Thursday, July 15, 2021

අතුරුදන් වූ පැන් කළ දහස

 අතුරුදන් වූ පැන් කළ දහස




රාජකීය පණ්ඩිත,

ශාස්ත්‍රපති

මහරැඹෑවැවේ පාලිත හිමි


අද ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ අංගුත්තර නිකාය අටුවාව වන මනෝරථපූරණියෙහි සඳහන් ලක්දිව කතා ප්‍රවෘත්තියකි. මනෝරථපූරණීය ද බුද්ධඝෝස හිමියන් ගේ ම තවත් කෘතියකි. මෙහි ලක්දිව එකල ප්‍රචලිතව තිබූ කතා ප්‍රවෘත්ති රැසක් ඇතුළත්ව ඇත.


රුහුණු දනව්වෙහි ගාමෙණ්ඩවාල නම් මහා විහාරයට අයත් ගොදුරු ගමක වැදි කුලයක මීලක්ඛ නමින් උපන් ඔහු වැඩිවියට පැමිණ විවාහපත් වූයේ රකින ලද අඹුදරුවන් ඇත්තේ සතුන් මරමින් ජීවිකාව ගෙන යයි. ඔහු විසින් සතුන් ඇල්ලීම සඳහා සියයක් පමණ වූ හබක් ද, සියයක් පමණ වූ උගුල් ද. සියයක් පමණ වූ උල් ද අටවන ලද්දේ වෙයි. මෙසේ දෛනිකව සතුන් මරමින් පව් රැස් කරගන්නා ඔහු දිනක් ගින්දර හා ලුණු රැගෙන වනයට පිවිසියේ ය.


එහි දී උගුලෙහි අසුවී සිටි එක් සතෙක් පුළුස්සා කා පිපාසිත වූයේ වතුර සොයමින් ඇවිදින්නේ ගාමේණ්ඩවාල විහාරයේ පැන් දැක එහි පිවිසියේ ය. එහි පුරවන ලද පැන් කළ දහසක් විය. ඔහු ඉන් කළයක් ගෙන පැන් බීමට පටන් ගත්තේ ය. ඔහුගේ උගුරට පැන් වැටෙත් ම අතුරුදන් විය. ඔහුගේ කුසට නො වැටුණේ ය. මෙසේ පැන් භාජන කිහිපයක් ම බීමට උත්සහ කළ ද ඒ සියල්ලෙහි ම පැන් අතුරුදන් විය.


එවිට ඔහු “මෙතරම් භික්ෂුන් වසන තැනක කෙසේනම් පැන් නැති වන්නේදැයි” භික්ෂූන්ට දොස් කියන්නට විය. මෙය දුටු චූලපිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ ඔහුගේ සමීපයට පැමිණ මළුවෙහි වූ දහසක් පැන් භාජන දැක මොහු නම් ජීවමාන පේ‍්‍රත අත්බවක් ලත් අයෙක්නේදෝයි දැන “ඉදින් උවසුව, පිපාසිත නම් පැන් බොවයි” කියා පැන් කළයක් ගෙන පියන ඇර ඔහුගේ අතෙහි පැන් වත් කළේ ය. එකෙනෙහි ම එම පැන් සියල්ල රත් වූ තලියක ලත් දියක් මෙන් නැසුණේ ය.


ඉන් පසු තෙරුන් වහන්සේ ඔහුට “ඔබ විසින් කෙතෙක් නම් දරුණු වූ පාප කර්ම කරන ලද්දේ ද දැන්ම පේ‍්‍රතයෙක් වූයේ නම් කරන ලද කර්මයන්ගේ විපාකය කෙබඳු වන්නේ දැයි” ඔහුට ඇසෙන සේ පැවසූහ. තෙරුන් වහන්සේගේ මේ කතාව අසා බලවත් සංවේගයට පත් ඔහු ගෙදර ගොස් හබක ආදි සතුන් මැරීමට යොදාගත් සියල්ල විනාශ කොට කූඩුවල දමා සිටි සතුන් ද මුදා හැර අඹුදරුවන්ට ද දන්වා ගෙදරින් පිටත්ව තෙරුන් වහන්සේ වෙත පැමිණ පැවිද්ද ඉල්ලී ය.


ඊට පසු තෙරුන් වහන්සේ පැවිදි බවෙහි ඇති දුෂ්කර බව ඔහුට පෙන්වා දුන්හ. එවිට ඔහු පවසන්නේ “ස්වාමීනි මෙබඳු ප්‍රත්‍යක්ෂ කාරණයක් දැන කෙසේ නම් පැවිදි නො වන්නේදැයි” පැවසී ය. තෙරුන් වහන්සේ ඔහුට තචපංචක කමටහන දී පැවිදි කළහ. එතැන් පටන් උන්වහන්සේ වත් කිරීමෙහි ඇලුනේ ය. ධර්මය හදාරන්නට විය. දිනක් දේව දූත සූත්‍රයෙහි සඳහන් නිරය පිළිබඳ විස්තර අසා අතිශය සංවේගයට පැමිණියේ ඒ පිළිබඳ තිස්ස තෙරුන්ගෙන් විමසී ය. එහි දුක් ස්වභාවය දැකීමට සලස්වන ලෙස ඉල්ලී ය. තෙරුන් වහන්සේ පවසනුයේ එහි දුක් ස්වභාවය නම් කීමට උපමා නැත්තේය. එහෙත් එහි ස්වභාවය පෙන්වීමට උපමාවක් කරන්නෙමියි හෙරණ නමක් ගෙන්වා තෙත දර ගොඩක් ගැස්වී ය. ඊට පසු උන්වහන්සේ ඍද්ධියෙන් කණමැදිරියෙකු හා සමාන ගිනි පුපුරක් ගෙන එහි හෙළීය. ඒ ඇසිල්ලෙහි ම ඒ තෙත දර ගොඩ දැවී අළු වී ගියේ ය.


ඒ දැක මීලක්ඛ තිස්ස භික්ෂූන් වහන්සේ “ස්වාමීනි මේ සසුනෙහි කෙතෙක් ධූර වන්නේ දැයි’ විමසී ය. එවිට තෙරුන් වහන්සේ විදර්ශනා ධූරය හා ග්‍රන්ථ ධූරය යනුවෙන් ධූර දෙකක් ඇති බව පැවසූහ. එවිට එම භික්ෂූන් වහන්සේ “ස්වාමීනි ග්‍රන්ථ ධූරය වනාහි ප්‍රබලයන්ට භාරය. මාගේ ශ්‍රද්ධාව දුක නිසා ඇති වූවකි. එබැවින් මා විදර්ශනා ධූරය පුරන්නෙමියි” තිස්ස තෙරුන් වහන්සේගෙන් කමටහන් ගෙන වත් ද සපුරමින් දිනක් සිතුල්පව්ව විහාරයෙහි ද, දිනක් ගාමෙණ්ඩාවෙල වෙහෙරෙහිද තවත් දිනක් කතරගම මහ වෙහෙරෙහිද, වශයෙන් වැඩ වාසය කරන්නට වූහ.


දිනක් භාවනා කරමින් කටයුතු කරන අතරතුර ථීනමිද්ධය ඇතිවේ යන බියෙන් පිදුරු දරණුවක් තෙමා හිසේ තබා දෙපා දියෙහි ඔබා සිටින කල්හි ප්‍රාචීන පර්වත ප්‍රදේශයෙන් ඇසුණු අරුණවතී සූත්‍රයෙහි සඳහන් ගාථාවක් අසා


“මෙය මා වැනි වීර්යවත් භික්ෂූන් උදෙසා ම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ” යැයි සිතා පී‍්‍රතිය හා ධ්‍යාන උපදවා අනාගාමී ඵලයෙහි පිහිටියේ තවත් වෑයම් කොට පටිසම්භිදාවන් සහිත උතුම් අරහත් ඵලයට පත්වූ සේක. පසුව උන්වහන්සේ විසින් මෙසේ ප්‍රකාශ කළ සේක.


“මම තෙත පිදුරු පිඩක් හිසෙන් ගෙන සක්මන් කළෙමි. තෙවැනි තැනට ( ත්‍රිවිධ්‍යාවන්ගේ පරතෙරට) පැමිණියෙමි. මෙහිලා මට සැකයක් නැත.”


භාවිතය


පව්කමින් බාලයා අතිශය සතුටට පත්වෙයි. එහෙත් එහි විපාක විඳින කළ දැඩි සේ දුකට පත් වේ. ඔහු කළ පව්කමේ දරුණු බව ඔහුට වැටහෙන්නේ එවිට ය. එවිට කර කියාගත දෙයක් නො මැතිව අතිශය අසරණ තත්ත්වයට පත් වේ. යමෙක් නිවැරැදි මග පෙන්වීම ලැබෙන තෙක් වැරැදි මාර්ගයේ ගමන් කරයි. සත්පුරුෂයන්ගේ ඇසුරෙන් යහමගට පැමිණෙන ඒ අය නිර්වාණ ප්‍රතිලාභ කරගත් අයුරු අප ධර්ම සාහිත්‍ය තුළ සඳහන් වී ඇත. එමෙන් ම බුදුදහම යමෙක් සදාකාලික වැරැදිකරුවෙකු ලෙස නො පිළිගනියි.


යමෙක් තමා විසින් තම වරද දැක හෝ සත්පුරුෂයෙක් විසින් එය පෙන්වා දුන් පසුව හෝ එම වරදින් මිදී යහ මාර්ගයේ ගමන් කරන්නේ නම්, ඔහු එතැන් පටන් නිවැරැදිකරුවෙකු බවට පත්විය හැකි බව මෙම කතාවෙන් අපට පෙන්වා දෙයි.

චිත්තානුපස්සනාව

 


චිත්තානුපස්සනාව:


දැනෙන අරමුණු

අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ

මහා ලේඛකාධිකාරී

කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


සිත ගැන බැලීමට, සිත ගැන අවබෝධයක් ඇති කර ගැනීමට මේ පාඩම ඉතාමත් ම වැදගත්. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් සේ සිතාගෙන රැවටීමකින් යුතුව වාසය කළා. උන් වහන්සේට රහත් ගෝලයෝ තිස්දාහක් සිටිනවා. දිනපතා ම ඉගෙන ගන්නා අයත් අපමණ යි.


ගුරු ස්වාමීන් වහන්සේට ධ්‍යාන තිබුණා, අභිඥ්ඥා තිබුණා. ඕනෑම දෙයක් මවන්න පුළුවන්. ඕනෑම කෙනෙකුගේ සිත බලන්න පුළුවන්, ඒ නිසා සැකයක් සිතන්න දෙයක් නැහැ. රහත් බව ම සිතාගෙන ගුරු ස්වාමීන් වහන්සේ වාසය කළා. රහත් මඟ ඵල ලැබූ එක්තරා ගෝල ස්වාමීන් වහන්සේ නමක්, තම ගුරුවරයා කෙසේදැ’යි විමසා බැලුවා. තම ගුරුවරයා රැවටී ඇති බව දැනගත් ශිෂ්‍ය රහත් භික්ෂූන් වහන්සේ, ගුරු ස්වාමීන් වහන්සේට වන්දනා මාන කර, සුහද සාකච්ඡාවකින් පසුව මෙසේ පැවසුවා. ‘ස්වාමීනී, ඔබ වහන්සේ බොහොම දැන උගත් උත්තමයෙක්. ධ්‍යාන , අභිඥ්ඥා මාර්ග ඵල ලාභී උත්තමයෙක් නිසා ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්ය දැක ගන්න මට අවශ්‍යය යි. ඔබ වහන්සේට සද්දන්ත කුලයට අයත් හස්ති රාජයෙක් මවා පාන්න පුළුවන්දැ’යි විමසුවා. එහිදී ගුරු ස්වාමීන් වහන්සේ හස්ති රාජයා මවා දැක්වූවා. එවිට ගෝල ස්වාමීන් වහන්සේ, දැන් ස්වාමීනි, ඒ හස්ති රාජයා හොඬවැල ඔසවා ගෙන, කෑගසාගෙන ඔබ වහන්සේ් ඉදිරියට එන බව මවා පාන්නැ’යි පැවසුවා. එයත් මවා පෙන්නුවා. දැන් ඒ හස්ති රාජයා කෑගසාගෙන , විලාප දී , හොඬවැල ඔසවා ඉදිරියට පැන එද්දී රහත් බව සිතා සිටි ගුරු ස්වාමීන් වහන්සේ ඉවතට පැන්නා. ඒ මොහොතේම ගෝල රහතන් වහන්සේ අහසට පැන නැඟී එලෙසම වැඩ සිටියා. එහිදී ගුරු ස්වාමීන් වහන්සේ තමන් රහත් නොවන බව වටහා ගත්තා. තම සිතට යටවී රැවටීමෙන්, මුළාවෙන් වසර ගණනාවක් සිටි බව තේරුම් ගත්තා. තම සිතෙහි ලෝභ, ද්වේශ, මෝහ ඇති බව දැන එදාම භාවනාව ඇරැඹුවා. මේ නිසා සිත දියුණු තියුණු කරගන්නට පුළුවන්කම ලැබුණා. ලෝභ, ද්වේශ, මෝහ යටපත්කරගෙන නීවරණයන් සංසිඳුවාගෙන දස සංයෝජනයන් ප්‍රහීණ කර ආශ්‍රව සියල්ලක්ම නැති කර රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.


මෙවැනි චරිත කථා දෙස බැලීමේ දී කවුරුත් නොයෙක් අරමුණු වලට රැවටෙන්නට පුළුවන්. ඇතැම් අය තමන් රහත්, අනාගාමී, සකෘදාගාමී, සෝවාන්, ධ්‍යාන අභිඥ්ඥා ආදිය ඇති බව සිතමින් රැවටීමෙන් කටයුතු කරනවා. එයින් මුළාවට පත් වෙන්නේ තමාම යි. මේ නිසා නිසි ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා ලබාගෙන කටයුතු කළ යුතු යි. තෛ‍්‍රකාලික සිතිවිලි හොඳින් මෙනෙහි කර සිත අනුව බලමින් වාසය කිරීම චිත්තානුපස්සනාව යි. වර්තමාන අරමුණු මෙනෙහි කිරීම විශේෂයෙන් චිත්තානුපස්සනාවට ගැනෙනවා. එසේම සැප වේදනා සිත , දුක් වේදනා සිත, උපේක්ෂා වේදනා සිත ආදිය ද බලාගත හැකි යි. එසේම සියලුම අරමුණු තම සිතට දැක ගන්නට පුළුවන්නම්, චිත්තානුපස්සනා භාවනාව සාර්ථක වෙයි. වාඩි වෙලා පැමිණෙන අරමුණු දෙස හොඳින් බලන්න, එය ලෝභ සිතක් ද, අලෝභ සිතක් ද යනුවෙන් බලන්නත් පුළුවන්. මදුරුවෙක් තම සිරුරෙහි වැසුවොත් තරහ සිතක් ඇති වෙනවා. එවිට පටිඝ සිතක් බව මෙනෙහි කළ යුතු යි. එය නැති වූ විගස මගේ තරහ සිත නැති වූ බවත් දැනගත යුතු යි. එසේනම්, චිත්තානුපස්සනා භාවනාවට අනුව කවුරුත් කටයුතු කළ යුතු යි.


චිත්තානුපස්සනා සතිපට්ඨානයේ ක්‍රම දාසයක් අතුරෙන් කිහිපයක් පසුගිය ලිපි මඟින් සඳහන් කළෙමු. අද සඳහන් කරන්නේ චිත්තානුපස්සනා සතිපට්ඨානයේ අවසාන කොටස යි. සමාහිත චිත්තය, අසමාහිත චිත්තය, විමුක්ත චිත්තය, අවිමුක්ත චිත්තය යනුවෙන් තවත් සතරක් තිබෙනවා. සමාහිත චිත්තය කොයි කාටත් පැහැදිලි යි. යම්කිසි භාවනාවක් මෙනෙහි කරගෙන යාමේ දී සිතට ලැබෙන සමාධි සිත් වශයෙන් උපචාර සමාධි, අර්පනා සමාධි තිබෙනවා. ප්‍රථම ධ්‍යාන සමාධිය, දුතීය ධ්‍යාන සමාධිය , තෘතීය ධ්‍යාන සමාධිය, චතුර්ථ ධ්‍යාන සමාධිය වශයෙන් ධ්‍යාන සතරකින් සමාධිය පරිපූර්ණ වෙයි.


අරමුණක් මෙනෙහි කිරීමේ දී සාමාන්‍යයෙන් හෝ යම් සමාධියක් ලැබෙනවා නම්, එය උපචාර සමාධිය යි. එය ඉක්මවා යාමෙන් සිත අර්පනා තත්ත්වයට , ධ්‍යාන තත්ත්වයට පත් වෙනවා. කාමච්ඡන්ද නීවරණය මේ අවස්ථාවේ දී යටපත් වෙනවා. කාමච්ඡන්ද නීවරණය හෙවත් තණ්හාව පංචකාම වස්තූන් පිළිබඳව තිබෙන තෘෂ්ණාව සිතෙන් ඉවත්ව නොගියොත් චිත්ත සමාධියක් ලබන්නට බැහැ. එම නිසා මේ අවස්ථාවේ දී චිත්ත සමාධිය තමන්ගේ සිතට ඇතිකරවන බැවින්, තමන්ට අර්පනා උපචාර සමාධි උපදවා ගන්නට භාවනා අරමුණ කෙරෙහි බලවත් උද්‍යෝගයකින් කටයුතු කරන්නට වෙනවා.


ව්‍යාපාද නීවරණය යනු තරහව යි. දෝමනස්සය, පටිඝ චේතනාව ආදිය තරහව නොහොත් ද්වේශය මුලිකවී හට ගන්නවා. ඒ තිබුණත් චිත්ත සමාධියට දිගට ගෙනයන්නට පුළුවන් කමක් නැහැ. සිත බිඳ වැටෙනවා. ඒ නිසා තරහව අයින් කළ යුතු යි. ථීනමිද්ධය කම්මැළිකම යි. උද්දච්ඡය සිතේ විසිරුණු බව යි. විචිකිච්ඡාව සැක සාංකාව යන කරුණු පහ සිතෙන් බැහැරවූ විට අපේ චිත්ත සමාධිය උපදවා ගන්නට පුළුවනි. හොඳින් වාඩි වී කය ඍජුව තබාගෙන , ආනාපාන සති භාවනාව හෝ කුමන හෝ භාවනාවකට සිත යොමුකර දිගටම අරමුණු කෙරෙහි බලා සිටීමෙන්, මෙනෙහි කිරීමෙන් සමාධි අවස්ථාව තහවුරු කරගන්න පුළුවන්.


අසමාහිත යනු චිත්ත සමාධියක් නොමැති බව යි. උපචාර, අර්පනා සමාධි, ධ්‍යාන සමාධි ආදිය සමාපත්ති මුකුත්ම නැහැ. එය උද්දච්ඡ සිතට සමීපව යයි. ඒ නිසා චිත්ත සමාධියෙන් තොරනම්, එය අසමාහිත යි. අසමාහිත නම් සිතේ තැන්පත් කමක් නැහැ. එය දැනගත යුතු යි. ‘මගේ සිත දැන් සමාධියි, මගේ සිතේ සමාධියක් නැහැ’ යනුවෙන් දැනගත යුතු යි.


විමුක්ති චිත්තය යනු කෙලෙසුන්ගෙන් සිත මිදීිම යි. තමන්ගේ චිත්ත සන්ථානය කෙලෙසුන්ගෙන් සිත මිදීමේ අවස්ථාව යි. තදංග , විශ්කම්භන ආදී වශයෙන් කෙලෙස් යටවන ක්‍රම තිබෙනවා. ලෝභ , ද්වේශ, මෝහ, මද, මාන්න, ඊර්ෂ්‍යා ආදී පව් ක්‍රමයෙන් නැතිකර ගත යුතු යි. මෙසේ තමන්ගේ චිත්ත සන්ථානය ආලෝකවත් කරගන්න නීවරණයන්ගෙන් තොර විය යුතු යි. නීවරණයන් තිබෙන සිත පැහැදිලි නැහැ. අසමාහිත වශයෙන් තැන්පත්කමක් ගන්නම බැහැ. එසේනම්, කෙලෙසුන් නැති කර ගැනීමේ අවස්ථාව විමුක්ති චිත්තය යි.


සම්පූර්ණයෙන් කෙලෙස් නිදහස් කර ගැනීම , සංයෝජනයන්ගෙන් සම්පූර්ණයෙන් නිදහස් වූ සිත අර්හත් සිත නම් වෙයි. ඒ මහා රහතන් වහන්සේට ලැබෙන සිත බොහොම වටිනවා. සමහර රහතන් වහන්සේලා සෑම විටම අනේ! සැපයි, යනුවෙන් මෙනෙහි කරයි. ඒ තරම් වාසනාවන්ත සිතක්. ගසක් මුල වාඩි වුණත් අනේ! සැපයි යනුවෙන් මෙනෙහි කරනවා. මෙලෙස ‘සැප’ යනුවෙන් මෙනෙහි කරන්නේ නිවන යි. නිර්වාණය ගැන සිතා තමන් පුළුවන් තරම් සිත දැඩිකර ගෙන අවබෝධ කරගත් නිර්වාණය කෙරෙහි සිත පිහිටුවා ගෙන වාසය කිරීම යි. තමන්ගේ සිත කෙලෙසුන්ගෙන් මිදුණා නම්, ඒ අවස්ථාවට මගේ සිතෙහි කෙලෙස් නැහැ යනුවෙන් මෙනෙහි කරන්න දැනගත යුතු යි. අවිමුක්ත යනු කෙලෙසුන්ගෙන් මිදී නැති බව යි. ලෝභ , දෝස, මෝහ ආදීන්ගෙන් සමන්වාගත යි. තදංග විශ්කම්භන ආදී විමුක්ත වලින් තොර බව යි. එසේනම්, සිත අපිරිසුදු භාවය මෙතනින් ප්‍රකාශ කරනවා.


මේ අවස්ථා දාසයදී ම සෝළස ආකාර චිත්තානුපස්සනාව ලෙස මේ තථාගත ධර්මය පෙන්නුම් කරනවා. සිතට පහළවන ඕනෑම අරමුණක් දැන ගැනීම චිත්තානුපස්සනාව යි. තණ්හාව, තරහව වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, මාන්නය , මිසදිටුකම, දරදඬු ගතිය, නිදිමත ගතිය ආදී කුමන අරමුණක් සිතට දැනුණත් ඒ ටික මෙනෙහි කළ යුතු යි. ද ැනගත යුතුයි. චිත්තානුපස්සනාව යනු එය යි. එය තවත් ටිකක් ඉදිරියට ගෙන යද්දී මාගේ සිත තණ්හාවෙන් පිරිලා, එය අනිත්‍යය යි, දුක්ඛ යි,අනාත්ම යි යනුවෙන් ඉදිරියට මෙනෙහි කරන්න පුළුවන් නම්, එය චිත්තානුපස්සනා විපස්සනාව යි. ඕනෑම අරමුණක් සිතට දැනුණොත් එය මෙනෙහි කර , විදර්ශනාවට ත්‍රිලක්ෂණයට නැංවිය යුතු යි. එය චිත්තානුපස්සනා විපස්සනාව යි.


ලෝභ , ද්වේශ පමණක් නොවෙයි, අලෝභ, අදෝශ, අමෝහ, ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ආදිය දැනුණත් මේ මොහොතේ මගේ සිත ශ්‍රද්ධාවෙන් සමන්විත යි. වීර්යයෙන් සමන්විත යි. මෙලෙස සිතන්න පුරුදු වෙන්න. එයත් චිත්තානුපස්සනාව යි. ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් සමන්විත ද, අලෝභ, අදෝශ, අමෝහයන්ගෙන් සමන්විත ද අරමුණු සියල්ල මේ ක්‍රම දාසයට ඇතුළත් ව තිබෙනවා. මේ පිළිබඳව පින්වතුන්, හොඳ දැනීමක් ඇතිකරගෙන චිත්තානුපස්සනාව හොඳින් ඉදිරියට මෙනෙහි කර ලෝකෝත්තර සැනසුම ලබන්න හේතු වාසනා වේවා!


- ජම්මික ප්‍රබෝධනී වැලිකල


නවකම්මික සූත්‍රය

 


නවකම්මික සූත්‍රය  

203

මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට එක්තරා වනලැහැබෙක වසනසේක.

එකල වනාහි නවකම්මිකභාරවාජ බමුණුතෙම ඒ වනලැහැබෙහි කර්‍මාන්ත කරවයි. එක්තරා සල් රුකක් මුල පළක් බැඳ ශරීරය ඎජුව පිහිටුවා සිහිය ඉදිරියට එළවා හුන් භාග්‍යවතුන් වහන්සේ නවකම්මිකභාරවාජ බමුණුතෙම දිටීය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය: ‘මම මේ වනලැහැබෙහි කර්‍මාන්ත කරවමින් සතුටුවෙමි. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කුමක් කරවමින් සතුටුවනසේක්ද?

ඉක්බිති නවකම්මිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ) කීය:

“මහණ, සල් වෙනෙහි නුඹගේ කිනම් කර්‍මාන්ත කරවනු ලැබෙද්ද? ගෞතමයන් වහන්සේ යම්හෙයකින් මේ වෙනෙහි තනිව සතුට විඳින සේක්ද?”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “මට මේ වෙනෙහි කටයුත්තෙක් නැත. මාගේ (ක්ලේශ) වනය උදුරා දැමූ මුල් ඇත්තේය. එහෙයින්ම පහවගිය කෙලෙස් කටු ඇත්තේය. ඒ මම කෙලෙස් රහිතව කලකිරීම් පහව ගිය (රාගාදී) හුල් ඇත්තෙක්ව, විශේෂයෙන් පහකොට කනිව ප්‍රීතිය විඳිමි.”

මෙසේ වදාළ කළ නවකම්මිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. ‘යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්‍ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත්

ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශකරන ලද්දේය. පින්වත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත් උපාසකයෙකැයි සලකන සේක්වා.”


Tuesday, July 13, 2021

නිමක් නැති අරමුණු දෙස නුවණින් බලන්න

 

නිමක් නැති අරමුණු දෙස නුවණින් බලන්න

" පසේ බුදුරජාණන් වහන්සේ නමක් දන් පිණිස කුඹුරක් හරහා වැඩම කරද්දී එක් තැනැත්තෙක් මඩ ගෙන පාත්‍රයට දැමුවා. මෙය දුටු තවත් තැනැත්තෙක් මඩ ටික ඉවත් කර, පාත්‍රය සෝදා පිරිසුදු කර දුන්නා. ‘ස්වාමීනී , මේ දෙකෙන් කවුරු කළ දේ ද හොඳ යනුවෙන් මේ තැනැත්තා පසේ බුදුරදුන්ගෙන් විමසුවා. එක් අයෙක් පාපයක් සිදු කර ගත්තා.තවත් අයෙක් පිනක් සිදු කර ගත් බව වදාළා."

මහග්ඝත සිත ගැන රූපාවචර අරූපාවචර සිත් විසි හත පිළිබඳව පසුගිය සතියේ හැඳින්වූවා. අමහග්ඝත සිත් යනුවෙන්ද තිබෙනවා. මහග්ඝත නොවී තිබෙන්නේ අමහග්ඝත සිත යි. එනම්, කාමාවචර සිත් පනස් හතර යි.. එසේනම් තම සිතට පහළ වන සියලුම කාමාවචර සිත් දැනගෙන මෙනෙහි කළ යුතු යි. අකුසල විපාක සිත් හත, කුසල අහේතුක විපාක සිත් අට, අහේතුක ක්‍රියා සිත් තුන , අකුසල් සිත් දොළහ , කාමාවචර කුසල් සිත් අට, විපාක සිත් අට, ක්‍රියා සිත් අට එකතු කළ විට පනස් හතරයි. මේවා අමහග්ඝත නම් වෙයි.

සිත් පනස් හතර බැලීම චිත්තානුපස්සනාව යි. මෙය ටිකක් ගැඹුරු කොටසක් වුවත් සිත් ටික පාඩම් කරගෙන කටයුතු කළොත් ඉදිරියට යන්න පුළුවන්. අභිධර්ම මාර්ගය, අභිධර්ම චන්ද්‍රිකාව, අභිධර්මයේ මූලික කරුණු පොත පතින් ද චෛතසික පිළිබඳ හොඳ දැනීමක් ලැබෙනවා. තමන්ගේ සිත ගැන, තම සිතිවිලි ගැන, ශරීරය ගැන හොඳ දැනීමක් ඇති කරගන්න පුළුවන්.

එසේනම්, කාමාවචර වූ අපේ සිතේ පහළ වන සිත් ගැන හොඳින් මෙනෙහි කරන්න. සනුත්තර චිත්තය නමින් හඳුන්වන්නේ රූපාවචර සිත් පහළොව යි. භාවනා කිරීමේ දී ලැබෙන ධ්‍යාන සිත් සනුත්තර නම් වෙයි. අනුත්තර වන්නේ අරූපාවචර සිත් ය. අනුත්තර සිත විශේෂයෙන්ම ලෝකෝත්තර සංඛ්‍යාවට යයි. එතැනදී අප විශේෂයෙන් සැලකිය යුත්තේ සනුත්තර චිත්තය රූපාවචර අරූපාවචර වශයෙන් ද අනුත්තර චිත්තය ලෝකෝත්තර වශයෙනි. එවිට සෑම දෙයක්ම සිතෙන් බැලීම සිදු කරනවා. නමුත්, විදර්ශනාවේ දී අනුත්තර චිත්තය විදර්ශනාවට ගන්නේ නැහැ. එය ස්ථිර යි. එබැවින් සවුත්තර චිත්තය රූපාවචර බවත්, අනුත්තර චිත්තය අරූපාවචර බවත් වටහාගෙන ධ්‍යාන සිත් හොඳින් මෙනෙහි කළ යුතු යි. රූපාවචර ධ්‍යාන සිත්, අරූපාවචර ධ්‍යාන සිත් හොඳින් දැන කියාගෙන ඒවා හොඳට දියුණු තියුණු කිරීම ඒවා මෙනෙහි කිරීම චිත්තානුපස්සනාව යි.

චිත්තානුපස්සනාව මෙලෙස දාසය ආකාරයකට පැහැදිලි කළා. යම් ක්ෂණයකින් යම් සිතක් උපදිනවා නම්, ඒ සිත පිළිබඳව සිහියෙන් යුතුව සිතීම චිත්තානුපස්සනාව යි. තමාගේ සිත ද , අනුන්ගේ සිත සිතීම ද, තමාගේත් අනුන්ගේත් එබඳු සිත් පිළිබඳව සිතීම චිත්තානුපස්සනාව යි. එසේනම්, සිත පිළිබඳව මනාකොට පිරික්සා බැලිය යුතු යි. චිත්තානුපස්සනාව වඩන භික්ෂූන් වහන්සේට රහත් බව දක්වාම කෙලෙස් අඩුකරගෙන ඉදිරියට යන්නට පුළුවන් දොරටු විවෘත යි. එසේනම්, චිත්තානුපස්සනාවෙහි සඳහන් කරන අවස්ථාවන් සහ තමන්ගේ සිතේ ඇති සමාහිත සිත (තැන්පත් සිත), අර්පනා උපචාර සමාධියෙන් යුක්ත සිතක් නම් එයද දැනගත යුතු යි. ‘අසමාහිතං චිත්තං’ යනු සිතේ තැන්පත්කම නොමැති බව යි. සිත නීවරණයන් පිරුණු බව යි. විමුක්තංවා නම්, කෙලෙසුන්ගෙන් මිදුණා වූ සිත යි. අවිමුක්තංවා යනු කෙලෙසුන්ගෙන් නොමිඳුණු සිත යි. එනම් කෙලෙස් සහිත සිත යි. එසේනම් මේවා දැන වටහාගෙන මෙනෙහි කරන්න. මෙලෙස ක්‍රම දාසයක් චිත්තානුපස්සනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.

ච්ත්තානුපස්සනාවේ ක්‍රම හොඳින් දැන කියාගෙන දැනුම වැඩි කර ගැනීමෙන් තමන්ට සිත පිළිබඳව හොඳ වැටහීමක් ඇති කර ගත හැ කි යි. චිත්තානුපස්සනාව ඉදිරියට ගෙන යන්න සිත වැඩකරන ආකාරය හොඳින් බැලිය යුතු යි. සිතේ ස්වභාවය වෙනස් වීම යි. නිබඳව ම වෙනස් වෙයි. බුදුන් වහන්සේ් ධරමාන කාලයේ දී එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හත් වරක් මහණ වුණා. සිත වික්ෂිප්ත වෙද්දී නැවත සිවුරු හරිනවා. මෙසේ හත් වන වතාවේ දී වික්ෂිප්ත වන එද්දීම ඒ සිත හදාගෙන බණ භාවනා වැඩි කළා. මේ නිසා රහත් බව ලබන්නට පුළුවන්කම ලැබුණා.

එසේනම්, සිත අඳුරු කරන, සිත විනාශයට පත් කරන දේ නීවරණ නම් වෙයි. කාමච්ඡන්ද නීවරණය නිසා සිත අඳුරු කරයි. තණ්හාව අධික බව, රාගය අධික බව නිසා චිත්තානුපස්සනාව වැඩීම අපහසු යි. ව්‍යාපාදය, තරහව, වෛරය, ක්‍රෝධය , ඊර්ෂ්‍යාව ආදී නීවරණ නිසාද සිත අඳුරු කරයි. ථීනමිද්ධය, කම්මැළිකම , උදාසීන බව නිසා ද ඉදිරියට යන්න අපහසු යි. උද්දච්ඡ සිතේ විසිරීම එක අරමුණකින් සිත තබාගන්නට බැරි බව යි. විවිධ අරමුණු නිසා සිත විසිරී යනවා. විචිකිච්ඡා ආදී නොයෙක් සැක සාංකා හට ගන්නවා. පංච නීවරණ නිසා චිත්තානුපස්සනාව මෙනෙහි කරන්න අපහසු යි.

චිත්තානුපස්සනාව ඉදිරියට ගෙන යාමට වෙහෙස මහන්සි නොබලා සිත අනුව බලමින් ඉදිරියට යා යුතු යි. කෙලෙස් කහට හට ගන්නා සිත් තිබෙයි. ලෝභය , ද්වේෂය, මෝහය , මාන්නය, උඩඟුකම , අධික මාන්නය, කුහකකම, ආදී පාපී සිතිවිලි එකක් පාසාම පහළවෙද්දී හොඳින් බලමින් වාසය කරන්න. කුසල සිතිවිලි වන ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ඥාන ආදිය ද නුවණින් බලමින් අනුපස්සනා කරමින් වාසය කළ යුතු යි. සිත අනුවම බලන්න. හොඳ - නරක දෙකම හට ගනියි. මේ ගැන තම තමාම තීරණය කළ යුතු යි.

පසේ බුදුරජාණන් වහන්සේ නමක් දන් පිණිස කුඹුරක් හරහා වැඩම කරද්දී එක් තැනැත්තෙක් මඩ ගෙන පාත්‍රයට දැමුවා. මෙය දුටු තවත් තැනැත්තෙක් මඩ ටික ඉවත් කර, පාත්‍රය සෝදා පිරිසුදු කර දුන්නා. ‘ස්වාමීනී , මේ දෙකෙන් කවුරු කළ දේ ද හොඳ යනුවෙන් මේ තැනැත්තා පසේ බුදුරදුන්ගෙන් විමසුවා. එක් අයෙක් පාපයක් සිදු කර ගත්තා.තවත් අයෙක් පිනක් සිදු කර ගත් බව වදාළා. එසේනම්, සිත අනුව බලද්දී සිතේ වගකිව යුත්තා තමා ම යි. එයට තවත් කෙනෙක් වග කියන්න බැහැ. ඒ නිසා අපහසුම දේ සිත දමනය කිරීම යි. සිත දමනය කිරීමේ ක්‍රමය බුදුන් වහන්සේ අපට දේශනා කර වදාළා. මෙසේ නීවරණයන් සංසිඳුවාගෙන අරමුණු ටික හොඳින් මෙනෙහි කරද්දී යහපත් තැනකට එන්නට පුළුවනි. එක අරමුණක් දිගටම මෙනෙහි කළ යුතු යි. එලෙස සිත දැකීමෙන් සිත තැන්පත් කරගත හැකි යි.

කවුරුත් තම තමන්ගේ චිත්ත සන්තානය දියුණුවට බලවත් උත්සාහයක යෙදිය යුතු යි. සිත අනුව බැලීම චිත්තානුපස්සනාව යි. නමුත් සිතට එන අරමුණු බැලුවොත් සීමාවක් නැහැ. පංචද්වාරයෙන් අරමුණු ගනියි. ඇස, කන, නාසය, දිව, සිරුර, සිත ආදී සයද් වාරයෙන් අරමුණු ගනියි. මේවායේ අරමුණු වන්නේ රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යනුවෙන් දොළහක් තිබෙයි. මේ ආයතන සහ අරමුණු හොඳින් දකින්නට පුළුවන් නම්, අගෙයි. .

බුද්ධ කාලයේ ඇතැම් භික්ෂූන් වහන්සේ ඇස පමණක් සංවර කර ගත්තා . ඇතැමෙක් කන පමණක් සංවර කර ගත්තා. සමහරු සංවර කරගත්තේ සිත පමණ යි. බුදුන් වහන්සේ දේශනා කර වදාළේ, සෑම ඉන්ද්‍රියක්ම සංවර කරගත යුතු බව යි. චිත්තානුපස්සනාවේ දී කුමන ඉන්ද්‍රියන්ගෙන් මතු වුණත් , කොහෙන් පැමිණි අරමුණු දැ’යි විමසා බලා, තත්ත්වය කෙසේදැ’යි මෙනෙහි කරමින් බැලිය යුතු යි.

එසේනම්, සිත් අසූනවයක් තිබෙනවා. කාමාවචර සිත් පනස් හතර යි. රූපාවචර සිත් පහළොව යි. අරූපාවචර සිත් දොළහ යි, ලෝකෝත්තර සිත් අටයි. චෛතසික පනස් දෙකයි. රූප විසි අට යි. නිර්වාණය යි. මේ සතර පරමාර්ථය හොඳින් දැන කියාගෙන සෑම දෙයක් පිළිබඳව ම අවධානයෙන් සිටීම චිත්තානුපස්සනාව යි. නිර්වාණය අරමුණු වන්නේ සිතට යි. ඒ සඳහා සිතේ කෙලෙස් සංසිඳී, කලබලකාරී ගතිය අඩුවී, සිහි කල්පනාව හොඳින් දියුණු වීමෙන් චිත්තානුපස්සනාව හොඳින් මෙනෙහි කළ හැකි යි.

කුල දුවක් අහසින් ගියාය

 



කුල දුවක් අහසින් ගියාය

රාජකීය පණ්ඩිත,

ශාස්ත්‍රපති

මහරැඹෑවැවේ පාලිත හිමි


අද ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ ගිරිහඬු මහ සෑ වන්දනාවට කැමැතිව උබ්බේග පී‍්‍රතියෙන් පිනාගොස් අහසින් ගිය එක් කුලදුවක් පිළිබඳ කතා ප්‍රවෘත්තිය යි.


බුද්ධඝෝෂ හිමියන් මෙම කතාව උදාහරණ ලෙස යොදා ගන්නේ විතක්ක, විචාර, පීති,සුඛ, ඒකග්ගතා යන ධ්‍යානාංගයන් ගැන කරුණු විස්තර කරන අවස්ථාවේ පීති යන්නෙහි ප්‍රභේදයක් වන “උබ්බේග‘ පී‍්‍රතිය හැඳින්වීමට උදාහරණයක් වශයෙනි. පී‍්‍රතිය පස් ආකාර වෙයි. එබැවින් පළමුව මේ පස් ආකාර පී‍්‍රතිය හෙවත් පස්වනක් පී‍්‍රතිය පිළිබඳ දැන ගැනීම මෙහි දී ධර්මාවබෝධය සඳහා පහසු වෙයි.


පස්වනක් පී‍්‍රතිය

පී‍්‍රති සුඛය යනු, කාය චිත්ත පිනවීම යි. එහි ලක්ෂණය අරමුණ පි‍්‍රය වශයෙන් දක්නා බව යි. රසය චිත්ත – කාය පිනවන බව යි. නැතහොත් පැතිරෙන බව යි. එය ඛුද්දක පී‍්‍රතිය, ක්ෂණික පී‍්‍රතිය ඔක්කන්තික පී‍්‍රතිය. උබ්බේග පී‍්‍රතිය හා ඵරණ පී‍්‍රතිය වශයෙන් පස් ආකාර වෙයි.


1) ඛුද්ධක පී‍්‍රතිය


ශරීරය ලොමුදහ ගැන්වීම් මාත්‍රයක් කිරීමට සමත් කුඩා පී‍්‍රතිය,


02.) ක්ෂණික පී‍්‍රතිය


ක්ෂණිකව ඇතිවන පී‍්‍රතිය විදුලි කෙටීමක් හා සමාන ය. මෙය ඛුද්දක පී‍්‍රතියය වඩා බලවත් ය,


03.) ඔක්කන්තික පී‍්‍රතිය මුහුදු වෙරළ පැතිරෙන මුහුදු රළ සෙයින් ශරීරය පිනවමින් පැතිර පවත්නා පී‍්‍රතිය. මෙය ක්ෂණික පී‍්‍රතියට වඩා බලවත් ය,


04.) උබ්බේග පී‍්‍රතිය ඔක්කන්තික පී‍්‍රතියට වඩා බලවත් මෙය කය උඩට ගෙන ගොස් අහසෙහි නගා පියන පමණට සමර්ථ වෙයි,


05.) ඵරණ පී‍්‍රතිය


මෙයින් පිනා ගිය කල්හි මහා ජල ප්‍රවාහයකින් පිරුණු පර්වත කුක්ෂියක් මෙන් හාත්පසම ස්පර්ශ කරන ලද්දේ වෙයි,


පෙර ලක්දිව ගිරිහඬු මහවෙහෙරට සමීප වත්තකාල නම් ගම්වැසි කොරණක නම් මහා විහාරයක් විය. එහි එක් නිවසක ගර්භිණී සැදැහැති කුල දුවක් විය.ඇගේ මව්පියෝ එක් දවසක් ගිරිහඬු මහවෙහෙරට බණ අසනු කැමතිව දුවණිය ගර්භිණි බැවින් අවේලාවෙහි ඇවිදීම නුසුදුසු හෙයින් දෙමාපියෝ ඇයට කියන්නේ, “දුවණියනි, අප ගොස් බණ අසා එන්නෙමු” කියා බණ ඇසීම සඳහා පිටත්ව ගියහ. ඒ දියණිය ද බණ ඇසීමට යෑමට කැමැත්ත මෙන් ම හැකියාව ද තිබුණ ද, දෙමව්පියන්ගේ වචනය ඉක්මවන්නට නො හැකිව යහපතැයි පිළිගෙන නිවසේ සිටියාය.


දෙමාපියන් පිටව ගොස් ටික වේලාවකට පසුව ගෙමිදුලට බට ඇය සඳ පහනින් ගිරිහඬු මහ වෙහෙර ආකාශ චෛත්‍ය මළුවෙහි බබළමින් දැල්වෙන පහන් පූජාව දිටීය. ඇයට භික්ෂු සංඝයා වහන්සේගේ ගණ සජ්ඣායන ශබ්දයද ඇසුණි. එවිට ඇය විහාරයට ගොස් මෙබඳු සෑ මළුවක ඇවිදින්නට මෙබඳු ධර්ම කතා අසන්නට ලැබුවෝ ඒකාන්තයෙන් මහා පිනැත්තෝ ය යනුවෙන් සිතීය. මෙසේ සිතිවිලි පහළ වූ ඇයට මුතු රැසක් බඳු චෛත්‍ය බලත් ම උබ්බේග පී‍්‍රතිය උපන්නා ය. එයින් ඕ තොමෝ අහසට නැගී දෙමාපියන්ට පෙරාතුව ම ආකාශ චෛත්‍යාංගණයේ බැස බණ අසමින් සිටියා ය.


මව්පියෝ අවුත් අදහාගත නො හැකිව ‘දරුව ,ඔබ කවර මගෙකින් මෙහි පැමිණියේ දැයි’ විමසී ය. එවිට ඇය ‘මම අහසින්් ආවෙමි. මගෙකින් නො ආවෙමියි’ පිළිතුරු දුන්නී ය. පුදුමයට පත් මව්පියන් ‘දරුව අහසින් යන්නෝ නම් මහාරහතන් වහන්සේ ය. ඔබ කෙසේ පැමිණියා ද?” විමසී ය. එවිට ඇය පවසන්නී ‘සඳ පහනින් චෛත්‍ය දෙස බලාහුන් මට බලවත් වූ බුද්ධාලම්බන පී‍්‍රතියක් උපන්නේ ය. එයින් මම මා අන් සිටි තැන් නොදත්තෙමි. ගත් අරමුණින් ම අහසින් අවුත් මළුවෙහි පිහිටියෙමි’යි යනුවෙන් ඇය පිළිතුරු දුන්නී ය.


භාවිතය


යමක් කරන විට අපගේ සිත සැදැහැවත් බවින් පිරිපුන් නම්, එයින් යමක් බලාපොරොත්තු වුවත් නැතත් මේ අත් බවෙහි ම එයින් යහපත් ප්‍රතිඵලයක් ලැබෙන බව නම් අනිවාර්ය වෙයි. විශේෂයෙන් බුද්ධාදි තුණුරුවන් කෙරෙහි අපගේ අචල ශ්‍රද්ධාවක්, පැහැදීමක් පවතීනම් එය අපගේ උභයාර්ථ සුභසිද්ධිය සඳහාම හේතු වනු නො අනුමාන ය. කෙනෙක් ධර්මය ඇසීමට එළඹෙන්නේ, ධර්මය අසන්නේ ශ්‍රද්ධාව නිසා ය. කෙටියෙන් කියතොත් නිර්වාණගාමී මාර්ග ප්‍රතිපදාව ම රැඳී ඇත්තේ ශ්‍රද්ධාව මත පදනම්ව ය. එබැවින් නිර්වාණගාමී මාර්ගයේ පළමු පියවර ශ්‍රද්ධාව හෙවත් පැහැදීම ලෙස ගතහොත් එය නිවැරැදි ය.


පච්චනීක සූත්‍රය



පච්චනීක සූත්‍රය  

202

මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල වනාහි පච්චනීකසාත නම් බමුණු තෙම සැවැත්නුවර වෙසෙයි. ඉක්බිති පච්චනීකසාත බමුණාහට මෙබඳු සිතෙක් විය: ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩ වෙසෙන තැන යම් තැනෙකද එතැනට පැමිණෙම් නම් මැනවි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් යමක් වදාරණසේක් නම් උන්වහන්සේගේ ඒ ඒ දෙයට මම විරුද්ධවාදියෙක් වන්නෙමි.”

එකල භාග්‍යවතුන් වහන්සේ අභ්‍යවකාශයෙහි සක්මන් කරනසේක. ඉක්බිති පච්චනීකසාත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ සක්මන්කරන භාග්‍යවතුන් වහන්සේට අනුව සක්මන් කරමින් “ශ්‍රමණය, ධර්‍මය කියව” යි කීය.

(එවිට භාග්‍යවතුන් වහන්සේ) “විරුද්ධ දේ කීමෙන් සතුටු වන්නාවූ, ලෝභාදියෙන් කිලිටි සිත් ඇති, එකටෙක කිරීම බහුලකොට ඇතියෙකු විසින් (තථාගතයන්ගේ) සුභාෂිත ධර්‍මය හොඳාකාර නොදත හැක්කේය.

“යමෙක් චිත්තය සම්බන්‍ධ අපුසාදයද, බද්‍ධ වෛරයද අත්හැර එකට එක කිරීම නැති කරන්නේද, හෙතෙම ඒකාන්තයෙන් සුභාෂිතධර්‍මය අවබෝධ කරන්නේය” (යි වදාළසේක.)

මෙසේ වදාළ කළ පච්චනීකසාත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. “යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්‍ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශකරන ලද්දේය. පින්වත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයෙකැයි සලකන සේක්වා.”

Monday, July 12, 2021

බුද්ධිය සොයා යන ගමන

 


බුද්ධිය සොයා යන ගමන
කැලණිය විශ්වවිද්‍යාලයේ.
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ,
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි

"ප්‍රඥාවේ එකිනෙක මට්ටම් පවතී. ලෞකික මිනිසුන් වශයෙන් අප තුළ පවතින ප්‍රඥාව වූකලී දැනුමේ එක්තරා දියුණු අවස්ථාවකි. එය ලෞකික ප්‍රඥාව නම්වේ. බුදුදහම අනුව තේරුම් ගතයුතු කරුණක් වන්නේ ප්‍රඥාව නම් වන එකී බුද්ධිමය තත්ත්වයට මෘදු මොළොක් භාවමය තත්වයක් ආරෝපණය කර ගැනීමට හැකියාවක් නැත්නම් එම බුද්ධිය ඵල රහිත වන බවයි."

දැනුම, බුද්ධිය හා ප්‍රඥාව ලබා ගැනීම යනුවෙන් අපගේ මොළය ආශ්‍රිතව සිදු කෙරෙන ක්‍රියාවලීන් තුනක් පවතී. මෙම තෙවැදෑරුම් ක්‍රියාවලීන්ගෙන් අප මුලින්ම සිදු කරනුයේ දැනුම සොයා ගැනීම යි. දරුවකු ඉපදුණු දා සිටම මව්පියන් තම දරුවාගේ අනාගතය සඳහා ඔහු දැනුම් සම්භාරයකින් සන්නද්ධ කිරීමට සැලසුම් සාදනු ලබන ආකාරය ඔබ දැක ඇත.

එසේම හය හතර තේරෙන වියේ දී පාසල් වෙත, පෞද්ගලික පන්ති වෙත රැගෙන යමින් හෝ ගුරුවරුන් තම නිවසට ගෙන්වා ගනිමින් හෝ එකී දැනුම ලබා දීම සඳහා මව්පියෝ කාලය, ධනය හා ශ්‍රමය වැය කරමින් මහත් පරිශ්‍රමයක් දරති. දැනුම (Knowledge)  යනුවෙන් හඳුන්වනු ලබන මෙම ඥාන සම්භාරය ලබනුයේ පොතපත මගින් පමණක් නොවේ. ගුරුවරුන්ගෙන් මෙන්ම තම නුවණ මෙහෙයවා ද මෙය වැඩි දියුණු කර ගනී. එසේම එය සමාජ ආශ්‍රයෙන් මිතුරන්ගේ ඇසුරෙන් මෙන්ම වයස මුහුකුරා යාමෙන් ද වැඩි දියුණු වේ. තම පුඵල් වූ විෂයබද්ධ දැනුම පෙන්වා කඩඉම් විභාග ආදිය සමත් වී උගත් (Educated) කෙනෙකු ලෙස සම්භාවනාවට පාත්‍ර වේ. උසස් වෘත්තිකයෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම වන්නේ මෙකී විෂයබද්ධ ඥානය ප්‍රකට කිරීමෙන් ලබාගත් සහතික ආදියයි. එබැවින් වර්තමාන සමාජ රටාව අනුව සෑම පුද්ගලයෙකුටම දැනුම ජීවත්වීමේ ප්‍රධාන මෙවලම බවට පත්වී ඇත. බුද්ධිය (Intelligence)  යනු කෙනෙකු තුළ පවතින ඉහත කි දැනුම ලබා ගැනීමට හා ලබාගත් දැනුම ඵලදායක ලෙස භාවිත කිරීමට ඇති හැකියාව හෙවත් කුශලතාවයි. මෙය කරණීයමෙත්ත සූත්‍රය වැනි තැන්වල සක්කො යනුවෙන් යෙදී ඇති බව සක්කො උජූ ච සූජූ ච යනාදී ගාථාවෙන් ද පෙනේ. එසේම කුසලො යන පදයෙන් ද අදහස් කෙරෙන අයුරු කුසලො චස්ස මුදු අනතිමානී යනාදී ගාථාවෙන් ද පැහැදිලි වේ. එහි සක්කො යන්නෙන් හැකියාව ඇති කෙනෙක් යන්න ද කුසලො යන්නෙන් කුශලතා ඇත්තෙක් යන්න ද කියැවේ. කුමක් සඳහා වන හැකියාව හෙවත් කුශලතාව ද යත් යමක් තේරුම් බේරුම් කොට ගෙන එය ඵලදායක ලෙස ක්‍රියාවට නැගීම සඳහා වන හැකියාව හෙවත් කුශලතාව යි. නූතන බටහිර මනෝවිද්‍යාවෙහි මෙම හැකියාව කුශලතා (Skills) යටතේ විස්තර කෙරෙන බව අපි දනිමු. එහෙත් නූතන මානෝ විද්‍යාවට වර්ෂ සිය දහස් ගණනකට පෙර අප සතුව තිබිය යුතු මෙකී බුද්ධිය පිළිබඳව බුදුදහමෙහි පැහැදිලි නිර්දේශයක් දී ඇත. බුදුදහමට අනුව කෙනෙකුගේ බුද්ධිය අර්ථවත් වන්නේ එයට හදවත ආශ්‍රයෙන් පැන නගින මෘදු මොළොක් මනෝභාවයන් සමඟ ඒකාබද්ධ විය හැකි නම් පමණකි. කෙනෙකුට ඔහුගේ හදවතෙන් පැන නගින දයාව, කරුණාව, අනුකම්පාව, හිතෛෂී බව, උපේක්ෂාශීලී බව යොදා ගනිමින් දැනුම භාවිත කළ හැකි නම් එය අර්ථවත් බුද්ධියක් බව කිව යුතු ය. ගැඹුරු අරුතකින් විමසා බලන විට විශ්වයේ ක්‍රියාකාරිත්වය වූකලී හුදු ගනුදෙනුවකි. පොළොව තුළ ගස් වැල් ආදිය මැනවින් ඇත්නම් අහසින් පොළොවට වැසි වැටේ. පොළොව කාන්තාරයක් වූ විට වැසි නොවැටේ. එසේම අහසින් වැසි දිය පොළොවට පතිත වේ නම් පොළොවෙහි ගහ කොළ වැඩී වැව් ගංගා පිරී යාමෙන් අහසේ වැසි වළාකුළු ලෙසින් පැවතිය හැකි ය. මෙලෙසින් අහස හා පොළොව අතර ඇත්තේ ද හුදු ගනුදෙනුවකි. ගුරුවරයා හා ශිෂ්‍යයා ද, දෙමාපියන් හා දරුවන් අතර ද, පැවිද්දා සහ දායකයා අතර ද, ස්වාමියා හා කම්කරුවා අතර ද යනාදී වශයෙන් සමාජ සංස්ථාවේ සකලවිධ සාමාජිකයන් අතර පවතින්නේ මෙම න්‍යායම වේ. මේ නිසා මෙකී ගනුදෙනුව නිසි පරිදි කළමනාකරණය කිරීමේ ඥානය බුද්ධිය වේ. එය නිසි පරිදි සිදු කිරීමට අපොහොසත්වීම යනු බුද්ධියේ දුර්වලත්වයකි. මෙම ව්‍යවහාරික බුද්ධිය බෞද්ධ මූලාශ්‍රයන්හි නම්කොට ඇත්තේ වොහාරිකපඤ්ඤා යනුවෙනි. එහෙයින් ඔබ පාසල, පන්සල, දහම් පාසල, විශ්වවිද්‍යාලය ආදී අධ්‍යාපන ආයතනයක දී ලබන යම් දැනුමක් වේ නම් එය ලබා ගන්නා ක්‍රමවේදය පිළිබඳව ද සවිඥානක විය යුතුය. එසේම දැනුම බුද්ධියක් බවට පරිවර්තනය කර ගැනීමට ද උත්සුක විය යුතු ය.

මිළින්දපඤ්හය නම් ග්‍රන්ථයේ බුද්ධිය මුහුකුරා යන කරුණු අටක් දැක්වේ. 1. වයස මුහුකුරා යාම 2. කීර්තිධර කෙනෙකු වීම 3. යම් යම් කරුණු සම්බන්ධයෙන් බුද්ධිමතුන්ගෙන් ප්‍රශ්න කිරීම 4. ආගමික ස්ථාන ආශ්‍රය කිරීම 5. නුවණින් මෙනෙහි කිරීම 6. සාකච්ඡා කිරීම 7. ස්නේහවන්තයන් ඇසුරු කිරීම 8. පතිරූපදේශ වාසය හෙවත් ජීවත්වීමට සුදුසු ප්‍රදේශයක ජීවත් වීම යනු ඒ අටයි. බුද්ධිය පෝෂණය කර ගැනීම යනු අධ්‍යාපනයෙන් පමණක් ලැබිය හැකි හුදු පෞද්ගලික කාරණයක් නොවේ. එය කරුණු රාශියක් එකතුවීමෙන් ලැබෙන ප්‍රතිලාභයකි. ඉහත දැක්වූ කරුණුවලින් පෙනෙනුයේ බුද්ධිය මුහුකුරා යාමට අවශ්‍ය ඇතැම් සංසිද්ධීන් ස්වභාවිකවම කෙනෙකුට ලැබෙන බවයි. එහෙත් ඇතැම් ඒවා නුවණ මෙහෙයවා සකසා ගතයුතු තත්වයන් ය. මීට අමතරව බුද්ධිය වැඩි දියුණු කර ගැනීම සඳහා ඉවහල් වන ආගමික සන්දර්භයක් පිළිබඳව ද මෙහි ලා සඳහන් වීම සැලකිය යුතු කරුණක් වේ. මනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ගැඹුරුම විග්‍රහය දක්නට ලැබෙනුයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්හි ය. එය නම් සතිපට්ඨානයයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව බුද්ධියේ දියුණුම අවස්ථාව ප්‍රඥාව  (Wisdom) යනුවෙන් හැඳීන්වේ. භෞතික වස්තූන්ගේ සංයුතිය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන්ම දැනගැනීමේ මෙකී බුද්ධිය එහි හඳුන්වනු ලබනුයේ විදර්ශනා ප්‍රඥාව නමිනි. ඉහත සඳහන් කළ ගනුදෙනුව ගැඹුරු දාර්ශනික අරුතකින් මෙහිදු භාවිත කළ හැකිය. එම ගනුදෙනුව හේතුඵල න්‍යායක් වශයෙන් පටිච්ච සමුප්පාදය යටතේ ධර්මයේ විස්තර කෙරේ. මිටි යැයි යමක් ඇති විට උස යැයි දෙයක් සම්මත වේ, එසේම උස යැයි සම්මත යමක් ඇත්නම් මිටි යැයි දෙයක් සම්මත වේ. ඉපදීම ඇති විට සංස්කාර ඇතිවේ. සංස්කාර නැතිවිට ඉපදීම නැතිවේ යනාදී වශයෙනි. මෙලෙසින් ලෝකයේ ද්වයතාව ආශ්‍රිත ගනුදෙනුව තේරුම් ගත යුතුය. මෙම යථාර්ථය විනිවිද දැකිය හැකිනම් එය ප්‍රඥාවෙහි ලක්ෂණයකි.

කෙසේ වෙතත් මෙම ප්‍රඥාවේ එකිනෙක මට්ටම් පවතී. ලෞකික මිනිසුන් වශයෙන් අප තුළ පවතින ප්‍රඥාව වූකලී දැනුමේ එක්තරා දියුණු අවස්ථාවකි. එය ලෞකික ප්‍රඥාව නම්වේ. බුදුදහම අනුව තේරුම් ගතයුතු කරුණක් වන්නේ ප්‍රඥාව නම් වන එකී බුද්ධිමය තත්වයට මෘදු මොළොක් භාවමය තත්වයක් ආරෝපණය කර ගැනීමට හැකියාවක් නැත්නම් එම බුද්ධිය ඵල රහිත වන බවයි. මනෝවිද්‍යාවෙහි මෘදු කුශලතා (Soft skills)  යනුවෙන් විස්තර කරනුයේ ද එම කාරණයම වේ. අප ලබාගත් දැනුම සක්‍රිය ලෙස සමාජගත කරනුයේ කෙසේද යන අවබෝධය උගතා හෙවත් ඉගෙනීමෙන් ලද දැනුම් සම්භාරයක් ඇත්තා තුළ තිබිය යුතු ය. කථා කරන භාෂාව ප්‍රියශීලී ලෙස, ශිෂ්ට ලෙස හා ඵලදායක ලෙස සන්නිවේදනය කරනුයේ කෙසේද යන අවබෝධය  (Communication skill) එහිදී වැදගත්ම අංගයක් වේ. එසේම තමා ජීවත්වන සමාජය සමඟ සුහදතාව පවත්වා ගන්නේ කෙසේද යන විඥානය ඔහුට තිබිය යුතු ය. එය සමාජ කුශලතාවක් (Social skill) ලෙස සැලකේ. බුදුදහම අනුව හදවතක් නැති බුද්ධියෙන් ප්‍රයෝජනයක් නැත. සිය ගණනක් ජාතක කථාවලින් මෙය නිදසුන් සහිතව පෙන්වා දී ඇත. බුද්ධිය ආත්මාවබෝධය සඳහා යොදා ගත යුතුම වේ. නිදසුනක් ලෙස ඔබට තරහක් ඇති වුවහොත් මම ඉන්නේ තරහින්ය යන ආත්මාවබෝධය තමාට තිබිය යුතුය. ඉන් පසු මා මෙසේ සිටීම හරිද යනුවෙන් ධර්මානුකූලව සිතා ස්වයං පාලනයක් ඇති කරගත යුතුය. අත්තාධිපතෙය්‍ය, ධම්මාධිපතෙය්‍ය, ලොකාධිපතෙය්‍ය යනුවෙන් තමන් පිළිබඳ ස්වයං පාලනයක් ඇති කරගැනීමට ක්‍රම තුනක් ධර්මයෙහි පෙන්වා දී ඇත. එසේම අපගේ බුද්ධියෙන් ප්‍රයෝජනයක් වන්නේ අනෙක් අයගේ දුක් කරදරවලදී ඔහු සමඟ පෙනී සිටීමට හැකි භාවමය තත්වයක් අපට ඇත්නම් පමණකි. තවකෙනකුගේ දුකක් ඔහුට තනියම විඳ ගැනීමට හැරීම මානව ධර්මය නොවේ. ධර්මය නම් කුමක් ද? එය භූත දයාවය යනුවෙන් ඍෂි භාෂිතයක් ඇත. එබැවින් ඔබ උගත් ශිෂ්‍යයෙකු, ගුරුවරයෙකු හෝ සමාජ සංස්ථාවේ උගත් නිලධාරියෙකු හෝ විය හැකිය. කවරෙකු වුවත් ඔබ උගත් දෙය තමාගේ මෙන්ම අනුන්ගේ යහපත සඳහා සමාජගත කිරීමටත්, සමාජයේ සෙසු අයට අපි වැටිල හිටියොත් බෑ, අපි නැගිටිය යුතුය, එය කරන්නේ මෙසේ යැයි පෙන්වා දෙමින් උත්තේජනයක් ඇති කිරීමට සමත්විය යුතුය. බුද්ධියේ සැබෑ අරුත නම් එයයි. මෙසේ බුද්ධිය අවදි කොට ජීවිතය දෙස බලන පුද්ගලයාට තමා සහ ලෝකය පිළිබඳ යථාර්ථය විනිවිද දැකිය හැකිය. එය විදර්ශනා ප්‍රඥාවය. එය හුදු සියල්ලේ අභාවය, අශූභය, දුක, හරයක් නැති බව දකින ක්‍රමවේදයක්ම නොවේ. දුක හා සැප, ලැබීම හා හානිය, සැපත හා විපත යනාදියෙහි දුක් දොම්නස් වැළඳ ගනිමින් ජීවත් නොවීමේ ක්‍රමවේදයක් ද වේ. උසස් මිනිසෙකු ලෙස ජීවත්වීමට නම් මෙම ජීවන ප්‍රතිපදාව කවරෙකුට වුවත් තිබිය යුතුය.

ඥානයේ, බුද්ධියේ හා ප්‍රඥාවේ වෙනස පිළිබඳ අවබෝධය ඔබට වැදගත් වනු නො අනුමාන ය. බුද්ධිය සොයා යන ගමනේ දී කවර වයසක, කවර තත්වයක සිටින තැනැත්තෙකු වුවද සැලකෙනුයේ ශිෂ්‍යයෙකු වශයෙනි. ඔහු සතුව තිබිය යුතු ශ්‍රද්ධාව හෙවත් විශ්වාසයි. බුද්ධ දේශනාවේ මෙසේ සඳහන් වේ. “ශ්‍රද්ධාව ඇති තැනැත්තා (ගුරුවරයා වෙත) එළඹේ. එළඹෙන තැනැත්තා ආශ්‍රය කරයි. ආශ්‍රය කරන්නා ඇහුම් කන් දෙයි. ඇහුම්කන් දුන් තැනැත්තා ධර්මය අසයි. ධර්මය අසන්නා මතකයේ තබා ගනියි. මතකය ඇති තැනැත්තා අර්ථය පරීක්ෂා කොට බලයි. අර්ථය පරීක්ෂා කොට බලන්නාට ධර්මයෝ වහා වැටහෙති. වැටහුණු කල්හි කැමැත්ත ඇතිවේ.

හටගත් කැමැත්ත ඇති තැනැත්තාට උත්සාහය ඇතිවේ. උත්සාහය ඇති තැනැත්තා තුලනය කොට බලයි. තුලනය කොට සිත එකඟ කරයි. එකඟ කළ සිත් ඇත්තා පරම සත්‍යය අවබෝධ කරගනී. ප්‍රඥාවෙන් එය විනිවිද දකී.” මේ අනුව දැනුම බුද්ධියක් බවට පරිවර්තනය කොට එය ප්‍රඥාව දක්වා දියුණු කිරීමෙන් මනුෂ්‍යත්වයට අරුතක් ආරෝපණය කිරීමේ වැඩ පිළිවෙළ අඛණ්ඩ ක්‍රියාවලියක් බව තේරුම් ගත යුතුය. ඒ සඳහා මොළය මෙන්ම හදවත ද අවශ්‍ය වන බව කිසි විටෙකත් අමතක නොකළ යුතුය


පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...