Thursday, August 26, 2021

නඛ සිඛ සූත්‍රය

 



නඛ සිඛ සූත්‍රය  

224

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ නියපිට පස් ස්වල්පයක් තබාගෙන භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, ඒ කුමැයි සිතන්නහුද? මා විසින් යම් මේ නියපිට තබනලද පස් ස්වල්පයද, මේ මහපොළොවද යන දෙකින් කුමක් වනාහි වඩා ලොකු වෙයිද?” “ස්වාමීනි, යම් මේ මහපොළොවක්වේද, එයම වඩා ලොකුවෙයි. භාග්‍යවතුන්වහන්සේ විසින් නියපිටට ගන්නාලද මේ පස් ස්වල්පය ඉතා සුළුය. භාග්‍යවතුන්වහන්සේ විසින් නියපිටට ගන්නාලද පස් ස්වල්පය මහපොළොව හා සසඳා බලන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි.”

“මහණෙනි, එසේම වනාහි (මිනිසත් බැවින් චුතව) මිනිසුන් කෙරෙහි නැවත උපදින යම් සත්වයෝ වෙත්ද, ඔවුහු ස්වල්ප වෙත්. එහෙත් මිනිස් ලොවින් අන්‍යවූ සතර අපායයෙහි නැවත උපදින යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම ඉතා අධික වෙති. මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි (කෙසේද?) ‘අප්‍රමාදව වාසය කරමු’ කියායි. මහණෙනිත තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(දෙවෙනි නඛ සිඛ සූත්‍රය නිමි.)

Wednesday, August 25, 2021

තිදොර සංවරයගෙනෙන යහපත


තිදොර සංවරයගෙනෙන යහපත

බත්තරමුල්ල

සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි

ප්‍රධාන අනුශාසක

ආචාර්ය

මිරිස්සේ ධම්මික නා හිමි


" සියල්ල අත්හැරීම පිළිබඳව එනම් නිස්සරණය, පටිනිස්සරණය, නිරෝධය, අනිමිත්ත පිළිබඳව දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කිසිවිටෙකවත් තණ්හා, මද, මාන දෘෂ්ඨීන්ගෙන් යුක්තව උපාධානය කර ගැනීම්වලට අවස්ථාවක් නැත."


මෙම ලිපි පෙළෙන් කතා කළ අවකුජ්ජ පඤ්ඤා නම් වූ පුද්ගලයා ධර්මය ශ්‍රවණය කරන විට ඒ දේශනා කළ පිරිසුදු ධර්මය ඔස්සේ තමා තුළ රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් කටයුතු කිරීමට තරම් හැකියාවක් ඇති පුද්ගලයෙක් නොවේ.


එයට හේතුව පෙර සඳහන් කළා සේ ශ්‍රද්ධාවේ පවතින අඩුවයි. ධර්ම මාර්ගය පිළිබඳ නිසි අරමුණක් නොතිබීමයි. එවැනි පුද්ගලයෙක් මොනතරම් චාරිත්‍රානුකූලව ධර්මය ශ්‍රවණය කළත්, පින්කම් කටයුතුවල යෙදී සිටියත්, ඔහුගේ හෝ ඇයගේ සිත පවතින්නේ තවත් චාරිත්‍රයක්, යුතුකමක් ඉටු කිරීමක් පමණක් ය යන හැඟීමයි. ඒ නිසා වැඩිය හැකිවන්නේ සක්ඛාය දිට්ඨියයි. එය තවදුරටත් සඳහන් කරන්නේ නම් කීර්තිය, ප්‍රශංසාව, මානය හෝ තවදුරටත් ලෝභාදී සිතිවිලි දියුණුවිය හැකි ය. නිදසුනක් ලෙස දැක්වූවහොත් අසවල් තැන පින්කමට අසවල් ප්‍රමාණයක් පැමිණි බවත්, අසවල් දේ තිබුණු බවත් ය. මා සිදු කරන පින්කමට ඊට වඩා වැඩි පිරිසක් හා වැඩි වස්තූන් ද එකතු කරගෙන කාටත් පෙනෙන්නට මා මේ දේ සිදු කරමියි යන අදහසක් පැවතුණොත් අවකුජ්ජ පඤ්ඤා පුද්ගලයකුගේ ස්වභාවය මතුපිටින් පෙනීමක් හැටියට දැක්විය හැකියි. මෙවැනි නිදසුන් ඕනෑ තරම් පෙන්වා දිය හැකි සේ ම ධර්ම ගෞරවයක් ඇතිකරගෙන ඔබටත් ඔබේ ම සිත තුළින් විමසා බැලිය හැකියි. එවැනි පුද්ගලයෙක් සාමාන්‍ය ජන ජීවිතය තුළ ජීවත් වන්නේ පිරිසුදු ධර්මයේ පවත්නා කිසිදු දහම් කරුණකින් තොරව ය. සාමාන්‍ය අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයෙක් කටයුතු කරන ආකාරයෙන් පුරුදු පරිදි ම පස් පව් දස අකුසල්වලින් යුක්තවමයි. හේ ක්‍රියා කරන්නේ ලෝභ, ද්වේෂ, මෝහ වැඩෙන ආකාරයෙනුයි.


මෙවැනි කරුණු සියුම් ලෙස විග්‍රහ කරගත හැකියි. යම් විටක පූජනීය ස්ථානයක හෝ ඇලීම්, බැඳීම්, ගැටීම් සකස්වෙන ආකාරයෙන් සිදුවීම් ඇතිවීම ධර්මයේ පවසන ධර්ම ශ්‍රවණය නියම ආකාරයෙන් සිදු වන්නේ නම්, එසේ නොවිය හැකියි. සියල්ල අත්හැරීම පිළිබඳව එනම් නිස්සරණය, පටිනිස්සරණය, නිරෝධය, අනිමිත්ත පිළිබඳව දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කිසිවිටෙකවත් තණ්හා, මද, මාන දෘෂ්ඨීන්ගෙන් යුක්තව උපාධානය කර ගැනීම්වලට අවස්ථාවක් නැත.


පෘථග්ජන ලෝකයේ ජීවත්වන වා යැයි පවසමින් ධර්ම මාර්ගයේ ඵල ලබාගැනීම අඩුකර ගැනීමට හේතු හදා ගන්නවාට වඩා, පෘථග්ජන පුද්ගලයන් ලෙස වුව, ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් වීමේ අධිෂ්ඨානය සිත්හි දරාගෙන, අනු පිළිවෙලින් ධර්ම මාර්ගය තුළ නිස්සරණය පුරුදු කිරීමක් හා අත්හැරීම නම් වූ සිතෙහි ඇතිකරගත්තා වූ අවබෝධය දියුණු කර ගැනීම ම සිදු කරගත යුතු බව සියලු දෙනා විසින්, තේරුම්ගත යුතු ම නොවේ ද? ධර්ම ශ්‍රවණයේ දී ත්, සාකච්ඡාවේදී ත් පොතපත කියවීමේ දී ත්, රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් එය නොකළ තැනැත්තා සාමාන්‍ය ජීවිතයේ දී ද කටයුතු කරන්නේ ඒ ආකාරයෙන්මයි.


දෙවැනි පුද්ගලයා පිළිබඳව අපි විමසා බලමු. එනම් උච්ඡංග පඤ්ඤා නම් පුද්ගලයායි. මේ පුද්ගලයා පළමුවැනි පුද්ගලයාට වඩා තරමක් යහපත් බව පැවසිය හැකියි. මුල, මැද, අග ඉතාම පිරිසුදුව එනම් රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් භික්ෂූන් වහන්සේ නමක් ධර්මය දේශනා කරනවා. එනම් පරමාර්ථ ධර්මය ම සියලු සංඛත සංඛාර වස්තු අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛන ධර්මයට යටත් කොට සිද්ධ කරනවා. එය ශ්‍රවණය කරන ශ්‍රාවකයා ඒ පිරිසුදු ධර්මය අසාගෙන සිටිමින්, රාග, ද්වේෂ, මෝහ සංසිඳවා ගන්නවා. එය අසාගෙන සිටින විට මේ පවසන ධර්මය මගේ ම හිත ගැනයි. මගේ ම ජීවිතය ගැනයි. මට ම දේශනා කළ දහම් පෙළක් සේ මට වැටහේ යැයි තේරුම් ගන්නවා. ඒ වගේ ම ඔහු හෝ ඇය විසින් ඒ ධර්මය මනා ලෙස තමාට ගළපාගෙන, තමාගේ සිත තුළ යම් වූ ද ලෝභ, ද්වේෂ, මෝහ වශයෙන් පැන නැගෙන කෙලෙස් සංසිඳුවා ගැනීමට තරම් දක්ෂ කෙනෙක් බවට පත්වෙනවා. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් කළ ‘සක්කෝ’ යන වචනයට ගැලපෙන ආකාරයෙන් ධර්ම මාර්ගය තුළ නිවන් මාර්ගය තුළ දක්ෂ කෙනෙක් බවට පත්වෙනවා.


ඔහුගේ සිතේ මෙතෙක් කල් පැවතුණ යම් වූ ද කෙලෙස් හෙවත් දැඩි වූ ලෝභ සිතිවිලි, ද්වේෂ සිතිවිලි, මෝහ සිතිවිලි ආදී වශයෙන් පැවතුනේ නම්, ඒවායෙහි නිරර්ථක බව, හිස් බව, බොල් බව නුවණින් දැක පටිච්චසමුප්පන්න ධර්මයට යටත්කොට දකිමින් ඒවා තමාගේ සිතින් බැහැර කර ගන්නවා. තමාගේ සිත සංසිඳවාගෙන සමාධිගත සිතක් බවට පත් කරගෙන ධර්මය ශ්‍රවණය කරනවා. තමාගේ සිත කුසලාරම්මණයන් කෙරෙහි එකඟ වූ සිතක් හැටියට පවත්වා ගන්නවා. ඒ උතුම් දහම ශ්‍රවණය කරමින් සිටින විට තමා තුළ ඇලීම්, බැඳීම්, ගැටීම්, මුලාව ඒ ඒ ආරම්මණයන් කෙරෙන් දකිමින් සංසිඳවා ගන්නා සේ ම බාහිර ආරම්මණයන් කෙරෙහිත් සංසිඳවා ගන්නට මේ ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව සමත් වෙනවා. නිදසුනක් ලෙස දැක්වූවොත් ‘මම මගේ යැයි පවසමින් දැඩිව සිතින් ඇලී බැඳී සිටිනා පණ ඇති හෝ පණ නැති යම් වස්තූන් පිළිබඳව මේ මොහොතෙහි නුවණින් සිහිපත් කර ගන්නවා.


එනම් පඨවි ආදී හේතුප්‍රත්‍යයන්ගෙන් හට ගත් ‘මම, මගේ යැයි පවසන ශාරීරික පුංජය නිරන්තරයෙන් විසිරී යනවා නම්, සැබෑ අයිතියක්, පාලනයක් මා කෙරෙහි පවතින්නේ නැති නම් ‘මම මගේ කියා පවසමින් සිතින් බැඳ පවත්වාගෙන සිටින මවුපියෝ, දරුවෝ, ස්වාමියා, බිරිඳ, ධන ධාන්‍යය, ගේදොර වස්තූන් පමණක් නොව තනතුරු, කීර්ති, ප්‍රශංසා, ලාභ සත්කාර මේ සියල්ලක් පවා ස්ථිර නොවන බව ය. හේතූන්ගෙන් සකස් වූ බවත්, හේතූන්ගෙන් විසිර යෑමෙන් වහා වෙනස්වන බවත්, නැතිව යන බවත් නාම රූප ධර්ම පමණක් බවත්, ධර්මය තුළින් ම හඳුනා ගන්නවා. ඒවා තම සිතින් පරමාර්ථ ධර්ම වශයෙන් හඳුනාගන්නා විට කාලයක් පුරා සිතේ ඇලී තිබුණ ඇලීම්, බැඳීම් තමා කෙරෙන් වගේ ම බාහිර ආරම්මණයන් කෙරෙනුත්, සංසිඳී යන බව තමාට වැටහෙනවා. දැනෙන්නට පටන් ගන්නවා. එය ඉතා ම හොඳ අවස්ථාවකි.


නමුත් මේ උච්ඡංග පඤ්ඤා නම් වූ පුද්ගලයාගෙන් ඊළඟට සිදුවන වරදක් තිබේ. එනම් යමෙක් ‘ඔඩොක්කුවේ තබාගෙන තිබෙන යමක් මැනවින් අල්ලා ගන්නේ නැතිව, නැගිටින විට ඔඩොක්කුවේ තබා තිබූ දේ බිමට වැටෙනවා සේ’ මේ පුද්ගලයා දහම් ශ්‍රවණය කරමින් සිටින විට තමා තුළින් හා බාහිර වශයෙන් සංසිඳුවා ගත් ලෝභ, ද්වේෂ, මෝහ කෙලෙසුන් එතැනින් ම අවසන් කොට නැවත නැගිට යන්නේත්, එදිනෙදා ජීවිතය සාමාන්‍ය වශයෙන් පවතින්නේත්, අර සංසිඳුණු ලෝභ, ද්වේෂ, මෝහ නැවතත් පිහිටුවා ගෙනයි, මතුකොටගෙනයි.


මෙහි දී සාමාන්‍ය ජන සමාජය පෙන්වා දෙන නිදසුනක් අපට ධර්මය තේරුම් කර ගැනීමට හැකියි. ඔබ පින්කම් කරන කෙනෙක් නේද? ඔබ ධර්මය ශ්‍රවණය කරන කෙනෙක් නේද? ඔබ ධර්මය තුළ හැසිරෙන කෙනෙක් නේද? එහෙත් ප්‍රශ්නයකට මුහුණ දෙන විට ඔබ සිතන ආකාරය, කතා කරන ආකාරය, හැසිරෙන ආකාරය හාත්පසින් ම වෙනස්. ධර්මය අසන විට, කියන විට, කතා කරන විට, ලෝභ, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් අසන ඔබ, කතා කරන ඔබ, අන් අයටත් පෙන්වා දුන් ඔබ දැන් ක්‍රියා කරන්නේ දැඩි ආශාවෙන්, තරහින්, වෛරයෙන්, මුලාවෙන් නොවේ ද? කියා ඔබට නොවැටහෙයි ද? කියන දේ අනුගමනය නොකරන, අනුගමනය කරන දේ නො කියන පුද්ගලයෙක් හැටියට ඔබ කටයුතු කරන බව පැහැදිලියි. තවදුරටත් සඳහන් කළොත් එකක් කියන, තව එකක් කරන, මතුපිටින් පෙනෙන දෙයට වඩා අභ්‍යන්තර චරිතයකින් යුතු දෙපැත්තක් ඇති චරිතයක් යන අදහසයි.


මේ දහම් කරුණු පිළිබඳව හෝ විග්‍රහයන් පිළිබඳව ඉතා ම කරුණාවෙන් සිහිපත් කරන්න. වර්තමානයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බෝධිසත්වයන් ලෙස ධර්ම මාර්ගය තුළ ජීවිත පවත්වද්දී එහෙත් ප්‍රමාණයෙන් වැඩි වීගෙන යන පිරිසක් හැටියට අප මේ විස්තර කරන පිරිස දැකිය හැකියි. එනම් ධර්මය ශ්‍රවණය කරන විට, පින්කම් කරන විට, ආගමික කටයුතුවල නිරතව සිටින විට මනා වූ වස්ත්‍ර හැඳ පැළද නිවුණු සංසිඳුණු චරිත හැටියට පෙන්වූවත් සාමාන්‍ය ජීවිතයේ හැසිරෙන විට අටලෝ දහමට මුහුණපාන විට ධර්ම මාර්ගයට කෙසේවත් මුහුනොවුණු පුද්ගලයන් ලෙස හැසිරෙන ආකාරයත් දැකගත හැකියි. ඔවුන් සිතන හා කතා කරන තද වචන යම් විටෙක පරුෂ වචන පවා ඔවුන්ගේ ක්‍රියා හොඳින් හෝ නරකින් හෝ මම මේවා අල්ලා ගනිමියි යන අදහසක් වැනි ලෙස පවසන, කරන දේ දකින විට ධර්ම ශ්‍රවණයේ ඇති කරගත් සංයමය ආශ්‍රවයන්ගේ තාවකාලික හෝ පාලනය මෙහි දී නැතිව ගොස් ඇති බව පැහැදිලියි.


- දීපා පෙරේරා



ධම්මානුපස්සනාව - බොජ්ඣංග


ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි ධම්ම විචය සම්බොජ්ඣංගය:

ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නට...
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

ධම්ම විචය සම්බොජ්ඣංගය දියුණු කර ගැනීම සඳහා කොයි කවුරුත් තම දහම් දැනුම දියුණු කරගත යුතු යි. ධම්ම විචය යනු නුවණට නමකි. එනම්, ධර්මයේ හැසිරීම යි. බෝධි අංග නිර්වාණය අවබෝධ කරගැනීම සඳහා ප්‍රඥාව විශේෂාංගයක් ලෙස සැලකෙනවා.

බොජ්ඣංග පිළිබඳ කොයි කවුරුත් ඉගෙන ගෙන සිහි නුවණ වැඩිකරගෙන ඉදිරියට යාම බුදු දහමින් ප්‍රකාශ වෙයි. මෙම බොජ්ඣංගය සෑම කෙනෙකු විසින් ම කුමක්දැ’යි අවබෝධ කළ යුතු යි. නිවන් සම්පත් අවබෝධ කර ගැනීම සඳහා කරුණු හතක් අවශ්‍ය වෙයි. එනම්, සිහි කල්පනාව, නුවණ, වීර්යය, සන්තෝෂය, කෙලෙසුන්ගෙන් ධරත භාවයක් නැති බව, සමාධිය සහ මධ්‍යස්ථබව යි. මෙම කරුණු හත සඳහා මූලික වන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව නැති වුණොත් සිහිය, වීර්යය, සොම්නස එකකවත් සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. ධම්මවිචය සම්බොජ්ඣංගය තමා කෙරෙහි විද්‍යමානව ඇත්තා වූ හෝ ධම්මවිචය සම්බොජ්ඣංගය මාගේ අධ්‍යාත්මිකව හෝ ධම්මවිචය සම්බොජ්ඣංගය දැන් මා කෙරෙහි ඇත්තේ යැ’යි දත යුතු යි. තමා කෙරෙහි අවිද්‍යමාන වූ ධම්ම විචය සම්බොජ්ඣංගය මාගේ සිතේ නැති කල්හි නැති බව දැනගත යුතු යි. නූපන්නා වූ ධම්මවිචය සම්බොජ්ඣංගය නූපන්න බව දැනගත යුතු ය. උපන්නා වූ ධම්මවිචය සම්බොජ්ඣංගය උපන්නා වූ බව දැනගත යුතු යි. එවිට තමන්ගේ යටවී තිබෙන නුවණ මතු වී ධම්මවිචය සම්බොජ්ඣංගය හෙවත් ප්‍රඥාව දියුණු වන්නේ ය. ඒ නිසා ඔබ සෑම කරන කියන සෑම කටයුත්තක්ම නුවණ පහළ කරගෙන කර ගැනීම තුළින් ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩෙන්නේ ය. දියුණු වන්නේ ය. ධම්මවිචය සම්බොජ්ඣංගය නුවණට නමක් බව කාටත් වැටහෙනවා. නුවණ නැතිව නිවන් මඟ, සුගති මඟ යන්න පුළුවන්කමක් නැහැ. නිවන් සම්පත් අවබෝධ කරගැනීම සඳහා ධම්මවිචය සම්බොජ්ඣංගය විශේෂයෙන් උපකාරක ධර්මයක් වෙයි.

ධම්ම විචය සම්බොජ්ඣංගය උපදවා ගන්නට කරුණු හතක් අවශ්‍ය වෙයි. එනම්, ස්කන්ධ ධාතු ආයතනය ඉන්ද්‍රිය බල බොජ්ඣංග ආදී ගැඹුරු ධර්ම පිළිබඳව නොදත් දේ දැන ගැනීම සඳහා ප්‍රශ්න විචාරීම ආදී සාකච්ඡා කිරීම් වෙයි. දෙවැන්න අධ්‍යාත්මික– බාහිර වස්තූන් පිරිසුදුව තබා ගත යුතු යි. අඳින , පළඳින දේ , කන බොන දේ , ඉන්න හිටින තැන් ආදිය සෑම දෙයක් ම පිරිසුදුව තබා ගැනිම යි. තෙවැන්න ශ්‍රද්ධා- ප්‍රඥා , සමාධි- වීර්යය එකට එකක් වැඩි නොවන සේ ඉන්ද්‍රියන් සමව තබා ගැනීම එනම්, ඇඟිලි පහක් සේ ඇති ඉන්ද්‍රියයන් පහ ඇඟිලි පහ වගේ තබා ගන්නේ නැතිව සම මට්ටමට ගෙන ආ යුතු යි. සිව්වැන්න නුවණ මද මෝඩ පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකීම, පස්වැන්න ඥානවන්ත පුද්ගලයන් ආශ්‍රය කිරීම, හයවැන්න ගම්භීර ඥාන චර්යාව ඇති පුද්ගලයන්ගේ චරිත මෙනෙහි කිරීම, වැදගත් උදවියගේ ඥාන, වීර්යය, ධීර උතුමන්ගේ චරිතාපදාන කියවීම, එයින් ද නුවණ වැඩෙයි. තව ද සෑම ක්‍රියාවකදී ම නුවණ වැඩෙන සේ කටයුතු කිරීම, මේ හැම දෙයක් කෙරෙහිම ඇලී ගැලී වාසය කිරීම, ආදී කරුණු හත ධම්ම විචය සම්බොජ්ඣංගය දියුණු කර ගැනීමටත් අත්‍යඅවශ්‍ය කරුණු හතක්. ඒ නිසා කොයි කවුරු වුණත් තමන්ගේ නුවණ දියුණු කර ගැනීම සඳහා හොඳට ධර්මයට අනුව කටයුතු කළ යුතු යි. එවිට ධම්මවිචය සම්බොජ්ඣංගයත් ඇති වෙනවා, පවතිනවා,නැති වෙනවා. නැවත ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒ නිසා මෙම බොජ්ඣංගයත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සැලකිය යුතු යි. තමන්ගේ සිතෙහි නුවණ තියෙනවානම් එය තිබෙන බවත්, නැති නම් නුවණ නැති බවත් , නූපන් නුවණ ලැබුණු බවත්, උපන්නා වූ නුවණ දියුණු වූ බවත් දැනගත යුතු යි. එය ධම්මවිචය සම්බොජ්ඣංග භාවනාව නම් වෙයි.

හොඳට නුවණින් පරික්ෂා කර බලමින් නුවණ මෙහෙයවා කටයුතු කළොත් සෑම දෙනාටම පුළුවන්කම තියෙනවා, ගුණ ධර්ම හොඳින් දියුණු කර යහපතට අනුව කටයුතු කරන්න. මේ ගැන හසල දැනුමක් කවුරුත් ඇතිකරගෙන ධම්මවිචය නම් වූ නුවණ හොඳට දියුණු කරගත යුතු යි. ඥාන සම්ප්‍රයුක්ත නමින් වදනක් තිබෙනවා, සිත දියුණු කර ගැනීමේ ක්‍රමයක් ලෙසට. සෝමනස්ස සහගත සහ ඥාන සම්ප්‍රයුක්තය, එහි සෝමනස්ස යනු සන්තෝෂය යි. ඥාන සම්ප්‍රයුක්ත යනු නුවණ යි. මේ නුවණ නොයෙක් ක්‍රමවලට බෙදෙයි. අභිධර්ම පිටකයෙහි ධර්ම සංගනී ප්‍රකරණයෙහි ප්‍රඥාවට, නම් තිස් ගණනක් තිබෙයි. ධම්ම විචය වදනත් එයට ම ඇතුළත්. ඒවා එකිනෙක අර්ථ වෙනස් කරන්නේ ප්‍රඥාව එකක් වුණත්, ඒ නම්වල අර්ථ වෙනස්. අවබෝධාර්ථ වෙනස්. එසේනම් , අපි බණ අසන වේලාවේත්, භාවනා කරන වේලාවේත් හොඳ නුවණින් කටයුතු කළොත් ධම්මවිචය සම්බොජ්ඣංගය හොඳින් වැඩෙයි. කරන, කියන , සිතන සෑම දෙයක් කෙරෙහි ම සිහි නුවණින් ම කටයුතු කළොත්, මේ බොජ්ඣංගය තම සිතෙහි හොඳින් පහළ වෙයි. ඒවා දියුණු කර ගැනීම සඳහා මේ තථාගත ධර්මය අපට පෙන්නුම් කරන්නේ. කිසිම දෙයක් කෙරෙහි අවධානයක් නැතිව, ඕනෑවට එපාවට කටයුතු කළොත්, විශාල පිරිහීමක් වෙයි. එම පිරිහීම වළක්වා ගන්නට එක එක උපදේශ බුදුරජාණන් වහන්සේ අපට ලබා දුන්නේ. ඒ සෑම උපදේශයකින් ම ක්‍රියාත්මක කරන්නේ, නුවණ දියුණු කර ගැනීම සඳහා යි. පොත පත කියවීමත්, රැකියාව කිරීමත්, ගුරු බසට සවන් දීම, ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමත් නුවණ මෙහෙයවා සිද්ධ කෙරෙනවා. විශේෂයෙන් දාන , ශීල, භාවනා පින්කම්, අමෝහය ප්‍රඥාව යොදා කළොත් එය ගරු ගාම්භීර පිනක් බවට පත් වෙනවා.

යමක ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නට, තේරුම් බේරුම් කරගන්නට, අවශ්‍ය කරන්නේ මෙම ප්‍රඥාව යි. මේ ප්‍රඥාවේ බලගතු බව කෙසේදැ’යි සඳහන් කළොත්, ධ්‍යාන ලබන්න, සමාධි, සමාපත්ති, විදර්ශනා ඥාන, ලබන්නට මහෝපකාරී වෙනවා. එපමණක් නොව , මේ ප්‍රඥාවටම යි, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල ලැබෙන්නේ. පසේ බුද්ධ ඥාන, සර්වඥතා ඥාන, ලොවුතුරා බුද්ධත්වය ආදී සියලුම දේ ලැබෙන්නේ ප්‍රඥාවට යි. කයට නෙවෙයි, හිතට යි ලැබෙන්නේ. හිත සමඟ ලැබුණා වූ ප්‍රඥාව නිසා හොඳට දියුණු තියුණු කරගන්නට, තරම් ශක්තිය ලැබිලා තිබෙන්නේ. යමක් දේශනා කළ විට එය තත්ත්වාකාරයෙන් දැන ගැනීම ධම්ම විචය යි. ‘නිවන පිණිස හේතු වේවා’ යන පැතුම ධම්මවිචය සම්බොජ්ඣංගය යි. මොහොතක් පාසා ම එය නුවණින් පිරික්සා බලද්දී වැටහෙනවා. බණ ඇසීමේ දී,භාවනාවේ දී ද, සෑම පින්කමකදී ම නුවණ වැඩිවෙත්ම ධම්ම විචය සම්බොජ්ඣංගය අනිවාර්යෙන් වැඩෙයි.

මේ ගැන හසල දැනුමක් කවුරුත් ඇතිකරගෙන බණ භාවනා කටයුතු හොඳට දියුණු කර, ගුණ නුවණ දෙක දියුණු තියුණු කර ගැනීම සඳහා තමන්ගේ බොජ්ඣංග ධර්මය වඩාත් දියුණු තියුණු කරගන්නට වෙනවා. කුඩා කල පටන් ජීවිතය අවසානය දක්වා ම අපේ ක්‍රම, සැලැස්ම විවිධාකාර වෙයි. ඒවා නුවණට ගෝචර කර ගැනීම සඳහා සැමට ම ලැබුණා වූ නුවණ භාවිත කළ යුතු යි. විද්‍යාඥයා තමන්ට අයිති කාර්යය නිවැරැදිව නුවණින් බලා, ප්‍රකාශ කරනවා, එය දැන ගන්නවා. ඒ , ඒ දේ පිළිබඳ දක්ෂ විය යුතු යි. ධර්ම ශාස්ත්‍රය පිළිබඳවත්, සෑම දෙයක් ම දැනගැනීම පිළිබඳවත් දැනීම ලැබෙන්නේ නුවණින්. එසේනම්, මේ නුවණ හොඳට වටහාගෙන ඥාන සම්ප්‍රයුක්ත අමෝහ වචනවලින් ප්‍රකාශ වන දේ දියුණු කරන්නට වෙනවා. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන කොට, බලවත් ඕනෑකමකින්, උත්සාහයකින් කටයුතු කළ යුතු යි. එය හොඳට දියුණු තියුණු කර, තමන්ගේ පිළිවෙත ඉදිරියට ගෙන යන්න. ඒ සඳහා නුවණ අත්‍යවශ්‍ය වෙයි. බුදු, පසේබුදු , මහ රහතන් වහන්සේලා දීර්ඝ කාලයක් ධම්මවිචය සම්බොජ්ඣංගය දියුණු කළ නිසා තමන් වහන්සේලාට උත්තරීතර තත්ත්වය ලැබුණේ. ඕනෑම කෙනෙක් නිවන් සම්පත් ප්‍රාර්ථනා කරනවානම්, ඒ ප්‍රාර්ථනාව තුළ ඇත්තේ ධම්ම විචය සම්බොජ්ඣංගය යි. මේ කරුණු කාරණා කවුරුත් හොඳින් දැනගෙන, මගේ සිතෙහි මේ මොහොතේ නුවණ තිබෙනවා යැ’යි , මේ මොහොතේ නුවණ නැතැ’යි පෙර සඳහන් කළ ක්‍රම හයටම අනුකූලව හොඳට පිරික්ෂා කර බැලීමෙන් ධම්ම විචය සම්බොජ්ඣංගය වැඩෙයි. එය තවත් දියුණු කර ගැනීම සඳහා කවුරුත් ආගමට, දහමට , ශාසනයට ලැදිව කටයුතු කිරීම ඉතාමත් ම වැදගත්. ලොවුතුරු බුදු දහමට අනුව ශීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන, ඕනෑම කෙනෙකුට පුළුවන්කම තිබෙනවා, බුදු දහමට අනුව කටයුතු කරලා, තමන්ගේ ධම්ම විචය ප්‍රඥාව දියුණු කර ගන්න. ප්‍රඥාවේ ඉහළම තනතුර සර්වඥතා ඥානය යි. එය ලැබෙන්නේ ලොවුතුරා බුදු කෙනෙකුට පමණ යි. මේ ලෝක ධාතුව, අනන්ත ලෝක ධාතු දෙස, බැලිය හැකි සෑම ලෝකයක් පිළිබඳව ම අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. එතරම්ම දීර්ඝ, ඉහළටම ගිය නුවණක් ලබන්නටත්, ධම්මවිචය සම්බොජ්ඣංගය ප්‍රයෝජනවත් වෙනවා. අන් දේ ගැන කවර කතා ද? ඒ නිසා කවුරුත් තම නුවණ භාවිත කර , සිහි කල්පනාව හොඳින් යොදවා, සම්බුද්ධ ශාසනයෙන් ලබාගත යුතු ගුණ ධර්ම ටික ලබාගෙන, ධම්මවිචය සම්බොජ්ඣංගය උපදින ආකාරය හොඳට බලාකියාගෙන ඉන් තම සිතට විශාල දැනුමක් ලබාගෙන, මේ කියන කරුණු කාරණා හිතට ගෙන, ඉදිරියට යාමෙන් තමන්ගේ භාවනා ක්‍රම හොඳට වඩා වර්ධනය කරගන්න පුළුවන්.

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා යනුවෙන් සිතන විටත්, ධම්ම විචය සම්බොජ්ඣංගය වැඩෙනවා. ඉතිපි සෝ භගවා, අරහං, සම්මා සම්බුද්ධෝ යන බුදු ගුණ මෙනෙහි කිරීමේ දී ත් ලැබෙන්නේ ධම්මවිචය සම්බොජ්ඣංගය යි. මේවා හොඳින් සිතාගෙන සිහි නුවණින් ආගමික කටයුතු සම්පූර්ණ කරගත් විට කරදර, පීඩා , බාධක වලින් තොරව මේ ගමන ඉදිරියට යන්න පුළුවන්. එසේනම්, තුනුරුවන් සරණින් ධම්මවිචය සම්බොජ්ඣංගය හොඳට වඩා වර්ධනය කර ගනිමින් දැනුම වැඩි දියුණු කරගෙන , සීලා දී ප්‍රතිපත්තිත් වැඩි කරගෙන මාර්ග ඵල නිවන් පසක් කර ගැනීම සඳහා හේතු වාසනා වේවා!

- ජම්මික ප්‍රබෝධනී වැලිකල

 

කූට සූත්‍රය

 


 කූට සූත්‍රය  

223

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, යම්සේ වනාහි කූටාගාරයක (කුළුගෙයක) යම්කිසි ගොනැසි (පරාල) වෙත්ද, ඒ සියල්ල මුදුනට ගමන් කළාහු, මුදුන හා එක්වූවාහු වෙත්ද, මුදුන බිඳීයාමෙන් ඒ සියල්ල විනාශයට යෙත්ද, මහණෙනි, එසේම වනාහි යම්කිසි අකුශල මූලයෝ වෙත්ද, ඒ සියල්ලම අවිද්‍යාවට ගමන් කරන්නාහු, අවිද්‍යාවට එක්වන්නාහු, අවිද්‍යාවට සම්බන්ධ වන්නාහු වෙත්. අවිද්‍යාව නැසීම හේතුකොටගෙන ඒ සියල්ලද විනාශයට යෙත්. මහණෙනි, එහෙයින් මෙහිදී තොප විසින් මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අප්‍රමාදව වාසය කරමු’ කියායි. මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(පළමුවෙනි කූට සූත්‍රය නිමි.)


චිත්තය


චිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ අනේක ප්‍ර‍කාරාර්ථයන් පිළිබඳ වූ දැනීම ය, “චේත, මන, විඤ්ඤාණ, හදය, මානස,” යන මේවා ද චිත්තය ම දක්වන පාළි වචනයෝ ය. ඇසය, කනය, නාසයය, දිවය, කයය, හෘදයය යන මේ ස්ථානයන්හි සිත පහළ වේ. එය ක්‍රියාවක් වුවද ව්‍යවහාර පහසුව පිණිස දැනීම කරන කර්තෘ ශක්තිය ඇති ද්‍ර‍ව්‍යයක් සේ ද කරණ ශක්තිය ඇති ද්‍ර‍ව්‍යයක් සේ ද ව්‍යවාහර කරනු ලැබේ. දැකීමය, පෙනීමය, ඇසීමය යනාදි වශයෙන් ඒ ඒ ආකාරයෙන් උපදනා සිත් හැඳින්වීමට පාවිච්චි කරන වචන ව්‍යවහාර භාෂාවේ බොහෝ ගණනකි. ඇසෙහි රූපයක් ගැටුණු කල්හි එය පිළිබඳ දැනුමක් හෙවත් සිතක් පහළ වේ. එය ප්‍ර‍කාශ කිරීමේ දී දැනීමය යන වචනය ව්‍යවහාර නො කොට පෙනීමය දැකීමය යන වචන ව්‍යවහාර කරති. ඇසට හමුවීමෙන් යමක් දත් කල්හි පෙනුණේය කියා හෝ දුටුයේය කියා හෝ කියති. වචනය අනෙකක් වුවද එයින් හඟවන්නේ දැනීම මය, හෙවත් සිත ම ය. කනෙහි ශබ්දයක් ගැටුණු කල්හි, ඒ හඬ දැන ගන්නා සිතක් උපදී. එයට හඬ දැනුම ය යි නො කියා ඇසීමය යි කියනු ලැබේ. ඇසීම යන වචනයෙන් දැක්වෙන්නේ හඬ දන්නා වූ සිතය. නාසයට දුඟඳක් පිවිසි කල්හි සමහර විට ගඳක් දැනේය යි කියති. සමහර විට දැනීමය යන වචනය නො ගෙන ගඳයයි ම කියති. එබඳු අවස්ථාවලදී ගඳය යන වචනයෙන් හඟවන්නේ ද ගඳ දැන ගන්නා සිත ම ය. රසයක් මුඛයට පැමිණි කල්හි ද සමහර විට රසක් දැනේයයි කියති. සමහර විට එසේ නො කියා තිත්තය ඇඹුල්ය යනාදීන් රසයේ නම ම කියති. එබඳු අවස්ථාවල දී රසයේ නමින් පවසන්නේ ද ඒ රසය දන්නා සිත ම ය. ශරීරයෙහි යම් කිසිවක් සැපුණු කල්හි සමහර විට සැපෙන බව දැනේය යි කියති. සමහර විට එසේ නො කියා සැපීමෙන් වන ඵලය හඟවන රිදීමය, ශීතලය, උෂ්ණය යන වචන කියති. එබඳු අවස්ථාවල දී ඒ වචනවලින් කියැවෙන්නේ ද ස්ප්‍ර‍ෂ්ටව්‍යය දන්නා සිතය. පඤ්චප්‍ර‍සාද සම්බන්ධයක් නැතිව සිතක් ඇති වූ කල්හි සමහර විට සිතුණේය යි කියති. සමහර විට දැනුණේය, කල්පනා වුණේය, ඕනෑ වුනේය, වැටහුණේ ය, තේරුණේය, හැඟුණේය යනාදි වචන කියති. ඒ සියල්ලෙන් ම කියැවෙන්නේ සිත ම ය. කරුණු මෙසේ හෙයින් දැකීමය, පෙනීමය, ඇසීමය, ගඳය, සුවඳය, තිත්තය, කසටය, ශීතය, උෂ්ණය, කල්පනාවය, ඕනෑකමය යනාදි වචනවලින් දැක්වෙන්නා වූ අර්ථය චිත්තපරමාර්ථය යි දත යුතුය. මේ වචනයන් අතුරෙන් ඇතැමකින් අධිකාර්ථ ද කියැවේ. නිවැරදිව ම සිතා ගැනීමට අධිකාර්ථ හළ යුතුය.

රථයේ ගමන ක්‍රියාව රථයෙන් ම එන වේගයකි. මිනිසකුගේ ගමන ක්‍රියාව ශරීරයෙන් නැඟෙන වේගයකි. අතක එසවීම් ක්‍රියාව අතින් නැගෙන වේගයකි. එමෙන් සිතය යි කියන ආරම්මණ විජානන ක්‍රියාව ආරම්මණ ග්‍ර‍හණ ක්‍රියාව චිත්ත පරම්පරාවේ අගින් නැග එන වේගයකි. පෝර ලැබෙන ලැබෙන සැටියට වැලක අගින් දලු ලියලන්නාක් මෙන් අරමුණු ලැබෙන ලැබෙන සැටියට ඒ ඒ අරමුණු ගැනීම් වශයෙන් චිත්ත පරම්පරාවේ අගින් අළුත් අළුත් සිත් පහළ වේ. සිත් පහළ වනුයේ චක්ෂුරාදි වස්තූන්හි ය. එහෙත් සිත ඒවායින් නැඟ එන්නක් සැටියට නො ගත යුතු ය. සිත චක්‍ෂුරාදි වස්තූන්ගෙන් නැඟ එන්නක් නම් වස්තු කීපයක එකවර රූප ශබ්දාදි අරමුණු ගැටුණු කල්හි ඒ ඒ වස්තුවල එකවර ම ඒ ඒ අරමුණු පිළිබඳ සිත් පහළ විය යුතු ය. එක් සන්තානයක එකවර සිත් දෙකක් පහළ නොවන බැවින් ශරීරයේ කොතැනක සිත පහළ වුව ද පහළ වන සෑම සිතක් ම චිත්ත පරම්පරාවේ අගින්ම පහළ වන බව දත යුතුය. සිත: චිත්ත පරම්පරාවේ අගින්ම නැඟ නැඟ එන වේගයක් සැටියට නො ගෙන ශරීරයෙන් හෙවත් නිඃශ්‍ර‍ය වස්තූන්ගෙන් නැගෙන වේගයක් සැටියට ගතහොත් අරූප භූමියක් ඇති බව ඔප්පු කළ නො හැකි වන්නේ ය. පුනරුත්පත්තියක් ඇති බව ද ඔප්පු කළ හැකි නො වන්නේ ය. සිත: චිත්ත සන්තතියේ අගින් ම නැඟෙන දෙයක් සැටියට දක්නා තැනැත්තා හට පුනරුත්පත්තියක් ඇති බව ද පහසුවෙන් ම පෙනෙන්නේ ය.

ඇතැමෙක් සිත් ඇතිවීමේ ප්‍ර‍ධාන හේතුව අරමුණයයි කියති. අරමුණු සෑම තැන ම ඇත. කොතෙක් අරමුණු ඇතත් පැවත එන සිත් පරම්පරාවක් නැති නම් සිතක් නූපදී. ආරම්මණාදි හේතූන්ට සිත ඉපද විය හැකි වන්නේ පැවත එන සිත් පරම්පරාවක් ඇති කල්හි පමණෙකි. එබැවින් සිත් ඇති වීමේ ප්‍ර‍ධාන හේතුව ආරම්මණය නොව පැවත එන සිත් පරම්පරාව බව දත යුතුය. අරමුණක් නැති ව සිතට ඇති විය නොහෙන බැවන් අරමුණ ද සිත් ඇති වීමේ බලවත් හේතුවක් බව කිය යුතුය.

සිතේ ආයුෂය

අහසේ හටගන්නා විදුලිය සැණෙකින් කිසිවක් ඉතිරි නො වී නැති වන්නාක් මෙන් ද, බෙරයකින් නිකුත් වන හඬ සැණෙකින් කිසිවක් ඉතිරි නොවී නැති වන්නාක් මෙන් ද, කර අවසන් වනු සමඟ ම සිදුවී අවසන් වනු සමඟ ම එයින් කිසිවක් ඉතුරු නොවී ක්‍රියා අභාවප්‍රාප්ත වන බව ඉහත කියන ලදී. සිත ද ක්‍රියාවක් බැවින් ක්‍රියාවන්ට අයත් වූ ඒ ස්වභාවය නො ඉක්මවා ඉපද මොහොතකුදු නො පැවතී වහා අභාවප්‍රාප්ත වේ පරමාර්ථ ධර්මයන්ගේ ඒ අභාවප්‍රාප්තියට නිරෝධය යි ද භංගය යි ද කියනු ලැබේ. එක් සිතකට උපදනා කාලයය, පවත්නා කාලයය, බිඳෙන කාලයය යි කාල තුනක් ඇත්තේ ය. ඒ තුන් කාලය ප්‍ර‍මාණයෙන් සමය. එකකවත් දිගින් අඩු වැඩි කමක් නැත. උපදින්නට යම් පමණ කාලයක් වේ නම් එපමණ ම කාලයක් පැවතී එපමණ ම කාලයකින් බිඳී යාම චිත්ත චෛතසික පරමාර්ථයන්ගේ ස්වභාවය ය. රූප පරමාර්ථයන්ගේ ජීවන කාලය සිත මෙන් සතළොස් ගුණයකි. සිතේ ඉපදීමට උත්පාදය යි ද, පැවැත්වීමට ස්ථිතිය යි ද, අභාවප්‍රාප්තියට භංගය යි ද කියනු ලැබේ. උත්පාදස්ථිති භංග යන මේ තුන් කාලයට චිත්තක්ෂණය යි කියනු ලැබේ. චිත්තක්ෂණය ඉතා ලුහුඬු කාලයකි. එක් සන්තානයක එක් සිත් පරම්පරාවක එකවර සිත් දෙකක් නූපදනේ ය. දෙවන සිතක් උපදින්නේ උපන් සිත සම්පූර්ණයෙන් අභාවප්‍රාප්ත වූ පසුය. සාමාන්‍ය ලෝකයා විසින් ඉතා කෙටි සැටියට සලකන්නේ අසුරක් ගැසීමට ගත වන කාලය හා ඇසිපිය හෙළීමට ගත වන කාලය යි. “සො පන ඛණො අච්ඡරාසංඝාත ඛණස්ස අක්ඛිනිම්මීලනඛණස්ස ච අනෙකකොටි සතසහස්ස භාගො දට්ඨබ්බො” යනුවෙන් සිතක ජීවන කාලය, අසුරු ගසන කාලයෙන් ඇසිපිය හෙළන කාලයෙන් කෝටි ලක්ෂ ගණනකින් කොටසක් තරමට කුඩා බව දක්වා තිබේ.

උපන් සිත කෙතරම් ඉක්මනින් කොතෙක් වේගයෙන් නිරුද්ධ වෙතත් තැන සිස් නොවන ලෙස නිරුද්ධ වන සිත හා බැඳී උපදින සේ අලුත් අලුත් සිත්: එළඹ සිටින අනේකප්‍ර‍කාර ආරම්මණයන් ගනිමින් උපදනේ ය. නිරෝධසමාපත්ති අවස්ථාව හා අසංඥභූමියේ ඉපද සිටින අවස්ථාවන් හැර චිත්ත පරම්පරාවේ සිත් නූපදනා අවස්ථාවක් නැත. විශේෂාරම්මණයක් නො ලද කල්හි ප්‍ර‍තිසන්ධියට අරමුණු වූ කර්මාදීන් ගෙන් එකක් අරමුණු කරමින් වැල නො කැඩී සිත් උපදනේ ය. භවාංග සිතය යි කියන කර්මාදිය ගෙන උපදනා ප්‍ර‍කෘති සිත් ඇති බව අපට නො දැනේ. එය ගැන විස්තරයක් කිරීමට මෙය අවස්ථාව නොවේ. සිතේ ජීවන කාලය ඉතා ලුහුඬු බැවින් හා අතරක් ඇති නො වන සැටියට නිරුද්ධ වන සිත සමඟ බැඳී උපදනාක් මෙන් අලුත් අලුත් සිත් ඉපදිය යුතු බැවින් ද සිත් උපදනා තැන සිදු වන්නේ ඉතා වේගවත් වැඩ පිළිවෙලකි. එබඳු වේගවත් වැඩ පිළිවෙළක් කෙරෙන අන් කිසි යන්ත්‍ර‍යක් නැත. චිත්තායුෂය ඉතා ලුහුඬු බැවින් එක් සන්තානයක එකකට එකක් පෙර පසු වී අසුරුසැණක් තුළදී ඉපද නිරුද්ධ වන සිත් කෝටි ලක්ෂ ගණනක් වන බව දක්වා තිබේ. නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුට අසුරුසැණක් තුළදී ඉපද නිරුද්ධ වන සිත්වල ප්‍ර‍මාණය උපමාවකින් දක්වන්නාහු “වාහසතං ඛො මහාරාජ, වීහීනං අඩ්ඪචූළඤ්ච වාහා වීහිසත්තම්මණානි ද්වේ ච තුම්බා එකච්ඡරක්ඛණෙ පවත්තචිත්තස්ස එත්තකා වීහි ලක්ඛං ඨපීයමානෙ පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍යුං” යනු වදාළ සේක. එක්සිය පණස් යාළ සතමුණු දෙලාසෙක වී ඇට එක් අසුරු සැණෙක උපදනා සිත්වලට එක එක ඇටය බැගින් තැබුව හොත් වී සියල්ල ම අවසන් වේය යනු එහි අදහසයි. යාළ නම් වී කරත්තයකි. මෙය එක් අසුරුසැණක උපදනා සිත්වල නියම ප්‍ර‍මාණය දැක්වීමක් නොව බහුභාවය දැක්වීමකි. නිශ්චිත වශයෙන් ම එහි ගණනක් නො දැක්විය හැකිය. එක් අසුරු සැණෙකදී එක් පුද්ගලයකුට මෙපමණ මහත් රාශියක් සිත් උපදීය යන්න මෙය කියවන්නවුන්ට නො පිළිගැණෙන කරුණකි. එය පිළි ගත හැකි වන්නේ චිත්ත තත්ත්වය ගැන වැඩිදුර උගෙනීමක් ලැබූ පසුවයි. ඒ තැනට පැමිණීමට උත්සාහ කෙරෙත්වා.

සිතේ විසිතුරු බව

ලෝකය ඉතා විචිත්‍ර‍ ය. එහි විසිතුරු බව නම් එකිනෙකාට වෙනස් වූ අප්‍ර‍මාණ සත්ත්ව සමූහයක් හා එකිනෙකාට වෙනස් වූ වෘක්ෂලතාදි අප්‍ර‍මාණ වස්තු රාශියක් ඇති බව ය. සිත ද අරමුණේ සැටියට වෙනස් වූවකි. පොල් ගසක් අරමුණු කරන සිතට පුවක් ගසක් අරමුණු කරන සිත වෙනස් ය. කොස් ගසක් අරමුණු කරන සිත ඒ දෙකට ම වෙනස් ය. ගලක් අරමුණු කරන සිත ඒ තුනට ම වෙනස් ය. මෙසේ අරමුණෙන් අරමුණට ඇති වන සේ සිත් එකිනෙකට වෙනස් වන බැවින් ද ලොව ඇති හැම දෙයක් ම අරමුණු කරන සිත් ඇති වන බැවින් ද ලොව ඇති වස්තු ගණනට, පුද්ගල ගණනට එකිනෙකට වෙනස් සිත් ඇති වේ. එ බැවින් ලෝකය විචිත්‍ර‍ වන තරමට චිත්තය විචිත්‍ර‍ යයි කිය යුතුය. ලෝක විචිත්‍ර‍ත්වයේ ප්‍ර‍මාණයෙන් චිත්ත විචිත්‍ර‍ත්වය දැක්වීම මුහුදු ජලය ළිඳක ජලයට සම කිරීමක් වැනි ය. සත්‍ය වශයෙන් කියත හොත් ලෝක විචිත්‍ර‍ත්වයට වඩා ලක්ෂ ගුණයෙන් කෝටි ගුණයෙන් ප්‍රකෝටි ගුණයෙන් සිත ම විචිත්‍ර‍ය. ලෝකයෙහි ඇති එක් දෙයක් ගැන ඇති වන්නා වූ සිත් ද එකිනෙකට වෙනස් වන බැවිනි. එක ම වස්තුවක් ගැන දශ දෙනකුට ඇති වන සිත් දශය දශාකාර ය. සිය දෙනකුට ඇති වන සිත් සියය සියක් ආකාර ය. ලක්ෂයකට ඇති වන සිත් ලක්ෂය ලක්ෂාකාර ය. එක ම අරමුණක් ගැන එක ම සන්තානයක ඇති වන සිත ද දහස් වරක් ඇති වන්නේ දහස් ආකාරයකිනි. කරුණු මෙසේ හෙයින් සිත සේ විචිත්‍ර‍ වූ අනෙකක් ලොව නැත යයි කිය යුතුය. සත්ත්වයන් ගේ විසිතුරු බව ඇති වී තිබෙන්නේ ද සිතේ විසිතුරු බව නිසා ම ය.

සිතේ බලය

සිත ඇසට නො පෙනෙන කයින් ස්පර්ශ කළ නො හෙන පරම සූක්ෂම ධර්මයක් වුව ද එහි මහා බලයක් ඇත්තේ ය. ලොව ඇති අන් සියල්ල ම සිතට යටත් ය. එහෙත් දුබල සිත ලොව ඇති සියල්ලට ම යටත් ය. අරමුණු නිසා එය නොයෙක් අතට පෙරලෙන්නේ ය. සත්ත්ව ලෝකය පවත්නේ සිත නිසා ය. සත්‍ය දර්ශනයක් නැත්තවුන්ට නම් සිත පමණ උතුම් වටිනා තවත් දෙයක් නැත. ඔහු එහි පරමාත්මය කොට ගෙන හැසිරෙති. සත්‍ය දර්ශනය ඇතියවුන්ට පෙනෙන සැටියට නම් සිත පමණ තවත් නපුරක් ද නැත. සැම දුක ම ඇත්තේ සිත ඇති නිසා ය. සිත නැතහොත් කවර දුකෙක් ද? එය ම නිවන ය. මිනිසා හොඳ මිනිසකු කරන්නේ ද නරක මිනිසකු කරන්නේ ද සිත ය. ඔහු දෙව්ලොවට බඹලොවට යවන්නේ ද නරකයට ප්‍රේත බවට තිරිසන් බවට යවන්නේ ද සිත ම ය. සත්ත්වයාට සියලු සැප සම්පත් ගෙන දෙන්නේ ද සිත ම ය. සියලු දුක් සියලු විපත් පමුණුවන්නේ ද සිත ම ය.

සිතේ දුරවබෝධත්වය

අසංඥ භවයේ සත්ත්වයන්ට හැර අන් සැම දෙනාට ම සිත ඇත්තේ ය. ඔවුන් සැම දෙය ම දැන ගන්නේ ද සිතිනි. සිතක් ඇති බව ද ඔහු සැම දෙන ම දනිති. එහෙත් සිතේ සැටි නම් ඔහු නො දනිති. ඇසින් ලෝකය බැලිය හැකිය. එහෙත් ඇසට ඒ ඇස නො පෙනෙන්නේ ය. පිහියෙන් අනෙකක් කැපිය හැකි ය. ඒ පිහියෙන් එය ම නම් නො කැපිය හැකිය. එමෙන් සිතින් අනෙකක් දත හැකිය. අනෙකක් දැන ගන්නා වූ දක්නා වූ සිත තමාගේ සැටි නො දන්නේ ය. තමා නො දක්නේ ය. අනෙකක් දැන ගත්තා වූ සිත දැක ගන්නට නම් තවත් සිතක් ඇති විය යුතුය. තවත් සිතක් ඇති වන කල්හි තිබුණු සිත නැත. එබැවින් සිතේ සැටි දැන ගැනීම අතිශයින් දුෂ්කර ය. සිතේ සැටි සොයා ගැනීමට බොහෝ වෙහෙස විය යුතුය.

මතු සම්බන්ධයි!





පරමත්ථ



03

පරම + අත්ථ යන වචන දෙක එක් වූ කල්හි පරමත්ථ කියා වේ. පරම යනු උත්තමය යන අර්ථය දක්වන වචනයකි. ලෝකයෙහි උත්තමය, උසස් ය යන වචන භාවිත කරනුයේ හොඳ වස්තූන්ට හා හොඳ පුද්ගලයන්ට ය. එහෙත් පරම යන වචනයෙන් අදහස් කරන උත්තම බව නම් හොඳ බව හෝ නරක බව හෝ නොව හොඳ බැව්හි හෝ නරක බැව්හි වැඩි බව ය. එබැවින් ඉතා ම හොඳ කුශලයට පරම කුශල යයි ද, ඉතා ම නරක පාපයට පරම පාපය යි ද, ඉතා ම හොඳ සැපයට පරම සුඛය යි ද, ඉතා ම නරක දුකට පරම දුක්ඛය යි ද කියනු ලැබේ. තව ද ඉතා ම හොඳ මිතුරාට පරම මිත්‍ර‍යා යයි ද, ඉතා ම නරක සතුරාට පරම සතුරාය යි ද, ඉතා උසස් ලාභයට පරම ලාභය යි ද, ඉතා උසස් ධනයට පරම ධනය යි ද කියනු ලැබේ. මේ සෑම තැන ම පරම යන වචනයෙන් ගැනෙනුයේ ඒ ඒ ස්වභාවයා ගේ වැඩි බව ය. මෙහි උත්තම බව යයි කියනුයේ ඒ වැඩි බවට ය. හීනාර්ථය යි කී සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථය ද සත්‍ය වශයෙන් නැතත් එක්තරා ආකාරයකින් ලෝකයා ගේ පිළිගැනීමේ සැටියට ඇති අර්ථයකි. ඒවායේ ඇති බවට වඩා මහත් වූ ඇති බවක් සත්‍ය වශයෙන් ලැබෙන අර්ථයෙහි ඇත. එබැවින් එය සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථයට වඩා ඇතිකමින් හෙවත් විද්‍යමානත්වයෙන් උසස් ය. ඒ උසස් බව සලකා සත්‍ය වශයෙන් ලැබෙන ධර්මයන්ට පරමාර්ථය යි කියනු ලැබේ. හොඳ නරක දෙක කියා කියන උතුම් බව හා හීන බව අනෙකකි. ඒ ක්‍ර‍මයේ සැටියට කියන කල්හි කුශල පක්ෂයට ගැනෙන පරමාර්ථයෝ උත්තම ධර්මයෝ ය. අකුශල පක්ෂයට ගැනෙන පරමාර්ථයෝ හීනයෝ ය. මේ ක්‍ර‍ම දෙක අවුල් නො කර ගත යුතු ය.

නො පෙරළීම ය, නො වෙනස්වීම යන අර්ථ දැක්වීම සඳහා පරම යන පදය යෙදුණු තැනක් දක්නට නැත. ඇතැමුන් නො පෙරළීමක් නො වෙනස් වීමක් ගැන හා පහන් පඩික්කම් උපමා වගයකුත් පරමාර්ථය විස්තර කිරීමෙහි ලා කියතත් ඒවා මෙහි අනුචිත ය. ඒවායින් වනුයේ පරමාර්ථය තව දුරටත් අවුල් වී යෑමය. වැසී යෑම ය. ඒ නො පෙරළීම් කථාව නිසා ඇතැම්හු නො පෙරළෙන නො වෙනස් වන දෙය නම් නිවන පමණ ය, පරමාර්ථය වනුයේ ඒ නිවන පමණක් ම යයි වරදවා ගත්හ. පෙරළීමේ කථාව අත් හැර දැමුව හොත් එබඳු අවුල් නො වනු ඇත. ආභිධර්මිකයන් අතරට හා ඇතැම් අභිධර්ම පොත්වලට ද මේ නො පෙරළීමේ කථාව වැදී තිබෙන්නේ “පරමො උත්තමො අවිපරීතො අත්ථො පරමත්ථො” යන ටීකා පාඨයෙහි අවිපරීතො යන පදය වරදවා තේරුම් ගැනීමෙනැ යි සිතමු. නො පෙරළීමය යන අර්ථය දැක්වීම සඳහා අවිපරීත ශබ්දය ත්‍රිපිටක පාළියෙහි යෙදුණු තැනක් දක්නට නැත. ත්‍රිපිටක පාලියෙහි ඒ ශබ්දය යෙදී තිබෙනු දක්නට ලැබෙන්නේ සත්‍යය යන අර්ථය දැක්වීම පිණිස ය. විභාවිනී ටීකාකාරයන් වහන්සේ එය යොදා තිබෙන්නේ ද සත්‍යය යන අර්ථය දීම සඳහා ම ය. ටීකාචාර්‍ය්‍යයන් වහන්සේ පරම යන වචනයේ අර්ථය උත්තම යන වචනයෙන් කියා ඒ උත්ත බව කුශලාදි වශයෙන් නන් අයුරින් කිය හැකි බැවින් එහි අදහස් කරන උත්තම භාවය නම් සත්‍ය වශයෙන් ඇති බවය යන වග දක්වනු පිණිස සත්‍යාර්ථවාචී අවිපරීත ශබ්දය යොදා තිබේ. “පරමො උත්තමො අවිපරීතො අත්ථො පරමත්ථො” යන්නෙහි තේරුම උත්තම වූ සත්‍ය වූ අර්ථය පරමාර්ථය ය යනුයි. ව්‍යාකරණ පොත්වල පෙරළිය දැක්වීම පිණිස විපරීත යන වචනය යොදා තිබේ. මේ අවුල සිදුවී තිබෙන්නේ “අවිපරීතො” යන ටීකා වචනයෙහි අර්ථය, වියරණ පොත්වල ආ විපරීත යන්නට අනුව වරදවා ගැනීමෙනැයි සිතිය හැකිය.

අර්ථය වනාහි මූලාර්ථය විකෘත්‍යාර්ථය යි දෙවැදෑරුම් වේ. මුලින් ම තුබූ දෙය මූලාර්ථය යි. මූලාර්ථයක් වෙනස් කොට තනන ලද වස්තූන් විකෘත්‍යාර්ථයෝ ය. මැට්ට මූලාර්ථයෙකි. එයින් තැනූ සැළි ආදීහු විකෘත්‍යාර්ථයෝ ය. ලෝභය මූලාර්ථයෙකි. එයින් තැනූ ආයුධ භාජනාදීහු විකෘත්‍යාර්ථයෝ ය. ලීය මූලාර්ථයෙකි. එයින් කළ පුටු මේස ආදීහු විකෘත්‍යාර්ථයෝ ය. මූලාර්ථය සැබෑවට ම ඇතියකි. විකෘත්‍යාර්ථය නම් සැබෑවට ම නැති පෙනෙන්නට පමණක් ඇති හරයෙන් හිස් දෙකකි. මැටි, ලෝහ, ලී යන මේවා මූලාර්ථයයයි කීයේ ඒවා සැබෑවට ම මූලාර්ථ නිසා නොව මූලාර්ථ විකෘත්‍යාර්ථ දෙක හඳුන්වා දීමට උපමාවක් වශයෙනි. සජීව අජීව වස්තු සම්භාරයක් වූ ලෝකය තුළට තමන් වහන්සේගේ ඉතා තියුණු නුවණ බස්වා ලෝකයේ එක් තැනකුදු නොහැර ඉතා ගැඹුරු තැන ඉතා සියුම් තැන දක්වා ඥාන නමැති හස්තය යවා එයින් සියුම් ලෙස පිරිමදිමින් ලෝක තත්ත්වය ඉතා සියුම් ලෙස විමසූ බුදුන් වහන්සේ විසින් දක්නා ලද සියුම් වූ මූලාර්ථ කොටසක් ඇත්තේය. පරමාර්ථයයි කියනුයේ ඒවාට ය. ඒවාට පරමාර්ථය යි කියනුයේ සැබෑවට ම ඇති නිසාය. සජීවාජීව සකල වස්තූන් ම ඇතිවී තිබෙනුයේ ඒවායිනි. එබැවින් ඔවුහු මූලාර්ථ නමුදු වෙති. ලෝ තතු විමසන්නකුට එහි සාරය වශයෙන් ලැබෙන්නේ ද ඒවාය. එබැවින් ඒවාට සාරාර්ථයයි කියන්නට ද වටනේය. තථාගතයන් වහන්සේ විසින් කළ පරීක්‍ෂණය යි කීයේ මහ බෝ මැඩදී ලොව්තුරා බුදු වීම සඳහා උන්වහන්සේ විසින් කළ විදර්ශනාවට ය. එතැන දී උන්වහන්සේ නුදුටු උන්වහන්සේ ගේ නුවණට හසු නොවූ කිසිදු අර්ථයක් නැත. උන් වහන්සේ දුටු පරමාර්ථ ධර්ම කොතෙක් ද යන බව උන් වහන්සේ ම මිස අනෙකෙක් නො දනිති. එහෙත් පරමාර්ථ ධර්ම ඉතා බොහෝ ගණනක් නම් නැති බව කිය යුතුය. අභිධර්ම පොත්වල දක්නා ලැබෙන ප්‍ර‍මාණයෙන් නම් ඇත්තේ පරමාර්ථ ධර්ම දෙ අසූවකි. ඒ දෙ අසූව කොටින් කියන කල්හි චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය යි කියා සතරෙක් වේ.

පරමාර්ථ ධර්මයෝ වනාහි ගස් ගල් සේ මහත් ව ඇසට පෙනෙන්නට ඇත්තාහු නො වෙති. පරමාර්ථ සියල්ල ම ක්‍රියාවෝ ය. අද්‍ර‍ව්‍යයෝ ය. ක්‍රියා තත්ත්වය මැනවින් නො වටහා ගත් තැනැත්තාට පරමාර්ථයන්ගේ තත්ත්වය වටහා ගැනීම අපහසු ය. පරමාර්ථ ධර්ම තත්ත්වය දැන ගනු රිසි තැනැත්තා විසින් පළමුවෙන් ක්‍රියා තත්ත්වය පිළිබඳ කුඩා විවරණයක් කරනු ලැබේ.

ද්‍ර‍ව්‍ය ගුණ ක්‍රියා වශයෙන් ලොව ඇති සියල්ල තුනට බෙදිය හැකිය. එයින් වට බව, සතරැස් බව, දික් බව, කොට බව, පළල බව, පටු බව ආදි ගුණයන්ට ආධාර ස්ථාන වන සත්ත්ව වූ ද අසත්ත්ව වූ ද සියල්ල ද්‍ර‍ව්‍යයෝ ය. ද්‍ර‍ව්‍යයන් ගේ සෙලවීමය, ඇතිවීමය, නැතිවීමය, පැවතීමය යන මේවා ක්‍රියා ය. කෑම පීම යෑම ඒම කැපීම තැළීම පිසීම යන ආදිය ද්‍ර‍ව්‍යයන් ගේ සෙලවීම ය. ලෝකයෙහි ක්‍රියා වශයෙන් සලකන දෙයින් වැඩියක් ම ද්‍ර‍ව්‍ය චලනයෝ ම ය. ද්‍ර‍ව්‍යය ඇසට පෙනෙන්නකි. ක්‍රියාව එසේ ඇසට පෙනෙන්නක් නො වේ. එය ද්‍ර‍ව්‍ය බලා එය අනුව සිතින් දත යුත්තකි. අනුමානයෙන් සලකා ගත යුත්තකි. ක්‍රියා පෙනෙතැයි සිතනුයේ ක්‍රියා තත්ත්වය නො දැනීම නිසා ය. මාර්ගයේ රථයක් යන කල්හි පෙනෙන්නේ රථය පමණෙකි. යෑම නො පෙනේ. එය ඇසට අවිෂය ය. යන රථය එක තැනකදී ඇසට පෙනී සැණෙකින් එතැන නො පෙනී එයින් ඔබ පෙනෙයි. එතැන ද නොපෙනී එයින් ඔබ පෙනෙයි. මෙසේ මාර්ගයේ තැනින් තැන රථය පෙනීමෙන් රථයේ යෑම අනුමානයෙන් මනසට පෙනේ. මිනිසකු යන කල්හි මිනිස් සිරුර එක තැනක පෙනී එය ළඟ තැන ද එතැන පෙනී එය ළඟ තැන ද පෙනෙන්නට වන්නේ ය. එසේ මිනිස් සිරුර තැනින් තැන පෙනීමෙන් මිනිසාගේ ගමන ක්‍රියාව මනසට අනුමානයෙන් දැනේ. අතක් ඔසවන කල්හි ඔසවන අත එක් තැනෙක පෙනී දෙවනුව ඊටත් උඩින් තිබෙනු පෙනේ. තුන්වෙනුව ඊටත් උඩින් තිබෙනු පෙනේ. සතරවෙනුව ඊටත් උඩින් පෙනේ. පස් වෙනුව ඊටත් උඩින් පෙනේ. මෙසේ අත පළමු තුබූ තැන්වල නො පෙනී උස් උස් ව පෙනීමෙන් “අත ඔසවන බව” සිතට දැනෙන්නේ ය. ඇසට පෙනෙන්නේ අත ම ය. “අත ඔසවනු පෙනේය” යි කීම ලෝකයාගේ පිළිගැනීම් මාත්‍රයෙන් සත්‍යයක් වතුදු පරම සත්‍යයක් නො වේ. එසවීම් ක්‍රියාවය යනු අත නිසා ඇති වන්නා වූ එක්තරා වේගයකි. මිනිසාගේ ගමනය යි කියනුයේ ද මිනිස් සිරුර නිසා ඇති වූ වේගයකි. රථයේ ගමන යනු ද රථය නිසා ඇති වූ එක්තරා වේගයකි.

ක්‍රියාවල දීර්ඝ කාලයක් පවත්නා ස්වභාවයක් නැත. කර අවසන් කරනු සමඟ ම අභාවප්‍රාප්ත වීම සෑම ක්‍රියාවක ම සැටිය ය. යන තෙක් ගමන ක්‍රියාව පවතී. යෑම නවත්වනු සමග ම අවසන් කරනු සමග ම ගමන ක්‍රියාව අභාවප්‍රාප්ත වේ. ඉදිරියට එයින් ඉතිරි වන කිසිවක් නැත. අත එසවීම් ක්‍රියාව පවත්නේ අත ඔසවමින් සිටින තෙක් පමණකි. එසවීම අන්තිම තැනට අත පැමිණෙනු සමග ම එසවීමේ ක්‍රියාව අභාවප්‍රාප්ත වේ. මෙසේ සෑම ක්‍රියාවක් ම අභාවප්‍රාප්ත වන බව දත යුතු ය. පැය ගණන් දින ගණන් මාස ගණන් වර්ෂ ගණන් පවත්නා ක්‍රියා ඇති සැටියට ලෝකයා සලකනුයේ එක මෙන් පෙනෙන සේ බැඳී පවත්නා වූ ක්‍රියා වැල් ක්‍රියා පරම්පරාවල් එක් කොට එක් ක්‍රියාවක් සැටියට සිතා ගැනීමෙනි. ඇත්ත වශයෙන් කියන කල්හි පැයක් නො ව විනාඩියක් තත්පරයක් පමණ කල් පවතින ක්‍රියාවකුදු ඇති බව නොකිය හැකි ය. මතු දැක්වෙන කරුණු නුවණින් සලකා ඒ බව තේරුම් ගත යුතු ය.

යෑම එක් ක්‍රියාවෙකි. සිටීම එයට විරුද්ධ වූ අනෙක් ක්‍රියාවෙකි. යමෙක් යේ නම් එකල්හි හේ නො සිටී. යමෙක් සිටී නම් එකල්හි හේ නො යයි. එක් අයකුට අන්‍යොන්‍ය විරුද්ධ වූ ඒ වැඩ දෙක එක වර සිදු නො කළ හැකිය. මිනිසකු සැතැප්මකින් ඔබ පිහිටි ගමනකට පැයකින් ගිය හොත් එය පැයක් පැවති සැතැප්මක් දිග ගමන ක්‍රියාවක් සැටියට සාමාන්‍යයෙන් සලකනු ලැබේ. ඇත්ත වශයෙන් කියත හොත් එය එක් ක්‍රියාවක් නොව ගමන ක්‍රියා වැලකි. එය ක්‍රියා වැලක් බව මෙසේ තේරුම් ගත යුතුය. සැතපුමක් දිග මාර්ගයේ යන තැනැත්තා එහි නො සිටි තැනක් නැත. සිටිය දී ඔහු නො ගියේ ය. යද්දී නො සිටියේය. එසේ කියනුයේ ඒ දෙක එක් අයකුට එක වර සිදු කළ නො හෙන බැවිනි. පය ඔසවා ඉදිරියට ගෙන යෑම යෑම ය. පය බිම තැබීම සිටීම ය. යන තැනැත්තා නිතර ම එක් පයක් ඔසයා ඉදිරියට ගෙන එයි. එය ඔහුගේ යෑම ය. අනෙක් පය ඔසවනු පිණිස හේ ඒ පය බිම තබයි. එය ඔහුගේ සිටීමය. ගමන සිටීමෙන් අවසන් වෙයි. සිටීම ගමනින් අවසන් වෙයි. යන්නහු යනුයේ පියවරක් පාසා ම සිටීමෙනි. සැතපුමක් යන තැනැත්තා විසින් පියවරයක් පාසා කළ සිටීම් සියල්ල ම ගණනට නො ගෙන ඒ සිටීම අතර සිදු කළ වෙන් වෙන් වූ යෑම් රාශිය එක් කොට එකක් වශයෙන් සලකන කල්හි සැතපුමක් දිග ගමනක්, පැයක් පැවැති ගමනක් පෙනේ. එහි සත්‍යය නම් සැතැප්මක් දිග මාර්ගයෙහි පැවති සිටීම් ක්‍රියා වැලක් හා යෑම් ක්‍රියා වැලක් බව ය. සැතපුමක් යෑමට දහස් වරක් පය ඉදිරියට තබන්නට වේ නම් ඒ ක්‍රියා වැලට සිටීම් දහසක් හා යෑම් දහසක් ඇති බව කිය යුතු ය. එසේ ගත් කල්හි එක් සිටීමක එක් යෑමක කාලය ඉතා ලුහුඬු බව වැටහෙනු ඇත. ඒ එක් එක් ක්‍රියාවක ආයුෂය පැයෙන් දෙදහසෙන් පංගුවක් බව කිය යුතු ය. මෙය ද ක්‍රියාව ඇති සැටියට බෙදා දැක්වීමක් නොව එහි සැටි තේරුම් ගැනීමට පමණක් කියන ලද්දකි. සත්‍යය නම් පැයකින් දෙදහසින් පංගුවක් නොව ලක්ෂයෙන් පංගුවක් වත් පවත්නා ක්‍රියාවක් නැති බව ය. ක්‍රියා තත්ත්වය තවත් මඳක් දුරට වටහා ගැනීමට තවත් කාරණයක් කියනු ලැබේ.

පොළොවේ පෙරළී යන රෝදයක ගමන ගැන කල්පනා කරනු. නො පෙරළී තිබෙන කල්හි රෝදය බිමට බර වී තිබෙන්නාක් මෙන් ම යන කල්හි ද එය බිමට බර වී සිටීමෙන් ම යන්නේ ය. රෝදයක් පෙරළී ගිය බිමෙහි එය නො සිටි තැනක් නැත. රෝදයේ පෙරළීම එක් ක්‍රියාවකි. බිමට බරවී සිටීම එයට විරුද්ධ වූ අනෙක් ක්‍රියාවකි. කොතෙක් වේගයෙන් පෙරළීයන රෝදයක් වුව ද පෙරළෙන වරක් පාසා ම බිම සිටින්නේ ය. සිටින කල්හි නො පෙරළෙන්නේ ය. එක් වස්තුවකට ඒ ක්‍රියා දෙක එක වර සිදු නො කළ හැකි බැවින් රෝදයේ ගමනය යි කියනුයේ පෙරළීමක් ළඟට සිටීමක් ද, සිටීමක් ළඟට පෙරළීමක් ද ඇත්තා වූ ක්‍රියා වැලකට ය. සාමාන්‍ය ලෝකයා විසින් ඒ ක්‍රියා වැල, එයට අයත් සිටීම් සියල්ල ම ගණනකට නො ගෙන හැර දමා පෙරළීම් රාශිය එක් කොට ගෙන එක් ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ. කාරණය ඇති සැටියට කියත හොත් රෝදයක අඟලක් දුර පෙළීමේ දී ම එකින් එකට පෙර පසු වී සිදුවන පෙරළීම් හා සිටීම් ක්‍රියා බොහෝ ගණනක් සිදුවන බව කිය යුතු ය. එහි නිශ්චිත සංඛ්‍යා ප්‍ර‍මාණයක් නො දැක්විය හැකිය. අඟල යම් පමණ කොටස්වලට බෙදිය හැකි වේ නම් ඒ ප්‍ර‍මාණයෙන් ක්‍රියා සංඛ්‍යාව කිව යුතුය. රෝදය අඟලේ කොටස්වලින් එක් කොටසක සිට එය ළඟ කොටසකට පෙරළෙයි. එහි සිට එය ළඟ කොටසට පෙරළෙයි. එහි සිට එය ඊලඟ කොටසට පෙරළෙයි. මෙසේ පෙරළී යන බැවින් අඟලේ සෑම කොටසක දී ම පෙරළීම් සිටීම් වශයෙන් රෝදය පිළිබඳ ක්‍රියා දෙකක් සිදු වෙයි. අඟල නොයෙක් ක්‍ර‍මවලට කොටස් කළ හැකිය. තුනී කරදාසි දෙසියයක් එක් කළ කල්හි අඟලක් පමණ ඝන වේ. එබැවින් තුනී කරදාසිවල ඝන ප්‍ර‍මාණයෙන් අඟල කොටස් කළ හොත් එය කොටස් දෙසියයකට බෙදේ. අඟලක් වූ බිම එක කරදාසියක ඝන ප්‍ර‍මාණයේ සිට එය ළඟ කොටසට පෙරළීම එක් ක්‍රියාවෙකි. රෝදය එයට බර වී සිටීමෙන් ඒ ක්‍රියාව අවසන් වේ. නැවත එය ළඟ කොටසට පෙරලෙයි. එකල්හි සිටීම් ක්‍රියාව අවසන් වෙයි. මෙසේ සෑම කොටසක දී ම පෙරළීම් සිටීම් වශයෙන් ක්‍රියා දෙකක් සිදුවන බැවින් කරදාසිවල ඝන ප්‍ර‍මාණයෙන් අඟල බෙදා කියන කල්හි රෝදය අඟලක් පසු කිරීමේ දී එකකට එකක් පෙර පසු වී සිදුවන පෙරළීම් දෙසියයක් හා සිටීම් දෙසියයක් දැයි ක්‍රියා සාරසියයක් සිදුවන බව කිය යුතුය. වේගයෙන් ගමන් කරන රියක රෝදයකට අඟලක් දුර යෑමට ගත වන කාලය තත්පරයකුත් නො වන්නේ ය. ඒ ගණනින් බලන කල්හි තත්පරයක් තුළදී එකකට එකක් පෙර පසු වී සිදුවන රෝදය පිළිබඳ ක්‍රියා සාරසියයක් සිදුවන බව කිය යුතුය. එසේ ගන්නා කල්හි එක් ක්‍රියාවක ආයුෂය තත්පරයෙන් සාරසීයෙන් පංගුවක් බව කිය යුතුය. මෙය ද උපමා කථාවකි. සත්‍ය නම් තත්පරයෙන් ලක්‍ෂයෙන් පංගුවක් පමණ වත් ක්‍රියාවක් නො පවත්නා බව ය. පරමාර්ථ ධර්මයෝ යි කියනු ලබන චිත්ත චෛතසික රූපයෝ තත්පරයෙන් ලක්‍ෂයෙන් පංගුවක් පමණට වත් ආයු නැත්තා වූ ක්‍රියාවෝ ය. ලෝකයෙහි දික් ක්‍රියා සැටියට, කල් පවත්නා ක්‍රියා සැටියට සලකන සියල්ල ම එක් එක් ක්‍රියාවක් නොව ක්‍රියා වැල්, ක්‍රියා පරම්පරාවල් බව දත යුතුය.

පරමාර්ථය හා භාෂාවේ වචන

පරමාර්ථ ධර්මයන් නිවැරදි සැටියට තේරුම් ගත හැකි ලෙස කීමට හා ලිවීමටත් ඇති ප්‍ර‍ධාන අපහසුව ප්‍ර‍ධාන බාධාව භාෂාවේ වචන හිඟ කම ය. කිසිම ආකාරයකින් වෙන් නො කළ හැකි සැටියට එකිනෙක ගැටී බැඳී උපදින්නා වූ ද, සමූහ සන්තති ඝනයන්ගෙන් වැසී පවත්නා වූ ද, පරමාර්ථ ධර්ම වෙන් වෙන් වශයෙන් සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ චක්ෂුරාදීන්ට හා මනසට ද හසු නොවේ. භාෂාවේ ඇති වචන නම් මිනිසුන්ගේ සිතට හසු වූ අර්ථයන් පැවසීමට ඔවුන් විසින් ඇති කළ ඒවාය. නොදත් අර්ථයන් පැවසීමට ඇති කළ වචන නැත. පරමාර්ථය සාමාන්‍ය මිනිසා විසින් නුදුටු දෙයක් බැවින් ඒවා පැවසීමට සුදුසු වචන භාෂාවල හිඟය. එහෙත් පරමාර්ථය ප්‍ර‍කාශ කළ යුතුව තිබෙන්නේ අපරමාර්ථයන් පැවසීම සඳහා ලෝකයා විසින් ඇති කර ගෙන තිබෙන වචන වලිනි. එහෙත් ඒ වචන අතර යම්කිසි පරමාර්ථ ධර්මයක් නිවැරදි ලෙස පිරිසිදු ලෙස සර්වාකාරයෙන් අසන්නාට අර්ථය හැඟෙන සැටියට ප්‍ර‍කාශ කළ හැකි තනි තනි වචන දුර්ලභය. අපරමාර්ථයන් පවසනු පිණිස ඇති කර ගෙන තිබෙන වචනවලින් පරමාර්ථය ප්‍ර‍කාශ කරන කල්හි ප්‍ර‍කාශ කරන්නට යන අර්ථය පිළිබඳ අඩු වැඩි කම් නොයෙක් විට සිදු වේ. පොල් ගසින් හටගන්නා ගෙඩිය හැඳින්වීමට “පොල් ගෙඩිය” යයි කියන කල්හි ඇට්ටි ගෙඩිය කුරුම්බා ගෙඩිය අත හැරී පොල් ගසින් හට ගන්නා ගෙඩියේ එක් අවස්ථාවක් පමණක් කියවෙන්නාක් මෙන් ඇතැම් වචනයකින් පරමාර්ථ ධර්මයක් කී කල්හි ධර්ම ශරීරය අත හැරී එහි යම් කිසි ගුණයක් පමණක් කියැවෙන්නේ ය. ගොනකු හැඟවීමට “අං ඇති සතාය” යි කියුව හොත් එයට තවත් සතුන් අසු වී එන්නාක් මෙන් ඇතැම් වචනයකින් පරමාර්ථ ධර්මයක් කී කල්හි අදහස් කරන අර්ථයෙන් අන්‍ය අර්ථ ද එයට හසුවී එන්නේය. වචන හිඟකම නිසා තිබෙන වචනවලින් කියන කල්හි අර්ථය පිළිබඳ වූ නොයෙක් අඩු වැඩි කම් ඇති වන බැවින් ධර්මය සොයන්නවුන් විසින් වචනය ම ප්‍ර‍මාණ නො කොට වචනානුසාරයෙන් දැන ගන්නා ලද අර්ථය කාරණානුකූලව ව නැවත නැවත සිතා පිරිසිදු කර ගත යුතුය.

මේ වචන දුර්ලභත්වය නිසා එක් එක් පරමාර්ථ ධර්මයක් දැක්වීමට වචන බොහෝ ගණනක් කියන්නට සිදු වේ. ධම්මසංගනීපකරණයෙහි ලෝභය නමැති එක ම අර්ථය දක්වා තිබෙන්නේ වචන සියයකිනි. ද්වේෂය දක්වා තිබෙන්නේ වචන සවිස්සකිනි. මෝහය දක්වා තිබෙන්නේ වචන සූවිස්සකිනි. අන්‍ය පරමාර්ථ ධර්මයන් දක්වා තිබෙන්නේ ද එසේම බොහෝ වචනවලිනි. එක් එක් ධර්මයක් දැක්වීම සඳහා ගෙන තිබෙන වචන අතුරෙන් ඇතැම් වචනයකින් දක්වන්නට යන ධර්මයාගේ යම්කිසි එක් අවස්ථාවක් කියැවේ. ඇතැම් වචනයකින් එහි යම්කිසි ගුණයක් කියැවේ. ඇතැම් වචනයකින් ඒ ධර්මය පහළ වීමට ඇති ප්‍ර‍ධාන හේතුවක් කියැවේ. ඇතැම් වචනයකින් ධර්මයෙන් ඇති වන ඵලයක් කියැවේ. ඇතැම් වචනයකින් තවත් ධර්මයක් සමඟ ඒ ධර්මය කියැවේ. ධර්මය තේරුම් ගන්නා තැනැත්තා විසින්, එය නිවැරදිව තේරුම් ගැනීමට නම් ඒ හැම වචනයක් ම හොඳින් විමසා සියල්ලේ ම අර්ථය පිඬු කොට ගෙන පරමාර්ථය පිරිසිදුව සොයා ගත යුතු ය. එය එතරම් ලෙහෙසියෙන් කළ හැකි සෙයක් ද සෑම දෙනාට ම කර ගත හැකි දෙයක් ද නොවේ. බුදුන් වහන්සේ විසින් වචන සියයකින් ලෝභය වදාළේ මෙසේ ය.

“තත්ථ කථමො ලොභො? යො රාගො, සරාගො, අනුනයො, අනුරාධො, නන්දි, නන්දිරාගො, චිත්තස්ස සරාගො, ඉච්ඡා, මුච්ඡා, අජ්ඣොසානං, ගෙධො, පළිගෙධො, පංගො, සංකො, එජාමායා, ජනිකා, සඤ්ජනනී, සිබ්බනී, ජාලනී, සරිතා, විසත්තිකා, සුත්තං, විසටා, ආයූහිනි, දුතියා, පණිධි, භවනෙත්ති, වනං, වනථො, සන්ථවො, සිනෙහො, අපෙක්ඛා, පටිබන්ධු, ආසා, ආසිංසනා, ආසිංසිතත්තං, රූපාසා, සද්දාසා, ගන්ධාසා, රසාසා, ‍ඵොට්ඨබ්බාසා, ලාභාසා, ධනාසා, පුත්තාසා, ජීවිතාසා, ජප්පා, පජප්පා, අභිජප්පා, ජප්පනා, ජප්පිතත්තං, ලොලුප්පං, ලොලුප්පායනා, ලොලුප්පායිතත්තං, පුච්ඡඤ්ජිකතා, සාධුකම්‍යතා, අධම්මරාගො, විසමලොභො, නිකන්ති, නිකාමනා, පත්ථනා, පීහනා, සම්පත්තනා, කාමතණ්හා, භව තණ්හා, විභවතණ්හා, රූපතණ්හා, අරූපතණ්හා, නිරෝධතණ්හා, සද්දතණ්හා, ගන්ධතණ්හා, රස තණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා, ඔඝො, යොගො, ගන්ථො, උපාදානං, ආවරණං, නීවරණං, ඡාදනං, බන්ධනං, උපක්කිලෙසො, අනුසයො, පරියුට්ඨානං, ලතා, වෙවිච්ඡං, දුක්ඛමූලං, දුක්ඛනිදානං, දුක්ඛප්පභවො, මාරපාසො, මාරපලිඝං, මාරවිසයො, තණ්හානදී, තණ්හාජාලං, තණ්හාගද්දල්ලං, තණ්හා සමුද්දො, අභිජ්ඣා, ලොභො, අකුසලමූලං අයං වුච්චති ලොභො.”

සිංහල භාෂාවේ හා පාළි භාෂාවේ ව්‍යවහාර ක්‍ර‍ම එකිනෙකට බොහෝ වෙනස් බැවින් පාළිය ඇති සැටියට සිංහලට නඟා කීයේ ද එයින් සිංහලයාට අර්ථය පහසුවෙන් අවබෝධ නො වේ. ඒ ඒ අර්ථය හැඟවීමට සිංහලයන් ව්‍යවහාර කරන වචන ම සොයා ඒ වචනවලින් පරමාර්ථයන් දැක්විය යුතු ය. එසේ දැක්වීම ඉතා අමාරු වැඩකි. එහෙත් ඒ ඒ අර්ථය පැවසීමට සිංහලයන් ව්‍යවහාර කරන වචන හැකි පමණින් සොයා ඒ වචනවලින් මෙහි පරමාර්ථ ධර්ම විස්තර කරනු ලැබේ.

මතු සම්බන්ධයි!



ධම්මානුපස්සනාව - සති සම්බොජ්ඣංගය


ධම්මානුපස්සනාව - සති සම්බොජ්ඣංගය:

සෑම දෙයකටම වැදගත් සිහි කල්පනාව
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

බොජ්ඣංග භාවනාව ගැන සඳහන් කිරීමේ දී කරුණු හතකින් සමන්නාගත විදසුන් භාවනා ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ විවේකස්ථානයක වැඩ සිට තමන්ගේ සිත ගැන විමසා බලමින් බොජ්ඣංග භාවනාව වැඩිය යුතු බව පැහැදිලි කළා.

බෝධි අංග බොජ්ඣංග නම් වෙයි. නිවන් සම්පත් අවබෝධ කර ගැනීම සඳහා බුදු , පසේ බුදු, මහ රහත් පදවි ලබා ගැනීම සඳහා සෝවාන්, සකෘදාගාමී , අනාගාමී, අර්හත් යන මාර්ග ඵලයන් ලබා ගැනීමට අවශ්‍ය කරන විශේෂ ගුණ ධර්ම හතකට බොජ්ඣංග යනුවෙන් සඳහන් කරයි. බොජ්ඣංග ධර්මත් මොහොතින්, මොහොත වෙනස් ව යයි. එක මොහොතක හටගෙන නැවත නැති වී යයි. එවිට සිහි කල්පනාවෙන් සෑම දෙයක් ම විය යුතු යි. එවිට නුවණ යෙදෙයි. සිහි කල්පනාවෙන් යමක් කරනවා නම්, බොජ්ඣංග ධර්ම ටික හොඳට දියුණු කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ ගැන දෙවියෙක්,බ්‍රහ්මයෙක් , කියනවා නෙවෙයි, අන්‍ය ආගමක කෙනෙක් කියනවා නෙවෙයි, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ම යි බොජ්ඣංග ධර්ම ගැන පැහැදිලි කරන්නේ.

බොජ්ඣංග යන උතුම් වචනය බුදු දහමේ පමණයි තිබෙන්නේ. ඒවා දියුණු තියුණු කරන සෑම කෙනෙක් ම සිහි නුවණින් වාසය කළ යුතු යි. ඕනෑම පින්කමක් කරන විට සිහි නුවණින් වාසය කරනවා නම්, බොජ්ඣංග ධර්ම පහළ වෙයි. මුලින් ම තමන් විවේකස්ථානයක වාඩි වෙලා, තම තමන්ගේ සිත ගැන විමසා බලමින්, බොජ්ඣංග භාවනාව වැඩිය යුතු යි. සති සම්බොජ්ඣංග ආදී දියුණු කරගැනීමේ දී තමන්ගේ සිතෙහි සති සම්බොජ්ඣංගයක් ඇති කල්හි, තමන්ගේ සිතෙහි සති සම්බොජ්ඣංගය තිබෙන බව දැනගත යුතු යි. දෙවන ක්‍රමය තම සිතෙහි සති සම්බොජ්ඣංගය නැති කල්හි තමන්ගේ සිතෙහි සති සම්බොජ්ඣංගය නැති බව දැනගත යුතු යි. තම සිතෙහි නූපන් සති සම්බොජ්ඣංගය උපදවා ගන්නේ ය යනුවෙන් විමසා බැලිය යුතු යි. තමන්ගේ සිතෙහි නූපන් බොජ්ඣංගය වැඩි දියුණු කරගත යුතු යි. එවිට මෙම කරුණු සොයා බැලීමේ දී තමන්ට සති සම්බොජ්ඣංගය හොඳට දියුණු කරගන්න පුළුවන්. සිහියත් වෙනස් වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, ඒ නිසා සති සම්බොජ්ඣංගයත් අනිත්‍ය, දුක්ඛ , අනාත්ම කියා මෙනෙහි කළ යුතු යි. වෙනස් නොවන්නේ අසංඛත ධාතු යි. එනම් සංඛ්‍යාත නිර්වාණය යි. එය වෙනස් වන්නේ නැහැ. එසේ ම ලෝකෝත්තර සිතෙහි චිත්ත, චෛතසික වෙනස් වන්නේ නැහැ. ඒවා ස්ථිර යි. අනෙක් සියල්ල ම වෙනස් ව යයි. මාර්ග සිත සැමදාමත් මාර්ග සිතම යි. එය වෙනස් කරන්නට පුළුවන්කමක් නැහැ.

සති සම්බොජ්ඣංගය උපදවා ගැනීමට උපකාරක ධර්ම හතරක් තිබෙයි. සති සම්පජඤ්ඤය ( සෑම දෙයක් ම සිහි කල්පනාවෙන් කිරීම), සිහිය ඇති පුද්ගලයන් ආශ්‍රය කිරීම, සිහි කල්පනාව නැති අය ආශ්‍රය නොකළ යුතු යි, සිහි කල්පනාවෙන් ම සෑම දෙයක් කෙරෙහි ම ඇලී ගැලී කටයුතු කළ යුතු යි. හැබැයි, ඒ තණ්හාව නෙවෙයි. මුළාව නෙවෙයි, එය ඤාණ සම්ප්‍රයුක්ත ලක්ෂණයක්. එසේනම්, මේ කරුණු සතරින් සමන්නාගත වූ සිහි කල්පනාව සති සම්බොජ්ඣංගය දියුණු කිරීම සඳහා කවුරුත් මහන්සි ගත යුතු යි.

කුඩා දරුවන් ඉහළට සමත් වීමට හොඳට මතක ශක්තිය ලබා ගන්න සිහි කල්පනාව තිබිය යුතු යි. එයට ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව පුරුදු පුහුණු කර, සිහිය දියුණු කළ යුතු යි. එවිටත් වැඩෙන්නේ සති සම්බොජ්ඣංගය යි. රැකියාව, වෙළෙඳාම, ගොවිතැන් වැඩ සිහි කල්පනාවෙන් කළ යුතු යි. එසේම බණ ඇසීමෙන්, භාවනා කිරීමෙන් සති සම්බොජ්ඣංගය හොඳට වැඩෙනවා. සියලු පින්කම් සිහි කල්පනාවෙන් සිදු කළොත් එහි දී සති සම්බොජ්ඣංග වැඩෙයි. උදේ කාලයේ දාන මාන පූජාව සුදුසු වන අතර එය හවසට කළොත් එතැන සති සම්බොජ්ඣංගය නැහැ. අකාලයේ ඒ ගැන සිතා බලා කටයුතු කිරීමට ශක්තිය නැහැ. ඒ නිසා දාන, ශීල, භාවනා සියලු පින්කම් ශීල, සමාධි, ප්‍රඥා වැඩෙන සේ කරගන්නට නම්, අත්‍යවශ්‍යම කාරණය සති සම්බොජ්ඣංගය යි.

එය දියුණු කරගත් විට කොයි කාටත් මෙලොව, පරලොව දෙලොවටත් , සංසාරෙටමත් හොඳ යි. සිහි කල්පනාව නැති නිසා හැම දුක් කරදරයකට මුහුණ පාන්න සිදු වෙයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්යය ඉන්ද්‍රිය , සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රියයන් අතේ තිබෙන ඇඟිලි පහක් වගෙයි. මෙම ඉන්ද්‍රිය ධර්ම පහ සම මට්ටමකට ගේන්නට සිහි කල්පනාව අත්‍යවශ්‍යය යි.

ලොවුතුරා බුදු කෙනෙක් ධර්ම දේශනා කරන විට, හැම දෙනාගේම සිහි කල්පනාව එක අරමුණක තබා ගැනීමට යි, දේශනය පවත්වන්නේ. බුදුවරයෙක් දේශනාවක් කරන විට කිසිවකුගේ සිත විවිධ අරමුණු කරා යන්නේ නැහැ. එක අරමුණකින් සිහිය පිහිටුවා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි, ඒ අයට ධ්‍යාන අභිඤ්ඤා, විපස්සනා ඤාණ ආදී උත්තරීතර ධර්ම අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණේ. ඒ ගැන කොයි කවුරුත් කල්පනා කර, සති සම්බොජ්ඣංගය නම් වූ උත්තරීතර ධර්මය දියුණු කර ගැනීම සඳහා අනිවාර්යෙන් කටයුතු කළ යුතු යි. එවිට තමන් ගමන් කරන මඟ වැරැදි සහගත නැතිව, නිවැරැදි මඟක යන්නට පුළුවන්.

සති සම්බොජ්ඣංගය වැඩෙන විට, සම්මා දිට්ඨිය පිරිපුන් ව දියුණු වෙයි. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම පදයකට ම සතිය, සති සම්බොජ්ඣංගය අනිවාර්යෙන් සම්බන්ධ යි. සම්මා සතිය නැතිව , සති සම්බොජ්ඣංගය නැතිව සම්මා දිට්ඨි ආදී මාර්ගාංග පහළ වන්නට බැහැ. එසේම මෙම බොජ්ඣංගය නැතිව කවර දවසකවත් ප්‍රථම ධ්‍යානය, දුතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය , චතුර්ථ ධ්‍යානය ලබන්නට බැහැ. අරූපාවචර ධ්‍යාන ලබන්නට බැහැ. සෝවාන්, සකෘදාගාමී,අනාගාමී, අර්හත් , පසේ බුද්ධත්වය, ලොවුතුරා බුද්ධත්වය ආදී විශේෂ තනතුරු ලබන්න පුළුවන්කමක් නැහැ. එසේනම්, සති සම්බොජ්ඣංගය යනු ප්‍රධාන දෙයක්. එය දියුණු කළොත් විතරයි, උත්තරීතර ධර්ම වලට පත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ අනුව බෝධි පාක්ෂික ධර්මයන්ගේ ප්‍රධානියා ලෙස සති සම්බොජ්ඣංගය සලකන්නට පුළුවන්.

ගමනක් බිමනක් යන්නට, වාහනයක ගමනක් යන්න, කඩයකට යන්න, අධ්‍යාපනය ලබන්න සෑම දෙයකටම අවශ්‍ය කරන්නේ සිහි කල්පනාවයි. සිහිය නැතිනම්, කිසිම වැඩ රාජකාරියක් කරන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා කවුරුත් මෙම ගුණ ටික දියුණු කර ගැනීම සඳහා , සති , සමාධි, ඤාණ දියුණු කර ගැනීම සඳහා බලවත් උත්සාහයෙන් වැඩ කිරීම සඳහා සති සම්බොජ්ඣංගය හෙවත් සිහි කල්පනාවෙන් ම වැඩ කටයුතු කළ යුතු යි. එවිට කාය, වාග්, මනෝ ද්වාරත්‍රයත් සංවරයි. ශීලයත් හොඳින් රැකෙයි. පස් පවින් වළකියි. ඒ අනුව බලද්දී සම්මා සතියට , සති සම්බොජ්ඣංගයට සියලු ම දේ අනුයුක්ත ව තිබෙනවා. සිහිය නැතිනම් කුමන දෙයක්වත් දියුණු කරන්නට බැහැ. එසේනම්, බුදු දහමට අනුව වැඩ කරන සියල්ලෝම සම්මා සතිය, සති සම්බොජ්ඣංගය යන මේවා හොඳට නුවණින් පිරික්සා බලා කටයුතු කළ යුතු යි.

බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේ අබියස දී ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන සතර , අරූපාවචර ධ්‍යාන උපදවා ගත්තේ සති සම්බොජ්ඣංගය හොඳට තිබුණ නිස යි. එසේම බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී පංචවග්ගිය භික්ෂූන් වහන්සේලාත්, දෙවියෝත්, බ්‍රහ්මයෝත් අමතා කළ විශේෂ ධර්ම දේශනාවෙන් අසංඛ්‍යෙයක් නිවනට පත් වුණේ, සියලු දෙනාම සති සම්බොජ්ඣංගය වැඩෙන සේ බණ ටික ශ්‍රවණය කළ නිසයි. දේශනාවේ දී අඤ්ඤා කොණ්ඩඤ්ඤා ස්වාමීන් වහන්සේ අසංඛ්‍යෙයක් සෝවාන්, ආදී මාර්ග ඵල ලැබීම ම කෙතරම් විශේෂ කරුණක් ලෙස සැලකිය යුතු ද? ප්‍රථම මංගල දේශනාවේදී එලෙස නිවන් අවබෝධ කළා. ඒ අනුව කල්පනා කර අපටත්, මේ ජීවිතයේ මඟ ඵල නිවන් සුව ලැබේවා, යන පැතුමත්, මේ ජීවිතයේ ම නොලැබුණොත් ඉක්මන් භවයකදී ම නිවන් සම්පත් අවබෝධ කරගන්නට ලැබේවා යන ප්‍රාර්ථනාව කවුරුත් සිතෙහි තබාගෙන සියලු පින් දහම්වල යෙදෙන්නට අවශ්‍යය යි.

කවරදේ කරන්න ගියත්, සිතේ සතුට තිබිය යුතු යි. සිතේ අසතුට ආවොත්, කෙදිනකවත් සිත සති සම්බොජ්ඣංගය කෙරෙහි ගෙනෙන්නට බැහැ. සති සම්බොජ්ඣංගය පිහිටුවාගෙන කටයුතු කිරීමට නම්, කොයි කාගෙත් හිත හොඳ විය යුතු යි. තණ්හාව, තරහව, වෛරය , ඊර්ෂ්‍යාව වැනි පහත් සිතිවිලි හැකිතාක් දුරු කර, තමන්ගේ චිත්ත සන්ථානය ආලෝකවත් කර ඉදිරියට යාම වැදගත් ම කාරණය යි. ඒවා දියුණු තියුණු කර ගැනීමෙන් පාරමී ගුණ හොඳට දියුණු කරගන්න පුළුවන්. එසේම සිත ශක්තිමත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. එපමණක් නොවෙයි, තමන් බලාපොරොත්තු වන උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීමට නම්, සති සම්බොජ්ඣංගය ඉතාම හොඳට පැහැදිලිව තිබෙන්නට අවශ්‍යය යි. එලෙස කටයුතු කරගෙන යන අයට පමණක් ලැබෙන, උත්තරීතර දෙය වන්නේ ධර්මය යි. උත්තරීතර ධර්ම සියල්ලක්ම සති සම්බොජ්ඣංගයට යටත්ව තිබෙනවා. ඒ අනුව සලකා බලනවිට බුදු , පසේ බුදු, මහරහතන් වහන්සේ දීර්ඝ කාලයක් පුරා පුරන ලද පාරමිතාවන්ගේ ආනුභාවයෙන් තමන් වහන්සේලාට පුළුවන්කම ලැබුණා, සිහි කල්පනාව හොඳින් දියුණු වී තිබුණ නිසා, තථාගත ධර්මය අවබෝධ කරගැනීමට. එය සැමටම බැහැ. බොහොම ස්වල්ප වූ පින්ඇත්තෝ පමණයි එය අවබෝධ කරගන්නේ. පිනට, දහමට, ගුණයට නැඹුරු අය පමණක් ධර්මය අවබෝධ කරගන්නවා. අන් කිසිවෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ. මේ ගැන හසල දැනුමක් කවුරුත් ඇතිකරගෙන, සති සම්බොජ්ඣංගයත් ඇතිවෙලා, නැතිවෙලා යනවා. ඒ නිසා සති සම්බොජ්ඣංගයත් අනිත්‍යයයි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. උපදින ආකාරය, පවතින ආකාරය, නැතිවෙන ආකාරය බැලිය යුතු යි. සෑම සිතකම පහළ නොවන ඤාණ සම්ප්‍රයුක්ත කුසල් සිතක පමණක් පහළ වන මේ බොජ්ඣංග ධර්ම ගැන දැනගෙන කොයි කවුරුත් සිහියෙන් ම වැඩ කටයුතු කර, පාරමී ගුණ ද දියුණුවෙන්, ඉක්මන් භවයක දී ම නිවන් පසක් කරගන්නට හේතු වාසනා වේවා!

- ජම්මික ප්‍රබෝධනී වැලිකල




 

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...