Tuesday, December 22, 2020

ආනාපානසති භාවනාව – 14 වන කොටස

 

ආනාපානසති භාවනාව – 14 වන කොටස

23. ආනාපානසති භාවනාව –  14 වන කොටස

         සමාධි භාවනා වඩන යෝගාවචරයා නිරන්තරයෙන් සතිමත් විය යුතුය. සතිමත් වීම යනු නිරතුරුවම තමන් කරන-කියන, සිතන-පතන සෑම දෙයක් ම සිහියෙන් යුතුව කිරීමයි. එවිට තමන් කුසලයක නිරත වන්නේ ද, අකුසලයක නිරත වන්නේ ද යන්න මැනවින් තෝරාබේරා ගත හැකි වේ. එවිට සිත කුසීත බවට පත්වීම හෝ නොවිසිරීමට පත් වීමෙන් තොරව රැකගත හැකි වේ.

         අර්පණා සමාධි ඉපදවීම පිණිස සම්පාදනය කරගතයුතු කුසලතාවයන් දෙකක් පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී. තවත් කුසලතාවයන් කිහිපයක් මෙසේ දැක්විය හැකි වේ.

3. නිමිත්ත කුසලතාවය : නිමිත්ත කුසලතාවය ඇතිකරගැනීම නම් සිත එකඟ වීමට හේතුවක් වූ නිමිත්ත ඉපදවීමට ද, උපදවන ලද පුද්ගලයාට එය වැඩීමට ද, වඩන ලද පුද්ගලයාට එය රැකගැනීමට ද අවශ්‍ය වන කුසලතාවය ඇතිකර ගැනීමයි. ආනාපානසති භාවනාවෙන් සිත එකඟ වන ආකාරය, නිමිත්ත ඇතිකරගන්නා ආකාරය, ඒ සඳහා භාවනාව කළයුතු පිළිවෙල නිවැරදිව දැනගත යුතු වේ. එසේම සිත එකඟ වූ විට එම එකඟතාවය රැකගැනීමට ද දැනගතයුතු වේ. එසේ නොවුවහොත් තමන් සමාධියෙන් පිරිහීමට පත් වේ. පිරිහුණු සමාධියක් යළි ඇති කරගැනීම අපහසු විය හැකිය.

4. සිතට දිරි දියයුතු අවස්ථාවේ සිතට දිරි දීම

5. සිතට නිග්‍රහ කළයුතු අවස්ථාවේ සිතට නිග්‍රහ කිරීම

ඇතැම් විට සිතට දිරි දියයුතු අතර ඇතැම් විට සිතට නිග්‍රහ කළයුතු වේ. භාවනා කරන යෝගියාගේ සිත ඇතැම් විට හැකිළීමට පත් වේ. සිත නිදිමත බවට පෙරළේ. මෙවන් අවස්ථා වල සිතට දිරිදීම කළයුතු වේ. සමහර අවස්ථා වල සිත විසිරීමට පත්වේ. දැඩි වීර්යය ඇති අවස්ථාවල මෙසේ සිත විසිරීමට පත් වේ. එවිට සිතට නිග්‍රහ කරමින් වීර්ය සම බවට පත් කළයුතු වේ.

සිත හැකිළීමට පත් වූ අවස්ථා වල ධම්මවිචය, විරිය, ප්‍රීති සම්බොජ්ඣඩ්ග වැඩිය යුතු වේ. සිත අධික වීර්යය හේතුවෙන් විසිරීමට පත්වූ අවස්ථා වල පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා සම්බොජ්ඣඩ්ග වැඩිය යුතු වේ. ඒ ඒ බොජ්ඣඩ්ග ධර්මයන් වැඩීම සඳහා කළයුතු, නොකළයුතු දේ ත්‍රිපිටකානුසාරයෙන් දැනගත යුතු වේ.

6. සිත සම්පහංසනය කළයුතු අවස්ථාවේ සිත සම්පහංසනය කිරීම : ඇතැම් අවස්ථා වල සිතේ ආශ්වාද භාවය නොමැති වීම නිසා යෝගියාට භාවනාව එපාවීමක් සිදු වේ. භාවනාව අතහැර දැමීමට සිතේ. එවිට ද තමන්ගේ භාවනාව නිසි පරිදි සමෘද්ධමත් නොවේ. එවිට සිත සම්පහංසනයට පත් කළයුතු වේ. එසේ භාවනා අභිරුචිය පහව ගිය අවස්ථාවල අෂ්ඨ සංවේගවස්තු සිහි කරමින් සිත සංවේගයට පත්කිරීමෙන් සම්පහංසනයට පත්කළ හැකි වේ. එසේම බුද්ධ, ධම්ම, සඩ්ඝ ගුණ සිහිකරමින් සිතේ ප්‍රසාදය ඇති කරගැනීමෙන් ද සම්පහංසනය ඇතිකරගත හැකි වේ.

සිහි කළයුතු සංවේගවස්තු අට (8) නම්, ජාතිය හෙවත් ඉපදීමේ දුක, ජරාවට පත් වීමේ දුක, ව්‍යාධි හෙවත් ලෙඩ වීමේ දුක, මරණයට පත්වීමේ දුක, අපාය දුක, අතීතයේ ඉකුත් වූ සංසාර දුක, අනාගතයේ පැමිණීමට ඇති සංසාර දුක, වර්තමානයේ ආහාර සෙවීම මුල් කොට ඇති දුක යන මේ කරුණු අට වේ. මේවා සිහි කරන පුද්ගලයාට සිතේ කුසීත බවක් වූයේ නම් එය දුරු වී යයි. සිත උඩඟු වී විසිරීමට පත් වූයේ නම් එය ද දුරු වේ. සිත ආශ්වාදයට පත් වී භාවනාව කෙරෙහි ඇලීම ඇති වේ. එය අතහැරිය යුතු දෙයක් නොව නැවත නැවත වැඩිය යුතු දෙයක් ලෙස අවබෝධ වේ.

7. සිත මධ්‍යස්ථ කළයුතු අවස්ථාවේ සිත මධ්‍යස්ථ කිරීම : ඇතැම් අවස්ථා වල භාවනාව වර්ධනය වීම පිණිස සිත මධ්‍යස්ථ බවට පත් කළයුතු වේ. ඉහත සඳහන් කළ ආකාරයට සිත සම්පහංසනය කරමින් භාවනාව කරගෙන යාමේ දී සිත හැකිළීමෙන් තොරව, උඩඟු වීමෙන් තොරව, ආශ්වාද රහිත බවින් තොරව ආශ්වාස-ප්‍රාශ්වාස අරමුණේ සමව පවතිමින් සමාධි වීථියට බැසගනී. එසේ සිත සමාධිමත් වීමට පටන්ගත් විට නැවත නැවතත් සිත සම්පහංසනය කිරීමක් අවශ්‍ය නොවේ. සිතේ මධ්‍යස්ථ බව ඇති කළයුතු වේ. ඒ මධ්‍යස්ථ බවම යෝගියාගේ සිත උපචාර සමාධි, අර්පණා සමාධි දක්වා රැගෙන යයි.

වාහනයක් පදවන පුද්ගලයෙක් ගමන ඇරඹීමේ දී පළමුව වේගය වැඩි කරයි. වේගයෙන් යා යුතු තැන් වලදී වේගයෙන් ගමන් කරයි. සමහර අවස්ථා වල වේගය පාලනය කරගත නොහැකි තරම් වැඩි යැයි සිතෙන විට එය අඩු කරගනී. එසේ වේගය අඩුවැඩි කරගෙන ගමන් කරන විට සමහර අවස්ථාවල දී වේගය උස්පහත් නොකොට සම මට්ටමකට පවත්වාගෙන යා හැකි වේ. එසේම භාවනාව කරන පුද්ගලයා ද සිත දිරිමත් කළයුතු අවස්ථාවේ දිරිමත් කරමින් භාවනා කළයුතු වේ. සිතට නිග්‍රහ කළයුතු අවස්ථාවේ නිග්‍රහ කරමින් භාවනා කළයුතු වේ. සතුටු කළයුතු විට සිත සතුටට පත් කළයුතු වේ. සිත සමාධි වීථියට බැසගත් පසු මැදහත් භාවයෙන් තබා ගතයුතු වේ.

8. සමාහිත නොවූ සිත් ඇති පුද්ගලයන් දුරු කිරීම : සමාධි භාවනා කරන පුද්ගලයා විසින් අසමාහිත පුද්ගලයන් දුරු කළයුතු වේ. එනම් ධ්‍යාන ඉපදවීමේ ප්‍රතිපත්තියට නොපැමිණි, නොයෙක් කටයුතු වල නියැලුණු, වික්‍ෂිප්ත සිත් ඇති පුද්ගලයන් දුරින් දුරු කළයුතු වේ. එබඳු පුද්ගලයන් නිතර කියන්නේ සමථ භාවනා කිරීම නිසරු දෙයක් ලෙසය. ධ්‍යාන ඉපදවීම නොකළයුතු බව කියති. තමන්ගේ භාවනාවේ උග්ගහ නිමිති, පටිභාග නිමිති පිළිබඳ ප්‍රකාශ කළහොත් එයට නිග්‍රහ කරති. සමහර පුද්ගලයෙක් නොදැනුවත්කම හේතුවෙන්ම භාවනාවේ උපදින ආලෝක සංඥා ආදිය මානසික විකෘතිතාවයන් ලෙස කියනවා ඇත. එබැවින් භාවනා නොකරන, භාවනාව පිළිබඳ අවබෝධය අඩු පුද්ගලයන් දුරින්ම දුරු කළයුතු වේ.

9. සමාහිත සිත් ඇති පුද්ගලයන් ඇසුරු කිරීම : එසේම ධ්‍යාන ඉපදවීමේ ප්‍රතිපත්තියට පැමිණි, ධ්‍යාන ලාභී පුද්ගලයන් කරා කලින් කලට එළඹ ඇසුරු කළයුතු වේ. ඔවුන්ගෙන් භාවනාව පිළිබඳ උපදෙස් ලබාගත යුතු වේ. එහෙත් තමන් මූල කර්මස්ථාන ලබාගන්නා ගුරු උතුමන්ගේ අනුදැනුම ඇතිව එබඳු අය ඇසුරු කළයුතු වේ. එසේ නොවුවහොත් එකිනෙකට පටහැනි භාවනා උපදෙස් ලැබිය හැකි වේ.

10. සමාධියෙහි අධිමුක්තිය : සමාධියම ගුරුකොට ගනිමින්, සමාධිය දෙසටම නැමී, නිරන්තරයෙන් සමාධිය උපදවාගැනීම පිණිස සිත යොමු කරගෙන කටයුතු කිරීමයි. සමාධිය දියුණු කරගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයා විසින් තම සිතේ සමාධිය පිළිබඳ ඇති කැමැත්ත, නැඹුරු බව වැඩි කරගත යුතු වේ. සෑම ඉරියව්වකදී ම සමාධිය වැඩි කරගන්නේ කෙසේද යන්න පිළිබඳවම සිතිය යුතු වේ. ඒ සඳහා සත්ප්‍රාය වන දේ ඇසුරු කළයුතු වේ.

මෙසේ සමථ භාවනා කරන පුද්ගලයා විසින් ඉක්මනින් ධ්‍යාන සමාධියක් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, මේ කියන ලද දසවැදෑරුම් අර්පණා කුසලතාවයන් තමන් තුළ වර්ධනය කරගත යුතු වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Na Uyane Ariyadhamma Thero


 

Friday, December 18, 2020

1.37 Kumāputtasahāyaka Theragatha

ආනාපානසති භාවනාව – 13 වන කොටස

 

ආනාපානසති භාවනාව – 13 වන කොටස

22. ආනාපානසති භාවනාව –  13 වන කොටස

          ආනාපානසති භාවනාවෙන් සිත සමාධිමත් කරගැනීමේ දී උද්ග්‍රහ නිමිත්ත, පටිභාග නිමිත්ත පහළ වූ යෝගාවචරයා ප්‍රථමධ්‍යානය ලබන ආකාරය මීට ඉහත පැහැදිලි කරන ලදී. එහෙත් භාවනා කරන බොහෝ දෙනෙක් මැසිවිලි නඟන්නේ තමන්ට ආලෝක මාත්‍රයක් හෝ උපදවාගත නොහැකි වූ බව පවසමිනි. සමහර කෙනෙක් ආනාපානසති භාවනාවෙන් ආලෝකයක් උපදවාගත් නමුත් සිත ධ්‍යානයක් දක්වා වර්ධනය කරගැනීමට නොහැකිව පසුවෙති. තවත් සමහර කෙනෙක් ආනාපානසති භාවනාවෙන් ධ්‍යානයක් උපදවාගැනීමේ හැකියාව තිබී එය අනවශ්‍ය දෙයක් යැයි සිතමින් වෙනත් භාවනා උපදෙස් අනුගමනය කරති. මේ සෑම දෙනෙක් තුළම දකින්නට ලැබෙන පොදු දුර්වලතාවය වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද බෞද්ධ භාවනාව පිළිබඳ දැනුම අඩු වීමයි. වෙනත් ලෙසකට කිවහොත් ත්‍රිපිටක දැනුම අඩු වීමයි.

          බුදුරජාණන් වහන්සේ එක් එක් සූත්‍ර දේශනාවන්හි දී භාවනා ක්‍රමය දෙශනා කරන්නේ නොයෙක් ආකාරයෙන්, ඒ ඒ අවස්ථාවේ ධර්මය අසන්නාට අවබෝධ වන ආකාරයට වේ. එබැවින් නිවන දක්වා භාවනා ක්‍රමය හඳුනාගැනීමට ත්‍රිපිටකය මැනවින් හදාරා ලබාගන්නා අවබෝධය වැදගත් වේ. බොහෝ සූත්‍ර දේශනාවන්හි බුදුරජාණන් වහන්සේ ධ්‍යාන උපදවා ඉන්පසු කරන විදර්ශනා භාවනාව පිළිබඳ දේශනා කරන බැවින් ආනාපානසති භාවනාවෙන් ධ්‍යාන ඉපදවීම විදර්ශනා භාවනාවට පහසුවක් වේ. එහෙත් ආනාපානසති භාවනාවෙන් ධ්‍යානයක් උපදවා ගැනීම ඉතාම අපහසු දෙයක් බව බොහෝ දෙනාගේ පිළිගැනීම වේ.

          ධ්‍යානයක් උපදවාගැනීම පහසු දෙයක් ද නොවේ. එහෙත් නිසි පරිදි පිළිපදින පුද්ගලයෙකුට අපහසු දෙයක් ද නොවේ. සිතේ සමාධිය උපදවාගැනීමට උපකාරී වන පිළිවෙත් දහයක් (10) දසවිධ අර්පණා කුශලතාවයන් ලෙස අර්ථකථාවන්හි පැහැදිලි කර තිබේ. මේවා තමන්ගේ සන්තානය තුළ දියුණු කරගැනීමෙන් ඉක්මනින් සිතේ සමාධිය වර්ධනය කරගත හැකි වේ. ඒ දහය නම්,

1. වස්තු විසදකිරියතාවය

2. ඉන්‍ද්‍රියසමත්ත පටිපාදනතාවය

3. නිමිත්ත කුසලතාවය

4. සිතට දිරි දියයුතු අවස්ථාවේ සිතට දිරි දීම

5. සිතට නිග්‍රහ කළයුතු අවස්ථාවේ සිතට නිග්‍රහ කිරීම

6. සිත සම්පහංසනය කළයුතු අවස්ථාවේ සිත සම්පහංසනය කිරීම

7. සිත මධ්‍යස්ථ කළයුතු අවස්ථාවේ සිත මධ්‍යස්ථ කිරීම

8. අසමාහිත සිත් ඇති පුද්ගලයන් දුරු කිරීම

9. සමාහිත සිත් ඇති පුද්ගලයන් ඇසුරු කිරීම

10. සමාධියෙහි අධිමුක්තිය

1. වස්තු විසදකිරියතාවය : එනම් ඇතුළත-පිටත පිරිසිදුබවයි. තමන්ගේ සිරුර කිළිටි වී ඇත්නම් හොඳින් නා, පිරිසිදු වී, හිසකෙස්, නියපොතු ආදිය මැනවින් පිරිසිදු කිරීමාදිය ඇතුළත පිරිසිදුකමයි. තමන් හැඳ පෙරවගෙන සිටින සිවුරු, ඇඳුම් පැළඳුම් ආදිය ද, වාසය කරන සෙනසුන්, ගෙවල් දොරවල් පිරිසිදු කිරීම බාහිර පිරිසිදුකම වේ.

          සමාධිය උපදවාගැනීම පිණිස මෙම පිරිසිදුබව ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස කිලිටි වූ රෙදි කැබැල්ලකින් සකස් කළ පහන් වැටියක්, අපිරිසිදු පහන් තැටියක තබා, අපිරිසිදු තෙල් දමා දැල්වුව ද මනා ආලෝකයක් නොලැබේ. එහෙත් පිරිසිදු රෙදි කැබැල්ලකින් සකස් කරගත් පහන් වැටියක්, පිරිසිදු පහන් තැටියක තබා, පිරිසිදු තෙල් දමා දැල්වුවහොත් පැහැදිලි ආලෝකයක් ලබාගත හැකි වේ.

          එසේම තමන්ගේ ඇතුළත-පිටත අපිරිසිදුව පවතින විට භාවනා කළ ද එමඟින් හොඳ සමාධියක් උපදවාගත නොහැකි වේ. සිත උපචාර-අර්පණා සමාධි වලට පත් නොවේ. තමන්ගේ සිරුර ද, බාහිර පරිසරය ද පිරිසිදු කරගැනීමෙන් ඇතිවන ප්‍රසන්න බව සිතේ සමාධියට බොහෝ උපකාරී වේ. සමහර පැරණි ස්වාමින් වහන්සේලා පවසන්නේ භාවනාවට හිඳ ගැනීමට පෙර තමන්ගේ යටිපතුල් දෙක පවා මැනවින් පිරිසිදු දැයි බලන ලෙසයි. එය අපිරිසිදු නම් භාවනාවේ දී සිත එකඟ වීම ප්‍රමාද බව පවසති. එබැවින් ධ්‍යානයක් උපදවාගත නොහැකි වූ අය ඒ සඳහා තමන්ගේ භාවනාව දියුණු කරගන්නේ නම් ඇතුළතත්, පිටතත් පිරිසිදු කරගත යුතු වේ.

2. ඉන්‍ද්‍රියසමත්ත පටිපාදනතාවය : ඉන්‍ද්‍රියයන් සම බවට පත්කරගැනීමයි. ඉන්‍ද්‍රියයන් ලෙස හැඳින්වෙන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන මේවායි. මෙම ඉන්‍ද්‍රිය ධර්මයන් සමභාවයට පත්වීම සිත සමාධිමත් වීමට බොහෝ සෙයින් උපකාරී වේ. සන්තානය තුළ වැඩෙන මෙම එකිනෙක ඉන්‍ද්‍රිය ධර්මයන් විසින් කරන කටයුත්තක් ඇත. ඉන්‍ද්‍රිය ධර්මයන් සම භාවයට පත් නොවීමෙන් ඒ එකිනෙක කටයුත්ත සිදු නොවේ.

          ශ්‍රද්ධාව සෙසු ඉන්‍ද්‍රියයන් අභිබවා යයි නම් එවිට විරිය ඉන්‍ද්‍රිය විසින් සිතට දිරිදීම සිදු නොවේ. සති ඉන්‍ද්‍රිය විසින් කළයුතු අරමුණට එළඹ සිටීම සිදු නොවේ. සමාධි ඉන්‍ද්‍රිය විසින් සිත නොවිසිරී පවත්වාගැනීම සිදු නොවේ. ප්‍රඥා ඉන්‍ද්‍රිය විසින් තත් වූ පරිද්දෙන් විෂය ස්වභාවය දැකීම සිදු නොවේ. ඒ සියලු කටයුතු බලවත් වූ ශ්‍රද්ධාව විසින් මැඩ පැවැත්වේ. එබැවින් ඉන්‍ද්‍රිය ධර්මයන් සම බවට පත් කරගත යුතු වේ.

          විශේෂයෙන් ම ශ්‍රද්ධාව සහ ප්‍රඥාවත්, සමාධිය සහ වීර්යයත් සම බවට පත් කරගත යුතු වේ. ප්‍රඥාව ඉක්මවා ගිය ශ්‍රද්ධාවක් ඇති තැනැත්තා පැහැදීමට නුසුදුසු තැන් වල පහදී. ශ්‍රද්ධාවෙත් තොර ප්‍රඥාවක් ඇති තැනැත්තා කෛරාටික බවට පත්වේ. බෙහෙතින් උපන් රෝගයක් මෙන් පිළියම් කළ නොහැකි පුද්ගලයෙක් වෙයි. එබැවින් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සමව පවත්වාගත යුතු වේ. තමන්ගේ ශ්‍රද්ධාව අඩු බවක් යෝගියාට හැඟේ නම් එය වැඩි කරගැනීම පිණිස කටයුතු කළයුතු වේ. එසේම වීර්යය බලවත් වී සමාධිය දුර්වල වුවහොත් සිත උද්ධච්චයට පත් වේ. වීර්යය දුර්වලව සමාධිය බලවත් වන විට සිත කුසීත බවට පත් වේ. එබැවින් වීර්යය හා සමාධිය ද සම බවට පත් කරගත යුතු වේ.

          කෙසේ නමුත් සමාධි භාවනාවක් කරන පුද්ගලයාට බලවත් ශ්‍රද්ධාවක් අවශ්‍ය වේමය. බලවත් ශ්‍රද්ධාවක් ඇති විට කමටහන පිළිබඳ සැක නොකර ශ්‍රද්ධාවෙන් බැසගෙන කිරීමෙන් ඉක්මනින්ම ධ්‍යාන ලබයි. එසේම සමාධි භාවනා කරන පුද්ගලයාට බලවත් ඒකාග්‍රතාවයක් ද අවශ්‍ය වේ.

          සතිය සැම තැන්හිම වැදගත් වේ. සිත හැකිළී ගිය විට ද සිත විසිරෙන විට ද දියුණු කරගත් සිහිය වැදගත් වේ. සිහියෙන් ම අනෙක් ඉන්‍ද්‍රිය ධර්මයන් සම බවට පත් කිරීම ද සිදු වේ. සෑම ව්‍යඤ්ජනයක්ම රස කිරීම පිණිස ලුණු අවශ්‍ය වන්නා සේ සෑම ඉන්‍ද්‍රිය ධර්මයක් ම මැනවින් පවත්වාගැනීමට සතිය අවශ්‍යම වේ.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Na Uyane Ariyadhamma Thero


 

Thursday, December 17, 2020

Kumapuththa Theragatha

ආනාපානසති භාවනාව – 12 වන කොටස

 

ආනාපානසති භාවනාව – 12 වන කොටස

21. ආනාපානසති භාවනාව –  12 වන කොටස

          ආනාපානසති භාවනාවෙන් ප්‍රථමධ්‍යනය දක්වා සමාධිය දියුණු කරගන්නා ආකාරය පැහැදිලි කරන ලදී. මෙහි දී බුදුරජාණන් වහන්සේගේ දේශනා සංඛ්‍යාත ත්‍රිපිටකය ඉගෙනීම නොකළ පුද්ගලයෙක් අනවබෝධය නිසා මුළාවට පත්විය හැකි බව ද මතක තබාගත යුතු වේ. භාවනාවේ දී ධ්‍යානයට පූර්වයේ අත්දකින සුළු සැපයක් හේතුවෙන් තමන් උතුම් සමාධියක් උපදවා ගත්තේ යැයි වරදවා වටහාගත හැකි වේ. ඒ නිසා සමාධිය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනය මැනවින් තේරුම් ගැනීම ද වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේ මහාසතිපට්ඨානසූත්‍රය ආදියෙහි ප්‍රථමධ්‍යාන සමාධිය විස්තර කරන්නේ ‘විවිච්චේව කාමේහි විව්ච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති’ යනුවෙනි. එනම් ‘කාමයන්ගෙන් වෙන් වූ ම, අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ ම, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වාසය කරයි’ යන අදහසයි.

මෙම ප්‍රථමධ්‍යානයට එළඹීම කාමයන්ගෙන් වෙන්ව ලබන, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ලබන සමාධියක් වේ. කම්සැපය ධ්‍යානයට විරුද්ධ වේ. ඒ කම්සැපයෙන් වෙන්වීමෙන්ම ධ්‍යාන සැපය ලබන බව මෙහි දැක්වේ. ඒ අනුව භාවනා කරන යෝගියා තමන්ගේ ආශ්වාස-ප්‍රාශ්වාසය අරමුණු කරගෙන භාවනා කිරීමේ දී උපචාර අර්පණා සමාධි ලබන මොහොතේ කාමච්ඡන්දයෙන් වෙන් වේ. එසේම සෙසු නීවරණ ධර්ම හෙවත් අකුසලයන්ගෙන් ද වෙන්වේ. එසේ නැතිනම් කාම වස්තූන් රැස් කිරීමේ කැමැත්ත නම් වූ වස්තුකාමයෙන් ද, සෙසු කෙලෙස් නම් වූ කිලේසකාමයෙන් ද වෙන්වීම ප්‍රථමධ්‍යාන සමාධිය ඉපදවීමට පදනම වේ. මේ අනුව පැහැදිලි වන්නේ ප්‍රථමධ්‍යාන ආදී සමාධි ඉපදවීම කම්සැපයෙන් වෙන් වූවක් මිස ඒ කම්සැප විඳින අතරතුර ලබන්නක් නොවන බවයි. සමාධිය ඉපදවීමට පෙර සිව්-පිරිසිදු ශීලයම ආරක්‍ෂා කරගැනීමේ වැදගත්කම අවධාරණය කරන්නේ මේ නිසාය. ඒ අනුව තමන් රකින සිල්පද පමණක් නොව ඉන්ද්‍රිය සංවරය ආදිය ද සමාධියට වැදගත් වේ.

මෙසේ ප්‍රථමධ්‍යානය ඉපදවීම පිණිස දුරු කළයුතු ධර්මයන් දක්වා අනතුරුව සවිතක්කං, සවිචාරං යනුවෙන් ඒ ප්‍රථමධ්‍යාන සමාධියේ යෙදෙන අංගයන් දක්වන ලදී. එනම් විතර්කයෙන් සහ විචාරයෙන් යුතු බවයි. මේ ප්‍රථමධ්‍යාන සමාධියේ ධ්‍යාන අංගය වශයෙන් විතර්කය සහ විචාරය මූලිකවම ඇති අතර සෙසු කිසිම ධ්‍යානයක මෙම අංග දෙක නොමැත.

විතර්කය යනු කල්පනා කිරීම යැයි සමහර කෙනෙක් සිතති. එය වැරදි අදහසක් වේ. එය ප්‍රථමධ්‍යාන සමාධි සිතේ ඇති චෛතසික ධර්මයක් වන අතර ඉතා සියුම් ව අවබෝධ කරගත යුතු වේ.

මෙසේ විතර්ක සහිත, විචාර සහිත සමාධිය ‘විවේකජං’ යනුවෙන් විවේකයෙන් හටගත් බව දැක්වේ. ඉන් අදහස් වන්නේ නීවරණ ධර්මයන් පහවූ බවයි. ‘විවේක’ යන වචනයේ අර්ථය වෙන්වීම යන්නයි. වැඩ කටයුතු වලින් වෙන් වූ වේලාව විවේක වේලාව ලෙස හඳුන්වන්නේ එබැවිනි. මේ ප්‍රථමධ්‍යාන සමාධියේ ද වෙන්වීමකින් හටගත් බවක් ඇත. එනම් නීවරණයන්ගෙන් වෙන් වීමයි. සිත නීවරණයන්ගෙන් තාවකාලිකව නමුත් බැහැර වීමෙන් ප්‍රථමධ්‍යාන සමාධිය උපදී.

මෙසේ කාමයන්ගෙන් හා අකුසලයන්ගෙන් වෙන් ව, නීවරණයන්ගේ වෙන්වීම නම් වූ විවේකයෙන් හටගත් ප්‍රථමධ්‍යාන සමාධියේ විතර්කය සහ විචාරයට අමතරව ප්‍රීතිය සහ සැපය යනුවෙන් ද අංග දෙකක් ඇති බව ‘පීතිසුඛං’ යැයි කියවේ. මේ අනුව ප්‍රථමධ්‍යාන සමාධියේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යනුවෙන් අංග පසක් ඇත. ඒ එකිනෙකක් හඳුනාගැනීම භාවනා කරන පුද්ගලයාට කළහැකි විය යුතු වේ. එසේ නැතහොත් තමන් උපචාර සමාධියක්වත් නොලබා ධ්‍යාන ලැබූ බවට මුළාවක් ඇති විය හැකි වේ. මෙහි දී ඒ ධ්‍යාන අංග පරික්‍ෂා කිරීම පිණිස එකිනෙක අංගය විස්තර කරනු ලැබේ.

විතක්ක: විතක්කය යනු සිත අරමුණට නැංවීමේ ස්වභාවයයි. සිත ආනාපානසති නිමිත්තට නංවන ස්වභාවයෙන් වැටහේ නම් එය විතක්කය වේ. ප්‍රථමධ්‍යාන සමාධියෙන් ඉවත්ව උපචාර සමාධියට පැමිණ තමාගේ සිත නැවත නැවත පටිභාග නිමිත්තට නංවන ස්වභාවයක් වැටහේ දැයි බැලිය යුතු වේ. එසේ වැටහේ නම් එය විතක්කය වේ.

විචාර: විචාරය යනු අරමුණ පිරිමැදීමයි. විතක්කයෙන් නංවන ලද අරමුණෙහි සිත හැසිරෙන ස්වභාවයෙන්, සිත අරමුණෙහි නොසිඳී පවතින බවක් වැටහේ නම් එය විචාරය වේ.

ප්‍රීති: සිත පිනායන ස්වභාවය ප්‍රීතිය නම් වේ. මෙම ප්‍රීතිය ආකාර පසක් ඇති අතර එය පස්වණක් ප්‍රීතිය ලෙස හැඳින්වේ. ඒ අතරින් ඵරණ ප්‍රීතිය ලෙස හඳුන්වන මුළුකය පිරී යන්නාක් සේ වැටහෙන ප්‍රීතිය ප්‍රථමධ්‍යානයේ අංගයක් වේ.

සුඛ: සුඛය යනු කායචිත්ත පීඩාව නැසීමයි. සමාධිමත් සිතට දැනෙන සැපවත් බව මින් අදහස් වේ. යම් සිතක ප්‍රීතියක් ඇත්තේ නම් එවිට සැපවත් බවක් ද දැනේ. කයට යම් සීතල සුළඟක් ආදිය හැපීමේ දී සිතටත් යම් සැපවත් බවක් දැනේ. එවැනි සැපවත් බවක් ප්‍රථමධ්‍යාන සමාධියේ දී දැනේ.

ඒකාග්‍රතා: සිතේ එකඟ බව ඒකාග්‍රතාවය නම් වේ. අරමුණෙහි සිත නොවිසිරී පවතින බවයි. තෙත මැටි පිඩක් ඉහළ සිට පහළට අතහැරියහොත් එය බිම වැටී, වැටෙන තැනම ඇලී සිටින්නා සේ සිත අරමුණෙහිම නොවිසිරී පවතින බව ඒකාග්‍රතාවයයි.

මෙම ධ්‍යානාංග පස ප්‍රථමධ්‍යාන සමාධියේ දී අත්දැකිය හැකි වේ. එබැවින් ධ්‍යානයෙන් සිත මුදවාගෙන උපචාර මට්ටමට පැමිණ එකිනෙක ධ්‍යානාංගය පරික්‍ෂා කළ යුතු වේ. මේ ධ්‍යානාංග පසම ඇති බව වැටහේ නම් තමන් ප්‍රථමධ්‍යානයට සමවැදුණු බවට නිගමනය කළ හැකි වේ. යම් අංගයක් වැටහෙන්නේ නැති නම් එවිට තමාගේ සමාධිය ශක්තිමත් වී නොමැති බවත්, නිසි පරිදි ධ්‍යානයට සමවැදී නොමැති බවත් දැනගෙන තව තවත් සමවැදීම කළයුතු වේ. ධ්‍යානාංග හඳුනාගැනීම ආධුනිකයෙකට අපහසු නම් පළපුරුදු ගුරු ඇසුරකින් අවවාද ලබා ගැනීම වැදගත් වේ.

එසේම සමහර විටක විතක්කය හෝ විචාරය හඳුනාගත නොහැකිව සෙසු අංග එකක් හෝ කිහිපයක් වැටහේ නම් තමන් කෙලින්ම දුතිය ධ්‍යානයට ගොස් ඇත්දැයි සැකයක් සිතිය හැකිය. එහෙත් ප්‍රථමධ්‍යානයට නොගොස් දුතිය ධ්‍යානයට යාමක් සිදු නොවේ. එය තමන්ගේ සමාධියේ දුර්වල බවක් බව දැනගෙන තව තවත් සමවැදීම කළයුතු වේ.

මෙසේ ප්‍රථමධ්‍යානයට සම වැදීමෙන් පසු පැයක් හෝ පැය එකහමාරක් හෝ පැය දෙකක් හෝ හැකි තරම් වේලාවක් එම සමාධියට සමවැදී සිටින බව අධිෂ්ඨාන කරගෙන සමවැදිය යුතු වේ. එවිට ඒ තමන් සිතාගත් කාලය අවසානයේ නිරායාසයෙන්ම ධ්‍යානයෙන් සිත මිදීම සිදු වේ. අනතුරුව නැවත ධ්‍යානාංග පරික්‍ෂා කර බැලිය යුතු වේ.

මෙසේ තමන් ප්‍රථමධ්‍යානයට සමවැදුණු බව නිසැකවම දැනගත් පසු සමථ භාවනාව තවදුරටත් දියුණු කිරීමට කැමති පුද්ගලයා එම ධ්‍යානය ආකාර පසකට වශී භාවයට පත් කරගත යුතු වේ. එසේ වශී භාවයට පත් කරගෙන තවත් සමථ කමටහනක් පුරුදු කළ හැකි වේ. මෙසේ සමථ කර්මස්ථාන කිහිපයක් පුරුදු කරගන්නා පුද්ගලයාගේ සමාධිය බලවත් වේ. එවිට විදසුන් වැඩීම පහසු වේ.

සිත අර්පණා සමාධියට පත් නොවන පුද්ගලයා විසින් අර්පණා කුසලතාවයන් දහයක් (10) සම්පාදනය කරගත යුතු වේ. ඒ පිළිබඳ මීලඟට විවරණය කෙරේ.

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...