්සිඳෙන්නේ ද නො වේ. මුහුණෙහි කරණ රැවුලු කැපීම් ඈ ලීලා විලාස සැරසිලි මූණ බලන කන්නාඩි ආදියෙහි පැමිණෙන වැටෙන මුව පිළිබිඹුවෙහි නො වදි යි. නොවැටෙයි. එහෙත් ඒ හේතුවෙන් ඒ මුව පිළිබිඹුවෙහි රැවුල කැපීම් ඈ ලීලා විලාස සැරසිලි නො පෙනෙනුයේ ද නො වේ. එක් පහන් වැටියෙක දැල්වෙන පහන් සිළක් අන් පහන් වැටියකට නො ය යි. එහෙත් ඒ හේතුවෙන් එහි පහන් සිළක් නො දැල්වෙන්නේ ද නො වේ. 

එ පරිද්දෙන් ම අතීතභවයෙන් මේ භවයට, මේ භවයෙන් පුනර්‍භවයට, කිසි ස්කන්‍ධයෙක් නො යන්නේ ය. අතීතභවයෙහි ස්කන්‍ධායතන ධාතුන්ගේ හේතුවෙන් මෙහි ද, මෙහි වූ ස්කන්‍ධායතන ධාතුන්ගේ හේතුවෙන් පුනර්‍භවයෙහි ද ස්කන්‍ධායතනධාතූහු නො උපදිත්. මේ මෙහි පාලිය. “යෙ අතීතෙ කම්මපච්චයා නිබ්බත්තා. ඛන්‍ධා තෙ තත්‍ථෙව නිරුද්ධා, අතීනකම්මපච්චයා පන ඉමස්මිං භවෙ අඤ්ඤෙ ඛන්‍ධා නිබ්බත්තා, අතීතභවතො ඉමං භවං ආගතො එකධම්මොපි නත්‍ථි. ඉමස්මිං භවෙ කම්මපච්චයෙන නිබ්බතා ඛන්‍ධා නිරුජ්ඣිස්සන්ති පුනබ්භවෙ අඤ්ඤෙ නිබ්බත්තිස්සත්ති. ඉම්මහා භවා පුනබ්භවං එකධම්මොපි න ගමිස්සති. අපි ච ඛො යථා ආචරියමුඛතො සජ්ඣායො අන්තේවාසිකස්ස මුඛං පවිසති, න ච තප්පච්චයා තස්ස මුඛෙ සජ්ඣායො න වත්තති. න දූතෙන මන්තොදකං පීතං රොගිනො උදර පවිසති. න ච තස්ස තප්පච්චයා රොගො න වූපසම්මකි, න මුඛෙ මණ්ඩනවිධානං ආදාස තලාදීසු මුබනිමිත්තං ගච්ඡති. න ච තත්‍ථ තප්පච්චයා මණ්ඩනවිධානං න පඤ්ඤායති. න එකිස්සා වට්ටියා දීපසිඛා අඤ්ඤං වට්ටි සඞ්කමති, න ච තප්පච්චයා දීපසිඛා න නිබ්බන්තති. එවමෙව න අතීතභවතො ඉමං භවං, ඉතො වා පුනබ්භවං කොචි ධම්මො සඞ්කමති. න ච අතීත භවෙ ඛන්‍ධායතනධාතුප්පච්චයා ඉධ, ඉධ වා ඛන්‍ධායතනධාතුපච්චයා පුනබ්භවෙ ඛන්‍ධායතනධාතුයො න නිබ්බත්තන්ති” යනු. 

අතීත හේතූන් හා වර්‍තමාන ඵලධර්‍මයන් ගේ ද වර්‍තමාන හේතුන් හා අනාගත ඵලධර්‍මයන්ගේ ද සම්බන්‍ධය දිගින් දිගට හේතුඵල වශයෙන් පැවැත්ම නුවණමදයන්ට පෙනෙනුයේ දිගින් දිගට භවයෙන් භවයට යන ස්ථිර වු අවිනශ්වර වූ ආත්මයක් සේය. එහෙයින් ඔවුහු “ස්ථිර ආත්මයෙක් නො වේ නම්, බුදුවන්නකු ඇති විය නො හැකි ය. පව් කොට අපායෙහි උපදින්නකු නො විය හැකි ය. පින් කාට සුගතියෙහි උපදින්නකු නො විය හැකි ය. එහෙයින් ආත්මයෙක් ඇත්තේ ය” යනා දී වූ මිථ්‍යාවාද උපදවා ලෝකය අපායයෙහි හෙලති. 

“භවයෙන් භවයට යන ආත්මයෙක් පුද්ගලයෙක් වේ දැ?” යි ඇසූ විට බුදුරජානන් වහන්සේ වදාළෝ කර්‍මශක්තිය මුත් ආත්මයක් නැති බව ය. ඒ කර්‍මශක්තිය ද නිත්‍ය නො වේ. ඒ ද වෙනස් වන සුලු ය. එහෙයින් ඒ ද ආත්මයෙක් නො වේ. අතීත හේතුන්ගේ හා වර්‍තමාන ඵලයන්ගේ වර්‍තමාන හේතුන්ගේ හා අනාගත ඵලයන්ගේ පරම්පරා සම්බන්‍ධය කොතරම් දුරට හැනී පවතී ද යනු. “න ච සො න ච අඤ්ඤො” යනාදි දේශනාවන්ගෙන් පැහැදිලි වේ. වර්‍තමාන සත්ත්‍වයා අතීත සත්ත්‍වයා නො වන බැවින් හා අනාගත සත්ත්‍වයා අතීත සත්ත්‍වයා නො වන බැවින් හා අනාගත සත්ත්‍වයා වර්‍තමාන හේතුන්ගේ ඵලය බැවින් හා “න ච සො න ච අඤ්ඤො” යනු වදාළ සේක. ඒ මුත් එක් සත්ත්‍වයකු දිගට යන බව නො වදාළ සේක. වර්‍තමාන සත්ත්‍වයා අතීත සත්ත්‍වයා නො වන බව ද කර්‍මයෙන් හටගත් ඵලය කෙරෙහි (සත්ත්‍වයා කෙරෙහි) ඒක වේගය නිසාම නොයෙක් උස්මිටිකම් පෙරපුරුද්ද ඇතිවන බව ද වදාළ සේක. ඒ මුත් ස්ථිර ආත්මයෙක් ඇතැයි ගෙණ ආත්මදේශනාව නො කළ සේක. 

“කම්මා විපාකා වත්තන්ති විපාකො කම්මසම්භවො, 

තස්මා පුනබ්භවො හොති එවං ලොකො පවත්තති” 

කර්‍මය නිසා විපාකයෝ පවතිත්. විපාකය කර්‍මයෙන් හට ගත්තේ ය. එහෙයින් නැවත භවය වේ. ලෝකයෙහි පැවැත්ම මෙසේ ය. දිගට යන ආත්මයෙක් නැත්තේ ය. 

“කම්මස්ස කාරකො නත්‍ථි විපාකස්ස ච වෙදකො, 

සුද්ධධම්මා පවත්තන්ති එවෙතං සම්මදස්සනං” 

කර්‍මය කරන්නෙක් නැත. එසේ ම විපාකය විඳින්නෙක් නැත. ශුද්ධ වූ ප්‍රත්‍යයප්‍රත්‍යයුත්පන්න ධර්‍මයෝ ම පවත්නාහ. මේ වනාහි තත්ව දර්‍ශනය යි. ස්ථිර වූ ආමයෙක් ඇතැ යි ගැණු ම මිථ්‍යාග්‍රහණයෙක් වේ. 

කරුණු මෙසේ බැවින් බුදුරජානන් වහන්සේ ආත්මයක් ගෙණ කිසි දේශනාවක් නො කළ සේක. 

බුද්ධදේශනා තොමෝ සම්මුතිදේශනා - පරමාර්‍ත්‍ථදේශනා යි ද වැදෑරුම් ය. එහි ලෝකව්‍යවහාරය නො ඉක්මවා ලෝවැස්සා විසින් ඒ ඒ පදාර්‍ත්‍ථවිෂයයෙහි පණවා ගත් ව්‍යවහාරය බැහැර නො කොට කරණ දේශනාව සම්මුතිදේශනා නම්. රූපාදී ස්කන්‍ධයන් කෙරෙහි සත්ත්‍ව පුද්ගල ස්ත්‍රී පුරුෂ ආත්මාදී ව්‍යාවහාරයෝ ලෝකයා විසින් පණවාගන්නා ලද්දෝ ය. ලෝවැස්සාට පහසුවෙන් වැටහෙනු පිණිස බුදුවරයෝ ඒ ව්‍යවහාරයන් ගෙණ ධර්‍මදේශනා කරති. 

සම්මුතිය නිතර වෙනස් වන සුලු ය. පෙරළෙන සුලු ය. පඨවී ආදී වූ ශුද්ධාෂ්ටකරූපයකින් කැරුණු එකකට ලෝකයා විසින් ස්වර්‍ණ යි පැණවුමෙක් කැරුණේ ය. . ස්වර්‍ණ යනු පැණවුමෙකි. එයින් කරණ ඔටුන්න රන් ඔටුන්න යි ද, එය බිඳ හැර නැවත එයින් ම නිපද වන කඩුව, රන් කඩුව යි ද, එය බිඳ නැවත එයින් ම තනන කරඬුව රන් කරඬුව යි ද, යි මෙසේ එක ම ද්‍රව්‍යය නන් වැදෑරුම් සම්මුතීන්ට පෙරළින එය බිඳ එයින් අන් කුමක් කරණ ලද්දේ ද, ඒ හැම ලෝකසම්මුතිය අනුව වෙනස් වේ. 

නො පෙරළෙන නො වෙනස් වන ඇති තතු ගෙණ කරණ දේශනාව පරමාර්‍ත්‍ථ දේශනා නම්. සත්ත්‍ව පුද්ගල ස්ත්‍රී පුරුෂ ආත්මාදී ව්‍යවහාර හැර දමා මේ ව්‍යවහාරයන්ගෙන් හඳුන්වන ස්කන්‍ධ ධාතු ආයතනාදී වූ තත්වාර්‍ත්‍ථ දක්වත කතා ය පරමාර්‍ත්‍ථ දේශනා. බුදුරජුනට විෂය වනුයේ ද මේ ස්කන්‍ධ ධාතු ආයතනාදී අර්‍ත්‍ථය ම ය. එයිනුදු ස්කන්‍ධාදී වූ අර්‍ත්‍ථය පරමාර්‍ත්‍ථය නම් වේ. බුදුවරයෝ දහම් තතු ඉගැන්වීම සඳහා පරමාර්‍ත්‍ථ දේශනාව යොදා ගනිත්. 

තව ද සම්මුතිය හැර ඇතැම්, කෙනකුන්ට පරමාර්‍ත්‍ථය ඉගැන්වීම අපහසු ය. එහෙයින් ලෝකසම්මුතිය නො හැර දහම් දෙසූ සේක. 

“පඤ්ඤත්ති අනතික්කම පරමත්‍ථො පකාසිතො, 

සමඤ්ඤං නාතිධාවෙය්‍ය තස්මා අඤ්ඤොපි පණ්ඩිතො, 

පරමත්‍ථං පකාසෙන්තො සමඤ්ඤං නාතිධාවයෙ” 

යි අටුවාව කී ය. කරුණු අටක් නිසා මෙසේ දේශනා කරත්. හිරි ඔතප් දැක්වීම, කර්‍මය තමන් අයත්බව දැක්වීම, පුද්ගලයන් පිළිබඳ ඒ ඒ ක්‍රියා දැක්වීම, ආනන්තර්‍ය්‍යයකර්‍ම දැක්වීම, බ්‍රහ්මවිහරණ දැක්වීම, පූර්‍වෙනිවාසය දැක්වීම, දක්‍ෂිණාවිශුද්ධිය දැක්වීම, ලෝකසම්මුතිය නො හැරීම යන මේ ය ඒ කරුණු අට. 

පරමාර්‍ත්‍ථ නම්, වෙනස් වනුයේ නො වේ. වෙනස් කරණු ද නො හැකි ය. ස්වර්‍ණ යන සම්මුතියෙහි පරමාර්‍ත්‍ථයක් තිබේ. ඒ නම්, පෘථිවි - ආපස් - තේජස් - වායු - වර්‍ණ - ගන්‍ධ - රස - ඔජස් යන ශුද්ධාෂ්ටකරූපය යි. මෙය හැම ද්‍රව්‍යයෙකම ඇත්තේ ය. ඒ ඒ ද්‍රව්‍ය කෙරෙහි ලෝකයා විසින් පැණ වෙන සම්මුතිය වරින් වර වෙනස් වන්නේ ය. ශුද්ධාෂ්ටකරූපය වෙනස් නො වේ. 

සත්ත්‍ව පුද්ගල ස්ත්‍රී පුරුෂ ආත්මාදී විවිධ ප්‍රඥප්තීන්ට තැන්වනුයේ චිත්ත චෛතසිකධර්‍ම හා හැනුනු ඒ මේ ශුද්ධාෂ්ටකරූපය ම වේ. 

ඒ මුත් පරමාර්‍ත්‍ථ විසින් අනෙක් රිදීයෙක් ලෝහයෙක් තඹයෙක් මැටියක් කැටයෙක් දඬුවෙක් සත්ත්‍වයෙක් පුද්ගලයෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් ආත්මයෙක් විඳින්නෙක් කරන්නෙක් නැත්තේ ය. ලෝකයාගේ ස්වර්‍ණ රජතාදී වූ විවිධ ප්‍රඥප්තින්ට යටත් වූ මේ ශුද්ධාෂ්ටකරුපය උස් පහත් ව පෙණෙන්නේ ය ස්වර්‍ණය රජතයට වඩා උසස් ය රජතය ස්වර්‍ණයට වඩා පහත් ය. මිනිසා තිරිසනාට වඩා උසස් ය. තිරිසනා මිනිසාට වඩා පහත් ය. බ්‍රහ්මයා දෙවියාට වඩාත් උසස් ය. දෙවියා බ්‍රහ්මයාට වඩා පහත් ය. එහෙයින් මෙහි පෙණෙන වෙනස් බව නාමධාතුන් හා එක් වූ ශුද්ධාෂ්ටකරූපය පිළිබඳ උස් පහත් බවය. මේ හැම තැන ශුද්ධාෂ්ටක රූපයාගේ නම් වෙනසෙක් නැත්තේ ය. 

දහම් තතු මෙසේ බැවින් බුදුරජානන් වහන්සේ සත්ත්‍වපුද්ගලාදීන් කෙරෙහි පරමාර්‍ත්‍ථ විසින් ආත්මව්‍යාවහාරයක් නො කළ සේක. කළ සේක් ලෝකාව්‍යවහාරය නො ඉක්මවීම ය. උන්වහන්සේ පරමාර්‍ත්‍ථ විසින් ආත්ම නම්, පංචස්කන්‍ධය යි වදාළ සේක ආත්ම යනු සත්ත්‍වපුද්ගලාදීන් කෙරෙහි ලෝකයා උපදවා ගත් ව්‍යවහාරය වූ බැවින් ඔවුන්ගේ සුඛාවබෝධය සලකා ම සත්ත්‍ව ශරීරයෙහි ආත්ම ව්‍යවහාරය කළ සේක. සත්ත්‍වයා පිළිබඳ භයවක් පාසා දිගින් දිගට යන ස්ථිර ආත්මයෙක් ඇතැ යි නො ද පිළිගත් සේක. 

‘අත්තා හි කිරදුද්දමො’ යනාදී තැන්හි සිතෙහි, ‘අත්තනො ආසනෙයෙව අත්තානං’ යනාදී තැන්හි කයෙහි එන අත්ත ශබ්දය මෙහි ආයේ සිතෙහි ය. අත්ත (ආත්මන්) ශබ්දය යන්න, ඍති - බුද්ධී -ස්වභාව - බ්‍රහ්ම - දෙහ යන අරුත්හි ඒය යි අමර කෝෂයෙහි ද, මනස් යන අරුත්හි ඒ ය යි මේදිනී කෝෂයෙහි ද, පුත්‍ර අරුත්හි ඒ ය යි ශබ්දරත්නාවලියෙහි ද, ජීව අර්‍කහුතාශන යන අරුත්හි ඒ ය යි හේමචන්‍ද්‍ර කෝෂයෙහි ද කියන ලද්දේ ය. 

රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං = එය හොඳින් රකින්නේ ය. රැකිය යුතුය. 

නං යනු ‘අත්තානං’ යනු සඳහා යෙදුනේ ය. එහෙයින් ‘නං’ යන්නෙන් කියවෙනුයේ ආත්මය යි. සිත යි. ආත්මය තමාට ප්‍රිය වේ ය යි යමෙක් සලකන්නේ නම්, දන්නේ නම්, ඔහු ඒ තමන් ආත්මය යි ගන්නා ලද්ද, මැනවින් ඉතා හොඳින් රකින්නේ ය. නො ද එසේ නම්, ආත්මය ප්‍රිය යි ගැනීමෙන් සැලකීමෙන් වැඩක් නො වන්නේ ය. 

තිණ්ණං අඤ්ඤතරං යාමං = යාම තුනින් එක්තරා යාමයෙක. 

බුදුරජානන් වහන්සේ තමන් ධර්‍මෙශ්වර බැවින්, ධර්‍මදේශනයෙහි දක්ෂ බැවින් තුන් වයසින් එක්තරා වයසක් මෙහි යාම යි දැක්වු සේක. 

මිනිස් වයස ප්‍රථම මධ්‍යම - පශ්චිම යි තුන් කොටසක් කොට බෙදුනේ ය. ඉන් එක් කොටසක් යාම යි දැක්වින. දවසෙහි සයෙන් කොටසෙක් හෝ අටෙන් කොටසෙක් යාම යි කියනු ලැබේ. පහාර යි මෙයට තවත් නමෙකි. ‘පහාරා යාමසඤ්ඤිතො’ යනු කෝෂයි. මනුෂ්‍යයකු මනුෂ්‍යයන් අතර සම්පූර්‍ණයෙන් ජීවත් විය යුතු කාලය ඒ ඒ කාලයන්හි මිනිසුන් අතර පහළ වන සුචරිත දුශ්චරිත අනුව එක්සිය විස්සෙක, එක්සිය දසයෙක, අනූවෙක, අසූවෙක, සැත්තෑවක, සැටෙක, යන ඈ ලෙසින් සාමාන්‍ය විසින් සම්මත ව ඇත්තේ ය. ඒ සම්මතය අනුව අද ජීවත් වන මිනිසකුගේ ජීවත්වීමේ කාලය බොහෝ සෙයින් සැට අවුරුද්දකින් හෝ සැත්තෑ අවුරුද්දෙකින් සීමිත කළ හැකි ය. ආදිකල්පික මනුෂ්‍යයන්ගේ ආයු කාලය අතිදීර්‍ඝ වූයේ ය. ඇතැම් කෙනක් කල්ප ගණනක් ජීවත් වූහ. එ දවස ඔවුන් අතර දුර්ගුණයෝ නො වූහ. ඔවුන් දීර්‍ඝායුස්කයන් වීමේ හේතුව ඒ ය. 

සැට අවුරුද්දෙකින් සීමින මනුෂ්‍යයායුෂයෙහි මුල් විසි අවුරුද්ද ප්‍රථම වයස කොට, මැද විසි අවුරුද්ද මද්ධ්‍යමවයස කොට, පැසුළු විසි අවුරුද්ද පශ්චිමවයස කොට ගැණෙන්නේ ය. ප්‍රථමවයසෙහි ඇතුළත් මුල් විසි අවුරුද්ද ප්‍රථමයාමය වේ. මද්ධමවයසෙහි ඇතුළත් මැද විසි අවුරුද්ද මද්ධ්‍යම යාමය වේ. පශ්චිමවයසෙහි ඇතුළත් පැසුළු විසි අවුරුද්ද පශ්චිම යාමය වේ. මේ කියූ තුන් යාමයෙහි ම ආත්මය තමාට ප්‍රිය යි සලකන්නහු විසින් ඒ රැක ගත යුතු ය. යමකුට යම් ලෙසකින් දෙ යාමයෙක්හි ම ආත්මය රැක ගැණීමට අවස්ථා නො වූ නම් එක් යාමයෙක්හිවත් ඔහු විසින්, ආත්මය රැක ගත යුතු ය. තුන් යාමයෙන් එක් යාමයෙක දී වත් ආත්මය රැක ගත යුතු ය යනු, එක් යාමයක් ම ආත්මාරක්‍ෂාවට වෙන් කරණු සඳහා වදාරණ ලද්දේ නො වේ. තුන් යම ම හෙවත් තුන් වයස ම එයට සුදුසු වේ. මෙසේ වදාළෝ මුල් මැදියම් දෙකෙහි අන් කටයුතු නිසා ආත්ම රක්‍ෂාවක් කර ගැණීමෙහි ඉඩ පහසුකම් නො වූයේ නම්, පැසුළු යම්හි ඒ කරගත යුතු ම ය යනු ගන්වනු සඳහා ය. 

පටිජග්ගෙය්‍ය පණ්ඩිතො = නුවණැත්තේ රකින්නේ ය. 

කුමක් රකින්නේ ද යත්, ආත්මය රකින්නේ ය. ගිහියෙක් “තමා රක්නෙමි” යි පහයෙක උඩු මහල්තලයෙහි හොඳට වැසූ දොර කවුළු ඇති කාමරයකට වැද සම්පූර්‍ණ ආරක්‍ෂා ඇති ව වසන්නේ ද, පැවිද්දෙක් මනා සේ වැසූ දොර කවුළු ඇති ලෙනක වසන්නේ ද තමා නො රකීම ය. දොර අගුල් ලා රැකවල් ඇති ව සිටිය ද ගිහියාත් නො රැකෙන්නේ ය. පැවිද්දාත් නො රැකෙන්නේ ය. ශක්ති වූ පරිදි දන් සිල් ඈ පින්කම් කරණ ගිහියාත්, වත්පිළිවෙත් කරණ බණ දහම් ඉගෙන කමටහන් වඩන දවස නො හැර වත් පිරිත් දෙසන පැවිද්දාත් තමා රක්නේ නම් වේ. 

තුන් වයසෙහි ම තමන් නො රැකියහැකි වුවත්, නුවණැති පුරුෂ තෙමේ මෙලෙසින් දන් සිල් ඈ පින්දම් කරමින් තමා රක්නේම ය. මුල් වයසෙහි කෙළි සෙල්ලම්වල යෙදී වසන ගිහියකුට කුසල් කරන්නට ඉඩ පහසු නො වුයේ නම්, ඔහු විසින් මැද වයසෙහි දී නොපමාව කුසල් දහම් කර ගත යුතු ය. අඹුදරුවන් රැකීම් ඈ කටයුතු බොහෝ බැවින්, මැද වයසෙහිදී ද ඒ නො හැකි වූයේ නම්, පැසුළු වයස්හි දී වත් පින් දහම් කර ගත යුතු ය. පැසුළු වයසේ දී වත් පින් දහම් කළේ නම්, හේ තමා රැක්කේ නම් වේ. එසේ ද නො කරන්නහුට ආත්මය නම් ප්‍රිය නො වේ. ඔහු ස්වකීය ආත්මය අපාය එක ම මාර්‍ගය කොට ඇත්තක් කරන්නේ ය. 

පැවිද්දා මුල් වයසෙහි බණ දහම් උගන්නේ, උගත් බණ දහම් දරන්නේ, අනුනට උගන්වන්නේ, වත් පිළිවෙත් නො පුරණුයේ, භාවනාවෙහි පමා වනුයේ තම්, ඔහු මැදවයසෙහි දී මහණදම් කළ යුතු ය. මුල් වයසෙහි උගත් පර්‍ය්‍යාප්තියෙහි අර්‍ත්‍ථකථා විනිශ්චය, කාරණාකාරණ විචාරීම් ආදීයෙන් මැද වයසෙහි දී ද පමාව සිටියේ නම්, පැසුළු වයසෙහි දී මහණ දම් කළ යුතු ය. පැසුළු වයසෙහි දී වත් මෙසේ කළේ නම්, ඔහු නමින් රැකියේ නම් වේ. මෙසේ තුන් වයසින් එක වයසකත් මහණදම් නො කරන්නාහට, තෙමේ තමාට ප්‍රිය නො වේ. ඔහු පසු තැවුල්ලෙන් තමන් තවන්නේ ය. 

ධර්‍මකීර්තිපාදයන් මේ කියූ සැටි. “ඉදින් ගිහිකෙනෙක් තමන් රකුම් හ යි සිතා මාලිගාවල යටිමාල් හැර මතුමාල් වලට නැගිලා ඉනුත් ගබඩා වලට වැද ආත්මාරක්‍ෂාව ඇති ව වෙසෙත් නමුත්, පැවිදිවරු භිත්ති හා දොරලි දොරබා ඇති ගලෙනක වෙසෙත් නමුත් සිතින් සන්හුන්කමක්! නැත්තෝ වූ නම තමන් රක්නා නම් නො වෙති. ගිහි වූවන් පවේ නො යෙදී බල වූ ලෙස දන් පින් කෙරෙත් නම්, පැවිදි වුවත් ධූරද්වයින් එක්තරා ධූරයෙක හා වත් පිළිවෙත යදී වෙසෙත් නම් තමන් රක්නා නම් වෙති. තුන් වයස පුරා කට නො හෙතත් නුවණැත්තෝ එක් වයසෙක වුවත් තමන් රකිති. ඉදින් ගිහිහු පළමු වයසෙහි කෙළිනළුවෙහි ලොල් බැවින් පින් කට නුහුණ වූ නමුත්, මද්ධ්‍යම වයස වුවත්, පින් කළෝ නම් යහපත. ඉදින් මද්ධ්‍යම වයස දී අඹුදරුවන් රකිනා නිසා පින් කට නුහුණු වූ කෙළවර වයස දී වුවත් පින් කළ මනා ය. තුන් වයසින් එක් වයසක වුවත් පමා වූ නම් ආත්මය සතුරු වත් මුත් ප්‍රිය වූවා නම් නො වෙයි. මහණ වූවාහු පළමු වයස මාර්‍ගාධිගම ඵලාධිගම නිසා භාවනාවට පමා වූ නම් මද්ධ්‍යම වයස වුව නොපමාව මහණදම් කළෝ නම් යහපත. ඉදින් පළමු වයස උගත් පෙළ අර්‍ත්‍ථත් විනිශ්චයත් කාරණා කාරණත් විචාරීමෙන් මද්ධ්‍යම වයස ගියත් කෙළවර වයස වුවත් තමන්ට පිහිටක් සිතූ නම් යහපත. වයස් තුණ වුවත් දෙකක වුවත් එකෙක වුවත් නො පමා වීම කෙළවර වයසට සම්භ වී නම් තමන් රැක්කා නම් ම වෙති. එසේ කොට ගත නො හෙන්නවුන්ට අත්බැව ප්‍රිය නො වෙයි. තමන්ට සතුරෝ නම් තුමූ ම ය” යි. 

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බෝධිරාජකුමාර තෙමේ සෝවාන් වී ය. ධර්‍මදේශනාව පැමිණ සිටි පිරිසටත් වැඩ සහිත වූ ය. 

බෝධිරාජකුමාර වස්තුව නිමි.

තෙවළා බුදු වදන් අතරින් 31: මිනිසාගේ පරම සතුරා කවුද?

 

තෙවළා බුදු වදන් අතරින් 31: 

මිනිසාගේ පරම සතුරා කවුද?

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි භික්ෂූන් වහන්සේ අමතා ක්‍රෝධ කිරීමේ ආදීනව පැහැදිලි කරමින් අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන කෝධන සූත්‍රය දේශනා කළහ. 

එම සූත්‍රයෙහි ක්‍රෝධ කිරීමෙන් වන ආදීනව හතක් ඇතුළත් වේ. ක්‍රෝධය, වෛරය, තරහව ආදි වචන මගින් හැඳීන්වෙන අකුසල සහගත මනෝභාවයන්ගෙන් ප්‍රකට වන්නේ ද්වේෂය නමැති අකුසල මූලයේ වර්ධනීය අවස්ථාව යි. ද්වේෂය අකුසල ධර්මයක් හෙයින් එය මුළුමනින්ම බැහැර කළ යුතු වේ. බුදුරදුන් වදාළ කෝධන සූත්‍රයේ දැක්වෙන පරිදි කිපෙන තැනැත්තා තමා ම, තමාගේ ම සතුරෙක් බවට පත්වේ. ඒ අනුව ක්‍රෝධය, වෛර කරන්නන්ට ප්‍රිය වූ, වෛරය, ඉපදවීමට උපකාරීවන අකුසල සහගත චිත්තවේගයකි. කිපෙන සුළු ස්ත්‍රිය හෝ පුරුෂයා කෙරෙහි එහි බලපෑම සත්විධ ආකාර වේ. සතුරු තැනැත්තෙකු තමාගේ සතුරාගේ වර්ණවත් බවට වෛර කරයි. තම සතුරා දුර්වර්ණ විය යුතුය යන්න ඔහුගේ පැතුම යි. මෙසේ අන්‍යයන්ගේ වර්ණවත් බව නොඉවසමින් ඒ කෙරෙහි වෛරයෙන් හා ක්‍රෝධයෙන් කටයුතු කරන පුද්ගලයා බාහිර වශයෙන් ස්නානයකොට, පිරිසුදු වස්ත්‍ර ඇඳ, සුවඳ විලවුන් ගා කොතෙක් අලංකාර වුවද දුර්වර්ණ අයෙකු වේ. එයින් ක්‍රෝධයේ ශාරීරික බලපෑම විශද වේ. මෙය ක්‍රෝධ කරන ස්ත්‍රියට හෝ පුරුෂයාට මුහුණ දීමට සිදුවන පළමු ආදීනව ය යි.

සතුරු තැනැත්තා තම සතුරා සුවසේ සැතපෙනු දැකීමට අකැමැති වේ. තම සතුරා සුවසේ නිදන්නෙක් බවට පත් නොවිය යුතුය යන්න ඔහුගේ පිළිගැනීම යි. මෙසේ අන්‍යන්ගේ සුව නින්දට වෛර කරමින්, ක්‍රෝධකරමින් වෙසෙන තැනැත්තා කොතෙක් සුවපහසු යහනක සැතපුණත් කිසිදිනෙක සුව නින්දක් නොලබයි. මෙය ක්‍රෝධ කරන ස්ත්‍රිය හෝ පුරුෂයා මුහුණ දෙන දෙවන ආදීනවය යි. තම පසමිතුරාගේ ධනවත් බවට වෛර කරන තැනැත්තා ඔහු ධනයෙන් පිරිහෙන්නේ නම් සතුටට පත් වෙයි. ක්‍රෝධයෙන් මැඩුණු තැනැත්තා තම පසමිතුරාගේ ධනවත් බව නැති කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම සිදු කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රෝධයෙන් පිරි එම පුද්ගලයා අයහපත් දෙයක් ගෙන තමා විසින් යහපත් දෙයක් ගන්නා ලදැයි සිතා හොඳ නරක වරදවාගෙන විපිලිසර බවට පත්වේ. ක්‍රෝධයෙන් මැඩුණු ස්ත්‍රිය හෝ පුරුෂයා අර්ථය අනර්ථය වෙන්කොට හඳුනාගැනීමේ නොහැකියාව වන තෙවන ආදිනවය ද අත්පත්කර ගනී.

තම සතුරාගේ භෝග (පරිභෝග වස්තු) සම්පත් දකින තැනැත්තා ඔහු එම භෝග සම්පත්වලින් පිරිහීමට පත්වනු දැකීමට කැමැති වේ. මෙසේ අන්‍යයන්ගේ භෝග සම්පත් කෙරෙහි වෛරකරමින් ක්‍රෝධයෙන් වෙසෙන ස්ත්‍රියගේ හෝ පුරුෂයෙකුගේ යම් දැහැමි ධනයක් වෙතොත් එය ද රාජ සන්තක වේ. මෙය ක්‍රෝධයෙන් මැඩුණු පුද්ගලයාට විඳීමට සිදුවන සිව්වන ආදීනවය යි. එසේම අන්‍යයන්ගේ යසසට හා කීර්තියට හානි කරමින් වෛර කරන තැනැත්තාගේ හෝ තැනැත්තියගේ යම් කීර්තියක් හෝ යසසක් වෙතොත් එයද විනාශයට පත්වේ. මෙය වෛරී පුද්ගලයාට අත්විඳීමට සිදුවන පස්වන ආදීනවය යි. අන්‍යයන් සතු පිරිස් බලයට හා මිත්‍ර සම්පත්තියට වෛර කරන තැනැත්තා තම වෛරය හා ක්‍රෝධය නිසා තමා සමීපයේ වෙසෙන මිත්‍ර සම්පත්තියෙන් ද පරිහානියට පත් වේ. එය ක්‍රෝධකරන ස්ත්‍රියට හෝ පුරුෂයෙකුට මුහුණ දීමට සිදුවන සයවන ආදීනවය යි. තම පසමිතුරා මරණින් පසුව දුගතිගාමී වන්නේ නම් යෙහෙකැයි සිතා කටයුතු කරන වෛරී තැනැත්තා හෝ තැනැත්තිය තිදොරින් බොහෝ අකුසල් සිදුකොට නිරයගාමී වේ. ක්‍රෝධයෙන් පිරි ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට අත්වි¼දීමට සිදුවන සත්වන ආදීනවය එයයි.

ඉහතින් දැක් වූයේ කෝධන සූත්‍රයේ එන වෛර කරන ක්‍රෝධ කරන අයෙකුට අත්විඳීමට සිදුවන ආදීනව සතයි. මේ එකිනෙකක් ගැඹුරින් විමසා බලන විට ක්‍රෝධය නමැති අකුසල සහගත චිත්තවේගය චිත්තසන්තානයේ ක්‍රියාත්මක වන ආකාරය මැනවින් වටහාගත හැකි ය. බුදුරදුන් කෝධන සූත්‍රය ආරම්භ කරන්නේ “මහණෙනි, වෛර කරන්නන්ට ප්‍රිය වූ වෛරය උපදවන මේ දහම් සතක් කිපෙන සුලු ස්ත්‍රිය හෝ පුරුෂයා කරා පෙරළා පැමිණේ” යනුවෙනි. බුදුරදුන්ගේ එම අනුශාසනයෙන් යට දක්වන ලද කරුණු හත වෛර කරන්නන්ට ප්‍රිය වූ වෛරය ඇතිවීමට හේතුවන දෑය. කවර අයෙකු වුව අන්‍යයන්ට වෛර කරන්නේ එම කරුණු හත හෝ එයින් එකක් හෝ කීපයක් හේතුසාධක වශයෙන් ගෙන ය. සූත්‍ර දේශනාව අනුව අවසන් කරුණ හැර අන්‍යයාගේ ශරීර වර්ණය, සුවපහසු දිවිය, ධනවත් බව, භවභෝග සම්පත්, කීර්තිය හා යසස, පිරිස් බලය හා මිත්‍ර සම්පත්තිය යන කරුණු සය විශේෂයෙන්ම වෛරයට හා ක්‍රෝධයට හේතුකාරණා වේ. හැම කෙනෙක් ම අන්‍යයන්ට වෛර කරන්නේ හෝ ඊර්ෂ්‍යා කරන්නේ මෙකී කරුණු පදනම් කර ගෙන ය. ඒ අනුව වෛරය හා ක්‍රෝධය යන චිත්තවේග හේතුඵල සන්තතියකට අනුව ඇති වේ. මිනිසුන් අතර ජාති ආගම් කුල වශයෙන් හෝ වෙනත් ආකාරයේ බේදකාරී ගැටුම් ඇතිවන්නේ ද යථොක්ත කාරණා අනුව ඇතිකරගත් වෛරය හෝ ක්‍රෝධය මූලික කරගෙන ය. ආගමික කණ්ඩායම් දෙකක් අතර හෝ ජාතීන් දෙකක් අතර ඇතිවෙන අර්බුද හා ගැටුම්වලට බලපාන මූල හේතුව කවරේදැයි ගැඹුරින් සොයා බැලුවිට මෙය මැනවින් වටහා ගැනීමට හැකිය. යම් ජනවර්ගයක් ධනයෙන් ද, භවභෝග සම්පත් අතින්ද, පිරිස් බලයෙන්ද ඉහළට යනවිට වෙනත් ජනවර්ගයක් තුළ වෛරය හා ක්‍රෝධය ඇති විය හැකිය. මේ අනුව වෛර කරන හේතු පුද්ගලික මට්ටමේ සිට විශ්වීය මට්ටම දක්වා ව්‍යාප්තව තිබේ. ඇතමෙකු පුද්ගලික මට්ටමෙන් කෙනෙකුගේ ධනවත් බවට වෛර කරන විට ජාත්‍යන්තර වශයෙන් ලොව ධනවත් රටවල් ද ධනය හා බලය පදනම් කර ගෙන එකිනෙකා කෙරෙහි වෛරය ඇතිකර ගනී. රටවල් අතර යුද්ධ, ආර්ථික සම්බාධක, සංස්කෘතික ආක්‍රමණ සිදුවන්නේ ද ඒ අනුව ය. මේ අනුව වෛරීකාරක හේතු පෞද්ගලික මට්ටමේ සිට ගෝලීය මට්ටම දක්වා ගමන් කළ ද එහි මූලය එකක්ම බව පැහැදිලි ය. වෙනත් අයුරකින් පවසන්නේ නම් පුද්ගලික මට්ටමේ වෛරය වර්තමානයේ ගෝලීය මට්ටම දක්වා ව්‍යාප්තව ඇති අයුරු පැහැදිලිව දක්නට පුළුවන.

අවසන් කරුණ ආගමික වූවකි. දුගතිය හෝ සුගතිය තීරණය වන්නේ කර්මය හා එහි විපාක අනුව ය. අන්‍යයන්ට දුගතිය ප්‍රාර්ථනා කරමින් වෛරී සිතින් ක්‍රියා කරන්නා තිදොරින් දුසිරිත් කොට මරණින් පසුව දුගතිගාමීවේ ය යන්න අවසන් කරුණෙන් අවධාරණය වේ. ඉහතින් දැක්වූ වෛරීකාරක ධර්ම ඇතිවන්නේ කිපෙන සුළු පුද්ගලයාටය. ඒ අනුව (1) ක්‍රෝධයෙන් භරිත පුද්ගලයා දුර්වර්ණ අවලස්සන අයෙකු වේ. (2) කෝපය නිසා සුව නින්දක් නොලබයි. (3) කෝපයෙන් සිත රත්ව තිබෙන හෙයින් යහපත අයහපත අර්ථය අනර්ථය නිවැරැදිව හඳුනා ගැනීමට අපොහොසත් වෙයි. (4) ක්‍රෝධය නිසා තිදොරින් අපරාධ කොට ධනයෙන් පරිහානියට පත්වේ. (5) ක්‍රෝධ මදය නිසා අන්‍යයන්ගේ ගැරහුමට ලක්වේ. (6) නෑදෑ හිතමිතුරෝ කිපෙන සුළු තැනැත්තා අතහැර යයි. (7) ක්‍රෝධය හේතුවෙන් සැහැසිකම් කොට මරණින් පසු දුගති ගාමී වෙයි. මෙම කරුණු හත නිතර අන්‍යයන්ට වෛර කරන ක්‍රෝධයෙන් පිරුණු ස්ත්‍රීය හෝ පුරුෂයාට අත්විදීමට සිදුවන ආදීනව ය. එයින් අවසන් කරුණ හැර අන් සියල්ල මෙලොව ජීවිතය හා සම්බන්ධ ය. ඇතැම් ඒවා කායික ය. ඇතැම් ආදීනව මානසික ය. කීපයක් සමාජීය වශයෙන් අහිතකරය. එම කරුණු හය ආගමක් පිළිගන්නා අයට මෙන්ම කිසිදු ආගමක් 

නොපිළිගන්නා අයට ද සාධාරණ ය. පාපය හා අකුසල ක්‍රියාවල ආදීනව විඳීමට සිදුවන්නේ ආගමික විශ්වාසය අනුවම නොවන බව මෙයින් ගම්‍ය වේ. පරලොව ඇතත්, නැතන් පව්කළ පුද්ගලයාට සිදුවන්නේ විපතක්ම ය. බලවත් අකුසල සහගත චිත්තවේගයක ප්‍රතිඵලය කොතරම් හානිකර ද යන්න සූත්‍රය අවසානයේ එන පාලි ගාථා පන්තියේ ඇතුළත් කරුණු මගින් තවදුරටත් සනාථ වේ. කෝපය පාලනය කරගැනීමට එම ගාථාවල අන්තර්ගත උපදෙස් මනෝචිකිත්සාවක් ලෙස භාවිතයට ගතහැකි ය. එබැවින් තමාම තමාගේ සතුරා බවට පත්කරන වෛර කිරීමෙන් හා ක්‍රෝධය ඇතිකර ගැනීමෙන් වැළකී ලොවට මෙත්සිත පැතිරවිය යුතු වේ.

චේතනා චක්කය: ශික්ෂා පද රැකෙන්නේ සිත නිස යි

 චේතනා චක්කය: 

ශික්ෂා පද රැකෙන්නේ සිත නිස යි

තථාගත බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් ඉතා ම ආනුභාව සම්පන්න ක්‍රමයක් පැහැදිලි කළා. සති යනු සිහි ය යි. පට්ඨාන යනු එළැඹීම යි. සිහිය එළැඹීම, සිහියෙන් කටයුතු කිරීම සතිපට්ඨාන යනුවෙන් සඳහන් කරයි. සතිපට්ඨාන භාවනාවෙන් දීර්ඝ විස්තරයක් පසුගිය ලිපි මඟින් සඳහන් කළෙමු. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව පිළිබඳ විස්තර සඳහන් කළෙමු. 

ධම්මානුපස්සනාවේ කොටස් ලෙස ස්කන්ධ , නීවරණ, බොජ්ඣංග, ආයතන සම්පූර්ණ කළා. දැන් සඳහන් කරන්නේ සත්‍ය නිර්දේශය යි. එයින් ද සමුදය සත්‍ය පිළිබඳවයි, විස්තර කරන්නේ. සමුදය යනු දුක් හට ගැනීම යි. එයට හේතු වන්නේ තණ්හාව යි. එය ප්‍රහාණය කිරීමට චක්‍ර වශයෙන් හයේ කොටස් දහයක් වෙනවා. ඉන් එකක් වන්නේ චේතනා චක්කය යි. චේතනාව යනු සිත නො වෙයි. සිතිවිල්ලක්. චෛතසික පනස් දෙකෙන් එකක් වන්නේ චේතනාව යි. චේතනාවෙන් තණ්හාව හට ගන්නා ක්‍රමය යි, පැහැදිලි කරන්නේ. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්භ සංචේතනා, ධම්ම සංචේතනා යනුවෙන් චේතනා හය යි. 

රූපයක් කියා දැනගෙන එහි පවත්නා සිතිවිලි, සිතිවිල්ල චේතනාව යි. ඒ දෙක එකතු වුණහම රූප සංචේතනා නම් වෙයි. එහි ප්‍රිය ස්වභාවයක් ඇත්තේ ය යනුවෙන් ගත් විට තණ්හාව වැඩෙයි. ‘මේ රූපය හොඳයි, මේ රූපය හොඳයි’ යනුවෙන් චේතනාවෙන් ගන්නා විට රූප සංචේතනා නම් වෙයි. එයින් තණ්හාව හට ගනියි. මේ රූපය මධුර වූ ස්වභාවය ඇත්තේ ය , මේ රූපය බොහොම හොඳයි යනුවෙන් තෘෂ්ණා ආශ්වාද ලබා ගනි යි. එවිට මේ තෘෂ්ණාව චේතනාවේ බැසගෙන ම සිටීමෙන් රූප සංචේතනාවෙන් තණ්හාව හට ගනි යි. 

ලෝකයේ සත්ත්වයා දිගින් දිගට ම උපත ලබන්නේ තණ්හාව නිස යි. ඒ නිසා කවුරුත් තණ්හාව අවබෝධ කරගෙන , නැති කරගන්න මහන්සි විය යුතු යි. එය සැමටම බැහැ. ලෝක සත්ත්වයා තණ්හාවෙන් මුසපත් වෙලා. තණ්හාව අතහැර ගන්න බැහැ. දූ දරු, මුණුබුරන්, නිවහන, ඉඩකඩම්, යානවාහන, රන් අභරණ, අඳින පළඳින දේ ආදියෙහි චේතනාව, මිහිරි, ආශ්වාද ජනක, ප්‍රිය ස්වභාවයෙන් ගන්නවා නම්, එය රූප සංචේතනාව නම් වෙයි. එසේනම් චේතනාව නිසා තණ්හාව හට ගනි යි. චේතනාවක් නැතිනම්, තණ්හාව හට නොගනි යි. ඒ නිසා කවුරුත් හැකිතාක් පරිත්‍යාග චේතනාවෙන් අනුන්ට කරදරයක් පීඩාවක් නොවන සේ යහපත් චේතනාවකින් කටයුතු කළ යුතු යි. සමහරුන් තුළ ඉඩ කඩම් පිළිබඳව බොහොම අර්බුදයක් හට ගෙන තිබෙන්නේ රූප සංචේතනාව නිස යි.

එසේම නොයෙක් සම්පත් පිළිබඳ මහා තණ්හාවෙන් කටයුතු කරන්නේ වෙන කිසිම දෙයකින් නොව, චේතනාව හොඳ නැති නිස යි. ඒ නිසා අකුසල පාක්ෂික වූ චේතනාව පිරිසුදු කර ගන්නට කවුරුත් මහන්සි ගන්න. ඇස නිසා රූප චේතනාවෝ හට ගනියි. ඇස නැතිනම්, එය සිදු නොවෙයි. ඇස ඇති අයට රූප සංචේතනාව හට ගෙන, තණ්හාව නිෂ්පාදනය වෙයි. 

එසේම මිහිරි ශබ්ධ, මධුර මනෝහර රාවයන් , පි‍්‍රය ස්වභාවයෙන් බැසගත් විට එයින් හට ගන්නවා කන ඇසුරු කරගෙන ශබ්ද සංචේතනාව. එසේම ගන්ධය පිළිබඳවත් මධුර ස්වභාවය, ප්‍රිය ස්වභාවය බැසගත්විට එයින් හට ගන්නේ ගන්ධ සංචේතනාව යි. රස ආහාර පිළිබඳව තිබෙන ගිජුකම, රස සංචේතනාව නම් වෙයි. ස්පර්ශය පිළිබඳව පොට්ඨබ්භ සංචේතනාව නම් වෙයි. ඉතිරි සෑම දෙයක් ම ධම්ම සංචේතනාව නම් වෙයි. මේ සෑම දෙයක් ම ප්‍රිය වූ ස්වභාවය ඇත්තේ ය, මධුර වූ ස්වභාවය ඇත්තේ ය යනුවෙන් ගත්විට තණ්හාව ඇති වෙයි. එසේනම්, ලෝක සත්ත්වයා තණ්හාවේ බැසගෙන යි වාසය කරන්නේ. ඒ නිසා චේතනා හය පිළිබඳ හොඳ දැනීමකින්, තණ්හාව හට ගන්නා චේතනා හයක් මෙයින් සඳහන් කරන්නේ. ඒ පිළිබඳ හොඳට දැන කියාගෙන , ධර්මය පිළිබඳ අවබෝධයෙන් මෙලෙස මෙනෙහි කළ යුතු යි. 

පෙර ලිපි මඟින් සඳහන් කළා සේ ම රූප සංචේතනාව මම නොවෙ යි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා රූප සංචේතනාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ශබ්ද සංචේතනාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ශබ්ද සංචේතනාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ගන්ධ සංචේතනාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ගන්ධ සංචේතනාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රස සංචේතනාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා රස සංචේතනාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. පොට්ඨබ්භ සංචේතනාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා පොට්ඨබ්භ සංචේතනාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ධම්ම සංචේතනාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ධම්ම සංචේතනාව අනිත්‍ය යි, දුක්ඛ යි, ආනත්ම යි. මේ ක්‍රමයට චේතනා හය විපස්සනා භාවනාවට ගැනීමෙන් තමන්ගේ ඇලීම, ගැටීම දුරු කර දමා බොහොම හොඳ ජීවිතයකට යන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනා පැවැත්වූ විට තිස් දාහක් ස්වාමීන් වහන්සේ රහත් බව ලැබුවා. ඒ තරම් ප්‍රභල ආනුභාව සම්පන්න දේශනාවක් වුණේ. මෙහි සඳහන් වන්නේ භාවනාව ම පමණ යි. සෑම ඉරියව්වකම සිහිය පිහිටුවන්නැ’යි දේශනා කරනවා. 

එක්තරා සිටු පුත්‍රයෙක් ස්වාමීන් වහන්සේ දැක පැහැදී පැවිදි ව , තෙරුවන් සරණ යාම, පන්සිල් , අටසිල් දීම දස සිල් දීම , මහණ කිරීම, භාවනා කමටහන් කියා දීම, උපසම්පදා කිරීම් ආදිය ද කළා. උපසම්පදාවේ දී වැරැදී ගියා. ශික්ෂා පද සංඛ්‍යාව වැඩියි. එය රැක ගන්න අපහසු යි. ඒ නිසා මා නැවත නිවසට පැමිණ පන්සිල්, අටසිල් රැකගෙන සිටිනවා යැ’යි ගුරු ස්වාමීන් වහන්සේට වදාළා. ගුරු ස්වාමීන් වහන්සේ , ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ සමඟ බුදුරදුන් හමුවට වැඩම කර, මෙලෙස වදාළා. ‘ස්වාමීනි, බොහොම සැදැහැ සිතින් මේ නම මහණ වුණා. නමුත් ශික්ෂා පද වැඩි යැ’යි රැක ගැනීමට නො හැකිව නැවත නිවසට යන්නට සූදානම් වෙනවා. බුදුපියාණන් වහන්සේගේ මහා කරුණාව කෙතරම් දැ’යි පැවසුවොත්, මෙවැනි උපදේශයක් දුන්නා. ‘මහණ, ඔබට පුළුවන්ද එක ශික්ෂා පදයක් රැක ගන්න. එකක්නම් පුළුවන් බව ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ වදාළා. එසේනම්, මේ කියපු ශික්ෂා පද ගැන අවධානය යොමු නො කර, ‘සිත’ නමැති ශික්ෂා පදය පමණක් රැක ගන්නැ’යි වදාළා. දැන් රැකගන්නේ සිත පමණ යි. සංවරව වඩිනවා. සංවරව දානය වළඳනවා, සංවරව සිවුරු පොරවනවා. සැතපෙන්නේ, සක්මන් කරන්නේ සංවරව යි. මෙලෙස සෑම ඉරියව්වක්ම සංවරව ගත කළා. සතිපට්ඨානය ලැබුණා. නොබෝ දිනකින් ම මහ රහත් භාවයට පත් වුණා. දැන් මහ රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ දුන්නේ එක ශික්ෂා පදය යි. සිත නමැති ශික්ෂා පදය රැකගන්න කියනවා. ඒ සිත නිසයි , සියලුම පව් හට ගන්නේ. සිත නිසා තමයි, සියලුම ශික්ෂා පද බිඳෙන්නේ. සිත නිසා තමයි, සියලුම ශික්ෂා පද රැකෙන්නේ. මෙය හොඳින් තෙරුම් ගෙන සිත දිහා බලාගෙන කටයුතු කළා. තණ්හා, තරහ, මද , මාන්නවලට ඉඩ දුන්නේ නැහැ. සිහි නුවණින් වාසය කළ නිසා රහත් භාවයෙන් නිවන් පසක් කරගන්න පුළුවන්කම ලැබුණා. 

මේ පිළිබඳ හොඳ දැනීම් ඇතිකරගෙන අපේ ජීවිතවල ද අඩුපාඩුකම් තිබුණ ද ඒවා සකසා ගෙන ඉදිරියට යා යුතු යි. අඩුපාඩු නැති අය ලොවේ කොහේවත් නැහැ. අඩුපාඩු නැත්තේ මහ රහතන් වහන්සේට පමණ යි. එවැනි උත්තරීතර භාවයට පත්වීම සඳහා අප ද අඩුපාඩු සකසාගෙන ඉදිරියට යා යුතු යි. එයට යි සංවරකම අවශ්‍ය යි කියන්නේ. සිත පිළිබඳව අවබෝධයෙන් , සිතෙන් හටගන්නා තණ්හාව පිළිබඳ අවබෝධයෙන් , තණ්හාව නැති කරන්න කවුරුත් මහන්සි ගත යුතු යි. නැතිනම්, තණ්හාව ම පොදි බැඳගෙන සිටියොත් තමාගේ සංසාර ගමන අඳුරු කරගත්තා වෙනවා. 

සත්ත්වයා බහුලව ම තණ්හාවෙන් මිය ගොස් ප්‍රේත ලෝකවල උපත ලබනවා. සා පිපාසාදී දුකෙන් පෙළෙනවා. ඒ නිසා තමන්ගේ වස්තු සම්පත්, ගේ දොර, වාහන , ඉඩකඩම් තිබිය යුතු යි. මේවා නොමැතිව ජීවත් වන්නට අපහසු යි. නමුත් මේවා මගේ යනුවෙන් දැඩි උපාදානයකින් නොගෙන , ඒවා බහු සාධාරණ දෙයක් සේ කටයුතු කළ යුතු යි. දරුවන්ට, දරුමුනුබුරන්ටවත් මේවා නොදී මගේ යනුවෙන් ගන්නවානම්, බලවත් තෘෂ්ණාවෙන් වාසය කරනවා නම්, එබඳු කෙනාට දහමෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් නැහැ. 

යහපත් මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් අය නුවණින් යුතුව කටයුතු කරගන්නවා නම්, තම ජීවිතය බොහොම වටිනවා. යන එන විට පවා මේ කරුණු හය මෙනෙහි කළ හැකිනම්, හරියටම වටිනවා. දැන උගත්කම දියුණු කරගත හැකි යි. දහමේ දැනුම වැඩි කළ හැකි යි. එසේම තණ්හාව නැතිකරගන්න, දුක අවබෝධ කරගන්න පුළුවන්. එයයි වැදගත් ම කාරණය. ගිහි ගෙදර සිටියදී ම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී වූ අය බොහෝ සිටියා. ඒ අය ගිහි ගෙදර කටයුතු කරමින් ම ශාසනික වැඩ ද සිදු කළා. සෝවාන් වුණා යැ’යි නිවසේ කටයුතු පැහැර හැරියේ නැහැ. කුඹුරු වතු පිටි වැඩ, රැකී රක්ෂා, දරුවන්ගේ කටයුතු සියල්ල ම කළා. හැබැයි, ශ්‍රද්ධාවෙන් අධික යි. අපායෙන් සම්පූර්ණයෙන් අත්මිදිලා. ශාසනික ගුණ හොඳින් වඩනවා. එසේම තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් කටයුතු කරනවා. එයට අවශ්‍ය වන්නේ භාවනාව යි. එය කවුරුත් දියුණු කරගන්නට අවශ්‍ය යි. දාන මාන පින්කම් පමණක් නිවන් සම්පත් ලබන්න හොඳටම මදි. තණ්හාව දුරු කරන්න දානය අත්‍යවශ්‍යය යි, එය උපනිශ්‍රය වෙනවා. භාවනාව අනිවාර්යෙන් ම දියුණු කරගනු ලැබුවොත්, තණ්හාව නැති කරගන්න ඉතා පහසුවක් වෙනවා. 

සතිපට්ඨාන භාවනාවෙන් උගන්වන සති, සමාධි, ඤාණ දියුණුවෙන්, තණ්හාව , තරහව ආදී බලවත් අකුසලයන් සම්පූර්ණයෙන් නැතිකර දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය , නිරෝධ සත්‍ය , මාර්ග සත්‍ය ආදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම සඳහා අවබෝධයෙන් කටයුතු කළ යුතු යි. 

Saturday, November 6, 2021

විචිකිච්ඡා නීවරණය


පංච නීවරණ ධර්ම :


විචිකිච්ඡා නීවරණය

වරකාපොල, හැලගල ,

දංඕවිට අමරාවතී සදහම් සෙනසුනේ

අනුශාසක

කැලණියේ අජිත හිමි


සැකයේ වාසි පැත්තක් සේ ම අවාසි පැත්තකුත් තිබෙනවා. සැකය යන වදන පිළිබඳ ව යම්කිසි විග්‍රහයක යෙදුණොත්, අපට ජීවිතයේ ඇතැම් කාරණා තේරුම් ගන්නට අපහසු වෙනවා. ඇතැම් පුද්ගලයන් පිළිබඳවත් එසේ ම යි. ඔවුන්ගේ ක්‍රියාකලාපය, වචන සහ ප්‍රකාශන, ඒ අයගේ හැසිරීම් රටාව පිළිබඳව අපට ඒකාන්ත වශයෙන් විශ්වාසයකට එන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. වත්මන් සමාජයේ අප ජීවත් වන්නේ අනතුරු බහුල යුගයක. විශේෂයෙන් ත්‍රස්තවාදී අනතුරු, සැක කටයුතු පුද්ගලයන්ගෙන් නො සිතන සේ අනතුරු විය හැකි යි. එවැනි කාරණාවලදී ද අප සැකය යහපතක් සේ යොදා ගත යුතු යි.


බුදුරජාණන් වහන්සේ වුව ද අපට දේශනා කරන්නේ සැක කළ යුතු තැන සැක කරන්න. හැබැයි, සෑම කාරණයක් ම සැක කරන්නැ’යි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ.


බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සැකය කියන වදන හඳුන්වන්නේ ‘විචිකිච්ඡාව’ ලෙස යි. උන්වහන්සේ විචිකිච්ඡාව පෙන්වන්නේ සිත කෙලෙසා දමන, නුවණ දුබල කරන, නිර්වාණාවබෝධය වසා දමන කාරණයක් ලෙස යි. ‘ආවරණා නීවරණා චේතසෝ උපක්කිලේසා’ යනුවෙනුයි, පංචනීවරණ පිළිබඳ සම්බුදු විග්‍රහය. පංච නීවරණවල පස්වැන්න ‘විචිකිච්ඡා’ නම් වෙයි.


එක්තරා තැනක දී සංයුක්ත නිකායේ සුත්ත නිපාතයට අයත් පධාන සූත්‍රයේ දී දස මාර සේනා පිළිබඳව කරන, විග්‍රහයේ දී බුදුරජාණන් වහන්සේ ‘පංචමී විචිකිච්ඡාතය’ යනුවෙන් හඳුන්වන්නේත් මාර සේනාවක් ලෙස පවතින සැකය යි. මෙහිදී සැකය නිවන් අවබෝධයට බාධාවක් වෙන්නේ කෙලෙස ද යනුවෙන් දැන ගැනීමත් බොහෝ සෙයින් ම ප්‍රයෝජනවත් වෙයි.


අප සාමාන්‍යයෙන් කුඩා කල සිට ම දන්නා දෙයක් වන්නේ බුදුරජාණන් වහන්සේ සැක කරන්නට හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය සැක කරන්නට හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය සැක කරන්නට හොඳ නැහැ. මෙලොව, පරලොව සැක කරන්නට හොඳ නැහැ. පින් පව් පිළිබඳව සැක කරන්නට හොඳ නැහැ. අතීතයේ අප උන්නා ද යනුවෙන් සැක කරන්නට හොඳ නැහැ. අනාගතයේ අප යළි උපදී ද යනුවෙන් සැක කරන්නට හොඳ නැහැ. වර්තමානය පිළිබඳවත් සැක කරන්නට හොඳ නැහැ යනුවෙනි.


බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ සළායතන සංයුක්තයේ දී අපට පෙන්වා දෙන්නේ යම් හෙයකින් යම් කෙනෙක් දුකඛේ කංකති – දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව සැක කරයි නම්, දුක්ඛ සමුදය කංඛති –දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව සැක කරයි නම්, දුක්ඛ නිරෝධේ කංඛති- දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ සැක කරයි නම්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය කංඛතී ‘ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව නම් වූ නිවන් මඟ ගැන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සැක කරයි නම්, ඔහුට නිවන් අවබෝධය බොහෝ සෙයින් ම දුරස් වෙන බව යි. බොහෝ සෙයින් ම ඈත් වන බව යි.


යම් කිසිවෙක් ඉපදීම දුක යිි, දිරාපත්වීම දුක යි, රෝගී වීම දුක යි, මරණය දුක යි ආදී වශයෙන් දුක්ඛ ආර්ය සත්‍ය ගැන සැක කරයි නම්, ‘ලබා උපන් හැටි තමයි, මොනවා කරන්නද? කරුමේ තමයි, යනුවෙන් උඩින් පල්ලෙන් කල්පනා කරනවා නම්, ඒ වගේ කෙනෙක් නම්, සැකයෙන් එතෙර වන්නේ නැහැ. දුකට හේතුව ත්‍රිිවිධි තණ්හාව යි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වන්නේ ත්‍රිවිධ තණ්හාව යි. යම්කිසි කෙනෙක් ත්‍රිවිධ තණ්හාව නිසා දුක හටගන්නවා යනුවෙන් විිශ්වාස නො කර දුකට හේතුව අසවල් කාරණය යි, යනුවෙන් දුකට හේතුව වන සැබෑම කරුණ වන තණ්හාව පිළිබඳව අවබෝධයක් ලබා නො ගෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සැක කරයි නම්, ඒ තැනැත්තාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. යම් කෙනෙක් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සැක කරයි නම්, එනම්, කාම තණ්හාවෙන් , භව තණ්හාවෙන් , විභව තණ්හාවෙන් දුක්ඛ නිරෝධය, දුකේ අවසානය යනුවෙන් යම් කෙනෙක් අවබෝධ කරගන්නේ නැතිව, විශ්වාස කරන්නේ නැතිව දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ ව සැකයට එළැඹේනම්, ඔහු පවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට සුදුසුකම් ලබන්නේ නැහැ. යම් කෙනෙක් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය නම් වූ උතුම් නිවන් මඟ වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සැක කරයි නම්, භවයේ උපත ලැබූ සත්ත්වයා ඔහේ පැවතිලා, ඉබේටම අභාවයට පත් වෙනවා යන මක්ඛලී ගෝසාල වැනි දෘෂ්ටි ගතිකයන්ගේ , මිත්‍යාමත ධාරීන්ගේ අදහස් වලට එළැඹුණොත් ඔහු පවා දුකෙන් අත් මිදෙන්නේ නැති කෙනෙකු විලසයි, හඳුන්වා දිය යුත්තේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සඳහන් කිරීමේ දී අවබෝධ කරගන්නට ඕනේ සම්මා දිට්ඨිය, නිවන් මාර්ගය ගමන් කරන කෙනාට අදාළ මූලික කරුණ යි. එය ශරීරයේ හිස වගෙ යි. ශරීරයේ හිස තිබුණොත් කඳ සහ අනෙක් සියලුම අංග නියමාකාරයෙන් පාලනය වන්නේ. ශරීරයෙන් හිස ගලවා වෙන් කළොත් කඳෙන් වැඩක් ගන්නට කෙසේවත් බැහැ. ධර්ම මාර්ගයේ ගමන් කරද්දී පවා එලෙස මයි. සම්මා දිට්ඨිය තිබෙන ශ්‍රාවකයා තමයි, අනෙකුත් මාර්ග පූර්ණත්වයට පත් කරගන්නේ. යම් කෙනෙක් සම්මා දිට්ඨිය පිළිබඳ සැක කළොත්, ඒ පුද්ගලයාට සංසාරික වශයෙන් බලවත් පාඩුවක්, බලවත් අලාභයක් සිදු වෙයි.


නිවන් මාර්ගයේ ගමන් කරන, ශ්‍රාවකයා අවබෝධ කරගන්නට ඕනේ, සම්මා දිට්ඨිය මත පිහිටා දෘෂ්ටිය ඍජු කරගෙන යහපත් සිතිවිලි, යහපත් කල්පනාවක් පවත්වා ගන්නට අවශ්‍ය යි කියලා. තම යහපත් කල්පනාව පිළිබඳ ව සැකයකට ආවොත්, එනම් සම්මා සංකල්ප පිළිබඳ සැක කළොත්, ඒ පුද්ගලයා පවා දුකෙන් අත් මිදෙන්නේ නැහැ. වචන භාවිතය වුව ද එලෙසම යි. නිවන් මාර්ගයේ වචන භාවිතයට ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබෙනවා. ඒ නිසා මාර්ගාංගයක් ලෙස සම්මා වාචා යනුවෙන් විශේෂ කරුණක් තුන්වනුව හඳුන්වනවා. වචන භාවිතයේ දී අප බොහෝ ප්‍රවේශම් විය යුතු යි. වචන භාවිතයේ දී සියලුම ආකාරයේ වචන කතා නොකර ඉන්නැ’යි පවසන්නේ නැහැ. හැම ආකාරයකින් ම වචන කථා කර, කර ඉන්නැ’යි පවසන්නේත් නැහැ. යම් වචනයක් අකුසල් නම්, එවැනි වචන කතා නො කළ යුතු යි. යම් වචනයක් කුසල් නම්, එවැනි වචන කතා කළ යුතු යි. එය සම්මා වාචා නම් වෙයි. සම්මා කම්මන්ත වුවත් එලෙසම යි. හැම කටයුත්තක් ම කරන්න. හැම කටයුත්තක් ම කරන්න එපා කියලා බුදු දහමේ සඳහන් වන්නේ නැහැ. යම් ක්‍රියාවක් හේතු කරගෙන අකුසල් හට ගන්නවා නම්, එවැනි කටයුතු කරන්නට එපා. යම් ක්‍රියාවක් හේතු කරගෙන කුසල් වැඩෙනවා නම්, එවැනි ක්‍රියා කළ යුතු යැ’යි යනුවෙන් බුදුදහම අපට මඟ පෙන්වන්නේ. ධනෝපායන ක්‍රම ගැනත් මෙහිදී සඳහන් කළ යුතු ම යි. එය හඳුන්වන්නේ සම්මා ආජීව ලෙස යි. ධනෝපායන ක්‍රම ගැන හැඳින්වීමේ දී සරලව සඳහන් කළොත් ඔබ කරන රැකියාව , ඔබ කරන වෙළෙඳාම , ඔබ කරන ගොවිතැන කෙටියෙන් ම සඳහන් කළොත්, ඔබට මුදල් ගලා එන ක්‍රමය දෙස ඔබ සැකයෙන් ම බැලිය යුතු යි. මට මුදල් ලැබෙන ක්‍රමය ධාර්මික යි ද? අධාර්මික යි ද? ධාර්මික ක්‍රමයක් නම්, ඔබ එය කළ යුතු යි. ඒ ගැන සැක කළ යුතු නැහැ. එය ධර්ම මාර්ගයට හානියක් නැහැ. ගෘහස්ත ජීවිත ගත කරන උදවියට ධනය අත්‍යවශ්‍ය ම කාරණයක්. සම්මා වායාමත් එලෙස ම යි. වායාම යනු වීර්යය යි.


නිර්වාණාවබෝධය කරා යන ශ්‍රාවකයාට යහපත් වීර්යයක් තිබිය යුතු යි. එලෙසම යහපත් සිහි කල්පනාවක් තිබිය යුතු යි. එය සම්මා සතිය යි. කුසල් අරමුණු තුළ ධ්‍යාන සමාධි උපදවා ගැනීම සම්මා සමාධිය යි. මේ අංග අටකින් යුක්ත නිවන් මාර්ගය පිළිබඳව යම් කෙනෙක් සැක කළොත්, ඒ කෙනා බැහැර වෙන්නේ අමා මහා නිවනින් බව ඉතා හොඳින් තේරුම් ගත යුතු කාරණයක්. ඒ නිසා බුදුන් වහන්සේගේ සම්බුදු උපත, සම්මා සම්බුද්ධත්වය, පරිනිර්වාණය යන වෙසක් තෙමඟුල සමරන මේ කාලයේ හදවත් දහම තුළින් පෝෂණය කළ යුතු යි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, බුදුරජාණන් වහන්සේ්ගේ ඉගැන්වීම් පිළිබඳව ගැඹුරු විශ්වාසයක් ඇතිකරගෙන සැකයෙන් එතෙර විය යුතු යි. එසේනම්, ධර්ම මාර්ගය පිළිබඳව සැක නො කොට නිවන් මඟ ගැන විශ්වාසයෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ නැත්තා වූ අමා මහා නිවනින් සැනසෙන්නට ධර්ම මාර්ගය උපකාරයක් ම වේවා!


- ජම්මික ප්‍රබෝධනී වැලිකල




උද්ධච්ච කුක්කුච්ච නීවරණය

 



පංච නීවරණ ධර්ම :


උද්ධච්ච කුක්කුච්ච නීවරණය

ඌරුගමුවේ අස්සජි හිමි


පංච නීවරණ අතර සිව්වැන්න උද්ධච්ච කුක්කුච්චය යි. පුද්ගලයෙකු ගේ නුවණැස දුර්වල කොට නිවන් මග අවහිර කරවීමට සෙසු නීවරණ ධර්ම සේ ම මෙම උද්ධච්ච කුක්කුච්චය ද හේතු වෙයි.


උද්ධච්ච යනු සිත එක් අරමුණක නො පිහිටා නොසන්සුන්ව නොයෙක් නොයෙක් අරමුණු කරා විසිර පැවතීම යි. කුක්කුච්ච යනු කළ දුසිරිත් හා නො කළ සුසිරිත් පිළිබඳව ඇතිවන පසුතැවිල්ල යි. එනම් “මම පාපයක් කළෙමි”යි, තමා කළ පාපය ගැන පසුතැවීමෙන් ම “මට කුසල් කිරීමට නොහැකි වූයේ යැ”යි සිදු නොකළ කුසල කර්ම ගැන පසුතැවීම යි. ඇතැම් විට ඒ ඒ පුද්ගල මානසික ස්වභාවය අනුව සිදු නො කළ පාපය ගැන හා සිදු කළ කුසලය ගැන ද පසුතැවෙන අවස්ථා උදාවිය හැකි ය.


එසේම නිවැරැදි දෙය වැරැදි දෙයක් ලෙසත්, වැරැදි දෙය නිවැරැදි දෙයක් ලෙසත් පහළ වන සිතිවිලි ද කුක්කුච්ච ගණයට අයත් වෙයි. මෙහි දී කරුණාව පෙරදැරි කරගෙන හෙවත් කරුණා වේශයෙන් ඇතිවන කුක්කුච්චයක් පවතියි. එනම් තමන්ට උපකාර කළ දෙමව්පියන්, ගුරුවරුන් හා තවත් පුද්ගලයන් වෙත කිසිදු සැලකිල්ලක් කිරීමට ඉඩක් නොලැබුණේ යැයි, සිතමින් පසුතැවීම යි. එසේ සිතනුයේ ඔවුනට දයාව දක්වන්නා වූ ස්වරූපයකිනි.


තවත් සමහරු කෝපය නිසා හෝ ලාභය පිණිස හෝ සතුන් මැරීම, අනුන්ට හිංසා පීඩා කිරීම සිදු කොට අවසානයේ සිදු කළ පාපය ගැන පසුතැවෙති.


ඒ තමා විසින් පීඩා කරන ලද මිනිසුන්ට හා මැරූ සත්ත්වයන්ට අනුකම්පා කරන ස්වරූපයකිනි. එසේ අනුකම්පා කිරීම, දයාව දැක්වීම සිදුකළ පාපය අඩුවීමට හේතුවක් වෙතැ යි, සමහරු කල්පනා කරති. එහෙත් මෙම කුක්කුච්චය කළ පාපය අහෝසිවීමට හෝ අඩුවීමට හේතුවක් නො වේ.


එසේ ම තවත් සමහරු කුසල් නො කොට කුසල් කළ හැකිව තිබූ අනන්ත අප්‍රමාණ අවස්ථාවන් ගැන සිහිපත් කරමින් පසුතැවෙති. තමා පෙර කුසල් කිරීමට සිතූ අවස්ථාවන් මතකයට නගා ගනිමින් මෙසේ කල්පනා කරති. “මහා දානමය පින්කමක් සපුරා ගැනීමට මම අපේක්ෂා කරගෙන සිටියෙමි. එහෙත් නිවාඩු නොමැතිවීමත්, පවත්නා අධික කාර්යබහුලතාවත් නිසා එය සිදුකරගත නොහැකි වුණි. සිල් සමාදන්වීමට අපේක්ෂා කරගෙන සිටි නමුත් නිවෙස්වල පවත්නා කරදර නිසා ඊට අවස්ථාවක් නොලැබුණි.” යනාදී ලෙස පශ්චත්තාප වෙති. කුසලයට කිසිදු අවස්ථාවක් නොලැබුණු හෙයින් එය පශ්චත්තාපයක් ම පමණෙකි.


උද්ධච්ච ,කුක්කුච්චය නිසා කිසිවක් එක දිගට කරගෙන යාමට අවස්ථාවක් නො ලැබෙයි. අහිතකර සිතිවිලි මගින් ඊට නොයෙකුත් බාධා පැමිණෙන්නේ ය. එසේම විවේකස්ථානයක හිඳ භාවනා වැඩුව ද ඔහුට ඉතා සුලු දෙය කෙරෙහි පවා සැක ඇති වී ඒවා තමන්ම විසඳා ගැන්මට යාමෙන් භාවනාවටද බාධා ඇතිකර ගන්නේ ය.


සිත සන්සුන් කරගෙන කුසල් අකුසල් කවරේදැ යි, තේරුම් ගැනීම මෙම නීවරණ ධර්මය තුරන්කර ගැනීමේ එකම මඟ යි. නො එසේ නම් කුසල් යැයි සිතා ඊට අදාළ නො වන දේ පවා සිදු කිරීමට පෙළඹෙනු ඇත. ධර්මය පිළිබඳ අවබෝධයක් තිබීම මෙම නීවරණ තුරන්කර ගැනීමට බෙහෙවින්ම උපකාර වෙයි.


කැප අකැප දේ පිළිබඳ සැක තැන් වෙතොත් ඒවා විචාරා විමසා නිවැරැදි දේ වටහාගත යුතු ය. වෙසෙසින් විනයෙහි ඇල්ම ද නුවණින් සහ වයසින් වැඩිහිටි තෙරුන් වහන්සේලා හා උතුමන් ඇසුරු කිරීම ද මෙයින් මිදිය හැකි මග යි. එපමණක් ද නොව උද්ධච්ච කුක්කුච්චය ප්‍රහීණ කළ උතුමන් හා ඇසුරට යොමු වීමත්, සතර ඉරියව්වේ දී ම මේ පිළිබඳ මනා සිහියෙන් පසුවීමත් ඉතා වැදගත් ය. මෙම උද්ධච්ච කුක්කුච්චය සහමුලින්ම ප්‍රහීණ වන්නේ අරහත් මාර්ගයෙනි.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...