Wednesday, May 26, 2021

දාමලි සූත්‍රය

 


 දාමලි සූත්‍රය  

86

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි දාමලි දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දාමලි දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

මෙහි (මේ සස්නෙහි) බ්‍රාහ්මණයා (රහත්හු) විසින් අකුසීතව (ප්‍රධන්) වීර්‍ය්‍යය කටය්‍රතුය. කාමයන් දුරලීමෙන් ඔහු භවය නොපතයි.”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “දාමලිය, බ්‍රාහ්මණයා විසින් (රහත්හු විසින්) නැවත කළ යුත්තෙක් නැත. බ්‍රාහ්මණතෙම (රහත් තෙම) ඒකාන්තයෙන් කොට නිමවූ කටයුතු ඇත්තේය. සත්ත්‍ව තෙමේ ගංගාවෙහි ස්ථිරව සිටීමට තැනක් නොලබන තෙක්ම සියලු ශරීර අවයවවලින් (ගොඩනගින්නට) තැත් කෙරේ. ඔහු ස්ථිරව සිටීමට තැනක් ලැබ සිටගත්තේ (ඉන්පසු) උත්සාහ නොගනී. කවර හෙයින්ද යත්, ඔහු එගොඩ වූයේය. එබැවිනි. දාමලිය, ප්‍රඥා ඇති, ධ්‍යානයෙහි ඇලුණු, ආශ්‍රව නැසූ, පව් බැහැර කළාහට මේ උපමාවෙකි. ඔහු ජාති මරණ දෙකේ කෙළවරට පැමිණ, ඒකාන්තයෙන් (භව සාගරයේ) පරතෙරට ගියේ, උත්සාහ නොකෙරේ.

Tuesday, May 25, 2021

Na Uyane Ariyadhamma Thero

 


උපෙක්‍ඛා භාවනාව

 උපෙක්‍ඛා භාවනාව 1 -ආර්යයන් විසින් ගිය මඟ යන්න, සියලු දෙනා කෙරෙහි මැදහත් වන්න

Apr 24, 2021 | සිත නිවන භාවනා | 



උපෙක්‍ඛා භාවනාව 1 -ආර්යයන් විසින් ගිය මඟ යන්න, සියලු දෙනා කෙරෙහි මැදහත් වන්න

බ්‍රහ්මවිහාර භාවනා අතරෙහි සතර වැනි භාවනාව ‘උපෙක්‍ඛා’ බ්‍රහ්මවිහාරය යි. මෛත්‍රී, කරුණා, මුදිතා බ්‍රහ්මවිහාර භාවනාවලින් සියලු සත්ත්වයන් කෙරෙහි ‘සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා’ යනාදි ලෙස භාවනාව වඩා තෘතීය ධ්‍යානය දක්වා උපදවන ලද තැනැත්තාට සතරවෙනුව උපෙක්‍ඛා බ්‍රහ්මවිහාර භාවනාව වැඩිය හැකි වේ. මෙම භාවනාව වැඩීම පිණිස මෛත්‍රී, කරුණා, මුදිතා භාවනාවකින් තෘතීය ධ්‍යානය දක්වා සමාධිය උපදවා තිබීම පූර්ව අවශ්‍යතාවයක් වේ. එහෙයින් පළමුවෙන් ඉහත කී බ්‍රහ්මවිහාර කර්මස්ථාන තුනෙන් අඩු ම තරමේ එක් භාවනාවකින් හෝ තුන්වන ධ්‍යානය දක්වා උපදවා ගත යුතු වේ.


උපෙක්‍ඛා බ්‍රහ්මවිහාර භාවනාව වැඩීමට මත්තෙන් උපේක්‍ෂාව යනු කුමක් දැ යි වටහා ගත යුතු වේ. ‘උපේක්‍ෂාව’ යන පදයෙන් අදහස් වන්නේ මැදහත් බව යි. මෙම මැදහත් බව නොයෙක් අවස්ථාවල නොයෙක් ආකාරයෙන් හමු වන බැවින් උපේක්‍ෂාව දස වැදෑරුම් බව අර්ථකථාවන්හි සඳහන් වේ. ඒ මෙසේ ය.


1. ඡළඩ්ග උපේක්‍ෂාව : නිකෙලෙස් රහතන් වහන්සේලා ස්වකීය චක්‍ෂුරාදි ද්වාරයන්හි පතනය වන අරමුණුවල දී ඇලීම්, ගැටීම් ඇති නොකර ගෙන මැදහත් වේ. එය ඡළඩ්ගෝපේක්‍ෂාව නම් වේ.


2. බ්‍රහ්මවිහාර උපේක්‍ෂාව : සත්ත්වයන් කෙරෙහි මමායනය කිරීමකින් තොරව මැදහත් ලෙස සැලකීම බ්‍රහ්මවිහාර උපේක්‍ෂාව යි.


3. බොජ්ඣඩ්ග උපේක්‍ෂාව : උපේක්‍ෂා සම්බොජ්ඣඩ්ගය යි. එනම් සිතක උපදින්නා වූ ඵස්ස, වේදනා ආදි සහජාත චෛතසික ධර්මයන් පිළිබඳ මැදහත් බව ඇති කරන තත්‍රමජ්ඣත්තතා චෛතසිකය යි.


4. විරිය උපේක්‍ෂාව : ඉතා දැඩි නො වූත්, ඉතා ලිහිල් නො වූත් මැදහත් වීර්ය සංඛ්‍යාත උපේක්‍ෂාව වීර්යෝපේක්‍ෂාව යි.


5. සඩ්ඛාර උපේක්‍ෂාව : සංස්කාර උපේක්‍ෂා ඤාණය යි. මෙය අෂ්ට සමාපත්තීන්ගේ ම සමථ වශයෙන් ද සතර මාර්ග, සතර ඵල, සුඤ්ඤත විහාර සමාපත්ති, අනිමිත්ත විහාර සමාපත්ති යන දස විධ අධිගමයන්හි ම විදර්ශනා වශයෙන් ද උපදී. ප්‍රථමධ්‍යානාදියෙන් විෂ්කම්භනය වූ නීවරණයන් ස්වභාව වශයෙන් පරික්‍ෂා කොට සනිටුහන් කරන්නා වූ ඒ නීවරණාදීන්ගේ උත්පාදනයෙහි මැදහත්ව බලන්නා වූ විදර්ශනා ප්‍රඥාව සංස්කාර උපේක්‍ෂා ඤාණය ලෙස හැඳින්වේ.


6. වේදනා උපේක්‍ෂාව : උපේක්‍ෂා වේදනාව හෙවත් අදුක්ඛම අසුඛ වේදනාව යි. එනම් දුක් වේදනාවත් නො වූ සුඛ වේදනාවත් නො වූ මැදහත් වේදනාව යි. චතුර්ථ ධ්‍යානයේ දී ඇති වේදනාව මෙම වේදනෝපේක්‍ෂාව යි.


7. විපස්සනා උපේක්‍ෂාව : පඤ්චස්කන්‍ධය පිළිබඳව අනිත්‍යය දුටු යෝගියා නැවත එය සෙවීමෙහි ව්‍යාපාර නො කර මැදහත් වන ප්‍රඥාව යි. මෙය සංස්කාරෝපේක්‍ෂා ඤාණය ම තවත් ආකාරයකට දැක්වීමකි. සංස්කාරෝපේක්‍ෂාවේ දී ත්‍රි ලක්‍ෂණය දුටු යෝගියාට භවත්‍රය ම ගිනි ඇවිලී ගියාක් මෙන් නැවත භවෝත්පත්තිය පිළිබඳ ඇල්මක් ඇති නො වේ. සර්පයෙකු සොයන තැනැත්තෙක් සර්පයා සොයාගත් විට නැවත සෙවීමේ උනන්දුවක් නැති වන අතර මිදීමේ උනන්දුවක් ඇති වේ. එසේ ත්‍රි ලක්‍ෂණය දුටු යෝගියා ද නැවත එය සෙවීමේ උනන්දුවක් නොමැතිව මැදහත් වීම විදර්ශනා උපේක්‍ෂාව යි.


8. තත්‍රමජ්ඣත්තතා උපේක්‍ෂාව : සිතක උපදින්නා වූ ඵස්ස, වේදනා ආදි සහජාත චෛතසික ධර්මයන් පිළිබඳ මැදහත් බව ඇති කරන තත්‍රමජ්ඣත්තතා චෛතසිකය යි. මෙය නොයෙක් අවස්ථාවල නොයෙක් නම්වලින් හැඳින්වේ.


9. ධ්‍යාන උපේක්‍ෂාව : තෘතීය ධ්‍යානයෙහි ඇත්තා වූ ධ්‍යාන සුඛය අග්‍ර ම වූ ධ්‍යාන සුඛය යි. ඒ අග්‍ර වූ ධ්‍යාන සුවයෙහි ද මැදහත් බව ඇතිව වාසය කරන්නා වූ උපේක්‍ෂාව ධ්‍යානෝපේක්‍ෂාව යි.


10. පාරිශුද්ධි උපේක්‍ෂාව : චතුර්ථ ධ්‍යාන උපේක්‍ෂාව පාරිශුද්ධි උපේක්‍ෂාව ලෙස හැඳින්වේ. එනම් සමාධියට ප්‍රතිපක්‍ෂ වූ නීවරණ, විතර්කාදි සියලු ප්‍රතිපක්‍ෂ ධර්මයන් චතුර්ථ ධ්‍යානයේ දී සන්සිඳීමට පත් වූ පසු යළිත් සන්සිඳවීම පිණිස උනන්දුවක් නොමැති වන උපේක්‍ෂාව යි.


මේ දශ වැදෑරුම් උපේක්‍ෂාවන් අතරින් ඡළඩ්ග, බ්‍රහ්මවිහාර, බොජ්ඣඩ්ග, තත්‍රමජ්ඣත්තතා, ධ්‍යාන, පාරිශුද්ධි යන උපේක්‍ෂාවන් සියල්ල ම අර්ථ වශයෙන් එක ම තත්‍රමජ්ඣත්තතා චෛතසිකය යි. ඒ ඒ අවස්ථාවේ කටයුතු කරන ආකාරයෙන් වෙන් වෙන් ව ඡළඩ්ගාදි නම් ලබයි.


ඒ අනුව මේ උපේක්‍ඛා බ්‍රහ්මවිහාර භාවනාවේ දී ‘උපේක්‍ඛා’ යන්නෙන් අදහස් කරන්නේ බ්‍රහ්මවිහාර උපේක්‍ෂාව යි. එනම් සියලු සත්ත්වයන් කෙරෙහි මැදහත් සිතක් ඇති කර ගැනීම යි. සත්ත්වයන්ට ‘සුවපත් වේවා’ යනාදි ලෙස ඇති කරගන්නා මමායනයෙන් තොර ව මැදහත් ව සලකා බැලීම මෙහි දී සිදු වේ. එය උපේක්‍ෂා වේදනාව නොවන බව වටහා ගත යුතු වේ.


උපේක්‍ෂා බ්‍රහ්මවිහාර භාවනාව ආරම්භ කිරීමට මත්තෙත් මෛත්‍රී, කරුණා, මුදිතා භාවනාවකින් තෘතීය ධ්‍යානය දක්වා උපදවා තිබිය යුතු බව ඉහත දක්වන ලදී. ඒ අනුව මැනවින් වඩන ලද, පංච වශීතාවයෙන් වශී භාවයට පත් කර ගන්නා ලද, මැනවින් ප්‍රගුණ කරන ලද මෛත්‍රී ආදි තෘතීය ධ්‍යානයකින් නැගී සිට ඒ මෛත්‍රී කරුණා මුදිතාවන්හි ආදීනව මෙනෙහි කළ යුතු වේ.


මෛත්‍රී භාවනාදියෙහි ‘සුවපත් වෙත්වාල නිදුක් වෙත්වා’ යනාදි ලෙස පවත්වන ලද මනසිකාරය සත්ත්වයන් පිළිබඳ මමායනය කිරීමකි. එසේ සත්ත්වයන් කෙරෙහි මමායන වශයෙන් පවත්නා මනසිකාර ඇති බැවින් මෛත්‍රී, කරුණාදි භාවනාවන් සෝමනස්සයට ද පටිඝයට ද සමීපචාරී යැයි කියනු ලැබේ. කරුණාව පවත්වන්නේ දුකට පත් සත්ත්වයන් අරමුණු කරගෙන වේ. එය දෝමනස්සයට සමීප වන අතර මෛත්‍රිය හා මුදිතාව සත්ත්වයන්ගේ සැප අරමුණු කරන බැවින් සෝමනස්සයට සමීප වේ. ඒ නිසා ම මෙත්තා, කරුණා, මුදිතා භාවනාවන් ඕළාරික වේ. උපේක්‍ෂාව තරම් ශාන්ත නො වේ. මෙසේ මෛත්‍රී ආදි භාවනාවන්හි ආදීනවය සැලකිය යුතු වේ. එසේ ම උපේක්‍ෂා භාවනාව සත්ත්වයන් පිළිබඳ මැදහත් ආකාරය සැලකීමක් බැවින් අතිශය ශාන්ත වේ. ප්‍රණීත වේ. මෙසේ උපේක්‍ෂා භාවනාවෙහි ආනිසංසය ද සැලකීමෙන් සත්ත්වයන් කෙරෙහි මැදහත් වීමේ රුචිය උපදවාගෙන භාවනාව ආරම්භ කළ යුතු වේ.


මෛත්‍රී භාවනාව ආරම්භ කිරීමේ දී අතිශය ප්‍රිය පුද්ගලයා තෝරා නොගත යුතු බව ද කරුණා, මුදිතා භාවනාවන්හි දී ප්‍රිය පුද්ගලයන් තෝරා නො ගත යුතු බව ද යනාදි වශයෙන් ඒ ඒ භාවනාව ආරම්භයේ දී තෝරා ගත යුතු, නො ගත යුතු පුද්ගලයන් පිළිබඳව ඉහත ඒ ඒ භාවනාවේ දී පැහැදිලි කරන ලදී. එසේ ම මෙම උපේක්‍ෂා භාවනාවේ දී ද පළමුව ප්‍රිය අප්‍රිය පුද්ගලයන් අතහැර මධ්‍යස්ථ පුද්ගලයෙකු තෝරා ගත යුතු වේ.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

මාඝ සූත්‍රය

 

මාඝ සූත්‍රය  


84
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල මාඝ (ශක්‍ර) දෙව්පුත් රෑ පෙරයම ඉක්මගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි මාඝ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙය කීය:
“කුමක් නම් නසා සුවසේ සැතපේද? කුමක් නම් නසා ශෝක නොකෙරේද? ගෞතමයන් වහන්ස, කවර නම් එක් දැයෙක විනාශයට සතුටුවහුද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “ක්‍රෝධය නසා සුවසේ සැතපෙයි. ක්‍රෝධය නසා ශෝක නොකෙරේ. ශක්‍රය, දුඃක විපාක විෂමූලයක් ඇති, මිහිරිවූ අගක් ඇති, ක්‍රෝධයාගේ විනාශය ආර්‍ය්‍යයෝ ප්‍රශංසා කරත්. එය නසා ශෝක නොකෙරේ.

Monday, May 24, 2021

Na Uyane Ariyadhamma Thero


 

මුදිතා භාවනාව 2

 මුදිතා භාවනාව 2 – ‘ද්වේෂ පීඩාවෙන් මිදීමට, මුදිතාව වඩන්න’

Apr 24, 2021 | සිත නිවන භාවනා | 0 



මුදිතා භාවනාව 2 – ‘ද්වේෂ පීඩාවෙන් මිදීමට, මුදිතාව වඩන්න’

මුදිතාව යනු අන් අයගේ සැපයට සතුටු වීමේ උසස් ගුණය යි. එය පුරුදු පුහුණු කර නැති අයෙකුට පහසුවෙන් ඇති කර ගත හැකි මානසික තත්ත්වයක් නො වේ. ඒ සඳහා මුදිතා භාවනාව වැඩීමෙන් මනා උපකාරයක් වේ.

මුදිතාව වැඩූ තැනැත්තාට අනෙක් පුද්ගලයාගේ සැපය කෙරෙහි ඊර්ෂ්‍යාව ඇති නො වේ. අනෙක් කෙනාගේ සැපයට ඊර්ෂ්‍යාව ඇති වන තැනැත්තා නිතර දුකින් වාසය කරයි. ඔහුගේ සිතේ නිරන්තරයෙන් ඇති වන්නේ ගැටීම යි. ඊර්ෂ්‍යාව යනු ද්වේෂ මූල චෛතසිකයක් වේ. ඒ නිසා අනෙක් කෙනාගේ සැප දකින විට ඊර්ෂ්‍යාවක් ඇති වන තැනැත්තා නිතර ද්වේෂයෙන් පීඩා විඳින අයෙක් වේ. ඒ පීඩාකාරී තත්ත්වයෙන් මිදීමට මුදිතා භාවනාව බොහෝ සෙයින් උපකාරී වේ.


මුදිතා භාවනාවට පළමුව අතිශය ප්‍රිය සහායක පුද්ගලයෙක් තෝරා ගත යුතු බව ඉහත සඳහන් කරන ලදී. අතිශය ප්‍රිය පුද්ගලයා ඇසුරු කිරීම නිතර සොම්නස් සහගත බැවින් මුදිතාව ඇති කර ගැනීමට එය උපකාරී වන බැවිනි.


විභඩ්ගප්‍රකරණයෙහි ද ‘කථඤ්ච භික්‍ඛු මුදිතා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති? සෙය්‍යථාපි නාම එකං පුග්ගලං පියං මනාපං දිස්වා මුදිතො අස්ස, එවමෙව සබ්බෙ සත්තෙ මුදිතාය ඵරති’ යනුවෙන් මුදිතා භාවනාව වැඩිය යුතු ආකාරය දැක්වේ. එනම් තමන්ට ප්‍රිය වූ මනාප වූ සිත්කලු වූ එක් පුද්ගලයකු දැක යම් ආකාරයකින් සතුටු වේ ද එසේ ම සියලු සතුන් කෙරෙහි මුදිතාව උපදවාගෙන එය පතුරුවමින් මුදිතා භාවනාව වැඩිය යුතු වේ.


ඇතැම් විට අතිශය ප්‍රියවන්ත මිත්‍රයා අතීතයේ සුවපත් වී සිටි නමුදු වර්තමානයේ දුගී දුක්පත් තැනැත්තෙක් විය හැකි ය. එසේ නම් අතීතයේ ඔහුගේ සුවපත් භාවය සලකා බලා මුදිතාව වැඩිය යුතු වේ. ‘මේ තැනැත්තා අතීතයේ මෙසේ මහත් භෝග ඇත්තෙක් විය. මහත් පිරිවර ඇත්තෙක් විය. නිරන්තරයෙන් සතුටු වීය.’ යනාදි වශයෙන් ඔහුගේ ඒ ඉක්මගිය සතුටු වීමේ ආකාරය සලකා ගෙන මුදිතාව ඉපදවිය යුතු වේ. එසේ ඒ පුද්ගලයා අනාගතයේ නැවත ඒ සම්පත් ලැබ මෙසේ සතුටු වන්නේය. මෙසේ සතුටු වන්නේය යැයි සැලකිය යුතු වේ. මහත් සැප සම්පත් ඇතිව මෙසේ මෙසේ යානවාහන සහිත වන්නේය. මෙසේ මෙසේ ගෙවල් fදාරවල් ඇතිව වසන්නේය. මෙසේ මිල මුදල් පරිහරණය කරන්නේය යැයි ඔහුගේ අනාගත සතුටු වීමේ ආකාරය සිහිපත් කර ගත හැකි වේ. ඒ අනුව ඔහුගේ සැපය පිළිබඳව සිතේ සතුටක් ඇති කර ගත යුතු වේ.


මේ කියන ලද ආකාරයෙන් පළමුව අතිශය ප්‍රිය පුද්ගලයාට මුදිතාව ඇති කර ගත යුතු වේ. ඒ අතිශය ප්‍රිය පුද්ගලයාගේ සැපය පිළිබඳව තමන් ද සතුටු වන බැවින් සිතේ ප්‍රීති ප්‍රමෝදය ඇති වේ. ඒ ප්‍රීතියෙන් යුතුව මුදිතා අරමුණේ සිත පැවැත්වීමේ දී සිත කය දෙක ම සැහැල්ලු වී සුඛය ඇති වේ. ඒ සුඛයෙන් සිත සමාධිමත් වේ. ඒ පුද්ගලයාගේ සැපය ම අරමුණු කරගෙන සිත බොහෝ වේලා පැවැත්විය හැකි වේ.


අනතුරුව සාමාන්‍ය ප්‍රිය පුද්ගලයා කෙරෙහි ද ඒ ආකාරයෙන් ම මුදිතාව ඉපදවිය යුතු වේ. ඔහු අරමුණු කරගෙන ඔහුගේ සැපය ගැන සතුටු වෙමින් සිත ඒ අරමුණෙහි ද පවත්වා ගත හැකි මට්ටමට පත් වීමෙන් අනතුරුව මධ්‍යස්ථ වෛරී පුද්ගලයන් කෙරෙහි ද අනුපිළිවෙළින් මුදිතාව ඉපදවිය යුතු වේ. එසේ ඇති කරගන්නා මුදිතා සිත අනතුරුව තමන් කෙරෙහි ද පැවැත්විය යුතු වේ.


වෛරී පුද්ගලයා කෙරෙහි මුදිතාව වැඩීමේ දී ගැටීමක් උපදී නම් මෛත්‍රී භාවනාවෙන් කී ආකාරයෙන් ම ඒ ගැටීම සන්සිඳුවාගෙන මුදිතාව වැඩිය යුතු වේ. ඒ අනුව ගැටීම ඇති තැනැත්තා අරමුණු කර මුදිතාව වැඩීම අපහසු නම් යළිත් පෙර පුද්ගලයාට ම මුදිතාව වඩා සිත මෘදු බවට පත් කර ගත යුතු වේ. එසේ සිත මෘදු භාවයට පත් වූ පසු නැවත වෛරී පුද්ගලයා අරමුණු කළ යුතු වේ. මේ ක්‍රමයෙන් කිහිප වරක් මුදිතාව වඩන විට වෛරී පුද්ගලයා කෙරෙහි ද සම සේ මුදිතාව පැවැත්විය හැකි වේ.


මෙසේ ප්‍රිය, මධ්‍යස්ථ, වෛරී යන පුද්ගලයන් කෙරෙහි ද තමන් කෙරෙහි ද යන සියලු දෙනා කෙරෙහි සම සිතින් මුදිතාව පැවැත්විය යුතු වේ. ඒ සියලු දෙනාගේ ම සැපය පිළිබඳව කිසිදු භේදයකින් තොර ව සතුටු විය හැකි සිතක් ඇති වනු ඇත. එසේ සම සේ මුදිතාව ඇති කර ගත හැකි වන විට සීමා සම්භේදය සිදු වේ. එසේ මෛත්‍රී භාවනාවේ කී ආකාරයෙන් ම සීමා සම්භින්දනය කොට ඒ මුදිතා නිමිත්ත ඇසුරු කරමින් වඩමින් බහුලීකෘත කරමින් මෛත්‍රී භාවනාවේ කී ආකාරයෙන් ම තතිය ධ්‍යානය දක්වා වැඩිය යුතු වේ.

මෙසේ මුදිතා භාවනාවෙන් තතිය ධ්‍යානය දක්වා සිතේ සමාධිය දියුණු කරගෙන පටිසම්භිදාමග්ගපාළියෙහි කී ක්‍රමයට පස් ආකාරයකට අවධියක් නැතිව (අනොධිසො) හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව ද, සප්තාකාරයකට අවධියක් සහිතව (ඔධිසො) ද, දශ ආකාරයකින් දිශා වශයෙන් ද මුදිතාව පැතිරවිය යුතු වේ.

‘සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීන්, සියලු භූතයන්, සියලු පුද්ගලයන්, සියලු ආත්මභාව පර්යාපන්නයන්’ යන පස් ආකාරයට අරමුණු කිරීමෙන් අවධිරහිතව ද ‘සියලු ස්ත්‍රීන්, සියලු පුරුෂයන්, සියලු ආර්යයන්, සියලු අනාර්යයන්, සියලු දෙවියන්, සියලු මනුෂ්‍යයන්, සියලු විනිපාතිකයන්’ යන සත්ව කොට්ඨාශ සත (7) අරමුණු කරමින් විශේෂ පිරිසිඳීමක් සහිතව ද මුදිතාව පැතිරවිය යුතු වේ. නැවත දිශා වශයෙන් ද සියලු සත්ත්වයන් යනාදි වශයෙන් අරමුණු කරමින් ද සියලු ස්ත්‍රීන් යනාදි ලෙස අරමුණු කරමින් ද මුදිතාව පැවැත්විය යුතු වේ. වඩන ලද මුදිතාව මෙසේ නොයෙක් ආකාරයෙන් පැතිරවීමෙන් සමාධිය ශක්තිමත් වේ. ඒ සමාධිය විදසුන් වැඩීමට උපකාරී කර ගත හැකි වේ.


එසේ නොයෙක් ආකාරයෙන් සිතේ මුදිතාව භාවනා වශයෙන් දියුණු කරගෙන එම මුදිතාව පතුරවමින් සමාධිය ශක්තිමත් කරගෙන මුදිතා ධ්‍යානය පදනම් කරගෙන විදසුන් වඩා නිවන් සාක්‍ෂාත් කර ගැනීමට සත්පුරුෂ පින්වතුන් උත්සාහ කරත්වා.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පාථෙය්‍ය සූත්‍රය

 පාථෙය්‍ය සූත්‍රය

79



මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:

“කිමෙක් නම් මගට වුවමනා දේ බඳීද? භෝගයන් රැස් වන තැන නම් කිමෙක්ද? කිමෙක් නම් සත්ත්‍වයා ඒ මේ අතට අදීද? ලොව කිමෙක් නම් අපහසුවෙන් දුරලිය යුතුද? මලපුඩුවෙන් (බැඳුනු) කිරිල්ලක සෙයින් කිමෙක්හි බොහෝ සත්ත්‍වයෝ බැඳුනාහු වෙත්ද?”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “ශ්‍රද්‍ධාව සසර මගට වුවමනාදේ බඳී. (සපයයි) ඓශ්චර්‍යය භෝග රැස්වන තැනය. ආසාව සත්ත්‍වයා ඒ මේ අතට අදී. ආසාව ලොව අපහසුවෙන් දුරලිය යුතු දෑය. මලපුඩුවෙන් (බැඳුණු) කිරිල්ලක සෙයින් බොහෝ සත්ත්‍වයෝ ආසායෙන් බැඳුණාහු වෙති.”

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...